1. 2. 1.
ආහාර සූත්‍රය
11. සැවැත්නුවර–
මහණෙනි, උපන් සත්ත්‍වයන්ගේ පැවැත්ම පිණිසත්, උපදින්නා වූ සත්ත්‍වයන්ට අනුග්‍රහ පිණිසත් මේ ආහාර සතරෙකි: කවර සතරෙක් ද? යත්: දළ වූ හෝ සියුම් වූ හෝ කබලීකාර (=පිඬු කොට බුදින බත් ආදි) ආහාරය, ස්පර්‍ශය දෙවැන්න ය, මනෝසඤ්චේතනාව තෙවැන්න ය, විඥානය සිවුවැන්න ය. මහණෙනි, මේ සතර ආහාරයෝ උපන් සත්ත්‍වයන්ගේ පැවැත්ම පිණිසත් උපදින්නා වූ සත්ත්‍වයන්ට අනුග්‍රහ පිණිසත් වෙති.
මහණෙනි, මේ ආහාර සතර කුමක් නිදාන (කරුණු) කොට, කුමක් හේතු කොට, කුමක් ප්‍රභව කොට ඇත්තෝ ද? මේ සතර ආහාරයෝ තෘෂ්ණාව නිදාන කොට, තෘෂ්ණාව හේතු කොට, තෘෂ්ණාව ජාති කොට, තෘෂ්ණාව ප්‍රභව කොට ඇත්තෝ ය.
මහණෙනි, මේ තෘෂ්ණාව කුමක් නිදාන කොට, කුමක් හේතු කොට, කුමක් ජාති කොට, කුමක් ප්‍රභව කොට, ඇත්තී ද? තෘෂ්ණාව වේදනාව නිදාන කොට, වේදනාව හේතු කොට, වේදනාව ජාති කොට, වේදනාව ප්‍රභව කොට ඇත්තී ය.
මහණෙනි, මේ වේදනාවත් කුමක් නිදාන කොට, කුමක් හේතු කොට, කුමක් ජාති කොට, කුමක් ප්‍රභව කොට ඇත්තී ද? වේදනාව ස්පර්‍ශය නිදාන කොට, ස්පර්‍ශය හේතු කොට, ස්පර්‍ශය ජාති කොට, ස්පර්‍ශය ප්‍රභව කොට ඇත්තී ය.
මහණෙනි, මේ ස්පර්‍ශය කුමක් කරුණු කොට, කුමක් හේතු කොට, කුමක් ජාති කොට කුමක් ප්‍රභව කොට, ඇත්තේ ද? ස්පර්‍ශය ෂඩායතනය කරුණු කොට, ෂඩායතනය හේතු කොට, ෂඩායතනය ජාති කොට, ෂඩායතනය ප්‍රභව කොට ඇත්තේ ය.
මහණෙනි, මේ ෂඩායතනය කුමක් කරුණු කොට, කුමක් හේතු කොට, කුමක් ජාති කොට, කුමක් ප්‍රභව කොට ඇත්තේ ද? ෂඩායතනය නාමරූප කරුණු කොට, නාමරූප හේතු කොට, නාමරූප ජාති කොට, නාමරූප ප්‍රභව කොට ඇත්තේ ය.
මහණෙනි, මේ නාමරූප කුමක් කරුණු කොට, කුමක් හේතු කොට, කුමක් ජාති කොට, කුමක් ප්‍රභව කොට ඇත්තේ ද? නාමරූප විඥානය කරුණු කොට, විඥානය හේතු කොට, විඥානය ජාති කොට, විඥානය ප්‍රභව කොට ඇත්තේ ය.
මහණෙනි, මේ විඥානය කුමක් කරුණු කොට, කුමක් හේතු කොට, කුමක් ජාති කොට, කුමක් ප්‍රභව කොට ඇත්තේ ද? විඥානය සංස්කාරයන් කරුණු කොට, සංස්කාරයන් හේතු කොට, සංස්කාරයන් ජාති කොට, සංස්කාරයන් ප්‍රභව කොට ඇත්තේ ය.
මහණෙනි, මේ සංස්කාරයෝ කුමක් කරුණු කොට, කුමක් හේතු කොට, කුමක් ජාති කොට, කුමක් ප්‍රභව කොට ඇත්තාහු ද? සංස්කාරයෝ අවිද්‍යාව කරුණු කොට, අවිද්‍යාව හේතු කොට, අවිද්‍යාව ජාති කොට, අවිද්‍යාව ප්‍රභව කොට ඇත්තාහු ය.
මහණෙනි, මෙසේ අවිද්‍යාප්‍රත්‍යයයෙන් සංස්කාරයෝ වෙත්. සංස්කාරප්‍රත්‍යයයෙන් විඥානය වේ. ... මෙසේ මේ හුදු දුක්රැසේ හටගැණීම වේ.
අවිද්‍යාවේ ම අනවශේෂවිරාග සඞ්ඛ්‍යාත නිරෝධයෙන් සංස්කාර නිරෝධය වේ. සංස්කාරනිරෝධයෙන් විඥානනිරෝධය වේ. ... මෙසේ මේ හුදු දුක්රැසේ නිරෝධය වේ.
1. 2. 2.
මොළියඵග්ගුන සූත්‍රය
12. සැවැත්නුවර–
මහණෙනි, උපන් සත්ත්‍වයන්ගේ පැවැත්ම පිණිසත් උපදින්නා වූ සත්ත්‍වයන්ට අනුග්‍රහ පිණිසත් මේ ආහාර සතරෙකි. කවර සතරෙක් ද? දළ වූ හෝ සියුම් වූ හෝ කබලීකාර ආහාරය ය, ස්පර්‍ශය දෙවැන්න ය, මනෝසඤ්චේතනාව තෙවැන්න ය, විඥානය සිවුවැන්න ය. මහණෙනි, මේ ආහාර සතර උපන් සත්ත්‍වයන්ගේ පැවැත්ම පිණිසත් උපදින්නා වූ සත්ත්‍වයන්ට අනුග්‍රහය පිණිසත් වේ.
මෙසේ වදාළ කල ආයුෂ්මත් මොළියඑග්ගුන ස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේ “වහන්ස, කවරෙක් විඥානාහාරය අනුභව කෙරේ දැ” යි විචාළේ ය. “ප්‍රශ්නය යුක්ත නො වේ ය” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. ‘(පුද්ගලයෙක්) අනුභව කෙරේ ය’යි මම නො කියමි. ඉදින් (පුද්ගලයෙක්) අනුභව කෙරේ ය යි මම කියන්නෙම් නම්, එහි ලා ‘වහන්ස, කවරෙක් අනුභව කෙරේ දැ’යි යන ප්‍රශ්නය යුක්ත වන්නේ ය. මම එසේ නො කියමි. එසේ නොකියන මාගෙන් යමෙක් ‘වහන්ස, විඥානය කුමකට ආහාරය (ප්‍රත්‍යය) වේ දැ’ යි මෙසේ විචාරන්නේ නම් මේ ප්‍රශ්නය යුක්ත ය. ‘විඥානාහාරය (ප්‍රතිසන්‍ධිය) මතු පුනර්‍භවය (නාම රූප) හටගැණීම පිණිස ප්‍රත්‍යය වෙයි. ඒ පුනබ්භවාභිනිබබ්ත්ති සඞ්ඛ්‍යාත නාමරූප ඇති වු කල්හි ෂඩායතන වෙයි. ෂඩායතනප්‍රත්‍යයයෙන් ස්පර්‍ශය වේ ය’ යි එයි ලා විසඳීම සුදුසු ය.
වහන්ස, කවරෙක් ස්පර්‍ශ කෙරේ ද? මේ ප්‍රශ්නය යුක්ත නො වේ ය යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක (සත්ත්‍වයෙක් හො පුද්ගලයෙක්) ස්පර්‍ශ කෙරේ ය යි මම නො කියමි. ඉදින් ස්පර්‍ශ කෙරේ ය යි මම කියන්නෙම් නම්, එහි ලා ‘වහන්ස, කවරෙක් ස්පර්‍ශ කෙරේ ද?’ යන මේ ප්‍රශ්නය යුක්ත වන්නේ ය. මම එසේ නො ම කියමි. එසේ නොකියන මාගෙන් යමෙක් “වහන්ස, කිනම් ප්‍රත්‍යයයකින් ස්පර්‍ශය වේ දැ” යි මෙසේ විචාරන්නේ නම්, මේ ප්‍රශ්නය යුක්ත ය. එහි ලා “ෂඩායතනප්‍රත්‍යයයෙන් ස්පර්‍ශය වෙයි. ස්පර්‍ශ ප්‍රත්‍යයයෙන් වේදනාව වේ ය”යි විසඳීම යුක්ත ය.
“වහන්ස, කවරෙක් විඳී ද?”. ප්‍රශ්නය යුක්ත නො වේ ය යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. විඳී ය යි මම නො කියමි. ඉදින් විඳී ය යි මම කියන්නෙම් නම්, එහි ලා “වහන්ස, කවරෙක් විඳී ද?” යන මේ ප්‍රශ්නය යුක්ත වන්නේ ය. මම එසේ නො ම කියමි. එසේ නො කියන මාගෙන් යමෙක් ‘වහන්ස, කිනම් ප්‍රත්‍යයයෙකින් වේදනාව වේ දැ’ යි මෙසේ විචාරන්නේ නම්, මේ ප්‍රශ්නය යුක්ත ය. එහිලා “ස්පර්‍ශප්‍රත්‍යයයෙන් වේදනාව වේ. වේදනාප්‍රත්‍යයයෙන් තෘෂ්ණාව වේ ය”යි විසඳීම යුක්ත ය.
වහන්ස, කවරෙක් තෘෂ්ණාව කෙරේ ද?. ප්‍රශ්නය යුක්ත නො වේ ය යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. තෘෂ්ණාව කෙරේ ය යි මම නො කියමි. ඉදින් මම තෘෂ්ණාව කෙරේ ය යි කියන්නෙම් නම්, එහි ලා ‘වහන්ස, කවරෙක් තෘෂ්ණාව කෙරේ ද?’ යන ප්‍රශ්නය යුක්ත වන්නේ ය. මම එසේ නො කියමි. එසේ නො නො කියන මාගෙන් යමෙක් ‘වහන්ස, කිනම් ප්‍රත්‍යයයෙකින් තෘෂ්ණාව වේ දැ’යි මෙසේ විචාරන්නේ නම්, මේ ප්‍රශ්නය යුක්ත ය. එහි ලා ‘වේදනාප්‍රත්‍යයයෙන් තෘෂ්ණාව වෙයි. තෘෂ්ණාප්‍රත්‍යයයෙන් උපාදාන වේ ය’යි විසඳීම යුක්ත ය.
වහන්ස, කවරෙක් උපාදානය කෙරේ (දැඩි කොට ගණී) ද?. ප්‍රශ්නය යුක්ත නොවේ ය යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. උපාදානය කෙරේ ය යි මම නො කියමි. ඉදින් මම උපාදානය කෙරේ ය යි කියන්නෙම් නම්, එහි ලා “වහන්ස, කවරෙක් උපාදානය කෙරේ ද?” යන ප්‍රශ්නය යුක්ත වන්නේ ය. මම එසේ නො කියමි. එසේ නො කියන මාගෙන් යමෙක් ‘වහන්ස, කිනම් ප්‍රත්‍යයයෙකින් උපාදානය වේ දැ’යි මෙසේ විචාරන්නේ නම්, මේ ප්‍රශ්නය යුක්ත ය. එහි ලා ‘තෘෂ්ණාප්‍රත්‍යයයෙන් උපාදාන වේ. උපාදානප්‍රත්‍යයයෙන් භවය වේ ය යි විසඳීම යුක්ත ය. මෙසේ මේ හුදු දුක්රැසේ හටගැණීම වේ.
ඵග්ගුන, ස්පර්‍ශායතන සයෙහි ම නිරවශේෂවිරාගනිරෝධයෙන් ස්පර්‍ශනිරෝධය වේ ස්පර්‍ශනිරෝධයෙන් වේදනානිරෝධය වේ. වෙදනානිරෝධයෙන් තණ්හානිරෝධය වේ. තණ්හානිරෝධයෙන් උපාදානනිරෝධය වේ. උපාදානනිරෝධයෙන් භවනිරෝධය වේ. භවනිරෝධයෙන් ජාතිනිරෝධය වේ. ජාතිනිරෝධයෙන් ජරාමරණසෝකපරිදේව දුක්ඛදොමනස්සඋපායාසයෝ නිරුද්ධ වෙත්. මෙසේ මේ හුදු දුක්රැසේ නිරෝධය වේ ය යි වදාළ සේක.
1. 2. 3.
සමණබ්‍රාහ්මණ සූත්‍රය
13. සැවැත්නුවර–
මහණෙනි, යම්කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ ජරාමරණ නො දනිත් ද, ඔහු තුමූ ජරාමරණ සමුදය නො දනිත්. ජරාමරණනිරෝධය නො දනිත්. ජරාමරණනිරෝධගාමිනීප්‍රතිපදාව නො දනිත්. ජාතිය ... භවය - උපාදානය - තණ්හාව - වේදනාව - ඵස්සය - සළායතන - නාමරූප - විඤ්ඤාණය - සඞ්ඛාර නො දනිද් ද, ඔහු සඞ්ඛාරසමුදය නො දනිත්. සඞ්ඛාරනිරෝධය නො දනිත්. සඞ්ඛාරනිරෝධගාමිනීපටිපදාව නො දනිත්. මහණෙනි, ඒ මේ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ ශ්‍රමණයන් කෙරෙහි ශ්‍රමණසම්මත වූවෝත් බ්‍රාහ්මණයන් කෙරෙහි බ්‍රාහ්මණසම්මත වූවෝත් නො වෙත්. ඒ ආයුෂ්මත්හු (ආර්‍ය්‍යඵල සඞ්ඛ්‍යාත) ශ්‍රමණයන් පිළිබඳ අර්‍ත්‍ථයත් බමුණන් පිළිබඳ අර්‍ත්‍ථයත් මෙ ලෙව්හි දී ම තෙමේ විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට එයට පැමිණ නො ද වෙසෙති.
මහණෙනි, යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ ජරාමරණ දනිද් ද, ඔහු ජරාමරණසමුදය දනිත්. ජරාමරණනිරෝධය දනිත්. ජරාමරණනිරෝධගාමිනීපටිපදාව දනිත්, ජාතිය -පෙ- භවය - උපාදාන - තෘෂ්ණාව - වේදනාව - ස්පර්‍ශය - ෂඩායතන - නාමරූප - විඥානය - සංස්කාරයන් දනිද් ද, ඔහු සංස්කාරසමුදය දනිත්. සංස්කාරනිරෝධය දනිත්. සංස්කාරනිරොධගාමිණීප්‍රතිපත්තිය දනිත්. මහණෙනි, ඒ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ ශ්‍රමණයන් කෙරෙහිත් ශ්‍රමණ ය යි සම්මතයහ. බ්‍රාහ්මණයන් කෙරෙහිත් බ්‍රාහ්මණ ය යි සම්මතයහ. ඒ ආයුෂ්මත්හු ද ආර්‍ය්‍යඵලසඞ්ඛ්‍යාත ශ්‍රමණත්‍වය පිළිබඳ අර්‍ත්‍ථයත් බ්‍රාහ්මණත්‍වය පිළිබඳ අර්‍ත්‍ථයත් මේ අත්බැව්හි දී ම තෙමේ විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට (ඊට) පැමිණ වෙසෙත්.
1. 2. 4.
දුතිය සමණබ්‍රාහ්මණ සූත්‍රය
14 සැවැත්නුවර–
මහණෙනි, යම් කිසි ශ්‍රමණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ මේ ධර්‍මයන් නො දනිද් ද, ඔහු තුමූ මේ ධර්‍මයන්ගේ සමුදය නො දනිත්. මේ ධර්‍මයන්ගේ නිරෝධය නො දනිත්. මේ ධර්‍මයන්ගේ නිරෝධගාමිනීප්‍රතිපත්තිය නො දනිත්. කවර ධර්‍මයන් නො දනිද් ද? කවර ධර්‍මයන්ගේ සමුදය නො දනිද් ද? කවර ධර්‍මයන්ගේ නිරෝධය නො දනිද් ද? කවර ධර්‍මයන්ගේ නිරොධගාමිණීප්‍රතිපදාව නො දනිද් ද? ජරාමරණ නො දනිත්. ජරාමරණසමුදය නෙ දනිත්. ජරාමරණනිරෝධය නො දනිත්. ජරාමරණනිරෝධගාමිනීප්‍රතිපදාව නො දනිත්. ජාතිය ... භවය - උපාදාන - තණ්හාව - වේදනාව - ඵස්සය - සළායතන - නාමරූප - විඤ්ඤාණය - සඞ්ඛාර නො දනිද් ද? සඞ්ඛාරසමුදය නො දනිත්. සඞ්ඛාරනිරෝධය නො දනිත්. සඞ්ඛාරනිරෝධගාමිනීප්‍රතිපදාව නො දනිත්.
(යම් කෙනෙක්) මේ ධර්‍මයන් නො දනිද් ද, (ඔහුතුමූ). මේ ධර්‍මයන්ගේ සමුදය නො දනිත්. මේ ධර්‍මයන්ගේ නිරෝධය නො දනිත්. මේ ධර්‍මයන්ගේ නිරෝධගාමිනීප්‍රතිපදාව නො දනිත්. මහණෙනි, ඒ මේ ශ්‍රමණයෝත් බ්‍රාහ්මණයෝත් ශ්‍රමණයන් කෙරෙහිත් ශ්‍රමණයෝ ය යි සම්මත නො වෙති. බ්‍රාහ්මණයන් කෙරෙහිත් බ්‍රාහ්මණයෝ ය යි සම්මත නො වෙති. ඒ ආයුෂ්මත්හු ද ශ්‍රමණත්‍වය පිළිබඳ අර්‍ත්‍ථය හෝ බ්‍රාහ්මණත්‍වය පිළිබඳ අර්‍ත්‍ථය හෝ මේ අත්බැව්හි ම තෙමේ විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට (ඊට) පැමිණ නො වෙසෙත්.
මහණෙනි, යම් කිසි ශ්‍රමණ කෙනෙක් හෝ බ්‍රාහ්මණ කෙනෙක් හෝ මේ ධර්‍මයන් දනිද් ද, ඔහු මේ ධර්‍මයන්ගේ සමුදය දනිත්. මේ ධර්‍මයන්ගේ නිරෝධය දනිත්. මේ ධර්‍මයන්ගේ නිරෝධගාමිනීප්‍රතිපදාව දනිත්. කවර ධර්‍මයන් දනිද් ද? කවර ධර්‍මයන්ගේ සමුදය දනිද් ද? කවර ධර්‍මයන්ගේ නිරෝධය දනිද් ද? කවර ධර්‍මයන්ගේ නිරෝධගාමිනීප්‍රතිපදාව දනිද් ද? ජරාමරණ දනිත්. ජරාමරණසමුදය දනිත්. ජරාමරණනිරෝධය දනිත්. ජරාමරණනිරෝධගාමිනීප්‍රතිපදාව දනිත්. ජාතිය ... භවය - උපාදාන - තණ්හාව - වේදනාව - ඵස්සය - සළායතන - නාමරූප - විඤ්ඤාණය - සඞ්ඛාර දනිද් ද, සඞ්ඛාරසමුදය දනිත්. සඞ්ඛාරනිරෝධය දනිත්. සඞ්ඛාරනිරෝධගාමිනීප්‍රතිපදාව දනිත්.
(යම් කෙනෙක්) මේ ධර්‍මයන් දනිද් ද, (ඔහු) මේ ධර්‍මයන්ගේ සමුදය දනිත්. මේ ධර්‍මයන්ගේ නිරෝධය දනිත්. මේ ධර්‍මයන්ගේ නිරෝධගාමිනී ප්‍රතිපදාව දනිත්. මහණෙනි, ඒ මේ ශ්‍රමණයෝත් බ්‍රාහ්මණයෝත් ශ්‍රමණයන් කෙරෙහිත් ශ්‍රමණ ය යි සම්මතයහ. බ්‍රාහ්මණයන් කෙරෙහිත් බ්‍රාහ්මණ ය යි සම්මතයහ. ඒ ආයුෂ්මත්හුත් ශ්‍රමණත්‍වය පිළිබඳ අර්‍ත්‍ථයත් බ්‍රාහ්මණත්‍වය පිළිබඳ අර්‍ත්‍ථයත් මේ අත්බව්හි ම විශිෂ්ටඥානයෙන් දැන් ප්‍රත්‍යක්‍ෂ කොට ඊට පැමිණ වෙසෙත් ය යි වදාළ සේක.
1. 2. 5.
කච්චානගොත්ත සූත්‍රය
15. සැවැත්නුවර–
ඉක්බිති ආයුෂ්මත් කච්චානගොත්ත ස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේ කරා එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් ආයුෂ්මත් කච්චානගොත්ත ස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළේ ය. වහන්ස, සම්මාදිට්ඨි සම්මාදිට්ඨි ය යි කියනු ලැබේ. වහන්ස, කෙතෙකින් සම්මාදිට්ඨි ඇත්තේ වේ ද?
කච්චාන, මේ ලෝකයා අස්තිත්‍වය (ශාශ්වතය) ද නාස්තිත්‍වය (උච්ඡේදය) ද යන දෙ කොටස බෙහෙවින් ඇසුරු කෙළේ වේ. කච්චාන, ලෝකසමුදයය තත් වූ පරිද්දෙන් මනා නුවණින් දක්නාහට, ලෝකයෙහි යම් නාස්තිත්‍වයෙක් ඇද් ද, එය නො වේ. කච්චාන, ලෝකනිරෝධය තත් වූ පරිද්දෙන් මනා නුවණින් දක්නාහට, ලෝකයෙහි යම් අස්තිත්‍වයෙක් ඇද් ද, එය නො වේ. කච්චාන, මේ ලෝකයා තෘෂ්ණාදාෂ්ටිසඞ්ඛ්‍යාත උපාය උපාදාන අභිනිවේසයන්ගෙන් බැඳුනේ සිත පිහිටන තැන වූ ඒ උපාය උපාදාන සඞ්ඛ්‍යාත තෘෂ්ණා දෘෂ්ටි අභිනිවෙශානුශයයට බෙහෙවින් නො පැමිණේ. ‘මාගේ ආත්මය’යි නො ගණී. නො ඉටයි. ‘උපදින්නේ දුක ම උපදියි. නිරුද්ධ වන්නේ දුක ම නිරුද්ධ වේ ය’යි (සලකයි. අන්‍ය වූ සත්ත්‍වයෙක් හෝ පුද්ගලයෙක් ඇතැයි) සැක නො කෙරේ. විචිකිච්ඡා නූපදවයි. මෙහි ලා ඔහුට පරප්‍රත්‍යයරහිතභාවයෙන් ආත්මප්‍රත්‍යක්‍ෂඥානයම වේ. කච්චාන, මෙතෙකින් ම සම්‍යග්දෘෂ්ටි ඇත්තේ වෙයි.
කච්චාන, සියල්ල ඇතැයි යන මෙය එක් අන්තයෙකි. සියල්ල නැතැ යි යන මෙය දෙවෙනි අන්තය යි. කච්චාන, ඒ මේ අන්ත දෙකට නො පැමිණ මැදුම්පිළිවෙතින් තථාගත තෙමේ දහම් දෙසයි. “අවිද්‍යා ප්‍රත්‍යයයෙන් සංස්කාරයෝ වෙති. සංස්කාරප්‍රත්‍යයයෙන් විඥානය වෙයි. ... මෙසේ මේ හුදු දුක්රැසේ හටගැන්ම වෙයි. අවිද්‍යාවගේ ම නිරවශේෂවිරාගනිරෝධයෙන් සංස්කාරනිරෝධය වේ. සංස්කාරනිරෝධයෙන් විඥානනිරෝධය වේ. ... මෙසේ මේ හුදු දුක්රැසේ නිරෝධය වේ ය.” කියා යි.
1. 2. 6.
ධම්මකථික සූත්‍රය
16. සැවැත්නුවර–
ඉක්බිති එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහ්නසේ කරා එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් ඒ මහණ තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළේය: වහන්ස, ධර්‍මකථික ය, ධර්‍මකථික ය යි කියනු ලැබේ. වහන්ස, කෙතෙකින් ධර්‍මකථික වේ ද?
මහණ, ඉදින් මහණ තෙමේ ජරාමරණ පිළිබඳ ව කළකිරීම පිණිස නො ඇලීම පිණිස නැති කිරීම පිණිස දහම් දෙසා නම්, ඒ මහණ තෙමේ ‘ධර්‍මකථික’ ය යි කීමට යුතු වෙයි.
මහණ තෙමේ ජරාමරණ දෙක්හි කළකිරීම පිණිස නැති කිරීම පිණිස පිළිපන්නේ වේ නම්, ඒ මහණ තෙමේ ‘ධර්‍මානුධර්‍මප්‍රතිපන්න’ ය යි කීමට යුතු වෙයි.
ඉදින් මහණ තෙමේ ජරාමරණ පිළිබඳ ව කළකිරීමෙන් නො ඇලීමෙන් නැති කිරීමෙන් (කිසි ධර්‍මයක්) දැඩි ව නො ගෙණ මිදුනේ නම්, ඒ මහණ තෙමේ ‘මේ අත්බැව්හි ම නිවණට පැමිණියේ’ ය යි කීමට යුතු වෙයි.
ඉදින් මහණ තෙමේ ඉපැද්ම පිළිබඳ ව - ... - ඉදින් මහණ තෙමේ භවය පිළිබඳ ව - ඉදින් මහණ තෙමේ උපාදාන පිළිබඳ ව - ඉදින් මහණ තෙමේ තෘෂ්ණාව පිළිබඳ ව - ඉදින් මහණ තෙමේ වේදනාව පිළිබඳ ව - ඉදින් මහණ තෙමේ ස්පර්‍ශය පිළිබඳ ව - ඉදින් මහණ තෙමේ ෂඩායතන පිළිබඳ ව - ඉදින් මහණ තෙමේ නාමරූප පිළිබඳ ව - ඉදින් මහණ තෙමේ විඤ්ඤාණය පිළිබඳ ව - ඉදින් මහණ තෙමේ සඞ්ඛාර පිළිබඳ ව - ඉදින් මහණ තෙමේ අවිද්‍යාව පිළිබඳ ව කළකිරීම පිණිස නො ඇලීම පිණිස නැති කිරීම පිණිස දහම් දෙසා නම්, ඒ මහණ තෙමේ ‘ධර්‍මකථික’ ය යි කීමට යුතු වෙයි.
ඉදින් මහණ තෙමේ ජාතිය පිළිබඳ ව ... ඉදින් මහණ තෙමේ අවිද්‍යාව පිළිබඳ ව කළකිරීම පිණිස නො ඇලීම පිණිස නැති කිරීම පිණිස පිළිපන්නේ වේ නම්, ඒ මහණ තෙමේ ‘ධර්‍මානුධර්‍මප්‍රතිපන්න’ ය යි කීමට යුතු වෙයි.
ඉදින් මහණ තෙමේ ජාතිය පිළිබඳ ව ... ඉදින් මහණ තෙමේ අවිද්‍යාව පිළිබඳ ව කළකිරීමෙන් නො ඇලීමෙන් නැති කිරීමෙන් (කිසි ධර්‍මයක්) දැඩි ව නො ගෙණ මිදුනේ වේ නම්, ඒ මහණ තෙමේ ‘මේ අත්බැව්හි ම නිවණට පැමිණියේ’ ය යි කීමට යුතු වෙයි.
1. 2. 7.
අචේලකස්සප සූත්‍රය
17. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි කලන්‍දකනිවාප නම් වේළුවනාරාමයෙහි වැඩ වසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ පෙරවරු හැඳ පෙරෙව පා සිවුරු ගෙණ රජගහනුවරට පිඬු පිණිස පිවිසි සේක. අචේලකාශ්‍යප තෙමේ වැඩම කරන්නා වූ භාග්‍යවතුන් වහන්සේ දුර දී ම දුටුයේ ය. දැක භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු වී ය. සතුටු විය යුතු වූ ද , සිත් ඇලවියයුතු වූ ද කථාව කොට නිමවා එකත්පසෙක සිටියේ ය. එකත්පසෙක සිටියා වූ අචේලකාශ්‍යප තෙමේ භාග්‍යවතුන් වහන්සේට “ඉදින් භවත් ගෞතම තෙමේ ප්‍රශ්නයක් ප්‍රකාශ කිරීම පිණිස අපට අවකාශ කෙරේ නම්, අපි භවත් ගෞතමයන්ගෙන් කිසි යම් කරුණක් විචාරන්නෙමු” යි මෙය සැළ කෙළ් ය.
“කාශ්‍යපය, ඇතුළුගමට පිවිසියෝ වෙමු. (එහෙයින්) ප්‍රශ්නයට තව ම කල් නො වෙයි.” දෙවනු ව ද අචේලකාශ්‍යප තෙමේ භාග්‍යවතුන් වහන්සේට “ඉදින් භවත් ගෞතම තෙමේ ප්‍රශ්නයක් ප්‍රකාශ කිරීම පිණිස අපට අවකාශ කෙරේ නම්, අපි භවත් ගෞතමයන්ගෙන් කිසි යම් කරුණක් විචාරන්නෙමු” යි මෙය සැළ කෙළේ ය. “කාශ්‍යපය, ඇතුළුගමට පිවිසියෝ වෙමු. (එහෙයින්) ප්‍රශ්නයට තව ම කල් නො වෙයි.” තෙවනු ව ද අචේලකාශ්‍යප තෙමේ භාග්‍යවතුන් වහන්සේට “ඉදින් භවත් ගෞතම තෙමේ ප්‍රශ්නයක් ප්‍රකාශ කිරීම පිණිස අපට අවකාශ කෙරේ නම්, අපි භවත් ගෞතමයන්ගෙන් කිසි යම් කරුණක් විචාරන්නෙමු” යි මෙය සැළ කෙළේ ය. “කාශ්‍යපය, ඇතුළුගමට පිවිසියෝ වෙමු. (එහෙයින්) ප්‍රශ්නයට තව ම කල් නො වෙයි.”
මෙසේ වදාළ කල්හි අචේලකාශ්‍යප තෙමේ භාග්‍යවතුන් වහන්සේට “අපි භවත් ගෞතමයන්ගෙන් බොහෝ වූ යමක් ම විචාරණු කැමැත්තෝ නො වෙමු” යි මෙය කී ය.
“කාශ්‍යපය, යමක් කැමැතියෙහි නම් එය විචාරව.”
“භවත් ගෞතමයෙනි, කිම, දුක තමා විසින් කරණ ලද්දක් ද?” “කාශ්‍යපය, එසේ නො කියව” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
“භවත් ගෞතමයෙනි, කිම, දුක මෙරමා විසින් කරණ ලද්දක් ද?” “කාශ්‍යපය, එසේ නො කියව” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
“භවත් ගෞතමයෙනි, කිම, දුක තමා විසිනුත් මෙරමා විසිනුත් කරණ ලද්දක් ද?” “කාශ්‍යපය, එසේ නො කියව” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
“භවත් ගෞතමයෙනි, කිම, දුක තමා විසිනුත් නො කරණ ලද්දේ මෙරමා විසිනුත් නො කරණ ලද්දේ ආකස්මිකව (ඉබේ) හටගත්තක් ද?” “කාශ්‍යපය, එසේ නො කියව” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
“භවත් ගෞතමයෙනි, කිම, දුක නැත්තේ ද?” “කාශ්‍යපය, දුක නොම නැත්තේ ය. කාශ්‍යපය, දුක ඇත්තේ ම ය.”
“එසේ නම් භවත් ගෞතම තෙමේ දුක නො දනී ද? නො දකී ද?” “කාශ්‍යපය, මම දුක නො ම නො දනිමි. නො ම නො දකිමි. කාශ්‍යපය, මම දුක දනිම් ම ය. කාශ්‍යපය, මම දුක දකිම් ම ය.”
“භවත් ගෞතමයෙනි, කිම, දුක තමා විසින් කරණ ලද්දක් දැ”යි මෙසේ විචාරණ ලද්දෙහි ම “කාශ්‍යපය, එසේ නො කියව”යි වදාරනෙහි යි. ‘භවත් ගෞතමයෙනි, කිම, දුක මෙරමා විසින් කරණ ලද්දක් දැ’යි මෙසේ විචාරණ ලද්දෙහි ම “කාශ්‍යපය එසේ නො කියව”යි වදාරනෙහි ය. ‘භවත් ගෞතමයෙනි, කිම, දුක තමා විසිනුත් මෙරමා විසිනුත් කරණ ලද්දක් දැ’යි මෙසේ විචාරණ ලද්දෙහි ම “කාශ්‍යපය, එසේ නො කියව”යි වදාරනෙහි යි. ‘භවත් ගෞතමයෙනි, කිම, දුක තමා විසිනුත් මෙරමා විසිනුත් නොකරණ ලද්දේ ඉබේ හටගත්තක් දැ’යි මෙසේ විචාරණ ලද්දෙහි ම “කාශ්‍යපය, එසේ නො කියව”යි වදාරනෙහි ය. ‘භවත් ගෞතමයෙනි, කිම, දුක නැත්තේ දැ’යි මෙසේ විචාරණ ලද්දෙහි ම “කාශ්‍යපය, දුක නො ම නැත්තේ ය. කාශ්‍යපය, දුක ඇත්තේ ම ය”යි වදාරනෙහි ය. “එසේ නම් භවත් ගෞතම තෙමේ දුක නො දනී ද? දුක නො දකී දැ”යි මෙසේ විචාරණ ලද්දේ ම “කාශ්‍යපය; මම දුක නො ම නො දනිමි. නො ම නො දකිමි. කාශ්‍යපය, මම දුක දනිම් ම ය. කාශ්‍යපය, මම දුක දකිම් ම ය”යි වදාරනෙහි ය. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මට දුක කියන සේක්වා. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මට දුක දේශනා කරණ සේක්වා.”
කාශ්‍යප, “හේ කෙරෙයි, හේ විඳී ය”යි මුල දී ම මෙබඳු ලබ්ධි ඇති කල්හි (පසුව “දුක තමා විසින් ම කරණ ලද්දකැ”යි මෙබඳු ලබ්ධි වෙයි. එබැවින්) “දුක තමා විසින් කරණ ලදැ”යි මෙසේ කියන්නේ තෙල ශාශ්වතදෘෂ්ටියට පැමිණේ. කාශ්‍යප, “අනෙකෙක් කෙරෙයි, අනෙකෙක් විඳී ය”යි (මුලදී ම මෙබඳු ලබ්ධි ඇති කල්හි පසුව එයින් උපදනා උච්ඡේදදිට්ඨි සහගත) වේදනාවෙන් පෙළුනහුට (“දුක මෙරමා විසින් කරණ ලද්දකැ” යි මෙබඳු ලබ්ධි වෙයි එබැවින්) “දුක මෙරමා විසින් කරණ ලදැ”යි මෙසේ කියන්නේ තෙල උච්ඡේදදෘෂ්ටියට පැමිණෙයි.
කාශ්‍යප, තථාගත තෙමේ ඒ මේ දෙඅන්තයට නො පැමිණ මැදුම්පිළිවෙතෙහි සිටියේ දහම් දෙසයි: “අවිද්‍යාප්‍රත්‍යයයෙන් සංස්කාරයෝ වෙති. සංස්කාරප්‍රත්‍යයයෙන් විඥානය වෙයි. ... මෙසේ මේ හුදු දුක්රැසේ හටගැණීම වේ. අවිද්‍යාවේ ම නිරවශේෂවිරාගනිරෝධයෙන් සංස්කාරනිරෝධය වේ. සංස්කාරනිරෝධයෙන් විඥානනිරෝධය වේ. ... මෙසේ මේ හුදු දුක්රැසේ නිරෝධය වේ” ය යි.
මෙසේ වදාළ කල්හි අචේලකාශ්‍යප තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේ ය: “වහන්ස, ඉතා මැනැවි. වහන්ස, ඉතා මැනැවි. වහන්ස, යටිකුරැ වූවක් හෝ යම් සේ උඩුකුරු කරන්නේ ද, ... ඇස් ඇත්තෝ රූප දකිනාහු ය යි එපරිද්දෙන් ම භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් ක්‍රමයෙන් ධර්‍මය ප්‍රකාශ කරන ලද්දේ ය. වහන්ස, මේ මම භාග්‍යවතුන් වහන්සේ ද ධර්‍මය ද සඞ්ඝයා ද සරණ යෙමි. වහන්ස, මම භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි පැවිද්ද ලබම්වා, උපසපුව ලබම්වා” යි.
කාශ්‍යප, අන්තොටු වූ විරූ යමෙක් මෙසස්නෙහි පැවිද්ද කැමති වේ ද, උපසපුව කැමති වේ ද, හෙ තෙමේ සිවුමසක් පිරිවෙසෙයි. සිවුමස් ඇවෑමෙන් සතුටු කළ සිත් ඇති භික්‍ෂූහු කැමති වන්නාහු නම් වුසූ පිරිවෙස් ඇත්තහු භික්‍ෂුත්‍වය පිණිස පැවිදි කෙරෙත්, උපසපන් කෙරෙත්. එහෙත් මා විසින් පුද්ගලනානාත්‍වය දන්නාලද්දේ ය.
වහන්ස, ඉදින් අන්තොටු වූ විරූවෝ මෙසස්නෙහි පැවිද්ද කැමැත්තාහු උපසපුව කැමැත්තාහු සිවුමසක් පිරිවෙසෙද්ද, සිවුමස ඇවෑමෙන් සතුටුකළ සිත් ඇති භික්‍ෂූහු කැමැත්තාහු නම් වුසූ පිරිවෙස් ඇත්තවුන් භික්‍ෂුත්‍වය පිණිස පැවිදි කෙරෙද්ද, උපසපන් කෙරෙද්ද, මම සිවුවසක් පිරිවෙසෙන් නෙමි. සිවුවස ඇවෑමෙන් සතුටු සිත් ඇති භික්‍ෂූහු වුසූ පිරිවෙස් ඇති මා භික්‍ෂුත්‍වය පිණිස පැවිදි කෙරෙත්වා, උපසපන් කෙරෙත්වා යි.
අචේලකාශ්‍යප තෙමේ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි පැවිද්ද ලද්දේ ම ය. උපසපුව ලද්දේ ම ය. උපසපන් වූ නො බෝකල් ඇති අචේලකාශ්‍යප ආයුෂ්මත් තෙමේ එකලා ව (ගණයා කෙරෙන්) වෙන් ව නො පමා ව කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇති ව නිවන් පිණිස යෙදූ සිත් ඇති ව වෙසෙනුයේ නො බෝ කලෙකින් ම යමක් පිණිස කුලපුත්‍රයෝ මැනැවින් ම ගිහිගෙන් නික්ම පැවිද්දට පැමිණෙද් ද, මගබඹසර කෙළවර වූ ඒ නිරුත්තර වූ අර්‍හත්ත්‍වය මෙ ලොව්හි දී ම තෙමේ ම විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට එයට පැමිණ විසුයේ ය. ඉපැද්ම ක්‍ෂීණ විය. බඹසර වැස නිමවන ලදී. කටයුතු කරණලදී. මේ අර්‍හත්ත්‍වය පිණිස කටයුතු අනෙකක් නැතැයි දැන ගත්තේ ය. ආයුෂ්මත් කාශ්‍යප ස්ථවිරයන් වහන්සේ රහතුන් අතුරෙන් එක්තරා කෙනෙක් වූහ.
1. 2. 8.
තිම්බරුක සූත්‍රය
18. සැවැත්නුවර–
ඉක්බිති තිම්බරුක පිරිවැජි තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියේ ය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු වී ය. සතුටු විය යුතු සිහි කටයුතු කතාව කොට නිමවා එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් තිම්බරුක පිරිවැජි තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළේ ය:
භවත් ගෞතමයෙනි, කිමෙක් ද, සුවදුක් තමා විසින් කරණ ලද ද? තිම්බරුක, “එසේ නො කියව” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. භවත් ගෞතමයෙනි, කිමෙක් ද, සුවදුක් මෙරමා විසින් කරණ ලද ද? තිම්බරුක, “එසේ නො කියව” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. භවත් ගෞතමයෙනි, කිමෙක් ද, සුවදුක් තමා විසිනුත් මෙරමා විසිනුත් කරණ ලද ද? තිම්බරුක, “එසේ නො කියව” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. භවත් ගෞතමයෙනි, කිමෙක් ද, තමා විසිනුත් මෙරමා විසිනුත් නො කරණ ලද්දේ, ඉබේ හට ගත්තේ ද? තිම්බරුක, “එසේ නො කියව” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. භවත් ගෞතමයෙනි, කිමෙක් ද, සුවදුක් නැත්තේ ද? තිම්බරුක, සුවදුක් නැත්තේ නො වේ. තිම්බරුක, සුවදුක් ඇත්තේ ම ය. එසේ නම් භවත් ගෞතම තෙමේ සුවදුක් නො දනී ද, නො දකී ද? තිම්බරුක, මම සුවදුක් නොම නො දනිමි. නො ම නො දකිමි. තිම්බරුක, මම සුවදුක් දනිම් ම ය. තිම්බරුක, මම සුවදුක් දකිම් ම ය.
“භවත් ගෞතමයෙනි, කිමෙක් ද, සුවදුක් තමා විසින් කරණ ල දදැ”යි මෙසේ විචාරණ ලද්හු “තිම්බරුක, එසේ නො කියව”යි කියහු. “භවත් ගෞතමයෙනි, කිමෙක් ද, සුවදුක් මෙරමා විසින් කරණ ලද දැ”යි මෙසේ විචාරණ ලද්හු “තිම්බරුක, එසේ නො කියව” යි කියහු. ‘භවත් ගෞතමයෙනි, කිමෙක් ද, සුවදුක් තමා විසිනුත් මෙරමා විසිනුත් කරණ ලද දැ”යි මෙසේ විචාරණ ලද්හු “තිම්බරුක, එසේ නො කියව”යි කියහු. “භවත් ගෞතමයෙනි, කිමෙක් ද, සුවදුක් තමා විසිනුත් මෙරමා විසිනුත් නොකරණ ලද්දේ ඉබේ හට ගත්තේ දැ” යි මෙසේ විචාරණ ලද්හු “තිම්බරුක, එසේ නොකියව”යි කියහු. “භවත් ගෞතමයෙනි, කිමෙක් ද, සුවදුක් නැත්තේ දැ”යි මෙසේ විචාරණ ලද්හු “තිම්බරුක, සුවදුක් නො ම නැත්තේ ය. තිම්බරුක, සුවදුක් ඇත්තේ ම ය”යි කියහු. “එසේ නම් භවත් ගෞතම තෙමේ සුවදුක් නො දනීද, නො දකී දැ”යි මෙසේ විචාරණ ලද්හු “තිම්බරුක, මම සුවදුක් නො ම නො දනිමි. නො ම නො දකිමි. තිම්බරුක, මම සුවදුක් දනිම් ම ය. මම සුවදුක් දකිම් ම යි”යි කියහු. භවත් ගෞතමයන් වහන්සේ මට සුවදුක් වදාරණ සේක්වා, දේශනා කරණ සේක්වා.
තිම්බරුක,“ඕ වේදනා ය. හේ විඳී ය”යි මුල දී ම මේ ලබ්ධිය ඇති කල්හි (පසුව “සුවදුක් තමා විසින් කරණ ලදැ”යි මෙබඳු ලබ්ධි වෙයි. එබැවින්) සුවදුක් තමා විසින් කරණ ලදැ” යි මෙසේ මම නො කියමි. තිම්බරුක, “වේදනාව අනෙකක, අනෙකෙක් වි ඳී ය”යි (මුලදී ම මේ ලබ්ධිය ඇති කල්හි පසුව එයින් උපදනා උච්ඡේදදිට්ඨිසහගත) “වේදනාවෙන් පෙළුනහුට (සුවදුක් මෙරමා විසින් කරණ ලදැ”යි මෙබඳු ලබ්ධි වෙයි. එබැවින්) සුවදුක් මෙරමා විසින් කරණ ලදැ” යි මෙසේත් මම නො කියමි.
තිම්බරුක, තථාගත තෙමේ ඒ මේ අන්ත දෙකට නො පැමිණ මැදුම් පිළිවෙතින් දහම් දෙසයි: “අවිද්‍යාප්‍රත්‍යයයෙන් සංස්කාරයෝ වෙත්. සංස්කාරප්‍රත්‍යයයෙන් විඥානය වේ. ... මෙසේ මේ හුදු දුක්රැසේ හටගැණීම වේ. මේ අවිද්‍යාවේ ම නිරවශේෂ විරාගනිරෝධයෙන් සංස්කාර නිරෝධය වේ. සංස්කාරනිරෝධයෙන් විඥානනිරෝධය වේ ... මෙසේ මේ හුදු දුක්රැසේ නිරෝධය වේ”යි.
මෙසේ වදාළ කල්හි තිම්බරුක පිරිවැජි තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළේ ය: භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනව ... ඒ මම භවත් ගෞමයන් වහන්සේත් ධර්‍මයත් භික්‍ෂුසඞ්ඝයාත් ශරණ යමි. භවත් ගෞතමයන් වහන්සේ අද පටන් දිවිහිමියෙන් ශරණ ගිය මා උපාසකයකු කොට දරණසේක්වා යි.
1. 2. 9.
බාලපණ්ඩිත සූත්‍රය
19. සැවැත්නුවර–
මහණෙනි, අවිද්‍යානීවරණ ඇති තෘෂ්ණාවෙන් යුක්ත වූ බාලයාගේ මේ කය මෙසේ හටගත්තේ ය. මෙසේ මේ කය ද බාහිර නාමරූප ද මේ දෙකක් දෙකක් හේතු කොට ස්පර්‍ශය වේ. ආයතනයෝ සයෙකි. මෙයින් හෝ මෙයින් එක්තරා එකකින් හො පහස්නා ලද බාල තෙමේ සුවදුක් විඳී.
මහණෙනි, අවිද්‍යානීවරණ ඇති තෘෂ්ණාවෙන් යුක්ත වූ පණ්ඩිතයාගේ මේ කය මෙසේ හටගත්තේ ය මෙසේ මේ කය ද බාහිර නාමරූප ද මේ දෙකක් දෙකක් හේතු කොට ස්පර්‍ශය වේ. ආයතනයෝ සයෙකි. මෙයින් හො මෙයින් එක්තරා එකකින් හෝ පහස්නා ලද පණ්ඩිත තෙමේ සුවදුක් විඳී.
මහණෙනි, එහි ලා බාලයා සමග පණ්ඩිතයාගේ කවර වෙසෙසෙක් ද? කිනම් වැඩි ප්‍රයෝගයෙක් ද? කුමන වෙනසෙක් දැ?යි.
වහන්ස, අපගේ ධර්‍මෙයෝ භාග්‍යවතුන් වහන්සේ මුල් කොට භාග්‍යවතුන් වහන්සේ නායක කොට භාග්‍යවතුන් වහන්සේ පිහිට කොට ඇත්තාහ. වහන්ස මේ දේශනාවෙහි අර්‍ත්‍ථය භාග්‍යවතුන් වහන්සේට ම වැටහේවා භාග්‍යවතුන් වහන්සේගෙන් අසා භික්‍ෂූහු දරන්නාහු ය යි. මහණෙනි, එසේ නම් අසවු. මැනවින් මෙනෙහි කරවු. දේශනා කරන්නෙමි. වහන්ස, එසේ යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:
මහණෙනි, යම් අවිද්‍යාවකින් වැසුනු යම් තෘෂ්ණාවකින් යුක්ත වූ බාලයාගේ මේ කය හටගත්තේ ද, බාලයාගේ ඒ අවිද්‍යාවත් ප්‍රහීණ නුවූවා ය. ඒ තෘෂ්ණාවෙන් ක්‍ෂීණ නුවූවාය. කවර හෙයින් යත්: මහණෙනි, බාලතෙමේ මැනැවින් දුක් ගෙවීම පිණිස බඹසර නො කෙළේ ය. එහෙයින් බාලතෙමේ කය බිඳීමෙන් (අනෙක් පටිසන්‍ධි) කයකය පැමිණියේ වේ. අන් කයකට පැමිණි හේ ජාතියෙන් ජරා මරණයෙන් ශෝකයෙන් පරිදේවයෙන් දුකින් දොම්නසින් උපායාසයෙන් නො මිදෙයි. (සියලු) දුකින් නො මිදේ යි කියමි.
මහණෙනි, යම් අවිද්‍යාවකින් වැසුනු යම් තෘෂ්ණාවකින් යුක්ත වූ පණ්ඩිතයාගේ මේ කය හට ගත්තේ ද, ඒ පණ්ඩිතයාට අවිද්‍යාවත් ප්‍රහීණ වූවා ය. ඒ තෘෂ්ණාවෙන් ක්‍ෂීණ වූවා ය. කවරහෙයින යත්: මහණෙනි, පණ්ඩිත තෙමේ මැනැවින් දුක් ගෙවීම පිණිස බඹසර කළේ ය. එහෙයින් පණ්ඩිත තෙමේ කය බිඳීමෙන් (අනෙක්) කයකට නො පැමිණියේ වේ. හෙතෙමේ (අනෙක්) කයකට නො පැමිණියේ ම ජාතියෙන් ජරාමරණයෙන් සෝකයෙන් පරිදේවයෙන් දුක්ඛයෙන් දෝමනස්සයෙන් උපායාසයෙන් මිදෙයි. (සියලු) දුකින් මිදේ යයි කියමි.
මහණෙනි, යම් මේ බඹසර විසීමෙක් වේ ද, මේ වනාහි බාලයා හා පණ්ඩිතයාගේ වෙසෙස යි. මේ අධිකප්‍රයාග ය යි. මේ වෙනස යි.
1. 2. 10.
පච්චය (පච්චයුප්පන්න) සූත්‍රය
20. සැවැත්නුවර–
මහණෙනි, තොපට පටිච්චසමුප්පාදය ද පටිච්චසමුප්පන්න ධර්‍ම ද දේශනා කරන්නෙමි. එය අසවු. මැනවින් මෙනෙහි කරවු. කියන්නෙමියි. වහන්ස, එසේ යි භාග්‍යවතුන් වහන්සේට ඒ භික්‍ෂුහු පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:
මහණෙනි, පටිච්චසමුප්පාදය කවරේ ද යත්: මහණෙනි, තථාගතයන්ගේ උත්පාදයෙහි දු තථාගතයන්ගේ අනුත්පාදයෙහි දු ජාතිප්‍රත්‍යයයෙන් මරණය වේ යන ඒ ප්‍රත්‍යයස්වභාවය ධර්‍මස්ථිතිය (ප්‍රත්‍යයෝත්පන්න කාරණය) ධර්‍මනියාමය (ප්‍රත්‍යයසමුත්පන්නධර්‍මනියමය) ඉදප්පච්චයතාව (මේ ප්‍රතීත්‍යසමුත්පන්නභාවය) සිටියේ ම ය. (පවත්නේම ය) ඒ ඉදම්ප්‍රත්‍යයතාව තථාගත තෙමේ අවබෝධ කෙරෙයි. අභිසමය කෙරෙයි. අවබෝධ කොට අභිසමය කොට දක්වයි. දේශනා කරයි. පණවයි. පිහිටුවයි. විවෘත කරයි. බෙදයි. ප්‍රකට කෙරෙයි. බලවු යි පවසයි. “මහණෙනි, ජාතිප්‍රත්‍යයයෙන් ජරාමරණ වේ.” මහණෙනි, මෙසේ “ජාතිප්‍රත්‍යයයෙන් ජරාමරණ වේ” (යන මෙහි යම් ප්‍රත්‍යය ස්වභාවයෙක්, යම් අමෘෂාභාවයෙක්, යම් අනන්‍ය ස්වභාවයෙක්, යම් ප්‍රත්‍යයොත්පන්නභාවයෙක් ඇද් ද, මේ ප්‍රතීත්‍යසමුත්පාදය යි කියනු ලැබේ.)
මහණෙනි, භවප්‍රත්‍යයයෙන් ජාතිය වේ ... මහණෙනි, උපාදානප්‍රත්‍යයයෙන් භවය වේ. ... මහණෙනි, තෘෂ්ණාප්‍රත්‍යයයෙන් උපාදාන වේ ... මහණෙනි, වේදනාප්‍රත්‍යයයෙන් තෘෂ්ණාව වේ ... මහණෙනි, ස්පර්‍ශප්‍රත්‍යයයෙන් වේදනාව වේ ... මහණෙනි, ෂඩායතනප්‍රත්‍යයයෙන් ස්පර්‍ශය වේ ... මහණෙනි, නාමරූපප්‍රත්‍යයයෙන් ෂඩායතන වේ ... මහණෙනි, විඥාන ප්‍රත්‍යයයෙන් නාමරූප වේ ... මහණෙනි, සංස්කාරප්‍රත්‍යයයෙන් විඥානය වේ ... මහණෙනි, තථාගතයන්ගේ උත්පාදයෙහි දු තථාගතයන්ගේ අනුත්පාදයෙහිදු අවිද්‍යාප්‍රත්‍යයයෙන් සංස්කාරයෝ වෙති යන ඒ ප්‍රත්‍යයස්වභාවය ධර්‍මස්ථිතිය ධර්‍මනියාමය ඉදප්පච්චයතාව සිටියා ම ය. තථාගත තෙමේ එය අවබෝධ කෙරෙයි. අභිසමය කෙරෙයි අවබෝධ කොට අභිසමය කොට දක්වයි. දේශනා කරයි. පණවයි. පිහිටුවයි. විවරණ - විභජන කෙරෙයි. ප්‍රකට කෙරෙයි. බලවු යි දු පවසයි. “මහණෙනි, අවිද්‍යාප්‍රත්‍යයයෙන් සංස්කාරයෝ වෙති.” යන මෙහි යම් ස්වභාවයෙක් අමෘෂාභාවයෙක් අනන්‍යථාත්‍වයෙක් ඉදම්ප්‍රත්‍යයතායෙක් ඇද් ද, මහණෙනි, මේ පටිච්චසමුප්පාද යයි කියනු ලැබේ.
මහණෙනි, ප්‍රතීත්‍යසමුත්පන්නධර්‍මයෝ කවරහ යත්: මහණෙනි, ජරාමරණ අනිත්‍ය ය. සංස්කෘත ය. හේතුප්‍රත්‍යයයෙන් හටගත්තේ ය. ක්‍ෂය ස්වභාවය ඇත්තේ ය. ව්‍යයස්වභාවය ඇත්තේ ය. විරාගස්වභාවය ඇත්තේ ය. නිරෝධස්වභාවය ඇත්තේ ය. මහණෙනි, ඉපැද්ම අනිත්‍ය ය. සංස්කෘත ය. ප්‍රතීත්‍යසමුත්පන්න ය. ක්‍ෂයධර්‍ම ය . ව්‍යයධර්‍ම ය. විරාගධර්‍ම ය. නිරෝධධර්‍ම ය. මහණෙනි, භවය අනිත්‍ය ය. සංස්කෘත ය. ප්‍රතීත්‍යසමුත්පන්න ය. ක්‍ෂයධර්‍ම ය. විරාගධර්‍ම ය. නිරොධධර්‍ම ය. මහණෙනි, උපාදාන ... මහණෙනි, තෘෂ්ණාව ... මහණෙනි, වේදනාව ... මහණෙනි, ස්පර්‍ශය ... මහණෙනි, ෂඩායතන ... මහණෙනි, නාමරූප ... මහණෙනි, විඥාන ... මහණෙනි, සංස්කාරයෝ ... මහණෙනි, අවිද්‍යාව අනිත්‍ය ය. සංස්කෘත ය. ප්‍රතීත්‍යසමුත්පන්න ය ක්‍ෂයධර්‍ම ය. ව්‍යයධර්‍ම ය. විරාගධර්‍ම ය. නිරොධධර්‍ම ය. මහණෙනි, මේ ප්‍රතීත්‍යසමුත්පන්නධර්‍මයෝ යි කියනු ලැබෙත්.
මහණෙනි, යම් කලෙක ආර්‍ය්‍යශ්‍රාවකයා විසින් මේ පටිච්චසමුප්පාදයත් මේ පටිච්චසමුප්පන්න ධර්‍මයෝත් තතු සේ සම්‍යක්ප්‍රඥායෙන් මැනැවින් දක්නා ලද්දාහු වෙද්ද, හෙ තෙමේ ‘අතීත කාලයෙහි මම වූයෙම් දෝ? අතීත කාලයෙහි නො වූයෙම් දෝ? අතීත කාලයෙහි කවරෙක් වූයෙම් දෝ? අතීත කාලයෙහි කෙසේ වූයෙම් දෝ? අතීත කාලයෙහි මම කවරෙක් ව කවරෙක් වූයෙම් දෝ?” යි පූර්‍වාන්තය කරාත් දුවන්නේ ය - “මම අනාගත කාලයෙහි වන්නෙම් දෝ? අනාගත කාලයෙහි නො වන්නෙම් දෝ? අනාගත කාලයෙහි කවරෙක් වන්නෙම් දෝ? අනාගත කාලයෙහි කෙසේ වන්නෙම් දෝ? අනාගත කාලයෙහි මම කවරෙක් ව කවරෙක් වන්නෙම් දෝ?”යි අපරාන්තය කරාත් දුවන්නේ ය - දැන් වර්‍තමාන කාලයෙහිත් “මම වෙම් දෝ? නො වෙම් දෝ? කවරෙක් වෙම් දෝ? කෙසේ වෙම් දෝ? මේ සත්ත්‍වතෙමේ කොහි සිට ආයේ දෝ? හෙ තෙමේ කොහි යන්නෙක් වන්නේ දෝ?”යි තමා පිළිබඳ කෙසේ කෙසේ දැ යි පැවැති සැක ඇත්තේ වන්නේය - යන මේ කරුණ විද්‍යාමාන නො වේ. ඒ කවර හෙයින යත්: මහණෙනි, අර්‍ය්‍ය ශ්‍රාවකයා විසින් මේ පටිච්චසමුප්පාදය ද , මේ පටිච්චසමුප්පන්න ධර්‍මයෝ ද තතු සේ මනා නුවණින් දක්නා ලද්දාහු ය. එහෙයිනි.
ආහාරවර්‍ගය දෙවැනි යි.
එහි උද්දානය :