Saṁyutta Nikāya

Connected Discourses

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-30 · 15083 segments

පෙන්වන කොටස් 13601-13700 න් 15083

2780. මහණෙනි, මේ උද්ධම්භාගිය සංයෝජන පසෙකි. කවර පසෙක් ද යත්: රූපරාග අරූපරාග මාන උද්ධච්ච අවිජ්ජා යි. මහණෙනි, මොහු පස් උද්ධම්භාගිය සංයෝජනයෝ යි. මහණෙනි, මේ පස් උද්ධම්භාගිය සංයෝජනයන් වෙසෙසින් දැනුම පිණිස පස්බල වැඩියයුතු. කවර පසෙක් ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමි කොට සද්ධාබලය වඩයි. විරියබලය ... සතිබලය ... සමාධිබලය ... විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමි කොට පඤ්ඤාබලය වඩයි. මහණෙනි, මේ පස් උද්ධම්භාගිය සංයෝජනයන් වෙසෙසින් දැනුම පිණිස මේ පස්බල වැඩියයුතු යි.
පස්වැනි ඕඝවර්‍ග යි.
එහි සූත්‍රනාමාවලිය:
ඕඝ, යෝග, උපාදාන, ගන්‍ථ, අනුසය, කාමගුණ, නීවරණ, ඛන්‍ධ, ඕරම්භාගිය, උද්ධම්භාගිය යී චතුෂ්ක දශයෙකි. සාලිස් සුතුරෙකි යි.
6. පුනගඞ්ගාපෙය්‍යාල වර්‍ගය
6. 6. 1-36.
පාචීනනින්නාදි සූත්‍රය
2781-2816. මහණෙනි, යම්සේ ගඞ්ගානදී තොමෝ පෙරදිගට නැමුණි ... නිවනට බර වූයේ වේ යි.
(රාගවිනයපරියොසානාදි විසිනුදු අමතෝගධාදි විසිනුදු නිබ්බාන නින්නාදි විසිනුදු එකෙක තුනක් තුනක් කොට සතිස් සූත්‍රාන්ත කෙනෙක් විතර කටයුත්තාහ.)
සවැනි පුන ගඞ්ගාපෙය්‍යාලවර්‍ග යි.
එහි සූත්‍රනාමාවලිය:
පාචීනනින්න සූත්‍ර ත්‍රික සයෙකි. සමුද්දනින්නාන ත්‍රික ද සයෙකි. මේ ෂට්ක දෙක ත්‍රික දොළොසෙක් වේ. එයින් වර්‍ග යී කියනු ලැබේ. මුළුල්ල සතිස් සුතුරෙකි යී.
7. පුනඅප්පමාද වර්‍ගය
6. 7. 1-30.
තථාගතාදි සූත්‍ර
2817-2846. මහණෙනි, අපා වූ ද ... යම්තාක් සත්ත්‍වයෝ වෙත් ද ... බහුල කෙරේ යි.
(කී නයින් තිස් සුතුරෙක් විතර කටයුතු.)
සත්වැනි පුනඅප්පමාදවර්‍ග යි.
එහි සූත්‍රනාමාවලිය:
තථාගත, පද, කූට, මූල, සාර, වස්සික, රාජ, චන්‍දිම, සුරිය, වත්‍ථ යි ත්‍රික දශයෙකි. සුතුරු තිසෙකි.
8. පුනබලකරණීය වර්‍ගය
6. 8. 1-36.
බලාදි සූත්‍ර
2847-2882. මහණෙනි, යම්සේ යම් කිසි බලකරණිය කර්‍මාන්තයෝ ... බහුල කෙරේ යි.
(සතිස් සුතුරු කෙනෙක් විතර කටයුත්තාහ.)
අටවැනි පුනබලකරණියවර්‍ග යි.
එහි සූත්‍රනාමාවලිය:
බල, බීජ, නාග, රුක්ඛ, කුම්භ, සූක, ආකාස යි ත්‍රික සතෙක් ද මේඝ ත්‍රික දෙකෙක් ද නාවා ආගන්තුක නදී යි ත්‍රික තුනෙක් දැ යි ත්‍රික දොළොසෙකි. සතිස් සුතුරෙකි යි.
9. පුනඒසනා වර්‍ගය
6. 9. 1-120.
ඒසනාදි සූත්‍ර
2883-3002. මහණෙනි, යම් ඒසනා තුනෙකි. කවර තුනෙක් ද යත්: ... වැඩිය යුතුවහ යි.
(විවේකනිස්සිතාදි විසිනුදු අභිඤ්ඤාදි විසිනුදු එකෙක දොළසක් දොළසක් කොට එක්සියවිසි සුතුරු කෙනෙක් විතර කටයුත්තාහ.)
නවවැනි පුනඒසනාවර්‍ග යි.
එහි සූත්‍රනාමාවලිය:
ඒසනා, විධා, ආසව, භව, දුක්ඛතා, ඛිල, මල, නීඝ, වේදනා, තණ්හා යි ද්වාදශක දශයෙකි. එක්සියවිසි සුතුරෙකි යි.
10. පුනඕඝ වර්‍ගය
6. 10. 1-119.
ඕඝාදි සූත්‍ර
3003-3121. මහණෙනි, මේ ඕඝ සතරෙකි. කවර සතරෙක් ද යත්: ... වැඩියයුත්තාහ යි.
(කී නයින් ම විතර කටයුත්තා හ.)
6. 10. 120.
උද්ධම්භාගිය සූත්‍රය
3122. මහණෙනි, මේ උද්ධම්භාගිය සංයෝජන පසෙකි. කවර පසෙක් ද යත්: රූපරාග අරූපරාග මාන උද්ධච්ච අවිජ්ජා යි. මහණෙනි, මොහු පස් උද්ධම්භාගිය සංයෝජනයෝ යි. මහණෙනි, මේ පස් උද්ධම්භාගිය සංයෝජනයන් පහකරනු පිණිස පස්බල වැඩිය යුතු. කවර පසෙක් ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ නිවනට නැමුණක් නිවනට නැඹුරු වූවක් නිවනට බර වූවක් කොට සද්ධාබලය වඩයි. විරියබලය ... සතිබලය ... සමාධිබලය ... නිවනට නැමුණක් නිවනට නැඹුරු වූවක් නිවනට බර වූවක් කොට පඤ්ඤාබලය වඩයි. මහණෙනි, මේ පස් උද්ධම්භාගිය සංයෝජනයන් පහකරනු පිණිස මේ පස්බල වැඩියයුතු යි.
දශවැනි පුනඔඝවර්‍ග යි.
එහි සූත්‍රනාමාවලිය:
ඕඝ, යෝග, උපාදාන, ගන්‍ථ, අනුසය, කාමගුණ, නීවරණ, ඛන්‍ධ, ඕරම්භාගිය, උද්ධම්භාගිය යි ද්වාදශක දශයෙකි. සූත්‍ර එක්සිය විස්සෙකි යි.
බලසංයුත්තය නිමි.
එහි වර්‍ගනාමාවලිය:
ගඞ්ගාපෙය්‍යාල, අප්පමාද, බලකරණිය, ඒසනා, ඕඝ, යන මොහු පුන යන්න මුල්කොට ඇති ඒ පසම කරණ කොට ගෙන බල සංයුත්තට අයත් වර්‍ග දශයෙක් වේ යි.
සූත්‍රාන්තපිටකයෙහි
සංයුත්තනිකාය
පඤ්චමභාගයෙහි - දෙවන කාණ්ඩය
මහා වර්‍ගය
7. ඉද්ධිපාද සංයුත්තය
1. චාපාල වර්‍ගය
ඒ භාග්‍යවත් අර්‍හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා.
7. 1. 1.
අපාර සූත්‍රය
3123. සැවැත්නුවර:
මහණෙනි, මේ සතර ඉද්ධිපාද කෙනෙක් වඩන ලද්දාහු බහුල කරන ලද්දාහු මෙතෙරින් එතෙරට යනු පිණිස පවත්නාහ. කවර සතරදෙනෙක යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ ඡන්‍දය නිසා පැවැති සමාධියෙන් හා ප්‍රධන් සංස්කාරයෙන් යුත් ඉද්ධිපාදය වඩයි. වීර්‍ය්‍ය නිසා පැවැති සමාධියෙන් හා ප්‍රධන්සංස්කාරයෙන් යුත් ඉද්ධිපාදය වඩයි. චිත්තය නිසා පැවැති සමාධියෙන් හා ප්‍රධන්සංස්කාරයෙන් යුත් ඉද්ධිපාදය වඩයි. විමංසාව නිසා පැවැති සමාධියෙන් හා ප්‍රධන්සංස්කාරයෙන් යුත් ඉද්ධිපාදය වඩයි. මහණෙනි, මේ ඉද්ධිපාද සතර වඩනා ලද්දාහු බහුල කරන ලද්දාහු මෙතෙරින් එතෙර යනු පිණිස පවත්නාහ යි.
7. 1. 2.
විරද්ධ සූත්‍රය
3124. මහණෙනි, යම් කෙනකුන් විසින් සිවු ඉදුපා වරදවන ලදහු නම් ඔවුන් විසින් මැනැවින් දුක් ගෙවීමට යන අරීමඟ වරදවන ලද්දේ ය. මහණෙනි, යම්කිසි කෙනකුන් විසින් සිවු ඉදුපා අරඹන ලදහු නම් ඔවුන් විසින් මැනැවින් දුක් ගෙවීමට යන අරීමඟ අරඹන ලද්දේ ය. කවර සතරෙක් ද යත්:
මහණෙනි, මෙසස්නෙහි මහණ ඡන්‍දය නිසා පැවැති සමාධියෙන් හා ප්‍රධන්සංස්කාරයෙන් යුත් ඉද්ධිපාදය වඩයි. වීර්‍ය්‍ය නිසා පැවැති සමාධියෙන් හා ... චිත්තය නිසා පැවැති සමාධියෙන් හා ... වීමංසාව නිසා පැවැති සමාධියෙන් හා ප්‍රධන්සංස්කාරයෙන් යුත් ඉද්ධිපාදය වඩයි. මහණෙනි, යම් කෙනකුන් විසින් මේ සතර ඍද්ධිපාදයෝ වරදවන ලදහු නම් ඔවුන් විසින් මැනැවින් දුක් ගෙවීමට යන අරීමඟ වරදවන ලද්දේ ය. මහණෙනි, යම් කෙනකුන් විසින් මේ සතර ඍද්ධිපාදයෝ අරඹන ලදහු නම් ඔවුන් විසින් මැනැවින් දුක් ගෙවීමට යන අරීමඟ අරඹන ලද්දේ යි.
7. 1. 3.
අරිය සූත්‍රය
3125. මහණෙනි, ආර්‍ය්‍ය වූ නෛර්‍ය්‍යාණික වූ මේ ඍද්ධිපාදයෝ සතරදෙන වඩන ලද්දාහු බහුල කරන ලද්දාහු ඒ අනුව පිළිපන්නාහු මැනැවින් දුක් ගෙවීමට පමුණුවත්. කවර සතරදෙනෙක යත්: මහණෙනි, මෙහි මහණ ඡන්‍දය නිසා පැවැති සමාධියෙන් හා ප්‍රධන්සංස්කාරයෙන් යුත් ඉද්ධිපාදය වඩයි. වීර්‍ය්‍ය නිසා පැවැති සමාධියෙන් හා ... චිත්තය නිසා පැවැති සමාධියෙන් හා ... විමංසාව නිසා පැවැති සමාධියෙන් හා ප්‍රධන්සංස්කාරයෙන් යුත් ඉද්ධිපාදය වඩයි. මහණෙනි, ආර්‍ය්‍ය වූ නෛර්‍ය්‍යාණික වූ මේ සිවු ඉදුපා වඩන ලද්දේ බහුල කරන ලද්දේ ඒ අනුව පිළිපන්නහු මැනැවින් දුක් ගෙවීමට පමුණුවා යි.
7. 1. 4.
නිබ්බිදා සූත්‍රය
3126. මහණෙනි, මේ චතුරිද්ධිපාද වඩන ලද්දේ බහුල කරන ලද්දේ ඒකාන්ත නිර්වේදය විරාගය නිරෝධය ව්‍යුපශමය අභිඥානය සම්බෝධිය නිර්‍වාණය පිණිස පවතී. කවර සතරෙක් ද යත්: මහණෙනි, මෙහි මහණ ඡන්‍දය නිසා පැවැති සමාධියෙන් හා ප්‍රධන්සංස්කාරයෙන් යුත් ඉද්ධිපාදය වඩයි. වීර්‍ය්‍ය නිසා පැවැති සමාධියෙන් හා ... චිත්තය නිසා පැවැති සමාධියෙන් හා ... විමංසාව නිසා පැවැති සමාධියෙන් හා ප්‍රධන්සංස්කාරයෙන් යුත් ඉද්ධිපාදය වඩයි. මහණෙනි, මේ සිවු ඉදුපා වඩන ලද්දේ බහුල කරන ලද්දේ ඒකාන්තනිර්වේදය විරාගය නිරෝධය ව්‍යුපශමය අභිඥානය සම්බෝධිය නිර්‍වාණය පිණිස පවතී යි.
7. 1. 5.
පදෙස සූත්‍රය
3127. මහණෙනි, අතීතයෙහි යම්කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ ඉදු පෙදෙසක් නිපදවූහු නම් ඒ සියල්ලෝ සිවු ඉදුපා වැඩූ බැවින් එසේ වූහ. බහුල කළ බැවින් එසේ වූහ. මහණෙනි, මතු කල යම්කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ ඉදු පෙදෙසක් නිපදවන්නාහු නම් ඒ සියල්ලෝ සිවු ඉදුපා වැඩූ බැවිනි, බහුල කළ බැවිනි. මහණෙනි, දැන් යම්කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ ඉදු පෙදෙසක් නිපදවත් නම් ඒ සියල්ලෝ සිවු ඉදුපා වැඩූ බැවිනි, බහුල කළ බැවිනි. කවර සිවු ඉදුපා ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ ඡන්‍දය නිසා පැවැති සමාධියෙන් හා ප්‍රධන්සංස්කාරයෙන් යුත් ඉද්ධිපාදය වඩයි. වීර්‍ය්‍ය නිසා පැවැති සමාධියෙන් හා ... චිත්තය නිසා පැවැති සමාධියෙන් හා ... විමංසාව නිසා පැවැති සමාධියෙන් හා ප්‍රධන්සංස්කාරයෙන් යුත් ඉද්ධිපාදය වඩයි. මහණෙනි, ඉකුත් කල යම්කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ ඉදුපෙදෙසක් නිපදවූහු නම් ... නිපදවන්නාහු නම් ... නිපදවත් නම් ඒ සියල්ලෝ මේ සිවු ඉදුපා ම වැඩූ බැවින් බහුල කළ බැවින් එසේ වෙත් යි.
7. 1. 6.
සමත්ත සූත්‍රය
3128. මහණෙනි, ඉකුත් කල යම්කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ ඉදුමුළුල්ල නිපදවූහු නම් ඒ සියල්ලෝ සිවු ඉදුපා වැඩූ බැවිනි, බහුල කළ බැවිනි. මහණෙනි, මතු කල යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ ඉදුමුළුල්ල නිපදවන්නාහු නම් ඒ සියල්ලෝ සිවු ඉදුපා වැඩූ බැවිනි, බහුල කළ බැවිනි. මහණෙනි, දැන් යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ ඉදු මුළුල්ල නිපදවත් නම් ඒ සියල්ලෝ සිවු ඉදුපා වැඩූ බැවිනි, බහුල කළ බැවිනි. කවර සිවු ඉදුපා ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ ඡන්‍දය නිසා පැවැති සමාධියෙන් හා ප්‍රධන්සංස්කාරයෙන් යුත් ඉර්ධිපාදය වඩයි. වීර්‍ය්‍ය නිසා පැවැති සමාධියෙන් හා ... චිත්තය නිසා පැවැති සමාධියෙන් හා ... විමංසාව නිසා පැවැති සමාධියෙන් හා ප්‍රධන්සංස්කාරයෙන් යුත් ඉද්ධිපාදය වඩයි. මහණෙනි, ඉකුත් කල යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ ඉදුමුළුල්ල නිපදවූහු නම් ... නිපදවන්නාහු නම් ... නිපදවත් නම් ඒ සියල්ලෝ මේ සිවු ඉදුපා ම වැඩූ බැවිනි, බහුල කළ බැවිනි යි.
7. 1. 7.
භික්ඛු සූත්‍රය
3129. මහණෙනි, ඉකුත් කල යම්කිසි මහණ කෙනෙක් ආස්‍රවක්‍ෂය කිරීමෙන් අනාස්‍රව වූ ඵලසමාධියත් ඵලප්‍රඥාවත් දිටුදැමියෙහි ම තමන් විසින් වෙසෙසින් දැන පසක් කොට එයට පැමිණ වුසූහු නම් ඒ සියල්ලෝ සිවු ඉදුපා වැඩූ බැවිනි, බහුල කළ බැවිනි. මහණෙනි, මතු කල යම් කිසි මහණ කෙනෙක් ආස්‍රවක්‍ෂය කිරීමෙන් අනාස්‍රව වූ ඵල සමාධියත් ඵලප්‍රඥාවත් දිටුදැමියෙහි ම තමන් විසින් වෙසෙසින් දැන පසක් කොට එයට පැමිණ වෙසෙන්නාහු නම් ඒ සියල්ලෝ සිවු ඉදුපා වැඩූ බැවිනි, බහුල කළ බැවිනි. මහණෙනි, දැන් යම් කිසි මහණ කෙනෙක් ආස්‍රවක්‍ෂය කිරීමෙන් අනාස්‍රව වූ ඵලසමාධියත් ඵලප්‍රඥාවත් දිටුදැමියෙහි ම තමන් විසින් වෙසෙසින් දැන පසක් කොට එයට පැමිණ වෙසෙත් නම් ඒ සියල්ලෝ සිවු ඉදුපා වැඩූ බැවිනි, බහුල කළ බැවිනි. කවර සිවු ඉදුපා ද යත්: මහණෙනි, මෙහි මහණ ඡන්‍දය නිසා පැවැති සමාධියෙන් හා ප්‍රධන්සංස්කාරයෙන් යුත් ඉර්ධිපාදය වඩයි. වීර්‍ය්‍ය නිසා පැවැති සමාධියෙන් හා ... චිත්තය නිසා පැවැති සමාධියෙන් හා ... විමංසාව නිසා පැවැති සමාධියෙන් හා ප්‍රධන්සංස්කාරයෙන් යුත් ඉද්ධිපාදය වඩයි. මහණෙනි, ඉකුත් කල යම් කිසි මහණ කෙනෙක් ආස්‍රවක්‍ෂය කිරීමෙන් අනාස්‍රව වූ ඵලසමාධියත් ඵලප්‍රඥාවත් දිටුදැමියෙහි ම තමන් විසින් වෙසෙසින් දැන පසක් කොට එයට පැමිණ වුසූහු නම් ... වෙසෙන්නාහු නම් ... වෙසෙත් නම් ඒ සියල්ලෝ මේ සිවු ඉදුපා වැඩූ බැවිනි, බහුල කළ බැවිනි යි.
7. 1. 8.
අරහන්ත සූත්‍රය
3130. මහණෙනි, මේ ඉදුපා සතරෙකි. කවර සතරෙක් ද යත්: මහණෙනි, මෙහි මහණ ඡන්‍දය නිසා පැවැති සමාධියෙන් හා ප්‍රධන්සංස්කාරයෙන් යුත් ඉර්ධිපාදය වඩයි. වීර්‍ය්‍ය නිසා පැවැති සමාධියෙන් හා ... චිත්තය නිසා පැවැති සමාධියෙන් හා ... විමංසාව නිසා පැවැති සමාධියෙන් හා ප්‍රධන්සංස්කාරයෙන් යුත් ඉද්ධිපාදය වඩයි. මහණෙනි, මොහු සිවු ඉදුපා යි. මහණෙනි, මේ සිවු ඉදුපා වැඩූ බැවින් බහුල කළ බැවින් තථාගත තෙමේ අර්‍හත් සම්‍යක් සම්බුද්ධ ය යි කියනු ලැබේ යි.
7. 1. 9.
ඤාණ සූත්‍රය
3131. මහණෙනි, මේ ඡන්‍දය නිසා පැවැති සමාධියෙන් හා ප්‍රධන්සංස්කාරයෙන් යුත් ඉර්ධිපාද ය යි පෙර නොඇසූවිරූ දහම්හි මට ඇස පහළ විය. නැණ පහළ විය. පැන පහළ විය. විදු පහළ විය. එළිය පහළ විය. මහණෙනි, ඒ මේ ඡන්‍දසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය වැඩියයුතු යි මට ... මහණෙනි ... වඩන ලදැ යි පෙර නොඇසූවිරූ දහම්හි මට ඇස පහළ විය ... එළිය පහළ විය.
මහණෙනි, මේ විරියසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය යි පෙර නො ඇසූ විරූ දහම්හි මට ඇස පහළ විය ... එළිය පහළ විය. මහණෙනි, ඒ මේ විරියසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය වැඩියයුතු යි මට ... මහණෙනි ... වඩන ලදැයි පෙර නොඇසූවිරූ දහම්හි මට ඇස පහළ විය ... එළිය පහළ විය.
මහණෙනි, මේ චිත්තසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය යි පෙර නො ඇසූ විරූ දහම්හි මට ඇස පහළ විය ... එළිය පහළ විය. මහණෙනි, ඒ මේ චිත්තසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය වැඩියයුතු යි මට ... මහණෙනි ... වඩන ලදැයි පෙර නො ඇසූ විරූ දහම්හි මට ඇස පහළ විය ... එළිය පහළ විය.
මහණෙනි, මේ වීමංසාසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය යි පෙර නො ඇසූ විරූ දහම්හි මට ඇස පහළ විය ... එළිය පහළ විය. මහණෙනි, ඒ මේ වීමංසාසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය වැඩියයුතු යි මට ... මහණෙනි, වඩන ලදැයි පෙර නො ඇසූ විරූ දහම්හි ඇස පහළ විය. නැණ පහළ විය. මට පැන පහළ විය. විදු පහළ විය. එළිය පහළ වී ය යි.
7. 1. 10.
චේතිය සූත්‍රය
3132. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ විසල්නුවර සමීපයෙහි මහවෙනෙහි කූටාගාරශාලායෙහි වැඩ වසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ පෙරවරු හැඳ පෙරව පාසිවුරු ගෙන පිඬු පිණිස විසල්පුර පිවිසි සේක. විසල්පුර පිඬු පිණිස හැසිර පසුබත පිණ්ඩපාතයෙන් වැළකි සේක්: “ආනන්‍දය, නිසීදනය ගනු. චාපාල සෑය කරා දිවාවිහරණය පිණිස යම්හ”යි ආයුෂ්මත් අනඳ තෙරුන් ඇමතූ සේක. “වහන්ස එසේ ය”යි ආයුෂ්මත් අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් අස්වා නිසීදනය රැගෙන පසුපස භාග්‍යවතුන් වහන්සේට අනුගමන් කළහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ චාපාල සෑය වෙත එළඹි සේක. එළඹ පනවන ලද අස්නෙහි වැඩහුන් සේක. ආයුෂ්මත් අනඳ තෙරණුවෝ ද භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් අනඳ තෙරණුවන්ට භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක:
ආනන්‍දය, විසල්පුර සිත්කලු ය. උදේන සෑය සිත්කලු ය. ගෝතමක සෑය සිත්කලු ය. සත්තම්බ සෑය සිත්කලු ය. බහුපුත්ත සෑය සිත්කලු ය. සාරන්‍දද සෑය සිත්කලු ය. චාපාල සෑය සිත්කලු ය. ආනන්‍දය, යම් කිසිවකු විසින් මේ සිවු ඍද්ධිපාදයෝ වඩන ලද්දාහු පුනපුනා කරන ලද්දාහු යානයක් මෙන් කරන ලද්දාහු වාස්තුවක් මෙන් කරන ලද්දාහු අනුෂ්ඨිත වූවාහු පුරුදු කරන ලද්දාහු මැනැවින් අරඹන ලද්දාහු වෙද්ද, හෙතෙමේ කැමති වන්නේ නම් ආයුෂ්කල්පයක් (සියවසක්) හෝ එයට මදක් වැඩි කලක් හෝ සිටුනේ ය. ආනන්‍දය, තථාගතයන් විසින් සිවු ඍද්ධිපාදයෝ වඩන ලදහ, බහුල කරන ලදහ, යානයක් මෙන් කරන ලදහ, වාස්තුවක් මෙන් කරන ලදහ, අනුෂ්ඨිතයහ, පරිවිතයහ, සුසමාරබ්ධයහ. ආනන්‍දය, කැමති වන්නේ නම් තථාගත තෙමේ කපක් හෝ එයට මඳක් වැඩි කලක් හෝ සිටුනේ යි. මෙසේත් භාග්‍යවතුන් වහන්සේ විසින් ඖදාරික නිමිති කරන කල්හි පැහැදිලි හෙලිකිරීම් කරන කල්හි ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ මරු විසින් මැඩ ගන්නා ලද අන් පුහුදුන් කෙනකු මෙන් තුමූත් පිළිවිදිනට නො හැකි වූහ. “වහන්ස, බොහෝ දෙනාට හිත පිණිස බොහෝ දෙනාට සුව පිණිස ලොවට අනුකම්පා පිණිස දෙවිමිනිසුන්ට වැඩ පිණිස හිතසුව පිණිස භාග්‍යවතුන් වහන්සේ කපක් වැඩ සිටුනා සේක්වා, සුගතයන් වහන්සේ කපක් වැඩ සිටුනා සේක්වා”යි භාග්‍යවතුන් වහන්සේ නො යැද්දහ.
දෙවන වට දු භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් අනඳ තෙරුන්ට මෙය වදාළ සේක: “ආනන්‍දය, විසල්පුර සිත්කලු ය ... “තෙවන වට දු භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්‍ද තෙරුන්ට මෙය වදාළ සේක: “ආනන්‍දය, විසල්පුර සිත්කලු ය. උදේන සෑය සිත්කලු ය. ගෝතමක සෑය සිත්කලු ය. සත්තම්බ සෑය සිත්කලු ය. බහුපුත්ත සෑය සිත්කලු ය. සාරන්‍දද සෑය සිත්කලු ය. චාපාල සෑය සිත්කලු ය. ආනන්‍දය, යම් කිසිවකු විසින් සිවු ඉදුපා භාවිත බහුලීකෘත යානීකෘත වාස්තුකෘත අනුෂ්ඨිත පරිචිත සුසමාරබ්ධ වේ ද, ආනන්‍ද හෙතෙමේ කැමති වන්නේ නම් කපක් හෝ කපට මඳක් වැඩි කලක් සිටුනේ ය. ආනන්‍දය, තථාගතයන් විසින් සිවු ඉදුපා භාවිත ය, බහුලීකෘත ය, යානීකෘත ය, වාස්තුකෘත ය, අනුෂ්ඨිත ය, පරිචිත ය, සුසමාරබ්ධ ය. ආනන්‍ද, තථාගත තෙමේ කැමති වන්නේ නම් කපක් හෝ මඳකින් වැඩි කපක් හෝ සිටුනේ යි.
මෙසේත් භාග්‍යවතුන් වහන්සේ විසින් ඖදාරික නිමිති කරන කල්හි පැහැදිලි හෙළි කිරීම් කරන කල්හි ආයුෂ්මත් අනඳ තෙරණුවෝ මරු විසින් මැඩ ගන්නා ලද සිත් ඇති අන් පුහුදුන් කෙනකු මෙන් තුමූත් පිළිවිදිනට නො හැකි වූහ. “වහන්ස, බොහෝ දෙනාට හිත පිණිස බොහෝ දෙනාට සුව පිණිස ලොවට අනුකම්පා පිණිස වැඩ පිණිස දෙව්මිනිසුන්ට හිතසුව පිණිස භාග්‍යවතුන් වහන්සේ කපක් වැඩ සිටිනා සේක්වා, සුගතයන් වහන්සේ කපක් වැඩ සිටිනා සේක්වා”යි භාග්‍යවතුන් වහන්සේ නො යැද්දහ.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනඳ තෙරුන් ඇමතූ සේක: ආනන්‍ද, යමකට කල් දනිවු නම් තෙපි දැන් යවු යි. වහන්ස, එසේ ය යි ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දී හුනස්නෙන් නැඟී භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට නුදුරෙහි එක්තරා රුක්මුලෙක වැඩහුන්හ.
එකල්හි පවිටු මරු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේට මෙය කීය: වහන්ස, භාග්‍යවතුන් වහන්සේ දැන් පිරිනිවෙන සේක්වා, සුගතයන් වහන්සේ පිරිනිවෙන සේක්වා. වහන්ස, දැන් භාග්‍යවතුන් වහන්සේට පිරිනිවෙන කාලය යි. වහන්ස, “පවිට යම් තාක් මාගේ සවුමහණහු ව්‍යක්තයෝ විනීතයෝ විශාරදයෝ පැමිණි රහත් බැව් ඇත්තෝ බහුශ්‍රැතයෝ ධර්‍මධරයෝ ධර්‍මානුධර්‍මප්‍රතිපන්නයෝ සාමීචිප්‍රතිපන්නයෝ අනුධර්‍මචාරීහු නො වන්නාහු ද, සිය ඇදුරුදහම ඉගෙන නො කියන්නාහු ද, නො දෙසන්නාහු ද, නො පනවන්නාහු ද, නො පිහිටුවන්නාහු ද, විවරණය නො කරන්නාහු ද, නො බෙදන්නාහු ද, උඩුහුරු නො කරන්නාහු ද, උපන් පරවාද කරුණු සහිතව මැනවින් නිග්‍රහ කොට මැඬ නෛර්‍ය්‍යාණික කොට දහම් නො දෙසන්නාහු ද ඒ තාක් මම නො පිරිනිවෙන්නෙමි” යි තෙල වදන භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද්දේ ම ය.
වහන්ස, දැන් භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක භික්‍ෂූහු ව්‍යක්ත විනීත විශාරද ප්‍රාප්තයෝගක්‍ෂේම බහුශ්‍රුත ධර්‍මධර ධර්‍මානුධර්‍මප්‍රතිපන්න සාමීචිප්‍රතිපන්න අනුධර්‍මචාරී වෙත් ම ය. (ඔහු) සිය ඇදුරුවාදය ඉගෙන කියත් දේශනා කෙරෙත්, පනවත්, පිහිටුවත්, විවරණය කෙරෙත්, බෙදෙත්, උඩුහුරු කෙරෙත්, උපන් පරවාද කරුණු සහිත ව මැනැවින් නිගහන ලද්දක් කොට නිගහා නෛර්‍ය්‍යාණික කොට දහම් දෙසත්. වහන්ස, දැන් භාග්‍යවතුන් වහන්සේ පිරිනිවෙන සේක්වා, සුගතයන් වහන්සේ පිරිනිවෙන සේක්වා. වහන්ස, දැන් භාග්‍යවතුන් වහන්සේට පිරිනිවෙන කාලය යි. වහන්ස, “පවිට, යම් තාක් මාගේ සවුමෙහෙණහු ... නො වන්නාහු ද, යම් තාක් මාගේ සවු උවසුවෝ ... නො වන්නාහු ද, යම් තාක් මාගේ සවු උවැසියෝ ව්‍යක්ත විනීත විශාරද ප්‍රාප්තයෝගක්‍ෂේම බහුශ්‍රුත ධර්‍මධර ධර්‍මානුධර්‍මප්‍රතිපන්න සාමීචිප්‍රතිපන්න අනුධර්‍මචාරී නො වන්නාහු ද, සිය අදුරුවාදය ඉගෙන නො කියන්නාහු ද, නො දෙසන්නාහු ද, නො පනවන්නාහු ද, නො පිහිටුවන්නාහු ද, විවරණය නො කරන්නාහු ද, නො බෙදන්නාහු ද නො උඩුහුරු කරන්නාහු ද උපන් පරවාද සකාරණ කොට මැනැවින් නිගහන ලද්දක් කොට නිගහා නෛර්‍ය්‍යාණික කොට දහම් නො දෙසන්නාහු ද, ඒතාක් මම නො පිරිනිවෙන්නෙමි” යි තෙල වදන භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද්දේ ම ය.
වහන්ස, දැන් භාග්‍යවතුන් වහන්සේගේ සවු උවැසියෝ ව්‍යක්ත විනීත විශාරද ප්‍රාප්තයෝගක්‍ෂේම බහුශ්‍රුත ධර්‍මධර ධර්‍මානුධර්‍මප්‍රතිපන්න සාමීචිප්‍රතිපන්න අනුධර්‍මචාරී වෙත් ම ය. (ඔහු) සිය ඇදුරු වාදය ඉගෙන කියත්, දෙසත්, පනවත්, පිහිටුවත්, විවරණය කෙරෙත්, බෙදත්, උඩුහුරු කෙරෙත්, උපන් පරවාද සකාරණ කොට මැනැවින් නිගහන ලද්දක් කොට නිගහා නෛර්‍ය්‍යාණික කොට දහම් දෙසත්. වහන්ස, දැන් භාග්‍යවතුන් වහන්සේ පිරිනිවෙන සේක්වා සුගතයන් වහන්සේ පිරිනිවෙන සේක්වා. වහන්ස, දැන් භාග්‍යවතුන් වහන්සේට පිරිනිවෙන කාලය යි. වහන්ස, “පවිට, යම් තාක් මේ සසුන් බඹසර සමෘද්ධ නො වන්නේ ද, සමෘද්ධ වූයේ වැඩීමට පැමිණියේ පතළේ බොහෝ දෙනා විසින් දන්නා ලද්දේ පුළුල් බවට පැමිණියේ නො වන්නේ ද, ඇති තාක් දෙවිමිනිසුන් විසින් නො පවසන ලද්දේ ද, ඒ තාක් මම නො පිරිනිවෙන්නෙමි” යි මෙවදන භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද්දේ ම ය. වහන්ස, භාග්‍යවතුන් වහන්සේගේ මේ සසුන් බඹසර සමෘද්ධ වූයේත් වැඩීමට පැමිණියේත් පතළේත් බොහෝ දෙනා විසින් දන්නා ලද්දේත් පුළුල් බවට පැමිණියේත් ඇති තාක් දෙවිමිනිසුන් විසින් පවසන ලද්දේත් නො වේ ද, වහන්ස, දැන් භාග්‍යවතුන් වහන්සේ පිරිනිවෙන සේක්වා සුගතයන් වහන්සේ පිරිනිවෙන සේක්වා වහන්ස, දැන් භාග්‍යවතුන් වහන්සේට පිරිනිවෙන කාලය යි.
මෙසේ කී කල්හි භාග්‍යවතුන් වහන්සේ පවිටු මරුහට මෙය වදාළ සේක: “පවිට, තෝ හළ වෑයම් ඇත්තෙක් වෙව. නොබෝ කලෙකින් තථාගතයන් වහන්සේගේ පිරිනිවීම වන්නේ ය. මෙයින් තෙමසක් අවෑමෙන් තථාගතයෝ පිරිනිවෙන්නාහ” යි. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ චාපාල සෑයෙහි දී සිහි ඇති ව මනා දැනුම් ඇති ව ආයුසංස්කාර හළ සේක. භාග්‍යවතුන් වහන්සේ විසින් ආයුසංස්කාර හළ කල්හි බිහිසුණු ලොමුදහගන්වන මහාභූමිකම්පාවක් විය. දෙව්බෙර ද පැලුණහ. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මෙකරුණ දැන එවේලායෙහි මේ උදානය පහළකළ සේක: