කුලාවක සූත්‍රය
252. සැවැත්නුවර–
මහණෙනි, පෙර වූවක් කියමි. දේවාසුරසංග්‍රාමයෙක් එළඹ සිටියේ විය. මහණෙනි, ඒ සංග්‍රාමයෙහිදී අසුරයෝ දිනූහ. දෙවියෝ පැරදුනහ.
මහණෙනි, දෙවියෝ පැරදුනාහු උතුරුදිග බලා පලා ගියාහු ම ය. අසුරයෝ ඔවුන් ලුහු බැඳ ගියාහු ම ය. මහණෙනි, එකල්හි සක්දෙවිඳු මාතලී රියදුරුහට ගාථායෙන් කීය:
මාතලි, හිඹුල්වෙනෙහි (ගුරුළු) කැදලි වේ. (ඔවුන්) රියහිසින් දුරු කරව. ඒකාන්තයෙන් අසුරයන් කෙරෙහි ප්‍රාණය හරිමු. මේ පක්‍ෂීහු (ගුරුළු පොව්වෝ) නහමක් තට කැදලි ඇති වෙත්වා යි.
මහණෙනි, “එසේය, මුඹට සෙතෙක් වේවා”යි මාතලි රියැදුරු සක්දෙවිඳුහට පිළිතුරු දී සහස්‍රයුක්ත ආජන්‍යරථය වටාලා පැදැවී.
මහණෙනි, එකල්හි අසුරයන්ට මේ සිත විය. දැන් සක්දෙවිඳුගේ සහස්‍රයුක්ත ආජන්‍යරථය වටා වැටින. (එහෙයින්) දෙවනවට දු දෙවියෝ අසුරයන් හා යුද කරන්නාහ යි බියට පැමිණියාහු අසුරපුරට ම පිවිසිය හ.
මහණෙනි, මෙසේ සක්දෙවිඳුහට දැහැමින් ම ජය වී ය.
11. 1. 7.
නදුබ්භිය සූත්‍රය
253. සැවැත්නුවර–
මහණෙනි, පෙර වූවක් කියමි. එකලා වූ විවේකයෙන් යුත් සක්දෙවිඳුහට “මාගේ යම් පසමිතුරෙක් වන්නේ නම් ඔහුට ද මම ද්‍රෝහ නො කරන්නෙමි”යි මෙබඳු චිත්තපරිවිතර්‍කයෙක් පහළ විය.
මහණෙනි, එකල්හි වේපචිත්ති අසුරිඳු තමසිතින් සක්දෙවිඳුගේ චිත්තපරිවිතර්‍කය දැන සක්දෙවිඳු වෙත එළඹියේ ය.
මහණෙනි, සක්දෙවිඳු එන්නා වූ වේපචිත්ති අසුරිඳු දුරදී ම දැක්කේ ය. දැක වේපචිත්ති අසුරිඳුහට “වේපචිත්ති සිටුවා (තෝ) ගන්නා ලද්දෙහිය”යි මෙය කී ය.
නිදුකානෙනි, පෙර මුබට යම් සිතෙක් වී ද, නිදුකානෙනි, මුබ ඒ සිත ම පහ කළහු ද? වේපචිත්ති, මට ද්‍රෝහ නොකරණ බවට දිවුරව.
බොරු කියන්නාහට යම් පවෙක් වේ ද, ආර්‍ය්‍යෝපවාද කරන්නහුට යම් පවෙක් වේ ද, මිත්‍රද්‍රෝහියාට යම් පවෙක් වේ ද, ආකෘතඥයාට යම් පවෙක් වේ ද, සක්දෙවිඳුනි, යමෙක් මුබට ද්‍රෝහ කෙරේ නම් එබඳු පවක් ම (හෙ තෙමේ) ස්පර්‍ශ කෙරෙයි (ලබයි).
11. 1. 8.
වෙරොචන අසුරින්‍ද සූත්‍රය
254. සැවැත්නුවර–
එකල්හි භාග්‍යවතුන් වහන්සේ දිවාවිහරණයට වැඩි සේක් පිළිසලන ඇතිසේක. ඉක්බිති සක්දෙවිඳු ද වෙරොචන අසුරිඳු ද භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹිය හ. එළඹ වෙන වෙන ම දොරඹා ඇසුරු කොට සිටියහ. එකල්හි වෙරොචන අසුරිඳු භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය:
අර්‍ත්‍ථනිෂ්පත්තිය තෙක් පුරුෂ තෙමේ වෑයම් කරන්නේ ම ය. අර්‍ත්‍ථයෝ නිෂ්පත්තිය නිසා හොබනසුලු වෙත්. මේ වෙරොචන අසුරිඳුගේ බස යි.
[සක්දෙවිඳු:]
අර්‍ත්‍ථනිෂ්පත්තිය තෙක් පුරුෂ තෙමේ වෑයම් කරන්නේ ම ය. අර්‍ත්‍ථයෝ නිෂ්පත්තිය නිසා හොබනසුලු වෙත්. ඉවසීමට වඩා වැඩසිටි අරුතෙක් නැත. (මේ සක්දෙවිඳුගේ බසයි.)
[වෙරොචන:]
සියලු සත්‍වයෝ ඒ ඒ තන්හි සුදුසු පරිද්දෙන් හටගත් කටයුතු ඇත්තෝ ය. සියලු සතුන්ගේ සම්භෝගයෝ සංයෝගය පරම කොට ඇත්තෝ ම ය. අර්‍ත්‍ථයෝ නිෂ්පත්තිය නිසා බබලනසුලු වෙත්. මේ වෙරොචන අසුරිඳුගේ බස යි.
[සක්දෙවිඳු:]
සියලු සත්‍වයෝ ඒ ඒ තන්හි සුදුසු පරිද්දෙන් හටගත් කටයුතු ඇත්තෝ ය. සියලු සතුන්ගේ සම්භෝගයෝ සංයෝගය පරම කොට ඇත්තාහු ම ය. අර්‍ත්‍ථයෝ නිෂ්පත්තිය නිසා හොබනාහු වෙත්. ඉවසීමට වඩා වැඩසිටි අරුතෙක් නැත. (මේ සක්දෙවිඳුගේ බසයි).
11. 1. 9.
අරඤ්ඤායතනඉසී සූත්‍රය
255. සැවැත්නුවර–
මහණෙනි, පෙර වූවක් කියමි. සිල්වත් කලණදහම් ඇති බොහෝ රුසිහු වනසෙනසුනෙක පන්සල්හි වෙසෙත්. මහණෙනි, එකල්හි සක්දෙවිඳු ද වේපචිත්ති අසුරිඳු ද සිල්වත් කලණදහම් ඇති ඒ ඍෂීන් වෙත එළඹිය හ.
මහණෙනි, ඉක්බිති වේපචිත්ති අසුරිඳු කීප පටක් ඇති වහන් නැගී කඩුව එල්ලා ගෙණ දරණු ලබන ඡත්‍රයෙන් යුක්ත ව ප්‍රධාන දොරටුවෙන් අසපුවට පිවිස සිල්වත් කලණදහම් ඇති ඒ ඍෂීන්ට නිගරු කොට නික්ම ගියේ ය.
මහණෙනි, ඉක්බිති සක්දෙව්රජ කීප පටක් ඇති වහනින් බැස කඩුව අන් කෙනකුන්ට දී ඡත්‍රය බහා තබා දොරින් ම අසපුවට පිවිස සිල්වත් කලණදහම් ඇති ඒ ඍෂීන් නමදිමින් යටිසුළඟෙහි බැඳැදිලි ව සිටියේ ය. මහණෙනි, එකල්හි සිල්වත් කලණදහම් ඇති ඒ ඍෂීහු සක්දෙවිඳුහට ගාථායෙන් කීහ.
බොහෝ කලක් මුළුල්ලෙහි සමාදන් වූ ව්‍රත ඇති ඍෂීන්ගේ කයින් ච්‍යුත වූ (සිරුරු) ගඳ සුළගින් හමයි. ශක්‍රය, මෙයින් ඉවත් වව. දෙව්රජ, ඍෂීන්ගේ (සිරුරු) ගඳ අපවිත්‍ර ය.
බොහෝ කලක් මුළුල්ලෙහි සමාදන් වූ ව්‍රත ඇති ඍෂීන්ගේ කයින් ච්‍යුත වූ (සිරුරු) ගඳ සුළගින් හමාවා. වහන්ස, මේ ගඳ හිසෙහි (පළඳනා ලද) විසිතුරු කුසුම් ඇති මල්දමක් මෙන් කැමැත්තමු. දෙවියෝ මෙහි පිළිකුල් ය යන හැඟීම් ඇත්තෝ නො ම වෙත්.
11. 1. 10.
ඉසයොසමුද්දක සූත්‍රය
256. සැවැත්නුවර–
මහණෙනි, පෙර වූවක් කියමි. සිල්වත් කලණදහම් ඇති බොහෝ ඍෂීහු මුහුදුතෙර පන්සල්හි වෙසෙත්.
මහණෙනි, එකල්හි දේවසුරසංග්‍රාමයෙක් එළඹ සිටියේ විය. මහණෙනි, ඉක්බිති සිල්වත් කලණදහම් ඇති ඒ ඍෂීන්ට “දෙවියෝ දැහැමිය හ. අසුරයෝ නො දැහැමිය හ. අපට අසුරයන්ගෙන් බියෙක් විය හෙයි. අපි සම්බර අසුරිඳු වෙත එළඹ අභයදානය යදින්නමෝ නම් මැනවැ”යි මේ සිත විය.
මහණෙනි, ඉක්බිති සිල්වත් කලණදහම් ඇති ඒ ඍෂීහු යම්සේ බලවත් පුරුෂයෙක් හැකුළු අතක් දිගු කරන්නේ හෝ වේ ද, දිගු කළ අතක් හකුළුවන්නේ හෝ වේ ද, එසෙයින් ම මුහුදුතෙර පන්සල්හි අතුරුදන් වූවාහු සම්බර අසුරිඳු ඉදිරියෙහි පහළ වූහ. මහණෙනි, එකල්හි සිල්වත් කලණදහම් ඇති ඒ ඍෂීහු සම්බර අසුරිඳුහට ගාථායෙන් කීහ.
ඍෂීහු සම්බර වෙත පැමිණියාහු අභයදානය යදිත්. භය දෙන්නට හෝ අභය දෙන්නට හෝ (සමත් වූ) මුබට කැමැත්තක් කළ මැනව.
(අපට) විරුද්ධ වූ ශක්‍රයා සෙවුනා වූ ඍෂින්ට අභයෙක් නැත. අභය ඉල්ලන්නාවූ තොපට බිය ම දෙමි.
අභය ඉල්ලන්නා වූ අපට බිය ම දෙන්නෙහි ය. තොපගේ මේ කීම පිළිගණිමු. තොපට බිය ක්‍ෂය නො වේවා.
යම් බඳු බිජුවටක් වපුරා ද, එබඳු පල හැර ගණි. යහපත් ක්‍රියා කරණ තැනැත්තේ යහපත් විපාක ලබයි. පාපක්‍රියා කරණ තැනැත්තේ ලාමකවිපාක ලබයි. දරුවා, තා විසින් බිජුවටක් වපුරණ ලදී. එහි ඵලය විඳුනෙහි ය.
මහණෙනි, ඉක්බිති, සිල්වත් කලණදහම් ඇති ඒ ඍෂීහු සම්බර අසුරිඳුහට සාප කොට යම්සේ බලවත් පුරුෂයෙක් හැකුළු අතක් දිගු කරන්නේ හෝ වේ ද, දිගු කළ අතක් හකුළුවන්නේ හෝ වේ ද, එපරිද්දෙන් ම සම්බර අසුරිඳුගේ හමුවෙහි අතුරුදන් වූවාහු මුහුදුතෙර පන්සල්හි පහළ වූහ.
මහණෙනි, ඉක්බිති සිල්වත් කලණදහම් ඇති ඒ ඍෂීන් විසින් සාප කරණ ලද සම්බර අසුරිඳු තෙමේ රෑ තුන්යලක් තැති ගෙණ නැගී සිටී.
සුවීර වර්‍ගය පළමුවැනි යි.
එහි උද්දානය:
සුවීර, සුසීම, ධජග්ග, වේපචිත්ති, සුභාසිතජය, කුලාවක, නදුබ්භිය වේරෝචනඅසුරින්‍ද, ඉසයොආරඤ්ඤක, ඉසයොසමුද්දක ය යී සූත්‍ර දශයෙකි.
2. සත්තවත වර්‍ගය
11. 2. 1.
දේවා [සත්තවතපද] සූත්‍රය
257. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩවසන සේක:
එහිදී ... භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. මහණෙනි, පෙර මිනිස් වූ සක්දෙවිඳු විසින් සත්‍වතපද කෙනෙක් සමාත්තයහ. සමාදන් කරණ ලදහ. ඔවුන් සමාදන් වූ බැවින් ශක්‍ර තෙමේ ශක්‍රබවට පැමියේ ය.
කවර සත්‍වත පද කෙනෙක් ද? යත්: දිවිහිමියෙන් මවුපියන් පුසින්නෙම් වන්නෙමි. දිවිහිමියෙන් කුලදෙටුවන් පුදන්නෙම් වන්නෙමි. දිවිහිමියෙන් මිහිරිවදන් ඇත්තෙම් වන්නෙමි. දිවිහිමියෙන් පිසුණුවදන් නැත්තෙම් වන්නෙමි. මුදන ලද ත්‍යාග ඇත්තෙම්, දන් දෙනු පිණිස දෙවූ අත් ඇත්තෙම්, දීමෙහි ඇලුනෙම්, අනුන් විසින් ඉල්ලන්නට සුදුසු වූයෙම්, දානයෙහිත් සංවිභාගයෙහිත් ඇලුනෙම්, දිවිහිමියෙන් පහවූ මසුරු මලින් යුත් සිතින් යුක්ත ව ගිහිගෙයි වෙසෙන්නෙමි. දිවිහිමියෙන් සැබෑ තෙපුල් ඇත්තෙම් වන්නෙමි. දිවිහිමියෙන් ක්‍රෝධ නොකරන්නෙම් වන්නෙමි. ඉදිනුදු මට ක්‍රෝධය උපදනේ නම් වහා ම එය දුරු කරන්නෙමි යි. මහණෙනි, පෙර මිනිස් වූ සක්දෙව්රජ විසින් මේ සත් ව්‍රතපදයෝ මොනවට ගන්නා ලදහ. සමාදන් කරණ ලදහ. ඔවුන් සමාදන් කරණ ලද බැවින් ශක්‍ර තෙමේ ශක්‍රබවට පැමිණියේ ය.
මවුපියන් පුස්නා කුලදෙටුවන් පුදන මෘදු ප්‍රිය තෙපුල් බණන කේලමින් වැළකුනු මසුරුමල දුරුකිරීමෙහි යෙදුනු සැබෑ තෙපුල් බණන ක්‍රෝධය මැඩලන සුලු ඒ මනුෂ්‍ය සත්ත්‍වයා ඒකාන්තයෙන් සත්පුරුෂයෙකැයි තව්තිසාවැසි දෙවියෝ කියත්.
11. 2. 2.
දෙවන දේවා [සත්තවතපද] සූත්‍රය
258. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩවසන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන්ට ... මෙය වදාළ සේක.
මහණෙනි, සක්දෙව්රජ පෙර මිනිස් වූයේ මඝ නම් මාණවකයෙක් වී ය. එහෙයින් “මඝවන්තු” යී කියනු ලැබේ. මහණෙනි, සක්දෙවිඳු පෙර මිනිස් වූයේ පළමු පළමු දන් දිනි. එහෙයින් “පුරින්‍දද”යී කියනු ලැබේ. මහණෙනි, සක්දෙවිඳු පෙර මිනිස් වූයේ සකස් කොට දන් දිනි එහෙයින් “සක්ක”යී කියනු ලැබේ. මහණෙනි, සක්දෙවිඳු පෙර මිනිස් වූයේ ආවාස දිනි. එහෙයින් “වාසව”යී කියනු ලැබේ. මහණෙනි, සක්දෙවිඳු අරුත් දහසකුදු මොහොතකින් සිතයි. (දකියි) එහෙයින් “සහස්සක්ඛ”යී කියනු ලැබේ. මහණෙනි, සක්දෙවිඳුහට සුජා නම් අසුර කන්‍යාවක් පජාපති (බිරිඳ) ය. එහෙයින් “සුජම්පති” යී කියනු ලැබේ. මහණෙනි, සක්දෙවිඳු තව්තිසා වැසි දෙවියන් පිළිබඳ ඉසුරු බව හා අධිපති බව ඇති රජය කරයි. එහෙයින් “දේවානමින්‍ද” යී කියනු ලැබේ.
මහණෙනි, පෙර මිනිස් වූ සක්දෙවිඳු විසින් සත්‍වතපද කෙනෙක් මොනවාට ගන්නා ලදහ. සමාදන් කරණ ලදහ. ඔවුන් සමාදන් කරණලද බැවින් ශක්‍ර තෙමේ ශක්‍රබවට පැමිණියේ ය.
කවර සත්‍වතපද කෙනෙක් ද? යත්: දිවිහිමියෙන් මවුපියන් පුසින්නෙම් වන්නෙමි. දිවිහිමියෙන් කුලදෙටුවන් පුදන්නෙම් වන්නෙමි. දිවිහිමියෙන් මුදුවදන් ඇත්තෙම් වන්නෙමි. දිවිහිමියෙන් පිසුණුබස් නැත්තෙම් වන්නෙමි. මුදන ලද ත්‍යාග ඇත්තෙම්, පවිත්‍ර කරණ ලද අත් ඇත්තෙම්, දන් දීමෙහි ඇලුනෙම්, අනුන් විසින් ඉල්ලන්නට සුදුසු වූයෙම්, දානයෙහි හා සංවිභාගයෙහි ද ඇලුනෙම්, දිවිහිමියෙන් පහ වූ මසුරුමල ඇති සිතින් යුක්ත ව ගිහිගෙයි වෙසෙන්නෙමි. දිවිහිමියෙන් සබවස ඇත්තෙම් වන්නෙමි. දිවිහිමියෙන් ක්‍රෝධ නොකරන්නෙකිම් වන්නෙමි. ඉදිනුදු මට ක්‍රෝධය උපදනේ නම් වහා ම එය දුරු කරන්නෙමි යි. මහණෙනි, පෙර මිනිස් වූ සක්දෙවිඳු විසින් මේ සත්‍වතපදයෝ මොනවට ගන්නා ලදහ. සමාදන් කරණ ලදහ. ඔවුන් සමාදන් කරණ ලද බැවින් ශක්‍ර තෙමේ ශක්‍රබවට පැමිණියේ ය.
මවුපියන් පුස්නා, කුලදෙටුවන් පුදන, මෘදුපියතෙපුල් බණන, පිසුණුබසින් වැළකුනු, මසුරුමල දුරු කිරීමෙහි යෙදුනු, සබවස් බණන, ක්‍රෝධය මැඩලන සුලු ඒ මනුෂ්‍ය සත්ත්‍වයා ඒකාන්තයෙන් සත්පුරුෂයෙකැයි තව්තිසාවැසි දෙවියෝ කියති.
11. 2. 3.
මහාලි [සත්තවතපද] සූත්‍රය
259. මා විසින් මෙසේ අසන ලදී: එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ විසල්පුර සමීපයෙහි මහවෙනෙහි කූටාගාරශාලාවෙහි වැඩවසන සේක. එකල්හි මහාලි ලිච්ඡවි තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්නේ ය.
එකත්පසෙක හුන් මහාලි ලිච්ඡවි තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේය: වහන්ස, මුබවහන්සේ විසින් සක්දෙවිඳු දක්නා ලද්දේ ද? මහාලි, මා විසින් සක්දෙවිඳු දක්නා ලද්දේ ය.
වහන්ස, හෙ තෙමේ ඒකාන්තයෙන් ශක්‍රප්‍රතිරූපක විය හෙයි. වහන්ස, සක්දෙවිඳු දැකීමට දුෂ්කර ය. එහෙයිනි.
මහාලි, මම ශක්‍රයා ද දනිමි ශක්‍රකාරක ධර්‍ම ද දනිමි. යම් දහම් කෙනකුන් සමාදන් වූ බැවින් ශක්‍රයා ශක්‍රබවට පැමිණියේ නම් එ ද දනිමි.
මහාලි, සක්දෙවිඳු පෙර මිනිස් වූයේ ම මඝ නම් මාණවකයෙක් විය. එහෙයින් “මඝවනතු” යි කියනු ලැබේ. මහාලි, සක්දෙවිඳු පෙර මිනිස් වූයේ ම පළමු පළමු දන් දිනි. එහෙයින් “පුරින්‍දද”යි කියනු ලැබේ. මහාලි, සක්දෙවිඳු පෙර මිනිස් වූයේ ම සකසා දන් දිනි. එහෙයින් “ශක්‍ර” යි කියනු ලැබේ. මහාලි, සක්දෙවිඳු පෙර මිනිස් වූයේ අවාස දිනි. එහෙයින් “වාසව”යි කියනු ලැබේ. මහාලි, සක්දෙවිඳු අරුත් දහසකුදු මොහොතින් සිතයි. එහෙයින් “සහස්සක්ඛ” යි කියනු ලැබේ. මහාලි, සක්දෙවිඳුහට සුජා නම් අසුර කන්‍යාවක් පජාපති බිරිඳ ය. එහෙයින් “සුජම්පති” යි කියනු ලැබේ. මහාලි, සක්දෙවිඳු තව්තිසා වැසි දෙවියන් පිළිබඳ ඉසුරු බව හා අධිපති බව ඇති රජය කරයි. එහෙයින් “දේවානමින්‍ද” යි කියනු ලැබේ.
මහාලි, පෙර මිනිස් වූ සක්දෙවිඳු විසින් සත්‍වතපද කෙනෙක් මොනවාට ගන්නා ලදහ. සමාදන් කරණ ලදහ. ඔවුන් සමාදන් වූ බැවින් ශක්‍රයා ශක්‍රබවට පැමිණියේ ය.
කවර සත්‍වතපද කෙනෙක් ද යත්: දිවිහිමියෙන් මවුපියන් පුසින්නෙම් වන්නෙමි. දිවිහිමියෙන් කුලදෙටුවන් පුදන්නෙම් වන්නෙමි. දිවිහිමියෙන් මුදුවදන් ඇත්තෙම් වන්නෙමි. දිවිහිමියෙන් පිසුණුවදන් නැත්තෙම් වන්නෙමි. මුදන ලද ත්‍යාග ඇත්තෙම්, පවිත්‍ර කරණ ලද අත් ඇත්තෙම්, දීමෙහි ඇලුනෙම්, අනුන් විසින් ඉල්ලන්නට සුදුසු වූයෙම්, දානයෙහිත් හා සංවිභාගයෙහිත් ඇලුනෙම්, දිවිහිමියෙන් පහවූ මසුරුමල ඇති සිතින් යුක්ත ව ගිහිගෙයි වෙසෙන්නෙමි. දිවිහිමියෙන් සබවස ඇත්තෙම් වන්නෙමි. දිවිහිමියෙන් ක්‍රෝධ නැත්තෙම් වන්නෙමි. ඉදිනුදු මට ක්‍රෝධය උපදනේ නම් වහා ම එය දුරු කරන්නෙමි යී.
මහාලි, පෙර මිනිස් වූ සක්දෙවිඳු විසින් මේ සත්‍වතපදයෝ සමාත්තයහ. සමාදන් කරණ ලදහ. ඔවුන් සමාදන් කරණ ලද බැවින් ශක්‍රයා ශක්‍රබවට පැමිණියේ ය.
මවුපියන් පුස්නා, කුලදෙටුවන් පුදන, මුදු පියතෙපුල් බණන, කේලමින් වැළකුනු, මසුරුමල දුරලීමෙහි යෙදුනු, සබවස් බණන, ක්‍රෝධය මැඩලනසුලු ඒ මනුෂ්‍ය සත්ත්‍වයා ඒකාන්තයෙන් සත්පුරුෂයෙකැයි තව්තිසාවැසි දෙවියෝ කියති යි.
11. 2. 4.
දළිද්ද සූත්‍රය
260. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි කලන්‍දකනිවාප නම් වූ වේළුවනාරාමයෙහි වැඩවසන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ මහණෙනි යි භික්‍ෂූන් ඇමතූ සේක. ඒ භික්‍ෂූහු වහන්සැ යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක: මහණෙනි, පෙර වූවක් කියමි. මේ රජගහනුවර ම මනුෂ්‍යදරිද්‍ර (දිළිඳු මිනිසකු) වූ මනුෂ්‍ය කෘපණ (මනුෂ්‍යයින්ගේ කරුණාවට භාජන) වූ මනුෂ්‍යවරාක (ලාමක මිනිසකු) වූ එක්තරා පුරුෂයෙක් විය. හෙ තෙමේ තථාගතයන් වහන්සේ විසින් වදාළ ශාසනයෙහි ශ්‍රද්ධාව සමාදන් වූයේ ය. ශීලය සමාදන් වූයේ ය. ශ්‍රැතය සමාදන් වූයේ ය. ත්‍යාගය සමාදන් වූයේ ය. ප්‍රඥාව සමාදන් වූයේ ය.
හෙ තෙමේ තථාගතයන් වහන්සේ විසින් වදාළ ශාසනයෙහි ශ්‍රද්ධාව සමාදන් ව ශීලය සමාදන් ව ශ්‍රැතය සමාදන් ව ත්‍යාගය සමාදන් ව ප්‍රඥාව සමාදන් ව කාබුන් මරණින් මතු තව්තිසා වැසි දෙවියන්ගේ සහභාවයට, මනා ගති ඇති ස්වර්‍ගලෝකයට පැමිණියේ ය. හෙ තෙමේ ශරීරවර්‍ණයෙන් ද යශසින් ද අන් දෙවියන් ඉක්මවා බබලයි.
මහණෙනි, එහි තව්තිසාවැසි දෙවියෝ නින්‍දා කෙරෙත්, දොස් කියත්, අවමන් කෙරෙත්: පින්වත්නි, ඒකාන්තයෙන් ආශ්චර්‍ය්‍යය. පින්වත්නි, ඒකාන්තයෙන් අද්භූතයි. මේ දෙව්පුත් තෙමේ වනාහි පූර්‍වයෙහි මිනිස් වූයේ මනුෂ්‍ය දරිද්‍රයෙක් විය. මනුෂ්‍ය කෘපණයෙක් විය. මනුෂ්‍ය වරාකයෙක් විය. හෙ තෙමේ කාබුන් මරණින් මැති තව්තිසාවැසි දෙවියන්ගේ සහභාවයට, මනා ගති ඇති ස්වර්‍ගලෝකයට පැමිණියේ ය. හෙ තෙමේ ශරීර වර්‍ණයෙන් ද යශසින් ද අන් දෙවියන් ඉක්මවා බබලයි.
මහණෙනි, ඉක්බිති සක්දෙවිඳු තෙමේ තව්තිසාවැසි දෙවියන් ඇමතීය: පින්වත්නි, තෙපි මේ දෙව්පුත්හට නින්‍දා නො කරවු. පින්වත්නි, මේ දෙව්පුත් තෙමේ පෙර මිනිස් වූයේ තථාගතයන් වහන්සේ විසින් වදාළ ශාසනයෙහි ශ්‍රද්ධාව සමාදන් විය. ශීලය සමාදන් විය. ශ්‍රැතය සමාදන් විය. ත්‍යාගය සමාදන් විය. ප්‍රඥාව සමාදන් විය. හෙ තෙමේ තථාගතයන් වහන්සේ විසින් වදාළ ශාසනයෙහි ශ්‍රද්ධාව සමාදන් ව ශීලය සමාදන් ව ශ්‍රැතය සමාදන් ව ත්‍යාගය සමාදන් ව ප්‍රඥාව සමාදන් ව කාබුන් මරණින් මැති තව්තිසාවැසි දෙවියන්ගේ සහභාවයට මනාගති ඇති ස්වර්‍ගලෝකයට පැමිණියේ ය. හෙ තෙමේ වර්‍ණයෙන් ද යශසින් ද අන් දෙවියන් ඉක්මවා බබලයි.
මහණෙනි, ඉක්බිති සක්දෙවිඳු තෙමේ තව්තිසාවැසි දෙවියන් සතුටු කරමින් ඒ වෙලාවෙහි මේ ගාථාවන් කීය:
යමකුට තථාගතයන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව අචල ව මැනවින් පිහිටියා ද, යමකුගේ යහපත් වූ ශීලය ආර්‍ය්‍යකාන්ත වූයේ පසස්නා ලද්දේ ද,
යමකුට සඞ්ඝයා කෙරෙහි පැහැදීම ඇත් ද, ඥානදර්‍ශනයත් ඍජු වූයේ වේ ද, ඔහු නො දිළින්දෙකැ යි (බුද්ධාදි උතුමෝ) කියති. ඔහුගේ ජීවිතය හිස් නො වේ.
එහෙයින් ප්‍රඥා තෙමේ බුදුවරයන්ගේ ශාසනය සිහි කරන්නේ ශ්‍රද්ධාව ද, ශීලය ද, පැහැදීම ද, ධර්‍මය දැකීම ද, අනුයෝග වශයෙන් පිරිසිදු කරන්නේ ය.
11. 2. 5.
රාමණෙය්‍යක සූත්‍රය
261. සැවැත්නුවර–
එකල්හි සක්දෙව්රජ තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියේ ය. එකත්පසෙක සිටි සක්දෙව්රජ භාග්‍යවතුන් වහන්සේට “වහන්ස, බිම පිළිබඳ සිත්කලු බව කිමෙක් දැ”යි මෙය සැළ කළේ ය.
[භගවත්හු:]
ආරාමචෛත්‍යයෝ ද, වනචෛත්‍යයෝ ද, මැනවින් නිමවන ලද පොකුණු ද මනුෂ්‍ය රමණියත්‍වය පිළිබඳ සොළොස් වැනි කලාවෙන් කලාවකුත් නො අගිත්.
ඉදින් ගම්හි හෝ වෙනෙහි හෝ ඉදින් වලබිම්හි හෝ ගොඩබිම්හි හෝ යම් තැනෙක රහත්හු වෙසෙත් ද , ඒ බිම සිත්කලු බව යි.
11. 2. 6.
යජමාන සූත්‍රය
262. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි ගිජුකුළුපව්වෙහි වැඩවසන සේක. එකල්හි සක්දෙවිඳු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියේ ය. එකත්පසෙක සිටි සක්දෙවිඳු තෙමේ භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් කී ය:
පින් කැමති ව යාග කරන්නා වූ උපධිවිපාක ඇති පින් කරන්නා වූ මනුෂ්‍යප්‍රාණීන් විසින් කවර කෙනකුන්ට දෙන ලද්ද මහත්ඵල වේදැ යි.
[භගවත්හු:]
මාර්‍ගප්‍රතිපන්නයෝ සිවුදෙන ද, ඵලස්ථයෝ සිවුදෙන දැයි මේ (අෂ්ටාර්‍ය්‍යපුද්ගල) සඞ්ඝ තෙමේ ඍජු වූයේ ය. ප්‍රඥාශීලසමාධීන් යුක්ත ය.
පින් කැමති ව යාග කරන්නා වූ උපධිවිපාක ඇති පින් කරන්නා වූ මනුෂ්‍යප්‍රාණීන් විසින් ඒ සඞ්ඝයාහට දෙන ලද්ද මහත්ඵල වේ.
11. 2. 7.