Saṁyutta Nikāya

Connected Discourses

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-30 · 15083 segments

පෙන්වන කොටස් 101-200 න් 15083

නන්‍දති සූත්‍රය
12. සැවැත්නුවර–
එකත්පසෙක සිටි ඒ දෙවි තෙමේ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගය කී ය:
පුතුන් ඇත්තේ පුතුන්ගෙන් සතුටු වෙයි. එසේ ම ගවහිමියා ගවයන්ගෙන් සතුටු වෙයි. මේ කාමෝපධීහු ම මිනිසාගේ නන්‍දනයෝ යි. යමෙක් උපධි නැත්තේ ද හෙතෙමේ නො ම සතුටු වෙයි.
[භගවත්හු:]
පුතුන් ඇත්තේ පුතුන්ගෙන් ශෝක කෙරෙයි. එසේ ම ගවහිමියා ගවයන්ගෙන් ශෝක කෙරෙයි. මේ කාමෝපධීහු ම මිනිසාගේ ශෝචනයෝයි. යමෙක් උපධි නැත්තේ ද හෙතෙමේ නො ම ශෝක කෙරේ යි.
1. 2. 3.
නත්‍ථිපුත්තසම සූත්‍රය
13. සැවැත්නුවර–
එකත්පසෙක සිටි ඒ දෙවි තෙමේ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගය කී ය:
පුත්‍රප්‍රේමය හා සම ප්‍රේමයෙක් නැත. ගෝධනය හා සම ධනයෙක් නැත. හිරු හා සම එළියෙක් නැත. විල්හු මුහුද පරම කොට ඇත්තාහ. (මුහුද හා සම විලෙක් නැතැයි යූ සේ යි.)
[භගවත්හු:]
ආත්මප්‍රේමය හා සම ප්‍රේමයක් නැත. ධාන්‍ය හා සම ධනයෙක් නැත. ප්‍රඥාව හා සම ආලෝකයෙක් නැත. ඒකාන්තයෙන් වැස්ස පරම විලයි.
1. 2. 4.
ඛත්තිය සූත්‍රය
14. සැවැත්නුවර–
එකත්පසෙක සිටි ඒ දෙවි තෙමේ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගය කී ය:
දෙපා ඇත්තවුන් අතුරෙන් ක්‍ෂත්‍රියයා ශ්‍රේෂ්ඨ ය. සිවුපාවුන් අතුරෙන් ගවයා ශ්‍රේෂ්ඨ ය. භාර්‍ය්‍යාවන් අතුරෙන් බාලකාලයෙහි පාවා ගන්නා ලද්දී ශ්‍රේෂ්ඨ ය. පුතුන් අතුරින් වැඩිමහල්ලා ශ්‍රේෂ්ඨ ය.
[භගවත්හු:]
දෙපා ඇත්තවුන් අතුරෙන් බුදුරජාණන් වහන්සේ ශ්‍රේෂ්ඨයහ. සිවුපාවුන් අතුරෙන් ආජානීය අශ්වයා ශ්‍රේෂ්ඨ ය. භාර්‍ය්‍යාවන් අතුරෙන් හිමියා පිණවන්නී ශ්‍රේෂ්ඨ ය. පුතුන් අතුරින් කීකරු වූයේ ශ්‍රේෂ්ඨ ය.
1. 2. 5.
සනමාන සූත්‍රය
15. සැවැත්නුවර–
[දෙවි:]
සිටි මද්දහනෙහි පක්‍ෂීන් ඉසුඹු ලන කල්හි වනය (මහත් සේ) හඬ නගන්නාක් මෙනි. එය මට බියක් ව වැටහේ.
[භගවත්හු:]
සිටි මද්දහනෙහි පක්‍ෂීන් ඉසුඹු ලන කල්හි මහවනය (මහත් සේ) හඬ නගන්නාක් මෙනි. එය මට සිත් පිණවන්නක් ව වැටහේ යි.
1. 2. 6.
නිද්දාතන්‍දී සූත්‍රය
16. සැවැත්නුවර–
[දෙවි:]
නින්ද, තෙමරිය, ඇඟ මැලි කැඩීම, කුසල් දහම්හි නොඇල්ම, බත්මතය යන මෙයින් මෙලොව සත්ත්‍වයන්ට ආර්‍ය්‍යමාර්‍ගය ප්‍රකට නො වේ.
[භගවත්හු:]
නින්ද, තෙමරිය, ඇඟ මැලි කැඩීම, කුසල් දහම්හි නො ඇල්ම, බත්මතය යන මොවුන් වීර්‍ය්‍යයෙන් දුරුකොට (සිටියහුට) ආර්‍ය්‍යමාර්‍ගය පිරිසිදු වේ.
1. 2. 7.
දුක්කර සූත්‍රය
17. සැවැත්නුවර–
[දෙවි:]
බාලයා විසින් මහණදම නොකට හැක්කේ ද, නොඉවසිය හැක්කේ ද වේ. යම් මහණදමෙක්හි බාලයා පසුබසී ද, එහි ඔහුට සම්බාධයෝ බොහෝ වෙති.
[භගවත්හු:]
ඉදින් සිත (වරදින්) නොවළකන්නේ නම් කී දවසක් මහණකම කරන්නේ ද? පාපවිතර්‍කයන්ට වසඟ වූයේ පියවරක් නොහොත් අරමුණක් පාසා පසු බසින්නේ ය.
ඉදිබුවා අවයව සිය කබලෙහි බහන්නාක් මෙන් මහණ තෙමේ මනෝවිතර්‍කයන් (භාවනාලම්බන නමැති කපල්ලෙහි) බහන්නේ නිඃශ්‍රය රහිත වූයේ අනුන් නොවෙහෙසන්නේ (කෙලෙස් පිරිනිවුමෙන්) පිරිනිවියේ කිසිවකුට උපවාද නො කරන්නේයි.
1. 2. 8.
හිරි සූත්‍රය
18. සැවැත්නුවර–
[දෙවි:]
ආජානීය අශ්වයා කසය වළකන්නාක් මෙන් යෙමෙක් නින්‍දා වළකා ද, ලජ්ජාවෙන් පව් වළකන (එබඳු) කිසියම් පුරුෂයෙක් ලොව ඇත් ද?
[භගවත්හු:]
ලජ්ජාවෙන් පව් වැළැක්වූ යම් කෙනෙක් හැමකල්හි සිහි ඇති ව හැසිරෙද්ද, දුකෙහි කෙළවරට පැමිණ විෂමලෝකයෙහි සම ව හැසිරෙද්ද, ඔහු ස්වල්ප දෙනෙකි.
1. 2. 9.
කුටිකා සූත්‍රය
19. සැවැත්නුවර–
[දෙවි:]
කිම මුඹ වහන්සේට කුටියෙක් නැද්ද? කිම (මුඹ වහන්සේට) කැදලි නැද්ද? (කිම මුඹ වහන්සේට) කුලප්‍රවේණීහු නැද්ද? කිම බන්‍ධනයෙන් මිදුනෙහි ද?
[භගවත්හු:]
එකත්නෙන් මට කුටියෙක් නැත. එකත්නෙන් මට කැදලි නැත. එකත්නෙන් මට කුලප්‍රවේණීහු නැත. එකත්නෙන් මම බන්‍ධනයෙන් මිදුනෙමි.
[දෙවි:]
මම කුමක් මුඹ වහන්සේට කුටිය කොට කියම් ද? කුමක් මුඹ වහන්සේට කැදැල්ල කොට කියම් ද? කුමක් මුඹ වහන්සේට කුලප්‍රවේණිය කොට කියම් ද? මම කුමක් මුඹ වහන්සේට බන්‍ධනය කොට කියම් ද?
[භගවත්හු:]
මව මට කුටිය කොට කියහි. බිරිඳ කැදැල්ල කොට කියහි. පුත්‍රයන් කුලප්‍රවෙණි කොට කියහි. තෘෂ්ණාව බන්‍ධනය කොට කියහි.
[දෙවි:]
මැනවි, මුඹ වහන්සේට කුටියෙක් නැත. මැනවි, කැදලි නැත. මැනවි, කුලප්‍රවේණීහු නැත. මැනවි, බන්‍ධනයෙන් මිදුනෙහි යි.
1. 2. 10.
සමිද්ධි සූත්‍රය
20. මා විසින් මෙසේ අසන ලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර තපෝදාරාමයෙහි වැඩ වසන සේක.
එකල්හි ආයුෂ්මත් සමිද්ධි තෙරණුවෝ රෑ අලුයම නැගිට ගාත්‍රයන් දෝනා පිණිස තපොදා නදිය වෙත එළඹියහ. තපෝදානදියෙහි ගාත්‍රයන් දොවා ගොඩ නැඟී ඇඟ තෙත සිඳුවමින් එක් සිවුරක් ඇති ව සිටියහ.
එකල්හි මනා පැහැ ඇති එක්තරා දෙව්දුවක් රාත්‍රිය ඉක්ම ගිය කල්හි මුළු තපෝදාව බබුළුවා ආයුෂ්මත් සමිද්ධි තෙරණුවන් වෙත එළඹියා ය. එළඹ අහස්හි සිටිය ආයුෂ්මත් සමිද්ධි තෙරණුවන්ට ගාථායෙන් කීවා ය:
මහණ, නො වළඳා සිඟයි. වළඳා නො ම සිඟයි. මහණ, වළඳා සිඟව. කාලය තා නහමක් ඉක්ම යේවා.
[සමිද්ධි:]
මම කාලය නො දනිමි. කාලය වැසුනේ නො පෙණෙයි. එහෙයින් ‘කාලය මා නහමක් ඉක්ම යේවා’යි නො වළඳා සිඟමි.
ඉක්බිති ඒ දෙව්දුව පොළොවෙහි පිහිටා ආයුෂ්මත් සමිද්ධි තෙරුන්ට මෙය කීවා ය:
මහණ, තෝ තරුණ පැවිද්දෙහි මනා කලුකෙහෙ ඇතියෙහි, සොඳුරු යොවුනෙන් හා පළමු වයසින් යුක්තයෙහි, කාමක්‍රීඩා නො කළ සුලුයෙහි, මහණ, මානුසික කාමයන් අනුභව කරණු මැනව. මෙලොව පස්කම් සැප හැර පියා පරලොව (කලෙකින් ලැබෙන) සැප නහමක් ලුහුබඳුව.
[සමිද්ධි:]
ඇවැත්නි, මට මෙලොව සැප හැර පිය කලෙකින් ලැබෙන සැප නො ම ලුහුබඳිමි. ඇවැත්නි, මම කලෙකින් ලැබෙන සැප හැර පියා මෙලොව සැප ලුහුබඳිමි. ඇවැත්නි, කාමයෝ කාලිකයහ. බොහෝ දුක් ඇත්තෝ ය. බොහෝ වෙහෙස ගෙණ දෙන්නෝ ය. මෙහි දෝෂයෝ බොහෝහ. මේ ධර්‍මය තමා විසින් දැක්ක යුත්තේ ය. කල් නො යවා විපාක දෙන්නේ ය. එව, බලවයි’ කීමට සුදුසු ය. තම සිත්හි එළවා තැබීමට සුදුසු ය. නුවණැත්තන් විසින් තම තමා කෙරෙහි ලා දත යුත්තේ ය යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදහ.
[දෙව්දූ:]
මහණ, කෙසේ නම් ‘කාමයෝ කාලිකයහ. බොහෝ දුක් ඇත්තෝ ය. දැඩි ආයාසය ඇත්තෝ ය. මෙහි දෝෂයෝ බොහෝ ය.’ (කියාත්) ‘කෙසේ නම්’ මේ ධර්‍මය සන්‍දිට්ඨික ය. අකාලික ය. ඒහිපස්සික ය. ඕපනයික ය. නුවණැත්තන් විසින් තමතමන් කෙරෙහි ලා දතයුතු ය. (කියාත්) භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරණ ලද්දාහු ද?
[සමිද්ධි:]
ඇවැත්නි, මම නවකයෙමි. පැවිදි වූ නොබෝ කල් ඇත්තෙමි. මෙසස්නට අලුත පැමිණියෙමි. මම විස්තර වශයෙන් කියන්නට නො පොහොසත්මි. අර්‍හත් වූ සම්මා සම්බුදු වූ මේ භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර තපෝදාරාමයෙහි වැඩවසන සේක. ඒ භාග්‍යවතුන් වහන්සේ කරා එළඹ මේ අරුත විචාරව. භාග්‍යවතුන් වහන්සේ යම් පරිද්දෙකින් තිට ප්‍රකාශ කරණ සේක් ද? එපරිද්දෙන් එය දරවයි.
[දෙව්දූ:]
මහණ, ඒ භාග්‍යවතුන් වහන්සේ එළඹෙන්නට සුකර නො වෙත්. අනෙක් මහේශාඛ්‍ය දේවතාවන් විසින් පිරිවරණ ලදහ. මහණ, ඉදින් නුඹ වහන්සේ භාග්‍යවතුන් වහන්සේ කරා එළඹ මේ අරුත විචාරන්නහු නම් අපි දු බණ අසන්නට එන්නෙමු.
ඇවැත්නි, එසේ ය යි ආයුෂ්මත් සමිද්ධි ස්ථවිර තෙමේ ඒ දෙව්දුවට පිළිතුරු දී භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් ආයුෂ්මත් සමිද්ධිස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළේ ය:
වහන්ස, මෙහි මම රෑ අලුයම නැගිට ගාත්‍රයන් දෝනට තපෝදාව වෙත එළඹියෙමි. තපෝදාවෙහි ගාත්‍රයන් දොවා ගෙණ ගොඩ නැගී සිරුර තෙත සිඳුවමින් එක සිවුරක් ඇති ව සිටියෙමි. වහන්ස, එකල්හි මනා ඡවිවර්‍ණ ඇති එක්තරා දෙව්දුවක් රැය ඉක්ම ගිය කල්හි මුළු තපෝදාව බබුළුවා මා වෙත එළඹියා ය. එළඹ අහස්හි සිටියා මේ ගාථාවෙන් කිවු ය:
“මහණ, නො වළඳා සිඟයි. වළඳා නො ම සිඟහි, මහණ වළඳා සිඟව. කාලය තා නහමක් ඉක්ම යේවා” යි.
වහන්ස, එසේ කී කල්හි මම ඒ දෙව්දුවට ගාථායෙන් පිළිතුරු දිනිමි.
“මම කාලය නො දනිමි. කාලය වැසුනේ නො පෙණේ. එහෙයින් කාලය මා නහමක් ඉක්ම යේවා යි නො වළඳා සිඟමි.” යි.
වහන්ස, එකල්හි ඒ දෙව්දූ තොමෝ පොළොවෙහි පිහිටා මට මෙය කිවු ය: “මහණ, නුඹ වහන්සේ තරුණ පැවිදි කෙනෙකි. මනා කළුකෙහෙ ඇති කෙනෙකි, සොඳුරු යොවුනින් හා පළමු වයසින් සමන්‍වාගතයහ. කාමක්‍රීඩා නො කළ කෙනෙකි. මහණ, මානුසිකකාමයන් අනුභව කරව. මෙලොව සැප හැර පියා කලෙකින් ලැබෙන සැප නහමක් ලුහුබඳුව” යි.
වහන්ස, එසේ කී කල්හි මම ඒ දෙව්දුවට මෙය කීයෙමි: “ඇවැත්නි, මට මෙලොව සැප හැර පියා කලෙකින් ලැබෙන සැප නො ම ලුහුබඳිමි. ඇවැත්නි, මම කලෙකින් ලැබෙන සැප හැර දමා මෙලොව සැප ලුහුබඳිමි. ඇවැත්නි, ‘කාමයෝ කාලිකයහ. බොහෝ දුක් ඇත්තෝ ය. බොහෝ වෙහෙස ගෙණ දෙන්නෝ ය. මෙහි දෝෂයෝ බොහෝහ.’ ‘මේ ධර්‍මය සන්‍දිට්ඨික ය. අකාලික ය. ඒහිපස්සික ය. ඕපනයික ය. නුවණැත්තවුන් විසින් තම තමා කෙරෙහි ලා දත යුතු’ය යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදී.”
වහන්ස, එසේ කී කල්හි ඒ දෙව්දූ මට මෙය කිවු ය: “මහණ, කෙසේ නම් ‘කාමයෝ කාලිකයහ. බොහෝ දුක් ඇත්තෝ ය. බොහෝ වෙහෙස ගෙණ දෙන්නෝ ය. මෙහි දෝෂයෝ බොහෝහ. (කියාත්), කෙසේ නම් මේ ධර්‍මය සන්‍දිට්ඨික ය. අකාලික ය. ඒහිපස්සික ය. ඕපනයික ය. නුවණැත්තවුන් විසින් තමතමන් කෙරෙහි ලා දත යුතු ය’. (කියාත්) භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දාහු දැ?” යි.
වහන්ස, එසේ කී කල්හි මම ඒ දෙව්දුවට මෙය කීයෙමි: “ඇවැත්නි, මම නවකයෙමි. පැවිදි වූ නොබෝ කල් ඇත්තෙමි. මෙ සසුනට අලුත පැමිණියෙක්මි. මම විස්තර වශයෙන් කියන්නට නො හැක්කෙමි. අර්‍හත් වූ සම්මාසම්බුදු වූ මේ ඒ භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර තපෝදාරාමයෙහි වැඩ වසන සේක. ඒ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹ විචාරව. භාග්‍යවතුන් වහන්සේ යම් පරිද්දෙකින් තට ප්‍රකාශ කරණ සේක් නම් එපරිද්දෙන් එය දරව” යි.
වහන්ස, මෙසේ කී කල්හි ඒ දෙව්දූ මට මෙය කීවුය: “මහණ, ඒ භාග්‍යවතුන් වහන්සේ අප විසින් එළඹෙන්නට සුකර නො වෙති. අනෙක් මහේශාඛ්‍ය දේවතාවන් විසින් පිරිවරණ ලදහ. මහණ, ඉදින් නුඹ වහන්සේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹ මේ අරුත විචාරන්නහු නම් අපි දු දහම් ඇසීමට එන්නෙමු” යි. වහන්ස, ඉදින් ඒ දෙව්දුවගේ වචනය ඇත්ත වේ නම් ඒ දෙව්දූ මෙහි ම නුදුරෙහි ය” යි.
එසේ කී කල්හි ඒ දෙව්දූ ආයුෂ්මත් සමිද්ධිතෙරුන්ට “මහණ, විචාරණු මැනව. මහණ, විචාරණු මැනව. මේ මම පැමිණියෙමි” යි මෙය කිවු ය.
එකල්හි භාග්‍යවතුන් වහන්සේ ඒ දෙව්දුවට ගාථායෙන් වදාළ සේක:
සත්‍වයෝ පංඤ්චස්කන්‍ධයෙහි සත්ත්‍වපුද්ගලාදි සංඥා ඇත්තෝ ය. පඤ්චස්කන්‍ධයෙහි (තෘෂ්ණා දෘෂ්ටිග්‍රාහ වශයෙන්) පිහිටියාහු ය. පඤ්චස්කන්‍ධයන් පිරිසිඳ නො දැන මාරයාගේ වසයට යෙත්.
පඤ්චස්කන්‍ධයන් පිරිසිඳ දැන සත්ත්‍වපුද්ගලාදි වශයෙන් කිසිවකු නො හඟී. යම් හෙයකින් ඔහුට ඒ මඤ්ඤනා නො වේ ද (එහෙයිනි). යම් කරුණෙකින් ඔහුට රාගරත්තාදී වශයෙන් කියන්නේ නම් ඒ කරුණ ද ඔහුට නැත: එම්බා දෙව්දුව, ඉදින් (එබඳු රහතකු) දනිහි නම් කියවයි.
[දෙව්දූ:]
වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් වදාරණ ලද මේ දේශනාවෙහි අරුත විතර විසින් මම නො ම දනිමි. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් වදාරණ ලද මේ දේශනාවෙහි අරුත විතර විසින් යම්සේ මම දැන ගන්නෙම් නම් භාග්‍යවතුන් වහන්සේ එපරිද්දෙන් මට වදාරණු මැනවි යි.
[භගවත්හු:]
යමෙක් “(මම අන්‍යයන් හා) සම වෙමි”යි හෝ “විශිෂ්ටයෙමි” යි හෝ නොහොත් “හීනයෙමි”යි හෝ හඟී ද එයින් හේ (අන්‍යයන් හා) විවාද කරන්නේ ය. (යමෙක්)’ ත්‍රිවිධ මානයන්හි නො සැලෙන්නේ ද ඔහුට ‘සම ය, විශිෂ්ට ය, (හීන ය) යන හැඟීමෙක් නො වේ. එම්බා දෙව්දුව, ඉදින් (එබන්දකු) දනිහි නම් කියව.
[දෙව්දූ:]
වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් වදාරණ ලද මේ දේශනාවෙහි ද අරුත විතර විසින් මම නො දනිමි. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් වදාරණ ලද මේ දේශනාවෙහි අරුත මම යම් සේ විතර විසින් දැන ගන්නෙම් ද භාග්‍යවතුන් වහන්සේ එසේ මට වදාරණු මැනවි යි.