Saṁyutta Nikāya

Connected Discourses

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-30 · 15083 segments

පෙන්වන කොටස් 13901-14000 න් 15083

8. 1. 2.
දුතිය රහෝගත සූත්‍රය
3612. එක්කලෙක ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ සැවත සමීපයෙහි අනේපිඬුසිටුහුගේ දෙව්රම්හි වැඩවෙසෙත්. එකල්හි එකලා වූ විවේකයෙන් යුත් ආයුෂ්මත් අනුරුද්ධතෙරණුවන්ට මෙබඳු චිත්තවිතර්‍කයෙක් පහළ විය: “යම් කෙනකුන්ට සිවු සීවටන්හු වැරදුණාහු ද, මැනවින් දුක් ගෙවීමට පමුණුවන අරිමඟ ඔවුනට වැරදුණේ ය. යම් කිසි කෙනකුන්ට සිවු සීවටන්හු පිරිපුන් වෙද්ද, මැනවින් දුක් ගෙවීමට පමුණුවන අරිමඟ ඔවුනට පිරිපුන් වේ යි”. එකල ආයුෂ්මත් මහමුගලන්තෙරණුවෝ ආයුෂ්මත් අනුරුද්ධතෙරණුවන්ගේ චිත්තවිතර්‍කය සියසිතින් දැන යම්සේ බලවත් පුරුෂයෙක් ... එසෙයින් ම ආයුෂ්මත් අනුරුද්ධතෙරණුවන් ඉදිරියෙහි පහළ වූහ. ඉක්බිති ආයුෂ්මත් මහමුගලන්තෙරණුවෝ ආයුෂ්මත් අනුරුද්ධතෙරණුවන්ට මෙය වදාළහ: “ඇවැත්නි, අනුරුද්ධයෙනි, මහණහුගේ සිවු සීවටන්හු කෙතෙකින් පිරිපුන් වෙද්දැ”යි.
ඇවැත්නි, මෙසස්නෙහි මහණ සියකයෙහි කය අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනාදැනුම් ඇති ව සිහි ඇති ව කාය සඞ්ඛ්‍යාත ලෝකයෙහි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසේ. මෙරමාකයෙහි කය අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව ... වෙසේ. සියමෙරමාකයෙහි කය අනුව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව ... වෙසේ. සියවිඳුම්හි ... මෙරමාවිඳුම්හි ... සිය මෙරමාවිඳුම්හි ... සියසිත්හි ... මෙරමාසිත්හි ... සියමෙරමාසිත්හි ... සියදහම්හි ... මෙරමාදහම්හි ... සියමෙරමාදහම්හි දහම් අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව දහම් ලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසේ. ඇවැත්නි, මහණහුගේ සිවුසීවටන්හු මෙතෙකින් පිරිපුන් වෙති යි.
8. 1. 3.
සුතනු සූත්‍රය
3613. එක්සමයෙක ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ සැවත සමීපයෙහි සුතනු ඉවුරෙහි වැඩවෙසෙති. එකල බොහෝ භික්‍ෂූහු ආයුෂ්මත් අනුරුද්ධතෙරණුවන් වෙත එළඹියහ. එළඹ ආයුෂ්මත් අනුරුද්ධතෙරණුවන් සමග සතුටු වූහ. සතුටු විය යුතු සිහි කට යුතු කතාව කොට නිමවා එකත්පස් ව හුන් ඒ භික්‍ෂූහු ආයුෂ්මත් අනුරුද්ධතෙරණුවන් ට මෙය කීහ: “කවර දහම් වැඩූ බැවින් බහුල කළ බැවින් ආයුෂ්මත් අනුරුද්ධතෙරණුවෝ මහාභිඥ බවට පැමිණියාහු දැ”යි.
ඇවැත්නි, මම සිවුසීවටන් වැඩූ බැවින් බහුල කළ බැවින් මහාභිඥ බවට පැමිණියෙමි. කවර සිවු සීවටන් ද යත්: ඇවැත්නි, මෙහි මම කයෙහි කය අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇතිව සිහි ඇති ව කාලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසෙමි. වේදනාවන්හි ... සිත්හි ... දහම්හි දහම් අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව දහම් ලෙව් හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසෙමි. ඇවැත්නි, මේ සිවුසීවටන් වැඩූ බැවින් බහුල කළ බැවින් මම මහාභිඥ බවට පැමිණියෙමි. ඇවැත්නි, මම සිවු සීවටන් වැඩූ බැවින් ම බහුල කළ බැවින් ම හීනදහම් හීන විසින් දතිමි, මැදුම්දහම් මැදුම් විසින් දතිමි, ප්‍රණීතදහම් ප්‍රණීත විසින් දතිමි යි.
8. 1. 4.
කණ්ටකී සූත්‍රය
3614. එක්කලෙක ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝත් ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝත් ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝත් සාකේතනුවර සමීපයෙහි කණ්ටකීවෙනෙහි වැඩවෙසෙති. එකල්හි ආයුෂ්මත් සැරියුත්තෙරණුවෝත් ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝත් සවස්කල විවේකයෙන් නැගී සිටියාහු ආයුෂ්මත් අනුරුද්ධතෙරණුවන් වෙත එළඹියහ. එළඹ ආයුෂ්මත් අනුරුද්ධතෙරණුවන් සමග සතුටු වූහ. සතුටු විය යුතු සිහි කට යුතු කතාව කොට නිමවා එකත්පස් ව වැඩහුන්හ. එකත්පස් ව වැඩහුන් ආයුෂ්මත් සැරියුත්තෙරණුවෝ ආයුෂ්මත් අනුරුද්ධතෙරණුවන්ට මෙය වදාළහ: “ඇවැත්නි අනුරුද්ධයෙනි, සේඛමහණ විසින් කවර දහම් උපයා ගෙන විසිය යුතුදැ”යි.
ඇවැත්නි ශාරිපුත්‍රයෙනි, සේඛමහණ විසින් සිවු සීවටන් උපයා ගෙන විසිය යුතුය. කවර සිවුසීවටන්හු ද යත්: ඇවැත්නි, මෙසස්නෙහි මහණ කයෙහි කය අනු ව දක්නා සුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනාදැනුම් ඇති ව සිහි ඇති ව කාලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසේ. විඳුම්හි ... සිත්හි ... දහම්හි දහම් අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනාදැනුම් ඇති ව සිහි ඇති ව දහම් ලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසේ. ඇවැත්නි ශාරිපුත්‍රයෙනි, සේඛමහණ විසින් මේ සිවුසීවටන් උපයා ගෙන විසිය යුතු යි.
8. 1. 5.
දුතිය කණ්ටකී සූත්‍රය
3615. ඇවැත්නි අනුරුද්ධයෙනි, අසේඛ (රහත්) මහණ විසින් කවර දහම් උපයා ගෙන විසිය යුතු දැයි? ඇවැත්නි සාරිපුත්තයෙනි, අසේඛමහණ විසින් සිවු සීවටන් උපයා ගෙන විසිය යුතුය. කවර සිවු සීවටන්හුද යත්: ඇවැත්නි, මෙහි මහණ කයෙහි කය අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව කාලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසේ. විඳුම්හි ... සිත්හි ... දහම්හි දහම් අනු ව දක්නාසුලුව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව දහම් ලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසේ. ඇවැත්නි සාරිපුත්තයෙනි, අසේඛමහණ විසින් සිවු සීවටන් උපයා ගෙන විසිය යුතු යි.
8. 1. 6.
තතිය කණ්ටකී සූත්‍රය
3616. ආයුෂ්මත් අනුරුද්ධයෝ කවර දහම් වැඩූ බැවින් බහුල කළ බැවින් මහාභිඥ බවට පැමිණියෝ දැ යි. ඇවැත්නි, මම සිවු සීවටන් වැඩූ බැවින් බහුල කළ බැවින් මහාභිඥ බවට පැමිණියෙමි. කවර සිවු සීවටන් ද යත්: ඇවැත්නි, මෙහි මම කයෙහි කය අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනාදැනුම් ඇති ව සිහි ඇති ව කාලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසෙමි. විඳුම්හි ... සිත්හි ... දහම්හි දහම් අනුව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනාදැනුම් ඇති ව සිහි ඇති ව දහම්ලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසෙමි. ඇවැත්නි, මම මේ සිවු සීවටන් වැඩූ බැවින් බහුල කළ බැවින් මහාභිඥ බවට පැමිණියෙමි. ඇවැත්නි, මම මේ සිවුසීවටන් වැඩූ බැවින් බහුල කළ බැවින් දහසක් ලොව වෙසෙසින් දනිමි යි.
8. 1. 7.
තණ්හක්ඛය සූත්‍රය
3617. එක්කලෙක ආයුෂ්මත් අනුරුද්ධතෙරණුවෝ සැවත සමීපයෙහි අනේපිඬුසිටුහුගේ දෙව්රම්හි වැඩවෙසෙති. එහිදී ආයුෂ්මත් අනුරුද්ධතෙරණුවෝ භික්‍ෂූන් ඇමතූහ ... ඇවැත්නි, මේ සිවු සීවටන් කෙනෙක් වඩන ලදහු බහුල කරන ලදහු තෘෂ්ණාක්‍ෂය පිණිස පවතිත්. කවර සිවු සීවටන් කෙනෙක් ද යත්: ඇවැත්නි, මෙහි මහණ කයෙහි කය අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනාදැනුම් ඇති ව සිහි ඇති ව කාලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසේ. විඳුම්හි ... සිත්හි ... දහම්හි දහම් අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව සිහි ඇති ව දහම්ලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසේ. ඇවැත්නි, මේ සිවු සීවටන්හු වඩන ලදහු බහුල කරන ලදහු තෘෂ්ණාක්‍ෂය පිණිස පවතිත් යි.
8. 1. 8.
සලලාගාර සූත්‍රය
3618. එක්කලෙක ආයුෂ්මත් අනුරුද්ධතෙරණුවෝ සැවත සමීපයෙහි සලලාගාරයෙහි වැඩවෙසෙති. එහි දී ආයුෂ්මත් අනුරුද්ධතෙරණුවෝ … මෙය වදාළහ: “ඇවැත්නි, යම් සේ ගඞ්ගානදී තොමෝ පෙරදිගට නැමුණි පෙරදිගට නැඹුරු වූවා පෙරදිගට බර වූවා වේ ද, එකල්හි ‘අපි මේ ගඞ්ගානදිය පැළදිගට නැමුණක් පැළදිගට නැඹුරු වූවක් පැළදිගට බර වූවක් කරන්නෙමු’යි උදලු පැසි ගෙන මහජනසමූහයා එන්නේ ය. ඇවැත්නි, ඒ කිමැයි හඟිවු ද? ඒ මහජනසමූහයා ගඞ්ගානදිය පැළදිගට නැමුණක් පැළදිගට නැඹුරු වූවක් පැළදිගට බර වූවක් කරන්නේ දැයි. ඇවැත්නි, මෙය නො වේ ම ය. ඒ කවර හෙයින යත්: ඇවැත්නි, ගඞ්ගානදිය පෙරදිගට නැමුණි පෙරදිගට නැඹුරු වූවා පෙරදිගට බර වූවා වෙයි. එය පැළදිගට නැමුණක් පැළදිගට නැඹුරු වූවක් පැළදිගට බර වූවක් කරන්නට සුකර නො වෙයි. හුදෙක් ඒ මහාජනසමූහයා වෙහෙසට විඩාවට බඳුන් වන්නේ යි.
ඇවැත්නි, එසෙයින් ම සිවු සීවටන් වඩන සිවු සීවටන් බහුල කරන මහණහු රජෙක් හෝ රජු සම වූවෙක් හෝ මිතුරු කෙනෙක් හෝ ඇමති කෙනෙක් හෝ නෑ සහලේනෑ නෙනෙක් හෝ “එම්බා පුරුෂය, කුමක් හෙයින් මේ කසාවත්හු තොපගේ (සිරුර) දවද්ද? කුමක් හෙයින් මුඩු ව කබලක් ගෙන හැසිරෙවු ද? එව ගිහි බවට පෙරළී භෝගත් වළඳ ව පිනුත් කරව”යි භෝගයන් එළවා පවරන්නාහු නම් ඇවැත්නි, සිවු සීවටන් වඩන සිවු සීවටන් බහුල කරන ඒ මහණ සික පිළිකෙවු කොට ගිහි බවට පෙරළෙන්නේය යන මෙකරුණ නැත. ඒ කවර හෙයින යත්: “ඇවැත්නි, යම් සිතක් දිගුකලක් මුළුල්ලෙහි නිවනට නැමුණේ නිවනට නැඹුරු වූයේ නිවනට බර වූයේ වේ නම් එය එසේ ලාමක බවට පෙරළෙන්නේ ය” යන මෙකරුණ නැත.
ඇවැත්නි, කෙසේ නම් මහණ සිවු සීවටන් වඩා ද, සිවු සීවටන් බහුල කෙරේ ද යත්: ඇවැත්නි, මෙහි මහණ කයෙකි කය අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව සිහි ඇති ව කාලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසේ. විඳුම්හි ... සිත්හි ... දහම්හි දහම් අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනාදැනුම් ඇති ව සිහි ඇති ව දහම්ලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසේ. ඇවැත්නි, මෙසේ මහණ සිවු සීවටන් වඩයි. සිවු සීවටන් බහුල කෙරේ යි.
8. 1. 9.
අම්බපාලි සූත්‍රය
3619. එක් සමයෙක ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝත් ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝත් විසල්පුර සමීපයෙහි වූ අම්බපාලිවෙනෙහි වැඩවෙසෙති. එසමයෙහි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ සවස් කල විවේකයෙන් නැගී සිටියාහු ආයුෂ්මත් අනුරුදුතෙරණුවන් වෙත එළඹියහ. එළඹ ආයුෂ්මත් අනුරුදුතෙරණුවන් සමග සතුටු වූහ. සතුටු විය යුතු සිහි කට යුතු කතාව කොට නිමවා එකත්පසෙක වැඩහුන්හ. එකත්පසෙක වැඩහුන් ආයුෂ්මත් සැරියුත්තෙරණුවෝ ආයුෂ්මත් අනුරුදුතෙරණුවන්ට මෙය වදාළහ: “ඇවැත්නි, අනුරුද්ධයෙනි, ඔබගේ ඉඳුරෝ වෙසෙසින් පහන්හ. මුවපැහැය පිරිසුදුය. හාත්පසින් බබළන්නේ ය. ආයුෂ්මත් අනුරුද්ධයෝ දැන් කවර විහරණයකින් යුතුව බහුල කොට වෙසෙද්දැ”යි?
ඇවැත්නි, මම දැන් සිවු සීවටන්හි මැනවින් එළඹ සිටි සිත් ඇතියෙම් බහුල කොට වෙසෙමි. කවර සිවු සීවටන්හි ද යත්: ඇවැත්නි, මෙහි මම කයෙහි කය අනු ව දක්නාසුල්ලෙම් කෙලෙස් තවන වැර ඇතියෙම් මනා දැනුම් ඇතියෙම් සිහි ඇතියෙම් කාලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසෙමි. විඳුම්හි ... සිත්හි ... දහම්හි දහම් අනු ව දක්නාසුල්ලෙම් කෙලෙස් තවන වැර ඇතියෙම් මනාදැනුම් ඇතියෙම් සිහි ඇතියෙම් දහම්ලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසෙමි. ඇවැත්නි, මම දැන් මේ සිවු සීවටන්හි මැනවින් එළඹ සිටි සිත් ඇතියෙම් බහුල කොට වෙසෙමි. ඇවැත්නි, ක්‍ෂය කළ ආස්‍රව ඇති වැස නිම වූ බඹසර ඇති කළ කටයුතු ඇති බහා තැබූ බර ඇති පිළිවෙළින් පැමිණි ස්වාත්‍ථි ඇති මුළුමනින් ගෙවූ භවසංයෝජන ඇති මැනවින් දැන මිදුණු යම් ඒ රහත්මහණෙක් වේ නම් හෙතෙමේ මේ සිවු සීවටන්හි මැනවින් එළඹ සිටි සිත් ඇති ව බහුල කොට වෙසේ යි. ඇවැත්නි, යම්බඳු අපි ආයුෂ්මත් අනුරුද්ධයන් සෙට වදන් බෙණෙද්දී ඉදිරියෙහි ම ඇසුමෝ ද ඇවැත්නි, ඒ අපට ලාභයෙකි. ඒ අපට මනා ලැබීමෙකි යි.
8. 1. 10.
ගිලාන සූත්‍රය
3620. එක්කලෙක ආයුෂ්මත් අනුරුද්ධතෙරණුවෝ හටගත් ආබාධ ඇතියෝ දුකට පැමිණියෝ දැඩිසේ ගිලන් වූවෝ සැවත සමීපයෙහි අඳවෙනෙහි වැඩවෙසෙති. එකල්හි බොහෝ භික්‍ෂූහු ආයුෂ්මත් අනුරුද්ධතෙරණුවන් වෙත එළඹියහ. එළඹ ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවන්ට මෙය කීහ: “කවර විහරණයකින් වෙසෙන ආයුෂ්මත් අනුරුදුතෙරණුවන්ගේ හටගත් ශාරීරික දුක්වේදනාවෝ සිත හාත්පසින් අල්ලා ගෙන නො සිටිද්දැ”යි.
ඇවැත්නි, සිවු සීවටන්හි මැනවින් එළඹ සිටි සිත් ඇති ව වෙසෙන මාගේ උපන් ශාරීරික දුක්වේදනාවෝ සිත හාත්පසින් අල්ලා ගෙන නො සිටිත්. කවර සිවු සීවටන්හි ද යත්: ඇවැත්නි, මෙහි මම කයෙහි කය අනු ව දක්නාසුල්ලෙම් කෙලෙස් තවන වැර ඇතියෙම් මනාදැනුම් ඇතියෙම් සිහි ඇතියෙම් කාලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසෙමි. විඳුම්හි ... සිත්හි ... දහම්හි දහම් අනු ව දක්නාසුල්ලෙම් කෙලෙස් තවන වැර ඇතියෙම් මනාදැනුම් ඇතියෙම් සිහි ඇතියෙම් දහම්ලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසෙමි. ඇවැත්නි, මේ සිවු සීවටන්හි මැනවින් එළඹ සිටි සිත් ඇති ව වෙසෙන මාගේ හටගත් ශාරීරික දුක් වේදනාවෝ සිත හාත්පසින් අල්ලා ගෙන නො සිටිති යි.
පළමුවැනි රහෝගතවර්‍ගය යි.
එහි සූත්‍රනාමාවලිය:
රහෝගත නමින් ම දෙකෙකි. සුතනු නමින් එකෙකි. කණ්ටකී නමින් තුනෙකි. තණ්හාක්ඛය, සලලාගාර, අම්බපාලි ගිලාන යි සතරෙකි යි. මුළුල්ල දශයෙකි යි.
2. සහස්ස වර්‍ගය
8. 2. 1.
සහස්ස සූත්‍රය
3621. එක්කලෙක ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ සැවත සමීපයෙහි අනේපිඬුසිටුහුගේ දෙව්රම්හි වැඩවෙසෙති. එකල්හි බොහෝ භික්‍ෂූහු ආයුෂ්මත් අනුරුද්ධතෙරණුවන් වෙත එළඹියහ. එළඹ ආයුෂ්මත් අනුරුද්ධතෙරණුවන් සමග සතුටු වූහ. ... ආයුෂ්මත් අනුරුද්ධතෙරණුවන්ට මෙය කීහ: “ආයුෂ්මත් අනුරුද්ධතෙරණුවෝ කවර දහම් වැඩූ බැවින් බහුල කල බැවින් මහාභිඥ බවට පැමිණියෝ දැ”යි. ඇවැත්නි, සිවු සීවටන් වැඩූ බැවින් බහුල කල බැවින් මහාභිඥ බවට පැමිණියෙමි. කවර සිවු සීවටන් ද යත්: ඇවැත්නි, මෙහි මම කයෙහි කය අනු ව දක්නාසුල්ලෙම් කෙලෙස් තවන වැර ඇතියෙම් මනාදැනුම් ඇතියෙම් සිහි ඇතියෙම් කාලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසෙමි. විඳුම්හි ... සිත්හි ... දහම්හි දහම් අනු ව දක්නාසුල්ලෙම් කෙලෙස් තවන වැර ඇතියෙම් මනාදැනුම් ඇතියෙම් සිහි ඇතියෙම් දහම්ලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසෙමි. ඇවැත්නි, මම මේ සිවු සීවටන් වැඩූ බැවින් බහුල කළ බැවින් මහාභිඥ බවට පැමිණියෙමි. තව ද ඇවැත්නි, මේ සිවු සීවටන් වැඩූ බැවින් බහුල කළ බැවින් මම කප් දහසක් සිහි කෙරෙමි යි.
8. 2. 2.
ඉද්ධිවිධ සූත්‍රය
3622. තව ද ඇවැත්නි, මේ සිවු සීවටන් වැඩූ බැවින් බහුල කළ බැවින් මම නන් වැදෑරුම් ඉදු කොටස් විඳිමි. “එකෙක් ව ද බොහෝ අයුරු වෙමි. බොහෝ අයුරු ව ද එකෙක් වෙමි. පළට බව මුවහ බව විඳිමි. බිතෙන් පිටට පව්රෙන් පිටට පව්වෙන් පිටට අහසෙහි මෙන් නොගැටෙමින් යෙමි. දියෙහි මෙන් පොළොවෙහිත් මතුවීම කිමිදීම කෙරෙමි. පොළොවෙහි මෙන් නොබිඳෙන දියෙහිත් යෙමි. පියාපත් ඇති ලිහිණියකු මෙන් අහසෙහිත් පළඟින් යුතු ව ගමන් කෙරෙමි. මෙබඳු මහත් ඍද්ධි ඇති මෙබඳු මහත් අනුභාව ඇති මේ සඳහිරු දෙදෙන ද අතින් පහසමි. පිරිමදිමි. බඹලොව තෙක්දු කයින් වෙසෙහි පවත්වමි” යි.
8. 2. 3.
දිබ්බසෝත සූත්‍රය
3623. ඇවැත්නි, මේ සිවු සීවටන් වැඩූ බැවින් බහුල කළ බැවින් මම මිනිස්බැව් ඉක්මවා පැවති විශුද්ධ වූ දිව්‍යමය ශ්‍රෝත්‍රධාතුවෙන් දුර වූ ද ලඟ වූ ද දෙව් මිනිස් දෙ සද අසමි යි.
8. 2. 4.
චේතෝපරිය සූත්‍රය
3624. ඇවැත්නි, මේ සිවු සීවටන් ම වැඩූ බැවින් බහුල කළ බැවින් මම පරසතුන්ගේ පරපුඟුලන්ගේ සිත තමසිතින් පිරිසිඳ දනිමි. සරාග සිත හෝ සරාග සිතැයි දනිමි. වීතරාග සිත හෝ වීතරාග සිතැයි දනිමි. ... අවිමුත්ත සිත හෝ අවිමුත්ත සිතැ යි දනිමි. විමුක්ත සිත හෝ විමුක්ත සිතැ යි දනිමි යි.
8. 2. 5.
ඨාන සූත්‍රය
3625. ඇවැත්නි, මේ සිවු සීවටන් වැඩූ බැවින් බහුල කල බැවින් මම කරුණ කරුණුවිසිනුත් නොකරුණ නොකරුණුවිසිනුත් තතු සේ දනිමි යි.
8. 2. 6.
කම්ම සූත්‍රය
3626. ඇවැත්නි, මේ සිවු සීවටන් ම වැඩූ බැවින් බහුල කළ බැවින් මම අතීතානාගතවර්‍තමානකර්‍මසමාදානයන්ගේ විපාකය කරුණු විසින් හේතු විසින් තතු සේ දනිමි යි.
8. 2. 7.
සබ්බත්‍ථ සූත්‍රය
3627. ඇවැත්නි, මේ සිවු සීවටන් ම වැඩූ බැවින් බහුල කළ බැවින් මම සියලුගතිවලට පමුණුවන මඟ තතු සේ දනිමි යි.
8. 2. 8.
අනේකධාතු සූත්‍රය
3628. ඇවැත්නි, මේ සිවු සීවටන් ම වැඩූ බැවින් බහුල කළ බැවින් මේ නොයෙක් ධාතු නන් වැදෑරුම් ධාතුලෝකය තතු සේ දනිමි යි.
8. 2. 9.
නානාධිමුත්තික සූත්‍රය
3629. ඇවැත්නි, මේ සිවු සීවටන් ම වැඩූ බැවින් බහුල කළ බැවින් මම සත්ත්‍වයන්ගේ හීනාදි නානාධිමුත්ති ඇති බව තතු සේ දනිමි යි.
8. 2. 10.
ඉන්‍ද්‍රිය සූත්‍රය
3630. ඇවැත්නි, මේ සිවු සීවටන් වැඩූ බැවින් බහුල කළ බැවින් අන් සතුන්ගේ හා අන් පුඟුලන්ගේ ඉඳුරන් පිළිබඳ වැඩීමත් පිරිහීමත් මම තතු සේ දනිමි යි.
8. 2. 11.
ඣාන සූත්‍රය
3631. ඇවැත්නි, මේ සිවු සීවටන් වැඩූ බැවින් බහුල කළ බැවින් ධ්‍යානවිමෝක්‍ෂසමාධිසමාපත්තීන්ගේ කෙලෙසීමත් පිරිසිදුවීමත් නැගීසිටීමත් මම තතු සේ දනිමි යි.
8. 2. 12.
පුබ්බෙනිවාස සූත්‍රය
3632. ඇවැත්නි, මේ සිවු සීවටන් වැඩූ බැවින් බහුල කළ බැවින් මම නන් වැදෑරුම් පෙරවිසූ කඳපිළිවෙළ සිහි කෙරෙමි. එනම්: “ජාති එකක් ද ... මෙසේ අයුරු සහිත උදෙසුම් සහිත නන් වැදෑරුම් පෙර විසූ කඳපිළිවෙළ සිහි කෙරෙමි” යි.
8. 2. 13.
දිබ්බචක්ඛු සූත්‍රය
3633. ඇවැත්නි, මේ සිවු සීවටන් වැඩූ බැවින් බහුල කළ බැවින් මම මිනිසැස ඉක්ම පැවති වෙසෙසින් පිරිසිදු වූ දිවැසින් ... කම් වූ පරිදි පැමිණි සතුන් දනිමි යි.
8. 2. 14.
ආසවක්ඛය සූත්‍රය
3634. ඇවැත්නි, මේ සිවු සීවටන් වැඩූ බැවින් බහුල කළ බැවින් මම ආස්‍රව ක්‍ෂය කිරීමෙන් අනාස්‍රව වූ ඵලසමාධියත් ඵලප්‍රඥාවත් දිටුදැමියෙහි ම තෙමේ වෙසෙසින් දැන පසක් කොට එයට පැමිණ වෙසෙමි යි.
දෙවැනි සහස්සවර්‍ගය යි.
එහි සූත්‍රනාමාවලිය:
සහස්ස, ඉද්ධිවිධ, දිබ්බසෝත, චේතෝපරිය, ඨාන, කම්ම, සබ්බත්‍ථ, නානාධාතු, නානාධිමුත්තික, ඉන්‍ද්‍රිය, ඣාන, පුබ්බෙනිවාස, දිබ්බචක්ඛු, ආසවක්ඛය යි තුදුස් සුතුරෙකි යි.
අනුරුද්ධසංයුත්තය නිමියේ ය.
එහි වර්‍ගනාමාවලිය:
රහෝගත සහස්ස යි අනුරුද්ධ සංයුත්තයෙහි බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරනා ලද වර්‍ග දෙකෙක් ම වේ යි.
9. ඣාන සංයුත්තය
1. ගඞ්ගාපෙය්‍යාල වර්‍ගය
9. 1. 1-12.
පාචීනනින්නාදි සූත්‍ර
3635-3646. සැවැත්නුවර-
මහණෙනි, මෙ දැහැන් සතරෙකි. කවර සතරෙක් ද යත්: මහණෙනි, මෙහි මහණ කාමයෙන් වෙන්ව ම අකුසල්දහමින් වෙන්ව ම විතර්‍ක සහිත විචාර සහිත විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සුවය ඇති පළමුවන දැහැනට එළඹ වෙසේ. විතර්‍ක විචාරයන් සංසිඳීමෙන් ඇතුළත පැහැදීම ඇති සිතේ එකඟ බැව් ඇති විතර්‍ක විචාර රහිත සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සුවය ඇති දෙවන දැහැනට එළඹ වෙසේ. (යම් ධ්‍යානයකින්) ප්‍රීතිය දුරු කිරීමෙන් මැදහත් ව වෙසේද, සිහි ඇත්තේත් මනා නුවණ ඇත්තේත් කයින් සුවත් විඳීද, “මැදහත් ය, සිහි ඇත්තේ ය, සුව විහරණ ඇත්තේ ය” යි. ආර්‍ය්‍යයෝ ඒ යමකු ගැන කියත් නම් ඒ තෙවන දැහැනට එළඹ වෙසේ. සුවත් පැහීමෙන් දුකත් පැහීමෙන් පළමු ම සොම්නස්දොම්නසුන්ගේ අස්තගමයෙන් නොදුක් වූ නොසුව වූ උපේක්‍ෂාවෙන් හා සිහියෙන් හටගත් පිරිසිදුබැව් ඇති සිවුවන දැහැනට එළඹ වෙසේ. මහණෙනි, මොහු සිවු දැහැන්හු යි.
මහණෙනි, යම්සේ ගඞ්ගානදී තොමෝ පෙරදිගට නැමුණි පෙරදිගට නැඹුරු වූවා පෙරදිගට බර වූවා වේ ද, මහණෙනි, එසෙයින් ම මහණ සිවු දැහැන් වඩන්නේ සිවු දැහැන් බහුල කරන්නේ නිවනට නැමුණේ නිවනට නැඹුරු වූයේ නිවනට බර වූයේ වේ. මහණෙනි, කෙසේ නම් මහණ සිවු දැහැන් වඩන්නේ සිවු දැහැන් බහුල කරන්නේ නිවනට නැමුණේ නිවනට නැඹුරු වූයේ නිවනට බර වූයේ වේ ද යත්: මහණෙනි, මෙහි මහණ කාමයෙන් වෙන් ව ම ... පළමුවන දැහැනට ... දෙවන දැහැනට ... තෙවන දැහැනට ... සිවුවන දැහැනට පැමිණ වෙසේ. මහණෙනි, මෙසේ මහණ සිවු දැහැන් වඩනුයේ සිවු දැහැන් බහුල කරනුයේ නිවනට නැමුණේ නිවනට නැඹුරු වූයේ නිවනට බර වූයේ වේ යි ... නිවනට බර වූයේ වේ යි.
(දුතිය පාචීනනින්නාදි සූත්‍ර ද මෙසේ විතර කට යුතු.)
පළමුවැනි ගඞ්ගාපෙය්‍යාලවර්‍ගය යි.
එහි සූත්‍රනාමාවලිය:
පාචීනනින්නාසූත්‍ර සයෙකි. සමුද්දනින්නාසූත්‍ර ද සයෙකි. මේ ෂට්ක දෙක දොළොසෙක් වේ. එයින් වර්‍ගය යි කියනු ලැබේ යි.
2. අප්පමාද වර්‍ගය
9. 2. 1-10.
තථාගතාදි සූත්‍ර