Saṁyutta Nikāya

Connected Discourses

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-30 · 15083 segments

පෙන්වන කොටස් 3001-3100 න් 15083

සුත්‍රාන්තපිටකයෙහි
සංයුත්තනිකාය
ද්විතීය භාගය
නිදාන වර්‍ගය
1. අභිසමය සංයුත්තය
1. බුද්ධ වර්‍ගය
ඒ භාග්‍යවත් අර්‍හත් සම්මාසම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා.
1. 1. 1.
පටිච්චසමුප්පාද සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදී: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬුසිටුහුගේ අරම්හි වැඩ වසන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි භික්‍ෂූන් ඇමතූ සේක. ඒ භික්‍ෂූහු ‘පින්වතුන් වහන්සැ’යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:
මහණෙනි, තොපට පටිච්චසමුප්පාදය දේශනා කරමි. එය අසවු. මනා කොට මෙනෙහි කරවු. දේශනා කරමි. ‘එසේ ය, වහන්සැ’යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:
මහණෙනි, පටිච්චසමුප්පාදය කවරේ ද? මහණෙනි, අවිද්‍යාප්‍රත්‍යයයෙන් සංස්කාරයෝ වෙති. සංස්කාරප්‍රත්‍යයයෙන් විඥානය වේ. විඥානප්‍රත්‍යයයෙන් (නාමය ද, රූපය ද,) නාමරූපය ද වේ. නාමරූපප්‍රත්‍යයයෙන් (ෂ ෂ්ඨායතනයද) ෂඩායතනය ද වේ. ෂඩායතනප්‍රත්‍යයයෙන් ස්පර්‍ශය වේ. ස්පර්‍ශප්‍රත්‍යයයෙන් වේදනාව වේ. වේදනාප්‍රත්‍යයයෙන් තෘෂ්ණාව වේ. තෘෂ්ණාප්‍රත්‍යයයෙන් උපාදානය වේ. උපාදානප්‍රත්‍යයයෙන් භවය වේ. භවප්‍රත්‍යයයෙන් ජාතිය වේ. ජාතිප්‍රත්‍යයයෙන් ජරාමරණ, සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ හටගණිත්. මෙසේ මේ හුදු දුඃඛස්කන්‍ධයාගේ උත්පත්තිය වේ. මහණෙනි, මේ (ප්‍රත්‍යයාකාරය) පටිච්චසමුප්පාද ය යයි කියනු ලැබේ.
අවිද්‍යාවේ ම අශේෂවිරාග (අනුශය සමුදඝාත) නම් වූ නිරෝධයෙන් සංස්කාරනිරෝධය වේ. සංස්කාරනිරෝධයෙන් විඥානනිරෝධය වේ. විඥානනිරෝධයෙන් නාමරූපනිරෝධය වේ. නාමරූපනිරෝධයෙන් ෂඩායතනනිරෝධය වේ. ෂඩායතනනිරෝධයෙන් ස්පර්‍ශනිරෝධය වේ. ස්පර්‍ශනිරෝධයෙන් වේදනානිරෝධය වේ. වේදනානිරෝධයෙන් තෘෂ්ණානිරෝධය වේ. තෘෂ්ණානිරෝධයෙන් උපාදානනිරෝධය වේ. උපාදානනිරෝධයෙන් භාවනිරෝධය වේ. භවනිරෝධයෙන් ජාතිනිරෝධය වේ. ජාතිනිරෝධයෙන් ජරාමරණ, සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ නිරුද්ධ වෙත්. මෙසේ මේ හුදු දුක් රැසේ නිරෝධය වෙයි. මෙය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. සතුටු වූ ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව පිළිගත්හ.
1. 1. 2.
විභඞ්ග සූත්‍රය
2. සැවැත්නුවර–
මහණෙනි, තොපට පටිච්චසමුප්පාදය දේශනා කරමි. බෙදා දක්වමි. එය අසවු. මනා කොට මෙනෙහි කරවු. කියමි. “එසේ ය වහන්සැ”යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:
මහණෙනි, පටිච්චසමුප්පාදය කවරේ ද? මහණෙනි, අවිද්‍යාප්‍රත්‍යයයෙන් සංස්කාරයෝ වෙති. සංස්කාරප්‍රත්‍යයයෙන් විඥානය වේ. විඥානප්‍රත්‍යයයෙන් නාමරූප වේ. නාමරූපප්‍රත්‍යයයෙන් ෂඩායතනය වේ. ෂඩායතනප්‍රත්‍යයයෙන් ස්පර්‍ශය වේ. ස්පර්‍ශප්‍රත්‍යයයෙන් වේදනාව වේ. වේදනාප්‍රත්‍යයයෙන් තෘෂ්ණාව වේ. තෘෂ්ණාප්‍රත්‍යයයෙන් උපාදානය වේ. උපාදානප්‍රත්‍යයයෙන් භවය වේ. භවප්‍රත්‍යයයෙන් ජාතිය වේ. ජාතිප්‍රත්‍යයයෙන් ජරාමරණ, සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ හටගණිත්. මෙසේ මේ හුදු දුක්රැසේ හටගැණීම වේ.
මහණෙනි, ජරාමරණ කවරේ ද? ඒ ඒ සත්ත්‍වයන්ගේ ඒ ඒ සත්ත්‍වනිකායයෙහි යම් දිරීමෙක් දිරණබවෙක් දත් වැටීමෙක් කෙහෙ පැසීමෙක් ඇඟ රැළි වැටීමෙක් ආයු පිරිහීමෙක් ඉඳුරන්ගේ පැසීමෙක් වේ ද, මේ ජරා ය යි කියනු ලැබේ.
මහණෙනි, මරණය කවරේ ද? ඒ ඒ සත්ත්‍වනිකායයෙන් ඒ ඒ සත්ත්‍වයන්ගේ යම් වෙන් වීමෙක් වෙන් වන බවෙක් බිඳීමෙක් අතුරුදන් වීමෙක් මච්චු නම් වූ මරණයෙක් කාලක්‍රියාවෙක් (සම්මුතිමරණයෙක්) ස්කන්‍ධයන්ගේ බිඳීමෙක් සිරුර හැර දැමීමෙක් ජීවිතේන්‍ද්‍රියයාගේ සිඳී යෑමෙක් වේ ද, මේ මරණ ය යි කියනු ලැබේ. මෙසේ මේ ජරාව ද මේ මරණය ද යන මෙය, මහණෙනි, ජරාමරණ ය යි කියනු ලැබේ.
මහණෙනි, ජාතිය කවරේ ද? ඒ ඒ සත්ත්‍වයන්ගේ ඒ ඒ සත්ත්‍වනිකායයෙහි හටගැණීමෙක් පිරිපුන් හටගැණීමෙක් කුසට බැස ගැන්මෙක් ඉපැද්මෙක් වෙසෙස් ඉපැද්මෙක් ස්කන්‍ධයන්ගේ පහළ වීමෙක් ආයතනයන්ගේ පිළිලැබීමෙක් වේ ද, මහණෙනි, මේ ජාති ය යි කියනු ලැබේ.
මහණෙනි, භවය කවරේ ද? මහණෙනි, කාමභවය, රූපභවය, අරූපභවය යි මේ භව තුණෙකි. මහණෙනි, මේ භව ය යි කියනු ලැබේ.
මහණෙනි, උපාදාන කවරේ ද? මහණෙනි, කාමඋපාදානය දිට්ඨිඋපාදානය සීලබ්බතඋපාදානය අත්තවාදඋපාදාන ය යි මේ උපාදාන සතරෙකි. මහණෙනි, මේ උපාදාන ය යි කියනු ලැබේ.
මහණෙනි, තෘෂ්ණාව කවරේ ද? මහණෙනි, රූපතෘෂ්ණාව ශබ්දතෘෂ්ණාව ගන්‍ධතෘෂ්ණාව රසතෘෂ්ණාව ස්ප්‍රෂ්ටව්‍යතෘෂ්ණාව ධර්‍මතෘෂ්ණාව යි මේ තෘෂ්ණාරාශි සයෙකි. මහණෙනි, මේ තෘෂ්ණා යයි කියනු ලැබේ.
මහණෙනි, වේදනාව කවරේ ද? ඇසෙහි (අරමුණ) ගැටීමෙන් වන වේදනා ය, කණෙහි ගැටීමෙන් වන වේදනා ය, නැහැයෙහි ගැටීමෙන් වන වේදනා ය, දිවෙහි ගැටීමෙන් වන වේදනා ය, සිතෙහි ගැටීමෙන් වන වේදනා ය යි මේ වේදනාරාශී සයෙකි. මහණෙනි, මේ වේදනා ය යි කියනු ලැබේ.
මහණෙනි, ස්පර්‍ශය කවරේ ද? මහණෙනි, ඇසෙහි (අරමුණ) ගැටීම ය, කණෙහි ගැටීම ය, නැහැයෙහි ගැටීම ය, දිවෙහි ගැටීම ය, කයෙහි ගැටීම ය, සිතෙහි ගැටීම ය යි මේ ස්පර්‍ශරාශි සයෙකි. මහණෙනි, මේ ස්පර්‍ශ ය යි කියනු ලැබේ.
මහණෙනි, ෂඩායතන කවරේ ද? චක්ඛුආයතනය, සෝතආයතනය, ඝාණආයතනය, ජිව්හාආයතනය, කායආයතනය, මනආයතනය, මහණෙනි, මේ ෂඩායතන ය යි කියනු ලැබේ.
මහණෙනි, නාමරූප කවරේ ද? වේදනා ය, සංඥා ය, චේතනා ය, ස්පර්‍ශ ය, මනස්කාර ය යන මෙය නාම ය යි කියනු ලැබේ. සතර මහාභූතයෝ ද සතර මහාභූතයන්ගේ උපාදායරූප ද යන මෙය රූප ය යි කියනු ලැබේ. මහණෙනි, මෙසේ මේ නාමය ද රූපය ද යන මේ නාමරූප ය යි කියනු ලැබේ.
මහණෙනි, විඤ්ඤාණය කවරේ ද? මහණෙනි, චක්ඛුවිඤ්ඤාණය, සෝතවිඤ්ඤාණය, ඝාණවිඤ්ඤාණය, ජිව්හාවිඤ්ඤාණය, කායවිඤ්ඤාණය, මනෝවිඤ්ඤාණ ය, යි මේ විඤ්ඤාණ රාශි සයෙකි. මහණෙනි, මෙය විඤ්ඤාණය යි කියනු ලැබේ.
මහණෙනි, සංස්කාරයෝ කවරහු ද? මහණෙනි, කායසංස්කාර ය, වාක්සංස්කාර ය, චිත්තසංස්කාර ය යි මේ සංස්කාර තුණෙකි. මහණෙනි, මොහු සංස්කාරයෝ ය යි කියනු ලැබෙත්.
මහණෙනි, අවිද්‍යාව කවරේ ද? මහණෙනි, දුඃඛසත්‍යයෙහි යම් නො දැනීමෙක්, දුඃඛසමුදයසත්‍යයෙහි යම් නො දැනීමෙක්, දුඃඛනිරෝධසත්‍යයෙහි යම් නො දැනීමෙක්, දුඃඛනිරෝධගාමිනීප්‍රතිපදාසත්‍යයෙහි යම් නො දැනීමෙක් වේ ද, මහණෙනි, මේ අවිද්‍යා ය යි කියනු ලැබේ.
මහණෙනි, මෙසේ අවිද්‍යාප්‍රත්‍යයයෙන් සංස්කාරයෝ හටගණිත්. සංස්කාරප්‍රත්‍යයයෙන් විඥානය වෙයි. … මෙසේ මේ හුදු දුක්රැසේ හටගැණීම වේ.
අවිද්‍යාවගේ ම අශේෂවිරාග නම් වූ නිරෝධයෙන් සංස්කාරනිරෝධය වේ. සංස්කාරනිරෝධයෙන් විඥානනිරෝධය වේ. … මෙසේ මේ හුදු දුක්රැසේ නිරෝධය වේ.
1. 1. 3.
පටිපදා සූත්‍රය
3. සැවැත්නුවර–
මහණෙනි, තොපට මිථ්‍යාප්‍රතිපදාව ද, සම්‍යක්ප්‍රතිපදාව ද දේශනා කිරීම. එය අසවු. මැනවින් මෙනෙහි කරවු. කියන්නෙමි යි. වහන්ස එසේ ය යි භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:
මහණෙනි, මිථ්‍යාප්‍රතිපදාව කවරේ ද? මහණෙනි, අවිද්‍යාප්‍රත්‍යයයෙන් සංස්කාරයෝ හටගණිත්. සංස්කාරප්‍රත්‍යයයෙන් විඥානය වේ. …. මෙසේ මේ හුදු දුක්රැසේ හටගැණීම වේ. මහණෙනි, මේ මිථ්‍යාප්‍රතිපදා යි කියනු ලැබේ.
මහණෙනි, සම්‍යක්ප්‍රතිපදාව කවරේද? අවිද්‍යාවගේ ම අනවශේෂ විරාග නම් වූ නිරෝධයෙන් සංස්කාරනිරෝධය වේ. සංස්කාරනිරෝධයෙන් විඥානනිරෝධය වේ. … මෙසේ මේ හුදු දුක්රැසේ නිරෝධය වේ. මහණෙනි, මේ සම්‍යක්ප්‍රතිපදා යි කියනු ලැබේ.
1. 1. 4.
විපස්සී සූත්‍රය
4. සැවැත්නුවර–
මහණෙනි, සම්බෝධියට පෙර බුදුබවට නො පැමිණි බෝසත් වූ ම භාග්‍යවත් අරහත් විපස්සී සම්මාසම්බුදුරජානන් වහන්සේට මෙබඳු අදහසෙක් විය: “මේ ලෝවැසි තෙමේ දුක්පත් ම ය. උපදියි. දිරයි. මියෙයි චුත වෙයි. (නැවතත්) උපදියි. එහෙත් මේ ජරාමරණ දුකෙහි නික්ම යෑම නො දනී. කවදා නම් මේ ජරාමරණ දුකෙහි නික්ම යාමෙක් පෙණෙන්නේ දැ” යි.
ඉක්බිති විපස්සී බෝධිසත්ත්‍වයන් වහන්සේට “කුමක් ඇති කල්හි ජරාමරණ වේ ද? කිනම් ප්‍රත්‍යයයකින් ජරාමරණ වේ දැ”?යි මේ අදහස පහළ විය. මහණෙනි, ඉක්බිති විපස්සී බෝධිසත්ත්‍වයන් වහන්සේට නුවණින් මෙනෙහි කිරීමෙන් ද ප්‍රඥායෙන්ද “ඉපදීම ඇති කල්හි ජරාමරණ වෙයි. ඉපදීම ප්‍රත්‍යයයෙන් ජරාමරණ වේ” යි අවබෝධ වි ය.
මහණෙනි, ඉක්බිති විපස්සී බෝධිසත්‍වයන් වහන්සේට “කුමක් ඇති කල්හි ඉපැද්ම වේ ද? කිනම් ප්‍රත්‍යයයකින් ඉපැද්ම වේ දැ”?යි මේ අදහස වී ය. මහණෙනි, ඉක්බිති විපස්සී බෝධිසත්ත්‍වයන් වහන්සේට උපායමනස්කාරයෙන් ද ප්‍රඥායෙන් ද “භවය ඇති කල්හි ඉපැද්ම වෙයි. භවය ප්‍රත්‍යයකොට ඉපැද්ම වේ”යි අවබෝධ වී ය.
මහණෙනි, ඉක්බිති විපස්සී බෝධිසත්‍වයන් වහන්සේට “කුමක් ඇති කල්හි භවය වේ ද? කිනම් ප්‍රත්‍යයයකින් භවය වේ දැ?”යි මේ අදහස වීය. මහණෙනි, ඉක්බිති විපස්සී බෝධිසත්ත්‍වයන් වහන්සේට උපායමනස්කාරයෙන් ද ප්‍රඥායෙන් ද “උපාදාන ඇති කල්හි භවය වෙයි. උපාදානප්‍රත්‍යයයෙන් භවය වේ” යි අවබෝධ වී ය.
මහණෙනි, ඉක්බිති විපස්සී බෝධිසත්‍වයන්ට “කුමක් ඇති කල්හි උපාදාන වේ ද? කිනම් ප්‍රත්‍යයයෙකින් උපාදාන වේ දැ?”යි මේ අදහස විය. මහණෙනි, ඉක්බිති විපස්සී බෝසතුන්ට උපායමනස්කාරයෙන් ද ප්‍රඥායෙන් ද “තෘෂ්ණාව ඇති කල්හි උපාදාන වෙයි. තෘෂ්ණාප්‍රත්‍යයයෙන් උපාදාන වේ” යි අවබෝධ වී ය.
මහණෙනි, ඉක්බිති විපස්සී බෝසතුන්ට “කුමක් ඇති කල්හි තෘෂ්ණාව වේ ද? කිනම් ප්‍රත්‍යයයෙකින් තෘෂ්ණාව වේ දැ?”යි මේ අදහස වී ය. මහණෙනි, ඉක්බිති විපස්සී බෝසතුන්ට උපායමනස්කාරයෙන් ද ප්‍රඥායෙන් ද “වේදනාව ඇති කල්හි තෘෂ්ණාව වෙයි. වේදනාප්‍රත්‍යයයෙන් තෘෂ්ණාව වේ” යි අවබෝධ වී ය.
මහණෙනි, ඉක්බිති විපස්සී බෝසතුන්ට “කුමක් ඇති කල්හි වේදනාව වේ ද? කිනම් ප්‍රත්‍යයයෙකින් වේදනාව වේ දැ?”යි මේ අදහස වී ය. මහණෙනි, ඉක්බිති විපස්සී බෝසතුන්ට උපායමනස්කාරයෙන් ද ප්‍රඥායෙන් ද “ස්පර්‍ශය ඇති කල්හි වේදනාව වෙයි. ස්පර්‍ශප්‍රත්‍යයයෙන් වේදනාව වේ” යි අවබෝධ වී ය.
මහණෙනි, ඉක්බිති විපස්සී බෝසතුන්ට “කුමක් ඇති කල්හි ස්පර්‍ශය වේ ද? කිනම් ප්‍රත්‍යයයෙකින් ස්පර්‍ශය වේ දැ?”යි මේ අදහස වීය. මහණෙනි, ඉක්බිති විපස්සී බෝසතුන්ට උපායමනස්කාරයෙන් ද ප්‍රඥායෙන් ද “ෂඩායතනය ඇති කල්හි ස්පර්‍ශය වෙයි. ෂඩායතනප්‍රත්‍යයයෙන් ස්පර්‍ශය වේ” යි අවබෝධ වී ය.
මහණෙනි, ඉක්බිති විපස්සී බෝසතුන්ට “කුමක් ඇති කල්හි ෂඩායතනය වේ ද? කිනම් ප්‍රත්‍යයයෙකින් ෂඩායතනය වේ දැ?”යි මේ අදහස වී ය. මහණෙනි, ඉක්බිති විපස්සී බෝසතුන්ට උපායමනස්කාරයෙන් ද ප්‍රඥායෙන් ද “නාමරූප ඇති කල්හි ෂඩායතනය වෙයි. නාමරූපප්‍රත්‍යයයෙන් ෂඩායතනය වේ” යි අවබෝධ වී ය.
මහණෙනි, ඉක්බිති විපස්සී බෝසතුන්ට “කුමක් ඇතිකල්හි නාමරූප වේ ද? කිනම් ප්‍රත්‍යයයෙකින් නාමරූප වේ දැ?”යි මේ අදහස වී ය. මහණෙනි, ඉක්බිති විපස්සී බෝසතුන්ට උපායමනස්කාරයෙන් ද ප්‍රඥායෙන් ද “විඥානය ඇති කල්හි නාමරූප වෙයි. විඥානප්‍රත්‍යයයෙන් නාමරූප වේ” යි අවබෝධ වී ය.
මහණෙනි, ඉක්බිති විපස්සී බෝසතුන්ට “කුමක් ඇති කල්හි විඤ්ඤාණය වේ ද? කිනම් ප්‍රත්‍යයයෙකින් විඤ්ඤාණය වේ දැ?”යි මේ අදහස වී ය. මහණෙනි, ඉක්බිති විපස්සී බෝසතුන්ට උපායමනස්කාරයෙන් ද ප්‍රඥායෙන් ද “සංස්කාරය ඇති කල්හි විඥානය වෙයි. සංස්කාරප්‍රත්‍යයයෙන් විඥානය වේ” යි අවබෝධ වී ය.
මහණෙනි, ඉක්බිති විපස්සී බෝසතුන්ට “කුමක් ඇතිකල්හි සංස්කාරයෝ වෙත් ද? කිනම් ප්‍රත්‍යයයෙකින් සංස්කාරයෝ වෙත් ද?” යි මේ අදහස වී ය. මහණෙනි, ඉක්බිති විපස්සී බෝසතුන්ට උපායමනස්කාරයෙන් ද ප්‍රඥායෙන් ද “අවිද්‍යාව ඇති කල්හි සංස්කාරයෝ වෙත්. අවිද්‍යාප්‍රත්‍යයයෙන් සංස්කාරයෝ වෙති”යි අවබෝධ වී ය.
මෙසේ මේ අවිද්‍යාප්‍රත්‍යයයෙන් සංස්කාරයෝ වෙත්. සංස්කාර ප්‍රත්‍යයයෙන් විඥානය වෙයි … මෙසේ මේ හුදු දුක්රැසෙහි හට ගැණීම වෙයි. මහණෙනි, විපස්සී බෝසතුන්ට “සමුදය ය, සමුදය ය” යි පෙර නො ඇසූවිරූ දහම්හි දර්‍ශනය පහළ විය. නුවණ පහළ විය. ප්‍රඥාව පහළ විය. විද්‍යාව පහළ විය. ආලෝකය පහළ විය.
මහණෙනි, ඉක්බිති විපස්සී බෝසතුන්ට “කුමක් නැති කල්හි ජරා මරණ නො වේ ද? කුමක් නිරුද්ධ වීමෙන් ජරාමරණනිරෝධය වේ දැ?”යි මේ අදහස විය. මහණෙනි, ඉක්බිති විපස්සී බෝසතුන්ට උපායමනස්කාරයෙන් ද ප්‍රඥායෙන් ද “ඉපැද්ම නැති කල්හි ජරාමරණ නො වේ. ඉපැද්ම නිරුද්ධ වීමෙන් ජරාමරණ නිරෝධය වේ”යි අවබෝධ විය.
මහණෙනි, ඉක්බිති විපස්සී බෝසතුන්ට “කුමක් නැති කල්හි ඉපැද්ම නො වේ ද? කුමක් නිරුද්ධ වීමෙන් ඉපැද්ම නිරුද්ධ වේ දැ?”යි මේ අදහස විය. මහණෙනි, ඉක්බිති විපස්සී බෝසතුන්ට උපායමනස්කාරයෙන් ද ප්‍රඥායෙන් ද “භවය නැති කල්හි ඉපැද්ම නො වේ. භවය නිරුද්ධ වීමෙන් ඉපැද්ම නිරුද්ධ වේ”යි අවබෝධ විය.
මහණෙනි, ඉක්බිති විපස්සී බෝසතුන්ට “කුමක් නැති කල්හි භවය නො වේ ද? කුමක් නිරුද්ධ වීමෙන් භවය නිරුද්ධ වේ දැ?”යි මේ අදහස විය. මහණෙනි, ඉක්බිති විපස්සී බෝසතුන්ට උපායමනස්කාරයෙන් ද ප්‍රඥායෙන් ද “උපාදාන නැති කල්හි භවය නො වේ. උපාදාන නිරුද්ධ වීමෙන් භවය නිරුද්ධ වේ”යි අවබෝධ විය.
මහණෙනි, ඉක්බිති විපස්සී බෝසතුන්ට “කුමක් නැති කල්හි උපාදාන නො වේ ද? කුමක් නිරුද්ධ වීමෙන් උපාදාන නිරුද්ධ වේ දැ?”යි මේ අදහස විය. මහණෙනි, ඉක්බිති විපස්සී බෝසතුන්ට උපායමනස්කාරයෙන් ද ප්‍රඥායෙන් ද “තණ්හාව නැති කල්හි උපාදාන නො වේ. තණ්හාව නිරුද්ධ වීමෙන් උපාදානනිරෝධය වේ”යි අවබෝධ විය.
මහණෙනි, ඉක්බිති විපස්සී බෝසතුන්ට “කුමක් නැති කල්හි තණ්හාව නො වේ ද? කුමක් නිරුද්ධ වීමෙන් තණ්හාව නිරුද්ධ වේ දැ?”යි මේ අදහස විය. මහණෙනි, ඉක්බිති විපස්සී බෝසතුන්ට උපායමනස්කාරයෙන් ද ප්‍රඥායෙන් ද “වේදනාව නැති කල්හි තණ්හාව නො වේ. වේදනාව නිරුද්ධ වීමෙන් තණ්හානිරෝධය වේ”යි අවබෝධ විය.
මහණෙනි, ඉක්බිති විපස්සී බෝසතුන්ට “කුමක් නැති කල්හි වේදනාව නො වේ ද? කුමක් නිරුද්ධ වීමෙන් වේදනානිරෝධය වේ දැ?”යි මේ අදහස විය. මහණෙනි, ඉක්බිති විපස්සී බෝසතුන්ට උපායමනස්කාරයෙන් ද ප්‍රඥායෙන් ද “ස්පර්‍ශය නැති කල්හි වේදනාව නො වේ. ස්පර්‍ශය නිරුද්ධ වීමෙන් වේදනානිරෝධය වේ”යි අවබෝධ විය.
මහණෙනි, ඉක්බිති විපස්සී බෝසතුන්ට “කුමක් නැති කල්හි ස්පර්‍ශය නො වේ ද? කුමක් නිරුද්ධ වීමෙන් ස්පර්‍ශනිරෝධය වේ දැ?”යි මේ අදහස විය. මහණෙනි, ඉක්බිති විපස්සී බෝසතුන්ට උපායමනස්කාරයෙන් ද ප්‍රඥායෙන් ද “ෂඩායතනය නැති කල්හි ස්පර්‍ශය නො වේ. ෂඩායතනය නිරුද්ධ වීමෙන් ස්පර්‍ශනිරෝධය වේ”යි අවබෝධ විය.
මහණෙනි, ඉක්බිති විපස්සී බෝසතුන්ට “කුමක් නැති කල්හි ෂඩායතනය නො වේ ද? කුමක් නිරුද්ධ වීමෙන් ෂඩායතනනිරෝධය වේ දැ?”යි මේ අදහස වී ය. මහණෙනි, ඉක්බිති විපස්සී බෝසතුන්ට උපාය ප්‍රඥායෙන් ද “නාමරූප නැති කල්හි ෂඩායතනය නො වේ. මනස්කාරයෙන්ද නාමරූප නිරුද්ධ වීමෙන් ෂඩායතනනිරෝධය වේ”යි අවබෝධ විය.
මහණෙනි, ඉක්බිති විපස්සී බෝසතුන්ට “කුමක් නැති කල්හි නාමරූප නො වේ ද? කුමක් නිරුද්ධ වීමෙන් නාමරූප නිරුද්ධ වේ දැ?”යි මේ අදහස වී ය. මහණෙනි, ඉක්බිති විපස්සී බෝසතුන්ට උපායමනස්කාරයෙන් ද ප්‍රඥායෙන් ද “විඤ්ඤාණය නැති කල්හි නාමරූප නො වේ. විඤ්ඤාණය නිරුද්ධ වීමෙන් නාමරූපනිරෝධය වේ”යි අවබෝධ වී ය.
මහණෙනි, ඉක්බිති විපස්සී බෝසතුන්ට “කුමක් නැති කල්හි විඤ්ඤාණය නො වේ ද? කුමක් නිරුද්ධ වීමෙන් විඤ්ඤාණය නිරුද්ධ වේ දැ?”යි මේ අදහස වී ය. මහණෙනි, ඉක්බිති විපස්සී බෝසතුන්ට උපායමස්කාරයෙන් ද ප්‍රඥායෙන් ද “සංස්කාර නැති කල්හි විඤ්ඤාණය නො වේ. සංස්කාර නිරුද්ධ වීමෙන් විඤ්ඤාණනිරෝධය වේ”යි අවබෝධ විය.
මහණෙනි, ඉක්බිති විපස්සීබෝසතුන්ට “කුමක් නැති කල්හි සංස්කාර නො වේ ද? කුමක් නිරුද්ධ වීමෙන් සංස්කාර නිරුද්ධ වේ දැ?”යි මේ අදහස වී ය. මහණෙනි, ඉක්බිති විපස්සී බෝසතුන්ට උපායමනස්කාරයෙන් ද ප්‍රඥායෙන් ද “අවිද්‍යාව නැති කල්හි සංස්කාර නො වේ. අවිද්‍යාව නිරුද්ධ වීමෙන් සංස්කාරනිරෝධයවේ ය”යි අවබෝධ වී ය.
මෙසේ මේ අවිද්‍යාව නිරුද්ධ වීමෙන් සංස්කාරනිරෝධය වේ. සංස්කාර නිරුද්ධ වීමෙන් විඥානනිරෝධය වේ. - … - මෙසේ මේ හුදු දුක්රැසේ නිරෝධය වේ.
මහණෙනි, විපස්සී බෝසතුන්ට “නිරෝධය නිරෝධය” යි පෙර නො ඇසූවිරූ දහම්හි දර්‍ශනය පහළ වි ය. ඥානය පහළ විය. ප්‍රඥාව පහළ විය. විද්‍යාව පහළ විය. ආලෝකය පහළ විය.
(සත් බුදුවරයන් වහන්සේ පිළිබඳ ව ම මෙසේ විස්තර කටයුතු ය.)
1. 1. 5.
සිඛී සූත්‍රය
5. මහණෙනි, සම්බෝධියට පෙර බුදුබවට නොපැමිණි, බෝසත් වූ ම භාග්‍යවත් අර්‍හත් සිඛී සම්මා සම්බුදුරජානන් වහන්සේට මෙබඳු අදහසෙක් වී ය: ...
1. 1. 6.
වෙස්සභූ සූත්‍රය
6. මහණෙනි, සම්බෝධියට පෙර බුදුබවට නො පැමිණි බෝසත් වූ ම භාග්‍යවත් අර්‍හත් වෙස්සභූ සම්මාසම්බුදුරජානන් වහන්සේට මෙබඳු අදහසෙක් වී ය: …
1. 1. 7.
කකුසන්‍ධ සූත්‍රය
7. මහණෙනි, සම්බෝධියට පෙර බුදුබවට නො පැමිණි බෝසත් වූ ම භාග්‍යවත් අර්‍හත් කකුසඳ{1} සම්මාසම්බුදුරජානන් වහන්සේට මෙබඳු අදහසෙක් වී ය: …
1. 1. 8.
කෝණාගමන සූත්‍රය
8. මහණෙනි, සම්බෝධියට පෙර බුදුබවට නො පැමිණි බෝසත් වූ ම භාග්‍යවත් අර්‍හත් කෝණාගමන සම්මාසම්බුදුරජානන් වහන්සේට මෙබඳු අදහසෙක් වී ය: …
1. 1. 9.
කස්සප සූත්‍රය
9. මහණෙනි, සම්බෝධියට පෙර බුදුබවට නො පැමිණි බෝසත් වූ ම භාග්‍යවත් අර්‍හත් කසුප් සම්මාසම්බුදුරජානන් වහන්සේට මෙබඳු අදහසෙක් වී ය: …
[පෙය්‍යාලයෙන් සංක්‍ෂිප්ත වූ (5-9) මේ සුත්‍රාන්තයෝ විපස්සී සූත්‍රයෙහි ආ සැටියෙන් විස්තර විසින් දත යුතු වෙත්.]
1. 1. 10.
ගොතම සූත්‍රය
10. මහණෙනි, බුදු වීමට පෙර ම බුදු නො වූ බෝසත් වූ මට මේ සිත පහල විය: “ඒකාන්තයෙන් මේ ලෝකයා දුකට පැමිණියේ ය. උපදී. දිරයි. මියෙයි. ච්‍යුත වෙයි. නැවතත් උපදී. එහෙත් දිරීම මැරීම පිළිබඳ දුකින් නික්ම යෑමක් නො දනී. කවර කලෙක නම් ජරාමරණ සඞ්ඛ්‍යාත මේ දුකින් නික්ම යෑමෙක් පෙණේ දැ”යි.
මහණෙනි, ඒ මට “කුමක් ඇති කල්හි ජරාමරණ වේ ද? කිනම් ප්‍රත්‍යයයෙකින් ජරාමරණ වේ දැ?”යි මේ අදහස පහළ විය. මහණෙනි, ඒ මට උපාය මනස්කාරයෙන් ද ප්‍රඥායෙන් ද “ඉපදීම ඇති කල්හි ජරාමරණ වෙයි. ඉපදීම්ප්‍රත්‍යයයෙන් ජරාමරණ වේ ය”යි අවබෝධ විය.
මහණෙනි, ඒ මට “කුමක් ඇති කල්හි ඉපැද්ම වේද? … භවය - උපාදාන - තෘෂ්ණාව - වේදනාව - ස්පර්‍ශය - ෂඩායතන - නාමරූප - විඥානය - සංස්කාරයෝ වෙද් ද? කිනම් ප්‍රත්‍යයයෙකින් සංස්කාරයෝ හටගණිද්දැ?”යි මේ අදහස විය. මහණෙනි, ඒ මට උපායමනස්කාරයෙන් ද ප්‍රඥායෙන් ද “අවිද්‍යාව ඇති කල්හි සංස්කාරයෝ වෙති. අවිද්‍යාප්‍රත්‍යයයෙන් සංස්කාරයෝ හටගනිති”යි අවබෝධ විය.
මෙසේ මේ අවිද්‍යාප්‍රත්‍යයයෙන් සංස්කාරයෝ වෙත්, සංස්කාරප්‍රත්‍යයයෙන් විඥානය හටගණී. …. මෙසේ මේ හුදු දුක්රැසේ හටගැණීම වේ.
මහණෙනි, “සමුදය සමුදය”යි පෙර නො ඇසූවිරූ දහම්හි මට දර්‍ශනය පහළ විය. ඥානය පහළ විය. ප්‍රඥාව පහළ විය. විද්‍යාව පහළ විය. ආලෝකය පහළ විය.
මහණෙනි, ඒ මට “කුමක් නැති කල්හි ජරාමරණ නො වේ ද? කුමක් නිරුද්ධ වීමෙන් ජරාමරණනිරෝධය වේ දැ?”යි මේ අදහස විය. මහණෙනි, ඒ මට නුවණින් මෙනෙහි කිරීමෙන් ද ප්‍රඥායෙන් ද “ඉපැද්ම නැති කල්හි ජරාමරණ නො වේ. ඉපැද්ම නිරුද්ධ වීමෙන් ජරාමරණනිරෝධය වේ”යි අවබෝධ විය.
මහණෙනි, ඒ මට “කුමක් නැති කල්හි ඉපැද්ම නො වේ ද?” … භවය - උපාදාන - තෘෂ්ණාව - වේදනාව - ස්පර්‍ශය - ෂඩායතන - නාමරූප - විඥානය - සංස්කාරයෝ නො වෙද් ද? කුමක් නිරුද්ධ වීමෙන් සංස්කාරනිරෝධය වේ දැ”?යි මේ අදහස විය. මහණෙනි, ඒ මට නුවණින් මෙනෙහි කිරීමෙන් ද ප්‍රඥායෙන් ද “අවිද්‍යාව නැති කල්හි සංස්කාරයෝ නො වෙත්. අවිද්‍යාව නිරුද්ධ වීමෙන් සංස්කාරනිරෝධය වේ”යි අවබෝධ විය.
මෙසේ මේ අවිද්‍යාව නිරුද්ධ වීමෙන් සංස්කාරනිරෝධය වේ. සංස්කාර නිරුද්ධ වීමෙන් විඥානනිරෝධය වේ. …. මෙසේ මේ හුදු දුක්රැසේ නිරෝධය වේ.
මහණෙනි, “නිරෝධය නිරෝධය”යි පෙර නො ඇසූවිරූ දහම්හි මට දර්‍ශනය පහළ විය. ඥානය පහළ විය. ප්‍රඥාව පහළ විය. විද්‍යාව පහළ විය. ආලෝකය පහළ විය.
බුද්ධවර්‍ගය පළමුවැනි යි
උද්දානය:
දේසනා, විභඞ්ග, පටිපදා, විපස්සී, සිඛී, වෙස්සභූ, කකුසන්‍ධ, කෝණාගමන, කස්සප, (මහායස සක්‍යමුනි) ගොතම ය යි සූත්‍ර දශයෙකි.
2. ආහාර වර්‍ගය