Saṁyutta Nikāya

Connected Discourses

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-30 · 15083 segments

පෙන්වන කොටස් 401-500 න් 15083

එකල්හි ඒ දේවතාවෝ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත් පසෙක සිටියහ. එකත් පසෙක සිටි එක් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි මේ ගාථාව කී ය:
මහවන ලැහැබෙහි මහාසමූහයෙකි. දේවසමූහයෝ රැස් වුහ. අපරාජිත සඞ්ඝයා දකිනු පිණිස මේ ධර්‍මසභාවට පැමිණියම්හ.
ඉක්බිති අන් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කි ය:
එහි භික්‍ෂූහු තමන්ගේ සිත සමාධිගත කළහ. ඍජු කළහ. පණ්ඩිතයෝ රැහැන් ගෙණ (අසුන් හික්මවන) රියැදුරන් මෙන් ඉඳුරන් රකිත්.
ඉක්බිති අන් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කී ය:
පසැස් ඇති බුදුරජාණන් වහන්සේ විසින් මැනවින් හික්මවන ලද පවිත්‍ර නිර්‍මල තරුණ නාගයන් වූ උන්වහන්සේ (රාගද්වේෂමෝහ නැමැති) කණුව සිඳ (අවිද්‍යා) කනයම සිඳ (කෙලෙස් නැමැති) ඉන්‍ද්‍රකීලය උදුරා පියා තෘෂ්ණාකම්පනරහිත වූවාහු හැසිරෙත්.
ඉක්බිති අන් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කි ය:
යම් කිසි කෙනෙක් බුදුන් සරණ ගියාහු ද, ඔහු අපායට නොයන්නාහු මිනිස්සිරුර හැර පියා දෙව්පිරිස පුරා ලන්නාහ.
1. 4. 8.
සකලික සූත්‍රය.
38. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි මද්දකුච්ඡි නම් මුවවෙනෙහි වැඩවසන සේක.
එකල්හි භාග්‍යවතුන් වහන්සේගේ පාදය ගල්පතුරෙකින් පහළේ වේ. භාග්‍යවතුන් වහන්සේට දුක් වූ දැඩි වූ රළු වූ තියුණු වූ නොමිහිරි වූ අමනාප වූ බලවත් ශාරීරික වේදනාවෝ පවතිත්. භාග්‍යවතුන් වහන්සේ සිහි ඇති ව මනා නුවණ ඇති ව නොපෙළෙමින් ඒ වේදනාවන් ඉවසන සේක.
එකල්හි භාග්‍යවතුන් වහන්සේ සඟල සිවුර සිවුගුණු කොට පණවා දකුණු පයෙහි වම් පය මඳක් මෑත් කොට තබා දකුණුපසින් සිංහශය්‍යාව කරණ සේක.
ඉක්බිති මනා ඡවිවර්‍ණ ඇති පන්සියක් සතුල්ලපකායික දේවතාවෝ රෑ පෙරයම ඉක්ම ගිය කල්හි මුළු මද්දකුච්ඡිය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියාහු ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියහ. එකත්පසෙක සිටි එක් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ප්‍රීතිවාක්‍යය පහළ කළේ ය:
භවත්නි, ශ්‍රමණ ගෞතම තෙමේ ඒකාන්තයෙන් නාගයෙකි. දුක් වූ දැඩි වූ කැකුළු වූ කටුක වූ නොමිහිරි වූ අමනාප වූ උපන් ශාරිරක වේදනාවන් නාග බැවින් ම සිහි ඇති ව මනා නුවණ ඇති ව නොපෙළෙමින් ඉවසයි.
ඉක්බිති අන් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ප්‍රීතිවාක්‍යය පහළ කළේ ය:
භවත්නි, ශ්‍රමණ ගෞතම තෙමේ ඒකාන්තයෙන් සිංහයෙකි. දුක් වූ දැඩි වූ කැකුළු වූ කටුක වූ නොමිහිරි වූ අමනාප වූ උපන් ශාරීරික වේදනාවන් සිංහ බැවින් ම මනා නුවණ ඇති ව නොපෙළෙමින් ඉවසයි.
ඉක්බිති අන් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ප්‍රීතිවාක්‍යය පහළ කළේ ය:
භවත්නි, ශ්‍රමණ ගෞතම තෙමේ ඒකාන්තයෙන් ආජානීයයෙකි. දුක් වූ දැඩි වූ කැකුළු වූ කටුක වූ නොමිහිරි වූ අමනාප වූ උපන් ශාරීරික වේදනාවන් ආජානීය බැවින් ම සිහි ඇති ව මනා නුවණ ඇති ව නොපෙළෙමින් ඉවසයි.
ඉක්බිති අන් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ප්‍රීතිවාක්‍යය පහළ කළේ ය:
භවත්නි, ශ්‍රමණ ගෞතම තෙමේ නිසභයෙකි. දුක් වූ දැඩි වූ කැකුළු වූ කටුක වූ නොමිහිරි වූ අමනාප වූ උපන් ශාරීරික වේදනාවන් නිසභ බැවින් ම සිහි ඇති ව මනා නුවණැති ව නොපෙළෙමින් ඉවසයි.
ඉක්බිති අන් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ප්‍රීතිවාක්‍යය පහළ කළේ ය:
භවත්නි, ශ්‍රමණ ගෞතම තෙමේ ඒකාන්තයෙන් ධොරය්හයෙකි (=ධුර ඉසිලීමෙහි සමර්‍ත්‍ථයෙකි). දුක් වූ දැඩි වූ කැකුළු වූ කටුක වූ නොමිහිරි වූ අමනාප වූ උපන් ශාරීරික වේදනාවන් ධොරය්හ බැවින් ම සිහි ඇති ව මනා නුවණැති ව නොපෙළෙමින් ඉවසයි.
ඉක්බිති අන් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ප්‍රීතිවාක්‍යය පහළ කළේ ය:
භවත්නි, ශ්‍රමණ ගෞතම තෙමේ ඒකාන්තයෙන් දාන්තයෙකි. දුක් වූ දැඩි වූ කැකුළු වූ කටුක වූ නොමිහිරි වූ අමනාප වූ උපන් ශාරීරික වේදනාවන් දාන්ත බැවින් ම සිහි ඇති ව මනා නුවණැති ව නොපෙළෙමින් ඉවසයි.
ඉක්බිති අන් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ප්‍රීතිවාක්‍යය පහළ කළේ ය:
බල, සමාධි මොනවට වඩන ලදී. සිත ද සුවිමුක්ත ය. (රාගනුගත වශයෙන්) පෙරට නැමුනේ නො ද වෙයි. (දෝෂානුගතවශයෙන්) විමුඛ ව නැමුනේ නො ද වෙයි. (අල්පගුණසාස්‍රව සමාධිය සෙයින්) සප්‍රයෝගචිත්තයෙන් ප්‍රත්‍යනීකධර්‍මයන් නිගෙන කෙලෙස් වළහා සිටියේ ද නො වෙයි. යමෙක් මෙබඳු පුරුෂනාගයකු පුරුෂසිංහයෙකු පුරුෂාජානීයකු පුරුනිෂභයකු පුරුෂධෞරෙයකු, පුරුෂදාන්තයකු ඝැටියයුතු කොට ගඟනේ නම් නුනුවණ හැර අන් කිමෙක.
වේද පස දරණ සියක් වසක් මුළුල්ලෙහි තපස් ඇති ව හැසිරෙන බ්‍රාහ්මණයෝ වෙත් ද, ඔවුන්ගේ සිත ද මැනවින් නො මිදුනේ ය. ලාමක ස්වභාව ඇති ඔහු පරතෙරට නො යන්නෝ ය.
තෘෂ්ණායෙන් මඩනා ලද වුත ශීල දෙකින් බැඳුනු සියක් වසක් මුළුල්ලෙහි රූක්‍ෂ තපස් කරණ (යම් බමුණෝ වෙත් ද,) ඔවුන්ගේ සිත ද මැනවින් නො මිදුනේ ය. හීනාත්මස්වභාවය ඇති ඔහු පරතෙරට නො යන්නෝ ය.
මෙහි මානය කැමැත්තහුට දමයෙක් නැත. සමාධියක් නැත්තහුට මෞනයෙක් නැත. වනයෙහි හුදෙකලා ව ප්‍රමත්ත ව වසන්නේ සසර පරතෙරට හෙවත් නිවණට නො පැමිණෙන්නේ ය.
[භගවත්හු:]
මානය දූර ලා මැනවින් එකඟ වූ සිත් ඇති සියලු උපධීන්ගෙන් මිදුනු අප්‍රමත්ත ව හුදෙකලා ව වෙනෙහි වෙසෙන හෙ තෙමේ සසර පරතෙරට පැමිණෙන්නේ ය.
1. 4. 9.
පජඡුන්නධීතු සූත්‍රය.
39. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ විසල්පුර සමීපයෙහි වූ මහවෙනෙහි කූටාගාරශාලාවෙහි වැඩ වසන සේක. එකල්හි පර්ජන්‍ය (=වස්සවලාහක) දෙවිහුගේ දුව වූ මනා ඡවිවර්‍ණ ඇති කොකනදා තොමෝ මුළු මහවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියා ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියා ය. එකත්පසෙක සිටි පර්ජන්‍යයාගේ දුව වූ කොකනදා තොමෝ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාවන් කිවු ය:
මම කොකනදා වෙමි. පර්ජන්‍යයාගේ දුව වූ කොකනදා (නම් වූ මම) විසල්පුර මහවනෙහි වැඩ වසන සත්ත්‍වයාට අග්‍ර වූ සර්‍වඥයන් වහන්සේ සකසා වඳිමි.
පසැස් ඇත්තා වූ බුදුරජාණන් වහන්සේ විසින් ධර්‍මය අවබෝධ කරණ ලද්දේ ය යි මාවිසින් පෙර අසන ලද පමණෙක් ම විය. ඒ මම දැන් දහම් දෙසන සුගත් මුනිහුගේ ධර්‍මය ප්‍රත්‍යක්‍ෂ ලෙස දනිමි.
නුවණ නැත්තා වූ යම් කිසි කෙනෙක් ආර්‍ය්‍යධර්‍මය ගරහමින් හැසිරෙද්ද, ඔහු දරුණු වූ රෞරව නිරයට පැමිණෙත්. බොහෝ කලක් දුක් අනුභව කෙරෙත්.
යම් කෙනෙක් ආර්‍ය්‍යධර්‍මයෙහි ක්‍ෂාන්තියෙන් හා ව්‍යුපශමයෙන් යුක්ත වූවාහු ද, (ඔහු) මිනිස්සිරුර හැර පියා දෙව්පිරිස පුරා ලන්නාහ.
1. 4. 10.
චුල්ලපජජුන්තධිතු සූත්‍රය.
40. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ විසල්පුර සමීපයෙහි වූ මහවෙනෙහි කූටාගාරශාලාවෙහි වැඩ වසන සේක. එකල පර්ජන්‍යයාගේ දුව වූ මනා ඡවිවර්‍ණ ඇති චුල්ලකොකනදා තොමෝ රෑ පෙරයම ඉක්ම ගිය කල්හි මුළු මහවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියා ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියා ය. එකත්පසෙක සිටි පර්ජන්‍යයාගේ දුව වූ චුල්ලකොකනදා තොමෝ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථා කිවු ය:
පර්ජන්‍ය ගේ දුව වූ විදුලිය එළිය වැනි පැහැ ඇති කොකනදා තොමෝ මෙහි අවු ය. බුදුන් ද දහම් ද වඳිමින් අර්‍ත්‍ථවත් වූ මේ ගාථා ද කිවු ය.
ඒ (ස්වල්පවූ ද) ධර්‍මය බොහෝ ක්‍රමයෙනුදු බෙදන්නෙමි. ඒ ධර්‍මය එබඳු ය. මවිසින් සිතින් යම් තාක් පුහුණු කරණ ලද්ද්දේ ද, (ඒ හැම නො කියා) සංක්‍ෂේපමාත්‍රයක් කියන්නෙමි.
වචනයෙන් හෝ සිතින් හෝ කයින් හෝ මුළුලොව කිසි පවක් නො කරන්නේ ය. සිහි ඇත්තේ මනානුවණින් දන්නේ කාමයන් හැරපියා අනර්‍ත්‍ථයෙන් යුක්ත වූ දුක නො සෙවුනේ යි.
සතුල්ලපකායිකවර්‍ගය සිවුවැනි යි.
එහි උදානය මෙසේ යි:
සබ්හි, මච්ඡරී, සාධු, නසන්ති, උජ්ඣානසඤ්ඤී, සද්ධා, සමය, සකලික, පජ්ජන්නධීතු සූත්‍ර දෙක යයි සූත්‍ර දශයෙකි.
5. ආදිත්ත වර්‍ගය
1. 5. 1.
ආදිත්ත සූත්‍රය
41. මා විසින් මෙසේ අසන ලදී: එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වසන සේක. එකල මනා ඡවිවර්‍ණ ඇති එක්තරා දෙවියෙක් රෑ පෙරයම ඉක්ම ගිය කල්හි මුළු දෙව්රම බබුළුවා භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියේ ය. එකත්පසෙක සිටි ඒ දෙවි තෙමේ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථා කී ය:
ගෙය ගිනිගත් කල (ගෙහිමියා) යම් භාජනයක් බැහැර කෙරේ ද, එය ඔහුට ප්‍රයෝජනය පිණිස වෙයි. යමක් එහි දැවේ ද, එය (ප්‍රයෝජනය පිණිස) නො වේ.
මෙසේ ලෝවැසි තෙමේ ජරායෙන් හා මරණයෙන් ද ඇවිළ ගන්නා ලද්දේ ය. (එහෙයින්) දානයෙන් ම බැහැර කරන්නේ ය. දෙන ලද්ද මැනවින් බැහැර කරණ ලද්දේ වෙයි.
දෙනලද්ද සුවපල ඇත්තේ වේ. නො දෙන ලද්ද එසේ නො වේ. ඒ (නුදුන්) දෙය සොරු හැර ගණිත්. රජහු හෝ හැර ගණිත්. ගින්න හෝ දවයි. (තුබූ තැන ම හෝ) නැසෙයි. යලි නො නැසුනු භෝග සහිත ශරීරය මරණයෙන් හැර පියයි.
නුවණැත්තේ මේ කරුණ දැන අනුභව ද කරන්නේ ය. දීම ද කරන්නේ ය. ශක්තිපරිද්දෙන් දී අනුභව ද කොට අනින්‍දිත වූයේ ස්වර්‍ගස්ථාන යට පැමිණේ.
1. 5. 2.
කිංදද සූත්‍රය
[දෙවි:]
42. කුමක් දෙන්නේ බලය දෙන්නේ වේ ද? කුමක් දෙන්නේ වර්‍ණය දෙන්නේ වේ ද? කුමක් දෙන්නේ සැපය දෙන්නේ වේ ද? කුමක් දෙන්නේ ඇස් දෙන්නේ වේ ද? යමෙක් සියල්ල දෙන්නෙත් වේ ද, මා විසින් විචාරණ ලද්දෙහි එය වදාළ මැනවි.
[භගවත්හු:]
ආහාර දෙන්නේ බලය දෙන්නේ වේ. වස්ත්‍ර දෙන්නේ වර්‍ණය දෙන්නේ වේ. යාන දෙන්නේ සැප දෙන්නේ වේ. පහන් දෙන්නේ ඇස් දෙන්නේ වේ. යමෙක් අවාස දේ ද, හෙතෙමේ සියල්ල දෙන්නේත් වේ. යමෙක් ධර්‍මානුශාසන කෙරේ ද, හෙතෙමේ අමෘතය දෙන්නේත් වෙයි.
1. 5. 3.
අන්න සූත්‍රය
[දෙවි:]
43. දෙව්මිනිස් දෙකොටස වූවෝ ආහාරය ම පතත්. යම් හෙයෙකින් යමෙක් ආහාරය නො පතා නම්, හේ කවර නම් යකෙක් ද?
[භගවත්හු:]
යම් කෙනෙක් පහන් සිතින් සැදැහැයෙන් ඒ ආහාරය දෙද්ද, මෙලෙව්හි ද පරලෙව්හි ද ආහාරය ඔහු ම සෙවුනේ ය.
එහෙයින් මසුරුමල මැඩලන සුලු වූයේ මසුරුකම දුරු කොට දන් දෙන්නේ ය. පින් සත්ත්‍වයන්ට පරලොව පිහිට වේ.
1. 5. 4.
ඒකමූල සූත්‍රය.
[දෙවි:]
44. එක්මුලක් ඇති සළාවැටුම් දෙකක් ඇති මල තුණක් ඇති ප්‍රස්තර පසක් ඇති ආවර්‍ත දොළසක් ඇති අගාධ වූ සමුද්‍රය මහර්ෂි තෙමේ තරණය කළේ ය.
1. 5. 5.
අනෝම සූත්‍රය
[දෙවි:]
45. පිරිපුන් නම් ඇති සියුම් අරුත් දක්නාසුලු නුවණ දෙන කාමවස්තුන්හි නොඇලුනු සියල්ල දන්නා මනා නුවණ ඇති ආර්‍ය්‍යමාර්‍ගයෙහි ගියා වූ ඒ මහර්ෂිහු බලව.
1. 5. 6.
අච්ඡරා සූත්‍රය.
[දෙවි:]
46. අප්සරස් සමූහයා විසින් සුඝෝෂිත වූ පිශාචයන් වැනි ඒ අප්සරස් සමූහයා විසින් සෙවුනාලද මේ වනය මෝහන නමි. (එයින්) නික්ම යෑම කෙසේ වන්නේ ද?
[භගවත්හු:]
ඒ මාර්‍ගය උජුක නම් වේ. දිශාව අභයා නම් වේ. ධර්‍මචක්‍රයන් ගෙන් යුක්ත වූ ඒ රථය අකූජන නම් වේ.
හිරිඔතප් දෙක ඒ රථයේ වැතිර ගන්නා පුවරු (ඇඳි) යි. සිහිය ඒ රථයේ පිරිකරයි (සැරැසිල්ලයි.) විදර්‍ශනා සම්‍යග්දෘෂ්ටිය පෙරටු කොට යන ලෝකෝත්තර මාර්‍ග ධර්‍මය (එහි) රියැදුරා ය යි මම කියමි.
යම් ස්ත්‍රියකට හෝ පුරුෂයකුට හෝ මෙබඳු යානයෙක් වේ නම් හෙතෙමේ ඒකාන්තයෙන් මේ යානයෙන් නිවණ සමීපයෙහි ම වේ.
1. 5. 7.
වනරෝප සූත්‍රය
[දෙවි:]
47. කිනම් කෙනකුන්ට හැමකල්හි දහවලුත් රෑත් පින් වැඩේ ද? දහම්හි පිහිටි ශීලසම්පන්න වූ කිනම් ජනයෝ ස්වර්‍ගයට යෙත් ද?
[භගවත්හු:]
යම් ජන කෙනෙක් මල්පල උයන් වවන්නෝ වෙත් ද, පියවි වන වගා කොට දෙන්නෝ වෙත් ද, ඒ දඬු පාලම් කරවන්නෝ වෙත් ද, යම් කෙනෙක් පැන්හලුත් පැන් පොකුණුත් ආවාසත් දෙ ද් ද,
ඔවුන්ට හැමකල්හි දහවලුත් රෑත් පින් වැඩේ. දහම්හි පිහිටි ශීල සම්පන්න වූ ඒ ජනයෝ ස්වර්‍ගයට යෙත්.
1. 5. 8.
ජේතවන සූත්‍රය
[අනාථපිණ්ඩික දෙවි:]
48. භික්‍ෂු සමූහයා විසින් නිතර සෙවුනා ලද ධර්‍මරාජ වූ බුදුරජානන් වහන්සේ විසින් විසුම් ගන්නා ලද මේ ඒ ජේතවනය මට ප්‍රීති උපදවන්නේ ය.
[භගවත්හු:]
කර්‍මය ද, විද්‍යාව ද, සමාධි ධර්‍මය ද, උතුම් ජීවිතය වූ ශීලය ද යන මෙයින් සත්ත්‍වයෝ පිරිසිදු වෙත්. ගෝත්‍රයෙන් හෝ ධනයෙන් හෝ පිරිසිදු නො වෙත්.
එහෙයින් ම නුවණැති පුරුෂ තෙමේ තමාගේ අභිවෘද්ධිය දක්නේ නුවණින් දහම් රැස් කරන්නේ ය. මෙසේ ඒ ආර්‍ය්‍යමාර්‍ගයෙහි පිරිසිදු වෙයි.
ප්‍රඥාවෙන් ද, ශීලයෙන් ද, ව්‍යුපශමයෙන් ද, ශාරීපුත්‍රස්ථවිරයන් වහන්සේ ම (උතුම්හ) පරතෙරට (නිවණට) පැමිණි යම් මහණෙක් වේ නම්, මේ ශාරීපුත්‍රස්ථවිරයන් වහන්සේ ම උතුම් කොට ඇත්තේ වන්නේ ය යි.