වේදයෙහි පරතෙරට ගිය ආර්‍ය්‍යයෝ යම් තැනෙක ස්නානය කළාහු නොතෙත් සිරුර ඇතිව ම නිවන් නමැති පරතෙරට ඒකාන්තයෙන් යෙද් ද, බමුණ, ධර්‍මය තෙමේ සිල් නමැති තොට ඇති වෙසෙසින් පහන් වූ උතුම් සත්පුරුෂයන් විසින් පසස්නා ලද (එබඳු) ජලාසයෙකි.
මෙසේ වදාළ කල්හි සඞ්ගාරව බමුණු තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළේ ය: භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනවි. … භවත් ගෞතමයන් වහන්සේ අද පටන් දිවිහිමියෙන් සරණ ගිය මා උපාසකයකු කොට දරණ සේක්වා.
7. 2. 12.
ඛොමදුස්ස සූත්‍රය
208. මා විසින් මෙසේ අසන ලදී: එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය ජනපදයෙහි ශාක්‍යයන්ගේ ඛොමදුස්ස නම් නියම්ගම්හි වැඩවසන සේක, එකල්හි භාග්‍යවතුන් වහන්සේ පෙරවරු හැඳ පෙරව පාසිවුරු ගෙණ ඛොමදුස්ස නියම්ගමට පිඬු පිණිස පිවිසි සේක.
එකල, ඛොමදුස්ස නියම්ගම්වැසි බමුණුගැහැවියෝ කිසියම් කටයුත්තක් සඳහා සභායෙහි රැස්වූවාහු වෙති. වැස්ස ද එකිඑකි පොද හෙළයි.
එවිට භාග්‍යවතුන් වහන්සේ ඒ සභාව වෙත එළඹි සේක. ඛොමදුස්සක බමුණුගැහැවියෝ වඩින්නා වූ භාග්‍යවතුන් වහන්සේ දුර දී ම දුටුහ. දැක නින්‍දිත මුඩුමහණහු කවරහු ද, කවර කෙනෙක් සභාධර්‍මය දන්නාහු දැ යි මෙය කීහ.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඛොමදුස්සක බමුණුගැහැවියන්ට ගාථායෙන් වදාළ සේක:
යම් තැනෙක සත්පුරුෂයෝ නැද් ද, තෙල සභායෙක් නොවේ. යම් කෙනෙක් ධර්‍මය නො කියද් ද, ඔහු සත්පුරුෂ නොවෙති. රාගය ද, ද්වේෂය ද, මෝහය ද දුරු කොට ධර්‍මය දේශනා කරන්නෝ ම සත්පුරුෂ වෙති.
මෙසේ වදාළ කල්හි ඛොමදුස්සක බමුණුගැහැවියෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේ ය. භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනවි. භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනවි. භවත් ගෞතමයන් වහන්ස, යම්සේ යටිහුරු වූවක් උඩුහුරු කරන්නේ හෝ වේ ද, වැසුනු දෙයක් විවර කරන්නේ හෝ වේ ද, මංමුළා වූවකුට මඟ කියා දෙන්නේ හෝ වේ ද, ඇස් ඇත්තෝ රූප දක්නාහයි අඳුරෙහි තෙල්පහනක් දරන්නේ හෝ වේ ද, එපරිද්දෙන් ම භවත් ගෞතමයන් වහන්සේ විසින් නොයෙක් නියරින් ධර්‍මය ප්‍රකාශ කරණ ලද්දේ ය. මේ අපි භවත් ගොයුම්හු ද, දහම ද, බික්සඟන ද සරණ යමු. භවත් ගෞතමයන් වහන්සේ අද පටන් දිවිහිමියෙන් සරණ ගිය අප උපාසකයන් කොට දරණ සේක්වා යි.
උපාසක වර්‍ගය දෙවෙනි යි.
එහි උද්දානය:
කසී, උදය, දේවහිත, අඤ්ඤතරමහාසාළ, මානත්‍ථද්ධ, පච්චනීක, නවකම්ම, කට්ඨහාරක, මාතුපෝසක, භික්ඛක, සඞ්ගාරව, ඛොමදුස්ස සූත්‍රය යි සූත්‍ර දොළොසෙකි.
බ්‍රාහ්මණ සංයුත්තය නිමියේ ය.
8. වඞ්ගීස සංයුත්තය
1. වඞ්ගීස වර්‍ගය
8. 1. 1.
නික්ඛන්ත සූත්‍රය
209. මා විසින් මෙසේ අසන ලදී: එක්කලෙක ආයුෂ්මත් වඞ්ගීස තෙමේ අළව්නුවර අග්ගාළවචේතිය විහාරයෙහි උපාධ්‍යාය වූ ආයුෂ්මත් නිග්‍රෝධකප්ප තෙරුන් සමග වැඩ වෙසෙයි. එකල්හි ආයුෂ්මත් වඞ්ගීස තෙමේ අලුත පැවිදි වූ වෙහෙර නවතින වෙහෙර රක්නා නවකයෙක් වෙයි.
ඉක්බිති බොහෝ ස්ත්‍රීහු සැරසී වෙහෙර දක්නා කැමැත්තාහු අග්ගාලවකආරාමය කරා පැමිණියහ. එකල්හි ආයුෂ්මත් වඞ්ගීසහට ඒ ස්ත්‍රීන් දැක අනභිරතිය උපදයි. රාගය (කුසල්) සිත වනසයි.
ඉක්බිති ආයුෂ්මත් වඞ්ගීසහට “යම්බඳු මට අනභිරතිය උපන්නී ද, රාගය සිත වනසා ද, ඒකාන්තයෙන් (එය) මට අලාභයෙක. ඒකාන්තයෙන් එය මට ලාභයෙක් නො වේ. මට ඒකාන්තයෙන් දුර්භාග්‍යයෙකි. ඒකාන්තයෙන් මට යහපත් භාග්‍යයෙක් නොවේ. යම් හෙයකින් මෙරමා මාගේ අනභිරතිය දුරු කොට අභිරතිය උපදවන්නේ නම් එය මෙහි කොයින් ලැබිය හැකි ද, මම තෙමේ ම තමාගේ අනභිරතිය දුරු කොට අභිරතිය උපදවන්නෙම් නම් මැනැවැ”යි මේ සිත විය.
ඉක්බිති ආයුෂ්මත් වඞ්ගීස තෙමේ ම තමාගේ අනභිරතිය දුරු කොට අභිරතිය උපදවා ඒ වේලාවෙහි මේ ගාථා කීය.
ගිහිගෙයින් නික්මුනාවූ ම සස්නට පැමිණියා වූ මා කරා බුහුටි වූ මේ විතර්‍කයෝ මාරයා කෙරෙන් ඒකාන්තයෙන් දිව එත්.
උග්‍රපුත්‍ර (රාජන්‍ය) වූ මහත්දුනු ඇති (ධනුශ්ශිල්පයෙහි) මොනවාට හික්මුනු දැඩි ඇදුරු දුනු දරන්නාවූ පලා නොයන ඔවුන් දහස්හුදු හාත්පස ඊතල විසුරුවනාහු ද (දක්‍ෂ පුරුෂයාට ඒ සියල්ල වැළකිය හැකිය.)
ඉදිනුදු මේ පමණ (දහස) ටත් වඩා ස්ත්‍රීහු එන්නාහු ද, ස්වකීය (ශාසන) ධර්‍මයෙහි පිහිටි මා නො පෙළන්නාහු ය{*}.
සූර්‍ය්‍යබන්‍ධු වූ බුදුරජානන් වහන්සේ සම්මුඛයෙන් ම මේ නිවන් යන මග මා විසින් අසන ලද්දේ ය. එහි මාගේ සිත ඇලුනේ ය.
පවිට, ඉදින් මෙසේ වසන්නා වූ මා කරා පමිණෙහි ද, මරුව (තෝ යම්සේ) මා ගිය මගක් නො දක්නෙහි ද, එසේ කරන්නෙමි.
8. 1. 2.
අරති සූත්‍රය
210. එක්කලෙක ආයුෂ්මත් වඞ්ගීස තෙමේ අළව්නුවර අග්ගාළවචේතිය විහාරයෙහි උපාධ්‍යාය වූ ආයුෂ්මත් නිග්‍රෝධකප්ප තෙරුන් සමග වෙසෙයි. එකල්හි ආයුෂ්මත් නිග්‍රෝධකප්ප තෙරණුවෝ පසුබත පිණ්ඩපාතයෙන් වැළකුනාහු වෙහෙරට පිවිසෙති. සවස හෝ පසුදින පිඬු සිඟන වේලෙහි හෝ නික්මෙති. එකල්හි ආයුෂ්මත් වඞ්ගීසහට අනභිරතියෙක් උපන්නේ වෙයි. රාගය සිත වනසයි.
ඉක්බිති ආයුෂ්මත් වඞ්ගීසහට “යම්බඳු මට අනභිරතියෙක් උපන්නේ ද, රාගය සිත වනසා ද, ඒ මට ඒකාන්තයෙන් අලාභයෙකි. ඒකාන්තයෙන් මට ලාභයෙක් නො වේ. ඒකාන්තයෙන් මට නපුරු ලැබීමෙකි. ඒකාන්තයෙන් මට මනා ලැබීමෙක් නොවේ. යම් හෙයකින් මෙරමා අනභිරතිය දුරු කොට අභිරතිය උපද වන්නේ නම් එය මෙහිලා කොයින් ලැබිය හැකි ද, මම තමාගේ අනභිරතිය තෙමේ ම දුරු කොට අභිරතිය උපදවන්නෙම් නම් මැනැවැ”යි මේ අදහස විය. ඉක්බිති ආයුෂ්මත් වඞ්ගීස තෙමේ ම තමා ගේ අනභිරතිය දුරු කොට අභිරතිය උපදවා ඒ වෙලාවෙහි මේ ගාථා කී ය.
යමෙක් (සස්නෙහි) නො ඇල්ම ද (පස්කම් ගුණයෙහි) ඇල්ම ද ගෙහනිඃශ්‍රිත වූ පාපවිතර්‍ක ද සර්‍වප්‍රකාරයෙන් දුරු කොට කිසි අරමුණෙක්හි කෙලෙස් නමැති මහවනය නො කරන්නේ ද, කෙලෙස්වන නැති තෘෂ්ණාරති නැති හෙ තෙමේ භික්‍ෂු නම් වේ.
මේ ලෝකයෙහි පොළොව ඇසුරු කළා වූ ද, අහස ඇසුරු කළා වූ ද, ලෝකයෙහි ඇතුළත් වූ යම්කිසි රූපයෙක් වේ ද, ඒ සියල්ල සහමුලින් දිරයි. අනිත්‍ය යි. මෙසේ දැන දන්නා ලද අත්බැව් ඇත්තෝ වෙසෙත්.
ජනයෝ උපධීන්හි ද ඇසින් දුටු රූපයෙහි හා කණින් අසූ ශබ්දයෙහි ද ප්‍රතිඝසඞ්ඛ්‍යාත ගන්‍ධ රස දෙක්හි ද ඵොට්ඨබ්බාරම්මණයෙහි ද ගිජු වූවාහු වෙත්. යමෙක් මේ පඤ්චකාමයෙහි ආශාව දුරු කොට අශා නැත්තේ මෙහි නො ඇලේ ද, ඔහු මුනි යයි කියත්.
වැලි සාරමුණු ඇසුරු කළ බොහෝ වූ අධර්‍මවිතර්‍කයෝ ප්‍රජාව කෙරෙහි වැදගත්තාහු වෙත්. කිසිතැනෙක ක්ලේශවර්‍ගයට පැමිණියෙක් නො වන්නේ ද, දුළුල් තෙපුල් බණන්නෙක් නොවන්නේ ද, හෙ තෙමේ භික්‍ෂු නම් වේ.
පණ්ඩිත වූ දිගුකලක් මුළුල්ලෙහි සමාහිත සිත් ඇති කුහක නො වූ පරිණතප්‍රඥාවත් වූ තෘෂ්ණා රහිත වූ භික්‍ෂු තෙමේ නිවණට පැමිණියේ ය. නිවන් නිසා කෙලෙස් පිරිනිවනින් පිරිනිවියේ සකන්‍ධපරිනිර්‍වාණ කාලය අපේක්‍ෂා කෙරෙයි.
8. 1. 3.
පෙසල අතිමඤ්ඤනා සූත්‍රය
211. එක්කලෙක ආයුෂ්මත් වඞ්ගීස තෙමේ අළව්නුවර අග්ගාළවචේතිය විහාරයෙහි උපාධ්‍යාය වූ ආයුෂ්මත් නිග්‍රෝධකප්ප තෙරුන් සමග වැඩ වෙසෙයි. එකල්හි ආයුෂ්මත් වඞ්ගීස තෙමේ තමාගේ ප්‍රතිභානයෙන් අනෙක් ප්‍රියශීල භික්‍ෂූන් හෙළා දකියි.
ඉක්බිති ආයුෂ්මත් වඞ්ගීස හට “යම්බඳු මම තමාගේ ප්‍රතිභානයෙන් අනෙක් ප්‍රියශීල භික්‍ෂූන් අවමන් කෙරෙම් ද, ඒ මට ඒකාන්තයෙන් අලාභයෙකි. ඒ මට ඒකාන්තයෙන් ලාභයෙක් නො වේ. ඒකාන්තයෙන් මා විසින් නපුරක් ලබන ලද්දේ ය. මා විසින් ඒකාන්තයෙන් යහපතෙක් නො ලබන ලද්දේ ය”යි මේ අදහස වි ය. ඉක්බිති ආයුෂ්මත් වඞ්ගීස තෙමේ තෙමේ ම තමාට විපිළිසර උපදවා ඒ වේලාවෙහි මේ ගාථා කී ය.
ගෞතමය, මානය දුරු කොට, මානාරම්මණය ද බැහැර කරව. මානාරම්මණයෙහි නිරවශේෂයෙන් මුසපත් වූයේ බොහෝ කලක් විපිළිසර ඇත්තෙක් විය.
ගුණමකුබැවින් වකුනා වූ සත්‍වයෝ මානයෙන් නැසුනාහු නිරයට වැටෙත්. මානයෙන් විනෂ්ට ව නිරයට පැමිණි ඒ සත්‍වයෝ බොහෝ කලක් ශෝක කෙරෙත්.
(මාර්‍ගයෙන් දිනූ කෙලෙස් ඇති බැවින්) මග්ගජින නම් වූ මොනවාට පිළිපන් මහණ තෙමේ කිසි කලෙකත් ශෝක නො ම කෙරෙයි. කීර්තිය ද සුවය ද අනුභව කෙරෙයි. ස්ථිරසිත් ඇති උන්වහන්සේ ධම්මදසයයි කියත්.
එහෙයින් මේ ශාසනයෙහි චේතෝඛිල නැති ප්‍රධන්වීර්‍ය්‍යය ඇති (භික්‍ෂු තෙමේ) නීවරණයන් දුරු කොට පිරිසිදු වූයේ වෙයි. සියලු මානය පහ කොට (අර්‍හන්මාර්‍ග) විද්‍යාවෙන් (කෙලෙස්) කෙළවර කරන්නෙක් වෙයි. සන්හුන්නෙක් ද වෙයි.
8. 1. 4.
ආනන්‍ද සූත්‍රය
212. එක්කලෙක ආයුෂ්මත් ආනන්‍දතෙරණුවෝ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬුසිටුහුගේ අරම්හි වැඩ වෙසෙති. ඉක්බිති ආයුෂ්මත් ආනන්‍දතෙරණුවෝ පෙරවරු හැඳ පෙරව පාසිවුරු ගෙණ ආයුෂ්මත් වඞ්ගීස නම් පසු මහණහු සමග සැවැත්නුවරට පිඬු පිණිස පිවිසියහ.
එකල්හි ආයුෂ්මත් වඞ්ගීසහට අනභිරතියෙක් උපන්නේ වේ: රාගය සිත වනසයි. ඉක්බිති ආයුෂ්මත් වඞ්ගීස තෙමේ ආයුෂ්මත් අනඳ තෙරණුවන්ට ගාථායෙන් කී ය:
කාමරාගයෙන් දැවෙමි. මාගේ සිත හාත්පසින් දැවේ. ගෞතමයන් වහන්ස, අනුකම්පා පිණිස (ඒ රාගගින්න) නිවිමේ උපායක් වදාළ මැනව.
[අනඳතෙරහු:]
සංඥා විපර්‍ය්‍යාස හේතුවෙන් තොපගේ සිත දැවෙයි. රාගෝත්පත්තියට හේතු වූ සුභාරම්මණය දුරු කරව.
සංස්කාරයන් අනිත්‍යවශයෙන් ද දුක්වශයෙන් ද දකුව, ආත්මවශයෙන් නො දකුව. මහාරාගය නිවව. (එවිට) නැවත නැවත නහමක් දැවෙහි.
අසුභභාවනාවෙහි එකඟ කොට සමාධි ගත කොට සිත වඩව, තට කාගියා සිහිය ඇති වේවා, නිර්වේදය බහුල කොට ඇත්තෙක් වෙව.
විදර්‍ශනාව ද වඩව, මානානුසය උපුටා හරුව. ඒ මානය දුරු කිරීම් හේතුවෙන් උපසාන්තයෙක් ව හැසිරෙන්නෙහි ය.
8. 1. 5.
සුභාසිත සූත්‍රය
213. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වසන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ මහණෙනි යි භික්‍ෂූන් ඇමතූ සේක. ඒ භික්‍ෂූහු පින්වතුන් වහන්සැයි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ.
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. මහණෙනි, සිවුඅඟෙකින් සමන්‍විත වදන සුභාෂිත වෙයි. දුර්‍භාෂිත නො වෙයි. නිරවද්‍ය ද වෙයි. නුවණැත්තන් විසින් උපවාද නො කරණ ලද්දේ ද වෙයි. කවර සිවුඅගෙකින? යත්: මහණෙනි, මෙහි මහණ තෙමේ සුබැසි තෙපුල් ම බෙණේ ද, දුබැසි තෙපුල් නො බෙණේ ද, දැහැමි තෙපුල් ම බෙණේ ද, නො දැහැමි තෙපුල් නො බෙණේ ද, ප්‍රිය තෙපුල් ම බෙණේ ද, අප්‍රිය තෙපුල් නො බෙණේ ද, සැබෑ තෙපුල් ම බෙණේ ද, නො සැබෑ තෙපුල් ම නො බෙණේ ද, මහණෙනි, මේ සිවු අඟින් යුත් වදන සුභාෂිත වෙයි. දුර්‍භාෂිත නොවෙයි. නිරවද්‍ය ද වෙයි. නුවණැත්තන් විසින් උපවාද නො කරණ ලද්දේ ද වෙයි.
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සුගත වූ ශාස්තෲන් වහන්සේ මෙය වදාරා නැවත අන්ලෙසකින් ද මෙය වදාළ සේක:
බුද්ධාදි සත්පුරුෂයෝ උතුම් වූ සුබැසි තෙපුල් ම කියත්. දැහැමි තෙපුල් ම බණන්නේ ය. නො දැහැමි තෙපුල් නො බණන්නේ ය. ඒ දෙවැන්න ය. ප්‍රිය තෙපුල් ම බණන්නේ ය. අප්‍රිය තෙපුල් නො බණන්නේ ය. එය තෙවැන්න ය. සැබෑ තෙපුල් ම බණන්නේ ය. නො සැබෑ තෙපුල් නො බණන්නේ ය. එය සිවුවැන්න ය.
ඉක්බිති ආයුෂ්මත් වඞ්ගීස තෙමේ හුනස්නෙන් නැගිට උතුරුසඟ සිවුර එකස් කොට භාග්‍යවතුන් වහන්සේ වෙත ඇඳිලි බැඳ භාග්‍යවතුන් වහන්සේ, මට වැටහේ. සුගතයන් වහන්සේ, මට වැටහෙයි. මෙය භාග්‍යවතුන් වහන්සේට සැළ කෙළේ ය.
වඞ්ගීස, තට වැටහේවා යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එකල්හි ආයුෂ්මත් වඞ්ගීස තෙමේ සුදුසු ගාථායෙන් ඉදිරියෙහි භාග්‍යවතුන් වහන්සේට ප්‍රශංසා කළේ ය:
යම් වදනක් කරණ කොට ගෙණ තාමත් නො තවන්නේ ද, මෙරමාත් නො වෙහෙසන්නේ ද, ඒ වදන ඒකාන්තයෙන් සුභාෂිත නම් වේ. ඒ වාදන ම බෙණෙන්නේ ය.
යම් වදනක් ප්‍රිය කරණ ලද ද, යම් වදනක් බණන්නේ අනුන්ට අප්‍රිය පරොස් බස් නො ගෙණ. ප්‍රියවදන් ම බෙණේ ද, (එබඳු) ප්‍රියවදන් ම බෙණෙන්නේ ය.
සැබෑ වදන ඒකාන්තයෙන් අමා වදන ය. මේ දහම පැරණි ය. සජ්ජනයෝ සත්‍යයෙහි ද අර්‍ත්‍ථයෙහි ද ධර්‍මයෙහි ද පිහිටියෝ යයි කියත්.
බුදුරජානන් වහන්සේ නිවණට පැමිණීම පිණිස ද දුක් කෙළවර කිරීම පිණිස ද නිර්‍භය වූ යම් වදනක් වදාරණ සේක් ද, ඒ වදන වදන් අතුරෙන් ඒකාන්තයෙන් උතුමි.
8. 1. 6.
සාරිපුත්ත සූත්‍රය
214. එක්කලෙක ආයුෂ්මත් ශාරීපුත්‍ර තෙරණුවෝ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වෙසෙති. එකල්හි ආයුෂ්මත් ශාරිපුත්‍ර තෙරණුවෝ පරිපූර්‍ණ වූ පළිබෝධ රහිත වූ නිදොස් වූ නොගිලිහුනු පදව්‍යඤ්ජන ඇති අර්‍ත්‍ථය හැඟවීමට සමර්‍ත්‍ථ වූ දැහැමි කථායෙන් භික්‍ෂූන්ට කරුණු දක්වාත්, (ඔවුන්) සමාදන් කරවත්, තෙද ගන්වත්, සතුටු කෙරෙත්, ඒ භික්‍ෂූහු ද අර්‍ත්‍ථවත් කොට මෙනෙහි කොට මුළුසිතින් ඇතුළත් කොට යොමු කළ කන් ඇත්තෝ දහම් අසත්.
ඉක්බිති ආයුෂ්මත් වඞ්ගීසහට “මේ ආයුෂ්මත් ශාරීපුත්‍ර තෙරණුවෝ පරිපූර්‍ණ වූ වචන ඇති පළිබෝධ රහිත වූ නිදොස් වූ නොගිලිහුනු පදඛ්‍යඤ්ජන ඇති අරුත හැඟවීමට සමත් වූ දැහැමි කථායෙන් භික්‍ෂූන්ට කරුණු දක්වත්, සමාදන් කරවත්, තෙද ගන්වත්, සතුටු කරවත්,, ඒ භික්‍ෂූහු ද අර්‍ත්‍ථවත් කොට මෙනෙහි කොට මුළුසිතින් සමනා කොට ගෙණ යොමු කළ කන් ඇති ව දහම් අසත්. මම ආයුෂ්මත් ශාරීපුත්‍ර තෙරුන්ට සුදුසු ගාථායෙන් ඉදිරියෙහි ප්‍රශංසා කරන්නෙම් නම් ඉතා මැනවැ”යි මේ අදහස වි ය.
ඉක්බිති ආයුෂ්මත් වඞ්ගීස තෙමේ හුනස්නෙන් නැගිට උත්තරාසඞ්ගය එකස් කොට ආයුෂ්මත් ශාරීපුත්‍ර තෙරුන් වෙන ඇඳිලි බැඳ ආයුෂ්මත් ශාරීපුත්‍ර තෙරණුවන්ට මෙය කී ය. ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, මට වැටහෙයි. ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, මට වැටහෙයි. “ඇවැත්නි, වඞ්ගීසයෙනි, තොපට වැටහේවා!”යි. එකල්හි ආයුෂ්මත් වඞ්ගීස තෙමේ සුදුසු ගාථායෙන් ඉදිරියෙහි ආයුෂ්මත් ශාරීපුත්‍ර තෙරුනට ප්‍රශංසා කෙළේ ය.
ගැඹුරු පැණැති නුවණැත්තා වූ මග නොමග දැනීමෙහි දක්‍ෂ මහත් ප්‍රඥා ඇති ශාරීපුත්‍රස්ථවිරයන් වහන්සේ භික්‍ෂූන්ට දහම් දෙසත්.
සැකෙවින් ද දේශනා කෙරෙත්, විතරවිසින් ද දේශනා කෙරෙත්. (උන්වහන්සේගේ) මධුර ස්වරය සැළලිහිණියකගේ මෙනි. වැටහීම (මුහුදුරල මෙන්) පැන නගී.
ඇලුම් කටයුතු වූ ඇසියයුතු වූ සිත්කලු ස්වරයෙන් දහම් දෙසන උන්වහන්සේගේ ඒ මිහිරි තෙපුල් භික්‍ෂුහු අසත්. ඔදවැඩි සිත් ඇත්තාහු ප්‍රමුදිත සිත් ඇත්තාහු කන් යොමු කෙරෙත්.
8. 1. 7.
පවාරණ සූත්‍රය
215. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි පූර්‍වාරාම නම් මිගාරමාතුපහයෙහි හැම රහත් වූ පන්සියක් පමණ වූ මහත් බික්සඟන වැඩවසන සේක. එකසමයෙහි භාග්‍යවතුන් වහන්සේ පුණුරැසි පොහොය වූ එදින (වස් විශුද්ධි) පවුරුණු පිණිස බික්සඟන විසින් පිරිවරණ ලද්දාහු අබවස වැඩහුන් සේක් වෙති.
එකල්හි භාග්‍යවතුන් වහන්සේ හාත්පසින් නිහඬ වූ බික්සඟන බලා භික්‍ෂූන් ඇමතූ සේක. මහණෙනි, මම දැන් තොප පවරමි. මාගේ කායික වූ හෝ වාචසික වූ කිසිවකට තෙපි නො ගරහවු ද?
මෙසේ වදාළ කල්හි දහම්සෙනෙවි ආයුෂ්මත් ශාරීපුත්‍ර තෙමේ හුනස්නෙන් නැගිට උත්තරාසඞ්ගය එකස් කොට භාග්‍යවතුන් වහන්සේ වෙත ඇඳිලි බැඳ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේ ය. වහන්ස, අපි (පිරිසිදුම වූ අචාර ආජීව ඇති) භාග්‍යවතුන් වහන්සේගේ කායික වූ හෝ වාචසික වූ හෝ කිසිවකට නො ම ගරහමු. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ වනාහි (කසුප් සම්බුදුහුගෙන් පසු) නූපන් මග උපදවන සේක. නො හටගත් මග දනවන සේක. නො දෙසූ මග දෙසන සේක. මාර්‍ගය දන්නා සේක. මාර්‍ගය දත් සේක. මාර්‍ගයෙහි දක්‍ෂ සේක. වහන්ස, මාර්‍ගය අනුව ගිය ශ්‍රාවකයෝ (බුදුරජානන් වහන්සේට) පසුව (මාර්‍ගඥානයෙන්) සමන්‍විත වූවෝ දන් වෙසෙත්. වහන්ස, මම ද භාග්‍යවතුන් වහන්සේ පවරමි. භාග්‍යවතුන් වහන්සේ මාගේ කායික වූ හෝ වාචසික වූ කිසි වරදකට ගරහන සේක් ද?
සාරිපුත්ත, තොපගේ කායික වූ හෝ වාචසික වූ හෝ කිසිවකට මම නො ම ගරහමි. සාරිපුත්ත, තෙපි පණ්ඩිතයහු. සාරිපුත්ත තෙපි මහාපඤ්ඤයහු. සාරිපුත්ත, තෙපි ප්‍රථුපඤ්ඤයහු. සාරිපුත්ත තෙපි හාසපඤ්ඤයහු. සාරිපුත්ත තෙපි ජවනපඤ්ඤයහු. සාරිපුත්ත, තෙපි තික්ඛපඤ්ඤයහු. සාරිපුත්ත තෙපි නිබ්බේධිකපඤ්ඤයහු. සාරිපුත්ත, යම්සේ සක්විතිරජුගේ දෙටුපුත් තෙමේ පියා විසින් පවත්වන ලද අණසක මැනවින් අනුව පවත් වා ද, සාරිපුත්ත, එසෙයින් ම මවිසින් පවත්වන ලද අනුත්තර වූ දහම්සක තෙපි මැනවින් ම පවත්වහු ය.
වහන්ස, ඉදින් භාග්‍යවතුන් වහන්සේ මාගේ කායික වූ හෝ වාචසික වූ හෝ කිසිවකට නො ගරහන සේක් නම් වහන්ස, මේ පන්සියක් භික්‍ෂූන්ගේත් කායික වූ හෝ වාචසික වූ හෝ කිසිවකට භාග්‍යවතුන් වහන්සේ ගරහන සේක් ද?
සාරිපුත්ත, මේ පන්සියක් භික්‍ෂූන්ගේත් කායික වූ හෝ වාචසික වූ හෝ කිසිවකට මම නො ගරහමි. සාරිපුත්ත, මේ භික්‍ෂූන් පන්සියය අතුරෙන් භික්‍ෂූහු සැටනමක් ත්‍රිවිද්‍යා ඇත්තෝ ය. භික්‍ෂූහු සැටනමක් ෂඩභිඥා ඇත්තෝ ය. භික්‍ෂූහු සැටනමක් උභතෝභාග (අරූපාවචර සමාපත්තියෙන් රූපකයින් හා අග්‍රමාර්‍ගයෙන් නාමකයින් හා) විමුක්ත ය හ. වැලි සෙස්සෝ ප්‍රඥාවිමුක්ත ය හ. (තේවිජ්ජාදීභාවයට නො පැමිණ රහත්හ.)
ඉක්බිති ආයුෂ්මත් වඞ්ගීස තෙමේ හුනස්නෙන් නැගිට උත්තරාසඞ්ගය එකස් කොට භාග්‍යවතුන් වහන්සේ වෙත ඇඳිලි බැඳ භාග්‍යවතුන් වහන්සේට “භාග්‍යවතුන් වහන්ස, මට වැටහේ. සුගතයන් වහන්ස, මට වැටහේ ය”යි මෙය සැළ කෙළේ ය. වඞ්ගීස, තට වැටහේවා යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. ඉක්බිති ආයුෂ්මත් වඞ්ගීස ස්ථවිර තෙමේ සුදුසු ගාථායෙන් ඉදිරියෙහි භාග්‍යවතුන් වහන්සේට ප්‍රශංසා කෙළේ ය:
සංයෝජන නම් වූ ද බන්‍ධන නම් වූ ද කෙලෙස් සිඳලූ දුක් රහිත වූ ක්‍ෂය කළ පුනර්‍භව ඇති ඍෂි වූ පන්සියක් භික්‍ෂූහු අද පුණුරැසි පොහෝ දිනෙහි විශුද්ධිපවාරණය පිණිස රැස් වූහ.
සක්විතිරජ තෙමේ ඇමැති සමූහයා විසින් පිරිවරණ ලදුව සතර සයුරු හිම් කොට ඇති මේ පොළොව හාත්පස යම්සේ පිළිවෙළින් පරිගමනය කෙරේ ද-
එසේ ත්‍රිවිද්‍යා ඇති මරු නැසුවා වු ශ්‍රාවකයෝ දිනූ සඞ්ග්‍රාම ඇති නිරුත්තර වූ සත්‍ථවාහ නම් බුදුරජානන් වහන්සේ පර්‍ය්‍යුපාසනය කෙරෙත්.
සියල්ලෝ ම භාග්‍යවතුන් වහන්සේගේ පුත්තු ය. මෙහි හිස් පිඟුලෙක් නැත. තෘෂ්ණාශල්‍යය නසන සූර්‍ය්‍යබන්‍ධු වූ සර්‍වඥයන් වහන්සේ වඳිමි.
8. 1. 8.
පරොසහස්ස සූත්‍රය
216. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි මහත් බික් සඟන අඩතෙළෙස් භික්‍ෂූන් දහස සමග වැඩවසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ නිවණ පිළිබඳ දැහැමිකථාවෙන් භික්‍ෂූන්ට කරුණු දක්වන සේක. (ඔවුන්) සමාදන් කරවන සේක. තෙද ගන්වන සේක. සතුටු කරණ සේක. ඒ භික්‍ෂූහු ද අර්‍ත්‍ථවත් කොට මෙනෙහි කොට මුළුසිතින් මනා කොට ගෙණ යොමු කළ කන් ඇති ව දහම් අසත්.
ඉක්බිති වඞ්ගීස තෙරුන්ට “මේ භාග්‍යවතුන් වහන්සේ නිවන් පිළිබඳ දැහැමි කථායෙන් භික්‍ෂූන්ට කරුණු දක්වන සේක. (ඔවුන්) සමාදන් කරවන සේක. තෙද ගන්වන සේක. සතුටු කරණ සේක. ඒ භික්‍ෂූහු ද අර්‍ත්‍ථවත් කොට මෙනෙහි කොට මුළුසිතින් සමනාකොටගෙණ යොමු කළ කන් ඇති ව දහම් අසත්. මම සුදුසු ගාථායෙන් භාග්‍යවතුන් වහන්සේට හමුවෙහි ප්‍රශංසා කරන්නෙම් නම් මැනැවැ”යි මේ අදහස වි ය. ඉක්බිති ආයුෂ්මත් වඞ්ගීස ස්ථවිර තෙමේ හුනස්නෙන් නැගිට උත්තරාසඞ්ගය එකස් කොට භාග්‍යවතුන් වහන්සේ වෙත ඇඳිලි බැඳ භාග්‍යවතුන් වහන්සේට “භාග්‍යවතුන් වහන්ස, මට වැටහේ. සුගතයන් වහන්ස, මට වැටහේ”යි මෙය සැළ කෙළේ ය. වඞ්ගීස, තට වැටහේවා! යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. ඉක්බිති ආයුෂ්මත් වඞ්ගීස ස්ථවිර තෙමේ සුදුසු ගාථායෙන් හමුවෙහි භාග්‍යවතුන් වහන්සේට ප්‍රශංසා කෙළේ ය:
අ රාදහසක් පමණ භික්‍ෂූහු (කොයිනුත් බියක් නැති බැවින්) අකුතොභය වූ නිර්‍මල වූ නිර්‍වාණ ධර්‍මය දේශනා කරණ බුදුරජානන් වහන්සේ පයිරුපාසනය කෙරෙත්.
සම්මාසම්බුදුරජානන් වහන්සේ විසින් දෙසෙන නිර්‍මල වූ ධර්‍මය අසත්. බික්සඟන විසින් පෙරටු කරණ ලද සම්බුදුරජානන් වහන්සේ ඒකාන්තයෙන් හොබනා සේක.
භාග්‍යවතුන් වහන්සේ, (මුබවහන්සේ) නාග නම් වන සේක. (විපස්සී ආදි බුද්ධ) ඍෂින් අතුරෙන් සත් වැනි ඍෂි වන සේක. නොහොත් (ප්‍රතෙයකබුද්ධාදි) ඍෂින්ට අතිශ්‍රේෂ්ඨ ඍෂි වන සේක. මහාමේඝයක් මෙන් වී සව්වන් (සදහම් වැස්සෙන්) තෙමන සේක.
මහාවීරයන් වහන්ස, මුබවහන්සේගේ ශ්‍රාවක වූ වඞ්ගීස තෙමේ ශාස්තෲන් වහන්සේ දකිනු කැමැත්තෙන් දිවා විහරණයෙන් නික්ම අවුත් (මුබවහන්සේගේ) සිරිපා වඳියි.
කිමෙක් ද? වඞ්ගීස, මේ ගාථාවෝ තා විසින් පෙර සිතන ලද්දාහු ද? නැත හොත් තට (අවස්ථාවශයෙන්) එකෙණෙහි ම (වැටහෙද්ද?)
වහන්ස, මේ ගාථාවෝ මා විසින් පෙර සිතන ලද්දාහු නො ම වෙති. වැලි (අවස්ථාවශයෙන්) එකෙණෙහි ම (මට වැටහෙත්.)
වඞ්ගීස, එසේ වී නම් පෙර කල්පනා නොකරණ ලද ගාථාවෝ බෙහෙවින් ම තට වැටහෙත්වා.
ආයුෂ්මත් වඞ්ගීස ස්ථවිර තෙමේ වහන්ස, එසේ යයි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් අස්වා පෙර කල්පනා නොකරණ ලද ගාථායෙන් භාග්‍යවතුන් වහන්සේට බෙහෙවින් ප්‍රශංසා කෙළේ ය:
මාරයාගේ කෙලෙස් පීඩා නමැති උමං මැඩ (රාගාදි පඤ්ච) ඛීලයන් බිඳ හැසිරෙන සේක. කෙලෙස් බැඳුම් මුදා ලන රාගාදියෙන් අනිඃශ්‍රිත වූ ධර්‍මය කොටස් වශයෙන් බෙදන්නා වූ ඒ තථාගතයන් වහන්සේ දකිවු.