Saṁyutta Nikāya

Connected Discourses

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-30 · 15083 segments

පෙන්වන කොටස් 1401-1500 න් 15083

ඉක්බිති පවිටු මාර තෙමේ භාග්‍යවතුන් වහන්සේට බිය වෙවුළුම ලොමු දැහැගැන්ම උපදවනු කැමැත්තේ මහත් ඇත්රජවෙසක් මවා ගෙණ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. ඔහුගේ හිස මහකළුගලක් වැන්න. ඔහුගේ දත් පිරිසිදු රිදී වැන්න. ඔහුගේ සොඬය නගුලිස්දඬක් වැන්න.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ පවිටු මාරයා යි දැන පවිටු මාරයාහට ගාථායෙන් වදාළ සේක.
දීර්‍ඝකාලයක් මුළුල්ලෙහි සැරිසරන්නේ ශුභාශුභ වේශවිලාස කොට (මා වෙත) පැමිණියෙහි ය. මාරය, එයින් තට කම් නැත. මාරයා, තෝ නටුයෙහි.
ඉක්බිති පවිටු මාර තෙමේ භාග්‍යවත් තෙමේ මා දනී, සුගත තෙමේ මා දනී යයි දුකට පැමිණියේ නොසතුටුසිත් ඇත්තේ එහි ම අතුරුදහන් වි ය.
4. 1. 3.
සුභ සූත්‍රය
139. මා විසින් මෙසේ අසන ලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සම්බෝධියෙන් පළමුවලා උරුවෙල් දනව්වෙහි … වැඩවසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ රෑ දැඩිගනඳුරෙහි අබවස වැඩහුන් සේක. වැස්ස ද එක්එක් පොද හෙළයි.
එකල්හි පවිටු මරු තෙමේ භාග්‍යවතුන් වහන්සේට බියවෙවුළුම ලොමුදැහැගැන්ම උපදවනු කැමැත්තේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි ප්‍රිය වූත් අප්‍රිය වූත් විසිතුරු සටහන් දක්වයි.
එකල්හි භාග්‍යවතුන් වහන්සේ මේ පවිටු මරු යයි දැන පවිටු මරුහට ගාථාවලින් වදාළ සේක:
දීර්‍ඝකාලයක් මුළුල්ලෙහි සැරිසරන්නේ ශුභාශුභවේශ විලාස කොට (මා වෙත ආයෙහි ය.) එම්බල පවිටු මරුව, තට එයින් කම් නැත. මරුව තෝ නටුයෙහි.
යම් කෙනෙක් කයින් ද වචනයෙන් ද සිතින් ද දසංවෘත වෙද්ද, මරුව, ඔහු තට වසඟ නොවෙත්. ඔහු මාරයාගේ බැම්මට අසු (-අතැවැස්සෝ) නො වෙත්.
එකල්හි පවිටු මරු තෙමේ “භාග්‍යවත් තෙමේ මා දනී, සුගත තෙමේ මා දනී ය”යි දුකට පත් වූයේ නොසතුටු සිත් ඇත්තේ එහි ම අතුරුදහන් වි ය.
4. 1. 4.
පඨමපාස සූත්‍රය
140. මා විසින් මෙසේ අසන ලදී: එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ බරණැස්නුවර සමීපයෙහි ඉසිපතන නම් වූ මුවවෙනෙහි වැඩවසන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ මහණෙනි යි භික්‍ෂූන් ඇමතූ සේක. ඒ භික්‍ෂූහු පින්වතුන් වහන්සැ යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:
මහණෙනි, මා විසින් නුවණින් මෙනෙහි කිරීමෙන් නුවණින් ප්‍රධන්වීර්‍ය්‍යය කිරීමෙන් නිරුත්තර විමුක්තිය ලබන ලදු, නිරුත්තර විමුක්තිය ප්‍රත්‍යක්‍ෂ කරණ ලදු. මහණෙනි, තෙපි දූ නුවණින් මෙනෙහි කිරීමෙන් නුවණින් ප්‍රධන්වීර්‍ය්‍යය වැඩීමෙන් නිරුත්තර විමුක්තියට පැමිණෙව. නිරුත්තර විමුක්තිය ප්‍රත්‍යක්‍ෂ කරව.
එකල්හි පවිටු මරු තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් කී ය:
මාරපාශයෙන් බඳනා ලද්දෙහි: දිව්‍ය වූ යම් බන්‍ධනයෝ වෙද්ද, මිනිසුන් පිළිබඳ වූ යම් බන්‍ධනයෝත් වෙද්ද, (ඒ සියලු) මාරබන්‍ධයෙන් බැඳුනෙහි. මහණ, මා කෙරෙත් නො මිදෙන්නෙහි ය.
[භගවත්හු:]
මාරබන්‍ධනයෙන් මිදුනෙම් වෙමි. දෙවියන් පිළිබඳ වූ යම් බන්‍ධනයෝ වෙද්ද, මිනිසුන් පිළිබඳ වූ යම් බන්‍ධනයෝත් වෙද්ද, (ඒ සියලු) මාර බන්‍ධනයෙන් මිදුනෙම් වෙමි. මරුව තෝ නටුයෙහි.
ඉක්බිති පවිටු මරු භාග්‍යවත් තෙමේ මා දනී, සුගත තෙමේ මා දනී ය යි දුකට පත් වූයේ නොසතුටු සිත් ඇත්තේ එහි ම අතුරුදහන් වි ය.
දුතියපාස සූත්‍රය
141. මා විසින් මෙසේ අසන ලදී: එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ බරණැස්නුවර සමීපයෙහි ඉසිපතන නම් වූ මුවවෙනෙහි වැඩවසන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ මහණෙනි යි භික්‍ෂූන් ඇමතූ සේක. ඒ භික්‍ෂූහු “පින්වතුන් වහන්සැ”යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:
මහණෙනි, දෙවියන් පිළිබඳ වූ යම් බන්‍ධනයෝ වෙද්ද, මිනිසුන් පිළිබඳ වූ යම් බන්‍ධනයෝ වෙද්ද (ඒ) සියලු බන්‍ධනයන් ගෙන් මම මිදුනෙම් වෙමි. මහණෙනි, තෙපි දු දෙවියන් පිළිබඳ වූ යම් බන්‍ධනයොත් මිනිසුන් පිළිබඳ වූ යම් බන්‍ධනයෝත් වෙත් නම් (ඒ) සියලු බන්‍ධනයන් ගෙන් මිදුනහු ය. මහණෙනි, බොහෝ දනහට හිත පිණිස, බොහෝ දනහට සුව පිණිස, ලොවට අනුකම්පා පිණිස දෙව්මිනිසුන්ට වැඩ පිණිස හිත පිණිස සුව පිණිස චාරිකායෙහි හැසිරෙව. එක් මඟෙකින් දෙදෙනෙක් නො යව. මහණෙනි, මුල යහපත් වූ මැද යහපත් වූ අග යහපත් වූ අරුත් සහිත වූ ව්‍යඤ්ජනයෙන් පිරිපුන් දහම් දෙසව. කේවල පරිපූර්‍ණ පිරිසිදු මගබඹසර හෙළි කොට දක්වව. පැණැසෙහි ස්වල්ප වූ කෙලෙස්රජස් ඇති සත්‍වයෝ ඇත. ධර්‍මය නොඇසීමෙන් (ඔහු) පිරිහෙත්. ධර්‍මය අවබෝධ කරන්නෝ වන්නාහ. මහණෙනි, මම ද දහම් දෙසනු පිණිස උරුවෙල් දනව්වෙහි සේනානි නියම්ගමට එළඹෙන්නෙමි.
ඉක්බිති පවිටු මරු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් කී ය.
දෙවියන් පිළිබඳ යම් පාසයෝත් මිනිසුන් පිළිබඳ යම් පාසයෝත් වෙත් නම් ඒ සියලු පාසයන් ගෙන් බැඳුනෙහි. මහකෙලෙස්බැම්මෙන් බඳනා ලද්දෙහි මහණ, මා කෙරෙන් නො මිදෙන්නෙහි ය.
[භගවත්හු:]
දෙවියන් පිළිබඳ යම් පාසයෝත් මිනිසුන් පිළිබඳ යම් පාසයෝත් වෙත් නම් ඒ සියලු පාසයන්ගෙන් මම මිදුනෙම් වෙමි. මහාක්ලේශ බන්‍ධනයෙන් මිදුනෙම් වෙමි. මරුව, තෝ නටුයෙහි.
ඉක්බිති පවිටු මරු භාග්‍යවත් තෙමේ මා දනී, සුගත තෙමේ මා දනී යයි දුකට පැමිණියේ නොසතුටුසිත් ඇත්තේ එහි ම අතුරුදහන් වි ය.
4. 1. 6.
සප්ප සූත්‍රය
142. මා විසින් මෙසේ අසන ලදී: එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි කලන්‍දකනිවාප නම් වේළුවනාරාමයෙහි වැඩවසන සේක. එකල භාග්‍යවතුන් වහන්සේ රෑ බොල්අඳුරෙහි අබවස වැඩහුන්නාහු වෙති. වැස්ස ද එකිඑකි පොද හෙළයි.
එකල පවිටු මාර තෙමේ භාග්‍යවතුන් වහන්සේ බිය තැතිගැන්ම ලොමුදහගැන්ම උපදවනු කැමැත්තේ මහත් නාරජවෙසක් මවාගෙණ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. ඔහුගේ සිරුර එක්රුක්නෙන් මැවූ මහ ඔරුවක් බඳු වෙයි. ඔහුගේ පෙණය රාකරුවන්ගේ රා පෙරණ මහත් මටුලුකස්සක් බඳු වෙයි. ඔහුගේ ඇස් කොසොල්රජුගේ මහත් කස්තලියක් (භූඤ්ජනපාතියක්) බඳු වෙයි. මේඝය ගිගිරි කරණ කල යම්සේ විදුලිය නික්මේ ද, එපරිද්දෙන් ඔහුගේ මුවෙන් දිව නික්මෙයි. කඹුරුසම වයින් පුරණ කල්හි ශබ්දය යම්සේ ද, ඔහුගේ ආශ්වාසප්‍රශ්වාස ශබ්දය ද එබඳු වෙයි.
එකල්හි භාග්‍යවතුන් වහන්සේ මේ පවිටු මරු ය යි දැන පවිටු මරුහට ගාථාවන්ගෙන් වදාළ සේක:
යමෙක් ශයනය පිණිස ශුන්‍යාගාරයන් සෙවුනේ ද, ඒ බුද්ධමුනි තෙමේ සංයත වූ ආත්මභාව ඇත්තේ වේ. හෙ තෙමේ ඒ ආත්මභාවයෙහි (ආලය) හැරපියා හැසිරෙන්නේ ය. එය එබඳු බුද්ධමුනිහට සුදුසු මැයි.
(සිංහව්‍යාඝ්‍රාදි) බිහිසුණු ජඞ්ගම සත්තු ද බොහෝහ. බිහිසුණු ස්ථාවර අරමුණු ද බොහෝහ. වැලි ඩැහැ ලේ බොන මැස්සෝ ද සර්‍පයෝ ද බොහෝහ. ශුන්‍යාගාරයට වන් සර්‍වඥමුනි තෙමේ ඒ අරමුණු නිමිති කොට ලෝම මාත්‍රයකුදු කම්පන නො කරන්නේ ය.
අහස පැළෙන්නේ නම්, පොළොව සැලෙන්නේ නම්, වැලිත් සියලු සත්තු තැතිගන්නාහු නම්, ඉදින් ලෙහි තියුණු හුල් ගසන්නාහු නම්, බුදුවරයෝ උපධීන් කෙරෙහි පරිත්‍රාණයක් නො කෙරෙති.
එකල්හි පවිටු මරු භාග්‍යවත් තෙමේ මා දනී, සුගත තෙමේ මා දනී යයි දුකට පැමිණියේ නො සතුටු සිත් ඇත්තේ එහි ම අතුරුදහන් වි ය.
4. 1. 7.
සොප්පසි සූත්‍රය
143. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර කලන්‍දකනිවාප නම් වූ වේළුවනාරාමයෙහි වැඩවසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ රෑ බොහෝ වේලාවක් අබවස සක්මන් කොට රෑ පහන් වේලෙහි පා දෙව වෙහෙරට පිවිසි (දකුණු) පය මත (වම) පය මඳක් හැදැ තබා සිහි නුවණ ඇති ව නැගී සිටුනා වෙලාව මෙනෙහි කොට දකුණැළයෙන් සිංහශය්‍යාව කළ සේක.
එකල්හි පවිටු මරු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් කී ය:
කිම නිදයි ද? කුමක් හෙයින් නිදයි ද? මළ එකකු මෙන් කුමකට නිදයි ද? ශුන්‍යාගාරයක් මා විසින් (ලදැ) යි නිදයි ද? කුමක් හෙයින් හිරු නැගි කල්හි නිදයි ද?
[භගවත්හු:]
යමකුගේ ජාලිනී නම් වූ විසත්තිකා නම් වූ තෘෂ්ණා තොමෝ කිසි භවයෙක්හි පමුණුවන්නට නැද් ද, ඒ සර්‍වඥ තෙමේ සියලු උපධීන් ක්‍ෂය කිරීමෙන් හොවී. මරුව, මෙහිලා තට කිම?
ඉක්බිති පවිටු මරු භාග්‍යවත් තෙමේ මා දනී, සුගත තෙමේ මා දනීය යි දුකට පැමිණියේ නොසතුටු සිත් ඇත්තේ එහි ම අතුරුදහන් විය.
4. 1. 8.
නන්‍දති සූත්‍රය
144. මා විසින් මෙසේ අසන ලදී: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වසන සේක. එකල්හි පවිටු මාර තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය:
දරුවන් ඇත්තේ දරුවන් හේතු කොට ගෙණ සතුටු වෙයි. එසේ ම ගෙරින් ඇත්තේ ගෙරින් හේතු කොට ගෙණ සතුටු වෙයි. උපධීහු මිනිසාගේ නන්‍දනයෝ ය. යමෙක් උපධි රහිත වේ නම් හෙ තෙමේ සතුටු නො වෙයි.
[භගවත්හු:]
දරුවන් ඇත්තේ දරුවන් හේතු කොට ගෙණ ශෝක කෙරෙයි. එසේ ම ගෙරින් ඇත්තේ ගෙරින් හේතු කොට ගෙණ ශෝක කෙරෙයි. උපධීහු මිනිසාගේ ශෝචනයෝ ය. යමෙක් උපධි රහිත නම් හෙ තෙමේ ශෝක නො කෙරේ මැයි.
ඉක්බිති පවිටු මරු භාග්‍යවත් තෙමේ මා දනී. … එහි ම අතුරුදහන් වි ය.
4. 1. 9.
පඨම ආයු සූත්‍රය
145. මා විසින් මෙසේ අසන ලදී: එකල්හි භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර සමීපයෙහි කලන්‍දකනිවාප නම් වූ වේළුවනාරාමයෙහි වැඩ වසන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ මහණෙනි යි භික්‍ෂූන් ඇමතූ සේක. ඒ භික්‍ෂූහු පින්වතුන් වහන්සැ යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:
මහණෙනි, මිනිසුන්ගේ මේ ආයුෂය අල්ප ය, පරලොව යා යුතු ය, කුසල් කටයුතු ය, බඹසර හැසිරිය යුතු ය, උපනුන්ට නොමැරීමෙක් නැත. මහණෙනි, යමෙක් බොහෝ කලක් ජීවත් වේ නම් හෙ තෙමේ සියක් වසක් ජීවත් වෙයි. බෙහෙවෙක් වේ නම් අල්පයෙක් හෝ වේ.
එකල්හි පවිටු මරු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් කී ය:
මිනිසුන්ගේ ආයුෂ දිග ය. සත්පුරුෂ තෙමේ එය හෙලා නො දක්නේ ය. තනපා මතුයෙන් වැටෙන (සත්තන්‍ධය) ලදරුවකු මෙන් හැසිරෙන්නේ ය. මරණයාගේ ඊමෙක් නැත.
[භගවත්හු:]
මිනිසුන්ගේ ආයුෂය අල්ප ය. සත්පුරුෂ තෙමේ එය හෙලා දක්නේ ය. හිස ගිනි ගත්තකු මෙන් හැසිරෙන්නේ ය. මාරණයාගේ නොඊමෙක් නැත.
ඉක්බිති පවිටු මාරයා … එහි ම අතුරුදහන් වි ය.
4. 1. 10.
දුතිය ආයු සූත්‍රය
146. මා විසින් මෙසේ අසන ලදී: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි කලන්‍දකනිවාප නම් වූ වේළුවනාරාමයෙහි වැඩ වසන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ මහණෙනි යි භික්‍ෂූන් ඇමතූ සේක. ඒ භික්‍ෂූහු පින්වතුන් වහන්සැ යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:
මහණෙනි, මිනිසුන්ගේ මේ ආයුෂ ස්වල්ප ය, පරලොව යා යුතු ය, කුසල් කටයුතු ය, බඹසර හැසිරිය යුතු ය. උපන්නහුට නො මැරීමෙක් නැත. මහණෙනි, යමෙක් බොහෝ කල් ජීවත් වේ ද, හෙ තෙමේ සියක් වසක් ජීවත් වෙයි. බෙහෙවෙක් වේ නම් අල්පයෙක් හෝ වෙයි.
එකල්හි පවිටු මාරයා භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් කීය:
රෑ දහවල් ඉක්ම නො යෙත්. ජීවිතය නිරුද්ධ නොවේ. මිනිසුන්ගේ ආයුෂ (ඔවුන්) අනුව ම යේ. රියෙහි කිඹුල්මුව අනුව යන රියනිම්වලල්ල මෙනි.
[භගවත්හු:]
රෑ දහවල් ඉක්ම යෙත්. ජීවිතය නිරුද්ධ වේ. මිනිසුන්ගේ ආයුෂය ගෙවේ. කුඩා නදීන්ගේ දිය මෙනි.
ඉක්බිති පවිටු මාර තෙමේ භාග්‍යවත් තෙමේ මා දනී, සුගත තෙමේ මා දනීයි දුකට පත්වූයේ නො සතුටු සිත් ඇත්තේ එහි ම අතුරුදහන් විය.
ආයුවර්‍ගය පළමුවැනි යි.
එහි උද්දානය:
තපෝ කම්ම සූත්‍රය ද නාග සූත්‍රය ද සුභ සූත්‍රය ද ඒ පාස සූත්‍ර දෙක ද සප්ප, සොප්පසි, නන්‍දති සූත්‍ර ද, අනෙක් ආයු සූත්‍ර දෙකදැ යි සූත්‍ර දශයකි.
2. රජ්ජ වර්‍ගය
4. 2. 1.
පාසාණ සූත්‍රය
147. මා විසින් මෙසේ අසන ලදී: එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි ගිජුකුළු පවුවෙහි වැඩ වසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ රෑ බොල්අඳුරුයෙහි අබවස වැඩහුන්නාහු වෙති. වැස්ස ද එකි එකි පොද හෙළයි.
එකල්හි පවිටු මාරයා භාග්‍යවතුන් වහන්සේට බිය තැතිගැනුම ලොමුදහගැණුම උපදවනු කැමැත්තේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ නොදුරෙහි මහත් මහත් ගල් විහිටි.
එකල්හි භාග්‍යවතුන් වහන්සේ මේ පවිටු මාරයා යී දැන පවිටු මාරයාහට ගාථායෙන් වදාළ සේක:
ඉදින් මේ මුළු ගිජුකුළුපවුව ම සලනෙහි නම්, මොනොවට මිදුනු බුදුවරයන්ට කම්පනයෙක් නහමක් ඇත් මැ ය.
ඉක්බිති පවිටු මාරයා භාග්‍යවත් තෙමේ මා දනී, සුගත තෙමේ මා දනී ය යි දුකට පත් වූයේ නො සතුටු සිත් ඇත්තේ එහි ම අතුරුදහන් වි ය.
සීහ සූත්‍රය
148. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මහත් පිරිසක් විසින් පිරිවරණ ලද්දාහු දහම් දෙසන සේක.
එකල්හි පවිටු මරුට “මේ මහණ ගොයුම් තෙමේ මහත් පිරිසක් විසින් පිරිවරණ ලද්දේ දහම් දෙසයි. (බණ අසන්නවුන්ගේ) නුවණැස වනසන්නට මහණ ගොයුම්හු වෙත මම එළඹෙන්නෙම් නම් මනා මැ නු”යි මේ අදහස වි ය. ඉක්බිති පවිටු මරු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් කී ය:
කිම? පිරිස්හි සිංහයෙකු මෙන් විශාරද ව (=නො බිය පත් ව) නාද කෙරෙහි නු? දුනු විජය ඇතියෙමි යි හඟිහි ද? මුබට ප්‍රතිමල්ලයෙක් (=සතුරෙක්) ඇත් ම ය.
[භගවත්හු:]
ලොව තෘෂ්ණාව තරණය කළ බලයට පැමිණි මහාවීර වූ තථාගතයෝ ඒකාන්තයෙන් පිරිස්හි විශාරද වූවාහු නාද කෙරෙත්.
ඉක්බිති පවිටු මාර තෙමේ තථාගත තෙමේ මා දනී, සුගත තෙමේ මා දනී යයි දුකට පත්වූයේ නොසතුටු සිත් ඇත්තේ එහි ම අතුරුදහන් විය.
4. 2. 3.
සකලික සූත්‍රය
149. මා විසින් අසන ලදී: එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි මද්දකුච්ජී නම් මුවවෙනෙහි වැඩ වසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේගේ පාදය ගල්කඩෙකින් පහරණ ලද්දේ වෙයි. භාග්‍යවතුන් වහන්සේට ශරීරයේ හටගත් දැඩි රළු කුළු නොමිහිරි නොකල් මහත් දුක් වේදනාවෝ පවතිත්. භාග්‍යවතුන් වහන්සේ සිහි නුවණ ඇති ව නොපෙළෙමින් ඒ වේදනාවන් ඉවසන සේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සඟළ සිවුර සිවුගුණ කොට පණවා දකුණු පා මත වම් පා මඳක් හයා තබා සිහි නුවණ ඇති ව දකුණැළයෙන් සිංහශය්‍යාව කළ සේක.
එකල්හි පවිටු මාර තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් කී ය:
මුළා බැවින් හෝ කවිභාවයෙන් මත්වූයේ හෝනෙහි නු? මුබට බොහෝ වූ වැඩ නැත් ද? ජනයාගෙන් වෙන් වූ සෙනසුන්හි නිදිබර මුහුණු ඇති ව හුදෙකලාව ම කුමක් හෙයින් හෝනෙහි ද?
[භගවත්හු:]
මුළා බැවින් නො නිදමි. කවිභාවයෙන් මත්වූයෙම් නො නිදමි. මම පරමාර්‍ත්‍ථයට මැනවින් පැමිණ පහ ව ගිය ශෝක ඇත්තෙම් වෙමි. මම සර්‍වභූතහිතානුකම්පී ව ජනයාගෙන් වෙන් වූ සෙනසුන්හි හුදෙකලාව හෝනෙමි.
යම් කෙනකුන්ගේත් ලෙහි තියුණු හුලෙක් පිවිසියේ ද, හෘදය ක්‍ෂණ ක්‍ෂණයෙහි සැලෙන්නේ වේ ද, මේ ලෝකයෙහි (ඒ රාගාදි) හුල් ඇති ඔහු ද නිදි ලබත්. පහව ගිය (රාගාදී) හුල් ඇති මම කුමක් හෙයින් නො නිදම් ද!
නිදි වරන්නෙම් ද සැක නො කරමි. නිදන්නටත් නොබමි. රෑදාවල්හු මා නහමක් තවත්. ලොව කිසිතැනෙක (මාගේ) පිරිහීමක් නො දකිමි. එහෙයින් සියලු සතුන් කෙරෙහි අනුකම්පා කරණ සුලු වූයෙම් හෝනෙමි.