සුවීර සූත්‍රය
247. මා විසින් මෙසේ අසන ලදී: එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩවසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මහණෙනි යි භික්‍ෂූන් ඇමතූ සේක. වහන්සැ යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
මහණෙනි, පෙර වූවක් කියමි. අසුරයෝ දෙවියන් ඉදිරියට පැමිණියාහු ය. මහණෙනි, එකල්හි ශක්‍රදේවේන්‍ද්‍ර තෙමේ සුවීර දෙව්පුත් ඇමතී ය:- “පුත, සුවීර, මේ අසුරයෝ දෙවියන් ඉදිරියට පැමිණෙති. පුත සුවීර, යා. අසුරයන් පෙරළා ඉදිරියට යව”යි. මහණෙනි, සුවීර දෙව්පුත් තෙමේ “එසේ ය, මුඹට වැඩෙක් වේව”යි සක්දෙවිඳුහට පිළිවදන් දී (ගමන) පමා කළේ ය.
මහණෙනි, දෙවන වට දු සක්දෙවිඳු තෙමේ සුවීර දෙව්පුතු ඇමතී ය: “පුත, සුවීර, මේ අසුරයෝ දෙවියන් ඉදිරියට පැමිණෙති. පුත, සුවීර, යා. අසුරයන් පෙරළා ඉදිරියට යව”යි. මහණෙනි, සුවීර දෙව්පුත් තෙමේ “එසේ ය, මුඹට වැඩෙක් වේව”යි සක්දෙවිඳුහට පිළිවදන් අස්වා දෙවන වට දු (ගමන) පමා කළේ ය.
මහණෙනි, තෙවන වට දු ශක්‍රදේවේන්‍ද්‍ර තෙමේ සුවීර දෙව්පුතු ඇමතී ය: “පුත, සුවීර, මේ අසුරයෝ දෙවියන් ඉදිරියට පැමිණෙති. පුත, සුවීර, යා. අසුරයන් පෙරළා ඉදිරියට යව”යි. මහණෙනි, සුවීර දෙව්පුත් තෙමේ “එසේ ය, මුඹට වැඩෙක් වේව”යි සක්දෙවිඳුට පිළිවදන් අස්වා තෙවන වට දු (ගමන) පමා කළේ ය.
මහණෙනි, ඉක්බිති ශක්‍රදේවේන්‍ද්‍ර තෙමේ සුවීර දෙව්පුත්හට ගාථායෙන් කී ය:
(කායිකවීර්‍ය්‍ය වශයෙන්) නො නැගී සිටුනේ (චෛතසික වීර්‍ය්‍ය වශයෙන්) වෑයම් නො කරණුයේ යම් තැනෙක්හි සුඛයට පැමිණේ ද, සුවීර, එහි යා. මා ද එහි ම පමුණුව යි.
[සුවීරදෙව්පුත්:]
උත්‍ථානවීර්‍ය්‍ය නැත්තේ අලස වන්නේ ය. කිසි කිසක් නො ද කරන්නේ ය. (එබන්දෙක්) සියලු කාමයෙන් සමෘද්ධයෙක් වන්නේ නම් සක්දෙවිඳුනි, ඒ උත්තමස්ථානය මට කියනු මැනවි යි.
[සක්දෙවිඳු:]
උත්‍ථානවීර්‍ය්‍ය නැත්තා වූ අලසපුද්ගලයෙක් යම් තැනෙක අත්‍යන්තයෙන් සුඛයට පැමිණේ ද, නොහොත් අතිශයින් සැපසේ වැඩේ ද, සුවීර, එහි යා. මා ද එහි ම පමුණුව යි.
[සුවීර:]
ශක්‍රදේවේන්‍ද්‍රය, කර්‍ම නො කිරීමෙන් යම් සැපතක් ලබමෝ ද, ශක්‍රදේවේන්‍ද්‍රය, ශෝක නැති දැඩි ආයාස නැති ඒ උතුම් මග කියනු මැනවි.
[සක්දෙවිඳු:]
කිසි පුද්ගලයෙක් කිසි තැනෙක්හි ජීවත් නොවේ ද, (කෘෂි වණික් ආදි) කර්‍ම නො කිරීමෙන් පැමිණිය යුතු එබඳු තැනෙක් ඉදින් ඇත් ද, ඒ මග නිර්‍වාණයාගේ (මග) ම ය. සුවීර, එහි යා. මා ද එහි ම පමුණුව යි.
මහණෙනි, ඒ සක්දෙව්රජ තෙමේ නම් සිය පින්පල නිසා ජීවත්වන්නේ තව්තිසා වැසි දෙවියන් පිළිබඳ ඉසුරු බව හා අධිපති බව ඇති රජය කරන්නේ උත්‍ථානවීර්‍ය්‍ය පිළිබඳ ගුණ කියන්නෙක් වෙයි. මහණෙනි, තෙපි මෙසේ ස්වාක්ඛාත ශාසනයෙහි පැවිදි වූවාහු ම මේ සස්නෙහි නො පැමිණි ගුණයකට පැමිණීම පිණිස ද, අවබෝධ නොකළ දහමක් අවබෝධ කිරීම පිණිස ද, පසක් නො කළ දහමක් පසක් කිරීම පිණිස ද යම් වීර්‍ය්‍යයෙකින් උත්සහා කරන්නහු ද, ඝටනය කරන්නහු ද, වෑයම් කරන්නහු ද, මේ සස්නෙහි ලා ඒ වීර්‍ය්‍යය හොබනේ ය.
11. 1. 2.
සුසීම සූත්‍රය
248. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩවසන සේක. එහි දි භාග්‍යවතුන් වහන්සේ මහණෙනි යි භික්‍ෂූන් ඇමතූ සේක. ඒ භික්‍ෂූහු වහන්සැ යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
මහණෙනි, පෙර වූවක් කියමි: අසුරයෝ දෙවියන් අභිමුඛවැ ගියහ. මහණෙනි, ඉක්බිති සක්දෙව්රජ සුසීම දෙව්පුත් ඇමතී ය: “පුත, සුසීම, මේ අසුරයෝ දෙවියන් ඉදිරියට පැමිණෙති. පුත, සුසීම යා. අසුරයන් බලා නැඟ යා”යි. මහණෙනි, සුසීම දෙව්පුත් තෙමේ ‘එසේ ය. මුඹට මැනැවෙක් වේවා’යි සක්දෙව්රජුහට පිළිවදන් දී (ගමන) පමා කළේ ය.
දෙවන වට දු සක්දෙව්රජ සුසීම දෙව්පුත් ඇමතී ය. ... දෙවන වට දු පමා කළේ ය.
මහණෙනි, තෙවන වට දු සක්දෙව්රජ සුසීම දෙව්පුත් ඇමතී ය. තෙවන වට දු පමා කළේ ය. මහණෙනි, ඉක්බිති සක්දෙව්රජ සුසීම දෙව්පුතුහට ගාථායෙන් කී ය.
(කායික වීර්‍ය්‍ය වශයෙන්) නො නැගී සිටුනේ (චෛතසික වීර්‍ය්‍ය වශයෙන්) වෑයම් නො කරණුයේ යම් තැනෙක්හි සුඛයට පැමිණේ ද, සුවීර, එහි යා. මා ද එහි ම පමුණුව යි.
[සුසීම:]
උත්‍ථානවීර්‍ය්‍ය නැත්තේ අලස වන්නේ ය. කිසි කිසක් නො ද කරන්නේය. (එබන්දෙක්) සියලු කාමයෙන් සමෘද්ධයෙක් වන්නේ නම් ඒ උත්තමස්ථානය මට කියනු මැනවි යි.
[සක්දෙවිඳු:]
උත්‍ථානවීර්‍ය්‍ය නැත්තා වූ අලස පුද්ගලයෙක් යම් තැනෙක ඒකාන්ත සුඛයට පැමිණේ ද, නොහොත් අතිශයින් සැපසේ වැඩේ ද, සුවීර, එහි යා. මා ද එහි ම පමුණුව යි.
[සුසීම:]
ශක්‍ර දේවේන්‍ද්‍රය, කර්‍ම නොකිරීමෙන් යම් සැපතක් ලබමෝ ද, ශක්‍රදේවේන්‍ද්‍රය, ශෝක නැති දැඩි ආයාස නැති ඒ උතුම් මග කියනු මැනවි.
[සක්දෙවිඳු:]
කිසි පුද්ගලයෙක් කිසි තැනෙක්හි ජීවත් නො වේ ද, (කෘෂිවණික් ආදි) කර්‍ම නොකිරීමෙන් පැමිණිය යුතු එබඳු තැනෙක් ඉදින් ඇත් ද, ඒ මග නිර්‍වාණයාගේ (මග) ම ය. සුවීර, එහි යා. මා ද එහි ම පමුණුව යි.
මහණෙනි, ඒ සක්දෙව්රජ නම් සිය පින්පල නිසා ජීවත් වන්නේ තව්තිසාවැසි දෙවියන් පිළිබඳ ඉසුරු බව හා අධිපති බව ඇති රජය කරන්නේ උත්‍ථානවීර්‍ය්‍ය පිළිබඳ ගුණ කියන්නෙක් වෙයි. මහණෙනි, තෙපි මෙසේ ස්වාක්ඛාත වූ ශාසනයෙහි පැවිදි වූවහු ම මේ සස්නෙහි නො පැමිණි ගුණයකට පැමිණීම පිණිස ද, අවබෝධ නො කළ දහමක් අවබෝධ කිරීම පිණිස ද, පසක් නොකළ දහමක් පසක් කිරීම පිණිස ද, යම් වීර්‍ය්‍යයෙකින් උත්සහා කරන්නහු ද, ඝටනය කරන්නහු ද, වෑයම් කරන්නහු ද, මේ සස්නෙහි ලා ඒ වීර්‍ය්‍ය හොබනේ ය.
11. 1. 3.
ධජග්ග සූත්‍රය
249. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වසන සේක. එහි දි භාග්‍යවතුන් වහන්සේ මහණෙනි යි භික්‍ෂූන් ඇමතූ සේක. ඒ භික්‍ෂූහු වහන්සැ යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
මහණෙනි, පෙර වූවක් කියමි. දෙවියන්ගේ හා අසුරයන්ගේ යුද්ධයෙක් එක්තැන් වැදගත්තේ ය. මහණෙනි, එකල්හි සක් දෙව් රජ තව්තිසා වැසි දෙවියන් ඇමතී ය: භවත්නි, ඉදින් යුද්ධයට ගිය දෙවියන්ට බියෙක් හෝ තැති ගැන්මෙක් හෝ ලොමුදහ ගැන්මෙක් හෝ උපදනේ නම්, එකල්හි මාගේ ධ්වජාග්‍රය ම ඇස් නඟා බල ව. මාගේ ධ්වජාග්‍රය බලන්නා වූ තොපට යම් බියෙක් හෝ තැති ගැන්මෙක් ලොමුදහ ගැන්මෙක් හෝ වන්නේ නම් එය පහ වන්නේ ය.
ඉදින් මාගේ ධ්වජාග්‍රය නො දක්නහු නම්, එකල්හි පජාපති දෙව්රජුහුගේ ධ්වජාග්‍රය බලව. පජාපති දෙව්රජුගේ ධ්වජාග්‍රය දක්නා තොපට යම් බියෙක් හෝ තැති ගැන්මෙක් හෝ ලොමුදහ ගැන්මෙක් හෝ වන්නේ නම්, එය පහ වන්නේ ය.
ඉදින් පජාපති දෙව්රජුහුගේ ධ්වජාග්‍රය නො දක්නහු නම්, එකල්හි වරුණ දෙව්රජුහුගේ ධ්වජාග්‍රය බලව. වරුණ දෙව්රජුගේ ධ්වජාග්‍රය දක්නා තොපට යම් බියෙක් හෝ තැති ගැන්මෙක් හෝ ලොමුදහ ගැන්මෙක් හෝ වන්නේ නම්, එය පහ වන්නේ ය.
ඉදින් වරුණ දෙව්රජුහුගේ ධ්වජාග්‍රය නො දක්නහු නම්, එකල්හි ඊසාන දෙව්රජුහුගේ ධ්වජාග්‍රය බලව. ඊසාන දෙව්රජුගේ ධ්වජාග්‍රය දක්නා වූ තොපට යම් බියෙක් හෝ තැති ගැන්මෙක් හෝ ලොමුදහ ගැන්මෙක් හෝ වන්නේ නම්, එය පහ වන්නේ ය.
මහණෙනි, සක්දෙව්රජහුගේ ඒ ධ්වජාග්‍රය බලන්නවුන්ට හෝ, පජාපති දෙව්රජුගේ ධ්වජාග්‍රය බලන්නවුන්ට හෝ, වරුණ දෙව්රජුගේ ධ්වජාග්‍රය බලන්නවුන්ට හෝ, ඊසාන දෙව්රජහුගේ ධ්වජාග්‍රය බලන්නවුන්ට හෝ යම් බියෙක් හෝ තැති ගැන්මෙක් ලොමුදහ ගැන්මෙක් හෝ වන්නේ නම්, එය පහ වන්නේ ද, නො ද පහ වන්නේ ය. ඒ කවර හෙයින? යත්: මහණෙනි, සක්දෙව්රජ පහ නොවූ රාග ඇත්තේ ය. පහ නොවූ ද්වේෂ ඇත්තේ ය. පහ නො වූ මෝහ ඇත්තේ ය. බිය වන සුලු ය. තැති ගන්න සුලු ය. ත්‍රස්ත වන සුලුය. පලායන සුලු යි. (එහෙයිනි).
මහණෙනි, මම ද මෙසේ කියමි. මහණෙනි, ඉදින් අරණ්‍යයකට ගියා වූ හෝ රුක්මුලකට ගියා වූ හෝ ශුන්‍යාගාරයකට ගියා වූ හෝ තොපට බියෙක් හෝ තැති ගැන්මෙක් හෝ ලොමුදහ ගැන්මෙක් හෝ උපදනේ නම්, එකල්හි “ඒ භාග්‍යවත් තෙමේ මෙ කරුණෙනුදු අර්‍හත් ය, සම්‍යක්සම්බුද්ධ ය, විද්‍යාචරණ සම්පන්න ය, සුගත ය, ලෝකවිදූ ය, අනුත්තරපුරිසදම්මසාරථි ය, දෙවි මිනිසුන් ට සාස්තෘ ය, බුද්ධ ය, භාග්‍යවත් ය”යි මා ම සිහි කරව. මහණෙනි, මා සිහි කරන්නා වූ තොපට යම් බියෙක් හෝ තැති ගැන්මෙක් හෝ ලොමුදහ ගැන්මෙක් හෝ වන්නේ නම්, එය පහ ව යන්නේ ය.
ඉදින් මා සිහි නො කරන්නහු නම්, එකල්හි “ධර්‍මය භාග්‍යවතුන් වහන්සේ විසින් ස්වාක්ඛාත ය, සන්‍දිට්ඨික ය, අකාලික ය, ඒහිපස්සිකය, ඕපනයික ය, නුවණැත්තවුන් විසින් සිය සතන්හි ලා දතයුත්තේය”යි ධර්‍මය සිහි කරව. මහණෙනි, ධර්‍මය සිහි කරන්නා වූ තොපට යම් බියෙක් හෝ තැති ගැන්මෙක් හෝ ලොමුදහ ගැන්මෙක් හෝ වන්නේ නම්, එය පහ ව යන්නේ ය.
ඉදින් ධර්‍මය සිහි නො කරන්නහු නම්, එකල්හි “භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකසඞ්ඝ තෙමේ සුපටිපන්න ය. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකසඞ්ඝ තෙමේ උජුපටිපන්න ය. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකසඞ්ඝ තෙමේ ඤායපටිපන්නය, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකසඞ්ඝ තෙමේ සාමිචිපටිපන්න ය. යම් මේ පුරුෂයුග සතරෙක් වේ ද, පුරුෂපුද්ගලයෝ අටදෙනෙක් වෙද්ද, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකසඞ්ඝ තෙමේ ආහුනෙය්‍ය ය, පාහුනෙය්‍ය ය, දක්ඛිණෙය්‍ය ය, අඤ්ජාලිකරණිය ය, ලෝකයාගේ නිරුත්තර පින්කේතය” යි සඞ්ඝයා සිහි කරව. මහණෙනි, සඞ්ඝයා සිහි කරන්නා වූ තොපට යම් බියෙක් හෝ තැති ගැන්මෙක් හෝ ලොමුදහ ගැන්මෙක් හෝ වන්නේ නම්, එය පහ ව යන්නේ ය.
ඒ කවර හෙයින? යත්: මහණෙනි, අර්‍හත් වූ සම්මාසම්බුද්ධ වූ තථාගතයන් වහන්සේ වනාහි පහ වූ රාග ඇත්තාහ. පහ වූ ද්වේෂ ඇත්තාහ. පහවූ මෝහ ඇත්තාහ. නොබානසුල්ල හ. නො තැතිගන්නා සුල්ලහ. ත්‍රස්තනොවන සුල්ලහ. පලානොයන සුල්ලහ. (එහෙයිනි.)
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සුගත වූ ශාස්තෘන් වහන්සේ මෙය වදාරා නැවත තෙල අන් ගාවැළ ද වදාළ සේක:
මහණෙනි, අරණ්‍යයෙහි දී හෝ රුක්මුල දී හෝ ශුන්‍යාගාරයෙහි දී හෝ බුදුරජානන් වහන්සේ සිහි කරන්නේ ය. (එවිට) තොපට බියෙක් නො වන්නේ ය.
ඉදින් ලෝකජේෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨ වූ බුදුරජානන් වහන්සේ සිහි නො කරන්නහු නම්, එකල්හි නෛර්‍ය්‍යාණික වූ සුදේශිත වූ ධර්‍මය සිහි කරන්නේ ය.
ඉදින් නෛර්‍ය්‍යාණික වූ සුදේශිත වූ ධර්‍මය සිහි නො කරන්නහු නම්, එකල්හි නිරුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වූ සඞ්ඝයා ද සිහි කරන්නේ ය.
මහණෙනි, මෙසේ බුදුරජානන් වහන්සේ ද, ධර්‍මය ද, සඞ්ඝයා ද සිහි කරන්නවුන්ට බියෙක් හෝ තැති ගැන්මෙක් හෝ ලොමුදහ ගැන්මෙක් හෝ නොවන්නේ ය යි.
11. 1. 4.
වේපචිත්ති සූත්‍රය
250. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩවසන සේක. ... භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක:
මහණෙනි, පෙර වූ වක් කියමි. දෙවියන් හා අසුරයන්ගේ යුද්ධයෙක් එක්තැන් වැද සිටියේ ය. මහණෙනි, එකල්හි වේපචිත්ති අසුරිඳු අසුරයන් ඇමතී ය: “භවත්නි, ඉදින් දේවාසුරසංග්‍රාමයක් එළඹ සිටි කල්හි අසුරයෝ දිනන්නාහු නම්, දෙවියෝ පරදින්නාහු නම්, ඒ සක්දෙවිඳු ගෙල පස් වැනි කොට ඇති බැඳුමෙන් බැඳ අසුරපුර මා වෙතැ ගෙණ එව”යි.
මහණෙනි, සක්දෙව් රජ ද තව්තිසා වැසි දෙවියන් ඇමතී ය:
පින්වත්නි, ඉදින් දේවාසුරසංග්‍රාමයක් එළඹ සිටි කල්හි දෙවියෝ දිනන්නාහු නම්, අසුරයෝ පරදින්නාහු නම්, ඒ වේපචිත්ති අසුරිඳු ගෙල පස් වැනි කොට ඇති බැම්මෙන් බැඳ සුධර්‍මා සභාවට මා වෙත ගෙණ එව යි.
මහණෙනි, ඒ යුද්ධයෙහි දෙවියෝ දිනූහ. අසුරයෝ පැරදුනහ. මහණෙනි, එකල්හි තව්තිසා වැසි දෙවියෝ වේපචිත්ති අසුරිඳු ගෙල පස්වැනි කොට ඇති බැඳුමෙන් බැඳ සක්දෙවිඳු සමීපයෙහි සුධර්‍මා සභාවට ගෙණාහ.
මහණෙනි, එහිදී ගෙල පස්වැනි කොට ඇති බැඳුමෙන් බඳනා ලද වේපචිත්ති අසුරිඳු සුධර්‍මා සභාවට පිවිසෙන්නා වූ ද නික්මෙන්නා වූ ද සක්දෙවිඳු හට අසභ්‍ය වූ පරුෂ වචනයෙන් අක්‍රෝශ කෙරෙයි, පරිභව කෙරෙයි.
මහණෙනි, ඉක්බිති මාතලි රියදුරු තෙමේ සක්දෙව්රජහට ගාථායෙන් කී ය:
සක්දෙව්ඳුනි, වෙපචිත්තිහුගේ පරුස්බස් ඉදිරියෙහි අසමින් බියෙන් ඉවසහි ද? නොහොත් දුබල බැවින් ඉවසහි ද?
[සක්දෙවිඳු:]
මම වේපචිත්තිහුගේ (පරුස්බස්) බියෙන් නො ඉවසමි. දුබලබැවින් ද නො ඉවසමි. මා වැනි නුවණැත්තෙක් (එබඳු) බාලයකු හා කෙසේ නම් ප්‍රතිවිරූද්ධව සටන් කරන්නේ ද?
වළකන්නෙක් ඉදින් නො වන්නේ නම් අඥානයෝ බොහෝ සෙයින් බිඳෙන්නාහු ය. එහෙයින් නුවණැත්තේ දැඩි වූ දණ්ඩනයෙන් අඥානයා වළකන්නේ ය.
සතුරා ඉතා කිපියහු දැන යමෙක් සිහි ඇත්තේ සංසිඳේ ද, මම මේ සංසිඳීම ම අඥානයා වැළක්මවීම ය යි හඟිමි.
[මාතලි:]
මේ තෙමේ මට බියෙන් ඉවසා යයි අඥාන තෙමේ යම් කලෙක ඒ ඉවැසීම හඟී ද, සක්දෙවිඳුනි, ඉවසීම පිළිබඳ මේ දෝෂය ම දකිමි. පලා යන ගොණකු (යට කර ගෙණ යන) ගවමුළක් මෙන් නුවණ මඳ තැනැත්තේ බොහෝ සෙයින් (ඉවසන්නාහු) යට කර ගෙණ යයි.
[සක්දෙවිඳු:]
මේ තෙමේ මට බියෙන් ඉවසා යයි ඒකාන්තයෙන් හඟීවා හෝ, නො හඟීවා හෝ, සර්‍වාර්‍ත්‍ථයෝ ස්වාර්‍ත්‍ථය පරම කොට ඇත්තාහ. ඉවසීමට වඩා උතුම් අන්‍යාර්‍ත්‍ථයෙක් නැත.
යමෙක් ඒකාන්තයෙන් බලවත් වූයේ ම දුබලයාට ඉවසා ද එය උතුම් ඉවසීම යයි කියත්. දුබල තෙමේ නිතර ඉවසයි.
අඥානබලය යමකුගේ බලය වේ ද, බලයක් නො වූ ම එය බල යයි කියත්. ධර්‍මයෙන් සංවෘත වූ (ක්‍ෂාන්ති) බලයට ප්‍රතිවක්තෘ වූවෙක් හෙවත් එය අබිබවා කියන්නෙක් නැත.
යමෙක් කිපියකුට පෙරළා කිපේ ද, එයින් ඔහුට ම නො යහපත වේ. කිපියහුට පෙරළා නො කිපෙන්නේ නො දිනිය හැකි වූ සටන දිනයි.
මෙරමා කිපියහු දැන යමෙක් සිහි ඇත්තේ සංසිඳේ ද, (හෙ තෙමේ) තමහට ද මෙරමාහට ද (යන) දෙපසට ම වැඩ සාදයි.
යම් කෙනෙක් ධර්‍මයෙහි අදක්‍ෂ වෙද් ද, ඒ ජනයෝ තමහට ද මෙරමාහට ද (යන) දෙපසට ම වැඩ සදන්නාහු අඥාන යයි හඟිත්.
මහණෙනි, ඒ සක්දෙව්රජ තෙමේ වනාහි සිය පින්පල නිසා ජීවත් වන්නේ තව්තිසාවැසි දෙවියන් පිළිබඳ ඉසුරු හා අධිපතිබව ඇති රජය කරන්නේ ඉවසීමේ හා සුරත බැව්හි ගුණ කියන සුල්ලෙක් වෙයි. මහණෙනි, තෙපි මෙසේ ස්වාඛාත වූ ශාසනයෙහි පැවිදි වූවහු ම යම් ක්‍ෂමායෙකින් ඉවසන්නහු මෘදුබැව් ඇත්තහු වන්නහු නම් මේ ශාසනයෙහි ලා ඒ ගුණය හොබනේ ය.
11. 1. 5.
සුභාසිතජය සූත්‍රය
251. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩවසන සේක. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
මහණෙනි, පෙර වූවක් කියමි. දේවාසුරසංග්‍රාමයෙක් එළඹ සිටියේ වි ය. මහණෙනි, එකල්හි වේපචිත්ති අසුරිඳු සක්දෙවිඳුහට “දෙවිඳුනි, සුභාෂිතයෙන් ජය වේවා”යි මෙය කී ය. “වේපචිත්ති, සුභාෂිතයෙන් ජය වේවා” යි (සක්දෙව්රජ කී ය).
මහණෙනි, ඉක්බිති දෙවියෝ ද, අසුරයෝ ද මොහු අපගේ සුබැසි දුබැසි දැන ගන්නාහු යයි පාරිෂදයෙන් (විනිසකරුවන්) තැබූ හ.
මහණෙනි, ඉක්බිති වේපචිත්ති අසුරිඳු සක්දෙවිඳුහට “දෙවිඳුනි, ගාථාවක් කියව” යි මෙය කී ය.
මහණෙනි, මෙසේ කී කල්හි සක්දෙවිඳු වේපචිත්ති අසුරිඳුහට වේපචිත්ති, මෙහිලා තෙපි පළමුදෙවි වව. (එහෙයින්) වේපචිත්ති ගාථාවක් කියව යි මෙය කී ය. මහණෙනි, මෙසේ කී කල්හි වේපචිත්ති අසුරිඳු මේ ගාථාව කී ය:
වළකන්නෙක් ඉදින් නොවන්නේ නම් අඥානයෝ බොහෝ සෙයින් බිඳෙන්නාහු ය. (වැනසෙන්නාහු ය). එහෙයින් නුවණැත්තෝ දැඩි වූ දණ්ඩනයෙන් අඥානයා වළකන්නේ ය.
මහණෙනි, වේපචිත්ති අසුරිඳු විසින් ගාථාව කියන ලද කල්හි අසුරයෝ සතුටු වූහ. දෙවියෝ නිහඬ වූහ.
මහණෙනි, ඉක්බිති වේපචිත්ති අසුරිඳු සක්දෙවිඳුහට දෙවිඳුනි, ගාථාවක් කියව යි මෙය කී ය: මහණෙනි, මෙසේ කී කල්හි සක්දෙවිඳු තෙමේ මේ ගය කී ය:
සතුරා ඉතා කිපියහු දැන යමෙක් සිහි ඇත්තේ සංසිඳේ ද, මම මේ සංසිඳීම ම අඥානයා වැළකීම යයි හඟිමි.
මහණෙනි, සක්දෙවිඳු විසින් ගාථාව කියන ලද කල්හි දෙවියෝ සතුටු වූහ. අසුරයෝ නිහඬ වූහ.
මහණෙනි, ඉක්බිති සක්දෙවිඳු වේපචිත්ති අසුරිඳුහට වේපචිත්ති, ගාථාවක් කියවයි මෙය කී ය: මහණෙනි, මෙසේ කී කල්හි වේපචිත්ති අසුරිඳු මේ ගය කී ය:
මේ තෙමේ මට බියෙන් ඉවසා යයි අඥාන තෙමේ යම් කලෙක ඒ ඉවසීම හඟී ද. සක්දෙවිඳුගේ, ඉවසීම පිළිබඳ මේ දෝෂය ම දකිමි. පලා යාම ගොණකු (යට කර ගෙණ යන) ගව මුළක් මෙන් නුවණ මඳ තැනැත්තේ බොහෝ සෙයින් (ඉවසන්නහු) යට කර ගෙණ යයි.
මහණෙනි, වේපචිත්ති අසුරිඳු විසින් ගාථාව කියන ලද කල්හි අසුරයෝ සතුටු වූහ. දෙවියෝ නිහඬ වූහ.
මහණෙනි, ඉක්බිති වේපචිත්ති අසුරිඳු සක්දෙවිඳුහට දෙවිඳුනි, ගාථාවක් කියව යි මෙය කී ය.
මහණෙනි, මෙසේ කී කල්හි සක්දෙවිඳු මේ ගාථා කී ය:
මේ තෙමේ ඒකාන්තයෙන් මට බියෙන් ඉවසා යයි හඟීවා හෝ, නොහඟීවා හෝ, සර්‍වාර්‍ත්‍ථයෝ ස්වාර්‍ත්‍ථය පරම කොට ඇත්තාහ. ඉවසීමට වඩා උතුම් අන් අරුතෙක් නැත.
යමෙක් ඒකාන්තයෙන් බලවත් වූයේ ම දුබලයාට ඉවසා ද, එය උතුම් ඉවසීම යයි කියත්. දුබල තෙමේ නිතර ඉවසයි.
අඥානබලය යමකුගේ බලය වේ ද, බලයක් නොවූ ම එය බලය යි කියත්. ධර්‍මයෙන් සංවෘත වූ (ක්‍ෂාන්ති) බලයට ප්‍රතිවක්තෘ වූවෙක් හෙවත් එය අබිබවා කියන්නෙක් නැත.
යමෙක් කිපියකුට පෙරළා කිපේ ද එයින් ඔහුට ම නොයහපත වේ. කිපියහුට පෙරළා නොකිපෙන්නේ නොදිනිය හැකි වූ සටන දිනයි.
මෙරමා කිපියහු දැන යමෙක් සිහි ඇත්තේ සංසිඳේ ද, (හෙ තෙමේ ) තමහට ද මෙරමාහට ද යන දෙපසට ම වැඩ සාදයි.
යම් කෙනෙක් ධර්‍මයෙහි අදක්‍ෂ වෙද් ද, ඒ ජනයෝ තමහට ද මෙරමාහට ද යන දෙපසට ම වැඩ සදන්නහු අඥාන යයි හඟිත්.
මහණෙනි, සක්දෙවිඳු විසින් ගාථා කියන ලද කල්හි දෙවියෝ සතුටු වූහ. අසුරයෝ නිහඬ වූහ.
මහණෙනි, ඉක්බිති දෙවියන්ගේත් අසුරයන්ගේත් පාරිෂදයෝ (විනිසකරුවෝ) මෙය කීහ. වේපචිත්ති අසුරිඳු විසින් ගාථාවෝ කියන ලදහ. ඒ ගාථාවෝ වනාහි සදණ්ඩයෙන් ඇසිරි ඇතියහ. සශස්ත්‍රයන් ඇසිරි ඇතියහ. භණ්ඩන මෙසේය, විග්‍රහ මෙසේය, කලහ මෙසේය කියායි. සක්දෙවිඳු විසින් ද ගාථාවෝ කියන ලදහ. ඒ ගාථාවෝ වනාහි දඬුමුගුරු සහිත පැවතුම් ඇත්තවුන් පිළිබඳ නොවෙත්. අවි සහිත පැවතුම් ඇත්තවුන් පිළිබඳ නො වෙත්. අභණ්ඩන මෙසේය, අවිග්‍රහ මෙසේය, අකලහ මෙසේය කියායි. (එහෙයින්) සක්දෙවිඳුහට සුභාෂිතයෙන් ජය වෙයි.
මහණෙනි, මෙසේ සක්දෙවිඳුහට සුභාෂිතයෙන් ජය වී ය.
11. 1. 6.