Saṁyutta Nikāya

Connected Discourses

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-30 · 15083 segments

පෙන්වන කොටස් 2501-2600 න් 15083

තපස්වීහු විසින් ඉවසියයුතු වූ ප්‍රතිලෝමශබ්දයෝ බොහෝහ. ඒ තපස්වීහු විසින් නිතෙද නො වියයුතුයි. එයින් නො ම කිලිටි වේ.
යමෙක් වෙනෙහි වාතමෘගයකු මෙන් ශබ්දයෙන් තැති ගන්නාසුලු වේ ද, ඔහු ලුහු සිත් ඇතියහ යි කියත්. ඔහුගේ ව්‍රතය නොසැපයේ.
9. 9. 9.
වජ්ජිපුත්ත සූත්‍රය
229. එක්කලෙක එක්තරා වජ්ජිපුත්තක මහණෙක් විසල්පුර සමීපයෙහි එක්තරා වනලැහැබෙක වෙසෙයි. එකල්හි විසල්පුරයෙහි සව්රෑකෙළියෙක් වෙයි. ඉක්බිති ඒ මහණ තෙමේ විසල්පුරයෙහි තැළු තුරුයෙහි හා වැයු වෙණෙහි හා ගොස හා හඬ අසා හඬමින් ඒ වේලායෙහි මේගාථාව කී ය:
අපි වෙනෙහි පියන ලද දරකඩක් මෙන් මෙබඳු රැයෙහි එකලාවමෝ අරණෙහි වසම්හ. කවරෙක් නම් අප වරා අතිශය පාප ඇතියෙක් වේ ද?
ඉක්බිති ඒ වනලැහැබෙහි අධිගෘහිත වූ ඒ මහණහට අනුකම්පා කරණ වැඩ කැමැති ඒ දෙවි ඒ මහණහට සංවේග දනවනු කැමැත්තේ ඒ මහණහු වෙත එළඹියේ ය. එළඹ ඒ මහණහට ගාථායෙන් කී ය:
තෙපි වෙනෙහි ලූ දරකඩක් මෙන් අරණෙහි එකලා ව වසව. ඒ තොපට දෙව්ලොව යන්නවුන් ට (කැමති වන්නා වූ) නිරිසතුන් මෙන් බොහෝ දෙනෙක් කැමති වෙති.
ඉක්බිති ඒ මහණ තෙමේ ඒ දේවතාවා විසින් සංවේගයට (ඔතප් බියට) පමුණුවන ලද්දේ සංවිග්න වූයේ ය.
9. 9. 10.
සජ්ඣාය සූත්‍රය
230. එක්කලෙක එක්තරා මහණෙක් කොසොල් දනව්වෙහි එක්තරා වනලැහැබෙක වෙසෙයි. එකල්හි ඒ මහණ තෙමේ පෙර අතිමාත්‍රකාලයක් හැදෑරීම් බහුල කොට ඇත්තේ වෙසෙයි. (එහෙත්) හෙ තෙමේ පසුකලෙක උත්සාහ රහිත වූයේ කල් ගෙවයි.
එකල්හි ඒ වනලැහැබෙහි අධිගෘහිත වූ දෙවි ඒ මහණහුගේ ධර්‍මය නො අසන්නේ ඒ මහණහු වෙත එළඹියේ ය. එළඹ ඒ මහණහට ගාථායෙන් කී ය.
මහණ, නුඹ වහන්සේ භික්‍ෂූන් සමග වෙසෙමින් කුමක් හෙයින් ධර්‍මපදයන් නොහදාරන්නහු ද? ධර්‍මය අසා පැහැදීම ලබ යි. ඉහාත්මයෙහි ම පැසැසීම ද ලබයි.
යම්තාක් ආර්‍ය්‍යමාර්‍ගය හා එක් වූවමෝ ද, (ඊට) පෙර ධර්‍මපදයන්හි ඡන්‍දරාගය වී ය. යම් හෙයකින් ආර්‍ය්‍යමාර්‍ගය හා එක් වූවමෝ ද (එහෙයින්) යම් කිසි ඇසින් දුටු රූපයෙක් හෝ කණින් ඇසූ ශබ්දයෙක් හෝ කයින් පහස්නා ලද ස්ප්‍රෂ්ටව්‍යයෙක් හෝ වේ ද, (ඒ සියල්ල අනිත්‍යාදි වශයෙන්) දැන දුර ලීම කළම්හ. ආර්‍ය්‍යයෝ එය කියත්.
9. 9. 11.
අයෝනිසෝ සූත්‍රය
231. එක්කලෙක එක්තරා මහණෙක් කොසොල් දනව්වෙහි එක්තරා වනලැහැබෙක වෙසෙයි. එකල්හි ඒ මහණ තෙමේ දිවා විහාරයට ගියේ ලාමක අකුසල විතර්‍කයන් (කාමවිතර්‍කය, ව්‍යාපාද විතර්‍කය, විහිංසා විතර්‍කය) විතර්‍කණය කෙරෙයි.
ඉක්බිති ඒ වනලැහැබෙහි අධිගෘහිත වූ ඒ මහණහට අනුකම්පා කරණ වැඩ කැමති ඒ දෙවි ඒ මහණහට සංවේග දනවනු කැමැත්තේ ඒ මහණහු වෙත එළඹියේ ය. එළඹ ඒ මහණහට ගාථායෙන් කී ය:
නුනුවණින් මෙනෙහි කිරීමෙන් ඒ තෙපි පාපවිතර්‍කයන් විසින් කනු ලැබහු. නුනුවණින් මෙනෙහි කිරීම බැහැර කොට නුවණින් මෙනෙහි කරව.
ශාස්තෲන් වහන්සේ ද ධර්‍මය ද සඞ්ඝයා ද තමාගේ සිල් ද ඇරබ ඒකාන්තයෙන් ප්‍රමෝද්‍යයත් ප්‍රීතිය හා සුවත් ලබව. එයින් ප්‍රමෝදය බහුල කොට ඇතිව දුක් කෙළවර කරන්නාහු ය.
ඉක්බිති ඒ මහණ තෙමේ ඒ දේවතාවා විසින් සංවේගයට පමුණුවන ලද්දේ සංවිග්න වූයේ ය.
9. 9. 12.
මජ්ඣන්තික සූත්‍රය
232. එක්කලෙක එක්තරා මහණෙක් කොසොල් දනව්වෙහි එක්තරා වනලැහැබෙක වෙසෙයි. එකල්හි ඒ වනලැහැබෙහි අධිගෘහිත වූ ඒ දෙවි ඒ මහණ වෙත එළඹියේ ය. එළඹ ඒ මහණහුගේ සමීපයෙහි මේ ගාථාව කී ය:
සිටිමද්දහනෙහි පක්‍ෂීන් ඉසඹු ලනකල්හි මහවනය. (මහත්සේ) හඬ නගන්නාක් මෙනි. එය මට බියක් ව වැටහේ.
[භික්‍ෂූ:]
සිටිමද්දහනෙහි පක්‍ෂීන් ඉසඹු ලනකල්හි මහවනය මහත් සේ හඬ නගන්නාක් මෙනි. එය මට සිත් පිණවන්නාක් ව වැටහේ.
9. 9. 13.
පාකතින්‍ද්‍රිය සූත්‍රය
233. එක්කලෙක උඩනු වූ නැඟූ මානනළ ඇති චපල වූ රළු වචන ඇති දොඩමලු වූ මුළා සිහි ඇති මනා නුවණ නැති නො එකඟ සිත් ඇති නො සන්සුන් සිත් ඇති පියවි ඉඳුරන් ඇති බොහෝ භික්‍ෂූහු කොසොල් දනව්වෙහි එක්තරා වනලැහැබෙක වෙසෙත්.
එකල ඒ වනලැහැබ අරක් ගත ඒ භික්‍ෂූන්ට අනුකම්පා කරණ වැඩ කැමති ඒ දෙවි ඒ භික්‍ෂූන්ට සංවේග දනවනු කැමැත්තේ ඒ භික්‍ෂූන් වෙත එළඹියේ ය. එළඹ ඒ භික්‍ෂූන්ට ගාථායෙන් කී ය:
පෙර ආශා රහිත ව පිඬු සොයන ආශා රහිත ව සෙනසුන් සොයන ගොයුම්සවු වූ මහණහු සුවදිවි ඇති වූහ. ඔහු ලොව අනිස් බැව් දැන දුක කෙළවර කළහ.
මම සඞ්ඝයාට ඇඳිලි බැඳ කියමි. මෙහි ඇතැම්හු ගම්හි නින්‍දිත ගම් දෙටුවන් මෙන් තමන් දුකසේ පෝෂණය කළ හැක්කවුන් කොට අන්ගෙවල පුනපුනා බුදිමින් මුසපත් ව හොවිත්. සස්නෙන් බැහැර වූ ඔහු අසරණයෝ ය. සොහොනෙහි දමන ලද මළසිරුර බඳු වෙත්.
යම් කෙනෙක් ප්‍රමත්ත ව වෙසෙත් නම් මා විසින් ඔවුන් සඳහා කියන ලදී. යම් කෙනෙක් අප්‍රමත්ත ව වෙසෙත් නම් මම ඔවුන්ට නමස්කාර කරමි.
ඉක්බිති ඒ භික්‍ෂූහු ඒ දේවතාවා විසින් සංවේගයට පමුණුවන ලද්දාහු සංවේගයට පැමිණියහ.
9. 9. 14.
පදුමපුප්ඵ සූත්‍රය
234. මා විසින් මෙසේ අසන ලදී: එක්කලෙක එක්තරා මහණෙක් කොසොල් දනව්වෙහි එක්තරා වනලැහැබෙක වැඩ වෙසෙයි. එකල්හි ඒ මහණ පසුබත පිණ්ඩපාතයෙන් වැළකුණේ පොකුණට බැස පියුමක් සිඹී.
ඉක්බිති ඒ වනලැහැබ අරක්ගත් ඒ මහණහට අනුකම්පා කරණ වැඩ කැමති ඒ දෙවි ඒ මහණහට සංවේගය දනවනු කැමැත්තේ ඒ මහණහු වෙත එළඹියේ ය. එළඹ ඒ මහණහට ගාථායෙන් කී ය.
නො දෙන ලද යම් ඒ පියුමක් සිඹිහි ද, මෙය සොරකම් අතුරෙන් එක් කොටසෙකි. නිදුකානන් වහන්ස, (එහෙයින්) ගන්‍ධත්‍ථේන (සුවඳ සොරෙක්) වෙහි ය.
[භික්‍ෂු:]
මේ පියුම ගෙණ නො යෙමි. නො කඩමි. දුර සිට සිඹිමි. එසේ ඇති කළ කිනම් කරුණෙකින් ගන්‍ධත්‍ථේන යයි කියනු ලැබේ ද,
[දෙවි:]
යම් ඒ තවුසෙක් නෙලුඹල කණී ද, පියුම් නෙළා ද, මෙසේ අපිරිසිදු කර්‍මාන්ත ඇති මේ තවුස් කුමක් හෙයින් ගන්‍ධත්‍ථේන යයි නො කියනු ලැබේ ද.
ඒ පුරුෂ තෙමේ බොහෝ පව් ඇත්තෙකි. කිරි මව හැඳිවත උච්චාරපස්සාවා (මලමූත්‍රා) දියෙහි ගැවසී ගත්තාක් මෙන් (රාගදෝෂාදියෙන්) වැකුණෙකි. ඔහු කෙරෙහි මාගේ බසෙක් නැත. ඔබට නම් කියන්නට නිසි වෙමි.
කෙලෙස් නැති නිතර පවිත්‍ර වූ ශීලාසමාධි ආදී ඥානයන් සොයන්නා වූ පුද්ගලයාට පාපය පිළිබඳ වලග පමණ වූ (ඉතා මඳ) දෝෂය පවා වලා පටලයක් පමණ වූවාක් මෙන් වැටහේ.
[භික්‍ෂු:]
යක්‍ෂය, මා ඒකාන්තයෙන් පිරිසිදු ය යි දන්නේ හි ය. මට අනුකම්පා කෙරෙහි. යම් කලෙක මෙබන්දක් දක්නෙහි නම් යක්‍ෂය, නැවතත් කියන්නෙහි ය.
[දෙවි:]
මහණ, තොප නිසා නො ම ජීවත් වම්හ. තොපගේ බැළයමෝ නො ද වම්හ. යම් කර්‍මයෙකින් සුගතියට යන්නේ ද, (එය) තො ම දන්නෙහි ය.
ඉක්බිති ඒ මහණ තෙමේ ඒ දේවතාවා විසින් සංවේගයට පමුණුවන ලද්දේ සංවේගයට පැමිණියේ ය.
වනවර්‍ගය පළමුවැනි යි.
එහි උද්දානය:
විවෙක, උපට්ඨාන, කස්සපගොත්ත, සම්බහුලා, ආනන්‍ද, අනුරුද්ධ, නාගදත්ත, කුලඝරණී, වජ්ජිපුත්ත, සඡ්ඣාය, අයෝනිසෝ, මඡ්ඣන්තික, පාකතින්‍ද්‍රිය, පදුමපුප්ඵ යයි සූත්‍ර තුදුසෙකි.
වනසංයුත්තය නිමියේ ය.
10. යක්ඛ සංයුත්තය
1. ඉන්‍දක වර්‍ගය
10. 1. 1.
ඉන්‍දක සූත්‍රය
235. මා විසින් මෙසේ අසන ලදී: එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි ඉන්‍දකූට පර්‍වතයෙහි ඉන්‍දක යක්‍ෂයාගේ භවනයෙහි වැඩ වසන සේක. එකල ඉන්‍දක යක්‍ෂ තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් කී ය:
බුදුවරයෝ රූපය ජීවය යි නොකියත්. (එසේ නම්) මේ සත්‍ව තෙමේ මේ සිරුර කෙසේ නම් ලබා ද? මොහුගේ ඇට හා අක්මාපිඬ කොයින් ඒ ද? මේ තෙමේ නම් මවුකුස ලැගේ ද?
[භගවත්හු:]
පළමු කොට කලලරූපය වේ. කලලයෙන් අබ්බුදය වේ. අබ්බුදයෙන් පේසිය හට ගණි. පේසියෙන් ඝන නම් මස්පිඬෙක් හට ගණී. ඒ ඝනයෙන් පිලක පසෙක් හට ගණී. ඉන්පසු කෙස් ලොම් ද නිය ද හට ගණිත්.
ඔහුගේ මව යම් අහරකුත්, බොන දැයකුත්, බොජුනකුත් වළඳා ද, මවුකුසට පැමිණ ඒ සත්‍ව තෙමේ ඒ ආහාර පානාදියෙන් එහි දී යැපේ.
10. 1. 2.
සක්ක සූත්‍රය
236. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි ගිජුකුළුපව්වෙහි වැඩ වසන සේක. එකල සක්ක නම් යක්‍ෂයෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් කී ය.
අනුන්ට අනුශාසනා කෙරෙයි යන යමෙක් වේ ද, සියලු තන්හි ප්‍රහීණ වූ කෙලෙස්ගැට ඇති වෙසෙසින් මිදුනු ශ්‍රමණ වූ ම තොපට එය නො මැනවි.
[භගවත්හු:]
එම්බා සක්ක, යම්කිසි කාරණයෙකින් සංවාසය හෙවත් මිත්‍රධර්‍මය හට ගණී ද, සුප්‍රාඥ තෙමේ එයට සිතින් අනුකම්පා කරන්නට නොනිසි යි.
එහෙත් පහන් සිතින් අනුන්ට අනුශාසනා කෙරෙයි යන යමෙක් වේ ද, එයින් බැඳීමෙක් නො වේ. එය අනුකම්පාව යි. කරුණාව යි.
10. 1. 3.
සූචිලෝම සූත්‍රය
237. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ ගයාවට නුදුරෙහි සුචිලෝම යක්‍ෂයාගේ භවනෙහි ටඞ්කීතමඤ්චයෙහි වැඩ වසන සේක. එකල්හි ඛර යක්‍ෂ තෙමේ ද, සුචිලෝම යක්‍ෂ තෙමේ ද භාග්‍යවතුන් වහන්සේ නුදුරෙහි ගමන් කෙරෙත්.
ඉක්බිති ඛරලෝම යක්‍ෂ තෙමේ “මේ ශ්‍රමණයෙකැ”යි සූචිලෝම යක්‍ෂයාට මෙය කී ය.
මේ ශ්‍රමණයෙක් නො වේ. මේ ශ්‍රමණකයෙකි, හෙ ශ්‍රමණයෙක් දෝ නොහොත් ශ්‍රමණකයෙක් දෝ යි දැන ගණිමි. ඉක්බිති සූචිලෝම යක්‍ෂ තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේට කය එළවීය.
එකල්හි භාග්‍යවතුන් වහන්සේ කය (මඳක්) ඉවත් කළ සේක.
ඉක්බිති සූචිලෝම යක්‍ෂ තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය කී ය. මහණ, මා කෙරෙන් බියවෙහි ද?
[භගවත්හු:]
ඇවැත්නි, මම තා කෙරෙන් නො බමි. එහෙත් තගේ පහස ලාමකය.
[සූචිලෝම:]
මහණ, තා ප්‍රශ්නයක් විචාරන්නෙමි. මහණ, ඉදින් මට නොවිසඳන්නෙහි නම් තාගේ සිත හෝ වික්‍ෂේප කරන්නෙමි. තාගේ හෘදය හෝ පලන්නෙමි. දෙපා ගෙණ හෝ ගඟ පරතෙර දමන්නෙමි යි.
[භගවත්හු:]
ඇවැත්නි, යමෙක් මාගේ සිත හෝ වික්‍ෂේප කරන්නේ ද, හෘදය හෝ පලන්නේ ද, දෙපා ගෙණ හෝ ගඟපරතෙර දමන්නේ ද, දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලොව්හි මහණ බමුණන් සහිත දෙවිමිනිසුන් සහිත ප්‍රජායෙහි එබන්දකු මම නොම දකිමි. ඇවැත්නි එහෙත් තෝ යමක් කැමැත්තෙහි නම් අස.
ඉක්බිති සූචිලෝම යක්‍ෂ තෙමේ ගාථායෙන් කී ය:
රාගයත් ද්වේෂයත් කුමක් මූලහේතු කොට ඇත්ද? (කුසල් දහම්හි) නො ඇල්මත් (පස්කම්හි) ඇල්මත් ලොමුදහ ගැණුමත් කුමකින් හට ගත්තෝ ද? ගම් දරුවන් (අල්ලා ගත්) කවුඩකු (බැහැර කරන්නාක්) මෙන් විතර්‍කයෝ කොතැනින් ඉපිද කුසල් සිත බැහැර කෙරෙත් ද,
[භගවත්හු:]
රාගයත් ද්වේෂයත් මේ අත්බව මූලහේතු කොට ඇත. අරතියත් රතියත් ලොමුදහ ගැණුමත් මෙයින් ම හට ගත්තේය. විතර්‍කයෝ මෙයින් හට ගෙණ ගම් දරුවන් කවුඩකු (බැහැර කරන්නාක්) මෙන් කුසල් සිත බැහැර කෙරෙත්.
අත්බැවින් හට ගත් විතර්‍කයෝ තෘෂ්ණායෙන් හට ගත්තෝ ය. නුගරුක්හි අරළු මෙනි. බොහෝ වූ විතර්‍කයෝ කාමවස්තූන්හි වෙසෙසින් ඇලුනාහු ය. වෙනෙහි ගැවසී ගත් මාලුවා වැලක් මෙනි.
යක්‍ෂය, අසව යම් කෙනෙක් ඒ අත්බවත් ඊට යමක් මූලහේතු වේ නම් එයත් දනිද්ද, ඔහු එය දුරු කෙරෙත්. ඔහු තරණය කිරීමට දුෂ්කර වූ තරණය නො කළවිරූ මේ චතුරෝඝය නැවත නූපදීම සඳහා තරණය කෙරෙත්.
10. 1. 4.
මණිභද්ද සූත්‍රය
238. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ මගද දනව්වෙහි මණිමාළක චෙතියෙහි මණිභද්ද යකුගේ භවනෙහි වැඩ වසන සේක. එකල මණිභද්දයක්‍ෂ තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹිය හ. එළඹ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගය කී ය:
සිහි ඇත්තාහට හැමකල්හි යහපත වේ. සිහි ඇත්තේ සුවය වඩයි. සිහි ඇත්තහුගේ (ස්වාභාවය) හැමකල්හි ශ්‍රේෂ්ඨ ය. වෛරයෙන් ද මිදෙයි.
[භගවත්හු:]
සිහි ඇත්තාහට හැමකල්හි යහපත වේ. සිහි ඇත්තේ සුවය වඩයි. සිහි ඇත්තහුගේ (ස්වාභාවය) හැමකල්හි ශ්‍රේෂ්ඨ ය. (එහෙත් එපමණකින්) වෛරයෙන් නො මිදේ.
යමෙකුගේ සිත මුළු රෑදෙවෙහි අහිංසාවෙහි ඇලුනේ ද, හෙ තෙමේ සියලු සත්‍වයන් කෙරෙහි මෛත්‍රිය වඩයි. ඕහට කිසිවකු හා වෛරයෙක් නැත.
10. 1. 5.
සානු සූත්‍රය