Saṁyutta Nikāya

Connected Discourses

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-30 · 15083 segments

පෙන්වන කොටස් 4801-4900 න් 15083

මාතුගාම වර්‍ගය තෙවෙනි යි.
එහි උද්දානය:
මාතුගාම, කල්‍යාණි, ඒකපුත්ත, ඒකධිතු සූත්‍ර ද, සමණබ්‍රාහ්මණ සූත්‍ර තුණ ද, ඡවි, රජ්ජු, භික්ඛු සූත්‍ර දැ යි සූත්‍ර දශයෙකි.
4. සඞ්ඝභේද වර්‍ගය
5. 4. 1.
සඞ්ඝභේද සූත්‍රය
327. සැවැත්නුවර–
මහණෙනි, ලාභ සත්කාර කීර්තිප්‍රශංසා දරුණු ය ...
මහණෙනි, ලාභ සත්කාර කීර්තිප්‍රශංසායෙන් මැඩුණු ක්‍ෂය කොට ගන්නා ලද සිත් ඇති දෙව්දත් තෙමේ සඞ්ඝයා බින්දේ ය. මහණෙනි, ලාභසත්කාර කීර්තිප්‍රශංසා මෙසේ දරුණු ය ... උපන් ලාභසත්කාරකීර්තිප්‍රශංසා දුරු කරන්නෙමු ... මහණෙනි, මෙසේ තොප විසින් හික්මිය යුතු මැ යි.
5. 4. 2.
කුසලමූලසමුච්ඡේද සූත්‍රය
428. සැවැත්නුවර–
මහණෙනි, ලාභ සත්කාර කීර්තිප්‍රශංසා දරුණු ය ...
මහණෙනි, ලාභ-සත්කාරකීර්තිප්‍රශංසායෙන් මැඬුනු ගන්නා ලද සිත් ඇති දෙව්දත්ගේ කුසල්මුල් සහමුලින් සිඳීමට ගියේ ය. මහණෙනි, ලාභ-සත්කාරකීර්තිප්‍රශංසා මෙසේ දරුණු ය ... උපන් ලාභසත්කාරකීර්තිප්‍රශංසා දුරුකරන්නෙමු ... මහණෙනි, මෙසේ තොප විසින් හික්මිය යුතු මැ යි.
කුසලධම්මසමුච්ඡේද සූත්‍රය
429. සැවැත්නුවර–
මහණෙනි, ලාභසත්කාර කීර්තිප්‍රශංසා දරුණු ය ...
මහණෙනි, ලාභසත්කාරකීර්තිප්‍රශංසායෙන් මැඬුනු ගන්නා ලදසිත් ඇති දෙව්දත්ගේ කුසල්දහම් සහමුලින් ඡේදයට ගියේ ය. මහණෙනි, ලාභසත්කාරකීර්තිප්‍රශංසා මෙසේ දරුණු ය ... උපන් ලාභසත්කාරකීර්තිප්‍රශංසා දුරුකරන්නෙමු ... මහණෙනි, මෙසේ තොප විසින් හික්මිය යුතු මැ යි.
සුක්කධම්මසමුච්ඡේද සූත්‍රය
430. සැවැත්නුවර–
මහණෙනි, ලාභ සත්කාර කීර්තිප්‍රශංසා දරුණු ය ...
මහණෙනි, ලාභසත්කාර කීර්තිප්‍රශංසායෙන් මඬනා ලද නිශ්ශේෂයෙන් ගන්නා ලද සිත් ඇති දෙව්දත්ගේ ශෝභන ධර්‍මය සහමුලින් ඡේදයට ගියේ ය. මහණෙනි, ලාභ සත්කාර කීර්තිප්‍රශංසා මෙසේ දරුණු ය ... උපන්ලාභසත්කාරකීර්තිප්‍රශංසා දුරුකරන්නෙමු ... මහණෙනි, තොප විසින් හික්මිය යුතු මැ යි.
අත්තවධ සූත්‍රය
331. භාග්‍යවතුන් වහන්සේ එක්සමයෙක දෙව්දත් බැහැර ගිය නොබෝ කල්හි රජගහනුවර ගිජුකුළුපව්වෙහි වැඩ වසන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ දෙව්දත් ඇරබ භික්‍ෂූන් ඇමතූ සේක: මහණෙනි, තමාගේ ම විනාශය පිණිස දෙව්දත්හට ලාභ සත්කාර කීර්තිප්‍රශංසා පහළ විය. පිරිහීම පිණිස දෙව්දත්හට ලාභසත්කාර කීර්තිප්‍රශංසා පහළ විය.
මහණෙනි, යම්සේ කෙසෙල්ගස තමන් නැසීම පිණිස පල දේ ද, විනාශය පිණිස පල දේ ද, මහණෙනි, එසෙයින් ම තමන් නැසීම පිණිස දෙව්දත්හට ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා පහළ විය. විනාශය පිණිස දෙව්දත්හට ලාභ සත්කාර කීර්තිප්‍රශංසා පහළ විය.
මහණෙනි, යම් සේ හුණගස තමන් නැසීම පිණිස පල දේ ද, විනාශය පිණිස පල දේ ද, මහණෙනි, එසෙයින් ම තමන් නැසීම පිණිස දෙව්දත්හට ලාභ සත්කාර කීර්තිප්‍රශංසා පහළ විය. විනාශය පිණිස දෙව්දත්හට ලාභ සත්කාර කීර්තිප්‍රශංසා පහළ විය.
මහණෙනි, යම් සේ බටගස තමන් නැසීම පිණිස පල දේ ද, විනාශය පිණිස පල දේ ද, මහණෙ, එසෙයින් ම තමන් නැසීම පිණිස දෙව්දත්හට ලාභ සත්කාර කීර්තිප්‍රශංසා පහළ විය. විනාශය පිණිස දෙව්දත්හට ලාභ සත්කාර කීර්තිප්‍රශංසා පහළ විය.
මහණෙනි, යම් සේ අශ්වතරිය (වෙළඹකුස කොටළුවකුට දාව උපන්නී) තමන් නැසීම පිණිස ගැබ් ගණී ද, විනාශය පිණිස ගැප් ගණී ද, මහණෙනි, එසෙයින් ම තමන් නැසීම පිණිස දෙව්දත්හට ලාභ සත්කාර කීර්තිප්‍රශංසා පහළ විය. විනාශය පිණිස දෙව්දත්හට ලාභ සත්කාර කීර්තිප්‍රශංසා පහළ විය.
මහණෙනි, ලාභ සත්කාර කීර්තිප්‍රශංසා මෙසේ දරුණු ය ... උපන් ලාභ සත්කාර කීර්තිප්‍රශංසා දුරුකරන්නෙමු ... මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතු මැ යි. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක. සුගත වූ ශාස්තෲන් වහන්සේ මෙය වදාරා වැළි මෙය ද වදාළ සේක:
ඵලය ඒකාන්තයෙන් කෙසෙල්ගස නසයි. ඵලය හුණගස (නසයි). ඵලය බටගස (නසයි). ගැබ අශ්වතරිය (නසයි). එමෙන් සත්කාරය නින්‍දිතපුරුෂයා නස යි.
5. 4. 6.
පඤ්චරථසත සූත්‍රය
332. එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර කලන්‍දකනිවාප නම් වූ වේළුවනාරාමයෙහි වැඩ වසන සේක. එකල්හි අජාසත් කුමර තෙමේ රිය පන්සියකින් උදය සවස දෙව්දත්හට උවටැනට යෙයි. මුළුබත් පන්සියක්වූ බත ද එළවනු ලැබේ. එකල්හි බොහෝ මහණහු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එක්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළහ. “වහන්ස, අජාසත් කුමර තෙමේ රිය පන්සියකින් උදය සවස දෙව්දත්හට උවටැනට යෙයි. තලි පන්සියක බත ද එළවනු ලැබේ” යි.
මහණෙනි, දෙව්දත්ගේ ලාභ සත්කාර කීර්තිප්‍රශංසා කැමති නො වවු. මහණෙනි, යම් තාක් අජාසත් කුමර තෙමේ රිය පන්සියකින් උදය හවස දෙව්දත්හට උවටැනට යන්නේ ද, තලි පන්සියක බතත් එළවනු ලබන්නේ ද, මහණෙනි, (ඒතාක්) දෙව්දත්ගේ කුසල් දහම්හි පිරිහීම ම කැමති විය යුතු යි. වැඩීම නො කැමති විය යුතු යි.
මහණෙනි, යම් සේ සැඩ බල්ලකුගේ නැහැයෙහි (නැහැසිදුරෙහි) පිත (වලස් හෝ සැඩමසු පිත) බිඳින්නාහු (සුණුකොට බහන්නාහු) ද, මහණෙනි, මෙයින් ඒ බල්ලා අතිශයින් ම සැඩ වන්නේ ය. මහණෙනි, එසෙයින් ම අජාසත් කුමාර තෙමේ රිය පන්සියකින් උදේ සවස දෙව්දත්හට උවටැනට යම් තාක් යන්නේ ද, තලිපන්සියක බතත් එළවනු ලබන්නේ ද, මහණෙනි එයින් දෙව්දත්හුගේ කුසල් දහම් පිරිහීම කැමති විය යුතු. වැඩීම නො කැමති විය යුතු.
මහණෙනි, ලාභසත්කාර කීර්ති ප්‍රශංසා මෙසේ දරුණු ය ... උපන් ලාභසත්කාර කීර්තිප්‍රශංසා දුරුකරන්නෙමු ... මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතු මැ යි.
5. 4. 7.
මාතු සූත්‍රය
333. සැවැත්නුවර–
මහණෙනි, ලාභසත්කාර කීර්තිප්‍රශංසා දරුණු ය තියුණු ය රළු ය. අනුත්තර අර්‍හත්ත්‍වාවබෝධයට අන්තරායකර ය. මහණෙනි, මෙහි මම ඇතැම් පුඟුලකු “මේ ආයුෂ්මත් තෙමේ මව හේතු කොට ගෙණ ද දැන දැන මුසා නො බණන්නේ ය”යි මෙසේ සිතින් සිත පිරිසිඳ දනිමි. පසුකලෙක ලාභ සත්කාර කීර්තිප්‍රශංසායෙන් මඩනා ලද ගන්නා ලද සිත් ඇති, දැන දැන මුසා බණන ඔහු දකිමි.
මහණෙනි, ලාභසත්කාර කීර්තිප්‍රශංසා මෙසේ දරුණු ය, තියුණු ය, රළු ය, අනුත්තර අර්‍හත්ත්‍වාවබෝධයට අන්තරායකර ය.
මහණෙනි, එහෙයින් මෙහි මෙසේ හික්මිය යුතු: “උපන් ලාභසත්කාර කීර්තිප්‍රශංසා දුරු කරන්නෙමු. උපන් ලාභ සත්කාර කීර්තිප්‍රශංසා අපගේ සිත සිඳ ගෙණ නො ම සිටිනේ ය” යි. මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතු මැ යි.
5. 4. 8-13.
පිතුසූත්‍රාදිෂට්කය
334-339 සැවැත්නුවර–
මහණෙනි, ලාභ සත්කාර කීර්තිප්‍රශංසා දරුණු ය, තියුණු ය, රළු ය, අනුත්තර අර්‍හත්ත්‍වාවබෝධයට අන්තරායකර ය. මහණෙනි, මෙහි මම ඇතැම් පුඟුලකු “මේ ආයුෂ්මත් තෙමේ
පියා හේතු කොට ද (අට වැන්න)
බෑයා හේතු කොට ද ... (නවවැන්න)
බුහුන හේතු කොට ද ... (දසවැන්න)
පුතා හේතු කොට ද ... (එකොළොස්වැන්න)
දුව හේතු කොට ද ... දොළොස්වැන්න)
බිරිය හේතු කොට ද දැන දැන මුසා නො බණන්නේ ය” යි මෙසේ සිතින් සිත පිරිසිඳ දනිමි. පසු කලෙක ලාභ සත්කාර කීර්තිප්‍රශංසායෙන් මඬනා ලද ගන්නා ලද සිත් ඇති දැන දැන මුසා බණන ඒ මොහු දකිමි.
මහණෙනි, ලාභ සත්කාර කීර්තිප්‍රශංසා මෙසේ දරුණු ය, තියුණු ය, රළු ය, අනුත්තර අර්‍හත්ත්‍වාවබෝධයට අන්තරාකාර ය.
මහණෙනි, එහෙයින් මෙහි මෙසේ හික්මිය යුතු: “උපන් ලාභසත්කාර කීර්තිප්‍රශංසා දුරු කරන්නෙමු. උපන් ලාභ සත්කාර කීර්තිප්‍රශංසා අපගේ සිත ක්‍ෂය කොට නො ම සිටින්නේ ය” යි. මහණෙනි, මෙසේ තොප විසින් හික්මිය යුතු මැ යි. (තෙළෙස් වැන්න.)
සඞ්ඝභේදවර්‍ගය සිවුවැනි යි.
එහි උද්දානය:
හින්දි, මූල, සුක්ක, ධම්ම,පක්කන්ත, රථ, මාතු, පීතු, භාතු, භගිනී, පුත්ත, ධීතු, පජාපති යි සූත්‍ර තෙළෙසකි යි.
ලාභසක්කාර සංයුත්තය නිමියේ ය.
6. රාහුල සංයුත්තය
1. ප්‍රථම වර්‍ගය
6. 1. 1.
චක්ඛුආදි සූත්‍රය
340. මා විසින් මෙසේ අසන ලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වසන සේක.
එකල්හි ආයුෂ්මත් රාහුල තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් ආයුෂ්මත් රාහුල තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළේය: “වහන්ස, මම භාග්‍යවතුන් වහන්සේගේ යම් දහමක් අසා එකලා ව ගණයා කෙරෙන් වෙන් ව ස්මෘතියෙන් තොර නොවී කෙලෙස් තවන වැර ඇති ව නිවන් පිණිස මෙහෙයූ සිත් ඇති ව වෙසෙන්නෙම් නම් භාග්‍යවතුන් වහන්සේ (එබඳු) දහමක් මට සැකෙවින් දේශනා කරන සේක්වා, මැනවි”යි.
රාහුල, ඒ කිමැයි හගිහි ද, ඇස නිත්‍ය ද අනිත්‍ය ද? ‘වහන්ස, අනිත්‍ය ය.’ යමක් අනිත්‍ය නම් එය දුක් ද සැප ද? ‘වහන්ස, දුක් ය. යමක් අනිත්‍ය නම් දුක් නම් පෙරළෙන සුලු නම් එය ‘මෙය මාගේ ය. මේ මම වෙමි, මේ මගේ ආත්මය’ යි දකිනට සුදුසු ද? ‘වහන්ස, සුදුසු නො වේ ම ය.’
කණ නිත්‍ය ද, අනිත්‍ය ද? ‘වහන්ස, අනිත්‍ය ය’ ... නැහැය නිත්‍ය ද, අනිත්‍ය ද? ‘වහන්ස, අනිත්‍ය ය’ ... දිව අනිත්‍ය ද, නිත්‍ය ද? ‘වහන්ස, අනිත්‍ය ය.’ ... කය නිත්‍ය ද, අනිත්‍ය ද? ‘වහන්ස, අනිත්‍ය ය’ ... සිත නිත්‍ය ද, අනිත්‍ය ද? ‘වහන්ස, අනිත්‍ය ය’ . යමක් අනිත්‍ය නම් එය දුක් ද, සැප ද? ‘වහන්ස, දුක් ය.’ යමක් අනිත්‍ය නම් දුක් නම් පෙරළෙන සුලු නම් එය ‘මෙය මගේ ය’ මේ මම වෙමි, මේ මගේ ආත්මය’ යි දක්නට සුදුසු ද? ‘වහන්ස, සුදුසු නො වේ ම ය.’
රාහුල, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ ඇසෙහි ද කළ කිරෙයි. කණෙහි ද කලකිරෙයි. නැහැයෙහි ද කළ කිරෙයි, දිවෙහි ද කළ කිරෙයි. කයෙහි ද කළ කිරෙයි. සිතෙහි ද කළ කිරෙයි. කළකිරෙන්නේ නො ඇලෙයි. නො ඇලෙන්නේ මිදෙයි. මිදුනු කල්හි මිදුනේ ය යි දැනීම වෙයි. “ජාතිය ක්‍ෂය වූවා ය. බඹසර වැස නිමවන ලදි. සිටුමග කිස කරණ ලදී. මේ බැව් පිණිස අනෙකක් නැතැ” යි දැන ගණි යි.
[පෙය්‍යාලනයින් සූත්‍රාන්ත දශය සංක්‍ෂේප කට යුතු යි.]
6. 1. 2.
රූපාදි සූත්‍රය
341. සැවැත්නුවර–
රාහුල, ඒ කිමැයි හගිහි ද, රූප (ආරම්මණ) යෝ නිත්‍ය ද, අනිත්‍ය ද? ‘වහන්ස, අනිත්‍යයහ.’ ශබ්දයෝ ... ගන්‍ධයෝ ... රසයෝ ... ස්ප්‍රෂ්ටව්‍යයෝ ... ධර්‍මයෝ නිත්‍ය ද අනිත්‍ය ද? ‘වහන්ස, අනිත්‍යයහ.’
රාහුල, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ රූපයන්හිත් කළ කිරෙයි, ශබ්දයන්හිත් කලකිරෙයි, ගන්‍ධයන්හිත් කලකිරෙයි, රසයන්හිත් කලකිරෙයි, ස්ප්‍රෂ්ටව්‍යයන්හිත් කලකිරෙයි, ධර්‍මයන්හිත් කලකිරෙයි. කළකිරෙන්නේ නො ඇලෙයි ... මේ බැව් පිණිස අනෙකක් නැතැ” යි දැන ගණි යි.
6. 1. 3.
විඤ්ඤාණ සූත්‍රය
342. සැවැත්නුවර–
රාහුල, ඒ කිමැයි හගිහි ද? චක්ඛුවිඤ්ඤාණය නිත්‍ය ද, අනිත්‍ය ද? ‘වහන්ස, අනිත්‍ය ය’ ... සෝතවිඤ්ඤාණය ... ඝාණවිඤ්ඤාණය ... ජිව්හාවිඤ්ඤාණය ... කායවිඤ්ඤාණය ... මනෝවිඤ්ඤාණය නිත්‍ය ද, අනිත්‍ය ද? ‘වහන්ස, අනිත්‍ය ය.’ ...
රාහුල, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ චක්ඛුවිඤ්ඤාණයෙහි ද කලකිරෙයි, සෝතවිඤ්ඤාණයෙහි ද කලකිරෙයි. ඝාණවිඤ්ඤාණයෙහි ද කලකිරෙයි. ජිව්හාවිඤ්ඤාණයෙහි ද කළ කිරෙයි. කායවිඤ්ඤාණයෙහි ද කලකිරෙයි. මනෝවිඤ්ඤාණයෙහි ද කළ කිරෙයි. කළකිරෙන්නේ නො ඇලෙයි ... මේ බැව් පිණිස අනෙකක් නැතැ යි දැන ගණි යි.
සම්ඵස්ස සූත්‍රය
343. සැවැත්නුවර–
රාහුල, ඒ කිමැයි හගිහි ද? චක්ඛුසම්ඵස්ස ය නිත්‍ය ද, අනිත්‍ය ද? ‘වහන්ස, අනිත්‍ය ය’ ... සෝතසම්ඵස්ස ය ... ඝාණසම්ඵස්ස ය ... ජිව්හාසම්ඵස්ස ය ... කායසම්ඵස්ස ය ... මනෝසම්ඵස්ස ය නිත්‍ය ද, අනිත්‍ය ද? ‘වහන්ස, අනිත්‍ය ය …
රාහුල, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ චක්ඛුසම්ඵස්සයෙහිත් කළ කිරෙයි. සෝතසම්ඵස්සයෙහිත් කලකිරෙයි. ඝාණසම්ඵස්සයෙහිත් කලකිරෙයි, ජිව්හාසම්ඵස්සයෙහිත් කලකිරෙයි, කායසම්ඵස්සයෙහිත් කලකිරෙයි, මනෝසම්ඵස්සයෙහිත් කලකිරෙයි. කළකිරෙන්නේ නො ඇලෙයි ... මේ බැව් පිණිස අනෙකක් නැතැ යි දැන ගණි යි.
6. 1. 5.
වේදනා සූත්‍රය
344. සැවැත්නුවර–
රාහුල, ඒ කිමැයි හගිහි ද? චක්ඛුසම්ඵස්සයෙන් හටගත් වේදනාව නිත්‍ය ද, අනිත්‍ය ද? ‘වහන්ස, අනිත්‍ය ය.’ සෝතසම්ඵස්සයෙන් හටගත් වේදනාව ... ඝානසම්ඵස්සයෙන් හටගත් වේදනාව ... ජිව්හාසම්ඵස්සයෙන් හටගත් වේදනාව ... කායසම්ඵස්සයෙන් හටගත් වේදනාව ... මනෝසම්ඵස්සයෙන් හටගත් වේදනාව නිත්‍ය ද, අනිත්‍ය ද? ‘වහන්ස, අනිත්‍ය ය’ ...
රාහුල, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ චක්ඛුසම්ඵස්සයෙන් හටගත් වේදනාවෙහිත් කලකිරෙයි. සෝතසම්ඵස්සයෙන් හටගත් ... ඝානසම්ඵස්සයෙන් හටගත් ... ජිව්හාසම්ඵස්සයෙන් හටගත් ... කායසම්ඵස්සයෙන් හටගත් ... මනෝසම්ඵස්සයෙන් හටගත් වේදනාවෙහිත් කලකිරෙයි. මේ බැව් පිණිස අනෙකක් නැතැයි දැන ගණි යි.
6. 1. 6.
සඤ්ඤා සූත්‍රය
345. සැවැත්නුවර–
රාහුල, ඒ කිමැයි හගිහි ද? රුපසඤ්ඤාව නිත්‍ය ද, අනිත්‍ය ද? ‘වහන්ස, අනිත්‍ය ය.’ ... සද්දසඤ්ඤාව ... ගන්‍ධසඤ්ඤාව ... රසසඤ්ඤාව ... ඵොට්ඨබ්බසඤ්ඤාව ... ධම්මසඤ්ඤාව නිත්‍ය ද අනිත්‍ය ද? ‘වහන්ස, අනිත්‍ය ය.’
රාහුල, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ රුපසඤ්ඤායෙහිත් කලකිරෙයි. සද්දසඤ්ඤායෙහිත් කලකිරෙයි. ගන්‍ධසඤ්ඤායෙහිත් කලකිරෙයි. රසසඤ්ඤායෙහිත් කලකිරෙයි. ඵොට්ඨබ්බසඤ්ඤායෙහිත් කළ කිරෙයි, ධම්මසඤ්ඤායෙහිත් කළ කිරෙයි. ... මේ බැව් පිණිස අනෙකක් නැතැ යි දැන ගණි යි.
සඤ්චේතනා සූත්‍රය
346. සැවැත්නුවර–
රාහුල, ඒ කිමැයි හගිහි ද? රූපසඤ්චේතනාව නිත්‍ය ද අනිත්‍ය ද? ‘වහන්ස, අනිත්‍ය ය.’ ... සද්දසඤ්චේතනාව ... ගන්‍ධසඤ්චේතනාව ... රසසඤ්චේතනාව ... ඵොට්ඨබ්බසඤ්චේතනාව ... ධර්‍මසඤ්චේතනාව නිත්‍ය ද අනිත්‍ය ද? ‘වහන්ස, අනිත්‍ය ය.’ ...