Saṁyutta Nikāya

Connected Discourses

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-30 · 15083 segments

පෙන්වන කොටස් 1301-1400 න් 15083

ජටිල, පඤ්චරාජ, දෝණපාක, යන සූත්‍ර ද සඞ්ගාම සූත්‍ර දෙක ද ධීතු සූත්‍රය ද අප්පමාද සූත්‍ර දෙක ද අපුත්තක සූත්‍ර දෙකදැයි සූත්‍ර දශයෙකි.
3. කෝශල වර්‍ගය
3. 3. 1.
පුග්ගල සූත්‍රය
132. සැවැත්නුවර–
එකල්හි පසේනදි කොසොල් රජ තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් පසේනදි කොසොල් රජහට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. මහරජ, ලෝකයෙහි මේ පුද්ගලයෝ සිවු දෙනෙක් ඇත. කවර සිවු දෙනෙක? යත්: “අඳුරෙන් අඳුරට යන්නේ ය. අඳුරෙන් එළියට යන්නේ ය. එළියෙන් අඳුරට යන්නේ ය. එළියෙන් එළියට යන්නේ ය”යි.
මහරජ, කෙසේ නම් පුද්ගල තෙමේ අඳුරෙන් අඳුරට යන්නේ වේ ද? මහරජ, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් යම් කුලයෙක්හි දුකසේ කෑම් හැඳීම් ලැබේ ද, එබඳු ස්වල්පාහාරපානභෝජන ඇති දුකසේ දිවි පවත්වන දිළිඳු සැඬොල් කුලයෙහි හෝ කුලුපොතු කුලයෙහි හෝ වැදි කුලයෙහි හෝ සොම්මර කුලයෙහි හෝ පුප්සඩු කුලයෙහි හෝ හීන කුලයෙක උපන්නේ වෙයි. හෙ තෙමේ නොමනා පැහැ ඇතියෙක් කුරුසැහැවි ඇතියෙක් නපුරු දැකුම් ඇතියෙක් බොහෝ අබාධ ඇතියෙක් කණෙක් හෝ වකත්ඇතියෙක් පාකොරෙක් අඬක්නටුයෙක් හෝ වේ ද, ආහාරපාන වස්ත්‍ර යාන මල්ගඳ විලෙවුන් යහන් ලැඟුම් පහන් උපකරණ නො ලබන්නෙක් වෙ යි. හෙ තෙමේ කයින් දුසිරිත් කෙරෙයි. වචනයෙන් දුසිරිත් කෙරෙයි. සිතින් දුසිරිත් කෙරෙයි. හෙ තෙමේ කයින් දුසිරිත් කොට වචනයෙන් දුසිරිත් කොට සිතින් දුසිරිත් කොට කාබුන් මරණින් මතු පහ වූ සුව ඇති නපුරුගති ඇති විවස ව පතිත වන නිරයට උත්පත්ති වශයෙන් පැමිණෙන්නේ ය.
මහරජ, පුරුෂයෙක් අඳුරෙකින් අඳුරකට යන්නේ හෝ වේ නම් කළුවරින් කළුවරට යන්නේ හෝ වේ නම් ලෙහෙමලට යන්නේ හෝ වේ නම් මහරජ, මම මේ පුඟුලා එබඳු උපමා ඇත්තකු කොට කියමි. මහරජ, මෙසේ පුඟුල් තෙමේ අඳුරෙන් අඳුරට යන්නේ වේ.
මහරජ, කෙසේ නම් පුද්ගල තෙමේ අඳුරෙන් එළියට යන්නේ වේ ද? මහරජ, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් යම් කුලයකේහි දුකසේ කෑම් හැඳීම් ලැබේ ද, එබඳු ස්වල්පාහාරපානභෝජන ඇති දුකසේ දිවි පවත්වන දිළිඳු වූ සැඬොල් කුලයෙහි හෝ කුලුපොතු කුලයෙහි හෝ වැදිකුලයෙහි හෝ සොම්මර කුලයෙහි හෝ පුප්සඬු කුලයෙහි හෝ හීන කුලයෙක උපන්නේ වෙයි. හෙ තෙමේත් නො මනා පැහැඇතියෙක් නපුරු දැකුම් ඇතියෙක් කුරුසැහැවි ඇතියෙක් බොහෝ ආබාධ ඇතියෙක් කණෙක් හෝ වකත්ඇතියෙක් පාකොරෙක් පක්‍ෂඝාතයෙක් හෝ වෙයි. ආහාරපාන වස්ත්‍රයාන මල් ගඳ විලෙවුන් යහන් ලැඟුම් ප්‍රදීපෝපකරණ නො ලබන්නෙක් වේ. හෙ තෙමේ කයින් සුසිරිත් කෙරෙයි. වචනයෙන් සුසිරිත් කෙරෙයි. සිතින් සුසිරිත් කෙරෙයි. හෙ තෙමේ කයින් සුසිරිත් කොට වචනයෙන් සුසිරිත් කොට සිතින් සුසිරිත් කොට කාබුන් මරණින් මතු මනාගති ඇති ස්වර්‍ගලෝකයට පැමිණෙයි.
මහරජ, යම්සේ පුරුෂයෙක් තෙමේ බිමින් පලඟකට නගින්නේ හෝ වේ නම් පලඟින් අසුපිටට නගින්නේ හෝ වේ නම් අසුපිටින් ඇත්කඳකට නගින්නේ හෝ වේ නම් ඇත්කඳින් පහයකට නගින්නේ හෝ වේ නම් මහරජ, මම මේ පුද්ගලයා එබඳු උපමා ඇත්තකු කොට කියමි. මහරජ, මෙසේ පුද්ගල තෙමේ අඳුරෙන් එළියට යන්නේ වේ.
මහරජ, කෙසේ නම් පුද්ගල තෙමේ එළියෙන් අඳුරට යන්නේ වේ ද? මහරජ, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් අඪ්‍ය වූ මහත් ධන ඇති මහත් භෝග ඇති බොහෝ රන් රිදී ඇති බොහෝ මනවඩන දෑ ඇති බොහෝ ධනධාන්‍ය ඇති කැත්මහසල් කුලයෙහි හෝ බමුණුමහසල් කුලයෙහි හෝ ගැහැවිමහසල් කුලයෙහි හෝ උසස් කුලයෙක උපන්නේ වේ. හෙ තෙමේ මනා රූ ඇත්තේත් දැකුම්කලු වූයේත් ප්‍රසාද එළවන්තේත් උතුම් පැහැසටහනින් යුක්තවූයේත් ආහාර පාන වස්ත්‍ර යානවාහන මල්ගඳවිලෙවුන් යහන් ලැගුම් ප්‍රදීපෝපකරණ ලබන්නේත් වෙයි. හෙ තෙමේ කයින් දුසිරිත් කෙරෙයි. වචනයෙන් දුසිරිත් කෙරෙයි. සිතින් දුසිරිත් කෙරෙයි. කයින් දුසිරිත් කොට වචනයෙන් දුසිරිත් කොට සිතින් දුසිරිත් කොට කාබුන් මරණින් මතු පහ වූ සුව ඇති නපුරුගති ඇති විවස ව පතිත වන නිරයට පැමිණෙයි. මහරජ, යම්සේ පුරුෂයෙක් පහයෙන් ඇත්කඳකට බස්නේ හෝ නම් ඇත්කත්කඳෙකින් අසුපිටකට බස්නේ හෝ වේ නම් අසුපිටෙකින් පලඟකට බස්නේ හෝ වේ නම් පලඟෙකින් පොළොවට බස්නේ හෝ වේ නම් පොළොවින් අඳුරකට පිවිසෙන්නේ හෝ වේ නම් මහරජ, මේ පුද්ගලයා එබඳු උපමා ඇත්තකු කොට මම කියමි. මහරජ, මෙසේ පුද්ගල තෙමේ එළියෙන් අඳුරට යන්නේ වෙයි.
මහරජ, කෙසේ නම් පුද්ගල තෙමේ එළියෙන් එළියට යන්නේ වේ ද? මහරජ, මෙහි ඇතැම් පුද්ගලයෙක් අඪ්‍ය වූ මහද්ධන ඇති, මහාභෝග ඇති බොහෝ රන්රිදී ඇති, බොහෝ සිත් පිනවන දෑ ඇති, බොහෝ ධනධාන්‍ය ඇති කැත්මහසල් කුලයෙහි හෝ බමුණු මහසල් කුලයෙහි හෝ ගැහැවි මහසල් කුලයෙහි හෝ උසස්කුලයෙක උපන්නේ වෙයි. හෙ තෙමේ මනා රූ ඇත්තේත් දැකුම්කලු වූයේත් ප්‍රසාද එළවන්නේත් උතුම් පැහැසටහනින් යුක්තවූයේත් ආහාර පාන වස්ත්‍ර යාන වාහන මල් ගඳවිලෙවුන් යහන් ලැගුම් ප්‍රදීපෝකරණ ලබන්නේත් වෙයි. හෙ තෙමේ කයින් සුසිරිත් කෙරෙයි. වචනයෙන් සුසිරිත් කෙරෙයි. සිතින් සුසිරිත් කෙරෙයි. කයින් සුසිරිත් කොට වචනයෙන් සුසිරිත් කොට සිතින් සුසිරිත් කොට කාබුන් මරණින් මතු මනා ගති ඇති ස්වර්‍ගලෝකයට පැමිණෙයි. මහරජ, යම්සේ පුරුෂයෙක් පලඟෙකින් පලඟකට යන්නේ හෝ වේ නම් අසුපිටෙකින් අසුපිටකට යන්නේ හෝ වේ නම් පහයෙකින් පහයකට යන්නේ හෝ වේ නම් මහරජ, මේ පුද්ගලයා එබඳු උපමා ඇත්තකු කොට මම කියමි. මහරජ, පුද්ගල තෙමේ එළියෙන් එළියට යන්නේ වෙයි.
මහරජ, මේ පුද්ගලයෝ සිවුදෙන ලොව ඇත.
මහරජ, දිළිඳු පුද්ගල තෙමේ සැදැහැ නැත්තේ වේ ද, මසුරු වේ ද, තදමසුරු වේ ද, පවිටු අදහස් ඇත්තේ මිසදිටු වූයේ බුද්ධාදීන් කෙරෙහි ආදර නැත්තේ වේ ද,
මහනුන්ටත් බමුණන්ටත් (මෙයින්) අන්‍ය වූ වණිබ්බකයන්ටත් අක්‍රෝශ කෙරේ ද, පරිභව කෙරේ ද, නැතැයි කියන්නේ වේ ද, මෙරමා ගටන්නේ වේ ද, ඉල්ලන්නවුන්ට බොජුන් දෙන්නහු වළකා ද,
ජනාධිපති මහරජ, අඳුරෙන් අඳුරට යන එබඳු පුද්ගල තෙමේ මැරෙන්නේ දරුණු නිරයට පැමිණේ.
රජතුමනි, දිළිඳු පුරිස් තෙමේ සැදැහැත්තේ නොමසුරු වූයේ වේ ද, ශ්‍රේෂ්ඨ අදහස් ඇති ඒ මිනිස් තෙමේ එකඟ සිත් ඇත්තේ දන් දේ ද,
මහණුන් ද, බමුණන් ද, මෙයින් අන්‍ය වූ වණිබ්බකයන් ද හුනස්නෙන් නැගිට වදී ද, සමචරියයෙහි හික්මේ ද, යාචකයන්ට බොජුන් දෙන්නහු නොවළහා ද,
ජනශ්‍රේෂ්ඨ වූ මහරජ, අඳුරෙන් එළියට යන එබඳු පුරිස් තෙමේ මැරෙණුයේ දෙව්ලොවට පැමිණේ.
මහරජ, අඪ්‍ය වූ පුරිස් තෙමේ ඉදින් සැදැහැ නැත්තේ මසුරු වූයේ තද මසුරු වූයේ පවිටු අදහස් ඇත්තේ මිසදිටු වූයේ (බුද්ධාදීන් කෙරෙහි) ආදර රහිත වූයේ වේ ද,
මහණුන්ටත් බමුණන්ටත් මෙයින් අන්‍ය වූ වණිබ්බකයන්ටත් ආක්‍රෝශ කෙරේ ද, පරිභව කෙරේ ද, නැතැ’යි කියන්නේ වේ ද, මෙරමා ගටන්නේ වේ ද, ඉල්ලන්නවුන්ට බොජුන් දෙන්නහු වළහා ද,
ජනශ්‍රේෂ්ඨ වූ මහරජ, එළියෙන් අඳුරට යන එබඳු පුරිස් තෙමේ මැරෙණුයේ දරුණු නිරයට පැමිණෙයි.
මහරජ, අඪ්‍ය වූ පුද්ගල තෙමේ ඉදින් සැදැහැත්තේ නොමසුරු වූයේ වේ ද, උසස් අදහස් ඇති ඒ මිනිස් තෙමේ එකඟසිත් ඇත්තේ දන් දේ ද,
මහණුන් ද බමුණන් ද, මෙයින් අන්‍ය වූ වණිබ්බකයන් ද, හුනස්නෙන් නැගිට වඳී ද, සමචරියයෙහි හික්මේ ද, ඉල්ලන්නවුන්ට බොජුන් දෙන්නහු නො වළාහා ද,
ජනාධිපති වූ මහරජ, එළියෙන් එළියට යන එබඳු පුරිස් තෙමේ මැරෙණුයේ දෙව්ලොවට පැමිණේ.
3. 3. 2.
අය්‍යකා සූත්‍රය
133. සැවැත්නුවර–
එකල්හි පසේනදි කොසොල් රජ තෙමේ දෙවෙන් දාවල භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් පසේනදි කොසොල් රජහට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක: මහරජ, දැන් දෙවෙන් දාවල තෙපි කොහි සිට එවූ ද?
වහන්ස, ජරාජීර්‍ණ වූ වයෝවෘද්ධ වූ මහලු වූ දිගුකලක් ගෙවූ පිළිවෙළින් පැසුලුවයසට පැමිණි උපතින් එක්සියවිසිවයස් වූ මාගේ මිත්ත්නියෝ කාලගත වූහ. වහන්ස, මිත්තනියෝ මට ප්‍රිය ද මනාප ද වූහ. වහන්ස, මාගේ මිත්තනියෝ කලුරිය නො කෙරෙත්වා යි ඇත්රුවනිනුදු ඉදින් මම ලබන්නෙම් නම් මාගේ මිත්තනියෝ කලුරිය නො කෙරෙත්වා! යි ඇත්රුවන ද මම දෙන්නෙමි. වහන්ස, මාගේ මිත්තනියෝ කලුරිය නො කෙරෙත්වා යි අස්රුවනිනුදු ඉදින් මම ලබන්නෙම් නම් මාගේ මිත්තනියෝ කලුරිය නො කෙරෙත්වා යි අස්රුවන ද මම දෙන්නෙමි. වහන්ස, මාගේ මිත්තනියෝ කලුරිය නො කෙරෙත්වා! යි ගම්වරෙකිනුදු ඉදින් මම ලබන්නෙම් නම් මාගේ මිත්තනියෝ කලුරිය නො කෙරෙත්වා යි ගම්වරකුදු මම දෙන්නෙමි. වහන්ස, මාගේ මිත්තනියෝ කලුරිය නො කෙරෙත්වා යි දනව්වෙකිනුදු ඉදින් මම ලබන්නෙම් නම් මාගේ මිත්තනියෝ කලුරිය නො කෙරෙත්වා යි දනව්වකුදු මම දෙන්නෙමි.
මහරජ, සියලු සත්‍වයෝ මරණය ස්වභාවය කොට ඇත්තාහ. මරණය කෙළවර කොට ඇත්තාහ. මරණය නො ඉක්මවූවෝ ය.
වහන්ස, ආශ්චර්‍ය්‍යයෙකි. වහන්ස, අද්භූතයෙකි. වහන්ස, “සියලු සත්‍වයෝ මරණය ස්වභාව කොට ඇත්තාහ. මරණය කෙළවර කොට ඇත්තාහ. මරණය නො ඉක්ම වූවෝ ය” යන මෙය භාග්‍යවතුන් වහන්සේ විසින් අත්‍යර්‍ත්‍ථයෙන් මැ මැනවින් දේශනා කරණ ලද්දේ ය.
මහරජ, තෙල එසේ ය. මහරජ, තෙල එසේ ය. සියලු සත්‍වයෝ මරණය ස්වභාව කොට ඇත්තෝ ය. මරණය කෙළවර කොට ඇත්තෝ ය. මරණය නො ඉක්මවූවෝ ය. මහරජ, අමු වූත් පැලහූත් යම්කිසි කුඹල්බඳුන් වේ නම්, ඒ සියල්ල යම්සේ බිඳීම ස්වභාව කොට ඇත්තේ බිඳීම කෙළවර කොට ඇත්තේ බිඳීම නො ඉක්ම වූයේ වේ ද, මහරජ, එසෙයින්ම සියලු සත්‍වයෝ මරණය ස්වභාව කොට ඇත්තාහ. මරණය කෙළවර කොට ඇත්තාහ. මරණය නො ඉක්ම වූවෝ ය.
සියලු සත්‍වයෝ මැරෙන්නාහ. ජීවිතය මරණය කෙළවර කොට ඇත්තේ ය එහෙයිනි. පින්පව්පල අනුව ගියාහු පව්කම් ඇත්තෝ නිරයට ද පින්කම් ඇත්තෝ සුගතියට දැයි මෙසේ කම් වූ පරිද්දෙන් (පරලොව) යන්නාහු ය.
එහෙයින් පරලොවට හිත දෑ රැස් කරන්නේ පින් කරන්නේ ය. පින් සත්‍වයන්ට පරලොව පිහිට වේ.
3. 3. 3.
ලෝක සූත්‍රය
134. සැවැත්නුවර–
එකත්පසෙක හුන් පසේනදි කොසොල් රජ තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළේ ය. වහන්ස, කෙතෙක් ලෝකධර්‍මයෝ උපදනාහු අහිත පිණිස දුක් පිණිස අපහසු විහරණය පිණිස උපදිද් ද?
මහරජ, ලෝදහම් තුනෙක් උපදනේ අහිත පිණිස දුක් පිණිස නො පහසු විහරණය පිණිස උපදී. කවර තුනෙක් ද? යත්: මහරජ, ලෝභ සඞ්ඛයාත ලෝකධර්‍මය උපදනේ අහිත පිණිස දුක් පිණිස නොපහසු විහරණය පිණිස උපදී. මහරජ, ද්වේෂසඞ්ඛයාත ලෝකධර්‍මය උපදනේ අහිත පිණිස දුක් පිණිස නොපහසු විහරණය පිණිස උපදී. මෝහ සඞ්ඛයාත ලෝකධර්‍මය උපදනේ අහිත පිණිස දුක් පිණිස නොපහසු විහරණය පිණිස උපදී. මහරජ, මේ ලෝකධර්‍ම තුන උපදනේ අහිත පිණිස දුක් පිණිස නො පහසු විහරණය පිණිස උපදී.
ලෝභය ද ද්වේෂය ද මෝහය ද තමා තුළ හටගත්තාහු පවිටු සිත් ඇති මිනිසා පෙළත්. සිය පලය පොතුහර රුකක් (නසන්නාක්) මෙනි.
3. 3. 4.
ඉස්සත්‍ථ සූත්‍රය
135. සැවැත්නුවර–
එකත්පසෙක හුන් පසේනදි කොසොල් රජ තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළේ ය. වහන්ස, කවුරුන් විෂයෙහි දන් දියයුතු ද? මහරජ, යමකු කෙරෙහි සිත පහ දී ද (ඔහුට දියයුතුයි) වහන්ස, කවුරුන් කෙරෙහි දෙන ලද්දේ මහත්ඵල වේ ද? මහරජ, කවුරුන් කෙරෙහි දන් දියයුතු ද? යන මෙය අනෙකෙකි. කවුරුන් කෙරෙහි දෙන ලද්ද මහත්ඵල වේ ද? යන මෙය අනෙකෙකි. මහරජ, සිල්වතාට දෙන ලද්ද මහත්ඵල වේ. දුශ්ශීලයා කෙරෙහි එසේ නො වේ. මහරජ, එසේ නම් මෙහි ලා තොප ම පුළුවුස්නෙමි. යම්සේ තොපට වැටහේ නම් එසේ එය පවසව.
මහරජ, ඒ කුමැයි හඟිහු ද? මෙහි තොපට යුද්ධයෙක් එළඹ සිටියේ වන්නේ ය. යුදසෙනඟ රැස්වූයේ වන්නේ ය. එකල්හි දුනුසිප්හි නුපුහුණු කෘතහස්ත නො වූ විදීමෙහි නුපුරුදු සිප් දැක්වුම් නො කළ බියගුලු වෙවුළන තැතිගන්නා සුලු පලා යන කැත් කුමරෙක් එන්නේ නම් ඒ පුරුෂයා පෝෂණය කරවූ ද, එබඳු පුරුෂයෙකුගෙන් තොපට වැඩ ඇත් ද? වහන්ස, මම එබඳු පුරුෂයා පෝෂණය නොකරන්නෙමි. එබඳු පුරුෂයකුගෙන් මට වැඩෙක් ද නැත.
එකල්හි නුපුහුණු බමුණු කුමරෙක් එන්නේ නම් … එකල්හි නුපුහුණු වෙස්කුමරෙක් එන්නේ නම් … එකල්හි නුපුහුණු ශුද්‍ර කුමරෙක් එන්නේ නම් … ඒ පුරුෂයා පෝෂණය කරන්නහු ද? එබඳු පුරුෂයෙකුගෙන් තොපට වැඩෙක් ඇද් ද? වහන්ස, මම ඒ පුරුෂයා පෝෂණය නො කරන්නෙමි. එබඳු පුරුෂයකුගෙන් මට වැඩෙක් ද නැත.
මහරජ, ඒ කුමකැයි හඟිහු ද? මෙහිතොපට යුද්ධයෙක් එළඹසිටියේ වන්නේ ය. යුදසෙනඟ රැස් වූයේ වන්නේ ය. එකල්හි දුනුසිප්හි මැනවින් පුහුණු වූ කෘතහස්ත වූ කළපුරුදු ඇති සිප් දැක්වුම් කළ බියගුලු නො වූ නොවෙවුළන නො තැතිගන්නා පලා නො යනසුලු කැත්කුමරෙක් එන්නේ නම් ඒ පුරුෂයා පෝෂණය කරන්නහු ද? එබඳු පුරුෂයෙකු ගෙන් තොපට වැඩෙක් ඇද්ද? වහන්ස, මම එබඳු පුරුෂයා පෝෂණය කරන්නෙමි. එබඳු පුරුෂයකුගෙන් මට වැඩෙක් ඇත.
එකල්හි මැනැවින් පුහුණු වූ බමුණු කුමරෙක් එන්නේ නම් .. මැනවින් පුහුණු වූ වෙස් කුමරෙක් … මැනවින් පුහුණු වූ කෘතහස්ත වූ කළපුරුදු ඇති කළ සිප් දැක්වුම් ඇති බියගුලු නො වූ නො වෙවුළන නොතැති ගන්නා පලා නො යන සුලු කුමරෙක් … ඒ පුරුෂයා පෝෂණය කරන්නහු ද? එබඳු පුරුෂයෙකු ගෙන් තොපට වැඩෙක් ඇද් ද? වහන්ස, මම ඒ පුරුෂයා පෝෂණය කරන්නෙමි. එබඳු පුරුෂයකුගෙන් මට වැඩෙක් ඇත.
මහරජ, එසෙයින් ම යම් කවර කුලයෙකින් හෝ ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වූයේ වේ ද? හෙ තෙමේත් ප්‍රහීණ වූ පසඟක් ඇත්තේ පසඟෙකින් සමන්‍විත වූයේ නම් ඔහු කෙරෙහි දෙන ලද්දේ මහත්ඵල වෙයි.
කවර පසක් ප්‍රහීණ වූයේ වේ ද? යත්: කාමච්ඡන්‍දය ප්‍රහීණ වූයේ වෙයි. ව්‍යාපාදය ප්‍රහීණ වූයේ වෙයි. ථීනමිද්ධය ප්‍රහීණ වූයේ වෙයි. උද්ධච්චකුක්කුච්චය ප්‍රහීණ වූයේ වෙයි. විචිකිච්ඡාව ප්‍රහීණ වූයේ වෙයි. මේ පසඟ ප්‍රහීණ වූයේ වේ.
කවර පසඟෙකින් සමන්‍විත වූයේ ද? යත්: අශෛක්‍ෂ වූ ශීලස්කන්‍ධයෙන් සමන්‍විත වූයේ වෙයි. අශෛක්‍ෂ වූ සමාධිස්කන්‍ධයෙන් සමන්‍විත වූයේ වෙයි. අශෛක්‍ෂ වූ ප්‍රඥාස්කන්‍ධයෙන් සමන්‍විත වූයේ වෙයි. අශෛක්‍ෂ වූ විමුක්තිස්කන්‍ධයෙන් සමන්‍විත වූයේ වෙයි. අශෛක්‍ෂ වූ විමුක්තිඥානදර්‍ශනස්කන්‍ධයෙන් සමන්‍විත වූයේ වෙයි. මේ පසඟින් සමන්‍විත වූයේ වෙයි.
මෙසේ ප්‍රහීණ වූ පසඟක් ඇති පසඟෙකින් සමන්‍විත වූවාහු කෙරෙහි දෙන ලද්ද මහත් ඵල වෙයි.
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සුගත වූ ශාස්තෘන් වහන්සේ මෙය වදාරා නැවත පසු ව මෙය ද වදාළ සේක.
යම් තරුණයෙක් කෙරෙහි ධනුශිල්පයත් කායික චෛතසික වීර්‍ය්‍යයත් විද්‍යාමාන වේ නම් රජ තෙමේ ඔහු යුද පිණිස පෝෂණය කරන්නේ ය. අදක්‍ෂයා ජාතිය හේතු කොට ගෙණ පෝෂණය නොකරන්නේ ය.
එපරිද්දෙන් ම යමකු කෙරෙහි ඉවසීම ද රහත්බව ද යන ධර්‍මයෝ පිහිටියාහු ද ආර්‍ය්‍ය පැවතුම් ඇති නුවණැති ඔහු හීනජාතිකයකු වු ව ද පුදන්නේ ය.
සිත්කලු අසපු කරවන්නේ ය. එහි බහුශ්‍රැතයන් වස්වන්නේ ය. නිරුදක අරණ්‍යයෙහි පැන්පොකුණු ද නොසමබිම්හි සක්මන්මලු ද කරවන්නේ ය.
අහර ද පැන් ද කැවිලි ද වත්සෙනසුන් ද රහතුන් කෙරෙහි පහන්සිතින් දෙන්නේ ය.
යම්සේ විදුලි පෙල ඇති සියගණන් (වලා) කුළු ඇති මේඝය ගුගුරමින් පොළොව තෙමන්නේ වළ ද ගොඩ ද පුරවා ද,
එසේ ම සැදැහැති අසූ පිරූ තැන් ඇති නුවණැත්තේ බොජුන් පිළියෙළ කොට ආහාරපානයෙන් වර්‍ණබබ්කයන් සතප්වයි. සතුටු වන්නේ සර්‍වප්‍රකාරයෙන් විසුරුවන්නාක් මෙන් දන් දෙයි. නොහොත් දන්හලෙහි හැසිරෙයි. දෙව දෙව යි කියයි.
වස්නා වැස්සෙක (ගර්‍ජනය) මෙන් එය ඔහුගේ ගර්‍ජනය වෙයි. මහත් වූ ඒ පින් දහර දෙන්නහු මැනවින් තෙමයි.
3. 3. 5.
පබ්බතූපම සූත්‍රය
136. සැවැත්නුවර–
එකත්පසෙක හුන් පසේනදි කොසොල් රජහට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. මහරජ තෙපි දැන් මේ දෙවෙන් දවාලෙහි කොහි සිට එවුද?
වහන්ස, ඉසුරුමෙදෙන් මත් වූ කාමයෙහි ගිජු බැවින් මැඩුනු දනව්හි තිරබවට පත් මුදුන්හි අභිෂේක කරණ ලද මහත් පොළෝමඬල දිනා අධිපතිව වෙසෙන කැත් රජුන්ට යම් ඒ රජකටයුතු ඇද්ද, මම දැන් එහි උත්සුකබවට පැමිණියෙම් වෙමි.
මහරජ, ඒ කුමකැයි හගිහු ද? මෙහි තොප විසින් ඇදහියයුතු පිළිගත හැකි වචන ඇති පුරුෂයෙක් පෙර දිගින් එන්නේ ය. හෙ තෙමේ තොප වෙත එළඹ “දේවයන් වහන්ස, දැන වදාළ මැනවි. මම පෙරදිග සිට එමි. එහි අහස හා සම වූ මහපව්වක් දිටිමි. සියලු සතුන් සුණු කෙරෙමින් එයි. දේවයන් වහන්ස, නුඹවහන්සේ විසින් යමක් කටයුතු නම් එය කරණු මැනවැ”යි මෙසේ සැළ කරන්නේ ය. ඉක්බිති දෙවෙනි පුරුෂයෙක් දකුණු දිග සිට එයි….. ඉක්බිති තෙවෙනි පුරුෂයෙක් පැසුළු දිග සිට එයි …. ඉක්බිති ඇදහිය යුතු පිළිගත හැකි වචන ඇති සිව්වැනි පුරුෂයෙක් උතුරු දිග සිට එයි. හෙ තෙමේ තොප වෙත එළඹ “දේවයන් වහන්ස, දැන වදාළ මැනවි. මම උතුරුදිග සිට එමි. එහි අහස හා සම වූ මහපව්වක් දිටිමි. සියලු සතුන් සුණු කෙරෙමින් එයි. දේවයන් වහන්ස, නුඹවහන්සේ විසින් යමක් කටයුතු නම් එය කරණු මැනවැ”යි මෙසේ සැළ කරන්නේ ය. මහරජ, දරුණු වූ මිනිසුන් නසන මහත් වූ මෙබඳු නපුරු බියක් හටගත් කල්හි දුබල මිනිසත් බැව්හි වූ තොප විසින් කිමෙක් කටයුතු වන්නේ ද?
වහන්ස, දරුණු වූ මිනිසුන් නසන මහත් වූ මෙබඳු නපුරු බියක් හටගත් කල්හි දුබල මිනිසත් බැව්හි ධර්‍මචර්‍ය්‍යාව සමචර්‍ය්‍යාව කුශලක්‍රියාව පුණ්‍යක්‍රියාව හැර අන් කිමෙක් කටයුතු වන්නේ ද.
මහරජ, තොපට කියමි. මහරජ, තොපට දන්වමි. මහරජ, ජරාමරණ දෙක තොප මැඩ ගෙණ සිටී. මහරජ, ජරාමරණ දෙක තොප මැඩ ගෙණ සිටි කල්හි තොප විසින් කිමෙක් කටයුතු වන්නේ ද?
වහන්ස, ජරාමරණ දෙක (අප) මැඩ ගෙණ සිටි කල්හි ධර්‍මචර්‍ය්‍යාව සමචර්‍ය්‍යාව කුසලක්‍රියාව පුණ්‍යක්‍රියාව හැර මාවිසින් අන් කිමෙක් කටයුතු වන්නේ ද.
වහන්ස, ඉසුරුමෙදෙන් මත් වූ කාමයෙහි ගිජුබැවින් මඩනාලද දනව්හි තිරබවට පත් මහත් පොළෝමඬල දිනා අධිපති ව වෙසෙන මුදුන අභිෂේක කළ කැත් රජුන්ගේ යම් ඒ ඇත්යුධ වේ නම් වහන්ස, ජරාමරණදෙක අප (මැඩ) ගෙණ සිටි කල්හි ඒ ඇත් යුදවලට ද වැඩෙක් නැත. සමත්බවෙක් නැත.
වහන්ස, මුදුන අභිෂේක කළ … කැත් රජුන්ගේ යම් ඒ අස්යුද වේ නම් … රථයුද වේ නම් … පාබලයුද වේ නම් වහන්ස, ජරා මරණ දෙක අප මැඩ ගෙණ සිටි කල්හි ඒ පාබළ යුධවලට ද වැඩෙක් නැත. සමත් බවෙක්ද නැත.
වහන්ස, යම් කෙනෙක් ආවා වූ සතුරන් මන්ත්‍රණයෙන් බිඳුවා ලන්නට සමත් වෙත් නම් එබඳු මැති ඇමතිකෙනෙක් මේ රජකුලයෙහි ඇත. වහන්ස, ජරාමරණ දෙක අප මැඩ ගෙණ සිටි කල්හි ඒ මන්ත්‍රයුද්ධයන්ට ද වැඩෙක් නැත. සමත් බවෙක් නැත.
වහන්ස, ආවා වූ සතුරන් ධනයෙන් පොලඹවා ගන්නට යම් ධනයෙකින් අපි සමර්‍ත්‍ථ වමෝ නම් පිහිටියා වූත් අහස සිටියා වූත් එබඳු බොහෝ රන් අමුරන් මේ රදකුලයෙහි ඇත. වහන්ස, ජරාමරණදෙක අප මැඩ ගෙණ සිටි කල්හි ඒ ධනයුද්ධයන්ට ද වැඩෙක් නැත. සමත් බවෙක් නැත.
වහන්ස, ජරාමරණ දෙක මා මැඩ ගෙණ සිටි කල්හි ධර්‍මචර්‍ය්‍යාව, සමචර්‍ය්‍යාව, කුශලක්‍රියාව, පුණ්‍යක්‍රියාව හැර මා විසින් අන් කිමෙක් කටයුතු වන්නේ ද.
මහරජ, තෙල එසේය. මහරජ. තෙල එසේ ය. ජරාමරණදෙක (තොප) මැඩගෙණ සිටි කල්හි ධර්‍මචර්‍ය්‍යාව, සමචර්‍ය්‍යාව, කුශලක්‍රියාව, පුණ්‍යක්‍රියාව හැර තොප විසින් අන් කිමෙක් කටයුතු වන්නේ ද.
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සුගත වූ ශාස්තෘන් වහන්සේ මෙය වදාරා වැලි අන්‍ය වූ තෙල ගාපෙල ද වදාළ සේක:
යම්සේ මහත් වූ ශෛලමය වූ අහස හැපී (සිටි) පර්‍වතයෝ හාත්පස සිවු දිගුන් සුණු කෙරෙමින් පෙරළී එන්නාහු ද,
එසේ ජරාවත් මරණයත් ක්‍ෂත්‍රියයන් ද බ්‍රාහ්මණයන් ද වෛශ්‍යයන් ද ශුද්‍රයන් ද සැඬොල් පුස්සඬු කුලයෙහි වුවන්ද යන සියලු සතුන් යට කෙරෙත්. කිසිවක් අත් නො හරී. සියල්ල ම මඩී.
එහි ඇතුන්ට ද රථයන්ට ද පාබලසෙනඟ ට ද විෂයස්ථාන නො වේ. මන්ත්‍රයුද්ධයෙන් හෝ ධනයෙන් හෝ දනන්නට නො ම හැක්කේ ය.
එහෙයින් ධෛර්‍ය්‍යවත් වූ නුවණැති පුරුෂ තෙමේ තමහට වැඩ දක්නේ බුදුන් කෙරෙහි ද ධර්‍මය කෙරෙහි ද සඞ්ඝයා කෙරෙහි ද ශ්‍රද්ධාව පිහිටුවන්නේ ය.
යමෙක් කයින් ද වචනයෙන් ද යලි සිතින් ද ධර්‍මයෙහි හැසිරෙණ සුලු ද (නුවණැත්තෝ) මෙලොව ම ඔහු පස්සත්. පරලොව ස්වර්‍ගයෙහි සතුටු වෙයි.
කෝසල වර්‍ගය තුන් වැනියි.
එහි උද්දානය:
පුග්ගල, අය්‍යකා, ලෝක, ඉස්සත්‍ථ, පබ්බතූපම සූත්‍රය යන මේ කෝසලපඤ්චකය ශ්‍රේෂ්ඨ වූ බුදුරජානන් වහන්සේ විසින් දේශනා කරණ ලදී.
කෝසලසංයුත්තය නිමියේ ය.
4. මාර සංයුත්තය
1. ආයු වර්‍ගය
4. 1. 1.
තපෝකම්ම සූත්‍රය
137. මා විසින් මෙසේ අසන ලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ බුදුව පළමු කොට උරුවෙල්දනව්වෙහි නේරඤ්ජරා තෙරැ අජපල් නුගරුක්මුල වැඩවසන සේක. එකල්හි එකලා වූ චිත්තවිවේකයෙන් වැඩහුන් භාග්‍යවතුන් වහන්සේට “ඒ දුෂ්කරක්‍රියායෙන් ඒකාන්තයෙන් මිදුනෙම් වෙමි. ඒ නොවැඩ ඇසුරු කළ දුෂ්කරක්‍රියායෙන් ඒකාන්තයෙන් මැනවින් මිදුනෙම් වෙමි. ස්ථිර ව එළඹසිටි සිහි ඇත්තෙම් මැනවින් සත්‍යාවබෝධය කළෙමි” යි මෙබඳු චිත්තවිතර්‍කයෙක් පහළ විය.
ඉක්බිති පවිටු මරු තෙමේ තමසිතින් භාග්‍යවතුන් වහන්සේගේ චිත්තවිතර්‍කය දැන භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් කී ය:
යම් තපසෙකින් මනුෂ්‍යයෝ පිරිසිදු වෙද්ද, ඒ තපස්කර්‍මයෙන් ඉවත් ව අශුද්ධ වූයේ ම ශුද්ධිමාර්‍ගය වැරදවූයේ ශුද්ධි යයි හඟිහි ද,
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ පවිටු මාරයා යි දැන පවිටු මාරයාහට ගාථාවලින් පෙරළා වදාළ සේක:
අමර නම් වූ යම්කිසි තපසෙක් වේ ද, (ඒ සියල්ල) අනර්‍ත්‍ථසංහිත යයි දැන (අත්හළෙමි.) ඒ සියල්ල වැඩ සිදුකරන්නේ නො වේ. (කෙසේ ද? යත්:) මරුකතරෙහි රිටිපලුපත් මෙනි. (මරුකතරෙහි වූ නැවක් රිටිපලුපත් ගෙණ පදවන්නට නො හැක්කාක් මෙනි.)
ශීලය ද සමාධිය ද ප්‍රඥාව ද යන ආර්‍ය්‍යමාර්‍ගය සත්‍යාබෝධය පිණිස වඩමින් පරමශුද්ධියට පැමිණියෙම් වෙමි. මාරය, තෝ නටුයෙහි.
ඉක්බිති පවිටු මරු තෙමේ භාග්‍යවත් තෙමේ මා දනී, සුගත තෙමේ මා දනී යයි දුකට පැමිණියේ නොසතුටු සිත් ඇත්තේ එහි ම අතුරුදහන් වි ය.
4. 1. 2.
නාග සූත්‍රය
138. මා විසින් මෙසේ අසන ලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ බුදු ව පළමු කොට උරුවෙල් දනව්වෙහි නේරඤ්ජරා තෙරැ අජපල් නුගරුක්මුල වැඩවසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ රෑ දැඩිගනඅඳුරෙහි එළිමහනෙක වැඩහුන් සේක. වැස්ස ද එක්එක් පොද හෙළයි.