171. සැවැත්නුවර–
එකල්හි වජිරා මෙහෙණ පෙරවරු හැඳ පෙරෙව පාසිවුරු ගෙණ සැවැත්නුවරට පිඬු පිණිස පිවිසුනා හ. සැවැත්නුවර පිඬු පිණිස හැසිර පසුබත පිණ්ඩපාතයෙන් වැලකුනී දිවාවිහරණය පිණිස අන්‍ධවනය වෙත එළඹුනා ය. අන්‍ධවනයට පිවිස එක්තරා රුක් මුලෙක දිවාවිහරණය පිණිස හුන.
ඉක්බිති පවිටු මරු වජිරා මෙහෙණට බිය තැති ගැණුම් ලොමු දහ ගැණුම් උපදවනු කැමැත්තේ සමාධියෙන් පහ කරණු කැමැත්තේ වජිරා මෙහෙණ වෙත එළඹියේ ය. එළඹ වජිරා මෙහෙණට ගාථායෙන් කී ය:
මේ සත්‍වයා කවරකු විසින් කරණ ලද්දේ ද? මේ සත්‍වයා කළ තැනැත්තා කොහි ද? මේ සත්‍වයා කොහි හටගත්තේ ද? මේ සත්‍වයා කොහි නිරුද්ධ වේ ද?
ඉක්බිති වජිරා මෙහෙණහට “මේ කවරෙක් දෝ” මිනිසෙක් හෝ නොමිනිසෙක් හෝ මේ ගාථාව කියා දැ’යි මේ අදහස විය. එකල්හි වජිරා මෙහෙණට ‘මේ පවිටු මරු ය. මට බිය තැති ගැණුම් ලොමුදහගැණුම් උපදවනු කැමැත්තේ සමාධියෙන් පහ කරණු කැමැත්තේ ගාථාව කියා’යි මේ සිත විය. ඉක්බිති වජිරා මෙහෙණ මේ පවිටු මරු ය යි දැන පවිටු මරුහට ගාථාවන් ගෙන් පෙරළා කිවු ය:
මරුව, කිම සත්‍වයෙකැ යි අදහන්නේහි ද? තාගේ මාරදූෂ්ටියෙක් නො වේ ද? මේ හුදු සංස්කාර පිණ්ඩයෙකි. මෙහි සතෙක් නො ලැබේ.
අවයව සමූහය හේතු කොට ගෙණ යම්සේ රථය යන ශබ්දයෙක් වේ ද? එසේ ම පඤ්චස්කන්‍ධයන් ඇති කල්හි සත්‍වයා ය යන ලෝකව්‍යවහාරය වේ.
දුක ම ලැබේ. දුක ම පවතී. දුක ම විඳී. දුක හැර අනිකෙක් නො ලැබේ. දුක හැර අනිකෙක් නිරුද්ධ නො වේ.
ඉක්බිති පවිටු මාරයා වජිරා මෙහෙණ මා දනී ය යි දුකට පැමිණියේ නොසතුටු සිත් ඇත්තේ එහි ම අතුරුදන් විය.
භික්ඛුනී වර්‍ගය පළමුවැනියි.
එහි උද්දානය:
ආළවිකා, සෝමා, ගෝතමී, විජයා, උප්පලවණ්ණා, චාලා, උපචාලා, සීසුපචාලා, සෙලා, වජිරා යයි ඒ සූත්‍ර දසයෙකි.
භික්ඛුනීසංයුත්තය නිමියේ යි.
6. බ්‍රහ්ම සංයුත්තය
1. කෝකාලික වර්‍ගය
6. 1. 1.
ආයාචන සූත්‍රය
172. මා විසින් මෙසේ අසන ලදී: එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ බුදු ව පළමු කොට උරුවෙල්දනව්වෙහි නේරඤ්ජරා ගංතෙර අජපල් නුගරුකමුල වැඩ වසන සේක.
එකල්හි එකලාව චිත්තවිවේකයෙන් හුන් භාග්‍යවතුන් වහන්සේට මෙබඳු චිත්තපරිවිතර්‍කයෙක් පහළ විය. මා විසින් අවබෝධ කළ මේ ධර්‍මය ගැඹුරුය. දුකසේ දැක්ක යුතු ය, දුකසේ අවබෝධ කටයුතුය. ශාන්ත ය. ප්‍රණීත ය. තර්‍කයෙන් බැසගත නොහැක්ක. සියුම් ය. පණ්ඩිතයන් විසින් දැක්ක යුතු ය. මේ සත්‍ව සමූහයා (පඤ්චකාමගුණ නමැති) ආලයෙන් බැඳුනේ ය. ආලයෙහි ඇලුනේ ය. ආලයෙහි සතුටු විය. ආලයෙහි බැඳුනු ආලයෙහි ඇලුනු ආලයෙහි සතුටු වූ මේ සත්‍ව සමූහයා විසින් ඉදප්පච්චයතා පටිච්චසමුප්පාද නම් වූ යම් මේ දහමෙක් වේ ද, එය දුකසේ දැක්ක යුතු ය. සියලු සංස්කාරයන්ගේ සංසිඳීම වූ සියලු උපධිධර්‍මයන්ගේ දුරලීම වූ තෘෂ්ණාව ක්‍ෂය කිරීම වූ විරාගය වූ නිරෝධය වූ යම් මේ නිවණෙක් වේ නම් මේ දහම ද දුකසේ දැක්ක යුතුය. මම ද දහම් දෙසන්නෙම් නම් පරහුදු මාගේ ධර්‍මය දැන නොගන්නාහු නම් ඒ මට කළකිරෙනු වෙයි. ඒ මට වෙහෙසෙක් වෙයි.
තව ද භාග්‍යවතුන් වහන්සේට අනච්ඡරිය වූ (නැවත නැවත ආශ්චර්‍ය්‍යාවහ) පෙර නො ඇසූවිරූ මේ ගාථාවෝ වැටහුනහ.
මා විසින් දුකසේ අවබෝධ කරණ ලද ධර්‍මය දැන් පැවසීම නිෂ්ඵල ය. රාග ද්වේෂයෙන් මැඩුනවුන් විසින් මේ දහම සුවසේ අවබෝධ නො කට හැක්ක.
රාගයෙන් රත් වූ මොහඳුරෙන් වැසුනු සත්‍වයෝ උඩුහොයට යන සියුම් ගැඹුරු දුකසේ දතයුතු ඉතා සියුම් මේ දහම නොදකිත්.
මෙසේ සලකන භාග්‍යවතුන් වහන්සේගේ සිත මන්‍දෝත්සාහයට, දහම් නො දෙසීමට නැමෙයි.
එකල්හි තමසිතින් භාග්‍යවතුන් වහන්සේගේ සිත පිරිසිඳ දත් සහම්පති බඹහට මේ අදහස විය. යම් ලොවෙක තථාගත වූ අර්‍හත් වූ සම්මාසම්බුදුරජානන් වහන්සේගේ සිත මන්‍දෝත්සාහයට, දහම් නො දෙසීමට නැමේ ද, පින්වත්නි, ඒ ලොව ඒකාන්තයෙන් නැසේ. පින්වත්නි, ඒ ලොව ඒකාන්තයෙන් වැනසේ යි. ඉක්බිති සහම්පතී බ්‍රහ්ම තෙමේ යම්සේ බලවත් පුරුෂයෙක් හැකුළූ අත දුගු කරන්නේ හෝ, දිගු කළ අත හකුළුවන්නේ හෝ වේ ද, එසෙයින් ම බඹලොව අතුරුදන් වූයේ භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි පහළ විය.
ඉක්බිති සහම්පති බ්‍රහ්ම තෙමේ උතුරුසළුව එකස්කොට දකුණු දණමඬල බිම හැන භාග්‍යවතුන් වහන්සේ වෙත ඇඳිලි බැඳ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළේ ය. “වහන්ස, භාග්‍යවතුන් වහන්සේ දහම් දෙසන සේක්වා. සුගතයන් වහන්සේ දහම් දෙසන සේක්වා. පැණැසෙහි මඳකෙලෙස් රජස් ඇති සත්‍වයෝ ඇත. දහම් නො අසනබැවින් ඔහු පිරිහෙත්. දහම් අවබෝධ කරනුවෝ වන්නාහ”යි සහම්පති බ්‍රහ්ම තෙමේ මෙය කී ය. මෙය කියා වැලිදු මෙය කී ය.
පෙර මගදදනව්වෙහි මල සහිතයන් විසින් සිතන ලද අශුද්ධධර්‍මයෙක් පහළ වි ය. මේ නිවන්දොර අරිණු මැනවි. නිර්‍මලයන් වහන්සේ විසින් අවබෝධ කරණ ලද ධර්‍මය අසත්වා!
සෙල්මුවා පවුමුදුනෙක්හි සිටියෙක් හාත්පස ජනසමූහයා යම්සේ දක්නේ ද. ප්‍රාඥයන් වහන්ස, සර්‍වඥ වූ පහ වූ ශෝක ඇති මුබවහන්සේ ද එබඳු දහම්මුවා පහයට නැග ජාතිජරාදුකෙන් වැඩුනු ශෝකයට බට ජනසමූහයා බලන සේක්වා!
දුනු ඇති වීරයන් වහන්ස, නැගී සිටිනු මැනව. අනෘණ සැහැවි ඇති සාර්‍ත්‍ථවාහයන් වහන්ස, ලොව හැසිරෙණු මැනව. භාග්‍යවතුන් වහන්සේ දහම් දෙසන සේක්වා, අවබෝධ කරන්නෝ වන්නාහ.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ බඹහුගේ ඇරයුම් ද ලැබ සත්‍වයන් කෙරෙහි කරුණාවත් බවත් නිසා බුදුඇසින් ලොව බලා වදාළ සේක. භාග්‍යවතුන් වහන්සේ බුදුඇසින් ලොව බලන සේක් නුවණැස්හි මඳකෙලෙස් රජස් ඇති සත්‍වයන්‍ද බොහෝ කෙලෙස් රජස් ඇති සත්‍වයන් ද තියුණු (ශ්‍රද්ධා ආදී) ඉඳුරන් ඇති සත්‍වයන් ද මෘදු ඉඳුරන් ඇති සත්‍වයන්‍ද (ශ්‍රද්ධා ආදී) උතුම් ආකාර ඇති සත්‍වයන් ද නපුරු ආකාර ඇති සත්‍වයන් ද පහසුවෙන් අවබෝධ කරවිය හැකි සත්‍වයන් ද පහසුවෙන් අවබෝධ කරවිය නොහැකි සත්‍වයන් ද පරලොව හා වරද භය විසින් දක්නාසුලු ව වසන ඇතැම් සත්‍වයන් ද පරලොව හා වරද භය විසින් නො දක්නාසුලු ව වසන ඇතැම් සත්‍වයන් ද දැක වදාළ සේක. යම්සේ උපුල්බෙනෙක හෝ පියුමිළුයෙක හෝ හෙළපියුමිළුයෙක හෝ ඇතැම් උපුල්හු හෝ පියුම්හු හෝ හෙළපියුම් හෝ දියෙහි හටගත්තාහු දියෙහි වඩුනාහු දියෙන් මතු නොවූවාහු දිය ඇතුළත ගිලී වැඩෙන්නාහු වෙද්ද? ඇතැම් උපුල්හු හෝ පියුම්හු හෝ හෙළපියුම්හු හෝ දියෙහි හටගත්තාහු දියෙහි වඩුනාහු දිය මතුපිට සම ව සිටියාහු වෙද්ද, ඇතැම් උපුල්හු හෝ පියුම්හු හෝ හෙළපියුම්හු හෝ දියෙහි වැඩුනාහු දියෙන් උඩට නැගී දියෙන් නො තැවරුණාහු සිටිද් ද, එපරිද්දෙන් භාග්‍යවතුන් වහන්සේ බුදුඇසින් ලොව බලනසේක් අප්පරජක්ඛ සත්‍වයන් ද, මහාරජක්ඛ සත්‍වයන් ද, තික්ඛින්‍ද්‍රිය සත්‍වයන් ද, මුදින්‍ද්‍රිය සත්‍වයන් ද, ස්වාකාර සත්‍වයන් ද , ද්වාකාර සත්‍වයන් ද, සුවිඤ්ඤාපය සත්‍වයන් ද, දුවිඤ්ඤාපය සත්‍වයන් ද, පරලෝකවජ්ජභයදස්සාවී ව වසන ඇතැම් සත්‍වයන් ද, පරලෝකවජ්ජභයදස්සාවී නො ව වසන ඇතැම් සත්‍වයන් ද දැක වදාළ සේක. දැක සහම්පති බඹුහට ගාථායෙන් පෙරළා වදාළ සේක.
ඔවුන්ට අමාදොර නොවැසින. යම් කෙනෙක් කන් ඇත්තාහු නම් ශ්‍රද්ධාව මුදත්වා. බ්‍රහ්මය, මිනිසුන් අතර වෙහෙසීම් පමණකැයි යන හැඟීම් ඇත්තෙම් ප්‍රගුණ වූ ප්‍රණීත ධර්‍මය නො කීයෙමි.
ඉක්බිති සහම්පති බ්‍රහ්ම තෙමේ භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්‍මදේශනාව පිණිස කරණ ලද අවකාශ ඇත්තෙම් වෙමි යි භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට එහි ම අතුරුදන් විය.
6. 1. 2.
ගාරව සූත්‍රය
173. මා විසින් මෙසේ අසන ලදී: එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ බුදුව පළමු කොට උරුවෙල්දනව්වෙහි නේරඤ්ජරා ගංතෙර අජපල් නුගරුකමුල වැඩ වසන සේක.
එකල්හි එකලා ව චිත්තවිවේකයෙන් හුන් භාග්‍යවතුන් වහන්සේට කිසිවකු ගුරුතන්හි නො තබා කිසිවකු දෙටු තන්හි නො තබා වසන්නේ දුකසේ වෙසෙයි. මම කවර මහණෙකු හෝ බමුණකු හෝ සත්කාර කොට ගුරු කොට ඇසුරු කොට වසන්නෙම් දැ යි මෙබඳු චිත්තවිතර්‍කයෙක් පහළ විය.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේට මේ අදහස විය. නොපිරිපුන් සීලක්ඛන්‍ධය පිරීම පිණිස අන් මහණකු හෝ බමුණකු හෝ සත්කාර කොට ගුරු කොට ඇසුරු කොට වසන්නෙම් ද, (එසේ) මම යමකු සත්කාර කොට ගුරු කොට ඇසුරු කොට වසන්නෙම් නම් තමහට වැඩිතරම් සීලසම්පන්න වූ එබඳු අන් මහණකු හෝ බමුණකු හෝ දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකයෙහි මහණ බමුණන් සහිත දෙවිමිනිසුන් සහිත ප්‍රජායෙහි මම නො දකිමි.
නො පිරිපුන් සමාධික්ඛන්‍ධය පිරීම පිණිස … මම යමකු සත්කාර කොට ගුරු කොට ඇසුරු කොට වසන්නෙම් නම් තමහට වැඩි තරම් සමාධි සම්පන්න වූ එබඳු අන් මහණකු හෝ බමුණකු හෝ …
නො පිරිපුන් පඤ්ඤාක්ඛන්‍ධය පිරීම පිණිස ... මම යමකු සත්කාර කොට ගුරු කොට ඇසුරු කොට වසන්නෙම් තමහට වැඩි තරම් ප්‍රඥා සම්පන්න වූ එබඳු අන් මහණකු හෝ බමුණකු හෝ …
නොපිරිපුන් විමුක්තිස්කන්‍ධය පුරාලීම පිණිස ... මම යමකු සත්කාර කොට ගුරු කොට ඇසුරු කොට වසන්නෙම් නම් තමහට වැඩිතරම් විමුක්තිසම්පන්න වූ අන් මහණකු හෝ බමුණකු හෝ …
නොපිරිපුන් විමුත්තිඤාණදස්සනක්ඛන්‍ධය පුරාලීම පිණිස අන් මහණකු හෝ බමුණකු හෝ සත්කාර කොට ගුරු කොට ඇසුරු කොට වෙසෙන්නෙම් (එසේ) මම යමකු සත්කාර කොට ගුරු කොට ඇසුරු කොට වසන්නෙම් නම් තමහට වැඩිතරම් විමුත්තිඤාණදස්සන සම්පන්න වූ එබඳු අන් මහණකු හෝ බමුණකු හෝ දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකයෙහි මහණ බමුණන් සහිත දෙවියන් සහිත ප්‍රජායෙහි මම නොදකිමි. යම් ඒ ධර්‍මයක් මා විසින් මනාකොට අවබෝධ කරණ ලද්දේ ද, ඒ ධර්‍මය ම සත්කාර කොට ගුරු කොට ඇසුරු කොට වෙසෙන්නෙම් නම් මැනවැ යි.
ඉක්බිති සහම්පති බ්‍රහ්ම තෙමේ තමසිතින් භාග්‍යවතුන් වහන්සේ චිත්තපරිවිතර්‍කය දැන යම්සේ බලවත් පුරුෂයෙක් හැකුළූ අත දිගු කරන්නේ හෝ, දිගු කළ ඇත හකුළුවන්නේ හෝ වේ ද, එසෙයින් ම බඹලොව අතුරුදහන් වූසේ භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි පහළ විය.
ඉක්බිති සහම්පති බ්‍රහ්ම තෙමේ උතුරුසළුව එකස් කොට භාග්‍යවතුන් වහන්සේ වෙත ඇඳිලි බැඳ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළේ ය: භාග්‍යවතුන් වහන්ස, තෙල එසේ ම ය. සුගතයන් වහන්ස, තෙල එසේ ම ය. වහන්ස, අතීත කාලයෙහි යම් ඒ අර්‍හත් සම්මාසම්බුදු කෙනෙක් වූ සේක නම් ඒ භාග්‍යවතුන් වහන්සේත් ධර්‍මය ම සත්කාර කොට ගුරු කොට ඇසුරු කොට විසූ සේක. වහන්ස, අනාගත කාලයෙහි යම් ඒ අර්‍හත් සම්මාසම්බුදු කෙනෙක් වන සේක් නම් ඒ භාග්‍යවතුන් වහන්සේත් ධර්‍මය ම සත්කාර කොට ගුරු කොට ඇසුරු කොට වෙසෙන සේක්වායි. සහම්පති බ්‍රහ්ම තෙමේ මෙය සැළ කළේ ය. මෙය සැළ කොට යලිත් මෙය ද කීය:
අතීතකාලික වූ යම් සම්බුදු කෙනෙක් වූ සේක් ද, අනාගතකාලික වූ යම් සම්බුදු කෙනෙක් වන සේක් ද, බොහෝ දෙනාගේ ශෝකය නසන යම් සම්බුදු කෙනෙකුත් දැන් ඇත් ද,
ඒ සියලු බුදුරජානන් වහන්සේ ම සද්ධර්‍මය ම ගරු කොට ගත්තාහු විසූ සේක. දැන් වසන සේක. වැලිත් (මතු ද) වසන සේක. මේ බුදුවරුන්ගේ ස්වභාව යි.
එහෙයින් වැඩ කැමති මහත්බව පතන්නහු විසින් බුදුසසුන සිහි කරමින් සදහම ගුරු කටයුත්තේ ය.
6. 1. 3.
බ්‍රහ්මදේව සූත්‍රය
174. මා විසින් මෙසේ අසන ලදී: එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වසන සේක. එකල්හි එක්තරා බැමිණියකගේ බ්‍රහ්මදේව නම් පුතෙක් ගිහිගෙන් නික්ම භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි පැවිද්දට පැමිණියේ වෙයි.
එකල්හි ආයුෂ්මත් බ්‍රහ්මදේව තෙමේ එකලා ව ගණයා කෙරෙන් වෙන් ව නොපමා ව කෙලෙස් තවන වෙර ඇති ව නිවන් පිණිස මෙහෙයූ සිත් ඇති ව වසන්නේ යමක් පිණිස කුලපුත්‍රයෝ මැනවින් ම ගිහිගෙන් නික්ම පැවිද්දට පැමිණෙද්ද, සසුන බඹසරට අවසන් වූ ඒ නිරුත්තර රහත්ඵලය මේ අත්බැව්හි ම තෙමේ විශිෂ්ටඥානයෙන් දැන පසක් කොට පැමිණි විසී ය. ජාතිය ක්‍ෂීණ වූවා ය. මගබඹසර වැස නිමවන ලදී. සොළොස් කරණී කොට නිමවන ලදී. තෙල කරණී පිණිස නොහොත් රහත්බව පිණිස කළයුතු අන් කරණී නැතැයි වෙසෙසින් දැනගත්තේ ය. ආයුෂ්මත් බ්‍රහ්මදේවයෝ රහතුන් අතුරෙන් එක්තරා කෙනෙක් වූහ.
ඉක්බිති ආයුෂ්මත් බ්‍රහ්මදදේව තෙමේ පෙරවරු හැඳ පෙරව පාසිවුරු ගෙණ සැවැත්නුවරට පිඬු පිණිස පිවිසියේ ය. සැවැත්නුවර ගෙපිළිවෙළින් පිඬු පිණිස හැසිරෙන්නේ සිය මවුනිවස වෙත එළඹියේ ය. එකල්හි ආයුෂ්මත් බ්‍රහ්මදේව තෙරුන්ගේ මවු බැමිණි තොමෝ බඹහට නිරන්තරයෙන් හෝමපූජා කෙරෙයි. එකල්හි සහම්පති බඹහට ආයුෂ්මත් බ්‍රහ්මදේව තෙරුන්ගේ මේ මවුබැමිණි තොමෝ නිරන්තරයෙන් බඹහට හෝමපූජා කෙරෙයි. මම ඇය වෙත එළඹ සංවේග දනවන්නෙම් නම් යෙහෙකැයි මේ සිත විය.
ඉක්බිති සහම්පති බ්‍රහ්ම තෙමේ යම්සේ බලවත් පුරුෂයෙක් හැකුළු අත දිගු කරන්නේ හෝ, දිගු කළ අත හකුළුවන්නේ හෝ වේ ද, එපරිද්දෙන් ම බඹලොව අතුරුදන් වූ යේ ආයුෂ්මත් බ්‍රහ්මදදේව තෙරුන්ගේ මවු නිවසෙහි පහළ විය. ඉක්බිති සහම්පති බ්‍රහ්ම තෙමේ අහසෙහි සිටියේ ආයුෂ්මත් ආයුෂ්මත් බ්‍රහ්මදදේව තෙරුන්ගේ මවු බැමිණියට ගාථාවන්ගෙන් කීය.
බැමිණිය, යම් බඹකුට නිතර හෝම කිරීම දැඩි කොට ගණිහි ද, (ඔහුගේ ඒ) බඹලොව මෙයින් දුරය. මෙබඳු පායාසයන් බ්‍රහ්මයන් විසින් අනුභව කළ යුත්තෙක් නො වේ. බ්‍රහ්මපථය නො දන්නී කිම නන් දොඩවහි ද?
බැමිණිය, තිගේ (පුත් වූ) මේ බ්‍රහ්මදේව තෙරණුවෝ උපධි රහිතයහ. දේවාතිදේව භාවයට පැමිණියහ. රාගාදි පලිබෝධ රහිතයහ (තෙල අත්බව පියා) අන් අත්බැවක් හෝ අඹුදරුවන් හෝ පෝෂණය නො කරන්නෙකි. ඒ රහතුන් වහන්සේ තිගේ ගෙට පිඬු පිණිස පිවිස සේක.
(ඒ රහත් තෙමේ) ආහුනපිණ්ඩය හා පාහුන පිණ්ඩය ද පිළිගැණීමට සුදුසු ය. චතුර්මාර්‍ග සංඛ්‍යාත වේදයෙහි කෙළවරට පැමිණියේ ය. වඩන ලද සිත් ඇත්තේ ය. මිනිසුන්ගේ ද දෙවියන්ගේ ද දක්‍ෂිණාවට සුදුසු ය. පව් බැහැර කොට නො තැවරුණේ සිහිල් වූයේ අහර සෙවීම කෙරෙයි.
උන්වහන්සේට අතීත ස්කන්‍ධයන්හි ද ඡන්‍දරාගයෙක් නැත. අනාගත ස්කන්‍ධයන්හි ද ඡන්‍දරාගයෙක් නැත. ශාන්තය. ක්‍රෝධදුම් රහිත ය. දුක් රහිත ය. ආශා නැත. අස්ථිර ස්ථිර සත්‍වයන් (පෘථග්ජන ක්‍ෂීණාස්‍රවයන්) කෙරෙහි බහා තැබූ දඬු ඇතියෙක. හෙ තෙමේ තිගේ ආහුති සඞ්ඛ්‍යාත අග්‍ර පිණ්ඩය වළදාවා.
ක්ලේශසේනා රහිත වූයේ මොනවට සන්හුන් සිත් ඇත්තේ දැමුනු හස්තියකු මෙන් හැසිරෙයි. තෘෂ්ණා නැති මනාසිල් ඇති මැනවින් මිදුනු සිත් ඇති ඒ රහත් තෙමේ තීගේ ආහුති සඞ්ඛ්‍යාත අග්‍ර පිණ්ඩය වළදාවා.
බැමිණිය, පහන්සිත් ඇති ව අචලශ්‍රද්ධා ඇතිව දක්‍ෂිණාර්‍හ වූ උන්වහන්සේ කෙරෙහි දක්‍ෂිණාව පිහිටුව. චතුරෝඝ තරණය කළ ඒ රහතුන් වහන්සේ දැක මතු සැප එළවන පින් කරව.
ඒ බැමිණි තොමෝ උන්වහන්සේ කෙරෙහි පහන්සිත් ඇති ව අචලශ්‍රද්ධා ඇතිව දක්‍ෂිණාවට සුදුසු වූ උන්වහන්සේ කෙරෙහි දක්‍ෂිණාව පිහිටුවාලූ ය. චතුරෝඝතරණය කළ ඒ රහතුන් වහන්සේ දැක මතු සැප එළවන පින් කළා ය.
6. 1. 4.
බකබ්‍රහ්ම සූත්‍රය
175. මා විසින් මෙසේ අසන ලදී: එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬුසිටුහුගේ අරම්හි වැඩවසන සේක. එකල්හි බක බ්‍රහ්මයාහට “මෙය (බ්‍රහ්මස්ථානය) නිත්‍ය ය. මෙය ස්ථිරය, මෙය ශාශ්වත ය. මෙය කේවලය. මෙය ච්‍යුත නො වන ස්වභාව ඇත්තේ ය. මෙය නූපදී යි. නො දිරයි. නො මියෙයි. ච්‍යුත නො වේ. නො හටගණී. මෙයින් මතු අන් නිස්සරණයෙක් නැතැ”යි මෙබඳු ලාමක මිථ්‍යාදෘෂ්ටියෙක් උපන.
එකල්හි භාග්‍යවතුන් වහන්සේ තමසිතින් බකබඹුහුගේ චිත්තපරිවිතර්‍කය දැන යම්සේ බලවත් පුරුෂයෙක් හැකුළූ අත දිගු කරන්නේ හෝ වේ ද, දිගු කළ අත හකුළුවන්නේ හෝ වේ ද, එසෙයින් ම දෙව්රම්හි අතුරුදන් වූසේක් ඒ බඹලොව පහළ වූ සේක. බකබ්‍රහ්ම තෙමේ එන්නාවූ භාග්‍යවතුන් වහන්සේ දුරදී ම දැක්කේ ය. දැක භාග්‍යවතුන් වහන්සේට තෙල කී ය: “නිදුකානෙනි, එනු මැනව. නිදුකානෙනි, මුබට ස්වාගත වේවා. නිදුකානෙනි, මෙහි පැමිණීම පිණිස බොහෝ කලෙකින් මේ පර්‍ය්‍යාය කෙළෙහි ය. නිදුකානෙනි, මෙය නිත්‍ය ය. මෙය ස්ථිරය, මෙය ශාශ්වත ය. මෙය කේවලය. මෙය ච්‍යුත නොවන ස්වභාවය ඇත්තේ ය, මෙය නූපදී. නො දිරයි. නො මියේ, ච්‍යුත නො වේ, නො හටගණී. මෙයින් මතු අනික් නිස්සරණයෙක් නැතැයි.
මෙසේ කීකල්හි භාග්‍යවතුන් වහන්සේ බක බඹහට මෙය වදාළ සේක: “යමෙක් නම් අනිත්‍ය වූවක් ම නිත්‍ය යයි කියා ද, අස්ථිර වූවක් ම ස්ථිර යයි කියා ද, අශාශ්වත වූවක් ම ශාශ්වත යයි කියා ද, ඛණ්ඩ වූවක් ම අඛණ්ඩ යයි කියා ද, ච්‍යුතවන ස්වභාවා ඇත්තක් ම ච්‍යුත නො වන ස්වභාව ඇත්තෙකැයි කියා ද, යමක් හටගණීද, දිරා ද, මියේ ද, ච්‍යුත වේ ද, නො හටගණී ද, එයත් මෙය නූපදී, නො දිරයි, නො මියෙයි, ච්‍යුත නො වෙයි, නො හටගණීයයි එසේ කියා ද, ඇත්තා වූ ම මත්තෙහි වූ අනෙක් නිස්සරණයෙක් වේ ද, (එසේ වතුදු) මතු අනෙක් නිස්සරණයෙක් නැතැයි කියා ද පින්වත්නි, ඒ බකබ්‍රහ්ම තෙමේ ඒකාන්තයෙන් අවිද්‍යාවෙන් අන්‍ධ වූයේ ය. පින්වත්නි, ඒ බකබ්‍රහ්ම තෙමේ ඒකාන්තයෙන් අවිද්‍යාවෙන් අන්‍ධ වූයේ ය” යි.
[බක බ්‍රහ්ම:]
ගෞතමයෙනි, (අපි) දෙසැත්තෑදෙනෙක් (කළ) පින්කම් ඇත්තමෝ ජාතිය හා ජරාව හා ඉක්ම වූම්හ. අනුන් තමන් විසිය ලා වැටෙම්හ. වේදසඞ්ඛ්‍යාත ඥානයෙහි කෙළවරට පැමිණියම්හ. මේ අන්තිම බ්‍රහ්මලෝකෝත්පත්ති යයි නොයෙක් ජනයෝ අප ප්‍රාර්‍ත්‍ථනා කෙරෙත්.
[භගවත්හු:]
බකබ්‍රහ්මය, තෝ යම් දීර්‍ඝායුෂයක් සිතයි ද, තෙල දීර්‍ඝායුෂයෙක් නො වේ. තගේ (ඉතිරි වූ) ආයුෂ නිරබ්බුද ලක්‍ෂයෙකැ යි මම දනිමි.
[බක බ්‍රහ්ම:]
භාග්‍යවත්නි, (තෙපි) මම අනන්තදර්ශී වෙමි යි, ජාතිය හා ජරාව ද, ශෝකය ද ඉක්ම සිටියෙම් වෙමියි (කියව). මාගේ පුරාතන කර්‍මය කිම, ව්‍රතසමාදානය කිම? ශීලය කිම? යමක් (තොප අතින් අසා) මම දන්නෙම් නම් එය මට කියනු මැනව.
[භගවත්හු:]
ග්‍රීෂ්මකාලයෙහි පීඩිත පිපාසිත වූ බොහෝ මිනිසුන්ට තෝ යම් හෙයෙකින් පැන් පෙවූයෙහි ද, තාගේ ඒ පුරාතන වූ ව්‍රතය හා ශීලය හා නිදා පිබිදියයක්හු මෙන් (මම) සිහි කරමි.
ගංඉවුරෙහි (සොරුන් විසින්) අල්ලා ගන්නා ලද අත්පා බැඳ ගෙණ යනු ලබන ජනයා යම් හෙයෙකින් මිදී ද, තාගේ ඒ පුරාතන වූ ව්‍රතය හා ශීලය නිදා පිබිදියක්හු මෙන් (මම) සිහි කරමි.
මිනිසුන් නසනු කැමැත්තෙන් රෞද්‍ර වූ නාගයා විසින් ගඟ සළා මැද දී ගන්න ලද නැව බලහත්කාරයෙන් මැඩ මිදුවෙහි ය. ඒ පුරාතන වූ තාගේ ව්‍රතය හා ශීලය නිදා පිබිදියකු මෙන් සිහි කරමි.
තට කප්ප නම් අතවැස්සෙකිම් වීමි. (ඒ තා) නුවණැත්තකු කොට ද ව්‍රතසම්පන්නයකු කොට ද (මම) සිතුවෙමි. ඒ පුරාතන වූ තාගේ ව්‍රතය හා ශීලය නිදා පිබිදියකු මෙන් සිහි කරමි.
[බක බ්‍රහ්ම:]
මාගේ මේ ආයුෂය ඒකාන්තයෙන් දනිහි, සෙස්ස ද දනිහි, එහෙයින් (මුබ) බුද්ධ වව. එහෙයින් ම මුබගේ මේ දෙලියෙන අනුභාවය මුළුබඹලොව බබුලුවමින් සිටී.
6. 1. 5.
අපරාදිට්ඨි සූත්‍රය
176. මා විසින් මෙසේ අසන ලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු මහසිටුහුගේ අරම්හි වැඩවසන සේක. එකල්හි එක්තරා බඹකුට යමෙක් මෙහි පැමිණෙන්නේ නම් එබඳු මහණෙක් හෝ බමුණෙක් හෝ නැතැයි මෙබඳු ලාමක මිථ්‍යාදෘෂ්ටියෙක් උපන්නේ වෙයි.
එකල්හි භාග්‍යවතුන් වහන්සේ ඒ බඹහුගේ චිත්තපරිවිතර්‍කය (තම) සිතින් දැන යම්සේ බලවත් පුරුෂයෙක් හැකුළූ අතක් දිගු කරන්නේ හෝ වේ ද, දිගු කළ අතක් හකුළුවන්නේ හෝ වේ ද, එපරිද්දෙන් දෙව්රම්හි අතුරුදන් වූ සේක් ඒ බඹලොව්හි පහළ වූ සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ තෙජොධාතු සමවතට සමවැද ඒ බඹහුගේ මත්තෙහි අහස පලක් බැඳ වැඩ හුන් සේක.
ඉක්බිති ආයුෂ්මත් මහමුගලන් තෙරුන්ට භාග්‍යවතුන් වහන්සේ දැන් කොහි වැඩවසන සේක් දැයි මේ සිත විය. ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ ඒ බඹහුගේ මත්තෙහි අහස තේජෝධාතු සමවතට සමවැද පලඟින් වැඩ හුන් භාග්‍යවතුන් වහන්සේ මිනිසැස ඉක්මවා පැවැති පිරිසිදු දිවැසින් දුටුහ. දැක යම්සේ බලවත් පුරුෂයෙක් හැකුළූ අතක් දිගු කරන්නේ හෝ වේ ද; දිගු කළ අතක් හකුළුවන්නේ හෝ වේ ද, එපරිද්දෙන් දෙව්රම්හි අතුරුදන් වූවාහු ඒ බඹලොව පහළ වූහ.
ඉක්බිති ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ තේජෝධාතු සමවතට සමවැද පෙරදිග ඇසුරු කොට, භාග්‍යවතුන් වහන්සේ යටත්සේ ඒ බඹහුගේ මත්තෙහි පලඟින් වැඩ හුන්හ.
ඉක්බිති ආයුෂ්මත් මහාකස්සප තෙරණුවන්ට භාග්‍යවතුන් වහන්සේ දැන් කොහි වැඩවසන සේක් දැයි මේ සිත විය. ආයුෂ්මත් මහාකස්සප තෙරණුවෝ තේජෝධාතු සමවතට සමවැද ඒ බඹහුගේ මත්තෙහි අහස පර්‍ය්‍යඞ්කයෙන් වැඩහුන් භාග්‍යවතුන් වහන්සේ මිනිසැස ඉක්මවා පැවැති පිරිසිදු දිවැසින් දුටුහ. දැක යම් සේ බලවත් පුරුෂයෙක් හැකුළූ අතක් දිගු කරන්නේ හෝ වේ ද, දිගු කළ අතක් හකුළුවන්නේ හෝ වේ ද, එපරිද්දෙන් දෙව්රම්හි අතුරුදන් වූවාහු ඒ බඹලොව පහළ වූහ. එකල්හි ආයුෂ්මත් මහසුප් තෙරණුවෝ දකුණු දිග ඇසුරු කොට, භාග්‍යවතුන් වහන්සේ යටත්සේ ඒ බඹහුගේ මත්තෙහි අහස තේජෝධාතු සමවතට සමවැද පර්‍ය්‍යඞ්කයෙන් වැඩ හුන්හ.
ඉක්බිති ආයුෂ්මත් මහාකප්පින තෙරුන්ට භාග්‍යවතුන් වහන්සේ දැන් කොහි වැඩවසන සේක් දැයි මේ සිත විය. ආයුෂ්මත් මහාකප්පින තෙරණුවෝ තේජෝධාතු සමවතට සමවැද ඒ බඹහුගේ මත්තෙහි අහස පලඟින් වැඩහුන් භාග්‍යවතුන් වහන්සේ … දිවසින් දුටුහ. දැක යම්සේ බලවත් පුරුෂයෙක් ... එපරිද්දෙන් දෙව්රම්හි අතුරුදන් වූවාහු ඒ බඹලොව පහළ වූහ. ඉක්බිති ආයුෂ්මත් මහාකප්පින තෙරණුවෝ පැසුලු දිග ඇසුරු කොට, භාග්‍යවතුන් වහන්සේට යටත්සේ ඒ බඹහුගේ මත්තෙහි අහස තේජෝධාතුවට සමවැද පලඟින් වැඩ හුන්හ.
ඉක්බිති ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන්ට භාග්‍යවතුන් වහන්සේ දැන් කොහි වැඩවෙසෙන සේක් දැයි මේ සිත වි ය. ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ … දිවැසින් දුටුහ … ඉක්බිති ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ උතුරුදිග ඇසුරු කොට, භාග්‍යවතුන් වහන්සේට යටත්සේ ඒ බඹහුගේ මත්තෙහි අහස තේජෝධාතු සමවතට සමවැද පලඟින් වැඩ හුන්හ.
ඉක්බිති ආයුෂ්මත් මහමුගලන් තෙරුවෝ ඒ බඹහට ගාථායෙන් වදාළහ.
ඇවැත්නි, පෙර තාගේ යම් දෘෂ්ටියෙක් වී ද, තාගේ ඒ දෘෂ්ටිය අදත් තිබේ ද, බඹලොව (ප්‍රභා) මැඩ පවත්වමින් බුදුරජානන් වහන්සේ දකිහි.
[බ්‍රහ්මයා:]
නිදුකානෙනි, පෙර මාගේ යම් දෘෂ්ටියෙක් වී ද, ඒ දෘෂ්ටිය (දැන්) නැත. මේ බඹලොව (ප්‍රභා) මැඩ සිටුමින් බබලන බුදුරජානන් වහන්සේ දකිමි. ඒ මම අද නිත්‍ය වෙමියි ශාශ්වත වෙමියි කෙසේ කියම් ද.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ බඹහට සංවේග දනවා යම්සේ බලවත් පුරුෂයෙක් හැකුළූ අතක් දිගු කරන්නේ හෝ වේ ද, දිගු කළ අතක් හකුළුවන්නේ හෝ වේ ද, එසෙයින් ම ඒ බඹලොව අතුරුදන් වූ සේක් දෙව්රම්හි පහළ වූ සේක.
ඉක්බිති ඒ බ්‍රහ්ම තෙමේ එක්තරා අතැවැසි බ්‍රහ්මයකු ඇමතීය. “නිදුකානෙනි, ඒව තෝ ආයුෂ්මත් මහමුගලන් තෙරුන් වෙත එළඹෙව. එළඹ මහමුගලන් තෙරුන්ට නිදුකානෙනි, මොග්ගල්ලානයෙනි, භවත් මොග්ගල්ලාන, කස්සප, කප්පින අනුරුද්ධ තෙරවරුන්ට වැනි මෙසේ මහත් ඍද්ධි ඇති මහත් අනුභාව ඇති ඒ භාග්‍යවතුන් වහන්සේගේ වෙනත් සව්වොත් ඇද්දැයි මෙසේ කියව”යි. ඒ අතැවැසි බඹ තෙමේ නිදුකානෙනි, එසේ යයි ඒ බඹහට පිළිතුරු දී ආයුෂ්මත් මහමුගලන් තෙරුන් වෙත එළඹියේ ය. එළඹ ආයුෂ්මත් මහමුගලන් තෙරුන්ට “නිදුකානෙනි මොග්ගල්ලානයෙනි, භවත් මොග්ගල්ලාන කස්සප කප්පින අනුරුද්ධ තෙරවරුන් මෙන් මෙසේ මහත් ඍද්ධි ඇති මෙසේ මහත් අනුභාව ඇති භාග්‍යවතුන් වහන්සේගේ වෙනත් සව්වොත් ඇද්දැ”යි මෙය කී ය.
ඉක්බිති ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ ඒ අතැවැසි බඹහට ගාථායෙන් වදාළහ.
ත්‍රිවිද්‍යා ඇති ඍද්ධිවිධඥානයට පැමිණි පරසිත් දැනීමෙහි දක්‍ෂ වූ ක්‍ෂය කළ ආස්‍රව ඇති රහත් වූ බුදුරජානන් වහන්සේගේ ශ්‍රාවකයෝ බොහෝ හ.
ඉක්බිති ඒ අතැවැසි බඹ තෙමේ ආයුෂ්මත් මහමුගලන් තෙරුන්ගේ වචනය පිළිගෙණ අනුමෝදන් ව ඒ බඹු වෙත එළඹියේ ය. එළඹ ඒ බඹුහට මෙය කීය. නිදුකානෙනි, ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ මෙසේ කීහ.
“ත්‍රිවිද්‍යා ඇති ඍද්ධිවිධඥානයට පැමිණි පරසිත් දැනීමෙහි දක්‍ෂ වූ ක්‍ෂය කළ ආස්‍රව ඇති රහත් වූ බුදුරජානන් වහන්සේගේ ශ්‍රාවකයෝ බොහෝ හ”යි.
ඒ අතැවැසි බඹ තෙමේ මෙය කීය. සතුටු සිත් ඇති ඒ බඹ තෙමේ ඒ අතැවැසි බඹහුගේ භාෂිතය පිළිගත්තේ ය.
6. 1. 6.
පමාද සූත්‍රය
177. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වසන සේක.
එකල්හි භාග්‍යවතුන් වහන්සේ දිවාවිහරණය පැමිණිසේක් චිත්තවිවේකයෙන් වැඩහුන් සේක. ඉක්බිති පච්චේකබ්‍රහ්ම වූ සුබ්‍රහ්ම ද පච්චේක බ්‍රහ්ම වූ සුද්ධාවාස ද භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ වෙන වෙන ම දොර බා ඇසුරු කොට සිටියහ. ඉක්බිති පච්චේකබ්‍රහ්ම වූ සුබ්‍රහ්ම තෙමේ පච්චේකබ්‍රහ්ම වූ සුද්ධාවාසහට “නිදුකානෙනි, භාග්‍යවතුන් වහන්සේ දිවාවිහාර ගත වූ සේක් චිත්තවිවේකයෙන් වැඩහුන් සේක. (එහෙයින් ඒ) භාග්‍යවතුන් වහන්සේ ඇසුරු කරන්නට තව කල් නොවේ. “අසුවල් බඹලොව (ධ්‍යානසුඛයෙන්) සමෘද්ධවූයේත් (අභිඥා පුෂ්පයෙන්) පිපියේත් වෙයි. බ්‍රහ්ම තෙමේ ද එහි ප්‍රමාදවිහරණයෙන් වාසය කෙරෙයි. නිදුකානෙනි, යම්හ ඒ බඹලොව කරා එළඹෙන්නෙමු. එළඹ ඒ බඹහට සංවේග දනවන්නෙමු”යි මෙය කීය. පච්චේකබ්‍රහ්ම වූ සුද්ධාවාස තෙමේ නිදුකානෙනි, එසේය යි පච්චේකබ්‍රහ්ම වූ සුබ්‍රහ්මහට පිළිවදන් ඇස්වීය.