වන්‍දනා සූත්‍රය
263. සැවැත්නුවර–
එකල්හි භාග්‍යවතුන් වහන්සේ දිවාවිහරණයට වැඩිසේක් පිළිසලන ඇති සේක. ඉක්බිති සක්දෙව් රජ ද සහම්පති බඹු ද භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ වෙන වෙන දොරබා ඇසුරු කොට සිටියහ. එකල්හි සක්දෙව්රජ භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි මේ ගාථාව කීය.
වීරයන් වහන්ස, දිනන ලද සඞ්ග්‍රාම ඇත්තානෙනි, බහා තබන ලද බර ඇත්තවුන් වහන්ස, ණය නැත්තානෙනි, නැගී සිටිනු මැනවි. ලොව හැසිරෙණු මැනවි. මුබ වහන්සේගේ සිතත් පුණුරැසි රැයක් සඳ මෙන් මැනවින් මිදුනේ ය.
[භගවත්තු:]
දේවේන්‍ද්‍රය. තථාගතයෝ මෙසේ නො ම වැඳිය යුත්තාහ. දේවේන්‍ද්‍රය. තථාගතයෝ මෙසේ වැඳිය යුත්තාහ.
වීරයන් වහන්ස, විජිතසඞ්ග්‍රාමයන් වහන්ස, සාර්‍ත්‍ථවාහයන් වහන්ස, අනණයන් වහන්ස, නැඟී සිටිනු මැනවි. ලොව හැසිරෙණු මැනව. භාග්‍යවතුන් වහන්ස, ධර්‍මය දේශනා කරණු මැනව අවබෝධ කරන්නෝ ඇත.
11. 2. 8.
සක්කනමස්සන සූත්‍රය
264. සැවැත්නුවර–
මහණෙනි, පෙර වූවක් කියමි. සක් දෙවිඳු මාතලි රියදුරු ඇමතී ය: සගය, මාතලි, දහසින් යුත් ආජඤ්ඤරථය යොදව. මනා බිම වූ උයන්බිම දක්නට යමු.
මහණෙනි, ‘එසේ ය මුබට යෙහෙක් වේවායි’ මාතලි රියදුරු තෙමේ සක්දෙවිඳුහට පිළිවදන් දී දහසින් යුතු ආජඤ්ඤරථය යොදා සක්දෙවිඳුහට නිදුකානෙනි, දහසින් යුත් ආජඤ්ඤරථය යොදන ලදී. එයට කල් දනුව යි සැළ කෙළේ ය.
මහණෙනි, ඉක්බිති සක්දෙව්රජ විජයොත් පහයෙන් බස්නේ බඳැඳිලි ව ම හැම දිගුන් නමඳියි. මහණෙනි, එකල්හි මාතලි රියදුරු සක්දෙව්රජුට ගාථායෙන් කී ය:
වේදත්‍රය හදාරණ සියලු භූලෝකවාසීහු ද, ක්‍ෂත්‍රියයෝ ද, සතරවරම්දෙවිමහරජහු ද, යශස් ඇති දෙවියෝ ද, මුබ වඳිත්. වැලි සක්දෙවිඳුනි, මුබ යමකු වඳනාහු නම් හේ කිනම් සත්ත්‍වයෙක් ද?
[සක්දෙවිඳු:]
ත්‍රිවේදය හදාරණ පොළෝතල වැසි සියල්ලෝ ද ක්‍ෂත්‍රියයෝ ද සිවුවරම් දෙව්මහරජහු ද යශස් ඇති දෙවියෝ ද මා නමඳිත්.
මම ද ශීලයෙන් සමන්‍විත වූ බොහෝ කලක් මුළුල්ලෙහි එකඟ කළ සිත් ඇති බඹසරවිසුම්හි තත්පර වූ පැවිද්දන් මැනවින් වඳිම්.
පින් කරණ සිල්වත් වූ ගෘහස්ථ යම් උවසු කෙනෙක් දැහැමින් අඹුදරුවන් පුසිද්ද. මාතලි, මම ඔවුන් නමඳිමි.
[මාතලි:]
සක්දෙවිඳුනි, මුබ යම් කෙනකුන් වඳනාහු ද, ඔහු ලොව්හි ශ්‍රේෂ්ඨයෝ ම ය. සක්දෙව්රදුනි, (මුබ) යම් කෙනකුන් වඳනාහු ද මම ද ඔවුන් නමඳිමි.
[තෙරහු:]
දෙවියන්ට රජ වූ සුජාවගේ සැමියා වූ මඝවන්තු නම් වූ සක්දෙව්රජ තෙමේ මෙය කියා හැම දිගුන් නැමඳ රියට නැංගේ ය.
11. 2. 9.
දුතියසක්කනමස්සන සූත්‍රය
265. සැවැත්නුවර–
මහණෙනි, පෙර වූවක් කියමි. සක්දෙවිඳු තෙමේ මාතලි රියැදුරා ඇමතීය: ‘සගය මාතලි, සහස්‍රයුක්ත ආජඤ්ඤරථය යොදව. මනහර බිම වූ උයන් බිම දක්නට යමු’යි.
“මහණෙනි, මාතලි රියදුරු තෙමේ ‘එසේ ය, මුබට මැනැවෙකි’යි පිළිතුරු දී දහසින් යුත් ආජඤ්ඤරථය යොදා සක්දෙවිඳුට ‘නිදුකානෙනි, මුබගේ දහසින් යුත් ආජඤ්ඤරථය යොදන ලදී. එයට දැන් කල් දනුව’යි සැළ කෙළේ ය.
මහණෙනි, එකල්හි සක්දෙවිඳු විජයොත්පහයෙන් බස්නේ බැඳැදිලි වැ සිට භාග්‍යවතුන් වහන්සේ නමඳියි.
මහණෙනි, එකල්හි මාතලි රියැදුරු තෙමේ සක් දෙවිඳුට ගාථායෙන් කී ය:
‘සක්දෙවිඳුනි, යම් හෙයෙකින් දෙවියෝත් මිනිස්සුත් තොප වඳිද්ද, වැලි ඒ තෙපි යමකු වඳිවු නම් හෙ කිනම් සත්ත්‍වයෙක් ද?
[සක්දෙවිඳු:]
එම්බා මාතලි, මෙහි දෙවියන් සහිත මේ ලොව්හි යම් සම්මාසම්බුදු කෙනෙක් වෙද්ද, අලාමක නම් ඇති ඒ ශාස්තෲන් වහන්සේ නමඳිමි.
යම් කෙනකුන් විසින් රාගයත් ද්වේෂයත් අවිද්‍යාවත් දුරු කරණ ලද්දාහු ද, ඔහු ක්‍ෂය කළ ආස්‍රව ඇති රහත්හු ය. මාතලි මම ඔවුන් නමඳිමි.
මාතලි, යම් කෙනෙක් රාගද්වේශයන් දුරු කිරීමෙන් අවිද්‍යාව ඉක්මීමෙන් ශෛක්‍ෂ වූවාහු සසරවට නැසීමෙහි ඇලුනාහු නොපමා ව හික්මෙද්ද, මම ඔවුන් නමඳිමි.
[මාතලි:]
සක්දෙවිඳුනි, මුබ යම් කෙනකුන් වඳනාහු ද, ඔහු ලොව්හි ශ්‍රේෂ්ඨයෝ ම වෙති. සක්දෙවිඳුනි, මුබ යම් කෙනකුන් නමඳනාහු නම් මමත් ඔවුන් නමඳිමි.
[තෙරහු:]
මඝවත් නම් වූ දෙවියන්ට රජ වූ සුජාවගේ සැමියා වූ සක්දෙවිඳු තෙමේ මෙය කියා භාග්‍යවතුන් වහන්සේ නැමැඳ රියට නැංගේ ය.
11. 2. 10.
තතියසක්කනමස්සන සූත්‍රය
266. මා විසින් මෙසේ අසන ලදී: එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩවසන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි භික්‍ෂූන් ඇමතූ සේක. ඒ භික්‍ෂූහු වහන්සැයි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:
මහණෙනි, පෙර වූවක් කියමි. සක්දෙව්රජ මාතලි රියැදුරා ඇමතී ය: “සගය මාතලි, දහසින් යුත් ආජඤ්ඤරථය යොදව, මනහර බිම වූ උයන්බිම දක්නට යමු”යි.
මහණෙනි, මාතලි රියදුරු “එසේ ය, මුබට මැනැවෙක් වේව”යි සක්දෙවිඳුට පිළිතුරු දී දහසින් යුත් ආජඤ්ඤරථය යොදා සක්දෙවිඳුට නිදුකානෙනි, දහසින් යුත් මුබගේ ආජඤ්ඤරථය යොදන ලද්දේ ය. දැන් එයට කල් දනුව”යි සැළ කෙළේ ය. මහණෙනි, ඉක්බිති සක්දෙව්රජ විජයොත්පහයෙන් බස්නේ බැඳැදිලි ව ම බික්සඟන නමඳියි. මහණෙනි, එකල්හි, මාතලි රියදුරු තෙමේ සක්දෙවිඳුට ගාථායෙන් කී ය:
දුගඳ සිරුර වැතිර ගෙණ හෝනා වූ මේ මිනිස්සු මුබවහන්සේ නමඳනාහ. මොහු කුණුපයෙහි (මවුකුසැ) ගැලුනාහ. සාපිපාසා දෙකින් මඬනා ලද්දාහුය.
සක්දෙවිඳුනි, ගෘහවාස නැති ඒ තව්තිසන්ගේ කිනම් අචාරයක් කැමැත්තෙහි ද? කියනු මැනව. මුබගේ ඒ වදන අසමු.
[සක්දෙවිඳු:]
එම්බා, මාතලි, ඔහු යම් ගමෙකින් බැහැර යෙත් නම් නිරපේක්‍ෂක ව යෙත්. ගෘහවාස රහිත වූ ඔවුන්ගේ මේ ගුණය කැමැත්තෙමු.
ඔවුන් සතු (ධාන්‍යයක්) කොටුවෙක නො බහත්. සැළෙක්හිදු නො බහත්. පැසෙක්හිදු නො බහත්. මෙරමා නිම වූ බත සොයන්නාහු මනා ව්‍රත ඇත්තාහු එයින් යැපෙත්. සුමන්ත්‍රණ මන්ත්‍රණය කරන්නාහ. ධෘතිසම්පන්නයහ. නිශ්ශබ්දයහ. සම ව හැසිරෙන්නාහ.
එම්බා මාතලි, දෙවියෝ අසුරයන් හා විරුද්ධයහ. (එසේ ම) බොහෝ මිනිස්සු ද (ඔවුනොවුන් හා) විරුද්ධයහ. (එහෙත් මොහු) විරුද්ධයන් කෙරෙහි අවිරුද්ධයහ. ගත දඬු ඇත්තන් කෙරෙහි නිවුනහ. ආදාන (ග්‍රහණ) සහිතයන් අතරෙහි ආදාන රහිතයහ. මාතලි, ඔවුන් නමඳිමි.
[මාතලි:]
සක්දෙවිඳුනි, මුබ යම් කෙනකුන් නමඳනාහ නම් ඔහු ලොව්හි ශ්‍රේෂ්ඨයෝ ම වෙති. සක්දෙවිඳුනි, මුබ යම් කෙනකුන් නමඳනාහු නම් මමත් ඔවුන් නමඳිමි.
[තෙරහු:]
මඝවත් නම් වූ දෙවියන්ට රජ වූ සුජාවගේ සැමියා වූ සක්දෙව්රජ මෙය අසා බික්සඟන නැමඳ රියට නැංගේ ය.
සත්තවතවර්‍ගය දෙවැනි යි.
එහි උද්දානය:
වතපද සූත්‍ර තුණය, දළිද්ද, රාමණෙය්‍යක, යජමාන, වන්‍දනා සූත්‍රය, සක්කනමස්සනා සූත්‍ර තුණය යි සූත්‍ර දශයකි.
3. සක්කපඤ්චකය
11. 3. 1.
ඣත්‍වා සූත්‍රය
267. මා විසින් මෙසේ අසන ලදී: එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩවසන සේක. එකල්හි සක්දෙවිඳු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියේ ය. එකත්පසෙක සිටි සක්දෙවිඳු භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් සැළ කෙළේ ය.
ගෞතමයන් වහන්ස, කුමක් දවා සුවසේ වැටේ ද? කුමක් දවා නො සොස්නේ ද? කිනම් එක් දහමක්හුගේ නැස්ම රුස්නෙහි ද?
[භගවත්හු:]
සක්දෙවිඳු, ක්‍රෝධය දවා සුවසේ වෙසෙයි. ක්‍රෝධය දවා ශෝක නො කෙරේ. විෂ වූ මුල ඇති මිහිරි අග ඇති ක්‍රෝධය නැස්ම ආර්‍ය්‍යයෝ පසසත්. එය දවා ම ශෝක නො කෙරෙයි.
11. 3. 2.
දුබ්බණ්ණිය සූත්‍රය
268. සැවැත්නුවර–
මහණෙනි, පෙර වූවක් කියමි. දුර්වර්‍ණ වූ මිටි වූ එක්තරා යකෙක් සක්දෙවිඳුගේ අසුන්හි හුන්නේ විය. මහණෙනි, එකල්හි තව්තිසා වැසි දෙවියෝ “පින්වත්නි, ඒකාන්තයෙන් ආශ්චර්‍ය්‍යයෙකි. පින්වත්නි, ඒකාන්තයෙන් අද්භූතයෙකි. දුර්වර්‍ණ වූ මිටි වූ මේ යක්‍ෂ තෙමේ සක් දෙවිඳුගේ අස්නෙහි හුන්නේ ය”යි නින්‍දා කෙරෙත්, දොස් කියත්, අවමන් කෙරෙත්. මහණෙනි, තව්තිසා වැසි දෙවියෝ යම් යම් පරිද්දකින් නින්‍දා කෙරෙත් ද, දොස් කියද්ද, අවමන් කෙරෙද්ද, ඒ ඒ පරිද්දෙන් ඒ යක්‍ෂ තෙමේ ඉතා විශිෂ්ට රූ ඇත්තේ ද ඉතා දැකුම්කලු වූයේ ද අතිශයින් ප්‍රසාද එළවන්නේ ද වෙයි.
මහණෙනි, ඉක්බිති තව්තිසා වැසි දෙවියෝ සක්දෙවිඳු වෙත එළඹියහ. එළඹ සක්දෙවිඳුහට මෙය සැළ කළහ. නිදුකානෙනි, මෙහි දුර්වර්‍ණ වූ මිටි වූ එක්තරා යකෙක් මුබගේ අස්නෙහි හුන්නේ ය. නිදුකානෙනි, එකල්හි තව්තිසා වැසි දෙවියෝ “පින්වත්නි, ඒකාන්තයෙන් ආශ්චර්‍ය්‍යයෙකි. පින්වත්නි, ඒකාන්තයෙන් අද්භූතයෙකි. දුර්වර්‍ණ වූ මිටි වූ මේ යක්‍ෂ තෙමේ සක්දෙවිඳුගේ අස්නෙහි හුන්නේ ය”යි නින්‍දා කෙරෙත්. දොස් කියත්. අගුණ පතුරුවත්. නිදුකානෙනි, තව්තිසා වැසි දෙවියෝ යම් යම් පරිද්දෙකින් නින්‍දා කෙරෙත් ද, දොස් කියත් ද, නුගුණ පතුරුවත් ද, ඒ ඒ පරිද්දෙන් ඒ යක්‍ෂ තෙමේ ඉතා මනහර රූ ඇත්තේ ද ඉතා දැකුම්කලු වූයේ ද අතිශයින් ප්‍රසාද එළවන්නේ ද වේ ම ය. පින්වත්නි, හෙ තෙමේ ඒකාන්තයෙන් ක්‍රෝධය බුදින යක්‍ෂයෙක් වන්නේ ය”යි.
මහණෙනි, ඉක්බිති සක්දෙවිඳු ඒ කෝධභක්ඛ යකු වෙත එළඹියේ ය. එළඹ උතුරුසළුව එකස් කොට දකුණු දණමඬල පොළොවෙහි හැන ඒ කෝධභක්ඛ යකු වෙත ඇඳිලි බැඳ “නිදුකානෙනි, මම සක් දෙවිඳුමි. නිදුකානෙනි, මම සක් දෙවිඳුමි”යි තෙවරක් නම ඇස්වී ය.
මහණෙනි, සක්දෙවිඳු යම් යම් පරිද්දෙන් නම අස්වා ද, ඒ යක්‍ෂ තෙමේ ඒ ඒ පරිද්දෙන් අතිශයින් දුර්වර්‍ණ ද, ඉතා මිටි ද වූයේ ය ඉතා දුර්වර්‍ණ ද, ඉතා මිටි ද වී එහි ම අතුරුදන් විය.
මහණෙනි, එකල්හි සක්දෙවිඳු සිය අස්නෙහි හිඳ තව්තිසා වැසි දෙවියන් සතුටු කරමින් ඒ වෙලාවෙහි මේ ගාථා කී ය:
නො ඝැටුනු සිත් ඇත්තෙම් වෙමි. කෝවැටුමෙන් සුවසේ ගෙණ ඉය නො හෙමි. මම බොහෝ කලක් නො කිපෙමි. මා කෙරෙහි ක්‍රෝධය නො පිහිටයි.
මම කිපියෙම් රළුබස් නො බෙණෙමි. දැහැමිබස් පවසමි. ආත්මාර්‍ත්‍ථය දකිමින් අතිශයින් තමා නිගනිමි.
11. 3. 3.
මායා සූත්‍රය
269. සැවැත්නුවර–
මහණෙනි, පෙර වූවක් කියමි. වෙපචිති අසිරිඳු (ඉසිගණයාගේ සාපයෙන්) හටගත් ආබාධ ඇත්තේ දුකට පත්වූයේ දැඩිසේ ගිලන් වූයේ විය. මහණෙනි, ඉක්බිති, සක්දෙවිඳු තෙමේ ගිලන්සේ විමසන්නක් ව වේපචිත්ති අසුරිඳු වේත එළඹියේ ය.
මහණෙනි, වේපචිත්ති අසුරිඳු එන්නා වූ සක්දෙවිඳු දුර දී ම දැක්කේ ය. දැක සක් දෙවිඳුට ‘දේවේන්‍ද්‍රය, මට පිළියම් කරව’යි මෙය කී ය.
‘වේපචිත්ති, මා සම්බරීමායාව හදාරවාලව’යි (සක්දෙව් කී ය.) නිදුකානෙනි, මම අසුරයන් පුළුවුස්නා තෙක් නො හදාරව’යි වේපචිත්ති කී ය.
ඉක්බිති වේපචිත්ති අසුරිඳු “පින්වත්නි, මම සක්දෙවිඳු සම්බරීමායාව හදාරවම් දැ යි අසුරයන් පිළිවිසී ය. නිදුකානෙනි, තෙපි සක් දෙවිඳු සම්බරීමායාව නො ම හදාරවාලවු.”
මහණෙනි, එකල්හි වේපචිත්ති අසුරිඳු සක්දෙවිඳුට ගාථායෙන් කී ය:
“මඝ යන නම් ඇත්තව, ශ්‍රක්‍රය, දේවේන්‍ද්‍රය, සුජාවගේ හිමිය, මායා ඇති පුද්ගල තෙමේ සම්බර නම් අසුරයා මෙන් සියවසක් පැසෙන දරුණු නිරයට පැමිණෙයි.”
11. 3. 4.
අච්චය සූත්‍රය
270. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වසන සේක. එකල්හි භික්‍ෂූහු දෙදෙනෙක් කලහ කළහ. එහි එක් මහණෙක් අභිභවා බිණී. එකල්හි ඒ මහණ ඒ මහණහු ලඟ වරද වරද වශයෙන් දෙසයි. ඒ මහණ එය නො පිළිගණී.
ඉක්බිති බොහෝ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹිය හ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත් පසෙක හුන්හ. එකත්පසෙක හුන් ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළහ: වහන්ස, මෙහි මහණහු දෙදෙනෙක් කලහ කළහ. එහි එක් මහණෙක් අභිභවා බිණී. වහන්ස, එකල්හි ඒ මහණ තෙමේ ඒ මහණහු ලඟ වරද වරද වශයෙන් දෙසයි. ඒ මහණ තෙමේ එය නො පිළිගණී.
මහණෙනි, මේ බාලයෝ දෙදෙනෙකි: යමෙක් වරද වරද වශයෙන් නො දකී ද, යමෙකුත් වරද දෙසන්නහුගේ යථාධර්‍මය නො පිළිගණී ද, මහණෙනි, මේ දෙදෙන බාලයෝ යි. මහණෙනි, මේ පණ්ඩිතයෝ දෙදෙනෙකි: යමෙක් වරද වරද වශයෙන් දකී ද, යමෙකුත් වරද දෙසන්නහුගේ යථාධර්‍මය පිළිගණී ද; මහණෙනි, මේ දෙදෙන පණ්ඩිතයෝ යි.
මහණෙනි, පෙර වූවක් කියමි. සක් දෙව්රජ සුධර්‍මා සභායෙහි තව්තිසා වැසි දෙවියන් සතුටු කරවමින් ඒ වෙලාවෙහි මේ ගාථාව කී ය.
ක්‍රෝධය තොපගේ වසයට පැමිණේවා. තොපගේ මිත්‍රධර්‍මයෙහි දිරීමෙක් නො වේවා. නොගැරහියයුතු (ක්‍ෂීණාස්‍රව) පුද්ගලයාට නො ගරහව. කේලාම් නො ද කියව. වැලි ක්‍රෝධය පර්‍වතයක් මෙන් ලාමක ජනයා අතිශයින් මඬී.
11. 3. 5.
අක්කෝධ සූත්‍රය
271. මා විසින් මෙසේ අසන ලදී: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වසන සේක. එකල්හි භික්‍ෂූහු දෙදෙනෙක් කලහ කළහ. … - …
මහණෙනි, පෙර වූවක් කියමි. සක්දෙවිඳු සුදම්සෙබෙහි තව්තිසා වැසි දෙවියන් සතුටු කරවමින් ඒ වෙලාවෙහි මේ ගාථාව කී ය:
ක්‍රෝධය තෙමේ තොප නහමක් මඩීවා! කිපෙන්නවුන්ට නො ද කිපෙව. ක්‍රෝධ නො කිරීම ද අවිහිංසාව ද හැම කල්හි ආර්‍ය්‍යයන් කෙරෙහි පවතී. වැලි ක්‍රෝධය පර්‍වතයක් මෙන් ලාමක ජනයා වෙසෙසින් මඩියි.
සක්ක පඤ්චක යයි.
එහි උද්දානය:
ඣත්‍වා, දුබ්බණ්ණිය, මායා, අච්චය, අක්කෝධන යයි මේ සක්කපඤ්චකය බුදුරජානන් වහන්සේ විසින් දේශනා කරණ ලදී.
සක්ක සංයුත්තය සමාප්ත යි.
(සංයුත්තනාමාවලිය:) දේවතා, දේවපුත්ත, (කෝසල) රාජ, මාර, භික්ඛුනී, බ්‍රහ්ම, බ්‍රාහ්මණ, වඞ්ගීස, වන, යක්ඛ, වාසව (- සක්ක) යි සංයුත්ත එකොළොසෙකි.
සගාථවර්‍ගය නිමියේ ය.