Saṁyutta Nikāya

Connected Discourses

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-30 · 15083 segments

පෙන්වන කොටස් 3201-3300 න් 15083

ආහාර ය, ඵග්ගුණ ය, සමණබ්‍රාහ්මණ දෙක ය,කච්චානගොත්ත ය, ධම්මකථික ය, අචේලකය, තිම්බරුක ය, බාලපණ්ඩිත ය, දසවැනි ප්‍රත්‍යය සූත්‍රය දැ යි සූත්‍ර දශයෙකි.
3. දසබල වර්‍ගය
1. 3. 1.
දසබල සූත්‍රය
21. සැවැත්නුවර–
මහණෙනි, දශබලයෙන් සමන්‍විත වූ සිවුවැදෑරුම් විසාරද බැවින් ද යුක්ත වූ තථාගත තෙමේ ශ්‍රේෂ්ඨස්ථානයට පැමිණෙයි. පිරිස්මැද සිංහනාද කෙරෙයි. බ්‍රහ්මචක්‍රය (=ධර්‍මචක්‍රය) පවත්වයි. (කෙසේ ද යත්:) මේ රූපය. රූපයේ හටගැන්ම මෙසේ ය. රූපයාගේ නිරෝධය මෙසේ ය. මේ ව්දනාව. වේදනාවේ හටගැන්ම මෙසේ ය. වේදනාවේ නිරෝධය මෙසේ ය. මේ සංඥාව. සංඥාවේ හටගැන්ම මෙසේ ය. සංඥාවේ නිරෝධය මෙසේ ය. මේ සංස්කාර. සංස්කාරයන්ගේ හටගැන්ම මෙසේ ය. සංස්කාරයන්ගේ නිරෝධය මෙසේ ය. මේ විඥානය. විඥානයේ හටගැන්ම මෙසේ ය. විඥානයේ නිරෝධය මෙසේ ය. මෙසේ මෙය ඇති කල්හි මෙය වේ. මෙය ඉපැද්මෙන් මෙය උපදී. මෙය නැති කල්හි මෙය නො වේ. මෙය නිරුද්ධ වීමෙන් මෙය නිරුද්ධ වේ.
ඒ කෙසේය යත්: අවිද්‍යාප්‍රත්‍යයයෙන් සංස්කාරයෝ වෙති. සංස්කාරප්‍රත්‍යයයෙන් විඥානය වේ. ... මෙසේ මේ හුදු දුක්රැසේ හටගැන්ම වේ. අවිද්‍යාවගේ ම අශේෂවිරාගනිරෝධයෙන් සංස්කාරනිරෝධය වේ. සංස්කාරනිරෝධයෙන් විඥානනිරෝධය වේ. ... මෙසේ මේ හුදු දුක්රැසේ නිරෝධය වේ.
1. 3. 2.
දෙවැනි දසබල සූත්‍රය
22. සැවැත්නුවර–
මහණෙනි, දසබලයෙන් සමන්‍වාගත වූ සිවුවැදෑරැම් විසාරද බැවින් යුක්ත වූ තථාගත තෙමේ ශ්‍රේෂ්ඨස්ථානයට පැමිණේ. පිරිස්මැද සිංහනාද කෙරෙයි. ධර්‍මචක්‍රය පවත්වයි. (කෙසේ ද යත්:) මේ රූපය. රූපයේ හටගැන්ම මෙසේ ය. රූපයේ නිරෝධය මෙසේ ය. මේ ව්දනාව. වේදනාවේ හටගැන්ම මෙසේ ය. වේදනාවේ නිරෝධය මෙසේ ය. මේ සංඥාව. සංඥාවේ හටගැන්ම මෙසේ ය. සංඥාවේ නිරෝධය මෙසේ ය. මේ සංස්කාරය. සංස්කාරයන්ගේ හටගැන්ම මෙසේ ය. සංස්කාරයන්ගේ නිරෝධය මෙසේ ය. මේ විඥානයැ. විඥානයේ හටගැන්ම මෙසේ ය. විඥානයේ නිරෝධය මෙසේ ය. මෙසේ මෙය ඇති කල්හි මෙය වෙයි. මෙය ඉපදීමෙන් මෙය උපදියි. මෙය නැති කල්හි මෙය නො වේ. මෙය නිරුද්ධ වීමෙන් මෙය නිරුද්ධ වේ.
කෙසේය යත්: අවිද්‍යාප්‍රත්‍යයයෙන් සංස්කාරයෝ වෙති. සංස්කාරප්‍රත්‍යයයෙන් විඥානය වේ, ... මෙසේ මේ හුදු දුක්රැසේ හටගැන්ම වේ. අවිද්‍යාවේ ම නිරවශේෂවිරාගනිරෝධයෙන් සංස්කාරනිරෝධය වේ සංස්කාරනිරෝධයෙන් විඥානනිරෝධය වේ. ... මෙසේ මේ හුදු දුක්රැසේ නිරෝධය වේ.
මහණෙනි, මෙසේ මා විසින් ධර්‍මය මනාකොට දේශනා කරණලද්දේ ය. ප්‍රකට කරණලද්දේ ය. විවෘත කරණලද්දේ ය. ප්‍රකාශ කරණලද්දේය. සුන්වැරහැලි ඇත්තේ ය, හෙවත් සුන්කසට ඇත්තේ ය. මහණෙනි, මෙසේ මා විසින් මොනොවට දේසනා කරණලද ප්‍රකට කරණලද විවෘත කරණලද ප්‍රකාශ කරණලද සුන්වැරහැලි ඇති ධර්‍මය ඇති කල්හි සැදැහැයෙන් පැවිදි වූ කුලපුතු විසින් “සිරුරෙහි සම ද නහර ද ඇට ද ඒකාන්තයෙන් ඉතිරි වේවා. මස් ලේ වියලේවා. පුරුෂ ශක්තියෙන් පුරුෂවීර්‍ය්‍යයෙන් පුරුෂපරාක්‍රමයෙන් පැමිණිය යුතු ඒ යමක් වේ නම් ඊට නො පැමිණ වීර්‍ය්‍යයාගේ සිටුමෙක් (=නැවැත්මෙක්) නො වන්නේ ය” යි වැර අරඹන්නට සුදුසු ම ය.
මහණෙනි, කුසීත පුද්ගල තෙමේ පවිටු අකුසල් දහමින් ගැවසුනේ දුක සේ වෙසෙයි. මහත් වූ ද යහපත් අර්‍ත්‍ථය පිරිහෙළයි. මහණෙනි, ඇරඹූ වැර ඇති පුඟුල් තෙමේ පවිටු අකුසල් දහමින් වෙන් වූයේ සුවසේ වෙසෙයි. මහත් වූ ද යහපත් අර්‍තවය සම්පූර්‍ණ කෙරෙයි (රහත් බවට පැමිණෙයි)
මහණෙනි, හීන වූ ශ්‍රද්ධාදියෙන් අග්‍ර වූ රහත් බවට පැමිණීමෙක් නො වේ. අග්‍ර වූ ශ්‍රද්ධාදියෙන් අග්‍ර වූ රහත්බවට පැමිණීම වේ. මහණෙනි, මේ බඹසර පහන් මිහිරි පැනක් බඳු ය. ශාස්තෲන් වහන්සේ හමු වූ සේක. මහණෙනි, එහෙයින් නො පැමිණි ධර්‍මයට පැමිණීම පිණිස අවබෝධ නො කළ ධර්‍මය අවබෝධ කිරීම පිණිස පසක් නො කළ ධර්‍මය පසක් කිරීම පිණිස වැර අරඹවු: “මෙසේ අපගේ පැවිද්ද නො සිස් වන්නේ ය. සඵල වන්නේ ය. වැඩීම් සහිත වන්නේ ය. අපි යම් කෙනකුන්ගේ සිවුරු පිණ්ඩපාත සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර වළඳමෝ නම් ඔවුන්ගේ ඒ සත්කාරයෝ අප විෂයයෙහි මහත්ඵල මහානිසංස වන්නාහ”යි. මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතු ය. මහණෙනි, ආත්මාර්‍ත්‍ථය අපේක්‍ෂා කරන්නහු විසිනුදු නො පමා ව සියලු කටයුතු සපයන්නට සුදුසු ම ය. පරාර්‍ත්‍ථය අපේක්‍ෂා කරන්නහු විසිනුදු නො පමාව සියලු කටයුතු සපයන්නට සුදුසු ම ය. මහණෙනි, උභයාර්‍ත්‍ථය අපේක්‍ෂා කරන්නහු විසිනුදු නො පමා ව සියලු කටයුතු සපයන්නට සුදුසු ම ය.
1. 3. 3.
උපනිස සූත්‍රය
23 සැවැත්නුවර–
මහණෙනි, මම දන්නහුට දක්නහුට ආස්‍රවක්‍ෂය කියමි. නො දන්නහුට නො දක්නහුට නො වේ. මහණෙනි, කුමක් දන්නහුට කුමක් දක්නහුට ආස්‍රවක්‍ෂය වේ ද? “මේ රූපය. රූපයේ හටගැන්ම මෙසේ ය. රූපයේ නිරෝධය මෙසේ ය. මේ වේදනා ය. ... මේ සංඥාය. ... මේ සංස්කාර ය. ... මේ විඥානය ය. විඥානයේ හටගැන්ම මෙසේ ය. විඥානයේ නිරෝධය මෙසේ ය”යි මහණෙනි මෙ සේ දන්නහුට මෙසේ දක්නහුට ආස්‍රවක්‍ෂය වේ.
මහණෙනි, ආස්‍රවක්‍ෂය වූ කල්හි අර්‍හත්ඵලසඞ්ඛ්‍යාත ක්‍ෂයයෙහි යම් ඒ ප්‍රත්‍යවේක්‍ෂාඥානයෙක් වන්නේ ද, එය ද ප්‍රත්‍යය සහිත ය යි කියමි. ප්‍රත්‍යය රහිත ය යි නො කියමි. මහණෙනි, ක්‍ෂයඥානයෙහි ප්‍රත්‍යය කුමක් ද? (අර්‍හත්ඵල) විමුක්තිය යි කිය යුතු වන්නේ ය. මහණෙනි, මම විමුක්තිය ද ප්‍රත්‍යය සහිත ය යි කියමි. ප්‍රත්‍යය රහිත ය යි නොකියමි. මහණෙනි, විමුක්තියට ප්‍රත්‍යය කුමක් ද? විරාගය (මාර්‍ගය) යි කිය යුතු වන්නේ ය. මහණෙනි, මම විරාගය ද ප්‍රත්‍යය සහිත ය යි කියමි. ප්‍රත්‍යය රහිත ය යි නො කියමි. මහණෙනි, විරාගයට ප්‍රත්‍යය කුමක් ද? නිර්වේදය යි කිය යුතු වන්නේ ය. මහණෙනි, නිර්වේදය ද ප්‍රත්‍යය සහිත යයි මම කියමි. ප්‍රත්‍යය රහිත ය යි නො කියමි. මහණෙනි, නිර්වේදයට ප්‍රත්‍යය කුමක් ද? යථාභූතඥානදර්‍ශනය යි කිය යුතු වන්නේ ය.
මහණෙනි, යථාභූතඥානදර්‍ශනය ද ප්‍රත්‍යය සහිත ය යි මම කියමි. ප්‍රත්‍යය රහිත ය යි නො කියමි. මහණෙනි, යථාභූතඥානදර්‍ශනයට ප්‍රත්‍යය කුමක් ද? සමාධිය යි කිය යුතු වන්නේ ය. මහණෙනි, මම සමාධිය ද ප්‍රත්‍යය සහිත ය යි කියමි. ප්‍රත්‍යය රහිත ය යි නො කියමි. මහණෙනි, සමාධියට ප්‍රත්‍යය කුමක් ද? සුඛය යි කිය යුතු වන්නේ ය. මහණෙනි, මම සුඛය ද ප්‍රත්‍යය සහිත යයි කියමි. ප්‍රත්‍යය රහිත ය යි නො කියමි. මහණෙනි, සුඛයට ප්‍රත්‍යය කුමක් ද? පස්සද්ධි ය යි කියයුතු වන්නේ ය. මහණෙනි, මම පස්සද්ධිය ද ප්‍රත්‍යය සහිත ය යි කියමි. ප්‍රත්‍යය රහිත ය යි නො කියමි. මහණෙනි, පස්සද්ධියට ප්‍රත්‍යය කුමක්ද? ප්‍රීතිය යි කිය යුතු වන්නේ ය. මහණෙනි, මම ප්‍රීතිය ද ප්‍රත්‍යය සහිත ය යි කියමි. ප්‍රත්‍යය රහිත ය යි නො කියමි. මහණෙනි, ප්‍රීතියට ප්‍රත්‍යය කුමක් ද? ප්‍රාමෝද්‍යය යි කිය යුතු වන්නේ ය. මහණෙනි, මම ප්‍රාමෝද්‍යය ද ප්‍රත්‍යය සහිත ය යි කියමි. ප්‍රත්‍යය රහිත ය යි නො කියමි.
මහණෙනි, ප්‍රාමෝද්‍යයට ප්‍රත්‍යය කුමක් ද? ශ්‍රද්ධාව යි කිය යුතු වන්නේ ය. මහණෙනි, මම ශ්‍රද්ධාව ද ප්‍රත්‍යය සහිත ය යි කියමි. ප්‍රත්‍යය රහිත ය යි නො කියමි. මහණෙනි, ශ්‍රද්ධාවට ප්‍රත්‍යය කුමක් ද? දුඃඛය යි කිය යුතු වන්නේ ය. මහණෙනි, මම දුඃඛය ද ප්‍රත්‍යය සහිත ය යි කියමි. ප්‍රත්‍යය රහිත ය යි නො කියමි මහණෙනි, දුඃඛයට ප්‍රත්‍යය කුමක් ද? ජාතිය යි කියයුතු වන්නේ ය. මහණෙනි, මම ජාතිය ද ප්‍රත්‍යය සහිත යයි කියමි. ප්‍රත්‍යය රහිත ය යි නො කියමි. මහණෙනි, ජාතියට ප්‍රත්‍යය කුමක් ද? භවය යි කිය යුතු වන්නේය. මහණෙනි, මම භවය ද ප්‍රත්‍යය සහිත ය යි කියමි. ප්‍රත්‍යය රහිත ය යි නො කියමි. මහණෙනි, භවයට ප්‍රත්‍යය කුමක් ද? උපාදානය යි කිය යුතු වන්නේ ය. මහණෙනි, මම උපාදානය ද ප්‍රත්‍යය සහිත ය යි කියමි. ප්‍රත්‍යය රහිත ය යි නො කියමි. මහණෙනි, උපාදානයට ප්‍රත්‍යය කුමක් ද? තෘෂ්ණාව යි කිය යුතු වන්නේ ය. මහණෙනි, මම තෘෂ්ණාව ද ප්‍රත්‍යය සහිත ය යි කියමි. ප්‍රත්‍යය රහිත ය යි නො කියමි. මහණෙනි, තෘෂ්ණාවට ප්‍රත්‍යය කුමක් ද? වේදනාව යි කිය යුතු වන්නේ ය. මහණෙනි, මම වේදනාව ද ප්‍රත්‍යය සහිත ය යි කියමි. ප්‍රත්‍යය රහිත ය යි නො කියමි. මහණෙනි, වේදනාවට ප්‍රත්‍යය කුමක් ද? ස්පර්‍ශය යි කිය යුතු වන්නේ ය. මහණෙනි, මම ස්පර්‍ශය ද ප්‍රත්‍යය සහිත ය යි කියමි. ප්‍රත්‍යය රහිත ය යි නො කියමි.
මහණෙනි, ස්පර්‍ශයට ප්‍රත්‍යය කුමක් ද? ෂඩායතනය යි කිය යුතු වන්නේ ය. මහණෙනි, මම ෂඩායතනය ද ප්‍රත්‍යය සහිත ය යි කියමි. ප්‍රත්‍යය රහිත ය යි නො කියමි. මහණෙනි, ෂඩායතනයට ප්‍රත්‍යය කුමක් ද? නාමරූප යි කිය යුතු වන්නේ යි. මහණෙනි, මම නාමරූප ද ප්‍රත්‍යය සහිත ය යි කියමි. ප්‍රත්‍යය රහිත ය යි නො කියමි. මහණෙනි, නාමරූපයට ප්‍රත්‍යය කුමක් ද? විඥානය යි කිය යුතු වන්නේ ය. මහණෙනි, මම විඥානය ද ප්‍රත්‍යය සහිත ය යි කියමි. ප්‍රත්‍යය රහිත ය යි නො කියමි. මහණෙනි, විඥානයට ප්‍රත්‍යය කුමක් ද? සංස්කාර ය යි කිය යුතු වන්නේ ය. මහණෙනි, සංස්කාර ද ප්‍රත්‍යය සහිත ය යි කියමි. ප්‍රත්‍යය රහිත ය යි නො කියමි. මහණෙනි, සංස්කාරයන්ට ප්‍රත්‍යය කුමක් ද? අවිද්‍යාව යි කිය යුතු වන්නේ ය.
මහණෙනි, මෙසේ සංස්කාරයෝ අවිද්‍යාව ප්‍රත්‍යය කොට ඇත්තාහ. විඥානය සංස්කාර ප්‍රත්‍යය කොට ඇත්තේ ය. නාමරූප විඥානය ප්‍රත්‍යය කොට ඇත්තේ ය. ෂඩායතන නාමරූප ප්‍රත්‍යය කොට ඇත්තේ ය. ස්පර්‍ශය ෂඩායතන ප්‍රත්‍යය කොට ඇත්තේ ය. වේදනාව ස්පර්‍ශය ප්‍රත්‍යය කොට ඇත්තේ ය. තෘෂ්ණාව වේදනාව ප්‍රත්‍යය කොට ඇත්තේ ය උපාදාන තෘෂ්ණාව ප්‍රත්‍යය කොට ඇත්තේ ය. භවය උපාදාන ප්‍රත්‍යය කොට ඇත්තේ ය. ජාතිය භවය ප්‍රත්‍යය කොට ඇත්තේ ය. දුඃඛය ජාතිය ප්‍රත්‍යය කොට ඇත්තේ ය. ශ්‍රද්ධාව දුඃඛය ප්‍රත්‍යය කොට ඇත්තේ ය. ප්‍රමෝද්‍යය ශ්‍රද්ධාව ප්‍රත්‍යය කොට ඇත්තේ ය. ප්‍රීතිය ප්‍රමෝද්‍යය ප්‍රත්‍යය කොට ඇත්තේ ය. පස්සද්ධිය ප්‍රීතිය ප්‍රත්‍යය කොට ඇත්තේ ය. සුඛය පස්සද්ධිය ප්‍රත්‍යය කොට ඇත්තේ ය. සමාධිය සුඛය ප්‍රත්‍යය කොට ඇත්තේ ය. යථාභූතඥානදර්‍ශනය සමාධිය ප්‍රත්‍යය කොට ඇත්තේ ය. නිර්වේදය යථාභූතඥානදර්‍ශනය ප්‍රත්‍යය කොට ඇත්තේ ය. විරාගය නිර්වේදය ප්‍රත්‍යය කොට ඇත්තේය. විමුක්තිය විරාගය ප්‍රත්‍යය කොට ඇත්තේ ය. ප්‍රත්‍යවේක්‍ෂාඥානය විමුක්තිය ප්‍රත්‍යය කොට ඇත්තේ ය.
මහණෙනි, කඳුමුදුනක මහත් දියබිඳු ඇති වැස්ස වස්නා කල්හි ඒ දිය පහත් බිම අනුව පවත්නේ කඳු බෑවුම් පැළිවිවර හා කුඩා දිය අගල් යම් සේ පුරවා ද, කඳුබෑවුම් පැළිවිවර සහ කුඩා දිය අගල් පිරුණාහු කුඩා වළවල් පුරවත් ද, කුඩා වළවල් පිරුණාහු මහ වළවල් පුරවත් ද, මහවළවල් පිරුණාහු කුඩා ගඞ්ගා පුරවත් ද, කුඩා ගඞ්ගා පිරුණාහු මහාගඞ්ගා පුරවත් ද, මහාගඞ්ගා පිරුණාහු මහසමුදුර පුරවත් ද,
මහණෙනි, එපරිද්දෙන් ම සංස්කාරයෝ අවිද්‍යාව ප්‍රත්‍යය කොට ඇත්තාහ. විඥානය සංස්කාර ප්‍රත්‍යය කොට ඇත්තේ ය. නාමරූප විඥානය ප්‍රත්‍යය කොට ඇත්තේ ය ෂඩායතන නාමරූප ප්‍රත්‍යය කොට ඇත්තේ ය. ස්පර්‍ශය ෂඩායතන ප්‍රත්‍යය කොට ඇත්තේ ය. වේදනාව ස්පර්‍ශය ප්‍රත්‍යය කොට ඇත්තේ ය. තෘෂ්ණාව වේදනාව ප්‍රත්‍යය කොට ඇත්තේ ය. උපාදාන තෘෂ්ණාව ප්‍රත්‍යය කොට ඇත්තේ ය. භවය උපාදාන ප්‍රත්‍යය කොට ඇත්තේ ය. ජාතිය භවය ප්‍රත්‍යය කොට ඇත්තේ ය. දුඃඛය ජාතිය ප්‍රත්‍යය කොට ඇත්තේ ය. ශ්‍රද්ධාව දුඃඛය ප්‍රත්‍යය කොට ඇත්තේ ය. ප්‍රමෝද්‍යය ශ්‍රද්ධාව ප්‍රත්‍යය කොට ඇත්තේ ය. ප්‍රීතිය ප්‍රමෝද්‍යය ප්‍රත්‍යය කොට ඇත්තේ ය. පස්සද්ධිය ප්‍රීතිය ප්‍රත්‍යය කොට ඇත්තේ ය. සුඛය පස්සද්ධිය ප්‍රත්‍යය කොට ඇත්තේ ය. සමාධිය සුඛය ප්‍රත්‍යය කොට ඇත්තේ ය. යථාභූතඥානදර්‍ශනය සමාධිය ප්‍රත්‍යය කොට ඇත්තේ ය. නිර්වේදය යථාභූතඥානදර්‍ශනය ප්‍රත්‍යය කොට ඇත්තේ ය. විරාගය නිර්වේදය ප්‍රත්‍යය කොට ඇත්තේ ය. විමුක්තිය විරාගය ප්‍රත්‍යය කොට ඇත්තේ ය. ප්‍රත්‍යවේක්‍ෂාඥානය විමුක්තිය ප්‍රත්‍යය කොට ඇත්තේ ය.
1. 3. 4.
අඤ්ඤතිත්‍ථිය සූත්‍රය
24. රජගහනුවර –
ඉක්බිති ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ පෙරවරු හැඳ පෙරව පා සිවුරැ ගෙණ රජගහනුවරට පිඬු පිණිස පිවිසි සේක. එකල්හි ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේට, “රජගහ නුවර පිඬු පිණිස හැසිරීමට ඉතා අලුයම මම අන්තොටු පිරිවැජ්ජන්ගේ අරම කරා එළඹෙන්නෙම් නම් ඉතා යෙහෙකැ”යි මේ අදහස පහළ විය. ඉක්බිති ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ අන්තොටු පිරිවැජ්ජන්ගේ අරම කරා එළැඹියහ. එළැඹ ඒ අන්තොටු පිරිවැජ්ජන් සමග සතුටු වූහ. සතුටු විය යුතු සිහි කටයුතු කථා කොට නිමවා එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන්නා වූ ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේට ඒ අන්තොටු පිරිවැජ්ජෝ මෙය කීවාහු ය:
ඇවැත්නි ශාරීපුත්‍රයෙනි, කර්‍මවාදී වූ ඇතැම් මහණබමුණෝ ඇත්තාහ. ඔහු දුක තමා විසින් කරණ ලද්දේ ය යි පණවත්. ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, කර්‍මවාදී වූ ඇතැම් මහණ බමුණෝ ඇත්තාහ. ඔහු දුක මෙරමා විසින් කරණ ලද්දේ ය යි පණවත්. ඇවැත්නි ශාරීපුත්‍රයෙනි, කර්‍මවාදී වූ ඇතැම් මහණ බමුණෝ ඇත්තාහ. ඔහු දුක තමා විසිනුත් මෙරමා විසිනුත් කරණ ලදැ යි පණවත්. ඇවැත්නි ශාරීපුත්‍රයෙනි. කර්‍මවාදී වූ ඇතැම් මහණ බමුණෝ ඇත්තාහ. ඔහු දුක තමා විසිනුත් මෙරමා විසිනුත් නො කරණ ලද්දේ ආකස්මිකව (ඉබේ) හට ගත්තේ ය යි පණවත්. ඇවැත්නි ශාරීපුත්‍රයෙනි, මෙහි ලා මහණ ගොයුම් තෙමේ කිනම් වාද ඇත්තේ ද, කුමක් කියන සුලු වූයේ ද, කෙසේ විසඳන්නා වූ අපි මහණ ගොයුම්හු විසින් කියන ලද්දක් කියන්නමෝ ද? මහණ ගොයුම්හට බොරුවෙන් නො ම අබිබවා කියන්නමෝ ද? දහමට ද අනුදහමක් පවසන්නමෝ ද? කරුණු සහිත කිසියම් වාදානුපාතයෙක් ගැරහිය යුතු තැනට නොම පැමිණෙන්නේ ද’යි.
ඇවැත්නි, දුක ප්‍රත්‍යයයෙන් හට ගත්තෙකැ යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදී. කුමක් ප්‍රත්‍යය කොට ද? ස්පර්‍ශය ප්‍රත්‍යය කොට ය. මෙසේ කියන්නේ භාග්‍යවතුන් වහන්සේ විසින් කියන ලද්දක් කියන්නේ වන්නේ ය. භාග්‍යවතුන් වහන්සේට බොරුවෙන් නො ද අබිබවා කියන්නේ ය. දහමට ද අනුදහමක් පවසන්නේ ය. කරුණු සහිත කිසියම් වාදානුපාතයෙක් ගැරහිය යුතු තැනට නො ද පැමිණෙන්නේ ය.
ඇවැත්නි, කර්‍මවාදී වූ යම් ඒ මහණ බමුණු කෙනෙක් දුක තමා විසින් කරණ ලද්දේ ය යි පණවත් ද, එ ද ස්පර්‍ශප්‍රත්‍යයෙනි. කර්‍මවාදී වූ යම් ඒ මහණ බමුණු කෙනෙකුත් දුක මෙරමා විසින් කරණ ලදැ යි පණවද් ද, එ ද ස්පර්‍ශප්‍රත්‍යයෙනි. කර්‍මවාදී වූ යම් ඒ මහණ බමුණු කෙනෙකුත් දුක තමා විසිනුදු මෙරමා විසිනුදු කරණ ලදැ යි පණවත් ද, එ ද ස්පර්‍ශප්‍රත්‍යයෙනි. කර්‍මවාදී වූ යම් ඒ මහණ බමුණු කෙනෙකුත් දුක තමා විසිනුත් මෙරමා විසිනුත් නො කරණ ලද්දේ ආකස්මිකව හටගත්තේ ය යි පණවද් ද, එ ද ස්පර්‍ශප්‍රත්‍යයෙනි.
ඇවැත්නි, එහි කර්‍මවාදී වූ යම් ඒ මහණ බමුණු කෙනෙක් දුක තමා විසින් කරණ ලද්දේ ය යි පණවද් ද, ඔහු ඒකාන්තයෙන් ස්පර්‍ශයෙන් වෙන් ව (දුක්වේදනා) විඳින්නාහු ය යන මේ කාරණය විද්‍යාමාන නො වේ. කර්‍මවාදී වූ යම් ඒ මහණ බමුණු කෙනෙක් දුක මෙරමා විසින් කරණ ලදැ යි පණවත් ද, ඔහු ඒකාන්තයෙන් ස්පර්‍ශයෙන් වෙන් ව විඳින්නාහු ය යන මේ කාරණය විද්‍යාමාන නො වේ කර්‍මවාදී වූ යම් ඒ මහණ බමුණු කෙනෙක් දුක තමා විසිනුත් මෙරමා විසිනුත් කරණ ලදැ යි පණවත් ද, ඔහු ඒකාන්තයෙන් ස්පර්‍ශයෙන් වෙන් ව විඳින්නාහු ය යන මේ කාරණය විද්‍යාමාන නො වේ. කර්‍මවාදී වූ යම් ඒ මහණ බමුණු කෙනෙකුත් දුක තමා විසිනුදු මෙරමා විසිනුදු නො කරණ ලද්දේ ඉබේ හට ගත්තේ යයි පණවත් ද, ඔහු ඒකාන්තයෙන් ස්පර්‍ශයෙන් වෙන් ව විඳින්නාහු ය යන මේ කාරණය විද්‍යාමාන නොවේ.
ආයුෂ්මත් ආනන්‍දස්ථවිර තෙම් ඒ අන්තොටු පිරිවැජ්ජන් සමග ආයුෂ්මත් ශාරීපුත්‍රස්ථවිරයන් වහන්සේගේ මේ කථාසල්ලාපය ඇසුයේ ම ය. ඉක්බිති ආයුෂ්මත් ආනන්‍දස්ථවිර තෙමේ රජගහනුවර පිඬු පිණිස හැසිරැ පසුබත පිණ්ඩපාතයෙන් වැළකුනේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේට වැඳ එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් ආයුෂ්මත් ආනන්‍දස්ථවිර තෙමේ ඒ අන්තොටු පිරිවැජ්ජන් සමග ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේ යම් පමණ කථාසල්ලාපයෙක් වී ද, ඒ සියල්ල භාග්‍යවතුන් වහන්සේට සැළ කෙළේය.
ආනන්‍ද, මැනවි. මැනවි. ශාරීපුත්‍ර තෙමේ ම පවසන්නේ මොනොවට පවසන්නේ ය. ආනන්‍ද, දුක ප්‍රත්‍යයෙන් හට ගත්තේ ය යි මා විසින් කියන ලදි. කුමක් ප්‍රත්‍යය කොට ද? ස්පර්‍ශය ප්‍රත්‍යය කොට ය. මෙසේ කියන්නේ මා විසින් කියන ලද්දක් කියන්නේ වන්නේ ය. මා බොරුවෙන් නො ම අබිබවා කියන්නේ ය. දහමට ද අනුදහමක් පවසන්නේ ය. කරුණු සහිත කිසියම් වාදානුපාතයෙක් ගැරහිය යුතු තැනට නොද පැමිණෙන්නේ ය.
ආනන්‍ද, එහි කර්‍මවාදී වූ යම් ඒ මහණ බමුණු කෙනෙක් දුක තමා විසින් කරණ ලද්දේ යයි පණවද් ද, එ ද ස්පර්‍ශ ප්‍රත්‍යයයෙනි. යම් ඒ ... යම් ඒ ... යම් ඒ කර්‍මවාදී වූ මහණ බමුණු කෙනෙකුත් දුක තමා විසිනුදු මෙරමා විසිනුදු නො කරණ ලද්දේ ඉබේ හට ගත්තේ ය යි පණවද් ද, එ ද ස්පර්‍ශප්‍රත්‍යයයෙනි.
ආනන්‍ද, එහි කර්‍මවාදී වූ යම් මහණ බමුණු කෙනෙකුත් දුක තමා විසින් කරණ ලද්දේ ය යි පවසද් ද, ඔහු ඒකාන්තයෙන් ස්පර්‍ශයෙන් වෙන් ව විඳින්නාහු ය යන මේ කාරණය විද්‍යාමාන නොවේ. යම් ඒ ... යම් ඒ ... යම් ඒ කර්‍මවාදී වූ මහණ බමුණු කෙනෙකුත් දුක තමා විසිනු දු මෙරමා විසිනු දු නො කරණ ලද්දේ ඉබේ හට ගත්තේ ය යි පණවත් ද, ඔහු ඒකාන්තයෙන් ස්පර්‍ශයෙන් වෙන් ව විඳින්නාහු ය යන මේ කාරණය විද්‍යාමාන නො වේ.
ආනන්‍ද, එක්කලෙක මම මේ රජගහනුවර ම කලන්‍දකනිවාප නම් වූ වේළුවනාරාමයෙහි වෙසෙමි. ආනන්‍ද එකල්හි මම පෙරවරු හැඳ පෙරව පාසිවුරු ගෙණ රජගහනුවරට පිඬු පිණිස පිවිසියෙමි. ආනන්‍ද, ඒ මට රජගහනුවර පිඬු පිණිස හැසිරීමට කල් වැඩි ය, මම අන්තොටු පිරිවැජ්ජන්ගේ අරම කරා එළඹෙන්නෙම් නම් යෙහෙකැ”යි මේ අදහස වී ය. ආනන්‍ද, එකල්හි මම අන්තොටු පිරිවැජ්ජන්ගේ අරම වෙත එළඹියෙමි. එළඹ ඒ අන්තොටු පිරිවැජ්ජන් සමග සතුටු වීමි. සතුටු විය යුතු සිහි කටයුතු කථා කොට නිමවා එකත්පසෙක හිඳගත්තෙමි. ආනන්‍ද, එකත්පසෙක හිඳ ගත් මට ඒ අන්තොටු පිරිවැජ්ජෝ මෙය කීහ:
ඇවැත්නි ගෞතමයෙනි, කර්‍මවාදී වූ ඇතැම් මහණ බමුණෝ ඇත්තාහ. ඔහු දුක තමා විසින් කරණ ලදැයි පණවත්. ඇවැත්නි, ගෞතමයෙනි, කර්‍මවාදී වූ ඇතැම් මහණ බමුණෝ ඇත්තාහ. ඔහු දුක මෙරමා විසින් කරණ ලදැ යි පණවත්. ඇවැත්නි, ගෞතමයෙනි, කර්‍මවාදී වූ ඇතැම් මහණ බමුණෝ ඇත්තාහ. ඔහු දුක තමා විසිනුත් මෙරමා විසිනුත් කරණ ලදැ යි පණවත්. ඇවැත්නි, ගෞතමයෙනි, කර්‍මවාදී වූ ඇතැම් මහණ බමුණෝ ඇත්තාහ. ඔහු දුක තමා විසිනුත් මෙරමා විසිනුත් නො කරණ ලද්දේ ඉබේ හට ගත්තේ යයි පණවත්. මෙහි ලා අපගේ ආයුෂ්මත් ගෞතම තෙමේ කිනම් වාද ඇත්තේ ද, කුමක් කියන සුලු ද? කෙසේ විසඳන්නා වූ අපි ආයුෂ්මත් ගෞතමයන් විසින් කියන ලද්දක් කියන්නෝත් වන්නමෝ ද; ආයුෂ්මත් ගෞතමයන්ට බොරුවෙන් නො ද අභ්‍යාඛ්‍යාන කියන්නමෝ ද, දහමට අනුදහමක් පවසන්නමෝ ද, කරණු සහිත කිසියම් වාදානුපාතයෙක් පැමිණෙන්නේ ද යි.
ආනන්‍ද, මෙසේ කියන ලද මම ඒ අන්තොටු පිරිවැජ්ජන්ට මේ කීයෙමි. ඇවැත්නි, දුක ප්‍රත්‍යයෙන් හට ගත්තෙකැ යි මා විසින් කියන ලදී. කුමක් ප්‍රත්‍යය කොට ද? ස්පර්‍ශය ප්‍රත්‍යය කොට ය. මෙසේ කියන්නේ මා විසින් කියන ලද්දක් කියන්නේත් වන්නේ ය. මට බොරුවෙන් නො ද අභ්‍යාඛ්‍යාන කරන්නේය දහමට ද අනුදහමක් පවසන්නේ ය. කරුණු සහිත කිසියම් වාදානුපාතයෙක් ගැරහිය යුතු තැනට නො ද පැමිණෙන්නේ ය යි.
ඇවැත්නි, එහි කර්‍මවාදී වූ යම් ඒ මහණ බමුණු කෙනෙක් දුක තමා විසින් කරණ ලදැ යි පණවද් ද, එ ද ස්පර්‍ශප්‍රත්‍යයයෙනි, යම් ඒ ... යම් ඒ ... යම් ඒ කර්‍මවාදී වූ මහණ බමුණු කෙනෙකුත් දුක තමා විසිනුදු මෙරමා විසිනුදු නො කරණ ලද්දේ ඉබේ හට ගත්තේ ය යි පණවද්ද, එද ස්පර්‍ශප්‍රත්‍යයයෙනි.
ඇවැත්නි, එහි කර්‍මවාදී වූ යම් ඒ මහණ බමුණු කෙනෙක් දුක තමා විසින් කරණ ලද්දේ ය යි පණවද් ද, ඔහු ඒකාන්තයෙන් ස්පර්‍ශයෙන් වෙන් ව (වේදනා) විඳින්නාහු ය යන් මේ කාරණය විද්‍යාමාන නො වේ. යම් ඒ ... යම් ඒ ... යම් ඒ කර්‍මවාදී වූ මහණ බමුණු කෙනෙකුත් දුක තමා විසිනුදු මෙරමා විසිනුදු නො කරණ ලද්දේ ඉබේ හට ගත්තේ ය යි පණවද්ද, ඔහු ඒකාන්තයෙන් ස්පර්‍ශයෙන් වෙන් ව විඳින්නාහු ය යන් මේ කාරණය විද්‍යාමාන නො වේ යි.
වහන්ස, ආශ්චර්‍ය්‍යයෙකි! වහන්ස, පුදුමයෙකි යම් හෙයෙකින් නම් එක් පදයකින් සියලු අර්‍ත්‍ථය කියන ලද්දේ වන්නේ ද, (එහෙයිනි.) වහන්ස, මේ අරුත ම විතර විසින් කියනු ලබන්නේ ගැඹුරු වූයේත් ගැඹුරැ වැටහීම් ඇත්තේත් වන්නේ දෝ, ආනන්‍ද, එසේ වූ නම් එය ම මෙහි ලා වැටහේ වා.
වහන්ස, ඉදින් මා ඇවැත්නි ආනන්‍දයෙනි, ජරාමරණ කුමක් නිදාන කොට ඇත්තේ ද, කුමක් උත්පත්තිහේතු කොට ඇත්තේ ද , කුමක් ජාති කොට ඇත්තේ ද, කුමක් ප්‍රභව කොට ඇත්තේ දැ”යි මෙසේ විචාරන්නාහු නම්, වහන්ස, මෙසේ විචාරණ ලද මම මෙසේ විසඳන්නෙමි. ඇවැත්නි, ජරාමරණ ජාතිය නිදාන කොට ඇත්තේ ය. ජාතිය හට ගැණුම් කොට ඇත්තේ ය. ජාතිය ජාති කොට ඇත්තේ ය. ජාතිය ප්‍රභව කොට ඇත්තේ යයි. වහන්ස, එසේ විචාරණ ලද මම මෙසේ විසඳන්නෙමි.
වහන්ස, ඉදින් මා “ඇවැත්නි, ආනන්‍දයෙනි, ජාතිය කුමක් නිදාන කොට ඇත්තේ ද? කුමක් සමුදය කොට ඇත්තේ ද? කුමක් ජාතිය කොට ඇත්තේ ද? කුමක් ප්‍රභව කොට ඇත්තේ දැ”යි මෙසේ විචාරන්නාහු නම් වහන්ස, එසේ විචාරණ ලද මම මෙසේ විසඳන්නෙමි. “ඇවැත්නි, ජාතිය භවය නිදාන කොට ඇත්තේ ය. භවය සමුදය කොට ඇත්තේ ය. භවය ජාති කොට ඇත්තේ ය. භවහ ප්‍රභව කොට ඇත්තේ ය”යි. වහන්ස, එසේ විචාරණ ලද මම මෙසේ විසඳන්නෙමි.
වහන්ස, ඉදින් මා “ඇවැත්නි ආනන්‍දයෙනි, භවහ කුමක් නිදාන කොට ඇත්තේ ද? කුමක් සමුදය කොට ඇත්තේ ද? කුමක් ජාති කොට ඇත්තේ ද? කුමක් ප්‍රභව කොට ඇත්තේ දැ”යි මෙසේ විචාරන්නාහු නම් වහන්ස, එසේ විචාරණ ලද මම මෙසේ විසඳන්නෙමි. “ඇවැත්නි, භවය උපාදාන නිදාන කොට ඇත්තේ ය. උපාදාන සමුදය කොට ඇත්තේ ය. උපාදාන ජාති කොට ඇත්තේ ය. උපාදාන ප්‍රභව කොට ඇත්තේ ය”යි. වහන්ස, එසේ විචාරණ ලද මම මෙසේ විසඳන්නෙමි.
වහන්ස, ඉදින් මා මෙසේ විචාරන්නාහු නම් “ඇවැත්නි, උපාදාන ... ඇවැත්නි, තෘෂ්ණාව ... ඇවැත්නි, වේදනාව ...
වහන්ස, ඉදින් මා “ඇවැත්නි, ආනන්‍දයෙනි, ස්පර්‍ශය කුමක් නිදාන කොට ඇත්තේ ද? කුමක් සමුදය කොට ඇත්තේ ද? කුමක් ජාති කොට ඇත්තේ ද? කුමක් ප්‍රභව කොට ඇත්තේ දැ? යි මෙසේ විචාරන්නාහු නම් වහන්ස, එසේ විචාරන ලද මම මෙසේ විසඳන්නෙමි. “ඇවැත්නි, ස්පර්‍ශය ෂඩායතන නිදාන කොට ඇත්තේ ය, ෂඩායතන සමුදය කොට ඇත්තේ ය, ෂඩායතන ජාති කොට ඇත්තේ ය, ෂඩායතන ප්‍රභව කොට ඇත්තේ ය.
ඇවැත්නි, ස්පර්‍ශායතන සයෙහි ම නිරවශේෂවිරාගනිරෝධයෙන් ස්පර්‍ශ නිරෝධය වේ ස්පර්‍ශනිරෝධයෙන් වේදනානිරෝධය වේ. වේදනානිරෝධයෙන් තෘෂ්ණානිරෝධය වේ. තෘෂ්ණානිරෝධයෙන් උපාදානනිරෝධය වේ. උපාදානනිරෝධයෙන් භවනිරෝධය වේ. භවනිරෝධයෙන් ජාතිනිරෝධය වේ. ජාතිනිරෝධයෙන් ජරාමරණ සෝකපරිදේව දුක්ඛ දෝමනස්සුපායාසයෝ නිරුද්ධ වෙත්. මෙසේ මේ හුදු දුක් රැසේ නිරෝධය වේ ය”යි. වහන්ස, එසේ විචාරණ ලද මම මෙසේ විසඳන්නෙමි.
1. 3. 5.
භූමිජ සූත්‍රය
25. සැවැත්නුවර–
ඉක්බිති ආයුෂ්මත් භූමිජ ස්ථිවිර තෙමේ සවස්කල පටිසල්ලානයෙන් නැඟී සිටියේ ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ කරා එළඹියේ ය. එළඹ ආයුෂ්මත් ශාරීපුත්‍රස්ථවිරයන් වහන්සේ සමග සතුටු වීය. සතුටු වියයුතු වූ සිහි කටයුතු වූ කථාව කොට නිමවා එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් ආයුෂ්මත් භූමිජ ස්ථවිර තෙමේ ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේට මෙය සැළ කළේය:
ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, කර්‍මවාදී වූ ඇතැම් මහණබමුණෝ ඇත්තාහ. ඔහු සුවදුක් තමා විසින් කරණලද්දේ යයි පණවත්. ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, කර්‍මවාදී වූ ඇතැම් මහණබමුණෝ ඇත්තාහ ඔහු සුවදුක් මෙරමා විසින් කරණලද්දේ යයි පණවත්. ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, කර්‍මවාදී වූ ඇතැම් මහණබමුණෝ ඇත්තාහ. ඔහු සුවදුක් තමා විසිනුදු මෙරමා විසිනුදු කරණලද්දේ යයි පණවත්. ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, කර්‍මවාදී වූ ඇතැම් මහණබමුණෝ ඇත්තාහ. ඔහු සුවදුක් තමා විසිනුදු මෙරමා විසිනුදු නො කරණලද්දේ ඉබේ හටගත්තකැ යි පණවත්.
ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, මෙහි ලා අපගේ භාග්‍යවතුන් වහන්සේ කිනම් වාද ඇති සේක් ද? කුමක් කියන සුලු සේක් ද? කෙසේ විසඳන්නා වූ අපි භාග්‍යවතුන් වහන්සේ විසින් කියනලද්දක් කියන්නෝත් වන්නමෝ ද? භාග්‍යවතුන් වහන්සේට බොරුවෙන් නො ද අබිබවා කියන්නමෝ ද? දහමට ද අනුදහමක් පවසන්නමෝ ද? කරුණු සහිත කිසියම් වාදානුපාතයෙක් ගැරහියයුතු තැනට නො ද පැමිණෙන්නේ ද? යී.
ඇවැත්නි, සුවදුක් ප්‍රත්‍යයෙන් හටගත්තේ යයි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදී. කුමක් ප්‍රත්‍යය කොට ද? ස්පර්‍ශය ප්‍රත්‍යය කොට ය. මෙසේ කියන්නේ භාග්‍යවතුන් වහන්සේ විසින් කියන ලද්දක් කියන්නේ වන්නේ ය. භාග්‍යවතුන් වහන්සේට බොරුවෙන් නො ද අබිබවා කියන්නේ ය. දහමට ද අනුදහමක් පවසන්නේ ය. කරණු සහිත කිසි යම් වාදානුපාතයෙක් ගැරහියයුතු තැනට නො ද පැමිණෙන්නේ ය.
ඇවැත්නි, එහි කර්‍මවාදී වූ යම් ඒ මහණබමුණු කෙනෙක් සුවදුක් තමා විසින් කරණ ලද්දේ යයි පණවත් ද, එ ද ස්පර්‍ශප්‍රත්‍යයයෙනි. යම් ඒ ... යම් ඒ ... යම් ඒ කර්‍මවාදී වූ මහණබමුණු කෙනෙකුත් සුවදුක් තමා විසිනුදු මෙරමා විසිනුදු නො කරණ ලද්දේ ඉබේ හටගත්තේ යයි පණවද් ද, එ ද ස්පර්‍ශප්‍රත්‍යයයෙනි.
ඇවැත්නි, එහි කර්‍මවාදී වූ ඒ මහණ බමුණු කෙනෙකුත් සුවදුක් තමා විසින් කරණ ලද්දේ යයි පණවද් ද, ඔහු ඒකාන්තයෙන් ස්පර්‍ශයෙන් වෙන් ව විඳින්නාහු ය යන මේ කරුණ විද්‍යාමාන නො වන්නේ ය. යම් ඒ .. යම් ඒ ... යම් ඒ කර්‍මවාදී වූ මහණබමුණු කෙනෙකුත් සුවදුක් තමා විසිනුදු මෙරමා විසිනුදු නො කරණ ලද්දේ ඉබේ හටගත්තේ යයි පණවද් ද, ඔහු ඒකාන්තයෙන් ස්පර්‍ශයෙන් වෙන්ව විඳින්නාහු ය යන මේ කරුණ විද්‍යාමාන නො වේ.
ආයුෂ්මත් ආනන්‍දස්ථවිර තෙමේ ආයුෂ්මත් භූමිජ තෙරුන් සමග පැවැති ආයුෂ්මත් ශාරීපුත්‍රස්ථවිරයන් වහන්සේගේ මේ කථාසල්ලාපය ඇසී ය. ඉක්බිති ආයුෂ්මත් ආනන්‍දස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේට වැඳ එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් ආයුෂ්මත් ආනන්‍දස්ථවිර තෙමේ ආයුෂ්මත් භූමිජ තෙරුන් සමග ආයුෂ්මත් ශාරීපුත්‍රස්ථවිරයන් වහන්සේගේ යම් තාක් කථාසල්ලාපයෙක් වී ද, ඒ සියල්ල භාග්‍යවතුන් වහන්සේට සැළ කෙළේ ය.
ආනන්‍ද, මැනවි, මැනවි, ශාරීපුත්‍රස්ථවිර තෙමේ ම විසඳන්නේ ඒ තත්වූ පරිදි මොනවට විසඳන්නේ ය. ආනන්‍ද, සුවදුක් ප්‍රත්‍යයයෙන් හටගත්තේ යයි මා විසින් කියන ලදී. කුමක් ප්‍රත්‍යය කොට ද? ස්පර්‍ශය ප්‍රත්‍යය කොට ය. මෙසේ කියන්නේ මා විසින් කියනලද්දක් කියන ලද්දේත් වන්නේ ය. මට බොරුවෙන් නො ද අබිබවා කියන්නේ ය. දහමට ද අනුදහමක් පවසන්නේ ය. කරුණු සහිත වූ කිසියම් වාදානුපාතයෙක් ගැරහිය යුතු තැනට නො ද පැමිණෙන්නේ ය.
ආනන්‍ද, එහි කර්‍මවාදී වූ යම් ඒ මහණබමුණු කෙනෙක් සුවදුක් තමා විසින් කරණ ලද්දේ යයි පණවද් ද, එ ද ස්පර්‍ශප්‍රත්‍යයයෙනි. යම් ඒ ... යම් ඒ ... යම් ඒ කර්‍මවාදී වූ මහණබමුණු, කෙනෙකුත් සුවදුක් තමා විසිනුදු මෙරමා විසිනුදු නොකරණ ලද්දේ ඉබේ හටගත්තේ යයි පණවද් ද, එය ද ස්පර්‍ශප්‍රත්‍යයයෙනි.
ආනන්‍ද, එහි කර්‍මවාදී වූ යම් ඒ මහණබමුණු කෙනෙක් සුවදුක් තමා විසින් කරණ ලද්දේ යයි පණවද් ද, ඔහු ඒකාන්තයෙන් ස්පර්‍ශයෙන් වෙන් ව විඳින්නාහු ය යන මේ කරුණ විද්‍යාමාන නොවේ. යම් ඒ ... යම් ඒ ... යම් ඒ කර්‍මවාදී වූ මහණබමුණු කෙනෙකුත් සුවදුක් තමා විසිනුදු මෙරමා විසිනුදු නො කරණ ලද්දේ ඉබේ හටගත්තේ යයි පණවද් ද, ඔහු ඒකාන්තයෙන් ස්පර්‍ශයෙන් වෙන් ව විඳින්නාහු ය යන මේ කරුණ විද්‍යාමාන නො වේ.
ආනන්‍ද, කය ඇති කල්හිත් කායසඤ්චේතනා හේතු කොට තමා පිළිබඳ සුවදුක් උපදී. ආනන්‍ද, වචනය ඇති කල්හිත් වචීයසඤ්චේතනා හේතු කොට තමා පිළිබඳ සුවදුක් උපදී. ආනන්‍ද, සිත ඇති කල්හිත් මනෝසඤ්චේතනා හේතු කොට තමා පිළිබඳ සුවදුක් උපදී. අවිද්‍යාප්‍රත්‍යයෙන් ද (සුවදුක්) උපදි.
යම් ප්‍රත්‍යයකින් ඔහුට තමා පිළිබඳ ඒ සුවදුක් උපදී ද, ආනන්‍ද තෙමේත් ඒ කායසංස්කාර රැස් කෙරෙයි. යම් ප්‍රත්‍යයකින් ඔහුට තමා පිළිබඳ ඒ සුවදුක් උපදී ද, ආනන්‍ද, මෙරමාත් ඔහුගේ ඒ කායසංස්කාර රැස් කෙරෙත්. යම් ප්‍රත්‍යයකින් ඔහුට තමා පිළිබඳ ඒ සුවදුක් උපදී ද, ආනන්‍ද, මනා දැනුම් ඇත්තේත් ඒ කායසංස්කාර රැස් කෙරෙයි. යම් ප්‍රත්‍යයකින් ඔහුට තමා පිළිබඳ සුවදුක් උපදී ද, ආනන්‍ද, මනා දැනුම් නැත්තේත් ඒ කායසංස්කාර රැස් කෙරේ.
යම් ප්‍රත්‍යයකින් ඔහුට තමා පිළිබඳ එ සුවදුක් උපදී ද, ආනන්‍ද තෙමේත් ඒ වාක්සංස්කාර රැස් කෙරෙයි. යම් ප්‍රත්‍යයකින් ඔහුට තමා පිළිබඳ ඒ සුවදුක් උපදී ද, මෙරමාත් ඔහුගේ ඒ වාක්සංස්කාර රැස් කෙරෙත්. යම් ප්‍රත්‍යයකින් ඔහුට තමා පිළිබඳ ඒ සුවදුක් උපදී ද, ආනන්‍ද මනා දැනුම් ඇත්තේත් ඒ ... ආනන්‍ද, මනා දැනුම් නැත්තේත් ඒ වාක්සංස්කාර රැස් කෙරෙයි.
යම් ප්‍රත්‍යයකින් ඔහුට තමා පිළිබඳ ඒ සුවදුක් උපදී ද, ආනන්‍ද තෙමේත් ඒ මනඃසංස්කාර රැස් කෙරෙයි. යම් ප්‍රත්‍යයකින් ඔහුට තමා පිළිබඳ ඒ සුවදුක් උපදි ද, ආනන්‍ද, මෙරමාත් ඔහුගේ ඒ මනඃසංස්කාර රැස් කෙරෙත්. යම් ප්‍රත්‍යයකින් ඔහුට තමා පිළිබඳ ඒ සුවදුක් උපදී ද, ආනන්‍ද, මනා දැනුම් ඇත්තේත් ඒ ... යම් ප්‍රත්‍යයකින් ඔහුට තමා පිළිබඳ ඒ සුවදුක් උපදී ද, ආනන්‍ද, මනා දැනුම් නැත්තේත් ඒ මනඃසංස්කාර රැස් කෙරෙයි. ආනන්‍ද, මේ ධර්‍මයන්හි අවිද්‍යාව යුක්තවූවා ය.
යම් ප්‍රත්‍යයකින් ඔහුට තමා පිළිබඳ ඒ සුවදුක් උපදී ද, ආනන්‍ද, අවිද්‍යාවගේ ම නිරවශේෂ විරාගනිරෝධයෙන් ඒ කය නොවේ. යම් ප්‍රත්‍යය කින් ඔහුට තමා පිළිබඳ ඒ සුවදුක් උපදී ද, ඒ වචනය නො වේ. යම් ප්‍රත්‍යයකින් ඔහුට තමා පිළිබඳ ඒ සුවදුක් උපදී ද, ඒ සිත නොවේ. යම් ප්‍රත්‍යයකින් ඔහුට තමා පිළිබඳ ඒ සුවදුක් උපදී ද, ඒ කෙත නො වේ. ... ඒ වාස්තුව නො වේ. ... ඒ ආයතනය නො වේ. යම් ප්‍රත්‍යයකින් ඔහුට තමා පිළිබඳ ඒ සුවදුක් උපදී ද, ඒ අධිකරණය නො වේ.
1. 3. 6.
උපවාණ සූත්‍රය
26. සැවැත්නුවර–
ඉක්බිති ආයුෂ්මත් උපවාණස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් ආයුෂ්මත් උපවාණස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේ ය:
වහන්ස, ඇතැම් මහණබමුණෝ ඇත්තාහ. (ඔහු) දුක තමා විසින්ම කරණ ලදැ යි පණවත්. වහන්ස, ඇතැම් මහණබමුණෝ ඇත්තාහ. (ඔහු) දුක මෙරමා විසින් ම කරණ ලදැ යි පණවත්. වහන්ස, ඇතැම් මහණබමුණෝ ඇත්තාහ. (ඔහු) දුක තමා විසිනුදු මෙරමා විසිනුදු කරණ ලද්දේ ය යි පණවත්. වහන්ස, ඇතැම් මහණබමුණෝ ඇත්තාහ. (ඔහු) දුක තමා විසිනුදු මෙරමා විසිනුදු නොකරණ ලද්දේ හේතුප්‍රත්‍යය රහිතව (ඉබේ) හටගත්තේය යි පණවත්,
වහන්ස, මෙහි ලා අපගේ භාග්‍යවතුන් වහන්සේ කිනම් වාද ඇති සේක් ද? කුමක් කියනසුලු සේක් ද? කෙසේ පවසන්නා වූ අපි භාග්‍යවතුන් වහන්සේ විසින් කියන ලද්ද අනුව කියන්නෝ වන්නමෝ ද? භාග්‍යවතුන් වහන්සේ බොරුවෙන් නො ද අබිබවා කියන්නමෝ ද? දහමට ද අනුදහමක් පවසන්නමෝ ද? කරුණු සහිත වූ කිසියම් වාදානුපාතයෙක් ගැරහිය යුතු තැනට නො එන්නේ ද?
උපවාණ, දුක ප්‍රත්‍යයයෙන් හටගත්තකැ යි මා විසින් කියන ලදී. කුමක් ප්‍රත්‍යය කොට ද? ස්පර්‍ශය ප්‍රත්‍යය කොටය මෙසේ කියන්නේ මා විසින් කියන ලද්ද අනු ව කියන්නෙක් වන්නේ ය. බොරුවෙන් මා නො ද අබිබවා කියන්නේ ය. දහමට ද අනුදහමක් පවසන්නේ ය. කරුණු සහිත වූ කිසියම් වාදානුපාතයෙක් ගැරහිය යුතු තැනට නොද එන්නේ ය.
උපවාණ, එහි යම් ඒ මහණබමුණෝ දුක තමා විසින් කරණ ලදැ යි පණවද්ද, ළු ද ස්පර්‍ශප්‍රත්‍යයයෙනි. යම් ඒ ... යම් ඒ යම් ඒ මහණබමුණු කෙනෙකුත් දුක තමා විසිනුදු මෙරමා විසිනුදු නොකරණ ලද්දේ ඉබේ හටගත්තේ ය යි පණවද්ද, එ ද ස්පර්‍ශප්‍රත්‍යයයෙනි.
උපවාණ, එහි යම් ඒ මහණබමුණෝ දුක තමා විසින් කරණ ලද්දේ ය යි පණවද්ද, ඒකාන්තයෙන් ඔහු ස්පර්‍ශෙයන් වෙන් ව (දුක) විඳින්නාහු ය යන මේ කරුණ විද්‍යාමාන නො වේ. යම් ඒ ... යම් ඒ යම් ඒ මහණබමුණු කෙනෙකුත් දුක තමා විසිනුදු මෙරමා විසිනුදු නොකරණ ලද්දේ ඉබේ හටගත්තේ ය යි පණවද්ද, ඒකාන්තයෙන් ඔහු ස්පර්‍ශෙයන් වෙන් ව (දුක) විඳින්නාහු ය යන මේ කරුණ විද්‍යාමාන නො වෙයි.
1. 3. 7.
පච්චය සූත්‍රය
27. සැවැත්නුවර–
මහණෙනි, අවිද්‍යාප්‍රත්‍යයයෙන් සංස්කාරයෝ වෙති. සංස්කාරප්‍රත්‍යයයෙන් විඥානය වේ ... මෙසේ මේ හුදු දුක්රැසේ හටගැන්ම වේ.
මහණෙනි, ජරාමරණ කවරේ ද යත්: ඒ ඒ සත්ත්‍වයන්ගේ ඒ ඒ සත්ත්‍වනිකායෙහි යම් දිරීමෙක් දිරන බවෙක් දත් වැටීමෙක් කෙස් පැසීමෙක් ඇඟ රැලි වැටීමෙක් ආයු පිරිහීමෙක් ඉඳුරන්ගේ පැසීමෙක් වේ ද, මේ ජරා ය යි කියනු ලැබේ. ඒ ඒ සත්ත්‍වනිකායෙන් ඒ ඒ සත්ත්‍වයන්ගේ යම් වෙන් වීමෙක් වෙන් වන බවෙක් බිඳීමෙක් අතුරුදන් වීමෙක් මච්චු නම් වූ මරණයෙක් සම්මුති මරණයෙක් ස්කන්‍ධයන්ගේ බිඳීමෙක් සිරුර හැර දැමීමෙක් ජීවිතින්‍ද්‍රියයාගේ සිඳී යෑමෙක් වේ ද, මේ මරණ ය යි කියනු ලැබේ. මෙසේ මේ ජරාව ද මේ මරණය ද මහණෙනි, මේ ජරාමරණ ය යි කියනු ලැබේ. ජාතිසමුදයෙන් ජරාමරණ සමුදය වේ. ජාති නිරෝධයෙන් ජරාමරණ නිරෝධය වේ. මේ ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ගය ම ජරාමරණ නිරොධගාමිනී ප්‍රතිපදාව ය. එනම්: සම්මාදිට්ඨිය, සම්මාසඞ්කප්පය, සම්මාවාචාය, සම්මාකම්මන්තය, සම්මාආජීවය, සම්මාවායාමය, සම්මාසතිය, සම්මාසමාධිය යි.
මහණෙනි, ජාතිය නම් කවර යත්: ඒ ඒ සත්ත්‍වයන්ගේ ඒ ඒ සත්ත්‍වනිකායෙහි හටගැණීමෙක් පිරිපුන් හටගැණීමෙක් කුසට බැස ගැන්මෙක් ඉපැද්මෙක් වෙසෙස් ඉපැද්මෙක් ස්කන්‍ධයන්ගේ පහළ වීමෙක් ආයතනයන්ගේ පිළි ගැබීමෙක් වේ ද, මහණෙනි, මේ ජාතිය යි කියනු ලැබේ. භවසමුදයෙන් ජාති සමුදය වේ. භව නිරෝධයෙන් ජාති නිරෝධය වේ. මේ ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ගය ම ජාති නිරෝධගාමිනී ප්‍රතිපදාව යි. එනම්: සම්මාදිට්ඨිය ... සම්මාසම්ධිය යි.
මහණෙනි, භවය නම් කවර යත්: ... මහණෙනි, උපාදාන නම් කවර යත්: ... මහණෙනි, තෘෂ්ණා නම් කවර යත්: ... මහණෙනි, වේදනා නම් කවර යත්: ... මහණෙනි, ස්පර්‍ශය නම් කවර යත්: ... මහණෙනි, ෂඩායතන නම් කවර යත්: ... මහණෙනි, නාම රූප නම් කවර යත්: ... මහණෙනි, විඥාන නම් කවර යත්: ... {*}මහණෙනි, සංස්කාර නම් කවර යත්: මහණෙනි, මේ සංස්කාර තුණෙකි: කායසංස්කාරය, වාක්සංස්කාරය, චිත්තසංස්කාර ය යි. මහණෙනි, මේ සංස්කාර ය යි කියනු ලැබේ. අවිද්‍යා සමුදයෙන් සංස්කාර සමුදය වේ. අවිද්‍යා නිරෝධයෙන් සංස්කාර නිරෝධය වේ. මේ ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගිකමාර්‍ගය ම සංස්කාරනිරෝධගාමිනී ප්‍රතිපදාව යි. එනම්: සම්මාදිට්ඨි ... සම්මාසම්ධි යි.
මහණෙනි, යම් කලෙක ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ මෙසේ ප්‍රත්‍යය දනී ද, මෙසේ ප්‍රත්‍යයසමුදය දනී ද, මෙසේ ප්‍රත්‍යයනිරෝධය දනී ද, මෙසේ ප්‍රත්‍යය නිරෝධගාමිනීප්‍රතිපදාව දනී ද, මහණෙනි, මේ ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ මාර්‍ගදෘෂ්ටියෙන් යුක්ත ය යි ද, මාර්‍ගදර්‍ශනයෙන් යුක්ත ය යි ද, මේ සදහමට පැමිණියේ ය යි ද, මේ සදහම දකී ය යි ද, ශෛක්‍ෂඥානයෙන් සමන්‍වාගත ය යි ද, ශෛක්‍ෂවිද්‍යාවෙන් සමන්‍වාගත ය යි ද, (මාර්‍ගසඞ්ඛ්‍යාත) ධර්‍මස්‍රෝතසට පැමිණියේ ය යි ද, ආර්‍ය්‍ය වූ නිර්වේධිප්‍රඥා ඇත්තේ ය යි ද නිවන් දොරට හැනී සිටි ය යි ද කියනු ලැබෙයි.
1. 3. 8.
භික්ඛු සූත්‍රය
28. සැවැත්නුවර–
එහි දී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’ යි භික්‍ෂූන් ඇමතූ සේක. ‘වහන්සැ’ යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්සූහ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:
මහණෙනි, මෙහි මහණ තෙමේ ජරාමරණ දනී. ජරාමරණ සමුදය දනී. ජරාමරණ නිරෝධය දනී. ජරාමරණ නිරෝධගාමිනී ප්‍රතිපදාව දනී. ජාතිය දනී ... භවය දනී ... උපාදාන දනී ... තෘෂ්ණාව දනී ... වේදනාව දනී ... ස්පර්‍ශය දනී ... ෂඩායතන දනී ... නාමරූප දනී ... විඥානය දනී ... සංස්කාර දනී. සංස්කාර සමුදයය දනී. සංස්කාර නිරෝධය දනී. සංස්කාරනිරෝධගාමිනී ප්‍රතිපදාව දනී.
මහණෙනි, ජරාමරණ කවරේද යත්: ඒ ඒ සත්ත්‍වයන්ගේ ඒ ඒ සත්ත්‍වනිකායෙහි දිරීමෙක් දිරුම්බවෙක් දත් වැටිමෙක් කෙස් පැසීමෙක් ඇඟ රැළි වැටීමෙක් ආයුපිරිහීමෙක් ඉඳුරන් මේරීමෙක් වේ ද, මේ ජරා ය යි කියනු ලැබේ. ඒ ඒ සත්ත්‍වයන්ගේ ඒ ඒ සත්ත්‍වනිකායෙන් යම් වෙන් වීමෙක් වෙන්වන බවෙක් අතුරුදන් වීමෙක් මෘත්‍යු නම් වූ මරණයෙක් කලුරිය කිරීමෙක් ස්කන්‍ධයන්ගේ බිඳීමෙක් සිරුර හැර දැමීමෙක් වේ දැ, මේ මරණ ය යි කියනු ලැබේ. මෙසේ මේ ජරාව ද මේ මරණය ද මහණෙනි, මේ ජරාමරණය යි කියනු ලැබේ. ජාතිසමුදයෙන් ජරාමරණ සමුදයය වේ. ජාතිනිරෝධයෙන් ජරාමරණ නිරෝධය වේ. මේ ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ගය ම ජරාමරණ නිරෝධගාමිනීප්‍රතිපදාව යි. එනම්: සම්මාදිට්ඨි ... සම්මාසමාධි යි.
මහණෙනි, ජාතිය නම් කවර යත්: ... මහණෙනි, භවය නම් කවර යත් ... මහණෙනි, උපාදාන නම් කවර යත් ... මහණෙනි, තණ්හා නම් කවර යත් ... මහණෙනි, වේදනා නම් කවර යත් ... මහණෙනි, ඵස්ස නම් කවර යත් ... මහණෙනි, සළායතන නම් කවර යත් ... මහණෙනි, නාමරූප නම් කවර යත්: මහණෙනි, විඤ්ඤාණ නම් කවර යත් … මහණෙනි, සඞ්ඛාර නම් කවර යත් … මහණෙනි, සඞ්ඛාර තුණෙකි: කාය සඞ්ඛාරය, විචීසඞ්ඛාරය, චිත්තසඞ්ඛාරය. මහණෙනි, මොහු සඞ්ඛාරයෝ යි කියනු ලැබෙත්. අවිද්‍යාසමුදයෙන් සංස්කාර සමුදය වේ. අවිද්‍යානිරෝධයෙන් සංස්කාර නිරෝධය වේ. මේ ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගික මාර්‍ගය ම සංස්කාර නිරොධගාමිනී ප්‍රතිපදාව යි. එනම්: සම්මාදිට්ඨි ... සම්මාසමාධි යි.
මහණෙනි, යම් කලෙක මහණ තෙමේ මෙසේ ජරාමරණ දනී ද, මෙසේ ජරාමරණසමුදයය දනී ද, මෙසේ ජරාමරණනිරෝධය දනී ද, මෙසේ ජරාමරණ නිරෝධගාමිනී ප්‍රතිපදාව දනී ද, ... මෙසේ ජාතිය දනී ද, ... මෙසේ භවය දනී ද, ... මෙසේ උපාදාන දනී ද, ... මෙසේ තෘෂ්ණාව ... මෙසේ වේදනාව ... මෙසේ ස්පර්‍ශය ... මෙසේ ෂඩායතන .. මෙසේ නාමරූප ... මෙසේ විඥානය ... මෙසේ සංස්කාර දනී ද, මෙසේ සංස්කාර සමුදය දනී ද, මෙසේ සංස්කාර නිරෝධය දනී ද, මෙසේ සංස්කාර නිරොධගාමිනී ප්‍රතිපදාව දනී ද, මහණෙනි, මේ මහණ තෙමේ දෘෂ්ටිසම්පන්න යි ද, දර්‍ශනසම්පන්න යි ද, මේ සද්ධර්‍මයට පැමිණියේ යි ද, මේ සද්ධර්‍මය දකී යි ද, ශෛක්‍ෂඥානයෙන් සමන්‍වාගත යි ද, ශෛක්‍ෂ විද්‍යාවෙන් සමන්‍වාගත යි ද, ධර්‍මෙස්‍රෝතසට පැමිණියේ යි ද, ආර්‍ය්‍ය වූ නිර්වේධිකප්‍රඥා ඇත්තේ යි ද, නිවන් දොරට හැපී සිටී යි ද කියනු ලැබේ.
1. 3. 9.
සමණබ්‍රාහ්මණ සූත්‍රය
29. සැවැත්නුවර–
එහි දී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’ යි භික්‍ෂූන් ඇමතූ සේක. වහන්සැ’යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්සූහ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:
මහණෙනි, යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ ජරාමරණ නො දනිත් ද, ජරාමරණ සමුදය නො දනිත් ද, ජරාමරණ නිරෝධය නො දත් ද, ජරාමරණ නිරොධගාමිනී ප්‍රතිපදාව නො දනිත් ද, ජාතිය නො දනිත් ද ... භවය නො දනිත් ද ... උපාදාන නො දනිත් ද ... තෘෂ්ණාව ... වේදනාව ... ස්පර්‍ශය ... ෂඩායතන ... නාමරූප ... විඥානය ... සංස්කාර නො දනිත් ද, සංස්කාර සමුදය නො දනිත් ද, සංස්කාර නිරෝධය නො දනිත් ද, සංස්කාර නිරොධගාමිනී ප්‍රතිපදාව නො දනිත් ද, මහණෙනි, මේ මහණෝ හෝ බමුණෝ හෝ මහණුන් අතර හෝ මහණෝ ය යි හෝ සම්මත නො වෙති, බමුණන් අතර බමුණෝ ය යි හෝ සම්මත නො වෙති. මේ ආයුෂ්මත්හු ශ්‍රමණත්‍වය පිළිබඳ අර්‍ත්‍ථය හෝ බ්‍රාහ්මණත්‍වය පිළිබඳ අර්‍ත්‍ථය හෝ මෙලොව්හි දී ම තෙමේ ම විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ඊට එළඹ නො ද වෙසෙත්.
මහණෙනි, යම්කිසි ශ්‍රමණ කෙනෙක් හො බමුණු කෙනෙක් හෝ ජරාමරණ දනිත් ද, ජරාමරණ සමුදය දනිත් ද, ජරාමරණ නිරෝධය දනිත් ද, ජරාමරණ නිරොධගාමිනී ප්‍රතිපදාව දනිත් ද, ජාතිය දනිත් ද, භවය ... උපාදාන ... තණ්හාව ... වේදනාව ... ඵස්සය ... සළායතනය ... නාමරූප ... විඤ්ඤාණය ... සඞ්ඛාර දනිත් ද, සඞ්ඛාර සමුදය දනිත් ද; මහණෙනි, ඒ මේ මහණෝ ද බමුණෝ ද ශ්‍රමණයන් කෙරෙහිත් ශ්‍රමණ ය යි සම්මතය හ. බ්‍රාහ්මණයන් කෙරෙහිත් බ්‍රාහ්මණ ය යි සම්මත ය හ. ඒ ආයුෂ්මත්හු වනාහි ශ්‍රමණත්‍වය පිළිබඳ අර්‍තවයත් බ්‍රාහ්මණත්‍වය පිළිබඳ අර්‍තවයත් මෙලෙව්හි දී ම විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ඊට එළඹ වෙසෙති යි.
1. 3. 10.