Saṁyutta Nikāya

Connected Discourses

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-30 · 15083 segments

පෙන්වන කොටස් 3301-3400 න් 15083

දුතිය සමණබ්‍රාහ්මණ සූත්‍රය
30. සැවැත්නුවර–
එහි දි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’ යි භික්‍ෂූන් ඇමතූ සේක. ‘වහන්සැ’ යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්සූහ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:
යම් කිසි ශ්‍රමණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ ජරාමරණ නො දනිත් ද, ජරාමරණ සමුදය නො දනිත් ද, ජරාමරණනිරෝධය නොදනිත් ද, ජරාමරණ නිරෝධගාමිනී ප්‍රතිපදාව නො දනිත් ද; ඔහු ඒකාන්තයෙන් ජරාමරණ ඉක්ම සිටින්නාහු ය යන මේ කාරණය විද්‍යාමාන නො වේ.
(මහණෙනි, යම් කිසි ශ්‍රමණ කෙනෙක් හො බමුණු කෙනෙක් හෝ) ජාතිය නො දනිත් ද .... භවය ... උපාදාන .... තණ්හාව ... වේදනාව ... ඵස්සය ... සළායතන ... නාමරූප ... විඤ්ඤාණය ... සඞ්ඛාර නො දනිත් ද, සඞ්ඛාරසමුදය නො දනිත් ද, සඞ්ඛාරනිරෝධය නො දනිත් ද, සඞ්ඛාරා නිරෝධගාමිනීප්‍රතිපදාව නො දනිත් ද, ඔහු ඒකාන්තයෙන් සංස්කාරයන් ඉක්ම සිටින්නාහු ය යන මේ කාරණය විද්‍යාමාන නො වේ.
මහණෙනි, යම් කිසි ශ්‍රමණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ ජරා මරණ දනිත් ද, ජරාමරණ සමුදය දනිත් ද, ජරාමරණ නිරෝධය දනිත් ද, ජරාමරණ නිරොධගාමිනී ප්‍රතිපදාව දනිත් ද, ඔහු ඒකාන්තයෙන් ජරාමරණ ඉක්ම සිටින්නාහු ය යන මේ කාරණය විද්‍යාමාන වේ.
(මහණෙනි, යම් කිසි ශ්‍රමණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ) ජාතිය දනිත් ද ... භවය ... උපාදාන ... තණ්හාව ... වේදනාව ... ඵස්සය ... සළායතන ... නාමරූප .... විඤ්ඤාණය ... සඞ්ඛාර දනිත් ද, සඞ්ඛාර සමුදය දනිත් ද, සඞ්ඛාර නිරෝධය දනිත් ද, සඞ්ඛාරනිරෝධගාමිනීප්‍රතිපදාව දනිත් ද; ඔහු ඒකාන්තයෙන් සංස්කාරයන් ඉක්ම සිටින්නාහු ය යන මේ කාරණය විද්‍යාමාන වෙයි.
දශබලවර්‍ගය තෙවැනි යි.
එහි උද්දානය:
දසබල සූත්‍ර දෙක ය, උපනිස, අඤ්ඤතිත්‍ථිය, භූමිජ, උපවාණ, පච්චය, භික්ඛු සූත්‍ර ද, සමණ බ්‍රාහ්මණ සූත්‍ර දෙකදැ යි සූත්‍ර දශයෙකි.
4. කළාරඛත්තිය වර්‍ගය
1. 4. 1.
භූත සූත්‍රය
31. සැවැත්නුවර–
එහි දී භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් ඇමතූ සේක: ශාරීපුත්‍ර, මෙය පාරායණ වර්‍ගයෙහි අජිතප්‍රශ්නයෙහි කියන ලදී:
“මේ ශාසනයෙහි දන්නාලද දහම් ඇති යම් රහත්හු වෙද් ද, බෙහෝ වූ යම් ශෛක්‍ෂයෝත් වෙද්ද, නිදුකානන් වහන්ස, මා විසින් විචාරණ ලද නුවණැති ඔබ වහන්සේ ඔවුන්ගේ පිළිවෙත වදාරණු මැනැවැ”යි.
ශාරීපුත්‍ර, සැකෙවින් කියන ලද මෙහි විතර විසින් කෙසේ අරුත් දැක්ක යුතු ද? මෙසේ වදාළ කල්හි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිර තෙමේ නිශ්ශබ්ද විය. දෙවනුත් භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් ඇමතූ සේක. ... දෙවනුත් ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිර තෙමේ නිශ්ශබ්ද වී ය.
තෙවනුත් භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් ඇමතූ සේක: ශාරීපුත්‍ර, මෙය පාරායණ වර්‍ගයෙහි අජිතප්‍රශ්නයෙහි දී කියන ලදී:
“මේ ශාසනයෙහි දන්නා ලද දහම් ඇති යම් රහත්හු වෙද් ද, බොහෝ වූ යම් ශෛක්‍ෂයෝත් වෙද්ද නිදුකානන් වහන්ස, මා විසින් විචාරණ ලද නුවණැති ඔබ වහන්සේ ඔවුන්ගේ පැවැත්ම වදාරණු මැනැවැ” යි.
ශාරීපුත්‍ර, සැකෙවින් කියන ලද මෙහි අරුත් විතර විසින් කෙසේ දැක්ක යුතු ද? මෙසේ වදාළ කල්හි තෙවනුත් ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිර තෙමේ නිශ්ශබ්ද විය.
ශාරීපුත්‍ර, මේ භූතය (හටගත් බැවින් ‘භූත’ නම් වූ ස්කන්‍ධපඤ්චකය) යී දක්හි යි වදාළ සේක. වහන්ස, මේ ස්කන්‍ධපඤ්චක ය යි සම්‍යක්ප්‍රඥාවෙන් තතු සේ දකී. මේ ස්කන්‍ධපඤ්චකය තතු සේ මනා නුවණින් දැක ස්කන්‍ධපඤ්චකය පිළිබඳ කළකිරීම පිණිස නො ඇලීම පිණිස නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි. ඒ ස්කන්‍ධපඤ්චකය ආහාරයෙන් හටගත්තේ ය යි තතූ සේ මනා නුවණින් දකී. එය ආහාරයෙන් හටගත්තේ ය යි තතු සේ මනා නුවණින් දැක ආහාරයෙන් හටගත් ස්කන්‍ධපඤ්චකය පිළිබඳ කළකිරීම පිණිස නො ඇලීම පිණිස නිරෝධය පිණිස පිළිපන්නේ වේ. ඒ ආහාර නිරෝධයෙන්-යමක් හටගත්තේ ද එය නිරෝධය ස්වභාව කොට ඇත්තේ ය යි තතු සේ මනා නුවණින් දකී. ඒ ආහාර නිරෝධයන්-යමක් හටගත්තේ ද එය නිරෝධය ස්වභාව කොට ඇත්තේ ය යි තතු සේ මනා නුවණින් දැක නිරෝධය ස්වභාව කොට ඇති ස්කන්‍ධපඤ්චකය පිළිබඳ කළකිරීම පිණිස නො ඇලීම පිණිස නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි. වහන්ස, මෙසේ ශෛක්‍ෂ වේ. (මෙයින් ශෛක්‍ෂයාගේ පිළිවෙත කියූ.)
වහන්ස, කෙසේ නම් දන්නා ලද දහම් ඇත්තේ වේ ද? වහන්ස, මේ ස්කන්‍ධපඤ්චකය යි තතුසේ මනා නුවණින් දකී. මේ ස්කන්‍ධපඤ්චකය තතුසේ මනා නුවණින් දැක ස්කන්‍ධපඤ්චකය පිළිබඳ කළකිරීමෙන් නො ඇලීමෙන් නිරෝධයෙන් උපාදාන විසින් නො ගෙණ මිදුනේ වේ තෙල ස්කන්‍ධපඤ්චකය ආහාරයෙන් හගත්තේ ය යි තතු සේ මනා නුවණින් දකී. එය ආහාරයෙන් හටගත්තේ යයි තතු සේ මනා නුවණින් දැක ආහාරයෙන් හටගත් පඤ්චස්කන්‍ධය පිළිබඳ කළකිරීමෙන් නො ඇලීමෙන් නිරෝධයෙන් උපාදාන විසින් නො ගෙණ මිදුනේ වේ. ඒ ආහාර නිරෝධයෙන් - යමක් හටගත්තේ ද එය නිරෝධ ස්වභාව කොට ඇත්තේ ය යි තතු සේ මනා නුවණින් දකී. ඒ ආහාර නිරෝධයෙන් - යමක් හටගත්තේද එය නිරෝධ ස්වභාව කොට ඇත්තේ ය යි තතු සේ මනානුවණින් දැක නිරෝධ ස්වභාව කොට ඇති ස්කන්‍ධපඤ්චකය පිළිබඳ කළකිරීමෙන් නො ඇලීමෙන් නිරෝධයෙන් උපාදාන විසින් නො ගෙණ මිදුනේ වේ. වහන්ස, මෙසේ දන්නා ලද දහම් ඇත්තේ වේ. (මෙයින් රහත්හුගේ පිළිවෙත කියූ.)
වහන්ස, මෙසේ පාරායණ වර්‍ගයෙහි අජිතප්‍රශ්නයෙහි ඒ යමක් කියන ලදද:
“මේ ශාසනයෙහි දන්නා ලද දහම් ඇති යම් රහත්හු වෙද්ද, බෙහෝ වූ යම් ශෛක්‍ෂයෝත් වෙද්ද, නිදුකානන් වහන්ස, මා විසින් විචාරණ ලද නුවණැති ඔබ වහන්සේ ඔවුන්ගේ පිළිවෙත වදාරණු මැනැවැ”යි -
වහන්ස, සැකෙවින් කියන ලද මෙහි අරුත් විතර විසින් මෙසේ මම දනිමි යි.
ශාරීපුත්‍ර, මැනැවි, මැනැවි. ශාරීපුත්‍ර, මේ ස්කන්‍ධපඤ්චකය ය යී තතු සේ මනානුවණින් දකී. මේ ස්කන්‍ධපඤ්චකය තතු සේ මනා නුවණින් දැක ස්කන්‍ධපඤ්චකය පිළිබඳ කළකිරීම පිණිස නො ඇලීම පිණිස නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි. එය ආහාරයෙන් හටගත්තේ ය යි තතු සේ මනා නුවණින් දකී. එය ආහාරයෙන් හටගත්තේ ය යි තතු සේ මනා නුවණින් දැක ආහාරයෙන් හටගත් ස්කන්‍ධපඤ්චකය පිළිබඳ කළකිරීම පිණිස නො ඇලීම පිණිස නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි. ඒ ආහාර නිරෝධයෙන් - යමක් හටගත්තේ ද එය නිරෝධය ස්වභාව කොට ඇත්තේ ය යි තතු සේ මනා නුවණින් දකී. ඒ ආහාර නිරෝධයෙන් - යමක් හටගත්තේ ද එය නිරෝධය ස්වභාව කොට ඇති ස්කන්‍ධපඤ්චකය පිළිබඳ කළකිරීම පිණිස නො ඇලීම පිණිස නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි. ශාරීපුත්‍ර, මෙසේ ශෛක්‍ෂ වෙයි.
ශාරීපුත්‍ර, කෙසේ නම් සඞ්ඛ්‍යාතධර්‍ම ඇත්තේවේ ද යත්: ශාරීපුත්‍ර, මේ ස්කන්‍ධපඤ්චක ය යි තතු සේ මනානුවණින් දකී මේ ස්කන්‍ධපඤ්චකය යි තතු සේ මනා නුවණින් දැක ස්කන්‍ධපඤ්චකය පිළිබඳ කළකිරීමෙන් නො ඇලීමෙන් නිරෝධයෙන් උපාදාන විසින් නො ගෙණ මිදුනේ වේ. එය ආහාරයෙන් හටගත්තේ ය යි තතු සේ මනානුවණින් දකී. එය ආහාරයෙන් හටගත්තේ ය යි තතු සේ මනානුවණින් දැක ආහාරයෙන් හටගත් ස්කන්‍ධපඤ්චකය පිළිබඳ කළකිරීමෙන් නො ඇලීමෙන් නිරෝධයෙන් උපාදාන විසින් නො ගෙණ මිදුනේ වේ. ඒ ආහාර නිරෝධයෙන් - යමක් හටගත්තේ ද එය නිරෝධය ස්වභාව කොට ඇත්තේ ය යි තතු සේ මනා නුවණින් දකී. ඒ ආහාර නිරෝධයෙන් - යමක් හටගත්තේ ද එය නිරෝධය ස්වභාව කොට ඇත්තේ ය යි තතු සේ මනා නුවණින් දැක නිරෝධය ස්වභාව කොට ඇති ස්කන්‍ධපඤ්චකය පිළිබඳ කළකිරීමෙන් නො ඇලීමෙන් නිරෝධයෙන් උපාදාන විසින් නො ගෙණ මිදුනේ වේ. ශාරීපුත්‍ර, මෙසේ සඞ්ඛ්‍යාතධර්‍ම ඇත්තේ වේ.
ශාරීපුත්‍ර, මෙසේ පාරායණ වර්‍ගයෙහි අජිතප්‍රශ්නයෙහි දී ඒ යමක් කියන ලද ද:
“මේ ශාසනයෙහි දන්නා ලද දහම් ඇති යම් රහත්හූත් වෙද්ද, බොහෝ වූ යම ශෛක්‍ෂයෝත් වෙද්ද, නිදුකානන් වහන්ස, මා විසින් විචාරණ ලද නුවණැති ඔබ වහන්සේ ඔවුන්ගේ විහරණය වදාරණු මැනවැ”යි-
ශාරීපුත්‍ර, සැකෙවින් කියන ලද මෙහි අරුත් විතර විසින් මෙසේ දැක්ක යුත්තේ යි.
1. 4. 2.
කළාර සූත්‍රය
32. සැවැත්නුවර–
ඉක්බිති කළාරඛත්තිය මහණ තෙමේ ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ සමග සතුටු වී ය. සතුටු විය යුතු සිහි කට යුතු කථා කොට නිමවා එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් කළාරඛත්තිය මහණ තෙමේ ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වන්සේට මෙය සැළ කළේ ය.
ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, මොලියඵග්ගුණ මහණ තෙමේ ශික්‍ෂාව හැර දමා ගිහිබවට පෙරලුනේ ය. ඒ ආයුෂ්මත් තෙමේ ඒකාන්තයෙන් මෙසස්නෙහි පිහිටක් නො ලැබී ය. එහෙත් ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ මෙසස්නෙහි පිහිට ලැබූ සේක. “ඇවැත්නි, මම සැක නො ම කරමි” ඇවැත්නි, මතු පිළිසඳ කෙසේ ද? “ඇවැත්නි, මම විචිකිච්ඡා නො ම කරමි”.
ඉක්බිති කළාරඛත්තිය මහණ තෙමේ හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේට වැඳ එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් කළාරඛත්තිය මහණ තෙමේ භාග්‍යවතුන් වහන්සේට “වහන්ස, ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ විසින් ‘ජාතිය ක්‍ෂය වූවා ය. බඹසර වැස නිමවන ලදී. කට යුතු කරණ ලදී. මේ රහත්බව පිණිස අනෙකක් නැතැ’ යි මෙසේ රහත්බව පවසන ලදැ”යි තෙල සැළ කළේ ය.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ එක්තරා මහණකු ඇමතූ සේක: මහණ, එව, තෙපි මාගේ වචනයෙන් “ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, ශාස්තෲන් වහන්සේ තොප අමතන සේකැ” යි සැරියුත් අමතවුයි. ඒ මහණ තෙමේ වහන්ස, එසේ ය යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් අස්වා ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේට “ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, ශාස්තෲන් වහන්සේ තොප කැඳවන සේකැ”යි මෙය කී ය. ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිර තෙමේ ඇවැත්නි, එසේ ය යි ඒ මහණහට පිළිතුරු දී භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන්ට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:
ශාරීපුත්‍ර, තොප විසින් “ජාතිය ක්‍ෂය වූවා ය. බඹසර වැස නිමවන ලදී. කට යුතු කරණ ලදී. මේ රහත්බව පිණිස අනෙකක් නැතැයි මෙසේ දනිමි”යි රහත්බව පවසන ලද්දේ සැබෑ ද? වහන්ස, මේ පදවලින් මේ බ්‍යඤ්ජනවලින් නොම කීමි. එහෙත් මා විසින් අර්‍ත්‍ථය (=රහත්බව) කියන ලදී. ශාරීපුත්‍ර, කුලපුත්තෙමේ යම් කිසි ක්‍රමයකිනුදු රහත්බව පවසයි. වැලිදු පවසන ලද්ද පවසන ලද්ද වශයෙන් දැක්ක යුතු ය. වහන්ස, “මේ පදවලින් මේ බ්‍යඤ්ජනවලින් නොම කීමි. එහෙත් මා විසින් අර්‍ත්‍ථය කියන ලද්දේ ය” යි වහන්ස, මම ද මෙසේ නො කියම් ද?
ශාරීපුත්‍ර, ඉදින් “කෙසේ දන්නා වූ කෙසේ දක්නා වූ තොප විසින් ‘ජාතිය ක්‍ෂය වූවා ය, බඹසර වැස නිමවන ලදී, කටයුතු කරණ ලදී, මේ රහත්බව පිණිස අනෙකක් නැතැයි දනිමි’යි රහත්බව පවසන ලදදැ” යි මෙසේ තොප විචාරන්නාහු නම් ශාරීපුත්‍ර, එසේ විචාරණ ලද තෙපි කුමැ යි ප්‍රකාශ කරවු ද?
වහන්ස, ඉදින් “ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, කෙසේ දන්නා වූ කෙසේ දකිනා වූ තොප විසින් ‘ජාතිය ක්‍ෂය වූවා ය, බඹසර වැස නිමවන ලදී, කටයුතු කරණ ලදී, මේ රහත්බව පිණිස අනෙකක් නැතැයි දනිමි’යි රහත් බව පවසන ලදදැ”යි මෙසේ මා විචාරන්නාහු නම්, වහන්ස, එසේ විචාරණ ලද මම මෙසේ ප්‍රකාශ කරන්නෙමි:
“ඇවැත්නි, ජාතිය යමක් නිදාන කොට ඇත්තී ද, ඒ නිදානය ගෙවී යෑමෙන් ක්‍ෂය වූ කල ක්‍ෂය වී යයි දන්නා ලදී. ක්‍ෂය වූ කල ක්‍ෂය වූයේ යයි දැන, ජාතිය ක්‍ෂය වූවා, බඹසර වැස නිමවන ලදී, කට යුතු කරණ ලදී, මේ රහත්බව පිණිස අනෙකක් නැතැ යි දනිමි” යි වහන්ස, එසේ විචාරණ ලද මම මෙසේ පවසන්නෙමි.
ශාරීපුත්‍ර, ඉදින් “ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, ජාතිය කුමක් නිදාන කොට ඇත්තී ද, කුමක් කරුණු කොට ඇත්තී ද, කුමක් ඉපැද්ම කොට ඇත්තී ද, කුමක් ප්‍රභව කොට ඇත්තී දැ” යි මෙසේ තොප විචාරන්නාහු නම්, ශාරීපුත්‍ර, එසේ විචාරණ ලද තෙපි කුමැ යි පවසන්නහු ද?
වහන්ස, ඉදින් “ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, ජාතිය කුමක් නිදාන කොට, කුමක් කාරණ කොට, කුමක් ජාති කොට, කුමක් ප්‍රභව කොට ඇත්තී දැ යි මෙසේ මා විචාරන්නාහු නම්, වහන්ස , එසේ විචාරණ ලද මම මෙසේ පවසන්නෙමි: ඇවැත්නි, ජාතිය භවහ නිදාන කොට, භවය හටගැණීම් කොට, භවය ඉපැද්ම කොට, භවහ ප්‍රභව කොට ඇත්තී ය යි වහන්ස, එසේ විචාරණ ලද මම මෙසේ පවසන්නෙමි.
ශාරීපුත්‍ර, ඉදින් “ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, භවය කුමක් නිදාන කොට කුමක් හටගැණීම් කොට, කුමක් ඉපැද්ම කොට, කුමක් ප්‍රභව කොට ඇත්තේ දැ?”යි මෙසේ තොප විචාරන්නාහු නම්,: ශාරීපුත්‍ර, එසේ විචාරණ ලද තෙපි කුමැ යි ප්‍රකාශ කරන්නහු ද?
වහන්ස, ඉදින් “ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, භවය කුමක් නිදාන කොට ඇත්තේ ද, කුමක් හටගැණීම් කොට ඇත්තේ ද, කුමක් ඉපැද්ම කොට ඇත්තේ ද, කුමක් ප්‍රභව කොට ඇත්තේ දැ”යි මෙසේ මා විචාරන්නාහු නම්, වහන්ස, එසේ විචාරණ ලද මම මෙසේ පවසන්නෙමි: ඇවැත්නි, භවය උපාදාන නිදාන කොට ඇත්තේ ය, උපාදාන හටගැණීම කොට ඇත්තේ ය, උපාදාන ඉපැද්ම කොට ඇත්තේ ය, උපාදාන ප්‍රභව කොට ඇත්තේ ය යි. වහන්ස, එසේ විචාරණ ලද මම මෙසේ පවසන්නෙමි.
ශාරීපුත්‍ර, ඉදින් “ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, උපාදානය කුමක් නිදාන කොට ඇත්ද? කුමක් කාරණ කොට ඇත්ද? කුමක් ජාති කොට ඇත්ද? කුමක් ප්‍රභව කොට ඇත් ද?” මෙසේ තොප විචාරන්නාහු නම් ශාරීපුත්‍රය, මෙසේ විචාරණ ලද තෙපි කුමැයි පවසන්නහු ද?
වහන්ස, ඉදින් “ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, උපාදානය කුමක් නිදාන කොට කුමක් කාරණ කොට කුමක් ජාති කොට කුමක් ප්‍රභව කොට ඇත්ද? වහන්ස, මෙසේ මා විචාරන්නාහු නම් එසේ විචාරණ ලද මම මෙසේ පවසන්නෙමි: ඇවැත්නි, උපාදානය තණ්හාව නිදාන කොට ඇත. තණ්හාව කාරණ කොට ඇත. තණ්හාව ජාති කොට ඇත. තණ්හාව ප්‍රභව කොට ඇතැයි. වහන්ස, මෙසේ විචාරණ ලද්දෙම් මෙසේ පවසන්නෙමි.
ශාරීපුත්‍ර, ඉදින් “ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, තෘෂ්ණාව කුමක් නිදාන කොට ඇත් ද? කුමක් සමුදය කොට ඇත් ද? කුමක් ජාතී කොට ඇත් ද? කුමක් ප්‍රභව කොට ඇත් දැ?”යි මෙසේ තොප විචාරන්නාහු නම්, ශාරීපුත්‍ර, මෙසේ විචාරණ ලද තෙපි කුමැ යි පවසන්නහු ද?
වහන්ස, ඉදින් “ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, තෘෂ්ණාව කුමක් නිදාන කොට ඇත් ද? කුමක් සමුදය කොට ඇත් ද? කුමක් ජාති කොට ඇත් ද? කුමක් ප්‍රභව කොට ඇත් දැ?”යි මෙසේ මා විචාරන්නාහු නම්, වහන්ස, එසේ විචාරණ ලද මම මෙසේ පවසන්නෙමි, ඇවැත්නි, තෘෂ්ණාව වේදනාව නිදාන කොට ඇත. වේදනාව සමුදය කොට ඇත. වේදනාව ජාති කොට ඇත වේදනාව ප්‍රභව කොට ඇතැ යි. වහන්ස, එසේ විචාරණ ලද මම මෙසේ පවසන්නෙමි.
ශාරීපුත්‍ර, “ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, වේදනාව කුමක් නිදාන කොට ඇත් ද? කුමක් සමුදය කොට ඇත් ද? කුමක් ජාති කොට ඇත් ද? කුමක් ප්‍රභව කොට ඇත් දැ?” යි මෙසේ තොප විචාරන්නාහු නම්, ශාරීපුත්‍ර, මෙසේ විචාරණ ලද තෙපි කුමැයි ප්‍රකාශ කරන්නහු ද?
වහන්ස, ඉදින් “ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, වේදනාව කුමක් නිදාන කොට ඇත් ද? කුමක් සමුදය කොට ඇත් ද? කුමක් ජාති කොට ඇත් ද? කුමක් ප්‍රභව කොට ඇත් දැ?”යි මෙසේ මා විචාරන්නාහු නම්, වහන්ස, එසේ විචාරණ ලද මම මෙසේ පවසන්නෙමි: ඇවැත්නි, වේදනාව ස්පර්‍ශය නිදාන කොට ඇත. ස්පර්‍ශය කාරණා කොට ඇත. ස්පර්‍ශය ජාති කොට ඇත්තී ය. ස්පර්‍ශය ප්‍රභව කොට ඇත්තී ය යි. වහන්ස, එසේ විචාරණ ලද මම මෙසේ පවසන්නෙමි.
ශාරීපුත්‍ර, ඉදින් “ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, කෙසේ දන්නා වූ කෙසේ දක්නා වූ තොපට වේදනාවන්හි යම් තෘෂ්ණාවක් වේ නම් එය නො වැටහුනේ දැ?” යි මෙසේ තොප විචාරන්නාහු නම්: ශාරීපුත්‍ර, මෙසේ විචාරණ ලද තෙපි කුමැයි පවසන්නහු ද?
වහන්ස, ඉදින් “ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, කෙසේ දන්නා වූ කෙසේ දක්නා වූ තොපට වේදනාවන්හි යම් තෘෂ්ණාවක් වේ නම් එය නො වැටහුනේ ද”? යි මෙසේ මා විචාරන්නාහු නම්, වහන්ස, එසෙ විචාරන ලද මම මෙසේ පවසන්නෙමි: ඇවැත්නි, මේ වේදනා තුණෙකි. කවර තුණෙක් ද යත්: සැප වේදනාව ය, දුක් වේදනාව ය, මැදහත් වේදනාව ය යි. ඇවැත්නි, මේ වේදනාත්‍රිකය අනිත්‍ය ය. යමක් අනිත්‍ය නම් ඒ දුකැයි දන්නා ලදි. (එහෙයින්) වේදනාවන්හි යම් තෘෂ්ණායෙක් වේ නම් එය (මා වෙත) නො සිටියේ ය යි. වහන්ස, එසේ විචාරණ ලද මම මෙසේ පවසන්නෙමි.
ශාරීපුත්‍ර, මැනැවි. මැනැවි. ශාරීපුත්‍ර, යම් කිසි වේදනාවක් වේ නම් ඒ දුකැයි යන මේ අරුත ම සැකෙවින් පැවසීමට මෙ ද නයෙකි.
ශාරීපුත්‍ර, ඉදින් “ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, තොප විසින් ‘ජාතිය ක්‍ෂය වූවා ය බඹසර වැස නිමවන ලදී. කට යුතු කරණ ලදී. මේ රහත්බව පිණිස අනෙකක් නැතැ යි දනිමි’යි කවර විමෝක්‍ෂයකින් අර්‍හත්‍වය පවසන ලද්දේ දැ”යි මෙසේ තොප විචාරන්නාහු නම්, ශාරීපුත්‍ර, එසේ විචාරණ ලද තෙපි කුමැයි පවසන්නහු ද?
වහන්ස, ඉදින් “ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, ‘ජාතිය ක්‍ෂය වූවා ය. බඹසර වැස නිමවන ලදී, කට යුතු කරණ ලදී, මේ බව පිණිස අනෙකක් නැතැයි දනිමි’යි කවර විමෝක්‍ෂයකින් අර්‍හත්ත්‍වය පවසන ලද්දේ දැ?”යි මෙසේ මා විචාරන්නාහු නම්, එසේ විචාරණ ලද මම මෙසේ පවසන්නෙමි: “ඇවැත්නි, යම් සේ සිහි ඇති ව වෙසෙන මට ආස්‍රවයෝ නො පවතිද්ද, (ප්‍රඥාව ප්‍රසන්න බැවින්) තමාට ද අවමන් නො කෙරෙම් ද, ඒ අජ්ඣත්තවිමොක්ඛයෙන් (=ආධ්‍යත්මික් සංස්කාරයන් පරිග්‍රහණය කොට ලද අර්‍හත්ත්‍වයෙන් සියලු උපාදානයන් ක්‍ෂය කිරීමෙන් මම එසේ සිහි ඇති ව වෙසෙමි”යි. වහන්ස, එසේ විචාරණ ලද මම මෙසේ පවසන්නෙමි.
ශාරීපුත්‍ර, මැනවි, මැනවි. ශාරීපුත්‍ර, “යම් ආස්‍රව කෙනෙක් බුද්ධශ්‍රමණයන් වහන්සේ විසින් වදාරණ ලද්දාහු ද, මම ඔවුන් කෙරෙහි සැක නොකෙරෙමි. ඒ ආස්‍රවයෝ මට ප්‍රහීණ වූවාහු ය යි විචිකිච්ඡා නො කෙරෙමි”යි යන මේ අරුත ම සැකෙවින් පැවසීමට මෙ ද නයෙකියි. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සුගතයන් වහන්සේ මෙය වදාරා හුනස්නෙන් නැගී වෙහෙරට පිවිසි සේක.
එහි දී ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ වැඩි නොබෝ වේලාවකින් භික්‍ෂූන් ඇමතූහ: ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ පෙර මවිසින් නො දන්නා ලද පළමු වන ප්‍රශ්නය මාගෙන් විතාළ සේක. ඒ මට ලැසිබවෙක් වී ය. ඇවැත්නි, යම් කලෙක භාග්‍යවතුන් වහන්සේ ම විසින් විසඳන ලද මාගේ පළමු වන ප්‍රශ්නය අනුමෝදන් වූ සේක් ද, ඇවැත්නි, ඒ මට මේ අදහස පහළ විය:
ඉදින් භාග්‍යවතුන් වහන්සේ මුළු දහවලක් ම වෙනස් වෙනස් පෙදෙන් වෙන් වෙන් නයින් මේ අරුත මගෙන් පුළුවුස්නා සේක් නම් මුළු දහවල ම වෙනස් වෙනස් පෙදෙන් වෙනස් වෙනස් නයින් මම මේ අරුත භාග්‍යවතුන් වහන්සේට පවසන්නෙමි.
ඉදින් භාග්‍යවතුන් වහන්සේ මුළු රැයක් ම වෙනස් වෙනස් පෙදෙන් වෙනස් වෙනස් නයින් මේ අරුත මගෙන් පුළුවුස්නා සේක් නම් මුළු රැය ම වෙනස් වෙනස් පෙදෙන් වෙනස් වෙනස් නයින් මම මේ අරුත භාග්‍යවතුන් වහන්සේට පවසන්නෙමි.
ඉදින් භාග්‍යවතුන් වහන්සේ මුළු රෑ දාවලක් ම වෙනස් වෙනස් පෙදෙන් වෙනස් වෙනස් නයින් මේ අරුත මගෙන් පුළුවුස්නා සේක් නම් මුළු රෑදාවලම වෙනස් වෙනස් පෙදෙන් වෙනස් වෙනස් නයින් මම භාග්‍යවතුන් වහන්සේට මේ අරුත පවසන්නෙමි.
ඉදින් භාග්‍යවතුන් වහන්සේ දෙරෑදවාලක් ම වෙනස් වෙනස් පෙදෙන් වෙනස් වෙනස් නයින් මේ අරුත මා පුළුවුස්නා සේක් නම් මුළු දෙරෑ දවාල ම වෙනස් වෙනස් පෙදෙන් වෙනස් වෙනස් නයින් මම මේ අරුත භාග්‍යවතුන් වහන්සේට පවසන්නෙමි.
ඉදින් භාග්‍යවතුන් වහන්සේ තුන් රෑදාවලක් ම මා ... ඉදින් භාග්‍යවතුන් වහන්සේ සිවු රෑදාවලක් ම මා ... ඉදින් භාග්‍යවතුන් වහන්සේ පස් රෑදාවලක් ම මා ... ඉදින් භාග්‍යවතුන් වහන්සේ ස රෑ දවාලක් ම මා ... ඉදින් භාග්‍යවතුන් වහන්සේ සත් රෑදාවලක් ම වෙනස් වෙනස් පෙදෙන් වෙනස් වෙනස් නයින් මේ අරුත මා පුළුවුස්නා සේක් නම් සත් රෑදාවල ම වෙනස් වෙනස් පෙදෙන් වෙනස් වෙනස් නයින් මම මේ අරුත භාග්‍යවතුන් වහන්සේට පවසන්නෙමි.
ඉක්බිති කළාරඛත්තිය මහණ තෙමේ හුනස්නෙන් නැඟිට භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය ... එකත්පසෙක හුන් කළාරඛත්තිය මහණතෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළේ ය:
වහන්ස, ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ විසින් (මෙසේ) සිංහනාද කරණ ලදී: “ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ (මා විසින්) පෙර නො දන්නා ලද පළමු වන ප්‍රශ්නය මා පුළුවුත් සේක. ඒ මට ලැසිබවෙක් විය. ඇවැත්නි, යම් කලෙක භාග්‍යවතුන් වහන්සේ මාගේ පළමු වන ප්‍රශ්නය අනුමෝදන් වූ සේක ද, ඒ මට මේ අදහස පහළ විය:
“ඉදින් භාග්‍යවතුන් වහන්සේ මුළු දාවලක් ම වෙනස් වෙනස් පෙදෙන් වෙනස් වෙනස් නයින් මේ අරුත මා පිළුවුස්නා සේක් නම්, මුළු දහවල ම වෙනස් වෙනස් පෙදෙන් වෙනස් වෙනස් නයින් මම මේ අරුත භාග්‍යවතුන් වහන්සේට පවසන්නෙමි.
ඉදින් භාග්‍යවතුන් වහන්සේ මුළු රැයක් ම වෙනස් වෙනස් පෙදෙන් වෙනස් වෙනස් නයින් මේ අරුත මගෙන් පුළුවුස්නා සේක් නම් මුළු, රැයම වෙනස් වෙනස් පෙදෙන් වෙනස් වෙනස් නයින් මම මේ අරුත භාග්‍යවතුන් වහන්සේට පවසන්නෙමි.
ඉදින් භාග්‍යවතුන් වහන්සේ මුළුරෑදාවලක් ම මා ... ඉදින් භාග්‍යවතුන් වහන්සේ දෙරෑදාවලක් ම මා .... ඉදින් භාග්‍යවතුන් වහන්සේ තුන් රෑදාවලක්ම මා ... ඉදින් භාග්‍යවතුන් වහන්සේ සිවු රෑදාවලක් ම මා ... පස් රෑදාවලක් ම මා .... ඉදින් භාග්‍යවතුන් වන්සේ සරෑදාවලක් මා ඉදින් භාග්‍යවතුන් වහන්සේ සත්රූදාවලක් ම වෙනස් වෙනස් පෙදෙන් වෙනස් වෙනස් නයින් මේ අරුත මා පුළුවුස්නාසේක් නම් සත්රූදාවල ම වෙනස් වෙනස් පෙදෙන් වෙනස් වෙනස් නයින් මම මේ අරුත භාග්‍යවතුන් වහන්සේට පවසන්නෙමි” යි.
මහණ, ඉදින් මම මුළු දවාලකුත් එකිනෙකට වෙනස් පෙදෙන් එකිනෙක වෙනස් නයින් මේ අරුත ශාරීපුත්‍රයන් පුළුවුස්නෙම් නම් යම් ධර්‍මධාතුවක් (ශ්‍රාවක පාරමීඥානයක්) මැනවින් අවබෝධ කරණ ලද බැවින්, ශාරීපුත්‍ර තෙමේ මුළුදවස ම එකිනෙකට වෙනස් පෙදෙන් එකිනෙකට වෙනස් නයින් මේ අරුත මට පවසන්නේනේ ද ඒ, ධර්‍මධාතු සඞ්ඛ්‍යාත ප්‍රත්‍යයාකාරය දක්නට සමර්‍ත්‍ථ ශ්‍රාවකපාරමීඥානය ශාරීපුත්‍රයන් විසින් මැනවින් අවබෝධ කරණ ලද්දේ ම ය.
ඉදින් මම මුළු රැයකුදු වෙනස් වෙනස් පෙදෙන් වෙනස් වෙනස් නයින් ශාරීපුත්‍රයන් මේ අරුත පුළුවුස්නෙම් නම් ශාරීපුත්‍ර තෙමේ මුළු රැය ම වෙනස් වෙනස් පෙදෙන් වෙනස් වෙනස් නයින් මේ අරුත මට පවසන්නේ ය.
ඉදින් මම මුළු රෑදාවලකුදු වෙනස් වෙනස් පෙදෙන් වෙනස් වෙනස් නයින් මේ අරුත ශාරීපුත්‍රයන් පුළුවුස් තෙමේ නම් ශාරීපුත්‍ර තෙමේ මුළු රෑදාවල ම වෙනස් වෙනස් පදෙන් වෙනස් වෙනස් නයින් මේ අරුත මට පවසන්නේය.
ඉදින් මම දෙ රෑදාවලකුදු වෙනස් වෙනස් පෙදෙන් වෙනස් වෙනස් නයින් මේ අරුත ශාරීපුත්‍රයන් පුළුවුස්නෙම් නම් ශාරීපුත්‍ර තෙමේ දෙ රෑදාවල ම වෙනස් වෙනස් පෙදෙන් වෙනස් වෙනස් නයින් මේ අරුත මට පවසන්නේය.
ඉදින් මම තුන් රෑදාවලකුදු ශාරීපුත්‍රයන් ... ඉදින් මම සිවු රෑදාවලකුදු ශාරීපුත්‍රයන් ... ඉදින් මම පස් රෑදාවලකුදු ශාරීපුත්‍රයන්ගෙන් ... ඉදින් මම සරෑදාවලකුදු ශාරීපුත්‍රයන්ගෙන් .... ඉදින් මම සත් රෑදාවලකුදු වෙනස් වෙනස් පදෙන් වෙනස් වෙනස් නයින් මේ අරුත ශාරීපුත්‍රයන්ගෙන් පුළුවුස්නෙම් නම් ශාරීපුත්‍ර තෙමේ සත්රූදාවල ම වෙනස් වෙනස් පෙදෙන් වෙනස් වෙනස් නයින් මේ අරුත මට පවසන්නේ යි.
1. 4. 3.
ඤාණවත්‍ථු සූත්‍රය
33. සැවැත්නුවර–
මහණෙනි, තොපට සිවුසාළිස් නුවණවත් දේශනා කරන්නෙමි. එය අසවු ... මහණෙනි, සිවුසාළිස් නුවණවත් කවර යත්:
ජරාමරණ දන්නා නුවණ ය, ජරාමරණ හටගැණීම දන්නා නුවණ ය, ජරාමරණ නැවැත්ම දන්නා නුවණ ය, ජරාමරණ නැවැත්මේ පිළි වෙත දන්නා නුවණ ය.
ඉපැදීම දන්නා නුවණ ය, ඉපැද්ම හටගැණීම දන්නා නුවණ ය, ඉපැද්මේ නැවැත්ම දන්නා නුවණ ය, ඉපැද්ම නැවැත්මේ පිළිවෙත දන්නා නුවණ ය.
භවය දන්නා නුවණ ය, භවයේ හටගැන්ම දන්නා නුවණ ය, භවයේ නැවැත්ම දන්නා නුවණ ය, භවය නැවැත්මේ පිළිවෙත දන්නා නුවණ ය.
උපාදාන දන්නා නුවණ ය. ... තෘෂ්ණාව දන්නා නුවණ ය. ... වේදනාව දන්නා නුවණ ය ... ස්පර්‍ශ දන්නා නුවණ ය ... ෂඩායතන දන්නා නුවණය ... නාමරූප දන්නා නුවණ ය ... විඥාන දන්නා නුවණ ය ... සංස්කාර දන්නා නුවණ ය, සංස්කාර හටගැණීම දන්නා නුවණ ය, සංස්කාර නැවැත්ම දන්නා නුවණ ය. සංස්කාර නැවැත්මේ පිළිවෙත දන්නා නුවණ ය. මහණෙනි, මේ සිවුසාළිස් නුවණවත් ය යි{*} කියනු ලැබේ.
මහණෙනි, ජරාමරණ නම් කවර? ඒ ඒ සත්ත්‍වයන්ගේ ඒ ඒ සත්ත්‍වනිකායෙහි යම් දිරීමෙක් දිරණබවෙක් දත් වැටීමෙක් කෙස් පැසීමෙක් ඇඟ රැළි වැටීමෙක් ආයු පිරිහීමෙක් ඉඳුරන් පැසීමෙක් වේ ද, මේ ජරා යංයි කියනු ලැබේ. ඒ ඒ සත්ත්‍වයන්ගේ ඒ ඒ සත්ත්‍වනිකායෙන් වෙන් වීමෙක් වෙන් වන බවෙක් බිඳීමෙක් අතුරුදන් වීමෙක් මච්වු නම් වූ මරණයෙක් කාලක්‍රියාවෙක් ස්කන්‍ධයන්ගේ බිඳීමෙක් සිරුර හැර දැමීමෙක් වේද, මේ මරණ ය යි කියනු ලැබේ. මෙසේ මේ ජරාව ද, මේ මරණය ද, මහණෙනි, මේ ජරාරමණ ය යි කියනු ලැබේ.
ජාතිය හටගැණීමෙන් ජරාමරණ හටගැණීම වේ. ජාතිය නැවැත්මෙන් ජරාමරණ නැවැත්ම වේ. මේ අරිඅටඟිමග ම ජරාමරණ නැවැත්මේ පිළිවෙත යි. එනම්: සම්මාදිට්ඨි ... සම්මාසමාධි යි.
මහණෙනි, යම් කලෙක ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ මෙසේ ජරාමරණ දනී ද, මෙසේ ජරාමරණසමුදය දනි ද, මෙසේ ජරාමරණනිරෝධය දනී ද, මෙසේ ජරාමරණනිරෝධගාමිනී ප්‍රතිපදාව දනී ද, මේ ඔහුගේ (සිවුසස්) දහම්හි නුවණ ය. හෙතෙමේ දක්නා ලද දන්නා ලද කල් නො යවා විපාක දෙන පැමිණෙන ලද බැසගන්නා ලද මේ මාර්‍ගඥානයෙන් (මතු ඇතිවන ප්‍රත්‍යවේක්‍ෂා ඥානයෙන්) අතීතයෙහිත් අනාගතයෙහිත් දහම් නය පමුණුවයි.
අතීත කාලයෙහි යම් කිසි ශ්‍රමණ කෙනෙක් හො බමුණු කෙනෙක් හෝ ජරාමරණ දත්තාහු ද, ජරාමරණසමුදය දත්තාහු ද, ජරාමරණනිරෝධය දත්තාහු ද, ජරාමරණනිරෝධගාමිනී ප්‍රතිපදාව දත්තාහු ද, ඒ සියල්ලෝ දැන් මම යම් සේ දනිමි නම් එසේ ම දත්තාහු ය. අනාගත කාලයෙහි යම් කිසි ශ්‍රමණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ ජරාමරණ දැන ගන්නාහු ද, ජරාමරණ සමුදයය දැන ගන්නාහු ද, ජරාමරණ නිරෝධය දැන ගන්නාහු ද, ජරාමරණ නිරෝධගාමිනී ප්‍රතිපදාව දැන ගන්නාහු ද, ඒ සියල්ලෝ දැන් මම යම් සේ දනිමි නම් එසේ ම දැන ගන්නාහු ය. මේ ඔහුගේ අන්‍වවයෙහි (ධර්‍මඥානානුගමනයෙහි ප්‍රත්‍යවේක්‍ෂා) ඥාන ය යි.
මහණෙනි, යම් කලෙක පටන් ආර්‍ය්‍යශ්‍රාවකයාගේ මාර්‍ගඥානයත් ප්‍රත්‍යවේක්‍ෂාඥානයත් යන මේ දෙනුවණ පිරිසිදු වූයේ ඉතා පිරිසිදු වූයේ වේ ද, මහණෙනි, මේ ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ දෘෂ්ටිසම්පන්න ය යි ද, දර්‍ශනසම්පන්න ය යි ද, මේ සද්ධර්‍මයට පැමිණියේ ය යි ද, මේ සද්ධර්‍මය දකී ය යි ද, ශෛක්‍ෂඥානයෙන් සමන්‍වාගත ය යි ද, ශෛක්‍ෂවිද්‍යායෙන් සමන්‍වාගත ය යි ද, ධර්‍මස්‍රෝතසට පැමිණියේ ය යි ද, ආර්‍ය්‍ය වු නිර්වේධිකප්‍රඥා ඇත්තේ ය යි ද, අමාදොරට හැපී සිටී ය යි ද කියනු ලැබේ.
මහණෙනි, ජාතිය නම් කවර යත්: ඒ ඒ සත්ත්‍වයන්ගේ යම් ... මහණෙනි, භවය නම් කවර යත්: ... මහණෙනි, උපාදාන නම් කවර යත්: ... මහණෙනි, තෘෂ්ණා නම් කවර යත්: මහණෙනි, වේදනාව නම් කවර යත්. ... මහණෙනි, ස්පර්‍ශය නම් කවර යත්: ... මහණෙනි, ෂඩායතන නම් කවර යත්: මහණෙනි, නාමරූප නම් කවර යත්: ... මහණෙනි, විඥානය නම් කවර යත්:... මහණෙනි, සංස්කාර නම් කවර යත්: මහණෙනි, මේ සංස්කාර තුණෙකි. කායසංස්කාර ය, වාක්සංස්කාර ය, චිත්තසංස්කාර ය යි. මහණෙනි, මොහු සංස්කාරයෝ ය යි කියනු ලැබෙත්.
අවිද්‍යාසමුදයෙන් සංස්කාරසමුදයය වේ. අවිද්‍යානිරෝධයෙන් සංස්කාර නිරෝධය වේ. මේ අරිඅටඟිමග ම සංස්කාර නිරෝධගාමිනී ප්‍රතිපදාව යි එනම්: සම්මාදිට්ඨිය ... සම්මාසම්ධි යි.
මහණෙනි, යම් කලෙක ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ මෙසේ සංස්කාර දනී ද, මෙසේ සංස්කාර සමුදය දනී ද, මෙසේ සංස්කාරනිරෝධය දනී ද, මෙසේ සංස්කාරනිරෝධගාමිනී ප්‍රතිපදාව දනීද, මේ ඔහුගේ මාර්‍ගඥාන ය යි. හෙතෙමේ දක්නා ලද දන්නා ලද අකාලික වූ පැමිණෙන ලද බැස ගන්නා ලද මේ මාර්‍ගඥානයෙන් අතීතයෙහිත් අනාගතයෙහිත් නය පමුණුවයි.
මහණෙනි, අතීතකාලයෙහිත් යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ සංස්කාර දත්තාහු ද සංස්කාර සමුදයය දත්තාහු ද සංස්කාරනිරෝධය දත්තාහු ද සංස්කාරනිරෝධගාමිනීප්‍රතිපදාව දත්තාහු ද ඒ සියල්ලෝ දැන් මම යම් සේ (දනිම්) ද එ සේ ම දත්තාහු ය. අනාගත කාලයෙහිත් යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ සංස්කාරයන් දැන්ගන්නාහු ද සංස්කාරසමුදය දැන ගන්නාහු ද සංස්කාරනිරෝධය දැන ගන්නාහු ද සංස්කාරනිරෝධගාමිනී ප්‍රතිපදාව දැන ගන්නාහු ද, ඒ සියල්ලෝ දැන් මම යම් සේ (දනිම්) ද, එසේ ම දැන ගන්නාහු ය. මේ ඔහුගේ අන්‍වයෙහි (ප්‍රත්‍යවේක්‍ෂා) ඥාන ය යි.
මහණෙනි, යම් කලෙක ආර්‍ය්‍ය ශ්‍රාවකයාගේ මාර්‍ගඥානයත් ප්‍රත්‍යවේක්‍ෂාඥානයත් මේ දෙනුවන පිරිසිදු වූයේ ඉතා පිරිසිදු වූයේ වේ ද, මහණෙනි, මේ ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ දෘෂ්ටිසම්පන්න ය යි ද, දර්‍ශනසම්පන්න ය යි ද, මේ සද්ධර්‍මයට පැමිණියේ ය යි ද, මේ සද්ධර්‍මය දකී ය යි ද, ශෛක්‍ෂඥානයෙන් සමන්‍වාගත ය යි ද, ශෛක්‍ෂවිද්‍යාවෙන් සමන්‍වාගත ය යි ද, ධර්‍මස්‍රෝතසට පැමිණියේ ය යි ද, ආර්‍ය්‍ය වු නිර්වේධිකප්‍රඥා ඇත්තේ ය යි ද, අමාදොරට හැපී සිටී ය යි ද කියනු ලැබේ.
1. 4. 4.
දුතියඤාණවත්‍ථු සූත්‍රය
34. සැවැත්නුවර–
මහණෙනි, තොපට සත්සැත්තෑ නුවණ දේශනා කරන්නෙමි. එය අසවු ... මහණෙනි, සත්සැත්තෑ නුවණ කවර යත්:
ජාතිප්‍රත්‍යයයෙන් ජරාමරණ වේ ය යි දන්නා නුවණ ය, ජාතිය නැති කල්හි ජරාමරණ නැතැයි දන්නා නුවණ ය, අතීත කාලයෙහි ද ජාතිප්‍රත්‍යයයෙන් ජරාමරණ වී ය යි දන්නා නුවණ ය, ජාතිය නැති කල්හි ජරාමරණ නැතැයි දන්නා නුවණ ය, අනාගත කාලයෙහි ද ජාතිප්‍රත්‍යයයෙන් ජරාමරණ වන්නේ ය යි දන්නා නුවණ ය, ජාතිය නැති කල්හි ජරාමරණ නැතැයි දන්නා නුවණ ය, යම් ඒ (යථෝක්ත) ප්‍රත්‍යයාකාර ඥානයක් වන්නේ නම් එ ද ක්‍ෂයස්වභාව ඇත්තේ ය, ව්‍යයස්වාභාව ඇත්තේ ය, විරාග ස්වභාව ඇත්තේ ය, නිරෝධස්වභාව ඇත්තේ ය යි දන්නා නුවණ ය.
භවප්‍රත්‍යයයෙන් ජාතිය වේ ය යි දන්නා නුවණ ය ... උපාදාන ප්‍රත්‍යයයෙන් භවය වේ ය යි. දන්නා නුවණ ය ... තෘෂ්ණා ප්‍රත්‍යයයෙන් උපාදාන වේ ය යි දන්නා නුවණ ය ... වේදනා ප්‍රත්‍යයයෙන් තෘෂ්ණාව වේ ය යි. දන්නා නුවණ ය ... ස්පර්‍ශප්‍රත්‍යයයෙන් වේදනාව වේ ය යි දන්නා නුවණ ය ... ෂඩායතනප්‍රත්‍යයයෙන් ස්පර්‍ශය වේ ය යි දන්නා නුවණ ය ... නාමරූපප්‍රත්‍යයයෙන් ෂඩායතන වේ ය යි දන්නා නුවණ ය ... විඥානප්‍රත්‍යයයෙන් නාමරූප වේ ය යි දන්නා නුවණ ය … සංස්කාරප්‍රත්‍යයයෙන් විඥානය වේ ය යි දන්නා නුවණ ය ...
අවිද්‍යාප්‍රත්‍යයයෙන් සංස්කාරයෝ වෙති යි දන්නා නුවණ ය, අවිද්‍යාව නැති කල්හි සංස්කාර නැතැ යි දන්නා නුවණ ය, අතීතකාලයෙහිත් අවිද්‍යාප්‍රත්‍යයයෙන් සංස්කාරයෝ වූහ යි දන්නා නුවණ ය, අවිද්‍යාව නැති කල්හි සංස්කාර නැතැයි දන්නා නුවණ ය, අනාගතකාලයෙහිත් අවිද්‍යාප්‍රත්‍යයයෙන් සංස්කාරයෝ වන්නාහ යි දන්නා නුවණ ය, අවිද්‍යාව නැති කල්හි සංස්කාර නැතැයි දන්නා නුවණ ය, යම් ඒ ප්‍රත්‍යායකාරඥානායක් වන්නේ නම් එය ක්‍ෂය ස්වභාව ඇත්තේ ය, ව්‍යයස්වභාව ඇත්තේ ය, විරාග ස්වභාව ඇත්තේ ය, නිරෝධ ස්වභාව ඇත්තේ ය යි දන්නා නුවණ ය. මහණෙනි, මේ සත්සැත්තෑනුවණ ය යි කියනු ලැබෙයි. {*}
1. 4. 5.
අවිජ්ජාදිපච්චය දේසනා සූත්‍රය