Saṁyutta Nikāya

Connected Discourses

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-30 · 15083 segments

පෙන්වන කොටස් 13801-13900 න් 15083

අයොගුළ සූත්‍රය
3144. එකල්හි ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස් ව හුන්හ. එකත්පස් ව හුන් ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළහ: “වහන්ස, භාග්‍යවතුන් වහන්සේ ඍද්ධියෙන් මනෝමයකයින් බඹලොවට එළඹිසේක් දැන වදාරන සේක් දැ”යි. ආනන්‍ද, මම ඍද්ධියෙන් මනෝමයකයින් බඹලොවට එළඹියෙම් දනිමි යි. “වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මේ චාතුම්මහාභූතික කයින් ඍද්ධියෙන් බඹලොවට එළඹෙන්නට හැකිසේක් දැ”යි. ආනන්‍ද, මම මේ චාතුම්මහාභූතික කයින් ඍද්ධියෙන් බඹලොවට එළඹෙන්නට හැකි වෙමි යි. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ ඍද්ධියෙන් මනෝමයකයින් බඹලොවට එළඹෙන්නට හැකි සේක: වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මේ චාතුම්මහාභූතික කයින් ඍද්ධියෙන් බඹලොවට එළඹියේක් දතිමි යි. වහන්ස, ඒ මෙය භාග්‍යවතුන් වහන්සේගේ ඇසිරියෙක්ද පුදුමයෙක්ද වේ යි.
ආනන්‍ද තථාගතයෝ අසිරි වූවාහුත් අසිරි දහමින් යුතු වූවාහුත් වෙති. ආනන්‍ද, තථාගතයෝ පුදුම වූවාහුත් පුදුම දහමින් යුතු වූවාහුත් වෙති. ආනන්‍ද, යම් සමයක තථාගත තෙමේ කයත් සිතෙහි නඟා ද, සිතත් කයෙහි නඟා ද, සුඛසංඥාවත් ලඝුසංඥාවත් කයෙහි බහා වෙසේ ද, ආනන්‍ද, එසමයෙහි තථාගතයන්ගේ කය ඉතා සැහැල්ලුත් ඉතා මෘදුත් ඉතා කර්‍මණ්‍යත් ඉතා බබළනසුලුත් වෙයි. ආනන්‍ද, දවසක් මුළුල්ලෙහි තැවුණු යවටෙක් යම්සේ ඉතා සැහැල්ලුත් ඉතා මෘදුත් ඉතා කර්‍මණ්‍යත් ඉතා ප්‍රභාස්වරත් වේ ද, ආනන්‍ද, එසෙයින් ම තථාගතතෙමේ යම් සමයක කයත් සිතෙහි නඟා ද, සිතත් කයෙහි නඟා ද, සුඛසංඥාවත් ලඝුසංඥාවත් කයෙහි බහා වෙසේ ද, ආනන්‍ද, එසමයෙහි තථාගතයන්ගේ කය ඉතා ලඝුත් ඉතා මෘදුත් ඉතා කර්‍මණ්‍යත් ඉතා ප්‍රභාස්වරත් වේ.
ආනන්‍ද, යම් කලෙක තථාගත තෙමේ කයත් සිතෙහි නඟා ද, සිතත් කයෙහි නඟා ද, සුඛසංඥාවත් ලඝුසංඥාවත් කයෙහි බහා වෙසේ ද, ආනන්‍ද, එකල්හි තථාගතයන්ගේ කය නිතැතින් ම පොළොවෙන් අහසට නඟී. හේ නන් වැදෑරුම් ඉදු කොටස් විඳී. එකෙක් ව ද බොහෝ අයුරු වේ. ... බඹලොව තෙක් දු කයෙන් වසයෙහි පවත්වයි. ආනන්‍ද, යම්සේ හිඹුල්පුලුන් හෝ කපුපුලුන් හෝ සැහැල්ලු වූයේ වාතය විසින් ගන්නා ලද්දේ නිතැතින් ම පොළොවෙන් අහසට නඟි යි. ආනන්‍ද, එසෙයින් ම යම් සමයෙක තථාගත තෙමේ කයත් සිතෙහි නඟා ද, සිතත් කයෙහි නඟා ද, සුඛසංඥාවත් ලඝුසංඥාවත් කයෙහි බහා වෙසේ ද, ආනන්‍ද, එසමයෙහි තථාගතයන්ගේ කය නිතැතින් ම පොළොවෙන් අහසට නඟී. හේ නන්වැදෑරුම් ඉදුකොටස් විඳී. එකෙක් ව ද බොහෝ අයුරු වේ ... බඹලොව තෙක්දු කයෙන් වසයෙහි පවත්වා යි.
7. 3. 3.
භික්ඛු සූත්‍රය
3145. මහණෙනි, මේ ඉද්ධිපාද සතරෙකි. කවර සතරෙක්ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ ඡන්‍දසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය වඩයි. විරියසමාධි ... චිත්තසමාධි ... වීමංසාසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය වඩයි. මහණෙනි, මේ ඉද්ධිපාද සතර යි. මහණෙනි, මේ සිවු ඉදුපා වැඩූ බැවින් බහුල කළ බැවින් මහණ ආස්‍රවයන් ක්‍ෂය කිරීමෙන් අනාස්‍රව වූ ඵලසමාධියත් ඵලප්‍රඥාවත් දිටුදැමියෙහි ම තෙමේ වෙසෙසින් දැන පසක් කොට එයට පැමිණ වෙසේ යි.
7. 3. 4.
සුද්ධක සූත්‍රය
3146. මහණෙනි, මේ ඉද්ධිපාද සතරෙකි. කවර සතරෙක් ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ ඡන්‍දසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය වඩයි. විරියසමාධි ... චිත්තසමාධි ... වීමංසාසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය වඩයි. මහණෙනි, මේ සිවු ඉදුපා යි.
7. 3. 5.
ඵල සූත්‍රය
3147. මහණෙනි, මේ ඉදුපා සතරෙකි. කවර සතරෙක් ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ ඡන්‍දසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය වඩයි. විරියසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය වඩයි. චිත්තසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය වඩයි. වීමංසාසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය වඩයි. මහණෙනි, මේ සිවු ඉදුපා යි. මහණෙනි, මේ සතර ඉද්ධිපාද වැඩූ බැවින් බහුල කළ බැවින් ඵලද්වය අතුරෙන් එක්තරා ඵලයක් කැමති විය යුතු. දිටුදැමියෙහි ම රහත් බව හෝ උපාදානසේස ව ඇති කල්හි අනගැමි බව හෝ යි.
7. 3. 6.
දුතියඵල සූත්‍රය
3148. මහණෙනි, මේ ඉදුපා සතරෙකි. කවර සතරෙක් ද යත්: මහණෙනි, මෙහි මහණ ඡන්‍දසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය වඩයි. විරියසමාධි ... චිත්තසමාධි ... වීමංසාසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය වඩයි. මහණෙනි, මේ සතර ඉද්ධිපාද යි.
මහණෙනි, මේ සතර ඉද්ධිපාද වැඩූ බැවින් බහුල කළ බැවින් සත් ඵල කෙනෙක් සත් අනුසස් කෙනෙක් කැමති විය යුතු. කවර සත් ඵල කෙනෙක් සත් අනුසස් කෙනෙක් ද යත්: දිටුදැමියෙහි ම පෙරාතු ව රහත් බව ලබයි. ඉදින් දිටුදැමියෙහි ම පෙරාතු ව රහත් බව නො ලබා නම් එකල්හි මරණසමයෙහි රහත් බව ලබයි. ඉදින් දිටුදැමියෙහි ම පෙරාතු ව රහත් බව නො ලබා නම් ඉදින් මැරෙන කල්හි රහත් බව නො ලබා නම් එකල්හි පස් ඕරම්භාගිය සංයෝජනයන් ක්‍ෂය කිරීමෙන් අතර කෙලෙස් පිරිනිවෙනින් පිරිනිවෙනසුලු වේ. (ආයුමැද ඉක්මවා) ආයුකෙළවරට ළං ව කෙලෙස්පිරිනිවෙනින් පිරිනිවෙනසුලු වෙයි. පියෝ නැති ව කෙලෙස්පිරිනිවෙනින් පිරිනිවෙනසුලු වෙයි. පියෝ ඇති ව කෙලෙස් පිරිනිවෙනින් පිරිනිවෙනසුලු වෙයි. අකනිට්ඨගාමී උද්ධංසෝත වෙයි. මහණෙනි, මේ සිවු ඉදුපා වැඩූ බැවින් බහුල කළ බැවින් මේ සත්පල සත් අනුසස් කැමති විය යුතු යි.
7. 3. 7.
ආනන්‍ද සූත්‍රය
3149. එකල්හි ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ ... එකත්පස් ව හුන් ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළහ: “වහන්ස, ඉද්ධි කවරේ ද ඉද්ධිපාද කවරේ ද ඉද්ධිපාදභාවනා කවරේ ද ඉද්ධිපාදභාවනාගාමිනීපටිපදා කවරේ දැ”යි.
ආනන්‍ද, මෙහි මහණ නන් වැදෑරුම් ඉදුකොටස් විඳියි: “එකෙක් ව ද බොහෝ අයුරු වේ ... බඹලොව තෙක් දු කයින් වසයෙහි පවත්වයි”. ආනන්‍ද, මේ ඉදු යි කියනු ලැබේ. ආනන්‍ද, ඉදුපා කවරේ ද යත්: ආනන්‍ද, යම් මඟෙක් යම් පිළිවෙතෙක් ඉදු ලැබුම ඉදු පිළිලැබුම පිණිස පවතී නම් ආනන්‍ද, මේ ඉදුපා යි කියනු ලැබේ. ආනන්‍ද, ඉදුපා වැඩුම කවරේද යත්: ආනන්‍ද, මෙහි මහණ ඡන්‍දසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය වඩයි. විරියසමාධි ... චිත්තසමාධි ... වීමංසාසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය වඩයි. ආනන්‍ද, මේ ඉදුපා වැඩුමැ යි කියනු ලැබේ. ආනන්‍ද, ඉදුපා වැඩුමට පමුණුවන පිළිවෙත කවරේ ද යත්: මේ අරිඅටඟි මඟ මැ යි. එනම්: සම්මාදිට්ඨි ... සම්මාසමාධි යි. ආනන්‍ද, මේ ඉදුපා වැඩුමට පමුණුවන පිළිවෙතැයි කියනු ලැබේ යි.
7. 3. 8.
දුතිය ආනන්‍ද සූත්‍රය
3150. එකත්පස් ව හුන් ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවන්ට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක: “ආනන්‍ද, ඉදු කවරේ ද, ඉදුපා කවරේ ද, ඉදුපා වැඩුම කවරේ ද, ඉදුපා වැඩුමට පමුණුවන පිළිවෙත කවරේ ද”යි. වහන්ස, අපගේ දහම්හු භගවත්හු මුල් කොට ඇතියහ ... ආනන්‍ද, මෙහි මහණ නන් වැදෑරුම් ඉදුකොටස් විඳියි ... ආනන්‍ද, මේ ඉදුපා වැඩුමට පමුණුවන පිළිවෙතැ යි කියනු ලැබේ යි.
7. 3. 9.
සම්බහුලභික්ඛු සූත්‍රය
3151. එකල්හි බොහෝ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ ... එකත් පස් ව හුන් ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළහ: “වහන්ස, ඉදු කවරේ ද, ඉදුපා කවරේ ද, ඉදුපා වැඩුම කවරේ ද, ඉදුපා වැඩුමට පමුණුවන පිළිවෙත කවරේ දැ”යි. මහණෙනි, මෙහි මහණ නන් වැදෑරුම් ඉදුකොටස් විඳී: එකෙක් ව ද බොහෝ අයුරු වේ ... මහණෙනි, මේ ඉදුපා වැඩුමට පමුණුවන පිළිවෙතැ යි කියනු ලැබේ යි.
7. 3. 10.
දුතියසම්බහුලභික්ඛු සූත්‍රය
3152. එකල්හි බොහෝ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ ... එකත්පසෙක හුන් ඒ භික්‍ෂූන්ට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක: “මහණෙනි, ඉදු කවරේ ද, ඉදුපා කවරේ ද, ඉදුපා වැඩුම කවරේ ද, ඉදුපා වැඩුමට පමුණුවන පිළිවෙත කවරේ දැ”යි. වහන්ස, අපගේ දහම්හු භගවත්හු මුල් කොට ඇතියහ ...
මහණෙනි, ඉදු කවරේ ද යත්: මහණෙනි, මෙහි මහණ නන්වැදෑරුම් ඉදු කොටස් විඳී. එකෙක් ව ද බොහෝ අයුරු වේ ... බඹලොව තෙක් දු කයෙන් වසයෙහි පවත්වයි. මහණෙනි, මේ ඉදු යි කියනු ලැබේ. මහණෙනි, ඉදුපා කවරේ ද යත්: මහණෙනි, යම් මඟෙක් යම් පිළිවෙතෙක් ඉදු ලැබුම ඉදු පිළිලැබුම පිණිස පවතී ද, මහණෙනි, මේ ඉදුපා යි කියනු ලැබේ. මහණෙනි, ඉදුපා වැඩුම කවරේ ද යත්: මහණෙනි, මෙහි මහණ ඡන්‍දසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය වඩයි. විරියසමාධි … චිත්තසමාධි … වීමංසාසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය වඩයි. මහණෙනි, මේ ඉදුපා වැඩුමැ යි කියනු ලැබේ. මහණෙනි, ඉදුපා වැඩුමට පමුණුවන පිළිවෙත කවරේ ද යත්: මේ අරීඅටඟිමගමැ යි. එනම්: සම්මාදිට්ඨි … සම්මාසමාධි යි. මහණෙනි, මේ ඉදුපා වැඩුමට පමුණුවන පිළිවෙතැ යි කියනු ලැබේ යි.
7. 3. 11.
මොග්ගල්ලාන සූත්‍රය
3153. මහණෙනි, ඒ කිමැයි හඟිවු ද? කවර දහම් වැඩූ බැවින් බහුල කළ බැවින් මුගලන් මහණ මෙබඳු මහත් ඍද්ධි ඇත්තේ මෙබඳු අනුභාව ඇත්තේ දැ යි. වහන්ස, අපගේ දහම්හු භගවත්හු මුල් කොට ඇතියහ. ... මහණෙනි, සිවු ඉදුපා වැඩූ බැවින් බහුල කළ බැවින් මුගලන් මහණ මෙබඳු මහත් ඍද්ධි ඇත්තේ මෙබඳු මහත් අනුභාව ඇත්තේ ය. කවර සිවු ඉදුපා ද යත්: මහණෙනි, මෙහි මුගලන් මහණ ඡන්‍දසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය වඩයි. මෙසේ මාගේ ඡන්‍දය ඉතා සැඟවුණේ නො ද වන්නේය ... බැබළුම් සහිත සිත වඩයි. විරියසමාධි ... චිත්තසමාධි ... වීමංසාසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය වඩයි. මෙසේ මාගේ වීමංසාව ඉතා සැඟවුණේ නො ද වන්නේය. ඉතා දැඩි කොට ගන්නා ලද්දේ නො ද වන්නේ ය ... මෙසේ විවෘත වූ හාත්පසින් නො බැඳුණු සිතින් බැබළුම් සහිත සිත වඩයි. මහණෙනි, මේ සිවු ඉදුපා වැඩූ බැවින් බහුල කළ බැවින් මුගලන් මහණ මෙබඳු මහත් ඍද්ධි ඇත්තේ ය. මෙබඳු මහත් අනුභාව ඇත්තේ ය.
මහණෙනි, මේ සිවු ඉදුපා ම වැඩූ බැවින් බහුල කළ බැවින් මුගලන් මහණ මෙසේ නන් වැදෑරුම් ඉදු කොටස් විඳී: “එකෙක් ව ද බොහෝ අයුරු වේ ... බඹලොව තෙක් දු කයින් වයයෙහි පවත්ව”යි. මහණෙනි, මේ සිවු ඉදුපා ම වැඩූ බැවින් බහුල කළ බැවින් මුගලන් මහණ ආස්‍රව ක්‍ෂය කිරීමෙන් අනාස්‍රව වූ ඵලසමාධියත් ඵලප්‍රඥාවත් දිටුදැමියෙහි ම තෙමේ වෙසෙසින් දැන පසක් කොට එයට පැමිණ වෙසේ යි.
7. 3. 12.
තථාගත සූත්‍රය
3154. මහණෙනි, ඒ කිමැ යි හඟිවු ද? කවර දහම් වැඩූ බැවින් බහුල කළ බැවින් තථාගත තෙමේ මෙබඳු මහත් ඍද්ධි ඇත්තේ මෙබඳු අනුභාව ඇත්තේ දැ යි. වහන්ස, අපගේ දහම් භගවත්හු මුල් කොට ඇතියහ ... මහණෙනි, සිවු ඉදුපා වැඩූ බැවින් බහුල කළ බැවින් තථාගත තෙමේ මෙබඳු මහත් ඍද්ධි ඇත්තේ මෙබඳු අනුභාව ඇත්තේ ය. කවර සිවු ඉදුපා ද යත්: මහණෙනි, මෙහි තථාගත තෙමේ ඡන්‍දසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය වඩයි. මෙසේ මාගේ ඡන්‍දය ඉතා හැකුළුණේ නො ද වන්නේ ය. ඉතා දැඩි කොට ගන්නා ලද්දේ නො ද වන්නේ ය ... මෙසේ විවෘත වූ හාත්පසින් නොබැඳුණු සිතින් බැබළුම් සහිත සිත වඩයි. විරියසමාධි ... චිත්තසමාධි ... වීමංසාසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය වඩයි. මෙසේ මාගේ වීමංසාව ඉතා සැඟවුණේ නො ද වන්නේය. ඉතා දැඩි කොට ගන්නා ලද්දේ නො ද වන්නේ ය. ඇතුළත හැකුළුණේ නො ද වන්නේ ය. පිටත විසුරුණේ නො ද වන්නේ ය
“පෙර යම්සේ නම් පසුත් එබඳු ය. පසු යම්සේ නම් පෙරත් එබඳු ය. යට යම්සේ නම් උඩත් එබඳු ය. උඩ යම්සේ නම් යටත් එබඳු ය. දහවල් යම්සේ නම් රෑත් එබඳු ය. රෑ යම්සේ නම් දහවලුත් එබඳු ය”යි පසු පෙර හැඟීම් ඇත්තේ ද වෙසේ.
මෙසේ විවෘත වූ හාත්පසින් නොබැඳුණු සිතින් බැබළුම් සහිත සිත වඩයි.
මහණෙනි, මේ සිවු ඉදුපා වැඩූ බැවින් බහුල කළ බැවින් තථාගත තෙමේ මෙබඳු මහත් ඍද්ධි ඇත්තේ මෙබඳු අනුභාව ඇත්තේ ය. මහණෙනි, මේ සිවු ඉදුපා ම වැඩූ බැවින් බහුල කළ බැවින් තථාගත තෙමේ නන් වැදෑරුම් ඉදු කොටස් විඳී: එකෙක් ව ද බොහෝ අයුරු වේ ... බඹලොව තෙක් දු කයින් වසයෙහි පවත්වයි. මහණෙනි, මේ සිවු ඉදුපා ම වැඩූ බැවින් බහුල කළ බැවින් තථාගත තෙමේ ආස්‍රවයන් ක්‍ෂය කිරීමෙන් අනාස්‍රව වූ ඵලසමාධියත් ඵලප්‍රඥාවත් ඉහාත්මයෙහි ම තෙමේ වෙසෙසින් දැන පසක් කොට එයට පැමිණ වෙසේ යි.
(ෂඩභිඥා විතර කටයුතු.)
තෙවැනි අයෝගුළවර්‍ග යි.
එහි සූත්‍රනාමාවලිය:
මග්ග, අයොගුළ, භික්ඛු, සුද්ධක යි සූත්‍ර සතරෙකි. ඵලසූත්‍ර දෙකෙකි. ආනන්‍ද නමින් ද දෙකෙක් කියන ලදී, සම්බහුලභික්ඛු සූත්‍ර ද දෙකෙකි. එකොළොස්වැන්න මොග්ගල්ලාන ය, දොළොස් වන්න තථාගත ය යි සූත්‍ර මුළුල්ල දොළොසෙකි.
4. ගඞ්ගාපෙය්‍යාල වර්‍ගය
7. 4. 1-48.
පාචීනනින්නාදි සූත්‍ර
3155-3202. මහණෙනි, යම්සේ ගඞ්ගා නදී තොමෝ පැදුන්දිගට නැමුණි පැදුන්දිගට නැඹුරු වූවා පැදුන්දිගට බර වූවා වේ ද ... නිවනට බර වූයේ වේ යි.
(ඉද්ධිපාද විසින් විතර කටයුතු)
සිවුවැනි ගඞ්ගාපෙය්‍යාලවර්‍ග යි.
එහි සූත්‍රනාමමාලාව:
පාචීනනින්නචතුෂ්ක සයෙකි. සමුද්දනින්න චතුෂ්ක ද සයෙකි. මේ ෂට්කදෙක දොළසෙක් වේ. එයින් වර්‍ග යි කියනු ලැබේ. සූත්‍ර මුළුල්ල අටසාළිසෙකි.
5. අප්පමාද වර්‍ගය
7. 5. 1-40.
තථාගතාදි සූත්‍ර
3203-3242. මහණෙනි, අපා වූ ද දෙපා වූ ද සිවුපා වූ ද බහුපා වූ ද යම් තාක් සත්‍වයෝ වෙත් ද ... බහුල කෙරේ යි.
පස්වැනි අප්පමාදවර්‍ග යි.
එහි සූත්‍ර නාමාවලිය:
තථාගත, පද, කූට, මූල, සාර, වස්සික, රාජ, චන්‍දිම, සුරිය, වත්‍ථ යි චතුෂ්කදශයෙකි, සාලිස්සුතුරෙකි.
6. බලකරණීය වර්‍ගය
7. 6. 1-48.
බලාදි සූත්‍ර
3243-3290. මහණෙනි, යම්සේ යම් කිසි බලකරණිය කර්‍මාන්තයෝ කරනු ලැබෙත් ද ... බහුල කෙරෙයි.
සවැනි බලකරණීය වර්‍ග යි.
එහි සූත්‍ර නාමාවලිය:
බල, බීජ, නාග, රුක්ඛ, කුම්භ, සූක, ආකාස යි චතුෂ්ක සතෙකි. මේඝචතුෂ්ක දෙකෙකි. නාවා, ආගන්තුක, නදී යි චතුෂ්ක තුනෙකි. මුළුල්ල දොළොසෙකි. සුතුරු අටසාලිසෙකි.
7. ඒසනා වර්‍ගය
7. 7. 1-160.
එසනාදි සූත්‍ර
3291-3450. මහණෙනි, මේ ඒසනා තුනෙකි, කවර තුනෙක් ද යත්: ... වැඩිය යුතුයි.
(විවෙක නිස්සිතාදි විසිනුදු පරිඤ්ඤා අභිඤ්ඤා පරික්ඛය පහාන විසිනුදු එකෙක සොළොස සොළොස කොට එක්සිය සැට සූත්‍රාන්ත කෙනෙක් විතර කටයුතු.)
සත්වැනි ඒසනාවර්‍ග යි.
එහි සූත්‍රනාමාවලිය:
ඒසනා, විධා, ආසව, භව, දුක්ඛතා, ඛීල, මල, නීඝ, වේදනා, තණ්හා යි ෂෝඩශක දශයෙකි. එක්සිය සැටසුතුරෙකි.
8. ඕඝ වර්‍ගය
7. 8. 1-159.
ඕඝාදි සූත්‍ර
3451-3609. මහණෙනි, මේ ඕඝ සතරෙකි. කවර සතරෙක් ද යත්: කාමෝඝ භවොඝ දිට්ඨොඝ අවිජ්ජොඝ යි ... වැඩිය යුතු යි ...
(කී නයින් ම විතර කටයුතු.)
7. 8. 160.
උද්ධම්භාගිය සූත්‍රය
3610. මහණෙනි, මේ උද්ධම්භාගිය සංයෝජන පසෙකි, කවර පසෙක්ද යත්: රූපරාග අරූපරාග මාන උද්ධච්ච අවිජ්ජා යි. මහණෙනි, මොහු පස් උද්ධම්භාගිය සංයෝජනයෝ යි. මහණෙනි, මේ පස් උද්ධම්භාගිය සංයෝජනයන් ප්‍රහාණය පිණිස සිවු ඉදුපා වැඩියයුතු. කවර සිවු ඉදුපාද යත්: මහණෙනි, මෙහි මහණ ඡන්‍දසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය වඩයි. විරියසමාධි ... චිත්තසමාධි ... වීමංසාසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය වඩයි. මහණෙනි, මේ පස් උද්ධම්භාගිය සංයෝජනයන් පහනු පිණිස මේ සිවු ඉදුපා වැඩියයුතු යි.
අටවැනි ඕඝවර්‍ග යි.
එහි සූත්‍රනාමාවලිය:
ඕඝ, යෝග, උපාදාන, ගන්‍ථ, අනුසය, කාමගුණ, නීවරණ, ඛන්‍ධ, ඕරම්භාගිය, උද්ධම්භාගිය යි ෂෝඩශක දශයෙකි. සුතුරු එක්සියසැටෙකි.
ඉද්ධිපාදසංයුත්තය නිමියේය.
එහි වර්‍ගනාමාවලිය:
චාපාල, පාසාදකම්පන, අයොගුළ යන මොහු ගඞ්ගාපෙය්‍යාල ආදි පස සමග ඉද්ධිපාද සංයුත්තයෙහි වර්‍ග අටෙක් වේ.
8. අනුරුද්ධ සංයුත්තය
1. රහෝගත වර්‍ගය
8. 1. 1.
රහෝගත සූත්‍රය
3611. එක්කලෙක ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ සැවත සමීපයෙහි අනේපිඬුසිටුහුගේ දෙව්රම්හි වැඩවෙසෙති. එකල්හි රහෝගතව එකලාව සිටි ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවන්ට මෙබඳු චිත්තවිතර්‍කයෙක් පහළ විය: “යම් කෙනකුන් විසින්, සිවු සීවටන් වරදවන ලද ද, මැනවින් දුක් ගෙවීමට පමුණුවන අරිමග ඔවුන් විසින් වරදවන ලදී. යම් කෙනකුන් විසින්, සිවු සීවටන් අරඹන ලද ද මැනවින් දුක් ගෙවීමට පමුණුවන අරිමග ඔවුන් විසින් අරඹන ලදී”යි.
එකල්හි ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවන්ගේ චිත්තවිතර්‍කයෙක් සිය සිතින් දැන යම්සේ බලවත් පුරුෂයෙක් හැකුළු අතක් දිගු කරන්නේ හෝ දිගු කළ අතක් හකුළුවන්නේ හෝ වේ ද, එසෙයින් ම ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවන් ඉදිරියෙහි පහළවූහ. එකල්හි ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවන්ට මෙය වදාළහ: “ඇවැත්නි අනුරුද්ධයෙනි, කෙතෙකින් මහණහුගේ සිවු සීවටන් පිරිපුන් වේ දැ”යි. ඇවැත්නි, මෙසසුන්හි මහණ සිය කයෙහිත් හටගැනුම් ස්වභාව අනුව දක්නාසුලුව කෙලෙස් තවන වැර ඇතිව මනාදැනුම් ඇතිව සිහි ඇති ව කායලෝකයෙහි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසේ. සිය කයෙහි වැනසුම් ස්වභාව අනු ව දක්නාසුලු ව ... වෙසේ. සිය කයෙහි හටගැනුම් වැනසුම් ස්වභාව අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇතිව මනා දැනුම් ඇති ව සිහි ඇති ව කායලෝකයෙහි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසේ. මෙරමා කයෙහි හටගැනුම් ස්වභාව අනු ව දක්නාසුලු ව ... වෙසේ. මෙරමා කයෙහි වැනසුම් ස්වභාව අනු ව දක්නාසුලු ව ... වෙසේ. මෙරමා කයෙහි හටගැනුම් වැනසුම් ස්වභාව අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනාදැනුම් ඇති ව සිහි ඇති ව කායලෝකයෙහි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසේ. තමාගේ හා මෙරමාගේ කයෙහි හටගැනුම් ස්වභාව අනු ව දක්නාසුලු ව ... වෙසේ. තමාගේ හා මෙරමාගේ කයෙහි වැනසුම් ස්වභාව අනු ව දක්නාසුලු ව ... වෙසේ. තමාගේ හා මෙරමාගේ කයෙහි හටගැනුම් වැනසුම් ස්වභාව අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනාදැනුම් ඇති ව සිහි ඇති ව කායලෝකයෙහි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසේ.
ඉදින් හේ නොපිළිකුල් අරමුණෙහි පිළිකුල් හැඟීම් ඇති ව වසන්නෙමි යි කැමති වේ නම් එහි පිළිකුල් හැඟීම් ඇති ව වෙසේ. ඉදින් පිළිකුල් අරමුණෙහි නොපිළිකුල් හැඟීම් ඇති ව වසන්නෙමි යි කැමති වේ නම් එහි නොපිළිකුල් හැඟීම් ඇති ව වෙසේ. ඉදින් නොපිළිකුලෙහි ද පිළිකුලෙහි ද පිළිකුල් හැඟීම් ඇති ව වසන්නෙමි යි කැමති වේ නම් එහි පිළිකුල් හැඟීම් ඇති ව වෙසේ. ඉදින් පිළිකුලෙහි ද නොපිළිකුලෙහි ද නොපිළිකුල් හැඟීම් ඇති ව වසන්නෙමි යි කැමති වේ නම් එහි නොපිළිකුල් හැඟීම් ඇති ව වෙසේ. ඉදින් පිළිකුලත් නොපිළිකුලත් යන දෙක දුරු කොට මැදහත් ව සිහි ඇතිව මනාදැනුම් ඇති ව වසන්නෙමි යි කැමති වේ නම් එහි මැදහත් ව සිහි ඇති ව මනාදැනුම් ඇති ව වෙසේ.
සිය විඳුම්හි හටගැනුම් ස්වභාව අනු ව දක්නාසුලුව … වෙසේ. සිය විඳුම්හි වැනසුම් ස්වභාව අනු ව දක්නාසුලු ව ... වෙසේ. සිය විඳුම්හි හටගැනුම් වැනසුම් ස්වභාව අනු ව දක්නාසුලු ව ... වෙසේ. මෙරමා විඳුම්හි හටගැනුම් ස්වභාව අනු ව දක්නාසුලු ව ... වෙසේ. මෙරමා විඳුම්හි වැනසුම් ස්වභාව අනු ව දක්නාසුලු ව ... වෙසේ. මෙරමා විඳුම්හි හටගැනුම් වැනසුම් ස්වභාව අනු ව දක්නාසුලු ව ... වෙසේ. සියමෙරමා විඳුම්හි හටගැනුම් ස්වභාව අනු ව දක්නාසුලු ව ... වෙසේ. සියමෙරමා විඳුම්හි වැනසුම් ස්වභාව අනු ව දක්නාසුලු ව ... වෙසේ. සිය මෙරමා විඳුම්හි හටගැනුම් වැනසුම් ස්වභාව අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වෙර ඇති ව මනාදැනුම් ඇති ව සිහි ඇති ව විඳුම්ලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසේ. ඉදින් හෙතෙමේ ... කැමති වේ නම් එහි මැදහත් ව සිහි ඇති ව මනාදැනුම් ඇති ව වෙසේ.
සියසිත්හි හටගැනුම් ස්වභාව අනු ව දක්නාසුලුව … වෙසේ. සිය සිත්හි වැනසුම් ස්වභාව අනු ව දක්නාසුලු ව ... වෙසේ. සියසිත්හි හටගැනුම් වැනසුම් ස්වභාව අනු ව දක්නාසුලු ව ... වෙසේ. මෙරමා සිත්හි හටගැනුම් ස්වභාව අනු ව දක්නාසුලු ව ... වෙසේ. මෙරමා සිත්හි වැනසුම් ස්වභාව අනු ව දක්නාසුලු ව ... වෙසේ. මෙරමා සිත්හි හටගැනුම් වැනසුම් ස්වභාව අනු ව දක්නාසුලු ව ... වෙසේ. සියමෙරමා සිත්හි හටගැනුම් ස්වභාව අනු ව දක්නාසුලු ව ... වෙසේ. සියමෙරමා සිත්හි වැනසුම් ස්වභාව අනු ව දක්නාසුලු ව ... වෙසේ. සිය මෙරමා සිත්හි හටගැනුම් වැනසුම් ස්වභාව අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනාදැනුම් ඇති ව සිහි ඇති ව සිත් ලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසේ. හේ ඉදින් ... කැමති වේ නම් එහි මැදහත් ව සිහි ඇති ව මනාදැනුම් ඇති ව වෙසේ.
සිය නීවරණාදි දහම්හි හටගැනුම් ස්වභාව අනුව දක්නාසුලු ව … වෙසේ. සියදහම්හි වැනසුම් ස්වභාව අනු ව දක්නාසුලු ව ... වෙසේ. සිය දහම්හි හටගැනුම් වැනසුම් ස්වභාව අනු ව දක්නාසුලු ව ... වෙසේ. මෙරමා ගේ (නීවරණාදි) දහම්හි හටගැනුම් ස්වභාව අනු ව දක්නාසුලු ව … වෙසේ. මෙරමාදහම්හි වැනසුම් ස්වභාව අනු ව දක්නාසුලු ව ... වෙසේ. මෙරමා දහම්හි හටගැනුම් වැනසුම් ස්වභාව අනු ව දක්නාසුලු ව ... වෙසේ. සියමෙරමා දහම්හි හටගැනුම් ස්වභාව අනු ව දක්නාසුලුව … වෙසේ. සිය මෙරමා දහම්හි වැනසුම් ස්වභාව අනු ව දක්නාසුලු ව ... වෙසේ. සියමෙරමා දහම්හි හටගැනුම් වැනසුම් ස්වභාව අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව දහම් ලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසේ.
හෙතෙමේ ඉදින් නොපිළිකුලෙහි පිළිකුල් හැඟීම ඇති ව වෙසෙන්නෙමි යි කැමති වේ නම් එහි පිළිකුල් හැඟීම් ඇති ව වෙසේ. ඉදින් පිළිකුලෙහි නොපිළිකුල් හැඟීම් ඇති ව වෙසෙන්නෙමියි කැමති වේ නම් එහි නොපිළිකුල් හැඟීම් ඇති ව වෙසේ. ඉදින් නොපිළිකුලෙහිත් පිළිකුලෙහිත් පිළිකුල් හැඟීම් ඇති ව වෙසෙන්නෙමියි කැමති වේ නම් ඵහි පිළිකුල් හැඟීම් ඇති ව වෙසේ. ඉදින් පිළිකුලෙහිත් නොපිළිකුලෙහිත් නොපිළිකුල් හැඟීම් ඇති ව වෙසෙන්නෙමියි කැමති වේ නම් එහි නොපිළිකුල් හැඟීම් ඇති ව වෙසේ. ඉදින් නොපිළිකුලත් පිළිකුලත් යන එදෙක දුරු කොට මැදහත් ව සිහි ඇති ව මනා දැනුම් ඇති ව වෙසෙන්නෙමියි කැමති වේ නම් එහි මැදහත් ව සිහි ඇතිව වෙසේ. ඇවැත්නි, මහණහුගේ සිවු සීවටන්හු මෙතෙකින් පිරිපුන් වෙති යි.