218. සැවැත්නුවර–
මහණෙනි, යම් සේ පුරුෂයෙක් මහපොළොවෙන් ඩෙබර ඇට සතක් පමණ වූ මැටි ගුළි ගෙණ තබන්නේ ද, මහණෙනි, ඒ කිමැයි හගිවූ ද, කිමෙක් ඉතා බොහෝ ද, ගෙණ තබන ලද ඩෙබර ඇට සතක් පමණ වූ යම් මැටිගුළි හෝ යම් මහපොළොව හෝ දැ යි?
වහන්ස, යම් මහපොළොව වේ ද, මෙය ම ඉතා බොහෝ ය. තබන ලද ඩෙබර ඇට සතක් පමණ වූ මැටි ගුළි ඉතා මඳ ය. මහපොළොව හා සැසඳීමෙහි දී තබන ලද ඩෙබර ඇට සතක් පමණ වූ මැටිගුළි සියවන කලාවටත් නො ම පැමිණේ. දහස්වන කලාවටත් නො ම පැමිණේ. සියදහස් වන කලාවටත් නො ම පැමිණෙයි. මහණෙනි, එසෙයින් ම … දහම් ඇස පිළිලැබීම මහදර්‍ත්‍ථයක් නිපදවන්නේ වේ යි.
1. 10. 6.
දෙවන පඨවි සූත්‍රය
219. සැවැත්නුවර–
මහණෙනි, යම් සේ ඩෙබර ඇට සතක් පමණ මැටිගුළි තිබිය දී මහපොළොව ක්‍ෂය වීමට අවසන් වීමට යන්නේ ද, මහණෙනි, ඒ කිමැයි හඟිවු ද, කිමෙක් ඉබොහෝ ද, මහපොළොවෙහි යම් ගෙවුනු අවසන් වූ කොටස හෝ ඉතිරි වූ ඩෙබර ඇට සතක් පමණ වූ යම් මැටිගුළි හෝ දැයි?
වහන්ස, මහපොළොවෙහි ගෙවුනු අවසන් වූ යම් කොටසෙක් වේ නම් මෙය ම ඉතා බොහෝ ය. ඉතිරි වූ ඩෙබර ඇට සතක් පමණ වූ මැටිගුළි ඉතා මඳ ය. මහාපොළොවෙහි ක්‍ෂය වූ අවසන් වූ කොටස හා සැසඳීමෙහි දී ඉතිරි වූ ඩෙබරඇට සතක් පමණ වූ මැටිගුළි සියවන කලාවටත් නො ම පැමිණේ. දහස්වන කලාවටත් නො ම පැමිණේ. සියදහස් වන කලාවටත් නො ම පැමිණේ. මහණෙනි, එසෙයින් ම ... දහම් ඇස පිළිලැබීම මහදර්‍ත්‍ථයක් නිපදවන්නේ වේ යි.
1. 10. 7.
සමුද්ද සූත්‍රය
220. සැවැත්නුවර–
මහණෙනි, යම් සේ පුරුෂයෙක් මහසමුදුරෙන් දියබිඳු දෙකක් හෝ තුනක් හෝ නගා ලන්නේ ද, මහණෙනි, ඒ කිමැයි හඟිවු ද, කිමෙක් ඉතා බොහෝ ද, නගන ලද යම් දියබිඳු දෙක හෝ තුන හෝ ද, මහසමුදුරෙහි යම් දිය හෝ දැයි?
වහන්ස, යම් මේ මහසමුදුරෙහි දිය වේ ද, මෙය ම ඉතා බොහෝ ය. නගන ලද දියබිඳු දෙක හෝ තුන හෝ ඉතා මඳ ය. මහසමුදුරෙහි දිය හා සැසඳීමෙහි දී නගන ලද දියබිඳු දෙක හෝ තුන හෝ සියවන කලාවටත් නො ම පැමිණේ. දහස්වන කලාවටත් නො ම පැමිණේ. සියදහස්වන කලාවටත් නො ම පැමිණේ. මහණෙනි, එසෙයින් ම … දහම් ඇස පිළිලැබීම මහදර්‍ත්‍ථයක් නිපදවන්නේ වේ යි.
1. 10. 8.
දෙවන සමුද්ද සූත්‍රය
221. සැවැත්නුවර–
මහණෙනි,යම් සේ දියබිඳු දෙකක් හෝ තුනක් තිබිය දි මහමුහුද ක්‍ෂය වීමට අවසන් වීමට යන්නේ ද, මහණෙනි, ඒ කිමැයි හඟිවු ද, කිමෙක් ඉතා වැඩි ද, මහමුහුදෙහි ක්‍ෂය වූ අවසන් වූ යම් දිය හෝ ඉතිරි වූ දෙකෙක් හෝ තුනෙක් හෝ වූ යම් දියබිදඳු හෝ දැ යි?
වහන්ස, මහමුහුදෙහි ක්‍ෂය වූ අවසන් වූ යම් මේ දියෙක් වේ ද, මෙය ම ඉතා වැඩි ය. ඉතිරි වූ දෙකෙක් හෝ තුනෙක් හෝ වූ දියබිඳු ඉතා මඳ ය. මහමුහුදෙහි ක්‍ෂය වූ අවසන් වූ දිය හා සැසදීමේහි දී ඉතිරි වූ දෙකෙක් හෝ තුනෙක් හෝ වූ දියබිඳු සියවන කලාවටත් නො ම පැමිණේ. දහස්වන කලාවටත් නො ම පැමිණේ. සියදහස් වන කලාවටත් නො ම පැමිණේ. මහණෙනි, එසෙයින් ම ... දහම් ඇස පිළිලැබීම මහදර්‍ත්‍ථයක් නිපදන්නේ වේ යි.
1. 10. 9.
පබ්බතුපම සූත්‍රය
222. සැවැත්නුවර–
මහණෙනි, යම් සේ පුරුෂයෙක් හිමවත් පවුරජුගේ අබඇට සතක් පමණ වූ ගල්කැට පසෙක තබන්නේ ද, මහණෙනි, ඒ කිමැයි හඟිවු ද, කිමෙක් ඉතා බොහෝ ද, පසෙක තබන ලද අබැට සතක් පමණ වූ යම් ගල්කැට හෝ යම් හිමවත් පවුරජ හෝ දැ යි?
වහන්ස, යම් මේ හිමවත් පවුරජෙක් වේ ද, මෙය ම ඉතා බොහෝ ය. පසෙක තබන ලද අබැට සතක් පමණ වූ ගල්කැට ඉතා මඳ ය. හිමවත් පවුරජු හා සැසඳීමේ දී පසෙක තබන ලද අබැට සතක් පමණ වූ ගල්කැට සියවන කලාවටත් නො ම පැමිණේ. දහස්වන කලාවටත් නො ම පැමිණේ. සියදහස්වන කලාවටත් නො ම පැමිණේ. මහණෙනි, එසෙයින් ම දහම් ඇස පිළිලැබීම මහාදර්‍ත්‍ථයක් නිපදවන්නේ වේ යි.
1. 10. 10.
දෙවන පබ්බතුපම සූත්‍රය
223. සැවැත්නුවර–
මහණෙනි, යම් සේ අබැට සතක් පමණ වූ ගල්කැට තිබිය දී හිමවත් පවුරජ ක්‍ෂය වීමට අවසන් වීමට යන්නේ ද, මහණෙනි, ඒ කිමැයි හඟිහු ද, කිමෙක් ඉතා වැඩි ද, හිමවත් පවුරජුගේ යම් ක්‍ෂය වූ අවසන් වූ කොටස හෝ ඉතිරි වූ අබැට සතක් පමණ වූ යම් ගල්කැට හෝ දැ යි?
වහන්ස, හිමවත් පවුරජුගේ යම් මේ ක්‍ෂය වූ අවසන් වූ කොටසෙක් වේ ද, මෙය ම ඉතා වැඩි ය. ඉතිරි වූ අබැට සතක් පමණ වූ ගල්කැට ඉතා මඳ ය. හිමවත් පවුරජුගේ ක්‍ෂය වූ, අවසන් වූ කොටස හා සැසඳීමෙහි දී ඉතිරි වූ අබැට සතක් පමණ වූ ගල්කැට සියවන කලාවටත් නො ම පැමිණේ. දහස්වන කලාවටත් නො ම පැමිණේ. සියදහස්වන කලාවටත් නො ම පැමිණේ.
මහණෙනි, එසෙයින් ම දහම් අවබෝධ කළ දෘෂ්ටිසම්පන්න ආර්‍ය්‍යශ්‍රාවක පුද්ගලයාගේ ක්‍ෂය වූ අවසන් වූ යම් මේ දුකෙක් වේ ද, එය ම ඉතා වැඩි ය. ඉතිරි වූ දුක ඉතා මඳ ය. ක්‍ෂය වූ අවසන් වූ පළමු දුක් රැස හා සැසඳීමේ දී සත්වරක් ඉපදීම හිම් කොට ඇති යම් මේ දුකෙක් වේ නම් එය සියවන කලාවටත් නො ම පැමිණේ. දහස්වන කලාවටත් නො ම පැමිණේ. සියදහස්වන කලාවටත් නො ම පැමිණේ. මහණෙනි, ධර්‍මාවබෝධය එසේ මහත් වැඩ ඇත්තෙකි. දහම් ඇස පිළිලැබීම එසේ මහත් වැඩ ඇත්තෙකි යි.
1. 10. 11.
තෙවන පබ්බතුපම සූත්‍රය
224. සැවැත්නුවර–
මහණෙනි, යම් සේ පුරුෂයෙක් සිනේරු පවුරජුගේ මුංඇට සතක් පමණ වූ ගල්කැට පසෙක තබන්නේ ද, මහණෙනි, ඒ කිමැයි, හඟිවු ද, කිමෙක් ඉබොහෝ ද, පසෙක තබන ලද මුංඇට සතක් පමණ වූ යම් ගල්කැට හෝ යම් සිනේරු පවුරජ හෝ දැ යි?
වහන්ස, යම් මේ සිනේරු පවුරජෙක් වේ ද, මෙය ම ඉබොහෝ ය. පසෙක තබන ලද මුංඇට සතක් පමණ වූ ගල්කැට ඉමඳ ය. සිනේරු පවුරජු හා සැසඳීමේ දී පසෙක තබනලද මුංඇට සතක් පමණ වූ ගල්කැට සිය වන කලාවටත් නො ම පැමිණේ. දහස් වන කලාවටත් නො ම පැමිණේ. සියදහස් වන කලාවටත් නො ම පැමිණේ.
මහණෙනි, එසෙයින් ම දෘෂ්ටිසම්පන්න ආර්‍ය්‍යශ්‍රාවක පුද්ගලයාගේ අධිගමය හා සැසඳීමේ දී අන්තොටු මහණ බමුණු පිරිවැජ්ජන්ගේ අධිගමය සිය වන කලාවටත් නො ම පැමිණෙයි. දහස් වන කලාවටත් නො ම පැමිණෙයි. සියදහස් වන කලාවටත් නො ම පැමිණෙයි. මහණෙනි, දෘෂ්ටිසම්පන්න පුද්ගල තෙමේ එසේ මහත් අධිගම ඇත්තෙකි. එසේ මහත් අභිඥා ඇත්තෙකි යි.
අභිසමයවර්‍ගය දසවැනි යි.
එහි උද්දානය:
නඛසිඛා පොක්ඛරණී සූත්‍ර දෙක ය, සම්භෙජ්ජ උදක සූත්‍ර දෙක ය, පඨවි සූත්‍ර දෙක ය, සමුද්ද සූත්‍ර දෙක ය, පබ්බතූපම සූත්‍ර තුණ යැ යි සූත්‍ර එකොළොසෙකි යි.
අභිසමයසංයුත්තය නිමියේ ය.
එහි වර්‍ගනාමාවලිය:
බුද්ධ , ආහාර, දසබල, කළාරඛත්තිය යි වර්‍ග සතරෙකි. ගහපතිවර්‍ගය පස්වැන්න ය. දුක්ඛවර්‍ගය, මහාවර්‍ගය යි දෙකෙකි. සමණබ්‍රාහ්මණවර්‍ගය අටවැන්න ය. අන්තර පෙය්‍යාලවර්‍ගය නවවැන්න ය. අභිසමයවර්‍ගය දසවැන්න වෙ යි.
2. ධාතු සංයුත්තය
1. නානත්ත වර්‍ගය
2. 1. 1.
ධාතුනානත්ත සූත්‍රය
225. සැවැත්නුවර–
මහණෙනි, තොපට ධාතුනානාත්‍වය දේශනා කරන්නෙමි. එය අසවු, මැනවින් මෙනෙහි කරවු. දේශනා කරන්නෙමි යි ඒ භික්‍ෂූහු “වහන්ස එසේ ය” යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක:
මහණෙනි, ධාතුනානාත්‍වය කිමෙක යත්: චක්ඛුධාතු ය, රූපධාතු ය, චක්ඛුවිඤ්ඤාණධාතු ය, සෝතධාතු ය, සද්දධාතු ය, සෝතවිඤ්ඤාණධාතු ය, ඝානධාතු ය, ගන්‍ධධාතු ය, ඝානවිඤ්ඤාණධාතු ය, ජිව්හාධාතු ය, රසධාතු ය, ජීව්හාවිඤ්ඤාණධාතු ය, කායධාතු ය, ඵොට්ඨබ්බධාතු ය, කායවිඤ්ඤාණධාතු ය, මනෝධාතු ය, ධම්මධාතු ය, මනෝවිඤ්ඤාණධාතු ය යි. මහණෙනි, මේ ධාතුනානාත්‍වය යි කියනු ලැබේ යි.
2. 1. 2.
ඵස්සනානත්ත සූත්‍රය
226. සැවැත්නුවර–
මහණෙනි, ධාතුනානාත්‍වය නිසා ඵස්සනානාත්‍වය උපදී. මහණෙනි, ධාතුනානාත්‍වය කවරේ ද යත්: චක්ඛුධාතු ය, සෝතධාතු ය, ඝානධාතු ය, ජිව්හාධාතු ය, කායධාතු ය, මනෝධාතු ය යි. මහණෙනි, මෙය ධාතුනානාත්‍ව ය යි කියනු ලැබේ.
මහණෙනි, කෙසේ නම් ධාතුනානාත්‍වය නිසා ඵස්සනානාත්‍වය උපදී ද? මහණෙනි, චක්ඛුධාතුව නිසා චක්ඛුසම්ඵස්සය උපදී. සෝතධාතුව නිසා සෝතසම්ඵස්සය උපදී. ඝාණධාතුව නිසා ඝාණසම්ඵස්සය උපදී. ජිව්හාධාතුව නිසා ජිව්හාසම්ඵස්සය උපදී. කායධාතුව නිසා කායසම්ඵස්සය උපදී. මනෝධාතුව නිසා මනෝසම්ඵස්සය උපදී. මහණෙනි, මෙසෙයින් ධාතුනානාත්‍වය නිසා ඵස්සනානාත්‍වය උපදී යි.
2. 1. 3.
නො ඵස්සනානත්ත සූත්‍රය
227. සැවැත්නුවර–
මහණෙනි, ධාතුනානාත්‍වය නිසා ඵස්සනානාත්‍වය උපදී. ඵස්සනානාත්‍වය නිසා ධාතුනානාත්‍වය නූපදී.
මහණෙනි, ධාතුනානාත්‍වය කවරේද යත්: චක්ඛුධාතු ය ... මනෝධාතු ය යි. මහණෙනි, මේ ධාතුනානාත්‍වය යි කියනු ලැබේ.
මහණෙනි, කෙසේ නම් ධාතුනානාත්‍වය නිසා ඵස්සනානාත්‍වය උපදී ද? ඵස්සනානාත්‍වය නිසා ධාතුනානාත්‍වය නූපදී ද? මහණෙනි, චක්ඛුධාතුව නිසා චක්ඛුසම්ඵස්සය උපදී. චක්ඛුසම්ඵස්සය නිසා චක්ඛුධාතුව නූපදී … මනෝ ධාතුව නිසා මනෝසම්ඵස්සය උපදී. මනෝසම්ඵස්සය නිසා මනෝධාතුව නූපදී. මහණෙනි, මෙසේ ධාතුනානාත්‍වය නිසා ඵස්සනානාත්‍වය උපදී. ඵස්සනානාත්‍වය නිසා ධාතුනානාත්‍වය නූපදී යි.
2. 1. 4.
වේදනා සූත්‍රය
228. සැවැත්නුවර–
මහණෙනි, ධාතුනානාත්‍වය නිසා ඵස්සනානාත්‍වය උපදී. ඵස්සනානාත්‍වය නිසා වේදනානානාත්‍වය උපදි.
මහණෙනි, ධාතුනානාත්‍වය කවරේ ද යත්: චක්ඛුධාතු ය … මනෝ ධාතු යි මහණෙනි, මේ ධාතුනානාත්‍වය යි කියනු ලැබේ.
මහණෙනි, කෙසේ නම් ධාතුනානාත්‍වය නිසා ඵස්සනානාත්‍වය උපදී ද? ඵස්සනානාත්‍වය නිසා වේදනානානාත්‍වය උපදී ද? මහණෙනි, චක්ඛුධාතුව නිසා චක්ඛුසම්ඵස්සය උපදී. චක්ඛුසම්ඵස්සය නිසා චක්ඛුසම්ඵස්සයෙන් හටගත් වේදනාව උපදී … මනෝධාතුව නිසා මනෝසම්ඵස්සය උපදී. මනෝසම්ඵස්සය නිසා මනෝසම්ඵස්සයෙන් උපන් වේදනා උපදී. මහණෙනි, මෙසේ ධාතුනානාත්‍වය නිසා ඵස්සනානාත්‍වය උපදී. ඵස්සනානාත්‍වය නිසා වේදනානානාත්‍වය උපදී යි.
2. 1. 5.
නොවේදනා සූත්‍රය
229. සැවැත්නුවර–
මහණෙනි, ධාතුනානාත්‍වය නිසා ඵස්සනානාත්‍වය උපදී. ඵස්සනානාත්‍වය නිසා වේදනානානාත්‍වයක් උපදී. වේදනානානාත්‍වය නිසා ඵස්සනානාත්‍වය නූපදී. ඵස්සනානාත්‍වය නිසා ධාතුනානාත්‍වය නූපදී.
මහණෙනි, ධාතුනානාත්‍වය කවරේ ද යත්: චක්ඛුධාතු ය … මනෝ ධාතු යි. මහණෙනි, මේ ධාතුනානාත්‍වය යි කියනු ලැබේ.
මහණෙනි, කෙසේ නම් ධාතුනානාත්‍වය නිසා ඵස්සනානාත්‍වය උපදී ද? ඵස්සනානාත්‍වය නිසා වේදනානානාත්‍වය උපදී ද? වේදනානානාත්‍වය නිසා ඵස්සනානාත්‍වය නූපදී ද?. ඵස්සනානාත්‍වය නිසා ධාතුනානාත්‍වය නූපදී ද? මහණෙනි, චක්ඛුධාතුව නිසා චක්ඛුසම්ඵස්සය උපදී. චක්ඛුසම්ඵස්සය නිසා චක්ඛුසම්ඵස්සයෙන් හටගත් වේදනාව උපදි. චක්ඛුසම්ඵස්සයෙන් හටගත් වේදනාව නිසා චක්ඛුසම්ඵස්සය නූපදී. චක්ඛුසම්ඵස්සය නිසා චක්ඛුධාතුව නූපදී … මනෝධාතුව නිසා මනෝසම්ඵස්සය උපදී. මනෝසම්ඵස්සය නිසා මනෝසම්ඵස්සයෙන් හටගත් වේදනාව උපදී. මනෝසම්ඵස්සයෙන් හටගත් වේදනාව නිසා මනෝසම්ඵස්සය නූපදී. මනෝසම්ඵස්සය නිසා මනෝධාතුව නූපදී.
මහණෙනි, මෙසේ ධාතුනානාත්‍වය නිසා ඵස්සනානාත්‍වය උපදී. ඵස්සනානාත්‍වය නිසා වේදනානානාත්‍වය උපදී. වේදනානානාත්‍වය නිසා ඵස්සනානාත්‍වය නූපදී. ඵස්සනානාත්‍වය නිසා ධාතුනානාත්‍වය නූපදී යි.
2. 1. 6.
බාහිරධාතුනානත්ත සූත්‍රය
230. සැවැත්නුවර–
මහණෙනි, තොපට ධාතුනානාත්‍වය දේශනා කරන්නෙමි. එය අසවු දේශනා කරන්නෙමි. මහණෙනි, ධාතුනානාත්‍වය කවරේ ද යත්: රූපධාතු ය, සද්දධාතු ය, ගන්‍ධධාතු ය, රසධාතු ය, ඵොට්ඨබ්බධාතු ය, ධම්මධාතු යි. මහණෙනි, මෙය ධාතුනානාත්‍වය යි කියනු ලැබේ.
2. 1. 7.
පරියෙසනානානත්ත සූත්‍රය
231. සැවැත්නුවර–
මහණෙනි, ධාතුනානාත්‍වය නිසා සංඥානානාත්‍වය උපදී. සංඥානානාත්‍වය නිසා සංකල්පනානාත්‍වය උපදී. සංකල්පනානාත්‍වය නිස ඡන්‍දනානාත්‍වය උපදී. ඡන්‍දනානාත්‍වය නිසා පරිදාහනානාත්‍වය උපදී. පරිදාහනානාත්‍වය නිසා පර්‍ය්‍යෙෂණානානාත්‍වය උපදී.
මහණෙනි, ධාතුනානාත්‍වය කවරේ ද යත්: රූපධාතු ය, ධම්මධාතු යි. මහණෙනි, මේ ධාතුනානාත්‍වය යි කියනු ලැබේ.
මහණෙනි, කෙසේ නම් ධාතුනානාත්‍වය නිසා සංඥානානාත්‍වය උපදී ද, සංඥානානාත්‍වය නිසා සංකල්පනානාත්‍වය උපදී ද, සංකල්පනානාත්‍වය නිසා ඡන්‍දනානාත්‍වය උපදී ද, ඡන්‍දනානාත්‍වය නිසා පරිදාහනානත්‍වය උපදී ද, පරිදාහනානත්‍වය නිසා පර්‍ය්‍යෙෂණානානාත්‍වය උපදී ද?
මහණෙනි, රූපධාතුව නිසා රූපසංඥාව උපදී. රූපසංඥාව නිසා රූපසංකල්පය උපදී. රූපසංකල්පය නිසා රූපච්ඡන්‍දය උපදී. රූපච්ඡන්‍දය නිසා රූපපරිදාහය උපදී. රූපපරිදාහය නිසා රූපපර්‍ය්‍යෙෂණාව උපදී. මහණෙනි, සද්දධාතුව නිසා … මහණෙනි, ධර්‍මධාතුව නිසා ධර්‍මසංඥාව උපදී. ධර්‍මසංඥාව නිසා ධර්‍මසඞ්කල්පය උපදී. ධර්‍මසඞ්කල්පය නිසා ධර්‍මච්ඡන්‍දය උපදී. ධර්‍මච්ඡන්‍දය නිසා ධර්‍මපරිදාහය උපදී. ධර්‍මපරිදාහය නිසා ධර්‍මපර්‍ය්‍යෙෂණාව උපදී.
මහණෙනි, මෙසේ ධාතුනානාත්‍වය නිසා සංඥානානාත්‍වය උපදී. සංඥානානාත්‍වය නිසා සඞ්කල්පනානාත්‍වය උපදී. සඞ්කල්පනානාත්‍වය නිසා ඡන්‍දනානාත්‍වය උපදී. ඡන්‍දනානාත්‍වය නිසා පරිදාහනානත්‍වය උපදී. පරිදාහනානත්‍වය නිසා පර්‍ය්‍යෙෂණානානාත්‍වය උපදී යි.
2. 1. 8.
නො පරියෙසනානානත්ත සූත්‍රය
232. සැවැත්නුවර–
මහණෙනි, ධාතුනානාත්‍වය නිසා සංඥානානාත්‍වය උපදී. සංඥානානාත්‍වය නිසා සඞ්කල්පනානාත්‍වය උපදී. සඞ්කල්පනානාත්‍වය නිසා ඡන්‍දනානාත්‍වය උපදී. ඡන්‍දනානාත්‍වය නිසා පරිදාහනානාත්‍වය උපදී. පරිදාහනානාත්‍වය නිසා පර්‍ය්‍යෙෂණානානාත්‍වය උපදී. පර්‍ය්‍යෙෂණානානාත්‍වය නිසා පරිදාහනානාත්‍වය නූපදී. පරිදාහනානාත්‍වය නිසා ඡන්‍දනානාත්‍වය නූපදී. ඡන්‍දනානාත්‍වය නිසා සඞ්කල්පනානාත්‍වය නූපදී. සඞ්කල්පනානාත්‍වය නිසා සංඥානානාත්‍වය නූපදී. සංඥානානාත්‍වය නිසා ධාතුනානාත්‍වය නූපදී.
මහණෙනි, ධාතුනානාත්‍වය කවරේද යත්: රූපධාතු… ධර්‍මධාතු යි. මහණෙනි, මේ ධාතුනානාත්‍වය යි කියනු ලැබේ.
මහණෙනි, කෙසේ නම් ධාතුනානාත්‍වය නිසා සංඥානානාත්‍වය උපදී ද, සංඥානානාත්‍වය නිසා පර්‍ය්‍යෙෂණානානාත්‍වය උපදී ද, පර්‍ය්‍යෙෂණානානාත්‍වය නිසා පරිදාහනානාත්‍වය නූපදී ද, පරිදාහනානාත්‍වය නිසා ඡන්‍දනානාත්‍වය නූපදී ද, ඡන්‍දනානාත්‍වය නිසා සඞ්කල්පනානාත්‍වය නූපදී ද, සඞ්කල්පනානාත්‍වය නිසා සංඥානානාත්‍වය නූපදී ද, සංඥානානාත්‍වය නිසා ධාතුනානාත්‍වය නූපදී ද?
මහණෙනි, රූපධාතුව නිසා රූපසඤ්ඤාව උපදී. රූපසඤ්ඤාව නිසා රූපසඞ්කප්පය උපදී. රූපසඞ්කප්පය නිසා රූපච්ඡන්‍දය උපදී. රූපච්ඡන්‍දය නිසා රූපපරිළාභය උපදී. රූපපරිළාභය නිසා රූපපරියේසනාව උපදී. රූපපරියේසනාව නිසා රූපපරිළාභය නූපදී. රූපපරිළාභය නිසා රූපච්ඡන්‍දය නූපදී. රූපච්ඡන්‍දය නිසා රූපසඞ්කප්පය නූපදී. රූපසඞ්කප්පය නිසා රූපසඤ්ඤාව නූපදී. රූපසඤ්ඤාව නිසා රූපධාතුව නූපදී.
මහණෙනි, සද්දධාතුව නිසා … මහණෙනි, ධම්මධාතුව නිසා ධර්‍මසංඥාව උපදී. ධර්‍මසංඥාව නිසා ධර්‍මසඞ්කල්පය උපදී. ධර්‍මසඞ්කල්පය නිසා ධර්‍මච්ඡන්‍දය උපදී. ධර්‍මච්ඡන්‍දය නිසා ධර්‍මපරිදාහය උපදී. ධර්‍මපරිදාහය නිසා ධර්‍මපර්‍ය්‍යෙෂණාව උපදී. ධර්‍මපර්‍ය්‍යෙෂණාව නිසා ධර්‍මපරිදාහය නූපදී. ධර්‍මපරිදාහය නිසා ධර්‍මච්ඡන්‍දය නූපදී. ධර්‍මච්ඡන්‍දය නිසා ධර්‍මසඞ්කල්පය නූපදී. ධර්‍මසඞ්කල්පය නිසා ධර්‍මසංඥාව නූපදී. ධර්‍මසංඥාව නිසා ධර්‍මධාතුව නූපදී.
මහණෙනි, මෙසේ ධාතුනානාත්‍වය නිසා සංඥානානාත්‍වය උපදී. සංඥානානාත්‍වය නිසා … පර්‍ය්‍යෙෂණානානාත්‍වය උපදී. පර්‍ය්‍යෙෂණානානාත්‍වය නිසා පරිදාහනානාත්‍වය නූපදී. පරිදාහනානාත්‍වය නිසා ඡන්‍දනානාත්‍වය නූපදී. ඡන්‍දනානාත්‍වය නිසා සඞ්කල්පනානාත්‍වය නූපදී. සඞ්කල්පනානාත්‍වය නිසා සංඥානානාත්‍වය නූපදී. සංඥානානාත්‍වය නිසා ධාතුනානාත්‍වය නූපදී යි.
2. 1. 9.
ලාභනානත්ත සූත්‍රය
233. සැවැත්නුවර–
මහණෙනි, ධාතුනානාත්‍වය නිසා සංඥානානාත්‍වය උපදී. සංඥානානාත්‍වය නිසා සඞ්කල්පනානාත්‍වය උපදී. සඞ්කල්පනානාත්‍වය නිසා ඵස්සනානාත්‍වය උපදී. ඵස්සනානාත්‍වය නිසා වේදනානානාත්‍වය උපදී. වේදනානානාත්‍වය නිසා ඡන්‍දනානාත්‍වය උපදී. ඡන්‍දනානාත්‍වය නිසා පරිදාහනානාත්‍වය උපදී. පරිදාහනානාත්‍වය නිසා පර්‍ය්‍යෙෂණානානාත්‍වය උපදී. පර්‍ය්‍යෙෂණානානාත්‍වය නිසා ලාභනානාත්‍වය උපදී.
මහණෙනි, ධාතුනානාත්‍වය කවරේ ද යත්: රූපධාතු ය … ධම්මධාතු යි. මහණෙනි, මේ ධාතුනානාත්‍වය යි කියනු ලැබේ.
මහණෙනි, කෙසේ නම් ධාතුනානාත්‍වය නිසා සංඥානානාත්‍වය උපදී ද, සංඥානානාත්‍වය නිසා … ලාභනානාත්‍වය උපදී ද?
මහණෙනි, රූපධාතුව නිසා රූපසංඥාව උපදී. රූපසංඥාව නිසා රූපසඞ්කල්පය උපදී. රූපසඞ්කල්පය නිසා රූපසම්ඵස්සය උපදී. රූපසම්ඵස්සය නිසා රූපසම්ඵස්සයෙන් හටගත් වේදනාව උපදී. රූපසම්ඵස්සයෙන් හටගත් වේදනා නිසා රූපච්ඡන්‍දය උපදී. රූපච්ඡන්‍දය නිසා රූපපරිදාහය උපදී. රූපපරිදාහය නිසා රූපපර්‍ය්‍යෙෂණාව උපදී. රූපපර්‍ය්‍යෙෂණාව නිසා රූපලාභය උපදී.