Saṁyutta Nikāya

Connected Discourses

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-30 · 15083 segments

පෙන්වන කොටස් 1901-2000 න් 15083

ඉක්බිති පච්චේකබ්‍රහ්ම වූ සුබ්‍රහ්ම තෙමේ ද පච්චේකබ්‍රහ්ම වූ සුද්ධාවාස තෙමේ ද යම්සේ බලවත් පුරුෂයෙක් හැකුළූ අතක් දිගු කරන්නේ හෝ වේ ද, දිගු කළ අතක් හකුළුවන්නේ හෝ වේ ද, එසෙයින් භාග්‍යවතුන් වහන්සේගේ ඉදිරියෙහි අතුරුදහන් වූවාහු ඒ බඹලොව පහළ වූහ.
ඒ බ්‍රහ්ම තෙමේ එන්නා වූ බ්‍රහ්මයන් දුරදී ම දැක්කේය. දැක ඒ බ්‍රහ්මයන්ට “නිදුකානෙනි, දැන් තෙපි කොහි සිට එවු දැ”යි මෙය කීය.
එකල්හි නිදුකානෙනි, අපි ඒ භාග්‍යවත් අර්‍හත් සම්මාසම්බුදුරජානන් වහන්සේ සමීපයෙහි සිට එමු. නිදුකානෙනි, තෙපි ඒ භාග්‍යවත් අර්‍හත් සම්මාසම්බුදුරජානන් වහන්සේට උවටැන් කිරීමට යන්නාහු ද?
මෙසේ කියන ලද ඒ බඹ තෙමේ ඒ වදන නො ඉවසමින් දහස් වරක් තමා මවා ගෙණ පච්චේකබ්‍රහ්ම වූ සුබ්‍රහ්මහට නිදුකානෙනි, තෙපි මාගේ මෙබඳු වූ ඍද්ධ්‍යානුභාවය නො දකිවු දැ යි මෙය කීය.
නිදුකානෙනි, මම තොපගේ මෙබඳු ඍද්ධ්‍යානුභාවය දකිම් ම ය.
නිදුකානෙනි, ඒ මම මෙබඳු මහත් ඍද්ධි ඇත්තෙම් මෙබඳු මහත් අනුභාව ඇත්තෙම් අන් කවර මහණකුට හෝ බමුණකුට හෝ උවටැන් කිරීමට යන්නෙම් ද?
ඉක්බිති පච්චේකබ්‍රහ්ම වූ සුබ්‍රහ්ම තෙමේ දෙදහස් වරක් තමා මවා ගෙණ ඒ බඹහට නිදුකානෙනි, තෙපි මාගේ මෙබඳු ඍද්ධ්‍යානුභාවය නො දකිවු දැ’යි මෙය කීය.
නිදුකානෙනි, මම තොපගේ මෙබඳු ඍද්ධ්‍යානුභාවය දකිම් ම ය.
නිදුකානෙනි, තොපට ද අපට ද වඩා ඒ භාග්‍යවතුන් වහන්සේ ම මහත් ඍද්ධිත් ඇති සේක. මහත් අනුභාවත් ඇති සේක. නිදුකානෙනි, තෙපි ඒ භාග්‍යවත් අර්‍හත් සම්මාසම්බුදුරජාණන් වහන්සේගේ උවටැනට යවු.
ඉක්බිති ඒ බඹ තෙමේ පච්චේකබ්‍රහ්ම වූ සුබ්‍රහ්මහට ගාථායෙන් කී ය.
තුන්සියක් ගුරුළුරූ නොහොත් ගුරුළුපඞ්ක්ති ද, හාරසීයක් හංසරූප නොහොත් හංසපඞ්ක්ති ද, පන්සියක් ව්‍යාඝ්‍රසදෘශ මෘගරූප නොහොත් වගවැළ ද ධ්‍යායී වූ මාගේ (විමානයෙහි වෙත්) බ්‍රහ්මය, ඒ මේ විමන උතුරුදික්හි ආලෝක කරමින් බබලයි. (මෙසේ ඉසුරුමත් මම අන්කවරකුට නම් උවටැන් කරන්නෙම් ද?)
වැලි තොපගේ මේ විමන උතුරුදික්හි ආලෝක කෙරෙමින් බබාලා ද (එහෙත්) රූපයෙහි දෝෂය ද, හැමකල්හි කම්පිත බවද දැක එහෙයින් මනා නුවණැත්තේ රූපයෙහි නො ඇලෙයි.
ඉක්බිති පච්චේකබ්‍රහ්ම වූ සුබ්‍රහ්ම ද පච්චේකබ්‍රහ්ම වූ සුද්ධාවාද ද ඒ බඹහට සංවේගය දන්වා එහි ම අතුරුදන් වූහ. පසු කලෙක ඒ බඹ තෙමේ භාග්‍යවත් අර්‍හත් සම්මාසම්බුදුරජාණන් වහන්සේගේ උවටැනට ගියේ ද විය.
6. 1. 7.
කෝකාලික සූත්‍රය
178. සැවැත්නුවර–
එකල්හි භාග්‍යවතුන් වහන්සේ දිවාවිහාරය පිණිස වැඩිසේක් විවේකී වූ සේක. එකල්හි පච්චේකබ්‍රහ්ම වූ සුබ්‍රහ්ම තෙමේ ද පච්චේකබ්‍රහ්ම වූ සුද්ධාවාස තෙමේ ද භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹිය හ. එළඹ වෙන් වෙන් දොරබා ඇසුරු කොට සිටියහ. ඉක්බිති පච්චේකබ්‍රහ්ම වූ සුබ්‍රහ්ම තෙමේ කෝකාලික මහණ ඇරබ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කී ය.
මේ ලෝකයෙහි කවර නම් නුවණැත්තෙක් අප්‍රමේය වූ ක්‍ෂීණාස්‍රවයා පමණ කෙරෙමින් කල්පනා කරන්නේ ද, අප්‍රමේය වූ ක්‍ෂීණාස්‍රවයන් පමණ කරන්නාවූ ඒ පෘතග්ජනයා අවකුජ්ජපඤ්ඤ පුද්ගලයෙකැයි හඟිමි.
6. 1. 8.
කතමෝරකතිස්ස සූත්‍රය
179. සැවැත්නුවර–
එකල්හි භාග්‍යවතුන් වහන්සේ දිවාවිහාරය පිණිස වැඩිසේක් විවේකී වූ සේක. එකල්හි පච්චේකබ්‍රහ්ම වූ සුබ්‍රහ්ම තෙමේ ද පච්චේකැබ්‍රහ්ම වූ සුද්ධාවාස තෙමේ ද භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹිය හ. එළඹ වෙන් වෙන් දොරබා ඇසුරු කොට සිටිය හ. ඉක්බිති පච්චේකබ්‍රහ්ම වූ සුද්ධාවාස තෙමේ කතමෝරකතිස්සක මහණහු ඇරබ භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි මේ ගාථාව කී ය.
මේ ලෝකයෙහි කවර නම් නුවණැත්තෙක් අප්‍රමේය වූ ක්‍ෂීණාස්‍රවයා පමණ කෙරෙමින් කල්පනා කරන්නේ ද, අප්‍රමේය වූ ක්‍ෂීණාස්‍රවයන් පමණ කරන්නා වූ ඔහු අවකුජ්ජපඤ්ඤ වූ අඥානයෙකැ යි හඟිමි.
6. 1. 9.
තුදුබ්‍රහ්ම සූත්‍රය
180. සැවැත්නුවර–
එකල්හි කෝකාලික මහණ තෙමේ හටගත් අබාධ ඇත්තේ දුකට පැමිණියේ අධිමාත්‍ර කොට ගිලන් වූයේ වේ. ඉක්බිති මනා ඡවිවර්‍ණ ඇති තුදු නම් පච්චේකබ්‍රහ්ම තෙමේ රෑ පෙරයම ඉක්ම ගිය කල්හි මුළු දෙව්රම බබුළුවා කෝකාලික මහණ වෙත එළඹියේ ය. එළඹ අහස සිටියේ කෝකාලික මහණහට මෙය කී ය. කෝකාලික, සැරියුත් මුගලන් දෙනම කෙරෙහි සිත පහදව. සැරියුත් මුගලන් දෙදෙනා වහන්සේ ප්‍රියශීලී හ යි.
ඇවැත්නි, තෝ කවරෙහි ද? මම තුදුපච්චේකබ්‍රහ්ම වෙමි. ඇවැත්නි, තෝ අනාගාමී යයි භාග්‍යවතුන් වහන්සේ විසින් පවසන ලද්දේ නො වේ ද? එසේ ඇති කල්හි කුමකට මෙහි ආයෙහි ද? තා විසින් මේ කොතරම් අපරාධයෙක් කරණ ලද්දේ දැයි බලව.
අඥාන තෙමේ දුබැසි බෙණෙමින් යමෙකින් තමා සිඳී ද? උපන් (එබඳු) මිනිසා ගේ මුවෙහි (ඒ තමා නසන) කෙටේරිය හට ගණී.
යමෙක් නින්‍දා කටයුත්තා පසසා ද, යමෙක් පැසසිය යුත්තේ නම් ඔහුට නින්‍දා හෝ කෙරේ ද, හෙ තෙමේ මුවෙන් පව් රැස් කෙරේ. ඒ පවින් සුවයක් නො විඳී.
දූකෙළීම් ආදියෙහි යම් වස්තු පරාජයෙක් වේ ද, තමනුත් සමග සියලු දේ සම්බන්‍ධ (යම් පරිහාණියෙකුත් වේ ද,) ඒ අපරාධය ඉතා ස්වල්ප ය. යමෙක් ශෝභන ගති ඇත්තවුන් කෙරෙහි සිත දුෂ්ට කරන්නේ ද, මෙය ම ඉතා මහත් අපරාධ යයි.
ආර්‍ය්‍යයන්ට ගරහන පුද්ගල තෙමේ ලාමක වූ වචන ද, සිත ද පිහිටුවා (ඒ හේතුවෙන්) යම් නිරයකට පැමිණේ ද, (එහි ආයුෂ) නිරබ්බුද ලක්‍ෂයෙක් ද සතිසෙක් ද, අබ්බුද පසෙක් ද වෙත්.
6. 1. 10.
දුතියකෝකාලික සූත්‍රය
181. සැවැත්නුවර–
එකල්හි කෝකාලික මහණ තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේට වැඳ එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් කෝකාලික මහණ තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේ ය. වහන්ස, සැරියුත් මුගලන් තෙරහු ලාමක ආශා ඇත්තෝ ය. ලාමක ආශාවන්ට වසඟ වූවෝ ය.
මෙසේ කී කල්හි භාග්‍යවතුන් වහන්සේ කෝකාලික මහණහට මෙය වදාළ සේක. කෝකාලික, එසේ නො කියව. කෝකාලික, එසේ නො කියව. කෝකාලික, සැරියුත් මුගලන් දෙනම කෙරෙහි සිත පහදව. සැරියුත් මුගලන් දෙනම ප්‍රියශීලීහ.
දෙවනවට දු කෝකාලික මහණ තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේ ය: වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මා විසින් ඇදහියයුතු වචන ඇත්තාහු ම ය. විශ්වාස කටයුතු වචන ඇත්තාහු ම ය. එතෙකුදු වුවත් සැරියුත්මුගලන් තෙරහු ලාමක ආශා ඇත්තාහු ම ය. ලාමක ආශාවන්ගේ වශයට ගියාහු ම යයි.
දෙවනවට දු භාග්‍යවතුන් වහන්සේ කෝකාලික මහණහට මෙය වදාළ සේක. “කෝකාලික, එසේ නොකියව. කෝකාලික, එසේ නොකියව. කෝකාලික, සැරියුත් මුගලන් දෙනම කෙරෙහි සිත පහදව. සැරියුත්මුගලන් තෙරහු ප්‍රියශීලීහ” යි.
තෙවනවට දු කෝකාලික මහණ තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේ ය ... ලාමක ආශාවන්ගේ වශයට ගියාහු යි.
තෙවනවට දු භාග්‍යවතුන් වහන්සේ කෝකාලික මහණහට මෙය වදාළ සේක. ... සැරියුත්මුගලන් තෙරහු ප්‍රියශීලීහ” යි.
ඉක්බිති කෝකාලික මහණ තෙමේ හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට ගියේ ය. ගිය නොබෝකල් ඇති කෝකාලික මහණහුගේ මුළුකය අබ පමණ වූ ගඩුයෙන් පතුළේ විය. අබ පමණ ව මුං පමණ වූහ. මුං පමණ ව මැහැ පමණ වූහ. මැහැ පමණ ව ඩෙබරඇට පමණ වූහ. ඩෙබරඇට පමණ ව ඩෙබර පමණ වූහ. ඩෙබර පමණ ව ඇඹුළුපක් පමණ වූහ. ඇඹුලුපක් පමණ ව බෙලිබොබොළු පමණ වූහ. බෙලිබොබොළු පමණ ව බෙලි පමණ වූහ. බෙලි පමණ ව බිඳුනාහු ය. පූයාව ද ලේ ද වැගුරුණහ. ඉක්බිති කෝකාලික මහණ තෙමේ ඒ රෝගයෙන් ම කලුරිය කළේ ය. කලුරිය කළ කෝකාලික මහණ තෙමේ සැරියුත්මුගලන් දෙනම කෙරෙහි සිත වෛර බැඳ පදුම නිරයට පැමිණියේ ය.
ඉක්බිති මනා ඡවිවර්‍ණ ඇති සහම්පති බ්‍රහ්ම තෙමේ රෑ පෙරයම ඉක්ම ගිය කල්හි මුළු දෙව්රම බබුළුවා භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියේ ය. එකත්පසෙක සිටි සහම්පති බ්‍රහ්ම තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළේ ය. වහන්ස, කෝකාලික මහණ තෙමේ කලුරිය කළේ ය. වහන්ස, කලුරිය කළ කෝකාලික මහණ තෙමේ සැරියුත් මුගලන් දෙනම කෙරෙහි සිත වෛර බැඳ පදුමනිරයට පැමිණියේ යයි. සහම්පති බ්‍රහ්ම තෙමේ මෙය කී ය. මෙය කියා භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට එහි ම අතුරුදහන් විය.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ රැය ඉක්ම යෑමෙන් භික්‍ෂූන් ඇමතූ සේක. මහණෙනි, මේ රැය මනා ඡවිවර්‍ණ ඇති සහම්පති බ්‍රහ්ම තෙමේ රෑ පෙරයම ඉක්ම ගිය කල්හි මුළු දෙව්රම බබුළුවා මා වෙත එළඹියේ ය. එළඹ මට වැඳ එකත්පසෙක සිටියේ ය. මහණෙනි, එකත්පසෙක සිටි සහම්පති බ්‍රහ්ම තෙමේ මට මෙය කී ය. වහන්ස, කෝකාලික මහණ තෙමේ කලුරිය කළේ ය. වහන්ස, කලුරිය කළ කෝකාලික මහණ තෙමේ සැරියුත් මුගලන් දෙනම කෙරෙහි සිත වෛර බැඳ පදුමනිරයට පැමිණියේ යයි. මහණෙනි, සහම්පති බ්‍රහ්ම තෙමේ මෙය කී ය. මෙය කියා මට වැඳ පැදකුණු කොට එහි ම අතුරුදහන් වි ය.
මෙසේ වදාළ කල්හි එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළේ ය. වහන්ස, පුදුමනිරයෙහි ආයුඃප්‍රමාණය කොපමණ දිග ද? මහණෙනි, පදුමනිරයෙහි ආයුඃප්‍රමාණය දිග ම ය. එය වර්‍ෂ මෙතෙකැයි කියා හෝ වර්‍ෂ මෙතෙක් සියෙකැයි කියා හෝ වර්‍ෂ මෙතෙක් දහසෙකැයි කියා හෝ වර්‍ෂ මෙතෙක් ලක්‍ෂයෙකැ යි කියා හෝ ගණන් කරන්නට පහසු නො වේ. වහන්ස, උපමාවක් කරන්නට හැක්කේ ද? මහණ හැකි යයි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
මහණ, යම්සේ කොසොල්රට ගණනින් විංශත්ඛාරියක් ගන්නා තලයාළෙක් වේ ද, පුරුෂයෙක් සියවසක් සියවසක් ඇවෑමෙන් එයින් එක් තලඇටය ඉවත දමන්නේ නම්, මහණ, කොසොල්රට ගණනින් විසිඛාරියක් ඇති ඒ තලයාළ මේ උපක්‍රමයෙන් වහා ගෙවීමට අවසන් වීමට යන්නේ ය. (එහෙත්) එක් අබ්බුද නිරයක ආයුෂය නො ගෙවෙන්නේ ම ය. මහණ, අබ්බුද නිරය විස්සෙක ආයුඃප්‍රමාණය යම් බඳු ද, එක් නිරබ්බුද නිරයෙක ආයුඃප්‍රමාණය එබඳු ය. මහණ, නිරබ්බුද නිරය විස්සෙක් යම් බඳු ද, එක් අබබ නිරයෙක් එබඳු වෙයි. මහණ, අබබනිරය විස්සෙක් යම් බඳු ද, එක් අටට නිරයෙක් එබඳු වෙයි. මහණ, අටටනිරය විස්සෙක් යම්සේ ද, එක් අහහ නිරයෙක් එසේ ය. මහණ, අහහ නිරය විස්සෙක් යම් සේ ද, එක් කුමුද නිරයෙක් එසේ ය. මහණ, කුමුද නිරය විස්සෙක් යම්සේ ද එක් සොගන්‍ධික නිරයෙක් එසේ ය. මහණ, සොගන්‍ධික නිරය විස්සෙක් යම්සේ ද, එක් උප්පලනිරයෙක් එසේ ය. මහණ, උප්පලනිරය විස්සෙක් යම්සේ ද, එක් පුණ්ඩරීක නිරයෙක් එසේ ය. මහණ පුණ්ඩරීක නිරය විස්සෙක් යම්සේ ද, එක් පදුම නිරයෙක් එසේ ය. මහණ කෝකාලික මහණ තෙමේ සැරියුත් මුගලන් දෙනම කෙරෙහි සිත වෛර බැඳ (ඒ) පදුම නිරයට පැමිණියේ යි. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සුගත වූ ශාස්තෘන් වහන්සේ මෙය වදාරා නැවත ද මෙය වදාළ සේක.
අඥාන තෙමේ දුබැසි බෙණෙමින් යමෙකින් තමා සිඳී ද, උපන් (එබඳු) මිනිසාගේ මුවෙහි (ඒ තමා නසන) කෙටේරිය හටගණී.
යමෙක් නින්‍දා කටයුත්තා පස්සා ද, යමෙක් පැසසිය යුත්තේ නම් ඔහුට නින්‍දා හෝ කෙරේ ද, හෙ තෙමේ මුවෙන් පව් රැස් කෙරෙයි. ඒ පවින් සුවයක් නො විඳී.
දූකෙළීම් ආදියෙහි යම් වස්තු පරාජයෙක් වේ ද, තමනුත් සමග සියලු දෙය සම්බන්‍ධ (යම් පරිහානියකුත් වේද,) ඒ අපරාධය ඉතා ස්වල්ප ය. යමෙක් සෝභන ගති ඇත්තවුන් කෙරෙහි සිත දුෂ්ට කරන්නේ ද, මෙය ම ඉතා මහත් අපරාධ යයි.
ආර්‍ය්‍යයන්ට ගරහන පුද්ගල තෙමේ ලාමක වූ වචන ද, සිත ද පිහිටුවා (ඒ හේතුවෙන්) යම් නිරයකට පැමිණේ ද, එහි ආයුෂය නිරබ්බුද ලක්‍ෂයෙක් ද සතිසෙක් ද අබ්බුද පසෙක් ද වෙත්.
කෝකාලික වර්‍ගය පළමු වැනියි.
උද්දානය:
ආයාචන, ගාරව, බ්‍රහ්මදේව, බකබ්‍රහ්ම, අපරාදිට්ඨි, පමාද, කෝකාලික, තිස්සක, තුදුබ්‍රහ්ම, අනෙක් කෝකාලික සූත්‍ර යයි දශයෙකි.
2. පරිනිබ්බාණ වර්‍ගය
6. 2. 1.
සනඞ්කුමාර සූත්‍රය
182. මා විසින් මෙසේ අසන ලදී: එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි සප්පිනී ගංතෙර වැඩවසන සේක. එකල්හි මනා ඡවිවර්‍ණ ඇති සනඞ්කුමාර බ්‍රහ්ම තෙමේ රෑ පෙරයම ඉක්ම ගිය කල්හි මුළු සප්පිනී ගංතෙර බබුළුවා භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියේ ය. එකත්පසෙක සිටි සනඞ්කුමාර බ්‍රහ්ම තෙමේ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කී ය.
ප්‍රජායෙහි යම් කෙනෙක් වංශය සලකන්නාහු ද (ඔවුන් අතුරෙන්) ක්‍ෂත්‍රිය තෙමේ ශ්‍රේෂ්ඨ යි. ත්‍රිවිද්‍යාවෙන් හා පසළොස්චරණ ධර්‍මයන් ගෙන් යුක්ත වූ ඒ ක්‍ෂීණාස්‍රව බ්‍රාහ්මණ තෙමේ දෙවි මිනිසුන් අතරෙහි ශ්‍රේෂ්ඨ වේ.
සනඞ්කුමාර බ්‍රහ්ම තෙමේ මෙය කී ය: ශාස්තෲන් වහන්සේ අනුමෝදන් වූ සේක. ඉක්බිති සනඞ්කුමාර බ්‍රහ්ම තෙමේ ශාස්තෲන් වහන්සේ මාගේ වචනය අනුමෝදන් වූ සේකැ යි භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට එහි ම අතුරුදන් විය.
6. 2. 2.
දේවදත්ත සූත්‍රය
183. මා විසින් මෙසේ අසන ලදී: එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ දෙව්දත් සස්නෙන් බැහැර ගිය නො බොහෝ කලැ ම රජගහනුවර සමීපයෙහි ගිජුකුළුපව්වෙහි වැඩවසන සේක. එකල්හි මනා ඡවිවර්‍ණ ඇති සහම්පති බ්‍රහ්ම තෙමේ රෑ පෙරයම ඉක්ම ගිය කල්හි මුළු ගිජුකුළුපව්ව බබුළුවා භාග්‍යවතුන්වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියේ ය. එකත්පසෙක සිටි සහම්පති බ්‍රහ්ම තෙමේ දෙව්පුතු ඇරබ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කී ය.
යම්සේ ඵලය තෙමේ ඒකාන්තයෙන් කෙසෙල්ගස නසා ද, ඵලය තෙමේ මහහුණ නසා ද, ඵලය රනහුණ නසා ද, දරුගැබ (ගද්‍රභයාට දාව උපන් නහඹු) වෙළඹ නසා ද, එසෙයින් ම සත්කාරය තෙමේ නින්‍දිත පුරුෂයා නසයි.
අන්‍ධකවින්‍ද සූත්‍රය
184. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ මගදරට අන්‍ධකවින්‍ද ගම්හි වැඩවසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ රෑ බොල් අඳුරෙහි අබවස වැඩ හුන් සේක. මේඝය ද එකී එකි පොද හෙළයි.
එකල්හි මනා ඡවිවර්‍ණ ඇති සහම්පති බ්‍රහ්ම තෙමේ රෑ පෙරයම ඉක්ම ගිය කල්හි මුළු අන්‍ධකවින්‍දය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියේ ය. එකත්පසෙක සිටි සහම්පති බ්‍රහ්ම තෙමේ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථා කී ය.
ගැඹුරු වල සෙනසුන් සෙවුනේ ය. සංයෝජනයන් ගෙන් මිදීම පිණිස හැසිරෙන්නේ ය. එහි ඉදින් ඇල්මක් නොලබන්නේ නම් රක්නා ලද සිත් ඇතිව (සබ්‍රම්සරුන් නො ගටා) සිහි ඇති ව සඞ්ඝයා අතර වෙසෙන්නේ ය.
ගෝපනය කරණ ලද ඉඳුරන් ඇති ව තීරණප්‍රඥා ඇති ව සිහි ඇති ව කුලයෙන් කුලයට පිඬු පිණිස හැසිරෙමින් ප්‍රාන්ත වූ වනසෙනසුන් සෙවුනේ ය. සසරබියෙන් මිදුනේ නිවණෙහි අධිමුත්ක ව (වසන්නේ ය.)
යම් තැනෙක බිහිසුණු අරමුණුත් සර්‍පයෝත් වෙද් ද. විදුලිය ලෙළෙයි ද, මේඝය ගිගිරි කෙරේ ද, මහණ තෙමේ එහි රෑ ගණඳුරෙහි පහවූ ලොමුදහ ගැණුම් ඇතිව හුන්නේ ය.
මෙය වූ කලි මා විසින් ඒකාන්තයෙන් දක්නා ලද්දේ ය. මම මෙය මෙසේ මෙසේ යයි (තර්‍කාදි වශයෙන්) නො කියමි. එක් දහම් දෙසුමෙක මරු පරයා සිටි රහතුන් දහසෙක් ද (වෙයි.)
බොහෝ සේ ශෛක්‍ෂයෝ පන්සියයෙක් ද දශයෙක් ද සියයෙක් ද (වෙති) සියල්ලෝ මාර්‍ගශ්‍රෝතසට පැමිණියාහු අවිනිපාත ස්වභාව ඇත්තෝ වෙති.
යලි මේ අන්‍යප්‍රජා තොමෝ පිණට හිමි යයි මාගේ අදහසයි. (ඔවුන්) ගණින්නට නො හැක්කෙමි. බොරුවට (මා අසුවෙතැයි) බමි.
6. 2. 4.
අරුණවතී සූත්‍රය
185. මා විසින් මෙසේ අසන ලදී: එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬුසිටුහුගේ අරම්හි වැඩවසන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමතූ සේක. ඒ භික්‍ෂූහු පින්වතුන් වහන්සැයි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:
පෙරවූවක් කියමි. මහණෙනි, අරුණවත් නම් රජෙක් විය. මහණෙනි, අරුණවත් රජහට අරුණාවතී නම් රාජධානියෙක් විය. මහණෙනි, භාග්‍යවත් අර්‍හත් සිඛී සම්මාසම්බුදුරජානන් වහන්සේ අරුණාවතී රාජධානිය ඇසුරු කොට වැඩවිසූ සේක. මහණෙනි, භාග්‍යවත් අර්‍හත් සිඛී සම්මාසම්බුදුරජානන් වහන්සේට අභිභූසම්භව නම් අග්‍ර වූ භද්‍රයුගලය වූ ශ්‍රාවක යුගලයෙක් වි ය.
ඉක්බිති භාග්‍යවත් අර්‍හත් සිඛී සම්මාසම්බුදුරජානන් වහන්සේ අභිගු මහණ ඇමතූ සේක. “බමුණ, යමු බත් වේලාව යම්තාක් වේ ද, එක්තරා බඹලොවකට එළඹෙන්නෙමු”යි. මහණෙනි, අභිගු මහණ තෙමේ වහන්ස, එසේ යයි භාග්‍යවත් අර්‍හත් සිඛී සම්මාසම්බුදුරජානන් වහන්සේට පිළිවදන් ඇස්වී ය.
මහණෙනි, ඉක්බිති භාග්‍යවත් අර්‍හත් සිඛී සම්මාසම්බුදුරජානන් වහන්සේ ද අභිගු මහණ තෙමේ ද යම්සේ බලවත් පුරුෂයෙක් හැකුළූ අතක් දිගු කරන්නේ හෝ වේ ද, දිගු කළ අතක් හකුළුවන්නේ හෝ වේ ද, එසෙයින් ම අරුණවතී රාජධානියෙන් අතුරුදන් වූවාහු ඒ බඹලොව පහළ වූහ.
මහණෙනි, ඉක්බිති භාග්‍යවත් අර්‍හත් සිඛී සම්මාසම්බුදුරජානන් වහන්සේ අභිගු මහණ ඇමතූ සේක: බමුණ, බඹහට ද බඹපිරිසට ද අතැවැසි බඹුන්ට ද දැහැමි කථාවෙක් තොපට වැටහේවා”යි. මහණෙනි, අභිගු මහණ තෙමේ වහන්ස එසේ යයි භාග්‍යවත් අර්‍හත් සිඛී සම්මාසම්බුදුරජානන් වහන්සේට පිළිවදන් අස්වා බඹු ද බඹ පිරිස ද අතැවැසි බඹුන් ද දැහැමි කථායෙන් කරුණු දැක්වී ය. සමාදන් කරවී ය. උත්සාහවත් කරවී ය. සතුටු කරවී ය.
මහණෙනි, එහි දී බඹු ද බඹපිරිස ද අතැවැසි බඹහු ද “පින්වත්නි, ඒකාන්තයෙන් ආශ්චර්‍ය්‍යයෙකි! පින්වත්නි, ඒකාන්තයෙන් අද්භූතයෙකි. ශාස්තෲන් වහන්සේ ඉදිරියෙහි ඇති කල්හි කෙසේ නම් සව්වෙක් දහම් දෙසා දැ යි අවමන් කෙරෙත්, ගරහත්, දොස් පහළ කෙරෙත්.
මහණෙනි, ඉක්බිති භාග්‍යවත් අර්‍හත් සිඛී සම්මාසම්බුදුරජානන් වහන්සේ අභිගු මහණ ඇමතූ සේක. බමුණ, බඹු ද බඹපිරිස ද අතැවැසි බඹහු ද “පින්වත්නි, ඒකාන්තයෙන් ආශ්චර්‍ය්‍යයෙකි. පින්වත්නි, ඒකාන්තයෙන් අද්භූතයෙකි. ශාස්තෲන් වහන්සේ ඉදිරියෙහි ඇති කල්හි කෙසේ නම් සව්වෙක් දහම් දෙසා දැ”යි තොපට අවමන් කෙරෙත්. බමුණ, එසේ වී නම් තෙපි බඹු ද බඹපිරිස ද අතැවැසි බඹුන් ද බොහෝ සෙයින් සංවේගයට පමුණුවව්”යි.
මහණෙනි, අභිගු මහණ තෙමේ වහන්ස, එසේ යයි භාග්‍යවත් අර්‍හත් සම්මාසම්බුදුරජානන් වහන්සේට පිළිවදන් අස්වා පෙණෙන කයින් යුක්තව ද දහම් දෙසී ය. නොපෙණෙන කයින් යුක්ත ව ද දහම් දෙසී ය. පෙණෙන යටඅඩකයින් යුක්තව ද නොපෙණන උඩ අඩකයින් යුක්තව ද දහම් දෙසී ය. පෙණෙන උඩ කයින් යුක්තව ද නොපෙණන යට අඩකයින් යුක්තව ද දහම් දෙසී ය.
මහණෙනි, එහි දී බඹු ද බඹපිරිස ද අතැවැසි බඹුහු ද මහණහුගේ මහත් ඍද්ධි ඇතිබව මහත් අනුභාව ඇති බව පින්වත්නි, ඒකාන්තයෙන් ආශ්චර්‍ය්‍යයෙකි. පින්වත්නි, ඒකාන්තයෙන් අද්භූතයෙකි”යි ආශ්චර්‍ය්‍යාද්භූත සිත් ඇත්තෝ වූහ.
මහණෙනි, ඉක්බිති අභිගු මහණ තෙමේ භාග්‍යවත් අර්‍හත් සම්මාසම්බුදුරජාණන් වහන්සේට වහන්ස, මම බික්සඟන මැද ඇවැත්නි, මම බඹලොව සිටියෙම් සහශ්‍රීලෝකධාතුව සරයෙන් හඟවන්නට (කටහඬ පතුරු වන්නට සමත්මි”යි මෙබඳු වචනයක් කීයෙම් දනිම් ම යයි මෙය කී ය.
බමුණ, තෙපි යම් හෙයකින් බඹලොව සිටියාහු සහශ්‍රීලෝකධාතුව සරයෙන් හඟවන්නහු නම් බමුණ, මෙයට කාලය යි. බමුණ, මෙයට කාලය යි.
මහණෙනි, අභිගු මහණ තෙමේ වහන්ස, එසේ යයි භාග්‍යවත් අර්‍හත් සම්මාසම්බුදුරජානන් වහන්සේට පිළිවදන් අස්වා බඹලොව සිටියේ මේ ගාථා කී ය.
ආරම්භවීර්‍ය්‍යය කරවු, නිෂ්ක්‍රමණවිර්‍ය්‍යය කරවු, බුදුසසුනෙහි යෙදෙවු, ඇතෙක් බටදඬුයෙන් කළ ගෙයක් වනසන්නාක් මෙන් මරසෙනඟ නසවු.
යමෙක් මේ සස්නෙහි අප්‍රමත්ත ව වෙසෙන්නේ ද (හෙ තෙමේ) ජාතිය හා සංසාරය දුරු කොට දුක් කෙළවර කරන්නේ ය.
මහණෙනි, ඉක්බිති භාග්‍යවත් අර්‍හත් සිඛී සම්මාසම්බුදුරජානන් වහන්සේ ද, අභිගු මහණ තෙමේ ද බඹුත් බඹපිරිසත් අතැවැසිබඹුනුත් සංවේගයට පමුණුවා යම්සේ බලවත් පුරුෂයෙක් හැකුළූ අතක් දිගු කරන්නේ හෝ වේ ද, දිගු කළ අතක් හකුළුවන්නේ හෝ වේ ද, එසෙයින් ම ඒ බඹලොව අතුරුදන් වූවාහු අරුණාවතී රාජධානියෙහි පහළ වූහ.
මහණෙනි, ඉක්බිති භාග්‍යවත් අර්‍හත් සිඛී සම්මාසම්බුදුරජානන් වහන්සේ භික්‍ෂූන් ඇමතූ සේක. මහණෙනි, තෙපි බඹලොව සිට අභිගු මහණ ගාථා කියද්දී නොඇසූහු ද? වහන්ස, අපි අභිගු මහණ බඹලොව සිට ගාථා කියද්දී අසූම්හ. මහණෙනි, තෙපි අභිගු මහණ බඹලොව සිට ගාථා කියද්දී ඒ කෙසේ නම් ඇසූහු ද? වහන්ස, අපි අභිගු මහණ බඹලොව සිට ගාථා කියද්දී මෙසේ ඇසුම්හ.
ආරම්භවීර්‍ය්‍යය කරව්, නිෂ්ක්‍රමණවිර්‍ය්‍යය කරව්, බුදුසසුන්හි යෙදෙව්. ඇතකු බටදඬුගෙයක් වනසන්නාක් මෙන් මරසෙනඟ නසව්.
යමෙක් මෙසස්නෙහි අප්‍රමත්තව වෙසෙන්නේ ද (හෙ තෙමේ) ජාතිය හා සංසාරය දුරු කොට දුක් කෙළවර කරන්නේ ය.
වහන්ස, අපි අභිගු මහණ බඹලොව සිට ගාථා කියද්දී මෙසේ අසූම්හ.
මහණෙනි, මැනවි, මැනවි. මහණෙනි, තෙපි අභිගු මහණ බඹලොව සිට ගාථා කියද්දී ඇසූහු ය. මැනවි. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සතුටුසිත් ඇති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව පිළිගත්හ.
6. 2. 5.
පරිනිබ්බාණ සූත්‍රය
186. මා විසින් මෙසේ අසන ලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් සමයෙහි කුසිනාරානුවර උපවත්තන නම් වූ මල්ලරජුන්ගේ සල්උයනෙහි සල්රුක්යුවල අතරෙහි වැඩවසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමතූ සේක: මහණෙනි, දැන් වනාහි තොප අමතමි. සංස්කාරයෝ නැසෙන සුල්ලහ. අප්‍රමාදයෙන් සම්පාදනය කරව්. මෙය තථාගතයන් වහන්සේගේ අන්තිම වචනයයි.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ප්‍රථමධ්‍යානයට සමවන් සේක. ප්‍රථමධ්‍යානයෙන් නැගිට ද්විතීයධ්‍යානයට සමවන් සේක. ද්විතීයධ්‍යානයෙන් නැගිට තෘතීයධ්‍යානයට සමවන් සේක. තෘතීයධ්‍යානයෙන් නැගිට චතුර්‍ත්‍ථධ්‍යානයට සමවන් සේක.
චතුර්‍ත්‍ථධ්‍යානයෙන් නැගිට අකාසානඤ්චායතනයට සමවන් සේක. අකාසානඤ්චායතනයෙන් නැගිට විඤ්ඤාණඤ්චායතනයට සමවන් සේක. විඤ්ඤාණඤ්චායතනයෙන් නැගිට ආකිඤ්චඤ්ඤායතනයට සමවන් සේක. ආකිඤ්චඤ්ඤායතනයෙන් නැගිට නේවසඤ්ඤානාසඤ්ඤායතනයට සමවන් සේක. නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙන් නැගිට සඤ්ඤාවේදයිතනිරෝධයට සමවන් සේක.