Saṁyutta Nikāya

Connected Discourses

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-30 · 15083 segments

පෙන්වන කොටස් 14801-14900 න් 15083

ඉක්බිති ඇවැත් අනඳ තෙරණුවෝ විසල්පුර පිඬු පිණිස හැසිර පසුබත පිණ්ඩපාතයෙන් වැළකුණාහු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ ... එකත්පස් ව හුන් ඇවැත් අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළහ: “වහන්ස, මෙහි මම පෙරවරු හැඳ පෙරව පාසිවුරු ගෙන විසල්පුරට පිඬු පිණිස පිවිසියෙමි. වහන්ස, මම සිප්හලෙහි විදීම පුහුණුවන සියුම් කෙසිසිදුරෙන් පගලියෙන් පගලිය නො වළහා දුරින් ම ඊතලය ඉක්මවන බොහෝ ලිචඡ්විකුමරුන් දිටිමි. දැක මට මෙබඳු සිතෙක් විය: යම් කෙනෙක් සියුම් කෙසිසිදුරෙන් පගලියෙන් පගලිය නො වළහා දුරින් ම ඊතලය ඉක්මවන්නාහු නම් ඒ මේ ලිචඡවීකුමරුවෝ ඒකාන්තයෙන් හික්මුණහ. ඒ මේ ලිචඡවීකුමරුවෝ ඒකාන්තයෙන් මැනවින් හික්මුණ”යි.
ආනන්‍ද, ඒ කිමැ යි හඟිවු ද? යමෙක් සියුම් කෙසිසිදුරෙන් පගලිය නො වළහා පගලියෙන් පගලිය නො වළහා දුරින් ම ඊතලය ඉක්මවන්නේ ද, යමෙකුත් සියක්වර පැළූ අස්ලොම්හි කෙළවරින් කෙළවරට විදුනේ ද, මෙයින් කිමෙක් ඉතා දුෂ්කර හෝ ඉතා දුලබ හෝ දැ යි? වහන්ස, යමෙක් සියක්වර පැළූ අස්ලොම්හි කෙළවරින් කෙළවරට විදුනේ නම් මෙය ම ඉතා දුෂ්කර ද ඉතා දුලබ ද වේ යි. ආනන්‍ද, වැලි යම් කෙනෙක් “මේ දුකැ” යි තතුසේ පිළිවිදිද් ද ... “මේ දුක් වැළැක්මට පමුණුවන පිළිවෙතැ” යි තතුසේ පිළිවිදිත්. ආනන්‍ද, එහෙයින් මෙහි ලා “මේ දුකැ” යි වීර්‍ය්‍ය කටයුතු “මේ දුක් වැළැක්මට පමුණුවන පිළිවෙතැ” යි වීර්‍ය්‍ය කටයුතු යි.
12. 5. 6.
අන්‍ධකාර සූත්‍රය
3888. මහණෙනි, මෙබඳු මහත් ඍද්ධි ඇති මෙබඳු මහත් අනුභාව ඇති මේ සඳහිරු දෙදෙනාගේත් ආලෝකය යම් තැනෙක නො ලබත් නම් ලොව අතර පවත්නා හිස් වූ ආවරණ රහිත වූ අඳුරු කරන එබඳු ගන අඳුරෙක් ඇතැ යි. මෙසේ වදාළ කල්හි එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකෙළේ ය: “වහන්ස, ඒ අඳුර ඒකාන්තයෙන් මහති. වහන්ස, ඒ අඳුර ඒකාන්තයෙන් ඉතා මහති. වහන්ස, මේ අඳුරට වඩා ඉතා මහත් වූත් ඉතා බිහිසුණු වූත් අන් අඳුරෙක් ඇද්දැ?”යි. මහණ, මේ අඳුරට වඩා ඉතා මහත් වූත් ඉතා බිහිසුණු වූත් අන් අඳුරෙක් ඇතැ යි. වහන්ස, මේ අඳුරට වඩා ඉතා මහත් වූත් ඉතා බිහිසුණු වූත් අන් අඳුර කවරේ දැ?යි
මහණ, යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ “මේ දුකැ” යි තතු සේ නො දනිද් ද ... “මේ දුක් වැළැක්මට පමුණුවන පිළිවෙතැ”යි තතු සේ නො දනිද්ද, ඔහු ජාතිය පිණිස පවත්නා සංස්කාරයන්හි ඇලෙත් ... සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස පිණිස පවත්නා සංස්කාරයන්හි ඇලෙත්. ඔහු ජාතිය පිණිස පවත්නා සංස්කාරයන්හි ඇලුණාහු ජාතිය පිණිස පවත්නා සංස්කාරයන් ද රැස් කෙරෙත් ... සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස පිණිස පවත්නා සංස්කාරයන් ද රැස් කොට ජාති අඳුරට ද වැටෙත්. ජරා අඳුරට ද වැටෙත්. මරණ අඳුරට ද වැටෙත්. සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස අඳුරට ද වැටෙත්. ඔහු ජාතියෙන් ජරායෙන් මරණයෙන් සෝකයෙන් පරිදේවයෙන් දුක්ඛයෙන් දෝමනස්සයෙන් උපායාසයෙන් නො මිදෙත්. සියලු දුකින් නො මිදෙති යි කියමි.
මහණ, යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ “මේ දුකැ” යි තතු සේ දනිද් ද ... මේ දුක් වැළැක්මට පමුණුවන පිළිවෙතැ”යි තතු සේ දනිද්ද, ඔහු ජාතිය පිණිස පවත්නා සංස්කාරයන්හි නො ඇලෙත් ... නො ඇලුණාහු ... රැස් නො කෙරෙත් ... රැස් නො කොට ජාති අඳුරට ද නො වැටෙත්. ජරා අඳුරට ද නො වැටෙත්. මරණ අඳුරට ද නො වැටෙත්. සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස අඳුරට ද නො වැටෙත්. ඔහු ජාතියෙන් ජරායෙන් මරණයෙන් සෝකයෙන් පරිදේවයෙන් දුක්ඛයෙන් දෝමනස්සයෙන් උපායාසයෙන් මිදෙත්. සියලු දුකින් මිදෙති යි කියමි. මහණෙනි, එහෙයින් මෙහි ලා “මේ දුකැ” යි වීර්‍ය්‍ය කටයුතු “මේ දුක් වැළැක්මට පමුණුවන පිළිවෙතැ” යි වීර්‍ය්‍ය කටයුතු යි.
12. 5. 7.
ඡිග්ගල සූත්‍රය
3889. මහණෙනි, යම්සේ පුරුෂයෙක් මහමුහුදෙහි එක් සිදුරක් ඇති වියදණ්ඩක් බහා ලන්නේ ද එහි කණකැස්බෙක් වන්නේ ය. හේ සියවසක් සියවසක්හුගේ ඇවෑමෙන් වරෙක වරෙක මතු වන්නේ ය. මහණෙනි, ඒ කිමැ යි හඟිවු ද? ඒ කණකැස්බා සියවසක් සියවසක්හුගේ ඇවෑමෙන් වරෙක වරෙක මතු වන්නේ තෙල එක්සිදුරු වියදඬුයෙහි ගෙල පිවිස්වන්නේ දැ යි? වහන්ස, දිගුකලෙක ඇවෑමෙන් කිසි කවර දවසෙක විය හැකි යි. මහණෙනි, ඒ කණකැස්බා සියවසක් සියවසක්හුගේ ඇවෑමෙන් වරෙක වරෙක මතු වන්නේ තෙල එක්සිදුරු වියදඬුයෙහි ඉතා වහා ගෙල පිවිස්වන්නේ ය. මහණෙනි, වරක් අපායට ගිය බාලයා විසින් මිනිසත්බව සුලබ ය යි මම නො ම කියමි. ඒ කවර හෙයින යත්: මහණෙනි, මෙහි දහම්හි හැසිරීමෙක් පින් කිරීමෙක් නො ම ඇත. මහණෙනි, මෙහි ඔවුනොවුන් කෑමෙක් දුඹුලන් කෑමෙක් පවතී. ඒ කවර හෙයින් යත්” මහණෙනි, චතුරාර්‍ය්‍යසත්‍යය නුදුටු බැවිනි. කවර චතුරාර්‍ය්‍යසත්‍යයෙක් යත්: දුඃඛාර්‍ය්‍යසත්‍ය ය ... දුඃඛනිරොධගාමිනීප්‍රතිපදාර්‍ය්‍යසත්‍යය යි. මහණෙනි, එහෙයින් මෙහි ලා “මේ දුක්ඛ” යි වීර්‍ය්‍ය කටයුතු ... “මේ දුක්ඛ නිරොධගාමිනීපටිපදා” යි වීර්‍ය්‍ය කටයුතු යි.
12. 5. 8.
දුතියඡිග්ගල සූත්‍රය
3890. මහණෙනි, යම්සේ මේ මහපොළොව එක ම ජලාසයෙක් වන්නේ ද, පුරුෂයෙක් එක්සිදුරු වියදණ්ඩක් එහි බහා ලන්නේ ය. ඒ මෙය පෙරදිගින් හමන වාතය පැළදිගට පමුණුවන්නේ ය. පැළදිගින් හමන වාතය පෙරදිගට පමුණුවන්නේ ය. උතුරුදිගින් හමන වාතය දකුණුදිගට පමුණුවන්නේ ය. දකුණුදිගින් හමන වාතය උතුරුදිගට පමුණුවන්නේ ය. එහි කණකැස්බෙක් වන්නේ ය. හේ සියවසක් සියවසක්හුගේ ඇවෑමෙන් එක් එක්වර මතු වන්නේ ය. මහණෙනි, ඒ කිමැ යි හඟිවු ද? ඒ කණකැස්බා සියවසක් සියවසක්හුගේ ඇවෑමෙන් එක් එක්වර මතු වන්නේ තෙල එක්සිදුරු වියදඬුවෙහි ගෙල පිවිසවන්නේ දැ යි? වහන්ස, ඒ කණකැස්බා දිගුකලෙක සියවසක් සියවසක්හුගේ ඇවෑමෙන් එක් එක්වර මතු වන්නේ තෙල එක්සිදුරු වියදඬුවෙහි ගෙල පිවිසවන්නේ ය යන යමෙක් වේ නම් මෙය කිසි දවසක සිදුවන්නෙකි. මහණෙනි, මිනිසත්බව ලබයි යන යමෙක් වේ නම් මෙය දිගුකලක් ඉක්ම යෑමෙන් සිදු වන්නෙකි. මහණෙනි, එමෙන් ම අර්‍හත්සම්‍යක්සම්බුද්ධ වූ තථාගත තෙමේ ලොව උපදී යන යමෙක් වේ නම් මේ ද දිගුකලක් ගතවීමෙන් සිදු වන්නෙකි. මහණෙනි, එමෙන් ම තථාගතයන් විසින් පවසන ලද සසුන ලොව බබලයි යන යමෙක් වේ නම් මෙ ද දිගුකලක් ගතවීමෙන් සිදු වන්නෙකි. මහණෙනි ඔහු විසින් මේ මිනිසත්බව ලදි. තථාගතයන් විසින් පවසන ලද සසුනත් ලොව බබලයි. මහණෙනි, එහෙයින් මෙහි ලා “මේ දුක්ඛ” යි වීර්‍ය්‍ය කටයුතු ... “මේ දුක්ඛ නිරොධගාමිනීපටිපදා” යි වීර්‍ය්‍ය කටයුතු යි.
12. 5. 9.
සිනේරු සූත්‍රය
3891. මහණෙනි, යම්සේ පුරුෂයෙක් මුං පමණ වූ ගල්කැට සතක් සිනේරු පවුරජු ළඟ බහා තබන්නේ ද, මහණෙනි, ඒ කිමැ යි හඟිවු ද? කිමෙක් ඉතා බොහෝ ද? ළඟ තබන ලද මුං පමණ යම් පහණ සකුරු හෝ සිනේරු පවුරජු හෝ දැ යි. වහන්ස, යම් මේ සිනේරුපවුරජෙක් වේ නම් මෙය ම ඉතා බොහෝ ය. ළඟ තබන ලද මුං පමණ වූ ගල්කැට සතක් සිනේරු පවුරජු හා සැසඳීමෙහි දී මුං පමණ වූ සත් පහණ සකුරු ගණනට ද නො පැමිණේ. සැසැඳීම් පමණකට දු නො පැමිණේ. (සියයෙන් දහසින් සියදහසින්) කලාවකට දු නො පැමිණේ.
මහණෙනි, එසෙයින් ම චතුස්සත්‍යාවබෝධය කළ දිටුසපන් අරීසවුපුඟුල්හු විසින් මේ දුකෙක් ක්‍ෂය කරන ලද්දේ ගෙවන ලද්දේ වේ නම් මෙය ම ඉතා බොහෝ ය. ඉතිරි වූ දුක ඉතා මඳ ය. යමෙක් මේ දුකැ යි තතුසේ දනී ද ... මේ දුක් නැවැත්මට පමුණුවන පිළිවෙතැ යි තතුසේ දනී ද, යන යම් මේ සතතකඛතතුපරමතාවක් (සත්වරක් ඉපදීම පරම කොට ඇති බවෙක්) වේ නම් මෙය ක්‍ෂය කළ ගෙවුණු පළමු දුක්කඳ හා සැසඳීමෙහි දී ගණනකට නො පැමිණේ. සැසඳීමකට දු නො පැමිණේ. කලභාගයකට දු නො පැමිණේ යි. මහණෙනි, එහෙයින් මෙහි ලා “මේ දුකැ” යි වීර්‍ය්‍ය කටයුතු “මේ දුක් වැළැක්මට පමුණුවන පිළිවෙතැ” යි වීර්‍ය්‍ය කටයුතු යි.
12. 5. 10.
දුතියසිනේරු සූත්‍රය
3892. මහණෙනි, යම්සේ සිනේරුපවුරජ මුං පමණ වූ පහණ සකුරු සතක් තබා ක්‍ෂයවීමට ගෙවීමට යන්නේ ද, මහණෙනි, ඒ කිමැ යි හඟිවු ද? කිමෙක් ඉතා වැඩි ද? සිනේරුපවුරජුගේ ක්‍ෂය වූ ගෙවුණු යමෙක් වේ නම් එය හෝ ඉතිරි වූ මුං පමණ වූ පහණ සකුරු සතෙක් වේ නම් එය හෝ දැ යි? වහන්ස, සිනේරුපවුරජුගේ යම් මේ ක්‍ෂය වූවෙක් ගෙවුණෙක් වේ නම් මෙය ම ඉතා බොහෝ ය. ඉතිරි වූ මුං පමණ වූ පහණසකුරු සත ඉතා මඳ ය. සිනේරුපවුරජුගේ ක්‍ෂය වූ ගෙවුණු කොටස හා සැසඳීමෙහි දී ඉතිරි වූ මුං පමණ වූ පහණ සකුරු සත ගිණුමට ද නො පැමිණේ. සැසැඳීමට ද නො පැමිණේ. කල භාගයකට ද නො පැමිණේ. මහණෙනි, එසෙයින් ම චතුස්සත්‍යාවබෝධය කළ දිටුසපන් අරීසවු පුඟුල්හුගේ ක්‍ෂය වූ ගෙවුණු යම් මේ දුකෙක් වේ නම් මෙය ම ඉතා බොහෝ ය. ඉතිරි වූ දුක ඉතා මඳ ය. ක්‍ෂය වූ ගෙවුණු පළමු දුක්කඳ හා සැසැඳීමෙහි දී යමෙක් “මේ දුකැ” යි තතුසේ දනී ද ... “මේ දුක් වැළැක්මට පමුණුවන පිළිවෙතැ” යි තතුසේ දනී ද, යන යම් මේ සතතකඛතතුපරමතාවක් වේ නම් මෙය ගිණුමට දු නො පැමිණේ. සැසඳුමකට දු නො පැමිණේ. කලභාගයකට දු නො පැමිණේ. මහණෙනි, එහෙයින් මෙහි ලා “මේ දුකැ” යි වීර්‍ය්‍ය කටයුතු “මේ දුක් වැළැක්මට පමුණුවන පිළිවෙතැ” යි වීර්‍ය්‍ය කටයුතු යි.
පපාතවර්‍ග ය පස්වැනි යි.
එහි සූත්‍ර නාමාවලිය :
චින්තා, පපාත, පරිළාහ, කූට, වාද, අන්‍ධකාර යි සයෙක් ද ඡිග්ගල සුතුරු දෙකෙක් ද අනෙක් සුතුරු දෙකෙක් ද කියන ලද හ යි.
6. අභිසමය වර්‍ගය
12. 6. 1.
නඛසිඛා සූත්‍රය
3893. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ නියසිළෙහි පස් බිඳක් නඟා භික්‍ෂූන් ඇමතූ සේක. මහණෙනි, ඒ කිමැ යි හඟිවු ද? කිමෙක් ඉතා බොහෝ ද? මවිසින් නියසිළෙහි නගන ලද යම් මේ පස් බිඳෙක් වේ නම් එය හෝ මේ මහපොළොව හෝ දැ යි? වහන්ස, යම් මේ මහපොළොව වේ නම් මෙය ම ඉතා බොහෝ ය. භාග්‍යවතුන් වහන්සේ විසින් නියසිළෙහි නගන ලද මේ පස් බිඳ ඉතා මඳ ය. මහපොළොව හා සැසඳීමෙහි දී භාග්‍යවතුන් වහන්සේ විසින් නියසිළෙහි නගන ලද පස්බිඳ ගිණුමට ද නො පැමිණේ. සැසැඳුමට දු නො පැමිණේ. කලභාගයකට දු නො පැමිණේ. මහණෙනි, එසෙයින් ම චතුස්සත්‍යාවබෝධය කළ දිටුසපන් අරීසවු පුඟුල්හුගේ ... මේ දුක ම ඉතා බොහෝ ය. යමෙක් “මේ දුකැ” යි තතුසේ දනී ද ... “මේ දුක් වැළැක්මට පමුණුවන පිළිවෙතැ” යි තතුසේ දනී ද ... මහණෙනි, එහෙයින් මෙහි ලා “මේ දුකැ” යි වීර්‍ය්‍ය කටයුතු ... “මේ දුක් වැළැක්මට පමුණුවන පිළිවෙතැ” යි වීර්‍ය්‍ය කටයුතු යි.
12. 6. 2.
පොක්ඛරණී සූත්‍රය
3894. මහණෙනි, යම්සේ අයමින් පනස්යොදුන් වූ විතරින් පනස්යොදුන් වූ ගැඹරින් පනස්යොදුන් වූ මුවවිට සම කොට දියෙන් පිරුණු කවුඩන් විසින් පිය හැකි පොකුණෙක් වේ ද, පුරුෂයෙක් කුසතණඅගින් එයින් දිය නගන්නේ ය. මහණෙනි, ඒ කිමැ යි හඟිවු ද? කිමෙක් ඉතා බොහෝ ද? කුසතණඅගින් යම් දියෙක් නගන ලද නම් එය හෝ පොකුණෙහි වූ දිය හෝ දැ යි? වහන්ස, පොකුණෙහි වූ යම් මේ දියෙක් වේ නම් මෙය ම ඉතා බෙහෙවි. කුසතණඅගින් නගන ලද දිය ඉතා මඳ ය. පොකුණෙහි වූ දිය හා සැසඳීමෙහි දී කුසතණඅගින් නගන ලද දිය ගිණුමට ද නො පැමිණේ. සැසඳුමට දු නො පැමිණේ. කලභාගයට ද නො පැමිණේ. මහණෙනි, එසෙයින් ම අරීසවුහුගේ ... වීර්‍ය්‍ය කටයුතු යි.
12. 6. 3.
සම්භෙජ්ජ සූත්‍රය
3895. මහණෙනි, යම්සේ මේ මහානදීහු එනම්: ගඞ්ගා, යමුනා, අචිරවතී, සරභූ, මහී නදීහු යම් තැනෙක එක් වැ ගලාබසිත් ද එක්වෙද්ද, පුරුෂයෙක් එයින් දෙතුන් දියබිඳක් නඟන්නේ ය. මහණෙනි, ඒ කිමැ යි හඟිවු ද? කිමෙක් ඉතා බොහෝ ද? නගන ලද යම් දෙතුන් දියබිඳුහු වෙත් නම් ඔහු හෝ යම් මුසුදියෙක් වේ නම් එය හෝ දැ යි? වහන්ස, යම් මේ (සෙසුනදීන් හා) මුසුදියෙක් වේ නම් මෙය ම ඉතා බෙහෙවි. නගන ලද දෙතුන් දියබිඳුහු ඉතා මඳයැ. මුසුදිය හා සැසඳීමෙහි දී නගන ලද දෙතුන් දියබිඳුහු ගිණුමට ද නො පැමිණෙත්. සැසඳුමට ද නො පැමිණෙත්. කලභාගයට ද නො පැමිණෙත්. මහණෙනි, එසෙයින් ම අරීසවුහුගේ ... වීර්‍ය්‍ය කටයුතු යි.
12. 6. 4.
දුතිය සම්භෙජ්ජ සූත්‍රය
3896. මහණෙනි, යම්සේ මේ මහානදීහු එනම්: ගඞ්ගා, යමුනා, අචිරවතී, සරභූ, මහී නදීහු යම් තැනෙක එක් වැ ගලාබසිත් ද, එක්වෙද්ද, දෙතුන් දියබිඳක් තබා ඒ දිය ක්‍ෂය වීමට සිඳීමට යන්නේ නම්, මහණෙනි, ඒ කිමැ යි හඟිවු ද? කිමෙක් ඉබොහෝ ද? ක්‍ෂය වූ සිඳුණු යම් මුසු දියෙක් වේ නම් එය හෝ ඉතිරි වූ යම් දෙතුන් දියබිඳහු වෙත් නම් ඔහු හෝ දැ යි? වහන්ස, ක්‍ෂය වූ සිඳුණු යම් මේ මුසු දියෙක් වේ නම් මෙය ම ඉබොහෝ ය. ඉතිරි වූ යම් දෙතුන් දියබිඳහු ඉමඳහ. ක්‍ෂය වූ සිඳුණු මුසුදිය හා සැසඳීමෙහි දී ඉතිරි වූ යම් දෙතුන් දියබිඳුහු ගිණුමට ද නො පැමිණෙත්. සැසඳුමට ද නො පැමිණෙත්. කලභාගයට ද නො පැමිණෙත්. මහණෙනි, එසෙයින් ම අරීසවුහුගේ ... වීර්‍ය්‍ය කටයුතු යි.
12. 6. 5.
පඨවි සූත්‍රය
3897. මහණෙනි, යම්සේ පුරුෂයෙක් මහපොළොවෙහි ඩෙබරඇට පමණ වූ ගුළි සතක් බහා තබන්නේ නම් මහණෙනි, ඒ කිමැ යි හඟිවු ද? කිමෙක් ඉබොහෝ ද? ඩෙබරඇට පමණ වූ බහා තබන ලද යම් සත්ගුළියක් වේ නම් එය හෝ මේ මහපොළොව හෝ දැ යි? වහන්ස, යම් මේ මහපොළොව වේ ද, මෙය මැ ඉබොහෝ යි. බහා තබාන ලද ඩෙබාරඇට පමණ වූ සත්ගුළිය ඉතා මඳ යැ. මහපොළොව හා සැසඳීමෙහි දී ඩෙබරඇට පමණ වූ බහා තබන ලද සත්ගුළිය ගිණුමට ද නො පැමිණේ. සැසඳුමට ද නො පැමිණේ. කලභාගයට ද නො පැමිණේ. මහණෙනි, එසෙයින් ම අරීසවුහුගේ ... වීර්‍ය්‍ය කටයුතු යි.
12. 6. 6.
දුතිය පඨවි සූත්‍රය
3898. මහණෙනි, යම්සේ මහපොළොව ඩෙබරඇට පමණ වූ සත්ගුළියක් තබා ක්‍ෂය වීමට ගෙවීමට යන්නේ ද, මහණෙනි, ඒ කිමැ යි හඟිවු ද? කිමෙක් ඉබොහෝ ද? මහපොළොවෙහි ක්‍ෂය වූ ගෙවුණු යමෙක් වේ නම් එය හෝ ඉතිරි වූ ඩෙබරඇට පමණ වූ යම් සත්ගුලියක් වේ නම් එය හෝ දැ යි? වහන්ස, මහපොළොවෙහි යම් මේ ක්‍ෂය වූවෙක් ගෙවුණෙක් වේ නම් මෙය ම ඉබෙහෙවි. ඉතිරි වූ ඩෙබරඇට පමණ වූ සත්ගුලිය ඉතා මඳ ය. මහපොළොවෙහි ක්‍ෂය වූ ගෙවුණු කොටස හා සැසඳීමෙහි දී ඉතිරි වූ ඩෙබරඇට පමණ වූ සත්ගුලිය ගිණුමට ද නො පැමිණේ. සැසඳුමට ද නො පැමිණේ. කලභාගයට ද නො පැමිණේ. මහණෙනි, එමෙන් ම අරීසවුහුගේ ... වීර්‍ය්‍ය කටයුතු යි.
12. 6. 7.
සමුද්ද සූත්‍රය
3899. මහණෙනි, යම්සේ පුරුෂයෙක් මහමුහුදෙන් දෙතුන් දියබිඳක් නගන්නේ ද, මහණෙනි, ඒ කිමැ යි හඟිවු ද? කිමෙක් ඉබොහෝ ද? නගන ලද, යම් දෙතුන් දියබිඳුහු වෙත් නම් ඔහු හෝ මුහුදෙහි යම් දියෙක් වේ නම් එය හෝ දැ යි? වහන්ස, මහමුහුදෙහි යම් දියෙක් වේ නම් මෙය ම ඉබෙහෙවි. නගන ලද දෙතුන් දියබිඳු ඉතා මඳ ය. මහ මුහුදෙහි දිය හා සැසැඳීමෙහි දී නගන ලද දෙ තුන් දියබිඳු ඉතා මඳ ය. මහ මුහුදෙහි දිය හා සැසඳීමෙහි දී නගන ලද දෙ තුන් දියබිඳු ගිණුමට ද නො පැමිණේ. සැසැඳුමට දු නො පැමිණේ. කලභාගයට ද නො පැමිණේ. මහණෙනි, එපරිද්දෙන් ම අරීසවුහුගේ ... වීර්‍ය්‍ය කටයුතු යි.
12. 6. 8.
දුතියසමුද්ද සූත්‍රය
3900. මහණෙනි, යම්සේ මහමුහුද දෙතුන් දියබිඳක් තබා ක්‍ෂය වීමට ගෙවීමට යන්නේ ද, මහණෙනි, ඒ කිමැ යි හඟිවු ද? කිමෙක් ඉබොහෝ ද? මහමුහුදෙහි ක්‍ෂය වූ සිඳුණු යම් දියෙක් වේ නම් එය හෝ ඉතිරි වූ දෙතුන් දිය බිඳෙක් වේ නම් එය හෝ දැ යි? වහන්ස, මහමුහුදෙහි ක්‍ෂය වූ සිඳුණු යම් මේ දියෙක් වේ නම් මෙය ම ඉබෙහෙවි. ඉතිරි වූ දෙතුන් දිය බිඳු ඉතා මඳ ය. මහමුහුදෙහි ක්‍ෂය වූ සිඳුණු දිය හා සැසඳීමෙහි දී ඉතිරි වූ දෙතුන් දිය බිඳු ගිණුමට ද නො පැමිණේ. සැසඳුමට ද නො පැමිණේ. කලභාගයට ද නො පැමිණේ. මහණෙනි, එපරිද්දෙන් ම අරීසවුහුගේ ... වීර්‍ය්‍ය කටයුතු යි.
12. 6. 9.
පබ්බතූපම සූත්‍රය
3901. මහණෙනි, යම්සේ පුරුෂයෙක් හිමවත් පවුරජහුගේ අබ පමණ වූ පහණසකුරු සතක් බහා තබන්නේ ද, මහණෙනි, ඒ කිමැ යි හඟිවු ද? කිමෙක් ඉබොහෝ ද? බහා තබන ලද අබ පමණ වූ පහණසකුරු සතෙක් වේ නම් එය හෝ හිමවත් පවුරජ හෝ දැ යි? වහන්ස, යම් මේ හිමවත් පවුරජෙක් වේ නම් හේ ම ඉබෙහෙවි. බහා තබන ලද අබ පමණ වූ පහණසකුරු සත ඉතා මඳ ය. හිමවත් පවුරජු හා සැසඳීමෙහි දී බහා තබන ලද අබ පමණ වූ පහණසකුරු සත ගිණුමට ද නො පැමිණේ. සැසැඳුමට ද නො පැමිණේ. කලභාගයට ද නො පැමිණේ. මහණෙනි, එසෙයින් ම අරීසවුහුගේ ... වීර්‍ය්‍ය කටයුතු යි.
12. 6. 10.
දුතිය පබ්බතූපම සූත්‍රය
3902. මහණෙනි, යම්සේ පුරුෂයෙක් හිමවත් පවුරජ අබ පමණ වූ පහණසකුරු (ගල්කැට) සතක් තබා ක්‍ෂය වීමට ගෙවීමට යන්නේ ද, මහණෙනි, “ඒ කිමැ” යි හඟිවු ද? කිමෙක් ඉබොහෝ ද? හිමවත් පවුරජුගේ යම් ක්‍ෂය වූවෙක් ගෙවුණෙක් වේ නම් එය හෝ ඉතිරි වූ අබ පමණ වූ යම් පහණසකුරු සතෙක් වේ නම් එය හෝ දැ යි? වහන්ස, හිමවත් පවුරජුගේ යම් මේ ක්‍ෂය වූවෙක් ගෙවුණෙක් වේ නම් මෙය ම ඉතා බෙහෙවි. අබ පමණ වූ ඉතිරි වූ සත්පහණසකුරු ඉතා මඳ ය. හිමවත් පවුරජුගේ ක්‍ෂය වූ ගෙවුණු කොටස හා සැසඳීමෙහි දී අබ පමණ වූ ඉතිරි වූ සත්පහණසකුරු ගිණුමටත් නො පැමිණේ. සැසඳුමටත් නො පැමිණේ. කලභාගයටත් නො පැමිණේ යි.
මහණෙනි, එසෙයින් ම සිවුසස් පිළිවිදි දිටුසපන් අරීසවු පුඟුල්හුගේ ක්‍ෂය වූ ගෙවුණු යම් මේ දුකෙක් වේ නම් මෙය ම ඉතා බොහෝ ය. ඉතිරි වූ දුක ඉතා මඳ ය. යමෙක් “මේ දුකැ” යි තතුසේ දනී ද, “මේ දුක් හටගැනුමැ” යි තතුසේ දනී ද, “මේ දුක් වැළැක්මැ” යි තතුසේ දනී ද, “මේ දුක් වැළැක්මට පමුණුවන පිළිවෙතැ” යි තතුසේ දනී ද, යන යම් මේ සත්තක්ඛත්තුපරමතාවක් වේ ද, එය ක්‍ෂය වූ ගෙවුණු පළමු දුක්කඳ හා සැසඳීමෙහි දී ගිණුමටත් නො පැමිණේ. සැසැඳුමටත් නො පැමිණේ. කලභාගයටත් නො පැමිණේ. මහණෙනි, එහෙයින් මෙහි ලා “මේ දුකැ” යි වීර්‍ය්‍ය කටයුතු ... “මේ දුක් වැළැක්මට පමුණුවන පිළිවෙතැ” යි වීර්‍ය්‍ය කටයුතු යි.
සවැනි අභිසමයවර්‍ග යි.
එහි සූත්‍ර නාමාවලිය :
නඛසිඛා, පොක්ඛරණී යි දෙකෙක් ද අනෙක් සම්භෙජ්ජ සුතුරු දෙකෙක් ද පඨවි සුතුරු දෙකෙක් ද සමුද්ද සුතුරු දෙකෙක් ද පබ්බතූපම සුතුරු දෙකෙක් දැයි මුළුල්ල දසයෙකි යි.
7. ආමකධඤ්ඤපෙය්‍යාල වර්‍ගය
12. 7. 1.
අඤ්ඤත්‍ර සූත්‍රය
3903. එකල්හි භාග්‍යවතුන් වහන්සේ නියසිළෙහි පස් බිඳක් නගා භික්‍ෂූන් ඇමතූසේක. මහණෙනි, ඒ කිමැ යි හඟිවු ද? කිමෙක් ඉතා බොහෝ ද? මා විසින් නියසිළෙහි යම් පස්බිඳෙක් නගන ලද නම් එය හෝ මේ මහපොළොව හෝ දැ යි. වහන්ස, යම් මේ මහපොළොව වේ නම් මෙය ම ඉබෙහෙවි. භාග්‍යවතුන් වහන්සේ විසින් නියසිළෙහි නගන ලද මේ පස්බිඳ ඉතා මඳ ය. මහපොළොව හා සැසඳීමෙහි දී භාග්‍යවතුන් වහන්සේ විසින් නිය සිළෙහි නගන ලද පස්බිඳ ගිණුමටත් නො පැමිණේ. සැසඳීමටත් නො පැමිණේ. කලභාගයටත් නො පැමිණේ යි. මහණෙනි, එසෙයින් ම යම් සත්‍ව කෙනෙක් මිනිසුන් කෙරෙහි උපදිත් නම් ඔහු අල්පය. වැලි යම් සත්‍ව කෙනෙක් මිනිසුන් කෙරෙන් අන් තන්හි උපදිත් නම් ඔහු ම ඉබොහෝහ. ඒ කවර හෙයින යත්: චතුරාර්‍ය්‍යසත්‍යය නො දුටු බැවිනි. කවර චතුරාර්‍ය්‍යසත්‍යයක යත්: “දුක්ඛාර්‍ය්‍යසත්‍යය ... දුක්ඛනිරෝධගාමිනී ප්‍රතිපදාර්‍ය්‍යසත්‍යය” යි. මහණෙනි, එහෙයින් මෙහිලා “මේ දුක්ඛ” යි වීර්‍ය්‍ය කට යුතු ... “මේ දුක්ඛනිරෝධගාමිනී පටිපදා” යි වීර්‍ය්‍ය කටයුතු යි.
12. 7. 2.
පච්චන්ත සූත්‍රය
3904. එකල්හි භාග්‍යවතුන් වහන්සේ නියසිළෙහි පස්බිඳක් නගා භික්‍ෂූන් ඇමතූ සේක. මහණෙනි, ඒ කිමැ යි හඟිවු ද? කිමෙක් ඉබොහෝ ද? මවිසින් නියසිළෙහි යම් මේ පස්බිඳෙක් නගන ලද නම් එය හෝ මේ මහපොළොව හෝ දැයි. වහන්ස, යම් මේ මහපොළොවක් වේ නම් මෙය ම ඉබෙහෙවි. භාග්‍යවතුන් වහන්සේ විසින් නියසිළෙහි නගන ලද මේ පස්බිඳ ඉතා මඳ ය. භාග්‍යවතුන් වහන්සේ විසින් නියසිළෙහි නගන ලද පස්බිඳ මහපොළොව හා සැසඳීමෙහි දී ගිණුමට ද නො පැමිණේ. සැසඳුමට ද නො පැමිණේ. කලාවෙන් කලාවට ද නො පැමිණේ. මහණෙනි, එසෙයින් ම මධ්‍යමජනපදයන්හි යම් සත්‍ව කෙනෙක් උපදිත් නම් ඒ සත්‍වයෝ මඳයහ. වැලි යම් සත්‍ව කෙනෙක් අප්‍රසිද්ධ වූ අශිෂ්ට වූ පැසුළු දනව්හි උපදිත් නම් මොහු ම ඉබොහෝ හ. ... මේ දුක් වැළැක්මට පමුණුවන පිළිවෙතැ යි වීර්‍ය්‍ය කටයුතු යි.
12. 7. 3.
පඤ්ඤා සූත්‍රය
3905. මහණෙනි, එසෙයින් ම යම් කෙනෙක් ආර්‍ය්‍ය වූ ලොවී ලොවුතුරු නුවණැසින් සමන්‍වාගත වෙත් නම් ඒ සත්‍වයෝ මඳය හ, වැලි යම් කෙනෙක් අවිද්‍යායෙන් යුතු වූවාහු මුළා වූවෝ වෙද්ද මේ සත්‍වයෝ ම ඉබොහෝ හ. ... මේ දුක් වැළැක්මට පමුණුවන පිළිවෙතැ යි වීර්‍ය්‍ය කටයුතු යි.
12. 7. 4.
සුරාමේරය සූත්‍රය
3906. මහණෙනි, එසෙයින් ම යම් කෙනෙක් ප්‍රමාදයට කරුණු වූ රහමෙරමත්පැනින් වැළකුණාහු නම් ඒ සත්‍වයෝ මඳයහ. වැලි යම් සත්‍ව කෙනෙක් ප්‍රමාදයට කරුණු වූ රහමෙර මත්පැනින් නො වැළකුණාහු නම් මොහු ම ඉබොහෝහ ... වීර්‍ය්‍ය කටයුතු යි.
12. 7. 5.
ඔදකජ සූත්‍රය
3907. මහණෙනි, එසෙයින් ම යම් කෙනෙක් ගොඩබිම උපදනාහු ද ඒ සත්‍වයෝ මඳයහ. වැලි යම් සත්‍ව කෙනෙක් දියෙහි උපදනෝ ද මේ සත්‍වයෝ ම ඉබොහෝහ ... වීර්‍ය්‍ය කටයුතු යි.
12. 7. 6.
මත්තෙය්‍ය සූත්‍රය
3908. මහණෙනි, එසෙයින් ම යම් සත්‍ව කෙනෙක් මවට හිත වූවෝ ද, ඔහු මඳය හ. වැලි යම් සත්‍ව කෙනෙක් මවට හිත නුවූවෝ ද මොහු ම ඉබොහෝහ ... වීර්‍ය්‍ය කටයුතු යි.
පෙත්තෙය්‍ය සූත්‍රය
3909. මහණෙනි, එසෙයින් ම යම් සත්‍ව කෙනෙක් පියාට හිත වූවෝ ද ඔහු මඳයහ. වැලි යම් සත්‍ව කෙනෙක් පියාට හිත නුවූවෝ ද මොහු ම ඉබොහෝහ. ... වීර්‍ය්‍ය කටයුතු යි.
සාමඤ්ඤ සූත්‍රය
3910. මහණෙනි, එසෙයින් ම යම් සත්‍ව කෙනෙක් මහණුන්ට හිත වූවෝ නම් ඔහු මඳයහ. වැලි යම් සත්‍ව කෙනෙක් මහණුන්ට හිත නුවූවෝ නම් මොහු ම ඉබොහෝහ. ... වීර්‍ය්‍ය කටයුතු යි.
12. 7. 9.
බ්‍රහ්මඤ්ඤ සූත්‍රය
3911. මහණෙනි, එසෙයින් ම යම් කෙනෙක් බමුණන්ට හිත වූවෝ ද ඒ සත්‍වයෝ මඳයහ. වැලි යම් කෙනෙක් බමුණන්ට හිත නුවූවෝ ද මේ සත්‍වයෝ ම ඉබොහෝහ ... වීර්‍ය්‍ය කටයුතු යි.
12. 7. 10.
අපචායී සූත්‍රය
3912. මහණෙනි, එසෙයින් ම යම් සත්‍ව කෙනෙක් කුලදෙටුවන් පුදන්නෝ නම් ඔහු මඳයහ. වැලි යම් සත්‍ව කෙනෙක් කුලදෙටුවන් නොපුදන්නෝ නම් මොහු ම ඉබොහෝහ ... වීර්‍ය්‍ය කටයුතු යි.
සත්වැනි ආමකධඤ්ඤපෙය්‍යාල වර්‍ග යි.
එහි සූත්‍ර නාමාවලිය:
අඤ්ඤත්‍ර, පච්චන්ත, පඤ්ඤා, සුරාමේරය, ඔදකජ, සුතුරු ද මෙත්තෙය්‍ය, පෙත්තෙය්‍ය, සාමඤ්ඤ, බ්‍රහ්මඤ්ඤ, අපචායී සුතුරු දැ යි දසයෙකි යි.
8. දුතිය ආමකධඤ්ඤපෙය්‍යාල
12. 8. 1.
පාණාතිපාත සූත්‍රය
3913. මහණෙනි, එසෙයින් ම යම් සත්‍වකෙනෙක් පණිවායෙන් වැළකුණාහු නම් ඔහු මඳයහ. වැලි යම් සත්‍වකෙනෙක් පණිවායෙන් නොවැළකුණාහු නම් මොහු ම ඉබොහෝහ ... වීර්‍ය්‍ය කටයුතු යි.
12. 8. 2.
අදින්නාදාන සූත්‍රය
3914. මහණෙනි, එසෙයින් ම යම් සත්‍වකෙනෙක් අයිනාදනින් වැළකුණාහු නම් ඔහු මඳයහ. වැලි යම් සත්‍වකෙනෙක් අයිනාදනින් නො වැළකුණාහු නම් මොහු ම ඉබොහෝහ ... වීර්‍ය්‍ය කටයුතු යි.
12. 8. 3.