Saṁyutta Nikāya

Connected Discourses

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-30 · 15083 segments

පෙන්වන කොටස් 3401-3500 න් 15083

35. සැවැත්නුවර–
මහණෙනි, අවිද්‍යාප්‍රත්‍යයයෙන් සංස්කාරයෝ වෙති සංස්කාරප්‍රත්‍යයයෙන් විඥානය වේ. ... මෙසේ මේ හුදු දුක්රැසේ හට ගැන්ම වෙ යි.
මෙසේ වදාළ කල්හි එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේ ය: වහන්ස, ජරාමරණ කවරේ ද? මේ ජරාමරණ කවරකුගේ ද? ප්‍රශ්නය නො යෙදේ ය යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. මහණ, යමෙක් “ජරාමරණ කවරේ ද? මේ ජරාමරණ කවරකුගේ ද?” යි මෙසේ හෝ කියන්නේ ද, මහණ, යමෙක් “ජරාමරණ අනෙකක මේ ජරාමරණ අනෙකකුගේ ය” යි මෙසේ හෝ කියන්නේ ද, මේ දෙක ම ඒකාර්‍ත්‍ථය. ව්‍යඤ්ජන ම වෙනස් ය.
මහණ, “එය ජීව ය, එය ශරීර ය”යි (උචේඡද) දෘෂ්ටිය හෝ ඇති කල්හි බ්‍රහ්මචරිය (ආර්‍ය්‍යමාර්‍ග වාසය) නො වේ. මහණ, “ජීවය අනෙකක, ශරීරය අනෙකකැ”යි (ශාශ්වත) දෘෂ්ටිය හෝ ඇති කල්හි බ්‍රහ්මචරියවාසය නො වේ. මහණ ඒ මේ අන්තදෙකට නො පැමිණ තථාගත තෙමේ “ජාතිප්‍රත්‍යයයෙන් ජරාමරණ වේ”යි මැදුම්පිළිවෙතින් දහම් දෙසයි.
වහන්ස, “ජාතිය කවරක් ද? මේ ජාතිය කවරකුගේ ද?” ප්‍රශ්නය නො යෙදේ ය යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. මහණ, යමෙක් “ජාතිය කවරක් ද? මේ ජාතිය කවරකුගේ දැ”යි මෙසේ හො කියන්නේ ද, මහණ, යමෙක් “ජාතිය අනෙකක, මේ ජාතිය අනෙකකුගේ ය”යි මෙසේ හෝ කියන්නේ ද, මේ දෙක ම ඒකාර්‍ත්‍ථ ය. ව්‍යඤ්ජන ම වෙනස් ය.
මහණ, “ඒ ජීවය, ශරීරය” යි කියා හෝ දෘෂ්ටිය ඇති කල්හි බ්‍රහ්මචරිය වාසය නොවේ. මහණ, “ජීවය අනෙකක ශරීරය අනෙකෙකැ”යි කියා හෝ දෘෂ්ටිය ඇති කල්හි බ්‍රහ්මචරිය වාසය නො වේ. මහණ, මේ අන්ත දෙකට නො පැමිණ තථාගත තෙමේ “භව ප්‍රත්‍යයයෙන් ජාතිය වේ” යි මැදුම් පිළිවෙතින් දහම් දෙසයි.
වහන්ස, භවය කවරේ ද? මේ භවය කවරකුගේ ද? ප්‍රශ්නය නො යෙදේ ය යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. මහණ, යමෙක් “භවය කවරේ ද, මේ භවය කවරකුගේ දැ”යි මෙසේ හෝ කියන්නේ ද, මහණ, යමෙක් “භවය අනෙකක, මේ භවය අනෙකකුගේ ය” යි මෙසේ හෝ කියන්නේ ද, මේ දෙක ම ඒකාර්‍ත්‍ථ ය. ව්‍යඤ්ජන ම වෙනස් ය.
මහණ, “එය ජීවය, එය ශරීර ය”යි කියා හෝ දෘෂ්ටිය ඇති කල්හි බ්‍රහ්මචරියවාසය නො වේ. මහණ, “ජීවය අනෙකක, ශරීරය අනෙකකැ”යි කියා හෝ දෘෂ්ටිය ඇති කල්හි බ්‍රහ්මචරිය වාසය නො වේ. මහණ, ඒ මේ අන්ත දෙකට නො පැමිණ තථාගත තෙමේ උපාදාන ප්‍රත්‍යයයෙන් භවය වේ ය යි මැදුම්පිළිවෙතින් දහම් දෙසයි ... තෘෂ්ණා ප්‍රත්‍යයයෙන් උපාදාන වේ ය යි ... වේදනා ප්‍රත්‍යයයෙන් තෘෂ්ණාව වේ ය යි ... ස්පර්‍ශප්‍රත්‍යයයෙන් වේදනාව වේ ය යි ... ෂඩායතනප්‍රත්‍යයයෙන් ස්පර්‍ශය වේ යයි ... නාමරූප ප්‍රත්‍යයයෙන් ෂඩායතන වේ ය යි ... විඥාන ප්‍රත්‍යයයෙන් නාමරූප වේ ය යි ... සංස්කාරප්‍රත්‍යයයෙන් විඥානය වේ ය යි මැදුම් පිළිවෙතින් දහම් දෙසයි.
වහන්ස, සංස්කාරයෝ කවරහු ද? මේ සංස්කාර කවරකු ගේ ද? ප්‍රශ්නය නො යෙදේ ය යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. මහණ, යමෙක් “සංස්කාරයෝ කවරහු ද, මේ සංස්කාර කවරකුගේ දැ”යි මෙසේ හෝ කියන්නේ ද, මහණ යමෙක් “සංස්කාර අනෙකක, මේ සංස්කාර අනෙකකුගේ ය”යි මෙසේ හෝ කියන්නේ ද, මේ දෙක ම ඒකාර්‍ත්‍ථ ය. ව්‍යඤ්ජන ම වෙනස් ය.
මහණ “එය ජීවය, එය ශරීර ය” යි දෘෂ්ටිය ඇති කල්හි බ්‍රහ්මචරියවාසය නො වේ. මහණ, “ජීවය අනෙකක, ශරීරය අනෙකකැ”යි හෝ දෘෂ්ටිය ඇති කල්හි බ්‍රහ්මචරියවාසය නො වේ. මහණ, ඒ මේ අන්ත දෙකට නො පැමිණ තථාගත තෙමේ අවිද්‍යාප්‍රත්‍යයයෙන් සංස්කාරයෝ වෙත් ය යි මැදුම් පිළිවෙතින් දහම් දෙසයි.
මහණ, “ජරාමරණ කවරේ ද? මේ ජරාමරණ කවරකුගේ දැ”යි හෝ “ජරාමරණ අනෙකක, මේ ජරාමරණ අනෙකකුගේ ය”යි හෝ “එය ජීවය, එය ශරීරය” යි හෝ “ජීවය අනෙකක, ශරීරය අනෙකකැ” යි හෝ ඔහුට යම් ඒ (සම්‍යග්දෘෂ්ටියට)හුලු වැනි, විරුද්ධ පැවතුම් ඇති, ඔබමොබ සැලෙන පැවැතුම් ඇති කිසියම් කිසියම් මිථ්‍යාදෘෂ්ටිහු වෙද්ද, ඔහුගේ ඒ සියලු දෘෂ්ටිහු අවිද්‍යාවේ ම නිරවශේෂ විරාග නිරෝධයෙන් ප්‍රහීණ වූවාහු සිඳින ලද මුල් ඇත්තාහු මුදුනසුන් තල්ගසක් මෙන් කරණ ලද්දාහු පිළිවෙළින් අභාවයට පමුණුවන ලද්දාහු මතු නූපදනා ස්වභාව ඇත්තාහු වෙත්.
මහණ,“ජාතිය කවරක් ද? මේ ජාතිය කවරකු ගේ දැ”යි හෝ “ජාතිය අනෙකක, මේ ජාතිය අනෙකකුගේ ය”යි හෝ ‘එය ජීවය, ශරීර ය” යි හෝ “ජීවය අනෙකක, ශරීරය අනෙකකැ”යි හෝ ඔහුට යම් ඒ (සම්‍යග්දෘෂ්ටියට) හුල් වැනි, විරුද්ධ පැවතුම් ඇති, ඔබමොබ සැලෙන පැවැතුම් ඇති කිසියම් කිසියම් මිථ්‍යා දෘෂ්ටිහු වෙද්ද, ඔහුගේ ඒ සියලු දෘෂ්ටීහු අවිද්‍යාවේ ම නිරවශේෂවිරාග නිරෝධයෙන් ප්‍රහීණ වූවාහු සිඳින ලද මුල් ඇත්තාහු මුදුනසුන් තල්ගසක් මෙන් කරණ ලද්දාහු පිළිවෙළින් අභාවයට පමුණු වන ලද්දාහු මතු නූපදනා ස්වභාව ඇත්තාහු වෙත්.
මහණ, අවිද්‍යාවගේ ම නිරවශේෂවිරාගනිරෝධයෙන් “භවය කවරේ ද, මේ භවය කවරකුගේ දැ යි හෝ, භවය අනෙකක, මේ භවය අනෙකකුගේ යයි හෝ, එය ම ජීවය එය ම ශරීරය යි හෝ, ජීවය අනෙකක, ශරීරය අනෙකකැ යි” හෝ ඔහුට යම් ඒ (සම්‍යග්දෘෂ්ටියට) හුල් වැනි විරුද්ධ පැවැතුම් ඇති ඔබමොබ සැලෙන පැවැතුම් ඇති කිසියම් කිසියම් මිථ්‍යාදෘෂ්ටීහු වෙද්ද; ඔහුගේ ඒ සියලු දෘෂ්ටීහු ප්‍රහීණ වූවාහු සිඳින ලද මුල් ඇත්තාහු හිස්සුන් තල්ගසක් මෙන් කරණ ලද්දාහු නැවත නො හටගන්නා බවට පමුණුවන ලද්දාහු මතු නූපදනා ස්වභාව ඇත්තාහු වෙත්.
මහණ, අවිද්‍යාවගේ ම නිරවශේෂ විරාගනිරෝධයෙන් ඔහුට (සම්‍යග්දෘෂ්ටියට) හුල් වැනි විරුද්ධ පැවැතුම් ඇති ඔබමොබ සැලෙන පැවැතුම් ඇති යම් ඒ කිසියම් කිසියම් මිථ්‍යාදෘෂ්ටීහු වෙද්ද, .... උපාදාන කවරේ ද, ... තෘෂ්ණාව කවර, ... වේදනාව කවර, ... ස්පර්‍ශය කවරේ ද, … ෂඩායතන කවරේ ද, … නාමරූප කවරේ ද, … විඥානය කවරේ ද, … මහණ, අවිද්‍යාවගේ ම නිරවශේෂවිරාගනිරෝධයෙන් ඔහුට “සංස්කාරයෝ කවරහු ද, මේ සංස්කාර කවරකුගේ දැ යි හෝ, සංස්කාර අනෙකෙක, මේ සංස්කාර අනෙකකුගේ යයි හෝ, එය ම ජීවය, එය ම ශරීර ය යි හෝ ජීවය අනෙකෙක, ශරීරය අනෙකෙකැ”යි හෝ (සම්‍යග්දෘෂ්ටියට) හුල් වැනි විරුද්ධ පැවතුම් ඇති ඔබ මොබ සැලෙන පැවතුම් ඇති යම් කිසියම් කිසියම් මිථ්‍යාදෘෂ්ටිහු වෙත් ද, ඔහුගේ ඒ සියලු මිථ්‍යාදෘෂ්ටිහු ප්‍රහීණ වූවාහු මුලුසුන් කරණ ලද්දාහු හිස් සුන් තල් ගසක් මෙන් කරණ ලද්දාහු නැවත නො හටගන්නා බවට පමුණුවන ලද්දාහු මතු නූපදනා ස්වභාව ඇත්තාහු වෙත්.
1. 4. 6.
දෙවැනි අවිජ්ජාපච්චය සූත්‍රය
36. සැවැත්නුවර–
එහි දී භාග්‍යවතුන් වහන්සේ ... මහණෙනි, අවිද්‍යාප්‍රත්‍යයයෙන් සංස්කාරයෝ වෙත්. සංස්කාරප්‍රත්‍යයයෙන් විඥාන වේ ... මෙසේ මේ හුදු දුක්රැසේ හටගැණීම වේ යයි වදාළ සේක.
මහණෙනි, යමෙක් “ජරාමරණ කවරේ ද, මේ ජරාමරණ කවරකුගේ දැ”යි හෝ කියන්නේ ද, මහණෙනි, යමෙක් “ජරාමරණ අනෙකක, මේ ජරාමරණ අනෙකකුගේ ය”යි හෝ කියන්නේ ද, මේ දෙක ම ඒකාර්‍ත්‍ථය. ව්‍යඤ්ජන ම වෙනස් ය.
මහණෙනි, “එය ජීවය, එය ශරීර ය”යි හෝ දෘෂ්ටිය ඇති කල්හි (මග්ග) බ්‍රහ්මචරියවාසය නො වේ. මහණෙනි “ජීවය අනෙකක, ශරීරය අනෙකකැ”යි හෝ දෘෂ්ටිය ඇති කල්හි බ්‍රහ්මචරියවාසය නො වේ. මහණෙනි, ඒ මේ අන්ත දෙකට නො පැමිණ තථාගත තෙමේ ජාතිප්‍රත්‍යයයෙන් ජරාමරණ වේ යයි මැදුම් පිළිවෙතින් දහම් දෙසයි ...
ජාතිය කවර ... භවය කවරේ ද ... උපාදාන කවරේ ද ... තෘෂ්ණාව කවර ... වේදනාව කවර ... ස්පර්‍ශය කවරේ ද ... ෂඩායතන කවරේ ද ... නාමරූප කවරේ ද ... විඥානය කවරේද ... මහණෙනි, යමෙක් සංස්කාරයෝ කවරහු ද, මේ සංස්කාර කවරකුගේ දැයි හෝ කියන්නේ ද මහණෙනි, යමෙක් සංස්කාර අනෙකක, මේ සංස්කාර අනෙකකුගේ යයි හෝ කියන්නේ ද මේ දෙක ම ඒකාර්‍ත්‍ථ ය. ව්‍යඤ්ජන ම වෙනස් ය.
මහණෙනි, “එය ජීවය, එය ශරීර ය”යි හෝ දෘෂ්ටිය ඇති කල්හි බ්‍රහ්මචරියවාසය නො වේ. මහණෙනි,“ජීවය අනෙකක, ශරීරය අනෙකකැ”යි හෝ දෘෂ්ටිය ඇති කල්හි බ්‍රහ්මචරියවාසය නො වේ. මහණෙනි, ඒ මේ අන්ත දෙකට නොපැමිණ තථාගත තෙමේ අවිද්‍යා ප්‍රත්‍යයයෙන් සංස්කාරයෝ වෙති යි මැදුම් පිළිවෙතින් දහම් දෙසයි …
මහණෙනි, අවිද්‍යාවේ ම නිරවශේෂවිරාගනිරෝධයෙන් ඔහුට “ජරාමරණ කවරේ ද, මේ ජරාමරණ කවරකුගේ දැ යි හෝ, ජරාමරණ අනෙකක, මේ ජරාමරණ අනෙකකුගේ ය යි හෝ, එය ජීවය, එය ශරීර ය යි හෝ, ජීවය අනිකක, ශරීරය අනෙකකැ යි” හෝ (සම්‍යග්දෘෂ්ටියට) හුල් වැනි විරුද්ධ පැවැතුම් ඇති සැලෙන පැවැතුම් ඇති යම් ඒ කිසියම් කිසියම් මිථ්‍යාදෘෂ්ටීහු වෙද් ද ඔහුගේ ඒ සියලු දෘෂ්ටීහු ප්‍රහීණ වූවාහු මුලුසුන් කරණ ලද්දාහු හිස් සුන් තල්ගසක් මෙන් කරණ ලද්දාහු නැවත නො හටගන්නා බවට පමුණුවන ලද්දාහු. මතු නූපදනා ස්වභාව ඇත්තාහු වෙත්.
මහණෙනි, අවිද්‍යාවේ ම නිරවශේෂවිරාග නිරෝධයෙන් ඔහුට “ජාතිය කවර ... භවය කවරේ ද ... උපාදාන කවරේ ද ... තෘෂ්ණාව කවර ... වේදනාව කවර ... ස්පර්‍ශය කවරේ ද ... ෂඩායතන කවරේ ද ... නාම රූප කවරේ ද ... විඥානය කවරේ ද ... සංස්කාරයෝ කවරහු ද, මේ සංස්කාර කවරකුගේ දැයි හෝ, සංස්කාර අනෙකක, මේ සංස්කාර අනෙකකුගේ යයි හෝ, එය ජීවය, එය ශරීරය යි හෝ, ජීවය අනෙකක, ශරීරය අනෙකකැ යි” හෝ (සම්‍යග්දෘෂ්ටියට) හුල් වැනි විරුද්ධ පැවැතුම් ඇති ඔබමොබ සැලෙන පැවතුම් ඇති යම් ඒ කිසියම් මිථ්‍යාදෘෂ්ටීහු වෙත් ද, ඔහුගේ ඒ සියලු දෘෂ්ටීහු ප්‍රහීණ වූවාහු මුලසුන් කරණ ලද්දාහු හිස්සුන් තල්ගසක් මෙන් කරණ ලද්දාහු නැවත නො හටගන්නා බවට පමුණුවන ලද්දාහු මතු නූපදනා ස්වභාව ඇත්තාහු වෙත්.
1. 4. 7.
නතුම්හ සූත්‍රය
37. සැවැත්නුවර–
මහණෙනි, මේ කය තොපගේ නො වේ. අනුන්ගේ ද නො වේ. මහණෙනි, මේ පුරාණ කර්‍මයෙකි. ප්‍රත්‍යයයෙන් කරණ ලද්දේ ය. චේතනාව මුල් කොට ඇත්තේ ය. වේදනාවට වස්තු වූයේ යයි දතයුතු යි.
මහණෙනි, ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ “අවිද්‍යාප්‍රත්‍යයයෙන් සංස්කාරයෝ වෙති. සංස්කාරප්‍රත්‍යයයෙන් විඥානය වේ. ... මෙසේ මේ හුදුදුක් රැසේ හට ගැණීම වේ. අවිද්‍යාවගේ ම නිරවශේෂ විරාගනිරෝධයෙන් සංස්කාරනිරෝධය වේ. සංස්කාරනිරෝධයෙන් විඥානනිරෝධය වේ. ... මෙසේ මේ හුදුදුක්රැසේ නිරෝධය වේය යන යමක් ඇද්ද, මෙසේ මෙය ඇති කල්හි මෙය වෙයි. මෙය ඉපදීමෙන් මෙය උපදි. මෙය නැති කල්හි මෙය නොවේ. මෙය නිරුද්ධවීමෙන් මෙය නිරුද්ධ වේ ය” යි පටිච්චසමුප්පාදය ම මනා කොට නුවණින් මෙනෙහි කෙරෙයි.
1. 4. 8.
චේතනා සූත්‍රය
38. සැවැත්නුවර–
මහණෙනි, යමකුත් සිතයි ද, යමකුත් කල්පනා කෙරේ ද, යමකුත් පවත්වා ද, මෙය විඥානයේ පැවැත්මට අරමුණ වේ. අරමුණ ඇතිකල්හි විඥානයේ පිහිටීම වේ. ඒ විඥානය පිහිටි කල්හි, වැඩුනු කල්හි මතු පුනර්‍භවය හටගැණීම වේ. මතු පුනර්‍භවය හට ගැණීම ඇති කල්හි මතු ජාති ජරා මරණ සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ හටගණිත්. මෙසේ මේ හුදු දුක් රැසේ හට ගැණීම වේ.
මහණෙනි, ඉදින් නො සිතා ද, ඉදින් කල්පනා නො කෙරේ ද, එහෙත් අනුසයනය කෙරේ ද, මෙය විඥානයේ පැවැත්මට අරමුණ වේ. අරමුණ ඇති කල්හි විඥානයේ පිහිටීම වේ. ඒ විඥානය පිහිටි කල්හි වැඩුනු කල්හි මතු පුනර්‍භවය හටගැණීම වේ. මතු පුනර්‍භවය හටගැණීම ඇති කල්හි මතු ජාතිජරාමරණ සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ හටගණිත්. මෙසේ මේ හුදු දුක්රැසේ හට ගැණීම වේ.
මහණෙනි, යම් කලෙක නො ද සිතා ද, නො ද කල්පනා කෙරේ ද, නො ද පවත්වා ද, මෙය විඥානයේ පැවැත්මට අරමුණ නො වේ. අරමුණ නැති කල්හි විඥානයේ පිහිටීම නො වේ. ඒ විඥානය නො පිහිටි කල්හි නො වැඩුනු කල්හි මතු පුනර්‍භවය හට ගැණීම නොවේ. මතු පුනර්‍භවය හටගැණීම නැති කල්හි මතු ජාති ජරාමරණ සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ නිරුද්ධ වෙත්. මෙසේ මේ හුදු දුක්රැසේ නිරෝධය වේ.
1. 4. 9.
දෙවැනි චේතනා සූත්‍රය
39. සැවැත්නුවර–
මහණෙනි, යමකුත් සිතා ද, යමකුත් කල්පනා කෙරේ ද, යමකුත් නැවත නැවත පවත්වා ද, මෙය විඥානයේ පැවැත්මට අරමුණ වේ. අරමුණ ඇති කල්හි විඥානයේ පිහිටීම වේ. ඒ විඥානයේ පිහිටි කල්හි වැඩුනු කල්හි නාමරූපයේ බැස ගැන්ම වේ. නාමරූපප්‍රත්‍යයයෙන් ෂඩායතන වේ. ෂඩායතනප්‍රත්‍යයයෙන් ස්පර්‍ශය වේ. ස්පර්‍ශප්‍රත්‍යයයෙන් වේදනාව වේ ... තෘෂ්ණාව ... උපාදාන ... භවය ... ජාතිය ... ජරාමරණ සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ හට ගණිත්. මෙසේ මේ හුදු දුක් රැසේ හට ගැණීම වේ.
මහණෙනි, ඉදින් නො සිතා ද, ඉදින් කල්පනා නො කෙරේ ද, එහෙත් නැවත නැවත පවත්වා ද, මෙය විඥානයේ පැවැත්මට අරමුණ වේ අරමුණ ඇති කල්හි විඥානයේ පිහිටීම වේ. ඒ විඥානයේ පිහිටි කල්හි වැඩුනු කල්හි නාමරූපයේ බැස ගැන්ම වේ. නාමරූප ප්‍රත්‍යයයෙන් ෂඩායතන වේ. මෙසේ මේ හුදු දුක්රැසේ හට ගැන්ම වේ.
මහණෙනි, යම් කලෙක නො ද සිතා ද, නො ද කල්පනා කෙරේ ද, නො ද පවත්වා ද, මෙය විඥානයේ පැවැත්මට අරමුණ නො වේ. අරමුණ නැති කල්හි විඥානයේ පිහිටීම නො වේ. ඒ විඥානය නො පිහිටි කල්හි නො වැඩුනු කල්හි නාමරූපයේ බැස ගැණීම නො වේ. නාමරූප නිරෝධයෙන් ෂඩායතන නිරෝධය වේ. ... මෙසේ මේ හුදු දුක්රැසේ නිරෝධය වේ.
1. 4. 10.
තෙවැනි චේතනා සූත්‍රය
40. සැවැත්නුවර–
මහණෙනි, යමකුත් සිතා ද, යමකුත් කල්පනා කෙරේ ද, යමකුත් නැවත නැවත පවත්වා ද, මෙය විඥානයේ පැවැත්මට අරමුණ වේ. අරමුණ ඇති කල්හි විඥානයේ පිහිටීම වේ. ඒ විඥානය පිහිටි කල්හි වැඩුනු කල්හි තෘෂ්ණාව වේ. තෘෂ්ණාව ඇති කල්හි කර්‍මාදී අරමුණෙහි විඥානය පැවැත්ම වේ. අරමුණෙහි විඥානය පැවැත්ම ඇති කල්හි ච්‍යුතිය හා උපපත්තිය වේ. ච්‍යුතිඋපපත්ති ඇති කල්හි මත්තෙහි ජාතිජරාමරණසෝකපරිදේවදුක්ඛදෝමනස්සඋපායාසයෝ හට ගණිත්. මෙසේ මේ හුදු දුක් රැසේ හට ගැන්ම වේ.
මහණෙනි, ඉදින් නො සිතා ද, ඉදින් කල්පනා නොකෙරේ ද, එහෙත් අනුසයනය කෙරේ ද, මෙය විඥානයාගේ පැවැත්මට අරමුණ වේ. අරමුණ ඇති කල්හි විඥානයේ පිහිටීම වේ. ඒ විඥානය පිහිටි කල්හි වැඩුනු කල්හි තෘෂ්ණා නතිය වේ. තෘෂ්ණාව ඇති කල්හි (කර්‍මාදි අරමුණුවල විඥානයේ පැවැත්ම) ආගතිය, (කර්‍ම හෝ කර්‍මනිමිති හො ගතිනිමිති එළඹ සිටි කාල ගතිය (ප්‍රතිසන්‍ධි වශයෙන් විඥානයාගේ ගමන) වේ ආගතිගති ඇති කල්හි චුතිය හා උපපත්තිය වේ. චුතිය උපපත්ති ඇති කල්හි මතු ජාතිජරාමරණසෝකපරිදේවදුක්ඛදෝමනස්සඋපායාසයෝ හට ගණිත්. මෙසේ මේ හුදු දුක් රැසේ හට ගැණීම වේ.
මහණෙනි, යම් කලෙක නො ද සිතා ද, නො ද කල්පනා කෙරේ ද, නො ද පවත්වා ද, මෙය විඥානයේ පැවැත්මට අරමුණ නො වේ. අරමුණ නැති කල්හි විඥානයේ පිහිටීම නො වේ. ඒ විඥානය නොසිටි කල්හි නො වැඩුනු කල්හි තෘෂ්ණාව නො වේ. තෘෂ්ණාව නැති කල්හි කර්‍මාදි ආගතිගති නො වේ. ආගතිගති නැති කල්හි ච්‍යුතිය හා උපපත්තිය නො වේ. ච්‍යුති උපපත්ති නැති කල්හි මතු ජාතිජරාමරණසෝකපරිදේවදුක්ඛදෝමනස්ස උපායාසයෝ නිරුද්ධ වෙත්. මෙසේ මේ හුදු දුක් රැසේ නිරෝධය වෙයි.
කාළාරඛත්තිය වර්‍ගය සිවුවැනි යී.
එහි උද්දානය:
භූත සූත්‍ර ය, කළාරඛත්තිය සූත්‍ර ය, ඤාණවත්‍ථු සූත්‍ර දෙක ය, අවිජ්ජාපච්චය සූත්‍ර දෙක ය, නතුම්හ සූත්‍ර ය, චේතනා සූත්‍ර තුණය යි සූත්‍ර දශයෙකි.
5. ගහපති වර්‍ගය
පඤ්චභයවේර සූත්‍රය
41. සැවැත්නුවර–
එකල්හි අනේපිඬු ගැහැවි තෙමේ භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේට වැඳ එකත් පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් අනේපිඬු ගැහැවිහට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:
ගැහැවිය, යම් කලෙක ආර්‍ය්‍යශ්‍රාවකයාගේ පස්වැදෑරුම් භය හා වෛර චේතනාවෝ සංසිඳුනාහු වෙද්ද, සිවුවැදෑරුම් සෝතාපත්ති අඞ්ගයෙන් යුක්ත වූයේ වේ ද, අර්‍ය්‍ය (නිර්දෝෂ) වූ න්‍යාය (ප්‍රතීත්‍ය සමුත්පාදය විදර්‍ශනා) ප්‍රඥායෙන් මනා ව දක්නා ලද්දේ මැනැවින් අවබෝධ කරණ ලද්දේ වේ ද, හෙතෙමේ කැමැති වන්නේ නම් “ක්‍ෂය වූ නිරය ඇත්තෙම් ක්‍ෂය වූ තිරච්ඡාන යෝනි ඇත්තෙම් ක්‍ෂය වූ ප්‍රේතවිෂය ඇත්තෙම් ක්‍ෂය වූ අපාය දුර්‍ගති විනිපාත ඇත්තෙම් වෙමි. සෝවන් වූයෙම් විවසට පතිතවන ස්වභාව නැත්තෙම් නියත වූයෙම් සම්බෝධිය පිහිට කොට ඇත්තෙම් වෙමි”යි තෙමේ ම තමා ප්‍රකාශ කරන්නේ ය.
කවර පස්වැදෑරුම් භය වෛර චේතනාවෝ සංසිඳුනාහු වෙත් ද යත්:
ගැහැවිය, පරපණ නසන සුලු පුද්ගල තෙමේ පරපණ නැසීමේ ප්‍රත්‍යයෙන් මෙලෙව්හිත් යම් බියක් හා වෙරක් රැස් කෙරේ ද, පරලෙව්හිත් යම් බියක් හා වෙරක් රැස් කෙරේ ද, චේතසික වූත් යම් දුකක් හා දොම්නසක් විඳී ද, පණිවායින් දුරු වූවහුට මෙසේ ඒ බිය හා වෙර සංසිඳුනේ වේ.
ගැහැවිය, නුදුන් දෙය ගන්නාසුලු පුඟුල් තෙමේ නුදුන් දෙය ගැණීම් හේතුයෙන් මෙලෙව්හිත් යම් බියක් හා වෙරක් රැස් කෙරේ ද, පරලෙව්හිත් යම් බියක් හා වෙරක් රැස්කෙරේ ද, චෛතසික වූත් යම් දුකක් හා දොම්නසක් විඳී ද, නුදුන් දෙය ගැන්මෙන් වෙන්වූ ඔහුට මෙසේ ඒ භය හා වෙර සංසිඳුනේ වේ.
ගැහැවිය, කාමයෙහි වරදවා හැසිරෙණසුලු පුඟුල් තෙමේ කාමයෙහි වරදවා හැසිරීම් පසයෙන් මෙලෙව්හිත් යම් බියක් හා වෙරක් රැස් කෙරේද, පරලෙව්හිත් යම් බියක් හා වෙරක් රැස් කෙරේ ද, චෛතසිකවූත් යම් දුකක් දොම්නසක් වඳී ද, කාමයෙහි වරදවා හැසිරීමෙන් වෙන් වූවහුට මෙසේ ඒ බිය හා වෙර සංසිඳුනේ වේ.
ගැහැවිය, මුසවා බෙණෙනසුලු පුඟුල් තෙමේ මුසවා පසයෙන් මෙලෙව්හිත් යම් බියක් හා වෙරක් රැස් කෙරේ ද, පරලෙව්හිත් යම් බියක් හා වෙරක් රැස් කෙරේ ද, චෛතසික වූත් යම් දුකක් දොම්නසක් විඳී ද, මුසවායෙන් වෙන් වූවහුට මෙසේ ඒ බිය හා වෙර සංසිඳුනේ වේ.
ගැහැවිය, මදයට හා පමාවට කරුණු වූ රහමෙර පානය කරණසුලු පුඟුල් තෙමේ මදපමාවට කරුණු වූ රහමෙර පානය කිරීම් පසයෙන් මෙලෙව්හිත් යම් බියක් හා වෙරක් රැස් කෙරේ ද, පරලෙව්හිත් යම් බියක් හා වෙරක් රැස් කෙරේ ද, චෛතසික වූත් යම් දුකක් දොම්නසක් විඳී ද, මදයට හා පමාවට කරුණු වූ රහමෙර පානයෙන් වෙන් වූවහුට මෙසේ ඒ බිය හා වෙර සංසිඳුනේ වේ.
මේ පස්වැදෑරුම් බිය හා වෙර සංසිඳුනාහු වෙත්.
කවර සිවුවැදෑරුම් සෝවන් අඞ්ගයන්ගෙන් යුක්තවූයේ වේ ද යත්:
ගැහැවිය, මෙහි ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ “ඒ භාග්‍යවතුන් වහන්සේ මේ මේ කරුණෙනුදු අර්‍හත්හ, සම්‍යක්සම්බුද්ධයහ, විද්‍යාචරණසම්පන්නයහ, සුගතයහ, ලෝකවිදූ හ, නිරුත්තරපුරිසදම්මසාරථී හ, දෙව් මිනිසුන්ට ශාස්තෘ හ, බුද්ධය හ, භාග්‍යවත් හ” යි බුදුරජානන් වහන්සේ කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුක්ත වූයේ වෙයි.
“භාග්‍යවතුන් වහන්සේ විසින් (දෙසූ) ධර්‍මය-ස්වාක්ඛාත ය, සන්‍දිට්ඨික ය, අකාලික ය, ඒහිපස්සික ය, ඕපනයික ය, නුවණැත්තන් විසින් තමතමා කෙරෙහි ලා දත යුත්තේ ය”යි ධර්‍මය කෙරෙහි අචලප්‍රසාදයෙන් යුක්ත වූයේ වේ.
“භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකසඞ්ඝ තෙමේ සුපටිපන්න, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකසඞ්ඝ තෙමේ උජුපටිපන්න ය, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකසඞ්ඝ තෙමේ ඤායපටිපන්න ය, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකසඞ්ඝ තෙමේ සාමීචිපටිපන්න ය, යම් මේ පුරුෂයුග සතරෙක් ආර්‍ය්‍යපුද්ගලයෝ අටදෙනෙක් වෙද් ද, භාග්‍යවතුන් වහන්සේගේ මේ ශ්‍රාවක සඞ්ඝ තෙමේ ආහුනෙය්‍ය ය, පාහුණෙය්‍ය ය, දක්ඛිණෙය්‍ය ය, අඤ්ජලිකරණී ය, ලෝවැස්සාට නිරුත්තරපුණ්‍යක්‍ෂේත්‍ර ය”යි සඞ්ඝයා කෙරෙහි අචලප්‍රසාදයෙන් යුක්තවූයේ වෙයි.
කඩ නොවූ සිදුරු නො වූ සබර නො වූ කල්මාෂ නො වූ නිදහස් වූ නුවණැත්තන් විසින් පසස්නා ලද තෘෂ්ණාදෘෂ්ටීන් අපරාමෘෂ්ට වූ සමාධිය පිණිස පවත්නා වූ ආර්‍ය්‍යකාන්ත ශීලයෙන් යුක්ත වූයේ වේ.
මේ සිවුවැදෑරුම් සෝතාපත්ති අඞ්ගයෙන් යුක්ත වූයේ වෙයි.
නිර්දෝෂ වූ කවර න්‍යායයෙක් ඔහු විසින් විදර්‍ශනාප්‍රඥාවෙන් මැනැවින් දක්නා ලද්දේ අවබෝධ කරණ ලද්දේ වේ ද?
ගැහැවිය, මෙහි ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ “අවිද්‍යාප්‍රත්‍යයයෙන් සංස්කාරයෝ වෙත්. සංස්කාරප්‍රත්‍යයයෙන් විඥානය වේ. විඥානප්‍රත්‍යයයෙන් නාමරූප වේ. ... මෙසේ මේ හුදු දුක්රැසේ හටගැණීම වේ. අවිද්‍යාවගේ ම නිරවශේෂ විරාගනිරෝධයෙන් සංස්කාරනිරෝධය වේ. සංස්කාරනිරෝධයෙන් විඥානනිරෝධය වේ ... මෙසේ මේ හුදු දුක් රැසේ නිරෝධය වේ ය යන මේ යමක් ඇද් ද, මෙසේ මෙය ඇති කල්හි මෙය වෙයි. මෙය ඉපදීමෙන් මෙය උපදී. මෙය නැති කල්හි මෙය නො වෙයි. මෙය නිරුද්ධ වීමෙන් මෙය නිරුද්ධ ය”යි පටිච්චසමුප්පාදය ම මනා කොට නුවණින් මෙනෙහි කෙරෙයි. නිර්දෝෂ වූ මේ න්‍යාය ඔහු විසින් විදර්‍ශනාප්‍රඥාවෙන් මැනැවින් දක්නා ලද්දේ මැනැවින් අවබෝධ කරණ ලද්දේ වෙයි.
ගැහැවිය, යම් කලෙක ආර්‍ය්‍යශ්‍රාවකයාගේ මේ පස් වැදැරුම් බිය හා වෛරයෝ සංසිඳුනාහු වෙද් ද, මේ සිවුවැදෑරුම් සෝතාපත්තිඅඞ්ගයන්ගෙන් යුක්තවූයේ වේ ද, නිර්දෝෂ වූ මේ න්‍යාය ඔහු විසින් විදර්‍ශනා ප්‍රඥාවෙන් මනාව දක්නා ලද්දේ මැනවින් අවබෝධ කරණ ලද්දේ වේ ද, හෙතෙමේ කැමති වන්නේ නම් “ක්‍ෂය වූ නිරය ඇත්තෙම් ක්‍ෂය වූ තිරිසන්යෝනි ඇත්තෙම් ක්‍ෂය වූ ප්‍රේත විෂය ඇත්තෙම් ක්‍ෂය වූ අපාය දුර්‍ගති විනිපාත ඇත්තෙම් වෙමි. සෝවන් වූයෙම් විවසව පතිතවන ස්වභාව නැත්තෙම් නියත වූයෙම් සම්බෝධිය පිහිට කොට ඇත්තෙම් වෙමි”යි තෙමේ ම තමා ප්‍රකාශ කරන්නේ ය.
දෙවැනි පඤ්චභයවේර සූත්‍රය
42. සැවැත්නුවර–
එකල්හි බොහෝ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේට වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ඒ භික්‍ෂූන්ට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක:
මහණෙනි, යම්කලෙක ආර්‍ය්‍යශ්‍රාවකයාගේ පස් වැදැරුම් බිය හා වෙර සංසිඳුනාහු වෙද්ද, සිවුවැදෑරුම් සෝතාපත්ති අඞ්ගයන්ගෙන් යුක්තවූයේ වේ ද, ඔහු විසින් නිර්දෝෂ වූ න්‍යායය නුවණින් මනා කොට දක්නා ලද්දේ මැනැවින් අවබෝධ කරණ ලද්දේ වේ ද, හෙතෙමේ කැමති වන්නේ නම් “ක්‍ෂය වූ නිරය ඇත්තෙම්. විවසව පතිතවන ස්වභාව නැත්තෙම් නියත වූයෙම් සම්බෝධිය පිහිට කොට ඇත්තෙම් වෙමි”යි තෙමේ ම තමා ප්‍රකාශ කරන්නේ ය.
කවර පස්වැදෑරුම් බිය හා වෙර සංසිඳුනාහු වෙද්ද යත්:
මහණෙනි, පරපණ නසනා සුලු පුද්ගල තෙමේ යම් ... භයක් හා වෙරක් රැස්කෙරේද ... නුදුන් දෙය ගන්න පුද්ගල තෙමේ ... කාමයෙන් වරදවා හැසිරෙන පුද්ගල තෙමේ ... මුසවා බෙණෙනසුලු පුද්ගල තෙමේ ... මහණෙනි, මදයට හා පමාවට කරුණු වූ රහමෙර පානය කරණසුලු පුද්ගල තෙමේ ... යම් භයක් හා වෙරක් රැස්කෙරේද ... දුකක් දොම්නසක් විඳීද, මදපමා කරුණු වූ රහමෙර පානයෙන් වෙන් වූ වහුට මෙසේ ඒ බිය හා වෙර සංසිඳුනේ වේ.
මේ පස්වැදැරැම් වෙර හා බිය සංසිඳුනාහු වෙත්.
කවර සෝතාපත්තිඅඞ්ග සතරකින් යුක්තවූයේ වේ ද යත්:
මහණෙනි, මෙහි ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ බුදුරජානන් වහන්සේ කෙරෙහි අචල ප්‍රසාදයෙන් යුක්ත වූයේ වෙයි. ධර්‍මය කෙරෙහි ... සඞ්ඝයා කෙරෙහි අචල ප්‍රසාදයෙන් යුක්ත වූයේ වෙයි. ආර්‍ය්‍යකාන්තශීලයෙන් යුක්ත වූයේ වෙයි. මේ සෝවන් අඞ්ග සතරින් යුක්ත වූයේ වෙයි.
ඔහු විසින් නිර්දෝෂ වූ කවර න්‍යායයෙක් නුවණින් මනා කොට දක්නා ලද්දේ මැනවින් අවබෝධ කරණ ලද්දේ වේ ද?
මහණෙනි, මෙහි ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ පටිච්චසමුප්පාදය ම මැනැවින් නුවණින් මෙනෙහි කෙරෙයි ... ඔහු විසින් මේ නිර්දෝෂ වූ න්‍යාය නුවණින් මනා කොට දක්නා ලද්දේ මැනැවින් අවබෝධ කරණ ලද්දේ වෙයි.
මහණෙනි, යම් කලෙක ආර්‍ය්‍යශ්‍රාවකයාගේ මේ පස්වැදෑරුම් බිය හා වෙර සංසිඳුනාහු වෙද් ද, මේ සෝවන් අඞ්ගසතරෙන් යුක්ත වූයේ වේ ද. ඔහු විසින් මේ නිර්දෝෂ වූ න්‍යාය නුවණින් මනා කොට දක්නා ලද්දේ මැනැවින් අවබෝධ කරණ ලද්දේ වේ ද, හෙතෙමේ කැමති වන්නේ නම් “ක්‍ෂීණ වූ නිරය ඇත්තෙම් ක්‍ෂීණ වූ තිරච්ඡාන යෝනි ඇත්තෙම් ක්‍ෂීණ වු ප්‍රේතවිෂය ඇත්තෙම්, ක්‍ෂීණ වූ අපාය දුර්‍ගති විනිපාත ඇත්තෙම් සෝවන් වූයෙම් විවස ව පතිත වන ස්වභාව නැත්තෙම් නියත වූයෙම් සම්බෝධිය පිහිට කොට ඇත්තෙම් වෙමි”යි තෙමේ ම තමා ප්‍රකාශ කරන්නේ ය.
දුක්ඛ සූත්‍රය
43. සැවැත්නුවර–
මහණෙනි, දුක් හටගැන්ම ද නැතිවීම ද දේශනා කරන්නෙමි. එය අසවු.
මහණෙනි, දුක් හටගැන්ම කවරේ ද යත්: ඇසත් රූපත් නිසා චක්ඛුවිඤ්ඤාණය උපදී. මේ දහම් තුණේ එක්වීම ස්පර්‍ශය යි. ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනාව වේ. වේදනාප්‍රත්‍යයෙන් තෘෂ්ණාව වේ. මහණෙනි, මේ දුක් හටගැන්මයි.
කණත් ශබ්දත් නිසා ... නැහැයත් ගඳත් නිසා ... දිවත් රසත් නිසා ... කයත් ස්ප්‍රෂ්ටව්‍යත් නිසා ... සිතත් දහමුත් නිසා මනෝවිඤ්ඤාණය උපදී. ඒ දහම් තුණේ එක්වීම ස්පර්‍ශ ය යි. ස්පර්‍ශප්‍රත්‍යයයෙන් වේදනාව වේ වේදනාප්‍රත්‍යයයෙන් තෘෂ්ණාව වේ. මහණෙනි, මේ දුක් හටගැණීම යි.
මහණෙනි, දුක් නැතිවීම කවරේ ද යත්: ඇසත් රූපත් නිසා චක්ඛුවිඤ්ඤාණය උපදී. ඒ දහම් තුණේ එක්වීම ස්පර්‍ශ ය යි. ස්පර්‍ශප්‍රත්‍යය යෙන් වේදනාව වේ. වේදනාප්‍රත්‍යයයෙන් තෘෂ්ණාව වේ. ඒ තෘෂ්ණාවේ ම නිරවශේෂ විරාගනිරෝධයෙන් උපාදානනිරෝධය වේ. උපාදානනිරෝධයෙන් භවනිරෝධය වේ. භවනිරෝධයෙන් ජාතිනිරෝධය වේ. ජාතිනිරෝධයෙන් ජරාමරණ සෝකපරිදේව දුක්ඛදොමනස්ස උපායාසයෝ නිරුද්ධ වෙත්. මෙසේ මේ හුදු දුක් රැසේ නිරෝධය වේ. මහණෙනි, මේ දුක් නැතිවීම යි.
කණත් ශබ්දත් නිසා සෝතවිඤ්ඤාණය උපදී ... නැහැයත් ගඳත් නිසා ඝාණවිඤ්ඤාණය උපදී ... දිවත් රසත් නිසා ... කයත් ස්ප්‍රෂ්ටව්‍යයත් නිසා ... සිතත් දහමුත් නිසා මනෝවිඤ්ඤාණය උපදී. ඒ දහම් තුණේ එක්වීම ස්පර්‍ශ ය යි. ස්පර්‍ශප්‍රත්‍යයයෙන් වේදනාව වේ වේදනාප්‍රත්‍යයෙන් තෘෂ්ණාව වේ. ඒ තෘෂ්ණාවේ ම නිරවශේෂවිරාගනිරෝධයෙන් උපාදානනිරෝධය වේ. උපාදානනිරෝධයෙන් භවනිරෝධය වේ. භවනිරෝධයෙන් ජාතිනිරොධය වේ. ජාතිනිරෝධයෙන් ජරාමරණ සෝකපරිදේව දුක්ඛදොමනස්ස උපායාසයෝ නිරුද්ධ වෙත්. මෙසේ මේ හුදු දුක් රැසේ නිරෝධය වේ. මහණෙනි, මේ දුක් නැතිවීම යි.
ලෝක සූත්‍රය
44. සැවැත්නුවර–
මහණෙනි, ලෝකයේ (පඤ්චස්කන්‍ධයේ) හටගැණීමත් නැතිවීමත් දේශනා කරන්නෙමි එය අසවු.
මහණෙනි, පඤ්චස්කන්‍ධ ලෝකයේ හටගැණීම කවරේ ද යත්: ඇසත් රූපත් නිසා චක්ඛුවිඤ්ඤාණය උපදී. ඒ තුණේ එක්වීම ස්පර්‍ශ ය යි. ස්පර්‍ශප්‍රත්‍යයයෙන් වේදනාව වේ. වේදනාප්‍රත්‍යයයෙන් තෘෂ්ණාව වේ. තෘෂ්ණාප්‍රත්‍යයයෙන් උපාදාන වේ. උපාදාන ප්‍රත්‍යයයෙන් භවය වේ. භවප්‍රත්‍යයයෙන් ජාතිය වේ. ජාතිප්‍රත්‍යයයෙන් ජරාමරණ සෝක පරිදේව දුක්ඛදොමනස්ස උපායාසයෝ හටගණිත්. මහණෙනි, මේ ලෝකයේ හට ගැණීම යි.
කණත් ශබ්දත් නිසා නැහැයත් ගඳත් නිසා ... දිවත් රසත් නිසා ... කයත් ස්ප්‍රෂ්ටව්‍යත් නිසා ... සිතත් දහමුත් නිසා මනෝවිඤ්ඤාණය උපදී ඒ තුණේ එක්වීම ස්පර්‍ශ යයි. ස්පර්‍ශප්‍රත්‍යයයෙන් වේදනාව වේ. වේදනාප්‍රත්‍යයයෙන් තෘෂ්ණාව වේ ... ජාතිප්‍රත්‍යයයෙන් ජරාමරණ සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ හටගණිත්. මහණෙනි, මේ ලෝකයේ හටගැණීම යි.
මහණෙනි, ලෝකයේ නැතිවීම කවරේ ද යත්: ඇසත් රූපත් නිසා චක්ඛුවිඤ්ඤාණය උපදී. ඒ තුණේ එක්වීම ස්පර්‍ශ යයි. ස්පර්‍ශප්‍රත්‍යයයෙන් වේදනාව වේ. වේදනා ප්‍රත්‍යයයෙන් තෘෂ්ණාව වේ. ඒ තෘෂ්ණාවේ ම නිරවශේෂවිරාගනිරෝධයෙන් උපාදානනිරෝධය වේ. උපාදානනිරෝධයෙන් භවනිරෝධය වේ . ... මෙසේ මේ හුදු දුක් රැසේ නිරෝධය වේ. මහණෙනි මේ ලෝකයේ නැතිවීම ය.