Saṁyutta Nikāya

Connected Discourses

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-30 · 15083 segments

පෙන්වන කොටස් 301-400 න් 15083

ඉක්බිති අන් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කී ය:
සත්පුරුෂයන් සමග ම එක්වන්නේ ය. සත්පුරුෂයන් සමග ම මිත්‍රසංස්තවය කරන්නේ ය. සත්පුරුෂයන්ගේ සද්ධර්‍මය දැනීමෙන් නෑයන් මැද වෙසෙසින් බබලයි.
ඉක්බිති අන් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කී ය:
සත්පුරුෂයන් සමග ම එක් වන්නේ ය. සත්පුරුෂයන් සමග ම මිත්‍රසංස්තවය කරන්නේ ය. සත්පුරුෂයන්ගේ සද්ධර්‍මය දැනීමෙන් සත්ත්‍වයෝ සුගතියට යෙත්.
ඉක්බිති අන් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කී ය:
සත්පුරුෂයන් සමග ම එක් වන්නේ ය. සත්පුරුෂයන් සමග ම මිත්‍රසංස්තවය කරන්නේ ය. සත්පුරුෂයන්ගේ සද්ධර්‍මය දැනීමෙන් සත්ත්‍වයෝ බොහෝකල් සුව සේ සිටිත්.
ඉක්බිති අන් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේට මෙය කී ය: භාග්‍යවතුන් වහන්ස, කවරකු විසින් මැනවින් කියන ලද්දේ ද?
[භගවත්හු:]
තොප සියල්ලන් විසින් කරුණු වශයෙන් මැනවින් කියන ලදී. වැලි දු මගේ (වචනය) ද අසවු:
සත්පුරුෂයන් සමග ම එක් වන්නේ ය. සත්පුරුෂයන් සමග ම මිත්‍රසංස්තවය කරන්නේ ය. සත්පුරුෂයන්ගේ සද්ධර්‍මය දැනීමෙන් සියලු දුකින් මිදෙයි.
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සතුටු සිත් ඇති ඒ දේවතාවෝ භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට එහි ම අතුරුදන් වූහ යි.
1. 4. 2.
මච්ඡරී සූත්‍රය
32. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වසන සේක. එකල්හි මනා ඡවිවර්‍ණ ඇති බොහෝ වූ සතුල්ලපකායික දේවතාවෝ පෙරයම ඉක්ම ගිය කල මුළු දෙව්රම බබුළුවා භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියාහු ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියහ. එකත්පසෙක සිටි එක් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගය කී ය:
මසුරුකමින් ද ප්‍රමාදයෙන් ද මෙසේ දන් නො දෙනු ලැබේ. පින් කැමති (දානඵල) දන්නහු විසින් දිය යුතු වේ.
ඉක්බිති අන් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථා කී ය:
මසුරු පුද්ගල තෙමේ යමකට ම බිය වූයේ දන් නො දේ ද, නො දෙන ඔහුට එය ම බිය වේ. මසුරු පුද්ගල තෙමේ යමකට බිය වේ ද, ඒ බඩසය ද පවස ද ඒ බාලයා ම මෙලෙව්හිත් පරලෙව්හිත් පහස්නේ ය.
එහෙයින් මසුරුමල මැඩ ලන පුද්ගල තෙමේ මසුරුකම දුරු කොට දන් දෙන්නේ ය. පින් පරලෙව්හි දී සතුන්ට පිහිට වේ.
ඉක්බිති අන් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථා කී ය:
යම් කෙනෙක් මඟ කැටු වැ යනුවනට (ලදදෙය බෙදා දෙන්නාක්) සෙයින් ස්වල්පයක් ඇති කල්හිත් දෙත් ද, ඔහු (අදාන මරණයෙන්) මළවුන් අතර නො මියෙත්. මේ පැරණි දහමෙකි.
ඇතැම්හු ස්වල්පයක් ඇති කල්හිත් දෙත්. ඇතැම්හු බොහෝ භෝගයෙන් සමන්‍වාගත වූවාහු ද නො දෙත් මඳ දෙයින් දෙන ලද දක්‍ෂිණාව දහසක් (=දහසෙකින් දෙන ලද දන) හා සම ය යි ප්‍රමාණ කරණ ලදී.
ඉක්බිති අන් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි මේ ගාථා කී ය:
අසත්පුරුෂයෝ (ස්වල්පයක් ඇති කල්හි දීම වූ) දුෂ්කර දානය දෙන දුෂ්කර (සුචරිත) ක්‍රියා කරණ (සත්පුරුෂයන්ට) අනුක්‍රියා නො කෙරෙත්. සත්පුරුෂයන්ගේ ධර්‍මය දුෂ්පූර ය. (එහෙයිනි.)
එහෙයින් සත්පුරුෂ්‍යන්ගේත් අසත්පුරුෂයන්ගේත් මෙලොවින් පරලොව යෑම එකිනෙක වෙනස් වේ. අසත්පුරුෂයෝ නිරයට යෙත්. සත්පුරුෂයෝ ස්වර්‍ගපරායණ වෙත්.
ඉක්බිති අන් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේට මෙය කී ය: භාග්‍යවතුන් වහන්ස, කවරකු විසින් මැනවින් කියන ලද ද?
[භගවත්හු:]
තොප සියල්ලන් විසින් කරුණු විසින් මැනවින් කියන ලදී. යලි දු මගේ (වචනය) ද අසවු:
යමෙක් උඤ්ඡාවරියාවෙහි හැසිරෙන්නේ (කලවිටි ශුද්ධ කිරීම් පිදුරු පෙළීම් ආදී වශයෙන් දුක සේ ජීවිකාව පවත්වන්නේ) අඹුදරුවනුත් පෝෂණය කරමින් ස්වල්පයක් ඇති කල්හිත් දෙමින් දහම්හි හැසිරෙන්නේ ද, සහස්‍රයාග කළ ලක්‍ෂයක් දෙනකුන්ගේ ඒ යාගක්‍රියාවෝ එබඳු දිළින්දාගේ (දානක්‍රියාවන් පිළිබඳ) ශතභාගයකුත් නො අගිත්.
ඉක්බිති අන් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් කී ය:
මහත් වූ උදාරබවට පැමිණි මේ දානය දැහැමින් සෙමෙන් දෙන ලද දානයේ වටනාකමට කුමක් හෙයින් නො පැමිණේ ද? සහස්‍රයාග කළ ලක්‍ෂයක් දෙනකුන්ගේ ඒ දානක්‍රියාවෝ එබඳු (දිළින්දාගේ) දානක්‍රියා පිළිබඳ ශතභාගයකුත් කෙසේ නම් නො අගිත් ද?
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ දේවතාවාට ගාථායෙන් වදාළ සේක.
කෙනෙක් විෂම වූ (කායවාඞ්මනඃ) කර්‍මයෙහි පිහිටියාහු (මෙරමා) තළා මරා යලි ශෝක කරවා දෙත් ම ය. (කඳුළු වැකුනු මුහුණ ඇති කොට මෙරමාහට දඬුවම් කොට දුන් හෙයින්) අස්සුමුඛ නම් වූ සදණ්ඩ නම් වූ ඒ දක්‍ෂිණාව දැහැමින් සෙමෙන් දෙන ලද දානයේ වටනාකමට නො පැමිණේ. සහස්‍රයාග කළ ලක්‍ෂයක් දෙනකුගෙන් ඒ දානක්‍රියාවෝ එබඳු (දිළින්දාගේ) දානක්‍රියා පිළිබඳ ශතභාගයකුත් මෙසේ නො අගිත්.
1. 4. 3.
සාධු සූත්‍රය
33. සැවැත්නුවර–
එකල්හි මනා ඡවිවර්‍ණ ඇති බොහෝ වූ සතුල්ලපකායික දේවතාවෝ රෑ පෙරයම ඉක්ම ගිය කල්හි මුළු දෙව්රම බබුළුවා භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියහ. එකත්පසෙක සිටි එක් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ උදානය පහළ කෙළේ ය:
නිදුකානන් වහන්ස, දීම මැනවි.
මසුරු කමින් ද, ප්‍රමාදයෙන් ද මෙසේ දානය නො දෙනු ලැබේ. පින් කැමති (පින්පල) දන්නහු විසින් දිය යුතු වෙයි.
ඉක්බිති අන් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ උදානය පහළ කෙළේ ය:
නිදුකානන් වහන්ස, දීම මැනවි. තව ද, මඳක් ඇති කල්හිත් දීම මැනවි.
ඇතැම්හු මඳක් ඇති කල්හිත් දෙති. ඇතැම්හු බොහෝ භෝගයෙන් සමන්‍වාගත වූවාහු ද නො දෙතී. මඳෙකින් දෙන ලද දක්‍ෂිණාව දහසක් හා සම ය යි ප්‍රමාණ කරණ ලදී.
ඉක්බිති අන් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ප්‍රීති වාක්‍යය පහළ කෙළේ ය:
නිදුකානන් වහන්ස, දීම මැනවි. ස්වල්පයක් ඇති කල්හි දීමත් මැනවි. තව ද, ශ්‍රද්ධායෙන් දීමත් මැනවි.
දානයත් යුද්දයත් සමාන ය යි කියත්. ස්වල්ප වූත් වීරපුරුෂයෝ බොහෝ වූ බියසුල්ලන් දිනත්. ඉදින් සැදැහැත්තේ ස්වල්පයකුත් දේ ද, එයින් ම හෙ තෙමේ පරලොව සුව ඇත්තේ වේ.
ඉක්බිති අන් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ප්‍රීතිවාක්‍යය පහළ කෙළේ ය:
නිදුකානන් වහන්ස, දීම මැනවි. මඳක් ඇති කල්හි දීමත් මැනවි. සැදැහැයෙන් දීමත් මැනවි. තව ද, දැහැමින් ලද දෙයක් දත් දහම් ඇති ආර්‍ය්‍යපුද්ගලයකුට දීමත් මැනවි.
යම් සත්ත්‍වයෙක් උත්‍ථානයෙන් හා වීර්‍ය්‍යයෙන් ලැබූ වස්තු දත් දහම් ඇති ආර්‍ය්‍යපුද්ගලයෙකුට දන් දේ ද, ඒ මිනිස් තෙමේ යමයාගේ වේතරණී නිරය ඉක්මවා දිව්‍යස්ථානයන්ට පැමිණේ.
ඉක්බිති අන් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ප්‍රීතිවාක්‍යය පහළ කෙළේ ය:
නිදුකානන් වහන්ස, දීම මැනවි, මඳක් ඇති කල්හි දීමත් මැනවි. සැදැහැයෙන් දීමත් මැනවි. දැහැමින් ලද දෙය දත් දහම් ඇත්තකුට දීමත් මැනවි. තව ද, (දානවස්තූන් හා ප්‍රතිග්‍රාහකයන්) තෝරා ගෙණ දීමත් මැනවි.
තෝරා ගෙණ දීම භාග්‍යවතුන් වහන්සේ විසින් පසස්නා ලදී. මේ සත්ත්‍වලෝකයෙහි යම් දක්‍ෂිණාර්‍හයෝ වෙද්ද, මොවුන් විෂයෙහි දෙන ලද්දාහු සරු කෙතෙක වපුළ බිජුවට මෙන් මහත්ඵල වෙත්.
ඉක්බිති අන් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ප්‍රීතිවාක්‍යය පහළ කෙළේ ය:
නිදුකානන් වහන්ස, දීම මැනවි. මඳක් ඇති කල්හි දීමත් මැනවි. සැදැහැයෙන් දීමත් මැනවි. දැහැමින් ලද දෙය දත් දහම් ඇත්තකුට දීමත් මැනවි. තෝරා දීමත් මැනවි. තව ද, ප්‍රාණීන් කෙරෙහි සංයමයත් (ප්‍රාණඝාතයෙන් වැළැක්මත්) මැනවි.
යමෙක් සත්ත්‍වයන් නො වෙහෙසමින් හැසිරෙන්නේ පරෝපවාද හේතුවෙන් පව් නො කෙරේ ද, එහි ලා (සත්පුරුෂයෝ) පවට බියසුල්ලාට පසසත්. (පව්කිරීමෙහී) සූරයා නො පසසත්. සත්පුරුෂයෝ උපවාදයන්ට බියෙන් පව් නො කෙරෙත් ම ය. එහෙයිනි.
ඉක්බිති අන් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේ ය: භාග්‍යවතුන් වහන්ස, කවරකු විසින් මැනවින් කියන ලද ද?
[භගවත්හු:]
තොප සියල්ලන් විසින් පර්‍ය්‍යායයෙන් සුභාෂිත ය. වැලි දු මාගේ (වචනය) ද අසවු:
සැදැහැයෙන් දීම නන්අයුරින් පසස්නා ලදී. දානයට වඩා ධර්‍ම පදය හෙවත් නිර්‍වාණය ම ශ්‍රේෂ්ඨ ය. පෙර ද, ඉතා පෙර ද, නුවණැතී සත්පුරුෂයෝ නිවණ ම අවබෝධ කළාහු ය.
1. 4. 4.
නසාන්ති සූත්‍රය
34. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩවසන සේක.
එකල්හි මනා ඡවිවර්‍ණ ඇති බොහෝ වූ සතුල්ලපකායික දේවතාවෝ පෙරයම ඉක්ම ගිය කල මුළු දෙව්රම බබුළුවා භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියහ. එකත්පසෙක සිටි එක් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි මේ ගාථාකී ය:
මිනිසුන් කෙරෙහි නිත්‍ය වූ කාමයෝ නැත. යම් කාම වස්තූන් කෙරෙහි බැඳුනු යම් කාමවස්තුන්හි ප්‍රමත්ත වූ පුරුෂ තෙමේ මෘත්‍යුධෙය සඞ්ඛ්‍යාත සසරින් අපුනරාගමන සඞ්ඛ්‍යාත නිවණට නොපැමිණෙන්නේ වේ ද, (එබඳු වූ) ඉෂ්ටාලම්බනයෝ මේ ලෝකයෙහි ඇත. (පඤ්චස්කන්‍ධ) දුඃඛය තෘෂ්ණාච්ඡන්‍දයෙන් හටගත්තේ ය. (පඤ්චෝපාදානස්කන්‍ධ) දුඃඛය තෘෂ්ණාච්ඡන්‍දයෙන් හටගත්තේ ය. තෘෂ්ණාව දුරු කිරීමෙන් (පඤ්චස්කන්‍ධ) දුඃඛය දුරු කිරීම වේ. (පඤ්චස්කන්‍ධ) දුඃඛය දුරු කිරීමෙන් සියලු සංසාරදුඃඛය දුරු කිරීම වේ.
ලෝකයේ විචිත්‍ර වූ යම් (රූපාදි) අරමුණු ඇත් ද, ඔහු කාමයෝ නො වෙත්. පුරුෂයාගේ (ශුභාදිවශයෙන්) සංකල්පිත රාගය තෙමේ කාමය යි. ලෝකයෙහි විසිතුරු වූ (රූපාදි) අරමුණු එසේ ම සිටී. වැලිත් පණ්ඩිතයෝ මේ ආරම්මණයන්හි ඡන්‍දරාගය දුරු කෙරෙත්.
ක්‍රෝධය දුරු කරන්නේ ය. මානය වෙසෙසින් බැහැර කරන්නේ ය. සියලු සංයෝජන ඉක්මවන්නේ ය. නාමරූප දෙකෙහි නොඇලෙන රූපාදි පළිබෝධ රහිත වූ ඒ ක්‍ෂීණාස්‍රවයා මතුයෙහි (සංසාර) දුඃඛයෝ නො වැටෙත්.
(යමෙක්) සත්ත්‍වප්‍රඥප්තිය දුරු කෙළේ ද, මානයට නො පැමිණියේ ද, මේ නාමරූප දෙක්හි තෘෂ්ණාව සිඳ ලූයේ ද, සුන් කළ තෘෂ්ණාග්‍රන්‍ථි ඇති නිදුක් වූ ආශාරහිත වූ ඒ ක්‍ෂීණාස්‍රවයන් වහන්සේ දෙවියෝත් මනුෂ්‍යයෝත් මෙලොව ද පරලොව ද ස්වර්‍ගයන්හි ද සියලු සත්ත්‍වනිවේසනයන්හි ද සොයන්නාහු නමුත් නො ලබත්.
(මෝඝරාජ ස්ථවිර තෙමේ මෙසේ කී ය:) ඉදින් දෙවියෝත් මනුෂ්‍යයෝත් එසේ මිදුනු ඒ සර්‍වඥයන් වහන්සේ මෙලොවත් පරලොවත් නො දක්නාහු ද, මිනිසුනට හිතවැඩ සලසන නරශ්‍රේෂ්ඨ වූ ඒ සර්‍වඥයන් වහන්සේට යම් කෙනෙක් නමස්කාර කෙරෙත් නම්, ඔහු පැසසිය යුත්තෝ ද?
(භාග්‍යවතුන් වහන්සේ: මෝඝරාජය.) යම් කෙනෙක් එසේ මිදුනු ඒ සර්‍වඥයන් වහන්සේට නමස්කාර කෙරෙද්ද, ඒ භික්‍ෂූහු පැසසිය යුත්තෝත් වෙති. ඒ භික්‍ෂූහු ධර්‍මය දැන විචිකිච්ඡාව දුරු කොට (රාගාදි) සඞ්ගයන් ඉක්ම ගියාහු ද වෙති.
1. 4. 5.
උජ්ඣානසඤඤී සූත්‍රය.
35. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වසන සේක. එකල්හි මනා ඡවිවර්‍ණ ඇති බොහෝ වූ උජ්ඣානසඤඤික දේවතාවෝ රෑ පෙරයම ඉක්ම ගිය කල්හි මුළු දෙව්රම බබුළුවා භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ අහසෙහි සිටියහ. අහසෙහි සිටි එක් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කී ය:
යම් මහණෙක් අන් අයුරෙකින් පවත්නා තමා අන් අයුරෙකින් (ඇතිසැටි වළහා) ප්‍රකාශ කරන්නේ ද, ලිහිණි වැද්දාගේ (ලිහිණිමස් කෑම) මෙන් ඔහු විසින් ඒ සිවුපසය වඤ්චායෙන් රවටා හොරකමින් අනුභව කරණ ලද්දේ ය.
[භගවත්හු:]
යමක් කරන්නේ නම්, එය ම කියන්නේ ය. යමක් නොකරන්නේ නම්, එය නොකියන්නේ ය. කියන්නවුන් අතුරෙන් නොකරන්නහු පණ්ඩිතයෝ දැන ගණිත්.
යම් මේ ප්‍රතිපදායෙක් දැඩි ද, ධ්‍යාන කරණසුලු පණ්ඩිතයෝ යම් ප්‍රතිපදායෙකින් මාරබන්‍ධනයෙන් මිදෙද් ද, මේ ප්‍රතිපත්තිය කථිතමාත්‍රයෙකින් හෝ ශ්‍රවණමාත්‍රයෙකින් හෝ පිළිපදින්නට නො හැකි ය.
සංස්කාර ලෝකයාගේ උදයව්‍යයස්වාභාවය දැන (චතුස්සත්‍යය) අවබෝධ කොට ලෝකයෙහි විසත්තිකා නම් වූ තෘෂ්ණාව තරණය කළා වූ (ක්ලේශ පරිනිර්‍වාණයෙන්) පිරිනිවියා වූ පණ්ඩිතයෝ ඒකාන්තයෙන් (මෙසේ) නො කෙරෙත්.
ඉක්බිති ඒ දේවතාවෝ පොළොවෙහි පිහිටා භාග්‍යවතුන් වහන්සේගේ පා ලඟ හිසින් වැඳ වැටී භාග්‍යවතුන් වහන්සේට “වහන්ස, යම්බඳු අපි බාල බවට අනුරූප සේ මූඪබවට අනුරූපසේ අදක්‍ෂබවට අනුරූප සේ භාග්‍යවතුන් වහන්සේ වචනයෙන් ගැටිය යුත්තකු කොට සිතුමු ද, ඒ වරද අප ඉක්ම ගියේ ය. වහන්ස, ඒ අපගේ වරද ආයතිසංවරය පිණිස වරද වශයෙන් භාග්‍යවතුන් වහන්සේ පිළිගන්නා සේක්වා” යි මෙය සැළ කළහ.
එකල්හි භාග්‍යවතුන් වහන්සේ සිනා පහළ කළ සේක.
එකල්හි ඒ දේවතාවෝ බොහෝ සෙයින් දොස් පහළ කෙරෙමින් අහසට නැංගහ.
එක් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කි ය:
යමෙක් දෙසන්නවුන්ගේ වරද නො පිළිගණීද, ඇතුළත කෝප ඇති ද්වේෂය ගුරු කොට ගෙණ වසන හෙතෙමේ ඒකාන්තයෙන් වෛරය (තමා කෙරෙහි) බැඳ තබයි.
[භගවත්හු:]
ඉදින් මෙහි වරදෙක් නැත් නම්, ඉදින් අපරාධයෙකුත් නො වන්නේ නම්, වෛරයෝත් සංසිඳෙන්නාහු නම්, එයින් මෙහි (නිරවද්‍යචර්‍ය්‍යායෙහි) දක්‍ෂයෙක් වන්නේය.
[දෙවි:]
කවරෙකුගේ වැරදි නැද්ද? කවරෙකුගේ අපරාධ නැද්ද? කවරෙක් මුළාවට නො පැමිණේ ද? කවරෙක් හැම කල්හි සිහි ඇත්තේ ද? පණ්ඩිත ද?
[භගවත්හු:]
චතුස්සත්‍යය අවබෝධ කළා වූ හැම සතුන් කෙරෙහි අනුකම්පා ඇති ඒ තථාගතයන් වහන්සේගේ වැරදි නැත. උන්වහන්සේගේ අපරාධ නැත. උන්වන්හසේ මුළාවට නො පැමිණෙත්. මේ ලෝකයෙහි උන්වහන්සේ ම හැම කල්හි සිහි ඇති සේක. පණ්ඩිත සේක.
ඉදින් යමෙක් දෙසන්නවුන්ගේ වරද නො පිළිගණී ද, ඇතුළත කෝප ඇති ද්වේෂය ගුරු කොට ගෙණ වසන හෙතෙමේ වෛරය (තමා කෙරෙහි) බැඳ තබයි. ඒ වෛරය නො පිළිගණිමි. තොපගේ වරද පිළිගණිමි යි.
1. 4. 6.
සද්ධා සූත්‍රය.
36. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬුසිටුහුගේ අරමෙහි වැඩවසන සේක. එකල්හි විශිෂ්ට ඡවිවර්‍ණ ඇති බොහෝ වූ සතුල්ලපකායික දේවතාවෝ රෑ පෙරයම ඉක්ම ගියකල්හි මුළු දෙව්රම බබුළුවා භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියහ. එකත්පසෙක සිටි එක් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කී ය:
පුරුෂයාට ශ්‍රද්ධාව දෙවැනි වේ. ඉදින් සැදැහැ නැති බව නො සිටී නම්, ඒ හේතුවෙන් ඔහුට පිරිවර ද කීර්තිය ද වෙයි. හෙතෙමේ සිරුර හැර පියා ස්වර්‍ගයට ද යෙයි.
ඉක්බිති අන් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථා කී ය:
ක්‍රෝධය දුර ලන්නේ ය. මානය වෙසෙසින් බැහැර ලන්නේ ය. සියලු සංයෝජන ඉක්මවන්නේ ය. නාමරූප දෙක්හි නොඇලෙන කෙලෙස් පළිබෝධ රහිත වූ ඔහු මත සඞ්ගයෝ නො වැටෙත්.
බාල වූ නුවණ නැත්තා වූ ජනයෝ ප්‍රමාදයෙහි යෙදෙත්. නුවණැත්තේ අප්‍රමාදය ශ්‍රේෂ්ඨ{1} ධනය මෙන් රකී.
ප්‍රමාදයෙහි නහමක් යෙදෙන්නේ ය. කාමරතියෙහි යෙදීම නො කරන්නේ ය. අප්‍රමත්ත පුද්ගල තෙමේ වනාහි ධ්‍යාන කරන්නේ උතුම් සුවයට පැමිණේයි.
1. 4. 7.
සමය සූත්‍රය.
37. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය දනව්වෙහි කිඹුල්වත්පුර සමීපයෙහි වූ මහාවනයෙහි හැමම රහත් වූ භික්‍ෂූන් පන්සියක් පමණ වූ මහාබික්සඟන සමග වැඩ වසන සේක. දසදහසක් සක්වළින් දේවතාවෝ භාග්‍යවතුන් වහන්සේත් භික්‍ෂු සඞ්ඝයාත් දකිනු පිණිස බෙහෙවින් රැස් වූවාහු ද වෙත්.
එකල්හි සුදවස්වැසි සිවුදෙවිකෙනෙකුන්ට මේ අදහස පහළ විය: “මේ භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය දනව්වෙහි කිඹුල්වත්පුර සමීපයෙහි මහාවෙනෙහි හැම ම රහත් වූ භික්‍ෂූන් පන්සියයක් පමණ වූ මහාබික්සඟන සමග වැඩ වසන සේක. දසසහසක් සක්වළින් දේවතාවෝ භාග්‍යවතුන් වහන්සේත් භික්‍ෂුසඞ්ඝයාත් දකිනු පිණිස බෙහෙවින් රැස් වූවාහු ද වෙති. අපි දු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹෙන්නමෝ නම්, එළඹ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි වෙන වෙන ම ගාථාවක් කියන්නමෝ නම්, ඉතා මැනවැ”යි.
ඉක්බිති ඒ දේවතාවෝ, බලවත් පුරුෂයෙක් හැකිළූ අතක් දිගු කරන්නේ යම් සේ ද, දිගු කළ අතක් හකුළුවන්නේ යම් සේ ද, එසේ සුදවස් දෙවියන් කෙරෙහි අතුරුදහන් වූවාහු භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි පහළ වූහ.