Saṁyutta Nikāya

Connected Discourses

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-30 · 15083 segments

පෙන්වන කොටස් 3801-3900 න් 15083

ඇවැත්නි, මූසිලයෙනි, ඇදහීමෙන් තොරව ම, රුචියෙන් තොරව ම, අනුශ්‍රැතියෙන් තොරව ම, ආකාර පරිවිතර්‍කයෙන් තොරව ම, දිට්ඨිනිජ්ඣානක්ඛන්තියෙන් තොරව ම, භව නිරෝධය නිවන ය යි තමන් ම ඇති කරගත් දැනීමෙක් ආයුෂ්මත් මූසිල තෙරුන්ට ඇත්තේ ද? ඇවැත්නි සවිට්ඨයෙනි, ඇදහීමෙන් තොරව ම, රුචියෙන් තොරව ම, අනුශ්‍රැතියෙන් තොරව ම, ආකාරපරිවිතර්‍කයෙන් තොරව ම, දිට්ඨිනිජ්ඣානක්ඛන්තියෙන් තොරව ම, භව නිරෝධය නිර්‍වාණය ය යි මෙය මම දනිමි, මෙය මම දකිමි. එසේ නම් ආයුෂ්මත් මූසිල තෙරණුවෝ ක්‍ෂීණාස්‍රව රහත් කෙනෙකි යි. මෙසේ කී කල්හි ආයුෂ්මත් මූසිල තෙරණුවෝ නිශ්ශබ්ද වූහ.
ඉක්බිති ආයුෂ්මත් නාරද තෙරණුවෝ ආයුෂ්මත් සවිට්ඨ තෙරණුවන්ට මෙය කීහ: “ඇවැත්නි සවිට්ඨයෙනි, මම මේ පැණය ලබන්නෙම් නම් මැනවි. මාගෙන් මේ පැණය විචාරණු මැනවි. මම ඔබට මේ පැණය විසඳන්නෙමි”යි. ආයුෂ්මත් නාරද තෙරණුවෝ මේ පැණය ලබත්වා, ආයුෂ්මත් නාරද තෙරුන්ගෙන් මම මේ පැණය විචාරමි. ආයුෂ්මත් නාරද තෙරණුවෝ මේ පැණය මට විසඳත්වා.
ඇවැත්නි නාරදයෙනි, ඇදහීමෙන් තොරව ම, රුචියෙන් තොරව ම, අනුශ්‍රැතියෙන් තොරව ම, ආකාර පරිවිතර්‍කයෙන් තොරව ම, දිට්ඨිනිජ්ඣානක්ඛන්තියෙන් තොරව ම, ‘ජාති ප්‍රත්‍යයයෙන් ජරාමරණ වේ ය’ යන තමන් ම ඇති කර ගත් දැනීමෙක් ආයුෂ්මත් නාරද තෙරුන්ට ඇත්තේ ද? ඇවැත්නි සවිට්ඨයෙනි, ඇදහීමෙන් තොරව ම, රුචියෙන් තොරව ම, අනුශ්‍රැතියෙන් තොරව ම, ආකාරපරිවිතර්‍කයෙන් තොරව ම, දිට්ඨිනිජ්ඣානක්ඛන්තියෙන් තොරව ම, ‘ජාති ප්‍රත්‍යයයෙන් ජරාමරණ වේ ය’ යන මෙය මම දනිමි, මෙය මම දකිමි. ඇවැත්නි, නාරදයෙනි, ශ්‍රද්ධාවෙන් තොර ව ම, රුචියෙන් තොරව ම, අනුශ්‍රැතියෙන් තොරව ම, ආකාර පරිවිතර්‍කයෙන් තොරව ම, දිට්ඨිනිජ්ඣානක්ඛන්තියෙන් තොරව ම, භව ප්‍රත්‍යයයෙන් ජාතිය වේ ය යි ... අවිද්‍යා ප්‍රත්‍යයයෙන් සංස්කාර වේ ය යි තමන් ම ඇති කර ගත් දැනීමෙක් ආයුෂ්මත් නාරදහට ඇත්තේ ද? ඇවැත්නි සවිට්ඨයෙනි, ඇදහීමෙන් තොරව ම, රුචියෙන් තොරව ම, අනුශ්‍රැතියෙන් තොරව ම, ආකාරපරිවිතර්‍කයෙන් තොරව ම, දිට්ඨිනිජ්ඣානක්ඛන්තියෙන් තොරව ම, ‘අවිද්‍යා ප්‍රත්‍යයයෙන් සංස්කාර වේ ය’ යි මම මෙය දනිමි, මම මෙය දකිමි.
ඇවැත්නි නාරදයෙනි, ඇදහීමෙන් තොරව ම, රුචියෙන් තොරව ම, අනුශ්‍රැතියෙන් තොරව ම, ආකාර පරිවිතර්‍කයෙන් තොරව ම, දිට්ඨිනිජ්ඣානක්ඛන්තියෙන් තොරව ම, ‘ජාති නිරෝධයෙන් ජරාමරණ නිරෝධය වේ ය’යි තමන් ම ඇති කර ගත් දැනීමෙක් ආයුෂ්මත් නාරද හට ඇත්තේ ද? ඇවැත්නි සවිට්ඨයෙනි, ඇදහීමෙන් තොරව ම, රුචියෙන් තොරව ම, අනුශ්‍රැතියෙන් තොරව ම, ආකාරපරිවිතර්‍කයෙන් තොරව ම, දිට්ඨිනිජ්ඣානක්ඛන්තියෙන් තොරව ම, ‘ජාති නිරෝධයෙන් ජරාමරණ නිරෝධය වේ ය’ යන මෙය මම දනිමි, මෙය මම දකිමි. ඇවැත්නි නාරදයෙනි, ඇදහීමෙන් තොරව ම, රිසියෙන් තොරව ම, අනුශ්‍රැතියෙන් තොරව ම, ආකාරපරිවිතර්‍කයෙන් තොරව ම, දිට්ඨිනිජ්ඣානක්ඛන්තියෙන් තොරව ම, ‘භව නිරෝධයෙන් ජාති නිරෝධය වේ ය’යි ... ‘අවිද්‍යා නිරෝධයෙන් සංස්කාර නිරෝධය වේ ය’යි තමන් විසින් ම ඇති කර ගත් දැනීමෙක් ආයුෂ්මත් නාරද තෙරුන්ට ඇත්තේ ද? ඇවැත්නි සවිට්ඨයෙනි, ඇදහීමෙන් තොරව ම, රුචියෙන් තොරව ම, අනුශ්‍රැතියෙන් තොරව ම, ආකාරපරිවිතර්‍කයෙන් තොරව ම, දිට්ඨිනිජ්ඣානක්ඛන්තියෙන් තොරව ම, ‘අවිද්‍යා නිරෝධයෙන් සංස්කාර නිරෝධය වේ ය’ යන මෙය මම දනිමි, මෙය මම දකිමි.
ඇවැත්නි නාරදයෙනි, ඇදහීමෙන් තොරව ම, රිසියෙන් තොරව ම, අනුශ්‍රැතියෙන් තොරව ම, ආකාරපරිවිතර්‍කයෙන් තොරව ම, දිට්ඨිනිජ්ඣානක්ඛන්තියෙන් තොරව ම, ‘භව නිරෝධය නිවන ය’ යි තමන් විසින් ම ඇති කර ගත් දැනීමෙක් ආයුෂ්මත් නාරද තෙරුන්ට ඇත්තේ ද? ඇවැත්නි සවිට්ඨයෙනි, ඇදහීමෙන් තොරව ම, රිසියෙන් තොරව ම, අනුශ්‍රැතියෙන් තොරව ම, ආකාරපරිවිතර්‍කයෙන් තොරව ම, දිට්ඨිනිජ්ඣානක්ඛන්තියෙන් තොරව ම, ‘භව නිරෝධය නිවන’ ය යන මෙය මම දනිමි, මෙය මම දකිමි.
එසේ නම් ආයුෂ්මත් නාරද තෙරණුවෝ ක්‍ෂීණාස්‍රව රහත් කෙනෙකි යි. ඇවැත්නි, භව නිරෝධය නිවන ය යි මවිසින් සම්‍යක් ප්‍රඥාවෙන් මැනවින් දක්නා ලදී. ක්‍ෂීණාස්‍රව වූ රහතෙක් නො ද වෙමි. ඇවැත්නි, යම් සේ කතරමගෙක ලිඳක් වේ ද, එහි රැහැනෙක් නො ම වන්නේ ය. බඳුනෙක් නො ම වන්නේ ය. එකල්හි ගිමෙන් තැවුණු ගිමෙන් පෙළුනු ක්ලාන්ත වූ හටගත් පවස් ඇති බොනු කැමති පුරුෂයෙක් එන්නේ ය. හෙතෙමේ ඒ ලිඳ බලන්නේ ය. ඔහුට ජලය ය යි දැනීම වන්නේ ය. කයින් පැහැස නො ද වෙසෙන්නේ ය. ඇවැත්නි, එසෙයින් ම භව නිරෝධය නිවන ය යි මනා නුවණින් තතුසේ දක්නා ලදී. ක්‍ෂීණාස්‍රව වූ රහතෙක් නො ද වෙමි. මෙසේ කී කල ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ ආයුෂ්මත් සවිට්ඨ තෙරුන්ට “ඇවැත්නි සවිට්ඨයෙනි, මෙසේ කියන ඔබ ආයුෂ්මත් නාරද තෙරුන්ට කුමක් කියහි දැ”යි මෙය කීහ. ඇවැත්නි ආනන්‍දයෙනි, මෙසේ මෙසේ කියන මම ආයුෂ්මත් නාරද තෙරුන්ට යහපතින් තොර කුසලින් තොර කිසිවක් නො කියමි යි.
උපයන්ති සූත්‍රය
69. සැවැත්නුවර–
මහණෙනි, මහමුහුද ගලන්නේ මහාගඞ්ගාවන් පුරවයි. මහාගඞ්ගා ගලන්නාහු කුඩා ගඞ්ගාවන් පුරවත්. කුඩා ගඞ්ගා ගලන්නාහු මහහෙප් පුරවත්. මහහෙප් ගලන්නාහු කුඩා හෙප් පුරවත්. මහණෙනි, එසෙයින් ම අවිද්‍යාව වැඩෙන්නී සංස්කාර වඩයි. සංස්කාරයෝ වැඩෙන්නාහු විඤ්ඤාණය වඩත්. විඤ්ඤාණය වැඩෙන්නේ නාමරූප වඩයි. නාමරූප වැඩෙන්නේ සළායතන වඩයි. සළායතන වැඩෙන්නේ ඵස්සය වඩයි. ඵස්සය වැඩෙන්නේ වේදනාව වඩයි. වේදනාව වැඩෙන්නී තණ්හාව වඩයි. තණ්හාව වැඩෙන්නී උපාදාන වඩයි. උපාදාන වැඩෙන්නේ භවය වඩයි. භවය වැඩෙන්නේ ජාතිය වඩයි. ජාතිය වැඩෙන්නී ජරාමරණ වඩයි.
මහණෙනි, මහමුහුද බැස යන්නේ මහාගඞ්ගා බස්වයි. මහාගඞ්ගා බැස යන්නාහු කුඩා ගඞ්ගා බස්වත්. කුඩා ගඞ්ගා බැස යන්නාහු මහහෙබ් බස්වත්. මහහෙබ් බැස යන්නාහු කුඩා හෙබ් බස්වත්. මහණෙනි, එසෙයින් ම අවිද්‍යාව පහ ව යන්නී සංස්කාර පහ කෙරෙයි. සංස්කාරයෝ පහ ව යන්නාහු විඥානය පහ කෙරෙත්. විඥානය පහ ව යන්නේ නාමරූප පහ කෙරෙයි. නාමරූප පහ ව යන්නේ ෂඩායතන පහ කෙරෙයි. ෂඩායතන පහ ව යන්නේ ස්පර්‍ශය පහ කෙරෙයි. ස්පර්‍ශය පහ ව යන්නේ වේදනාව පහ කෙරෙයි. වේදනාව පහ ව යන්නී තෘෂ්ණාව පහ කෙරෙයි. තෘෂ්ණාව පහ ව යන්නී උපාදාන පහ කෙරෙයි. උපාදාන පහ ව යන්නේ භවය පහ කෙරෙයි. භවය පහ ව යන්නේ ජාතිය පහ කෙරෙයි. ජාතිය පහ ව යන්නී ජරාමරණ පහ කෙරේ යි.
සුසීම සූත්‍රය
70. මා විසින් මෙසේ අසන ලදී: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි කලන්‍දකනිවාප නම් වූ වේළුවනාරාමයෙහි වැඩවසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ සත්කාර කරණ ලද සේක් ගරුකාර කරණ ලද සේක් බුහුමන් කරණ ලද සේක් පුදන ලද සේක් යටත් පහත් පැවතුම් දක්වන ලද සේක් සිවුරු පිඬු සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර ලබන සුලු සේක් වෙති. බික්සඟන ද සත්කාර කරණ ලද්දේ ගරුකාර කරණ ලද්දේ බුහුමන් කරණ ලද්දේ පුදන කරණ ලද්දේ යටත් පහත් පැවතුම් දක්වන ලද්දේ සිවුරු පිඬු සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර ලබනසුලු වෙයි. අන්තොටු පිරිවැජියෝ වනාහි සත්කාර නො කරණ ලද්දාහු ගරුකාර නො කරණ ලද්දාහු බුහුමන් නො කරණ ලද්දාහු නො පුදන ලද්දාහු යටත් පහත් පැවතුම් නො දක්වන ලද්දාහු සිවුරු පිඬු සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර නො ලබන්නෝ වෙති.
එකල්හි සුසීම පිරිවැජි තෙමේ මහත් පිරිස සමග රජගහනුවර වෙසෙයි. ඉක්බිති සුසීම පිරිවැජ්ජාගේ පිරිස සුසීම පිරිවැජ්ජාට මෙසේ කීහ: ඇවැත්නි, සුසිමයෙනි, එනු මැනව, ඔබ මහණ ගොයුම් කෙරෙහි බඹසර හැසිරෙණු මැනව. ඔබ දහම් පිරිවහා අපට කියවනු මැනව. අපි ඒ දහම පිරිවහා ගිහියනට කියන්නෙමු. මෙසේ අපි දු සත්කාර කරණ ලද්දමෝ ගරුකාර කරණ ලද්දමෝ බුහුමන් කරණ ලද්දමෝ පුදන ලද්දමෝ යටත් පහත් පැවතුම් දක්වන ලද්දමෝ සිවුරු පිඬු සෙනසුන් බෙහෙත් පිරිකර ලබන සුල්ලමෝ වන්නෙමු යි. ඇවැත්නි, එසේ ය යි සුසීම පිරිවැජි තෙමේ සිය පිරිසට පිළිතුරු දී ආයුෂ්මත් අනඳ තෙරුන් වෙත එළඹියේ ය. එළඹ ආයුෂ්මත් අනඳ තෙරුන් සමග සතුටු විය. සතුටු විය යුතු සිහි කට යුතු කථාව කොට නිමවා එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් සුසීම පිරිවැජි තෙමේ ආයුෂ්මත් අනඳ තෙරුන්ට “ඇවැත්නි, ආනන්‍දයෙනි, මේ සස්නෙහි බඹසර හැසිරෙන්නට මම කැමැත්තෙමි” යි මෙය කී ය.
එකල්හි ආයුෂ්මත් අනඳ තෙරණුවෝ සුසීම පිරිවැජ්ජා කැඳවා ගෙන භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹුනහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ආයුෂ්මත් අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට “වහන්ස, මේ සුසීම පිරිවැජි තෙමේ ඇවැත්නි, ආනන්‍දයෙනි, මේ සස්නෙහි බඹසර හැසිරෙන්නට මම කැමැත්තෙමි යි මෙසේ කියා”යි මෙය සැළකළහ. ආනන්‍ද, එසේ නම් සුසීම පැවිදි කරවු යි. සුසීම පිරිවැජි තෙමේ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි පැවිද්ද ලදී. උපසපුව ලදී.
එකල්හි බොහෝ භික්‍ෂූන් විසින් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි “ජාතිය ක්‍ෂය වූවා ය, බඹසර වැස නිමවන ලදී, කටයුතු කරණ ලදී, මේ බැව් පිණිස අනෙකක් නැතැ යි දන්මහ”යි අර්‍හත්‍වය ප්‍රකාශ කරණ ලද්දේ වෙයි. ආයුෂ්මත් සුසීම තෙමේ බොහෝ භික්‍ෂූන් විසින් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි “ජාතිය ක්‍ෂය වූවා ය, බඹසර වැස නිමවන ලදී, කටයුතු කරණ ලදී, මේ බැව් පිණිස අනෙකක් නැතැ යි දැනුම්හ”යි අර්‍හත්‍වය ප්‍රකාශ කරණ ලද්දේ ය යි ඇසී ය.
ඉක්බිති ආයුෂ්මත් සුසීම තෙමේ ඒ භික්‍ෂූන් වෙත එළඹියේ ය. එළඹ ඒ භික්‍ෂූන් සමග සතුටු විය. සතුටු විය යුතු සිහි කට යුතු කථාව කොට නිමවා එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් ආයුෂ්මත් සුසීම තෙමේ ඒ භික්‍ෂුන්ට ආයුෂ්මතුන් විසින් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි “ජාතිය ක්‍ෂය වූවා ය, බඹසර වැස නිමවන ලදී, කටයුතු කරණ ලදී, මේ බැව් පිණිස අනෙකක් නැතැ යි දැනුම්හ”යි අර්‍හත්‍වය ප්‍රකාශ කරණ ලද්දේ සැබෑ දැයි මෙය කී ය. ඇවැත්නි ,එසේ ය යි.
ආයුෂ්මත්නි, මෙසේ දන්නා වූ මෙසේ දක්නා වූ තෙපි නන්වැදෑරුම් ඍද්ධි කොටස් විඳිවු ද? (කෙසේ ද යත්:) එකෙක් වීත් බොහෝ අයුරු වවු ද, බොහෝ අයුරු වීත් එකෙක් වවු ද, පැණෙන බවත් නො පැණෙන බවත් කරවු ද, අහසෙහි මෙන් බිතු සරස පවුරු සරස නො ගැටෙමින් යවු ද, දියෙහි මෙන් පොළොවෙහිත් කිමිදීම් මතුවීම් කරවු ද, පොළොවෙහි මෙන් නො බිඳෙන දියෙහිත් යවු ද, පියාපත් ඇති පක්‍ෂියෙකු මෙන් අහසෙහිත් පළඟින් හැසිරෙවු ද, මෙසේ මහත් ඍද්ධි ඇති මහත් ආනුභාව ඇති මේ සඳහිරු දෙදෙනත් අතින් පරාමර්‍ශන කරවු ද, පිරිමදි වු ද, බඹලොව තෙක් කයින් වශයෙහි පවත්වවු දැ යි? ඇවැත්නි, මෙය නො වේ මැ යි.
ආයුෂ්මත්නි, මෙසේ දන්නා මෙසේ දක්නා තෙපි පිරිසුදු වූ මිනිස් බැව් ඉක්ම පැවති දිව්‍යමය වූ ශ්‍රෝත්‍ර ධාතුවෙන් දෙවියන් පිළිබඳ වූත් මිනිසුන් පිළිබඳ වූත් දුර වූත් ලඟ වූත් දෙවැදෑරුම් ශබ්ද අසවු දැයි? ඇවැත්නි, මේ නො වේ ම ය.
ආයුෂ්මත්නි, තෙපි මෙසේ දන්නාහු මෙසේ දක්නාහු තම සිතින් අන් සතුන්ගේ අන්පුඟුලන් සිත පිරිසිඳ දනිවු ද? (කෙසේ ද යත්:) සරාග සිතත් සරාග සිත ය යි දනිවු ද, වීතරාග සිතත් වීතරාග සිත ය යි දනිවු ද, සදෝස සිතත් සදෝස සිත ය යි දනිවු ද, වීතදෝස සිතත් වීතදෝස සිත ය යි දනිවු ද, සමෝග සිතත් සමෝග සිත ය යි දනිවු ද, වීතමෝහ සිතත් වීතමෝහ සිත ය යි දනිවු ද, සඞ්ඛිත්ත සිතත් සඞ්ඛිත්ත සිත ය යි දනිවු ද, වික්ඛිත්ත සිතත් වික්ඛිත්ත සිත ය යි දනිවු ද, මහග්ගත සිතත් මහග්ගත සිත ය යි දනිවු ද, අමහග්ගත සිතත් අමහග්ගත සිත ය යි දනිවු ද, සඋත්තර සිතත් සඋත්තර සිත ය යි දනිවු ද, අනුත්තර සිතත් අනුත්තර සිත ය යි දනිවු ද, සමාහිත සිතත් සමාහිත සිත ය යි දනිවු ද, අසමාහිත සිතත් අසමාහිත සිත ය යි දනිවු ද, විමුත්ත සිතත් විමුත්ත සිත ය යි දනිවු ද, අවිමුත්ත සිතත් අවිමුත්ත සිත ය යි දනිවු දැ යි? ඇවැත්නි, මෙය නො වේ ම ය.
ආයුෂ්මත්නි, තෙපි මෙසේ දන්නාහු මෙසේ දක්නාහු නන් අයුරු වූ පෙර විසූ කඳපිළිවෙළ සිහි කරවු ද? කෙසේද යත්: එක් ජාතියකුත්, ජාති දෙකකුත්, ජාති තුනකුත්, ජාති සතරකුත්, ජාති පසකුත්, ජාති දසයකුත්, ජාති විස්සකුත්, ජාති තිසකුත්, ජාති සාළිසකුත්, ජාති පණසකුත්, ජාති සියකුත්, ජාති දහසකුත්, ජාති ලක්‍ෂයකුත්, නොයෙක් වැනසෙන කල්පයනුත්, නොයෙක් වැඩෙන කල්පයනුත්, නොයෙක් වැනසෙන වැඩෙන කල්පයනුත් (සිහි කරවු ද?) ‘අසුවල් තැන මෙබඳු නම් ඇත්තෙම්, මෙබඳු ගෝත්‍ර ඇත්තෙම්, මෙබඳු වර්‍ණ ඇත්තෙම්, මෙසේ සුවදුක් විඳිනසුලු වූයෙම්, මෙසේ ආයු කෙළවර කොට ඇත්තෙම් වීමි. ඒ මම එයින් ච්‍යුත වූයෙම් අසුවල් තැන පහළ වූයෙමි. එහි දු මෙබඳු නම් ඇත්තෙම්, මෙබඳු ගෝත්‍ර ඇත්තෙම්, මෙබඳු වර්‍ණ ඇත්තෙම්, මෙබඳු ආහාර ඇත්තෙම්, මෙසේ සුවදුක් විඳිනසුලු වූයෙම් මෙසේ ආයු කෙළවර කොට ඇත්තෙම් වීමි. ඒ මම එයින් ච්‍යුත වූයෙම් මෙහි උපන්මි’යි මෙසේ ආකාර සහිත උද්දේස සහිත නන් අයුරු වූ පෙර විසූ කඳපිළිවෙළ සිහි කරවු ද? ඇවැත්නි, මෙය නො වේ ම ය.
ආයුෂ්මත්නි, තෙපි මෙසේ දන්නාහු මෙසේ දක්නාහු පිරිසිදු වූ මිනිසැස ඉක්ම පවත්නා දිවැසින් ච්‍යුත වන්නා වූ ද උපදින්නා වූ ද සත්ත්‍වයන් දකිවු ද? හීන වූ ද ප්‍රණීත වූ ද සුවර්‍ණ වූ ද දුවර්‍ණ වූ ද යහපත් ගති අත්තා වූ ද නපුරු ගති අත්තා වූ ද කම් වූ පරිදි පැමිණියා වූ ද සත්ත්‍වයින් දනි වු ද, “මේ පින්වත් සත්ත්‍වයෝ කායදුශ්චරිතයෙන් යුක්තයහ. වාග්දුශ්චරිතයෙන් යුක්තයහ. මනෝ දුශ්චරිතයෙන් යුක්තයහ. ආර්‍ය්‍යයන්ටඋපවාද කරන්නහු ය. මිසදිටු ගත්තහ. මිසදිටුකම් සමාදන් වූවහුය. ඔහු කාබුන් මරණින් මතු සැපයෙන් පහ වූ නපුරු ගති ඇති විවස ව පතිත වන නිරයට පැමිණියහ. මේ පින්වත් සත්ත්‍වයෝ කායසුචරිතයෙන් යුක්තයහ. වාග්සුචරිතයෙන් යුක්තයහ. මනඃසුචරිතයෙන් යුක්තයහ. ආර්‍ය්‍යයන්ට උපවාද නො කරන්නහු ය. සම්‍යග්දෘෂ්ටි ගත්තහ. සම්‍යග්දෘෂ්ටිකර්‍ම සමාදන් වූවහුය. ඔහු කාබුන් මරණින් මතු මනා ගති ඇති ස්වර්‍ගලෝකයට පැමිණියහ”යි මෙසේ විශුද්ධ වූ මිනිසැස ඉක්ම සිටි දිවැසින් ච්‍යුත වන්නා වූ ද උපදින්නා වූ ද සත්ත්‍වයන් දකිවු ද, හීන වූ ද ප්‍රණීත වූ ද සුවර්‍ණ වූ ද දුවර්‍ණ වූ ද මනා ගති ඇත්තා වූ ද නපුරු ගති අත්තා වූ ද කම් වූ පරිදි පැමිණියා වූ ද සත්ත්‍වයින් දනි වු ද? ඇවැත්නි, මෙය නො වේ ම ය.
ආයුෂ්මත්නි, තෙපි මෙසේ දන්නාහු මෙසේ දක්නාහු රූපයෙන් ඉක්ම සිටි යම් ඒ ශාන්ත අරූප විමෝක්‍ෂයෝ වෙත් නම් ඔවුන් කයින් පැහැස වෙසෙවු ද? ඇවැත්නි, මෙය නො වේ ම ය. ආයුෂ්මත්නි, දැන් මෙහි මේ ප්‍රකාශය ද මේ ධර්‍මයන්ට නො පැමිණීම ය. ඇවැත්නි, මෙය කෙසේ වේ ද? ‘ඇවැත් සුසීම, අපි (ශුෂ්ක විදර්‍ශකයමෝ විදර්‍ශනා) ප්‍රඥායෙන් ම මිදුනමෝ වම්හ’යි. ආයුෂ්මතුන් විසින් සැකෙවින් කියන ලද මෙහි අරුත විතර විසින් මම නො ම දනිමි. යම් සේ ආයුෂ්මතුන් විසින් සැකෙවින් කියන ලද මෙහි අරුත විතර විසින් මම දැන ගතහෙම් ද, ආයුෂ්මත්හු මට එසේ කියත්ව යි අයදිමි. ‘ඇවැත් සුසීම, තෝ දැන ගන්නෙහි හෝ නො දැන ගන්නෙහි හෝ (වේවා) අපි වූ කලී ප්‍රඥාමාත්‍රයෙන් ම මිදුනෝ වම්හ’යි.
ඉක්බිති ආයුෂ්මත් සුසීම තෙමේ හුනනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ආයුෂ්මත් සුසීම තෙමේ ඒ භික්‍ෂූන් සමග යම් පමණ කථාසල්ලාපයෙක් වී ද, ඒ සියල්ල භාග්‍යවතුන් වහන්සේට සැළකළේය.
“සුසීම, පළමු ම විදර්‍ශනාඥානය වේ. පසුව මාර්‍ගඥානය උපදී.”
වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් වදාරණ ලද මෙහි අරුත විතර විසින් මම නො ම දනිමි. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් වදාරණ ලද මෙහි අරුත විතර විසින් මම යම් සේ දැන ගතහෙම් ද, භාග්‍යවතුන් වහන්සේ මට එසේ වදාරණ සේක්වායි අයදිමි.
‘සුසීම, තෝ දැන ගන්නෙහි හෝ නො දැන ගන්නෙහි හෝ (වේවා) විදසුන් නුවණ වූ කලී පළමුව උපදී. මඟනුවණ පසුව උපදී.’
සුසීම, ඒ කිමැයි හඟිහි ද, රූපය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ ද? ‘වහන්ස, අනිත්‍ය ය.’ යමක් අනිත්‍ය නම් ඒ දුක් හෝ සැප හෝ වේද? ‘වහන්ස, දුක් ය.’ යමක් අනිත්‍ය නම් දුක් නම් පෙරළෙන සුලු නම් එය ‘මෙය මා ගේ ය. මේ මම වෙමි. මේ මාගේ ආත්මය’යි දක්නට සුදුසු වේ ද? ‘වහන්ස, මෙය නො වේ ම ය.’ වේදනාව නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ ද? ‘වහන්ස, අනිත්‍ය ය.’ ... සංඥාව නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ ද? ‘වහන්ස, අනිත්‍ය ය.’ ... සංස්කාරයෝ නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ ද? ‘වහන්ස, අනිත්‍ය ය.’ ... විඥානය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ ද? ‘වහන්ස, අනිත්‍ය ය.’ යමක් අනිත්‍ය නම් ඒ දුක් හෝ සැප හෝ වේ ද? ‘වහන්ස, දුක් ය.’ යමක් අනිත්‍ය නම් දුක් නම් පෙරළෙන සුලු නම්, එය ‘මෙය මා ගේ ය. මේ මම වෙමි. මේ මාගේ ආත්මය’යි දක්නට සුදුසු වේ ද? ‘වහන්ස, මෙය නො වේ ම ය.’
සුසීම, එහෙයින් මෙහි ආධ්‍යාත්මික වූ හෝ බාහිර වූ හෝ, ඖදාරික වූ හෝ සූක්‍ෂම වූ හෝ, හීන වූ හෝ ප්‍රණීත වූ හෝ, දුර වූ හෝ ලඟ වූ හෝ, අතීතානාගතපච්චුප්පන්න යම් කිසි රූපයෙක් වේ නම් ඒ සියලු රූපය ‘මෙය මාගේ නො වේ. මේ මම නො වෙමි. මේ මාගේ ආත්මය නො වේ ය’යි මෙසේ මෙය තතුසේ මනා නුවණින් දැක්ක යුතු යි. අතීතානාගතපච්චුප්පන්න වූ යම් කිසි රූපයෙක් වේ ද ... යම් කිසි සංඥාවක් වේ ද ... ආධ්‍යාත්මික වූ හෝ බාහිර වූ හෝ, ඖදාරික වූ හෝ සූක්‍ෂම වූ හෝ, හීන වූ හෝ ප්‍රණීත වූ හෝ, දුර වූ හෝ ලඟ වූ හෝ, අතීතානාගතපච්චුප්පන්න යම් කිසි සංස්කාරයෝ වෙත් නම් ඒ සියලු සංස්කාරයෝ ‘මෙය මාගේ නො වේ. මේ මම නො වෙමි. මේ මාගේ ආත්මය නො වේ ය’යි මෙසේ තතුසේ මනා නුවණින් දැක්ක යුතු යි. ආධ්‍යාත්මික වූ හෝ බාහිර වූ හෝ, ඖදාරික වූ හෝ සූක්‍ෂම වූ හෝ, හීන වූ හෝ ප්‍රණීත වූ හෝ, දුර වූ හෝ ලඟ වූ හෝ, අතීතානාගතපච්චුප්පන්න විඤ්ඤාණයෙක් වේ නම් ඒ සියලු විඤ්ඤාණය ‘මෙය මාගේ නො වේ. මේ මම නො වෙමි. මේ මාගේ ආත්මය නො වේ ය’යි මෙසේ මෙය තතුසේ මනා නුවණින් දැක්ක යුතු යි.
සුසීම, ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ මෙසේ දක්නේ රූපයෙහි ද කලකිරෙයි. වේදනාවෙහි ද කලකිරෙයි. සංඥාවෙහි ද කලකිරෙයි. සංස්කාරයන්හි ද කලකිරෙයි. විඥානයෙහි ද කලකිරෙයි. කලකිරෙනුයේ නො ඇලෙයි. නො ඇල්මෙන් මිදෙයි. මිදුනු කල්හි මිදුනේ ය යි දැන්ම වෙයි. ‘ජාතිය ක්‍ෂය වූවා ය. බඹසර වස නිමවන ලදී. කට යුතු කරණ ලදී. මේ බැව් පිණිස අනෙකක් නැතැ’යි දැන ගනී.
සුසීම, ජාති ප්‍රත්‍යයෙන් ජරාමරණ වේ ය යි දකිහි ද? ‘වහන්ස, එසේ ය.’ සුසීම, භව ප්‍රත්‍යයෙන් ජාතිය වේ ය යි දකිහි ද? ‘වහන්ස, එසේ ය.’ සුසීම, උපාදාන ප්‍රත්‍යයෙන් භවය වේ ය යි දකිහි ද? ‘වහන්ස, එසේ ය.’ සුසීම, තණ්හා ප්‍රත්‍යයෙන් උපාදානවේ ය යි දකිහි ද? ‘වහන්ස, එසේ ය.’ සුසීම, වේදනා ප්‍රත්‍යයෙන් තෘෂ්ණාව වේ ය යි ... ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනාව වේ ය යි ... ෂඩායතන ප්‍රත්‍යයෙන් ස්පර්‍ශය වේ ය යි ... නාමරූප ප්‍රත්‍යයෙන් ෂඩායතන වේ ය යි ... විඥාන ප්‍රත්‍යයෙන් නාමරූප වේ ය යි ... සංස්කාර ප්‍රත්‍යයෙන් විඥානය වේ ය යි ... සුසීම, අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංස්කාර වේ ය යි දකිහි ද? ‘වහන්ස, එසේ ය.’
සුසීම, ජාති නිරෝධයෙන් ජරාමරණ නිරෝධය වේ ය යි දකිහි ද? ‘වහන්ස, එසේ ය.’ සුසීම, භව නිරෝධයෙන් ජාති නිරෝධය වේ ය යි දකිහි ද? ‘වහන්ස, එසේ ය.’ ... උපාදාන නිරෝධයෙන් භව නිරෝධය වේ ය යි ... තෘෂ්ණා නිරෝධයෙන් උපාදාන නිරෝධය වේ ය යි … වේදනා නිරෝධයෙන් තෘෂ්ණා නිරෝධය වේ ය යි ... ස්පර්‍ශ නිරෝධයෙන් වේදනා නිරෝධය වේ ය යි ... ෂඩායතන නිරෝධයෙන් ස්පර්‍ශ නිරෝධය වේ ය යි ... නාමරූප නිරෝධයෙන් ෂඩායතන නිරෝධය වේ ය යි ... විඥාන නිරෝධයෙන් නාමරූප නිරෝධය වේ ය යි ... සංස්කාර නිරෝධයෙන් විඥාන නිරෝධය වේ ය යි ... සුසීම, අවිද්‍යා නිරෝධයෙන් සංස්කාර නිරෝධය වේ ය යි දකිහි ද? ‘වහන්ස, එසේ ය.’
සුසීම, තෝ මෙසේ දන්නෙහි මෙසේ දක්නෙහි නන් අයුරු වූ ඍද්ධි කොටස් විඳිහි ද? (එනම්:) එකෙක් වී බොහෝ අයුරුත් වෙහි ද, බොහෝ අයුරු වී එකෙකුත් වෙහි ද, පැණෙන බවත් නො පැණෙන බවත් (කෙරෙහි ද), අහසෙහි මෙන් බිතු සරස පවුරු සරස, පවු සරස නො ගැටෙමින් යෙහි ද, දියෙහි මෙන් පොළොවෙහිත් මතුවීම් කිමිදීම් කෙරෙහි ද, පොළොවෙහි මෙන් නො බිඳෙන දියෙහිත් යෙහි ද, පියාපත් ඇති පක්‍ෂියෙකු මෙන් අහසෙහිත් පළඟින් යෙහි ද, මෙබඳු මහත් ඍද්ධි ඇති මෙබඳු මහත් ආනුභාව ඇති මේ සඳහිරු දෙදෙනත් අතින් පරාමර්‍ශනය කෙරෙහි ද, පිරිමදි හි ද, බඹලොව තෙක් දු කයින් වශයෙහි පවත්වහි ද? ‘වහන්ස, මෙය නො වේ ම ය.’
සුසීම, තෝ මෙසේ දන්නෙහි මෙසේ දක්නෙහි පිරිසුදු වූ මිනිස් බැව් ඉක්ම සිටි දිව්‍යමය වූ ශ්‍රෝත්‍ර ධාතුවෙන් දෙවියන් පිළිබඳ වූත් මිනිසුන් පිළිබඳ වූත් දුර වූත් ලඟ වූත් දෙවැදෑරුම් ශබ්ද අසහි ද? ‘වහන්ස, මෙය නො වේ ම ය.’
සුසීම, තෝ මෙසේ දන්නෙහි මෙසේ දක්නෙහි තම සිතින් අන් සතුන්ගේ අන් පුඟුලන්ගේ සිත පිරිසිඳ දනිහි ද? සරාග වූ හෝ සිත සරාග සිත ය යි දනිහි ද, ... විමුත්ත වූ හෝ සිත විමුත්ත සිත ය යි දනිහි ද? ‘වහන්ස, මෙය නො වේ ම ය.’
සුසීම, තෝ මෙසේ දන්නෙහි මෙසේ දක්නෙහි නන් අයුරු වූ පෙර විසූ කඳපිළිවෙළ සිහි කෙරෙහි ද? කෙසේද යත්: එක් ජාතියකුත් ... මෙසේ ආකාර සහිත උද්දේස සහිත නන් අයුරු වූ පෙර විසූ කඳපිළිවෙළ සිහි කෙරෙහි ද? ‘වහන්ස, මෙය නො වේ ම ය.’
සුසීම, තෝ මෙසේ දන්නෙහි මෙසේ දක්නෙහි පිරිසුදු වූ මිනිසැස ඉක්ම සිටි දිවැසින් ච්‍යුත වන්නා වූ ද උපදින්නා වූ ද සත්ත්‍වයින් දකිහි ද ... කම් වූ පරිදි පැමිණි සත්ත්‍වයින් දකිහි ද? ‘වහන්ස, මෙය නො වේ ම ය.’
සුසීම, තෝ මෙසේ දන්නෙහි මෙසේ දක්නෙහි රූපයන් ඉක්මවා සිටි යම් ඒ ශාන්ත අරූප විමෝක්‍ෂයෝ වෙත් නම් ඔවුන් කයින් පැහැස වෙසෙහි ද? ‘වහන්ස, මෙය නො වේ මැ යි.’
සුසීම, දැන් මෙහි මේ ප්‍රකාශය ද මේ ධර්‍මයන්ට නො පැමිණීම ය. සුසීම මෙය කෙසේ වේ ද?
එකල්හි ආයුෂ්මත් සුසීම තෙමේ භාග්‍යවතුන් වහන්සේ පා ළඟ හිසින් වැටී භාග්‍යවතුන් වහන්සේ ට මෙය සැළ කළේය: වහන්ස, ‘යම්බඳු මම මෙසේ ස්වාක්ඛාත වූ ශාසනයෙහි දහම් සොරකුව පැවිදි වූයෙම් ද, බාලයකු මෙන් මෝඩයකු මෙන් අදක්‍ෂයකු මෙන් වරද ඒ මා ඉක්ම ගියේය. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ ඒ මාගේ වරද ආයති සංවරය පිණිස වරද වශයෙන් පිළිගන්නා සේක් වා’ යි.
සුසීම, යම්බඳු තෝ මෙසේ ස්වාක්ඛාත වූ ශාසනයෙහි දහම් සොරකුව පැවිදි වූයෙහි ද, බාලයකු මෙන් මෝඩයකු මෙන් අදක්‍ෂයකු මෙන් වරද ඒකාන්තයෙන් තා ඉක්ම ගියේය. සුසීම, යම් සේ අපරාධකාරී සොරකු ගෙන ‘දේවයන් වහන්ස, මේ ඔබ වහන්සේට අපරාධ කළ සොරෙකි. මොහුට යම් දණ්ඩනයක් රිසියෙහි නම් පණවනු මැනැවැ’ යි රජුට දක්වන්නාහු ද, රජ තෙමේ ඒ ඔහුට මෙසේ කියන්නේ ය: ‘පින්වත්නි, යවු. මේ පුරුෂයා දැඩි රැහැණින් පිටිතල හයා දැඩි බැම්මෙන් බැඳ ක්‍ෂුරයෙන් හිස මුදු කොට රළු හඬැති පණාබෙරින් වීදියෙන් වීදියට සිවුමංසලින් සිවුමංසලට පමුණුවා දකුණු දොරින් නික්මවා නුවර දකුණු පසෙහි දී හිස ගසා ලවු’යි. රාජපුරුෂයෝ ඒ ඔහු දැඩි රැහැනින් පිටිතල හයා දැඩි බැම්මෙන් බැඳ ක්‍ෂුරයෙන් හිස මුදු කොට රළුහඩ ඇති පණාබෙරින් වීදියෙන් වීදියට සිවුමංසලින් සිවුමංසලට පමුණුවා දකුණු දොරින් නික්මවා නුවර දකුණු පසෙහි දී හිස සිඳින්නාහු ය.
සුසීම, ඒ කිමැයි හඟිහි ද. ඒ පුරුෂ තෙමේ ඒ හේතු කොට දුකක් දොම්නසක් විඳින්නේ දැයි? ‘වහන්ස, එසේ ය.’
සුසීම, ඒ පුරුෂ තෙමේ ඒ හේතුවෙන් යම්බඳු දුකක් දොම්නසක් විඳින්නේ ද, මෙසේ ස්වාක්ඛාත වූ ශාසනයෙහි දහම් සොරකුගේ යම් පැවිද්දක් වේ ද, මේ පැවිද්ද ඒ දුකට වඩා අතිශයින් දුක්විපාක ඇත්තේ ද, අතිශයින් කටුක විපාක ඇත්තේ ද වෙයි. වැලිදු නිරය පිණිස ද පවතී. සුසීම, යම් හෙයකින් තෝ වරද වරද වශයෙන් දැක දහම් වූ පරිදි පිළියම් කෙරෙහි ද, තාගේ ඒ වරද පිළිගණුම්හ. සුසීම, යමෙක් වරද වරද වශයෙන් දැක දහම් වූ පරිදි පිළියම් කෙරේ නම් ආයති සංවරයටත් පැමිණේ නම් ආර්‍ය්‍යවිනයෙහි මේ වැඩීමෙක් ම ය.
මහා වර්‍ගය සත් වැනි යි.
එහි උද්දානය :
අස්සුතවන්තු සූත්‍ර දෙක ද, පුත්තමංස, අත්‍ථිරාග, නගර, සම්මසන, නළකලාපි , කෝසම්බි , උපයන්ති, සුසීම සූත්‍ර දැ යි සූත්‍ර දශයෙකි.
8. සමණබ්‍රාහ්මණ වර්‍ගය
ජරාමරණ සූත්‍රය
71. මා විසින් මෙසේ අසන ලදි: එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩවසන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ ... මෙය වදාළ සේක:
මහණෙනි, යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ ජරාමරණ නො දනිත් ද, ජරාමරණ සමුදය නො දනිත් ද, ජරාමරණ නිරෝධය නො දනිත් ද, ජරාමරණ නිරෝධගාමිනී ප්‍රතිපදාව නො දනිත් ද, මහණෙනි, ඒ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ ශ්‍රමණයන් කෙරෙහි දු ශ්‍රමණයෝ ය යි සම්මත නො වෙති. බ්‍රාහ්මණයන් කෙරෙහි දු බ්‍රාහ්මණයෝ ය යි සම්මත නො වෙති. ඒ ආයුෂ්මත්හු මහණ දමෙහි ඵලය හෝ බමුණු දමෙහි ඵලය හෝ මේ අත්බැව්හි තෙමේ විශිෂ්ටඥානයෙන් දැන පසක් කොට ඊට පැමිණ වාසය නො කෙරෙති.
මහණෙනි, යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ ජරාමරණ දනිත් ද, ජරාමරණසමුදය දනිත් ද, ජරාමරණනිරෝධය දනිත් ද, ජරාමරණනිරෝධගාමිනීප්‍රතිපදාව දනිත් ද, මහණෙනි, ඒ මහණෝ හෝ බමුණෝ හෝ මහණුන් කෙරෙහි දු මහණෝ ය යි සම්මත වෙති. බමුණන් කෙරෙහි දු බමුණෝ ය යි සම්මත වෙති. ඒ ආයුෂ්මත්හු මහණදමේ ඵලයත් බමුණු දමෙහි ඵලයත් මේ අත්බැව්හි තෙමේ විශිෂ්ටඥානයෙන් දැන පසක් කොට ඊට පැමිණ වෙසෙති යි.
ජාති සූත්‍රය
72. යම් කිසි … කෙනෙක් ජාතිය නො දනිද්ද … යම් කිසි … කෙනෙක් ජාතිය දනීද ...
භව සූත්‍රය
73. යම් කිසි … කෙනෙක් භවය නො දනිද්ද … යම් කිසි … කෙනෙක් භවය දනිද්ද ...
උපාදාන සූත්‍රය
74. යම් කිසි … කෙනෙක් උපාදානය නො දනිද්ද … යම් කිසි … කෙනෙක් උපාදානය දනිද්ද ...
තණ්හා සූත්‍රය
75. යම් කිසි … කෙනෙක් තණ්හාව නො දනිද්ද … යම් කිසි … කෙනෙක් තණ්හාව දනිද්ද ...
වේදනා සූත්‍රය
76. යම් කිසි … කෙනෙක් වේදනාව නො දනිද්ද … යම් කිසි … කෙනෙක් වේදනාව දනිද් ද..
ඵස්ස සූත්‍රය
77. යම් කිසි … කෙනෙක් ඵස්සය නො දනිද්ද … යම් කිසි … කෙනෙක් ඵස්සය දනිද් ද ...
සළායතන සූත්‍රය
78. යම් කිසි … කෙනෙක් සළායතන නො දනිද්ද … යම් කිසි … කෙනෙක් සළායතන දනිද් ද ...
නාමරූප සූත්‍රය
79. යම් කිසි … කෙනෙක් නාමරූප නො දනිද්ද … යම් කිසි … කෙනෙක් නාමරූප දනිද් ද ...
විඤ්ඤාණ සූත්‍රය
80. යම් කිසි … කෙනෙක් විඤ්ඤාණය නො දනිද්ද … යම් කිසි … කෙනෙක් විඤ්ඤාණය දනිද් ද ...
සඞ්ඛාර සූත්‍රය
81. මහණෙනි, යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ සඞ්ඛාර නො දනිද්ද, සඞ්ඛාරසමුදය නො දනිද්ද, සඞ්ඛාරනිරෝධය නො දනිද්ද ... සඞ්ඛාරනිරෝධගාමිනී ප්‍රතිපදාව නො දනිද්ද … ඒ ආයුෂ්මත්හු මහණදම්හි ඵලය හෝ බමුණුදම්හි ඵලය හෝ මේ අත්බැව්හි තෙමේ ම විශිෂ්ටඥානයෙන් දැන පසක් කොට ඊට පැමිණ වාසය නො කෙරෙති.
මහණෙනි, යම් කිසි මහණකෙනෙක් හෝ බමුණුකෙනෙක් හෝ සඞ්ඛාර දනිද් ද, ... ඒ ආයුෂ්මත්හු මහණදම්හි ඵලයත් හෝ බමුණුදම්හි ඵලයත් මේ අත්බැව්හි තෙමේ ම විශිෂ්ටඥානයෙන් දැන පසක් කොට ඊට පැමිණ වෙසෙති යි.
සමණබ්‍රාහ්මණවර්‍ගය අටවැනි යි.
එහි උද්දානය:
සිවුසස් බෙදීමෙන් (ජරාමරණාදි) පච්චය සූත්‍ර එකොළොසෙක් වදාරණ ලදි. අභිසමයසංයුත්තයෙහි සමණබ්‍රාහ්මණවර්‍ගය අටවැන්න වන්නේ යි.
9. අන්තරපෙය්‍යාලය
1. සත්‍ථු වර්‍ගය
1. 9. 1. 1.
ජරාමරණ සූත්‍රය
82. සැවැත්නුවර–
මහණෙනි, ජරාමරණ තතු සේ නො දන්නහු විසින් නො දක්නහු විසින් ජරාමරණයෙහි තතු සේ දැනීම පිණිස (මාර්‍ගඥානදායී) ශාස්තෘවරයෙක් සෙවිය යුත්තේ ය. ජරාමරණසමුදය තතු සේ නො දන්නහු විසින් නො දක්නහු විසින් ජරාමරණසමුදයෙහි තතු සේ දැනීම පිණිස ශාස්තෘවරයෙක් සෙවිය යුත්තේ ය. ජරාමරණ නිරෝධය තතු සේ නො දන්නහු විසින් නො දක්නහු විසින් ජරාමරණ නිරෝධයෙහි තතු සේ දැනීම පිණිස ශාස්තෘවරයෙක් සෙවිය යුත්තේ ය. ජරාමරණ නිරෝධගාමිනීප්‍රතිපදාව තතු සේ නො දන්නහු විසින් නො දක්නහු විසින් ජරාමරණනිරෝධගාමිනීප්‍රතිපදාවෙහි තතු සේ දැනීම පිණිස ශාස්තෘවරයෙක් සෙවිය යුත්තේ යි.
(සියල්ල පිළිබඳ පෙය්‍යාලය මෙසේ විස්තර කට යුතු.)
1. 9. 1. 2.
ජාති සූත්‍රය
83. මහණෙනි, ජාතිය තතු සේ නො දන්නහු විසින් නො දක්නහු විසින් ... තතු සේ දැනීම පිණිස ශාස්තෘවරයෙක් සෙවිය යුත්තේ යි.
1. 9. 1. 3.
භව සූත්‍රය
84. මහණෙනි, භවය තතු සේ නො දන්නහු විසින් නො දක්නහු විසින් ... තතු සේ දැනීම පිණිස ශාස්තෘවරයෙක් සෙවිය යුත්තේ යි.