Saṁyutta Nikāya

Connected Discourses

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-30 · 15083 segments

පෙන්වන කොටස් 13401-13500 න් 15083

ආසවක්ඛය සූත්‍රය
1748. මහණෙනි, මේ පසිඳුරු කෙනෙක් වඩන ලදහු බහුල කරන ලදහු ආස්‍රවක්‍ෂයය පිණිස පවතිත්. කවර පසිඳුරු කෙනෙක් ද යත්: සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය යි. මහණෙනි, මේ පසිඳුරෝ වඩන ලදහු බහුල කරන ලදහු ආස්‍රවක්‍ෂය පිණිස පවතිත් යි.
4. 7. 5.
ඵල සූත්‍රය
1749. මහණෙනි, මේ ඉඳුරෝ පසෙකි. කවර පසෙක් ද යත්: සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය යි. මහණෙනි, මොහු පසිඳුරෝ යි. මහණෙනි, මේ පසිඳුරන් වැඩූ බැවින් බහුල කළ බැවින් එල දෙකින් එක්තරා ඵලයක් කැමති වියයුතු යි. දිටුදැමියෙහි රහත්බව හෝ උපාදානශේෂ ව ඇති කල්හි අනගැමි බව හෝ යි.
4. 7. 6.
දුතියඵල සූත්‍රය
1750. මහණෙනි, මේ ඉඳුරෝ පසෙකි. කවර පසෙක් ද යත්: සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය යි. මහණෙනි, මොහු පසිඳුරෝ යි. මහණෙනි, මේ පසිඳුරන් වැඩූ බැවින් බහුල කළ බැවින් සත්පල කෙනෙක් සත් අනුසස් කෙනෙක් කැමති වියයුතු. කවර සත්පල කෙනෙක් සත් අනුසස් කෙනෙක් ද යත්: දිටුදැමියෙහි ම පෙරාතුව රහත් බව ලබයි. ඉදින් දිටුදැමියෙහි ම පෙරාතුව රහත්බව නො ලබා නම් එකල මරණසමයෙහි රහත් බව ලබයි. ඉදින් දිටුදැමියෙහි ම පෙරාතුව රහත් බව නො ලබා නම් ඉදින් මරණ සමයෙහි රහත් බව නො ලබා නම් එකල පස් ඕරම්භාගිය සංයෝජනයන් ක්‍ෂය කිරීමෙන් අන්තරාපරිනිබ්බායී වේ. උපභච්ච පරිනිබ්බායී වේ. අසඞ්ඛාරපරිනිබ්බායී වේ. සසඞ්ඛාරපරිනිබ්බායී වේ. අකනිටා යනසුලු උද්ධංසෝතයෙක් වෙයි. මහණෙනි, මේ පසිඳුරන්වැඩූ බැවින් බහුල කළ බැවින් මේ සත් පල සත් අනුසස් කැමති වියයුතු යි.
4. 7. 7.
රුක්ඛ සූත්‍රය
1751. මහණෙනි, යම්සේ දඹදිව හටගත් යම් කිසි රුක්හු වෙද්ද, දඹරුක ඔවුන්ට අග්‍ර යයි කියනු ලැබේ. මහණෙනි, එසෙයින් ම අවබෝධය පිණිස වූ යම් කිසි බෝපැකි දහම්හු වෙද්ද, පඤ්ඤින්‍ද්‍රිය ඔවුන්ට අග්‍ර යයි කියනු ලැබේ. මහණෙනි, බෝපැකි දහම්හු කවරහ යත්: මහණෙනි, සද්ධින්‍ද්‍රිය, බෝපැකි දහමෙකි. එය බෝධිය පිණිස පවතී. විරියින්‍ද්‍රිය ... සතින්‍ද්‍රිය ... සමාධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය බෝපැකි දහමෙකි. එය බෝධිය පිණිස පවතී. මහණෙනි, යම්සේ දඹදිව හටගත් යම්කිසි රුක්හු වෙත් නම් දඹරුක ඔවුන්ට අග්‍ර යයි කියනු ලැබේ. මහණෙනි, එසෙයින් ම බෝධිය පිණිස වූ යම්කිසි බෝපැකි දහම්හු වෙත් නම් පඤ්ඤින්‍ද්‍රිය ඔවුන්ට අග්‍ර ය යි කියනු ලැබේ යි.
4. 7. 8.
දුතියරුක්ඛ සූත්‍රය
1752. මහණෙනි, යම්සේ තව්තිසාවැසි දෙවියන්ගේ යම් කිසි රුක්හු වෙද්ද, පරසතුරුක ඔවුන්ට අග්‍ර යයි කියනු ලැබේ. මහණෙනි, එසෙයින් ම බෝධිය පිණිස වූ යම් කිසි බෝපැකි දහම්හු වෙත් නම් පඤ්ඤින්‍ද්‍රිය ඔවුන්ට අග්‍ර යයි කියනු ලැබේ. මහණෙනි, බෝපැකි දහම්හු කවරහ යත්: මහණෙනි, සද්ධින්‍ද්‍රිය බෝපැකි දහමෙකි. එය බෝධිය පිණිස පවතී ... පඤ්ඤින්‍ද්‍රිය බෝපැකි දහමෙකි. එය බෝධිය පිණිස පවතී. මහණෙනි, යම්සේ තව්තිසා වැසියන්ගේ යම් කිසි රුක්හු වෙත් නම් පරසතු රුක ඔවුන්ට අග්‍ර යයි කියනු ලැබේ. මහණෙනි, එසෙයින් ම බෝධිය පිණිස වූ යම් කිසි බෝපැකි දහම්හු වෙත් නම් පඤ්ඤින්‍ද්‍රිය අග්‍ර යයි කියනු ලැබේ යි.
4. 7. 9.
තතියරුක්ඛ සූත්‍රය
1753. මහණෙනි, යම්සේ අසුරයන්ගේ යම් කිසි රුක්හු වෙත් නම් සිත්පළොල්රුක ඔවුන්ට අග්‍ර යයි කියනු ලැබේ. මහණෙනි, එසෙයින් ම බෝධිය පිණිස වූ යම් කිසි බෝපැකි දහම්හු වෙත් නම් පඤ්ඤින්‍ද්‍රිය ඔවුන්ට අග්‍ර යයි කියනු ලැබේ. මහණෙනි, බෝපැකි දහම්හු කවරහ යත්: මහණෙනි, සද්ධින්‍ද්‍රිය බෝපැකි දහමෙකි. එය බෝධිය පිණිස පවතී ... පඤ්ඤින්‍ද්‍රිය බෝපැකි දහමෙකි. එය බෝධිය පිණිස පවතී. මහණෙනි, යම්සේ අසුරයන්ගේ යම් කිසි රුක්හු වෙත් නම් සිත්පළොල් රුක ඔවුන්ට අග්‍ර යයි කියනු ලැබේ. මහණෙනි, එසෙයින් ම බෝධිය පිණිස වූ යම් කිසි බෝපැකි දහම්හු වෙත් නම් පඤ්ඤින්‍ද්‍රිය ඔවුන්ට අග්‍ර යයි කියනු ලැබේ යි.
4. 7. 10.
චතුත්‍ථරුක්ඛ සූත්‍රය
1754. මහණෙනි, යම්සේ ගුරුළුන්ගේ යම් කිසි රුක්හු වෙත් නම් කොටහිඹුල්රුක ඔවුන්ට අග්‍ර යයි කියනු ලැබේ. මහණෙනි, එසෙයින් ම බෝධිය පිණිස වූ යම් කිසි බෝපැකි දහම්හු වෙත් නම් පඤ්ඤින්‍ද්‍රිය ඔවුන්ට අග්‍ර යයි කියනු ලැබේ. මහණෙනි, බෝපැකි දහම්හු කවරහ යත්: මහණෙනි, සද්ධින්‍ද්‍රිය බෝපැකි දහමෙකි. එය බෝධිය පිණිස පවතී ... පඤ්ඤින්‍ද්‍රිය බෝපැකි දහමෙකි. එය බෝධිය පිණිස පවතී. මහණෙනි, යම්සේ ගුරුළුන්ගේ යම් කිසි රුක්හු වෙත් නම් කොටහිඹුල් රුක ඔවුනට අග්‍ර ය යි කියනු ලැබේ. මහණෙනි, එසෙයින් ම බෝධිය පිණිස වූ යම් කිසි බෝපැකි දහම්හු වෙත් නම් පඤ්ඤින්‍ද්‍රිය ඔවුන්ට අග්‍ර ය යි කියනු ලැබේ යි.
සත්වැනි සම්බෝධි වර්‍ග යි.
එහි සූත්‍රනාමාවලිය:
සංයෝජන අනුසය අද්ධාන ආසවක්ඛය යි සූත්‍ර සතරෙකි. ඵල සූත්‍ර දෙකෙකි. රුක්ඛසූත්‍ර සතරෙකි. එයින් වර්‍ග යි කියනු ලැබේ යි.
8. ගඞ්ගාපෙය්‍යාල වර්‍ගය
4. 8. 1-12.
පාචීනනින්නාදි සූත්‍ර
1755-1766. මහණෙනි, යම්සේ ගඞ්ගානදී තොමෝ පෙරදිගට නැමුණි පෙරදිගට නැඹුරු වූවා පෙරදිගට බර වූවා වේ ද ... නිවනට බර වූයේ වේ යි.
(ඉන්‍ද්‍රියසංයුත්තයේ ගඞ්ගාපෙය්‍යාල වර්‍ගය විවේකනිස්සිතාදි විසින් විතර කටයුතු.)
අටවැනි ගඞ්ගාපෙය්‍යාල යි.
එහි සූත්‍රනාමාවලිය:
පාචීනනින්න සයෙකි. සමුද්දනින්න ද සයෙකි. මේ ෂට්ක දෙක සූත්‍ර දොළොසෙක් වේ. එයින් වර්‍ග යි කියනු ලැබේ යි.
9. අප්පමාද වර්‍ගය
4. 9. 1-10.
තථාගතාදි සූත්‍ර
1767-1776. මහණෙනි, අපා වූ ද දෙපා වූ ද සිවුපා වූ ද බහුපා වූ ද යම්තාක් සත්‍වයෝ වෙත් නම් ... බහුල කෙරේ යි.
(අප්පමාද වර්‍ගය ද විවේකනිස්සිතාදි විසින් විතර කටයුතු යි.)
නවවැනි අප්පමාදවර්‍ග යි.
එහි සූත්‍රනාමාවලිය:
තථාගත පද මූල සාර වස්සික රාජ චන්‍ද සුරිය වත්‍ථ යි දශසූත්‍රාන්ත කෙනෙකි.
10. බලකරණීය වර්‍ගය
4. 10. 1-12.
බලාදි සූත්‍ර
1777-1788. මහණෙනි, යම්සේ යම්කිසි බලකරණියකර්‍මාන්තයෝ කරනු ලැබෙද්ද ... බහුල කෙරේ යි.
(බලකරණිය වර්‍ගය ද විවේකනිස්සිතාදි විසින් විතර කටයුතු)
දසවැනි බලකරණියවර්‍ග යි.
එහි සූත්‍රනාමාවලිය:
බල, බීජ, නාග, රුක්ඛ, කුම්භ, සූක, ආකාස යි සූත්‍ර සතෙකි. මේඝ සූත්‍ර දෙකෙකි. නාවා ආගන්තුක නදී යි තුනෙකි. මුළුල්ල දොළොසෙකි.
11. ඒසනා වර්‍ගය
4. 11. 1-40.
ඒසනාදි සූත්‍ර
1789-1828. මහණෙනි, මේ ඒසනා තුනෙකි. කවර තුනෙක් ද යත්: ... වැඩියයුතුයි.
(ඒසනාවර්‍ගය ද විවේකනිස්සිතාදි වශයෙන් විතර කටයුතු)
එකොළොස්වැනි ඒසනාවර්‍ග යි.
එහි සූත්‍රනාමාවලිය:
ඒසනා, විධා, ආසව, භව, දුක්ඛතා, ඛීල, මල, නීඝ, වේදනා, තණ්හා ය යි සූත්‍ර චතුෂ්ක දශයෙකි. මුළුල්ල සාලිසෙකි යි.
12. ඕඝ වර්‍ගය
4. 12. 1-40.
ඕඝාදි සූත්‍ර
1829-1868. මහණෙනි, මේ ඕඝ සතරෙකි. කවර සතරෙක් ද යත්: ... වැඩියයුතු යි ...
(ඕඝ වර්‍ගය ද විවේකනිස්සිතාදි වශයෙන් විතර කටයුතු.)
දොළොස්වැනි ඕඝවර්‍ග යි.
එහි සූත්‍රනාමාවලිය:
ඕඝ, යෝග, උපාදාන, ගන්‍ථ, අනුසය, කාමගුණ, නීවරණ, ඛන්‍ධ, ඕරම්භාගිය, උද්ධම්භාගිය යි සූත්‍ර චතුෂ්ක දශයෙකි මුළුල්ල සාලිසෙකි යි.
13. පුනගඞ්ගාපෙය්‍යාල වර්‍ගය
4. 13. 1-36.
පාචීනනින්නාදි සූත්‍ර
1869-1904. මහණෙනි, යම්සේ ගඞ්ගා නදිය ... නිවනට බර වූයේ වේ යි.
(ඉන්‍ද්‍රියසංයුත්තයේ පුනගඞ්ගාපෙය්‍යාලවර්‍ගය රාගවිනයාදිවශයෙන් ද අමතෝගධාදිවශයෙන් ද නිබ්බානනින්නාදිවශයෙන් ද විතර කට යුතු. එකෙක තුනක් තුනක් කොට සතිස් සූත්‍රාන්ත කෙනෙක් දතයුතු.)
තෙළෙස්වැනි පුනගඞ්ගාපෙය්‍යාල යි.
එහි සූත්‍රනාමාවලිය:
පාචීනනින්නසූත්‍ර ත්‍රික සයෙකි. සමුද්දනින්න ත්‍රික ද සයෙකි. මේ ෂට්ක දෙක ත්‍රික දොළොසෙක් වේ. එයින් වර්‍ගය යි කියනු ලැබේ. සූත්‍ර මුළුල්ල සතිසෙකි යි.
14. පුනඅප්පමාද වර්‍ගය
4. 14. 1-30.
තථාගතාදි සූත්‍ර
1905-1934. මහණෙනි, අපා වූ හෝ ... යම්තාක් සත්‍වයෝ වෙද්ද ... බහුල කෙරේ යි.
(කියන ලද නය අනුව විතර කටයුතු. තිස් සූත්‍රාන්ත කෙනෙක් දතයුතුවහ.)
තුදුස්වැනි පුනඅප්පමාදවර්‍ගය යි.
එහි සූත්‍රනාමාවලිය:
තථාගත, පද, කූට, මූල, සාර, වස්සික, රාජ, චන්‍දිම, සූරිය, වත්‍ථ යී සූත්‍ර ත්‍රික දශයෙකි. මුළුල්ල තිසෙකි යි.
15. පුනබලකරණීය වර්‍ගය
4. 15. 1-36.
බලාදි සූත්‍ර
1935-1970. මහණෙනි, යම් කිසි බලකරණිය කර්‍මාන්තයෝ ... බහුල කෙරේ යි.
(කී නයින් ම විතර කරන්නහු විසින් සතිස් සූත්‍රාන්ත කෙනෙක් දතයුත්තාහ.)
පසළොස්වැනි පුනබලකරණීයවර්‍ග යි.
එහි සූත්‍රනාමාවලි ය:
බල, බීජ, නාග, රුක්ඛ, කුම්භ, සූක, ආකාස යී ත්‍රික සතෙක් ද මේඝසූත්‍ර ත්‍රික දෙකෙක් ද නාවා ආගන්තුක නදී යි ත්‍රික තුනෙක් දැ යි ත්‍රික දොළසෙකි. සූත්‍ර සතිසෙකි යි.
16. පුනඒසනා වර්‍ගය
4. 16. 1-120.
එසනාදි සූත්‍ර
1971-2090. මහණෙනි, මේ ඒසනා තුනෙකි ... වැඩියයුතු යි.
(පෙර කී නයින් ද අභිඥාවශයෙන් ද විතර කරන්නහු විසින් එක්සියවිසි සූත්‍රාන්ත කෙනෙන් දතයුත්තාහ.)
සොළොස්වැනි පුනඒසනාවර්‍ගය යි.
එහි සූත්‍රනාමාවලිය:
ඒසනා විධා ආසව භව දුක්ඛතා ඛිල මල නීඝ වේදනා තණ්හා යී සූත්‍ර ද්වාදශක දශයෙකි මුළුල්ල එක්සිය විස්සෙකි යි.
17. පුනඕඝ වර්‍ගය
4. 17. 1-119.
ඕඝාදි සූත්‍ර
2091-2209. මහණෙනි, මේ ඕඝ සතරෙකි ... වැඩියයුත්තාහ යි.