Saṁyutta Nikāya

Connected Discourses

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-30 · 15083 segments

පෙන්වන කොටස් 14401-14500 න් 15083

තෙවෙනි සරකානිවර්‍ග යි.
එහි සූත්‍ර නාමාවලිය:
මහානාම නමින් තුනෙක් ද, සරකානි නමින් අනෙක් දෙකෙක් ද, අනාථපිණ්ඩික නමින් තුනෙක් ද, භික්ඛු නන්‍දක යී දෙකෙක් දැ යි දශසූත්‍ර කෙනෙක් කියන ලදහ.
4. පුඤ්ඤාභිසන්‍ද වර්‍ගය
11. 4. 1.
අභිසන්‍ද සූත්‍රය
3799. සැවැත්නුවර:
මහණෙනි, සැපයට ප්‍රත්‍යය වූ මේ පුණ්‍යනදීහු කුශලනදීහු සතරෙකි. කවර සතරෙක යත්: මහණෙනි, මෙහි අරීසවු තෙමේ “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙනුදු ... දෙවිමිනිසුන්ට ශාස්තෲහ බුද්ධයහ භගවත්හ”යි බුදුන් කෙරෙහි අචලප්‍රසාදයෙන් සමන්‍වාගත වෙයි. මේ සැපයට ප්‍රත්‍යය වූ පළමුවන පුණ්‍යනදී ය, කුශලනදී ය. මහණෙනි, නැවත අනෙකක් ද කියමි: අරීසවු තෙමේ “ධර්‍මය භාග්‍යවතුන් වහන්සේ විසින් ස්වාඛ්‍යාත ය ... විඥයන් විසින් තමන් තමන් කෙරෙහි ලා දතයුතු ය”යි ධර්‍මය කෙරෙහි අචල ප්‍රසාදයෙන් සමන්‍වාගත වෙයි. මේ සැපයට ප්‍රත්‍යය වූ දෙවන පුණ්‍යනදී ය, කුශලනදී ය. මහණෙනි, නැවත අනෙකක් ද කියමි: “අරීසවු තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සඞ්ඝයා සුප්‍රතිපන්න ය ... ලෝකයාට අනුත්තරපුණ්‍යක්‍ෂේත්‍ර ය”යි සඞ්ඝයා කෙරෙහි අචලප්‍රසාදයෙන් සමන්‍වාගත වෙයි. මේ සැපයට ප්‍රත්‍යය වූ තෙවන පුණ්‍යනදී ය, කුශලනදී ය. මහණෙනි, නැවත අනෙකක් ද කියමි: “අරීසවු තෙමේ “අඛණ්ඩ වූ ... සමාධිසංවර්‍තනික වූ ආර්‍ය්‍යකාන්ත ශීලයෙන් සමන්‍වාගත වෙයි.” මේ සැපයට ප්‍රත්‍යය වූ සිවුවන පුණ්‍යනදී ය, කුශලනදී ය. මහණෙනි, මේ සතර සැපයට ප්‍රත්‍යය වූ පුණ්‍යනදීහු කුශලනදීහු යි.
11. 4. 2.
දුතියාභිසන්‍ද සූත්‍රය
3800. මහණෙනි, සැපයට ප්‍රත්‍යය වූ මේ පුණ්‍යනදීහු කුශලනදීහු සතරෙකි. කවර සතරෙක යත්: මහණෙනි, මෙහි අරීසවු තෙමේ “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙනුදු ... දෙවිමිනිසුන්ට ශාස්තෲහ බුද්ධයහ භගවත්හ”යි. බුදුරජාණන් වහන්සේ කෙරෙහි අචලප්‍රසාදයෙන් සමන්‍වාගත වෙයි. මේ සැපයට ප්‍රත්‍යය වූ පළමුවන පුණ්‍යනදී ය, කුශලනදී ය. මහණෙනි, නැවත අනෙකක් ද කියමි: අරීසවු තෙමේ ධර්‍මය කෙරෙහි ... සඞ්ඝයා කෙරෙහි ... මහණෙනි, නැවත අනෙකක් ද කියමි: අරීසවු තෙමේ මුදන ලද ත්‍යාග ඇත්තේ (ත්‍යාගශීලී වූයේ) (ආවවුන්ට දීම පිණිස) දෝනා ලද අත් ඇත්තේ ත්‍යාගයෙහි ඇලුණේ යදිනු ලැබීමට සුදුසු වූයේ දීමෙහිත් බෙදා දීමෙහිත් ඇලුණේ පහ ව ගිය මසුරුමල ඇති සිතින් යුතු ව ගිහිගෙයි වෙසේ. මේ සැපයට ප්‍රත්‍යය වූ සිවුවන පුණ්‍යනදී ය, කුශලනදී ය. මහණෙනි, මේ සතර සැපයට ප්‍රත්‍යය වූ පුණ්‍යනදීහු කුශලනදීහු යි.
11. 4. 3.
තතියාභිසන්‍ද සූත්‍රය
3801. මහණෙනි, සැපයට ප්‍රත්‍යය වූ මේ පුණ්‍යගඞ්ගා කුශලගඞ්ගා සතරෙකි. කවර සතරෙක යත්: මහණෙනි, මෙහි අරීසවු තෙමේ “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙනුදු ... දෙවිමිනිසුන්ට ශාස්තෲහ බුද්ධයහ භගවත්හ”යි බුදුන් කෙරෙහි අචලප්‍රසාදයෙන් සමන්‍වාගත වෙයි. මේ සැපයට ප්‍රත්‍යය වූ පළමුවන පින්ගඟ ය, කුසල්ගඟ ය. මහණෙනි, නැවත අනෙකක් ද කියමි: අරීසවු තෙමේ ධර්‍මය කෙරෙහි ... සඞ්ඝයා කෙරෙහි ... මහණෙනි, නැවත අනෙකක් ද කියමි: අරීසවු තෙමේ නුවණැත්තේ වෙයි. උදයව්‍යය පිරිසිඳ දැනීමට සමත් වූ ආර්‍ය්‍ය වූ නිර්වේදයට හිත වූ මැනවින් දුක් ගෙවීමට පමුණුවන ප්‍රඥායෙන් සමන්‍වාගත වෙයි. මේ සැපයට ප්‍රත්‍යය වූ සිවුවන පින්ගඟ ය, කුසල්ගඟ ය. මහණෙනි, මේ සතර සැපයට ප්‍රත්‍යය වූ පුණ්‍යගඞ්ගාවෝ කුශලගඞ්ගාවෝ යි.
11. 4. 4.
දේවපද සූත්‍රය
3802. මහණෙනි, නො පිරිසිදු සතුන් පිරිසිදු කරනු පිණිස නොබබළන සතුන් බබළවනු පිණිස මේ දෙවියන්ගේ දෙව්පිය සතරෙකි. කවර සතරෙක යත්: මහණෙනි, මෙහි අරීසවු තෙමේ “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙනුදු ... දෙවිමිනිසුනට ශාස්තෲහ බුද්ධයහ භගවත්හ”යි බුදුන් කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වූයේ වෙයි. මේ නොපිරිසිදු සතුන් පිරිසිදු කරනු පිණිස නොබබළන සතුන් බබළවනු පිණිස වූ දෙවියන්ගේ පළමුවන දෙව්පිය ය.
මහණෙනි, නැවත අනෙකක් ද කියමි: අරීසවු තෙමේ “ධර්‍මය භාග්‍යවතුන් වහන්සේ විසින් මනා කොට වදාරන ලද්දේ ය ... නුවණැත්තවුන් විසින් තමන් තමන් කෙරෙහි ලා දත යුත්තේ”යි දහම්හි ගුණ දැන පැහැදීමෙන් යුතු වූයේ වෙයි. මේ නොපිරිසිදු සතුන් පිරිසිදු කරනු පිණිස නොබබළන සතුන් බබළවනු පිණිස වූ දෙවියන්ගේ දෙවන දෙව්පිය ය.
මහණෙනි, නැවත අනෙකක් ද කියමි: අරීසවු තෙමේ “භාග්‍යවතුන් වහන්සේගේ සවුසඟහු සුපිළිපන්හ ... ලොවට අනුතුරු පින්කෙතැ”යි සඟුන් කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වූයේ වෙයි. මේ නොපිරිසිදු සතුන් පිරිසිදු කරනු පිණිස නොබබළන සතුන් බබළවනු පිණිස වූ දෙවියන්ගේ තෙවන දෙව්පිය ය.
මහණෙනි, නැවත අනෙකක් ද කියමි: අරීසවු තෙමේ අඛණ්ඩ වූ … සමාධිසංවර්‍තනික වූ ආර්‍ය්‍යකාන්තශීලයෙන් යුතු වූයේ වෙයි. මේ නොපිරිසිදු සතුන් පිරිසිදු කරනු පිණිස නොබබළන සතුන් බබළවනු පිණිස වූ දෙවියන්ගේ සිවුවන දෙව්පිය ය. මහණෙනි, මේ සතර නොවිසුදු සතුන්ගේ විසිදු පිණිස නොදිලෙන සතුන් දුල්වනු පිණිස වූ දෙවියන්ගේ දෙව්පිය යි.
11. 4. 5.
දුතිය දේවපද සූත්‍රය
3803. මහණෙනි, අවිසුදු සතුන්ගේ විසුදු පිණිස නොදිලෙන සතුන්ගේ දිලුම පිණිස මේ දෙවියන්ගේ දෙව්පිය සතරෙකි. කවර සතරෙක යත්: මහණෙනි, මෙහි අරීසවු තෙමේ “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙනුදු ... දෙවිමිනිසුන්ට ශාස්තෲහ බුද්ධයහ භගවත්හ”යි බුදුන් කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වූයේ වෙයි. හෙතෙමේ “දෙවියන්ගේ දෙව්පිය කිමෙක් දැ”යි? මෙසේ නුවණින් සලකා බලයි. හෙතෙමේ මෙසේ දැන ගනී: “මම දැන් දෙවියන් නිදුක්බව පරම කොට ඇත්තවුනැ යි අසමි. මම තැති ගන්නා වූ හෝ නොතැති ගන්නා වූ හෝ කිසිවකු නො පෙළමි. ඒකාන්තයෙන් මම දෙව්පිය දහමින් යුතු වූයෙම් වෙසෙමි” යි. අවිසුදු සතුන්ගේ විසුදු පිණිස නොදිලෙන සතුන්ගේ දිලුම පිණිස මේ දෙවියන්ගේ පළමුවන දෙව්පිය ය.
මහණෙනි, නැවත අනෙකක් ද කියමි: “අරීසවු තෙමේ දහම් කෙරෙහි ... සඟුන් කෙරෙහි ... මහණෙනි, නැවත අනෙකක් ද කියමි: “අරීසවු තෙමේ අඛණ්ඩ වූ ... සමාධිසංවර්‍තනික වූ ආර්‍ය්‍යකාන්තශීලයෙන් යුතු වූයේ වෙයි. හෙතෙමේ දෙවියන්ගේ දෙව්පිය කිමෙක් දැ”යි මෙසේ නුවණින් සලකා බලයි. හෙතෙමේ මෙසේ දැනගනී: “මම දැන් දෙවියන් නිදුක්බව පරම කොට ඇත්තවුනැ යි අසමි. මම තැතිගන්නා වූ හෝ නොතැති ගන්නා වූ හෝ කිසිවකු නො ම පෙළමි. ඒකාන්තයෙන් මම දෙව්පිය දහමින් යුතු වූයෙම් වෙසෙමි” යි. අවිසුදු සතුන්ගේ විසුදු පිණිස නොදිලෙන සතුන්ගේ දිලුම පිණිස වූ මේ දෙවියන්ගේ සිවුවන දෙව්පිය ය. මහණෙනි, මේ සතර අවිසුදු සතුන්ගේ විසුදු පිණිස නොදිලෙන සතුන්ගේ දිලුම පිණිස වූ දෙවියන්ගේ දෙව්පිය යි.
11. 4. 6.
සභාගත සූත්‍රය
3804. මහණෙනි, සිවුදහමෙකින් යුතු වූවහු (ඇරබ) සතුටු සිත් ඇති දෙවියෝ සභාවට පැමිණියාහු කියත්. (කථා කෙරෙත්) කවර සිවු දහමෙකින යත්: මහණෙනි, මෙහි අරීසවු තෙමේ “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙනුදු ... දෙවිමිනිසුනට ශාස්තෲහ බුද්ධහය භගවත්හ”යි බුදුන් කෙරෙහි අචල ප්‍රසාදයෙන් සමන්‍වාගත වෙයි. යම් ඒ දෙවි කෙනෙක් බුදුන් කෙරෙහි අචලප්‍රසාදයෙන් සමන්‍වාගත වූවාහු මෙයින් ච්‍යුත ව එහි පැමිණියාහු නම් ඔවුනට මෙබඳු සිතෙක් වෙයි: “අපි බුදුරජාණන් වහන්සේ කෙරෙහි යම්බඳු අචල ප්‍රසාදයෙකින් සමන්‍වාගත වූවමෝ එයින් ච්‍යුත ව මෙහි පැමිණියමෝ නම් අරීසවු තෙමේත් බුදුරජාණන් වහන්සේ කෙරෙහි එබඳු අචල ප්‍රසාදයෙකින් සමන්‍වාගත දෙවියන් සමීපයට පැමිණෙන්නේ ය”යි.
මහණෙනි, නැවත අනෙකක් ද කියමි: “අරීසවු තෙමේ දහම කෙරෙහි ... සඟුන් කෙරෙහි ... මහණෙනි, නැවත අනෙකක් ද කියමි: “ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ අඛණ්ඩ වූ ... සමාධිසංවර්‍තනික වූ ආර්‍ය්‍යකාන්තශීලයෙන් සමන්‍වාගත වෙයි. යම් ඒ දෙවි කෙනෙක් ආර්‍ය්‍යකාන්තශීලයෙන් සමන්‍වාගත වූවාහු මෙයින් ච්‍යුත ව එහි පැමිණියාහු නම් ඔවුනට මෙබඳු සිතෙක් වෙයි. “අපි යම් බඳු ආර්‍ය්‍යකාන්තශීලයෙකින් සමන්‍වාගත වූවමෝ එයින් ච්‍යුත ව මෙහි පැමිණියමෝ නම් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේත් එබඳු ආර්‍ය්‍යකාන්තශීලයෙන් සමන්‍වාගත ය. දෙවියන් සමීපයට පැමිණෙන්නේ ය”යි. මහණෙනි, මේ සිවුදහමින් යුතු වූවහු (ඇරබ) සතුටු සිත් ඇති දෙවියෝ සභාවට පැමිණියාහු කියති යි.
11. 4. 7.
මහානාම සූත්‍රය
3805. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ ශාක්‍යදනව්වෙහි කිඹුල්වත නිග්‍රෝධාරාමයෙහි වැඩවසන සේක. එකල්හි මහානාම ශාක්‍ය තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය ... එකත් පසෙක හුන් මහානාම ශාක්‍ය තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකෙළේ ය: “වහන්ස, කෙතෙකින් උපාසක වේ දැ”යි? මහානාම, යම් කලෙක බුදුන් පිහිට කොට ගියේ වේ ද, දහම පිහිට කොට ගියේ වේ ද, සඟුන් පිහිට කොට ගියේ වේ ද, මහානාම, මෙතෙකින් උපාසක වේ යි.
වහන්ස, උවසු තෙමේ කෙතෙකින් සිල්සපන් වේ දැ?යි. “මහානාම, යම් කලෙක උවසු තෙමේ පණිවායෙන් වැළකුණේ වේ ද අයිනාදනින් වැළකුණේ වේ ද, කාමයෙහි මිසහසරින් වැළකුණේ වේ ද, මුසවායෙන් වැළකුණේ වේ ද, පමාවට කරුණු වූ රහමෙර මත්පැනින් වැළකුණේ වේ ද, මහානාම, උවසු තෙමේ මෙතෙකින් සිල්සපන් වේ”යි.
වහන්ස, උවසු තෙමේ කෙතෙකින් සැදෑසපන් වේ දැ?යි. මහානාම, මෙහි උවසු තෙමේ සැදැහැ ඇත්තේ වේ ද, “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණෙනුදු අර්‍හත්හ, සම්‍යක් සම්බුද්ධයහ. විජ්ජාචරණසම්පන්නයහ, සුගතයහ, ලොකවිදුහ, අනුත්තරපුරුෂදම්මසාරථිහ, දෙවිමිනිසුන්ට ශාස්තෲහ, බුද්ධයහ, භගවත්හ”යි තථාගතයන්ගේ බුදුබව සඳහා ද, මහානාම, උවසු තෙමේ මෙතෙකින් සැදෑසපන් වේ යි.
වහන්ස, උවසු තෙමේ කෙතෙකින් ත්‍යාග සම්පන්න වේ දැ?යි. මහානාම, මෙහි උවසු තෙමේ මුදනලද ත්‍යාග ඇත්තේ දෝනා ලද අත් ඇත්තේ ත්‍යාගයෙහි ඇලුණේ ඉල්ලනු ලැබීමට සුදුසු වූයේ දීමෙහිත් බෙදා දීමෙහිත් ඇලුණේ පහව ගිය මසුරු මල ඇති සිතින් යුතු ව ගිහිගෙහි වෙසේ ද, මහානාම, උවසු තෙමේ මෙතෙකින් ත්‍යාගසම්පන්න වේ යි.
වහන්ස, උවසුතෙමේ කෙතෙකින් ප්‍රඥාසම්පන්න වේ දැ?යි. “මහානාම, මෙහි උවසුතෙමේ පැනැත්තේ වේ ද, උදයව්‍යයය පිරිසිඳ දැනීමට සමත් වූ ආර්‍ය්‍ය වූ නිරෝධයට හිත වූ මැනවින් දුක් ගෙවීමට කරුණු වූ ප්‍රඥායෙන් සමන්‍වාගත වේ ද, මහානාම, උවසුතෙමේ මෙතෙකින් ප්‍රඥා සම්පන්න වේ යි.
11. 4. 8.
වස්ස සූත්‍රය
3806. මහණෙනි, යම්සේ පවුමතුයෙහි මහත්පොද ඇති වැස්ස වස්නා කල ඒ දිය පහත් බිම් අනුව පවත්නේ පවුකඳුරැලි ඇළ දොළ පුරවා ද, පවුකඳුරැලි ඇළදොළ පිරුණාහු කුඩා හෙප් පුරවද් ද, කුඩා හෙප් පිරුණාහු මහහෙප් පුරවද් ද, මහහෙප් පිරුණාහු කුඩා ගඞ්ගා පුරවද් ද, කුඩා ගඞ්ගා පිරුණාහු මහාගඞ්ගා පුරවද් ද, මහාගඞ්ගා පිරුණාහු මහමුහුදුසයුර පුරවද් ද, මහණෙනි, එසෙයින් ම අරීසවුහට බුදුන් කෙරෙහිත් යම් ගුණ දැන පැහැදීමෙක් වේ ද, දහම්හි ගුණ දැන පැහැදීමෙක් වේ ද, සඟුන් කෙරෙහිත් යම් ගුණ දැන පැහැදීමෙක් වේ ද, යම් ආර්‍ය්‍යකාන්ත ශීලයෝත් වෙද්ද, මේ දහම්හු ගලන්නාහු පරතෙරට ගොස් ආස්‍රවක්‍ෂය පිණිස පවතිත් යි.
11. 4. 9.
කාලිගෝධ සූත්‍රය
3807. එක්සමයෙක භාග්‍යවතුන් වහන්සේ ශාක්‍යදනව්වෙහි කිඹුල්වත නිග්‍රෝධාරාමයෙහි වැඩවසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ පෙරවරු හැඳ පෙරව පා සිවුරු ගෙන කාලිගෝධා නම් ශාක්‍යදුවගේ නිවෙස්න වෙත එළඹි සේක. එළඹ පැනවූ අස්නෙහි වැඩහුන් සේක. එකල්හි කාලිගෝධා සැහැදුව භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියා ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස් ව හුන්නා ය. එකත්පස් ව හුන් කාලිගෝධා සැහැදුවට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
ගෝධාවෙනි, සිවුදහමකින් යුත් ආර්‍ය්‍යශ්‍රාවිකා තොමෝ විවස ව නො හෙන සුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවන් වූවා වේ. කවර සිවුදහමකින යත්: ගෝධාවෙනි, මෙහි අරීසව්තොමෝ “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙනුදු ... දෙවිමිනිසුනට ශාස්තෲහ. බුද්ධයහ. භගවත්හ” යි. බුදුන් කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වූවා වෙයි. දහම කෙරෙහි ... සඟුන් කෙරෙහි ... මුදන ලද ත්‍යාග ඇත්තී දෝනා ලද අත් ඇත්තී ත්‍යාගයෙහි ඇලුණී ඉල්ලනු ලැබීමට සුදුසු වූවා දීමෙහිත් බෙදා දීමෙහිත් ඇලුණී පහව ගිය මසුරුමල ඇති සිතින් යුතු ව ගිහිගෙයි වෙසේ. ගෝධාවෙනි, මේ සිවුදහමින් යුතු අරීසැවි තොමෝ විවස ව නො හෙන සුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවන් වූවා වේ යි.
වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් යම් මේ සිවු සෝවන් අඟ ඇති කෙනෙක් වදාරන ලද්දාහු ද, ඒ දහම්හු මා කෙරෙහි ඇත. මමත් ඒ දහම්හි දක්නා ලැබෙමි. වහන්ස, මම “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණෙනුදු ... දෙවිමිනිසුන්ට ශාස්තෲහ. බුද්ධයහ. භගවත්හ”යි බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වූවා වෙමි. දහම කෙරෙහි ... සඟුන් කෙරෙහි ... කුලයෙහි යම්කිසි දියයුතු දැයෙක් වේ නම් ඒ සියල්ල කලණ දහම් ඇති සිල්වතුන් හා නො බෙදන ලද්දේ වේ යි. ගෝධාවෙනි, තොපට ලාභයෙකි. තොපට මනා ලැබුමෙකි. ගෝධාවෙනි, තොප විසින් සෝවන්පෙල පවසන ලදැයි.
11. 4. 10.
නන්‍දිය සූත්‍රය
3808. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ ශාක්‍යදනව්වෙහි කිඹුල්වත නිග්‍රෝධාරාමයෙහි වැඩවසන සේක. එකල්හි නන්‍දිය ශාක්‍යතෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය ... එකත්පස් ව හුන් නන්‍දිය ශාක්‍ය තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකෙළේ ය: වහන්ස, “යම් ම අරීසව්වකුහට සිවු සෝවන්අඟ සියල්ලෙන් සියල්ල මුළුල්ලෙන් සියල්ල නැද්ද වහන්ස, ඒ අරීසවුතෙමේ ම පමාවිහරණ ඇත්තේ දැ”යි?
නන්‍දිය, “යමකුට සිවු සෝවන් අඟ සියල්ලෙන් සියල්ල මුළුල්ලෙන් සියල්ල නැද්ද, ඔහු බාහිර වූ පුහුදුන්පසෙහි සිටියෙකැ”යි මම කියමි. නන්‍දිය, වැලිදු අරීසවුතෙමේ යම්සේ පමාවිහරණ ඇත්තේත් නො පමා විහරණ ඇත්තේත් වේ නම් එය අස. නන්‍දිය, අරීසවුතෙමේ කෙසේ නම් පමා විහරණ ඇත්තේ වේ ද යත්: නන්‍දිය, මෙහි අරීසවුතෙමේ “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙනුදු ... දෙවිමිනිසුනට ශාස්තෲහ. බුද්ධයහ. භගවත්හ”යි බුදුන් කෙරෙහි අචලප්‍රසාදයෙන් සතුටු වූයේ දහවල් තුන් විවේකසුව පිණිසත් රෑ සමවත්සුව පිණිසත් මතු වෑයම් නො කෙරෙයි. මෙසේ පමා ව වෙසෙන ඔහුට පාමුජ්ජ (තරුණප්‍රීති)ය නො වේ. පාමුජ්ජය නැති කල්හි ප්‍රීතිය නො වේ. ප්‍රීතිය නැති කල්හි පස්සද්ධිය නො වේ. පස්සද්ධිය නැති කල්හි දුකසේ වෙසේ. දුක් ඇත්තහුගේ සිත එකඟ නො වේ. සිත එකඟ නොවූ කල්හි සමථවිපස්සනා දහම් පහළ නො වේ. දහම් පහළ නොවීමෙන් “පමාවිහරණ ඇත්තේ ය”යි ම ගිණුමට යේ.
නන්‍දිය, නැවත අනෙකක් ද කියමි: “අරීසවුතෙමේ දහම්හි ... සඟුන් කෙරෙහි ... අඛණ්ඩ වූ සමාධිසංවර්‍තනික වූ ආර්‍ය්‍යකාන්ත ශීලයෙන් යුතු වූයේ වෙයි. හෙතෙමේ ඒ ආර්‍ය්‍යකාන්තශීලයෙන් සතුටු වූයේ දහවල් තුන්විවේක සුව පිණිසත් රෑ සමවත්සුව පිණිසත් මතු වෑයම් නො කෙරෙයි. මෙසේ පමා ව වෙසෙන ඔහුට පාමුජ්ජය නො වේ. පාමුජ්ජය නැති කල්හි ප්‍රීතිය නො වේ. ප්‍රීතිය නැති කල්හි පස්සද්ධිය නො වේ. පස්සද්ධිය නැති කල්හි දුකසේ වෙසේ. දුක් ඇත්තහුගේ සිත එකඟ නොවේ. සිත එකඟ නො වූ කල්හි සමථවිපස්සනා දහම් පහළ නො වේ. දහම් පහළ නොවීමෙන් “පමාවිහරණ ඇත්තේ ය”යි ම ගිණුමට යේ. නන්‍දිය, මෙසේ අරීසවුතෙමේ පමාවිහරණ ඇත්තේ වේ.
නන්‍දිය, අරීසවුතෙමේ කෙසේ නම් නො පමාවිහරණ ඇත්තේ වේ ද යත්: නන්‍දිය මෙහි අරීසවුතෙමේ “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙනුදු ... දෙවිමිනිසුනට ශාස්තෲහ. බුද්ධයහ. භගවත්හ”යි බුදුන් කෙරෙහි අචලප්‍රසාදයෙන් සමන්‍වාගත වෙයි. හෙතෙමේ බුදුන් කෙරෙහි වූ ඒ අචලප්‍රසාදයෙන් සතුටු නොවූයේ දහවල් තුන්විවේක සුව පිණිසත් රෑ සමවත්සුව පිණිසත් මතු වෑයම් කෙරෙයි. මෙසේ නො පමා ව වෙසෙන ඔහුට ප්‍රමුදිතභාවය උපදී. ප්‍රමුදිත වූවහුට ප්‍රීතිය උපදි. ප්‍රීතිසිත් ඇත්තහුගේ කය සන්හිඳෙයි. සන්හුන් කය ඇත්තේ සුව විඳියි. සුව ඇත්තහුගේ සිත එකඟ වෙයි. සිත එකඟ වූ කල්හි සමථවිපස්සනාදහම් පහළ වේ. දහම් පහළවීමෙන් “නොපමාවිහරණ ඇත්තේ ය”යි ම ගිණුමට යේ.
නන්‍දිය, නැවත අනිකක් ද කියමි. අරීසවුතෙමේ දහම කෙරෙහි ... සඟුන් කෙරෙහි ... අඛණ්ඩ වූ ... සමාධිසංවත්තනික වූ ආර්‍ය්‍යකාන්ත ශීලයෙන් සතුටු නො වූයේ දහවල් තුන් විවේකසුව පිණිසත් රෑ සමවත්සුව පිණිසත් මතු වෑයම් කෙරෙයි. මෙසේ නො පමාව වෙසෙන ඔහුට ප්‍රමුදිතභාවය උපදී. ප්‍රමුදිත වූවහුට ප්‍රීතිය උපදී. ප්‍රීතිසිත් ඇත්තහුගේ කය සන්හිඳේ. සන්හුන් කය ඇත්තේ සුව විඳී. සුව ඇත්තහුගේ සිත එකඟ වේ. සිත එකඟ වූ කල්හි සමථවිපස්සනා දහම් පහළ වේ. දහම් පහළ වීමෙන් නො පමා විහරණ ඇත්තේ යයි ම ගිණුමට යේ. නන්‍දිය, මෙසේ අරීසවුතෙමේ නො පමා විහරණ ඇත්තේ වේ යි.
සිවුවැනි පුඤ්ඤාභිසන්‍ද වර්‍ග යි.
එහි සූත්‍රනාමාවලිය:
අභිසන්‍දසුතුරු තුනෙක් ද, දේවපදසුතුරු දෙකෙක් ද, සභාගත, මහානාම, වස්ස, කාලිගෝධා, නන්‍දිය යි පසෙක් දැ යි දස සුතුරු කෙනෙක් කියන ලදහ යි.
5. සගාථකපුඤ්ඤාභිසන්‍ද වර්‍ගය
11. 5. 1.
අසඞේඛය්‍ය සූත්‍රය
3809. මහණෙනි, සැපයට ප්‍රත්‍යය වූ මේ පුණ්‍යගඞ්ගා කුසලගඞ්ගා සතරෙකි. කවර සතරෙක් ද යත්: මහණෙනි, මෙහි අරීසවු තෙමේ “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙනුදු ... දෙවිමිනිසුන්ට ශාස්තෲ හ. බුද්ධය හ. භගවත් හ”යි බුදුන් කෙරෙහි අචලප්‍රසාදයෙන් සමන්‍වාගත වෙයි. මේ සුවයට ප්‍රත්‍යය වු පළමුවන පින්ගඟ ය. කුසල්ගඟ ය. මහණෙනි, නැවත අනිකක් ද කියමි: අරීසවුතෙමේ දහම කෙරෙහි ... සඟුන් කෙරෙහි ... මහණෙනි, නැවත අනිකක් ද කියමි: අරීසවුතෙමේ අඛණ්ඩ වූ ... සමාධිසංවත්තනික වූ ආර්‍ය්‍යකාන්තශීලයෙන් සමන්‍වාගත වෙයි. මේ සුවයට ප්‍රත්‍යය වූ සිවුවන පින්ගඟ ය. කුසල්ගඟ ය. මහණෙනි, මේ සතර සුවයට ප්‍රත්‍යය වූ පුණ්‍යගඞ්ගාවෝ කුසලගඞ්ගාවෝ ය.
මහණෙනි, මේ සිවු පුණ්‍යගඞ්ගාවන් ගෙන් කුසලගඞ්ගාවන් ගෙන් යුතු වූ අරීසවුහට සුවයට ප්‍රත්‍යය වූ මෙතෙක් පින්ගඟෙකැ කුසල්ගඟෙකැ යි පිනෙහි පමණ ගණන්නට සුකර නො වේ. වැලි ගණන් නො කළ හැකි, පමණ නො කළ හැකි, මහපින් කඳෙකැයි ම ගිණුවට යේ. මහණෙනි, යම් සේ මහමුහුදෙහි දිය ලාස් මෙතෙකැයි හෝ දිය ලාස් මෙතෙක් සියයකැයි හෝ දිය ලාස් මෙතෙක් දහසෙකැයි හෝ දිය ලාස් මෙතෙක් සියදහසෙකැයි හෝ දියෙහි පමණ ගණන්නට සුකර නො වේ ද, වැලි ගණන් නො කළ හැකි, පමණ නො කළ හැකි, මහදියකඳෙකැයි ම ගිණුමට යේ ද, මහණෙනි, එසෙයින් ම මේ සිවු පුණ්‍යගඞ්ගාවන්ගෙන් කුශලගඞ්ගාවන්ගෙන් යුතු වූ අරීසවුහට සුවයට ප්‍රත්‍යය වූ මෙතෙක් පින්ගඟෙකැයි කුසල්ගඟෙකැයි පිනෙහි පමණ ගණන්නට සුකර නො වේ. වැලි ගණන් නොකළ හැකි පමණ නොකළ හැකි මහපින් කඳෙකැයි ම ගිණුමට යේ යි. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක ... ශාස්තෲන් වහන්සේ මෙය ද වදාළ සේක.
මිනිස් සමූහයා විසින් සෙවුනා ලද ගලාබස්නා බොහෝ වූ නදීහු මහත්දියකඳ දරන, පමණ නොකළ හැකි, මහත් ගඞ්ගාවන්ගේ එක්වීම ඇති, බෙහෙවින් බිහිසුණු වූ, රුවන්සමූහයට උත්පත්තිස්ථාන වූ සයුරට යම්සේ පැමිණෙද් ද,
එසෙයින් ආහාරපානවස්ත්‍ර දානය කරන සෙනසුන් අතුරුණු දෙන නුවණැති මිනිසා කරා දිය උසුලන නදීන් සයුර කරා පැමිණෙනු මෙන් පින්දහර පැමිණේ යි.
11. 5. 2.
දුතිය අසඞේඛය්‍ය සූත්‍රය
3810. මහණෙනි, සුවයට ප්‍රත්‍යය වූ මේ පුණ්‍යගඞ්ගා කුශලගඞ්ගා සතරෙකි. කවර සතරෙක යත්: මහණෙනි, මෙහි අරීසවු තෙමේ “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙනුදු ... දෙවිමිනිසුන්ට ශාස්තෲහ. බුද්ධයහ. භගවත්හ”යි බුදුන් කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වූයේ වෙයි. මේ සුවයට ප්‍රත්‍යය වූ පළමුවන පින්ගඟ ය. කුසල්ගඟ ය. මහණෙනි, නැවත අනෙකක් ද කියමි: අරීසවු තෙමේ දහම කෙරෙහි ... සඟුන් කෙරෙහි ... මහණෙනි, නැවත අනෙකක් ද කියමි: අරීසවුතෙමේ මුදන ලද ත්‍යාග ඇතියේ දෝනා ලද අත් ඇතියේ දීමෙහි ඇලුණේ යදිනු ලැබීමට සුදුසු වූයේ දීමෙහිත් බෙදා දීමෙහිත් ඇලුණේ පහව ගිය මසුරුමල ඇති සිතින් යුතු ව ගිහිගෙයි වෙසේ. මේ සුවයට ප්‍රත්‍යය වූ සිවුවන පින්ගඟ ය. කුසල්ගඟ ය. මහණෙනි, මේ සතර සුවයට ප්‍රත්‍යය වූ පුණ්‍යගඞ්ගාවෝ කුශලගඞ්ගාවෝ ය.
මහණෙනි, මේ සිවු පින්ගඟින් කුසල්ගඟින් යුතු වූ අරීසවුහට සුවයට ප්‍රත්‍යය වූ මෙතෙක් පින්ගඟෙක, කුසල්ගඟෙකැයි පිනෙහි පමණ ගණන්නට සුකර නො වේ. වැලි ගණන් නො කළ හැකි පමණ නො කළ හැකි මහපින් කඳෙකැයි ම ගිණුමට යේ. මහණෙනි, යම්සේ මේ මහානදීහු, එනම්: ගඞ්ගා යමුනා අචිරවතී සරභූ මහී යන පස්මහනදීහු යම් තැනෙක එකතුවෙද්ද, ගැළපෙද්ද, එහි දිය ලාස් මෙතෙකැ යි හෝ දිය ලාස් මෙතෙක් සියයකැ යි හෝ දිය ලාස් මෙතෙක් දහසකැ යි හෝ දිය ලාස් මෙතෙක් සියදහසෙකැ යි හෝ දියෙහි පමණ ගණන්නට සුකර නො වේ ද, වැලි ගණන් නො කළ හැකි පමණ නො කළ හැකි. මහදිය කඳෙකැයි ම ගිණුමට යේ ද, මහණෙනි, එසෙයින් ම මේ සිවු පින්ගඟින් කුසල්ගඟින් යුතු වූ අරීසවුහට “සුවයට පසය වූ මෙතෙක් පින්ගඟක, කුසල්ගඟෙකැ”යි පිනෙහි පමණ ගණන්නට සුකර නො වේ. වැලි ගණන් නො කළ හැකි පමණ නො කළ හැකි මහපින්කඳෙකැයි ම ගිණුමට යේ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක ... ශාස්තෲන් වහන්සේ මෙ ද වදාළ සේක.
මිනිස් සමූහයා විසින් සෙවුනා ලද ගලාබස්නා බොහෝ වූ ගඞ්ගාවෝ මහත් දියකඳ දරන පමණ නො කළැකි මහත් නදීන්ගේ එක්වීම ඇති, බෙහෙවින් බිහිසුණු වූ, රුවන් සමූහයට උත්පත්තිස්ථාන වූ සයුර කරා යම්සේ පැමිණෙත් ද,
එසෙයින් ආහාරපානවස්ත්‍ර දානය කරන, සෙනසුන් අතුරුණු දෙන නුවණැති මිනිසා කරා දිය උසුලන ගඞ්ගාවන් සයුර කරා පැමිණෙනු මෙන් පින්දහර පැමිණේ යි.
11. 5. 3.
තතිය අසඞේඛය්‍ය සූත්‍රය
3811. මහණෙනි, සුවයට ප්‍රත්‍යය වූ මේ පුණ්‍යනදීහු කුශලනදීහු සතරෙකි. කවර සතරෙක යත්: මහණෙනි, මෙහි අරීසවු තෙමේ “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙනුදු ... දෙවිමිනිසුනට ශාස්තෲහ. බුද්ධයහ. භගවත්හ”යි බුදුන් කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වූයේ වෙයි. මේ සුවයට පසය වූ පළමුවන පින්ගඟ ය. කුසල්ගඟ ය. මහණෙනි, නැවත අනෙකක් ද කියමි: අරීසවුතෙමේ දහම කෙරෙහි ... සඟුන් කෙරෙහි ... මහණෙනි, නැවත අනෙකක් ද කියමි: අරීසවුතෙමේ නුවණැතියේ වෙයි. උදයව්‍යයය පිරිසිඳ දැනුමට පමුණුවන සුලු ආර්‍ය්‍ය වූ නිර්වේදයට හිත වූ මැනවින් දුක් ගෙවීමට පමුණුවන ප්‍රඥායෙන් සමන්‍වාගත වෙයි. මේ සුවයට පසය වූ සිවු පින්ගඟ ය, කුසල්ගඟ ය. මහණෙනි, මොහු සුවයට පසය වූ සිවු පින්ගඟහු ය, කුසල්ගඟහු ය. මහණෙනි, මේ සිවු පින්ගඟින් කුසල්ගඟින් යුතු වූ අරීසවුහට සුවයට පසය වූ මෙතෙක් පින්ගඟෙක, කුසල්ගඟෙකැයි පිනෙහි පමණ ගණන්නට සුකර නො වේ. වැලි ගණන් නො කළ හැකි, පමණ නො කළ හැකි මහපින් කඳෙකැයි ම ගිණුමට යේ යි. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. ... ශාස්තෲන් වහන්සේ මෙ ද වදාළ සේක.
පින් කැමති මඟකුසල්හි පිහිටි යමෙක් නිවනට පැමිණෙනු පිණිස රහත්මඟ වඩා ද, පිළිලද අරීපෙළ දහම්හර ඇති හෙතෙමේ කෙලෙස් ක්‍ෂය කිරීමෙහි ඇලුණේ මරරජ පැමිණෙන්නේ යි නො සැලේ යි.
11. 5. 4.
අඩ්ඪ සූත්‍රය
3812. මහණෙනි, සිවු දහමින් යුතු අරීසවු තෙමේ “ආඪ්‍යය, මහත් ධන ඇත්තේ ය. මහත් භොග ඇත්තේ”යි කියනු ලැබේ. කවර සිවු දහමකින යත්: මහණෙනි, මෙහි අරීසවු තෙමේ “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙනුදු ... දෙවිමිනිසුනට ශාස්තෲහ. බුද්ධයහ. භගවත්හ”යි බුදුන් කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වූයේ වෙයි. දහම කෙරෙහි ... සඟුන් කෙරෙහි ... අඛණ්ඩ වූ ... සමාධිසංවර්‍තනික වූ ආර්‍ය්‍යකාන්තශීලයෙන් යුතු වූයේ වෙයි. මහණෙනි, මේ සිවුදහමින් යුතු අරීසවු තෙමේ “ආඪ්‍යය, මහත් ධන ඇත්තේ ය. මහත් භොග ඇත්තේ”යි කියනු ලැබේ යි.
11. 5. 5.
දුතිය අඩ්ඪ සූත්‍රය
3813. මහණෙනි, සිවු දහමෙකින් යුත් අරීසවු “ආඪ්‍ය ය. මහත් ධන ඇත්තේ ය. මහත් භොග ඇත්තේ ය. මහත් යශස් ඇත්තේ”යි කියනු ලැබේ. කවර සිවු දහමෙකින යත්: මහණෙනි, මෙසස්නෙහි අරීසවු “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙනුදු ... දෙවිමිනිසුනට ශාස්තෲහ. බුද්ධයහ. භගවත්හ”යි බුදුන් කෙරෙහි අචලප්‍රසාදයෙන් සමන්‍වාගත වෙයි. ධර්‍මය කෙරෙහි ... සඞ්ඝයා කෙරෙහි ... අඛණ්ඩ වූ ... සමාධිසංවර්‍තනික වූ ආර්‍ය්‍යකාන්තශීලයෙන් සමන්‍වාගත වෙයි. මහණෙනි, මේ සිවු දහමින් සමන්‍වාගත ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ “ආඪ්‍ය ය. මහද්ධන ඇත්තේ ය. මහත්භෝග ඇත්තේ ය. මහත්යශස් ඇත්තේ”යි කියනු ලැබේ.
11. 5. 6.
සුද්ධක සූත්‍රය
3814. මහණෙනි, මේ සිවු දහමෙකින් යුත් අරීසවු විවස ව නොහෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවන් වේ. කවර සිවු දහමෙකින යත්: මහණෙනි, මෙහි අරීසවු “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙනුදු ... දෙවිමිනිසුනට ශාස්තෲහ. බුද්ධයහ. භගවත්හ”යි බුදුන් කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වූයේ වෙයි. දහම කෙරෙහි ... සඟුන් කෙරෙහි ... අඛණ්ඩ වූ ... සමාධිසංවර්‍තනික වූ ආර්‍ය්‍යකාන්තශීලයෙන් යුතු වූයේ වෙයි. මහණෙනි, මේ සිවු දහමින් යුතු අරීසවු “විවස ව නොහෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවන්”යි කියනු ලැබේ යි.
11. 5. 7.
නන්‍දිය සූත්‍රය
3815. එක්සමයෙක භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය දනව්වෙහි කිඹුල්වත නිග්‍රෝධාරාමයෙහි වැඩවසන සේක. එකල්හි නන්‍දිය ශාක්‍ය තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය ... එකත්පස් ව හුන් නන්‍දිය ශාක්‍යහට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක: නන්‍දිය, සිවු දහමෙකින් යුතු අරීසවු විවස ව නොහෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවන් වේ. කවර සිවු දහමෙකින යත්: නන්‍දිය, මෙසස්නෙහි අරීසවු “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙනුදු ... දෙවිමිනිසුනට ශාස්තෲහ. බුද්ධයහ. භගවත්හ”යි බුදුන් කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වූයේ වෙයි. දහම කෙරෙහි ... සඟුන් කෙරෙහි ... අඛණ්ඩ වූ ... සමාධිසංවර්‍තනික වූ ආර්‍ය්‍යකාන්තශීලයෙන් යුතු වූයේ වෙයි. නන්‍දිය, මේ සිවු දහමින් යුතු අරීසවු විවස ව නොහෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවන් වේ යි.
11. 5. 8.
භද්දිය සූත්‍රය
3816. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය දනව්වෙහි කිඹුල්වත නිග්‍රෝධාරාමයෙහි වැඩවසන සේක. ඉක්බිති භද්දිය ශාක්‍ය තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය ... එකත්පසෙක හුන් භද්දිය ශාක්‍යයන්ට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක: භද්දිය, සිවු දහමෙකින් යුත් අරීසවු විවස ව නොහෙනසුලු නියත වු සම්බෝධිය පිහිට කොට ඇති සෝවන් වේ. කවර සිවු දහමෙකින යත්: භද්දිය, මෙහි අරීසවු “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙනුදු ... දෙවිමිනිසුනට ශාස්තෲහ. බුද්ධයහ. භගවත්හ”යි බුදුන් කෙරෙහි අචලප්‍රසාදයෙන් සමන්‍වාගත වෙයි. ධර්‍මය කෙරෙහි ... සඞ්ඝයා කෙරෙහි ... අඛණ්ඩ වූ ... සමාධිසංවර්‍තනික වූ ආර්‍ය්‍යකාන්තශීලයෙන් සමන්‍වාගත වෙයි. භද්දිය, මේ සිවු දහමින් යුතු අරීසවු විවස ව නොහෙනසුලු නියත වු සම්බෝධිය පිහිට කොට ඇති සෝවන් වේ යි.
11. 5. 9.
මහානාම සූත්‍රය
3817. එක්සමයෙක් භාග්‍යවතුන් වහන්සේ ශාක්‍යදනව්වෙහි කිඹුල්වත්පුර නිග්‍රෝධාරාමයෙහි වැඩවසන සේක. එකල්හි මහානාම ශාක්‍ය තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. ... එකත්පස් ව හුන් මහානාම ශාක්‍යහට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක: මහානාම, සිවු දහමකින් යුතු අරීසවු තෙමේ විවස ව නොහෙනසුලු නියත වු සම්බෝධිය පිහිට කොට ඇති සෝවන් වෙයි. කවර සතරකින යත්: මහානාම, මෙහි අරීසවු තෙමේ “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙනුදු ... දෙවිමිනිසුනට ශාස්තෲහ. බුද්ධයහ. භගවත්හ”යි බුදුන් කෙරෙහි අචලප්‍රසාදයෙන් යුතු වෙයි. දහම කෙරෙහි ... සඟුන් කෙරෙහි ... අඛණ්ඩ වූ ... සමාධිසංවර්‍තනික වූ ආර්‍ය්‍යකාන්තශීලයෙන් සමන්‍වාගත වෙයි. මහානාම, මේ සිවු දහමින් යුතු අරීසවු තෙමේ විවස ව නොහෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවන් වේ යි.
11. 5. 10.
අඞ්ග සූත්‍රය
3818. මහණෙනි, මේ සෝවන් අඟ සතරෙකි. කවර සතරෙක යත්: සත්පුරුෂසේවනය සද්ධර්‍මශ්‍රවණය යෝනිසෝමනස්කාරය ධර්‍මානුධර්‍මප්‍රතිපත්ති යි. මහණෙනි, මොහු සිවු සෝවන් අඟයි.
පස්වැනි සගාථ පුඤ්ඤාභිසන්‍ද වර්‍ග යි.
එහි සූත්‍රනාමාවලිය:
අසඞ්ඛෙය්‍යසූත්‍ර තුනෙක් ද, අඩ්ඪ නමින් අනෙක් දෙකෙක් ද කියන ලදහ, සුද්ධක නන්‍දිය භද්දිය මහානාම අඞ්ග යන පසින් ඔහු දසයෙක් වේ යි.
6. සප්පඤ්ඤ වර්‍ගය
11. 6. 1.
සගාථක සූත්‍රය
3819. මහණෙනි, සිවු දහමෙකින් යුත් අරීසවු විවස ව නොහෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවන් වේ. කවර සිවු දහමෙකින යත්: මහණෙනි, මෙසස්නෙහි අරීසවු “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙනුදු ... දෙවිමිනිසුනට ශාස්තෘහ. බුද්ධය හ. භගවත්හ”යි බුදුන් කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වූයේ වෙයි. දහම කෙරෙහි ... සඟුන් කෙරෙහි ... අඛණ්ඩ වූ ... සමාධිසංවර්‍තනික වූ ආර්‍ය්‍යකාන්තශීලයෙන් යුතු වූයේ වෙයි. මහණෙනි, මේ සිවු දහමින් යුතු අරීසවු විවස ව නොහෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවන් වේ යි. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක ... ශාස්තෲන් වහන්සේ මෙ ද වදාළ සේක.
යමකුට තථාගතයන් කෙරෙහි ශ්‍රද්ධාව අචල ව මැනැවින් පිහිටියා ද, යමකුගේ යහපත් වූ ශීලයත් ආර්‍ය්‍යකාන්ත වූයේ පසස්නා ලද්දේ ද,
යමකුට සඞ්ඝයා කෙරෙහි පැහැදීම ඇද්ද, ඥානදර්‍ශනයත් ඍජු වූයේ වේ ද ඔහු නො දිළින්දෙකැ යි (බුද්ධාදි උතුමෝ) කියති. ඔහුගේ ජීවිතය නොසිස් වේ.