Saṁyutta Nikāya

Connected Discourses

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-30 · 15083 segments

පෙන්වන කොටස් 3701-3800 න් 15083

මහණෙනි, නූගත් පුහුදුන් තෙමේ සතර මහාභූතයන්ගෙන් හටගත් මේ සිරුරෙහි කළකිරෙන්නේත් නො ඇලෙන්නේත් මිදෙනු කැමැත්තේත් වෙයි. ඒ කවර හෙයින යත්: මහණෙනි, සතර මහාභූතයන්ගෙන් හටගත් මේ සිරුරෙහි වැඩීමත් පිරිහීමත් හටගැනීමත් බිඳීමත් පෙණෙයි. එහෙයින් නූගත් පුහුදුන් තෙමේ එහි කළකිරෙන්නේ නො ඇලෙන්නේත් මිදෙනු කැමැත්තේත් වෙයි.
මහණෙනි, මේ යමක් සිත යයි දු මනස යයි දු විඥාන යයි දු කියනු ලැබේ ද, එහි ලා නූගත් පුහුදුන් තෙමේ කලකිරෙන්නට නො සමත් ය, නො ඇලෙන්නට නො සමත් ය, මිදෙනු කැමැති වන්නට නො සමත් ය. ඒ කවර හෙයින යත්: මහණෙනි, නූගත් පුහුදුන්හු විසින් දිගුකලක් මුළුල්ලෙහි (මේ සිත) ‘මෙය මාගේ ය, මේ මම වෙමි, මේ මාගේ ආත්ම ය’යි (තෘෂ්ණාවෙන්) බැස ගන්නා ලද්දේය. මමත්‍වය කරණ ලද්දේය. දෘෂ්ටියෙන් පරාමර්‍ශනය කරණ ලද්දේය. එහෙයින් එහි පුහුදුන් තෙමේ කලකිරෙන්නට නො සමත් ය. නො ඇලෙන්නට නො සමත් ය. මිදෙනු කැමැති වන්නට නො සමත් ය.
මහණෙනි, නූගත් පුහුදුන් තෙමේ සතර මහාභූතයන්ගෙන් හටගත් මේ කය ආත්ම වශයෙන් ගන්නේ නම් මැනවි. සිත (ආත්ම වශයෙන් ගන්නේ නම්) නො ම මැනවි. ඒ කවර හෙයින යත්: මහණෙනි, චාතුම්මහාභූතික මේ කය එක්වසකුත් සිටුනේ දෙවසකුත් සිටුනේ තෙවසකුත් ... සිවුවසකුත් ... පස්වසකුත් ... දසවසකුත් ... විසිවසකුත් ... තිස්වසකුත් ... සාළිස්වසකුත් ... පනස්වසකුත් ... සියවසකුත් සිටුනේ වැඩියකුත් සිටුනේ දක්නා ලැබේ. මහණෙනි, මේ යමක් සිත යයි දු, මනස යයි දු, විඥාන යයි දු, කියනු ලැබේ නම් එය රැයෙහි දු දහවල්හි දු, අනෙකක් ම උපදී. අනෙකක් ම නිරුද්ධ වේ.
මහණෙනි, එහි ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ “මෙසේ මෙය ඇති කල්හි මෙය වෙයි. මෙය හටගැනීමෙන් මෙය උපදී. මෙය නැති කල්හි මෙය නො වේ. මෙය නිරුද්ධවීමෙන් මෙය නිරුද්ධ වේ” ය යි මනා කොට නුවණින් මෙනෙහි කෙරෙයි. මහණෙනි, සුඛවේදනාවට ප්‍රත්‍යය වූ ස්පර්‍ශය නිසා සුඛවේදනාව උපදී. සුඛවේදනාවට ප්‍රත්‍යය වූ ඒ ස්පර්‍ශයේ ම නිරෝධයෙන් ඊට අනුරූප වූ යම් වේදනාවක් වේ නම් සුඛ වේදනාවට ප්‍රත්‍යය වූ ස්පර්‍ශය නිසා උපන් ඒ සුඛ වේදනාව නිරුද්ධ වේ. එය සන්සිඳේ. මහණෙනි, දුක් වේදනාවට ප්‍රත්‍යය වූ ස්පර්‍ශය නිසා දුක් වේදනාව උපදී. දුක් වේදනාවට ප්‍රත්‍යය වූ ඒ ස්පර්‍ශයේ ම නිරෝධයෙන් ඊට අනුරූප වූ යම් වේදනාවක් වේ නම් දුක් වේදනාවට ප්‍රත්‍යය වූ ස්පර්‍ශය නිසා උපන් ඒ දුක් වේදනාව නිරුද්ධ වේ. එය සන්සිඳේ. මහණෙනි, මැදහත් වේදනාවට ප්‍රත්‍යය වූ ස්පර්‍ශය නිසා මැදහත් වේදනාව උපදී. මැදහත් වේදනාවට ප්‍රත්‍යය වූ ඒ ස්පර්‍ශයේ ම නිරෝධයෙන් ඊට අනුරූප වූ යම් වේදනාවක් වේ නම් මැදහත් වේදනාවට ප්‍රත්‍යය වූ ස්පර්‍ශය නිසා උපන් ඒ මැදහත් වේදනාව නිරුද්ධ වේ. එය සන්සිඳේ.
මහණෙනි, යම්සේ දඬු දෙකක් ගැටුම හා එක්වීමෙන් උණුසුම උපදී ද, උණුසුම හටගනී ද, ඒ දඬු දෙක ම වෙන්වීමෙන් බැහැර ලීමෙන් එයින් හටගත් යම් උණුසුමක් වේ නම් එය නිරුද්ධ වේ. එය සන්සිඳේ. මහණෙනි, එසෙයින් ම සුඛවේදනාවට ප්‍රත්‍යය වූ ස්පර්‍ශය නිසා සුඛ වේදනාව උපදී. සුඛවේදනාවට ප්‍රත්‍ය වූ ඒ ස්පර්‍ශයේ ම නිරෝධයෙන් එයට අනුරූප වූ යම් වේදනාවක් වේ නම් සුඛවේදනාවට ප්‍රත්‍යය වූ ස්පර්‍ශය නිසා උපන් ඒ සුඛවේදනාව නිරුද්ධ වේ. එය සන්සිඳේ. දුක් වේදනාවට ප්‍රත්‍යය වූ ස්පර්‍ශය නිසා ... මහණෙනි, මැදහත් වේදනාවට ස්පර්‍ශය නිසා මැදහත් වේදනාව උපදී. මැදහත් වේදනාවට ප්‍රත්‍යය වූ ඒ ස්පර්‍ශයේ ම නිරෝධයෙන් ඊට අනුරූප වූ යම් වේදනාවක් වේ නම් මැදහත් වේදනාවට ප්‍රත්‍යය වූ ස්පර්‍ශය නිසා උපන් ඒ දුක් වේදනාව නිරුද්ධ වේ. එය සන්සිඳේ.
මහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ ස්පර්‍ශයෙහි ද කලකිරෙයි. වේදනාවෙහි ද කලකිරෙයි. සංඥාවෙහි ද කලකිරෙයි. සංස්කාරයන්හි ද කලකිරෙයි. විඥානයෙහි ද කලකිරෙයි. කළකිරෙන්නේ නො ඇලෙයි. නො ඇලීමෙන් මිදෙයි. මිදුනු කල්හි මිදුනේ යයි දැනීම වෙයි. ‘ජාතිය ක්‍ෂය වූවාය. බඹසර වැස නිමවන නිමවන ලදී. කටයුතු කරණ ලදී. මේ බැව් පිණිස අනෙකක් නැතැ’යි දැන ගනී.
පුත්තමංස සූත්‍රය
63. සැවැත්නුවර–
මහණෙනි, උපන් සත්ත්‍වයන්ගේ පැවැත්ම පිණිස ද ඉපදීම අපේක්‍ෂා කරණ සත්ත්‍වයන්ට අනුග්‍රහ පිණිස ද මේ ආහාර සතරෙකි. කවර සතරෙක් ද යත්: ඖදාරික වූ හෝ සුඛුම වූ හෝ කබලීකාර ආහාර ය, දෙවෙනි වූ ස්පර්‍ශාහාර ය, තෙවෙනි වූ මනෝසඤ්චේතනාහාර ය, සිවුවැනි වූ විඥානාහාර ය යි. මහණෙනි, මේ සිවු ආහාර උපන් සත්ත්‍වයන්ගේ ස්ථිතිය පිණිසත් ඉපදීම අපේක්‍ෂා කරනවුන්ට අනුග්‍රහ පිණිසත් වේ.
මහණෙනි, කබලීකාර ආහාරය කෙසේ දතයුත්තේ ද යත්: මහණෙනි, යම් සේ අඹුසැමි දෙදෙනෙක් මද වූ මාර්ගෝපකරණයක් ගෙන කතරමගට පිළිපන්නාහු ද, ඔවුනට ප්‍රිය මනාප වූ එක් පුතෙක් වන්නේ ය. මහණෙනි, එකල්හි කතරමගට පිළිපන් ඒ දෙමහල්ලන්ගේ මඳ වූ යම් මාර්ගෝපකරණයෙක් වී නම් එය ගෙවීමට නිමාවට යන්නේ ය. ඔවුන් විසින් තරණය නොකරණ ලද කතරමංශේෂයෙක් ද වන්නේ ය. මහණෙනි, එකල්හි ඒ දෙමහල්ලන්ට මෙබඳු අදහසෙක් වන්නේ ය. ‘අපගේ මඳ වූ යම් මගවියදමෙක් වී නම් එය ගෙවුනේ ය. අවසන් වූයේ ය. තරණය නො කරණ ලද ඉතිරි වූ මේ කතරමගෙක් ද ඇත. අපි ප්‍රියමනාප වූ මේ එකම පුතු නසා ඝනමසුත් කටුමසුත් වෙන් කොට පුතුමස් කමින් අපි දෙදෙනා ම ඉතිරි කතරමග එතර කරන්නමෝ නම් යෙහෙකි. (එකල්හි) අපි සියලු තිදෙන ම නො වැනසෙන්නමෝ’ යි. මහණෙනි, ඉක්බිති ඒ දෙමහල්ලෝ ප්‍රියමනාප වූ ඒ එක් පුතු නසා ඝනමසුත් කටුමසුත් වෙන් කොට පුතුමස් කමින් මෙසේ ඉතිරි කතරමග තරණය කරන්නාහ. ඔහු පුතුමස් ද කන්නාහු ය. ‘එක ම පුත කොහි ද? එක ම පුත කොහි දැ?’යි ලෙහි ද පහර දෙන්නාහු ය.
මහණෙනි, ඒ කිමැයි හගිහු ද? ඔහු ක්‍රීඩා පිණිස හෝ ආහාර ගන්නාහු ද? මදය පිණිස හෝ ආහාර ගන්නාහු ද? අලඞ්කාරය පිණිස හෝ ආහාර ගන්නාහු ද? සැරසීම පිණිස හෝ ආහාර ගන්නාහු ද? වහන්ස, මේ නොවේ ම ය. මහණෙනි, ඔහු කතරමග තරණය කිරීම පිණිස ම ආහාර ගන්නාහු නො වෙද්ද? වහන්ස, එසේ ය. මහණෙනි, කබලීකාර ආහාරය මෙසේ ම දතයුතු යයි මම කියමි.
මහණෙනි, කබලීකාර ආහාරය පිරිසිඳ දත් කල්හි පඤ්චකාම ගුණිකරාගය පිරිසිඳ දත්තේ වෙයි. පඤ්චකාම ගුණිකරාගය පිරිසිඳ දත් කල්හි යම් සංයෝජනයකින් යුක්ත වූ ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ නැවත මෙලොවට එන්නේ නම් ඒ සංයෝජනය නැත්තේය.
මහණෙනි, ස්පර්‍ශාහාරය කෙසේ දතයුත්තේ ද යත්: මහණෙනි, යම්සේ උදුළසම් ඇති දෙනක් ඉදින් බිත්තියක් ඇසුරු කොට සිටින්නී නම් බිත්තිය ඇසුරු කළ යම් ප්‍රාණීහු වෙද්ද, ඔහු ඇය කන්නාහු ය. ඉදින් රුකක් ඇසුරු කොට සිටින්නී නම් රුක ඇසුරු කළ යම් ප්‍රාණීහු වෙද්ද, ඔහු ඇය කන්නාහු ය. ඉදින් ජලයක් ඇසුරු කොට සිටින්නී නම් ජලය ඇසුරු කළ යම් ප්‍රාණීහු වෙද්ද, ඔහු ඇය කන්නාහු ය. ඉදින් අහස ඇසුරු කොට සිටින්නී නම් අහස ඇසුරු කළ යම් ප්‍රාණීහු වෙද්ද, ඔහු ඇය කන්නාහු ය. මහණෙනි, උදුළසම් ඇති ඒ දෙන යමක් යමක් ඇසුරු කොට සිටින්නී නම් ඒ ඇසුරු කළ යම් ප්‍රාණීහු වෙද්ද, ඔහු ඇය කන්නාහු ය. මහණෙනි, ස්පර්‍ශාහාරය මෙසෙයින් ම දතයුත්තේ යයි මම කියමි.
මහණෙනි, ස්පර්‍ශාහාරය පරිඥාත කල්හි වේදනාත්‍රය පරිඥාත වේ. වේදනාත්‍රය පරිඥාත කල්හි ආර්‍ය්‍යශ්‍රාවකයාහට මත්තෙහි කටයුතු කිසිවක් නැතැයි කියමි.
මහණෙනි, මනෝසඤ්චේතනාහාරය කෙසේ දත යුත්තේද යත්: මහණෙනි, යම්සේ පුරුෂප්‍රමාණයට අධික වූ පහ වූ ගිනිසිළු ඇති, පහ වූ දුම් ඇති, අඟුරෙන් පිරුණු අඟුරුවළක් වේ ද, එකල්හි ජීවත්වනු කැමැති නොමැරෙණු කැමැති සුව කැමැති දුකට පිළිකුල් කරණ පුරුෂයෙක් එන්නේ ය. බලවත් පුරුෂයෝ දෙදෙනෙක් ඒ මොහු වෙන වෙන අතින් ගෙන ඒ අඟුරුවළ කරා අදනාහු ය. මහණෙනි, එකල්හි ඒ පුරුෂයාගේ සිතිවිල්ල දුර ම වන්නේ ය. පැතුම දුර ම වන්නේ ය. අපේක්‍ෂාව දුර ම වන්නේ ය. ඒ කවර හෙයින යත්: මහණෙනි, “මම මේ අඟුරුවළට වැටෙන්නෙම් නම් ඒ හේතුවෙන් මරණයට හෝ මරණය පමණ දුකට හෝ පැමිණෙන්නෙමි”යි ඒ පුරුෂයා විසින් දන්නා ලද්දේ ම වෙයි, එහෙයිනි. මහණෙනි, මනෝසඤ්චේතනාහාරය මෙසේ ම දතයුත්තේ යැ යි මම කියමි.
මහණෙනි, මනෝසඤ්චේතනාහාරය පරිඥාත කල්හි තෘෂ්ණාත්‍රය පරිඥාත වේ. තෘෂ්ණාත්‍රය පරිඥාත කල්හි ආර්‍ය්‍යශ්‍රාවකයාට මත්තෙහි කටයුතු කිසිවක් නැතැ යි කියමි.
මහණෙනි, විඥානාහාරය කෙසේ දතයුත්තේ ද යත්: මහණෙනි, යම්සේ වරදකරු වූ සොරකු ගෙන “දේවයන් වහන්ස, මේ ඔබට වරද කරණ සොරෙකි. යමක් කැමැත්තෙහි නම් ඒ දඬුවම මොහුට පණවනු මැනැවැ”යි රජහට දක්වන්නාහු ද, රජ තෙමේ ඒ මොහුට “පින්වත්නි, යවු, පෙරවරු අඩයටි සියයකින් මේ පුරුෂයා පෙළවු”යි මෙසේ කියන්නේ ය. පෙරවරු අඩයටි සියයකින් ඒ මොහු පෙළන්නාහු ය. ඉක්බිති රජ තෙමේ මද්ද්දහනෙහි “එම්බල , ඒ පුරුෂ තෙමේ කෙසේ දැ”යි මෙසේ කියන්නේ ය. “දේවයන් වහන්ස, එසේ ම ජීවත් වේ”යයි. රජ තෙමේ, ඒ මොහුට “පින්වත්නි, යවු, මද්දහනෙහි අඩයටි සියයකින් මේ පුරුෂයා පෙළවු” ය යි මෙසේ කියන්නේ ය. ඒ මොහු මද්දහනෙහි අඩයටි සියයකින් පෙළන්නාහු ය. ඉක්බිති රජ තෙමේ සවස්හි “එම්බල , ඒ පුරුෂ තෙමේ කෙසේ දැ”යි මෙසේ කියන්නේ ය. “දේවයන් වහන්ස, එසේ ම වේ”යයි. රජ තෙමේ, ඒ මොහුට “එම්බල පින්වත්නි, යවු, සවස්හි ඒ පුරුෂයා අඩයටි සියයකින් පෙළවු” ය යි මෙසේ කියන්නේ ය. ඒ මොහු සවස්හි අඩයටි සියයකින් පෙළන්නාහු ය. මහණෙනි, ඒ කිමැයි හගිහු ද? ඒ පුරුෂ දවල් කාලයෙහි අඩයටි තුන්සියයකින් පෙළනු ලබන්නේ ඒ හේතුවෙන් දුකක් දොම්නසක් විඳින්නේ ද? යත්: මහණෙනි, එක් අඩයටියකිනුදු පෙළනු ලබන්නේ ඒ හේතු කොට දුකක් දොම්නසක් විඳින්නේ ය. අඩයටි තුන්සියයකින් පෙළනු ලබන්නේ කියනු ම කවරේ ද? මහණෙනි, විඥානාහාරය මෙසේ ම දතයුත්තේ ය යි මම කියමි.
මහණෙනි, විඥානාහාරය පරිඥාත කල්හි නාමරූප පරිඥාත වේ. නාමරූප පරිඥාත කල්හි ආර්‍ය්‍යශ්‍රාවකයාට මත්තෙහි කටයුතු කිසිවක් නැතැ යි කියමි.
අත්‍ථිරාග සූත්‍රය
64. සැවැත්නුවර–
මහණෙනි, උපන් සත්ත්‍වයන්ගේ පැවැත්ම පිණිස හා ඉපදීම අපේක්‍ෂා කරණ සත්ත්‍වයන්ට අනුග්‍රහ පිණිස ද මේ ආහාර සතරෙකි. කවර සතරෙක් ද? යත්: ඖදාරික වූ හෝ සුඛුම වූ හෝ කබලීකාර ආහාරය, දෙවෙනි ඵස්සාහාර ය, තෙවෙනි වූ මනෝසඤ්චේතනාහාර ය, සිවුවැනි වූ විඤ්ඤාණානාහාර ය යි. මහණෙනි, උපන් සත්ත්‍වයන්ගේ පැවැත්ම පිණිසත් ඉපදීම අපේක්‍ෂා කරණ සත්ත්‍වයන්ට අනුග්‍රහ පිණිසත් මේ ආහාර සතර වේ.
මහණෙනි, ඉදින් කබලීකාර ආහාරයෙහි රාගය ඇත්තේ නම් ඇල්ම ඇත්තේ නම් එහි තෘෂ්ණාව ඇත්තේ නම් විඤ්ඤාණය පිහිටියේ ද වැඩුනේ ද වේ. යම් තැනෙක විඤ්ඤාණය පිහිටියේ ද, වැඩුනේ ද, එහි නාමරූපයාගේ බැස ගැන්ම ඇත්තේය. යම් තැනෙක නාමරූපයාගේ බැස ගැන්ම ඇත්තේ ද, එහි සංස්කාරයන්ගේ වැඩීම ඇත්තේ ය. යම් තැනෙක සංස්කාරයන්ගේ වැඩීම ඇත්තේ ද, එහි මතු නැවත හටගැණීම ඇත්තේ ය. යම් තැනෙක මතු නැවත හටගැණීම ඇත්තේ ද, එහි මතු ජාතිජරාමරණ ඇත්තේ ය. යම් තැනෙක මතු ජාතිජරාමරණ ඇත්තේ ද, මහණෙනි, එය ශෝක සහිත ය. (කෙලෙස්) පීඩා සහිතය. දැඩි ආයාස සහිත ය යි කියමි.
මහණෙනි, ඉදින් ස්පර්‍ශාහාරයෙහි ... මහණෙනි, ඉදින් මනෝසඤ්චේතනාහාරයෙහි ... මහණෙනි, ඉදින් විඤ්ඤාණාහාරයෙහි රාගය ඇත්තේ නම් ඇල්ම ඇත්තේ නම් තණ්හාව ඇත්තේ නම් එහි විඤ්ඤාණය පිහිටියේ ද වැඩුනේ ද වෙයි. යම් තැනෙක විඤ්ඤාණය පිහිටියේත්, වැඩුනේත් වේ ද, එහි නාමරූපයාගේ බැස ගැන්ම ඇත්තේය. යම් තැනෙක නාමරූපයාගේ බැස ගැන්ම ඇත්තේ ද, එහි සංස්කාරයන්ගේ වැඩීම ඇත්තේ ය. යම් තැනෙක සංස්කාරයන්ගේ වැඩීම ඇත්තේ ද, එහි මතු නැවත ඉපදීම ඇත්තේ ය. යම් තැනෙක මතු නැවත ඉපදීම ඇත්තේ ද, එහි මතු ජාතිජරාමරණ ඇත්තේ ය. යම් තැනෙක මතු ජාතිජරාමරණ ඇත්තේ ද, මහණෙනි, එය ශෝක සහිත ය. පීඩා සහිතය. දැඩි ආයාස සහිත ය යි කියමි.
මහණෙනි, යම්සේ රදවෙක් හෝ සිත්තරෙක් හෝ රදන් හෝ ලාකඩ හෝ කහපාට හෝ නිල්පාට හෝ මදටියපාට හෝ ඇති කල්හි මැනවින් මට වූ පුවරුවෙක හෝ බිතෙක හෝ රෙදිපටෙක හෝ සියලු අඟපසඟ ඇති ඉතිරි රුවක් හෝ පුරුෂ රුවක් හෝ මවන්නේ ද, මහණෙනි, එසෙයින් ම ඉදින් කබලීකාර ආහාරයෙහි රාගය ඇත්තේ නම් ඇල්ම ඇත්තේ නම් තණ්හාව ඇත්තේ නම් එහි විඤ්ඤාණය පිහිටියේ ද වැඩුනේ ද වේ. යම් තැනෙක විඤ්ඤාණය පිහිටියේත් වැඩුනේත් වේ නම් එහි නාමරූපයේ බැස ගැන්ම ඇත්තේය. යම් තැනෙක නාමරූපයේ බැස ගැන්ම ඇත්තේ නම් එහි සංස්කාරයන්ගේ වැඩීම ඇත්තේ ය. යම් තැනෙක සංස්කාරයන්ගේ වැඩීම ඇත්තේ නම් එහි මතු නැවත ඉපදීම ඇත්තේ ය. යම් තැනෙක මතු නැවත ඉපදීම ඇත්තේ නම් එහි මතු ජාතිජරාමරණ ඇත්තේ ය. යම් තැනෙක මතු ජාතිජරාමරණ ඇත්තේ නම්, මහණෙනි, එය ශෝක සහිත ය. පීඩා සහිතය. දැඩි ආයාස සහිත ය යි කියමි.
මහණෙනි, ඉදින් ඵස්සාහාරයෙහි ... මහණෙනි, ඉදින් මනෝසඤ්චේතනාහාරයෙහි ... මහණෙනි, ඉදින් විඤ්ඤාණාහාරයෙහි රාගය ඇත්තේ නම් ඇල්ම ඇත්තේ නම් තණ්හාව ඇත්තේ නම් එහි විඤ්ඤාණය පිහිටියේ ද වැඩුනේ ද වෙයි. යම් තැනෙක විඤ්ඤාණය පිහිටියේත් වැඩුනේත් වේ නම් එහි නාමරූපයේ බැස ගැන්ම ඇත්තේය. යම් තැනෙක නාමරූපයේ බැස ගැන්ම ඇත්තේ නම් එහි සංස්කාරයන්ගේ වැඩීම ඇත්තේ ය. යම් තැනෙක සංස්කාරයන්ගේ වැඩීම ඇත්තේ නම් එහි මතු නැවත ඉපදීම ඇත්තේ ය. යම් තැනෙක මතු නැවත ඉපදීම ඇත්තේ ද, එහි මතු ජාතිජරාමරණ ඇත්තේ ය. යම් තැනෙක මතු ජාතිජරාමරණ ඇත්තේ ද, මහණෙනි, එය ශෝක සහිත ය. පීඩා සහිතය. දැඩි ආයාස සහිත ය යි කියමි.
මහණෙනි, ඉදින් කබලීකාර ආහාරයෙහි රාගය නැත්තේ නම් ඇල්ම නැත්තේ නම් එහි තෘෂ්ණාව නැත්තේ නම් විඤ්ඤාණය නො පිහිටියේ ද නො වැඩුනේ ද වේ. යම් තැනෙක විඤ්ඤාණය නො පිහිටියේත් නො වැඩුනේත් වේ නම් එහි නාමරූපයාගේ බැස ගැන්ම නැත්තේය. යම් තැනෙක නාමරූපයේ බැස ගැන්ම නැත්තේ නම් එහි සංස්කාරයන්ගේ වැඩීම නැත්තේ ය. යම් තැනෙක සංස්කාරයන්ගේ වැඩීම නැත්තේ නම් එහි මතු නැවත ඉපදීම නැත්තේ ය. යම් තැනෙක මතු නැවත ඉපදීම නැත්තේ ද, එහි මතු ජාතිජරාමරණ නැත්තේ ය. යම් තැනෙක මතු ජාතිජරාමරණ නැත්තේ නම්, මහණෙනි, එය ශෝක රහිත ය. පීඩා රහිතය. දැඩි ආයාස රහිත ය යි කියමි.
මහණෙනි, ඉදින් ඵස්සාහාරයෙහි [දැඩි ආයාස රහිත ය යි] කියමි. මහණෙනි, ඉදින් මනෝසඤ්චේතනාහාරයෙහි [දැඩි ආයාස රහිත ය යි] කියමි. මහණෙනි, ඉදින් විඤ්ඤාණාහාරයෙහි රාගය නැත්තේ නම් ඇල්ම නැත්තේ නම් තණ්හාව නැත්තේ නම් එහි විඤ්ඤාණය නො පිහිටියේ ද නො වැඩුනේ ද වෙයි. යම් තැනෙක විඤ්ඤාණය නො පිහිටියේත් නො වැඩුනේත් වේ නම් එහි නාමරූපයේ බැස ගැන්ම නැත්තේය. යම් තැනෙක නාමරූපයේ බැස ගැන්ම නැත්තේ නම් එහි සංස්කාරයන්ගේ වැඩීම නැත්තේ ය. යම් තැනෙක සංස්කාරයන්ගේ වැඩීම නැත්තේ නම් එහි මතු නැවත ඉපදීම නැත්තේ ය. යම් තැනෙක මතු නැවත ඉපදීම නැත්තේ නම් එහි මතු ජාතිජරාමරණ නැත්තේ ය. යම් තැනෙක මතු ජාතිජරාමරණ නැත්තේ නම්, මහණෙනි, එය ශෝක රහිත ය. පීඩා රහිත ය. දැඩි ආයාස රහිත ය යි කියමි.
මහණෙනි, යම් සේ කුළුගෙයක් හෝ කුළුගේහලක් හෝ වේ ද, එහි උතුරුදිග හෝ දකුණුදිග හෝ පෙරදිග හෝ වාකවුළු වෙද්ද, හිරු නගින කල්හි වාකවුළුවෙන් රැස් පිවිස කොහි පිහිටියේ වන්නේ ද? වහන්ස, බටහිර බිතෙහි ය. මහණෙනි, බටහිරබිත නො වන්නේ නම් කොහි පිහිටියේ වන්නේ ද? වහන්ස, පොළොවෙහි ය. මහණෙනි, ඉදින් පොළොව නො වන්නේ නම් කොහි පිහිටියේ වන්නේ ද? වහන්ස, දියෙහි ය. මහණෙනි, ඉදින් දිය නොවන්නේ නම් කොහි පිහිටියේ වන්නේ ද? වහන්ස, නො පිහිටියේ ය.
මහණෙනි, එසෙයින් ම ඉදින් කබලීකාර ආහාරයෙහි රාගය නැත්තේ නම් ඇල්ම නැත්තේ නම් තෘෂ්ණාව නැත්තේ නම් … [දැඩි ආයාස රහිත ය යි] කියමි. මහණෙනි ඉදින් ස්පර්‍ශාහාරයෙහි ... [දැඩි ආයාස රහිත ය යි] කියමි. මහණෙනි, ඉදින් මනෝසඤ්චේතනාහාරයෙහි [දැඩි ආයාස රහිත ය යි] කියමි.
මහණෙනි, ඉදින් විඤ්ඤාණාහාරයෙහි රාගය නැත්තේ නම් ඇල්ම නැත්තේ නම් තණ්හාව නැත්තේ නම් එහි විඤ්ඤාණය නො පිහිටියේ නො වැඩුනේ වේ. යම් තැනෙක විඤ්ඤාණය නො පිහිටියේ නො වැඩුනේ වේ නම් එහි නාමරූපයාගේ බැස ගැන්ම නැත්තේය. යම් තැනෙක නාමරූපයාගේ බැස ගැන්ම නැත්තේ නම් එහි සංස්කාරයන්ගේ වැඩීම නැත්තේ ය. යම් තැනෙක සංස්කාරයන්ගේ වැඩීම නැත්තේ නම් එහි මතු නැවත ඉපදීම නැත්තේ ය. යම් තැනෙක මතු නැවත ඉපදීම නැත්තේ නම් එහි මතු ජාතිජරාමරණ නැත්තේ ය. යම් තැනෙක මතු ජාතිජරාමරණ නැත්තේ නම්, මහණෙනි, එය ශෝක රහිත ය. පීඩා රහිත ය. දැඩි ආයාස රහිත ය යි කියමි.
නගර සූත්‍රය
65. සැවැත්නුවර–
මහණෙනි, සම්බෝධියෙන් පෙර බුදු නො වූ බෝසත් වූ ම මට මේ සිත විය: “මේ ලෝකයා ඒකාන්තයෙන් දුකට පැමිණියේ ය. උපදී. දිරයි. මියෙයි. ච්‍යුත ද වෙයි. (අන් භවයකට ද) පැමිණෙයි. එහෙත් මේ ජරාමරණ දුක දුරලීම නො දනී. කවදා නම් මේ ජරාමරණ දුකේ දුරලීම පෙනෙන්නේ දැ”යි. මහණෙනි, ඒ මට “කුමක් ඇති කල්හි ජරාමරණ වේ ද, කවර ප්‍රත්‍යයකින් ජරාමරණ වේ දැ”යි මේ සිත පහළ විය. මහණෙනි, ඒ මට නුවණින් මෙනෙහි කිරීමෙන් “ජාතිය ඇති කල්හි ජරාමරණ වෙයි. ජාති ප්‍රත්‍යයයෙන් ජරාමරණ වේ ය”යි ප්‍රඥායෙන් අවබෝධ විය.
මහණෙනි, ඒ මට “කුමක් ඇති කල්හි ජාතිය වේ ද ... භවය වේ ද ... උපාදාන වේ ද ... තණ්හාව වේ ද, වේදනාව වේ ද ... ස්පර්‍ශය වේ ද ... සළායතන වේ ද ... කුමක් ඇති කල්හි නාමරූප වේ ද කවර ප්‍රත්‍යයකින් නාමරූප වේ දැ”යි, මේ සිත පහළ විය. මහණෙනි, ඒ මට නුවණින් මෙනෙහි කිරීමෙන් “විඤ්ඤාණය ඇති කල්හි නාමරූප වෙයි. විඤ්ඤාණ ප්‍රත්‍යයයෙන් නාමරූප වේ ය”යි ප්‍රඥායෙන් අවබෝධ විය.
මහණෙනි, ඒ මට “කුමක් ඇති කල්හි විඤ්ඤාණය වේ ද, කවර ප්‍රත්‍යයකින් විඤ්ඤාණය වේ දැ”යි මේ සිත විය. මහණෙනි, ඒ මට නුවණින් මෙනෙහි කිරීමෙන් “නාමරූප ඇති කල්හි විඤ්ඤාණය වෙයි. නාමරූප ප්‍රත්‍යයයෙන් විඤ්ඤාණය වේ ය”යි ප්‍රඥායෙන් අවබෝධ විය.
මහණෙනි, ඒ මට “මේ විඤ්ඤාණය වූ කලී එහි නවතියි. නාමරූප දෙකෙන් ඔබ්බට නො යේ. මේ ක්‍රමයෙන් උපදිනේ හෝ වෙයි. දිරන්නේ හෝ වෙයි. මියෙන්නේ හෝ වෙයි. ච්‍යුත වන්නේ හෝ වෙයි. (අන් භවයකට) පැමිණෙන්නේ හෝ වෙයි. එනම්: නාමරූප ප්‍රත්‍යයයෙන් විඥානය වේ. විඥාන ප්‍රත්‍යයයෙන් නාමරූප වේ. නාමරූප ප්‍රත්‍යයයෙන් ෂඩායතන වේ. ෂඩායතන ප්‍රත්‍යයයෙන් ස්පර්‍ශය වේ. ... මෙසේ මේ හුදු දුක් රැසේ හට ගැනීම වේ”යි මේ සිත පහළ වි ය.
මහණෙනි, “සමුදය සමුදය” යි පෙර නො ඇසූ විරූ දහම්හි මට නුවණැස පහළ විය. ඥානය පහළ විය. ප්‍රඥාව පහළ විය. විද්‍යාව පහළ විය. ආලෝකය පහළ විය.
මහණෙනි, ඒ මට “කුමක් නැති කල්හි ජරාමරණ නො වේ ද, කුමක් නිරුද්ධ වීමෙන් ජරාමරණ නිරෝධය වේ දැ”යි, මේ සිත විය. මහණෙනි, ඒ මට නුවණින් මෙනෙහි කිරීමෙන් “ජාතිය නැති කල්හි ජරාමරණ නො වේ. ජාති නිරෝධයෙන් ජරාමරණ නිරෝධය වේ ය”යි ප්‍රඥායෙන් අවබෝධ විය.
මහණෙනි, ඒ මට “කුමක් නැති කල්හි ජාතිය නො වේ ද .. භවය නො වේ ද ... උපාදාන නො වේ ද ... තණ්හාව නො වේ ද ... වේදනාව නො වේ ද ... ස්පර්‍ශය නො වේ ද ... ෂඩායතන නො වේ ද … නාමරූප නො වේ ද … කුමක නිරෝධයෙන් නාමරූප නිරෝධය වේ දැ”යි, මේ සිත විය. මහණෙනි, ඒ මට නුවණින් මෙනෙහි කිරීමෙන් “විඤ්ඤාණය නැති කල්හි නාමරූප නො වේ. විඤ්ඤාණ නිරෝධයෙන් නාමරූප නිරෝධය වේ ය”යි ප්‍රඥායෙන් අවබෝධ විය.
මහණෙනි, ඒ මට “කුමක් නැති කල්හි විඤ්ඤාණය නො වේ ද, කුමක නිරෝධයෙන් විඤ්ඤාණය නිරෝධය වේ දැ”යි, මේ සිත විය. මහණෙනි, ඒ මට නුවණින් මෙනෙහි කිරීමෙන් “නාමරූප නැති කල්හි විඤ්ඤාණය නො වේ. නාමරූප නිරෝධයෙන් විඤ්ඤාණ නිරෝධය වේ ය”යි ප්‍රඥායෙන් අවබෝධ විය.
මහණෙනි, ඒ මට “නාමරූප නිරෝධයෙන් විඤ්ඤාණ නිරෝධය වේ. විඤ්ඤාණ නිරෝධයෙන් නාමරූප නිරෝධය වේ. නාමරූප නිරෝධයෙන් සළායතන නිරෝධය වේ. සළායතන නිරෝධයෙන් ඵස්ස නිරෝධය වේ ... මෙසේ මේ හුදු දුක් රැසේ නිරෝධය වේ ය”යි මේ යමෙක් වේ ද, සම්බෝධිය පිණිස වූ මේ මාර්‍ගය මා විසින් අවබෝධ කරණ ලද්දේ ම ය යි මේ සිත පහළ විය.
මහණෙනි, “නිරෝධය නිරෝධය” යි පෙර නො ඇසූ විරූ දහම්හි නුවණැස පහළ විය. ඥානය පහළ විය. ප්‍රඥාව පහළ විය. විද්‍යාව පහළ විය ආලෝකය පහළ විය.
මහණෙනි, යම් සේ පුරුෂයෙක් අරණෙහි මහවෙනෙහි හැසිරෙන්නේ පෙර වුසූ මිනිසුන් විසින් අනුගමනය කරණ ලද පැරණි මගක්, පැරණි මාවතක් දක්නේ ද, හෙතෙමේ එය අනුව යන්නේ ය. එය අනුව යන්නේ පෙර මිනිසුන් වුසූ මල් උයනින් යුත්, වන උයනින් යුත්, පොකුණින් යුත්, පවුරු ඇති සිත්කලු වූ පැරණි නුවරක්, පැරණි රාජධානියක් දක්නේ ය. මහණෙනි, ඉක්බිති ඒ පුරිස් තෙමේ රජුට හෝ රජමහඇමැතිහට හෝ “පින්වත් හිමියනි, දන්නෙහි ය. මම අරණෙහි මහවෙනෙහි හැසිරෙන්නෙම් පෙර වුසූ මිනිසුන් විසින් අනුගමනය කරණ ලද පැරණි මගක්, පැරණි මාවතක් දැක්කෙමි. එය අනුගමනය කළෙමි. එය අනුගමනය කරන්නෙම් පෙර මිනිසුන් වුසූ, මල් උයනින් යුත්, වන උයනින් යුත්, පොකුණින් යුත්, පවුරු ඇති සිත්කලු වූ පැරණි නුවරක්, පැරණි රාජධානියක් දැක්කෙමි. හිමියනි, එය නගරයක් කරණු මැනවැ”යි සැළ කරන්නේ ය.
මහණෙනි, ඉක්බිති රජ හෝ රජමහඇමැති හෝ එය නගරයක් කරන්නේ ය. ඒ නුවර පසුකලෙක සමෘද්ධ වූයේ ද, සියලු සම්පතින් පිරුණේ ද, බොහෝ දෙනා විසින් දත යුතු වූයේ නොහොත් බොහෝ දෙනාට හිත වූයේ ද, මිනිසුන් විසින් ගැවසී ගත්තේ ද, වැඩීමට විපුලත්‍වයට පැමිණියේ ද වන්නේ ය. මහණෙනි, එසෙයින් ම මම පෙර වුසූ සම්මාසම්බුදුවරයන් විසින් අනුගමනය කරණ ලද පැරණි මග, පැරණි මාවත දැක්කෙමි.
මහණෙනි, පෙර වුසූ සම්මාසම්බුදුවරයන් විසින් අනුගමනය කරණ ලද පැරණි මග, පැරණි මාවත කවරේ ද යත්: මේ අරිඅටඟි මග ම ය. එනම්: සම්මාදිට්ඨි ... සම්මාසමාධි යි. මහණෙනි, ඒ මේ පැරණි මග, පැරණි මාවත පෙර වුසූ සම්මාසම්බුදුවරයන් විසින් අනුගමනය කරණ ලද්දේ ය .
(මම) එය අනුගමනය කෙළෙමි. එය අනුගමනය කරණුයෙම් ජරාමරණ දැන ගත්තෙමි. ජරාමරණ සමුදය දැන ගත්තෙමි. ජරාමරණ නිරෝධය දැන ගත්තෙමි. ජරාමරණ නිරොධගාමිනී පටිපදාව දැන ගත්තෙමි. එය අනුගමනය කෙළෙමි. එය අනුගමනය කරණුයෙම් ජාතිය දැන ගත්තෙමි ... භවය දැන ගත්තෙමි ... උපාදාන දැන ගත්තෙමි ... තණ්හාව දැන ගත්තෙමි ... වේදනාව දැන ගත්තෙමි ... ඵස්සය දැන ගත්තෙමි ... සළායතන දැන ගත්තෙමි ... නාමරූප දැන ගත්තෙමි ... විඤ්ඤාණය දැන ගත්තෙමි ... විඤ්ඤාණ නිරොධගාමිනී පටිපදාව දැන ගත්තෙමි. එය අනුගමනය කෙළෙමි. එය අනුගමනය කරණුයෙම් සඞ්ඛාර දැන ගත්තෙමි. සඞ්ඛාර සමුදය දැන ගත්තෙමි. සඞ්ඛාර නිරෝධය දැන ගත්තෙමි. සඞ්ඛාර නිරොධගාමිනී පටිපදාව දැන ගත්තෙමි.
එය මැනවින් දැන ගෙන මහණුන්ට ද මෙහෙණන්ට ද උවසුන්ට ද උවැසියන්ට ද ප්‍රකාශ කෙළෙමි. මහණෙනි, ඒ මේ බඹසර සමෘද්ධ වූයේ ද, සියල්ලෙන් පිරුණේ ද, පැතුරුණේ ද, බෝ දෙනා විසින් දත යුතු වූයේ ද, හැම අයුරින් පුලුල් බවට පැමිණියේ ද, ඇති තාක් නුවණැති මිනිසුන් විසින් ප්‍රකාශ කරණ ලද්දේ ද වේ යි.
සම්මසන සූත්‍රය
66. මා විසින් මෙසේ අසන ලදී: එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ කුරු දනව්වෙහි කල්මාසදම්‍ය නම් කුරුන්ගේ නියම්ගම්හි වැඩ වසන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි” යි භික්‍ෂූන් ඇමතූ සේක. ඒ භික්‍ෂූහු “පින්වත් වහන්සැ”යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:
මහණෙනි, තෙපි අභ්‍යන්තරප්‍රත්‍යය සම්මර්‍ශනය කරන්නහු දැ යි. මෙසේ වදාළ කල්හි එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේට “වහන්ස, මම අභ්‍යන්තරප්‍රත්‍යය සම්මර්‍ශනය කෙරෙමි”යි මෙය සැළ කළේ ය. මහණ, තෙපි ඒ කෙසේ නම් අභ්‍යන්තරප්‍රත්‍යය සම්මර්‍ශනය කරවු දැ යි. එකල්හි ඒ මහණ තෙමේ ප්‍රකාශ කෙළේ ය. යම් සේ ඒ මහණ පැවසී ද, ඒ මහණ තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ සිත සතුටු නො කෙළේ ය.
මෙසේ වදාළ කල්හි ආයුෂ්මත් අනද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළහ: “භාග්‍යවතුන් වහන්සේ යම් අභ්‍යන්තරප්‍රත්‍යය සම්මර්‍ශනයක් වදාරණ සේක් නම්: භාග්‍යවතුන් වහන්ස, මේ ඊට කාලය යි. සුගතයන් වහන්ස, මේ ඊට කාලය යි. භාග්‍යවතුන් වහන්සේගෙන් අසා භික්‍ෂූහු දරන්නාහ”යි. ආනන්‍ද, එසේ නම් අසවු, මැනවින් මෙනෙහි කරවු. කියන්නෙමි යි. වහන්ස, එසේ ය යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:
මහණෙනි, මෙහි මහණ තෙමේ සම්මර්‍ශනය කරන්නේ නන් වැදෑරුම් වූ නන් අයුරු වූ යම් ජරාමරණ දුකෙක් ලොව උපදී ද, මේ දුක කුමක් නිදාන කොට ඇත්තේ ද, කුමක් හටගැණීම කොට ඇත්තේ ද, කුමක් ජාති කොට ඇත්තේ ද, කුමක් ප්‍රභව කොට ඇත්තේ ද, කුමක් ඇති කල්හි ජරාමරණ වේ ද, කුමක් නැති කල්හි ජරාමරණ නො වේ දැ යි අභ්‍යන්තරප්‍රත්‍යය සම්මර්‍ශනය කෙරෙයි. හෙතෙමේ සම්මර්‍ශනය කරන්නේ නන් වැදෑරුම් වූ නන් අයුරු වූ යම් ජරාමරණ දුකෙක් ලොව උපදී ද, මේ දුක උපධි නිදාන කොට ඇත්තේ ය. උපධි සමුදය කොට ඇත්තේ ය. උපධි ජාති කොට ඇත්තේ ය. උපධි ප්‍රභව කොට ඇත්තේ ය. උපධි ඇති කල්හි ජරාමරණ වෙයි. උපධි නැති කල්හි ජරාමරණ නො වේ ය යි, මෙසේ දැන ගනී. හෙතෙමේ ජරාමරණත් දැන ගනී. ජරාමරණ සමුදයත් දැන ගනී. ජරාමරණ නිරෝධයත් දැන ගනී. ජරාමරණ නිරෝධයට සරුප් ව යනසුලු යම් ප්‍රතිපදාවක් වේ නම් එයත් දැන ගනී. එසේ පිළිපන්නේ දහම අනුව හැසිරෙන සුලු වූයේ ද වේ. මහණෙනි, මේ මහණ තෙමේ සර්‍වප්‍රකාරයෙන් මැනැවින් දුක් ගෙවීම පිණිස ජරාමරණ නිරෝධය පිණිස පිළිපන්නේ ය යි කියනු ලැබේ.
යලි මතු ද සම්මර්‍ශනය කරන්නේ මේ උපධිය කුමක් නිදාන කොට ඇත්තේ ද, කුමක් සමුදයය කොට ඇත්තේ ද, කුමක් ජාති කොට ඇත්තේ ද, කුමක් ප්‍රභව කොට ඇත්තේ ද, කුමක් ඇති කල්හි උපධි වේ ද කුමක් නැති කල්හි උපධි නො වේ දැ යි අභ්‍යන්තරප්‍රත්‍යය සම්මර්‍ශනය කෙරෙයි. හෙතෙමේ සම්මර්‍ශනය කරන්නේ ‘උපධිය තෘෂ්ණාව නිදාන කොට ඇත්තේ ය. තෘෂ්ණාව සමුදය කොට ඇත්තේ ය. තෘෂ්ණාව ජාති කොට ඇත්තේ ය. තෘෂ්ණාව ප්‍රභව කොට ඇත්තේ ය. තෘෂ්ණාව ඇති කල්හි උපධි වෙයි. තෘෂ්ණාව නැති කල්හි උපධි නො වේ’ යයි මෙසේ දැන ගනී. හෙතෙමේ උපධියත් දැන ගනී. උපධි සමුදයත් දැන ගනී. උපධි නිරෝධයත් දැන ගනී. උපධි නිරෝධයට සරුප් ව යනසුලු යම් පිළිවෙතක් වේ නම් එයත් දැන ගනී. එසේ පිළිපන්නේ දහම් අනුව හැසිරෙන්නේ ද වේ. මහණෙනි, මේ මහණ තෙමේ සර්‍වප්‍රකාරයෙන් මැනැවින් දුක් ගෙවීම පිණිස උපධි නිරෝධය පිණිස පිළිපන්නේ ය යි කියනු ලැබේ.
යලි මතු ද සම්මර්‍ශනය කරන්නේ මේ තෘෂ්ණාව කොහි උපදනේ උපදී ද, කොහි පවත්නේ පවතී දැ යි, අභ්‍යන්තරප්‍රත්‍යය සම්මර්‍ශනය කෙරෙයි. හෙතෙමේ සම්මර්‍ශනය කරන්නේ ‘ලොව පියසැහැවි ඇති මිහිරිසැහැවි ඇති යම් කිසිවෙක් වේ ද, මෙහි මේ තෘෂ්ණාව උපදනේ උපදී. මෙහි පුනපුනා පැවතුම් විසින් පිහිටනුයේ පිහිටයි. ලොව කිමෙක් පියසැහැවි ඇත්තේ ද, මිහිරිසැහැවි ඇත්තේ ද? ලොව ඇස පියසැහැවි ඇත්තෙකි. මිහිරිසැහැවි ඇත්තෙකි. මෙහි මේ තෘෂ්ණාව උපදනේ උපදී. මෙහි පිහිටනුයේ පිහිටයි.
ලෙව්හි කණ පියසැහැවි ඇත්තෙකි. මිහිරිසැහැවි ඇත්තෙකි … ලොව නැහැය පියසැහැවි ඇත්තෙකි. මිහිරිසැහැවි ඇත්තෙකි ... ලොව දිව පියසැහැවි ඇත්තෙකි. මිහිරිසැහැවි ඇත්තෙකි ... ලොව කය පියසැහැවි ඇත්තෙකි. මිහිරිසැහැවි ඇත්තෙකි ... ලොව සිත පියසැහැවි ඇත්තෙකි. මිහිරිසැහැවි ඇත්තෙකි. මෙහි මේ තෘෂ්ණාව උපදනේ උපදී. මෙහි පිහිටනුයේ පිහිටයි.
මහණෙනි, අතීත කාලයෙහි යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ ලොව යෙමෙක් පියසැහැවි මිහිරිසැහැවි ඇත්තේ නම් එය නිත්‍ය වශයෙන් දැක්කාහු ද, සුඛවශයෙන් දැක්කාහු ද, ආත්ම වශයෙන් දැක්කාහු ද, නීරෝගභාව වශයෙන් දැක්කාහු ද, නිර්‍භය වශයෙන් දැක්කාහු ද, ඔහු තණ්හාව වැඩූහ. යම් කෙනෙක් තෘෂ්ණාව වැඩූහු ද ඔහු උපධි (=පඤ්චස්කන්‍ධය) වැඩූහ. යම් කෙනෙක් උපධි වැඩූහු ද, ඔහු දුක වැඩූහ. යම් කෙනෙක් දුක වැඩූහු ද, ඔහු ජාතියෙන් ජරාමරණයෙන් ශෝකයෙන් පරිදේවයෙන් දුක්ඛයෙන් දෝමනස්සයෙන් උපායාසයෙන් නො මිදුනහ. (සියලු) දුකෙන් නො මිදුනහ යි කියමි.
මහණෙනි, අනාගත කාලයෙහි යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ ලොව යමෙක් පියසැහැවි මිහිරිසැහැවි ඇත්තේ නම් එය නිත්‍ය වශයෙන් දක්නාහු ද, සුඛවශයෙන් දක්නාහු ද, ආත්ම වශයෙන් දක්නාහු ද, ආරෝග්‍ය වශයෙන් දක්නාහු ද, නිර්‍භය වශයෙන් දක්නාහු ද, ඔහු තෘෂ්ණාව වඩන්නාහු ය. යම් කෙනෙක් තෘෂ්ණාව වඩන්නාහු ද, ඔහු උපධි වඩන්නාහු ය. යම් කෙනෙක් උපධි වඩන්නාහු ද, ඔහු දුක වඩන්නාහු ය. යම් කෙනෙක් දුක වඩන්නාහු ද, ඔහු ජාතියෙන් ජරාමරණයෙන් සෝකයෙන් පරිදේවයෙන් දුක්ඛයෙන් දෝමනස්සයෙන් උපායාසයෙන් නො මිදෙන්නාහු ය. සියලු දුකෙන් නො මිදෙන්නාහු ය යි කියමි.
මහණෙනි, දැනුදු යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ ලොව යමෙක් පියසැහැවි මිහිරිසැහැවි ඇත්තේ නම් එය නිත්‍ය වශයෙන් දකිත් ද, සුඛ වශයෙන් දකිත් ද, ආත්ම වශයෙන් දකිත් ද, ආරෝග්‍ය වශයෙන් දකිත් ද, ක්‍ෂේම වශයෙන් දකිත් ද, ඔහු තෘෂ්ණාව වඩත්. යම් කෙනෙක් තෘෂ්ණාව වඩද්ද, ඔහු උපධි වඩත්. යම් කෙනෙක් උපධි වඩද්ද, ඔහු දුක වඩත්. යම් කෙනෙක් දුක වඩද්ද, ඔහු ජාතියෙන් ජරාමරණයෙන් සෝකයෙන් පරිදේවයෙන් දුක්ඛයෙන් දෝමනස්සයෙන් උපායාසයෙන් නො මිදෙත්. සියලු දුකෙන් නො මිදෙති යි කියමි.
මහණෙනි, යම් සේ පැහැයෙන් යුත් සුවඳින් යුත් රසවත් වූ ඔඩමෙක් වේ ද, හෙ ද විසෙන් මුසු වූයේ ය. එකල්හි ගිමෙන් තැවුනු ගිමෙන් පෙළුනු ක්ලාන්ත වූ හටගත් පවස් ඇති බොනු කැමැති වූ පුරුෂයෙක් එන්නේ ය. ඒ මොහුට මෙසේ කියන්නාහු ය: එම්බල පුරුෂය, තොපගේ මේ ඔඩම (රා බඳුන) වර්‍ණවත් ය, සුවඳවත් ය, රසවත් ය, හෙ ද විසෙන් මුසු ය. ඉදින් කැමැත්තෙහි නම් බොව්. බොන්නහුට එය පැහැයෙන් ද සුවඳින් ද රසයෙන් ද රුස්නේ ය. එහෙත් බී ඒ හේතුවෙන් මරණයට හෝ මරණය පමණ දුකට පමිණේහී ය. හෙතෙමේ ඒ ඔඩම වහා නො විමසා බොන්නේ ය. නො බැහැර ලන්නේ ය. හෙතෙමේ ඒ හේතුවෙන් මරණයට හෝ මරණය පමණ දුකට හෝ පැමිණෙන්නේ ය.
මහණෙනි, එසෙයින් ම අතීත කාලයෙහි යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ ලොව යමෙක් ප්‍රිය ස්වභාව මධුර ස්වභාව ඇත්තේ නම් එය නිත්‍ය වශයෙන් දුටුහු ද, සුඛ වශයෙන් දුටුහු ද, ආත්ම වශයෙන් දුටුහු ද, ආරෝග්‍ය වශයෙන් දුටුහු ද, ක්‍ෂේම වශයෙන් දුටුහු ද, ඔහු තෘෂ්ණාව වැඩූහ. යම් කෙනෙක් තෘෂ්ණාව ... යම් කෙනෙක් දුක වැඩූහු ද, ඔහු ජාතියෙන් ජරාමරණයෙන් සෝකයෙන් පරිදේවයෙන් දුක්ඛයෙන් දෝමනස්සයෙන් උපායාසයෙන් නො මිදුනහ. දුකින් නො මිදුනහ යි කියමි.
මහණෙනි, අනාගත කාලයෙහි යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ ලොව යෙමෙක් ප්‍රිය ස්වභාව මධුර ස්වභාව ඇත්තේ නම් එය නිත්‍ය වශයෙන් දක්නාහු ද, සුඛ වශයෙන් ... ආත්ම වශයෙන් ... ආරෝග්‍ය වශයෙන් ... ක්‍ෂේම වශයෙන් දක්නාහු ද, ඔහු තෘෂ්ණාව වඩන්නාහු ය. යම් කෙනෙක් තෘෂ්ණාව ... යම් කෙනෙක් දුක වඩන්නාහු ද ඔහු ... (සියලු) දුකින් නො මිදෙන්නාහ යි කියමි.
මහණෙනි, දැන් යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ ලොව යෙමෙක් පියසැහැවි මිහිරිසැහැවි ඇත්තේද, එය නිත්‍ය වශයෙන් දකිද්ද, සුඛ වශයෙන් දකිද්ද, ආත්ම වශයෙන් දකිද්ද, ආරෝග්‍ය වශයෙන් දකිද්ද, ක්‍ෂේම වශයෙන් දකිද්ද, ඔහු තෘෂ්ණාව වඩත්. යම් කෙනෙක් තෘෂ්ණාව [වඩත් ද,] … ඔහු ජාතියෙන් ජරාමරණයෙන් සෝකයෙන් පරිදේවයෙන් දුක්ඛයෙන් දෝමනස්සයෙන් උපායාසයෙන් නො මිදෙත්. සියලු දුකෙන් නො මිදෙති යි කියමි.
මහණෙනි, අතීත කාලයෙහි යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ ලොව යමෙක් ප්‍රිය ස්වභාව මධුර ස්වභාව ඇත්තේ නම් එය අනිත්‍ය වශයෙන් දුටුහු ද, දුක් වශයෙන් දුටුහු ද, අනාත්ම වශයෙන් දුටුහු ද, රෝග වශයෙන් දුටුහු ද, භය වශයෙන් දුටුහු ද, ඔහු තණ්හාව හළහ. යම් කෙනෙක් තෘෂ්ණාව හළහු ද, ඔහු උපධි හළහ. යම් කෙනෙක් උපධි හළහු ද, ඔහු දුක හළහ. යම් කෙනෙක් දුක හළහු ද, ඔහු ජාතියෙන් ජරාමරණයෙන් සෝකයෙන් පරිදේවයෙන් දුක්ඛයෙන් දෝමනස්සයෙන් උපායාසයෙන් මිදුනහ. (සියලු) දුකෙන් මිදුනහ යි කියමි.
මහණෙනි, අනාගත කාලයෙහිදු යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ ලොව යමෙක් ප්‍රිය ස්වභාව මධුර ස්වභාව ඇත්තේ නම් එය අනිත්‍ය වශයෙන් දක්නාහු ද, දුක් වශයෙන් දක්නාහු ද, අනාත්ම වශයෙන් දක්නාහු ද, රෝග වශයෙන් දක්නාහු ද, භය වශයෙන් දක්නාහු ද, ඔහු තෘෂ්ණාව දුරු කරන්නාහ. යම් කෙනෙක් තෘෂ්ණාව දුරු කරන්නාහු ද, ද ඔහු දුකින් මිදෙන්නාහ යි කියමි.
මහණෙනි, දැනුදු යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ ලොව යමෙක් පියසැහැවි මිහිරිසැහැවි ඇත්තේද, එය අනිත්‍ය වශයෙන් දකිද්ද, දුක් වශයෙන් දකිද්ද, අනාත්ම වශයෙන් දකිද්ද, රෝග වශයෙන් දකිද්ද, බිය වශයෙන් දකිද්ද, ඔහු තෘෂ්ණාව දුරු කෙරෙත්. යම් කෙනෙක් තෘෂ්ණාව දුරු කෙරෙත් ද, ඔහු උපධි දුරු කෙරෙත්. යම් කෙනෙක් උපධි දුරු කෙරෙත් ද, ඔහු දුක දුරු කෙරෙත්. යම් කෙනෙක් දුක දුරු කෙරෙත් ද, ඔහු ජාතියෙන් ජරාමරණයෙන් සෝකයෙන් පරිදේවයෙන් දුක්ඛයෙන් දෝමනස්සයෙන් උපායාසයෙන් මිදෙත්. දුකෙන් මිදෙති යි කියමි.
මහණෙනි, යම් සේ පැහැයෙන් යුත් සුවඳවත් රසවත් වූ ඔඩමෙක් වේ ද, හෙ ද විසෙන් මුසු වූයේ ය. එකල්හි ගිමෙන් තැවුනු ගීමේ පෙළුනු ක්ලාන්ත වූ හටගත් පවස් ඇති බොනු කැමැති වූ පුරුෂයෙක් එන්නේ ය. ඒ මොහුට මෙසේ කියන්නාහු ය: “එම්බල පුරුෂය, තොපගේ මේ ඔඩම වර්‍ණවත් ය, සුවඳවත් ය, රසවත් ය, හෙ ද විසෙන් මුසු ය. ඉදින් කැමැත්තෙහි නම් බොව්. බොන්නහුට එය පැහැයෙනුදු සුවඳිනුදු රසිනුදු රුස්නේ ය. පානය කොට (සිටියේ) ඒ හේතුවෙන් මරණයට හෝ මරණය පමණ දුකට හෝ පමිණේහි”යි. මහණෙනි, එකල්හි ඒ පුරිස්හට මෙසේ අදහස් වන්නේ ය: “මාගේ මේ සුරාපවස පැනින් හෝ දුරු කළ හෙයි. දිපෙරලි දියෙන් හෝ දුරු කළ හෙයි. ලුණු සහිත අත්සුණු දියෙන් හෝ දුරු කළ හෙයි. ලුණුකාඩි දියෙන් හෝ දුරු කළ හෙයි. යමෙක් මට දිගුකලක් මුළුල්ලෙහි අහිත පිණිස දුක් පිණිස වන්නේ නම් එය මම නො ම බොන්නෙමි”යි. හෙතෙමේ ඒ ඔඩම විමසා නො බොන්නේ ය, බැහැර ලන්නේ ය. හෙතෙමේ ඒ හේතු කොට ගෙන මරණයට හෝ මරණය පමණ දුකට හෝ නො පැමිණෙන්නේ ය.
මහණෙනි, එසෙයින් ම අතීත කාලයෙහි යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ ලොව යෙමෙක් ප්‍රිය ස්වභාව මධුර ස්වභාව ඇත්තේ ද, එය අනිත්‍ය වශයෙන් දැක්කාහු ද, දුක් වශයෙන් දැක්කාහු ද, අනාත්ම වශයෙන් දැක්කාහු ද, රෝග වශයෙන් දැක්කාහු ද, බිය වශයෙන් දැක්කාහු ද, ඔහු තෘෂ්ණාව දුරු කළහ. යම් කෙනෙක් තෘෂ්ණාව දුරු කළාහු ද, ඔහු උපධි දුරු කළහ. යම් කෙනෙක් උපධි කළාහු ද, ඔහු දුක දුරු කළාහු ය. යම් කෙනෙක් දුක දුරු කළාහු ද, ඔහු ජාතියෙන් ජරායෙන් මරණයෙන් සෝකයෙන් පරිදේවයෙන් දුකෙන් දොම්නසෙන් උපායාසයෙන් මිදුනාහු ය. දුකෙන් මිදුනාහු යි කියමි.
මහණෙනි, අනාගත කාලයෙහි දු යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ ලොව යෙමෙක් පියසැහැවි මිහිරිසැහැවි ඇත්තේ ද එය අනිත්‍ය වශයෙන් දක්නාහු ද ... ඔහු ජාතියෙන් ජරායෙන් මරණයෙන් සෝකයෙන් පරිදේවයෙන් දුක්ඛයෙන් දෝමනස්සයෙන් උපායාසයෙන් මිදෙන්නාහු ය. දුකෙන් මිදෙන්නාහු ය යි කියමි.
මහණෙනි, දැනුදු යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ ලොව යමෙක් ප්‍රිය ස්වභාව මධුර ස්වභාව ඇත්තේද, එය අනිත්‍ය වශයෙන් දකිද්ද, දුක් වශයෙන් දකිද්ද, අනාත්ම වශයෙන් දකිද්ද, රෝග වශයෙන් දකිද්ද, භය වශයෙන් දකිද්ද, ඔහු තෘෂ්ණාව දුරු කෙරෙත්. යම් කෙනෙක් තෘෂ්ණාව දුරු කෙරෙද්ද, ඔහු උපධි දුරු කෙරෙත්. යම් කෙනෙක් උපධි දුරු කෙරෙද්ද, ඔහු දුක දුරු කෙරෙත්. යම් කෙනෙක් දුක දුරු කෙරෙද්ද, ඔහු ජාතියෙන් ජරායෙන් මරණයෙන් සෝකයෙන් පරිදේවයෙන් දුක්ඛයෙන් දෝමනස්සයෙන් උපායාසයෙන් මිදෙත්. දුකෙන් මිදෙති යි කියමි.
නළකලාප සූත්‍රය
67. එක් කලෙක ආයුෂ්මත් සාරිපුත්ත තෙරණුවෝත් ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරනණුවෝත් බරණැස සමීපයෙහි ඉසිපතන නම් වූ මුවවෙනෙහි වැඩවෙසෙත්. එකල්හි ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරනණුවෝ සවස් වේලෙහි පලසමවතින් නැගී සිටි සේක් ආයුෂ්මත් ශාරිපුත්‍ර තෙරණුවන් වෙත එළඹියහ. එළඹ ආයුෂ්මත් ශාරිපුත්‍ර තෙරුන් සමග සතුටු වූහ. සතුටු විය යුතු සිහි කට යුතු කථාව නිමවා එකත්පසෙක වැඩ හුන්හ.
එකත්පසෙක වැඩහුන් ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරනණුවෝ ආයුෂ්මත් ශාරිපුත්‍ර තෙරණුවන්ට මෙය කීහ: “ඇවැත්නි ශාරිපුත්‍රයෙනි, කිමෙක් ද, ජරාමරණ තමා විසින් කරණ ලද්දේ ද, ජරාමරණ මෙරමා විසින් කරණ ලද්දේ ද, ජරාමරණ තමා විසින් කරණ ලද්දේත් මෙරමා විසින් කරණ ලද්දේත් වේ ද, නොහොත් ජරාමරණ තමා විසිනුත් නො කරණ ලද්දේ මෙරමා විසිනුත් නො කරණ ලද්දේ ආකස්මික වැ - ඉබේ හටගත්තේ දැ” යි.
ඇවැත්නි කොට්ඨිතයෙනි, ජරාමරණ තමා විසින් කරණ ලද්දේ නො වේ. ජරාමරණ මෙරමා විසිනුත් කරණ ලද්දේ නො වේ. ජරාමරණ තමා විසිනුත් කරණ ලද්දේ මෙරමා විසිනුත් කරණ ලද්දේ නො වේ. ජරාමරණ තමා විසිනුත් නො කරණ ලද්දේ මෙරමා විසිනුත් නො කරණ ලද්දේ ඉබේ හටගත්තේත් නො වේ. වැලි දු ජාති ප්‍රත්‍යයයෙන් ජරාමරණ වේ යි.
ඇවැත්නි ශාරිපුත්‍රයෙනි, කිමෙක් ද, ජාතිය තමා විසින් කරණ ලද ද, ජාතිය මෙරමා විසින් කරණ ලද ද, ජාතිය තමා විසින් කරණ ලද්දීත් මෙරමා විසින් කරණ ලද්දීත් වේ ද, නොහොත් ජාතිය තමා විසිනුත් නො කරණ ලද්දී මෙරමා විසිනුත් නො කරණ ලද්දී ඉබේ හටගත්තී දැ යි.
ඇවැත්නි කොට්ඨිතයෙනි, ජාතිය තමා විසින් කරණ ලද්දී නො වේ. ජාතිය මෙරමා විසින් කරණ ලද්දී නො වේ. ජාතිය තමා විසින් කරණ ලද්දීත් මෙරමා විසින් කරණ ලද්දීත් නො වේ. ජාතිය තමා විසිනුත් නො කරණ ලද්දී මෙරමා විසිනුත් නො කරණ ලද්දී ඉබේ හටගත්තී ද නො වේ. වැලි දු භව ප්‍රත්‍යයයෙන් ජාතිය වේ යි.
ඇවැත්නි ශාරිපුත්‍රයෙනි, කිමෙක් ද, භවය තමා විසින් කරණ ලද්දේ ද, භවය මෙරමා විසින් කරණ ලද්දේ ද, භවය තමා විසින් කරණ ලද්දේත් මෙරමා විසින් කරණ ලද්දේත් වේ ද, නොහොත් භවය තමා විසිනුත් නො කරණ ලද්දේ මෙරමා විසිනුත් නො කරණ ලද්දේ ඉබේ හටගත්තේ දැ යි.
ඇවැත්නි කොට්ඨිතයෙනි, භවය තමා විසින් කරණ ලද්දේ නො වේ. භවය මෙරමා විසින් කරණ ලද්දේ නො වේ. භවය තමා විසින් කරණ ලද්දේත් මෙරමා විසින් කරණ ලද්දේත් නො වේ. භවය තමා විසිනුත් නො කරණ ලද්දේ මෙරමා විසිනුත් නො කරණ ලද්දේ ඉබේ හටගත්තේ ද නො වේ. වැලි දු උපාදාන ප්‍රත්‍යයයෙන් භවය වේ යි.
ඇවැත්නි ශාරිපුත්‍රයෙනි, කිමෙක් ද, උපාදාන තමා විසින් කරණ ලද්දේ ද ... තෘෂ්ණාව තමා විසින් කරණ ලද්දී ද ... වේදනාව් තමා විසින් කරණ ලද්දී ද ... ස්පර්‍ශය තමා විසින් කරණ ලද්දේ ද ... ෂඩායතන තමා විසින් කරණ ලද්දේ ද … නාමරූප තමා විසින් කරණ ලද්දේ ද, නාමරූප මෙරමා විසින් කරණ ලද්දේ ද, නාමරූප තමා විසින් කරණ ලද්දේත් මෙරමා විසින් කරණ ලද්දේත් වේ ද, නොහොත් නාමරූප තමා විසිනුත් නො කරණ ලද්දේ මෙරමා විසිනුත් නො කරණ ලද්දේ ඉබේ හටගත්තේදැ යි.
ඇවැත්නි කොට්ඨිතයෙනි, නාමරූප තමා විසින් කරණ ලද්දේ නො වේ. නාමරූප මෙරමා විසින් කරණ ලද්දේ නො වේ. නාමරූප තමා විසින් කරණ ලද්දේත් මෙරමා විසින් කරණ ලද්දේත් නො වේ. නාමරූප තමා විසිනුත් නො කරණ ලද්දේ මෙරමා විසිනුත් නො කරණ ලද්දේ ඉබේ හටගත්තේත් නො වේ. වැලි දු විඥාන ප්‍රත්‍යයයෙන් නාමරූප වේ යි.
ඇවැත්නි ශාරිපුත්‍රයෙනි, කිමෙක් ද, විඤ්ඤාණය තමා විසින් කරණ ලද්දේ ද, විඤ්ඤාණය මෙරමා විසින් කරණ ලද්දේ ද, විඤ්ඤාණය තමා විසින් කරණ ලද්දේත් මෙරමා විසින් කරණ ලද්දේත් වේ ද, නොහොත් විඤ්ඤාණය තමා විසිනුත් නො කරණ ලද්දේ මෙරමා විසිනුත් නො කරණ ලද්දේ ඉබේ හටගත්තේ දැ යි.
ඇවැත්නි කොට්ඨිතයෙනි, විඤ්ඤාණය තමා විසින් කරණ ලද්දේ නො වේ. විඤ්ඤාණය මෙරමා විසින් කරණ ලද්දේ නො වේ. විඤ්ඤාණය තමා විසින් කරණ ලද්දේත් මෙරමා විසින් කරණ ලද්දේත් නො වේ. විඤ්ඤාණය තමා විසිනුත් නො කරණ ලද්දේ මෙරමා විසිනුත් නො කරණ ලද්දේ ඉබේ හටගත්තේ ද නො වේ. වැලි දු නාමරූප ප්‍රත්‍යයයෙන් විඤ්ඤාණය වේ යි.
දැන් වූ කලී අපි ආයුෂ්මත් සැරියුත් තෙරුන්ගේ භාෂිතය මෙසේ දනිමු: “ඇවැත්නි කොට්ඨිතයෙනි, නාමරූප තමා විසින් කරණ ලද්දේ නො වේ. නාමරූප මෙරමා විසින් කරණ ලද්දේ නො වේ. නාමරූප තමා විසින් කරණ ලද්දේත් මෙරමා විසින් කරණ ලද්දේත් නො වේ. නාමරූප තමා විසිනුත් නො කරණ ලද්දේ මෙරමා විසිනුත් නො කරණ ලද්දේ ඉබේ හටගත්තේ ද නො වේ. වැලි දු විඥාන ප්‍රත්‍යයයෙන් නාමරූප වේ” යි.
දැන් වූ කලී අපි ආයුෂ්මත් සැරියුත් තෙරුන්ගේ භාෂිතය මෙසේ දනිමු: “ඇවැත්නි කොට්ඨිතයෙනි, විඤ්ඤාණය තමා විසින් කරණ ලද්දේ නො වේ. විඤ්ඤාණය මෙරමා විසින් කරණ ලද්දේ නො වේ. විඤ්ඤාණය තමා විසින් කරණ ලද්දේත් මෙරමා විසින් කරණ ලද්දේත් නො වේ. විඤ්ඤාණය තමා විසිනුත් නො කරණ ලද්දේ මෙරමා විසිනුත් නො කරණ ලද්දේ ඉබේ හටගත්තේත් නො වේ. වැලි දු නාමරූප ප්‍රත්‍යයයෙන් විඤ්ඤාණය වේ”යි.
ඇවැත්නි ශාරිපුත්‍රයෙනි, කෙසේ නම් මේ භාෂිතයේ අර්‍ත්‍ථය දත යුතු ද? ඇවැත්නි, එසේ නම් තොපට උපමාවක් කරන්නෙමි. මෙහි ඇතැම් නුවණැති පුරුෂයෝ උපමාවෙන් ද භාෂිතයේ අර්‍ත්‍ථය දැන ගණිත්.
ඇවැත්නි, යම් සේ නළකළප් දෙකක් ඔවුනොවුන් ඇසුරු කොට සිටුනේ ද, ඇවැත්නි, එසෙයින් ම නාමරූප ප්‍රත්‍යයයෙන් විඤ්ඤාණය වේ. විඤ්ඤාණ ප්‍රත්‍යයයෙන් නාමරූප වේ. නාමරූප ප්‍රත්‍යයයෙන් සළායතන වේ. සළායතන ප්‍රත්‍යයයෙන් ස්පර්‍ශය වේ. ... මෙසේ මේ හුදු දුක් රැසේ හටගැණීම වේ. ඇවැත්නි, ඒ නළකළප් දෙකින් එකක් ඉවත් කරන්නේ නම් එකෙක් වැටෙන්නේ ය. අනෙක ඉවත් කරන්නේ නම් අනෙක වැටෙන්නේ ය. ඇවැත්නි, එසෙයින් ම නාමරූප නිරෝධයෙන් විඤ්ඤාණ නිරෝධය වේ. විඤ්ඤාණ නිරෝධයෙන් නාමරූප නිරෝධය වේ. නාමරූප නිරෝධයෙන් සළායතන නිරෝධය වේ. සළායතන නිරෝධයෙන් ඵස්ස නිරෝධය වේ ... මෙසේ මේ හුදු දුක් රැසේ නිරෝධය වේ යි.
ඇවැත්නි ශාරිපුත්‍රයෙනි, ආශ්චර්‍ය්‍යයෙකි. ඇවැත්නි ශාරිපුත්‍රයෙනි, අද්භූතයෙකි. ආයුෂ්මත් ශාරිපුත්‍රයන් විසින් මෙය සුභාෂිත (මැනවින් කියන ලද) ම ය. අපි ආයුෂ්මත් ශාරිපුත්‍රයන්ගේ සුභාෂිතය මේ සතිස්කරුණින්* අනුමෝදන් වම්හ.
ඇවැත්නි, ඉදින් මහණ තෙමේ ජරාමරණයේ නිර්වේදය විරාගය නිරෝධය පිණිස දහම් දෙසා ද, (හෙතෙමේ) “ධර්‍මකථික මහණෙකැ”යි කියන්නට සුදුසු ය. ඇවැත්නි, ඉදින් මහණ තෙමේ ජරාමරණයෙහි නිර්වේදය විරාගය නිරෝධය පිණිස පිළිපන්නේ වේ ද, හේ “දහම් අනුදහම් පිළිවෙත්හි පිළිපන් මහණෙකැ”යි කියන්නට සුදුසු ය. ඇවැත්නි, ඉදින් මහණ තෙමේ ජරාමරණයෙහි නිර්වේදයෙන් විරාගයෙන් නිරෝධයෙන් උපාදාන රහිත ව මිදුනේ වේ ද, හේ “දිටුදැමියෙහි නිවන් පැමිණි මහණෙකැ”යි කියන්නට සුදුසු ය.
ඇවැත්නි, මහණ තෙමේ ඉදින් ජාතියේ ... ඉදින් භවයේ ... ඉදින් උපාදානයේ ... ඉදින් තෘෂ්ණාවේ ... ඉදින් වේදනාවේ ... ඉදින් ඵස්සයේ ... ඉදින් සළායතනයේ ... ඉදින් නාමරූපයේ ... ඉදින් විඤ්ඤාණයේ ... ඉදින් සඞ්ඛාරයන්ගේ [නිර්වේදයෙන්] ... “දිටුදැමියෙහි නිවන් පැමිණි මහණෙකැ”යි කියන්නට සුදුසු ය.
ඇවැත්නි, ඉදින් මහණ තෙමේ අවිද්‍යාවේ නිර්වේදය විරාගය නිරෝධය පිණිස දහම් දෙසා ද, “ධර්‍මකථික මහණෙකැ”යි කියන්නට සුදුසු ය. ඇවැත්නි, මහණ තෙමේ ඉදින් අවිද්‍යාවේ නිර්වේදය විරාගය නිරෝධය පිණිස පිළිපන්නේ වේ ද, හේ “දහම් අනුදහම් පිළිවෙත්හි පිළිපන් මහණෙකැ”යි කියන්නට සුදුසු ය. ඇවැත්නි, මහණ තෙමේ ඉදින් අවිද්‍යාවේ නිර්වේදයෙන් විරාගයෙන් නිරෝධයෙන් උපාදාන රහිත ව මිදුනේ වේ ද, “දිටුදැමියෙහි නිවන් පැමිණි මහණෙකැ”යි කියන්නට සුදුසු ය යි.
කෝසම්බි සූත්‍රය
68. එක්කලෙක ආයුෂ්මත් මූසිල තෙරණුවෝ ද ආයුෂ්මත් සවිට්ඨ තෙරණුවෝ ද ආයුෂ්මත් නාරද තෙරණුවෝ ද ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ ද කොසඹෑනුවර සමීපයෙහි ඝෝෂිතාරාමයෙහි වැඩවෙසෙති.
එකල්හි ආයුෂ්මත් සවිට්ඨ තෙරණුවෝ ආයුෂ්මත් මූසිල තෙරුන්ට මෙය කීහ: ඇවැත්නි, මූසිලයෙනි, ඇදහීමෙන් තොරව ම, රුචියෙන් තොරව ම, පරම්පරාකථායෙන් තොරව ම, ආකාරවිකල්පනයෙන් තොරව ම, දෘෂ්ටියට අනුව වැටහීමෙන් තොරව ම, ජාතිප්‍රත්‍යයයෙන් ජරාමරණ වේ ය යි ප්‍රත්‍යවේක්‍ෂාවෙන් තමා කෙරෙහි ම වූ දැනීමෙක් ආයුෂ්මත් මූසිලහට ඇත්තේ ද? ඇවැත්නි සවිට්ඨයෙනි, ඇදහීමෙන් තොරව ම, රුචියෙන් තොරව ම, අනුශ්‍රැතියෙන් තොරව ම, ආකාරවිකල්පනයෙන් තොරව ම, දෘෂ්ටියට අනුව වැටහීමෙන් තොරව ම ‘ජාති ප්‍රත්‍යයයෙන් ජරාමරණ වේ ය’ යන මෙය මම දනිමි. මම මෙය දකිමි.
ඇවැත්නි, මූසිලයෙනි, ඇදහීමෙන් තොරව ම, අනුශ්‍රැතියෙන් තොරව ම, ආකාරපරිවිතර්‍කයෙන් තොරව ම, දිට්ඨිනිජ්ඣානක්ඛන්තියෙන් තොරව ම, භව ප්‍රත්‍යයයෙන් ජාතිය වේ ය යි ... උපාදාන ප්‍රත්‍යයෙන් භවය වේ ය යි ... තණ්හා ප්‍රත්‍යයයෙන් උපාදාන වේ ය යි ... වේදනා ප්‍රත්‍යයයෙන් තෘෂ්ණාව වේ යැ යි ... ඵස්ස ප්‍රත්‍යයයෙන් වේදනාව වේ ය යි ... සළායතන ප්‍රත්‍යයයෙන් ඵස්ස වේ ය යි ... නාමරූප ප්‍රත්‍යයයෙන් සළායතන වේ ය යි ... විඤ්ඤාණ ප්‍රත්‍යයයෙන් නාමරූප වේ ය යි ... සඞ්ඛාර ප්‍රත්‍යයයෙන් විඤ්ඤාණය වේ ය යි ... අවිද්‍යා ප්‍රත්‍යයයෙන් සඞ්ඛාර වේ ය යි තමන් ම ඇති කරගත් දැනීමෙක් ආයුෂ්මත් මූසිලහට ඇත්තේ ද? ඇවැත්නි සවිට්ඨයෙනි, ඇදහීමෙන් තොරව ම, රුචියෙන් තොරව ම, අනුශ්‍රැතියෙන් තොරව ම, ආකාර සැලකීමෙන් තොරව ම, දිට්ඨිනිජ්ඣානක්ඛන්තියෙන් ‘අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංස්කාර වේ ය’ යන මෙය මම දනිමි. මෙය මම දකිමි.
ඇවැත්නි, මූසිලයෙනි, ඇදහීමෙන් තොරව ම ... දිට්ඨිනිජ්ඣානක්ඛන්තියෙන් තොරව ම ජාතිනිරෝධයෙන් ජරාමරණනිරෝධය වේ ය යි තමන් ම ඇති කරගත් දැනීමෙක් ආයුෂ්මත් මූසිලහට ඇත්තේ ද? ඇවැත්නි සවිට්ඨයෙනි, ඇදහීමෙන් තොරව ම, රුචියෙන් තොරව ම, අනුශ්‍රැතියෙන් තොරව ම, ආකාර සැලකීමෙන් තොරව ම, දිට්ඨිනිජ්ඣානක්ඛන්තියෙන් තොරව ම ‘ජාති නිරෝධයෙන් ජරාමරණ නිරෝධය වේ ය’ යන මෙය මම දනිමි, මෙය මම දකිමි. ඇවැත්නි, මූසිලයෙනි, ඇදහීමෙන් තොරව ම, රුචියෙන් තොරව ම, අනුශ්‍රැතියෙන් තොරව ම, ආකාර පරිවිතර්‍කයෙන් තොරව ම, දිට්ඨිනිජ්ඣානක්ඛන්තියෙන් තොරව ම, භව නිරෝධයෙන් ජාති නිරෝධය වේ ය යි ... උපාදාන නිරෝධයෙන් භව නිරෝධය වේ ය යි ... තණ්හා නිරෝධයෙන් උපාදාන නිරෝධය වේ ය යි ... වේදනා නිරෝධයෙන් තණ්හා නිරෝධය වේ ය යි ... ඵස්ස නිරෝධයෙන් වේදනා නිරෝධය වේ ය යි ... සළායතන නිරෝධයෙන් ඵස්ස නිරෝධය වේ ය යි ... නාමරූප නිරෝධයෙන් සළායතන නිරෝධය වේ ය යි ... විඤ්ඤාණ නිරෝධයෙන් නාමරූප නිරෝධය වේ ය යි ... සඞ්ඛාර නිරෝධයෙන් විඤ්ඤාණ නිරෝධය වේ ය යි ... අවිජ්ජා නිරෝධයෙන් සඞ්ඛාර නිරෝධය වේ ය යි තමන් ම ඇති කරගත් දැනීමෙක් ආයුෂ්මත් මූසිලහට ඇත්තේ ද? ඇවැත්නි සවිට්ඨයෙනි, ඇදහීමෙන් තොරව ම, රුචියෙන් තොරව ම, අනුශ්‍රැතියෙන් තොරව ම, ආකාර පරිවිතර්‍කයෙන් තොරව ම දිට්ඨිනිජ්ඣානක්ඛන්තියෙන් තොරව ම ‘අවිජ්ජා නිරෝධයෙන් සඞ්ඛාර නිරෝධය වේ ය’ යන මෙය මම දනිමි. මෙය මම දකිමි.