Saṁyutta Nikāya

Connected Discourses

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-30 · 15083 segments

පෙන්වන කොටස් 1201-1300 න් 15083

මහරජ, මම වනාහි පඤ්චකාමගුණයන් අතුරෙන් මනාපය කෙළවර කොට ඇත්තේ අග්‍රය යි කියමි. මහරජ, ඒ රූපයෝ ම ඇතැමකුට මනාප වෙත්. ඒ රූපයෝ ම ඇතැමකුට අමනාප වෙත්. යමෙක් යම් රූපවලින් සතුටු සිත් ඇත්තේ පිරිපුන් සඞ්කල්ප ඇත්තේ වේ ද, හෙ තෙමේ ඒ රූපයන්ට වඩා ඉතා උසස් වූ හෝ ඉතා ප්‍රණීත වූ හෝ අන් රූපයක් නො පතයි. ඔහුට ඒ රූපයෝ උතුම් වෙත්. ඔහුට ඒ රූපයෝ අනුත්තර වෙත්.
මහරජ, ඒ ශබ්දයෝ ම … මහරජ, ඒ ගන්‍ධයෝ ම … මහරජ, ඒ රසයෝ ම … මහරජ, ඒ ස්ප්‍රෂ්ටව්‍යයෝ ම ඇතමකුට මනාප වෙත්. ඒ ස්ප්‍රෂ්ටව්‍යයෝ ම ඇතැමකුට අමනාප වෙත්. යමෙක් යම් ස්ප්‍රෂ්ටව්‍යයන්ගෙන් සතුටු සිත් ඇත්තේ පිරිපුන් සඞ්කල්ප ඇත්තේ වේ ද, හෙ තෙමේ ඒ ස්ප්‍රෂ්ටව්‍යයන්ට වඩා ඉතා උසස් වූ හෝ ඉතා ප්‍රණීත වූ හෝ අන් ස්ප්‍රෂ්ටව්‍යයක් නො පතයි. ඔහුට ඒ ස්ප්‍රෂ්ටව්‍යයෝ උතුම් වෙත්. ඔහුට ඒ ස්ප්‍රෂ්ටව්‍යයෝ අනුත්තර වෙත්.
එකල්හි චන්‍දනඞ්ගලික උපාසක තෙමේ ඒ පිරිස්හි හුන්නේ වේ. ඉක්බිති චන්‍දනඞ්ගලික උපාසක තෙමේ හුනස්නෙන් නැගිට උතුරුසළුව එකස් කොට භාග්‍යවතුන් වහන්සේ වෙත ඇඳිලි බැඳ භාග්‍යවතුන් වහන්සේට “භාග්‍යවතුන් වහන්ස, මට වැටහෙයි, සුගතයන් වහන්ස, මට වැටහේ ය” යි තෙල සැළ කෙළේ ය:
“චන්‍දනඞ්ගලික , තොපට වැටහේවා” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
ඉක්බිති චන්‍දනඞ්ගලික උපාසක තෙමේ භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි ඊට සුදුසු ගාථායෙන් ස්තුති කළේ ය.
සුවඳ ඇති රත් පියුම අලුයම පිපුනේ යම්සේ පහ නො වූ සුවඳ ඇත්තේ වන්නේ ද, එසෙයින් අහසෙහි බබලන හිරු මෙන් විරාජමාන වූ බුදුරජානන් වහන්සේ බලව.
ඉක්බිති ඒ පස් රජහු උතුරුසළු පසෙකින් චන්‍දනඞ්ගලික උපාසකයා හැඳවූහ. ඉක්බිති චන්‍දනඞ්ගලික උපාසක තෙමේ ඒ උතුරුසළු පසින් භාග්‍යවතුන් වහන්සේ පිදී ය.
3. 2. 3.
දෝණපාක සූත්‍රය
124. සැවැත්නුවර–
එකල්හි පසේනදි කොසොල් රජ තෙමේ තිඹක්සාලෙහි බත අනුභව කෙරෙයි. ඉක්බිති පසේනදි කොසොල් රජ තෙමේ අනුභව කළේ මහත් කොට සුසුම් හෙළන සුලු වූයේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්නේ ය.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ පසේනදි කොසොල් රජු, අනුභව කළහු, මහත් කොට සුසුම් හෙළන්නහු දැන ඒ වේලාවෙහි මේ ගාථාව වදාළ සේක:
හැම කල්හි සිහි ඇති, ලද බොජුන්හි පමණ දන්නා ඒ මිනිසාගේ (දුඃඛ) වේදනාවෝ තුනී වෙත්. (වැළඳු අහර) සෙමෙන් දිරයි. ආයුෂ රක්නේ ය.
එකල්හි සුදස්සන මාණවක තෙමේ කොසොල් රජු පිටිපස සිටියේ වෙයි. ඉක්බිති පසේනදි කොසොල් රජ තෙමේ සුදස්සන මාණවකයා ඇමතී ය. දරුව, සුදස්සන, එව තෝ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගය පිරිවහා මා බත් වළඳන කල්හි කියව. මම ද තට දවස් පතා කහවණු සියයක් නිත්‍ය භික්‍ෂාවක් (=වැටුපක්) පවත්වන්නෙමි යි. එසේ ය, දේවයන් වහන්සැ යි සුදස්සන මාණවක තෙමේ පසේනදී කොසොල් රජහට පිළිවදන් දී භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව පිරිවහා පසේනදි කොසොල් රජ බත් වළඳන කල්හි කියයි:
“හැම කල්හි සිහි ඇති, ලද බොජුන්හි පමණ දන්නා ඒ මිනිසාගේ (දුඃඛ) වේදනාවෝ තුනී වෙත්. (වැළඳු අහර) සෙමෙන් දිරයි. ආයුෂ රක්නේයි.”
ඉක්බිති පසේනදි කොසොල් රජ තෙමේ පිළිවෙළින් සහල් නැළියක බත වැඩි ම ආහාරය කොට ඇති බැව්හි සිටියේ ය. ඉක්බිති පසේනදි කොසොල් රජ තෙමේ පසු කලෙක සැහැල්ලු සිරුරු ඇත්තේ අතින් ශරීරාවයවයන් පිරිමදනේ ඒ වේලාවෙහි “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙලොව අභිවෘද්ධියෙන් ද, පරලොව අභිවෘද්ධියෙන් ද යන උභයාර්‍ත්‍ථයෙන් ම මට අනුකම්පා කළ සේකැ” යි මේ ප්‍රීති වාක්‍යය පහළ කළේ ය.
3. 2. 4.
පඨමසඞ්ගාම සූත්‍රය
125. සැවැත්නුවර–
එකල්හි මගධේශ්වර වූ වේදේහිපුත්‍ර අජාසත්තු රජ තෙමේ සිවුරඟ සෙනග (සන්නාහ) සන්නද්ධ කොට ගෙණ පසේනදි කොසොල් රජුට විරුද්ධ ව යුධ පිණිස කසී ගම කරා ඉදිරියට ගියේ ය.
පසේනදි කොසොල් රජ තෙමේ “මගධේශ්වර වූ වේදේහිපුත්‍ර අජාතසත්තු රජ සිවුරඟ සෙනඟ සරසා ගෙන මට විරුද්ධ ව යුධ පිණිස කසී ගම කරා පැමිණියේ ය”යි ඇසී ය. ඉක්බිති පසේනදි කොසොල් රජ තෙමේ සිවුරඟ සෙනඟ සරසවා ගෙණ මගධේශ්වර වූ වේදේහිපුත්‍ර අජාතසත්තුරජුට විරුද්ධ ව කසී ගම කරා යුධ පිණිස ඉදිරියට ගියේ ය.
මගධේශ්වර වූ වේදේහිපුත්‍ර අජාතසත්තුරජ තෙමේ ද, පසේනදි කොසොල්රජ තෙමේ ද යුධ කළ හ. ඒ යුදෙහි දී මගධේශ්වර වූ වේදේහිපුත්‍ර අජාතසත්තුරජ තෙමේ පසේනදි කොසොල්රජු පැරදවී ය. පැරදුනු පසේනදි කොසොල්රජ තෙමේ ස්වකීය රාජධානිය වූ සැවැත්නුවර ම පෙරළා ගියේ ය.
ඉක්බිති බොහෝ භික්‍ෂූහු පෙරවරු හැඳ පොරොව පා සිවුරු ගෙණ සැවැත්නුවරට පිඬු පිණිස පිවිසියහ. සැවැත්නුවර පිඬු පිණිස හැසිර පසුබත් පිණ්ඩපාතයෙන් වැළකුනාහු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළහ.
වහන්ස, මෙහි මගධේශ්වර වූ වේදේහිපුත්‍ර අජාතසත්තු රජ තෙමේ සිවුරඟ සෙනඟ සරසා ගෙණ පසේනදි කොසොල් රජුට විරුද්ධව යුධ පිණිස කසීගම කරා ඉදිරියට ගියේ ය. වහන්ස, පසේනදි කොසොල් රජ තෙමේ “මගධේශ්වර වූ වේදේහිතපුත්‍ර අජාතසත්තු තෙමේ මට විරුද්ධව යුධ පිණිස සිවුරඟ සෙනඟ සරසා ගෙණ කසීගම කරා ඉදිරියට ගියේ ය”යි ඇසී ය. වහන්ස, ඉක්බිති පසේනදි කොසොල් රජ තෙමේ සිවුරඟ සෙනඟ සරසා ගෙණ මගධේශ්වර වූ වේදේහිපුත්‍ර අජාතසත්තු රජුට විරුද්ධ ව යුධ පිණිස කසීගම කරා ඉදිරියට ගියේ ය. වහන්ස, එකල්හි මගධේශ්වර වූ වේදේහිපුත්‍ර අජාතසත්තුරජ තෙමේ ද, පසේනදි කොසොල් රජ තෙමේ ද යුද කළ හ.
වහන්ස, ඒ යුදෙහි දී මගධේශ්වර වූ වේදේහිපුත්‍ර අජාතසත්තුරජ තෙමේ පසේනදි කොසොල් රජ පැරද වීය. වහන්ස, පැරදුන පසේනදි කොසොල් රජ තෙමේ සිය රාජධානිය වූ සැවැත්නුවරට ම පෙරළා ගියේ ය.
මහණෙනි, මගධේශ්වර වූ වේදේහිපුත්‍ර අජාතසත්තුරජ තෙමේ පවිටු මිතුරන් ඇත්තේ ය. පවිටු යහළුවන් ඇත්තේ ය. පවිටන් කෙරෙහි නැමුනේ ය. මහණෙනි, පසේනදි කොසොල් රජ තෙමේ කලණ මිතුරන් ඇත්තේ ය. කලණ යහළුවන් ඇත්තේ ය. කලණයන් කෙරෙහි නැමුනේ ය. මහණෙනි, පසේනදි කොසොල්රජ තෙමේ පැරදුනේ අද මේ රැයත් දුක සේ හොවින්නේ ය.
දිනන්නේ වෛරී ජනයා ලබයි. පැරදුනේ දුක සේ වෙසෙයි. දිනුම් පැරදුම් දෙක හැර සන්සිදුනේ සුව සේ වෙසෙයි.
3. 2. 5.
දුතීය සඞ්ගාම සූත්‍රය
126. සැවැත්නුවර–
එකල්හි මගධේශ්වර වූ වේදේහිපුත්‍ර අජාතසත්තු රජ තෙමේ සිවුරඟ සෙනඟ සරසා ගෙණ පසේනදි කොසොල් රජුහට විරුද්ධ ව කසීගම කරා ඉදිරියට ගියේ ය. පසේනදි කොසොල් තෙමේ “මගධේශ්වර වූ වේදේහිපුත්‍ර අජාතසත්තු රජ තෙමේ සිවුරඟ සෙනඟ සරසා ගෙණ මට විරුද්ධ ව කසීගම කරා ඉදිරියට පැමිණියේ යැ යි” ඇසීය.
ඉක්බිති පසේනදි කොසොල්රජ තෙමේ සිවුරඟ සෙනඟ සරසා ගෙණ මගධේශ්වර වූ වේදේහිපුත්‍ර අජාසත්තු රජුහට විරුද්ධ ව කසීගම කරා ඉදිරියට ගියේ ය. එකල්හි මගධාධිපති වූ වේදේහිපුත්‍ර අජාතසත්තු රජ තෙමේ ද පසේනදි කොසොල්රජ තෙමේ ද යුද කළහ. ඒ යුදෙහි දී පසේනදි කොසොල්රජ තෙමේ මගධාධිපති වූ වේදේහිපුත්‍ර අජාතසත්තු රජු පැරද විය. ජීවග්‍රාහයෙන් ද ඔහු අල්ලා ගත්තේ ය.
එකල්හි පසේනදි කොසොල් රජහට මේ අදහස විය: මගධේශ්වර වූ වේදේහිපුත්‍ර අජාතසත්තු රජ තෙමේ කිසිසේත් ද්‍රෝහ නො කරණ මට ද්‍රෝහ කෙරෙයි. එතකුදු වුවත් මාගේ බෑනනුවෝ වෙති. මම මගධේශ්වර වූ වේදේහිපුත්‍ර අජාතසත්තු රජහුගේ සියලු ඇත්සෙනඟ පැහැර ගෙණ , සියලු අස්සෙනඟ පැහැර ගෙණ, සියලු රිය සෙනඟ පැහැර ගෙණ, සියලුපාබල සෙනඟ පැහැර ගෙණ ඔහු ජීවත් වන්නහු ම මුදා හරණෙම් නම් මැනව යි කියා යී.
ඉක්බිති පසේනදි කොසොල්රජ තෙමේ මගධේශ්වර වූ වේදේහිපුත්‍ර අජාතසත්තු රජුගේ සියලු ඇත් සෙනඟ පැහැර ගෙණ … ඔහු ජීවත්වන්නහු ම මුදා හළේ ය.
ඉක්බිති බොහෝ භික්‍ෂූහු පෙරවරු හැඳ පොරොවා පාසිවුරු ගෙණ සැවැත්නුවරට පිඬු පිණිස පිවිසියහ. සැවැත්නුවර පිඬු පිණිස හැසිර පසුබත පිණ්ඩපාතයෙන් වැළකුනාහු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළහ:
වහන්ස, මෙහි මගධේශ්වර වූ වේදේහිපුත්‍ර අජාතසත්තු රජ තෙමේ සිවුරඟ සෙනඟ සරසා ගෙණ පසේනදි කොසොල්රජුට විරුද්ධව යුධ පිණිස කසීගම කරා ඉදිරියට ගියේ ය. වහන්ස, පසේනදි කොසොල් රජ තෙමේ … කසීගම කරා ඉදිරියට පැමිණියේ ය යි ඇසී ය. වහන්ස, ඉක්බිති පසේනදි කොසොල්රජ තෙමේ සිවුරඟ සෙනඟ සරසා ගෙණ මගධාධිපති වේදේහිපුත්‍ර අජාතසත්තු රජුට විරුධ ව යුධ පිණිස කසීගම කරා ඉදිරියට ගියේ ය. වහන්ස, ඉක්බිති මගධේශ්වර වූ වේදේහිපුත්‍ර අජාතසත්තු රජ තෙමේ ද, පසේනදි කොසොල් රජ තෙමේ ද යුධ කළ හ. වහන්ස, ඒ යුදෙහි දි පසේනදි කොසොල් රජ තෙමේ මගධේශ්වර වූ වේදේහිපුත්‍ර අජාතසත්තු රජු පැරද විය. ඔහු ජීවග්‍රාහයෙන් ද අල්ලා ගත්තේ ය.
වහන්ස, ඉක්බිති පසේනදි කොසොල් රජහට මේ අදහස විය: “මගධාධිපති වේදේහිපුත්‍ර මේ අජාතසත්තුරජ තෙමේ කිසිසේත් ද්‍රෝහ නො කරන්නා වූ මට ද්‍රෝහ කෙරෙයි. එතෙකුදු වුවත් මාගේ බෑනනුවෝ වෙති. මම මගධේශ්වර වූ වේදේහිපුත්‍ර අජාතසත්තු රජහුගේ සියලු ඇත්සෙනඟ පැහැර ගෙණ , සියලු අස්සෙනඟ පැහැර ගෙණ, සියලු රියසෙනඟ පැහැර ගෙණ, සියලු පාබළ සෙනඟ පැහැර ගෙණ ඔහු ජීවත්වන්නහු ම මුදා හරණෙම් නම් මැනවැ” යි කියා යි. වහන්ස, ඉක්බිති පසේනදි කොසොල් රජ තෙමේ මගධේශ්වර වූ වේදේහිපුත්‍ර අජාතසත්තුරජුගේ සියලු ඇත්සෙනඟ පැහැර අල්ලා ගෙණ, සියලු අස්සෙනඟ පැහැර අල්ලා ගෙණ, සියලු රිය සෙනඟ පැහැර අල්ලා ගෙණ, සියලු පාබලසෙනඟ පැහැර අල්ලා ගෙණ ඔහු ජීවත් වන්නහු ම මුදා හළේ ය.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ දැන ඒ වේලාවෙහි දී මේ ගාථා වදාළ සේක:
යම් තාක් ඔහුට හැකි වේ ද, (ඒ තාක්) පුරුෂ තෙමේ වනසා ම ය. යම් කලෙක අන්‍යයෝ (තමා) නසද්ද, එකල්හි ඒ (මෙරමා) නැසූ පුද්ගල තෙමේ (මෙරමා විසින්) නසනු ලැබේ.
යම් තාක් පාපය විපාක නො දේ ද, (ඒ තාක්) අඥාන තෙමේ (සතුටට) කරුණකැ යි හඟී. යම් කලෙකත් පාපය විපාක දේ ද, එකල්හි අඥාන තෙමේ දුකට පැමිණේ.
(මෙරමා) නසන්නා (තමා) නසන්නකු ලබයි, (මෙරමා) දිනන්නා (තමා) දිනන්නකු ලබයි. ආක්‍රෝශ කරන්නා ආක්‍රෝශ කරන්නකු ලබයි. කිපෙන්නා කිපෙන්නකු ලබයි. තව ද කර්‍මය මිහි කිරීමෙන් ඒ (මෙරමා) නැසූ පුද්ගල තෙමේ (මෙරමා විසින්) නසනු ලැබේ.
3. 2. 6.
ධීතු සූත්‍රය
127. සැවැත්නුවර–
ඉක්බිති පසේනදි කොසොල් රජ තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්නේ ය.
එකල්හි එක්තරා පුරුෂයෙක් පසේනදි කොසොල් රජු වෙත එළඹියේ ය. එළඹ පසේනදි රජහට “දේවයන් වහන්ස, මල්ලිකාදේවී තොමෝ දුවක වැදුවා ය”යි කණ ලඟ සැළ කළේ ය. එසේ කී කල්හි පසේනදි කොසොල් රජ නො සතුටු සිත් ඇත්තේ විය.
එකල්හි භාග්‍යවතුන් වහන්සේ පසේනදි කොසොල් රජු නොසතුටු සිත් ඇත්තහු දැන ඒ වේලාවෙහි මේ ගාථා වදාළ සේක.
රජතුමනි, ඇතැම් ස්ත්‍රිය ද ශ්‍රේෂ්ඨ ය. (එහෙයින්) පොෂණය කරුණු මැන. නුවණැති සිල්වත් නැදිමයිලන් දෙවි කොට වෙසෙන පතිවත රක්නා (යම් ස්ත්‍රියක් වේ ද,)
දිශාවන්ට අධිපති රජතුමනි, ඇයට යම් පුතෙක් උපදී ද, (හෙ තෙමේ) දක්‍ෂයෙක් වෙයි. එබඳු යහපත් තැනැත්තියගේ පුත්‍ර තෙමේ රාජ්‍යානුශාසනා ද කෙරෙයි.
3. 2. 7.
අප්පමාද සූත්‍රය
128. සැවැත්නුවර–
එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් පසේනදි කොසොල් රජ තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළේ ය. වහන්ස, යම් දහමෙක් මෙලොව අභිවෘද්ධියත් පරලොව අභිවෘද්ධියත් යන දෙවැදෑරුම් අභිවෘද්ධිය ම අත්පත් කොට ගෙණ සිටී නම් එබඳු එක් දහමෙක් ඇද්ද?
මහරජ, යම් දහමෙක් මෙලොව අභිවෘද්ධියත් පරලොව අභිවෘද්ධියත් යන දෙවැදෑරුම් අභිවෘද්ධිය ම අත්පත් කොට ගෙණ සිටී නම් එබඳු එක් දහමෙක් ඇත.
වහන්ස, යම් දහමෙක් මෙලොව අභිවෘද්ධියත් පරලොව අභිවෘද්ධියත් යන දෙවැදෑරුම් අභිවෘද්ධිය ම අත්පත් කොට ගෙණ සිටී නම් එබඳු එක් දහම කිමෙක් ද?
මහරජ, යම් දහමෙක් මෙලොව අභිවෘද්ධියත් පරලොව අභිවෘද්ධියත් යන දෙවැදෑරුම් අභිවෘද්ධිය ම අත්පත් කොට ගෙණ සිටී නම් එබඳු එක් දහම අප්‍රමාදය යි. මහරජ, ඇවිදින ප්‍රාණින්ගේ යම් කිසි පා සටහන්හු වෙත් නම් ඒ සියල්ලෝ යම්සේ ඇත්පියෙහි ඇතුළත වීමට යෙද්ද, යම් ඒ මහත්ත්‍වයෙන් ඇත්පිය ඔවුන්ට අග්‍ර ය යි කියනු ලැබේද, මහරජ, එසෙයින් ම යම් දහමෙක් මෙලොව අභිවෘද්ධියත් පරලොව අභිවෘද්ධියත් යන දෙවැදෑරුම් අභිවෘද්ධිය ම අත්පත් කොට ගෙණ සිටී නම් අප්‍රමාදය ඒ එක් දහම යි.
ආයුෂ, නීරෝගබව ද, ශරීර වර්‍ණය ද, ස්වර්‍ගය ද, උසස්කුල ඇති බව ද, උදාර වූ අන්‍යෝන්‍ය වූ සිත් අලවන දෑ ද පතන්නහු විසින් පුණ්‍ය ක්‍රියාවන්හි නොපමාවීම නුවණැත්තෝ පසසත්.
මෙලොව යම් අභිවෘද්ධියෙකුත් වේ ද, පරලොව යම් අභිවෘද්ධියෙකුත් වේ ද, පණ්ඩිත තෙමේ නො පමා වූයේ ඒ දෙවැදෑරුම් අභිවෘද්ධිය ම ලබයි. ධෘතිසම්පන්න පුද්ගල තෙමේ අර්‍ත්‍ථප්‍රතිලාභය හේතු කොට ගෙණ පණ්ඩිත ය යි කියනු ලැබේ.
කල්‍යාණමිත්ත සූත්‍රය
129. සැවැත්නුවර–
එකත්පසෙක හුන් පසේනදි කොසොල් රජ තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කළේ ය. වහන්ස, මෙහි රහසිගත ව එකලාව හුන් මා සිත්හි “භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්‍මය මැනවින් වදාරණ ලදී. හෙ ද කලණ මිතුරන් ඇත්තහුට ය. කලණ යහළුවන් ඇත්තහුට ය. කලණයන් කෙරෙහි නැමුනහුට ය. පවිටු මිතුරන් ඇත්තහුට නො වේ. පවිටු යහළුවන් ඇත්තහුට නො වේ. පවිටන් කෙරෙහි නැමුනහුට නො වේ” යන මෙබඳු චිත්ත විතර්‍කයෙක් පහළ විය.
මහරජ, තෙල එසේ ය. මහරජ, තෙල එසේ ය. මහරජ, මා විසින් ධර්‍මය ස්වාක්ඛාත ය. එ ද කලණ මිතුරන් ඇත්තහුට ය. කලණ යහළුවන් ඇත්තහුට ය. කලණයන් කෙරෙහි නැමුනහුට ය. පවිටු මිතුරන් ඇත්තහුට නො වේ. පවිටු යහළුවන් ඇත්තහුට නො වේ. පවිටන් කෙරෙහි නැමුනහුට නො වේ.
මහරජ, එක් කලෙක මම ශාක්‍ය දනව්වෙහි ශාක්‍යයන්ගේ නාගරක නම් නියම්ගම්හි වෙසෙමි. මහරජ, එකල අනඳ මහණ තෙමේ මා වෙත එළඹියේ ය. එළඹ මා වැඳ එකත්පසෙක හුන්නේ ය. මහරජ, එකත්පසෙක හුන් අනඳ මහණ තෙමේ මට “වහන්ස, යම් මේ කල්‍යාණමිත්‍රත්‍වයෙක් කල්‍යාණසහායත්‍වයෙක් කල්‍යාණසම්ප්‍රවඞ්කත්‍වයෙක් වේ ද, මෙය මගබඹසර පිළිබඳ හරි අඩෙකැ”යි මෙය සැළ කෙළේ ය. මහරජ, එසේ කියන ලද මම අනඳ මහණට මෙය කියමි. ආනන්‍ද, එසේ නො කිය, ආනන්‍ද, එසේ නො කිය, ආනන්‍ද, යම් මේ කලණ මිතුරන් ඇතිබවෙක් කලණ යහළුවන් ඇතිබවෙක් කලණයන් කෙරෙහි නැමුනුබවෙක් වේ ද, මෙය මුළු මගබඹසර ම ය. ආනන්‍ද, “අරිඅටගිමග වඩන්නේ ය. අරිඅටගිමග බහුල කරන්නේ” ය යන මෙය කලණ මිතුරන් ඇති කලණ යහළුවන් ඇති කලණයන් කෙරෙහි නැමෙන මහණහු විසින් කැමති විය යුතු යි.
ආනන්‍ද, කලණ මිතුරන් ඇති කලණ යහළුවන් ඇති කලණයන් කෙරෙහි නැමෙන මහණ තෙමේ කෙසේ නම් අරිඅටගිමග වඩා ද? අරිඅටගිමග බහුල කෙරේ ද? යත්: ආනන්‍ද, මෙහි මහණ තෙමේ විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවණට නමන සුලු සම්‍යක් දෘෂ්ටිය වඩයි … සම්‍යක්සඞ්කල්පය වඩයි … සම්‍යක්වචනය වඩයි … සම්‍යක්කර්‍මාන්තය වඩයි … සම්‍යක් ආජීවය වඩයි … සම්‍යක් ස්මෘතිය වඩයි. විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවණට නමන සුලු සම්‍යක්සමාධිය වඩයි. ආනන්‍ද, කලණ මිතුරන් ඇති කලණ යහළුවන් ඇති කලණයන් කෙරෙහි නැමෙන මහණ තෙමේ මෙසේ අරිඅටගිමග වඩයි, අරිඅටගිමග බහුල කෙරෙයි.
ආනන්‍ද, යම් මේ කල්‍යාණමිත්‍රත්‍වයෙක් කල්‍යාණසහායත්‍වයෙක් කල්‍යාණසම්ප්‍රවඞ්කත්‍වයෙක් වේ නම් මෙය යම්සේ මුළු බඹසර වේ ද, එය මේ ක්‍රමයෙන් ද දත යුතු යි.
ආනන්‍ද, කල්‍යාණමිත්‍ර වූ මා නිසා ම ඉපදීම ස්වභාව කොට ඇති සත්‍වයෝ ඉපදීමෙන් මිදෙත්. දිරීම ස්වභාව කොට ඇති සත්‍වයෝ දිරීමෙන් මිදෙත්. මරණය ස්වභාව කොට ඇති සත්‍වයෝ මරණයෙන් මිදෙත්. ශෝකය වැලපීම දුක් දොම්නස් දැඩිආයාස ස්වභාව කොට ඇති සත්‍වයෝ ශෝකපරිදේව දුක්දොම්නස් උපායාසයන්ගෙන් මිදෙත්. ආනන්‍ද, යම් මේ කල්‍යාණමිත්‍රත්‍වයෙක් කල්‍යාණසහායත්‍වයෙක් කල්‍යාණසම්ප්‍රවඞ්කත්‍වයෙක් වේ නම් මෙය යම්සේ මුළු බඹසර වේ ද, එය මේ ක්‍රමයෙනුදු දත යුතු යි.
මහරජ, එහෙයින් මෙහි ලා තොප විසින් මෙසේ හික්මිය යුතු යි. “කලණමිතුරන් ඇත්තෙක් කලණයහළුවන් ඇත්තෙක් කලණයන් කෙරෙහි නැමෙන්නෙක් වන්නෙමි”යි. මහරජ, මෙසේ ම තොප විසින් හික්මිය යුතු යි. මහරජ, කලණමිතුරන් ඇති කලණයහළුවන් ඇති කලණයන් කෙරෙහි නැමුනු තොප විසින් කුශලධර්‍මයන්හි අප්‍රමාදය වූ මේ එක ම ධර්‍මය ඇසුරු කොට විසිය යුතු යි.
මහරජ, අප්‍රමත්ත ව අප්‍රමාදය ඇසුරු කොට වසන්නා වූ තොපගේ ඇතොවුරට (අන්තඃපුරස්ත්‍රීන්ට) ද “රජ තෙමේ අප්‍රමාදය ඇසුරු කොට අප්‍රමත්ත ව වාසය කෙරෙයි. එබැවින් අපි දූ අප්‍රමාදය ඇසුරු කොට අප්‍රමත්ත ව වෙසෙමු”යි මෙසේ අදහස් වන්නේ ය.
මහරජ, අප්‍රමාදය ඇසුරු අප්‍රමත්ත ව වාසය කරන්න වූ තොපගේ අනුයුක්ත (සහකාර) ක්‍ෂත්‍රියයන්ට ද “අපගේ රජ තෙමේ අප්‍රමාදය ඇසුරු කොට අප්‍රමත්ත ව වාසය කෙරෙයි. එබැවින් අපි දූ අප්‍රමාදය ඇසුරු කොට අප්‍රමත්ත ව වෙසෙමු”යි මෙසේ අදහස් වන්නේ ය.
මහරජ, අප්‍රමාදය ඇසුරු අප්‍රමත්ත ව වාසය කරන්නා වූ තොපගේ බලසෙනගට ද “රජ තෙමේ අප්‍රමාදය ඇසුරු කොට අප්‍රමත්ත වෙසෙයි. එබැවින් අපි දූ අප්‍රමාදය ඇසුරු කොට අප්‍රමත්ත ව වෙසෙමු”යි මෙසේ අදහස් වන්නේ ය.
මහරජ, අප්‍රමාදය ඇසුරු අප්‍රමත්ත ව වාසය කරන්න වූ තොපගේ නියම්ගම්දනව්වැස්සන්ට ද “රජ තෙමේ අප්‍රමාදය ඇසුරු කොට අප්‍රමත්ත වෙසෙයි. එබැවින් අපි දු අප්‍රමාදය ඇසුරු කොට අප්‍රමත්ත ව වෙසෙමු”යි මෙසේ අදහස් වන්නේ ය.
මහරජ, අප්‍රමාදය ඇසුරු අප්‍රමත්ත ව වෙසෙන තොප විසින් තෙමේත් ගෝපනය කරණ ලද්දේ වන්නේ ය. අතොවුර ද ගෝපනය කරණ ලද්දේ රක්නා ලද්දේ වන්නේ ය. ධනගබඩා හා කොටුගුල් ද ගෝපනය කරණ ලද්දේ රක්නා ලද්දේ වන්නේ ය.
මහත් වූ නන්වැදෑරුම් සැපත් පතන්නහු විසින් නොපමා වියයුතු යි. පණ්ඩිතයෝ කුශලක්‍රියාවන්හි අප්‍රමාදය පසසත්.
අප්‍රමත්ත වූ පණ්ඩිත තෙමේ දිටුදැමියෙහි යම් අර්‍ත්‍ථයෙක් වේ ද, පරලෙව්හි යම් අර්‍ත්‍ථයෙක් වේ ද මේ උභයාර්‍ත්‍ථය ලබයි. මේ උභයාර්‍ත්‍ථලාභයෙන් නුවණැත්තේ පණ්ඩිත යයි කියනු ලැබේ.
3. 2. 9.
පඨම අපුත්තක සූත්‍රය
130. සැවැත්නුවර–
එකල්හි පසේනදි කොසොල් රජ තෙමේ දෙවෙන් දවහල්හි (මධ්‍යාහ්නයෙහි) භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් පසේනදි කොසොල්රජ හට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක: “මහරජ, දැන් තෙපි දෙවෙන් දවහල කොට සිට එවූ දැ”යි.
වහන්ස, මෙහි සැවැත්නුවර සිටුගැහැවි තෙමේ කලුරිය කළේ ය. මම අපුත්‍රක වූ ඒ ධනය ඇතුළු රජගෙට ගෙන්වා තබා එමි. වහන්ස, (එහි) රන්මිල ම අසූලක්‍ෂයෙකි. රිදී ගැණ කියනු කිම? (එහෙත්) වහන්ස, ඒ සිටුගැහැවිහුගේ බත් වැළඳීම මෙබඳු විය: කාඩි දෙවැනි කොට ඇති නිවුඩුහාලේ බත් බුදියි. වස්ත්‍රපරිභෝගය මෙබඳු විය: කැබැලි තුනක් සැමැන්හු හණවැහැරියක් දරයි. යානපරිභෝගය මෙබඳු වි ය: දරණ ලබන පත්කුඩයෙකින් යුත් දැදුරු වූ කුඩාරියෙකින් යයි.
මහරජ, තෙල එසේ ය. මහරජ, තෙල එසේ ය. මහරජ, අසත් (ලාමක) පුරුෂ තෙමේ මහත් භෝග ලැබ (ද) තමා නො ම සුඛිත කෙරෙයි. නො ම පිණවයි. මවුපියන් සුඛිත නො කෙරෙයි නො පිණවයි. අඹුදරුවන් සුඛිත නො කෙරෙයි නො පිණවයි. දස්කම්කරු පුරුෂයන් සුඛිත නො කෙරෙයි. නො පිණවයි. මිත්‍රයන් හා සහකාරයන් සුඛිත නො කෙරෙයි. නො පිණවයි. මහණබමුණන් කෙරෙහි මතුමත්තෙහි සුව දෙන ස්වර්‍ගයට හිත සුඛවිපාක ඇති ස්වර්‍ගය පිණිස පවත්නා දක්‍ෂිණාව නො පිහිටුවයි. (නොදෙයි). මෙසේ මැනවින් පරිභෝග නොකරණ ඔහුගේ ඒ ධනය රජහු හෝ හැර ගණිත්. සොරු හෝ පැහැර ගණිත්. ගින්න හෝ දවයි. ජලය හෝ නඟයි. අප්‍රිය වූ දායාදයෝ (දූදරු පරපුර) හෝ හැර ගණිත්. මහරජ, මෙසේ ඔහු විසින් මැනවින් පරිභෝග නොකරණු ලබන එ භෝගයෝ විනාශයට පැමිණෙත්. පරිභෝගයට නො පැමිණෙත්.
මහරජ, යම්සේ අමනුෂ්‍යයන් විසින් අධිගෘහිත වූ තැනෙක පහන් දිය ඇති සිහිල්දිය ඇති මිහිරිදිය ඇති හෙළ රළරැලි ඇති මනා තොට ඇති සිත්කලු පොකුණෙක් වේ නම් ජන තෙමේ ඒ දිය නො ම හරණේ ය. නො බොන්නේ ය. නො නහන්නේ ය. පසවැටෙන සෙයින් හෝ නො කරන්නේ ය. මහරජ, එසේ ඒ දිය මැනවින් පරිභෝග නොකරණු ලබන්නේ සිඳ යන්නේ ය. පරිභෝගයට නො පැමිණෙන්නේ ය.
මහරජ, එමෙන් ම ලාමක පුරුෂ තෙමේ මහත්භෝග ලැබ තමා නොම සුඛිත කෙරෙයි නො පිණවයි. … අප්‍රිය වූ දායාදයෝ හෝ හැර ගණිත්. මෙසේ ඔහු විසින් මැනවින් පරිභෝග නොකරණු ලබන්නා වූ ඒ භෝගයෝ විනාශයට පැමිණෙත්. පරිභෝගයට නො පැමිණෙත්.
මහරජ, සත්පුරුෂ තෙමේ මහත් භෝග ලැබ තමා සුඛිත කෙරෙයි, පිණවයි. මවුපියන් සුඛිත කෙරෙයි, පිණවයි. අඹුදරුවන් සුඛිත කෙරෙයි, පිණවයි. දස්කම්කරු පුරුෂයන් සුඛිත කෙරෙයි, පිණවයි. මිත්‍රයන් හා සහකාරයන් සුඛිත කෙරෙයි, පිණවයි. මහණබමුණන් කෙරෙහි මතු මත්තෙහි සුව ගෙණ දෙන ස්වර්‍ගයට හිත සුඛවිපාක ඇති ස්වර්‍ගය පිණිස පවත්නා දක්‍ෂිණාව පිහිටුවයි. මෙසේ මැනවින් පරිභෝග කරණු ලබන ඔහුගේ ඒ භෝගයන් රජහු නොම හැර ගණිත්. සොරු නො පැහැර ගණිත්. ගින්න නො දවයි. ජලය නො නඟයි. අප්‍රිය වූ දායාදයෝ නො හැර ගණිත්. මහරජ, මෙසේ මැනවින් පරිභෝග කරණු ලබන ඒ භෝගයෝ පරිභෝගයට යෙති. සිඳීමට නො යෙත්.
මහරජ, යම්සේ ගමක් හෝ නියම්ගමක් අසල පහන්දිය ඇති සිහිල් දිය ඇති මිහිරිදිය ඇති සුදු රළරැලි ඇති මනා තොට ඇති සිත්කලු පොකුණෙක් වේ නම් ජන තෙමේ ඒ දිය ගෙණ යන්නේත්, බොන්නේත්, නහන්නේත් පසවැටෙනසෙයින් හෝ කරන්නේත් වේ. මහරජ, මෙසේ පරිභෝග කරණු ලබන ඒ ජලය පරිභෝගයට යන්නේ ය. නොසිඳී යන්නේ ය. මහරජ, එපරිද්දෙන් ම නුවණැති සත්පුරුෂ තෙමේ මහත් භෝගයන් ලැබ තමා සුඛිත කෙරෙයි. පිණවයි. … මෙසේ ඒ භෝගයෝ මැනවින් පරිභෝග කරණු ලබන්නාහු පරිභෝගයට යෙති. විනාශයට නො පැමිණෙති.
අමනුෂ්‍යයන් විසින් අධිගෘහිත වූ තැනෙක සිහිල් ජලයෙක් වේ ද, එය පානය නොකරණු ලබන්නේ වියලීමට යේ ද, එසේ ලාමක පුරුෂ තෙමේ ධනය ලැබ තෙමේත් නොම පරිභෝග කෙරෙයි. අනුන්ට ද නොදෙයි. ධෘතිසම්පන්න නුවණැති යම් පුරුෂයෙක් වේ ද, හෙ තෙමේ භෝගයන් ලැබ අනුභව කෙරෙයි. කටයුතු කරන්නේ ද වෙයි. ඒ ශ්‍රේෂ්ඨ පුරුෂ තෙමේ නෑ සමූහයා පෝෂණය කොට (ලෝකයා විසින්) පසස්නා ලද්දේ දෙව්ලොවට පැමිණෙයි.
3. 2. 10.
දුතිය අපුත්තක සූත්‍රය
131. සැවැත්නුවර–
එකල්හි පසේනදි කොසොල් රජ තෙමේ දෙවෙන් දවහල භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් පසේනදි කොසොල්රජහට භාග්‍යවතුන් වහන්සේ මහරජ, “දැන් තෙපි මධ්‍යාහ්නයෙහි කොහි සිට එවු දැ”යි මෙය වදාළ සේක.
වහන්ස, මේ සැවැත්නුවර සිටු ගැහැවි තෙමේ කාලගත විය. මම ඒ දරුවන් නැති සැපත ඇතුළුරජගෙට නඟා යවා එමි. වහන්ස, රන්මිල ම සියක්ලක්‍ෂයෙකි. රිදී ගැණ කියනු කිම? වහන්ස,ඒ සිටුගැහැවිහුගේ බත් වැළඳීම මෙබඳු විය: කාඩි දෙවෙනි කොට ඇති නිවුඩු සහලේ බත බුදියි. වස්ත්‍රපරිභෝගය මෙබඳු විය: සැමැන්නු තුන්කඩක් ඇති හණ වැහැරිවතක් දරයි. රථපරිභෝගය මෙබඳු විය: දරණ ලබන පත්කුඩයක් ඇති දැදුරු වූ කුඩා රියෙකින් ගමන් කරයි.
මහරජ, තෙල එසේ ය. මහරජ, තෙල එසේ ය. පෙර වූවක් (කියමි): මහරජ, ඒ සිටු ගැහැවි තෙමේ තගරසිඛී නම් පසේබුදු රජුහු පිණ්ඩපාතයෙන් පැවරී ය. “මහණහුට පිඬු දෙව”යි කියා හුනස්නෙන් නැගිට ගියේ ය. දී පසුව “මේ පිණ්ඩාහාරය දාසයෝ හෝ කම්කරුවෝ හෝ අනුභව කළාහු නම් යහපතැ”යි විපිළිසර ඇත්තේ විය. ධනහේතුවෙන් බෑයාගේ එක ම කුඩාපුතු ද දිවියෙන් තොර කළේ ය.
මහරජ, ඒ සිටු ගැහැවි තෙමේ තගරසිඛී නම් පසේබුදුරජුන් පිණ්ඩපාතයෙන් පැවරී යන යමක් ඇද්ද ඒ කර්‍මවිපාකයෙන් සත්වරක් සුගති සඞ්ඛ්‍යාත ස්වර්‍ගලෝකයට (උත්පත්තිවශයෙන්) පැමිණේ ය. ඒ කර්‍මයාගේ ම විපාකාවශේෂයෙන් මේ සැවැත්නුවර ම සත්වරක් සිටුකම් කරවී ය.
මහරජ, ඒ සිටු ගැහැවි තෙමේ දී (පසුව): “මේ පිණ්ඩාහාරය දාසයෝ හෝ කම්කරුවෝ හෝ අනුභව කළාහු නම් යහපතැයි” විපිළිසර ඇති වී යන යමක් ඇද්ද, ඒ කර්‍මයාගේ විපාකය හේතු කොට ගෙණ උදාර වූ බත් වැළඳීම පිණිස සිත නො නැමෙයි. උදාර වූ වස්ත්‍රපරිභෝගය පිණිස සිත නො නැමෙයි. උදාර වූ රථපරිභෝගය පිණිස සිත නො නැමෙයි. උදාර වූ පස්කම් සැප අනුභවය පිණිස සිත නො නැමෙයි.
මහරජ, ඒ සිටු ගැහැවි තෙමේ ධනහේතුවෙන් සොහොයුරාගේ එක ම කුඩාපුතු ද දිවියෙන් තොර කළේ යන යමක් ඇද්ද, ඒ කර්‍මවිපාකයෙන් බොහෝ ගණන් හවුරුදු බොහෝ සිය ගණන් හවුරුදු බොහෝ දහස් ගණන් හවුරුදු බොහෝ සියදහස් ගණන් හවුරුදු නරකයෙහි පැසුනේ ය. ඒ කර්‍මයාගේ ම ඉතිරිවිපාකය වශයෙන් මේ සත්වැනි දරුවන් නැති වස්තුසමූහය රාජකෝෂ්ටාගාරයට ඇතුළු කෙරෙයි. මහරජ, ඒ සිටු ගැහැවිහුගේ පැරණි පින ගෙවී ගියේ ය. අලුත් පිනෙක් ද රැස් නො කරණ ලද්දේය. මහරජ, අද සිටුගැහැවි තෙමේ මහාරෞරව නරකයෙහි පැසේ යයි. වහන්ස, එසේ ද? සිටුගැහැවි තෙමේ මහාරෞරව නරකයට (උත්පත්තිවශයෙන්) පැමිණියේ ද? මහරජ, එසේ ය, සිටු ගැහැවි තෙමේ මහාරෞරව නරකයට පැමිණියේ ය.
ධාන්‍ය ද ධන ද රිදී ද රන් ද තමා සතු යම් කිසි අනෙකෙක් ඇත් නම් එ ද දාසයෝ ද කම්කරුවෝ ද මෙහෙකරුවෝද යන ඔහු අනුව ජීවත්වන යම් කෙනෙක් ඇත් නම් ඔහු ද යන සියල්ල නො ගෙණ යායුතුයි. සියල්ල (මෙහි ම) හැර දමා යන සැහැවි ඇත.
කයින් ද වචනයෙන් ද වැලි සිතින් ද යම් කර්‍මයකුත් කෙරේ ද එය ම ඔහුට තමා සතු වස්තුව වේ. එය ම රැගෙණ පරලොව යෙයි එය ම අත් නො හැර යන සෙවනැල්ල මෙන් ඔහු අනු ව යන්නේ වේ.
එහෙයින් පරලොවට හිතවූ දෑ රැස් කරන්නේ පින් කරන්නේ ය. පින් පරලෙව්හි දී සත්‍වයන්ට පිහිට වේ.
අපුත්තක වර්‍ගය දෙවෙනි යි.
එහි උද්දානය: