239. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬුසිටුහුගේ අරම්හි වැඩ වසන සේක. එකල්හි එක්තරා උවැසියකගේ සානු නම් පුතෙක් යකකු විසින් ගන්නා ලද්දේ වෙයි. ඉක්බිති ඒ උවැසිය හඬන්නී ඒ වෙලායෙහි මේ ගාථා කිවුය:
තුදුවක්හි ද පසළොස්වක්හි ද අඩමසක් පිළිබඳ වූ යම් අටවකෙකුදු වේ නම් එවක්හි ද ප්‍රාතිහාර්‍ය්‍යය පක්‍ෂයෙහි ද යම් කෙනෙක් අෂ්ටාඞ්ගයෙන් සමන්‍වාගත වූ පෙහෙවස් වෙසෙද්ද, බඹසර හැසිරෙද්ද,
යක්‍ෂයෝ ඔවුන් හා නො කෙළිති යන රහතුන්ගේ බස මා විසින් අසන ලදී. ඒ මම දන් දකිමි. සානු සමග යක්‍ෂයෝ කෙළිත්.
[යක්‍ෂයා:]
තුදුස්වක්හි ද පසළොස්වක්හි ද අඩමසක් පිළිබඳ යම් අටවකෙක් වේ නම් එදින ද ප්‍රාතිහාර්‍ය්‍ය පක්‍ෂයෙහි ද, යම් කෙනෙක් අෂ්ටාඞ්ගයෙන් සමන්‍වාගත වූ පෙහෙවස් වෙසෙද්ද බඹසර හැසිරෙද්ද,
ඔවුන් හා යක්‍ෂයෝ නො කෙළිති යන රහතුන්ගේ වදන තී විසින් අසන ලදී. මැනවි.
හමුවෙහි හෝ ඉදින් රහසෙහි හෝ පව්කම් නො කරව. යම් පව්කමක් කරන්නෙහි ද, (යම් පව් කමකුත්) කෙරෙහි ද, අහසට පැන නැඟී පලායන්නා වූ ද, තට ඒ දුකින් මිදීමෙක් නැත. මේ යකුන්ගේ වදනැයි පිබිදියා වූ සානුහට කියව.
[සානු:]
මෑනියනි, (මිනිස්සු) මළ එකකු නිසා හෝ හඬති. මෑනියනි, යමෙක් ජීවත්වන්නේ නො පැණේ නම් (ඔහු නිසා ද හඬති.) මෑනියනි, ජීවත් වන්නා වූ මා දකිමින් කුමක් හෙයින හඬව?
[උවැසි:]
පුත, මළ එකකු නිසා හෝ (මිනිස්සු) හඬති. යමෙක් ජීවත් වන්නේ (නමුත්) නො පෙණේ නම් (ඔහු නිසා ද හඬති) පුත, යමෙක් කාමයන් දුරු කොට (පැවිදි ව) නැවත මෙහි පැමිණේ නම් ඔහු නිසා ද හඬති. හෙ තෙමේ ජීවත් වන්නේ නමුත් මළේ ම ය.
පුත, හුණුඅළුනිරයෙන් ගොඩනගන ලද්දේ (නැවතත්) හුණුඅළු නිරයට වැටෙන්නට කැමැත්තෙහි ද? පුත, නිරයෙන් ගොඩ නගන ලද්දේ (නැවතත්) නිරයට වැටෙන්නට කැමැත්තෙහි ද?
යන්නේ මැනව. තොපට වැඩෙක් වේවා. කහට දොස් නගවමො ද? දැවෙන ගෙයින් නෙරපූ බඩු නැවත දවන්නට කැමැත්තෙහි ද?
10. 1. 6.
පියඞ්කර සූත්‍රය
240. එක්කලෙක ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වෙසෙති. එකල ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ රෑ අලුයම් වේලෙහි නැඟිට දහම්පද බෙණෙති. ඉක්බිති පියඞ්කරමව වූ යකින්න කුඩාපුතු මෙසේ නැළවූවා ය.
පියඞ්කර, ශබ්ද නොකර, මහණ තෙමේ දහම්පද බෙණෙයි. ඉදින් දහම්පදයක් දැන පිළිපදිමු නම් (එය) අපට හිත පිණිස වන්නේ ය.
ප්‍රාණීන් කෙරෙහි සංයත වමු. දැන දැන මුසාබස් නො බෙණෙමු. තමන්ගේ පවිත්‍ර ශීලයෙහි හික්මෙමු. (එසේ කල්හි) යෙහෙක, පිසාචයෝනියෙන් මිදෙන්නමෝ වමු.
10. 1. 7.
පුනබ්බසු සූත්‍රය
241. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වසන සේක.
එකල්හි භාග්‍යවතුන් වහන්සේ නිවණ පිළිබඳ දැහැමි කථාවෙන් භික්‍ෂූන්ට (කරුණු) දක්වා වදාරණ සේක. (කරුණු) ගන්වන සේක. තෙද ගන්වන සේක. සතුටු කරවන සේක. ඒ භික්‍ෂූහු ද අර්‍ත්‍ථවත් කොට මෙනෙහි කොට මුළුසිතින් මොනොවට ගෙණ යොමු කළ කන් ඇති ව දහම් අසත්.
ඉක්බිති පුනබ්බසුමවු යැකිනි කුඩාපුතුන් මෙසේ නැළවූ:
බුද්ධශ්‍රේෂ්ඨ වූ ශාස්තෲන් වහන්සේගේ ධර්‍මය මම යම්තාක් අසන්නෙම් ද, උත්තරිකාවෙනි, ඒතාක් නිශ්ශබ්ද වව. පුනබ්බසුව, නිශ්ශබ්ද වව.
භාග්‍යවතුන් වහන්සේ හැම ගැටෙන මිදීම නම් වූ නිවණ වදාරණ සේක. මේ දහම්හි මාගේ පැතීම ප්‍රමාණාතික්‍රාන්ත වෙයි.
ලොව්හි සියපුත් තෙමේ ප්‍රිය වෙයි. ලොව්හි සිය හිමි තෙමේ ද ප්‍රිය වෙයි. මේ දහම සෙවීම එයටත් වඩා මට ඉතා ප්‍රිය වෙයි.
සදහම් ඇසීම යම් සේ සත්‍වයා දුකින් මුදා ද, ප්‍රියපුත්‍රයා ද ප්‍රියහිමියා ද (එසේ) දුකින් නො ම මුදයි.
දුකින් පීඩිත වූ ජරාමරණයෙන් යුක්ත වූ ලොව්හි ජරාමරණයෙන් මිදීම පිණිස යම් ධර්‍මයක් අවබෝධ කරණ ලද්දේ ද, ඒ ධර්‍මය අසන්නට කැමැත්තෙමි. එම්බා පුනබ්බසු, නිශ්ශබ්ද වව.
[පුනබ්බසු:]
මෑණියෙනි, (මම) නිහඬ වෙමි. මේ උත්තරාව ද නිහඬ ය. දහම ම අසනු මැනවි. සදහම් ඇසීම සුව ය.
මෑණියෙනි, සදහම නො දැන්මෙන් දුකසේ හැසිරෙමු. ප්‍රභාකර වූ පසැස් ඇති පැසුලු අත්බැව් දරණ මේ බුදුරජානන් වහන්සේ අතිශයින් මුළා වූ දෙවිමිනිසුන්ට දහම් දෙසන සේක.
[පුනබ්බසුමවු:]
උපන්නා වූ උරහොවින පුත් තෙමේ පණ්ඩිත වූයේ ම මැනවි. මාගේ පුත් තෙමේ ශ්‍රේෂ්ඨ වූ බුදුරජානන් වහන්සේගේ පිරිසිදු දහම පතයි.
එම්බා පුනබ්බසු, සුවපත් වව. මම අද (සසරින්) ගොඩ නගුනෙම් වෙමි. ආර්‍ය්‍යසත්‍යයෝ දක්නා ලදහ. මාගේ උත්තරාව ද අසාවා.
10. 1. 8.
සුදත්ත සූත්‍රය
242. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි වූ ශීතවනයෙහි වැඩවසන සේක. එකල්හි අනාථපිණ්ඩික ගෘහපති තෙමේ කිසියම් කටයුත්තක් සඳහා රජගහනුවරට පැමිණියේ වෙයි. අනාථපිණ්ඩික ගැහැවි තෙමේ බුදුරජානන් වහන්සේ ලෝපහළ වූ සේකැයි ඇසී ය. භාග්‍යවතුන් වහන්සේ දැකීම පිණිස එකෙණෙහි ම එළඹෙනු කැමැත්තේ ද විය.
ඉක්බිති අනේපිඬු ගැහැවිහට මේ අදහස විය: භාග්‍යවතුන් වහන්සේ දැකීම පිණිස එළඹෙන්නට අද නොකල් ය. දන් මම හෙට කල් ඇති ව භාග්‍යවතුන් වහන්සේ දකිනු පිණිස එළඹෙනෙමියි බුදුන් කෙරෙහි ගිය සිහි ඇතිව හොත්තේ ය. අලුයම යයි හඟිමින් රෑ තුන්යලක් නැගී සිටියේ ය. එකල්හි අනාථපිණ්ඩික ගැහැවි තෙමේ සොහොන්දොර වෙත පැමිණියේ ය. අමනුෂ්‍යයෝ දොර විවර කළහ.
ඉක්බිති අනේපිඬු ගැහැවියහු නුවරින් නික්මෙද්දී එළිය අතුරුදහන් විය. අඳුර පහළ විය. බිය තැති ගැණුම් ලොමුදහ ගැණුම් පහළ විය. එයින් ම පෙරළා යනු කැමැත්තේ ද විය. එකල්හි සීවක යක්‍ෂ තෙමේ අතුරුදන් වූයේ (මතු දැක්වෙන) ශබ්දය ඇස්වී ය:
සියක්දහසක් ඇත්තු ද, සියක්දහසක් අස්හු ද, සියක්දහසක් අශ්වතරියෝ ද, සියක්දහසක් රිය ද, මිණිකොඬොල් අබරණින් සරසන ලද සියක්දහසක් කන්‍යාවෝ ද (යමකුට ලැබුනාහු ද, ඒ ලාභයෝ බුදුන් දක්නට යන්නහුගේ) එක්පියවරක සොළොස්වැනි කලාවෙන් කලාවටත් නො අගිත්.
ගැහැවියෙනි, ඉදිරියට යව. ගැහැවියෙනි, ඉදිරියට යව. තොපගේ ඉදිරියට යෑම මැනැවි. ආපසු යෑම නො මැනැවි.
ඉක්බිති අනේපිඬු ගැහැවිහට අඳුර අතුරුදන් විය. එළිය පහළ විය යම් බියෙක් තැති ගැන්මෙක් ලොමුදහ ගැන්මෙක් වී නම් එය සන්සිඳිනි.
දෙවන වට දු ...
තෙවන වට දු අනේපිඬු ගැහැවිහට එළිය අතුරුදන් වි ය. අඳුර පහළ විය. බිය තැති ගැණුම් ලොමුදහ ගැණුම් පහළ විය. එයින් ම පෙරළා යනු කැමැත්තේ ද විය. තෙවන වට දු සීවක යක්‍ෂ තෙමේ අතුරුදන් වූයේ (මතු දැක්වෙන) ශබ්දය ඇස්වී ය:
සියක්දහසක් ඇත්තු ද, සියක්දහසක් අස්හු ද සියක්දහසක් අශ්වතරියෝ ද, මිණිකොඬොල් අබරණින් සරසන ලද සියක්දහසක් කන්‍යාවෝ ද (බුදුන් දක්නට යන්නහුගේ) එක් පියවරක් පිළිබඳ සොළොස්වැනි කලාවෙන් කලාවකුදු නො අගිත්.
ගැහැවියෙනි, ඉදිරියට යව. ගැහැවියෙනි, ඉදිරියට යව. තොපගේ ඉදිරියට යෑම මැනැව. ආපසු යෑම නො මැනැව.
ඉක්බිති අනේපිඬු ගැහැවිහට අඳුර අතුරුදන් විය. එළිය පහළ විය. යම් බියෙක් තැති ගැන්මෙක් ලොමුදහ ගැන්මෙක් වී නම් එය සන්සිඳිනි. ඉක්බිති අනේපිඬු ගැහැවි තෙමේ ශීතවනයට වෙත එළඹියේ ය.
එකල්හි භාග්‍යවතුන් වහන්සේ රෑ අලුයම නැගිට අබවස සක්මන් කරණ සේක. භාග්‍යවතුන් වහන්සේ එන්නා වූ අනේපිඬු ගැහැවිහු දුර දී ම දුටු සේක. දැක සක්මනින් බැස පැනවූ අසුනෙහි වැඩහුන් සේක. භාග්‍යවතුන් වහන්සේ වැඩහිඳ අනේපිඬු ගැහැවිහට “සුදත්ත, (මෙහි) එව” යි මෙය වදාළ සේක.
එකල්හි අනේපිඬු ගැහැවි තෙමේ භාග්‍යවතුන් වහන්සේ නමින් මා අමතන සේකැ යි එහි ම භාග්‍යවතුන් වහන්සේගේ පා ලඟ හිසින් වැටී භාග්‍යවතුන් වහන්සේට ‘වහන්ස, කිම? භාග්‍යවතුන් වහන්සේ සුවසේ සැතපුනු සේක් දැ’යි මෙය සැළ කළේ ය.
[භගවත්හු:]
යමෙක් කාමයන්හි නොතැවරේ ද, (කෙලෙස් ගිනි නැති බැවින්) සිහිල් වූයේ ද, උපධි රහිත ද පිරිනිවියා වූ (ඒ ක්‍ෂීණාස්‍රව) බමුණු තෙමේ හැමකල්හි ඒකාන්තයෙන් සුවසේ හොවී.
සියලු තෘෂ්ණාවන් සිඳ හෘදය ඇසුරු කළ විඩාව දුරු කොට සිත්හි සන්සිඳීමට පැමිණ උපශාන්ත වූයේ සුවසේ හොවී.
10. 1. 9.
පඨමසුක්කා සූත්‍රය
243. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි කලන්‍දකනිවාප නම් වූ වේළුවනාරාමයෙහි වැඩවසන සේක. එකල්හි සුක්කා මෙහෙණ මහත් පිරිසක් විසින් පිරිවරණ ලද්දී දහම් දෙසයි.
ඉක්බිති සුක්කා මෙහෙණ කෙරෙහි බෙහෙවින් පහන් යක්‍ෂයෙක් රජගහනුවර වීථියෙන් වීථියට මංසන්‍ධියෙන් මංසන්‍ධියට එළඹ ඒ වෙලාවෙහි මේ ගාථා කී ය:
යම් කෙනෙක් නිවන්පදය දෙසන්නා වූ සුක්කා මෙහෙණ වෙත නො එළඹෙද්ද, රජගහනුවර (වෙසෙන) මේ මිනිස්සු කුමක් කෙරෙද්ද? සුරාපානය කළවුන්සේ හොවිත්.
ඇසීමෙන් තෘප්තියට නො පැමිණෙන ස්වභාවයෙන් ම මිහිරි වූ ඕජෝගුණවත් වූ ඒ දහම වලාකුළු අතරෙන් නික්මෙන දිය බොන මගියන් මෙන් නුවණැත්තන් බොන්නාක් මෙනි.
10. 1. 10.
දුතියසුක්කා සූත්‍රය
244. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි කලන්‍දකනිවාප නම් වූ වේළුවනාරාමයෙහි වැඩවසන සේක. එකල්හි එක්තරා උවසුවෙක් සුක්කා මෙහෙණහට බොදුනක් දිනි. ඉක්බිති සුක්කා මෙහෙණ කෙරෙහි බෙහෙවින් පහන් යකෙක් රජගහනුවර වීදියෙන් වීදියට මංසන්‍ධියෙන් මංසන්‍ධියට එළඹ ඒ වෙලාවෙහි මේ ගාථාව කී ය:
යමෙක් සියලු කෙලෙස් ගැටෙන් මිදුනු සුක්කා මෙහෙණහට බොදුනක් දුන්නේ ද, ඒකාන්තයෙන් නුවණැති මේ උවසු තෙමේ බොහෝ වූ ම පින් රැස් කළේ ය.
10. 1. 11.
චීරා සූත්‍රය
245. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි කලන්‍දකනිවාප නම් වූ වේළුවනාරාමයෙහි වැඩ වසන සේක. එකල්හි එක්තරා උවසුවෙක් චීරා මෙහෙණහට සිවුරක් දිනි. ඉක්බිති චීරා මෙහෙණ කෙරෙහි බෙහෙවින් පහන් යකෙක් රජගහනුවර වීදියෙන් වීදියට මංසන්‍ධියෙන් මංසන්‍ධියට එළඹ ඒ වේලාවෙහි මේ ගාථාව කී ය:
යමෙක් සියලු යෝගවලින් මිදුනු චීරා මෙහෙණහට සිවුරක් දුන්නේ ද, ඒකාන්තයෙන් නුවණැති මේ උවසු තෙමේ බොහෝ වූ ම පින් රැස් කෙළේ ය.
10. 1. 12.
ආළවක සූත්‍රය
246. මා විසින් මෙසේ අසන ලදී: එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ අළව්නුවර සමීපයෙහි ආළවක යකුගේ භවනයෙහි වැඩවසන සේක. එකල්හි ආළවක යක්‍ෂ තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේට මෙය කී ය. මහණ, නික්මෙව යි. ඇවැත්නි මැනවැ යි භාග්‍යවතුන් වහන්සේ නික්මුනු සේක. මහණ, පිවිසෙව යි. ඇවැත්නි මැනවැ යි භාග්‍යවතුන් වහන්සේ පිවිසි සේක.
දෙවන වට දු ආළවක යක්‍ෂ තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය කී ය. මහණ, නික්මෙව යි. ඇවැත්නි, මැනවැ යි භාග්‍යවතුන් වහන්සේ නික්මුනු සේක. මහණ, පිවිසෙව යි. ඇවැත්නි, මැනවැ යි භාග්‍යවතුන් වහන්සේ පිවිසි සේක. තෙවන වටදු ආළවක යක්‍ෂ තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය කී ය. මහණ, නික්මෙව යි. ඇවැත්නි මැනවැ යි භාග්‍යවතුන් වහන්සේ නික්මුනු සේක. මහණ, පිවිසෙව යි. ඇවැත්නි මැනවැ යි භාග්‍යවතුන් වහන්සේ පිවිසි සේක. සිවුවන වට දු ආළවක යක්‍ෂ තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය කී ය. මහණ, නික්මෙව යි. ඇවැත්නි, මම නො නික්මෙන්නෙමි. තා විසින් යමක් කටයුතු නම් එය කරව යි.
[අළව්:]
මහණ, තොපගෙන් පැණයක් විචාරන්නෙමි. ඉදින් මට (එය) නො විසඳන්නෙහි නම් තාගේ සිත හෝ වික්‍ෂේප කරන්නෙමි. තාගේ හෘදය හෝ පලන්නෙමි. පා ගෙණ ගඟපරතෙර හෝ දමන්නෙමි.
[භගවත්හු:]
ඇවැත්නි, දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලොව මහණබමුණන් සහිත දෙවිමිනිසුන් සහිත ප්‍රජාවෙහි යමෙක් මාගේ සිත හෝ වික්‍ෂේප කරන්නේ ද, හෘදය හෝ පලන්නේ ද, පා ගෙණ ගඟපරතෙර හෝ දමන්නේ ද, එබන්දකු මම නො දකිමි. වැලි දු ඇවැත්නි, තෝ යමක් කැමැත්තෙහි ද (එය) විචාරව යි.
ඉක්බිති ආළවක යක්‍ෂ තෙමේ භාග්‍යවතුන් වහන්සේට ගාථාවකින් කී ය:
මෙ ලොව සත්‍වයාට කිමෙක් ශ්‍රේෂ්ඨ ධනය වේ ද? කිමෙක් මැනවින් පුරුදු කරණ ලද්දේ සුව එළවා ද? රසයන් අතුරෙන් කුමක් ඉතා මිහිරි ද? කෙසේ ජීවත්වන්නහුගේ ජීවිතය ශ්‍රේෂ්ඨ යයි කියද්ද?
[භගවත්හු:]
මෙලොව සත්‍වයාට ශ්‍රද්ධාව ශ්‍රේෂ්ඨ ධනය වේ. දහම මැනවින් පුරුදු කරණ ලද්දේ සුව එළවයි. රසයන් අතුරෙන් සත්‍යය ඒකාන්තයෙන් ඉතා මිහිරි ය. නුවණින් ජිවත්වනහුගේ ජීවිතය ශ්‍රේෂ්ඨ යයි කියත්.
[අළව්:]
ඕඝය කෙසේ තරණය කෙරේ ද? අණිවය කෙසේ තරණය කෙරේ ද? දුක කෙසේ ඉක්මවා ද? කෙසේ පිරිසිදු වේ ද?
[භගවත්හු:]
ශ්‍රද්ධාවෙන් ඕඝය තරණය කෙරේ. අප්‍රමාදයෙන් අණිවය තරණය කෙරේ. වීර්‍ය්‍යයෙන් දුක ඉක්මවයි. ප්‍රඥාවෙන් පිරිසිදු වේ.
[අළව්:]
නුවණ කෙසේ ලබා ද? ධනය කෙසේ ලබා ද? කෙසේ කීර්තියට පැමිණේ ද? කෙසේ මිත්‍රයන් සපයා ගණී ද? මෙලොවින් පරලොවට පැමිණ කෙසේ ශෝක නො කෙරේ ද?
[භගවත්හු:]
නො පමා වූ නුවණැත්තේ රහතුන්ගේ ධර්‍මය අදහන්නේ අසනු කැමැත්ත හේතු කොට ගෙණ නිවණට පැමිණීම පිණිස ප්‍රඥාව ලබයි.
සුදුසු කටයුතු කරණ බහා නො තැබූ ධූර ඇති උත්‍ථානවීර්‍ය්‍ය ඇත්තේ ධනය ලබයි. සත්‍යවචනය කරණකොට ගෙණ කීර්තියට පැමිණේ. දන් දෙන්නේ මිත්‍රයන් බැඳ ගණී.
ගිහිගෙයි වෙසෙන ශ්‍රද්ධා ඇති යමකුහට සත්‍යයත්, ධර්‍මයත්, ධෘතියත්, ත්‍යාගයත් යන මේ සිවු දහම්හු වෙත් නම් හෙ තෙමේ පරලොවට පැමිණ ඒකාන්තයෙන් ශෝක නො කෙරෙයි. මෙලොවින් පරලොවට පැමිණ මෙසේ ශෝක නො කෙරෙයි.
සත්‍යයටත්, ඉන්‍ද්‍රියදමනයටත්, ත්‍යාගයටත්, ක්‍ෂාන්තියටත් අධික වූ යමක් මෙලොව ඉදින් ඇත් නම් (ඒ කුමැයි) බොහෝ වූ අනෙක් මහණබමුණන් ද විචාරව යි.
[අළව්:]
සාම්පරායික වූ ද (දෘෂ්ටධාර්මිකවූ ද) යම් අර්‍ත්‍ථයෙක් වේ නම් (එය) ඒ මම අද දනිමි. (එහෙයින්) දැන් බොහෝ වූ මහණබමුණන් කුමකට විචාරන්නෙම් ද,
ඒකාන්තයෙන් මට වැඩ පිණිස බුදුරජානන් වහන්සේ විසීම පිණිස අළව් නුවරට වැඩිසේක: යමකුට දෙන ලද්ද මහත්ඵල වේ නම් එය මම අද දනිමි.
ඒ මම (බුද්ධසුබුද්ධතාව කියා) බුදුරජානන් වහන්සේ ද, (ධර්‍මසුධර්‍මතාව කියා) ධර්‍මය ද (සඞ්ඝසුසඞ්ඝතාව කියා) සඞ්ඝයා ද වඳිමින් ගමින් ගම නුවරින් නුවර හැසිරෙන්නෙමි.
ඉන්‍දක වර්‍ගය පළමුවැනි යි.
එහි උද්දානය:
ඉන්‍දක, සක්ක, සූචි, මණිභද්ද, සානු, පියඞ්කර, පුනබ්බසු, සුදත්ත ය, සුක්කාසූත්‍ර දෙක ය, චීරා සූත්‍රය, ආළවක සූත්‍ර යයි දොළොසෙකි.
යක්ඛ සංයුත්තය නිමියේ ය.
11. සක්ක සංයුත්තය
1. සුවීර වර්‍ගය
11. 1. 1.