4. නීවරණ වර්‍ගය
2. 4 .1.
කුසල සූත්‍රය
577. මහණෙනි, යම්කිසි දැහැමි කෙනෙක් කුසල් ද, කුසල් කොටස්හි වූවෝ ද කුසල් පස්හි වූවෝ ද, ඒ සියල්ලෝ අප්‍රමාදය මුල් කොට ඇත්තෝ ය. අප්‍රමාදයෙහි ඇතුළත් වූවෝ ය. අප්‍රමාදය ඒ ධර්‍මයනට අග්‍රය යි කියනු ලැබේ. මහණෙනි, “සත්බොජඟ වඩන්නේ ය සත්බොජඟ බහුල කරන්නේ ය” යන මෙය නොපමා මහණහු විසින් කැමති වියයුතු. මහණෙනි, නොපමා මහණ කෙසේ නම් සත්බොජඟ වඩා ද සත්බොජඟ බහුල කෙරේ ද යත් ; මහණෙනි, මෙහි මහණ තෙමේ විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත සිහිසම්බොජඟ වොස්සග්ගපරිණාමි කොට වඩයි … උපේසම්බොජඟ වඩයි. මහණෙනි, මෙසේ නොපමා මහණ තෙමේ සත්බොජඟ වඩයි. සත්බොජඟ බහුල කෙරේ යි.
2. 4. 2.
දුතිය කුසල සූත්‍රය
578. මහණෙනි, යම්කිසි දහම් කෙනෙක් කුසල් ද, කුසල් කොටස්හි වූවෝ ද කුසල්පස්හි වූවෝ ද ඒ සියල්ලෝ නුවණින් මෙනෙහි කිරීම මුල් කොට ඇතියහ. නුවණින් මෙනෙහි කිරීමෙහි ඇතුළත්හ. නුවණින් මෙනෙහි කිරීම ඒ දහමුන්ට අග්‍රය යි කියනු ලැබේ. මහණෙනි, “සත්බොජඟ වඩන්නේ ය සත්බොජඟ බහුල කරන්නේ ය” යන මෙය නුවණින් මෙනෙහි කිරීමෙන් යුත් මහණහු විසින් කැමති වියයුතු. මහණෙනි, යොනිසොමනසිකාරසම්පන්න මහණ කෙසේ නම් සත්බොජඟ වඩා ද සත්බොජඟ බහුල කෙරේ ද යත්: මහණෙනි, මෙහි මහණ විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත සිහිසම්බොජඟ වොස්සග්ගපරිණාමි කොට වඩයි … උපේසම්බොජඟ වඩයි. මහණෙනි, යොනිසොමනසිකාරසම්පන්න මහණ මෙසේ සත්බොජඟ වඩයි. සත්බොජඟ බහුල කෙරේ යි.
2. 4. 3.
කිලේස සූත්‍රය
579. මහණෙනි, යම් කෙලෙසුන්ගෙන් කෙලෙසුණු ස්වර්‍ණය මෘදුත් නො වේ ද කර්‍මණ්‍යත් නො වේ ද ප්‍රභාස්වරත් නො වේ ද බිඳෙනසුලුත් වේ ද කර්‍ම පිණිස (-ආභරණ ආදිය තැනීම සඳහා) මැනැවින් නො ද පැමිණේ (සුදුසු නො වේද) ද ස්වර්‍ණයට මේ (එබඳු) කෙලෙස් පසෙකි:- කවර පසෙක් ද යත්: මහණෙනි, යම් කෙලෙසුමෙකින් කෙලෙසුණු ස්වර්‍ණය මෘදුත් නො වේ ද කර්‍මණ්‍යත් නො වේ ද ප්‍රභාස්වරත් නො වේ ද බිඳෙනසුලුත් වේ ද කර්‍ම පිණිස මැනැවින් නො ද පැමිණේ ද, යකඩ ස්වර්‍ණයට (එබඳු) කෙලෙසුමෙකි. මහණෙනි, … ලොහො ස්වර්‍ණයට (එබඳු) කෙලෙසුමෙකි. මහණෙනි, … කළුතුඹු ස්වර්‍ණයට (එබඳු) කෙලෙසුමෙකි. මහණෙනි, … සුදුතුඹු ස්වර්‍ණයට (එබඳු) කෙලෙසුමෙකි. මහණෙනි, යම් කෙලෙසුමෙකින් කෙලෙසුණු ස්වර්‍ණය මෘදුත් නො වේ ද කර්‍මණ්‍යත් නො වේ ද බබළනසුලුත් නො වේ ද බිඳෙනසුලුත් වේ ද කර්‍ම පිණිස නො ද පැමිණේ ද රිදී ස්වර්‍ණයට (එබඳු) කෙලෙසුමකි. මහණෙනි, යම් කෙලෙසුන්ගෙන් කිලිටි වූ ස්වර්‍ණය මෘදුත් නො වේ ද, කර්‍මණ්‍යත් නො වේ ද බබළන සුලුත් නො වේ ද, බිඳෙනසුලුත් වේ ද, කර්‍ම පිණිස නො ද පැමිණේ ද මේ පස ස්වර්‍ණයට එබඳු කෙලෙසුම් ය.
මහණෙනි, එසෙයින් ම යම් කෙලෙසුන්ගෙන් කිලිටි වූ සිත මෘදුත් නො වේ ද, කර්‍මණ්‍යත් නො වේ ද, ප්‍රභාස්වරත් නො වේ ද, බිඳෙනසුලුත් වේ ද, ආස්‍රවක්‍ෂය පිණිස නො ද මැනවින් එකඟ වේ ද, සිතට මේ (එබඳු) කෙලෙස් පසෙකි. කවර පසෙක් ද යත්: මහණෙනි, යම් කෙලෙසුමෙකින් කිලිටි වූ සිත මෘදුත් නො වේ ද, කර්‍මණ්‍යත් නො වේ ද, ප්‍රභාස්වරත් නො වේද, බිඳෙනසුලුත් වේ ද, ආස්‍රවක්‍ෂයය පිණිස නො ද මැනවින් එකඟ වේ ද, කාමච්ඡන්‍දය සිතට (එබඳු) කෙලෙසුමෙකි. මහණෙනි, … ව්‍යාපාදය සිතට (එබඳු) කෙලෙසුමෙකි. මහණෙනි, … ථීනමිද්ධය සිතට (එබඳු) කෙලෙසුමෙකි. මහණෙනි, … උද්ධච්චකුක්කුච්චය සිතට (එබඳු) කෙලෙසුමෙකි. මහණෙනි, යම් කෙලෙසුමෙකින් කිලිටි වූ සිත මෘදුත් නො වේ ද, කර්‍මණ්‍යත් නො වේ ද, ප්‍රභාස්වරත් නො වේ ද, බිඳෙනසුලුත් වේ ද, ආස්‍රවක්‍ෂය පිණිස නො ද මැනවින් එකඟ වේ ද, විචිකිච්ඡාව සිතට (එබඳු) කෙලෙසුමෙකි. මහණෙනි, යම් කෙලෙසුන්ගෙන් කිලිටි වූ සිත මෘදුත් නො වේ ද, කර්‍මණ්‍යත් නො වේ ද, ප්‍රභාස්වරත් නො වේ ද, බිඳෙනසුලුත් වේ ද, ආස්‍රවක්‍ෂයය පිණිස නො ද මැනවින් එකඟ වේ ද, මොහු පස සිතට එබඳු කෙලෙස් යි.
2. 4. 4.
අනාවරණ සූත්‍රය
580. මහණෙනි, මේ සත්බොජඟ කෙනෙක් නො අවුරන්නෝ ය. නො වසන්නෝ ය. සිත නො කෙලෙසන්නෝ ය. වඩන ලද්දාහු බහුල කරන ලද්දාහු විජ්ජාවිමුත්තිඵල පසක් කිරීම පිණිස පවතිත්. කවර සතෙක් ද යත්: මහණෙනි, සිහිසම්බොජඟ නො අවුරන්නෙකි. නො වසන්නෙකි. සිත නො කෙලෙසන්නෙකි. වඩන ලද්දේ බහුල කරන ලද්දේ විජ්ජාවිමුත්තිඵල පසක් කිරීම පිණිස පවතී … මහණෙනි, උපේසම්බොජඟ නො අවුරන්නෙකි. නො වසන්නෙකි. සිත නො කෙලෙසන්නෙකි. වඩන ලද්දේ බහුල කරන ලද්දේ විජ්ජාවිමුත්තිඵල පසක් කිරීම පිණිස පවතී. මහණෙනි, මේ සත්බොජඟ නො අවුරන්නෝය. නො වසන්නෝ ය. සිත නො කෙලෙසන්නෝ ය. වඩන ලද්දාහු බහුල කරන ලද්දාහු විජ්ජාවිමුත්තිඵල පසක්කිරීම පිණිස පවතිත් යි.
2. 4. 5.
යෝනිසෝ සූත්‍රය
581. මහණෙනි, නුනුවණින් මෙනෙහි කරන්නහුට නූපන් කාමච්ඡන්‍දයත් උපදී. උපන් කාමච්ඡන්‍දයත් බොහෝ බව පිණිස විපුලත්‍වය පිණිස පවතී. නූපන් ව්‍යාපාදයත් උපදී. උපන් ව්‍යාපාදයත් බොහෝ බව පිණිස විපුලත්‍වය පිණිස පවතී. නූපන් ථීනමිද්ධයත් උපදී. උපන් ථීනමිද්ධයත් බොහෝ බව පිණිස විපුලත්‍වය පිණිස පවතී. නූපන් උද්ධච්චකුක්කුච්චයත් උපදී. උපන් උද්ධච්චකුක්කුච්චයත් බොහෝ බව පිණිස විපුලත්‍වය පිණිස පවතී. නූපන් විචිකිච්ඡාවත් උපදී. උපන් විචිකිච්ඡාවත් බොහෝ බව පිණිස විපුලත්‍වය පිණිස පවතී.
මහණෙනි, නුවණින් මෙනෙහි කරන්නහුට නූපන් සිහිසම්බොජඟත් උපදී. උපන් සිහිසම්බොජඟත් වැඩීමෙන් පිරීමට යේ … නූපන් උපේසම්බොජඟත් උපදී, උපන් සම්බොජඟත් වැඩීමෙන් පිරීමට යේ යි.
2. 4. 6.
බුද්ධි සූත්‍රය
582. මහණෙනි, මේ සත්බොජඟ කෙනෙක් වඩන ලදහු බහුල කරන ලදහු බුද්ධිය නො පිරිහීම පිණිස පවතිත්. කවර සතෙක් ද යත්: සතිසම්බොජඟ … උපේසම්බොජඟ යී. මහණෙනි, මේ සත්බොජඟහු වඩන ලදහු බහුල කරන ලදහු බුද්ධිය නො පිරිහීම පිණිස පවතිත් යි.
2. 4. 7.
ආවරණ සූත්‍රය
583. මහණෙනි, මේ අවුරන්නෝ වසන්නෝ සිත කෙලෙසන්නෝ නුවණ දුබල කරන්නෝ පස් දෙනෙකි. කවර පස්දෙනෙක් ද යත්: මහණෙනි, කාමච්ඡන්‍දය (කුසල්සිත) අවුරන්නෙකි, වසන්නෙකි, සිත කෙලෙසන්නෙකි, නුවණ දුබල කරන්නෙකි. මහණෙනි, ව්‍යාපාදය අවුරන්නෙකි, වසන්නෙකි, සිත කෙලෙසන්නෙකි, නුවණ දුබල කරන්නෙකි. මහණෙනි, ථීනමිද්ධය අවුරන්නෙකි, වසන්නෙකි, සිත කෙලෙසන්නෙකි, නුවණ දුබල කරන්නෙකි. මහණෙනි, උද්ධච්චකුක්කුච්චය අවුරන්නෙකි, වසන්නෙකි, සිත කෙලෙසන්නෙකි, නුවණ දුබල කරන්නෙකි. මහණෙනි, විචිකිච්ඡාව අවුරන්නෙකි, වසන්නෙකි, සිත කෙලෙසන්නෙකි, නුවණ දුබල කරන්නෙකි. මහණෙනි, මේ පස අවුරන්නෝ ය, වසන්නෝ ය, සිත කෙලෙසන්නෝ ය, නුවණ දුබල කරන්නෝ යි.
2. 4. 8.
අනීවරණ සූත්‍රය
584. මහණෙනි, යම් කලෙක අරීසවු තෙමේ බලාපොරොත්තු සහිත ව මෙනෙහි කොට මුළුහිතින් මෙහෙයා යොමු කළ කන් ඇති ව දහම් අසා ද එසමයෙහි ඔහුට පඤ්චනීවරණයෝ නො වෙත්. එසමෙයෙහි සත් බොජ්ඣඞ්ගයෝ වැඩීමෙන් පිරීමට යෙත්. කවර පඤ්චනීවරණයෝ එසමයෙහි ඔහුට නො වෙද් ද කාමච්ඡන්‍දනීවරණය එසමයෙහි ඔහුට නො වේ. ව්‍යාපාද නීවරණය … ථීනමිද්ධනීවරණය … උද්ධච්චකුක්කුච්චනීවරණය … විචිකිච්ඡානීවරණය එසමයෙහි ඔහුට නො වේ. මේ පස් නීවරණයෝ එසමයෙහි ඔහුට නො වෙත්.
එසමයෙහි ඔහුගේ කවර සත් බොජ්ඣඞ්ගයෝ වැඩීමෙන් පිරීමට යෙද්ද: සතිසම්බොජ්ඣඞ්ගය එසමයෙහි වැඩීමෙන් පිරීමට යේ … උපේඛාසම්බොජ්ඣඞ්ගය එසමයෙහි වැඩීමෙන් පිරීමට යේ. මහණෙනි, යම් කලෙක අරීසවු තෙමේ අර්ත්‍ථී ව මෙනෙහි කොට මුළුසිතින් මෙහෙයා යොමු කළ කන් ඇති ව දහම් අසා ද එසමයෙහි මේ පස් නීවරණයෝ ඔහුට නො වෙත්. එසමෙයෙහි මේ සත් බොජ්ඣඞ්ගයෝ වැඩීමෙන් පිරීමට යෙති යි.
2. 4. 9.
මහාරුක්ඛ සූත්‍රය
585. මහණෙනි, ගස් මැඩගෙන වැඩුණු වෘක්‍ෂයෝ යම් මහගස්වලින් හාත්පසින් බිඳුනා ලද්දෝ සරස වැටී හොවිද් ද, බීජයෙහි පටන් ක්‍රමයෙන් වැඩෙන මහසිරුරු ඇති ගස් මැඩගෙන වැඩෙන එබඳු මහගස් ඇත. මහණෙනි, ගස් මැඩගෙන වැඩෙන වෘක්‍ෂයෝ යම් මහගස්වලින් හාත්පසින් බිඳුනාලද්දෝ සරස වැටී හොවිත් නම් බීජයෙහි පටන් ක්‍රමයෙන් වැඩෙන මහසිරුරු ඇති ගස් මැඩ ගෙන වැඩුණු ඒ මහාවෘක්‍ෂයෝ කවරහු ද ඒ මෙසේ යි: ඇසතු, නුග, පුලිල, දිඹුල්, ඇටකසුක්, ගිවුළු යන මොහු යි. මහණෙනි, ගස් මැඩගෙන වැඩෙන වෘක්‍ෂයෝ යම් මහගස්වලින් හාත්පසින් බිඳුනා ලද්දෝ සරස වැටී හොවිත් නම් බීජයෙහි පටන් ක්‍රමයෙන් වැඩෙන මහසිරුරු ඇති ගස් මැඩගෙන වැඩෙන මහාවෘක්‍ෂයෝ මොහු යි.
මහණෙනි, එ සෙයින් ම මෙහි ඇතැම් කුලපුත්‍රයෙක් යම්බඳු කාමයන් හැරදමා ගිහිගෙයින් නික්ම සසුනෙහි පැවිදි වූයේ වේ ද, හෙතෙමේ එබඳු වූ කාමයන්ගෙන් හෝ එයිනුදු ඉතා පවිටු වූ කාමයන් ගෙන් හෝ හාත්පස බිඳුනා ලද්දේ සරසට (-අපායට) වැටී හොවී.
මහණෙනි, මේ පස්දෙනෙක් අවුරන්නෝ ය, වසන්නෝ ය, සිත යටපත් කරන්නෝ ය, නුවණ දුබල කරන්නෝ ය. කවර පසෙක් ද යත්: මහණෙනි, කාමච්ඡන්‍දය අවුරන්නෙකි, වසන්නෙකි, සිත යටපත් කරන්නෙකි, නුවණ දුබල කරන්නෙකි. මහණෙනි, ව්‍යාපාදය අවුරන්නෙකි, වසන්නෙකි, සිත යටපත් කරන්නෙකි, නුවණ දුබල කරන්නෙකි. මහණෙනි, ථීනමිද්ධය අවුරන්නෙකි, වසන්නෙකි, සිත යටපත් කරන්නෙකි, නුවණ දුබල කරන්නෙකි. මහණෙනි, උද්ධච්චකුක්කුච්චය අවුරන්නෙකි, වසන්නෙකි, සිත යටපත් කරන්නෙකි, නුවණ දුබල කරන්නෙකි. මහණෙනි, විචිකිච්ඡාව අවුරන්නෙකි, වසන්නෙකි, සිත යටපත් කරන්නෙකි, නුවණ දුබල කරන්නෙකි. මහණෙනි, මොහු පස් දෙන අවුරන්නෝ ය, වසන්නෝ ය, සිත යටපත් කරන්නෝ ය, නුවණ දුබල කරන්නෝ ය.
මහණෙනි, මේ සත් බොජ්ඣඞ්ගයෝ නො අවුරන්නෝ ය. නො වසන්නෝ ය. සිත යටපත් නො කරන්නෝ ය, වඩන ලද්දාහු බහුල කරන ලද්දාහු විජ්ජාවිමුත්තිඵල පසක් කිරීම පිණිස පවතිත්. කවර සතෙක් ද යත්: මහණෙනි, සතිසම්බොජ්ඣඞ්ගය නො අවුරන්නෙකි, නො වසන්නෙකි, සිත යටපත් නො කරන්නෙකි. වඩන ලද්දේ බහුල කරන ලද්දේ විජ්ජාවිමුත්තිඵල පසක් කිරීම පිණිස පවතී … මහණෙනි, උපේඛාසම්බොජ්ඣඞ්ගය නො අවුරන්නෙකි, නො වසන්නෙකි, සිත යටපත් නො කරන්නෙකි. වඩන ලද්දේ බහුල කරන ලද්දේ විජ්ජාවිමුත්තිඵල පසක් කිරීම පිණිස පවතී. මහණෙනි, මේ සත් බොජ්ඣඞ්ගයෝ නො අවුරන්නෝ ය, නො වසන්නෝ ය, සිත යටපත් නො කරන්නෝ ය, වඩන ලද්දාහු බහුල කරන ලද්දාහු විජ්ජාවිමුත්තිඵල පසක් කිරීම පිණිස පවතිත් යි.
2. 4. 10.
නීවරණ සූත්‍රය
586. මහණෙනි, මේ පස්නීවරණ කෙනෙක් අඳබව කරන්නෝ ය. නුවණැස නො කරන්නෝ ය. මෝහය කරන්නෝ ය. නුවණ වළකන්නෝ ය. දුක්පසෙහි වූවෝ ය. නිවන් පිණිස නො පවත්නෝ ය. කවර පසෙක් ද යත්: මහණෙනි, කාමච්ඡන්‍දනීවරණය අඳබව කරන්නෙකි. නුවණැස නො කරන්නෙකි. මෝහය කරන්නෙකි. නුවණ වළකන්නෙකි. දුක්පසෙහි වූවෙකි. නිවන් පිණිස නො පවත්නෙකි. මහණෙනි, ව්‍යාපාද නීවරණය … මහණෙනි, ථීනමිද්ධනීවරණය … මහණෙනි, උද්ධච්චකුක්කුච්චනීවරණය … මහණෙනි, විචිකිච්ඡානීවරණය අඳබව කරන්නෙකි. නුවණැස නො කරන්නෙකි. මෝහය කරන්නෙකි. නුවණ වළකන්නෙකි. දුක්පසෙහි වූවෙකි. නිවන් පිණිස නො පවත්නෙකි. මහණෙනි, මේ පස් නීවරණයෝ අඳබව කරන්නෝ ය. නුවණැස නො කරන්නෝ ය. මෝහය කරන්නෝ ය. නුවණ වළකන්නෝ ය. දුක්පසෙහි වූවෝ ය. නිවන් පිණිස නො පවත්නෝ ය.
මහණෙනි, මේ සත් බොජ්ඣඞ්ගයෝ නුවණැස කරන්නෝ ය. නුවණ කරන්නෝ ය. නුවණ වැඩීම පිණිස වූවෝ ය. නොදුක්පසෙහි වූවෝ ය. නිවන් පිණිස පවත්නෝ ය. කවර සතෙක් ද යත්: මහණෙනි, සතිසම්බොජ්ඣඞ්ගය නුවණැස කරන්නෙකි. නුවණ කරන්නෙකි. නුවණ වැඩීම පිණිස වූවෙකි. නො දුක්පසෙහි වූවෙකි. නිවන් පිණිස පවත්නෙකි … මහණෙනි, උපේඛාසම්බොජ්ඣඞ්ගය නුවණැස කරන්නෙකි. නුවණ කරන්නෙකි. නුවණ වැඩීම පිණිස වූවෙකි. නොදුක්පසෙහි වූවෙකි. නිවන් පිණිස පවත්නෙකි. මහණෙනි, මේ සත් බොජ්ඣඞ්ගයෝ නුවණැස කරන්නෝ ය. නුවණ කරන්නෝ ය. නුවණ වැඩීම පිණිස වූවෝ ය. නො දුක්පසෙහි වූවෝ ය. නිවන් පිණිස පවත්නෝ යි.
සිවුවැනි නීවරණ වර්‍ග යි.
එහි සූත්‍රනාමාවලිය:
කුසල සූත්‍ර දෙක ද, කිලේස, අනාවරණ, යෝනිසෝ, බුද්ධි, ආවරණ, අනීවරණ, මහාරුක්ඛ, නීවරණ යන අට දැ යි දශ සූත්‍ර කෙනෙකි යි.
5. චක්කවත්ති වර්‍ගය
2. 5. 1.
විධා සූත්‍රය
587. මහණෙනි, ඉකුත්කල යම්කිසි මහණකෙනෙක් හෝ බමුණුකෙනෙක් හෝ ත්‍රිවිධ මානය හළාහු ද, ඒ සියල්ලෝ සත්බොජඟ වැඩූ බැවින් බහුල කළ බැවින් ත්‍රිවිධ මානය හළහ. මහණෙනි, මතුකල යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ ත්‍රිවිධ මානය දුරු කරන්නාහු ද ඒ සියල්ලෝ සත්බොජඟ වැඩු බැවින් බහුල කළ බැවින් ත්‍රිවිධ මානය දුරුකරන්නාහ. මහණෙනි, මෙකල යම්කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ ත්‍රිවිධ මානය දුරු කෙරෙද් ද ඒ සියල්ලෝ සත් බොජඟ වැඩූ බැවින් බහුල කළ බැවින් දුරු කෙරෙති. කවර සතෙක් ද යත්: සිහිසම්බොජඟ … උපේසම්බොජඟ යි. මහණෙනි, ඉකුත්කල යම්කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ ත්‍රිවිධ මානය දුරු කළාහු ද ... දුරු කරන්නාහු ද … දුරු කෙරෙද් ද ඒ සියල්ලෝ මේ සත් බොජඟ වැඩූ බැවින් බහුල කළ බැවින් ත්‍රිවිධ මානය දුරු කෙරෙති.
2. 5. 2.
චක්කවත්ති සූත්‍රය
588. මහණෙනි, සක්විති රජුගේ පහළවීමෙන් සත්රුවනෙක පහළවීම වේ. කවර සතෙක් ද යත්: සක්රුවනෙහි පහළ වීම වේ. ඇත්රුවනෙහි පහළවීම වේ. අස්රුවනෙහි පහළවීම වේ. මිණිරුවනෙහි පහළවීම වේ. ඉතිරි රුවනෙහි පහළවීම වේ. ගැහැවිරුවනෙහි පහළ වීම වේ. පුත් රුවනෙහි පහළවීම වේ. මහණෙනි, සක්විති රජුගේ පහළවීමෙන් මේ සත් රුවනුන්ගේ පහළවීම වේ. මහණෙනි, තථාගත අර්‍හත් සම්මාසම්බුදුරජාණන් වහන්සේගේ පහළවීමෙන් සත් බොජඟරුවනුන්ගේ පහළවීම වේ. කවර සතෙක යත්: සිහිසම්බොජඟරුවනෙහි පහළවීම වේ ... උපේසම්බොජඟරුවනෙහි පහළවීම වේ. මහණෙනි, තථාගත අර්‍හත් සම්මාසම්බුදුරජාණන් වහන්සේගේ පහළ වීමෙන් මේ සත්බොජඟරුවනුන්ගේ පහළවීම වේ යි
2. 5. 3.
මාර සූත්‍රය
589. මහණෙනි, මරසෙන් මඩින මඟ තොපට දේශනා කරන්නෙමි. එය අසවු. මහණෙනි, මරසෙන් මඩින මග කවරේ ද යත්: මේ සත්බොජඟ යි. කවර සතෙක් ද යත්: සිහිසම්බොජඟ … උපේසම්බොජඟ යි. මහණෙනි, මේ මරසෙන් මඩින මඟ යි.
2. 5. 4.
දුප්පඤ්ඤ සූත්‍රය
590. එකල්හි එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය ... එකත්පස් ව හුන් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළේ ය: වහන්ස, “අනුවණ කෙළතොලු ය, අනුවණ කෙළතොලු ය” යි කියනු ලැබේ. වහන්ස, කෙතෙකින් “අනුවණ කෙළතොලු ය”යි කියනු ලැබේ දෝ යි. මහණ, සත්බොජඟ නොවැඩු බැවින් නො බහුල කළ බැවින් “අනුවණ කෙළතොලු ය” යි කියනු ලැබේ. කවර සතක් ද යත්: සිහිසම්බොජඟ ... උපේසම්බොජඟ යි. මහණ, මේ සත්බොජඟ නොවැඩු බැවින් නොබහුල කළ බැවින් “අනුවණකෙළතොලු ය” යි කියනු ලැබේ.
2. 5. 5.
පඤ්ඤව සූත්‍රය
591. වහන්ස, “නුවණැති නොකෙළතොලු ය, නුවණැති නොකෙළතොලු ය” යි කියනු ලැබේ. වහන්ස, කෙතෙකින් “නුවණැති නොකෙළතොලු ය”යි කියනු ලැබේ දෝ යි. මහණ, සත්බොජඟ වැඩු බැවින් බහුල කළ බැවින් නුවණැති නොකෙළතොලු ය යි කියනු ලැබේ. කවර සතක් ද යත්: සිහිසම්බොජඟ ... උපේසම්බොජඟ යි. මහණ, මේ සත් බොජඟ වැඩු බැවින් බහුල කළ බැවින් “නුවණැති නොකෙළතොලු ය” යි කියනු ලැබේ යි.
2. 5. 6.
දළිද්ද සූත්‍රය
592. වහන්ස, “දිළිඳු ය දිළිඳු ය” යි කියනු ලැබේ. වහන්ස, කෙතෙකින් “දිළිඳු ය” යි කියනු ලැබේ දෝ යි. මහණ, සත්බොජඟ නොවැඩු බැවින් නොබහුල කළ බැවින් “දිළිඳු ය” යි කියනු ලැබේ. කවර සතක් ද යත්: සිහිසම්බොජඟ ... උපෙක්ඛාසම්බොජඟ යි. මහණ, මේ සත්බොජඟ නොවැඩූ බැවින් නොබහුල කළ බැවින් “දිළිඳු ය” යි කියනු ලැබේ යි.
2. 5. 7.
අදළිද්ද සූත්‍රය
593. වහන්ස, “නොදිළිඳු ය නොදිළිඳු ය” යි කියනු ලැබේ. වහන්ස, කෙතෙකින් “නොදිළිඳු ය” යි කියනු ලැබේ දෝ යි.මහණ, සත් බොජඟ වැඩු බැවින් බහුල කළ බැවින් නොදිළිඳු ය යි කියනු ලැබේ. කවර සතක් ද යත්: සිහිසම්බොජඟ ... උපෙක්ඛාසම්බොජඟ යි. මහණ, මේ සත් බොජඟ වැඩූ බැවින් බහුල කළ බැවින් “නොදිළිඳු ය” යි කියනු ලැබේ යි.
2. 5. 8.
ආදිච්ච සූත්‍රය
594. මහණෙනි, යම් මේ අරුණෝදයක් වේ ද, උදාවන හිරුට මේ පෙරටු ය, මේ පෙරනිමිත්ත ය. මහණෙනි, එසෙයින් ම යම් මේ කල්‍යාණමිත්‍රත්‍වයෙක් වේ ද, මහණහට සත්බොජඟ ඉපදීමට මෙය පෙරටු ය, මෙය පෙරනිමිත්ත ය. මහණෙනි, සත්බොජඟ වඩන්නේ ය සත්බොජඟ බහුල කරන්නේ ය යන මෙය කලණමිතුරන් ඇති මහණහු විසින් කැමති වියයුතු. මහණෙනි, කලණමිතුරන් ඇති මහණ කෙසේ නම් සත්බොජඟ වඩා ද, සත් බොජඟ බහුල කෙරේ ද යත්: මහණෙනි, මෙහි මහණ විවේකනිස්සිත සිහිසම්බොජඟ විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමී කොට වඩයි … උපේසම්බොජඟ වඩයි. මහණෙනි, කලණමිතුරන් ඇති මහණ තෙමේ මෙසේ සත් බොජඟ වඩයි, සත් බොජඟ බහුල කෙරේ යි.
2. 5. 9.
අඞ්ග සූත්‍රය
595. මහණෙනි, මේ යෝනිසෝමනසිකාරය යම් බඳු ද, මහණෙනි, සත්බොජඟ ඉපදීමට ඇතුළත වූ අවයවයක් කොට අන් එක් අවයවයකුදු නො ම දකිමි. මහණෙනි, සත්බොජඟ වඩන්නේ ය, සත්බොජඟ බහුල කරන්නේ ය යන මෙය යොනිසොමනසිකාරසම්පන්න මහණහු විසින් කැමති විය යුතු. මහණෙනි, යොනිසොමනසිකාරසම්පන්න මහණ තෙමේ කෙසේ නම් සත්බොජඟ වඩා ද, සත් බොජඟ බහුල කෙරේ ද යත්: මහණෙනි, මෙහි මහණ විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමි කොට සිහිසම්බොජඟ වඩයි ... උපේසම්බොජඟ වඩයි. මහණෙනි, යොනිසොමනසිකාරසම්පන්න මහණ මෙසේ සත්බොජඟ වඩයි, සත්බොජඟ බහුල කෙරේ යි.
2. 5. 10.
දුතිය අඞ්ග සූත්‍රය
596. මහණෙනි, මේ කල්‍යාණමිත්‍රත්‍වය යම්බඳු නම් මහණෙනි, සත්බොජඟ ඉපදීම පිණිස බාහිර වූ අවයවයක් කොට අන් එක් දහමකුදු නො ම දකිමි. මහණෙනි, සත්බොජඟ වඩන්නේය, සත්බොජඟ බහුල කරන්නේ ය යන මෙය කලණමිතුරන් ඇති මහණහු විසින් කැමති වියයුතු. මහණෙනි, කලණමිතුරන් ඇති මහණ තෙමේ කෙසේ නම් සත්බොජඟ වඩා ද සත්බොජඟ බහුල කෙරේ ද යත්: මහණෙනි, මෙහි මහණ තෙමේ විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමි කොට සිහිසම්බොජඟ වඩයි ... උපේසම්බොජඟ වඩයි. මහණෙනි, කලණමිතුරන් ඇති මහණ මෙසේ සත්බොජඟ වඩයි, සත්බොජඟ බහුල කෙරේ යි.
පස්වැනි චක්කවත්ති වර්‍ග යි.
එහි සූත්‍රනාමාවලිය:
විධා, චක්කවත්ති, මාර, දුප්පඤ්ඤ, පඤ්ඤව, දළිද්ද, අදළිද්ද, ආදිච්ච සූත්‍ර අටෙකි. අඞ්ග සූත්‍ර දෙකෙකි. ඔහු (මුළුල්ල) දශයෙකි යි.
6. බොජ්ඣඞ්ග වර්‍ගය
2. 6. 1.
ආහාර සූත්‍රය
597. මහණෙනි, පස්නීවරණයන්ගේ ද සත් බොජ්ඣඞ්ගයන්ගේ ද ආහාරයත් අනාහාරයත් තොපට දේශනා කරන්නෙමි. එය අසවු. මහණෙනි, නූපන් කාමච්ඡන්‍දය ඉපදීම පිණිසත් උපන් කාමච්ඡන්‍දයේ බොහෝ බව විපුල බව පිණිසත් ආහාර (-ප්‍රත්‍යය) කිමෙක් ද යත්; මහණෙනි, සුභනිමිත්තෙක් ඇත. එහි ලා නුනුවණින් මෙනෙහි කිරීම බහුල කිරීමෙක් වේ ද, නූපන් කාමච්ඡන්‍දය ඉපදීම පිණිසත්, උපන් කාමච්ඡන්‍දයේ බොහෝ බව විපුල බව පිණිසත් මේ ආහාර යි.
මහණෙනි, නූපන් ව්‍යාපාදය ඉපදීම පිණිසත්, උපන් ව්‍යාපාදයේ බොහෝ බව විපුල බව පිණිසත් ආහාර කිමෙක් ද යත්: මහණෙනි, ප්‍රතිඝනිමිත්තෙක් ඇත. එහි ලා නුනුවණින් මෙනෙහි කිරීම බහුල කිරීමෙක් වේ ද; නූපන් ව්‍යාපාදය ඉපදීම පිණිසත්, උපන් ව්‍යාපාදයේ බොහෝ බව විපුල බව පිණිසත් මේ ආහාර යි.
මහණෙනි, නූපන් ථීනමිද්ධය ඉපදීම පිණිසත් උපන් ථීනමිද්ධයේ බොහෝ බව විපුල බව පිණිසත් ආහාර කිමෙක් ද යත්; මහණෙනි, (අධිකුශලධර්‍මයන්හි) නො ඇල්මෙක් තෙමරියෙක් මැලිකැඩීමෙක් බත් මතයෙක් සිතේ සැඟැවුණු බවෙක් ඇත. එහි ලා නුනුවණින් මෙනෙහි කිරීම බහුල කිරීමෙක් වේ ද, නූපන් ථීනමිද්ධයේ ඉපැද්ම පිණිසත්, උපන් ථීනමිද්ධයේ බොහෝ බව විපුල බව පිණිසත් මේ ආහාර යි.
මහණෙනි, නූපන් උද්ධච්චකුක්කුච්චයේ ඉපැදීම පිණිසත් උපන් උද්ධච්චකුක්කුච්චයේ බොහෝ බව විපුල බව පිණිසත් ආහාර කිමෙක් ද යත්: මහණෙනි, සිතේ නො සන්සුන් කමෙක් ඇත. එහි ලා නුනුවණින් මෙනෙහි කිරීම බහුල කිරීමෙක් වේ ද: නූපන් උද්ධච්චකුක්කුච්චයේ ඉපැද්ම පිණිසත්, උපන් උද්ධච්චකුක්කුච්චයේ බොහෝ බව විපුල බව පිණිසත් මේ ආහාර යි.
මහණෙනි, නූපන් විචිකිච්ඡාවේ ඉපැද්ම පිණිසත්, උපන් විචිකිච්ඡාවේ බොහෝ බව විපුල බව පිණිසත් ආහාර කිමෙක් ද යත්; මහණෙනි, විචිකිච්ඡාවට කරුණු වූ දහම්හු ඇතියහ. එහි ලා නුනුවණින් මෙනෙහි කිරීම බහුල කිරීමෙක් වේ ද, නූපන් විචිකිච්ඡාවේ ඉපැද්ම පිණිසත්, උපන් විචිකිච්ඡාවේ බොහෝ බව විපුල බව පිණිසත් මේ ආහාර යි.
මහණෙනි, නූපන් සතිසම්බොජ්ඣඞ්ගයේ ඉපැද්මටත්, උපන් සතිසම්බොජ්ඣඞ්ගය වැඩීමෙන් පිරීමටත් ආහාර කිමෙක් ද යත්: මහණෙනි, සතිසම්බොජ්ඣඞ්ගයට කරුණු වූ දහම්හු ඇතියහ. එහි ලා නුවණින් මෙනෙහි කිරීම බහුල කිරීමෙක් වේ ද, නූපන් සතිසම්බොජ්ඣඞ්ගය ඉපැද්මටත්, උපන් සතිසම්බොජ්ඣඞ්ගය වැඩීමෙන් පිරීමටත් මේ ආහාර යි.
මහණෙනි, නූපන් ධම්මවිචයසම්බොජ්ඣඞ්ගය ඉපැද්මටත්, උපන් ධම්මවිචයසම්බොජ්ඣඞ්ගය වැඩීමෙන් පිරීමටත් ආහාර කිමෙක් ද යත්: මහණෙනි, කුශලාකුශල ධර්‍මයෝ සාවද්‍ය අනවද්‍ය ධර්‍මයෝ හීනප්‍රණීත ධර්‍මයෝ කෘෂ්ණ ශුක්ල සප්‍රතිභාග ධර්‍මයෝ ඇතියහ. එහි ලා නුවණින් මෙනෙහි කිරීම බහුල කිරීමෙක් වේ ද, නූපන් ධම්මවිචයසම්බොජ්ඣඞ්ගය ඉපැද්මටත් උපන් ධම්මවිචයසම්බොජ්ඣඞ්ගය වැඩීමෙන් පිරීමටත් මේ ආහාර යි.
මහණෙනි, නූපන් විරියසම්බොජ්ඣඞ්ගය ඉපැද්මටත්, උපන් විරියසම්බොජ්ඣඞ්ගය වැඩීමෙන් පිරීමටත් ආහාරය කිමෙක් ද යත්; මහණෙනි, පළමු ඇරඹුණු වීර්‍ය්‍යයෙක් මැළිබැවින් නික්මෙනවීර්‍ය්‍යයෙක් මතු මතු තැන් ඇක්මෙන වීර්‍ය්‍යයෙක් ඇත. එහි ලා නුවණින් මෙනෙහි කිරීම බහුල කිරීමෙක් වේ ද, නූපන් විරියසම්බොජ්ඣඞ්ගය ඉපැද්මටත්, උපන් විරියසම්බොජ්ඣඞ්ගය වැඩීමෙන් පිරීමටත් මේ ආහාර යි.
මහණෙනි, නූපන් පීතිසම්බොජ්ඣඞ්ගය ඉපැද්මටත්, උපන් පීතිසම්බොජ්ඣඞ්ගය වැඩීමෙන් පිරීමටත් ආහාරය කිමෙක් ද යත්: මහණෙනි, පීතිසම්බොජ්ඣඞ්ගයට කරුණු වූ දහම් ඇත. එහි ලා නුවණින් මෙනෙහි කිරීම බහුලකිරීමෙක් වේ ද නූපන් පීතිසම්බොජ්ඣඞ්ගය ඉපැද්මටත් උපන් පීතිසම්බොජ්ඣඞ්ගය වැඩීමෙන් පිරීමටත් මේ ආහාර යි.
මහණෙනි, නූපන් පස්සද්ධිසම්බොජ්ඣඞ්ගය ඉපැද්මටත්, උපන් පස්සද්ධිසම්බොජ්ඣඞ්ගය වැඩීමෙන් පිරීමටත් ආහාරය කිමෙක් ද යත්: මහණෙනි, කයෙහි සැහැල්ලු බවෙක් සිතෙහි සැහැල්ලු බවෙක් ඇත. එහි ලා නුවණින් මෙනෙහි කිරීම බහුල කිරීමෙක් වේ ද නූපන් පස්සද්ධිසම්බොජ්ඣඞ්ගය ඉපැද්මටත්, උපන් පස්සද්ධිසම්බොජ්ඣඞ්ගය වැඩීමෙන් පිරීමටත් මේ ආහාර යි.
මහණෙනි, නූපන් සමාධිසම්බොජ්ඣඞ්ගය ඉපැද්මටත්, උපන් සමාධිසම්බොජ්ඣඞ්ගය පිරීමටත් ආහාරය කිමෙක් ද යත්: මහණෙනි, සමථ නිමිත්තෙක් අව්‍යග්ග නිමිත්තෙක් ඇත. එහි ලා නුවණින් මෙනෙහි කිරීම බහුල කිරීමෙක් වේ ද, නූපන් සමාධිසම්බොජ්ඣඞ්ගය ඉපැද්මටත්, උපන් සමාධිසම්බොජ්ඣඞ්ගය වැඩීමෙන් පිරීමටත් මේ ආහාර යි.
මහණෙනි, නූපන් උපේඛාසම්බොජ්ඣඞ්ගය ඉපැද්මටත්, උපන් උපේඛාසම්බොජ්ඣඞ්ගය වැඩීමෙන් පිරීමටත් ආහාරය කිමෙක් ද යත්: මහණෙනි, උපෙඛාසම්බොජ්ඣඞ්ගයට කරුණු වූ දහම්හු ඇතියහ. එහි ලා නුවණින් මෙනෙහි කිරීම බහුල කිරීමෙක් වේ ද, නූපන් උපේඛාසම්බොජ්ඣඞ්ගය ඉපැදීමටත්, උපන් උපේඛාසම්බොජ්ඣඞ්ගය වැඩීමෙන් පිරීමටත් මේ ආහාර යි.
මහණෙනි, නූපන් කාමච්ඡන්‍දයේ ඉපැද්ම පිණිසත් උපන් කාමච්ඡන්‍දයේ බොහෝ බව විපුලත්‍වය පිණිසත් කිමෙක් අනාහාර (ප්‍රත්‍යය නොවේ) ද යත්: මහණෙනි, අසුබ නිමිත්තෙක් ඇත. එහි ලා නුවණින් මෙනෙහි කිරීම බහුල කිරීමෙක්වේ ද, නූපන් කාමච්ඡන්‍දයේ ඉපැද්ම පිණිසත් උපන් කාමච්ඡන්‍දයේ බොහෝ බව විපුලබව පිණිසත් මේ අනාහාර යි.
මහණෙනි, නූපන් ව්‍යාපාදයේ ඉපැද්ම පිණිසත් උපන් ව්‍යාපාදයේ බොහෝ බව විපුලත්‍වය පිණිසත් කිමෙක් අනාහාර ද යත්; මහණෙනි, මෛත්‍රීචිත්තවිමුක්තියෙක් ඇත. එහි ලා නුවණින් මෙනෙහි කිරීම බහුල කිරීමෙක් වේ ද, නූපන් ව්‍යාපාදයේ ඉපැද්ම පිණිසත් උපන් ව්‍යාපාදයේ බොහෝ බව විපුලබව පිණිසත් මේ අනාහාර යි.
මහණෙනි, නූපන් ථීනමිද්ධයේ ඉපැද්ම පිණිසත් උපන් ථීනමිද්ධයේ බොහෝ බව විපුලත්‍වය පිණිසත් කිමෙක් අනාහාර ද යත්: මහණෙනි, පළමු ඇරඹුණු වීර්‍ය්‍යයෙක් මැලි බැවින් නික්මුණු වීර්‍ය්‍යයෙක් මතු මතු තැන් ඇක්මෙන වීර්‍ය්‍යයෙක් ඇත. එහි ලා නුවණින් මෙනෙහි කිරීම බහුල කිරීමෙක් වේ ද, නූපන් ථීනමිද්ධයේ ඉපැද්ම පිණිසත් උපන් ථීනමිද්ධයේ බොහෝ බව විපුලබව පිණිසත් මේ අනාහාර යි.
මහණෙනි, නූපන් උද්ධච්චකුක්කුච්චයේ ඉපැද්ම පිණිසත් උපන් උද්ධච්චකුක්කුච්චයේ බොහෝ බව විපුලබව පිණිසත් කිමෙක් අනාහාර ද යත්; මහණෙනි, සිතේ සංසිඳීමෙක් ඇත. එහි ලා නුවණින් මෙනෙහි කිරීම බහුල කිරීම වේ ද, නූපන් උද්ධච්චකුක්කුච්චයේ ඉපැද්ම පිණිසත් බොහෝ බව විපුලබව පිණිසත් මේ අනාහාර යි.
මහණෙනි, නූපන් විචිකිච්ඡාවේ ඉපැද්ම පිණිසත් උපන් විචිකිච්ඡාවේ බොහෝ බව විපුලබව පිණිසත් කිමෙක් අනාහාර ද යත්: මහණෙනි, කුශලාකුශලධර්‍මයෝ සාවද්‍ය අනවද්‍ය ධර්‍මයෝ හීනප්‍රණීතධර්‍මයෝ කෘෂ්ණශුක්ලසප්‍රතිභාගධර්‍මයෝ ඇතියහ. එහි ලා නුවණින් මෙනෙහි කිරීම බහුල කිරීමෙක් වේ ද, නූපන් විචිකිච්ඡාවේ ඉපැද්ම පිණිසත් උපන් විචිකිච්ඡාවේ බොහෝ බව විපුලබව පිණිසත් මේ අනාහාර යි.
මහණෙනි, නූපන් සතිසම්බොජ්ඣඞ්ගය ඉපැද්මටත් උපන් සතිසම්බොජ්ඣඞ්ගය වැඩීමෙන් පිරීමටත් කිමෙක් අනාහාර ද යත්: මහණෙනි, සතිසම්බොජ්ඣඞ්ගයට කරුණු වූ දහම්හු ඇතියහ. එහි ලා නො මෙනෙහි කිරීම බහුල කිරීමෙක් වේ ද, නූපන් සතිසම්බොජ්ඣඞ්ගය ඉපැද්මටත් උපන් සතිසම්බොජ්ඣඞ්ගය වැඩීමෙන් පිරීමටත් මේ අනාහාර යි.
මහණෙනි, නූපන් ධම්මවිචයසම්බොජ්ඣඞ්ගය ඉපැද්මටත් උපන් ධම්මවිචයසම්බොජ්ඣඞ්ගය වැඩීමෙන් පිරීමටත් කිමෙක් අනාහාර ද යත්: මහණෙනි, කුශලාකුශලධර්‍මයෝ සාවද්‍ය අනවද්‍ය ධර්‍මයෝ හීනප්‍රණීතධර්‍මයෝ කෘෂ්ණශුක්ලසප්‍රතිභාගධර්‍මයෝ ඇතියහ. එහි ලා නො මෙනෙහි කිරීම බහුල කිරීමෙක් වේ ද, නූපන් ධම්මවිචයසම්බොජ්ඣඞ්ගය ඉපැද්මටත් උපන් ධම්මවිචයසම්බොජ්ඣඞ්ගය වැඩීමෙන් පිරීමටත් මේ අනාහාර යි.
මහණෙනි, නූපන් විරියසම්බොජ්ඣඞ්ගය ඉපැද්මටත් උපන් විරියසම්බොජ්ඣඞ්ගය වැඩීමෙන් පිරීමටත් කිමෙක් අනාහාර ද යත්: මහණෙනි, පළමු ඇරඹුණු වීර්‍ය්‍යයෙක් මැලිබැවින් නික්මෙන වීර්‍ය්‍යයෙක්, මතු මතු තැන් ඇක්මෙන වීර්‍ය්‍යයෙක් ඇත. එහි ලා නො මෙනෙහි කිරීම බහුල කිරීමෙක් වේ ද, නූපන් විරියසම්බොජ්ඣඞ්ගය ඉපැද්මටත් උපන් විරියසම්බොජ්ඣඞ්ගය වැඩීමෙන් පිරීමටත් මේ අනාහාර යි.
මහණෙනි, නූපන් පීතිසම්බොජ්ඣඞ්ගය ඉපැද්මටත් උපන් පීතිසම්බොජ්ඣඞ්ගය වැඩීමෙන් පිරීමටත් කිමෙක් අනාහාර ද යත්: මහණෙනි, පීතිසම්බොජ්ඣඞ්ගයට කරුණු වූ දහම්හු ඇතියහ. එහි ලා නො මෙනෙහි කිරීම බහුල කිරීමෙක් වේ ද, නූපන් පීතිසම්බොජ්ඣඞ්ගය ඉපැද්මටත් උපන් පීතිසම්බොජ්ඣඞ්ගය වැඩීමෙන් පිරීමටත් මේ අනාහාර යි.
මහණෙනි, නූපන් පස්සද්ධිසම්බොජ්ඣඞ්ගය ඉපැද්මටත් උපන් පස්සද්ධිසම්බොජ්ඣඞ්ගය වැඩීමෙන් පිරීමටත් කිමෙක් අනාහාර ද යත්: මහණෙනි, කයෙහි සැහැල්ලු බවෙක් සිතෙහි සැහැල්ලු බවෙක් ඇත. එහි ලා නො මෙනෙහි කිරීම බහුල කිරීමෙක් වේ ද, නූපන් පස්සද්ධිසම්බොජ්ඣඞ්ගය ඉපැද්මටත් උපන් පස්සද්ධිසම්බොජ්ඣඞ්ගය වැඩීමෙන් පිරීමටත්, මේ අනාහාර යි.