දාරුණවර්‍ගය පළමුවැනි යි.
එහි උද්දානය:
දාරුණ, බළිස, කුම්ම, දීඝලෝමි, මීළ්හක, අසනි, දිද්ධ, සිඟාල, වේරම්බ, සගාථක යි සූත්‍ර දශයෙකි යි.
2. පාති වර්‍ගය
5. 2. 1.
සුවණ්ණපාති සූත්‍රය
307. සැවැත්නුවර–
මහණෙනි, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා දරුණු ය …
මහණෙනි, මම මෙහි ඇතැම් පුඟුලකු “මේ ආයුෂ්මත් තෙමේ රිදී සුණු පිරුණු රන්තලියක් හේතු කොට ද දැන දැන මුසා නොම බණන්නේ ය” යි මෙසේ සිතින් සිත පිරිසිඳ දනිමි. පසු කලෙක ලාභසත්කාර කීර්ති ප්‍රශංසායෙන් මඩනා ලද ක්‍ෂය කොට ගන්නා ලද සිත් ඇතිව දැන දැන මුසා බණන ඒ පුඟුල් දකිමි.
මහණෙනි, ලාභ සත්කාර කීර්තිප්‍රශංසා මෙසේ දරුණු ය. ... උපන් ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා දුරු කරන්නෙමු ... මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතු මැ යි.
5. 2. 2.
රුපියපාති සූත්‍රය
308. සැවැත්නුවර–
මහණෙනි, ලාභ සත්කාර කීර්තිප්‍රශංසා දරුණු ය …
මහණෙනි, මම මෙහි ඇතැම් පුඟුලකු “මේ ආයුෂ්මත් තෙමේ රන්සුණු පිරුණු රීදීතලියක් හේතු කොට ද දැන දැන මුසා නො ම බණන්නේ ය” යි මෙසේ සිතින් සිත පිරිසිඳ දනිමි. පසු කලෙක ලාභ සත්කාර කීර්ති ප්‍රශංසායෙන් මඩනා ලද ගන්නා ලද සිත් ඇතිව දැන දැන මුසා බණන ඒ පුඟුල් දකිමි.
මහණෙනි, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා මෙසේ දරුණු ය ... උපන් ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා දුරු කරන්නෙමු ... මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතු මැ යි.
5. 2. 3-10.
සුවණ්ණනික්ඛ සුත්‍රාදි අෂ්ටකය සූත්‍රය
309-316. සැවැත්නුවර–
මහණෙනි, ලාභසත්කාර කීර්ති ප්‍රශංසා දරුණු ය. …
මහණෙනි, මෙහි මම ඇතැම් පුඟුලෙකු “මේ ආයුෂ්මත් තෙමේ
රන්නිකක් හේතු කොට ද ... (තෙවැන්න)
රන්නික සියක් හේතු කොට ද ... (සිවුවැන්න)
සිඟුරන්නිකක් හේතු කොට ද ... (පස්වැන්න)
සිඟුරන්නික සියක් හේතු කොට ද ... (සවැන්න)
රනින් පිරුණු පොළොව හේතු කොට ද ... (සත්වැන්න)
කිසියම් ආමිසයක් හේතු කොට ද ... (අටවැන්න)
ජීවිතය හේතු කොට ද ... (නවවැන්න)
ජනපද කල්‍යාණිය හේතු කොට ද,, දැන දැන මුසා නො ම බණන්නේ ය යි මෙසේ සිතින් සිත පිරිසිඳ දනිමි. පසු කලෙක ලාභ සත්කාර කීර්ති ප්‍රශංසායෙන් මඩනා ලද ගන්නා ලද සිත් ඇතිව දැන දැන මුසා බණන ඒ මොහු දකිමි.
මහණෙනි, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා මෙසේ දරුණු ය ... උපන් ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා දුරු කරන්නෙමු ... මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතු මැ යි. (දසවැන්න)
පාතිවර්‍ගය දෙවෙනි යි.
එහි උද්දානය:
පාති සූත්‍ර දෙක ය, සුවණ්ණ සූත්‍ර දෙක ය, අනෙක් සිඞ්ගී නමින් සූත්‍ර දෙකක, පඨවි, කිඤ්චික්ඛ, ජීවිත, ජනපදකල්‍යාණි සූත්‍ර ය යි සූත්‍ර දශයෙකි.
3. මාතු වර්‍ගය
5. 3. 1.
මාතුගාම සූත්‍රය
317. සැවැත්නුවර–
මහණෙනි, ලාභ සත්කාර කීර්තිප්‍රශංසා දරුණු ය. ...
මහණෙනි, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා යමකුගේ සිත (යම්සේ) ක්‍ෂය කොට සිටී ද, එකලා වූ මාගමක් එකලා වූ ඔහුගේ සිත (ඒ ධර්‍මයෙන් ද) එසේ ක්‍ෂය කොට නො සිටී.
මහණෙනි, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා මෙසේ දරුණු ය. ... උපන් ලාභසත්කාර කීර්තිප්‍රශංසා දුරු කරන්නෙමු. ... මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතු මැ යි.
5. 3. 2.
ජනපද කල්‍යාණී සූත්‍රය
318. සැවැත්නුවර–
මහණෙනි, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා දරුණු ය. ...
මහණෙනි, ලාභසත්කාර කීර්ති ප්‍රශංසා යමකුගේ සිත යම්සේ ක්‍ෂයකොට ගෙණ සිටී ද, එකලා වූ ඔහුගේ සිත එකලා වූ ද ජනපද කල්‍යාණී (ජනපදයෙහි රූසපුවෙන් උතුම් ස්ත්‍රී) තොමෝ එසේ ක්‍ෂය කොට ගෙණ නො සිටී.
මහණෙනි, ලාභ සත්කාර කීර්තිප්‍රශංසා මෙසේ දරුණු ය ... උපන් ලාභසත්කාර කීර්තිප්‍රශංසා දුරු කරන්නෙමු ... මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතු මැ යි.
5. 3. 3.
ඒකපුත්ත සූත්‍රය
319. සැවැත්නුවර–
මහණෙනි, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා දරුණු ය ...
මහණෙනි, සැදැහැති (සෝවන්) උපාසිකාවක් ප්‍රිය මනාප වූ එක් පුතකු මැනැවින් යදින්නී “පුත චිත්ත ගැහැවි තෙමේත් හත්‍ථක ආළවක තෙමේත් යම් බඳු නම් එබඳු වෙව”යි මෙසේ යදින්නී ය.
මහණෙනි, යම් ඒ චිත්ත ගැහැවිත් හත්‍ථක ආළවකත් වෙත් නම් මා සවු උවසුන්ට මෝ තුලාව ය. මේ ප්‍රමාණ ය.
“දරුව, ඉදින් තෝ ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වෙහි නම්, දරුව, සැරියුත් - මුගලන් දෙනම යම් බඳු ද එබඳු වෙව” යි.
මහණෙනි, යම් මේ සැරියුත් - මුගලන් දෙනම වෙත් නම්, මා සවු මහණුන්ට මෝ තුලාව ය. මේ ප්‍රමාණ ය.
“දරුව, ශෛක්‍ෂ වූ නො පැමිණි රහත් බැව් ඇති තා කරා ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා නො පැමිණේ වා”.
මහණෙනි, ශෛක්‍ෂ වූ නො පැමිණි රහත් බැව් ඇති ඒ මහණහු කරා ලාභසත්කාර කීර්ති ප්‍රශංසා ඉදින් පැමිණේ නම්, ඒ ඔහුට අන්තරාය පිණිස වෙයි.
මහණෙනි, ලාභසත්කාර කීර්ති ප්‍රශංසා මෙසේ දරුණු ය ... උපන් ලාභ සත්කාර කීර්තිප්‍රශංසා දුරුකරන්නෙමු ... මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතු මැ යි.
5. 3. 4.
ඒකධීතු සූත්‍රය
320. සැවැත්නුවර–
මහණෙනි, ලාභසත්කාර කීර්ති ප්‍රශංසා දරුණු ය ...
මහණෙනි, සැදැහැති සෝවන් උපාසිකාවක් ප්‍රිය මනාප වූ එක ම දුවක් මැනැවින් අයදිනී “දියෙනියෙනි, ඛුජ්ජුත්තරා උවැසියත් වේළුකණ්ටකියා නන්‍ද මාතාවත් යම්බඳු නම් එබඳු වෙව”යි මෙසේ අයදිනී ය.
මහණෙනි, යම් මේ ඛුජ්ජුත්තරා උපාසිකාවත් වේළුකණ්ටකියා නන්‍ද මාතාවත් වෙත් නම්, මා සවු උවැසියන්ට මෝ තුලාව ය. මේ පමණ ය.
“දියනියෙනි, ඉදින් තී ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වෙහි නම්, ඛේමා මෙහෙණත් උප්පලවණ්ණාත් යම්බඳු ද එබඳු වෙව” යි.
මහණෙනි, යම් මේ ඛේමා මෙහෙණත් උප්පලවණ්ණාත් වෙද්ද, මා සවු මෙහෙණනට මෝ තුලාව ය. මේ පමණ ය.
“දියනියෙනි, ශෛක්‍ෂ වූ නො පැමිණි රහත් බැව් ඇති තී කරා ලාභ සත්කාර කීර්තිප්‍රශංසා නො පැමිණේවා”.
මහණෙනි, ශෛක්‍ෂ වූ නො පැමිණි රහත්බැව් ඇති ඒ මෙහෙණ කරා ලාභසත්කාර කීර්ති ප්‍රශංසා ඉදින් පැමිණේ නම්, ඒ ඇයට අන්තරාය පිණිස වෙයි.
මහණෙනි, ලාභ සත්කාර කීර්තිප්‍රශංසා මෙසේ දරුණු ය. ... උපන් ලාභසත්කාර කීර්ති ප්‍රශංසා දුරුකරන්නෙමු. ... මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතු ම යි.
5. 3. 5.
සමණබ්‍රාහ්මණ සූත්‍රය
321. සැවැත්නුවර–
මහණෙනි, යම්කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ ලාභසත්කාර කීර්ති ප්‍රශංසාවන්ගේ ආස්වාදයත් ආදීනවයත් නිස්සරණයත් තතු සේ නො දනිද්ද, මහණෙනි, ඒ මේ මහණෝ හෝ බමුණෝ හෝ මහණුන් කෙරෙහි හෝ මහණෝ ය යි සම්මත නො වෙති. බමුණන් කෙරෙහි හෝ බමුණෝ ය යි සම්මත නො වෙති. ඒ ආයුෂ්මත්හු මහණබැව්හි ඵලය හෝ බමුණු බැව්හි ඵලය හෝ දිටුදැමියෙහි ම තුමූ වෙසෙස් නැණින් දැන පසක් කොට සපයා නො ම වෙසෙති.
මහණෙනි, යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ ලාභසත්කාරකීර්ති ප්‍රශංසාවන්ගේ ආස්වාදයත් ආදීනවයත් නිස්සරණයත් තතු සේ දනිද් ද, මහණෙනි, ඒ මේ මහණෝ හෝ බමුණෝ හෝ මහණුන් කෙරෙහිත් මහණෝ ය යි සම්මත වෙති. බමුණන් කෙරෙහිත් බමුණෝ ය යි සම්මත වෙති. ඒ ඇවත්හු ද ශ්‍රමණ ඵලය ද බ්‍රාහ්මණ ඵලය ද දිටුදැමියෙහි ම තුමූ විශිෂ්ට ඥානයෙන් දැන පසක් කොට එළඹ වෙසෙති යි.
5. 3. 6.
දුතිය සමණබ්‍රාහ්මණ සූත්‍රය
322. සැවැත්නුවර–
මහණෙනි, යම්කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ ලාභසත්කාර කීර්ති ප්‍රශංසාවන්ගේ සමුදයත් අස්තගමයත් ආස්වාදයත් ආදීනවයත් නිඃශරණයත් තතු සේ නො දනිද්ද ... ඒ ආයුෂ්මත්හු ශ්‍රමණ ඵලයත් බ්‍රාහ්මණ ඵලයත් දිටුදැමියෙහි තුමූ විශිෂ්ටඥානයෙන් දැන පසක් කොට පැමිණ නො ම වෙසෙති.
මහණෙනි, යම්කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ ලාභසත්කාර කීර්ති ප්‍රශංසාවන්ගේ සමුදයත් අස්තගමයත් ආස්වාදයත් ආදීනවයත් නිඃශරණයත් තතු සේ දනිද්ද, ... ඒ ආයුෂ්මත්හු ශ්‍රමණ ඵලයත් බ්‍රාහ්මණ ඵලයත් දිටුදැමියෙහි තුමූ විශිෂ්ටඥානයෙන් දැන පසක් කොට පැමිණ වෙසෙති යි.
5. 3. 7.
තතිය සමණබ්‍රාහ්මණ සූත්‍රය
323. සැවැත්නුවර–
මහණෙනි, යම්කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ ලාභසත්කාර සිලෝක නො දනිත් ද, ලාභසත්කාර සිලෝක සමුදය නො දනිත් ද, ලාභ සක්කාර සිලෝක නිරෝධය නො දනිත් ද, ලාභ සක්කාර සිලෝක නිරෝධගාමිනීපටිපදාව නො දනිත් ද, ... යම්කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ … දනිද් ද ... ඒ ආවත්හු මහණදම්හි ඵලයත් බමුණුදම්හි ඵලයත් දිටුදැමියෙහි ම විශිෂ්ටඥානයෙන් තුමූ දැන පසක් කොට එළඹ වෙසෙති යි.
5. 3. 8.
ඡවි සූත්‍රය
324. සැවැත්නුවර–
මහණෙනි, ලාභසත්කාර කීර්තිප්‍රශංසා දරුණු ය. මහණෙනි, ලාභසත්කාර කීර්ති ප්‍රශංසා සිවිය සිඳියි. සිවිය සිඳ සම සිඳියි. සම සිඳ මස් සිඳියි. මස් සිඳ නහර සිඳියි. නහර සිඳ ඇට සිඳියි. ඇට සිඳ ඇටමිදුලු හැනගෙණ සිටියි.
මහණෙනි, ලාභසත්කාර කීර්තිප්‍රශංසා මෙසේ දරුණු ය ... උපන් ලාභසත්කාර කීර්ති ප්‍රශංසා දුරු කරන්නෙමු ... මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතු මැ යි.
5. 3. 9.
වාලරජ්ජු සූත්‍රය
325. සැවැත්නුවර–
මහණෙනි, ලාභසත්කාර කීර්ති ප්‍රශංසා දරුණු ය. මහණෙනි, ලාභසත්කාර කීර්තිප්‍රශංසා සිවිය සිඳියි. සිවිය සිඳ සම සිඳියි. සම සිඳ මස් සිඳියි. මස් සිඳ නහර සිඳියි. නහර සිඳ ඇට සිඳියි. ඇට සිඳ ඇටමිදුලු හැනගෙණ සිටියි.
මහණෙනි, යම් සේ බලවත් පුරුෂයෙක් දළ අස්කෙඳි රැහැණෙකින් කෙණ්ඩය වෙළා ගටන්නේ ද, එය සිවිය සිඳිනේ ය. සිවිය සිඳ සම සිඳිනේ ය. සම සිඳ මස් සිඳිනේ ය. මස් සිඳ නහර සිඳිනේ ය. නහර සිඳ ඇට සිඳිනේ ය. ඇට සිඳ ඇටමිදුලු හැනගෙණ සිටින්නේ ය. මහණෙනි, එසෙයින් ම ලාභසත්කාර කීර්ති ප්‍රශංසා සිවිය සිඳියි. සිවිය සිඳ සම සිඳියි. සම සිඳ මස් සිඳියි. මස් සිඳ නහර සිඳියි. නහර සිඳ ඇට සිඳියි. ඇට සිඳ ඇටමිදුලු හැනගෙණ සිටියි.
මහණෙනි, ලාභසත්කාර කීර්තිප්‍රශංසා මෙසේ දරුණු ය. ... උපන් ලාභ සත්කාර කීර්තිප්‍රශංසා දුරු කරන්නෙමු. ... මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතු මැ යි.
5. 3. 10.
ඛිණාසව භික්ඛු සූත්‍රය
326. සැවැත්නුවර–
මහණෙනි, අර්‍හත් වූ ක්‍ෂීණාස්‍රව වූ යම් ඒ මහණෙක් වේ නම්, ඔහුට ද ලාභසත්කාර කීර්තිප්‍රශංසා අන්තරාය පිණිස වේ ය යි මම කියමි.
මෙසේ වදාළ කල්හි ආයුෂ්මත් ආනන්‍ද තෙමේ භාග්‍යවතුන් වහන්සේට “වහන්ස, රහත් මහණහුට කුමක් සඳහා ලාභසත්කාර කීර්තිප්‍රශංසා අන්තරාය පිණිස වේ දැ”යි මෙය සැළකෙළේ ය.
ආනන්‍ද, ඔහුගේ යම් ඒ අකෝප්‍ය වූ චිත්තවිමුක්තියෙක් වේ ද, ලාභසත්කාර කීර්තිප්‍රශංසා එයට අන්තරාය පිණිස වේ ය යි මම නො කියමි. ආනන්‍ද, නො පමා ව කෙලෙස් තවන වැර ඇතිව නිවන් පිණිස මෙහෙයූ සිත් ඇති ව වසනහු විසින් ලබන ලද යම් දිටුදැමි පලසමවත් සුව විහරණයෝ වෙද්ද, ලාභසත්කාර කීර්තිප්‍රශංසා ඔවුනට අන්තරාය (බාධා) පිණිස වන්නේ ය යි මම කියමි.
ආනන්‍ද, ලාභසත්කාර කීර්තිප්‍රශංසා මෙසේ දරුණුය, තියුණු ය, රළු ය, නිරුත්තර වූ අර්‍හත්‍වාවබෝධයට අන්තරායකර ය. ආනන්‍ද, එසේ හෙයින් මෙහි මෙසේ හික්මිය යුතු යි: උපන් ලාභසත්කාර කීර්තිප්‍රශංසා දුරු කරන්නෙමු. උපන් ලාභසත්කාර කීර්තිප්‍රශංසා අපගේ සිත ක්‍ෂය කොට නො ම සිටුනේ ය යි. ආනන්‍ද, තොප විසින් මෙසේ හික්මිය යුතු මැ යි.