කාමයෝ අඩයටි හුල් වැන්නහ. ස්කන්‍ධයෝ මොවුන්ට මස්ලොඹු වැන්නහ. තෝ යම් කාමරතියක් කියහි ද, එය මට අරතියෙක් වි ය.
ඉක්බිති පවිටු මරු ආළවිකා මෙහෙණ මා දනිති යි දුකට පැමිණියේ නොසතුටු සිත් ඇත්තේ එහි ම අතුරුදන් වි ය.
5. 1. 2.
සෝමා සූත්‍රය
163. සැවැත්නුවර–
එකල්හි සෝමා මෙහෙණ පෙරවරු හැඳ පෙරෙව පාසිවුරු ගෙණ සැවැත්නුවරට පිඬු පිණිස පිවිසි යා ය. සැවැත්නුවර පිඬු පිණිස හැසිර පසුබත පිණ්ඩපාතයෙන් වැලකුනී දිවාවිහරණය පිණිස අන්‍ධවනය වෙත එළඹුනී ය. අන්‍ධවනයට පිවිසි එක්තරා ගසක්මුල දිවාවිහරණය පිණිස හුන.
ඉක්බිති පවිටු මරු සෝමා මෙහෙණට බිය තැතිගැනුම් ලොමු දහගැණුම් උපදවනු කැමැත්තේ සමාධියෙන් තොර කරණු කැමැත්තේ සෝමා මෙහෙණ වෙත එළඹියේ ය. එළඹ සෝමා මෙහෙණට ගාථායෙන් කී ය:
ඉසිවරුන් විසින් ලැබියයුතු දුලබ වූ යම් ඒ පදවියෙක් වේ ද, එය දැඟුල්නුවණ ඇති ස්ත්‍රිය විසින් නොලැබිය හැක්ක.
ඉක්බිති සෝමා මෙහෙණට “මේ කවරෙක් දෝ මිනිසෙක් හෝ නොමිනිසෙක් හෝ ගාථාව කියා දැ”යි මේ අදහස විය. එකල්හි සෝමා මෙහෙණහට “මේ පවිටු මරු ය. මට බිය තැතිගැනුම් ලොමුදහගැණුම් උපදවනු කැමැත්තේ සමාධියෙන් පහ කරණු කැමැත්තේ ගාථාව කියා”යී මේ අදහස විය.
සිත මැනවින් සමාධිගත වූ කල්හි නුවණ පවත්නා කල්හි මනා කොට දහම දක්නහුට ඉතිරිබව කුමක් කරන්නේ ද? මම ස්ත්‍රියක් මු යි හෝ පුරුෂයෙක් මියි හෝ අන් කිසිවෙකිම් වෙමි යි හෝ යමකුට මෙසේ අදහස් වන්නේ නම් මාර තෙමේ ඔහුට කියන්නට සුදුසු වෙයි.
ඉක්බිති පවිටු මාර තෙමේ සෝමා මෙහෙණ මා දනිති යි දුකට පැමිණියේ නොසතුටු සිත් ඇත්තේ එහි ම අතුරුදන් වි ය.
5. 1. 3.
ගෝතමී සූත්‍රය
164. සැවැත්නුවර–
එකල කිසාගෝතමී මෙහෙණ පෙරවරු හැඳ පෙරෙව පා සිවුරු ගෙණ සැවැත්නුවරට පිඬු පිණිස පිවිසිනී ය. සැවැත්නුවර පිඬු පිණිස හැසිර පසුබත පිණ්ඩපාතයෙන් වැලකුනී දිවාවිහරණය පිණිස අන්‍ධවනය වෙත එළඹිනී ය. අන්‍ධවනයට වැද එක්තරා ගසක්මුල දිවාවිහරණය පිණිස හුන.
එකල්හි පවිටු මාර තෙමේ කිසාගෝතමී මෙහෙණට බිය තැතිගැනුම් ලොමුදහගැණුම උපදවනු කැමැත්තේ සමාධියෙන් පහ කරණු කැමැත්තේ කිසාගෝතමී මෙහෙණ වෙත එළඹින. එළඹ කිසාගෝතමී මෙහෙණට ගාථායෙන් කීය:
කිම, තෝ මළපුතුන් ඇති කඳුළු මුසු මුහුණැතියක සෙයින් එකලා ව හිඳිහි ද? කිම, එකලා ව වනමැදට පැමිණි තෝ පුරුෂයකු සොයයි ද?
එකල කිසාගෝතමී මෙහෙණට “මේ කවරෙක් දෝ, මිනිසෙක් හෝ නො මිනිසෙක් හෝ ගාථාව කියා දැ”යි මේ අදහස විය. ඉක්බිති කිසාගෝතමී මෙහෙණහට “මේ පවිටු මරු ය. මට බිය තැතිගැනුම් ලොමුදහගැණුම් උපදවනු කැමැත්තේ සමාධියෙන් පහ කරණු කැමැත්තේ ගාථාව කියා”යි මේ සිත විය. ඉක්බිති කිසාගෝතමී මෙහෙණ මේ පවිටු මරු යයි දැන පවිටු මරුහට ගාථාවන්ගෙන් පෙරළා කිවු ය.
අත්‍යන්ත කොට මළපුතුන් ඇත්තියකිම් වෙමි. ස්වාමිපුරුෂයෝ ද එත දන්තයහ. (පුත්‍රාන්තය සේ ම තෙලෙකින් පුරුෂයන්ගේ අන්තය ද ඇත.) ශෝක නොකරමි. නො හඬමි. ඇවැත්නි, තට නො බමි.
හැමතන්හි තෘෂ්ණාව නසන ලදු. අඳුරුකඳ බිඳින ලදී. මරසෙන් දිනා නිකෙලෙස් ව වෙසෙමි.
ඉක්බිති පවිටු මාරු කිසාගෝතමී මෙහෙණ මා දනිතියි දුකට පැමිණියේ නොසතුටු සිත් ඇත්තේ එහි ම අතුරුදන් වි ය.
5. 1. 4.
විජයා සූත්‍රය
165. සැවැත්නුවර–
එකල්හි විජයා මෙහෙණ පෙරවරු හැඳ පෙරෙ ව පාසිවුරු ගෙණ සැවැත්නුවරට පිඬු පිණිස පිවිසිනී ය. සැවැත්නුවර පිඬු පිණිස හැසිර පසුබත පිණ්ඩපාතයෙන් වැලකුනී දිවාවිහරණය පිණිස අන්‍ධවනය වෙත එළඹුනු. අන්‍ධවනයට පිවිස එක්තරා රුකක්මුල දිවාවිහරණය පිණිස හුන.
ඉක්බිති පවිටු මරු විජයා මෙහෙණට බිය තැතිගැනුම් ලොමු දහගැණුම් උපදවනු කැමැත්තේ සමාධියෙන් පහ කරණු කැමැත්තේ විජයා මෙහෙණ වෙත එළඹියේ ය. එළඹ විජයා මෙහෙණට ගාථායෙන් කී ය:
අරිදුවනියෙනි, තෙපි සුරූපී ලදැරියහු. මම ද යොව්නෙහි සිටුනා ලදරුයෙමි. එව පසඟතුරුයෙන් අභිරමණය කරමු.
එකල විජයා මෙහෙණට “මේ කවරෙක් දෝ මිනිසෙක් හෝ නො මිනිසෙක් හෝ ගාථාව කියා දැ යි” මේ අදහස විය. ඉක්බිති විජයා මෙහෙණහට “මේ පවිටු මරු ය. මට බිය තැතිගැනුම් ලොමුදහගැණුම් උපදවනු කැමැත්තේ සමාධියෙන් පහ කරණු කැමැත්තේ ගාථාව කියා”යි මේ සිත විය. එකල විජයා මෙහෙණ පවිටු මරු යයි දැන පවිටු මරුහට ගාථාවන්ගෙන් පෙරළා කිවු ය:
මරුව, සිත්කලු රූපයෝ ද ශබ්දයෝ ද, ගන්‍ධයෝ ද රසයෝ ද ස්ප්‍රෂ්ටව්‍යයෝ ද (වෙත් නම් ඒ සියල්ල) තට ම දක්වා දෙමි. මම එයින් වැඩ ඇතියකිම් නො වෙමි.
බිඳෙනසුලු වැනසෙනසුලු මේ කුණුකයින් පීඩිත වෙමි. ලජ්ජිතයෙමි. කාමතෘෂ්ණාව (මා විසින්) නසන ලද්දී ය.
රූපභවයට (උත්පත්ති වශයෙන්) එළඹ යම් සත්‍ව කෙනෙක් වෙද් ද, අරූපභවයෙහි සිටුනා යම් සත්‍ව කෙනෙකුත් වෙද් ද, යම් ශාන්ත වූ ලෞකික සමාපත්තියෙකුත් වේ ද, ඒ සියල්ලෙහි (මුළාබව නමැති) අඳුර (මා විසින්) නසන ලදී.
එකල්හි පවිටු මාරු විජයා මෙහෙණ මා දනිති යි දුකට පත් වූයේ නො සතුටු සිත් ඇත්තේ එහි ම අතුරුදන් වි ය.
5. 1. 5.
උප්පලවණ්ණා සූත්‍රය
166. සැවැත්නුවර–
එකල්හි උප්පලවණ්ණා මෙහෙණ පෙරවරු හැඳ පෙරෙව පාසිවුරු ගෙණ සැවැත්නුවරට පිඬු පිණිස පිවිසිනී ය. සැවැත්නුවර පිඬු පිණිස හැසිර පසුබත පිණ්ඩපාතයෙන් වැලකුනී දිවාවිහරණය පිණිස අන්‍ධවනයට එළඹුන. අන්‍ධවනයට පිවිස එක්තරා සුපිපි සල්රුකක්මුල සිටියා.
ඉක්බිති පවිටු මාර තෙමේ උප්පලවණ්ණා මෙහෙණට බිය තැතිගැනුම් ලොමුදහගැණුම් උපදවනු කැමැත්තේ සමාධියෙන් පහ කරණු කැමැත්තේ උප්පලවණ්ණා මෙහෙණ වෙත එළඹියේ ය. එළඹ උප්පලවණ්ණා මෙහෙණට ගාථායෙන් කීය:
මෙහෙණ, තො අග පටන් සුපිපි සල්රුකක් වෙත එළඹ ඒ සල්රුක මුල එකලා ව සිටිහි. තිගේ පැහැසටහන් සා දෙවන පැහැසටහනෙක් ද නැත. මෙහි පැමිණි අන්හු ද තොප වැන්නාහුය. (තොපසෙයින් සසඟ හා සෙනෙහස නැතියහ) බාලාවෙනි. තෝ සලෙලුනට නො බහි ද?
ඉක්බිති උප්පලවණ්ණා මෙහෙණට “මේ කවරෙක් දෝ මිනිසෙක් හෝ නොමිනිසෙක් හෝ ගාථාව කියා දැ යි” මේ සිත විය. එකල්හි උප්පලවණ්ණා මෙහෙණහට “මේ පවිටු මරු ය. මට බිය තැතිගැනුම් ලොමුදහගැණුම් උපදවනු කැමැත්තේ සමාධියෙන් පහ කරණු කැමැත්තේ ගාථාව කියා”යි මේ අදහස විය. එකල්හි උප්පලවණ්ණා මෙහෙණ මේ පවිටු මරු යයි දැන පවිටු මරුහට ගාථාවන්ගෙන් පෙරළා කිවු ය:
තා වැනි ධුර්‍තයන් සියදහස්හු මෙහි පැමිණියාහු වෙත් ද, ලෝමයකුත් නොසලමි. නො ම තැති ගනිමි. මාරය, එකලා වූ ද මම තට නො බමි.
තෙල මම අතුරුදන් වෙමි. තොප කුසට හෝ පිවිසෙමි. දෙඇස අතුරෙහි නැහැවසටෙහි සිටුනා ද මා නො දකිහි.
සිතෙහි ලා වශී වෙමි. ඍද්ධිපාදයෝ මැනවින් වඩනා ලදහ. සියලු බැම්මෙන් මිදුනිම් වෙමි ඇවැත, මම තට නො බමි.
එකල්හි පවිටු මාරු තෙමේ උප්පලවණ්ණා මෙහෙණ මා දනී යයි දුකට පත් වූයේ නො සතුටු සිත් ඇත්තේ එහි ම අතුරුදන් වි ය.
5. 1. 6.
චාලා සූත්‍රය
167. සැවැත්නුවර–
එකල්හි චාලා මෙහෙණ පෙරවරු හැඳ පෙර ව පාසිවුරු ගෙණ සැවැත්නුවරට පිඬු පිණිස පිවිසිනී ය. සැවැත්නුවර පිඬු පිණිස හැසිර පසුබත පිණ්ඩපාතයෙන් වැලකුනී දිවාවිහරණය පිණිස අන්‍ධවනය වෙත එළඹුන. අන්‍ධවනයට පිවිස එක්තරා රුක්මුලෙක දිවාවිහරණය පිණිස හුන.
ඉක්බිති පවිටු මරු චාලා මෙහෙණ වෙත එළඹියේ ය. එළඹ චාලා මෙහෙණහට මෙය කී ය.
මෙහෙණ, තෝ කුමක් නොරුස්නෙහි ද?
[චාලා මෙහෙණ:]
ඇවැත්නි, මම ජාතිය නො රුස්නෙමි.
[මරු;]
කුමක් හෙයින් ජාතිය නො රුස්නෙහි ද? උපන් තැනැත්තේ කම්සැප විඳී. මෙහෙණ, ජාතිය නුරුස්ව යන මේ දෘෂ්ටිය කවර අඳබලෙක් තිට ගැන්වි ද?
[චාලා මෙහෙණ:]
උපන්නහුට මරණය වෙයි. උපන් තැනැත්තේ බැඳුම් වද උවදුරු යන දුක් විඳී, එහෙයින් ජාතිය නො රුස්නෙමි.
යමෙක් මා සත්‍යයෙහි පිහිට වී ද, ඒ සර්‍වඥයන් වහන්සේ ජාතිය ඉක්මවන දහම සියලු දුක් නැසීම පිණිස දෙසූ සේක.
රූපභවයට පැමිණි යම් සත්‍ව කෙනෙක් වෙද් ද, අරූපභවයෙහි සිටින යම් සත්‍ව කෙනෙකුත් වෙද්ද, නිවණ නො දන්නා ඔහු පුනර්‍භවයට පැමිණෙන සුලු වෙති.
ඉක්බිති පවිටු මරු තෙමේ … එහි ම අතුරුදන් වි ය.
5. 1. 7.
උපචාලා සූත්‍රය
168. සැවැත්නුවර–
එකල්හි උපචාලා මෙහෙණ පෙරවරු හැඳ පෙරෙව පාසිවුරු ගෙණ සැවැත්නුවරට පිඬු පිණිස පිවිසුන. සැවැත්නුවර පිඬු පිණිස හැසිර පසුබත පිණ්ඩපාතයෙන් වැලකුනී අන්‍ධවනය වෙත දිවාවිහරණය පිණිස එළඹිනී ය. අන්‍ධවනයට පිවිස එක්තරා රුක්මුලෙක දිවාවිහරණය පිණිස හුන.
ඉක්බිති පවිටු මරු උපචාලා මෙහෙණ වෙත එළඹියේ ය. එළඹ උපචාලා මෙහෙණහට -
මෙහෙණ, තො කොහි උපදිනු කැමැත්තිහි දැ යි මෙය කී ය.
[උපචාලාවෝ:]
ඇවැත්නි, මම කොහිදු උපදිනු නො කැමැත්තෙමි යි.
[මරු:]
තව්තිසා දෙවියෝ ය, යාම දෙවියෝ ය, තුෂිත දෙවියෝ ය, නිර්‍මාණරතී දෙවියෝ ය, යම් වශවර්තිති දෙවි කෙනෙක් වෙත් නම් ඔහු ය යන මොවුන් කෙරෙහි සිත පිහිටුව, පඤ්චකාමරතිය විඳුනෙහි ය.
[උපචාලාවෝ:]
තව්තිසා දෙවියෝ ය, යාම දෙවියෝ ය, තුෂිත දෙවියෝ ය, නිර්‍මාණරතී දෙවියෝ ය, යම් වශවර්තිති දෙවි කෙනෙක් වෙත් නම් ඔහු ය යන ඒ සියල්ලෝ පඤ්චකාමබන්‍ධනයෙන් බැඳුනාහු නැවත මාර වශයට පැමිණෙත්.
මුළුලොව ඇවිළින මුළුලොව නැවීන. මුළුලොව දිලිසින, මුළුලොව වෙසෙසින් සැලින.
යමෙක් අකම්පිතව ද, අචලිත ද, පුහුදුන් විසින් නො සෙවුනා ලද ද, යම් තැනෙක මරුට පිහිටෙක් නැද්ද, එහි (නිවණෙහි) මාගේ සිත ඇලුනේ ය.
ඉක්බිති පවිටු මාර තෙමේ … එහි ම අතුරුදන් වි ය.
5. 1. 8.
සීසූපචාලා සූත්‍රය
169. සැවැත්නුවර–
එකල්හි සීසූපචාලා මෙහෙණ පෙරවරු හැඳ පෙරෙ ව පාසිවුරු ගෙණ සැවැත්නුවරට පිඬු පිණිස පිවිසුන. සැවැත්නුවර පිඬු පිණිස හැසිර පසුබත පිණ්ඩපාතයෙන් වැලකුනී දිවාවිහරණය පිණිස අන්‍ධවනය වෙත එළඹුන. අන්‍ධවනයට බැසගෙන එක්තරා රුකක්මුල දිවාවිහරණය පිණිස හුන.
ඉක්බිති පවිටු මරු සීසූපචාලා මෙහෙණ වෙත එළඹියේ ය. එළඹ සීසූපචාලා මෙහෙණහට මෙය කීය:
මෙහෙණ තො කවරකුගේ පාෂාණ්ඩය (දෘෂ්ටිය) ක් රුස්නෙහි ද?
[සීසූපචාලාවෝ:]
ඇවැත්නි, මම කිසිවකුගේ පාෂාණ්ඩයක් නො ම රුස්නෙමි.
[මරු:]
මෙහෙණක මෙන් පෙණෙහි. කවරකු උදෙසා මුඩු වූ යෙහි ද? පාෂාණ්ඩයක් නුරුස්නෙහි ද? කුමක් හෙයින් මුළා වූවකු මෙන් හැසිරෙහි ද?
[සීසූපචාලාවෝ:]
පාෂාණ්ඩයෝ මේ සස්නෙන් පිටත්හ. ඔහු මිත්‍ථ්‍යාදෘෂ්ටීන්හි ගැලෙත්. ඔවුන්ගේ දහම නුරුස්නෙමි. ඔහු දහම්හි අදක්‍ෂයයහ.
ශාක්‍යවංශයෙහි උපන් සමාන පුද්ගලයන් නැති සියලු ස්කන්‍ධාදීන් මැඩ සිටියා වූ මරුන් නෙරැපූ සියලු තන්හි නො පැරදුනු සියලු තන්හි මිදුනු (තෘෂ්ණා දෘෂ්ටීන්) අනිඃශ්‍රිත වූ සර්‍වඥයන් වහන්සේ ඇති සේක. සියලු කර්‍මයන් ක්‍ෂය කිරීමට පැමිණි උපධිසඞ්ඛය සඞ්ඛාත නිර්‍වාණයෙහි ලා මිදුනු පසැස් ඇති ඒ භාග්‍යවතුන් වහන්සේ සියල්ල දක්නා සේක. ඒ මාගේ ශාස්තෘන් වහන්සේ ය. උන්වහන්සේගේ සස්න රුස්නෙමි.
ඉක්බිති පවිටු මරු තෙමේ … එහි ම අතුරුදන් වි ය.
5. 1. 9.
සේලා සූත්‍රය
170. සැවැත්නුවර–
එකල්හි සේලා මෙහෙණ පෙරවරු හැඳ පෙරෙව පාසිවුරු ගෙණ සැවැත්නුවරට පිඬු පිණිස පිවිසුනා හ. සැවැත්නුවර පිඬු පිණිස හැසිර පසුබත පිණ්ඩපාතයෙන් වැලකුනී දිවාවිහරණය පිණිස අන්‍ධවනය වෙත එළඹුනා ය. අන්‍ධවනයට පිවිස එක්තරා රුක්මුලෙක දිවාවිහරණය පිණිස හුන.
ඉක්බිති පවිටු මරු සේලා මෙහෙණහට බිය තැතිගැනුම් ලොමු දහ ගැණුම් උපදවනු කැමැත්තේ සමාධියෙන් පහ කරණු කැමැත්තේ සේලා මෙහෙණ වෙත එළඹියේ ය. එළඹ සේලා මෙහෙණට ගාථායෙන් කී ය:
මේ අත්බව කවරකු විසින් කරණ ලද ද? මේ අත්බැව්හි කාරකයා කවරේ ද? මේ අත්බව කුමක් නිසා උපන්නේ ද? මේ අත්බව කෙසේ නිරුද්ධ වේ ද?
එකල්හි සේලා මෙහෙණට “මේ කවරෙක් ද” මිනිසෙක් හෝ නොමිනිසෙක් හෝ ගාථාව කියා දැ’යි මේ අදහස විය. එකල්හි සේලා මෙහෙණට “මේ පවිටු මරු ය. මට බිය තැති ගැණුම් ලොමුදහගැණුම් උපදවනු කැමැත්තේ සමාධියෙන් පහ කරණු කැමැත්තේ ගාථාව කියා’යි මේ අදහස විය. ඉක්බිති සෙලා මෙහෙණ මේ පවිටු මරු යයි දැන පවිටු මරුහට ගාථාවන්ගෙන් පෙරළා කිවුය:
මේ අත්බැව තමා විසින් කරණලද්දෙක් නොවේ. මේ දුකට පිහිට වූ අත්බව මෙරමා විසින් කරණලද්දෙක් ද නොවේ. හේතුව නිසා හට ගත්තේ ය. හේතුව බිඳීමෙන් නිරුද්ධ වේ.
කෙතෙහි වපුළ යම්කිසි බිජුවටෙක් පොළෝරසය ද ජලය ද යන ඒ දෙක ලැබගෙන යම්සේ අකුරු නගා ද?
එසෙයින් ම ස්කන්‍ධයෝ ද, ධාතූහු ද, ෂඩායතනයෝ ද යන මොහු හේතුව නිසා හට ගත්තෝ ය. හේතුභඞ්ගයෙන් නිරුද්ධ වෙත්.
ඉක්බිති පවිටු මරු තෙමේ … එහි ම අතුරුදන් වි ය.
5. 1. 10.
වජිරා සූත්‍රය