1207. එක්සමයෙක ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ රජගහනුවර සමීපයෙහි කලන්‍දකනිවාප නම් වේළුවනාරාමයෙහි වැඩවෙසෙති. එසමයෙහි සිරිවඩ්ඨ ගැහැවි හටගත් ආබාධ ඇත්තේ දුකට පැමිණියේ දැඩි සේ ගිලන් වූයේ වෙයි. එකල්හි සිරිවඩ්ඨ ගැහැවි එක්තරා පුරුෂයකු ඇමතී ය. එම්බල පුරුෂය, එව. තෝ ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවන් වෙත එළඹෙව. එළඹ “වහන්ස, සිරිවඩ්ඨ ගැහැවි හටගත් ආබාධ ඇත්තේ දුකට පැමිණියේ දැඩි සේ ගිලන් වූයේ වෙයි. හෙතෙමේ ආනන්‍ද ආයුෂ්මතුන් වහන්සේගේ පා හිසින් වඳී” යි මා වදනින් ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවන්ගේ පා හිසින් වඳුව, මෙසේත් කියව: වහන්ස, ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ අනුකම්පා පිණිස සිරිවඩ්ඨ ගැහැවිහුගේ නිවෙස වෙත එළඹෙන සේක් නම් මැනවැ යි.
“එසේ ය හිමියනි” යි ඒ පුරිස් සිරිවඩු ගැහැවිහට පිළිතුරු දී ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවන් වෙත එළඹියේ ය. එළඹ ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවන් වැඳ එකත්පස් ව හුන්නේ ය. එකත්පස් ව හුන් ඒ පුරිස් ආයුෂ්මත් ආනන්‍දතෙරණුවන්ට මෙය සැලකෙළේ ය: වහන්ස, සිරිවඩු ගැහැවි තෙමේ හටගත් ආබාධ ඇත්තේ ය. දුකට පැමිණියේ ය. දැඩි සේ ගිලන් වූයේ ය. හෙතෙමේ ආනන්‍ද ආයුෂ්මතුන් වහන්සේගේ පා හිසින් වඳියි. මෙසේත් කියයි: “වහන්ස, ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ අනුකම්පා පිණිස සිරිවඩු ගැහැවිහුගේ නිවෙස වෙත එළඹෙන සේක්නම් මැනවැ” යි. ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ නිහඬබැවින් ඉවසූහ.
ඉක්බිති ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ පෙරවරු හැඳ පෙර ව පාසිවුරු ගෙන සිරිවඩු ගැහැවිහුගේ නිවෙස වෙත එළඹියහ. එළඹ පැන වූ අස්නෙහි වැඩහුන්හ. වැඩහිඳ ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ සිරිවඩු ගැහැවිහට මෙය වදාළහ: ගැහැවි, කිම තොපට ඉවසිය හැකි ද? කිම යැපිය හැකි ද? කිම දුක් වේදනාවෝ අඩු වෙද්ද? වැඩි නො වෙද් ද? ඔවුන්ගේ අඩු වීම පැනේ ද? වැඩි වීමෙක් නො පැනේ දැ? යි. වහන්ස, මට ඉවසිය නො හැක්ක. යැපිය නො හැකි. මාගේ දැඩි දුක් වේදනාවෝ වැඩි වෙති. අඩු නො වෙත්. ඔවුන්ගේ වැඩි වීම පැනෙයි, අඩු වීමෙක් නො පැනේ යි. ගැහැවි, එහෙයින් මෙහි ලා තොප විසින් මෙසේ හික්මිය යුතු: “කයෙහි කය අනු ව දක්නාසුලුව කෙලෙස් තවන වැර ඇතිව මනා දැනුම් ඇතිව සිහි ඇතිව කාලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසෙන්නෙමි. වේදනා ... සිත්හි ... දහම්හි දහම් අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇතිව මනාදැනුම් ඇතිව සිහි ඇතිව දහම්ලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසෙන්නෙමි” යි. ගැහැවි, මෙසේ ම තොප විසින් හික්මිය යුතු යි.
වහන්ස, යම් මේ සිවුසීවටන්හු භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලද්දාහු ද, ඒ දහම්හු මා කෙරෙහි ඇතියහ. මම ද ඒ දහම්හි මැනවින් දිස්වෙමි. වහන්ස, මම කයෙහි කය අනුව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇත්තෙම් මනාදැනුම් ඇත්තෙම් සිහි ඇත්තෙම් කාලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසෙමි. වේදනාහි ... සිත්හි ... දහම්හි දහම් අනු ව දක්නාසුලුව කෙලෙස් තවන වැර ඇත්තෙම් මනාදැනුම් ඇත්තෙම් සිහි ඇත්තෙම් දහම්ලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසෙමි. වහන්ස, යම් මේ පඤ්ච ඕරම්භාගියසංයෝජන කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලද්දාහු නම් ඔවුනතුරෙන් ප්‍රහීණ නො වූ කිසිවක් තමා කෙරෙහි මම නො ම දකිමි යි. ගැහැවි, තොපට ලාභයෙකි. ගැහැවි, තොපට මනා ලැබීමෙකි. ගැහැවි, අනාගාමි ඵලය තොප විසින් පවසන ලදැ යි.
3. 3. 10.
මානදින්න සූත්‍රය
1208. එක්කලෙක ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ රජගහනුවර සමීපයෙහි කලන්‍දකනිවාස නම් වේළුවනාරාමයෙහි වැඩ වෙසෙති. එසමයෙහි මානදින්න ගැහැවි ගටගත් ආබාධ ඇත්තේ දුකට පැමිණියේ දැඩි යේ ගිලන් වූයේ වෙයි. එකල්හි මානදින්න ගැහැවි එක්තරා පුරුෂයකු ඇමතී ය ... වහන්ස, මම මෙබඳු දුක්වේදනාවකිනුදු පහස්නා ලද්දෙම් කයෙහි කය අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇත්තෙම් මනා දැනුම් ඇත්තෙම් සිහි ඇත්තෙම් කාලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසෙමි. වේදනාහි ... සිත්හි ... දහම්හි දහම් අනුව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇත්තෙම් මනාදැනුම් ඇත්තෙම් සිහි ඇත්තෙම් දහම්ලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසෙමි. වහන්ස, යම් මේ පඤ්ච ඕරම්භාගිය සංයෝජන කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ විසින් දෙසන ලදහු නම් වහන්ස, ඔවුනතර අප්‍රහීණ කිසිවක් තමා කෙරෙහි මම නො ම දක්මි යි. ගැහැවි, තොපට ලාභයෙකි. ගැහැවි, තොපට මනා ලැබීමෙකි. ගැහැවි, තොප විසින් අනගැමිඵලය පවසන ලදැ යි.
තෙවැනි සීලට්ඨිතිවර්‍ගය යි.
එහි සූත්‍ර නාමාවලිය:
සීල, ඨිති, පරිහාණ, සුද්ධක, බ්‍රාහ්මණ, පදෙස, සමත්ත, ලෝක, සිරිවඩ්ඪ, මානදින්නයි සූත්‍රාන්ත දශයෙකි යි.
4. අනනුස්සුත වර්‍ගය
3. 4. 1.
අනනුස්සුත සූත්‍රය
1209. සැවැත්නුවර:
මහණෙනි, මේ කයෙහි කය අනුව දැක්ම ය යි මා විසින් පෙර නො ඇසූවිරූ දහම්හි ඇස පහළ විය, නැණ පහළ විය. පැන පහළ විය. විදු පහළ විය. එළිය පහළ විය. මහණෙනි, ඒ මේ කයෙහි කය අනුව දැක්ම වැඩිය යුතු ය යි මා විසින් ... මහණෙනි, වඩන ලදැ යි මා විසින් පෙර නො ඇසූවිරූ දහම්හි ඇස පහළ විය, නැන පහළ විය. පැන පහළ විය. විදු පහළ විය. එළිය පහළ විය. මේ වේදනාවන්හි වේදනා අනු ව දැක්ම යයි ... මේ සිත්හි සිත් අනුව දැක්ම යයි ... මහණෙනි, මේ දහම්හි දහම් අනුව දැක්ම යයි මා විසින් පෙර නො ඇසූ විරූ දහම්හි ඇස පහළ විය. නැන පහළ විය. පැන පහළ විය. විදු පහළ විය. එළිය පහළ විය. මහණෙනි, ඒ මේ දහම්හි දහම් අනුව දැක්ම වැඩිය යුතු යයි මා විසින් … මහණෙනි, වඩන ලදැ යි මා විසින් පෙර නො ඇසූවිරූ දහම්හි ඇස පහළ විය. නැන පහළ විය. පැන පහළ විය. විදු පහළ විය. එළිය පහළ වී යයි.
3. 4. 2.
විරාග සූත්‍රය
1210. මහණෙනි, මේ සිවුසීවටන්හු වඩන ලද්දාහු බහුල කරන ලද්දාහු ඒකාන්ත නිර්වේදය විරාගය නිරෝධය ක්ලේශව්‍යපශමය විශිෂ්ටඥානය චතුස්සත්‍යාවබෝධය නිර්‍වාණය පිණිස පවතිත්. කවර සිවුසීවටන්හු ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ කයෙහි කය අනුව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනාදැනුම් ඇති ව සිහි ඇති ව කාලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසෙයි. වේදනාහි ... සිත්හි ... දහම්හි දහම් අනුව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනාදැනුම් ඇති ව සිහි ඇති ව දහම්ලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසේ. මහණෙනි, මේ සිවුසීවටන්හු වඩන ලදහු බහුල කරන ලදහු ඒකාන්ත නිර්වේදය විරාගය නිරෝධය ක්ලේශව්‍යපශමය විශිෂ්ටඥානය චතුස්සත්‍යාවබෝධය නිර්‍වාණය පිණිස පවතිත් යි.
3. 4. 3.
විරජ්ජ සූත්‍රය
1211. මහණෙනි, යම් කිසි කෙනකුන් විසින් සිවුසීවටන්හු වරද්දන ලද්දාහු නම් ඔවුන් විසින් මැනවින් දුක් ගෙවීමට යන අරීමග වරද්දන ලද්දේ ය. මහණෙනි, යම් කිසි කෙනකුන් විසින් සිවුසීවටන්හු අරඹන ලද්දාහු නම් ඔවුන් විසින් මැනවින් දුක් ගෙවීමට යන අරීමග අරඹන ලද්දේ ය. කවර සිවුසීවටන්හු ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ කයෙහි කය අනුව දක්නා සුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව කාලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසෙයි. වේදනාහි ... සිත්හි ... දහම්හි දහම් අනුව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව දහම්ලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසෙයි. මහණෙනි, යම් කිසි කෙනකුන් විසින් මේ සිවුසීවටන්හු වරද්දන ලද්දාහු නම් ඔවුන් විසින් මැනවින් දුක් ගෙවීමට යන අරීමග වරද්දන ලද්දේ ය. මහණෙනි, යම් කිසි කෙනකුන් විසින් සිවුසීවටන්හු අරඹන ලද්දාහු නම් ඔවුන් විසින් මැනවින් දුක් ගෙවීමට යන අරීමග අරඹන ලද්දේ යි.
3. 4. 4.
භාවිත සූත්‍රය
1212. මහණෙනි, මේ සතරසතිපට්ඨානයෝ වඩන ලද්දාහු බහුල කරන ලද්දාහු මෙතෙරින් එතෙරට යාම පිණිස පවතිත්, කවර සතරෙක් ද යත්: මහණෙනි, මෙහි මහණ කයෙහි කය අනුව දක්නාසුලු ව ... වේදනාහි ... සිත්හි ... දහම්හි දහම් අනුව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව දහම් ලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසෙයි. මහණෙනි, මේ සතරසතිපට්ඨානයෝ වඩන ලද්දාහු බහුල කරන ලද්දාහු මෙතෙරින් එතෙරට යෑම පිණිස පවතිත් යි.
3. 4. 5.
සතෝ සූත්‍රය
1213. මහණෙනි, මහණ සිහි ඇති ව මනා දැනුම් ඇති ව වෙසෙන්නේය. මෙය තොපට අපගේ අනුසාසනා යි. මහණෙනි, කෙසේ නම් මහණ සිහි ඇත්තේ වේ ද යත්: මහණෙනි, මෙහි මහණ කයෙහි කය අනුව දක්නාසුලු ව … විඳුම්හි ... සිත්හි ... දහම්හි දහම් අනුව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව දහම්ලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසෙයි. මහණෙනි, මෙසේ මහණ සිහි ඇත්තේ වෙයි. මහණෙනි, කෙසේ නම් මහණ මනා දැනුම් ඇත්තේ වේ ද යත්: මහණෙනි, මෙහි මහණහට වේදනාවෝ දන්නා ලද්දාහු උපදිත්. දන්නා ලද්දාහු එළඔ සිටිත්. දන්නා ලද්දාහු වැනසීමට යෙත්. විතර්‍කයෝ දන්නා ලද්දාහු උපදිත්. දන්නා ලද්දාහු එළඔ සිටිත්. දන්නා ලද්දාහු වැනසීමට යෙත්. සංඥාවෝ දන්නා ලද්දාහු උපදිත්. දන්නා ලද්දාහු එළඔ සිටිත්. දන්නා ලද්දාහු වැනසීමට යෙත්. මහණෙනි, මෙසේ මහණ මනා දැනුම් ඇත්තේ වෙයි. මහණෙනි, මහණ සිහි ඇති ව මනා දැනුම් ඇති ව වෙසෙන්නේ ය. මේ තොපට අපගේ අනුශාසනා යි.
3. 4. 6.
අඤ්ඤා සූත්‍රය
1214. මහණෙනි, මේ සතිපට්ඨාන සතරෙකි. කවර සතරෙක් ද යත්: මහණෙනි, මෙහි මහණ කයෙහි කය අනුව දක්නාසුලු ව ... විඳුම්හි ... සිත්හි ... දහම්හි දහම් අනුව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව දහම්ලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසේ. මහණෙනි, මේ සතර සතිපට්ඨාන වැඩූ බැවින් බහුල කළ බැවින් උභය ඵලයන් ගෙන් එක්තරා ඵලයක් කැමති විය යුතු යි. දිටුදැමියෙහි රහත්බව හෝ උපාදානශේෂ ව ඇති කල්හි අනගැමි බව හෝ යි.
3. 4. 7.
ඡන්‍ද සූත්‍රය
1215. මහණෙනි, මේ සතිපට්ඨාන සතරකි. කවර සතරෙක් ද යත්: මහණෙනි, මෙහි මහණ කයෙහි කය අනුව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව කාලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසේ. කයෙහි කය අනුව දක්නාසුලු ව වෙසෙන ඔහුට කයෙහි යම් තෘෂ්ණාඡන්‍දයෙක් වේ නම් එය ප්‍රහීණ වේ. ඡන්‍දය ප්‍රහීණ වීමෙන් නිවන පසක් කරන ලද්දේ වේ. වෙදනාහි ... වේදනායෙහි යම් තෘෂ්ණාඡන්‍දයෙක් වේ නම් එය ප්‍රහීණ වේ. ඡන්‍දය ප්‍රහීණ වීමෙන් නිවන පසක් කරන ලද්දේ වේ. සිත්හි ... සිත්හි යම් තෘෂ්ණාඡන්‍දයෙක් වේ නම් එය ප්‍රහීණ වේ. ඡන්‍දය ප්‍රහීණ වීමෙන් නිවන පසක්කරන ලද්දේ වේ. දහම්හි දහම් අනුව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව දහම්ලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසේ. දහම්හි දහම් අනුව දක්නාසුලු ව වෙසෙන ඔහුට දහම්හි යම් තෘෂ්ණාඡන්‍දයෙක් වේ නම් එය ප්‍රහීණ වේ. ඡන්‍දය ප්‍රහීණ වීමෙන් නිවන පසක්කරන ලද්දේ වේ යි.
3. 4. 8.
පරිඤ්ඤාත සූත්‍රය
1216. මහණෙනි, මේ සතිපට්ඨාන සතරෙකි. කවර සතරෙක් ද යත්: මහණෙනි, මෙහි මහණ කයෙහි කය අනුව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව කාලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසේ. කයෙහි කය අනුව දක්නාසුලු ව වෙසෙන ඔහු විසින් කය පිරිසිඳ දන්නා ලද්දේ වෙයි. කය පිරිසිඳ දත් බැවින් නිවන පසක් කරන ලද්දේ වේ. වේදනාහි ... වේදනාව පිරිසිඳ දන්නා ලද්දී වේ. වේදනාව පිරිසිඳ දත් බැවින් නිවන පසක් කරන ලද්දේ වේ. සිත්හි ... සිත පිරිසිඳ දන්නා ලද්දේ වේ. සිත පිරිසිඳ දත් බැවින් නිවන පසක්කරන ලද්දේ වේ. දහම්හි දහම් අනුව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව දහම්ලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසේ. දහම්හි දහම් අනුව දක්නාසුලු ව වෙසෙන ඔහු විසින් දහම්හු පිරිසිඳ දන්නා ලද්දාහු වෙති. දහම් පිරිසිඳ දත් බැවින් නිවන පසක්කරන ලද්දේ වේ යි.
3. 4. 9.
භාවනා සූත්‍රය
1217. මහණෙනි, සිවු සීවටන් වැඩීම දේශනා කරන්නෙමි. එය අසවු. මහණෙනි, සිවු සීවටන් වැඩීම කවරේ ද යත්: මහණෙනි, මෙහි මහණ කයෙහි කය අනුව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව කාලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසේ. විඳුම්හි ... සිත්හි ... දහම්හි දහම් අනුව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනාදැනුම් ඇති ව සිහි ඇති ව දහම්ලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසේ. මහණෙනි, මේ සිවුසීවටන් වැඩීම යි.
3. 4. 10.
විභඞ්ග සූත්‍රය
1218. මහණෙනි, සතිපට්ඨානයත් සතිපට්ඨාන වැඩීමත් සතිපට්ඨාන වැඩීමට යන පිළිවෙතත් තොපට දේශනා කරන්නෙමි. එය අසවු. මහණෙනි, සතිපට්ඨාන කවරේ ද යත්: මහණෙනි, මෙහි මහණ කයෙහි කය අනුව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනාදැනුම් ඇති ව සිහි ඇති ව කාලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසේ. විඳුම්හි ... සිත්හි ... දහම්හි දහම් අනුව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනාදැනුම් ඇති ව සිහි ඇති ව දහම්ලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසේ. මහණෙනි, මේ සතිපට්ඨාන යයි කියනු ලැබේ.
මහණෙනි, සතිපට්ඨාන වැඩීම කවරේ ද යත්: මහණෙනි, මෙහි මහණ කයෙහි හටගැනුම් ස්වභාවය අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව කාලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසේ. කයෙහි වැනසුම් සැහැවි පුනපුනා දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව කාලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසේ. කයෙහි හටගැනුම් ස්වභාවය හා වැනසුම් ස්වභාවය පුනපුනා දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව කාලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසේ. වේදනාවන්හි හටගැනුම් ස්වභාවය අනුව දක්නාසුලු ව ... වෙසේ. වේදනාවන්හි වැනසුම් ස්වභාවය අනු ව දක්නාසුලු ව ... වෙසේ. වේදනාවන්හි හටගැනුම් ස්වභාවය හා වැනසුම් ස්වභාවය අනුව දක්නාසුලු ව ... වෙසේ ... සිත්හි හටගැනුම් ස්වභාවය පුනපුනා දක්නාසුලු ව ...
වෙසේ. සිත්හි වැනසුම් ස්වභාවය පුනපුනා දක්නාසුලු ව ... වෙසේ. සිත්හි හටගැනුම් ස්වභාවය හා වැනසුම් ස්වභාවය පුනපුනා දක්නාසුලු ව වෙසේ. දහම්හි හටගැනුම් ස්වභාවය අනුව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව දහම්ලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසේ. දහම්හි වැනසුම් ස්වභාවය අනුව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව දහම්ලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසේ. දහම්හි හටගැනුම් ස්වභාවය හා වැනසුම් ස්වභාවය පුනපුනා දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව දහම් ලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසේ. මහණෙනි, මේ සතිපට්ඨාන වැඩීමය යි කියනු ලැබේ.
මහණෙනි, සතිපට්ඨාන වැඩීමට යන පිළිවෙත කවරේද යත්: මේ අරිඅටඟිමඟ මැ යි. එනම්: සම්මාදිට්ඨි ... සම්මාසමාධි යි. මහණෙනි, මේ සතිපට්ඨාන වැඩීමට යන පිළිවෙතැ යි කියනු ලැබේ යි.
සිවුවැනි අනනුස්සුතවර්‍ගය යි.
එහි සූත්‍රනාමාවලිය:
අනනුස්සුත, විරාග, විරද්ධ, භාවිත, සතෝ, අඤ්ඤා, ඡන්‍ද, පරිඤ්ඤාත, භාවනා යන සූත්‍ර නවය විභඞ්ග සූත්‍රයෙන් දසයෙක් වේ යි.
5. අමත වර්‍ගය
3. 5. 1.
අමත සූත්‍රය
1219. මහණෙනි, සිවු සීවටන්හි එළඹ සිටි සිත් ඇති ව වෙසෙවු. තොපට නිවන නො නැසේවා. කවර සිවු සීවටන්හි ද යත්: මහණෙනි, මෙහි මහණ කයෙහි කය අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇතිව මනා දැනුම් ඇති ව සිහි ඇති ව කාලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසෙයි. විඳුම්හි ... සිත්හි ... දහම්හි දහම් අනුව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව දහම්ලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසෙයි. මහණෙනි, මේ සිවු සීවටන්හි එළඹ සිටි සිත් ඇති ව වෙසෙවු. තොපට නිවන නො නැසේවා යි.
3. 5. 2.
සමුදය සූත්‍රය
1220. සැවැත්නුවර:
මහණෙනි, සිවුසීවටන් හි සමුදයත් අත්‍ථගමයත් දේශනා කරන්නෙමි. එය අසවු. මහණෙනි, කයෙහි සමුදය කිමෙක් ද යත්: ආහාරසමුදයයෙන් කයෙහි හට ගැනීම වේ, ආහාරනිරෝධයෙන් කයෙහි අස්තඞ්ගමය වේ. ඵස්ස සමුදයයෙන් වේදනාවන්ගේ හට ගැනීම වේ. ඵස්ස නිරෝධයෙන් වේදනාවන්ගේ අස්තඞ්ගමය වේ. නාමරූපසමුදයයෙන් සිතේහටගැනීම වේ. නාමරූපනිරෝධයෙන් සිතේ අස්තඞ්ගමය වේ. මනසිකාරසමුදයයෙන් ධර්‍මයන්ගේ හටගැනීම වේ. මනසිකාරනිරෝධයෙන් ධර්‍මයන්ගේ අස්තඞ්ගමය වේ යි.
3. 5. 3.
මග්ග සූත්‍රය
1221. එක්සමයෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි අනේපිඬු සිටුහුගේ දෙව්රම්හි වැඩවසන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමතූ සේක: මහණෙනි, මම බුදු ව පළමු කොට එක්සමයෙක උරුවෙල්දනවුහි නේරඤ්ජා ගංඉවුරෙහි අජපල්නුගරුක මුල්හි වෙසෙමි. මහණෙනි, එකලා වූ විවේකයෙන් යුත් ඒ මට මෙබඳු චිත්තවිතර්‍කයෙක් පහළ විය:
“යම් මේ සතරසතිපට්ඨාන කෙනෙක් වෙත් නම් සත්ත්‍වයන්ගේ විශුද්ධිය පිණිස ශෝකපරිදේවයන් ඉක්මවීම පිණිස දුක් දොම්නස් දුරු කිරීම පිණිස අරිඅටඟිමඟ අවබෝධ කරනු පිණිස නිවන පසක්කිරීම පිණිස මේ එක ම මඟය. කවර සතරෙක් ද යත්: මහණ කයෙහි කය අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇතිව මනා දැනුම් ඇති ව සිහි ඇති ව කාලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසෙන්නේ ය. මහණ විඳුම්හි හෝ විඳුම් අනුව දක්නාසුලු ව ... වෙසෙන්නේ ය. මහණ සිත්හි හෝ සිත් අනුව දක්නාසුලු ව වෙසෙන්නේ ය. මහණ දහම්හි හෝ දහම් අනුව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව දහම්ලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසෙන්නේ ය. යම් මේ සතරසතිපට්ඨාන කෙනෙක් වෙත් නම් සත්‍වයන්ගේ විශුද්ධිය පිණිස ශෝකපරිදේවයන් ඉක්මවනු පිණිස දුක් දොම්නස් දුරු කරනු පිණිස අරිඅටඟිමඟ අවබෝධ කරනු පිණිස නිවන පසක්කරනු පිණිස මේ එක ම මඟ වේ” යි.
මහණෙනි, එකල්හි සහම්පති බ්‍රහ්මතෙමේ මාගේ චිත්තවිතර්‍කය සියසිතින් දැන යම්සේ බලවත් පුරුෂයෙක් හැකුළූ අතක් හෝ දිගු කරන්නේද; දිගු කළ අතක් හෝ හකුලුවන්නේද: එසෙයින් ම බඹලොව අතුරුදන් ව මා ඉදිරියෙහි පහළ විය. මහණෙනි, ඉක්බිති සහම්පති බ්‍රහ්ම උතුරුසඟ එකස් කොට මා වෙත එළඹැ ඇඳිලි බැඳ මට මෙසේ සැලකෙළේ ය:
භාග්‍යවතුන් වහන්ස, මෙය එසේ ය. සුගතයන් වහන්ස, මෙය එසේය. වහන්ස, යම් මේ සතරසතිපට්ඨාන කෙනෙක් වෙත් නම් සත්ත්‍වයන්ගේ විශුද්ධියට ශෝකපරිදේවයන් ඉක්මවීමට දුක් දොම්නස් දුරු කිරීමට ඤායය අවබෝධ කිරීමට නිවන පසක්කිරීමට මේ එක ම මඟ ය. කවර සතරෙක් ද යත්: වහන්ස, මහණ කයෙහි කය අනුව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව කාලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසෙන්නේ ය. වහන්ස, මහණ විඳුම්හි හෝ විඳුම් අනුව දක්නාසුලු ව ... වෙසෙන්නේ ය. වහන්ස, මහණ සිත්හි හෝ සිත් අනුව දක්නාසුලු ව ... වෙසෙන්නේ ය. වහන්ස, මහණ දහම්හි හෝ දහම් අනුව දක්නාසුලුව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව දහම් ලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසෙන්නේය. වහන්ස, යම් මේ සතර සතිපට්ඨානකෙනෙක් වෙත් නම් සත්ත්‍වයන්ගේ විශුද්ධියට ශෝකපරිදේවයන් ඉක්මවීමට දුක් දොම්නස් දුරු කිරීමට ඤායය අවබෝධ කිරීමට නිවන පසක් කිරීමට මේ එක ම මඟ වේ යි. මහණෙනි, සහම්පති බ්‍රහ්ම තෙමේ මෙය කී ය. මෙය කියා යළි මේ ගය ද කී:
නිවන දක්නාසුලු වූ හිතානුකම්පා ඇති භාග්‍යවතුන් වහන්සේ ඒකායනමාර්‍ගය (-සිවුසීවටන්) දන්නා සේක. යම් කෙනෙක් (දැන් යම් මඟකින්) චතුරෝඝ තරණය කෙරෙත් නම් පෙරත් මේ මඟින් තරණය කළහ. (මතුත්) තරණය කරන්නාහ යි.
3. 5. 4.
සතෝ සූත්‍රය
1222. මහණෙනි. මහණ සිහි ඇති ව වෙසෙන්නේ ය. මේ තොපට අපගේ අනුශාසනා යි. මහණෙනි, කෙසේ නම් මහණ සිහි ඇත්තේ වේ ද යත්: මහණෙනි, මෙහි මහණ කයෙහි කය අනුව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව කාලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසේ. විඳුම්හි ... සිත්හි … දහම්හි දහම් අනුව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇතිව දහම්ලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසේ. මහණෙනි, මෙසේ මහණ සිහි ඇත්තේ වේ. මහණෙනි, මහණ සිහි ඇතිව වෙසෙන්නේ ය. මේ තොපට අපගේ අනුශාසනා යි.
3. 5. 5.
කුසලරාසි සූත්‍රය
1223. මහණෙනි, කුසල්රැසැ යි කියන්නෙක් මැනවින් කියන්නේ සතිපට්ඨානසතර කියන්නේ ය. මහණෙනි, යම් මේ සතිපට්ඨාන සතරෙක් වේ නම් මෙය හුදු කුසල් රැසෙකි. කවර සතරෙක් ද යත්: මහණෙනි, මෙහි මහණ කයෙහි කය අනුව දක්නාසුලු ව ... විඳුම්හි ... සිත්හි … දහම්හි දහම් අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව දහම් ලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසෙ යි. මහණෙනි, කුසල්රැසැ යි කියන්නෙක් මැනවින් කියන්නේ මේ සතරසතිපට්ඨාන කියන්නේය. මහණෙනි, යම් මේ සතිපට්ඨාන සතරෙක් වේ නම් මෙය හුදු කුසල් රැසෙකි යි.
3. 5. 6.
පාතිමොක්ඛ සූත්‍රය
1224. එකල්හි එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත් පස් ව හුන්නේය. එකත්පස් ව හුන් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේ ට මෙය සැලකළේය: “වහන්ස, මම භාග්‍යවතුන් වහන්සේගෙන් යම් දහමක් අසා එකලා ව ගණයා කෙරෙන් වෙන් වූයෙම් නො පමා ව කෙලෙස් තවන වැර ඇතියෙම් නිවන පිණිස මෙහෙයූ සිත් ඇතියෙම් වෙසෙන්නෙම් නම් භාග්‍යවතුන් වහන්සේ (එබඳු) දහමක් සැකෙවින් මට දේශනා කරනු මැනවි”’ යි.
මහණ, එහෙයින් මෙහි ලා තෙපි කුසල්දහම්හි මුල ම පිරිසිදු කරවු. කුසල්දහමුන්ගේ මුල කිමෙක් ද යත්: මහණ තෙපි මෙහි ප්‍රාතිමෝක්‍ෂසංවරයෙන් සංවෘත ව ආචාරගෝචරසම්පන්න ව අණුමාත්‍ර වූ ද වරදෙහි බිය දක්නාසුලු ව වෙසෙවු. සිඛපදෙහි සමාදන් ව හික්මෙවු. මහණ, යම්කලෙක තෙපි ප්‍රාතිමෝක්‍ෂසංවරයෙන් සංවෘත ව ආචාරගෝචරසම්පන්න ව අණුමාත්‍ර වූ ද වරදෙහි බිය දක්නාසුලු ව වෙසෙන්නහු නම් සිඛපදෙහි සමාදන් ව හික්මෙවු නම් මහණ, එකල තෙපි සීලය නිසා සීලයෙහි පිහිටා සිවුසීවටන් වඩාන්නහු. කවර සිවුසීවටන් හු ද යත්: මහණ, මෙහි තෙපි කයෙහි කය අනුව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව කාලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසෙවු. විඳුම්හි ... සිත්හි … දහම්හි දහම් අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇතිව දහම් ලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසෙවු. මහණ, යම් කලෙක තෙපි සීලය නිසා සීලයෙහි පිහිටා මේ සිවුසීවටන් මෙසේ වඩන්නහු නම් මහණ, එකල තොපට යම් රැයෙක් හෝ දවාලෙක් හෝ පැමිණේ ද, කුසල්දහම්හි වැඩීම ම කැමති විය යුතු. පිරිහීම නොකැමති විය යුතු. එකල්හි ඒ මහණ භාග්‍යවතුන් වහන්සේ ගේ දේශනාව ... ඒ මහණ රහතුන් අතුරෙන් එක්තරා කෙනෙක්ද වූහ යි.
3. 5. 7.
දුච්චරිත සූත්‍රය
1225. එකල්හි එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය ... එකත්පසෙක හුන් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළේය: “වහන්ස, මම භාග්‍යවතුන් වහන්සේගේ යම් දහමක් අසා එකලා ව ගණයා කෙරෙන් වෙන් වූයෙම් නො පමා ව කෙලෙස් තවන වැර ඇතියෙම් කාදිවිදෙක්හි නිරපේක්‍ෂකයෙම් වෙසෙන්නෙම් නම් භාග්‍යවතුන් වහන්සේ (එබඳු) දහමක් සැකෙවින් මට දේශනා කරන සේක් නම් මැනැවි” යි.
මහණ, එසේ නම් තෙපි මෙහිලා කුසල්දම්හි මුල ම පිරිසිදු කරවු. කුසල්දහමුන්ගේ මුල කිමෙක් ද යත්: මහණ මෙහි තෙපි කාය දුශ්චරිතය හැර කායසුචරිතය වඩන්නහු වාග්දුශ්චරිතය හැර වාක්සුචරිතය වඩන්නහු. මනෝ දුශ්චරිතය හැර මනඃසුචරිතය වඩාන්නහු. මහණ, තෙපි යම් කලෙක කායදුශ්චරිතය හැර කායසුචරිතය වඩන්නහු නම් වාග්දුශ්චරිතය හැර වාක්සුචරිතය වඩන්නහු නම් මනෝදුශ්චරිතය හැර මනඃසුචරිතය වඩාන්නහු නම් මහණ, එකල්හි තෙපි සීලය නිසා සීලයෙහි පිහිටා සිවුසීවටන් වඩන්නහු. කවර සිවුසීවටන්හු ද යත්: මහණ, මෙහි තෙපි කයෙහි කය අනුව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇතිව කාලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසෙවු. විඳුම්හි ... සිත්හි … දහම්හි දහම් අනුව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව දහම් ලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසෙවු. මහණ, තෙපි යම් කලෙක සීලය නිසා සීලයෙහි පිහිටා මේ සිවුසීවටන් මෙසේ වඩන්නහු ද; මහණ, එකල්හි තොපට යම් රැයෙක් හෝ දවාලෙක් හෝ පැමිණෙන්නේ නම් කුසල්දහම්හි පිරිහීමෙක් නොව වැඩීමෙක්ම කැමති විය යුතුයි ... ඒ මහණ ද රහතුන් අතුරෙන් එක්තරා කෙනෙක් වූහ යි.
3. 5. 8.
මිත්ත සූත්‍රය
1226. මහණෙනි, මිතුරු වූ හෝ ඇමති (යහළු) වූ හෝ නෑ වූ හෝ සහලේ නෑ වූ හෝ යම් කෙනෙකුන්ට අනුකම්පා කරන්නහු නම් යම් කෙනෙක් ඇහුම්කන් දිය යුතු කොට හඟනාහු නම් මහණෙනි, තොප විසින් ඔහු සිවුසීවටන් වැඩීමෙහි සමාදන් කරවිය යුතු හ. වැස් විය යුතු හ. පිහිටු විය යුතු හ. කවර සිවුසීවටන් ද යත්: මහණෙනි, මෙහි මහණ කයෙහි කය අනු ව දක්නාසුලුව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව කාලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසේ. විඳුම්හි ... සිත්හි … දහම්හි දහම් අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව දහම් ලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසේ. මහණෙනි, මිතුරු වූ හෝ ඇමති වූ හෝ සහලේ නෑ වූ හෝ යම් කෙනකුන්ට අනුකම්පා කරන්නහු නම් යම් කෙනකුත් ඇහුම්කන් දිය යුතු කොට හඟනාහු නම් මහණෙනි, තොප විසින් ඔහු සිවුසීවටන් වැඩීමෙහි සමාදන් කරවිය යුතුහ. වැස්විය යුතුහ. පිහිටු විය යුතුහ යි.
3. 5. 9.
වේදනා සූත්‍රය
1227. මහණෙනි, මේ වේදනා තුනෙකි. කවර තුනෙක් ද යත්: සුවවේදනා ය, දුක්වේදනා ය, නොදුක්නොසුවවේදනා යි. මහණෙනි, මොහු තුන්වේදනාවෝයි. මහණෙනි, මේ තුන්වේදනාවන් පිරිසිඳ දැනීම පිණිස සිවුසීවටන් වැඩිය යුතු. කවර සිවුසීවටන්හුද යත්: මහණෙනි, මෙහි මහණ කයෙහි කය අනු ව දක්නාසුලු ව ... විඳුම්හි ... සිත්හි ... දහම්හි දහම් අනුව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව දහම් ලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසේ. මහණෙනි, මේ තුන්වේදනාවන් පිරිසිඳ දැනීම පිණිස සිවුසීවටන්හු වැඩිය යුතුහ යි.
3. 5. 10.
ආසව සූත්‍රය
1228. මහණෙනි, මේ ආස්‍රව තුනෙකි. කවර තුනෙක් ද යත්: කාමාස්‍රවය, භවාස්‍රවය, අවිද්‍යාස්‍රවය යි. මහණෙනි, මේ ආස්‍රව තුන යි. මහණෙනි, මේ ආස්‍රව තුන පැහීම පිණිස සතිපට්ඨාන සතර වැඩිය යුතු. කවර සතරෙක් ද යත්: මහණෙනි, මෙහි මහණ කයෙහි කය අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව කාලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසේ. විඳුම්හි ... සිත්හි … දහම්හි දහම් අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව දහම් ලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසේ. මහණෙනි, මේ ආස්‍රව තුන පැහීම පිණිස මේ සතිපට්ඨාන සතර වැඩිය යුතු යි.
පස්වැනි අමත වර්‍ග යි.
එහි සූත්‍රනාමාවලිය:
අමත, සමුදය, මග්ග, සතෝ, කුසලරාසි, පාතිමොක්ඛ, දුච්චරිත, මිත්ත, වේදනා, ආසව යී දශසූත්‍රාන්තකෙනෙකි යි.
6. ගඞ්ගාපෙය්‍යාල වර්‍ගය
3. 6. 1-48.
ගඞ්ගාදි සූත්‍ර
1229-1276. මහණෙනි, යම්සේ ගඞ්ගානදිය පෙරදිගට නැමුනී පෙරදිගට නැඹුරු වූවා පෙරදිගට බර වූවා වේ ද ... නිවනට බර වූයේ වේ යි.
(ගඞ්ගාපෙය්‍යාලවර්‍ගය සතිපට්ඨාන වශයෙන් විස්තර කට යුතු)
සවැනි ගඞ්ගාපෙය්‍යාලවර්‍ගය යි.
එහි සූත්‍රනාමාවලිය:
පාචීනනින්නසූත්‍ර චතුෂ්ක සයෙකි. සමුද්දනින්නසූත්‍ර චතුෂ්ක සයෙකි. මේ දෙකොටස දොළොස් චතුෂ්කයෙක් වේ. එයින් වර්‍ගය යි කියනු ලැබේ. (සූත්‍ර මුළුල්ල අටසාලිසෙකි).
(විවෙක නිස්සිතාදි වශයෙන් ද රාගවිනයපරියොසානාදි වශයෙන් ද අමතෝගධාදිවශයෙන් ද නිබ්බානනින්නාදි වශයෙන් ද එකෙක සතරක් සතරක් කොට අටසාලිස් සුත්‍රාන්තයෝ විතර කට යුතු වෙත්.)
7. අප්පමාද වර්‍ගය
3. 7. 1-40.