Saṁyutta Nikāya

Connected Discourses

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-30 · 15083 segments

පෙන්වන කොටස් 1601-1700 න් 15083

සමිද්ධි, මේ පොළොව නො පෙරෙළෙයි. මේ පවිටු මරු ය. තොපගේ නුවණැස වනසා ලන්නට පැමිණියේ ය. සමිද්ධි, තෙපි යව. නොපමා ව කෙලෙස් තවන වෙර ඇතිව නිවන් පිණිස මෙහෙයූ සිත් ඇතිව එහි ම වසව.
වහන්ස, එසේ ය යි ආයුෂ්මත් සමිද්ධි තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් අස්වා හුනස්නෙන් නැඟී භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට ගියහ: දෙවනවට දු ආයුෂ්මත් සමිද්ධි තෙරණුවෝ නොපමාව කෙලෙස් තවන වෙර ඇතිව නිවන් පිණිස මෙහෙයූ සිත් ඇතිව එහි ම විසූහ. දෙවනවට දු එකලා ව චිත්තවිවේකයෙන් හුන් සමිද්ධි තෙරණුවන්ට මෙබඳු චිත්තවිතර්‍කයෙක් පහළ විය. … ඒ මට සිල්වත් කලණදහම් ඇති සබ්‍රම්සරහු වෙති. එය මට එකතින් මහත් ලාභයෙකි. එකතින් මට මනා ලැබීමෙකි. දෙවනවට දු පවිට මාර තෙමේ (තම) සිතින් ආයුෂ්මත් සමිද්ධි තෙරණුවන්ගේ චිත්තපරිවිතර්‍කය දැන … තවද, පොළොව පෙරළන්නාක් සෙයිනි.
ඉක්බිති ආයුෂ්මත් සමිද්ධි තෙරණුවෝ මේ පවිටු මරු ය යි දැන පවිටු මරුහට ගාථායෙන් කීහ.
මම සැදැහැයෙන් ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වීමි. මා විසින් සිහිය හා නුවණ අවබෝධ කරණ ලදී. සිත ද මොනොවට පිහිටුවන ලද්දේ ය. (එහෙයින් බිහිසුණු) රූපයන් කැමති පරිද්දෙන් කරව. මා නොම පෙළන්නෙහි ය.
ඉක්බිති පවිටු මරු තෙමේ සමිද්ධි මහණ තෙමේ මා දනී යයි දුකට පැමිණියේ නො සතුටු සිත් ඇත්තේ එහි ම අතුරුදන් විය.
4. 3. 3.
ගෝධික සූත්‍රය
159. මා විසින් මෙසේ අසන ලදී: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි කලන්‍දකනිවාප නම් වූ වේළුවනාරාමයෙහි වැඩ වසන සේක. එකල්හි ආයුෂ්මත් ගෝධික තෙරණුවෝ ඉසිගිලි පවු ඇළයෙහි කළුගල් තලායෙහි වැඩ වෙසෙති. එකල්හි ආයුෂ්මත් ගෝධික තෙරණුවෝ නො පමා ව කෙලෙස් තවන වෙර ඇති ව නිවන් පිණිස මෙහෙයූ සිත් ඇති ව වසන්නාහු ලෞකික සමවතක් ලැබූහ. එකල්හි ආයුෂ්මත් ගෝධික තෙරණුවෝ ඒ ලෞකික සමවතින් පිරිහුනහ.
දෙවනවට දු ආයුෂ්මත් ගෝධික තෙරණුවෝ නො පමාව … වසන්නාහු ලෞකික සමවත ලැබූහ. දෙවනවට දු ආයුෂ්මත් ගෝධික තෙරණුවෝ ඒ ලෞකික සමවතින් පිරිහුනහ. තෙවනවට දු ආයුෂ්මත් ගෝධික තෙරණුවෝ … පිරිහුනහ. සිවුවනවට දු ආයුෂ්මත් ගෝධික තෙරණුවෝ … පිරිහුනහ. පස්වනවට දු ආයුෂ්මත් ගෝධික තෙරණුවෝ … පිරිහුනහ. සවනවට දු ආයුෂ්මත් ගෝධික තෙරණුවෝ … පිරිහුනහ.
සත්වනවට දු ආයුෂ්මත් ගෝධික තෙරණුවෝ නො පමා ව කෙලෙස් තවන වෙර ඇතිව නිවන් පිණිස මෙහෙයූ සිත් ඇති ව වසන්නාහු ලෞකික සමවත ලැබූහ. ඉක්බිති ආයුෂ්මත් ගෝධික තෙරණුවන්ට “මම සවනවට තෙක් ලෞකික සමවතින් පිරිහිනිමි. මම සැත් අරනෙම් නම්, මනා නො!”යි මේ සිත වි ය.
ඉක්බිති පවිටු මාර තෙමේ තම සිතින් ආයුෂ්මත් ගෝධික තෙරණුවන් ගේ චිත්තපරිවිතර්‍කය දැක භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේට ගාථාවලින් කී ය.
මහාවීරයෙනි, මහපණැතියෙනි, ඍද්ධියෙන් හා පිරිවරින් බබලනුවෙනි, සියලු (පාණාතිපාතාදි) වෙර හා බිය ඉක්ම වූ තැනැත්තෙනි, පසැස් ඇතියෙන්, පා වඳිමි.
මරණය මැඩලන සුලු මහාවීරයෙනි, මුබගේ සව්වෙක් මරණය කැමති වෙයි. පියෝ කෙරෙයි. මහතෙදැතියෙනි, එය වළක්වනු මැනවි.
ජනයා කෙරෙහි ප්‍රසිද්ධ වූ භාග්‍යවතුන් වහන්ස, සස්නෙහි ඇලුනු නොපත් රහත්ඵල ඇති ශෛක්‍ෂ වූ මුබ සව්වෙක් කෙසේ නම් කලුරිය කරන්නේ ද?
එකල්හි ආයුෂ්මත් ගෝධික තෙරණුවන් විසින් සැත් අරනලද්දේ වෙයි.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ පවිටු මරුයයි දැන පවිටු මරුහට ගාථායෙන් වදාළ සේක.
නුවණැත්තෝ මෙසේ ද කෙරෙත්. දිවි නො පතත්. ගෝධික තෙමේ මුල්සහිත තෘෂ්ණාව උපුටා හැර පිරිනිවියේ ය. (සමසීසී වැ පිරිනිවියෙන් ස්කන්‍ධපරිනිර්‍වාණයෙන් පිරිනිවියේ ය)
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමුතූ සේක. මහණෙනි, යම්හ, යම්තැනෙක දී ගෝධික කුලපුතු විසින් සැත් අරන ලද්දේ නම් ඒ ඉසිගිලි ඇළය කළුගල්තලාව වෙත එළඹෙන්නෙමු, වහන්ස, එසේ යයි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ බොහෝ භික්‍ෂූන් සමග ඉසිගිලිපවුපස කළුගල්තලාව වෙත එළඹි සේක. භාග්‍යවතුන් වහන්සේ පෙරළුනු කඳ ඇති ඇඳෙහි උඩුකුරු ව හෝනා ආයුෂ්මත් ගෝධික තෙරුන් දුර දී ම දුටු සේක.
එකල්හි ධූමායිත බවෙක් තිමිරායිත බවෙක් (දුමක්හු, අඳුරක්හු සෙයින් හැසිරෙන සෙයක් = මාරාවේශ අවතාර රූප) පෙරදිගට යෙ ම ය. පැළදිගට යේ ම ය උතුරුදිගට යේ ම ය. දකුණුදිගට යේ ම ය. උඩට යේ ම ය. යටට යේ ම ය. අනුදිගට යේ ම ය.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමතූ සේක. මහණෙනි, තෙපි තෙල දකිවු ද? ධූමයිත බවෙක් තිමිරායිත බවෙක් (දුමක්හු, අඳුරක්හු සෙයින් හැසිරෙන සෙයක් = මාරාවේශ අවතාර රූප) පෙරදිගට යේ ම ය. පැසුලුදිගට යේ ම ය. උතුරුදිගට යේ ම ය. දකුණුදිගට යේ ම ය. උඩට යේ ම ය. යටට යේ ම ය. අනුදිගට යේ ම ය. වහන්ස, එසේ ය, මහණෙනි, මේ පවිටු මාර තෙමේ “ගෝධික කුලපුතුගේ විඤ්ඤාණය කොහි පිහිටියේ දැයි ගෝධික කුලපුතුගේ විඥානය සොයයි. මහණෙනි, ගෝධික කුලපුත් තෙමේ නොපිහිටි විඥානයෙන් පිරිනිවියේ ය.
ඉක්බිති පවිටු මාර තෙමේ බේලුවපණ්ඩු (විලිකුන් බෙල්පක් පැහැබඳු පැහැ ඇති රන් මුවා) මහවෙණ ගෙණ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් කීය:
මම උඩ ද, යට ද, සරස ද, සිවුදිග හා අනුදිග ද ඒ ගෝධික තෙමේ කොහි ගියේ දැයි සොයන්නෙම් නොලබමි.
[භගවත්හු:]
නුවණැති ධෘතිමත් වූ ධ්‍යානකරණ සුලු හැමකල්හි ධ්‍යානයෙහි ඇලුනු ඒ ගෝධික තෙමේ දිවි නොතකමින් දවරෑ දෙක්හි පිළිවෙත් කරනුයේ මරසෙනඟ සිඳ පුනර්‍භවයට නො පැමිණ තෘෂ්ණාව සහමුලු කොට උපුටා හැර පිරිනිවියේ ය.
[තෙරහු:]
ශෝකයෙන් මැඩුනු ඒ මාරයාගේ කැසින් වීණාව ගිලිහුනේ ය. එයින් නොසතුටු සිත් ඇති ඒ මාර තෙමේ එහි ම අතුරුදහන් විය.
සත්තවස්ස සූත්‍රය
160. මා විසින් මෙසේ අසන ලදී: එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ උරුවෙල්දනව්වෙහි නේරඤ්ජරා ගංතෙර අජපල් නුගරුකමුල වැඩවසන සේක. එකල්හි පවිටු මරු සිදුරු සොයන්නේ සිදුරු නො විඳුමින් සත්වසක් මුළුල්ලෙහි භාග්‍යවතුන් වහන්සේ ලුහුබැන්දේ වේ. ඉක්බිති පවිටු මාර තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් කී ය:
වෙනෙහි සිතිවිලි සිතයි ද? ශෝකයට බටුයෙහි ද? ධනයක් පැරදුනෙහි ද? වැලි, පතමින් (හිඳිහි ද?) ගමෙහි කිසියම් අපරාධයක් කෙළෙහි ද? කුමක්හෙයින් මහජනයා සමග මිත්‍රභාවය නො කෙරෙහි ද? කිසිවකු හා මුබගේ මිත්‍රභාවයෙක් නො සැපයේ ද,
[භගවත්හු:]
මාරය, ශෝකමූල හැම සාරා දමා ශෝක නොකරමින් නිරපරාධ ව සිට ධ්‍යාන කරමි. සියලු භවලෝභසංඛ්‍යාත තෘෂ්ණාව සිඳ ආස්‍රවරහිත වූයෙම් ධ්‍යාන කරමි.
[මරු:]
මේ මාගේ යයි යමක් කියද් ද, යම් කෙනෙකුත් මා ගැත්තේ යයි කියද් ද, ඉදින් මෙහි මුබගේ සිතෙක් ඇත් නම් ශ්‍රමණය, මාගෙන් නො මිදෙන්නෙහි ය.
[භගවත්හු:]
මාගේ යයි යමක් කියද් ද, එය මාගේ නො වේ. යම් කෙනෙක් (මාගේ යයි) කියද් ද මම හේ නො වෙමි. පවිට, මෙසේ දනුව. මා ගිය මග ද තෝ නොදක්නෙහි ය.
[මරු:]
ඉදින් නිර්‍භය වූ නිවණට යන මග අවබෝධ කරණ ලද්දේ නම් (මාගේ විෂයයෙන්) පහවනු මැනවි. මුබ ම එකලා ව (ඒ මග) යනු මැනව, කුමක් හෙයින් මෙරමාහට අනුශාසනා කෙරෙහිදැයි.
[භගවත්හු:]
පරතෙරට යන සුලු යම් ජන කෙනෙක් මරුහට විෂය නො වූ නිවණ විචාරද් ද, ඔවුන් විසින් විචාරණ ලද්දෙම් මම යමෙක් සත්‍ය වේ ද, උපධි රහිත ද, එය කියමි.
[මරු:] වහන්ස, ගමකට හෝ නියම්ගමකට නුදුරෙහි පොකුණෙක් වේ. එහි කකුළුවෙක් වන්නේ ය. වහන්ස, එකල්හි බොහෝ කුමරුවෝ හෝ කුමරියෝ හෝ ඒ ගමින් හෝ නියම්ගමින් නික්ම ඒ පොකුණ වෙත එළඹෙන්නාහු ය. එළඹ ඒ කකුළුවා ජලයෙන් නඟා ගොඩ තබන්නාහු ය. වහන්ස, ඒ කකුළුවා යම් යම් අළක් ඉදිරියට නමන්නේ ය. ඒ කුමරුවෝ හෝ කුමරියෝ හෝ ඒ ඒ අළ ම ලීයෙකින් හෝ කැබිලිත්තෙකින් හෝ සිඳින්නාහු ය. බිඳින්නාහු ය.. වහන්ස, මෙසේ ඒ කකුළුවා සිඳින ලද බිඳින ලද කැබැලි කැබැලි කොට බිඳින ලද සියලු අළ කරණ කොට ගෙණ පෙර මෙන් නැවත ඒ පොකුණට බස්නට අභව්‍ය වන්නේ ය.
වහන්ස, එසෙයින් ම කිසියම් විසූකයෝ (මරවිසුළු) ඇද්ද, කිසියම් විලෝම දැ ඇද්ද, කිසියම් කිසියම් සලන සුලු දැකුම් ඇද්ද, ඒ සියල්ල භාග්‍යවතුන් වහන්සේ විසින් සිඳින ලදී. බිඳින ලදී. කැබැලි කැබැලි කරණ ලදී. වහන්ස, දන් මම සිදුරු සොයන්නෙම් භාග්‍යවතුන් වහන්සේ වෙත නැවත එළඹෙන්නට නුසුදුස්සෙම් වෙමි යි. ඉක්බිති පවිටු මාර තෙමේ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි උකටලියට කරුණු වූ මේ ගාථා කී ය:
කවුඩෙක් මේද තෙල්පැහැ ඇති ගලක් (දැක) එහි මොළොක් බව විඳීම් නම් මැනව, රස විඳ ගැණීමෙක් වන්නේ නම් මැනැව යි ඒ සිසාරන්නේ වේ ද,
ඒ කවුඩු තෙමේ එහි ආස්වාදයක් නො ලැබ (යම්සේ) එයින් පහවන්නේ ද, (මේද තෙල් පැහැ ඇති) ගල වෙත පැමිණ (ආශ්වාදයක් නො ලත් මේ) කවුඩා මෙන් කළකිරී ගෞතමයන් වහන්සේ කෙරෙන් පහව යම්හ.
ඉක්බිති පවිටු මාර තෙමේ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි උකටලියට කරුණු වූ මේ ගාථාවන් කියා එතැනින් පහ ව භාග්‍යවතුන් වහන්සේ නුදුරෙහි නිහඬ වූයේ තෙද නැති වූයේ බහාලූ කර ඇතියේ යටිකුරු මුහුණු ඇතියේ සිතිවිලි සිතමින් කිසිත් වටහා ගත නො හැකි වූයේ ලී කැබැල්ලෙකින් බිම ඉරි අඳිමින් බිම පලක් බැඳ ගෙණ හුන්නේ ය.
4. 3. 5.
මාරධීතු සූත්‍රය
161. උරුවේලාවෙහි –
ඉක්බිති තණ්හා අරති රගා ද යන මාරකන්‍යාවෝ පවිටු මරු වෙත එළඹියහ. එළඹ පවිටු මරුහට ගාථායෙන් කියුහු:
පියාණෙනි, කවරහෙයින් නොසතුටු සිත් ඇත්තෙහි ද? කිනම් පුරුෂයකු සිතයි ද? අපි ඔහු වනඇතකු මෙන් රාගපාශයෙන් බැඳ ගෙණ එන්නමු. එවිට තොපට වසඟ වන්නේ යයි.
[මරු:]
සුගත තෙමේ ලෝකයෙහි අර්‍හත් ය. රාගයෙන් (බැඳ) සුවසේ ගෙණ ඉය නොහැක්කේ ය. මාරවිෂය ඉක්ම වූයේ ය. එහෙයින් මම අතිශයින් සිතිවිලි සිතමි.
ඉක්බිති තණ්හා අරති රගා ද යන මාරකන්‍යාවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේට “මහණ, මුබ පා හමුයෙහි මෙහෙවර කරමෝව”යි මෙය කියුහ. එකල්හි භාග්‍යවතුන් වහන්සේ යම් සෙයින් අනුත්තර නිවණෙහි ලා මිදුනෙක් (නිවන්හි ඇලුනු පලසමවත් ඇතියෙක්) මෙනෙහි නොකෙරේ ද එසෙයින් එද නොමෙනෙහි කළ සේක.
ඉක්බිති තණ්හා අරති රගා ද යන මරදූහු එකත්පසෙකට ඉවත් ව පුරුෂයන්ගේ අදහස් විසිතුරු ය. (එහෙයින්) අපි සියක් සියක් කොට කුමරිවෙස් සියක් මවා ගන්නමෝ නම් යෙහෙකැයි මෙසේ සිතූහ.
ඉක්බිති තණ්හා අරති රගා ද යන මාරකන්‍යාවෝ (එකක් එකක්) සියක් සියක් කොට කුමරිවෙස් සියක් (තුන්සියක් විලස්) මවා ගෙණ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේට “මහණ, මුබ පා හමුයෙහි මෙහෙ කරමෝ ව”යි මෙය කියුහ. භාග්‍යවතුන් වහන්සේ යම් සෙයින් අනුත්තර නිවණෙහි ලා මිදුනෙක් (නිවන්හි ඇලුනු පලසමවත් ඇතියෙක්) මෙනෙහි නො කෙරේ ද එසෙයින් එ ද නොමෙනෙහි කළ සේක.
ඉක්බිති තණ්හා අරති රගා ද යන මරදූහු එකත්පසෙකට ඉවත් ව පුරුෂයන් අදහස් විසිතුරුය. අපි සියක් සියක් නොවැදූ ඉතිරින් වෙස් සීයක් මවා ගන්නමෝ නම් මැනවැයි මෙසේ සිතූහ.
ඉක්බිති තණ්හා අරති රගාද යන මරදූහු එක්සිය එක්සිය නොවැදූ ඉතිරින්වෙස් සියක් මවා ගෙණ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේට “මහණ, මුබගේ පා හමුයෙහි මෙහෙවර කරමෝ ව”යි මෙය කියාහු. භාග්‍යවතුන් වහන්සේ යම් සෙයින් අනුත්තර නිවණෙහි ලා මිදුනෙක් (නිවන්හි ඇලුනු පලසමවත් ඇතියෙක්) මෙනෙහි නො කෙරේ ද එසෙයින් එ ද නො මෙනෙහි කළ සේක.
ඉක්බිති තණ්හා … අපි සියක් සියක් කොට එක්වර වැදූ ඉතිරින්වෙස් සියක් මවා ගන්නමෝ නම් මැනවැයි සිතූහ.
ඉක්බිති තණ්හා … එක්වර වැදූ ඉතිරින්වෙස් සියක් මවා ගෙණ භාග්‍යවතුන් වහන්සේ වෙත … යම් සෙයින් අනුත්තර නිවණෙහි ලා මිදුනෙක් (නිවන්හි ඇලුනු පලසමවත් ඇතියෙක්) මෙනෙහි නො කෙරේ ද එසෙයින් එ ද නොමෙනෙහි කළ සේක.
ඉක්බිති තණ්හා … අපි … දෙවර වැදූ ඉතිරින්වෙස් සියක් මවා ගන්නමෝ නම් මනාමැනුයි.
ඉක්බිති තණ්හා … දෙවර වැදූ ඉතිරින්වෙස් සියක් මවා ගෙණ භාග්‍යවතුන් වහන්සේ වෙත … යම් සෙයින් අනුත්තර නිවණෙහි ලා මිදුනෙක් (නිවන්හි ඇලුනු පලසමවත් ඇතියෙක්) මෙනෙහි නො කෙරේ ද එසෙයින් එ ද නොමෙනෙහි කළ සේක.
ඉක්බිති තණ්හා … අපි … මැඳුම්විය ඉතිරින්වෙස් සියක් මවා ගන්නමෝ නම් මනාමැනුයි.
ඉක්බිති තණ්හා … මැඳුම්විය ඉතිරින්වෙස් සියක් මවා ගෙණ භාග්‍යවතුන් වහන්සේ වෙත … යම් සෙයින් අනුත්තර නිවණෙහි ලා මිදුනෙක් (නිවන්හි ඇලුනු පලසමවත් ඇතියෙක්) මෙනෙහි නො කෙරේ ද එසෙයින් එ ද නො මෙනෙහි කළ සේක.
ඉක්බිති තණ්හා … අපි … වයසින් වැඩුනු ඉතිරින්වෙස් සියක් මවා ගන්නමෝ නම් මැනවැයි.
ඉක්බිති තණ්හා … වයසින් වැඩුනු ඉතිරින්වෙස් සියක් මවා ගෙණ භාග්‍යවතුන් වහන්සේ වෙත … යම් සෙයින් අනුත්තර නිවණෙහි ලා මිදුනෙක් (නිවන්හි ඇලුනු පලසමවත් ඇතියෙක්) මෙනෙහි නො කෙරේ ද එසෙයින් එද නොමෙනෙහි කළ සේක.
ඉක්බිති තණ්හා අරති රගා ද යන මාරදූහු එකත්පසකට ඉවත්ව මෙසේ කියුහ. අපගේ පිය තෙමේ සැබැවක් කීයේ ම ය.
“සුගත තෙමේ ලෝකයෙහි අර්‍හත් ය. රාගයෙන් බැඳ නොගෙණිය හැක්කේ ය. මාර විෂය ඉක්ම වූයේ ය. එහෙයින් මම අතිශයින් සිතිවිලි සිතමි” යි.
අපි පහ නොවූ රාග ඇති යම් මහණකු හෝ බමුණකු හෝ වෙත මේ උපක්‍රමයෙන් එළඹෙන්නමෝ නම් ඔහුගේ ලය හෝ පැළෙන්නේ ය. මුවෙන් උණුලේ හෝ නැඟෙන්නේය. උමතුවට හෝ සිත් පෙරැළියට හෝ පැමිණෙන්නේ ය. සිඳින ලද නිල්වන් බටගසෙක යම්සේ වියළේ ද, වෙසෙසින් වියළේ ද, මැලවේ ද, එසෙයින් ම වියළෙන්නේය වෙසෙසින් වියළෙන්නේය මැලවෙන්නේය යි.
ඉක්බිති තණ්හා අරති රගා ද යන මරදූහු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ එකත්පසෙක සිටියහ. එකත් පසෙක සිටි තණ්හා මර දූ භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් කිවුය:
ශෝකයට බටුයෙහි ද? වෙනෙහි සිතිවිලි සිත්හි ද? වස්තුවක් පැරදුනේහි ද? වැලි පතමින් (හිඳිහි ද?) ගම්හි කිසියම් අපරාධයක් කෙළෙහි ද? කුමක් හෙයින් මහජනයා සමග මිත්‍රභාවය නොකෙරෙහි ද? කිසිවකු හා මුබගේ මිත්‍රභාවයෙක් නොසැපයේ ද?
[භගවත්හු:]
මම ප්‍රියස්වරූප සාතස්වරූප ඇති ක්ලේශසේනාව දිනා හුදෙකලාව ධ්‍යාන කෙරෙමින් අභිමතාර්‍ත්‍ථයාගේ පැමිණීම වූ ද, හෘදයශාන්තිය වූ ද රහත්ඵල සුවය අවබෝධ කෙළෙමි. එබැවින් මහජනයා සමග මිත්‍රත්‍වය නො කරමි. කිසිවකු හා මාගේ මිත්‍රත්‍වයෙක් නො සැපයේ.
ඉක්බිති අරති මරදූ භාග්‍යවතුන් වහන්සේ ගාථායෙන් කිවුය.
මෙසස්නෙහි කෙබඳු විහරණයක් බහුල කොට ඇති මහණ තෙම තරණය කළ පඤ්චද්වාරික ක්ලේශඕඝ ඇත්තේ (මනෝද්වාරික වූ) සවන ක්ලේශඕඝය තරණය කළේ ද? කාමසංඥාවෝ කෙබඳු ධ්‍යානයක් බහුල කොට ඇත්තා වූ ඔහු නොලබා හාත්පසින් බැහැර වෙද් ද?
[භගවත්හු:]
සන්හුන් කය ඇති මොනවට මිදුනු සිත් ඇති කර්‍ම රැස් නොකරණ සිහි ඇති ආලය නැති (රහත් තෙමේ) දහම් දැන විතර්‍ක රහිත ධ්‍යානයෙහි යෙදුනේ නො කිපෙයි. (රාග වශයෙන්) සිහි නොකෙරෙයි. (මෝහ වශයෙන්) හැකුලුනේ නොවෙයි.
මෙහි එබඳු විහරණ බහුල කොට ඇති මහණ තෙමේ තරණය කළ පඤ්චද්වාරික ක්ලේශඕඝ ඇත්තේ මේ ලෝකයෙහි (මනෝද්වාරික වූ) සවන ක්ලේශඕඝය තරණය කළේ ය. කාම සංඥාවෝ මෙසේ ධ්‍යාන බහුල කොට ඇති ඔහු නොලැබ හාත්පසින් බැහැර වෙත්.
ඉක්බිති රගා මර දූ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කිවුය.
ගණයා කෙරෙහිත් සමූහයා කෙරෙහිත් හැසිරෙණ මේ ශාස්තෘ තෙමේ තෘෂ්ණාව සින්දේ ය. බොහෝ සත්‍වයෝ ද එකතින් තෘෂ්ණාව සිඳින්නාහ. ආලය නැති මේ ශාස්තෘ තෙමේ බොහෝ ජන සමූහයක් මාරයා අතින් පැහැර ගෙණ පරතෙරට පමුණුවන්නේ ය.
[භගවත්හු:]
මහාවීර වූ තථාගතවරයෝ සද්ධර්‍මයෙන් සත්‍වයන් එතෙර කෙරෙත්. නුවණැතියන් ධර්‍මයෙන් එතෙර කරණ කල්හි කවර ඊෂ්‍යායෙක් ද?
ඉක්බිති තණ්හා අරති රගා ද යන මරදූහු කෘෂ්ණ මාරයා වෙත එළඹියහ. කෘෂ්ණ මාර තෙමේ දුරදී ම එන්නා වූ තණ්හාව හා අරතිය හා රගා ද යන මරදූන් දැක්කේ ය. දැක ගාථාවන්ගෙන් කී ය.
බල්දරුයෙනි, හෙළඋපුල්දඬුයෙන් පර්‍වතයක් අළලවු ද? මහගලක් නියෙන් කණිවු ද? දතින් යකඩ කවු ද?
මහගලක් හිසමතුයෙහි තබා ගෙණ ගැඹුරෙහි පිහිටක් සොයවු ද? ලයෙහි හුලක් හැනගෙන මෙන් ගෞතමයන් කෙරෙන් කළකිරී පහ ව අවු ය?
[තෙරහු:]
තණ්හා අරති රගා ද යන මරදූහු අතිශයින් දිලිසෙමින් ආවාහු ය. එහි දී ශාස්තෘන් වහන්සේ ඔවුන් නෙරූ සේක. කෙසේ ද යත්: වාතය තෙමේ ගිලුහුණු පිලිනක් නෙරන්නාක් සෙයිනි.
මාර වර්‍ගය තෙවෙනි යි.
එහි උද්දානය:
සම්බහුල, සමිද්ධි, ගෝධික, සත්තවස්ස, ධීතර ය යි මේ මාර පඤ්චකය ශ්‍රේෂ්ඨ වූ බුදුරජානන් වහන්සේ විසින් දේශනා කරණ ලදී.
මාරසංයුත්තය නිමියේ ය.
5. භික්ඛුනී සංයුත්තය
1. භික්ඛුනී වර්‍ගය
5. 1. 1.
ආළවිකා සූත්‍රය
162. මා විසින් මෙසේ අසන ලදී: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වසන සේක.
එකල්හි ආළවිකා මෙහෙණ පෙරවරු හැඳ පෙරෙව පාසිවුරු ගෙණ සැවැත්නුවරට පිඬු පිණිස පිවිසි යා ය. සැවැත්නුවර පිඬු පිණිස හැසිර පසුබත් පිණ්ඩපාතයෙන් වැළකුණී විවේකය කැමැත්තී අන්‍ධවනය වෙත එළඹියා ය.
එකල පවිටු මරු ආළවිකා මෙහෙණට බිය තැති ගැණුම් ලොමු දහගැණුම් උපදවනු කැමැත්තේ විවේකයෙන් පහ කරණු කැමැත්තේ ආළවිකා මෙහෙණ වෙත එළඹියේ ය. එළඹ ආළවිකා මෙහෙණට ගාථායෙන් කී ය:
ලොව නිවණෙක් නැත. විවේකයෙන් කුමක් කරන්නෙහි ද, කාමරතීන් විඳුව, නහමක් පසුතැවිලි වව.
ඉක්බිති ආළවිකා මෙහෙණහට “මේ කවරෙක් දෝ මිනිසෙක් හෝ නොමිනිසෙක් හෝ ගාථාව කියා දැ”යි මේ අදහස විය. ඉක්බිති ආළවිකා මෙහෙණහට “මේ පවිටු මාර තෙමේ මට බිය තැති ගැණුම් ලොමුදහ ගැණුම් උපදවනු කැමැත්තේ විවේකයෙන් පහ කරණු කැමැත්තේ ගාථාව කියා”යි මේ අදහස විය. එකල්හි ආළවිකා මෙහෙණ මෙ පවිටු මරු යයි දැන පවිටු මරුට ගාථාවන්ගෙන් පෙරළා කිවු ය:
ලොව නිවණෙක් ඇත. මා විසින් (පස්විකන) නුවණින් දන්නා ලදී. පවිටු මරුව, තෝ ඒ නිවන්පදය නොදනිහි.