එහෙයින් ප්‍රාඥ තෙමේ බුදුවරයන්ගේ ශාසනය සිහිකරනුයේ ශ්‍රද්ධාවත් ශීලයත් පැහැදීමත් දහම දැකීමත් අනුයෝගවශයෙන් පිරිසිදු කරන්නේ යි.
11. 6. 2.
වස්සංවුත්‍ථ සූත්‍රය
3820. එසමයෙහි එක්තරා මහණෙක් සැවැත්නුවර වස් එළඹියේ කිසියම් කටයුත්තක් පිණිස කිඹුල්වතට පැමිණියේ වෙයි. කිඹුල්වත්පුරවැසි ශාක්‍යයෝ “සැවැත්නුවර වස් එළැඹි එක්තරා මහණෙක් කිඹුල්වතට පැමිණියේ ය”යි ඇසූහ. ඉක්බිති කිඹුල්වත්පුරවැසි ශාක්‍යයෝ ඒ මහණහු වෙත එළඹියහ. එළඹ ඒ මහණහු වැඳ එකත්පස් ව හුන්හ. එකත්පස් ව හුන් කිඹුල්වත්පුරවැසි ශාක්‍යයෝ ඒ මහණහුට මෙය කීහ:
වහන්ස, “කිම භාග්‍යවතුන් වහන්සේ නීරෝගත් බලවතුත් වනසේක් දැ”යි? ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ නීරෝග ද බලවද්ද වන සේකැ යි. වහන්ස, “කිම සැරියුත් මුගලන් දෙදෙනා වහන්සේ නීරෝගත් බලවතුත් වෙද්දැ”යි? ඇවැත්නි, සැරියුත් මුගලන් දෙදෙනා වහන්සේත් නීරෝග ද බලවද් ද වෙති යි. වහන්ස, “කිම බික් සඟන නීරෝගත් බලවතුත් වේ දැ”යි? ඇවැත්නි, බික්සඟනත් නීරෝග ද බලවද්ද වේ යි. වහන්ස, “මේ ඇතුළුවස භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි අසන ලද ඉදිරියෙහි පිළිගන්නා ලද කිසිවක් ඇද්දැ”යි? ඇවැත්නි මා විසින් මෙය භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි අසන ලද, ඉදිරියෙහි පිළිගන්නා ලදී (කිමෙක් ද යත්:)
“මහණෙනි, යම් මහණ කෙනෙක් ආස්‍රවක්‍ෂය කිරීමෙන් අනාස්‍රව වූ ඵලසමාධියත් ඵලප්‍රඥාවත් දිටුදැමියෙහි ම තෙමේ වෙසෙසින් දැන පසක් කොට එයට පැමිණ වෙසෙත් නම් ඔහු අල්පයහ. වැලි යම් මහණ කෙනෙක් පස් ඕරම්භාගියසංයෝජනයන් ක්‍ෂය කිරීමෙන් ඕපපාතික වූවෝ එහි පිරිනිවෙනසුලු වූවාහු එලොවින් පෙරළා නො එන ස්වභාව ඇත්තෝ වෙත් නම් ඔහු ම ඉතා බොහෝහ”යි.
ඇවැත්නි, මා විසින් අනෙකකුදු භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි අසන ලද, ඉදිරියෙහි පිළිගන්නා ලදී. (එනම්): මහණෙනි, යම් මහණ කෙනෙක් පස් ඕරම්භාගියසංයෝජනයන් ක්‍ෂය කිරීමෙන් ඕපපාතික ව එහි පිරිනිවෙනසුලු වූවාහු එලොවින් පෙරළා නොඑනසුලු වෙත් නම් ඔහු අල්පයහ. වැලි යම් මහණ කෙනෙක් ත්‍රිවිධසංයෝජනයන් ක්‍ෂය කිරීමෙන් රාගදෝසමෝහයන් තුනී වූ බැවින් සෙදගැමි වූවාහු එක්වරක් ම මෙලොවට අවුත් දුක් කෙළවර කරන්නාහු නම් මොහු ම ඉතා බොහෝහ”යි.
ඇවැත්නි, මා විසින් අනෙකකුදු භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි අසන ලද. ඉදිරියෙහි පිළිගන්නා ලදි (කිමෙක යත්): “මහණෙනි, යම් මහණ කෙනෙක් ත්‍රිවිධසංයෝජනයන් ක්‍ෂය කිරීමෙන් රාගදෝසමෝහයන් තුනී වූ බැවින් සෙදගැමි වූවාහු එක්වරක් ම මෙලොවට අවුත් දුක් කෙළවර කරන්නාහු නම් ඔහු අල්පය හ. වැලි යම් මහණ කෙනෙක් ත්‍රිවිධ සංයෝජනයන් ක්‍ෂය කිරීමෙන් විවස ව නොහෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවන් වූවාහු නම් මොහු ම ඉතා බොහෝහ යි.
11. 6. 3.
ධම්මදින්න සූත්‍රය
3821. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ බරණැස සමීපයෙහි මිගදාය නම් වූ ඉසිපතනාරාමයෙහි වැඩවසන සේක. එකල්හි ධම්මදින්න උවසු තෙමේ පන්සියයක් උවසුන් සමග භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් ධම්මදින්න උවසු තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකෙළේ ය: “වහන්ස, යම්සේ අපට දිගුකලක් මුළුල්ලෙහි හිතසුව පිණිස වන්නේ නම් භාග්‍යවතුන් වහන්සේ අපට එසේ අවවාද කරන සේක්වා. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ අපට අනුශාසන කරන සේක්වා”යි. ධම්මදින්න, එසේ නම් මෙහි ලා තොප විසින් මෙසේ හික්මිය යුතු: තථාගතයන් වහන්සේ විසින් වදාරන ලද ගැඹුරු වූ, ගැඹුරු අරුත් ඇති ලොවුතුරු වූ සත් ශුන්‍යතාවන් දක්වන්නා වූ යම් ඒ සූත්‍රාන්තයෝ වෙත් නම් කලින් කල ඔවුන් පිළිලැබ වෙසෙන්නෙමු”යි මෙසේ තොප විසින් හික්මිය යුතු යි.
වහන්ස, දරුවන්ගෙන් පළිබෝධ ඇති යහන්හි වෙසෙන සිනිඳුසඳුන් ගල්වන මල්ගඳ විලෙවුන් දරන රන්රිදී ඉවසන අප විසින් තථාගතයන් වහන්සේ විසින් වදාරන ලද ගැඹුරු වූ ගැඹුරු අරුත් ඇති ලොවුතුරු වු ශුන්‍යතාප්‍රතිසංයුක්ත වූ යම් ඒ සූත්‍රාන්තයෝ වෙත් නම් කලින් කල ඔවුන් පිළිලැබ මේ විසුම සුකර නො වේ. වහන්ස, පස් සිකපෙදෙහි සිටි ඒ අපට මතු දහමක් දේශනා කරන සේක්වා යි. ධම්මදින්න, එසේ නම් මෙහි ලා තොප විසින් මෙසේ හික්මියයුතු: “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙනුදු දෙවිමිනිසුනට ශාස්තෲහ. බුද්ධයහ. භගවත්හ”යි. බුදුරජාණන් වහන්සේ කෙරෙහි අචලප්‍රසාදයෙන් සමන්‍වාගත වන්නෙමු. ධර්‍මය කෙරෙහි ... සඞ්ඝයා කෙරෙහි ... අඛණ්ඩ වූ ... සමාධිසංවර්‍තනික වූ ආර්‍ය්‍යකාන්තශීලයෙන් සමන්‍වාගත වන්නෙමු”යි. ධම්මදින්න, මෙසේ තොප විසින් හික්මියයුතු යි.
වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් යම් මේ සිවු සෝවන් අඟක් වදාරන ලද ද ඒ දහම් අප කෙරෙහි ඇත. වහන්ස, අපිත් ඒ දහම් කෙරෙහි දක්නා ලබමු. වහන්ස, අපි “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙනුදු ... දෙවිමිනිසුනට ශාස්තෲහ. බුද්ධයහ. භගවත්හ”යි. බුදුරජාණන් වහන්සේ කෙරෙහි අචලප්‍රසාදයෙන් සමන්‍වාගතයම්හ. ධර්‍මය කෙරෙහි ... සඞ්ඝයා කෙරෙහි ... අඛණ්ඩ වූ ... සමාධිසංවර්‍තනික වූ ආර්‍ය්‍යකාන්තශීලයෙන් සමන්‍වාගතයම්හ”යි. ධම්මදින්න තොපට ලාභයෙකි. ධම්මදින්න, තොපට මනා ලැබුමෙකි. ධම්මදින්න, සෝවන්පල පවසන ලදැ යි.
11. 6. 4.
ගිලාන සූත්‍රය
3822. එක්සමයෙක භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය දනව්වෙහි කිඹුල්වත් නිග්‍රෝධාරාමයෙහි වැඩවසන සේක. එසමයෙහි බොහෝ භික්‍ෂූහු “නිමවූ සිවුරු ඇති භාග්‍යවතුන් වහන්සේ තෙමස ඇවෑමෙන් චාරිකාවට වඩනා සේකැ”යි භාග්‍යවතුන් වහන්සේගේ සිවුරුකම් කෙරෙති. “නිමවූ සිවුරු ඇති භාග්‍යවතුන් වහන්සේ තෙමස ඇවෑමෙන් චාරිකාවට වඩනා සේකැ”යි බොහෝ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ සිවුරුකම් කෙරෙති”යි මහානාම ශාක්‍යයෝ ඇසූහ. එකල්හි මහානාම ශාක්‍ය තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස් ව හුන්නේ ය. එකත්පස් ව හුන් මහානාම ශාක්‍ය තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකෙළේ ය: “වහන්ස, නිමවූ සිවුරු ඇති භාග්‍යවතුන් වහන්සේ තෙමස ඇවෑමෙන් චාරිකාවට වඩනා සේකැ”යි බොහෝ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ සිවුරුකම් කෙරෙති”යි මෙය මා විසින් අසන ලදි. “වහන්ස, (පැනැති) සෝවන් උවසුහු විසින් හටගත් ආබාධ ඇති දුකට පැමිණි දැඩිසේ ගිලන් වූ පැනැති උවසු තෙමේ අවවාද කටයුත්තේ ය”යි මෙය භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි නො ම අසන ලදි. ඉදිරියෙහි නො ම පිළිගන්නා ලදී යි.
මහානාම, පැනැති උවසුහු විසින් හටගත් ආබාධ ඇති දුකට පැමිණි දැඩිසේ ගිලන් වූ පැනැති උවසු තෙමේ අස්වැසිලි කර සිවු දහමෙකින් අස්වැසියයුතු. ආයුෂ්මත් තෙමේ අස්වැසේවා. “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙනුදු දෙවිමිනිසුනට ශාස්තෲහ. බුද්ධයහ. භගවත්හ”යි, බුදුරජාණන් වහන්සේ කෙරෙහි අචලප්‍රසාදය ආයුෂ්මත්හට ඇත. ආයුෂ්මත් තෙමේ අස්වැසේවා. “භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්‍මය ස්වාඛ්‍යාත ය ... නුවණැත්තවුන් විසින් තමන් තමන් කෙරෙහි ලා දතයුතු ය”යි, ධර්‍මය කෙරෙහි අචලප්‍රසාදය ආයුෂ්මත්හට ඇත. ආයුෂ්මත් තෙමේ අස්වැසේවා. “භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකසඞ්ඝ තෙමේ සුප්‍රතිපන්න ය ... ලෝකයාහට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර ය”යි, සඞ්ඝයා කෙරෙහි අචලප්‍රසාදය ආයුෂ්මත්හට ඇත. ආයුෂ්මත් තෙමේ අස්වැසේවා. අඛණ්ඩ වූ ... සමාධිසංවර්‍තනික වූ ආර්‍ය්‍යකාන්තසිල් ආයුෂ්මත්හට ඇත.
මහානාම පැනැති උවසුහු විසින් හටගත් ආබාධ ඇති දුකට පැමිණි දැඩිසේ ගිලන් වූ පැනැති උවසු තෙමේ අස්වැසිලි කර මේ සිවු දහමින් අස්වසා “ආයුෂ්මත්හට මවුපියන් කෙරෙහි අපේක්‍ෂාවක් ඇද්දැ”යි මෙසේ කිවයුතු වන්නේ ය. ඉදින් හෙතෙමේ “මට මවුපියන් කෙරෙහි අපේක්‍ෂා ඇතැ”යි මෙසේ කියන්නේ නම් හේ මෙසේ කියයුතු වන්නේ ය. “ආයුෂ්මත් තෙමේ මරණය පිළිබඳ ය. මැරෙණ ස්වභාව ඇත්තේ ය. ඉදින් ආයුෂ්මත් තෙමේ මවුපියන් කෙරෙහි අපේක්‍ෂාව කරන්නේ නමුදු මැරෙන්නේ ම ය. ඉදින් ආයුෂ්මත් තෙමේ මවුපියන් කෙරෙහි අපේක්‍ෂාව නො කරන්නේ නමුදු මැරෙන්නේ ම ය. ඉදින් ආයුෂ්මත්හට මවුපියන් කෙරෙහි අපේක්‍ෂා ඇත්නම් එය හරුව”යි. හෙ ඉදින් “මවුපියන් කෙරෙහි මට යම් අපේක්‍ෂාවක් වූ නම් එය ප්‍රහීණ ය”යි මෙසේ කියන්නේ නම් හෙතෙමේ “ආයුෂ්මත්හට අඹුදරුවන් කෙරෙහි අපේක්‍ෂාව ඇද්දැ”යි මෙසේ කියයුතු වන්නේ ය. ඉදින් හෙතෙමේ “මට අඹුදරුවන් කෙරෙහි අපේක්‍ෂා ඇතැ”යි මෙසේ කියන්නේ නම් හෙ මෙසේ කියයුතු වන්නේ ය. “ආයුෂ්මත් තෙමේ මරණය පිළිබඳ ය. මැරෙණ ස්වභාව ඇත්තේ ය. ඉදින් ආයුෂ්මත් තෙමේ අඹුදරුවන් කෙරෙහි අපේක්‍ෂා කරන්නේ ද, මැරෙන්නේ ම ය. ඉදින් ආයුෂ්මත් තෙමේ අඹුදරුවන් කෙරෙහි අපේක්‍ෂාව නො කරන්නේ ද, මැරෙන්නේ ම ය. ඉදින් ආයුෂ්මත්හට අඹුදරුවන් කෙරෙහි අපේක්‍ෂා ඇත් නම් එය හරුව”යි.
ඉදින් හෙතෙමේ “මට අඹුදරුවන් කෙරෙහි යම් අපේක්‍ෂාවක් වූ නම් එය ප්‍රහීණ ය”යි මෙසේ කියන්නේ නම් හෙතෙමේ “ආයුෂ්මත්හට මිනිසුන් පිළිබඳ පස්කම්ගුණෙහි අපේක්‍ෂාවක් ඇද්දැ”යි මෙසේ කියයුතු වන්නේ ය. ඉදින් හෙතෙමේ “මට මිනිසුන් පිළිබඳ පස්කම්ගුණෙහි අපේක්‍ෂාවක් ඇතැ”යි මෙසේ කියන්නේ නම් හෙතෙමේ මෙසේ කියයුතු වන්නේ ය: “ඇවැත්නි, මිනිසුන් පිළිබඳ කාමයන්ට වඩා දෙවියන් පිළිබඳ කාමයෝ ඉතා සිත්කලු ද ඉතා පිණී ද වෙති. ආයුෂ්මත් තෙමේ මිනිසුන් පිළිබඳ කාමයන්ගෙන් සිත නඟා සිවුමහරජයෙහි දෙවියන් කෙරෙහි සිත තබව”යි.
ඉදින් හෙතෙමේ “මිනිසුන් පිළිබඳ කාමයන්ගෙන් මාගේ සිත නැඟිණි. සිවුමහරජයෙහි දෙවියන් කෙරෙහි සිත තබන ලදැ”යි මෙසේ කියන්නේ නම් හෙතෙමේ “ඇවැත්නි, සිවුමහරජයෙහි දෙවියන්ට වඩා තවුතිසාවැසි දෙවියෝ ඉතා සිත්කලු ද ඉතා පිණී ද වෙති. ආයුෂ්මත් තෙමේ සිවුමහරජයෙහි දෙවියන්ගෙන් සිත නඟා තවුතිසාවැසි දෙවියන් කෙරෙහි සිත තබව”යි මෙසේ කියයුතු වන්නේ ය.
ඉදින් හෙතෙමේ “සිවුමහරජයෙහි දෙවියන්ගෙන් මාගේ සිත නැඟිණි. තවුතිසාවැසි දෙවියන් කෙරෙහි සිත තබන ලදැ”යි මෙසේ කියන්නේ නම් හෙතෙමේ “ඇවැත්නි, තවුතිසාවැසි දෙවියන්ට වඩා යාමදෙවියෝ ඉතා සිත්කලු ද ඉතා පිණී ද වෙති. ආයුෂ්මත් තෙමේ තවුතිසාවැසි දෙවියන්ගෙන් සිත නඟා යාමදෙවියන් කෙරෙහි සිත තබව”යි මෙසේ කියයුතු වන්නේ ය.
ඉදින් හෙතෙමේ තවුතිසාවැසි දෙවියන්ගෙන් මාගේ සිත නැඟිණි. යාමදෙවියන් කෙරෙහි සිත තබන ලදැ”යි මෙසේ කියන්නේ නම් හෙතෙමේ “ඇවැත්නි, යාමදෙවියන්ට වඩා තුසිතදෙවියෝ ඉතා සිත්කලු ද ඉතා පිණී ද වෙති. ආයුෂ්මත් තෙමේ යාමදෙවියන් ගෙන් සිත නඟා තුසිතදෙවියන් කෙරෙහි සිත තබව”යි මෙසේ කියයුතු වන්නේ ය.
ඉදින් හෙතෙමේ “යාමදෙවියන් ගෙන් මාගේ සිත නැඟිණි. තුසිතදෙවියන් කෙරෙහි සිත තබන ලදැ”යි මෙසේ කියන්නේ නම් හෙතෙමේ “ඇවැත්නි, තුසිතදෙවියන්ට වඩා නිම්මාණරතී දෙවියෝ ඉතා සිත්කලු ද ඉතා පිණී ද වෙති. ආයුෂ්මත් තෙමේ තුසිතදෙවියන් ගෙන් සිත නඟා නිම්මාණරතී දෙවියන් කෙරෙහි සිත තබව”යි මෙසේ කියයුතු වන්නේ ය.
ඉදින් හෙතෙමේ “තුසිතදෙවියන් ගෙන් මාගේ සිත නැඟිණි. නිම්මාණරතී දෙවියන් කෙරෙහි සිත තබන ලදැ”යි මෙසේ කියන්නේ නම් හෙතෙමේ “ඇවැත්නි, නිම්මාණරතීදෙවියන්ට වඩා පරනිර්මිත වසවර්තිදෙවියෝ ඉතා සිත්කලු ද ඉතා පිණී ද වෙති. ආයුෂ්මත් තෙමේ නිර්‍මාණරතීදෙවියන් ගෙන් සිත නඟා පරනිර්මිතවසවර්තිදෙවියන් කෙරෙහි සිත තබව”යි මෙසේ කියයුතු වන්නේ ය.
ඉදින් හෙතෙමේ “නිර්‍මාණරතී දෙවියන්ගෙන් මාගේ සිත නැඟිණි. පරනිර්මිතවසවර්තිදෙවියන් කෙරෙහි සිත තබන ලදැ”යි මෙසේ කියන්නේ නම් හෙතෙමේ “ඇවැත්නි, පරනිර්මිතවසවර්තී දෙවියන්ට වඩා බඹලොව ඉතා සිත්කලු ද ඉතා පිණී ද වේ. ආයුෂ්මත් තෙමේ පරනිර්මිතවසවර්තිදෙවියන්ගෙන් සිත නඟා බඹලොව කෙරෙහි සිත තබව”යි මෙසේ කියයුතු වන්නේ ය.
ඉදින් හෙතෙමේ “පරනිර්මිතවශවර්තීදෙවියන්ගෙන් මාගේ සිත නැඟිණි. බඹලොව කෙරෙහි සිත තබන ලදැ”යි මෙසේ කියන්නේ නම් හෙතෙමේ “ඇවැත්නි, බඹලොව ද අනිස ය. නො තිර ය. සත්කායයට ඇතුළත් ය. ආයුෂ්මත් තෙමේ බඹලොවින් සිත නඟා සත්කායනිරෝධය කෙරෙහි සිත එළවා තබව”යි මෙසේ කියයුතු වන්නේ ය.
ඉදින් හෙතෙමේ “බඹලොවින් මාගේ සිත නැඟිණි. සත්කායනිරෝධයෙහි සිත එළවා තබන ලදැ”යි මෙසේ කියන්නේ නම් “මහානාම, මෙසේ මිදුණු සිත් ඇති උවසුහුගේ සියවසක් මුළුල්ලෙහි මිදුණු සිත් ඇති මහණහු සමග විමුක්තිය ඇරබ විමුක්තියෙහි කිසි වෙනසක් නො කියමි”යි.
11. 6. 5.
ඵල සූත්‍රය
3823. මහණෙනි, මේ සිවු දහම් කෙනෙක් වඩන ලදහු බහුල කරන ලදහු සොවන්පල පසක් කිරීම පිණිස පවතිත්. කවර සිවු දහම් කෙනෙක යත්: “සත්පුරුෂසේවන, සද්ධර්‍මශ්‍රවණ, යෝනිසෝමනස්කාර, ධර්‍මානුධර්‍මප්‍රතිපත්ති”යි. මහණෙනි, මේ සිවු දහම්හු වඩන ලදහු බහුල කරන ලදහු සොවන්පල පසක් කිරීම පිණිස පවතිත් යි.
11. 6. 6.
දුතියඵල සූත්‍රය
3824. මහණෙනි, මේ සිවු දහම් කෙනෙක් වඩන ලදහු බහුල කරන ලදහු සෙදගැමිපල පසක් කිරීම පිණිස පවතිත්. කවර සිවු දහම් කෙනෙක යත්: සත්පුරුෂසේවන, සද්ධර්‍මශ්‍රවණ, යෝනිසෝමනස්කාර, ධර්‍මානුධර්‍මප්‍රතිපත්ති”යි. මහණෙනි, මේ සිවු දහම්හු වඩන ලදහු බහුල කරන ලදහු සෙදගැමිපල පසක් කිරීම පිණිස පවතිත් යි.
11. 6. 7.
තතියඵල සූත්‍රය
3825. මහණෙනි, මේ සිවු දහම් කෙනෙක් වඩන ලදහු බහුල කරන ලදහු අනගැමිපල පසක් කිරීම පිණිස පවතිත්. කවර සිවු දහම් කෙනෙක යත්: සත්පුරුෂසේවන, සද්ධර්‍මශ්‍රවණ, යෝනිසෝමනස්කාර, ධර්‍මානුධර්‍මප්‍රතිපත්ති”යි. මහණෙනි, මේ සිවු දහම්හු වඩන ලදහු බහුල කරන ලදහු අනගැමිපල පසක් කිරීම පිණිස පවතිත් යි.
11. 6. 8.
චතුත්‍ථඵල සූත්‍රය
3826. මහණෙනි, මේ සිවු දහම් කෙනෙක් වඩන ලදහු බහුල කරන ලදහු රහත්පල පසක් කිරීම පිණිස පවතිත්. කවර සිවු දහම් කෙනෙක යත්: සත්පුරුෂසේවන, සද්ධර්‍මශ්‍රවණ, යෝනිසෝමනස්කාර, ධර්‍මානුධර්‍මප්‍රතිපත්ති”යි. මහණෙනි, මේ සිවු දහම්හු වඩන ලදහු බහුල කරන ලදහු රහත්පල පසක් කිරීම පිණිස පවතිත් යි.
11. 6. 9.
පටිලාභ සූත්‍රය
3827. මහණෙනි, මේ සිවු දහම් කෙනෙක් වඩන ලදහු බහුල කරන ලදහු නුවණ පිළිලැබුම පිණිස පවතිත්. කවර සිවු දහම් කෙනෙක යත්: “සත්පුරුෂසේවන, සද්ධර්‍මශ්‍රවණ, යෝනිසෝමනස්කාර, ධර්‍මානුධර්‍මප්‍රතිපත්ති”යි. මහණෙනි, මේ සිවු දහම්හු වඩන ලදහු බහුල කරන ලදහු නුවණ පිළිලැබුම පිණිස පවතිත් යි.
11. 6. 10.
වුඩ්ඪි සූත්‍රය
3828. මහණෙනි, මේ සිවු දහම් කෙනෙක් වඩන ලදහු බහුල කරන ලදහු නුවණ වැඩුම පිණිස පවතිත්. කවර සිවු දහම් කෙනෙක යත්: “සත්පුරුෂසේවන, සද්ධර්‍මශ්‍රවණ, යෝනිසෝමනස්කාර, ධර්‍මානුධර්‍මප්‍රතිපත්ති”යි. මහණෙනි, මේ සිවු දහම්හු වඩන ලදහු බහුල කරන ලදහු නුවණ වැඩුම පිණිස පවතිත් යි.
11. 6. 11.
වේපුල්ල සූත්‍රය
3829. මහණෙනි, මේ සිවු දහම් කෙනෙක් වඩන ලදහු බහුල කරන ලදහු නුවණ විපුලබව පිණිස පවතිත්. කවර සිවු දහම් කෙනෙක යත්: “සත්පුරුෂසේවන, සද්ධර්‍මශ්‍රවණ, යෝනිසෝමනස්කාර, ධර්‍මානුධර්‍මප්‍රතිපත්ති”යි. මහණෙනි, මේ සිවු දහම්හු වඩන ලදහු බහුල කරන ලදහු නුවණ විපුලබව පිණිස පවතිත් යි.
සවැනි සප්පඤ්ඤවර්‍ග යි.
එහි සූත්‍රනාමමාලාව :
සගාථක, වස්සංවුත්‍ථ, ධම්මදින්න, ගිලානක යි සතරෙකි. පලසුතුරු ද සතරෙකි. පටිලාභ, වුඩ්ඪී, වේපුල්ල නම් තුනෙකැ යි මුළුල්ල එකොළොසෙකි.
7. මහාපඤ්ඤ වර්‍ගය
11. 7. 1.
මහාපඤ්ඤ සූත්‍රය
3830. මහණෙනි, මේ සිවු දහම් කෙනෙක් වඩන ලද්දාහු බහුල කරන ලද්දාහු මහපැනැති බව පිණිස පවතිත්. කවර සිවු දහම් කෙනෙක යත්: “සත්පුරුෂසේවන, සද්ධර්‍මශ්‍රවණ, යෝනිසෝමනස්කාර, ධර්‍මානුධර්‍ම ප්‍රතිපත්ති”යි. මහණෙනි, මේ සිවු දහම්හු වඩන ලද්දාහු බහුල කරන ලද්දාහු මහපැනැති බව පිණිස පවතිත් යි.
11. 7. 2.
පුථුපඤ්ඤ සූත්‍රය
3831. මහණෙනි, මේ සිවු දහම් කෙනෙක් ... ලොවුතුරු පැනැති බව පිණිස පවතිත් යි.
11. 7. 3.
විපුලපඤ්ඤ සූත්‍රය
3832. මහණෙනි, මේ සිවු දහම් කෙනෙක් ... විපුලපැනැති බව පිණිස පවතිත් යි.
11. 7. 4.
ගම්භීරපඤ්ඤ සූත්‍රය
3833. මහණෙනි, මේ සිවු දහම් කෙනෙක් ... ගැඹුරුපැනැති බව පිණිස පවතිත් යි.
11. 7. 5.
අසාමන්තපඤ්ඤ සූත්‍රය
3834. මහණෙනි, මේ සිවු දහම් කෙනෙක් ... අසාමන්ත (නො සමීප) පැනැති බව පිණිස පවතිත් යි.
11. 7. 6.
භූරිපඤ්ඤ සූත්‍රය
3835. මහණෙනි, මේ සිවු දහම් කෙනෙක් ... බොහෝ පැනැති බව පිණිස පවතිත් යි.
11. 7. 7.
පඤ්ඤාබාහුල්ල සූත්‍රය
3836. මහණෙනි, මේ සිවු දහම් කෙනෙක් ... පැන බහුලබව පිණිස පවතිත් යි.
11. 7. 8.
සීඝපඤ්ඤ සූත්‍රය
3837. මහණෙනි, මේ සිවු දහම් කෙනෙක් ... වහා වැටැහෙන පැනැති බව පිණිස පවතිත් යි.
11. 7. 9.
ලහුපඤ්ඤ සූත්‍රය
3838. මහණෙනි, මේ සිවු දහම් කෙනෙක් ... යුහුපැනැතිබව පිණිස පවතිත් යි.
11. 7. 10.
හාසුපඤ්ඤ සූත්‍රය
3839. මහණෙනි, මේ සිවු දහම් කෙනෙක් ... හාසබහුල පැනැති බව පිණිස පවතිත් යි.
11. 7. 11.
ජවනපඤ්ඤ සූත්‍රය
3840. මහණෙනි, මේ සිවු දහම් කෙනෙක් ... දිවෙන පැනැති බව පිණිස පවතිත් යි.
11. 7. 12.
තික්ඛපඤ්ඤ සූත්‍රය
3841. මහණෙනි, මේ සිවු දහම් කෙනෙක් ... තියුණු පැනැති බව පිණිස පවතිත් යි.
11. 7. 13.
නිබ්බේධිකපඤ්ඤ සූත්‍රය
3842. මහණෙනි, මේ සිවු දහම් කෙනෙක් වඩන ලද්දාහු බහුල කරන ලද්දාහු නිබ්බේධික පඤ්ඤ (කෙලෙස් පළන පැනැති බව) පිණිස පවතිත්. කවර සිවු දහමෙක යත්: “සත්පුරුෂසේවන, සද්ධර්‍මශ්‍රවණ, යෝනිසෝමනසිකාර, ධර්‍මානුධර්‍මප්‍රතිපත්ති”යි. මහණෙනි, මේ සිවු දහම්හු වඩන ලද්දාහු බහුල කරන ලද්දාහු නිර්වේධික පැනැති බව පිණිස පවතිත් යි.
සත්වැනි මහාපඤ්ඤ වර්‍ග යි.
එහි සූත්‍රනාමාවලිය :
මහාපඤ්ඤ, පුථුපඤ්ඤ, විපුලපඤ්ඤ, ගම්භීරපඤ්ඤ, අසාමන්තපඤ්ඤ, භූරිපඤ්ඤ, පඤ්ඤාබාහුල්ල, සීඝපඤ්ඤ, ලහුපඤ්ඤ, හාසුපඤ්ඤ, ජවනපඤ්ඤ, තික්ඛපඤ්ඤ, නිබ්බේධිකපඤ්ඤ යි තෙළෙස් සුතුරු කෙනෙකි.
සෝතාපත්ති සංයුත්තය නිමියේ යි.
එහි වර්‍ගනාමාවලිය :
වේළුද්වාර, රාජකාරාම, සරකානි, පුඤ්ඤාභිසන්‍ද, සගාථ පුඤ්ඤාභිසන්‍ද, සප්පඤ්ඤ, මහාපඤ්ඤ යි (සෝතාපත්ති සංයුත්තයෙහි වර්‍ග සතෙකි යි).
12. සච්ච සංයුත්තය
1. සමාධි වර්‍ගය
12. 1. 1.