කණත් ශබ්දත් නිසා ... නැහැයත් ගඳත් නිසා ... දිවත් රසත් නිසා ... කයත් සප්‍රෂ්ටව්‍යත් නිසා ... සිතත් දහමුත් නිසා මනෝවිඤ්ඤාණය උපදී. ඒ තුණේ එක්වීම ස්පර්‍ශ ය යි. ස්පර්‍ශප්‍රත්‍යයයෙන් වේදනාව වේ. වේදනා ප්‍රත්‍යයයෙන් තෘෂ්ණාව වේ ඒ තෘෂ්ණාවේ ම නිරවශේෂ විරාගනිරෝධයෙන් උපාදානනිරෝධය වේ. උපාදානනිරෝධයෙන් භවනිරෝධය වේ. ... මෙසේ මේ හුදු දුක් රැසේ නිරෝධය වේ. මහණෙනි, මේ ලෝකයේ නැතිවීම යි.
1. 5. 5.
ඤාතික සූත්‍රය
45. මා විසින් මෙසේ අසන ලදී: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ ඤාතික ගම්හි ගැඩොලින් කළ පහයෙහි වසන සේක.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ එකලාව විවේකී ව වැඩහුන් සේක මේ දහම් ක්‍රමය වදාළ සේක:
ඇසත් රූපත් නිසා චක්ඛුවිඤ්ඤාණය උපදී. ඒ තුණේ එක්වීම ස්පර්‍ශ ය යි. ස්පර්‍ශ ප්‍රත්‍යයයෙන් වේදනාව වේ. වේදනා ප්‍රත්‍යයයෙන් තෘෂ්ණාව වේ. තෘෂ්ණාප්‍රත්‍යයයෙන් උපාදාන වේ. ... මෙසේ මේ හුදු දුක්රැසේ හට ගැණීම වේ.
කණත් ශබ්දත් නිසා ... නැහැයත් ගඳත් නාසා ... දිවත් රසත් නිසා ... කයත් ස්ප්‍රෂ්ටව්‍යත් නිසා ... සිතත් දහමුත් නිසා මනෝවිඤ්ඤාණය උපදී. ඒ තුණ එක් වීම ස්පර්‍ශය යි. ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනාව වේ. වේදනා ප්‍රත්‍යයෙන් තෘෂ්ණාව වේ. තෘෂ්ණා ප්‍රත්‍යයෙන් උපාදාන වේ ... මෙසේ මේ හුදු දුක්රැසේ ට ගැණීම වේ.
ඇසත් රූපත් නිසා චක්ඛුවිඤ්ඤාණය උපදී. ඒ තුණ එක්වීම ස්පර්‍ශය යි. ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනාව වේ. වේදනා ප්‍රත්‍යයයෙන් තෘෂ්ණාව වේ. ඒ තෘෂ්ණාවේ ම නිරවශේෂ විරාග නිරෝධයෙන් උපාදානනිරෝධය වේ. උපාදාන නිරෝධයෙන් භවනිරෝධය වේ. ... මෙසේ මේ හුදු දුක් රැසේ නිරෝධය වේ.
කණත් ශබ්දත් නිසා ... නැහැයත් ගඳත් නිසා ... දිවත් රසත් නිසා ... කයත් ස්ප්‍රෂ්ටව්‍යත් නිසා ... සිතත් දහමුත් නිසා මනෝවිඤ්ඤාණය උපදී. ඒ තුණ එක්වීම ස්පර්‍ශය යි. ස්පර්‍ශප්‍රත්‍යයයෙන් වේදනාව වේ. වේදනා ප්‍රත්‍යයයෙන් තෘෂ්ණාව වේ. ඒ තෘෂ්ණාවේ ම නිරවශේෂවිරාගනිරෝධයෙන් උපාදාන නිරෝධය වේ. උපාදානනිරෝධයෙන් භව නිරෝධය වේ ... මෙසේ මේ හුදු දුක්රැසේ නිරෝධය වේ යි (වදාළ සේක.)
එකල්හි එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේගේ උපශ්‍රැතියෙහි (=දේශනාව ඇසෙන තන්හි) සිටියේ වෙයි. භාග්‍යවතුන් වහන්සේ උපශ්‍රැතියෙහි සිටි ඒ මහණ දුටුසේක. දැක ඒ මහණහට මෙය වදාළ සේක: මහණ, තෙපි මේ ධර්‍මක්‍රමය ඇසුවහු ද? වහන්ස, එසේ ය. මහණ, තෙපි මේ ධර්‍මක්‍රමය උගණිවු. මහණ, තෙපි මේ ධර්‍මචක්‍රමය පිරිවහවු. මහණ තෙපි මෙ ධර්‍මක්‍රමය දරවු. මහණ, මේ ධර්‍මක්‍රමය අර්‍ත්‍ථ සහිතය, මගබඹසරට මුල් වූයේ ය.
1. 5. 6.
අඤ්ඤතරබ්‍රාහ්මණ සූත්‍රය
46. සැවැත්නුවර–
ඉක්බිති එක්තරා බමුණෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු වූයේ ය. සතුටු වියයුතු සිහි කටයුතු කථා කොට නිමවා එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් ඒ බමුණු තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේ ය:
භවත් ගෞතමයෙනි, කිමෙක් ද, හෙ තෙමේ කෙරේ ද, හෙ තෙමේ විඳී ද? බමුණ,“හෙ තෙමේ කෙරෙයි. හෙ තෙමේ විඳී” යනු මේ එක් අන්තයෙකි. (=කෙළවරෙකි.)
භවත් ගෞතමයෙනි, කිමෙක් ද අනෙකෙක් කෙරේ ද, අනෙකෙක් විඳී ද? බමුණ, “අනෙකෙක් කෙරෙයි. අනෙකෙක් විඳී” යනු දෙවන අන්ත යයි.
බමුණ, ඒ මේ අන්ත දෙකට නොපැමිණ තථාගත තෙමේ “අවිද්‍යාප්‍රත්‍යයයෙන් සංස්කාරයෝ වෙති. සංස්කාරප්‍රත්‍යයයෙන් විඥානය වේ. ... මෙසේ මේ හුදු දුක්රැසේ හටගැණීම වේ. අවිද්‍යාවේ ම නිරවශේෂවිරාගනිරෝධයෙන් සංස්කාරනිරෝධය වේ. සංස්කාරනිරෝධයෙන් විඥාන නිරෝධය වේ ... මෙසේ මේ හුදු දුක් රැසේනිරෝධය වේ” යයි මැදුම් පිළිවෙතින් දහම් දෙසයි.
මෙසේ වදාළ කල්හි ඒ බමුණු තෙමේ භාග්‍යවතුන් වහන්සේට “භවත් ගෞතමයෙනි ඉතා මැනව. ... භවත් ගෞතම තෙමේ මා අද පටන් දිවි හිමියෙන් සරණ ගිය උපාසකයකු කොට දරණ සේක්වා”යි මෙය සැළ කළේ ය.
1. 5. 7.
ජාණුස්සෝණි සූත්‍රය
47. සැවැත්නුවර–
එකල්හි ජාණුස්සෝණි බමුණු තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වන්සේ සමග සතුටු වි ය ... එකත්පසෙක හුන් ජාණුස්සෝණි බමුණු තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළේ ය:
භවත් ගෞතමයෙනි, කිම සියල්න ඇත්තේ ද? බමුණ, “සියල්ල ඇත්තේ ය” යනු මේ එක් අනන්තයෙකි.
භවත් ගෞතමයෙනි, කිම සියල්ල නැත්තේ ද? බමුණ, “සියල්ල නැත්තේ ය” යනු මේ දෙවන අන්ත ය යි.
බමුණ, ඒ මේ (ශාශ්වත - උචේඡද) අන්ත දෙකට නොපැමිණ තථාගත තෙමේ “අවිද්‍යාප්‍රත්‍යයයෙන් සංස්කාරයේ වෙති. සංස්කාර ප්‍රත්‍යයයෙන් විඥානය වේ. මෙසේ මේ හුදු දුක් රැසේ හටගැණීම වේ. අවිද්‍යාවේ ම නිරවශේෂවිරාගනිරෝධයෙන් සංස්කාරනිරෝධය වේ. සංස්කාරනිරෝධයෙන් විඥානනිරෝධය වේ. ... මෙසේ මේ හුදු දුක් රැසේ නිරෝධය වේ ය” යි මැදුම් පිළිවෙතින් දහම් දෙසයි.
මෙසේ වදාළ කල්හි ජාණුස්සෝණි බමුණු තෙමේ භාග්‍යවතුන් වහන්සේට “භවත් ගෞතමයෙනි, ඉතා මැනව, ... භවත් ගෞතමයන් වහන්සේ මා අද පටන් දිවිහිමියෙන් සරණ ගිය උපාසකයකු කොට දරණ සේක්වා”යි මෙය සැළ කෙළේ ය.
1. 5. 8.
ලෝකායතික සූත්‍රය
48. සැවැත්නුවර–
ඉක්බිති ලෝකායතික බමුණු තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය එළඹ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු විය . ... එකත්පසෙක හුන් ලෝකායතික (විතණ්ඩවාදයෙහි පුහුණු වූ) බමුණු තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේ ය:
භවත් ගෞතමයෙනි, කිම, සියල්ල ඇත්තේ ද? බමුණ,‘සියල්ල ඇත්තේ ය’ යන මෙය පළමුවන ලෝකායත ය යි.
භවත් ගෞතමයෙනි, සියල්ල නැත්තේ ද? බමුණ, ‘සියල්ල නැත්තේ ය’ යන මෙය දෙවැනි ලෝකායත ය යි.
භවත් ගෞතමයෙනි, කිම, සියල්ල ඒකස්වභාව ඇත්තේ ද? බමුණ, ‘සියල්ල ඒකස්වභාව ඇත්තේ ය’ යන මෙය තෙවැනි ලෝකායත ය යි.
භවත් ගෞතමයෙනි, කිම, සියල්ල නානාස්වභාව ඇත්තේ ද? බමුණ, ‘සියල්ල නානාස්වභාව ඇත්තේ ය’ යන මෙය සිවුවැනි ලෝකායත ය යි.
බමුණ, ඒ මේ අන්ත දෙකට නො පැමිණ, තථාගත තෙමේ “අවිද්‍යාප්‍රත්‍යයයෙන් සංස්කාරයෝ වෙති. සංස්කාරප්‍රත්‍යයයෙන් විඥානය වේ ... මෙසේ මේ හුදු දුක් රැසේ හටගැණීම වේ. අවිද්‍යාවේ ම නිරවශේෂවිරාගනිරෝධයෙන් සංස්කාරනිරෝධය වේ. සංස්කාරනිරෝධයෙන් විඤ්ඤාණ නිරෝධය වේ. ... මෙසේ මේ හුදු දුක් රැසේ නිරෝධය වේ ය”යි මැදුම් පිළිවෙතින් දහම් දෙසයි.
මෙසේ වදාළ කල්හි ලෝකායතික බමුණු තෙමේ භාග්‍යවතුන් වහන්සේට “භවත් ගෞතමයෙනි, ඉතා මැනව. ... මා අද පටන් දිවිහිමියෙන් සරණ ගිය උපාසකයකු කොට දරණ සේක්වා” යි මෙය සැළ කළේ ය.
1. 5. 9.
පඨම අරියසාවක සූත්‍රය
49. සැවැත්නුවර–
මහණෙනි, ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවකයාහට “කිම, කුමක් ඇති කල්හි කිමෙක් වේ ද, කුමක් ඉපදීමෙන් කිමෙක් උපදී ද, කුමක් ඇති කල්හි සංස්කාරයෝ වෙත් ද, කුමක් ඇති කල්හි විඥානය වේ ද, කුමක් ඇති කල්හි නාමරූප වේ ද, කුමක් ඇති කල්හි ෂඩායතන වේ ද, කුමක් ඇති කල්හි ස්පර්‍ශය වේ ද, කුමක් ඇති කල්හි වේදනාව වේ ද, කුමක් ඇති කල්හි තෘෂ්ණාව වේ ද, කුමක් ඇති කල්හි උපාදාන වේ ද, කුමක් ඇති කල්හි භවය වේ ද, කුමක් ඇති කල්හි ජාතිය වේ ද, කුමක් ඇති කල්හි ජරාමරණ වේ දැ”යි මෙබඳු සිතෙක් නො වේ.
වැලිදු මහණෙනි, ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවකයාහට “මෙය ඇති කල්හි මේ වෙයි. මෙය ඉපදීමෙන් මෙය උපදී. අවිද්‍යාව ඇති කල්හි සංස්කාරයෝ වෙති. සංස්කාර ඇති කල්හි විඥානය වේ. විඥානය ඇති කල්හි නාමරූප වේ. ... ජාතිය ඇති කල්හි ජරාමරණ වෙයි” යන මෙහි ලා පරප්‍රත්‍යය රහිත (අනුන්ගේ පිහිටක් නැතිව) ම දැනීම වෙයි. හෙතෙමේ “මේ ලෝකය මෙලෙසින් උපදී” ය යි මෙසේ දැනගනී.
මහණෙනි, ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවකයාහට “කිම, කුමක් නැති කල්හි කිමෙක් නො වේ ද, කුමක් නිරුද්ධවීමෙන් කිමෙක් නිරුද්ධ වේ ද, කුමක් නැති කල්හි සංස්කාරයෝ නො වෙද් ද, කුමක් නැති කල්හි විඥානය නො වේ ද, කුමක් නැති කල්හි නාමරූප නො වේ ද, කුමක් නැති කල්හි ෂඩායතන නො වේ ද, කුමක් නැති කල්හි ස්පර්‍ශය නො වේ ද, කුමක් නැති කල්හි වේදනාව නො වේ ද, කුමක් නැති කල්හි තෘෂ්ණාව නො වේ ද, කුමක් නැති කල්හි උපාදාන නො වේ ද, කුමක් නැති කල්හි භවය නො වේ ද, කුමක් නැති කල්හි ජාතිය නො වේ ද, කුමක් නැති කල්හි ජරාමරණ නො වේ දැ” යි මෙබඳු සිතෙක් නො වෙයි.
වැලිදු මහණෙනි, ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවකයාහට “මෙය නැති කල්හි මෙය නො වෙයි. මෙය නිරුද්ධ වීමෙන් මෙය නිරුද්ධ වේ. අවිද්‍යාව නැති කල්හි සංස්කාරයෝ නො වෙති. සංස්කාර නැති කල්හි විඥානය නො වේ. විඥානය නැති කල්හි නාමරූප නොවේ. නාමරූප නැති කල්හි ෂඩායතන නො වේ ... ස්පර්‍ශය නො වේ. ... වේදනාව නො වේ. ... තෘෂ්ණාව නො වේ. ... උපාදාන නො වේ. ... භවය නො වේ ... ජාතිය නො වේ. ජාතිය නැති කල්හි ජරාමරණ නො වේ” යි යන මෙහි ලා පරප්‍රත්‍යය රහිතව ම දැනීම වෙයි. හෙතෙමේ “මේ ලෝකය මෙසේ නිරුද්ධ වේ ය”යි මෙසේ දැන ගණී.
මහණෙනි, යම් කලෙක ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ මෙසේ ලෝකයේ හටගැණීමත් නැතිවීමත් තතුසේ දැනගනී ද, මහණෙනි, මේ ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ දිට්ඨිසම්පන්න යයි ද, .. අමාදොරට හැපී සිටී යයි ද කියනු ලැබේ.
1. 5. 10.
දෙවැනි අරියසාවක සූත්‍රය
50. සැවැත්නුවර–
මහණෙනි, ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවකයාහට “කිම, කුමක් ඇති කල්හි කිමෙක් වේ ද, කුමක් ඉපදීමෙන් කිමෙක් උපදී ද, කුමක් ඇති කල්හි සංස්කාරයෝ වෙත් ද, කුමක් ඇති කල්හි විඥානය වේ ද, කුමක් ඇති කල්හි නාමරූප වේ ද, කුමක් ඇති කල්හි ෂඩායතන වේ ද, කුමක් ඇති කල්හි ස්පර්‍ශය වේ ද, කුමක් ඇති කල්හි වේදනාව වේ ද, කුමක් ඇති කල්හි තෘෂ්ණාව වේ ද, කුමක් ඇති කල්හි උපාදාන වේ ද, කුමක් ඇති කල්හි භවය වේ ද, කුමක් ඇති කල්හි ජාතිය වේ ද, කුමක් ඇති කල්හි ජරාමරණ වේ දැ”යි මෙබඳු සිතෙක් නො වේ.
වැලිදු මහණෙනි, ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවකයාහට “මෙය ඇති කල්හි මෙය වේ. මෙය ඉපදීමෙන් මෙය උපදී. අවිද්‍යාව ඇති කල්හි සංස්කාරයෝ වෙති. සංස්කාර ඇති කල්හි විඥානය වේ. විඥානය ඇති කල්හි නාමරූප වේ. නාමරූප ඇති කල්හි ෂඩායතන වේ. ෂඩායතන ඇති කල්හි ස්පර්‍ශය වේ. ස්පර්‍ශය ඇති කල්හි වේදනාව වේ. වේදනාව ඇති කල්හි තෘෂ්ණාව වේ. තෘෂ්ණාව ඇති කල්හි උපාදාන වේ. උපාදාන ඇති කල්හි භවය වේ. භවය ඇති කල්හි ජාතිය වේ. ජාතිය ඇති කල්හි ජරාමරණ වෙයි” යන මෙහි ලා පරප්‍රත්‍යය රහිත ව ම දැනීම වෙයි. හෙතෙමේ “මේ ලෝකය මෙලෙසින් හටගණී ය”යි මෙසේ දැන ගණී.
මහණෙනි, ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවකයාහට “කිමෙක් ද, කුමක් නැති කල්හි කිමෙක් නො වේ ද, කුමක් නිරුද්ධවීමෙන් කිමෙක් නිරුද්ධ වේ ද, කුමක් නැති කල්හි සංස්කාරයෝ නො වෙත් ද, කුමක් නැති කල්හි විඥානය නො වේ ද, කුමක් නැති කල්හි ජරාමරණ නො වේ දැ”යි මෙබඳු සිතෙක් නො වේ.
මහණෙනි, වැලිදු ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවකයාහට “මෙය නැති කල්හි මෙය නො වේ. මෙය නිරුද්ධ වීමෙන් මෙය නිරුද්ධ වේ. අවිද්‍යාව නැති කල්හි සංස්කාරයෝ නො වෙත්. සංස්කාර නැති කල්හි විඥානය නො වේ. විඥානය නැති කල්හි නාමරූප නො වේ ... ජාතිය නැති කල්හි ජරාමරණ නො වේ”යි යන මෙහි ලා පරප්‍රත්‍යය රහිත ව ම දැනීම වෙයි. හෙතෙමේ “මේ ලෝකය මෙලෙසින් නිරුද්ධ වේ ය” යි මෙසේ දැන ගණී.
මහණෙනි, යම් කලෙක ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ මෙසේ ලෝකයේ හටගැණීමත් නැතිවීමත් තතු සේ දැන ගණී ද, මහණෙනි, මේ ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ දෘෂ්ටිසම්පන්නයයි ද, දර්‍ශනසම්පන්න යයි ද, මේ සද්ධර්‍මයට පැමිණියේ යයි ද, මේ සද්ධර්‍මය දකී යයි ද, ශෛක්‍ෂඥානයෙන් සමන්‍වාගත යයි ද, ශෛක්‍ෂවිද්‍යාවෙන් සමන්‍වාගත ය යි ද, ධර්‍මස්‍රෝතසට පැමිණියේ ය යි ද, ආර්‍ය්‍ය වු නිර්වේධකප්‍රඥා ඇත්තේ ය යි ද, අමාදොරට හැපී සිටී ය යි ද කියනු ලැබේ.
ගහපති වර්‍ගය පස්වැනි යි.
එහි උද්දානය:
පඤ්චවේරභය සූත්‍ර දෙකක් කියන ලදී. දුක්ඛ, ලෝක, ඤාතික, අඤ්ඤතර, ජානුස්සෝණි සූත්‍ර ද, අටවැනි ලෝකායතික සූත්‍රය ද, අරියසාවක සූත්‍ර දෙක ද කියන ලදහ. එයින් වර්‍ග ය කියනු ලැබේ.
6. දුක්ඛ වර්‍ගය
1. 6. 1.
පරිවීමංසන සූත්‍රය
51. මා විසින් මෙසේ අසන ලදී. එක් කලක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වෙසෙන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ මහණෙනි යි භික්‍ෂූන් ඇමතූ සේක. වහන්සැ යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:
මහණෙනි, මහණ තෙමේ හැම අයුරින් මැනැවින් දුක් දුරු කිරීම පිණිස පිරික්සන්නේ කෙතෙකින් පිරික්සාද? “වහන්ස, අපගේ ධර්‍මයෝ භාග්‍යවතුන් වහන්සේ මුල් කොට ඇත්තාහ. භාග්‍යවතුන් වහන්සේ නේතෘ කොට ඇත්තාහ. භාග්‍යවතුන් වහන්ස, මැනැවි, මේ භාෂිතයාගේ අර්‍ත්‍ථය භාග්‍යවතුන් වහන්සේට ම වැටහේවා. භාග්‍යවතුන් වහන්සේගෙන් අසා භික්‍ෂූහු දරන්නාහ” යි. ඇත්තාහ භාග්‍යවතුන් වහන්ස,
“මහණෙනි, එසේ නම් අසවු. මැනැවින් මෙනෙහි කරවු. කියන්නෙමි” යි.
“වහන්ස, එසේය” යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:
මහණෙනි, මෙහි මහණ තෙමේ පිරික්සන්නේ “නන් වැදෑරුම් නන් අයුරු දුක් වූ යම් මේ ජරාමරණ ලෝකයෙහි උපදී ද, මේ දුක කිමෙක් නිදාන කොට ඇත්තේද, කුමක් සමුදය කොට ඇත්තේ ද, කිමෙක් ජාති කොට ඇත්තේ ද, කුමක් පභව කොට ඇත්තේ ද, කුමක් ඇති කල්හි ජරාමරණ වේ ද, කුමක් නැති කල්හි ජරාමරණ නො වේ දැ” යි පිරික්සයි.
හෙතෙමේ පිරික්සන්නේ “නන්වැදෑරුම් නන් අයුරු වූ දුක් වූ යම් මේ ජරාමරණ ලෙව්හි උපදී ද, මේ දුක ජාතිය නිදාන කොට ඇත්තේය. ජාතිය ජාති කොට ඇත්තේ ය. ජාතිය පභව කොට ඇත්තේය. ජාතිය ඇති කල්හි ජරාමරණ වෙයි. ජාතිය නැති කල්හි ජරාමරණ නො වේ” යයි මෙසේ දැන ගණී.
හෙතෙමේ ජරාමරණත් දැන ගණී. ජරාමරණ සමුදයයත් දැන ගණී. ජරාමරණ නිරෝධයත් දැන ගණී. ජරාමරණනිරෝධයට සරුප් ව යනසුලු යම් ප්‍රතිපදාවක් වේ නම් එය ද දැන ගණී. එසේ පිළිපන්නේ නිවණට අනුකූල වූ පිළිවෙතෙහි හැසිරෙන්නේ ද වෙයි.
මහණෙනි, මේ මහණ තෙමේ හැම අයුරින් මැනවින් දුක් ක්‍ෂය කිරීම පිණිස ජරාමරණ නිරෝධය පිණිස පිළිපන්නේ වේ යයි කියනු ලැබේ.
යලි මතු ද පිරික්සන්නේ “මේ ජාතිය කුමක් නිදාන කොට ඇත්තේ ද, කිමෙක් සමුදය කොට ඇත්තේ ද, කුමක් ජාති කොට ඇත්තේ ද, කුමක් පභව කොට ඇත්තේ ද, කුමක් ඇති කල්හි ජාතිය වේ ද, කුමක් නැති කල්හි ජාතිය නො වේ දැ යි” පිරික්සයි.
හෙතෙම පිරික්සන්නේ “ජාතිය භවය නිදාන කොට ඇත්තේය. භවය සමුදය කොට ඇත්තේ ය. භවය ජාති කොට ඇත්තේ ය. භවය පභව කොට ඇත්තේ ය. භවය ඇති කල්හි ජාතිය වේ. භවය නැති කල්හි ජාතිය නො වේ” ය යි මෙසේ දැන ගණී.
හෙතෙමේ ජාතියත් දැන ගණී. ජාතිසමුදයත් දැන ගණී. ජාතිනිරෝධයත් දැන ගණී. ජාතිනිරෝධයට සරුප් ව යනසුලු යම් ප්‍රතිපදාවක් වේ නම් එයත් දැන ගණී. එසේ පිළිපන්නේ නිවනට අනුකූල පිළිවෙතෙහි හැසිරෙන්නේ ද වේ.
මහණෙනි, මේ මහණ තෙමේ හැම අයුරින් මැනවින් දුක් ගෙවීම පිණිස ජාතිනිරෝධය පිණිස පිළිපන්නේ වේ යයි කියනු ලැබේ.
යලි මතු ද පිරික්සන්නේ “මේ භවය වනාහි කිමෙක් නිදාන කොට ඇත්තේ ද, කුමක් සමුදය කොට ඇත්තේ ද, කිමෙක් ජාති කොට ඇත්තේ ද, කුමක් පභව කොට ඇත්තේ ද, කුමක් ඇති කල්හි භවය වේ ද, කුමක් නැති කල්හි භවය නො වේ දැ යි” පිරික්සයි.
හෙතෙම පිරික්සන්නේ “භවය උපාදාන නිදාන කොට ඇත්තේ ය. උපාදාන සමුදය කොට ඇත්තේ ය. උපාදාන ජාති කොට ඇත්තේ ය. උපාදාන පභව කොට ඇත්තේ ය. උපාදාන ඇති කල්හි භවය වේ. උපාදාන නැති කල්හි භවය නො වේ” ය යි මෙසේ දැන ගණී.
හෙතෙමේ භවයත් දැන ගණී. භවසමුදයත් දැන ගණී. භවනිරෝධයත් දැන ගණී. භවනිරෝධයට සරුප් ව යනසුලු යම් ප්‍රතිපදාවක් වේ නම් එයත් දැන ගණී. එසේ පිළිපන්නේ නිවනට අනුකූල පිළිවෙතෙහි පිළිපන්නේ ද වේ.
මහණෙනි, මේ මහණ තෙමේ හැම අයුරින් මැනවින් දුක් ක්‍ෂය කිරීම පිණිස භවනිරෝධය පිණිස පිළිපන්නේ වේ යයි කියනු ලැබේ.
යලි මතු ද පිරික්සන්නේ “මේ උපාදාන කුමක් නිදාන කොට ඇත්තේ ද ... මේ තෘෂ්ණාව කුමක් නිදාන කොට ඇත්තේ ද ... මේ වේදනාව කුමක් නිදාන කොට ඇත්තේ ද … මේ ස්පර්‍ශය කුමක් නිදාන කොට ඇත්තේ ද ... මේ ෂඩායතන කුමක් නිදාන කොට ඇත්තේ ද … මේ නාමරූප කුමක් නිදාන කොට ඇත්තේ ද ... මේ විඥානය කුමක් නිදාන කොට ඇත්තේ ද … මේ සංස්කාරයෝ කිමෙක් නිදාන කොට ඇත්තාහු ද, කුමක් සමුදය කොට ඇත්තාහු ද, කිමෙක් ජාති කොට ඇත්තාහු ද, කුමක් පභව කොට ඇත්තාහු ද, කුමක් ඇති කල්හි සංස්කාරයෝ වෙත් ද, කුමක් නැති කල්හි සංස්කාරයෝ නො වෙද්දැ” යි පිරික්සයි. හෙතෙමේ පිරික්සන්නේ සංස්කාරයෝ අවිද්‍යාව නිදාන කොට ඇතියහ. අවිද්‍යාව සමුදය කොට ඇතියහ. අවිද්‍යාව ජාති කොට ඇතියහ. අවිද්‍යාව පභව කොට ඇතියහ. අවිද්‍යාව ඇති කල්හි සංස්කාරයෝ වෙත්. අවිද්‍යාව නැති කල්හි සංස්කාරයෝ නො වෙ ති” යි මෙසේ දැන ගණී. හෙතෙමේ සංස්කාරයනුත් දැන ගණී. සංස්කාරසමුදයත් දැන ගණී. සංස්කාරනිරොධයත් දැන ගණී. සංස්කාරනිරෝධයට සරුප් ව යනසුලු යම් ප්‍රතිපදාවක් වේ නම් එයත් දැන ගණී. එසේ පිළිපන්නේ නිවනට අනුකූල පිළිවෙතෙහි හැසිරෙන්නේ ද වේ.
මහණෙනි, මේ මහණ තෙමේ හැම ලෙසින් මැනවින් දුක් ගෙවීම පිණිස සඞ්ඛාරනිරෝධය පිණිස පිළිපන්නේ වේ යයි කියනු ලැබේ.
මහණෙනි, අවිද්‍යාවෙන් යුක්ත මේ පුද්ගල තෙමේ ඉදින් කුශලසංස්කාර රැස් කෙරේ නම් (කර්‍ම) විඥානය කුශලසහගත වේ. ඉදින් අකුශලසංස්කාර රැස් කෙරේ නම් (කර්‍ම) විඥානය අකුශලසහගත වේ. ඉදින් අරූපාවචරකුශලසංස්කාර රැස් කෙරේ නම් විඥානය අරූපාවචරකුශලසහගත වේ.
මහණෙනි, යම් කලෙක පටන් මහණහුගේ අවිද්‍යාව ප්‍රහීණවූවා වේ ද, (එකල අර්‍හන්මාර්‍ග) විද්‍යාව උපන්නී වෙයි. හෙතෙමේ අවිද්‍යාව තොරවීමෙන් මාර්‍ගඥානසංඛ්‍යාත විද්‍යාව ඉපදීමෙන් කුශලසංස්කාර නො ම රැස් කෙරෙයි. අකුශලසංස්කාර නො ම රැස් කෙරෙයි. අරූපාවචරකුශලසංස්කාර නො ම රැස් කෙරෙයි. කර්‍ම් රැස් නො කරන්නේ සිත නො මෙහෙයවන්නේ ලෝකයෙහි කිසිවක් (තෘෂ්ණාදියෙන්) උපාදානය නො කරයි. උපාදාන නො කරන්නේ (තණ්හාපරිතස්සනා භයපරිතස්සනා වසයෙන්) නො තැති ගණී. නො තැති ගන්නේ තෙමේ ම පිරිනිවේ. ‘ජාතිය ක්‍ෂය වූවා ය. ඹබසර වැස නිමවන ලදී. කට යුතු කරණ ලදී. මේ රහත් බැව් පිණිස අනෙකක් නැතැ’යි දැන ගණී.
හෙතෙමේ ඉදින් සුඛවේදනාවක් විඳී නම් එය අනිත්‍ය ය යි දැන ගණී. (තෘෂ්ණාවෙන්) නො බැසගන්නා ලදැ යි දැන ගණී. (අභිනන්‍දන විසින්) නො පිළිගන්නා ලදැ යි දැන ගණී. ඉදින් දුක් වේදනාවක් විඳී නම් එය අනිත්‍ය ය යි දැන ගණී. (තෘෂ්ණාවෙන්) නො බැස ගන්නා ලදැ යි දැන ගණී. නො පිළිගන්නා ලදැ යි දැන ගණී. ඉදින් නො දුක් නො සුව වේදනාවක් විඳී නම් එය අනිත්‍ය ය යි දැන ගණී. නො බැස ගන්නා ලදැ යි දැන ගණී. නො පිළිගන්නා ලදැ යි දැන ගණී.
හෙතෙමේ ඉදින් සුඛ වේදනාවක් විඳී නම් නො බැඳුනේ ඒ වේදනාව විඳී. ඉදින් දුක් වේදනාවක් විඳී නම් නො බැඳුනේ ඒ වේදනාව විඳී. ඉදින් මැදහත් වේදනාවක් විඳී නම් නො බැඳුනේ ඒ වේදනාව විඳී.
හෙතෙමේ කය හිම් කොට ඇති (පඤ්චද්වාරික) වේදනාව විඳින්නේ කය හිම් කොට ඇති වේදනාව විඳිමි යි දැන ගණී. දිවි හිම් කොට ඇති (මනෝද්වාරික) වේදනාව විඳින්නේ දිවිහිමි කොට ඇති වේදනාව විඳිමි යි දැන ගණී. කය බිඳීමෙන් දිවි කෙළවර වන්නට පෙරාතුව මෙලෙව්හි දී ම සියලු වේදනාවෝ නො පිළිගන්නා ලද්දාහු සිහිල් වන්නාහු (නොපවත්නා ස්වභාව ඇත්තාහු) ය. ධාතුශරීරයෝ ශේෂ වන්නාහ යි දැන ගණී.
මහණෙනි, යම්සේ පුරුෂයෙක් උණුසුම් කළයක් කුඹල් උදුනෙන් නගා සමබිමෙක තබා ද, එහි යම් ඒ උණුසුමෙක් වේ ද, එය එහි ම සංසිඳෙන්නේ ය. කබල ශේෂ වන්නේ ය. මහණෙනි, එපරිද්දෙන් ම මහණ තෙමේ කය හිම් කොට ඇති වේදනාව විඳින්නේ කය හිම් කොට ඇති වේදනාව විඳිමි යි, දිවි හිම් කොට ඇති වේදනාව විඳින්නේ දිවි හිම් කොට ඇති වේදනාව විඳිමි යි දැන ගණී. කය බිඳීමෙන් දිවි කෙළවර වීමට පෙරාතුව මෙලෙව්හි දී ම සියලු වේදනාවෝ නො පිළිගන්නා ලද්දාහු සිහිල් වන්නාහ. ධාතු ශරීරයෝ ශේෂ වන්නාහ යි දැන ගණී.
මහණෙනි, එ කුමැ යි හඟිහු ද? රහත් මහණ තෙමේ කුශලසංස්කාර හෝ රැස් කරන්නේ ද? අකුශලසංස්කාර හෝ රැස් කරන්නේ ද? අරූපාවචරසංස්කාර හෝ රැස් කරන්නේ ද?
‘වහන්ස, මෙය නො වේ ම ය.’
හැම අයුරින් සංස්කාර නැති කල්හි සඞ්ඛාරනිරෝධයෙන් විඥානයෙක් පැණේ ද?
‘වහන්ස, මෙය නො වේ ම ය.’
සර්‍වප්‍රකාරයෙන් විඥානය නැති කල්හි විඥානනිරෝධයෙන් නාමරූප පැණේ ද?
‘වහන්ස, මෙය නො වේ ම ය.’
සර්‍වප්‍රකාරයෙන් නාමරූප නැති කල්හි නාමරූපනිරෝධයෙන් ෂඩායතන පැණේ ද?
‘වහන්ස, මෙය නො වේ ම ය.’
නිරවශේෂයෙන් ෂඩායතන නැති කල්හි ෂඩායතනනිරොධයෙන් ස්පර්‍ශය පැණේ ද?
‘වහන්ස, මෙය නො වේ ම ය.’
නිරවශේෂයෙන් ම ස්පර්‍ශය නැති කල්හි ස්පර්‍ශනිරෝධයෙන් වේදනාව පැණේ ද?
‘වහන්ස, මෙය නො වේ ම ය.’
නිරවශේෂයෙන් ම වේදනාව නැති කල්හි වේදනානිරෝධයෙන් තණ්හාව පැණේ ද?
‘වහන්ස, මෙය නො වේ ම ය.’
නිරවශේෂයෙන් ම තෘෂ්ණාව නැති කල්හි තෘෂ්ණානිරෝධයෙන් උපාදාන පැණේ ද?
‘වහන්ස, මෙය නො වේ ම ය.’
නිරවශේෂයෙන් ම උපාදාන නැති කල්හි උපාදානනිරෝධයෙන් භවය පැණේ ද?
‘වහන්ස, මෙය නො වේ ම ය.’