Saṁyutta Nikāya

Connected Discourses

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-30 · 15083 segments

පෙන්වන කොටස් 201-300 න් 15083

[භගවත්හු:]
ප්‍රඥප්තිය හළේ ය. විවිධ මානයට (=නවවිධි හෝ ත්‍රිවිධ මානයට) නො ගියේ ය. නොහොත් මවුකුසට නො යන්නේ ය. මේ නාමරූප සඞ්ඛ්‍යාත පඤ්චස්කන්‍ධයෙහි තෘෂ්ණාව මුලසුන් කළේය. සුන් කළ කෙලෙස් ගැට ඇති නිදුක් වු තෘෂ්ණා රහිත වූ ඒ ක්‍ෂීණාස්‍රවයා සොයන්නා වූ දෙවියෝ ද මනුෂ්‍යයෝ ද මෙලොව හෝ පරලොව හෝ ස්වර්‍ගයන්හි හෝ සියලු සත්ත්‍ව නිවේසනයන්හි හෝ නො දකිත්. එම්බා දෙව්දුව ඉදින් දනිහි නම් කියව.
[දෙව්දූ:]
වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් වදාරණ ලද මේ දේශනාවෙහි අරුත විතර විසින් මම මෙසේ දනිමි.
[භගවත්හු:]
වචනයෙන් ද සිතින් ද කයින් ද කිසි පවක් නො කරන්නේ ය. මුළු ලෙව්හි සියලු කාමයන් හැර සිහි ඇත්තේ මනා නුවණ ඇත්තේ අනර්‍ත්‍ථව සහිත වූ දුක නො සෙවුනේ ය.
නන්‍දන වර්‍ගය දෙවෙනි යි.
එහි සූත්‍රනාමාවලිය:
නන්‍දන, නන්‍දති, නත්‍ථිපුත්තසම, ඛත්තිය, සනමාන, නිද්දාතන්‍දි, දුක්කර, හිරි, නව වන කුටිකා, දසවන සමිද්ධි සූත්‍රය ද වේ.
3. සත්ති වර්‍ගය
1. 3. 1.
සත්තී සූත්‍රය
21. සැවැත්නුවර -
එකත්පසෙක සිටි ඒ දෙවි තෙමේ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කී ය:
සැතෙකින් පහර ලද්දෙකු මෙන් ද, හිසැ දැවෙන්නකු මෙන් ද, මහණ තෙමේ කාමරාග ප්‍රහාණය පිණිස සිහි ඇති ව වෙසෙන්නේ ය.
[භගවත්හු:]
සැතෙකින් පහර ලද්දකු මෙන් ද, හිසැ දැවෙන්නකු මෙන් ද මහණ තෙමේ සත්කායදෘෂ්ටි ප්‍රහාණය පිණිස සිහි ඇති ව වෙසෙන්නේ ය.
1. 3. 2.
ඵුසති සූත්‍රය
22. සැවැත්නුවර–
එකත්පසෙක සිටි ඒ දෙවි තෙමේ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කී ය:
කර්‍මය නො පහස්නහු විපාකය තෙමේ ස්පර්‍ශ නො කෙරෙයි. එහෙයින් කර්‍මය පහස්නහු විපාකය තෙමේ ස්පර්‍ශ කරන්නේ ය. එහෙයින් නිදොස් පුඟුලන්ට ද්වේෂ කරණ කර්‍මය පහස්නහු විපාකය තෙමේ ස්පර්‍ශ කෙරෙයි.
[භගවත්හු:]
යමෙක් නිදොස් වූ පිරිසිදු වූ කෙලෙස් නැති පුද්ගලයකුට ද්වේෂ කෙරේ ද, ඒ පාපය තෙමේ උඩුසුලඟට දැමූ සියුම් රජසක් මෙන් ඒ බාලයා කරා ම පෙරළා එයි.
1. 3. 3.
ජටා සූත්‍රය
23. සැවැත්නුවර–
එකත්පසෙක සිටි ඒ දෙවි තෙමේ භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් කී ය:
ඇතුළත අවුල් ය. පිටත අවුල් ය. සත්ත්‍ව ප්‍රජාව අවුලෙන් වේළුනී ය. එහෙයින් ගෞතමයන් වහන්ස, කවරෙක් මේ අවුල නිරවුල් කරන්නේ දැ යි? එකරුණ පුළුවුස්මි.
[භගවත්හු:]
පිළිසඳනුවණ ඇති කෙලෙස් තවන වෙර ඇති තීරණප්‍රඥායෙන් යුත් සසර බිය දක්නාසුලු ඒ සත්ත්‍ව තෙමේ ශීලයෙහි පිහිටා සමාධිය හා ප්‍රඥාව වඩමින් මේ අවුල නිරවුල් කරන්නේ යි.
යම් කෙනකුන් විසින් රාගයත් ද්වේෂයත් අවිද්‍යාවත් දුරු කරණ ලද්දාහු ද, (ඔහු) ක්‍ෂීණාස්‍රව රහත්හු ය. ඔවුන් විසින් තෘෂ්ණා නමැති අවුල නිරවුල් කරණ ලදී.
යම් තැනෙක නාමයත් රූපයත් ප්‍රතිඝයත් රූපසංඥාවත් නිරවශේෂයෙන් නිරුද්ධ වෙද්ද. මෙහි මේ තෘෂ්ණා නමැති අවුල සිඳේ යි.
1. 3. 4.
මනෝනිවාරණ සූත්‍රය
24. සැවැත්නුවර–
එකත්පසෙක සිටි ඒ දෙවි තෙමේ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කී ය:
යමෙකින් යමෙකින් සිත වළකන්නේ ද? එයින් එයින් ඔහුට දුක් නො පැමිණෙයි. හෙතෙමේ සියල්ලෙන් සිත වළකන්නේ නම් හෙතෙමේ සියලු දුකෙන් මිදෙයි.
[භගවත්හු:]
සියල්ලෙන් සිත නො වළකන්නේය. සංයත භාවයට පැමිණි සිත නො වළක්වන්නේ ය. යමෙකින් යමෙකින් අකුසල් වේ නම් එයින් එයින් සිත වළක්වන්නේය යි.
1. 3. 5.
අරහන්ත සූත්‍රය
25. සැවැත්නුවර–
එකත්පසෙක සිටි ඒ දෙවි තෙමේ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කී ය:
සිවුමගින් කළ කිස ඇති ආස්‍රවයන් නැසූ පශ්චිම ශරීරය දරණ යම් රහත් මහණෙක් වේ ද හෙතෙමේ “මම කියමි”යි කියාත් කියන්නේ ද? හෙතෙමේ “මට කියති” යි කියාත් කියන්නේ ද?
[භගවත්හු:]
සිවුමගින් කළ කිස ඇති ආස්‍රවයන් නැසූ පශ්චිම ශරීරය දරණ යම් රහත් මහණෙක් වේ ද? හෙතෙමේ “මම කියමි”යි කියාත් කියන්නේ ය. හෙතෙමේ “මට කියති” යි කියාත් කියන්නේ ය. දක්‍ෂ වූ හෙතෙමේ ලෝකයෙහි ව්‍යවහාරය දැන ව්‍යවහාර මාත්‍රයෙන් ව්‍යවහාර කරන්නේ යි.
[දෙවි:]
සිවු මගින් කළ කිස ඇති ආස්‍රවයන් නැසූ පශ්චිම ශරීරය දරණ යම් රහත් මහණෙක් වේ ද? ඒ මහණ තෙමේ මානයට පැමිණ හෝ “මම කියමි” යි කියාත් කියන්නේ ද? හෙතෙමේ “මට කියති” යි කියාත් කියන්නේ ද?
[භගවත්හු:]
ප්‍රහීණ වූ මාන ඇති ඔහුට මානග්‍රන්‍ථිහු නැත. ඔහු විසින් සියලු මානග්‍රන්‍ථිහු වෙසෙසින් නසන ලද්දාහ. මනා නුවණ ඇති හෙතෙමේ මඤ්ඤන ඉක්ම වූයේ ය. හෙතෙමේ ‘මම කියමි’යි කියාත් කියන්නේ ය. හෙතෙමේ ‘මට කියති’යි කියාත් කියන්නේ ය. දක්‍ෂ වූ ඒ රහත් තෙමේ ලෝකයෙහි ව්‍යවහාරය දැන ව්‍යවහාරමාත්‍රයෙන් ව්‍යවහාර කරන්නේ යි.
1. 3. 6.
පජ්ජෝත සූත්‍රය
26. සැවැත්නුවර–
එකත්පසෙක සිටි ඒ දෙවි තෙමේ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කී ය:
යමෙකින් ලොව බබළා නම් (එබඳු) එළි ලොව කෙතෙක් ද? භාග්‍යවතුන් වහන්සේ විචාරන්නට අවුත් (සිටින) අපි එය කෙසේ දනිමු ද?
[භගවත්හු:]
ලොව එළි සතරෙකි. මෙහි පස්වැන්නෙක් නැත. හිරු දවල් බබලයි. සඳු රෑ බබලයි. තව ද, ගින්න දිවා රෑ දෙකෙහි ඒ ඒ තැන බබලයි. සර්‍වඥයන් වහන්සේ බබලන්නවුන් අතුරෙන් ශ්‍රේෂ්ඨයහ. මේ ආලෝකය නිරුත්තර යි.
1. 3. 7.
සර සූත්‍රය
27. සැවැත්නුවර–
එකත්පසෙක සිටි ඒ දෙවි තෙමේ භාග්‍යවතුන් වහන්සේට ගාථා යෙන් කී ය:
සංසාර ප්‍රවාහයෝ කොහි නවතිද්ද? සසරවැසි කොහි නො වසී ද? නාමයත් රූපයත් කොතැන්හි නිරවශේෂයෙන් නිරුද්ධ වේ ද?
[භගවත්හු:]
යම් තැනක අපෝ ධාතුවත් පඨවි ධාතුවත් තේජෝ ධාතුවත් වායෝ ධාතුවත් නො පිහිටා ද මෙහි සංසාරප්‍රවාහයෝ නවතිත්. මෙහි සසරවැසි නො වසී. මෙහි නාමයත් රූපයත් නිරවශේෂයෙන් නිරුද්ධ වේ යි.
1. 3. 8.
මහද්ධන සූත්‍රය
28. සැවැත්නුවර–
එකත්පසෙක සිටි ඒ දෙවි තෙමේ භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් කී ය:
මහත්ධන ඇති මහත්භෝග ඇති රටවල් ඇති ක්‍ෂත්‍රියයෝ ද කාමයන්හි සෑහීමකට නො පැමිණියාහු ඔවුනොවුන් සැපත පතත්. ඔවුන් (කාමයන්හි) උත්සාහවත් වූ කල්හි භවස්‍රෝතස අනු ව යන කල්හි මේ ලෝකයේ කවුරු තෘෂ්ණාව දුරු කළාහු ද? ලෝකයෙහි කවුරු (කාමයන්හි) උත්සාහ රහිත වූවාහු ද?
[භගවත්හු:]
ගිහිගෙය හැර ප්‍රිය වූ දරුවන් ද සිවුපාවුන් ද හැර පැවිදි වූ රාගයත් ද්වේෂයත් දුරු කොට අවිද්‍යාවත් නසා (සිටි) ක්‍ෂීණාස්‍රව වූ ඒ රහත්හු ලෝකයෙහි (කාමයන් සෙවීමෙහි) උත්සාහ රහිතයෝ ය.
1. 3. 9.
චතුචක්ක සූත්‍රය
29. සැවැත්නුවර–
[දෙවි:]
මහාවීරයන් වහන්ස, (මේ ශරීරයානය) සක් සතරක් ඇත්තේ ය. නව දොරක් ඇත්තේ ය. (අශුචියෙන්) පිරුණේ ය. ලෝභයෙන් යුක්ත ය. මඩෙහි උපන. එහි නික්ම යෑම මෙසේ වන්නේ ද?
[භගවත්හු:]
රැහැන ද වරපට ද ලාමක ඉච්ඡාව ද ලෝභය ද සිඳ තෘෂ්ණාව සහමුලින් උදුරා (ලීමෙන්) මෙසේ නික්ම යෑම වන්නේ යි.
1. 3. 10.
එණිජඞ්ඝ සූත්‍රය
30. සැවැත්නුවර–
[දෙවි:]
එණිමුවකුගේ මෙන් කෙණ්ඩා ඇති කෘෂ වූ ස්වල්පාහාර ඇති ලොල් බැව් නැති, සිංහයකු මෙන් ඇතකු මෙන් එකලාව හැසිරෙන, කාමයන්හි නිරපේක්‍ෂ වූ වීරයන් වහන්සේ වෙත එළඹ කෙසේ දුකින් මිදේ දැ?යි විචාරමි.
[භගවත්හු:]
ලොව මනස සවැනි කොට ඇති පඤ්චකාමගුණයෝ ප්‍රකාශ කරණ ලදහ. මෙහි ඇල්ම දුරු කොට ලීමෙන් මෙසේ දුකින් මිදෙයි.
සත්තිවර්‍ගය තෙවෙනි යි.
එහි සූත්‍රනාමාවලිය:
සත්ති, ඵුසති, ජටා, මනෝනිවාරණ, අරහන්ත, පජේජාත, සර, මහද්ධන සූත්‍ර ද, නවවැනි චතුවක්ක සූත්‍රය ද, එණිජඞ්ඝ සූත්‍රය දැයි දශසූත්‍ර කෙනෙක් වෙත්.
4. සතුල්ලපකායික වර්‍ගය
1. 4. 1.
සබ්භි සූත්‍රය
31. මා විසින් මෙසේ අසන ලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වසන සේක.
එකල්හි මනා ඡවිවර්‍ණ ඇති බොහෝ වූ සතුල්ලපකායික දේවතාවෝ රෑ පෙරයම ඉක්ම ගිය කල්හි මුළු දෙව්රම බබුළුවා භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියහ.
එකත්පසෙක සිටි එක් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි මේ ගාථාව කීයේ ය:
සත්පුරුෂයන් සමග ම එක් වන්නේ ය. සත්පුරුෂයන් සමග ම මිත්‍රසංස්තවය කරන්නේ ය. සත්පුරුෂයන්ගේ සද්ධර්‍මය දැන (සිටියහුට) අභිවෘද්ධිය වෙයි. පිරිහීමෙක් නො වෙයි.
ඉක්බිති අන් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කී ය:
සත්පුරුෂයන් සමග ම එක් වන්නේ ය. සත්පුරුෂයන් සමග ම මිත්‍රසංස්තවය කරන්නේ ය. සත්පුරුෂයන්ගේ සද්ධර්‍මය දැනීමෙන් ප්‍රඥාව ලැබේ. අනෙකකින් නො ලැබේ.
ඉක්බිති අන් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කී ය:
සත්පුරුෂයන් සමග ම එක් වන්නේ ය. සත්පුරුෂයන් සමග ම මිත්‍රසංස්තවය කරන්නේ ය. සත්පුරුෂයන්ගේ සද්ධර්‍මය දැනීමෙන් ශෝකකාරණයන් මැද ශෝක නො කෙරේ.