Saṁyutta Nikāya

Connected Discourses

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-30 · 15083 segments

පෙන්වන කොටස් 2401-2500 න් 15083

චතුරෝඝ නිත්‍ථරණය පිණිස අනේකවිධ වූ මාර්‍ගය වදාළ සේක. උන්වහන්සේ විසින් වදාරණ ලද ඒ අමෘතයෙහි උන්වහන්සේගේ ශ්‍රාවකයෝ අසංහාරිය ව (රාගාදියෙන් හැකිළිය නො හැකියේ තහවුරුව) පිහිටි යෝ ය.
ඥානාලෝකය පහළ කළ බුදුරජානන් වහන්සේ ධර්‍මය අවබෝධ කොට සියලු දෘෂ්ටිස්ථානයන්ගේ හෝ විඥානස්ථිතීන්ගේ ඉක්මීම දුටු සේක. දැන ප්‍රත්‍යක්‍ෂ කොට උන්වහන්සේ උතුම් ධර්‍මය දශාර්ධයන්ට හෙවත් පස්වග මහණුන්ට දෙසූ සේක.
මෙසේ ධර්‍මය මොනොවට දේශනා කොට ඇතිකල්හි ධර්‍මය දැන ගන්නවුන්ගේ කවර ප්‍රමාදයෙක් ද, එහෙයින් (තථාගතයන් වහන්සේට) නමස්කාර කරමින් ඒ භාග්‍යවතුන් වහන්සේගේ සස්නෙහි අප්‍රමාදී ව හැම කල්හි පිළිවෙළින් හික්මෙන්නේ ය.
8. 1. 9.
කොණ්ඩඤ්ඤ සූත්‍රය
217. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි කලන්‍දකනිවාප නම් වූ වේළුවනාරාමයෙහි වැඩවසන සේක. එකල්හි ආයුෂ්මත් අඤ්ඤාකොණ්ඩඤ්ඤ තෙරණුවෝ බොහෝ කලෙකින් ම භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේගේ පාමුල හිසින් වැටී භාග්‍යවතුන් වහන්සේගේ පා මුවෙන් සිඹිත්. අතින් ද පිරිමදිත්. “භාග්‍යවතුන් වහන්ස, මම කොණ්ඩඤ්ඤ යෙමි. සුගතයන් වහන්ස, මම කොණ්ඩඤ්ඤයෙමි”යි නම ද අස්වත්.
එකල්හි ආයුෂ්මත් වඞ්ගීස තෙරුන්ට “මේ ආයුෂ්මත් අඤ්ඤාකොණ්ඩඤ්ඤ තෙරණුවෝ බොහෝ කලෙකින් ම භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේගේ පාමුල හිසින් වැටී භාග්‍යවතුන් වහන්සේගේ පා මුවෙන් සිඹිත්. අතින් ද පිරිමදිත්. “භාග්‍යවතුන් වහන්ස, මම කොණ්ඩඤ්ඤ යෙමි. සුගතයන් වහන්ස, මම කොණ්ඩඤ්ඤයෙමි”යි නම ද අස්වත්. මම භාග්‍යවතුන් වහන්සේ හමුවෙහි සුදුසු ගාථායෙන් ආයුෂ්මත් අඤ්ඤාකොණ්ඩඤ්ඤ තෙරිඳුන් පසසන්නෙම් නම් ඉතා යෙහෙකැ”යි මේ අදහස විය.
ඉක්බිති ආයුෂ්මත් වඞ්ගීස ස්ථවිර තෙමේ හුනස්නෙන් නැගිට උත්තරාසඞ්ගය එකස් කොට භාග්‍යවතුන් වහන්සේ වෙත ඇඳිලි බැඳ භාග්‍යවතුන් වහන්සේට “භාග්‍යවතුන් වහන්ස, මට වැටහේ. සුගතයන් වහන්ස, මට වැටහේ”යි මෙය සැළ කෙළේ ය. වඞ්ගීස, තට වැටහේවා! යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
ඉක්බිති ආයුෂ්මත් වඞ්ගීස ස්ථවිර තෙමේ සුදුසු ගාථාවලින් භාග්‍යවතුන් වහන්සේ හමුවෙහි අඤ්ඤාකොණ්ඩඤ්ඤ තෙරණුවන් පැසසී ය.
(බුදුහුට පසුව චතුරාර්‍ය්‍යසත්‍ය අවබෝධ කළ බැවින්) බුද්ධානුබුද්ධ වූ බහුල වීර්‍ය්‍යය ඇති ඒ කොණ්ඩඤ්ඤ තෙරණුවෝ සුඛවිහරණ ඇති චිත්තවිවේකයන් නිතර ලබනසුල්ලහ.
ශාස්තෘශාසනකාරී වූ ශ්‍රාවකයකු විසින් යමක් ලැබියයුතු ද අප්‍රමාදී ව හික්මෙන්නා වූ උන්වහන්සේ විසින් ඒ සියල්ල ලබන ලදී.
මහත් අනුභාව ඇති ත්‍රිවිද්‍යා ඇති චේතෝපරියඤාණයෙහි දක්‍ෂ වූ බුද්ධපුත්‍ර වූ කොණ්ඩඤ්ඤ තෙරණුවෝ ශාස්තෲන් වහන්සේගේ සිරිපා වඳිත්.
8. 1. 10.
මොග්ගල්ලාන සූත්‍රය
218. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි ඉසිගිලිපවුපස කළුගල්තලාවෙහි හැම රහත් වූ භික්‍ෂූන් පන්සියක් පමණ වූ, මහත් බික්සගන සමග වැඩ වසන සේක. ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ තමසිතින් ඒ භික්‍ෂූන්ගේ සිත වෙසෙසින් මිදුනේ ද උපධි රහිතදැයි සොයත්.
ඉක්බිති ආයුෂ්මත් වඞ්ගීසතෙරුන්ට “මේ භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි ඉසිගිලිපවුපස කළුගල්තලාවෙහි හැම රහත් වූ භික්‍ෂූන් පන්සියක් පමණ වූ මහත් බික්සඟන සමග වැඩවසන සේක. ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ තමසිතින් ඒ භික්‍ෂූන්ගේ සිත වෙසෙසින් මිදුනේ ද උපධි රහිතදැයි සොයත්. මම සුදුසු ගාථායෙන් භාග්‍යවතුන් වහන්සේ හමුවෙහි ආයුෂ්මත් මහමුගලන් තෙරුන් පසසන්නෙම් නම් මැනවැ”යි මේ අදහස වි ය.
ඉක්බිති ආයුෂ්මත් වඞ්ගීස ස්ථවිර තෙමේ හුනස්නෙන් නැගිට උත්තරාසඞ්ගය එකස් කොට භාග්‍යවතුන් වහන්සේ වෙත ඇඳිලි බැඳ භාග්‍යවතුන් වහන්සේට “භාග්‍යවතුන් වහන්ස, මට වැටහේ. සුගතයන් වහන්ස, මට වැටහේ ය”යි මෙය සැළ කෙළේ ය. වඞ්ගීස, තට වැටහේවා!යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. ඉක්බිති ආයුෂ්මත් වඞ්ගීස ස්ථවිර තෙමේ සුදුසු ගාථාවලින් භාග්‍යවතුන් වහන්සේ හමුවෙහි ආයුෂ්මත් මහමුගලන් තෙරුන් පැසසී ය.
ත්‍රිවිද්‍යා ඇත්තා වූ කෙලෙස් මරු නැසූ ශ්‍රාවකයෝ පවුපස වැඩහුන් දුක් කෙළවරට පැමිණි සම්බුදු මුනීහු පර්‍ය්‍යුපාසනය කෙරෙත්.
මහත් ඍද්ධි ඇති මහමුගලන් තෙරණුවෝ සව්වන්ගේ සිත (කෙලෙසුන්ගෙන්) මිදුනේ ද, උපධි රහිත දැයි සොයමින් තම සිතින් ඔවුන් ලුහුබැඳ යෙත්.
මෙසේ සියලු ගුණාඞ්ගයන්ගෙන් යුත් දුක් කෙළවරට පැමිණි නොයෙක් අයුරෙන් පිරිපුන් සම්බුදු මුනි වූ ගෞතමයන් වහන්සේ පර්‍ය්‍යුපාසනය කෙරෙත්.
8. 1. 11.
ගග්ගරා සූත්‍රය
219. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ චම්පානුවර සමීපයෙහි ගග්ගරා පොකුණුතෙර පන්සියක් පමණ වූ බික්සඟන ද සත්සියක් උවසුවන් ද නොයෙක් දහස්ගණන් දෙවියන් ද සමග වැඩවසන සේක. භාග්‍යවතුන් වහන්සේ ශරීර වර්‍ණයෙන් ද, යශසින් ද, ඔවුන් අබිබවා බබලන සේක.
එකල්හි ආයුෂ්මත් වඞ්ගීස තෙරුන්ට “මේ භාග්‍යවතුන් වහන්සේ චම්පානුවර සමීපයෙහි ගග්ගරා පොකුණුතෙර පන්සියක් පමණ වූ බික්සඟන ද සත්සියක් උවසුවන් ද නොයෙක් දහස්ගණන් දෙවියන් ද සමග වැඩවසන සේක. භාග්‍යවතුන් වහන්සේ ශරීර වර්‍ණයෙන් ද, යශසින් ද, ඔවුන් අබිබවා බබලන සේක. මම සුදුසු ගාථායෙන් භාග්‍යවතුන් වහන්සේට හමුවෙහි ප්‍රශංසා කරන්නෙම් නම් මැනවැයි මේ අදහස විය.
ඉක්බිති ආයුෂ්මත් වඞ්ගීස ස්ථවිර තෙමේ හුනස්නෙන් නැගිට උත්තරාසඞ්ගය එකස් කොට භාග්‍යවතුන් වහන්සේ වෙත ඇඳිලි බැඳ භාග්‍යවතුන් වහන්සේට “භාග්‍යවතුන් වහන්ස, මට වැටහේ. සුගතයන් වහන්ස, මට වැටහේ”යි මෙය සැළ කෙළේ ය. වඞ්ගීස, තට වැටහේවා!යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
ඉක්බිති ආයුෂ්මත් වඞ්ගීස ස්ථවිර තෙමේ සුදුසු ගාථායෙන් භාග්‍යවතුන් වහන්සේට ඉදිරියෙහි පැසසී ය.
පහව ගිය වලාකුළු ඇති අහස්හි සඳුත් නිර්‍මල වූ හිරුත් යම්සේ බබලද්ද, මහාමුනි වූ බුදුරජානන් වහන්ස, මුබවහන්සේ ද, එසේ ම යශසින් සියලු ලෝකයා අබිබවා බබලන සේක.
8. 1. 12.
වඞ්ගීස සූත්‍රය
220. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ ජේතවන නම් අනේපිඬුසිටුහුගේ අරම්හි වැඩ වසන සේක. එකල්හි ආයුෂ්මත් වඞ්ගීසස්ථවිර තෙමේ රහත්බවට පැමිණි නොබෝකල් ඇත්තේ වේ. විමුක්තිසුවය විඳිනේ ඒ වේලාවෙහි මේ ගාථා කී ය.
පෙර කවිකිරීමෙන් මත් ව ගමින් ගම ද නුවරින් නුවර ද හැසුරුනෙමු. ඉක්බිති බුදුරජානන් වහන්සේ දුටු වෙමු. (එයින්) අපට ශ්‍රද්ධාව උපනි.
ඒ බුදුරජානන් වහන්සේ ස්කන්‍ධායතනධාතූන් ප්‍රකාශ කෙරෙමින් මට දහම් දෙසූ සේක. මම උන්වහන්සේගේ ධර්‍මය අසා සස්නෙහි පැවිදි වීමි.
යම් කෙනෙක් නියාමධර්‍මයට පැමිණියෝ ද, නියාමධර්‍මය දක්නෝ ද බොහෝ වූ ඒ භික්‍ෂූන්ට ද භික්‍ෂුණීන්ට ද වැඩ පිණිස මුනීන්‍ද්‍රයන් වහන්සේ බුද්ධත්‍වයට පැමිණි සේක.
මම ඒකාන්තයෙන් යහපත් ඊමෙක් විය. මා විසින් බුදුරජානන් වහන්සේ සමීපයෙහි ත්‍රිවිද්‍යාවෝ ලබන ලදහ. සර්‍වඥයන් වහන්සේගේ ශාසනය කරණ ලද්දේ ය.
පෙර විසූ කඳපිළිවෙළ දනිමි. දිවැස වෙසෙසින් පිරිසිදු කරණ ලද්දේ ය. ත්‍රිවිද්‍යා ඇත්තෙම් ඍද්ධිවිධඥානයට පැමිණියෙම් චේතෝපරියඤාණයෙහි දක්‍ෂ වූයෙම් වෙමි.
වඞ්ගීස වර්‍ගය පළමුවැනි යි.
එහි උද්දානය:
නික්ඛන්ත, අරති, පෙසල, අතිමඤ්ඤනා, ආනන්‍ද, සුභාසිත, සාරිපුත්ත, පවාරණ, පරොසහස්ස, කොණ්ඩඤ්ඤ, මොග්ගල්ලාන, ගග්ගර, වඞ්ගීස යයි සූත්‍ර දොළසෙකි.
වඞ්ගීස සංයුත්තය නිමියේ ය.
9. වන සංයුත්තය
1. වන වර්‍ගය
9. 9. 1.
විවෙක සූත්‍රය
221. මා විසින් මෙසේ අසන ලදී: එක්කලෙක එක්තරා මහණෙක් කොසොල් දනව්වෙහි එක්තරා වනලැහැබෙක වෙසෙයි. එකල්හි ඒ මහණ තෙමේ පස්කම්සුව ඇසුරු කළ ලාමක අකුසල් සිතිවිලි සිතයි.
ඉක්බිති ඒ වනලැහැබෙහි අධිගෘහිත වූ, ඒ මහණහට අනුකම්පා කරණ වැඩ කැමති ඒ දෙවි තෙමේ ඒ මහණහට සංවේග දනවනු කැමැත්තේ ඒ මහණහු වෙත එළඹියේ ය. එළඹ ඒ මහණහට ගාථායෙන් කී ය:
විවේකය කැමති ව වනයට පිවිසියේ වෙහි ය. එහෙත් ඔබගේ සිත පිටත හැසිරෙයි. ජනයෙක් වූ ඔබ අන්‍යජනයා කෙරෙහි ඡන්‍දරාගය දුරු කරව. එහෙයින් පහ ව ගිය රාග ඇත්තේ සැප ඇත්තෙක් වන්නෙහි ය.
අනභිරතිය දුරු කරව. සිහි ඇත්තෙක් වෙව. ඔබ සිස්හි ඇත්තෙකැ යි, නොහොත් ඒ සත්පුරුෂධර්‍මය යයි අදහමු. පාතලසඞ්ඛ්‍යාත කෙලෙස්රජස් තරණය කිරීමට දුෂ්කර ම ය. කාමරාගරජස් ඔබ (අපායට) නො හෙළාවා.
පස් තැවරුණා වූ පක්‍ෂියෙක් (පියාපත්) සලමින් (ශරීරයෙහි) ඇලුනු දූවිලි යම් සේ හෙළා ද, එසේ ම ප්‍රධන් වීර්‍ය්‍යය ඇති ස්මෘතිමත් වූ මහණ තෙම (ස්වාසන්තානය) ඇසුරු කළ (කෙලෙස්) රජස් සලමින් හෙළයි.
ඉක්බිති ඒ මහණ තෙමේ ඒ දේවතාවා විසින් සංවේගයට පමුණුවන ලද්දේ සංවේගයට (ඔතප්බියට) පැමිණියේ ය.
උපට්ඨාන සූත්‍රය
222. එක්කලෙක එක්තරා මහණෙක් කොසොල් දනව්වෙහි එක්තරා වනලැහැබෙක වෙසෙයි. එකල්හි ඒ මහණෙ තෙමේ දිවාවිහාරයට ගියේ නිදයි. ඉක්බිති ඒ වනලැහැබෙහි අධිගෘහිත වූ ඒ මහණහට අනුකම්පා කරණ වැඩ කැමති ඒ දෙවි තෙමේ, ඒ මහණහට සංවේගදන්වනු කැමැත්තේ ඒ මහණහු වෙත එළඹියේ ය.
එළඹ ඒ මහණහට ගාථායෙන් කීය.
මහණ, නැගිටුව, කිම, නිදහි ද? නිදීමෙන් තොපට කිනම් වැඩෙක් ද? ක්ලේශාතුර වූ (අවිද්‍යා විෂ පෙවූ තෘෂ්ණා) ශල්‍යයෙන් විදින ලද ගැටෙන්නාවූ තොපට කරව නින්දෙක් ද?
යම් ශ්‍රද්ධාවෙකින් ගිහිගෙන් නික්ම පැවිදි වූයෙහි ද, ඒ ශ්‍රද්ධාව ම වඩව. නින්දට වසඟ නො වව.
නුවණ මඳ වූ පෘථග්ජන තෙමේ යම් කාමයන්හි මුසපත් වූයේ ද, ඒ කාමයෝ අනිත්‍යයහ. අධ්‍රැවයහ. ස්කන්‍ධයන්හි මිදුනාවූ තෘෂ්ණාදෘෂ්ටීන් අනිඃශ්‍රිත වූ පැවිද්දකු කුමක් හෙයින් (දිවාස්වප්නය තෙමේ) තවන්නේ ද,
ඡන්‍දරාගය වැනසීමෙන් ද, අවිද්‍යාව ඉක්ම වීමෙන් ද ඒ චතුස්සත්‍යඥානය පරම පවිත්‍ර වූයේ වෙයි. (එබඳු) පැවිද්දකු කුමක් හෙයින් තවන්නේ ද,
මාර්‍ගඥාන විද්‍යාවෙන් අවිද්‍යාව බිඳ ආස්‍රවයන් ක්‍ෂය කිරීමෙන් නිශ්ශෝකී වූ උපායාස රහිත වූ පැවිද්දකු කුමක් හෙයින් තවන්නේ ද,
සම්පූර්‍ණ වීර්‍ය්‍යය ඇති නිවන් පිණිස මෙහෙයු සිත් ඇති නිතර දැඩි පැරකුම් ඇති නිවණ පතන පැවිද්දකු කුමක් හෙයින් තවන්නේ ද.
9. 9. 3.
කස්සපගොත්ත සූත්‍රය
223. එක්කලෙක ආයුෂ්මත් කස්සපගොත්ත ස්ථවිර තෙමේ කොසොල් දනව්වෙහි එක්තරා වනලැහැබෙක වෙසෙයි. එකල්හි ආයුෂ්මත් කස්සපගොත්ත ස්ථවිර තෙමේ එක්තරා මුවවැද්දකුට අවවාද කෙරෙයි.
ඉක්බිති ඒ වනලැහැබෙහි අධිගෘහිත වූ ආයුෂ්මත් කස්සපගොත්ත තෙරුන්ට අනුකම්පා කරණ වැඩ කැමති ඒ දෙවි තෙමේ ආයුෂ්මත් කස්සපගොත්ත තෙරුන්ට සංවේග දනවනු කැමැත්තේ ආයුෂ්මත් කස්සපගොත්ත තෙරුන් වෙත එළඹියේ ය. එළඹ ආයුෂ්මත් කස්සපගොත්ත තෙරුන්ට ගාථායෙන් කී ය:
පර්‍වත දුර්‍ගයෙහි හැසිරෙණ නුවණ නැති (කරුණු නොකරුණු දැනීමෙහි සමත්) සිත් නැති මුවවැද්දකුට නොකල්හි අවවාද කරණ මහණ තෙමේ අන්‍ධබාලයකු මෙන් මට වැටහේ.
(තොපගේ බණ) අසයි. (එහෙත් අරුත්) නො දනී. (පුහුදුන් ඉදුහයෙන් දිලෙන පටඇඟිලි) බලයි. (එහි කරුණු) නො දකී. බණ කියන කල්හි අඥාන තෙමේ අරුත් අවබෝධ නො කෙරෙයි.
පින්වත් කස්සප, ඉදින් ඇඟිලි පහන් දශයක් දරන්නෙහි නමුත් (හේතු) රූපයන් නොම දක්නේ ය. යම් හෙයෙකින් ඕහට පැණැස නැද්ද (එහෙයිනි).
ඉක්බිති ආයුෂ්මත් කස්සපගොත්ත ස්ථවිර තෙමේ ඒ දේවතාවා විසින් සංවේගයට (ඔතප්බියට) පමුණුවන ලද්දේ සංවිග්න වී ය.
9. 9. 4.
සම්බහුලා සූත්‍රය
224. එක්කලෙක බොහෝ භික්‍ෂූහු කොසොල් දනව්වෙහි එක්තරා වනලැහැබෙක වෙසෙත්. ඉක්බිති ඒ භික්‍ෂූහු වස් එළඹුනාහු තෙමස අවෑමෙන් චාරිකාවට ගියහ. එකල්හි ඒ වනලැහැබෙහි අධිගෘහිත වූ ඒ දෙවි තෙමේ ඒ භික්‍ෂූන් නො දක්නේ හඬමින් ඒ වෙලාවෙහි මේ ගාථාව කී ය:
හිස් වූ බොහෝ අසුන් දැක මට අද අරතියක් මෙන් වැටහෙයි. විසිතුරු කථා ඇති බහුශ්‍රුත වූ ඒ මේ ගොයුම් සව්වෝ කොහි වැඩියාහු ද.
මෙසේ කී කල්හි එක්තරා දෙවියෙක් දේවතාවාට මේ ගාථාව කී ය:
ඇතැම් කෙනෙක් මගධ දනව්වට වැඩියහ. (ඇතැම් කෙනෙක්) කොසොල් දනව්වට වැඩියහ. (ඇතැම් කෙනෙක්) වැදෑරටට අභිමුඛ ව (වැඩියහ.) භික්‍ෂූහු ඇල්මක් නැති ව හැසිරෙන්නාහු ගෙයක් නැති ව මුවන් මෙන් වෙසෙත්.
9. 9. 5.
ආනන්‍ද සූත්‍රය
225. එක්කලෙක ආයුෂ්මත් ආනන්‍ද ස්ථිවිර තෙමේ කොසොල් දනව්වෙහි එක්තරා වනලැහැබෙක වෙසෙයි.
එකල්හි ආයුෂ්මත් ආනන්‍ද ස්ථිවිර තෙමේ අතිමාත්‍ර කාලයක් ගිහියන් කෙරෙහි හැඟවිලි (ඇවැත්නි නොහඬව යනාදි නැලවිලි) බහුල කොට ඇති ව වෙසෙයි.
ඉක්බිති ඒ වනලැහැබෙහි අධිගෘහිත වූ අනඳ තෙරුන්ට අනුකම්පා කරණ වැඩ කැමැති දෙවි අනඳ තෙරුන් සංවිග්න කරවනු කැමැත්තේ අනඳ තෙරුන් වෙත එළඹියේ ය. එළඹ ආයුෂ්මත් අනඳ තෙරුන්ට ගාථායෙන් කී ය.
රුක්මුල සෙනසුන්හි විසීමට පිවිසි නිවණ ලෙහි බහා ගෙණ (වෙසෙන) නුඹවහන්සේට (ගිහියන් සමග කරණ මේ) බිළිබිළි කථාව කුමක් කෙරේ ද? ගෞතමයන් වහන්ස, පමා නොවන මැනව. ධ්‍යාන කරණු මැනව.
ඉක්බිති ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිර තෙමේ ඒ දේවතාවා විසින් සංවේගයට පමුණුවන ලද්දේ සංවිග්න වී ය.
අනුරුද්ධ සූත්‍රය
226. එක්කලෙක අනුරුද්ධ ස්ථවිර තෙමේ කොසොල් දනව්වෙහි එක්තරා වනලැහැබෙක වෙසෙයි. එකල්හි ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන්ගේ පෙරඅත්බව්හි බිරියක් වූ තව්තිසාවැසි ජාලිනී නම් එක්තරා දෙව්දුවක් ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන් වෙත එළඹියා. එළඹ ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන්ට ගාථායෙන් කිවු ය.
පෙර යම් දෙව්ලොවෙක නුඹවහන්සේ විසීම වී ද, එහි සිත පිහිටුවනු මැනව. සියලු කාමයෙන් සමෘද්ධ වූ තව්තිසා දෙවියන් කෙරෙහි දෙවඟනන් විසින් පෙරටු කරණ ලදු ව, පිරිවරණ ලදු ව බැබළුනුහු,
දෙවඟනෝ (ප්‍රතිපත්ති දුර්‍ගතියෙන්) දුර්‍ගතයහ. සත්කායයෙහි පිහිටියෝ ය. දෙවඟනන් විසින් පතන ලද ඒ සත්‍වයෝ ද දුර්‍ගතයහ.
යම් කෙනෙක් පිරිවර - යශස් ඇති තිදස්වැසි දේවපුරුෂයන්ගේ නදුනුයන නො දකිද්ද ඔහු සුවය නො දනිත්.
[අනුරුද්ධ:]
බාලතැනැත්තිය, “සියලු සංස්කාරයෝ අනිත්‍යයහ. ඉපදීම හා නැසීම ස්වභාව කොට ඇත්තාහ. ඉපිද නිරුද්ධ වෙත්. ඔවුන්ගේ සංහිඳීම සුව ය” යන රහතුන්ගේ වදන පරිදි තෝ නො දන්නහු.
එම්බා, ජාලිනි, දැන් දේවකායෙහි නැවත විසීමෙක් (මට) නැත. ඉපදීම යයි කියන ලද සංසාරය ක්‍ෂීණ වූයේ ය. දැන් පුනර්‍භවයෙක් (මට) නැත.
9. 9. 7.
නාගදත්ත සූත්‍රය
227. එක්කලෙක ආයුෂ්මත් නාගදත්ත ස්ථවිර තෙමේ කොසොල් දනව්වෙහි එක්තරා වනලැහැබෙක වෙසෙයි. එකල්හි ආයුෂ්මත් නාගදත්ත ස්ථවිර තෙමේ ඉතා කලින් ගමට පිවිසෙයි. ඉතා දවල් පෙරළා එයි. ඉක්බිති ඒ වනලැහැබෙහි අධිගෘහිත වූ ආයුෂ්මත් නාගදත්ත තෙරුන්ට අනුකම්පා කරණ වැඩ කැමති ඒ දෙවි ආයුෂ්මත් නාගදත්ත තෙරුන් සංවිග්න කරවනු කැමැත්තේ ආයුෂ්මත් නාගදත්ත තෙරුන් වෙත එළඹියේ ය. එළඹ ආයුෂ්මත් නාගදත්ත තෙරුන්ට ගාථායෙන් කී ය:
නාගදත්ත, අලුයම් කාලයෙහි (පිඬු පිණිස) පිවිස වෙලාව ඉක්මවා හැසිරෙන සුලු වූයෙහි ගිහියන් හා හැනුනෙහි ඉතා දවල් පෙරළා අවුත් (ගිහියන් හා) සමාන සුවදුක් ඇත්තෙහිය.
ඉතා බුහුටි වූ කුලයන්හි බැඳුනා වූ නාගදත්ත (මහණහු ගැණ) බමි. බලවත් වූ මෘත්‍යුරාජ වූ මරුගේ වශයට නො ම පැමිණෙව.
ඉක්බිති ආයුෂ්මත් නාගදත්ත ස්ථවිර තෙමේ ඒ දේවතාවා විසින් සංවේගයට පමුණුවන ලද්දේ සංවිග්න වි ය.
කුලඝරණී සූත්‍රය
228. එක්කලෙක එක්තරා මහණෙක් කොසොල් දනව්වෙහි එක්තරා වනලැහැබෙක වෙසෙයි. එකල්හි ඒ මහණ තෙමේ එක්තරා කුලයක් කෙරෙහි අතිශය ඇතුළත් බවට පැමිණියේ අතිමාත්‍රකාලයක් වැඩ වෙසෙයි.
ඉක්බිති ඒ වනලැහැබෙහි අධිගෘහිත වූ ඒ මහණහට අනුකම්පා කරණ වැඩ කැමති ඒ දෙවි ඒ මහණ සංවිග්න කරවනු කැමැත්තේ ඒ කුලයෙහි ඒ කුලගෙහඹු වෙස් ගෙණ ඒ මහණ වෙත එළඹියේ ය. එළඹ ඒ මහණහට ගාථායෙන් කී ය:
ගං තෙර ද, විඩා සංහිඳුවන තැන ද, සභායෙහි ද, වීථියෙහි ද, ජනයෝ මුළු දී මා ගැණ ද, නුඹ වහන්සේ ගැණ ද කථා කෙරෙත්. කුමන හේතු ද?