Saṁyutta Nikāya

Connected Discourses

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-30 · 15083 segments

පෙන්වන කොටස් 2201-2300 න් 15083

[භගවත්හු:]
යමෙක් පෙර විසූ කඳපිළිවෙළ දනී ද, ස්වර්‍ගය හා අපායත් දකී ද, වැලි ජාතික්‍ෂයසඞ්ඛ්‍යාත අර්‍හත්‍වයට පැමිණියේ ද, මාර්‍ගඥානයෙන් (චතුස්සතය්‍ය) දැන නිම වූ කිස ඇත්තේ ද, කායමෞනත්‍වාදි මෞනගුණ යුක්ත ද,
මොහුට දේයධර්‍මය දෙන්නේ ය. මොහුට දෙන ලද්ද මහත්ඵල වේ. මෙසේ දෙන්නහුගේ දක්‍ෂිණාව මෙසේ සමෘද්ධ වේ.
මෙසේ වදාළ කල්හි දේවහිත බමුණු තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේ ය. භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනවි. … භවත් ගෞතමයන් වහන්සේ අද පටන් දිවියෙන් ගත් සරණ ගිය මා උපාසකයකු කොට දරණ සේක්වා යි.
7. 2. 4.
මහාසාළ සූත්‍රය
200. සැවැත්නුවර–
ඉක්බිති ජරාවට පත් වූ දිරා ගිය වස්ත්‍ර ඇති එක්තරා බමුණුමහසළෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු විය. සතුටු විය යුතු සිහි කටයුතු කථාව කොට නිමවා එකත් පසෙක හිඳගත්තේ ය. එකත්පසෙක හුන් ඒ බමුණු මහසළුව භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක: බමුණ, කුමක්හෙයින් තෝ ජරාවට පත්වූයෙහි දිරා ගිය වස්ත්‍ර ඇත්තෙහි ද?
[බමුණු:]
භවත් ගෞතමයෙනි, මෙහි මාගේ පුත්තු සතර දෙනෙකි. ඔහු අඹුවන් හා සාකච්ඡා කොට මා ගෙයින් නෙරති යි.
[භගවත්හු:]
බමුණ, එසේ වී නම් තෝ මේ ගාථා ඉගෙණ සභාවක මහජනසමූහයා රැස්වූ කල්හි පුතුන් ද හිඳගත් කල්හි කියව:
(මට දාව) උපන්නා වූ යම් කෙනෙකුන් කරණ කොට ගෙණ සතුටු වූයෙම් ද, යම් කෙනකුන්ගේ අභිවෘද්ධිය පැතුයෙම් ද, ඔහු අඹුවන් හා සාකච්ඡා කොට ගෙණ බල්ලෝ හූරකු (වළකන්නාක්) මෙන් මා වළකති.
අසත්පුරුෂ වූ ලාමක වූ රකුසෝ පුත්‍රයන් මෙන් (පෙණී සිටිමින්) මට පියාණෙනි පියාණෙනි යි කියත්. ඔහු ඉක්ම ගිය වයස් ඇති මා දුරු කෙරෙත්.
පරිභෝගයට නුසුදුසු වූ ජරපත් අසකු මෙන් දිරා ගියා වූ පරිභෝග ධනය නැත්තා වූ බාලයන්ගේ පියා වූ මහල්ලා කෑමෙන් පහ කරණු ලැබේ. (එහෙයින් හෙ තෙමේ) පරගෙවල සිඟයි.
මාගේ යම් ඒ පුත්‍රයෝ නොකීකරු ද, (ඔවුන්ට වඩා) මට මේ සැරයටිය ම ශ්‍රේෂ්ඨ ය. (මේ සැරයටිය) සැඬගොණුකුදු වළකයි. වැලි සැඬබල්ලකුත් (වළකයි.)
අඳුරෙහි පෙරටු වෙයි. ගැඹුරෙහි (ගැඹුරුදියෙහි) පිහිට ලබයි. පැකිලී දණ්ඩෙහි අනුභාවයෙන් නැවත පිහිටා සිටියි. (එහෙයිනි.)
ඉක්බිති ඒ බමුණු මහසල් තෙමේ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථා ඉගෙණ සභාවෙහි මහාජනයා රැස් වූ කල්හි පුතුන් ද හිඳගත් කල්හි කී ය.
(මට දා ව) උපන්නාවූ යම් කෙනකුන් කරණ කොට ගෙණ සතුටු වූයෙම් ද, යම් කෙනෙකුන් ගේ අභිවෘද්ධිය පතූයෙම් ද, ඔහු ද අඹුවන් හා සාකච්ඡා කොට ගෙණ බල්ලෝ හූරකු (වළකන්නාක්) මෙන් මා වළකති.
අසත්පුරුෂ වූ ලාමක වූ රකුසෝ පුත්‍රයන් මෙන් (පෙණී සිටිමින්) මට පියාණෙනි, පියාණෙනි යි කියත්. ඔහු ඉක්ම ගිය වයස් ඇති මා දුර කෙරෙත්.
පරිභෝගයට නුසුදුසු වූ ජරපත් අසකු මෙන් දිරා ගියා වූ පරිභෝග ධනය නැත්තා වූ බාලයන්ගේ පියා වූ මහල්ලා කෑමෙන් පහ කරණු ලැබේ. (එහෙයින් හෙ තෙමේ) පරගෙහි සිඟයි.
මාගේ යම් ඒ පුත්‍රයෝ නොකීකරු ද, (ඔවුන්ට වඩා) මට මේ සැරයටිය ම ශ්‍රේෂ්ඨ ය, (මේ සැරයටිය) සැඬගොණුකුදු වළකයි. වැලි සැඬබල්ලකුත් (වළකයි.)
අඳුරෙහි පෙරටු වෙයි. ගැඹුරෙහි පිහිට ලබයි. පැකිලී දණ්ඩෙහි අනුභාවයෙන් නැවත පිහිටා සිටියි. (එහෙයිනි.)
ඉක්බිති පුත්‍රයෝ ඒ බමුණු මහසල්හු ගෙට පමුණුවා නාවා වෙන වෙන වස්ත්‍රයුග්මයෙන් පිදූහ.
එකල ඒ බමුණු මහසල් තෙමේ එක් වස්ත්‍රයුග්මයන් රැගෙන භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු වී ය. සතුටු වියයුතු සිහිකටයුතු කථාව කොට නිමවා එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් ඒ බමුණු මහසල් තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය කී ය:
භවත් ගෞතමයෙනි, අපි බමුණෝ වෙමු. ඇදුරහුට ඇදුරුධනය සොයම්හ. මාගේ ඇදුරු වූ භවත් ගෞතමයන් වහන්සේ ඇදුරුධනය පිළිගන්නා සේක්වා. භාග්‍යවතුන් වහන්සේ අනුකම්පාව නිසා පිළිගෙණ වදාළ සේක.
ඉක්බිති ඒ බමුණු මහසල් තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේ ය: භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනවි. … භවත් ගෞතමයන් වහන්ස, මා අද පටන් දිවි යෙන් ගත් සරණ ගිය උපාසකයකු කොට දරණ සේක්වා යි.
මානත්‍ථද්ධ සූත්‍රය
201. සැවැත්නුවර–
එකල්හි මානත්‍ථද්ධ නම් බමුණෙක් සැවැත්නුවර වෙසෙයි. හෙතෙමේ මව නො ම වඳී. පියා නො ම වඳී. ඇදුරහු නො ම වඳී. දෙටු බෑයා නො ම වඳී.
එකල්හි භාග්‍යවතුන් වහන්සේ මහත් පිරිස විසින් පිරිවරණ ලද්දාහු දහම් දෙසන සේක. ඉක්බිති මානත්‍ථද්ධ බමුණාට මේ මහණගොයුම් තෙමේ මහත් පිරිස විසින් පිරිවරණ ලදු ව දහම් දෙසයි. මම මහණගොයුම් වෙත එළඹෙන්නෙම් නම් මැනව. ඉදින් මහණගොයුම් තෙමේ මට කථා කරන්නේ නම් මමත් ඔහුට කථා කරන්නෙමි. ඉදින් මහණගොයුම් තෙමේ මට කථා නො කරන්නේ නම් මමත් කථා නො කරන්නෙමි.
ඉක්බිති මානත්‍ථද්ධ බමුණු තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ නිශ්ශබ්ද ව එකත්පසෙක සිටියේ ය. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ඔහුට කථා නොකළ සේක. ඉක්බිති මානත්‍ථද්ධ බමුණු තෙමේ මේ මහණගොයුම් තෙමේ කිසිත් නො දනීයයි එතැනින් ම නැවත පෙරළා එනු කැමැත්තේ වි ය.
එකල්හි භාග්‍යවතුන් වහන්සේ තම සිතින් මානත්‍ථද්ධ බමුණාගේ චිත්තපරිවිතර්‍කය දැන මානත්‍ථද්ධ බමුණාට ගාථායෙන් වදාළ සේක:
බමුණ, මෙහි ප්‍රයෝජනයක් අපේක්‍ෂා කරනහුට මානය වැඩීම නො මැනවි. යම් ප්‍රයෝජනයක් හේතු කොට ගෙණ පැමිණියේ නම් එය ම සිදුකර ගන්නේ ය.
ඉක්බිති මානත්‍ථද්ධ බමුණු තෙමේ මහණගොයුම් තෙමේ මාගේ සිත දනී යයි එහි ම භාග්‍යවතුන් වහන්සේගේ පාමුල හිසින් වැටී භාග්‍යවතුන් වහන්සේගේ පා මුවෙන් සිඹී. අතින් ද පිරිමදී. “භවත් ගෞතමයෙනි, මම මානත්‍ථද්ධ යෙමි. භවත් ගෞතමයෙනි, මම මානත්‍ථද්ධ යෙමි” යි නම ද අස්වයි.
ඉක්බිති ඒ පිරිස “පින්වත්නි, ආශ්චර්‍ය්‍යයෙකි. පින්වත්නි අද්භූතයෙකි. මේ මානත්‍ථද්ධ බමුණු තෙමේ මව නො ම වඳී. පියා නො ම වඳී. ඇදුරහු නො ම වඳී. දෙටුබෑයා නො ම වඳී. එහෙත් ශ්‍රමණ ගෞතමයන් වහන්සේ කෙරෙහි මෙබඳු ඉතා ම යටත් පැවතුම් ඇති බවක් කෙරේ ය යී අද්භූත සිත් ඇති වූවා ය.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මානත්‍ථද්ධ බමුණාට මෙය වදාළ සේක: බමුණ, පමණි. නැගිටුව. සිය අසුනෙහි හිඳ ගණුව. යම් හෙයකින් තාගේ සිත මා කෙරෙහි පහන් ද, (එහෙයිනි).
ඉක්බිති මානත්‍ථද්ධ බමුණු තෙමේ සිය අසුනෙහි හිඳ භාග්‍යවතුන් වහන්සේට ගාථාවකින් කී ය:
කවර කෙනෙකුන් කෙරෙහි මානය නො කරන්නේ කවරකෙනකුන් කෙරෙහි ගෞරව සහිත වන්නේ ද? ඔහු විසින් කවර කෙනෙක් අපචිති කටයුත්තෝ වන්නාහු ද? ඔහු විසින් කවර කෙනෙක් මැනවින් පිදියයුත්තෝ වන්නාහු ද?
[භගවත්හු:]
මව කෙරෙහි ද, පියා කෙරෙහි ද, වැලි දෙටුබෑයා කෙරෙහි ද, සිවුවැනි ව ඇදුරා කෙරෙහි දැ යි යන මොවුන් කෙරෙහි මානය නො කරන්නේ ය. මොවුන් කෙරෙහි ගෞරව සහිත වන්නේ ය. ඔහු විසින් මොහු අපචිති කටයුත්තෝ වන්නාහ. ඔහු විසින් මොහු මැනවින් පිදියයුත්තෝ වන්නාහ.
සිහිල් වූ කළකිස ඇති ආස්‍රව රහිත වූ නිරුත්තර වූ ඒ රහතුන් (මානයෙන්) තද නො වී මානය නසා වඳුව.
මෙසේ වදාළ කල්හි මානත්‍ථද්ධ බමුණු තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළේ ය. භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනවි. … භවත් ගෞතමයන් වහන්සේ මා අද පටන් දිවියෙන් ගත් සරණ ගිය උපාසකයකු කොට දරණ සේක්වා යි.
7. 2. 6.
පච්චනීක සූත්‍රය
202. මා විසින් මෙසේ අසන ලදී: එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වසන සේක.
එකල්හි පච්චනීකසාත නම් බමුණෙක් සැවැත්නුවර වෙසෙයි. ඉක්බිති පච්චනීකසාත බමුණාහට “මම මහණ ගොයුම් වෙත එළඹෙන්නෙම් නම් මැනවි. මහණ ගොයුම් යමක් යමක් ම කියන්නේ ද, මම ඔහුගේ ඒ ඒ වදනට ම විරුද්ධ වන්නෙමි”යි මේ අදහස විය.
එකල්හි භාග්‍යවතුන් වහන්සේ අබවස සක්මන් කරණ සේක. එවිට පච්චනීකසාත බ්‍රාහ්මණ තෙමේ භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේ ය. එළඹ සක්මන් කරණ භාග්‍යවතුන් වහන්සේ අනුව සක්මන් කරමින් භාග්‍යවතුන් වහන්සේට “ශ්‍රමණයෙනි දහම් දෙසනු මැනවැ”යි මෙය කීය.
[භගවත්හු:]
පච්චනීකසාත වූ කිලිටිසිත් ඇති කරණුත්තරියකරණය බහුල කොට ඇති පුද්ගලයා විසින් සුබැසි දහම මොනවට නො දතහැක්කේ ය.
යමෙක් සිතේ අප්‍රසාදය ද බද්ධවෛරය ද දුරු කොට සාරම්භය බැහැර කොට (සිටියේ ද ) හෙ තෙමේ ඒකාන්තයෙන් සුබැසි දහම දැන ගන්නේ ය.
මෙසේ වදාළ කල්හි පච්චනීකසාත බමුණු තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළේ ය. භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනවි. … භවත් ගෞතමයන් වහන්සේ මා අද පටන් දිවිහිමියෙන් සරණ ගිය උපාසකයකු කොට දරණ සේක්වා!
නවකම්මික සූත්‍රය
203. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ කොසොල් දනව්වෙහි එක්තරා වනලැහැබෙක වැඩවසන සේක.
එකල්හි නවකම්මිකභාරද්වාජ බමුණු තෙමේ ඒ වනලැහැබෙහි කර්‍මාන්ත කරවයි. නවකම්මිකභාරද්වාජ බමුණු තෙමේ එක්තරා සල්රුකක්මුල උඩුකය කෙළින් තබා (කමටහනට) අභිමුඛ කොට සිහි එළවා පලක් බැඳ වැඩහුන් භාග්‍යවතුන් වහන්සේ දැක්කේ ය. දැක ඔහුට “මම වනාහි කර්‍මාන්ත කරවමින් මේ වනලැහැබෙහි සිත් අලවමි. මේ මහණගොයුම් තෙමේ කුමක් කරවමින් සිත් අලවා දැ”යි මේ අදහස වි ය.
ඉක්බිති නවකම්මිකභාරද්වාජ බමුණු තෙමේ භාගවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් කී ය:
මහණ, ඔබවහන්සේ විසින් මේ සල්වෙනෙහි කිනම් කර්‍මාන්තයෝ කරණු ලැබෙද්ද? ගෞතමයෙනි, යම් හෙයකින් මේ වෙනෙහි හුදෙකලා ව ඇල්ම විඳිහි ද? (එහෙයින්) මෙසේ විචාරමි.
මට මේ වෙනෙහි කටයුත්තෙක් නැත. මාගේ කෙලෙස්වනය මුලුසුන් කරණ ලද්දේ ය. පහව ගිය (කෙලෙස්) කටු ඇත්තේ ය. ඒ මම නික්ලේශී ව පහ ව ගිය (රාගාදී) හුල ඇති ව (ප්‍රාන්තසෙනසුන්හි හා භාවනාවෙහි) නොඇල්ම වෙසෙසින් පහ කොට මේ වෙනෙහි එකලාව සිත් අලවා වෙසෙමි.
මෙසේ වදාළ කල්හි නවකම්මිකභාරද්වාජ බමුණු භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළේ ය: භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනවි. … භවත් ගෞතමයන් වහන්සේ අද පටන් දිවි හිමියෙන් සරණ ගිය මා උපාසකයකු කොට දරණ සේක්වා යි.
7. 2. 8.
කට්ඨහාර සූත්‍රය
204. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ කොසොල්දනව්වෙහි එක්තරා වනලැහැබෙක වැඩවසන සේක.
එකල්හි එක්තරා භාරද්වාජගෝත්‍ර බමුණකුගේ අතැවැසි වූ දර ගෙණෙන බොහෝ මාණවකයෝ ඒ වනලැහැබ වෙත එළඹියහ. එළඹ ඒ වනලැහැබෙහි පලක් බැඳ උඩුකය කෙළින් තබා අභිමුඛ කොට සිහි එළවා වැඩහුන් භාග්‍යවතුන් වහන්සේ දුටුහ. දැක භාරද්වාජගෝත්‍ර බමුණා වෙත එළඹියහ. එළඹ භාරද්වාජගෝත්‍ර බමුණාහට “භවත් තෙමේ දන්නේ ද? අසවල් වනලැහැබෙහි මහණෙක් පලක් බැඳ උඩුකය කෙළින් තබා සිහිය අභිමුඛ කොට එළවා හුන්නේ ය”යි මෙය කීහ.
ඉක්බිති භාරද්වාජගෝත්‍ර බමුණු ඒ මණෙවුන් සමග ඒ වනලැහැබ වෙත එළඹියේ ය. එළඹ ඒ වනලැහැබෙහි පලක් බැඳ උඩුකය කෙළින් තබා අභිමුඛ කොට සිහි එළවා වැඩහුන් භාග්‍යවතුන් වහන්සේ දැක්කේ ය. දැක භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් කීය;
ශ්‍රමණයෙනි, හිස් වූ, ජනයාගෙන් තොර වූ, අරණ්‍යයට පිවිස ගැඹුරු ස්වභාවය ඇති බොහෝ සෙයින් බිය එළවන මේ වෙනෙහි නොසැලෙන ස්ථිර වූ මනහර සිරුරෙන් යුක්ත ව ඒකාන්තයෙන් සොඳුරු ස්වභාවය ඇති ධ්‍යාන කෙරෙහි.
යම් තැනෙක ගී ගැයුම් නැද්ද, යම් තැනෙක වැයුමෙකුත් නැද්ද, (එබඳු වූ මේ) වෙනෙහි සර්‍වඥමුනි තෙමේ හුදෙකලා ව වනසෙනසුන් ඇසුරු කෙළේ ය. යම් හෙයෙකින් එකලා ව ම තුටුසිත් ඇති ව වෙනෙහි වෙසෙන්නේ ද, (එහෙයින්) මෙකරුණ පුදුමයක් සේ මට වැටහෙයි.
ලෝකාධිපති බ්‍රහ්මයා හා සහභාවය වූ නිරුත්තර බඹලොව පතමින් (වෙනෙහි වෙසෙයි යයි) මම හඟිමි. (නැතහොත්) භවත් කුමක් හෙයින් ජනයා කෙරෙන් තොර වූ වනය ඇසුරු කළේ ද? බ්‍රහ්මලෝකෝත්පත්තිය පිණිස මෙහි තපස් කෙරෙහි ද?
[භගවත්හු:]
යම්කිසි අභිනන්‍දනස්වරූප තෘෂ්ණායෙක් හෝ අනේකස්වාභාවාලම්බණයන්හි වූ නිරතුරු ඇසුරු කළ නානාප්‍රකාර සෙසු කෙලෙස් හෝ ඇද්ද, අවිද්‍යාව මූලප්‍රභාවය කොට ඇති අවිධ්‍යාමූල සහිත වූ ඒ සියලු තෘෂ්ණාවෝ මා විසින් නසන ලදහ.
බමුණ, ඒ මම තෘෂ්ණා රහිත වූයෙම් තෘෂ්ණාව ඇසුරු නො කෙළෙම් උපගමන රහිත වූයෙම් සියලු ධර්‍මයන්හි විශුද්ධිදර්‍ශන ඇත්තෙම් වෙමි. ඒ මම නිරුත්තර වූ ශ්‍රේෂ්ඨ වූ සම්බෝධියට පැමිණ විශාරද ව රහසිගතව ධ්‍යාන කෙරෙමි.
මෙසේ වදාළ කල්හි භාරද්වාජගෝත්‍ර බමුණු තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේ ය: භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනවි. … භවත් ගෞතමයන් වහන්සේ අද පටන් දිවිහිමියෙන් සරණ ගිය මා උපාසකයකු කොට දරණ සේක්වා යි.
7. 2. 9.
මාතුපෝසක සූත්‍රය
205. සැවැත්නුවර–
එකල්හි මාතුපෝසක බමුණු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු විය. සතුටුවියයුතු සිහිකටයුතු කථාව කොට නිමවා එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් මාතුපෝසක බමුණු භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේය. භවත් ගෞතමයෙනි, මම වනාහි දැහැමින් භික්‍ෂාව සොයමි. දැහැමින් භික්‍ෂාව සොයා මවුපියන් පුසිමි. භවත් ගෞතමයෙනි, කිම? මම මෙසේ කරන්නෙම් කිස කරන්නෙකිම් වෙම් ද?
[භගවත්හු:]
බමුණ, මෙසේ කරණ තෝ ඒකාන්තයෙන් කිස කරන්නෙහි. බමුණ, යමෙක් දැහැමින් භික්‍ෂාව සොයා ද, දැහැමින් භික්‍ෂාව සොයා මවුපියන් පුසී ද, හෙ තෙමේ බොහෝ පින් රැස් කෙරෙයි.
යම් මිනිසෙක් මවත් පියාත් දැහැමින් පුසී ද, මවුපියන් කෙරෙහි වූ ඒ මෙහෙ කිරීම හේතු කොට ගෙණ පණ්ඩිතයෝ මේ ලොව්හි ම පසසත්. පරලොව ස්වර්‍ගයෙහි සතුටු වෙයි.
මෙසේ වදාළ ලක්හි මාතුපෝසක බමුණු තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළේ ය: භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනවි. … භවත් ගෞතමයන් වහන්සේ අද පටන් දිවිහිමියෙන් සරණ ගිය මා උපාසකයකු කොට දරණ සේක්වා.
7. 2. 10.
භික්ඛක සූත්‍රය
206. සැවැත්නුවර–
එකල්හි භික්ඛක බමුණු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු විය. සතුටුවියයුතු සිහිකටයුතු කථාව කොට නිමවා එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් භික්ඛක බමුණු භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කෙළේය. භවත් ගෞතමයෙනි, මමත් භික්‍ෂකයෙක්මි. භවත් තෙමේත් භික්‍ෂකයෙකි. මෙහි ලා අප දෙදෙනාගේ කිනම් වෙනසෙක් ද?
[භාගවතුහු:]
මෙරමා සිඟා යන මෙතෙක් වේ ද, එපමණෙකින් භික්‍ෂකයෙක් නො වේ. දුර්‍ගන්‍ධය වූ අකුශලධර්‍මය සමාදන් ව (සිටියේ) ඒ තාක් භික්‍ෂු නම් නො වේ.
මේ සස්නෙහි යමෙක් පින ද පව ද බැහැර කොට වුසූ බඹසර ඇත්තේ නුවණින් දැන ලොව්හි හැසිරේ ද, හෙ තෙමේ ඒකාන්තයෙන් භික්‍ෂු යයි කියනු ලැබේ.
මෙසේ වදාළ කල්හි භික්‍ෂක බමුණු භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළේ ය: භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනවි. … භවත් ගෞතමයන් වහන්සේ අද පටන් දිවිහිම් කොට සරණ ගිය මා උපාසකයකු කොට දරණ සේක්වා.
7. 2. 11.
සඞ්ගාරව සූත්‍රය
207. සැවැත්නුවර–
එකල්හි සඞ්ගාරව නම් බමුණෙක් සැවැත්නුවර වෙසෙයි. ජලයෙන් ශුද්ධිය වේ යයි අදහන්නේ ජලයෙන් පිරිසිදු බව පතයි. උදය සවස දියට බැසීම් ව්‍රතයෙහි යෙදුනේ වෙසෙයි.
ඉක්බිති ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ පෙරවරු හැඳ පෙරව පාසිවුරු ගෙණ සැවැත්නුවරට පිඬු පිණිස පිවිසියහ. සැවැත්නුවර පිඬු පිණිස හැසිර පසුබත පිණ්ඩපාතයෙන් වැළකුනාහු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළහ: “වහන්ස, මෙහි සඞ්ගාරව නම් බමුණෙක් සැවැත්නුවර වෙසෙයි. ජලයෙන් ශුද්ධිය වේ යයි අදහන්නේ ජලයෙන් පිරිසිදු බව පත යි. උදය සවස දියට බැසීම් ව්‍රතයෙහි යෙදුනේ වෙසෙයි. වහන්ස, භාග්‍යවත්හු අනුකම්පා පිණිස සඞ්ගාරව නම් බමුණාගේ නිවෙස්න වෙත එළඹෙන සේක්වා. ඒ මැනවි”යි. භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්ද භාවයෙන් ඉවසා වදාළ සේක.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පෙරවරු හැඳ පෙරව පාසිවුරු ගෙණ සඞ්ගාරව බමුණාගේ නිවෙස්න වෙත එළඹි සේක. එළඹ පණවන ලද අස්නෙහි වැඩහුන් සේක.
එකල්හි සඞ්ගාරව බමුණු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු විය. සතුටු වියයුතු සිහි කටයුතු කථාව කොට නිමවා එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් සඞ්ගාරව බමුණාට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. බමුණ, සැබැව? තෝ ජලයෙන් ශුද්ධිය වේ යයි අදහන්නෙහි ජලයෙන් පිරිසිදු බව පතයි ද? උදය සවස දියට බැසීම් ව්‍රතයෙහි යෙදුනෙහි වෙසෙයි ද?
භවත් ගෞතමයෙනි, එසේ ය.
බමුණ, තෝ කිනම් ආනිසංසයක් දක්මින් ජලයෙන් පිරිසිදු වේ යයි අදහන්නෙහි ජලයෙන් පිරිසිදු බව පතයි ද? උදය සවස දියට බැසීම් ව්‍රතයෙහි යෙදුනෙහි වෙසෙයි ද?
භවත් ගෞතමයෙනි, මෙහි මා විසින් දහවල් යම් පව්කමෙක් කරණ ලද්දේ වේ ද, සවස නෑමෙන් එය පා කොට හරිමි. රෑ යම් පව්කමෙක් කරණ ලද්දේ වේ ද, උදය නෑමෙන් එය පා කොට හරිමි. භවත් ගෞතමයෙනි, මම මේ ආනිසංසය දක්නෙම් ජලයෙන් ශුද්ධිය වේ යයි අදහන්නෙම් ජලයෙන් පිරිසුදු බව පතමි. උදය සවස දියට බැසීම් ව්‍රතයෙහි යෙදුනෙම් වෙසෙමි යි.
[භගවත්හු:]