නිරවශේෂයෙන් ම භවය නැති කල්හි භවනිරෝධයෙන් ජාතිය පැණේ ද?
‘වහන්ස, මෙය නො වේ ම ය.’
නිරවශේෂයෙන් ම ජාතිය නැති කල්හි ජාතිනිරෝධයෙන් ජරාමරණ පැණේ ද?
‘වහන්ස, මෙය නො වේ ම ය.’
මහණෙනි, මැනැවි, මැනැවි. මහණෙනි, මෙය මෙසේ ම ය. මෙය අන් අයුරකින් නො වේ. මහණෙනි, මෙය මෙසේ ම යයි අදහවු නිශ්චයට පැමිණෙවු. මෙහි සැක නැත්තෝ පහ වූ විචිකිච්ඡා ඇත්තෝ වවු. මෙය ම දුක් කෙළවර (නිවන) වේ.
1. 6. 2.
උපාදාන සූත්‍රය
52. සැවැත්නුවර–
මහණෙනි, උපාදානයන්ට ප්‍රත්‍යය වූ ධර්‍මයන් විෂයෙහි ආස්වාදය අනුව බලමින් වෙසෙන්නහුගේ තෘෂ්ණාව වෙසෙසින් වැඩේ. තෘෂ්ණාප්‍රත්‍යයයෙන් උපාදාන වේ. උපාදානප්‍රත්‍යයයෙන් භවය වේ. භවප්‍රත්‍යයයෙන් ජාතිය වේ. ජාතිප්‍රත්‍යයයෙන් ජරාමරණ සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ හටගණිත්. මෙසේ මේ හුදු දුක් රැසේ හටගැණීම වේ.
මහණෙනි, යම්සේ දරගැල් දසයක හෝ දරගැල් විස්සෙක හෝ දරගැල් තිසෙක හෝ දරගැල් සාළිසෙක හෝ මහගිනිකඳෙක් යම්සේ දිලෙන්නේ ද, පුරුෂයෙක් කලින් කල එහි වියළිතණත් බහා ලන්නේ ද, වියළි ගොමත් බහා ලන්නේ ද, වියලි දරත් බහා ලන්නේ ද, මහණෙනි, මෙසේ ඒ මහගිනිකඳ ඒ ආහාර ඇත්තේ උපාදාන ඇත්තේ ඉතා දිගු කලක් දිලෙන්නේ ය.
මහණෙනි, එසෙයින් ම උපාදානිය ධර්‍මයන්හි ආස්වාදය නැවත නැවත දකිමින් වෙසෙන්නහුගේ තෘෂ්ණාව වැඩේ. තෘෂ්ණාප්‍රත්‍යයෙන් උපාදාන වේ ... මෙසේ මේ හුදු දුක්රැසේ හටගැණීම වේ.
මහණෙනි, උපාදානිය ධර්‍මයන්හි දෝෂ නැවත නැවත දකිමින් වෙසෙන්නහුගේ තෘෂ්ණාව නිරුද්ධ වෙයි. තෘෂ්ණානිරෝධයෙන් උපාදාන නිරෝධය වේ. උපාදානනිරෝධයෙන් ... ජරාමරණ සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ නිරුද්ධ වෙත්. මෙසේ මේ හුදු දුක්රැසේ නිරෝධය වේ.
මහණෙනි, දරගැල් දසයක හෝ දරගැල් විස්සෙක හෝ දරගැල් තිසෙක හෝ දරගැල් සාළිසෙක හෝ මහගිනිකඳෙක් යම්සේ දිලෙන්නේ ද, පුරුෂයෙක් කලින් කල වියළි තණත් එහි නො ලන්නේ ද, වියළි ගොමත් එහි නො ලන්නේ ද, වියළි දරත් එහි නො ලන්නේ ද, මහණෙනි, මෙසේ ඒ මහගිනිකඳ පළමු දර දැවීමෙනුත් අනෙක් දර නො ගැණීමෙනුත් ප්‍රත්‍යය රහිත වූයේ නිවෙන්නේ ය.
මහණෙනි, එසෙයින්ම උපාදානිය ධර්‍මයන්හි දෝෂය නැවත නැවත දක්නාසුලුව වෙසෙන්නහුගේ තෘෂ්ණාව නිරුද්ධ වෙයි. තෘෂ්ණානිරෝධයෙන් උපාදානනිරෝධය වේ ... මෙසේ මේ හුදු දුක්රැසේ නිරෝධය වේ.
1. 6. 3.
සංයෝජන සූත්‍රය
53. සැවැත්නුවර–
මහණෙනි, සංයෝජනයන්ට ප්‍රත්‍යය වූ ධර්‍මයන්හි ආස්වාදය නැවත නැවත දක්නාසුලු ව වෙසෙන්නහුගේ තෘෂ්ණාව වැඩෙයි. තෘෂ්ණාප්‍රත්‍යයෙන් උපාදාන වේ. මෙසේ මේ හුදු දුක්රැසේ හටගැණීම වේ.
මහණෙනි, යම්සේ තෙලත් නිසා වැටියත් නිසා තෙල්පහනෙක් දැල් වෙන්නේ ද, පුරුෂයෙක් කලින් කල එහි තෙල් බහන්නේ ද, වැටිය සකස් කරන්නේ ද, මහණෙනි, මෙසේ ඒ තෙල්පහන ඒ ආහාර ඇත්තේ ඒ උපාදාන ඇත්තේ බොහෝ දිගුකලක් දිලෙන්නේ ය.
මහණෙනි, එසෙයින්ම සංයෝජනීය ධර්‍මයන්හි ආස්වාදය නැවත නැවත දක්නාසුලු ව වෙසෙන්නහුගේ තෘෂ්ණාව වැඩේ. තෘෂ්ණා ප්‍රත්‍යයයෙන් උපාදාන වේ ... මෙසේ මේ හුදු දුක්රැසේ හටගැණීම වේ.
මහණෙනි, සංයෝජනීය ධර්‍මයන්හි දෝෂය නැවත නැවත දක්නාසුලු ව වෙසෙන්නහුගේ තෘෂ්ණාව නිරුද්ධ වේ. තෘෂ්ණා නිරෝධයෙන් උපාදාන නිරෝධය වේ ... මෙසේ මේ හුදු දුක්රැසේ නිරෝධය වේ.
මහණෙනි, යම්සේ තෙලත් නිසා වැටියත් නිසා තෙල්පහනෙක් දැල් වෙන්නේ ද, පුරුෂ තෙමේ කලින් කල එහි තෙල් නො බහන්නේද, වැටියත් නො සකස් කරන්නේ ද, මහණෙනි, මෙසේ ඒ තෙල්පහන පළමු තෙල් දැවීමෙනුත් අනෙක් තෙලක් නො ගැණීමෙනුත් ප්‍රත්‍යය රහිත වූයේ නිවෙන්නේ ය.
මහණෙනි, එසෙයින්ම සංයෝජනීය ධර්‍මයන්හි දෝෂය නැවත නැවත දක්නාසුලු ව වෙසෙන්නහුගේ තෘෂ්ණාව නිරුද්ධ වෙයි. තෘෂ්ණා නිරෝධයෙන් උපාදාන නිරෝධය වෙයි ... මෙසේ මේ හුදු දුක්රැසේ නිරෝධය වේ.
1. 6. 4.
දුතිය සංයෝජන සූත්‍රය
54. සැවැත්නුවර–
මහණෙනි, තෙලත් නිසා වැටියත් නිසා තෙල්පහනෙක් යම්සේ දැල් වෙන්නේ ද, පුරුෂයෙක් කලින් කල එහි තෙල් බහන්නේ ද, වැටිය සකස් කරන්නේ ද, මහණෙනි, මෙසේ ඒ තෙල්පහන ඒ ආහාර ඇත්තේ ඒ උපාදාන ඇත්තේ බොහෝ දිගුකලක් දිලෙන්නේ ය.
මහණෙනි, එසෙයින් ම සංයෝජනීය ධර්‍මයන්හි ආස්වාදය නැවත නැවත දක්නාසුලු ව වෙසෙන්නහුගේ තෘෂ්ණාව වැඩෙයි. තෘෂ්ණා ප්‍රත්‍යයයෙන් උපාදාන වේ ... මෙසේ මේ හුදු දුක්රැසේ හටගැණීම වේ.
මහණෙනි, තෙලත් නිසා වැටියත් නිසා යම්සේ තෙල්පහනෙක් දැල්වෙන්නේ ද, පුරුෂයෙක් කලින් කල එහි තෙල් නො බහන්නේ නම් වැටියත් නො සකස් කරන්නේ නම්, මහණෙනි, මෙසේ ඒ තෙල්පහන පළමු තෙල් දවා ලීමෙනුත් අනෙක් තෙලක් නො ගැණීමෙනුත් ප්‍රත්‍යය රහිත වූයේ නිවෙන්නේ ය.
මහණෙනි, එසෙයින් ම සංයෝජනීය ධර්‍මයන්හි දෝෂය නැවත නැවත දක්නාසුලු ව වෙසෙන්නහුගේ තෘෂ්ණාව නිරුද්ධ වෙයි. තෘෂ්ණා නිරෝධයෙන් උපාදාන නිරෝධය වේ ... මෙසේ මේ හුදු දුක්රැසේ නිරෝධය වෙයි.
1. 6. 5.
මහාරුක්ඛ සූත්‍රය
55. සැවැත්නුවර–
මහණෙනි, උපාදානිය ධර්‍මයන්හි ආස්වාදය නැවත නැවත දක්නාසුලු ව වෙසෙන්නහුගේ තෘෂ්ණාව වැඩෙයි. තෘෂ්ණා ප්‍රත්‍යයයෙන් උපාදාන වෙයි ... මෙසේ මේ හුදු දුක්රැසේ හටගැණීම වේ.
මහණෙනි, යම්සේ මහරුකෙක් වේ ද, එහි යටට බස්නා යම් මුලුත් වේ ද, සරසට යන යම් මුලුත් වේ ද, ඒ සියල්ල ඕජස උඩට ගෙණ යයි. මහණෙනි, මෙසේ ඒ මහරුක ඒ ආහාර ඇත්තේ ඒ උපාදාන ඇත්තේ බොහෝ දිගුකලක් පවත්නේ ය.
මහණෙනි, එපරිද්දෙන් ම උපාදානිය ධර්‍මයන්හි ආස්වාදය නැවත නැවත දක්නාසුලු ව වෙසෙන්නහුගේ තෘෂ්ණාව වැඩේ. තෘෂ්ණා ප්‍රත්‍යයයෙන් උපාදාන වේ ... මෙසේ මේ හුදු දුක්රැසේ හටගැණීම වේ.
මහණෙනි, උපාදානිය ධර්‍මයන්හි දෝෂය නැවත නැවත දක්නාසුලු ව වෙසෙන්නහුගේ තෘෂ්ණාව නිරුද්ධ වෙයි. තෘෂ්ණා නිරෝධයෙන් උපාදාන නිරෝධය වේ. උපාදාන නිරෝධයෙන් භවනිරෝධය වේ. මෙසේ මේ හුදු දුක්රැසේ නිරෝධය වේ.
මහණෙනි, යම්සේ මහරුකෙක් වේ ද, එකල්හි පුරුෂයෙක් උදැල්ලක් හා පැසක් ගෙණ එන්නේ ය. හෙතෙමේ ඒ රුක මුල සිඳින්නේ ය. මුල සිඳ හාත්පස සාරන්නේ ය. හාත්පස සාරා යටත්පිරිසෙයින් සුවඳහොට මුල් පමණ වූත් මුල් උදුරන්නේ ය. හෙතෙමේ ඒ රුක කඩ කඩ කොට සිඳින්නේ ය. කඩ කඩ කොට සිඳ පලන්නේ ය. පලා කැබලි කැබලි කරන්නේ ය. කැබලි කැබලි කොට අවුසුලඟෙහි වියලන්නේ ය. අවුසුලඟෙහි වියලා ගින්නෙන් දවන්නේ ය. ගින්නෙන් දවා හළු කරන්නේ ය. හළු කොට මහසුලගෙහි හෝ පොලා හරින්නේ ය. සැඩපහර ඇති ගඟෙහි හෝ පා කොට හරින්නේ ය. මහණෙනි, මෙසේ ඒ මහරුක උසුන් මුල් ඇත්තේ හිස් සුන් තල්ගසක් මෙන් කරණ ලද්දේ, නො වැඩෙන බවට පමුණුවන ලද්දේ මතු නූපදනා ස්වභාව ඇත්තේ වන්නේ ය.
මහණෙනි, එසෙයින් ම උපාදානිය ධර්‍මයන්හි දෝෂය නැවත නැවත දක්නාසුලු ව වෙසෙන්නහුගේ තෘෂ්ණාව නිරුද්ධ වේ. තෘෂ්ණා නිරෝධයෙන් උපාදාන නිරෝධය වේ ... මෙසේ මේ හුදු දුක්රැසේ නිරෝධය වේ යි.
1. 6. 6.
දුතිය මහාරුක්ඛ සූත්‍රය
56. සැවැත්නුවර–
මහණෙනි, යම්සේ මහරුකෙක් වේ ද, එහි යටට බස්නා යම් මුලුත් වේ ද, සරසට යන යම් මුලුත් වේ ද, ඒ සියල්ල ඕජාව උඩට ගෙණ යේ. මහණෙනි, මෙසේ ඒ මහරුක ඒ ආහාර ඇත්තේ ඒ උපාදාන ඇත්තේ බොහෝ දිගුකලක් සිටුනේ ය.
මහණෙනි, උපාදානිය ධර්‍මයන්හි ආස්වාදය නැවත නැවත දක්නාසුලු ව වෙසෙන්නහුගේ තෘෂ්ණාව වැඩේ. තෘෂ්ණා ප්‍රත්‍යයයෙන් උපාදාන වේ ... මෙසේ මේ හුදු දුක්රැසේ හටගැණීම වේ.
මහණෙනි, යම්සේ මහරුකෙක් වේ ද, එකල්හි පුරුෂයෙක් උදැල්ලක් හා පැසක් ගෙණ එන්නේ ය. හෙතෙමේ ඒ රුක මුල් සිඳින්නේ ය. මුල් සිඳ හාත්පස සාරන්නේ ය. හාත්පස සාරා මුල් උදුරන්නේ ය ... සැඩපහර ඇති ගඟෙහි හෝ පා කොට හරින්නේ ය. මහණෙනි, මෙසේ ඒ මහරුක උසුන් මුල් ඇත්තේ මුදුන සුන් තලක් මෙන් කරණ ලද්දේ නැවත නො වැඩෙන බවට පත් කරණ ලද්දේ මතු නො හටගන්නා ස්වභාව ඇත්තේ වන්නේ ය.
මහණෙනි, එසෙයින් ම උපාදානිය ධර්‍මයන්හි දෝෂ දක්නාසුලු ව වෙසෙන්නහුගේ තෘෂ්ණාව නිරුද්ධ වෙයි. තෘෂ්ණා නිරෝධයෙන් උපාදාන නිරෝධය වේ ... මෙසේ මේ හුදු දුක්රැසේ නිරෝධය වේ යි.
1. 6. 7.
තරුණරුක්ඛ සූත්‍රය
57. සැවැත්නුවර–
මහණෙනි, සංයෝජනීය ධර්‍මයන්හි ආස්වාදය නැවත නැවත දකිමින් වෙසෙන්නහුගේ තෘෂ්ණාව වැඩෙයි. තෘෂ්ණා ප්‍රත්‍යයයෙන් උපාදාන වේ ... මෙසේ මේ හුදු දුක්රැසේ හටගැණීම වේ.
මහණෙනි, යම්සේ තරුණ රුකෙක් වේ ද, පුරුෂයෙක් කලින් කල එහි මුල් සුද්ධ කරන්නේ ද, කලින් කල පස් පොහොර දෙන්නේ ද, කලින් කල ජලය දෙන්නේ ද, මහණෙනි, මෙසේ ඒ තරුණ රුක ඒ ආහාර ඇත්තේ ඒ උපාදාන ඇත්තේ වැඩීමට හටගත් මුල් ඇති බවට මහත් බවට පැමිණෙන්නේ ය.
මහණෙනි, එසෙයින් ම සංයෝජනීය ධර්‍මයන්හි ආස්වාදය නැවත නැවත දකිමින් වෙසෙන්නහුගේ තෘෂ්ණාව වැඩේ. තෘෂ්ණා ප්‍රත්‍යයයෙන් උපාදාන වේ ... මෙසේ මේ හුදු දුක්රැසේ හටගැණීම වේ.
මහණෙනි, සංයෝජනීය ධර්‍මයන්හි ආදීනවය නැවත නැවත දක්නා සුලු ව වෙසෙන්නහුගේ තෘෂ්ණාව නිරුද්ධ වේ. තණ්හා නිරෝධයෙන් උපාදාන නිරෝධය වේ ... මෙසේ මේ හුදු දුක්රැසේ නිරෝධය වේ.
මහණෙනි, යම්සේ තරුණ රුකෙක් වේ ද, එකල්හි පුරුෂයෙක් උදැල්ලක් හා පැසක් ගෙණ එන්නේ ය. හෙතෙමේ ඒ රුක මුල් සිඳින්නේ ය. මුල් සිඳ හාත්පස සාරන්නේ ය. හාත්පස සාරා යටත්පිරිසෙයින් සුවඳහොට මුල් පමණ වූ ද මුල් උදුරන්නේ ය. හෙතෙමේ ඒ රුක කඩ කඩ කොට සිඳින්නේ ය. කඩ කඩ කොට සිඳ පලන්නේ ය. පලා කැබලි කැබලි කරන්නේ ය. කැබලි කැබලි කොට අවු සුළඟෙහි වියලන්නේ ය. අවු සුළඟෙහි වියලා ගින්නෙන් දවන්නේ ය. ගින්නෙන් දවා හළු කරන්නේ ය. හළු කොට මහසුලඟෙහි හෝ පොලා හරින්නේ ය. සැඩපහර ඇති ගඟෙහි හෝ පා කොට හරින්නේ ය. මහණෙනි, මෙසේ ඒ තරුණ රුක උසුන්මුල් ඇත්තේ හිස්සුන් තල්රුකක් මෙන් කරණ ලද්දේ නැවත නො වැඩෙන බවට පමුණුවන ලද්දේ මතු නූපදනා ස්වභාව ඇත්තේ වන්නේ ය.
මහණෙනි, එසෙයින් ම සංයෝජනීය ධර්‍මයන්හි ආදීනවය නැවත නැවත දක්නාසුලු ව වසන්නහුගේ තෘෂ්ණාව නිරුද්ධ වේ. තෘෂ්ණා නිරෝධයෙන් උපාදාන නිරෝධය වේ ... මෙසේ මේ හුදු දුක්රැසේ නිරෝධය වේ යි.
1. 6. 8.
නාමරූප සූත්‍රය
58. සැවැත්නුවර–
මහණෙනි, සංයෝජනීය ධර්‍මයන්හි ආස්වාදය නැවත නැවත දකිමින් වෙසෙන්නහුට නාමරූපයන්ගේ බැසගැණීම වේ. නාමරූපප්‍රත්‍යයයෙන් ෂඩායතන වේ. මෙසේ මේ හුදු දුක්රැසේ හටගැණීම වේ.
මහණෙනි, යම්සේ මහරුකෙක් වේ ද, එහි යට බස්නා යම් මුලුත් වේ ද, සරසට යන යම් මුලුත් වේ ද, ඒ සියල්ල ඕජාව උඩට ගෙණ යේ. මහණෙනි, මෙසේ ඒ මහරුක ඒ ආහාර ඇත්තේ ඒ උපාදාන ඇත්තේ බොහෝ දිගුකලක් සිටුනේ ය.
මහණෙනි, එසෙයින්ම සංයෝජනීය ධර්‍මයන්හි ආස්වාදය නැවත නැවත දකිමින් වෙසෙන්නහුට නාමරූපයන්ගේ පහළ වීම වේ. නාමරූපප්‍රත්‍යයයෙන් ෂඩායතන වේ ... මෙසේ මේ හුදු දුක්රැසේ හටගැණීම වේ.
මහණෙනි, සංයෝජනීය ධර්‍මයන්හි ආදීනවය නැවත නැවත දකිමින් වෙසෙන්නහුට නාමරූපයන්ගේ පහළවීම නො වේ. නාමරූප නිරෝධයෙන් ෂඩායතන නිරෝධය වේ. මෙසේ මේ හුදු දුක්රැසේ නිරෝධය වේ.
මහණෙනි, යම්සේ මහරුකෙක් වේ ද, එකල්හි උදැල්ලක් හා පැසක් ගෙණ පුරුෂයෙක් එන්නේ ය ... මත්තෙහි නූපදනා ස්වභාව ඇත්තේ වේ.
මහණෙනි, එසෙයින් ම සංයෝජනීය ධර්‍මයන්හි දෝෂය නැවත නැවත දකිමින් වෙසෙන්නහුට නාමරූපයන්ගේ බැසගැණීම නො වේ. නාමරූප නිරෝධයෙන් සළායතන නිරෝධය වේ ... මෙසේ මේ හුදු දුක්රැසේ නිරෝධය වේ යි.
1. 6. 9.
විඤ්ඤාණ සූත්‍රය
59. සැවැත්නුවර–
මහණෙනි, සංයෝජනීය ධර්‍මයන්හි ආස්වාදය නැවත නැවත දක්නාසුලු ව වෙසෙන්නහුට විඤ්ඤාණයාගේ බැසගැණීම වේ. විඤ්ඤාණ ප්‍රත්‍යයයෙන් නාමරූප වේ ... මෙසේ මේ හුදු දුක්රැසේ හටගැණීම වේ.
මහණෙනි, යම්සේ මහ රුකෙක් වේ ද, එහි යට බස්නා යම් මුලුත් වේ ද, ... [බොහෝ දිගුකලක් සිටුනේ ය].
මහණෙනි, එසෙයින් ම සංයෝජනීය ධර්‍මයන්හි ආස්වාදය නැවත නැවත දක්නාසුලු ව වෙසෙන්නහුට විඤ්ඤාණයාගේ පහළවීම වේ. විඤ්ඤාණ ප්‍රත්‍යයයෙන් නාමරූප වේ ... මෙසේ මේ හුදු දුක්රැසේ හටගැන්ම වේ.
මහණෙනි, සංයෝජනීය ධර්‍මයන්හි දෝෂය නැවත නැවත දකිමින් වෙසෙන්නහුට විඤ්ඤාණයාගේ බැසගැණීම නො වේ. විඤ්ඤාණයාගේ නිරෝධයෙන් නාමරූප නිරෝධය වේ ... මෙසේ මේ හුදු දුක්රැසේ නිරෝධය වේ.
මහණෙනි, යම්සේ මහරුකෙක් වේ ද, එකල්හි පුරුෂයෙක් එන්නේ ය ... මත්තෙහි නූපදනා ස්වභාව ඇත්තේ වේ.
මහණෙනි, එසෙයින් ම සංයෝජනීය ධර්‍මයන්හි දෝෂය නැවත නැවත දක්නාසුලු ව වෙසෙන්නහුට විඤ්ඤාණයාගේ පහළවීම නො වේ. විඤ්ඤාණ නිරෝධයෙන් නාමරූප නිරෝධය වේ ... මෙසේ මේ හුදු දුක්රැසේ නිරෝධය වේ යි.
1. 6. 10.
නිදාන [පටිච්චසමුප්පාද] සූත්‍රය
60. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ කුරුරට කම්මාස්සදම්ම නම් කුරූන්ගේ නියම්ගම්හි වැඩවෙසෙන සේක. එකල්හි ආයුෂ්මත් අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේට වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ආයුෂ්මත් අනඳ තෙරණුවෝ වහන්ස, ආශ්චර්‍ය්‍යයෙකි. වහන්ස, අද්භූතයෙකි. වහන්ස, මේ පටිච්චසමුප්පාදය ඉතා ගැඹුරු ය. ගැඹුරු වූයේ ම දකිනු ද ලැබේ. එහෙත් මට ඉතා ප්‍රකට වූවක් මෙන් වැටහේ ය” යි භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ.
ආනන්‍ද, එසේ නොකිය, ආනන්‍ද එසේ නො කිය. ආනන්‍ද, මේ පටිච්චසමුප්පාදය ඉතා ගැඹුරු ය. ගැඹුරු වූයේ ම ගැඹුරුව පෙණේ. ආනන්‍ද, මේ දහම නො දැනීමෙන් අවබෝධ නො කිරීමෙන් ප්‍රතිවේධ නො කිරීමෙන් මෙසේ මේ සත්ත්‍වයෝ අවුල් වූ නූල් පන්දක් මෙන් වූවාහු, පෙහෙරුන්ගේ කැඳෙහි නූල් ගුලාවක් හෝ කුරුළුකැදැල්ලක් මෙන් ව්‍යාකූල වූවාහු, මුදුතණ බබුස්තණ මෙන් අවුල් වූවාහු සැපයෙන් පහ වූ නපුරු ගති ඇති විවස ව පතිත වන සසර නො ඉක්මවත්.
ආනන්‍ද, උපාදානිය ධර්‍මයන්හි ආස්වාදය නැවත නැවත දකිමින් වෙසෙන්නහුගේ තෘෂ්ණාව වැඩේ. තෘෂ්ණා ප්‍රත්‍යයයෙන් උපාදාන වේ. උපාදාන ප්‍රත්‍යයයෙන් භවය වේ ... මෙසේ මේ හුදු දුක්රැසේ හටගැන්ම වේ.
ආනන්‍ද, යම්සේ මහරුකෙක් වේද, එහි යටට බස්නා යම් මුලුත් වේ ද, සරසට ගමන් ගත් යම් මුලුත් වේ ද, ඒ සියල්ල ඕජස උඩට ගෙණ යේ. ආනන්‍ද, මෙසේ ඒ මහරුක ඒ ආහාර ඇත්තේ ඒ උපාදාන ඇත්තේ ඉතා දිගුකලක් සිටුනේ ය.
ආනන්‍ද, එසෙයින් ම උපාදානිය ධර්‍මයන්හි ආස්වාදය නැවත නැවත දකිමින් වෙසෙන්නහුගේ තෘෂ්ණාව වැඩේ. තෘෂ්ණා ප්‍රත්‍යයයෙන් උපාදාන වේ. උපාදාන ප්‍රත්‍යයයෙන් භවය වේ ... මෙසේ මේ හුදු දුක්රැසේ හටගැන්ම වේ.
ආනන්‍ද, උපාදානිය ධර්‍මයන්හි ආදීනවය නැවත නැවත දකිමින් වෙසෙන්නහුගේ තෘෂ්ණාව නිරුද්ධ වෙයි. තෘෂ්ණා නිරෝධයෙන් උපාදාන නිරෝධය වේ ... මෙසේ මේ හුදු දුක්රැසේ නිරෝධය වේ.
ආනන්‍ද, යම්සේ මහරුකෙක් වේ ද, එකල්හි පුරුෂයෙක් උදැල්ලක් හා පැසක් ගෙණ එහි එන්නේ ය. හෙතෙමේ ඒ රුක මුල් සිඳින්නේ ය. මුල් සිඳ හාත්පස කනින්නේ ය. හාත්පස කැන යටත් පිරිසෙයින් සුවඳහොට මුල් පමණවූ ද මුල් උදුරන්නේ ය. හෙතෙමේ ඒ රුක කඩ කඩ කොට සිඳින්නේ ය. කඩ කඩ කොට සිඳ පලන්නේ ය. පලා කැබලි කැබලි කරන්නේ ය. කැබලි කැබලි කොට අවුසුළඟෙහි වියලන්නේ ය. අවුසුළඟෙහි වියලා ගින්නෙන් දවන්නේ ය. ගින්නෙන් දවා හළු කරන්නේ ය. හළු කොට මහසුලඟෙහි හෝ පොලා හරින්නේ ය. සැඬ පහර ඇති ගඟෙහි හෝ පා කොට හරින්නේ ය. ආනන්‍ද, මෙසේ ඒ මහරුක උසුන් මුල් ඇත්තේ හිස්සුන් තලක් මෙන් කරණ ලද්දේ නැවත නො හටන්නා බවට පමුණුවන ලද්දේ මතු නූපදනා ස්වභාව ඇත්තේ වන්නේ ය.
ආනන්‍ද, එසෙයින් ම උපාදානිය ධර්‍මයන්හි ආදීනවය නැවත නැවත දකිමින් වෙසෙන්නහුගේ තෘෂ්ණාව නිරුද්ධ වේ. තෘෂ්ණානිරෝධයෙන් උපාදානනිරෝධය වේ. උපාදානනිරෝධයෙන් භවනිරෝධය වේ. භවනිරෝධයෙන් ජාතිනිරෝධය වේ. ජාතිනිරෝධයෙන් ජරාමරණ සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ නිරුද්ධ වෙත්. මෙසේ මේ හුදු දුක්රැසේ නිරෝධය වේ යි.
දුක්ඛවර්‍ගය සවැනි යි.
එහි උද්දානය:
පරිවීමංසන උපාදාන සූත දෙකය, සංයෝජන සූත දෙක ය, මහාරුක්ඛ සූත දෙක ය, සත්වන තරුණ රුක්ඛ සූත්‍රය, නාමරූප, විඤ්ඤාණ, නිදාන සූත්‍රය යි සූත්‍ර දශයෙකි.
7. මහා වර්‍ගය
1. 7. 1.
අස්සුතවන්තු සූත්‍රය
61. මා විසින් මෙසේ අසන ලදී: එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වෙසෙන සේක. එහි දී ... වදාළ සේක:
මහණෙනි, නූගත් පුහුදුන් තෙමේ සතර මහාභූතයන්ගෙන් හටගත් මේ සිරුරෙහි උකටලී වන්නේත් වෙයි. නො ඇලෙන්නේත් වෙයි. මිදෙනු කැමැත්තේත් වෙයි. ඒ කවර හෙයින යත්: මහණෙනි, සතර මහාභූතයන්ගෙන් හටගත් මේ ශරීරයෙහි වැඩීමත් පිරිහීමත් හටගැනීමත් බිඳීමත් පෙණෙයි. එහෙයින් නූගත් පුහුදුන් තෙමේ එහි ලා උකටලී වන්නේත් වෙයි. නො ඇලෙන්නේත් වෙයි, මිදෙනු කැමැත්තේත් වෙයි.
මහණෙනි, මේ යමක් සිත යයි දු මනස යයි දු විඤ්ඤාණ යයි දු කියනු ලැබේ ද, එහි ලා නූගත් පුහුදුන් තෙමේ කලකිරෙන්නට නො සමත් ය, නො ඇලෙන්නට නො සමත් ය, මිදෙන්නට නො සමත් ය. ඒ කවර හෙයින යත්: මහණෙනි, නූගත් පුහුදුන්හු විසින් බොහෝ කලක් මුළුල්ලෙහි ‘මෙය මාගේ ය, මේ මම වෙමි, මේ මාගේ ආත්ම ය’යි (තෘෂ්ණාදියෙන්) බැස ගන්නා ලදී. මමත්‍වය කරණ ලදී. පරාමර්‍ශනය කරණ ලදී. එහෙයින් එහිලා නූගත් පුහුදුන් තෙමේ උකටලී වන්නට නො සමත් ය. නො ඇලෙන්නට නො සමත් ය. මිදෙන්නට නො සමත් ය.
මහණෙනි, ඇසු පිරූ තැන් නැති පුහුදුන් තෙමේ සතරමහාභූතයන්ගෙන් හටගත් ශරීරය ආත්ම ය යි ගන්නේ නම් උතුම්. සිත (එලෙස ගැනීම) නො ම මැනවි. ඒ කවර හෙයින යත්: මහණෙනි, සතරමහාභූතයන්ගෙන් හටගත් මේ ශරීරය එක් වසක් සිටුනේ ම, දෙවසක් සිටුනේ ම, තෙවසක් සිටුනේ ම, සිවුවසක් සිටුනේ ම, පස්වසක් සිටුනේ ම, දසවසක් සිටුනේ ම, විසිවසක් සිටුනේ ම, තිස්වසක් සිටුනේ ම, සතලිස්වසක් සිටුනේ ම, පනස් වසක් සිටුනේ ම, සියවසක් සිටුනේ ම, ඉන් වැඩියක් කල් සිටුනේ ම පැණේ. මහණෙනි, යමක් මේ සිත යයි මනස යයි විඤ්ඤාණ යයි කියනු ලැබේ ද, ඒ සිත රෑ ද දහවල් ද අනෙකක් ම උපදී. අනෙකක් ම නිරුද්ධ වේ.
මහණෙනි, වඳුරෙක් මහවෙනෙහි හැසිරෙණුයේ යම්සේ අත්තක් එල්බ ගනී ද, එය මුදා අනිකක් එල්බ ගනී ද, එය මුදා අනිකක් එල්බ ගනී ද, මහණෙනි, එසෙයින් ම මේ යමක් සිත යයි මනස යයි විඤ්ඤාණ යයි කියනු ලැබේ ද, ඒ (සිත) රෑ ද දහවල් ද අනෙකක් ම උපදී. අනෙකක් ම නිරුද්ධ වේ. (සිත අරමුණක් පාසා වෙනස්වන බව කියුසේ ය.)
මහණෙනි, එහි ලා ඇසූ පිරූ තැන් ඇති ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ පටිච්චසමුප්පාදය ම මනා කොට නුවණින් මෙනෙහි කෙරේ ද, මෙසේ මේ හේතුව ඇති කල්හි මේ ඵලය වෙයි. මෙය ඇතිවීමෙන් මෙය උපදී. මෙය නැති කල්හි මෙය නො වෙයි. මේ හේතුව නිරුද්ධ වීමෙන් මේ ඵලය නිරුද්ධ වේ. ඒ නම් අවිද්‍යාප්‍රත්‍යයෙන් සංස්කාරයෝ වෙති. සංස්කාර ප්‍රත්‍යයෙන් විඤ්ඤාණය වේ. ... මෙසේ මේ හුදු දුක්රැසේ හටගැණීම වේ.
අවිද්‍යාව ම නිරවශේෂයෙන් නිරුද්ධ කිරීමෙන් සංස්කාර නිරෝධය වේ. සංස්කාර නිරෝධයෙන් විඤ්ඤාණ නිරෝධය වේ. ... මෙසේ මේ හුදු දුක් රැසේ නිරෝධය වේ.
මහණෙනි, ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ මෙසේ දක්නේ රූපයෙහි ද කලකිරෙයි. වේදනාවෙහි ද කලකිරෙයි. සංඥාවෙහි ද කලකිරෙයි. සංස්කාරකයන්හිද කලකිරෙයි. විඥානයෙහි ද කලකිරෙයි. කලකිරෙනුයේ නො ඇලේ. නො ඇලෙනුයේ මිදෙයි. මිදුනු කල්හි මිදුනේ යයි දැනීම වෙයි. ඉපදීම ක්‍ෂය වී ය. මගබඹසර වැස නිමවන ලදී. කටයුත්ත කරණ ලදී. මේ බැව් පිණිස අනෙකක් නැතැයි දැන ගනියි.
1. 7. 2.
දුතිය අස්සුතවන්තු සූත්‍රය
62. සැවැත්නුවර–