සඤ්ඤාවේදයිත නිරෝධයෙන් නැගිට නේවසඤ්ඤානාසඤ්ඤායතනයට සමවන් සේක. නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙන් නැගිට ආකිඤ්චඤ්ඤායතනයට සමවන් සේක. ආකිඤ්චඤ්ඤායතනයෙන් නැගිට විඤ්ඤාණඤ්චායතනයට සමවන් සේක. විඤ්ඤාණඤ්චායතනයෙන් නැගිට අකාසානඤ්චායතනයට සමවන් සේක. අකාසානඤ්චායතනයෙන් නැගිට චතුර්‍ත්‍ථධ්‍යානයට සමවන් සේක. චතුර්‍ත්‍ථධ්‍යානයෙන් නැගිට තෘතීයධ්‍යානයට සමවන් සේක. තෘතීයධ්‍යානයෙන් නැගිට ද්විතීයධ්‍යානයට සමවන් සේක. ද්විතීයධ්‍යානයෙන් නැගිට ප්‍රථමධ්‍යානයට සමවන් සේක.
ප්‍රථමධ්‍යානයෙන් නැගිට ද්විතීයධ්‍යානයට සමවන් සේක. ද්විතීයධ්‍යානයෙන් නැගිට තෘතීයධ්‍යානයට සමවන් සේක. තෘතීයධ්‍යානයෙන් නැගිට චතුර්‍ත්‍ථධ්‍යානයට සමවන් සේක. චතුර්‍ත්‍ථධ්‍යානයෙන් නැගිට ධ්‍යානයෙන් නැගිටීම සමග ම භාග්‍යවතුන් වහන්සේ පිරිනිවී සේක.
භාග්‍යවතුන් වහන්සේ පිරිනිවි කල්හි පිරිනිවන සමග ම සහම්පති බ්‍රහ්ම තෙමේ මේ ගාථාව කී ය.
ලෝකයේ අප්‍රතිපුද්ගල වූ තථාගත වූ බලයට පැමිණියා වූ සියලු ධර්‍මයන් අවබෝධ කළා වූ මෙබඳු වූ ශාස්තෲන් වහන්සේ (පවා) යම් සේ පිරිනිවීසේක් ද (එසෙයින්) ලෝකයෙහි සියලු සත්‍වයෝ සිරුර බැහැර දමන්නාහු ය.
භාග්‍යවතුන් වහන්සේ පිරිනිවි කල්හි පිරිනිවන සමග ම සක්දෙව්රජ මේ ගාථාව කී ය.
සංස්කාරයෝ ඒකාන්තයෙන් අනිත්‍යය හ. ඉපදීම හා නැසීම ස්වභාව කොට ඇත්තාහ. ඉපද නිරුද්ධ වෙත්. ඔවුන්ගේ සංසිඳීම සුව ය.
භාග්‍යවතුන් වහන්සේ පිරිනිවි කල්හි පිරිනිවන සමග ම ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ මේ ගාථාව කීහ:
සියලු ආකාර උතුම් කරුණුවලින් සමන්‍විත වූ බුදුරජානන් වහන්සේ පිරිනිවී කල්හි එකෙණෙහි බිහිසුණු සිදුවීමෙක් විය. එකෙණෙහි ලොමුදහගැණුමෙක් විය.
භාග්‍යවතුන් වහන්සේ පිරිනිවි කල්හි පිරිනිවන සමග ම ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ මේ ගාථා කී ය.
සමාහිතසිත් ඇති තාදී ගුණවත් බුදුරජානන් වහන්සේගේ ආශ්වාසප්‍රශ්වාසය නො වූයේ ය. අනෙජ (තෘෂ්ණා රහිත) වූ පසැස් ඇති බුදුරජානන් වහන්සේ නිවණ ඇරබ පිරිනිවි සේක.
නොහැකුළුණු සිතින් වේදනාව ඉවසූ සේක. සිත පිළිබඳ මිදීම පහන නිවීම මෙන් විය.
පරිනිබ්බාණ වර්‍ගය දෙවෙනි යි.
එහි උද්දානය:
සනඞ්කුමාර, දේවදත්ත, අන්‍ධකවින්‍ද, අරුණවතී, පරිනිබ්බාණ යයි මේ බ්‍රහ්මපඤ්චකය දේශනා කරණ ලදී.
බ්‍රහ්මසංයුත්තය නිමියේය.
7. බ්‍රාහ්මණ සංයුත්තය
1. අරහන්ත වර්‍ගය
7. 1. 1.
ධනඤ්ජානී සූත්‍රය
187. මා විසින් මෙසේ අසන ලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි කලන්‍දකනිවාප නම් වූ වේළුවනාරාමයෙහි වැඩ වසන සේක. එකල්හි භාරද්වාජ ගෝත්‍රයෙහි උපන් එක්තරා බමුණකුගේ ධනඤ්ජානී නම් බැමිණිය බුදුන් කෙරෙහි ද දහම් කෙරෙහි ද සඟුන් කෙරෙහි ද බෙහෙවින් පහන් වූවා වෙ යි.
ඉක්බිති ධනඤ්ජානී බැමිණිය භාරද්වාජගෝත්‍රබමුණාට බත් එළවන්නී පැකිලී “ඒ භාග්‍යවත් අර්‍හත් සම්මාසම්බුදුරජානන් වහන්සේට නමස්කාර වේවා! ඒ භාග්‍යවත් අර්‍හත් සම්මාසම්බුදුරජානන් වහන්සේට නමස්කාර වේවා! ඒ භාග්‍යවත් අර්‍හත් සම්මාසම්බුදුරජානන් වහන්සේට නමස්කාර වේවා!” යි තෙවරක් උදන් ඇනී ය.
මෙසේ කී කල්හි භාරද්වාජගෝත්‍ර බමුණු ධනඤ්ජානී බැමිණියට මෙසේ ම මේ සැඩොලිය යම් ඒ තැනක දී හෝ යම් ඒ මුඩුමහණහුගේ ගුණ කියයි. සැඩොලිය, දැන් මම තිගේ ඒ ශාස්තෘහට වාද නගන්නෙමි යි මෙය කී ය.
බමුණ, යමෙක් භාග්‍යවත් අර්‍හත් ඒ සම්මාසම්බුදුරජානන් වහන්සේට වාද නගන්නේ නම් මම එබන්දකු දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලොව්හි මහණ බමුණන් සහිත දෙවිමිනිසුන් සහිත ප්‍රජායෙහි නො ම දකිමි. එහෙත් බමුණ තෙපි යවු. ගොස් දැනගන්නහු යයි.
ඉක්බිති භාරද්වාජගෝත්‍ර බමුණු කිපියේ නොසතුටුසිත් ඇත්තේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු විය. සතුටු වියයුතු සිහි කටයුතු කථාව කොට නිමවා එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් භාරද්වාජගෝත්‍ර බමුණු තෙමේ භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් කී ය.
ගෞතමයෙනි, කුමක් නසා සුවසේ හොවී ද? කුමක් නසා ශෝක නො කෙරේ ද? කිනම් එක් දහමක් නැසීම රුස්නෙහි ද?
බමුණ, ක්‍රෝධය නසා සුවසේ හොවී. ක්‍රෝධය නසා ශෝක නො කෙරෙයි. විෂසඞ්ඛාත දුඃඛවිපාකයට මුල් වූ මිහිරි අග ඇති ක්‍රෝධය නැසීම ආර්‍ය්‍යයෝ පසසත්. ඒ ක්‍රෝධය නසා (සිටියේ) ශෝක නො කෙරේ මැයි.
මෙසේ වදාළ කල්හි භාරද්වාජගෝත්‍රබමුණා භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළේ ය. භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනවි. භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනවි. භවත් ගෞතමයන් වහන්ස, යම්සේ යටිකුරු වූවක් උඩුකුරු කරන්නේ හෝ වේ ද? වැසුනු දෙයක් වැසුම් හරින්නේ හෝ වේ ද? මං මුළා වූවකුට මඟ කියන්නේ හෝ වේ ද? ඇස් ඇත්තෝ රූප දක්නාහු යයි අඳුරෙහි තෙල් පහනක් දරන්නේ හෝ වේ ද? එසෙයින් ම භවත් ගෞතමයන් වහන්සේ විසින් නොයෙක් නියායෙන් දහම් පවසන ලදී. මේ මම භවත් ගෞතමයන් වහන්සේ ද, දහම ද, බික්සඟන ද සරණ යෙමි. මම භවත් ගෞතමයන් වහන්සේ සමීපයෙහි පැවිද්ද ලබම්වා උපසපුව ලබම්වා යි.
භාරද්වාජගෝත්‍රබමුණා භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි පැවිද්ද ලද්දේ ය, උපසපුව ලද්දේ ය. උපසපන් වූ නොබෝකල් ඇති ආයුෂ්මත් භාරද්වාජ තෙමේ එකලා ව ගණයා කෙරෙන් වෙන් වූයේ නොපමාව කෙලෙස් තවන වෙර ඇතිව නිවන් පිණිස මෙහෙයූ සිත් ඇතිව වෙසෙමින් යමක් පිණිස කුලපුත්‍රයෝ මැනවින් ම ගිහිගෙන් නික්ම සස්නට පැමිණෙද් ද, මගබඹසර කෙළවර කොට ඇති ඒ අර්‍හත්‍වය නොබෝ කලෙකින් ම මේ අත්බැව්හි ම තෙමේ ම මැනවින් දැන සාක්‍ෂාත් කොට ඊට පැමිණ විසී ය. ජාතිය ක්‍ෂය වූවා ය. බඹසර වැස නිමවන ලදී. සිවුමග කටයුතු කරණ ලදී. මේ රහත්බව පිණිස අනෙකෙක් නැතැයි දැනගත්තේ ය. ආයුෂ්මත් භාරද්වාජ තෙරණුවෝ රහතුන් අතුරෙන් එක්තරා කෙනෙක් වූහ.
7. 1. 2.
අක්කෝසක සූත්‍රය
188. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි කලන්‍දකනිවාප නම් වූ වේළුවනාරාමයෙහි වැඩවසන සේක. අක්කෝසක භාරද්වාජබමුණු තෙමේ භාරද්වාජගෝත්‍රබමුණා ගිහිගෙයින් නික්ම ශ්‍රමණ ගෞතමයන් සමීපයෙහි සස්නෙහි පැවිදි වී යයි ඇසී ය. කිපියේ නොසතුටු සිත් ඇත්තේ භාග්‍යවතුන් වහන්සේ වෙතට එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේට අසභ්‍ය වූ පරුෂ වචනයෙන් ආක්‍රෝශ කෙරෙයි. පරිභව කෙරෙයි.
මෙසේ ආක්‍රෝශ පරිභව කළ කල්හි භාග්‍යවතුන් වහන්සේ අක්කෝසක භාරද්වාජබමුණාහට මෙය වදාළ සේක. බමුණ, ඒ කුමැයි හඟිහි ද? ආගන්තුක වූ තාගේ මිත්‍රාමාත්‍යයෝ සහලේ නෑයෝ (තා නිවසට) පැමිණෙද්ද? භවත් ගෞතමයෙනි, ආගන්තුක වූ මාගේ මිත්‍රාමාත්‍යයෝ සහලේ නෑයෝ ඇතැම් දිනෙක පැමිණෙති.
බමුණ, ඒ කුමැයි හඟිහි ද? ඔවුන්ට කෑයුත්තක් හෝ බුදියයුත්තක් හෝ රස විඳියයුත්තක් හෝ දෙන්නෙහි ද?
භවත් ගෞතමයෙනි, මම ඔවුන්ට කෑයුත්තක් හෝ බුදියයුත්තක් හෝ රස විඳියයුත්තක් හෝ ඇතැම් දිනෙක දෙමි.
බමුණ, ඉදින් ඔහු නො පිළිගණිත් නම් එය කාට වේ ද?
භවත් ගෞතමයෙනි ඉදින්, ඔහු නො පිළිගණිත් නම් එය අපට ම වෙයි.
බමුණ, එසෙයින් ම යම් හෙයෙකින් තෝ ආක්‍රෝශ නොකරණ අපට ආක්‍රෝශ කෙරෙහි ද? නොකිපෙන අපට කිපෙහි ද? භණ්ඩන නොනඟන අපට භණ්ඩන නඟහි ද? තාගේ ඒ අක්‍රෝශාදිය අපි නො පිළිගණිමු. බමුණ තෙල තට ම වෙයි. බමුණ, යමෙක් අක්‍රොශ කරන්නහුට පෙරළා අක්‍රොශ කෙරේ ද, කිපෙන්නහුට පෙරළා කිපේ ද, භණ්ඩන නඟන්නහුට පෙරළා භණ්ඩන නඟා ද, බමුණ, මේ තෙමේ එකතු ව අනුභව කෙරේ. උනුනට සමවලා කරතියි කියනු ලැබේ. ඒ අපි තා සමග එකතුව නො වළඳමු. උනුනට සමවලා නොකරමු. බමුණ, තෙල තට ම වෙයි. බමුණ, තෙල තට ම වෙයි.
[බමුණු:]
රජු සහිත පිරිස මහණගොයුම්හු රහත්හ යි මෙසේ භවත් ගෞතමයන් දනී. එහෙත් භවත් ගොයුම්හු. කිපෙති.
[භගවත්හු:]
දැමුනු සමදිවි පැවතුම් ඇති මොනවට දැන මිදුනු සන්හුන් වූ තාදී ගුණ ඇති නොකිපෙන රහත්හට ක්‍රෝධයෙක් කොයින් ද,
යමෙක් කිපුනහුට පෙරළා කිපේ ද, එයින් ඒ පුඟුලටාම පව වේ. කිපියහුට පෙරළා නොකිපෙන්නේ දිනීමට දුෂ්කර වූ (ක්‍රෝධ) සඞ්ග්‍රාමය දිනයි.
යමෙක් මෙරමා කිපියහු දැන සිහි ඇතිව ඉවසා ද, (හෙ තෙමේ) තමහට ද මෙරමාහට ද (යන) දෙදෙනාට ම වැඩ සාදයි.
තමහට ද මෙරමාහට (යන) දෙදෙනාට ම පිළියම් කරනුවහු බාලයහ යි ධර්‍මයෙහි අදක්‍ෂ වූ ඒ ජනයෝ හඟිත්.
මෙසේ වදාළ කල්හි අක්කෝසභාරද්වාජ බමුණු තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළේ ය. භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනවි. මේ මම භවත් ගෞතමයන් වහන්සේ ද, දහම ද බික්සඟන ද සරණ යෙමි. මම භවත් ගෞතමයන් වහන්සේ සමීපයෙහි පැවිද්ද ලබම් වා. උපසපුව ලබම් වා.
අක්කෝසකභාරද්වාජ බ්‍රාහ්මණ තෙමේ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි පැවිදි ද ලැබී ය. උපසපුව ලැබීය. උපසපන් නොබෝ කල් ඇති ආයුෂ්මත් අක්කෝසකභාරද්වාජ තෙමේ එකලාව ගණයා කෙරෙන් වෙන්ව නොපමාව කෙලෙස් තවන වෙර ඇතිව නිවණෙහි මෙහෙයූ සිත් ඇතිව වෙසෙමින් කුලපුත්‍රයෝ යමක් පිණිස මැනැවින් ම ගිහිගෙන් නික්ම පැවිද්දට යෙත් ද, මගබඹසර කෙළවර කොට ඇති ඒ නිරුත්තර වූ රහත් බව නොබෝකලෙකින් දුටුදැමියෙහි ම තෙමේ ම විශිෂ්ට ඥානයෙන් දැන පසක් කොට එයට පැමිණ විසී ය. ජාතිය ක්‍ෂය වූවා ය. බඹසර වැස නිමවන ලදී. කටයුතු කරණ ලදී. මේ බැව් පිණිස අනෙකෙක් නැතැයි දැන ගත්තේ ය. ආයුෂ්මත් භාරද්වාජ තෙරණුවෝ රහතුන් අතුරෙන් එක්තරා කෙනෙක් වූහ.
7. 1. 3.
අසුරින්‍දක සූත්‍රය
189. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි කලන්‍දකනිවාප නම් වූ වේළුවනාරාමයෙහි වැඩ වසන සේක. අසුරින්‍දකභාරද්වාජ බ්‍රාහ්මණ තෙමේ භාරද්වාජගෝත්‍ර බමුණා ගිහිගෙයින් නික්ම ශ්‍රමණ ගෞතමයන් සමීපයෙහි පැවිද්දට ගියේ ය යි ඇසීය. කිපියේ නො සතුටු සිත් ඇත්තේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේට අසභ්‍ය පරුෂ වචනයෙන් ආක්‍රෝශ කෙරෙයි. පරිභව කෙරෙයි. එසේ ආක්‍රෝශ පරිභව කළ කල්හි භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්ද වූ සේක.
ඉක්බිති අසුරින්‍දකභාරද්වාජ බ්‍රාහ්මණ තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය කී ය. මහණ, දිනුයෙහි ද, මහණ දිනුයෙහි ද.
[භගවත්හු:]
අඥාන තෙමේ වචනයෙන් පරුෂ බෙණෙමින් ඒකාන්තයෙන් තමන්ට ජයෙකැයි හඟී. (ඉවසීමෙහි ගුණ) දන්නහුගේ යම් ඉවසීමෙක් වේ ද, ඒ ඔහුට ජයෙක් ම වේ.
යමෙක් කිපියහුට පෙරළා කිපේ ද, එයින් ඔහුට ම පව වේ. කිපියහුට පෙරළා නො කිපෙන්නේ දුකසේ දිනියහැකි ක්‍රෝධ සඞ්ග්‍රාමය දිනයි.
යමෙක් මෙරමා කිපියහු දැන සිහි ඇතිව ඉවසා ද, (හෙතෙමේ) තමහට ද මෙරමාහට ද (යන) දෙදෙනාහට ම වැඩ සාදයි.
තමාහට ද මෙරමාහට ද යන දෙදෙනාහට ම පිළියම් කරනුවහු බාලයහයි ධර්‍මයෙහි අදක්‍ෂ වූ ඒ ජනයෝ හඟිත්.
මෙසේ වදාළ කල්හි අසුන්‍දරිකභාරද්වාජ බමුණු තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළේ ය. භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනවි … දැනගත්තේ ය. ආයුෂ්මත් භාරද්වාජ තෙරණුවෝ රහතුන් අතුරෙන් එක්තරා කෙනෙක් වූහ.
7. 1. 4.
බිලඞ්ගික සූත්‍රය
190. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි කලන්‍දකනිවාප නම් වූ වේළුවනාරාමයෙහි වැඩ වසන සේක. බිලඞ්ගිකභාරද්වාජ බමුණු තෙමේ භාරද්වාජගෝත්‍ර බමුණා ගිහිගෙයින් නික්ම ශ්‍රමණ ගෞතමයන් වෙත පැවිද්දට ගියේ ය යි ඇසී ය. කිපියේ නොසතුටුසිත් ඇත්තේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ නිහඬ ව එකත් පසෙක සිටියේ ය.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ තමසිතින් බිලඞ්ගිකභාරද්වාජ බමුණාගේ චිත්තපරිවිතර්‍කය දැන බිලඞ්ගිකභාරද්වාජ බමුණාට ගාථායෙන් වදාළ සේක:
යමෙක් නිරපරාධ වූ නික්ලේශී වූ පුරුෂපුද්ගලයකුට අපරාධ කෙරේ ද, ඒ පව උඩුසුලඟට දමන ලද සියුම් රජසක් මෙන් ඒ අඥානයා කරා ම පෙරළා එයි.
මෙසේ වදාළ කල්හි බිලඞ්ගිකභාරද්වාජ බමුණු තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළේ ය. භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනවි. … ආයුෂ්මත් භාරද්වාජ තෙරණුවෝ රහතුන් අතුරෙන් එක්තරා කෙනෙක් වූහ.
7. 1. 5.
අහිංසක සූත්‍රය
191. සැවැත්නුවර–
එකල්හි අහිංසකභාරද්වාජ බමුණු තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු වි ය. සතුටුවියයුතු සිහිකටයුතු කථාව කොට නිමවා එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් අහිංසකභාරද්වාජ බමුණු තෙමේ භාග්‍යවතුන් වහන්සේට “භවත් ගෞතමයෙනි, මම අහිංසක වෙමි. භවත් ගෞතමයෙනි, මම අහිංසක වෙමි”යි මෙය කීයේ ය.
[භගවත්හු:]
නාමය යම්සේ ද, ඉදින් එසේ වන්නෙහි නම් තෝ අහිංසක ම වෙහි. යමෙක් කයින් වචනයෙන් හා සිතින් ද, හිංසා නො කෙරේ ද, යමෙක් මෙරමා නො වෙහෙසා ද, හෙ තෙමේ ඒකාන්තයෙන් අහිංසකයෙක් වේ යි.
මෙසේ වදාළ කල්හි, අහිංසකභාරද්වාජ බමුණු තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළේ ය. භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනවි. … ආයුෂ්මත් භාරද්වාජ තෙරණුවෝ රහතුන් අතුරෙන් එක්තරා කෙනෙක් වූහ.
7. 1. 6.
ජටා සූත්‍රය
192. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ ජේතවන නම් වූ අනේපිඬු මහසිටුහුගේ අරම්හි වැඩවසන සේක. එකල්හි ජටාභාරද්වාජ බමුණු තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු වි ය. සතුටුවියයුතු සිහිකටයුතු කථාව කොට නිමවා එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් ජටාභාරද්වාජ බමුණු තෙමේ භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් කී ය:
ඇතුළත අවුල් ය, පිටත අවුල් ය. ප්‍රජාව අවුලෙන් වළඳනා ලද්දී ය. ගෞතමයන් වහන්ස, එය මුබ විචාරමි: කවරෙක් මේ අවුල නිරවුල් කරන්නේ දැයි.
[භගවත්හු:]
ප්‍රතිසන්‍ධිප්‍රඥා ඇති කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇති පාරිහාරිය නුවණ ඇති (සසර) බිය දක්නාසුලු ඒ සත්‍ව තෙමේ ශීලයෙහි පිහිටා සමාධිය හා ප්‍රඥාව ද වඩමින් මේ (තෘෂ්ණා) අවුල නිරවුල් කරන්නේ ය.
යම් කෙනකුන් විසින් රාගයත් ද්වේෂයත් අවිද්‍යාවත් දුරු කරණ ලද්දාහු ද, (ඔහු) ක්‍ෂීණාස්‍රව රහත්හුය. ඔවුන් විසින් (තෘෂ්ණා) අවුල නිරවුල් කරණ ලදී.
යම් තැනෙක නාමය ද, රූපය ද, ප්‍රතිඝය ද, රූපසංඥාව ද (යාම මොහු) නිරවශේෂයෙන් නිරුද්ධ වෙත් ද, එහි මේ තෘෂ්ණා අවුල සිඳෙයි.
මෙසේ වදාළ කල්හි ජටාභාරද්වාජ බමුණු තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය කී ය. භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනවි … ආයුෂ්මත් භාරද්වාජ තෙරණුවෝ රහතුන් අතුරෙන් එක්තරා කෙනෙක් වූහ.
7. 1. 7.
සුද්ධික සූත්‍රය
193. සැවැත්නුවර–
එකල්හි සුද්ධිකභාරද්වාජ බමුණු තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු වි ය. සතුටුවියයුතු සිහිකටයුතු කථාව කොට නිමවා එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් සුද්ධිකභාරද්වාජ බමුණු තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි මේ ගාථාව කී ය.
ලෝකයේ කිසි බමුණෙක් සිල්වත් ද, තපස්කම් කරන්නේ ද, (එපමණින්) පිරිසිදු නො වේ. ඒ බමුණු තෙමේ විද්‍යායෙන් හා චරණධර්‍මයන්ගෙන් යුක්ත වූයේ පිරිසිදු වේ. මෙයින් අන්‍ය වූ සෙසු ප්‍රජාව පිරිසිදු නො වේ.
[භගවත්හු:]
බොහෝ ප්‍රලාප බෙණෙන්නේ ඇතුළත (කෙලෙසින්) කුණු වූයේ කිලිටි වූයේ කොහොන් බැව් ඇසුරු කෙළේ ජාතිමාත්‍රයෙන් බමුණෙක් නො වේ.
පටන් ගන්නා ලද වීර්‍ය්‍ය ඇති නිවන් පිණිස මෙහෙයූ සිත් ඇති නිති දැඩි පැරකුම් ඇති ක්‍ෂත්‍රියයා ද බ්‍රාහ්මණයා ද වෛශ්‍යයා ද ශුද්‍රයා ද සැඬොලා ද පුප්සඬුවා ද උත්තම සුද්ධි සඞ්ඛ්‍යාත නිවණට පැමිණෙත්. බමුණ, මෙසේ දනුව යි.
මෙසේ වදාළ කල්හි සුද්ධිකභාරද්වාජ බමුණු තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළේ ය. භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනවි, … ආයුෂ්මත් සුද්ධිකභාරද්වාජ තෙරණුවෝ රහතුන් අතුරෙන් එක්තරා කෙනෙක් වූහ.
7. 1. 8.
අග්ගික සූත්‍රය
194. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි කලන්‍දකනිවාප නම් වූ වේළුවනාරාමයෙහි වැඩ වසන සේක. එකල්හි අග්ගිකභාරද්වාජ බමුණා විසින් ගිනි පුදන්නෙමි යි අග්ගිහෝමය කරන්නෙමියි ගිතෙලින් මුසු කිරිබතක් පිළියෙළ කරණ ලද්දේ වෙයි.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පෙරවරු හැඳ පෙර ව පාසිවුරු ගෙණ රජගහනුවරට පිඬු පිණිස පිවිසි සේක. රජගහනුවර ගෙපිළිවෙලින් පිඬු පිණිස හැසිරෙණ සේක් අග්ගිකභාරද්වාජ බමුණාගේ නිවෙස්න වෙත එළඹි සේක. එළඹ එකත්පසෙක වැඩ සිටි සේක.
අග්ගිකභාරද්වාජ බමුණා පිඬු පිණිස වැඩසිටි භාග්‍යවතුන් වහන්සේ දැක්කේ ය. දැක භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් කී ය.
(යම් බමුණෙක්) ත්‍රිවිද්‍යායෙන් සමන්‍විත ද (හත්වන පිතාමග යුගය දක්වා පිවිතුරු) ජාති ඇත්තේ ද, බොහෝ ග්‍රන්‍ථයන් හදාළේ ද, ත්‍රිවේද සඞ්ඛ්‍යායාත විද්‍යායෙන් හා ගෝත්‍රසඞ්ඛ්‍යාත චරණයෙන් යුක්ත ද, ඒ බමුණු තෙමේ ම මේ පායාසය වළඳන්නේ ය. (ඒ මිස මොබට මෙය නුසුදුසු යයි කී නියායි)
[භගවත්හු:]
බොහෝ ප්‍රලාප බෙණෙන්නේ ඇතුළත (කෙලෙසින්) කුණු වූ යේ කිලිටි වූයේ කොහොන් බැවින් පිරිවරණ ලද්දේ ජාතිමාත්‍රයෙන් බමුණෙක් නො වේ.
යමෙක් පෙර විසූ කඳපිළිවෙළ දනී ද, ස්වර්‍ගය හා අපායත් දකී ද, වැලි ජාතික්‍ෂය සඞ්ඛ්ඛ්‍යාත අර්‍හත්‍වයට පැමිණියේ ද, (මාර්‍ගඥානයෙන් චතුස්සත්‍යය) දැන නිමවන ලද (සොළොස්) කිස ඇත්තේ ද, (කායාදී) මෞනගුණ යුක්ත ද,
මේ ත්‍රිවිද්‍යායෙන් බමුණ තෙමේ තේවිජ්ජ වෙයි. විද්‍යායෙන් හා චරණධර්‍මයෙන් යුක්ත වූ හෙ තෙමේ මේ පායාසය වළඳන්නේ ය. (වැළඳීමට සුදුසු යයි වදාළ නියායි.)
[බමුණු:]
භවත් ගෞතම තෙමේ වළදාවා. භවත් තෙමේ බමුණෙකි.
[භගවත්හු:]