Saṁyutta Nikāya

Connected Discourses

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-30 · 15083 segments

පෙන්වන කොටස් 2101-2200 න් 15083

බමුණ, මා විසින් ගාථාභිගීත මේ පායාසය වැළඳීම සුදුසු නො වේ. ආජිවශුද්ධිය දක්නවුන්ගේ මේ ස්වභාවයෙක් නොවේ. බුදුවරයෝ ගාථාභිගීත බොජුන් බැහැර කෙරෙත්. බමුණ, ආර්‍ය්‍යධර්‍මය ඇති කල්හි මේ පැවැත්මයි. (අකැප දෙය දුර ලා කැප දෙය ම වැළඳීම ආර්‍ය්‍යයන්ගේ ස්වාභාව යයි.)
සියලු ගුණයෙන් යුත් මහර්ෂි වූ සන්හුන් කුකුස් ඇති රහත්හු මෙයින් අන්‍ය වූ ආහාරයෙන් ද, පානයෙන් ද උවටන් කරව. පින් කැමැත්තහුට ඒ කෙත වේ.
මෙසේ වදාළ කල්හි අග්ගිකභාරද්වාජ බමුණු තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළේ ය: භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනවි. … ආයුෂ්මත් භාරද්වාජ තෙරණුවෝ රහතුන් අතුරෙන් එක්තරා කෙනෙක් ද වූහ.
සුන්‍දරික සූත්‍රය
195. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ කොසොල් දනව්වෙහි සුන්‍දරිකා ගංතෙර වැඩවසන සේක. එකල්හි සුන්‍දරිකභාරද්වාජ බමුණු සුන්‍දරිකා ගංතෙර ගිනි පුදයි. අග්නිහෝමය කෙරෙයි. ඉක්බිති සුන්‍දරිකභාරද්වාජ බමුණු ගිනි පුදා අග්නිහෝමය කොට හුනස්නෙන් නැගිට “කවරෙක් මේ යාගද්‍රව්‍යශේෂය වළඳන්නේ වේ දැ”යි හාත්පස සිවුදිගුන් බැලී ය. සුන්‍දරිකභාරද්වාජ බමුණු එක්තරා රුක්මුලෙක හිස වටා පෙරෙවි වැඩහුන් භාග්‍යවතුන් වහන්සේ දුටුයේ ය. දැක වමතින් යාගද්‍රව්‍යශේෂය ගෙණ දකුණතින් කෙණ්ඩිය ගෙන භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය.
එකල්හි භාග්‍යවතුන් වහන්සේ සුන්‍දරිකභාරද්වාජ බමුණාගේ පියහඬින් හිස විවර කළ සේක.
ඉක්බිති සුන්‍දරිකභාරද්වාජ බමුණු මේ භවත් මුඩු වූවෙක. මේ භවත් මුණ්ඩකයෙකැ යි. එතැනින් ම පෙරළා යනු කැමැති විය. එකල්හි සුන්‍දරිකභාරද්වාජ බමුණාහට “මෙහි මුඩු වූ ද ඇතැම්හු බමුණු වෙති. මම ඔහු වෙත එළඹ ජාතිය විචාරන්නෙම් නම් මැනවැ”යි මේ සිත විය. ඉක්බිති සුන්‍දරිකභාරද්වාජ බමුණු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේට “භවත් කිනම් ජාති ඇත්තෙක් වේ දැ”යි තෙල කී ය.
[භගවත්හු:]
ජාතිය නහමක් විචාරව (ශීලාදි) චරණය ම විචාරව. කාෂ්ටයෙන් ඒකාන්තයෙන් ගිනි හටගණී. එමෙන් ම පහත් කුලයෙහි උපන්නේ ද, උසස්කුලයෙහි උපන්නේ ද, වීර්‍ය්‍යවත් වූයේ කරුණු නො කරුණු දන්නේ ලජ්ජායෙන් පව් වළකා සිටියේ (ක්‍ෂීණාස්‍රව) මුනි වෙයි.
යමෙක් (පරමාර්‍ත්‍ථ) සත්‍යයෙන් දැමුනේ ද, ඉන්‍ද්‍රිය දමනයෙන් යුක්ත ද, චතුර්මාර්‍ග සඞ්ඛ්‍යාත වේදයෙහි පරතෙරට ගියේ ද, වැස නිම වූ බඹසර ඇත්තේ ද, යුතු කළ දන් ඇතියේ සුදුසු කල්හි ඔහු කැඳවන්නේ ය. හෙ තෙමේ (ඔහු කැඳවා දන් දෙන තැනැත්තේ) දක්‍ෂිණාර්‍හයා කෙරෙහි යාග කෙරෙයි.
[බමුණු:]
වේදයෙහි පරතෙරට පැමිණි එබන්දකු යම් හෙයෙකින් දකිම් ද, මා විසින් ඒකාන්තයෙන් මෙය මොනවාට පුදන ලද්දේ වෙයි. මනා කොට (එහෙයින්) හෝම කරණ ලද්දේ වෙයි. මුබ වහන්සේ වැන්නවුන් නො දැක්මෙන් අන්දන හුතාවශේෂය වළඳයි.
භවත් ගෞතම තෙමේ වළඳාවා. භවත් තෙමේ බ්‍රාහ්මණයෙකි.
[භගවත්හු:]
බමුණ, මා විසින් ගාථාභිගීත පායාසය වැළඳීම නිසි නො වේ. ආජීවශුද්ධිය දක්නවුන්ගේ මේ ස්වභාවයෙක් නො වේ. බුදුවරයෝ ගාථාභිගීතය බැහැර කෙරෙත්. බමුණ, ආර්‍ය්‍යධර්‍මය ඇතිකල්හි මේ පැවැත්ම යි.
සියලු ගුණයෙන් යුත් මහර්ෂී වූ සන්හුන් කුකුස් ඇති රහත්හු මෙයින් අන්‍ය ආහාරයෙන් ද පානයෙන් ද උවටන් කරව. පින් කැමැත්තහුට ඒ කෙත වේ.
[බමුණු:]
භවත් ගෞතමයෙනි, එසේ නම් මම කවරකුට මේ හුතාවශේෂය දෙම් ද?
[භගවත්හු:]
බමුණ, තථාගතයන්ගේ හෝ තථාගතශ්‍රාවකයකුගේ හෝ පරිණාමය හැරපියා අන් යමකු විසින් මේ හුතාවශේෂය වළඳන ලද්දේ මැනවින් පැසීමට යන්නේ නම්, බමුණ, දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලොව්හි මහණ බමුණන්සියෝ දෙව්මිනිසුන් සහිත ප්‍රජායෙහි එබන්දකු මම නො ම දකිමි. බමුණ, එසේ වී නම් තෙපි ඒ හුතාවශේෂය තණ නැති බිමෙක හෝ දමව. පණුවන් නැති දියෙක හෝ පා කොට හරුව.
ඉක්බිති සුන්‍දරිකභාරද්වාජ බමුණු ඒ හුතාවශේෂය පණුවන් නැති දියෙහි පා කොට හැරියේ ය. එකල්හි ඒ හුතාවශේෂය දියෙහි බහා ලන ලද්දේ චිච්චිටි යන අනුකරණ ශබ්දය පවත්වයි. චිටි චිටි යන අනුකරණශබ්ද පවත්වයි. දුමයි. බෙහෙවින් දුමයි. යම්සේ දහවල් තැවුන හීවැල දියෙහි බහාලන ලද්දේ චිච්චිටි යන අනුකරණශබ්දය පවත්වා ද, චිටි චිටි යන අනුකරණශබ්ද පවත්වා ද, දුමා ද, බෙහෙවින් දුමා ද, එසෙයින් ම ඒ හුතාවශේෂය දියෙහි බහා ලන ලද්දේ චිච්චිටි යන අනුකරණ ශබ්දය පවත්වයි. චිටි චිටි යන අනුකරණශබ්ද පවත්වයි. දුමයි. බෙහෙවින් දුමයි. ඉක්බිති සුන්‍දරිකභාරද්වාජ බමුණු තෙමේ සංවේගයට පැමිණියේ හටගත් ලොමුදහගැනුම් ඇත්තේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ එකත්පසෙක සිටියේ ය. එකත්පසෙක සිටි සුන්‍දරිකභාරද්වාජ බමුණාට භාග්‍යවතුන් වහන්සේ ගාථායෙන් වදාළ සේක:
බමුණ, දර දවමින් ශුද්ධියක් නහමක් හඟුව. යම් හෙයෙකින් මේ දර දැවීම ආර්‍ය්‍යධර්‍මයෙන් බැහැර ද (එහෙයිනි). බාහිර වූ දර දැවීමෙකින් පිරිසිදුබව යමෙක් කැමැති වන්නේ නම් ඒ දර දැවීමෙන් පිරිසිදු බවක් දක්‍ෂ වූ ආර්‍ය්‍යයෝ නොම කියත්.
බමුණ, මම දර දැවීම අත්හැර ස්වසන්තානයෙහි ම ඥානාග්නිය දල්වමි. අර්‍හත් වූ මම නිති (දැල් වූ) ගිනි ඇත්තෙම් නිති සංයතසිත් ඇත්තෙම් බඹසර කෙරෙමි.
බමුණ, තාගේ මානය තවුස්පිරිකරබර වේ. ක්‍රෝධය දුම වේ. මුසා බිණීම හලු වේ. දිව හැන්ද ය. හෘදය ගිනි දැල්වෙන තැන ය. පුරුෂයාගේ මොනවාට දැමුණු සිත ගින්න වේ.
වේදයෙහි පරතෙරට ගිය ආර්‍ය්‍යයෝ යම් තැනෙක ස්නානය කළාහු නොතෙත් සිරුරු ඇත්තෝ නිවන් නමැති පරතෙරට ඒකාන්තයෙන් යෙද්ද, බමුණ, ධර්‍මය තෙමේ සිල් නමැති තොටු ඇති වෙසෙසින් පහන් වූ උතුම් සත්පුරුෂයන් විසින් පසස්නා ලද (එබඳු) ජලාසයෙකි.
බමුණ, වාක්සත්‍යය ද, (දිට්ඨි, සඞ්කප්ප, වායාම, සති, සමාධි සඞ්ඛ්‍යාත) ධර්‍ම ද, (කම්මන්ත ආජීව සඞ්ඛ්‍යාත) සංයමය ද (යන මේ) බඹසර නම් වේ. මැද ඇසුරු කළා ශ්‍රේෂ්ඨ ප්‍රතිපත්ති ය යි. ඒ (තෙපි) ඍජු වූ රහතුන්ට නමස්කාර කරව. මම ඒ මිනිසා දහම්හි හැසිරෙන්නෙකැ යි කියමි.
මෙසේ වදාළ කල්හි සුන්‍දරිකභාරද්වාජ බමුණු තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළේ ය. භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනවි … ආයුෂ්මත් භාරද්වාජ තෙරණුවෝ රහතුන් අතුරෙන් එක්තරා කෙනෙක් වූහ.
7. 1. 10.
බහුධීතු සූත්‍රය
196. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ කොසොල් දනව්වෙහි එක්තරා වනලැහැබෙක වැඩ වසන සේක. එකල්හි එක්තරා භාරද්වාජ ගෝත්‍ර බමුණු කෙනකුගෙන් ගොන්හු තුදුස් දෙනෙක් නටුවාහු වෙත්, ඉක්බිති ඒ භාරද්වාජ ගෝත්‍ර බමුණු තෙමේ ඒ ගොනුන් සොයමින් ඒ වනලැහැබට පැමිණියේ ය. එළඹ ඒ වනලැහැබෙහි උඩු කය කෙළින් තබා (කමටහන්=) අභිමුඛ කොට සිහි එළවා පලක් බැඳ වැඩහුන් භාග්‍යවතුන් වහන්සේ දැක්කේ ය. දැක භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථා කීය.
(මාගේ) ගොන්හු තුදුස්දෙනෙක් අදට සදවසක් මුළුල්ලෙහි නො දක්නා ලැබෙත්. මේ මහණහු ඒකාන්තයෙන් (එබන්දෙක්) නැත. එහෙයින් මේ මහණ තෙමේ සුව ඇත්තෙකි.
යම් හෙයකින් මේ මහණහට ලාමකවූ තල ද කොළ එකක් දෙකක් පමණ ඉතිරි වූ තල ද ඒකාන්තයෙන් නැත් ද, එහෙයින් මේ මහණ තෙමේ සුව ඇත්තෙකි.
(මාගේ) හිස් වූ ධාන්‍යාගාරයෙහි මීයෝ අධිකෝත්සාහයෙන් නටත්. මේ මහණහට ඒකාන්තයෙන් (එබන්දෙක්) නො ම ඇත. එහෙයින් මේ මහණ තෙමේ සුව ඇත්තෙකි.
සත්මසක් පමණ වූ (මාගේ) තණ ඇතිරිය එහි ම හටගත් ප්‍රාණීන්ගෙන් ගැවසී ගත්තේ ය. මේ මහණහට ඒකාන්තයෙන් (එබන්දෙක්) නො ම ඇත. එහෙයින් මේ මහණ තෙමේ සැප ඇත්තෙකි.
එක පුතකු ඇත්තාවූ ද පුතුන් දෙදෙනකුන් ඇත්තාවූ ද, වැන්දඹු වූ දුහු සත් දෙනෙක් (මට මෙන්) මේ මහණහට ඒකාන්තයෙන් නො ම ඇත. එහෙයින් මේ මහණ තෙමේ සුව ඇත්තෙකි.
පිඟුවන් වූ තලකැලලින් ගැවසී ගත් සිරුර ඇති (මාගේ බැමිණි තොමෝ) නිදිගත් මා පයින් ගසා පුබුදුවයි. මේ මහණහට ඒකාන්තයෙන් එබන්දෙක් නො ම ඇත. එහෙයින් මේ මහණ තෙමේ සුව ඇත්තෙකි.
අලුයම්හි නය හිමියෝ දෙවු, දෙවු යයි මේ මහණහට (මට මෙන්) ඒකාන්තයෙන් චෝදනා නො ම කෙරෙත්. එහෙයින් මේ මහණ තෙමේ සුව ඇත්තෙකි.
[භගවත්හු:]
බමුණ, (තාගේ) ගොන්හු තුදුස් දෙනෙක් අදට සදවසක් මුළුල්ලෙහි නො දක්නා ලැබෙත්. මට (එබන්දෙක්) නො ම ඇත. බමුණ, එහෙයින් මම සුව ඇත්තෙමි.
බමුණ, කෙතෙහි ලාමක වූ තල ද එකක් දෙකක් කොළ ඉතිරි වූ තල ද මට නොම ඇත. බමුණ, එහෙයින් මම සුව ඇත්තෙමි.
බමුණ, (තාගේ) හිස් වූ ධාන්‍යාගාරයෙහි මීයෝ මහත් උත්සාහයෙන් නටත්. මට එබන්දෙක් නො ම ඇත. බමුණ, එහෙයින් මම සුව ඇත්තෙමි.
බමුණ, සත්මසක් වූ (තාගේ) තණඇතිරිය එහි ම උපන් ප්‍රාණීන්ගෙන් ගැවසී ගත්තේ ය. මට (එබන්දෙක්) නො ම ඇත්තේ ය. බමුණ, එහෙයින් මම සුව ඇත්තෙමි.
බමුණ, එක් පුතකු ඇත්තාවූ ද, දෙපුතු කෙනකුන් ඇත්තාවූ ද වැන්දඹු වූ දූහු සත්දෙනෙක් (තට මෙන්) මට නොම ඇත. බමුණ, එහෙයින් මම සුව ඇත්තෙමි.
පිඟුවන් වූ තලකැලලින් ගැවසී ගත් සිරුරු ඇති (තාගේ බැමිණිය) නිදි ගත් තා පයින් ගසා පුබුදුවයි. මට එබන්දෙක් නො ම ඇත. බමුණ, එහෙයින් මම සුව ඇත්තෙමි.
බමුණ, අලුයම නයහිමියෝ දෙවූ දෙවූ යයි (තට) චෝදනා කෙරෙත්. මට එබන්දෙක් නො ම ඇත. බමුණ, එහෙයින් මම සුව ඇත්තෙමි.
මෙසේ වදාළ කල්හි භාරද්වාජගෝත්‍ර බමුණු තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේ ය. භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනවි. භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනවි. භවත් ගෞතමයන් වහන්ස, යම්සේ යටිහුරු වූවක් උඩුහුරු කරන්නේ හෝ වේ ද, වැසුනු දෙයක් විවර කරන්නේ හෝ වේ ද, මං මුළාවූවකුට මඟ කියන්නේ හෝ වේ ද, ඇස් ඇත්තෝ රූප දකින්නාහ යි අඳුරෙහි තෙල් පහනක් දරන්නේ හෝ වේ ද, එපරිද්දෙන් ම භවත් ගෞතමයන් වහන්සේ විසින් නොයෙක් නියායෙන් දහම් පවසන ලදී. මේ මම භවත් ගොයුම්හු ද දහම ද බික්සඟන ද සරණ යෙමි. මම භවත් ගෞතමයන් වහන්සේ සමීපයෙහි පැවිද්ද ලබම් වා. උපසපුව ලබම්වා යි.
භාරද්වාජගෝත්‍ර බමුණු තෙමේ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි පැවිද්ද ලැබීය ය. උපසපුව ලැබීය. උපසපන් වූ නොබෝ කල් ඇති ආයුෂ්මත් භාරද්වාජ තෙරණුවෝ එකලාව ගණයා කෙරෙන් වෙන් ව නොපමා ව කෙලෙස් තවන වෙර ඇති ව නිවන් පිණිස මෙහෙයූ සිත් ඇතිව වෙසෙමින් කුලපුත්‍රයෝ යමක් පිණිස මැනවින් ම ගිහිගෙන් නික්ම පැවිද්දට යෙත් ද, මගබඹසර කෙළවර කොට ඇති ඒ නිරුත්තර වූ රහත්බව නොබෝ කලෙකින් ම දුටුදැමියෙහි තමා විසින් ම විසිතුරු නුවණින් පසක් කොට එයට පැමිණ විසූහ. ජාතිය ක්‍ෂය වූවා ය. බඹසර වැස නිමවන ලදී. කටයුතු කරණ ලදී. මේ බැව් පිණිස අනෙකෙක් නැතැයි දැන ගත්තේ ය. ආයුෂ්මත් භාරද්වාජ තෙරණුවෝ රහතුන් අතුරෙන් එක්තරා කෙනෙක් ද වූහ.
අරහන්තවර්‍ගය පළමුවැනි යි.
එහි උද්දානය:
ධනඤ්ජානි, අක්කෝස, අසුන්‍දරි, බිලඞ්ගික, අහිංසක, ජටා, සුද්ධික, අග්ගික, සුන්‍දරික, බහුධීතු සූත්‍රය යි ඒ දශයෙකි.
2. උපාසක වර්‍ගය
7. 2. 1.
කසී සූත්‍රය
197. මා විසින් මෙසේ අසන ලදී: එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ මගධ දනව්වෙහි දකුණුගිරියෙහි ඒකනාළා නම් බමුණුගම්හි වැඩ වසන සේක. එකල්හි කසීභාරද්වාජ බමුණා විසින් වපුරණ කාලයෙහි පන්සියක් පමණ නගුල්හු යොදන ලද්දාහු වෙති.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පෙරවරු හැඳ පෙරෙව පාසිවුරු ගෙණ කසිභාරද්වාජ බමුණාගේ කර්‍මාන්තස්ථානය වෙත එළඹිසේක. එකල්හි කසිභාරද්වාජ බමුණාගේ බොජුන් දීම පවතී. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ බොජුන් දෙන තැනට එළඹි සේක. එළඹ එකත්පසෙක වැඩසිටි සේක.
කසිභාරද්වාජ බමුණු තෙමේ පිඬු පිණිස වැඩසිටි භාග්‍යවතුන් වහන්සේ දැක්කේය. දැක භාග්‍යවතුන් වහන්සේට මෙය කීය. මහණ, මම වනාහි සෑම ද කරමි. වැපිරීම ද කරමි. සෑම ද කොට වැපිරීම ද කොට වළඳමි. මහණ, තෙපි ද සෑම ද කරව. වැපිරීම ද කරව. සෑම ද කොට වැපිරීම ද කොට වළඳව.
[භගවත්හු:]
බමුණ, මමත් සෑම ද කරමි. වැපිරීම ද කරමි. සෑම ද කොට වැපිරීම ද කොට වළඳමි.
[බමුණු:]
අපි භවත් ගොයුම්හුගේ වියදණ්ඩ හෝ නඟුල හෝ හීවැල හෝ කෙවිට හෝ ගොනුන් හෝ නො ම දකුම්හ. එහෙත් භවත් ගොයුම් තෙමේ “බමුණ, මමත් සෑම ද කරමි. වැපිරීම ද කරමි. සෑම ද කොට වැපිරීම ද කොට වළඳමි” යි මෙසේ කියයි.
ඉක්බිති කසිභාරද්වාජ බමුණු තෙමේ භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් කීය:
ගොවියකැ යි පිළින කෙරෙහි. මුබගේ සීසෑමක් නොම දකිමි. ගොවියෙක් දැ යි (අප විසින්) විචාරණ ලද (මොබ) කියනු මැනව. ඒ සීසෑම කෙරේ දනුමෝ ද?
[භගවත්හු:]
සැදැහැ බිජුවට ය. තපස වැස්ස ය. නුවණ මාගේ වියදණ්ඩ හා නඟුලය. ලජ්ජාව නඟුලිසය. සිත යොත ය. සිහිය මාගේ හීවැල හා කෙවිට ය.
කායසුචරිතයෙන් ගෝපිත වූයෙම් වාක්සුචරිතයෙන් ගෝපිත වූයෙම් ආහාරයෙහි ද උදරයෙහි ද සංයත වූයෙම් සත්‍යයෙන් නෙළීම කරමි. අර්‍හත්ඵල විමුක්තිය මාගේ මිදීම යි.
ධුර ඉසිලීමෙහි සමත් වූ මාගේ ඒ වීර්‍ය්‍යය යම් තැනකට ගොස් ශෝක නො කෙරේ නම් ඒ නිවණට අභිමුඛ කොට පමුණුවනු ලබන්නේ නො නවතිමින් යෙයි.
මෙසේ මේ හීය සාන ලදී. ඒ හීය අමාපල ඇති වෙයි. මේ හීය සා සියලු දුකින් මිදෙයි.
[බමුණු:]
භවත් ගොයුම් තෙමේ වළඳාවා. යම් හෙයෙකින් භවත් ගොයුම් තෙමේ අමාපල ඇති හීයත් සා ද, එහෙයින් භවත් තෙමේ ගොවියෙකි.
[භගවත්හු:]
බමුණ, මා විසින් ගාථාභිගීත ආහාරය වැළඳීම නිසි නොවේ. ආජීවසුද්ධිය දක්නවුන්ගේ මේ ස්වභාවයෙක් නො වේ. බුදුවරයෝ ගාථාභිගීත බොජුන් බැහැර කෙරෙත්. බමුණ, ආර්‍ය්‍යධර්‍මය ඇති කල්හි මේ පැවැත්ම යි.
සියලු ගුණයෙන් යුත් මහර්ෂි වූ සන්හුන් කුකුස් ඇති රහත්හු මෙයින් අන්‍ය වූ ආහාරයෙන් ද පානයෙන් ද උවටැන් කරව. පින් කැමැත්තහුට ඒ කෙත වේ.
මෙසේ වදාළ කල්හි කසිභාරද්වාජ බමුණු තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේ ය. භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනවි. භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනවි. භවත් ගෞතමයන් වහන්ස, යම්සේ යටිහුරු වූවක් උඩුහුරු කරන්නේ හෝ වේ ද, වැසුනු දෙයක් විවර කරන්නේ හෝ වේ ද, මං මුළාවූවකුට මඟ කියා දෙන්නේ හෝ වේ ද, ඇස් ඇත්තෝ රූ දක්නාහ යි අඳුරෙහි තෙල් පහනක් දරන්නේ හෝ වේ ද, එසෙයින් ම භවත් ගෞතමයන් වහන්සේ විසින් නොයෙක් නියායෙන් දහම් පවසන ලදී. මේ මම භවත් ගොයුම්හු ද දහම ද බික්සඟන ද සරණ යෙමි. භවත් ගෞතමයන් වහන්සේ අද පටන් දිවිහිමියෙන් සරණ ගිය මා උපාසකයකු කොට දරණ සේක්වා යි.
7. 2. 2.
උදය සූත්‍රය
198. සැවැත්නුවර–
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පෙරවරු හැඳ පෙරෙව පාසිවුරු ගෙණ උදය බමුණාගේ නිවෙස්න වෙත එළඹි සේක. එකල්හි උදය බමුණු තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ පාත්‍රය බතින් පුරාලීය. දෙවන දිනෙහි දූ භාග්‍යවතුන් වහන්සේ පෙරවරු හැඳ පෙරෙව පා සිවුරු ගෙණ උදය බමුණාගේ නිවෙස්න වෙත එළඹි සේක. දෙවන දිනෙහි දු උදය බමුණු තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ පාත්‍රය බතින් පුරාලීය. තෙවන දිනෙහි දු භාග්‍යවතුන් වහන්සේ පෙරවරු හැඳ පෙරෙව පාසිවුරු ගෙණ උදය බමුණාගේ නිවෙස්න වෙත එළඹි සේක. තෙවන දිනෙහි දු උදය බමුණු තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ පාත්‍රය බතින් පුරවා භාග්‍යවතුන් වහන්සේට “රසයෙහි ගිජු වූ මේ මහණ ගොයුම් තෙමේ පුනපුනා ඒ ය”යි මෙය කීය.
[භගවත්හු:]
(ගොවියෝ) පුනපුනා බිජුවට වපුරත් ම ය. වැස්ස පුනපුනා වසී. ගොවියෝ පුනපුනා කෙත සාත්. ධාන්‍ය පුනපුනා රටට පැමිණේ.
යදියෝ පුනපුනා ඉල්ලත්. දානපතීහු දන් දෙත්. දානපතීහු පුනපුනා දන් දී පුනපුනා ස්වර්‍ගස්ථානයට පැමිණෙත්.
කිරි දොවන්නෝ පුනපුනා දොවත්. වස්සා මව කරා පුනපුනා එළඹේ. (සත්‍ව තෙමේ) පුනපුනා ක්ලාන්ත ද, කම්පිත ද වෙයි. බාල තෙමේ පුනපුනා ගැබට පැමිණේ.
පුනපුනා උපදියි. මියෙයි. පුනපුනා සොහොනට ගෙණ යෙත්. නුවණැත්තේ නිවණ ලැබ පුනපුනා නූපදී.
මෙසේ වදාළ කල්හි උදය බමුණු තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේ ය. භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනවි … භවත් ගෞතමයන් වහන්සේ මා අද පටන් දිවිහිමියෙන් සරණ ගිය උපාසකයකු කොට දරණ සේක්වා යි.
7. 2. 3.
දේවහිත සූත්‍රය
199. සැවැත්නුවර–
එකල්හි භාග්‍යවතුන් වහන්සේ වාතයෙන් හටගත් අබාධ ඇති සේක. ආයුෂ්මත් උපවාන තෙමේ ද භාග්‍යවතුන් වහන්සේට උපස්ථායක වෙයි.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් උපවාන ඇමතූ සේක. උපවාන, බලව, තෙපි මට උණුදිය (ලැබෙන සැටියක්) දනිවු යි.
වහන්ස, එසේ ය යි කියා ආයුෂ්මත් උපවාන තෙමේ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් අස්වා හැඳ පෙරෙව පා සිවුරු ගෙණ දේවහිත බමුණාගේ නිවෙස්න වෙත එළඹියේ ය. එළඹ නිශ්ශබ්ද ව එකත්පසෙක සිටියේ ය.
දේවහිත බමුණු තෙමේ නිශ්ශබ්ද ව එකත්පසෙක සිටි ආයුෂ්මත් උපවාන තෙරුන් දැක්කේ ය. දැක ආයුෂ්මත් උපවාන තෙරුන්ට ගාථායෙන් කීය:
හිස මුඩු කළ සඟල සිවුර පෙර වූ භවත් තෙමේ කුමක් පතමින් කුමක් සොයමින් නිශ්ශබ්ද ව සිටිනෙහි ද, කුමක් ඉල්ලන්නට ආයෙහි ද?
[උපවාන:]
බමුණ, ලොව අර්‍හත් වූ සුගත වූ මුනීන්‍ද්‍රයන් වහන්සේ වාතයෙන් වූ ආබාධ ඇති සේක. ඉදින් උණුදිය ඇත් නම් මුනීන්‍ද්‍රයන් වහන්සේට දෙව.
පිදිය යුත්තන් විසින් පුදන ලද සත්කාර කටයුත්තන් විසින් සත්කාර කරණ ලද අපචිති (අපචායනා) කටයුත්තන් විසින් අපචිති (අපචායනා) කටයුත්තන් විසින් අපචිති කරණ ලද ඒ බුදුරජානන් වහන්සේට ගෙණ යන්නට (උණුදිය) කැමැත්තෙමි.
ඉක්බිති දේවහිත බමුණු තෙමේ උණුදිය කදක් පුරුෂයකු ලවා ගන්වා සකුරුපිඩක් ද ආයුෂ්මත් උපවාන තෙරුන්ට පිදී ය.
ඉක්බිති ආයුෂ්මත් උපවාන තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ උණුදියෙන් නාවා උණුදියෙන් සකුරු දිය කොට භාග්‍යවතුන් වහන්සේ පිදී ය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේගේ ඒ අබාධය සංසිඳුනේ ය.
එකල්හි දේවහිත බමුණු තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු විය. සතුටුවිය යුතු සිහි කටයුතු කථාව කොට නිමවා එකත්පසෙක හුන්නේ ය.
එකත්පසෙක හුන් දේවහිත බමුණු තෙමේ භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් කී ය:
දේයධර්‍මය කවරකුට දෙන්නේ ද? කවරකුට දෙන ලද්දේ මහත්ඵල වේ ද? කෙබඳු අයුරකින් කවරකුට දෙන්නහුගේ දක්‍ෂිණාව සමෘද්ධ වේ ද?