එහි සූත්‍ර නාමාවලිය:
ඒසනා, විධා, ආසව, භව, ත්‍රිවිධ දුක්ඛතා, ඛීල, මල, නීඝ, වේදනා, තණ්හා යී ෂොඩසක දශයෙකි. හෙවත් සූත්‍ර එක්සිය සැටෙකි යි.
16. ඕඝ වර්‍ගය
1. 16. 1-16.
ඕඝ සූත්‍ර
387-402 මහණෙනි, මේ ඕඝ (සැඩදියපහර) සතරෙකි. කවර සතරෙක යත්: කාමෝඝ (කාමගුණයන්හි දැඩි රාගය) භවොඝ (රූපාරූපභවයන්හි දැඩිරාගය) දිට්ඨොඝ (දෙසැටදිටු) අවිජ්ජෝඝය. මහණෙනි, මොහු සිවු ඕඝයෝ යි. මහණෙනි, මේ සිවුඔඝයන්ගේ වෙසෙස් දැනුම පිණිස … පිරිසිඳ දැනුම පිණිස … ගෙවීම පිණිස … පැහීම පිණිස අරීඅටඟිමඟ වැඩිය යුතු. කවර අරීඅටඟිමඟෙක යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමී වූ සම්මාදිට්ඨිය වඩයි ... සම්මාසමාධිය වඩයි. මහණෙනි, මේ සිවු ඕඝයන් වෙසෙසින් දැනීම පිණිස … පිරිසිඳ දැනීම පිණිස … ගෙවීම පිණිස … පැහීම පිණිස මේ අරීඅටඟිමඟ වැඩිය යුත්තේ යි.
(ඒසනාසූත්‍ර මෙන් සොළොස් සූත්‍රාන්ත විතරකටයුතුයි.)
1. 16. 17-32.
යෝග සූත්‍ර
403-418. මහණෙනි, මේ යෝග (යෙදීම්) සතරෙකි. කවර සතරෙක යත්: කාමයෝග භවයෝග දිට්ඨියෝග අවිජ්ජායෝග යි. මහණෙනි, මේ යෝග සතර යි. මහණෙනි, මේ යෝග සතර වෙසෙසින් දැනීම පිණිස … පිරිසිඳ දැනීම පිණිස … ගෙවීම පිණිස … පැහීම පිණිස අරීඅටඟිමඟ වැඩිය යුතු. කවර අරීඅටඟිමඟෙක යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමී වූ සම්මාදිට්ඨිය වඩයි ... සම්මාසමාධිය වඩයි. මහණෙනි, මේ සිවු යෝගයන් වෙසෙසින් දැනුම පිණිස … පිරිසිඳ දැනුම පිණිස … ගෙවීම පිණිස … පැහීම පිණිස අරීඅටඟිමඟ වැඩිය යුත්තේ යි.
1. 16. 33-48.
උපාදාන සූත්‍ර
419-434. මහණෙනි, මේ උපාදාන (දැඩි ගැනුම්) සතරෙකි. කවර සතරෙක යත්: කාමූපාදාන, දිට්ඨූපාදාන, සීලබ්බතූපාදාන, අත්තවාදූපාදාන යි. මහණෙනි, මේ උපාදාන සතර යි. මහණෙනි, මේ උපාදාන සතර වෙසෙසින් දැනුම පිණිස … පිරිසිඳ දැනුම පිණිස … ගෙවීම පිණිස … පැහීම පිණිස අරීඅටඟිමඟ වැඩිය යුතු. කවර අරීඅටඟිමඟෙක යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමී වූ සම්මාදිට්ඨිය වඩයි ... සම්මාසමාධිය වඩයි. මහණෙනි, මේ සිවු උපාදානයන් වෙසෙසින් දැනුම පිණිස … පිරිසිඳ දැනුම පිණිස … ගෙවීම පිණිස … පැහීම පිණිස මේඅරීඅටඟිමඟ වැඩිය යුත්තේ යි.
1. 16. 49-64.
ගන්‍ථ සූත්‍ර
435-450. මහණෙනි, මේ ගන්‍ථ (ගෙතීම්) සතරෙකි. කවර සතරෙක යත්: අභිජ්ඣාකායගන්‍ථ ව්‍යාපාදකායගන්‍ථ සීලබ්බතපරාමාසකායගන්‍ථ ඉදංසච්චාගිනිවේසකායගන්‍ථ යි. මහණෙනි, මේ ගන්‍ථ සතර යි. මහණෙනි, මේ ගන්‍ථසතර වෙසෙසින් දැනුම පිණිස … පිරිසිඳ දැනුම පිණිස … ගෙවීම පිණිස .... පැහීම පිණිස අරීඅටඟිමඟ වැඩිය යුතු. කවර අරීඅටඟිමඟෙක යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමී කොට සම්මාදිට්ඨිය වඩයි ... සම්මාසමාධිය වඩයි. මහණෙනි, මේ සිවු ගන්‍ථයන් වෙසෙසින් දැනුම පිණිස … පිරිසිඳ දැනුම පිණිස … ගෙවීම පිණිස … පැහීම පිණිස මේ අරීඅටඟිමඟ වැඩිය යුත්තේ යි.
1. 16. 65-80.
අනුසය සූත්‍ර
451-466. මහණෙනි, මේ අනුසය (නිදිගත්කෙලෙස්) සතෙකි. කවර සතෙක යත්: කාමරාගානුසය පටිඝානුසය දිට්ඨානුසය විචිකිච්ඡානුසය මානානුසය භාවරාගානුසය අවිජ්ජානුසය යි. මහණෙනි, මොහු සත් අනුසයයෝ යි. මහණෙනි, මේ සත් අනුසයයන් වෙසෙසින් දැනුම පිණිස … පිරිසිඳ දැනුම පිණිස … ගෙවීම පිණිස … පැහීම පිණිස අරීඅටඟිමඟ වැඩිය යුතු. කවර අරීඅටඟිමඟෙක යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමී කොට සම්මාදිට්ඨිය වඩයි ... සම්මාසමාධිය වඩයි. මහණෙනි, මේ සත් අනුසයයන් වෙසෙසින් දැනුම පිණිස … පිරිසිඳ දැනුම පිණිස … ගෙවීම පිණිස … පැහීම පිණිස මේ අරීඅටඟිමඟ වැඩිය යුත්තේ යි.
1. 16. 81-96.
කාමගුණ සූත්‍ර
467-482 මහණෙනි, මේ කාමගුණ පසෙකි. කවර පසෙක යත්: ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ ප්‍රියස්වරූප වූ කාමෝපසංහිත වූ රජනීය වූ ඇසින් දතයුතු රූපයෝ ය … කණින් දතයුතු ශබ්දයෝ ය ... නැහැයෙන් දතයුතු ගන්‍ධයෝ ය … දිවින් දතයුතු රසයෝ ය. ඉෂ්ට වූ කාන්ත වූ මනවඩන ප්‍රියස්වභාව වූ කාමයෙන් යුත් ඇලුම් කටයුතු කයින් දතයුතු ස්පර්‍ශයෝ යි. මහණෙනි, මොහු පස්කම් ගුණයෝ යි. මහණෙනි, මේ පස්කම් ගුණයන් වෙසෙසින් දැනුම පිණිස … පිරිසිඳ දැනුම පිණිස … ගෙවීම පිණිස … ප්‍රහාණය පිණිස අරීඅටඟිමඟ වැඩිය යුතු. කවර අරීඅටඟිමඟෙක යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමී කොට සම්මාදිට්ඨිය වඩයි ... සම්මාසමාධිය වඩයි. මහණෙනි, මේ පස්කම් ගුණයන් වෙසෙසින් දැනුම පිණිස … පිරිසිඳ දැනුම පිණිස … ගෙවීම පිණිස … පැහීම පිණිස අරීඅටඟිමඟ වැඩිය යුත්තේ යි.
1. 16. 97-112.
නීවරණ සූත්‍ර
483-498. මහණෙනි, මේ නීවරණ පසෙකි. කවර පසෙක යත්: කාමච්ඡන්‍දනීවරණ ය ව්‍යාපාදනීවරණ ය ථීනමිද්ධනීවරණ ය උද්ධච්චකුක්කුච්චනීවරණ ය විචිකිච්ඡානීවරණ ය යි. මහණෙනි, මේ නීවරණ පස යි.මහණෙනි, මේ නීවරණ පස වෙසෙසින් දැනීම පිණිස … පිරිසිඳ දැනීම පිණිස … ගෙවීම පිණිස … පැහීම පිණිස අරීඅටඟිමඟ වැඩිය යුතු. කවර අරීඅටඟිමඟෙක යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමී කොට සම්මාදිට්ඨිය වඩයි ... සම්මාසමාධිය වඩයි. මහණෙනි, මේ නීවරණ පස වෙසෙසින් දැනුම පිණිස ... පිරිසිඳ දැනුම පිණිස … ක්‍ෂය කරන පිණිස … ප්‍රහාණය පිණිස මේ අරීඅටඟිමඟ වැඩිය යුත්තේ යි.
1. 16. 113-128.
උපාදානක්ඛන්‍ධ සූත්‍ර
499-514 මහණෙනි, මේ උපාදානස්කන්‍ධ පසෙකි. කවර පසෙක යත්: රූපූපාදානක්ඛන්‍ධය වේදනූපාදානක්ඛන්‍ධය සඤ්ඤූපාදානක්ඛන්‍ධය සඞ්ඛාරූපාදානක්ඛන්‍ධය විඤ්ඤාණූපාදානක්ඛන්‍ධ යි. මහණෙනි, මේ උපාදානස්කන්‍ධ පස යි. මහණෙනි, මේ උපාදානස්කන්‍ධ පස වෙසෙසින් දැනීම පිණිස … පිරිසිඳ දැනීම පිණිස … ගෙවීම පිණිස … පැහීම පිණිස අරීඅටඟිමඟ වැඩිය යුතු. කවර අරීඅටඟිමඟෙක යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට නම්‍යවූ සම්මාදිට්ඨිය වඩයි ... සම්මාසමාධිය වඩයි. මහණෙනි, මේ උපාදානස්කන්‍ධ පස වෙසෙසින් දැනුම පිණිස … පිරිසිඳ දැනුම පිණිස … ක්‍ෂය කරන පිණිස … ප්‍රහාණය පිණිස මේ අරීඅටඟිමඟ වැඩිය යුත්තේ යි.
1. 16. 129-144.
ඕරම්භාගියසංයෝජන සූත්‍ර
515-530. මහණෙනි, මේ ඕරම්භාගිය සංයෝජන පසෙකි. කවර පසෙක යත් සක්කායදිට්ඨි විචිකිච්ඡා සීලබ්බතපරාමාස කාමච්ඡන්‍ද ව්‍යාපාදය යි. මහණෙනි, මේ ඕරම්භාගිය සංයෝජන පස යි. මහණෙනි, මේ ඕරම්භාගිය සංයෝජන පස වෙසෙසින් දැනුම පිණිස … පිරිසිඳ දැනුම පිණිස … ගෙවීම පිණිස … පැහීම පිණිස අරීඅටඟිමඟ වැඩිය යුතු. කවර අරීඅටඟිමඟෙක යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට නැමුණු සම්මාදිට්ඨිය වඩයි ... සම්මාසමාධිය වඩයි. මහණෙනි, මේ ඕරම්භාගිය සංයෝජන පස වෙසෙසින් දැනුම පිණිස … පිරිසිඳ දැනුම පිණිස … ක්‍ෂය කරනු පිණිස … ප්‍රහාණය පිණිස මේ අරීඅටඟිමඟ වැඩිය යුත්තේ යි.
1. 16. 145-160.
උද්ධම්භාගියසංයෝජන සූත්‍ර
531-546 මහණෙනි, මේ උද්ධම්භාගිය සංයෝජන පසෙකි. කවර පසෙක් ද යත්: රූපරාග අරූපරාග මාන උද්ධච්ච අවිජ්ජා යි. මහණෙනි, මේ උද්ධම්භාගිය සංයෝජන පසයි. මහණෙනි, මේ උද්ධම්භාගිය සංයෝජන පස වෙසෙසින් දැනුම පිණිස … පිරිසිඳ දැනුම පිණිස … ක්‍ෂය කරනු පිණිස … ප්‍රහාණය පිණිස අරීඅටඟිමඟ වැඩිය යුතු. කවර අරීඅටඟිමඟෙක් ද යත්: මහණෙනි, මෙසස්නෙහි සමණ විවේකනිඃශ්‍රිත වූ විරාගනිඃශ්‍රිත වූ නිරෝධනිඃශ්‍රිත වූ නිර්‍වාණයට නම්‍ය වූ සම්මාදිට්ඨිය වඩයි ... සම්මාසමාධිය වඩයි. මහණෙනි, මේ පඤ්චඋද්ධම්භාගිය සංයෝජනයන්ගේ අභිඥාව පිණිස ... පරිඥාව පිණිස ක්‍ෂය කරන පිණිස ... ප්‍රහාණය පිණිස මේ අරීඅටඟිමඟ වැඩිය යුත්තේ යි.
(ඒසනා සූත්‍ර මෙන් සියලු පෙය්‍යාලයන්හි සූත්‍ර සොළස සොළස විතර කටයුතු යි.)
සොළොස් වැනි ඕඝවර්‍ගය යි.
එහි සූත්‍රනාමාවලිය:
ඕඝ, යොඝ, උපාදාන, ගන්‍ථ, අනුසය, කාමගුණ, නීවරණ, ඛන්‍ධ, ඕරම්භාගිය, උද්ධම්භාගිය යි ෂොඩශක දශයෙකි. සූත්‍ර එක්සිය සැටෙකි යි.
මග්ගසංයුත්තය නිමියේ යි.
එහි වර්‍ගනාමාවලිය:
පළමුවැන්න අවිජ්ජාවර්‍ගය යි. දෙවැන්න විහාරවර්‍ගය යි කියනු ලැබේ. තෙවැන්න මිච්ඡත්තවර්‍ගය යි. සිවුවැන්න පටිපත්ති වර්‍ගය යි. පස්වැන්න අඤ්ඤතිත්‍ථිවර්‍ගය යි. සවැන්න සූරියපෙය්‍යාල යි. ඒකධම්මවර්‍ග දෙකෙකි. ගඞ්ගාපෙය්‍යාල ද සතරෙකි. තෙළෙස්වැන්න අප්පමාදවර්‍ගය යි. තුදුස්වැන්න බලකරණීයවර්‍ගය යි. පසළොස්වැන්න ඒසනාවර්‍ගය යි. සොළොස්වැන්න ඕඝවර්‍ගය යි.
2. බොජ්ඣඞ්ග සංයුත්තය
1. පබ්බත වර්‍ගය
2. 1. 1.
හිමවන්ත සූත්‍රය
547. සැවැත්නුවර:
මහණෙනි, හිමවත් පවුරජ නිසා නාගයෝ කය වඩත්, බල ගන්වත්. ඔහු එහි කය වඩා, බල ගන්වා කුඩා හෙබ්වලට බසිති. කුඩා හෙබ්වලට බැස මහ හෙබ්වලට බසිති. මහ හෙබ්වලට බැස කුඩා ගඞගාවලට බසිති. කුඩා ගඞගාවලට බැස මහා ගඞගාවලට බසිති. මහා ගඞගාවලට බැස මහමුහුදට සයුරට බසිති. ඔහු එහි කයින් මහත්ත්‍වයට විපුලත්‍වයට පැමිණෙත්. මහණෙනි, එසෙයින්ම මහණ තෙමේ ශීලය නිසා ශීලයෙහි පිහිටා සප්තබෝධ්‍යඞ්ගයන් වඩන්නේ සප්තබෝධ්‍යඞ්ගයන් බහුල කරන්නේ දහම්හි මහත්ත්‍වයට විපුලත්ත්‍වයට පැමිණේ.
මහණෙනි, කෙසේ නම් මහණ තෙමේ ශීලය නිසා ශීලයෙහි පිහිටා සප්තබෝධ්‍යඞ්ගයන් වඩන්නේ සප්තබෝධ්‍යඞ්ගයන් බහුල කරන්නේ දහම්හි ලා මහත්ත්‍වයට විපුලත්‍වයට පැමිණේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවේකනිස්සිත වු විරාගනිස්සිත වූ නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමි වූ සතිසම්බොජ්ඣඞ්ගය වඩයි. විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමි වූ ධම්මවිචයසම්බොජ්ඣඞ්ගය වඩයි. විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමි වූ විරියසම්බොජ්ඣඞ්ගය වඩයි. විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමි වූ පීතිසම්බොජ්ඣඞ්ගය වඩයි. විවේකනිස්සිත විරාගනිස්සිත වූ නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමි වූ පස්සද්ධිසම්බොජ්ඣඞ්ගය වඩයි. විවේකය ඇසුරැ කළ විරාග ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට නැමුණු සමාධිසම්බොජ්ඣඞ්ගය වඩයි. විවේකය ඇසුරු කළ විරාගය ඇසුරැ කළ නිරෝධය ඇසුරු කළ නිවනට නැමුණු උපෙක්ඛාසම්බොඡ්ඣඞ්ගය වඩයි. මහණෙනි, මෙසේ මහණ තෙමේ ශීලය නිසා ශීලයෙහි පිහිටා සත්බොජඟ වඩන්නේ සත්බොජඟ බහුල කරන්නේ දහම්හි ලා මහත්ත්‍වයට විපුලත්‍වයට පැමිණේ යි.
2. 1. 2.
කාය සූත්‍රය
548. සැවැත්නුවර:
මහණෙනි, යම්සේ ආහාර ප්‍රත්‍යයයෙන් සිටුනා මේ කය අහර නිසා පවතීද, අහර නැති ව නො පවතී ද, මහණෙනි, එසෙයින්ම ආහාර ප්‍රත්‍යයයෙන් සිටුනා පඤ්ච නීවරණයෝ අහර නිසා පවතිත්, අහර නැතිව නො පවතිත්.
මහණෙනි, නූපන් කාමච්ඡන්‍දය ඉපදීම පිණිස ද උපන් කාමච්ඡන්‍දයාගේ බහුල බව විපුල බව පිණිස ද ප්‍රත්‍යය කවරේද යත්: මහණෙනි, ශුභ නිමිත්තෙක් ඇත. එහි ලා නුනුවණින් මෙනෙහි කිරීමෙක් බහුල කිරීමෙක් වේ ද නූපන් කාමච්ඡන්‍දය ඉපදීම පිණිසත්, උපන් කාමච්ඡන්‍දය බොහෝ වීම පිණිසත් විපුලත්‍වය පිණිසත් මේ ප්‍රත්‍යයයි.
මහණෙනි, නූපන් ව්‍යාපාදය ඉපදීම පිණිසත් උපන් ව්‍යාපාදයාගේ බහුල බව විපුල බව පිණිසත් ප්‍රත්‍යය කවරේ ද යත්: මහණෙනි, ප්‍රතිඝනිමිත්තෙක් ඇත. එහි ලා නුනුවණින් මෙනෙහි කිරීමෙක් බහුල කිරීමෙක් වේ ද, නූපන් ව්‍යාපාදය ඉපදීම පිණිසත්, උපන් ව්‍යාපාදයේ බොහෝ බව පිණිසත් විපුලත්‍වය පිණිසත් මේ ප්‍රත්‍යයයි.
මහණෙනි, නූපන් ථිනමිද්ධය ඉපදීම පිණිසත් උපන් ථිනමිද්ධයාගේ බහුල බව විපුලත්‍වය පිණිසත් ප්‍රත්‍යය කවරේද යත්: මහණෙනි, (ප්‍රාන්ත සේනාසනයන්හි හා අධිකුශල) ධර්‍මයන්හි නො ඇල්මෙක් තෙමරියෙක් (මැලිබවෙක්) මැලි හැරීමෙක් (කායවිජුම්භණයෙක්) බත් මතයෙක් සිතේ මැලිබවෙක් ඇත. එහි ලා නුනුවණින් මෙනෙහි කිරීමෙක් බහුල කිරීමෙක් වේද, නූපන් ථිනමිද්ධය ඉපදීම පිණිසත්, උපන් ථිනමිද්ධයාගේ බොහෝ බව විපුලත්ත්‍වය පිණිසත් මේ ප්‍රත්‍යයයි.
මහණෙනි, නූපන් උද්ධච්චකුක්කුච්චය ඉපදීමටත් උපන් උද්ධච්චකුක්කුච්චයාගේ බොහෝ බවටත් විපුලත්‍වයටත් ප්‍රත්‍යය කවරේද යත්: මහණෙනි, සිතේ නොසන්හිදුමෙක් ඇත. එහි ලා නුනුවණින් මෙනෙහි කිරීමෙක් බහුල කිරීමෙක් වේ ද, නූපන් උද්ධච්චකුක්කුච්චයාගේ ඉපදීමටත්, උපන් උද්ධච්චකුක්කුච්චයාගේ බොහෝ බවටත් විපුලත්‍වයටත් මේ ප්‍රත්‍යයයි.
මහණෙනි, නූපන් විචිකිච්ඡාව ඉපදීමටත් උපන් විචිකිච්ඡාවගේ බොහෝ බවටත් විපුලත්‍වයටත් ප්‍රත්‍යය කවරේ ද යත්: මහණෙනි, විචිකිච්ඡාවට හිත වු ධර්‍මයෝ ඇතියහ. එහි ලා නුනුවණින් මෙනෙහි කිරීමෙක් බහුල කිරීමෙක් වේද, නූපන් විචිකිච්ඡාව ඉපදීමටත්, උපන් විචිකිච්ජාවේ බොහෝ බවටත් විපුලත්‍වයටත් මේ ප්‍රත්‍යය යි. මහණෙනි, යම්සේ මේ කය ප්‍රත්‍යයස්ථිතික වේ ද, ප්‍රත්‍යය නිසා පවතිත් ද, ප්‍රත්‍යය නැති ව නො පවතිත් ද, මහණෙනි, එසෙයින් ම මේ පඤ්ච නීවරණයෝ ප්‍රත්‍යයස්ථිතිකයහ. ප්‍රත්‍යය නිසා පවතිත්, ප්‍රත්‍යය නැතිව නොපවතිත්.
මහණෙනි, යම්සේ මේ කය ප්‍රත්‍යයස්ථිතික වේද, ප්‍රත්‍යය නිසා පවතී ද, ප්‍රත්‍යය නැති ව නො පවතී ද, මහණෙනි, එසෙයින් ම සප්ත බොජ්ඣඞ්ගයෝ ප්‍රත්‍යයස්ථිතිකයහ, ප්‍රත්‍යය නිසා පවතිත්, ප්‍රත්‍යය නැති ව නො පවතිත්. මහණෙනි, නූපන් සතිසම්බොජ්ඣඞ්ගය ඉපදීමටත් උපන් සතිසම්බොජ්ඣඞ්ගය වැඩීමටත් පිරීමටත් ප්‍රත්‍යය කවරේ ද යත්: මහණෙනි, සතිසම්බොඡ්ඣඞ්ගයට හිත වූ ධර්‍මයෝ ඇතියහ. එහි ලා නුවණින් මෙනෙහි කිරීමෙක් බහුල කිරීමෙක් වේ ද, නූපන් සතිසම්බොජ්ඣඞ්ගය ඉපදීමටත් උපන් සතිසම්බොඡ්ඣඞ්ගයාගේ වැඩීමටත් පිරීමටත් මේ ප්‍රත්‍යයයි.
මහණෙනි, නූපන් ධම්මවිචයසම්බොඡ්ඣඞ්ගයාගේ ඉපදීමටත් උපන් ධම්මවිචයසම්බොඡ්ඣඞ්ගයාගේ වැඩීමටත් පිරීමටත් ප්‍රත්‍යය කවරේ ද: මහණෙනි, කුශලාකුශලධර්‍මයෝ සාවද්‍යානවද්‍යධර්‍මයෝ හීනප්‍රණීතධර්‍මයෝ කෘෂ්ණශුක්ලසප්‍රතිභාගධර්‍මයෝ ඇතියහ. එහි ලා නුවණින් මෙනෙහි කිරීමෙක් බහුල කිරීමෙක් වේ ද, නූපන් ධම්මවිචයසම්බොජ්ඣඞ්ගය ඉපැද්මටත් උපන් ධම්මවිචයසම්බොඡ්ඣඞ්ගයාගේ වැඩීමටත් පිරීමටත් මේ ප්‍රත්‍යයයි.
මහණෙනි, නූපන් විරියසම්බොඡ්ඣඞ්ගයාගේ ඉපදීමටත් උපන් විරියසම්බොඡ්ඣඞ්ගයාගේ වැඩීමටත් පිරීමටත් ප්‍රත්‍යය කවරේ ද: මහණෙනි, පළමු ඇරඹුණු වීර්‍ය්‍යයෙක්, මැලිබැවින් නික්මුණු වීර්‍ය්‍යයෙක්, මතු මතු තැන් ඇක්මෙනා වීර්‍ය්‍යයෙක් ඇත. එහි ලා නුවණින් මෙනෙහි කිරීම බහුල කිරීමෙක් වේ ද, නූපන් විරියසම්බොඡ්ඣඞ්ගයේ ඉපැද්මටත් උපන් විරියසම්බොඡ්ඣඞ්ගයාගේ වැඩීමෙන් පිරීමටත් මේ ප්‍රත්‍යයයි.
මහණෙනි, නූපන් පීතිසම්බොඡ්ඣඞ්ගයාගේ ඉපැද්මටත් උපන් පීතිසම්බොඡ්ඣඞ්ගයාගේ වැඩීමටත් පිරීමටත් ප්‍රත්‍යය කවරේ ද: මහණෙනි, පීතිසම්බොඡ්ඣඞ්ගයට හිත වූ ධර්‍මයෝ ඇතියහ. එහි ලා නුවණින් මෙනෙහි කිරීමෙක්, බහුල කිරීමෙක් වේ ද, නූපන් පීතිසම්බොඡ්ඣඞ්ගයාගේ ඉපදීමටත් උපන් පීතිසම්බොඡ්ඣඞ්ගයාගේ වැඩීමටත් පිරීමටත් මේ ප්‍රත්‍යයයි.
මහණෙනි, නූපන් පස්සද්ධිසම්බොඡ්ඣඞ්ගයාගේ ඉපැද්මටත් උපන් පස්සද්ධිසම්බොඡ්ඣඞ්ගයාගේ වැඩීමටත් පිරීමටත් ප්‍රත්‍යය කවරේ ද: (වේදනා, සඤ්ඤා, සඞ්ඛාර යන) නාම කයෙහි බර හැරීමෙක්, සිතෙහි බර හැරීමෙක් ඇත. එහි ලා නුවණින් මෙනෙහි කිරීමෙක් බහුල කිරීමෙක් වේ ද, නූපන් පස්සද්ධිසම්බොඡ්ඣඞ්ගයාගේ ඉපැද්මටත් උපන් පස්සද්ධිසම්බොඡ්ඣඞ්ගයාගේ වැඩීමටත් පිරීමටත් මේ ප්‍රත්‍යයයි.
මහණෙනි, නූපන් සමාධිසම්බොඡ්ඣඞ්ගයාගේ ඉපදීමටත්, උපන් සමාධිසම්බොජ්ඣඞ්ගය වැඩීමටත් පිරීමටත් ප්‍රත්‍යය කවරේ ද: මහණෙනි, සමථනිමිත්තයෙක් ඒකාළම්බනනිමිත්තයෙක් ඇත. එහි ලා නුවණින් මෙනෙහි කිරීමෙක් බහුල කිරීමෙක් වේද, නූපන් සමාධිසම්බොඡ්ඣඞ්ගයාගේ ඉපදීමටත් උපන් සමාධිසම්බොඡ්ඣඞ්ගයාගේ වැඩීමටත් පිරීමටත් මේ ප්‍රත්‍යයයි.
මහණෙනි, නූපන් උපෙක්ඛාසම්බොඡ්ඣඞ්ගයාගේ ඉපැද්මටත්, උපන් උපෙක්ඛාසම්බොඡ්ඣඞ්ගයාගේ වැඩීමටත් පිරීමටත් ප්‍රත්‍යය කවරේ ද: මහණෙනි, උපෙක්ඛාසම්බොඡ්ඣඞ්ගයට හිත වූ ධර්‍මයෝ ඇතියහ. එහි ලා නුවණින් මෙනෙහි කිරීමෙක් බහුල කිරීමෙක් වේ ද, නූපන් උපෙක්ඛාසම්බොඡ්ඣංගයාගේ ඉපැද්මටත්, උපන් උපෙක්ඛාසම්බොඡ්ඣංගයාගේ වැඩීමටත් පිරීමටත් මේ ප්‍රත්‍යයයි. මහණෙනි, යම්සේ මේ කය ප්‍රත්‍යයස්ථිතික වේ ද, ප්‍රත්‍යය නිසා පවතී ද, ප්‍රත්‍යය නැති ව නො පවතී ද, මහණෙනි, එසෙයින්ම මේ සප්ත බෝධ්‍යඞ්ගයෝ ප්‍රත්‍යයස්ථිතිකයහ. ප්‍රත්‍යය නිසා පවතිත්. ප්‍රත්‍යය නැති ව නො පවතිත් යි.
2. 1. 3.
සීල සූත්‍රය
549. මහණෙනි, යම් භික්‍ෂු කෙනෙක් ශීලසම්පන්න වෙත් ද, සමාධිසම්පන් වෙත් ද, ප්‍රඥාසම්පන්න වෙත් ද, විමුක්තිසම්පන්න වෙත් ද, විමුක්තිඥානදර්‍ශනසම්පන්න වෙත් ද, මහණෙනි, ඒ භික්‍ෂූන්ගේ දැක්මත් බොහෝ උපකාර යැ යි මම කියමි. මහණෙනි, ඒ භික්‍ෂූන්ගේ (වදන් ) ඇසීමත් බොහෝ උපකාර යැයි මම කියමි. මහණෙනි, ඒ භික්‍ෂූන් වෙත එළඹීමත් බොහෝ උපකාර යැයි මම කියමි. ඒ භික්‍ෂූන් ඇසුරු කිරීමත් බොහෝ උපකාර යැයි මම කියමි. ඒ භික්‍ෂූන් සිහි කිරීමත් බොහෝ උපකාර යැයි මම කියමි. ඒ භික්‍ෂූන් අනුව පැවිදිවීමත් බොහෝ උපකාර යැයි මම කියමි. ඒ කවර හෙයින යත්: මහණෙනි, එබඳු භික්‍ෂූන්ගේ දහම් අසා කායවිවේකය, චිත්තවිවේකය යන උභයවිවේකයෙන් යුතු වැ වෙසේ. හෙතෙමේ එසේ වෙන් ව වසන්නේ ඒ දහම සිහිකරයි, පුනපුනා සිතයි.
මහණෙනි, මහණ යම්කලෙක යම්සේ වෙන් ව වසන්නේ ඒ ධර්‍මය සිහි කෙරේ ද පුනපුනා සිතා ද එසමයෙහි ඒ මහණහු විසින් සතිසම්බොජ්ඣඞ්ගය පටන් ගන්නා ලද වෙයි. යම්කලෙක මහණ සතිසම්බොජ්ඣඞ්ගය වඩා ද එසමයෙහි මහණහුගේ සතිසම්බොජ්ඣඞ්ගය වැඩීමෙන් පිරීමට යේ. එසේ සිහි ඇති ව වෙසෙන්නේ ඒ දහම නුවණින් සොයයි. නුවණ හසුරුවයි. විමසීමට පැමිණේ.
මහණෙනි, මහණ යම්කලෙක එසේ සිහි ඇති ව වෙසෙන්නේ ඒ දහම නුවණින් සොයාද, නුවණ හසුරුවා ද, විමසීමට පැමිණේ ද, එසමයෙහි ඒ මහණහු විසින් ධම්මවිචයසම්බොජ්ඣඞ්ගය පටන් ගන්නා ලද වෙයි. මහණ යම් සමයක ධම්මවිචයසම්බොජ්ඣඞ්ගය වඩා ද එසමයෙහි ඒ මහණහුගේ ධම්මවිචයසම්බොජ්ඣඞ්ගය වැඩීමෙන් පිරීමට යේ. ඒ දහම නුවණින් සොයන නුවණ හසුරුවන විමසීමට පැමිණෙන ඔහුගේ වීර්‍ය්‍යය අරඹන ලද වෙයි, සංලීන නො වේ.
මහණෙනි, යම් කලෙක ඒ දහම නුවණින් සොයන නුවණ හසුරුවන විමසීමට පැමිණෙන මහණහුගේ වීර්‍ය්‍යය අරඹන ලද වේ ද අසංලීන වේ ද, එසමයෙහි මහණ විරියසම්බොජ්ඣඞ්ගය වඩා ද එසමයෙහි මහණහුගේ විරියසම්බොජ්ඣඞ්ගය වැඩීමෙන් පිරීමට යේ. ඇරඹූ වැර ඇත්තහුට නිරාමිස ප්‍රීතිය උපදී.
මහණෙනි, යම් කලෙක ඇරඹූ වැර ඇති මහණහුට නිරාමිස ප්‍රීතිය උපදී ද එසමයෙහි මහණහු විසින් පීතිසම්බොඡ්ඣඞ්ගය අරඹන ලද වේ. යම් කලෙක මහණ තෙමේ පීතිසම්බොඡ්ඣඞ්ගය වඩා ද එසමයෙහි මහණහුගේ පීතිසම්බොඡ්ඣඞ්ගය භාවනාවෙන් පිරීමට යේ. ප්‍රීති සිත් ඇත්තහුගේ නාම කයත් සැහැල්ලු වේ, සිතත් සැහැල්ලු වේ.
මහණෙනි, යම් කලෙක ප්‍රීති සිත් ඇති මහණහුගේ කයත් සැහැල්ලු වේ ද සිතත් සැහැල්ලු වේ ද එසමයෙහි මහණහු විසින් පස්සද්ධිසම්බොජ්ඣඞ්ගය අරඹන ලද වෙයි. යම් කලෙක මහණ පස්සද්ධිසම්බොජ්ඣඞ්ගය වඩා ද එසමයෙහි මහණහුගේ පස්සද්ධිසම්බොජ්ඣඞ්ගය භාවනාවෙන් පිරීමට යේ. සැහැල්ලු කාය ඇතියහුට සුවය වේ. සුව ඇතියහුගේ සිත එකඟ වේ.
මහණෙනි, යම් සමයෙක සැහැල්ලු කය ඇති මහණහුගේ සිත එකඟ වේ ද එසමයෙහි මහණහු විසින් සමාධිසම්බොජ්ඣඞ්ගය අරඹන ලද වෙයි. යම් සමයෙක මහණ සමාධිසම්බොජ්ඣඞ්ගය වඩා ද, එසමයෙහි මහණහුගේ සමාධිසම්බොජ්ඣඞ්ගය වැඩීමෙන් පිරීමට යේ. ඒ මහණ එසේ එකඟ වූ සිත මැනවින් මැදහත් ව බලන්නේ වෙයි.
මහණෙනි, යම් කලෙක මහණ එසේ එකඟ වූ සිත මනා කොට මැදහත් ව බලන්නේ වේ ද එසමයෙහි මහණහු විසින් උපෙක්ඛාසම්බොඡ්ඣඞ්ගය අරඹන ලද වෙයි. යම් කලෙක මහණ උපෙක්ඛාසම්බොඡ්ඣඞ්ගය වඩා ද, එසමයෙහි මහණහුගේ උපෙක්ඛාසම්බොඡ්ඣඞ්ගය වැඩීමෙන් පිරීමට යේ.
මහණෙනි, සප්ත බොජ්ඣඞ්ගයන් මෙසේ වැඩූ කල්හි මෙසේ බහුල කල කල්හි සත් පල කෙනෙක් සත් අනුසස් කෙනෙක් කැමති වියය යුතුය. කවර සත් පල කෙනෙක් ද කවර සත් අනුසස් කෙනෙක් ද, යත්: දිටුදැමියෙහි ම මරණින් පෙර රහත් බව ලබයි. ඉදින් දිටුදැමියෙහි ම මරණින් පෙර රහත් බව නො ලබා නම් එකල්හි මැරෙන කළ රහත් බව ලබයි. ඉදින් දිටුදැමියෙහි ම මරණින් පෙර රහත් බව නො ලබා නම් ඉදින් මැරෙන කල රහත් බව නො ලබා නම් එකල්හි ඕරම්භාගිය සංයෝජන පස ගෙවීමෙන් (බඹ ලොව ඉපිද ආයු අඩක් නො ගෙවා) අතර පිරිනිවෙනසුලු වෙයි. ඉදින් දිටුදැමියෙහි ම මරණින් පෙර රහත් බව නො ලබා නම් ඉදින් මැරෙන කල රහත් බව නො ලබා නම් ඉදින් ඕරම්භාගිය සංයෝජන පස ගෙවීමෙන් අතර පිරිනිවෙනසුලු නො වේ නම් එකල්හි ඕරම්භාගිය සංයෝජන පස ගෙවීමෙන් (බඹ ලොව ඉපිද ආයු අඩක් ගෙවා කෙළවර) ළගට පැමිණ පිරිනිවෙනසුලු වෙයි. ඉදින් දිටුදැමියෙහි ම මරණින් පෙර රහත් බව නො ලබා නම් ඉදින් මැරෙන කල රහත් බව නො ලබා නම් ඉදින් ඕරම්භාගිය සංයෝජන පස ගෙවීමෙන් අතර පිරිනිවෙනසුලු නො වේ නම්, ඉදින් ඕරම්භාගිය සංයෝජන පස ගෙවීමෙන් ආයු කෙළවර ළගට පැමිණ පිරිනිවෙනසුලු නො වේ නම් එකල්හි ඕරම්භාගිය සංයෝජන පස ගෙවීමෙන් උත්සාහ රහිත ව පිරිනිවෙනසුලු වෙයි.
ඉදින් දිටුදැමියෙහි ම මරණින් පෙර රහත් බව නො ලබා නම්, ඉදින් මැරෙන කල රහත් බව නො ලබා නම්, ඉදින් ඕරම්භාගිය සංයෝජන පස ගෙවීමෙන් අතර පිරිනිවෙනසුලු නො වේ නම්, ඉදින් ඕරම්භාගිය සංයෝජන පස ගෙවීමෙන් ආයු කෙළවර ළගට පැමිණ පිරිනිවෙනසුලු නො වේ නම්, ඉදින් ඕරම්භාගිය සංයෝජන පස ගෙවීමෙන් උත්සාහ රහිත ව පිරිනිවෙනසුලු නො වේ නම්, එකල්හි ඕරම්භාගිය සංයෝජන පස ගෙවීමෙන් උත්සාහ සහිතව පිරිනිවෙනසුලු වෙයි. ඉදින් දිටුදැමියෙහි ම මරණින් පෙර රහත් බව නො ලබා නම්, ඉදින් මැරෙන කල රහත් බව නො ලබා නම්, ඉදින් ඕරම්භාගිය සංයෝජන පස ගෙවීමෙන් අතර පිරිනිවෙනසුලු නොවේ නම්, ඉදින් ඕරම්භාගිය සංයෝජන පස ගෙවීමෙන් ආයු කෙළවර ළගට පැමිණ පිරිනිවෙනසුලු නො වේ නම්, ඉදින් ඕරම්භාගිය සංයෝජන පස ගෙවීමෙන් උත්සාහ රහිතව පිරිනිවෙනසුලු නො වේ නම්, ඉදින් ඕරම්භාගිය සංයෝජන පස ගෙවීමෙන් උත්සාහ සහිත ව පිරිනිවෙනසුලු නොවේ නම්, එකල්හි ඕරම්භාගිය සංයෝජන පස ගෙවීමෙන් අකනිටා යනසුලු උද්ධංසෝතයෙක් වෙයි. මහණෙනි, සප්ත බොජ්ඣඞ්ගයන් මෙසේ වැඩූ කල්හි සත් ඵලයෝ සත් අනුසස්හු කැමති විය යුත්තාහු යි.
2. 1. 4.
වත්‍ථ සූත්‍රය
550. එක් කලෙක ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ සැවැත් නුවර ජේතවන නම් වූ අනේපිඬුසිටුහුගේ අරම්හි වැඩවෙසෙති. එහි දී ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ‘ඇවැත්නි’ මහණෙනි’යි භික්‍ෂූන් ඇමතූහ. ඒ භික්‍ෂූහු ‘ඇවැත්නි’ යි ආයුෂ්මත් සැරියුත් තෙරණුවනට පිළිවදන් ඇස්වූහ. ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ මෙය වදාළහ:
“ඇවැත්නි, මේ බොජ්ඣඞ්ග සතෙකි. කවර සතෙක් ද යත්: සතිසම්බොජ්ඣඞ්ගය, ධම්මවිචයසම්බොජ්ඣඞ්ගය, විරියසම්බොජ්ඣඞ්ගය, පීතිසම්බොජ්ඣඞ්ගය, පස්සද්ධිසම්බොජ්ඣඞ්ගය, සමාධිසම්බොජ්ඣඞ්ගය, උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගය යි. මහණෙනි, මොහු සත් බොජ්ඣඞ්ගයෝ යි. ඇවැත්නි, මේ සත් බොජ්ඣඞ්ගයන් අතුරෙන් යම් යම් බොජ්ඣඞ්ගයෙකින් යුතුව පෙරවරු වසන්නට කැමති වෙම් නම් ඒ ඒ බොජ්ඣඞ්ගයෙන් යුතුව පෙරවරු වෙසෙමි. යම් යම් බොජ්ඣඞ්ගයෙකින් යුතුව මැදියම වෙසෙන්නට කැමති වෙම් නම් ඒ ඒ බොජ්ඣඞ්ගයෙන් යුතුව මැදියම වෙසෙමි. යම් යම් බොජ්ඣඞ්ගයෙකින් යුතුව සවස් කල වසන්නට කැමති වෙම් නම් ඒ ඒ බොජ්ඣඞ්ගයෙන් යුතුව සවස් කල වෙසෙමි.
ඇවැත්නි, ඉදින් සතිසම්බොජ්ඣඞ්ග යයි මට සිත් වේ නම් නො පමණ යයි මට සිත් වේ. මැනවින් පිරුණේ යයි මට සිත් වේ. පවත්නා බොජ්ඣඞ්ගය පවත්නේ යයි දැන ගනිමි. ඉදිනුදු මාගේ බොජ්ඣඞ්ගය ච්‍යුත වේ නම් මේ හේතුවෙන් මාගේ බොජ්ඣඞ්ගය චුත වේ යයි දැන ගනිමි ... ඇවැත්නි, ඉදින් උපෙක්ඛාසම්බොජ්ඣඞ්ග යයි මට සිත් වේ නම්, නො පමණ යයි මට සිත් වේ. මැනවින් පිරුණේ යයි මට සිත් වේ. පවත්නා බොජ්ඣඞ්ගය පවතී යයි දැන ගනිමි. ඉදිනුදු මාගේ බොජ්ඣඞ්ගය ච්‍යුත වේ නම් මේ හේතුවෙන් මාගේ බොජ්ඣඞ්ගය චුත වේ යයි දැන ගනිමි. ඇවැත්නි, යම් සේ රජකුගේ හෝ රජමහඇමතියකුගේ හෝ නොයෙක් වර්‍ණයෙන් රඳනා ලද වතින් පිරුණු වත්කරඬුවෙක් වන්නේ ද හෙතෙමේ පෙරවරු යම් යම් වත්යුවලක් පොරවන්නට කැමති වන්නේ නම් ඒ ඒ වත්යුවලම පෙරවරු පොරවන්නේය. යම් යම් වත්යුවලක් මැදියම පොරවන්නට කැමති වන්නේ නම් ඒ ඒ වත්යුවලම මැදියම පොරවන්නේය. යම් යම් වත්යුවලක් පස්වරු පොරවන්නට කැමති වන්නේ නම් ඒ ඒ වත්යුවලම පස්වරු පොරවන්නේය.
ඇවැත්නි, එසෙයින් ම මේ සත් බොජ්ඣඞ්ගයන් අතුරෙන් යම් යම් බොජ්ඣඞ්ගයෙකින් යුතුව පෙරවරු වසන්නට මම කැමති වෙම් නම් ඒ ඒ බොජ්ඣඞ්ගයෙන් යුතුව පෙරවරු වෙසෙමි. යම් යම් බොජ්ඣඞ්ගයෙකින් යුතුව මැදියම වසන්නට වසන්නට කැමති වෙම් නම් ඒ ඒ බොජ්ඣඞ්ගයෙකින් යුතුව මැදියම වෙසෙමි. යම් යම් බොජ්ඣඞ්ගයෙකින් යුතුව පස්වරු වසන්නට වසන්නට කැමති වෙම් නම් ඒ ඒ බොජ්ඣඞ්ගයෙන් යුතුව පස්වරු වෙසෙමි. ඇවැත්නි, ඉදින් සතිසම්බොජ්ඣඞ්ග යයි මට සිත් වේ නම් නො පමණ යයි මට සිත් වේ. මැනවින් පිරුණේ යයි මට සිත් වේ. පවත්නා බොජ්ඣඞ්ගය පවතී යයි දැන ගනිමි. ඉදිනුදු මාගේ බොජ්ඣඞ්ගය ච්‍යුත වේ නම් මේ හේතුවෙන් මාගේ බොජ්ඣඞ්ගය චුත වේ යයි දැන ගනිමි ... ඇවැත්නි, ඉදින් උපෙක්ඛාසම්බොජ්ඣඞ්ග යයි මට සිත් වේ නම් නො පමණ යයි මට සිත් වේ. මැනවින් පිරුණේ යයි මට සිත් වේ. පවත්නා බොජ්ඣඞ්ගය පවතී යයි දැන ගනිමි . ඉදිනුදු මාගේ බොජ්ඣඞ්ගය ච්‍යුත වේ නම් මේ හේතුවෙන් මාගේ බොජ්ඣඞ්ගය චුත වේ යයි දැන ගනිමි යි.
2. 1. 5.
භික්‍ෂූ සූත්‍රය
551. එකල්හි එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය ... එකත්පස්ව හුන් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකෙළේය. වහන්ස, “බොජ්ඣඞ්ග බොජ්ඣඞ්ග” යයි කියනු ලැබෙත්. වහන්ස, කොතෙකින් “බොජ්ඣඞ්ග”යි කියනු ලැබෙද්දෝ?යි. මහණ, අවබෝධය පිණිස පවතිත් නු යි එහෙයින් බොජ්ඣඞ්ගහ යි කියනු ලැබෙත්. මහණ, මෙහි මහණ තෙමේ විවේකය ඇසුරු වූවක් විරාගය ඇසුරු වූවක් නිරෝධය ඇසුරු වූවක් නිවනට නැමෙනසුල්ලක් කොට සතිසම්බොජ්ඣඞ්ගය වඩයි ... විවේකය ඇසුරු වූවක් විරාගය ඇසුරු වූවක් නිරෝධය ඇසුරු වූවක් නිවනට නැමෙනසුල්ලක් කොට උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගය වඩයි.
මේ සත් බොජඟ වඩන ඔහුගේ සිත කාමාස්‍රවයෙනුදු මිදෙයි. භවාස්‍රවයෙනුදු සිත මිදෙයි. අවිද්‍යාස්‍රවයෙනුදු සිත මිදෙයි. මිදුණු කල මිදුණේ යයි දැනීම වෙයි. ඉපැද්ම ගෙවිණ. බඹසර වැස නිමවන ලදි. කටයුතු කරන ලදි. මේ බව පිණිස අනෙකක් නැතැයි දැනගනී. මහණ, අවබෝධය පිණිස පවතිත් නු යි එහෙයින් බොජ්ඣඞ්ග යි කියනු ලැබෙති යි.
2. 1. 6.
කුණ්ඩලිය සූත්‍රය
552. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සාකේත නුවර සමීපයෙහි මිගදාය නම් අඳුන්වෙනෙහි වැඩ වසන සේක. එකල්හි කුණ්ඩලිය පිරිවැජි තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු විය. සතුටු විය යුතු සිහි කටයුතු කථාව කොට නිමවා එකත්පස් ව හුන්නේය. එකත්පස් ව හුන් කුණ්ඩලිය පිරිවැජි තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකෙළේය: “භවත් ගෞතමයෙනි, මම අරම් නිසා වෙසෙන (මෙරමා මතම මැඩලා ස්වමතය තිර කිරීමට සමත්) පිරිස්හි හැසිරෙන්නෙක් වෙමි. භවත් ගෞතමයෙනි, උදයබත වැළඳූ ඒ මාගේ පසුබත මෙබඳු සිරිතෙක් වෙයි: අරමින් අරම උයනෙන් උයන අනුව සක්මන් කරමි. අනුව හැසිරෙමි. ඒ මම “වාදය මෙසේය, වාදයෙන් මිදීම මෙසේය” යි මෙය අනුසස් කොට ඇති කථා කියන ඇතැම් මහණබමුණන් එහි දකිමි. භවත් ගෞතම තෙමේ කුමක් අනුසස් කොට ඇතිව වෙසේදැ?” යි. කුණ්ඩලිය, තථාගත තෙමේ විද්‍යාවිමුක්තිඑල අනුසස් කොට ඇතුව වෙසෙයි. භවත් ගෞතමයෙනි, කවර දහම්හු වඩන ලදහු බහුල කරන ලදහු විජ්ජාවිමුත්ති සම්පූර්‍ණ කෙරෙද්දැ? යි. කුණ්ඩලිය, සත් බොජ්ඣඞ්ගයෝ වඩන ලදහු බහුල කරන ලදහු විජ්ජාවිමුත්ති සම්පූර්‍ණ කෙරෙතියි.
“භවත් ගෞතමයෙනි, කවර දහම්හු වඩන ලදහු කෙරෙද්දැ?” යි, කුණ්ඩලිය, සිවුසීවටන්හු වඩන ලදහු බහුල කරන ලදහු සත් බොජඟ පිරිපුන් කෙරෙති යි.
“භවත් ගෞතමයෙනි, කවර දහම්හු වඩන ලදහු බහුල කරන ලදහු සිවුසීවටන් පිරිපුන් කෙරෙද්දැ?” යි. කුණ්ඩලිය, ත්‍රිවිධ සුචරිතයෝ වඩන ලදහු බහුල කරන ලදහු සිවුසීවටන් පිරිපුන් කෙරෙතියි.
“භවත් ගෞතමයෙනි, කවර දහම්හු වඩන ලදහු බහුල කරන ලදහු තුන් සුසිරිත් පිරිපුන් කෙරෙද්දැ?” යි. කුණ්ඩලිය, ඉන්‍ද්‍රියසංවරය වඩන ලද්දේ බහුල කරන ලද්දේ තුන් සුසිරිත් පිරිපුන් කෙරේ යි.
කුණ්ඩලිය, ඉන්‍ද්‍රියසංවරය කෙසේ වඩන ලද්දේ කෙසේ බහුල කරන ලද්දේ තුන් සුසිරිත් පිරිපුන් කෙරේද? යත්: කුණ්ඩලිය, මෙහි මහණ තෙමේ ඇසින් දැක ඉටු අරමුණු නො පතයි. සාමිස සතුටින් නො පෙළෙයි. රාගය නූපදවයි. ඔහුගේ නාම කයත් අරමුණෙහි සිටියේ සිතත් සිටියේ (කමටහන් වශයෙන්) මැනවින් සිටියේ (කමටහනින් මිදීමෙන්) මැනවින් මිදුණේ වෙයි. ඇසින් ම අනිටු රූ දැක ද මකු නොවෙයි (නො හැකිලෙයි). නො සන්සුන් සිත් නැත්තේ බැගෑපත් සිත් නැත්තේ දුෂ්ට සිත් නැත්තේ වෙයි. ඔහුගේ නාමකයත් අරමුණෙහි සිටියේ සිතත් සිටියේ මැනවින් සිටියේ මැනවින් මිදුණේ වෙයි.
“කුණ්ඩලිය, නැවත අනෙකක්ද කියමි. මහණ තෙමේ කනින් හඬ අසා ... නැහැයෙන් ගඳ ගෙන ... දිවින් රස විද … කයින් පහස් පැහැස ... සිතින් දහම් දැන ඉටු අරමුණ නොපතයි. සාමිස සතුටින් නො පෙළෙයි. රාගය නූපදවයි. ඔහුගේ නාමකයත් අරමුණෙහි සිටියේ සිතත් සිටියේ මැනවින් සිටියේ මැනවින් මිදුණේ වෙයි. සිතින් දහම් දැන අනිටු අරමුණෙහි මකු නො වෙයි. නො සන්සුන් සිත් නැත්තේ බැගෑපත් සිත් නැත්තේ දුෂ්ට සිත් නැත්තේ වෙයි. ඔහුගේ නාම කයත් අරමුණෙහි සිටියේ සිතත් සිටියේ මැනවින් සිටියේ මැනවින් මිදුණේ වෙයි. කුණ්ඩලිය, යම් කලෙක පටන් මහණහුගේ සිත ඇසින් රූ දැක ඉටු අනිටු රූහි නාම කයත් අරමුණෙහි සිටියේ සිතත් සිටියේ මැනවින් සිටියේ මැනවින් මිදුණේ වේද, කනින් හඬ අසා ... නැහැයෙන් ගඳ ගෙන ... දිවින් රස විඳ … කයින් පහස් පැහැස ... සිතින් දහම් දැන ඉටු අනිටු දහම්හි නාමකයත් අරමුණෙහි සිටියේ සිතත් සිටියේ මැනවින් සිටියේ මැනවින් මිදුණේ වේ ද, කුණ්ඩලිය, ඉන්‍ද්‍රියසංවරය මෙසේ වඩන ලද්දේ මෙසේ බහුල කරන ලද්දේ තුන් සුසිරිත් පිරිපුන් කෙරේ” යි.
“කුණ්ඩලිය, තුන් සුසිරිත් කෙසේ වඩන ලද්දේ කෙසේ බහුල කරන ලද්දේ සිවු සීවටන් පිරිපුන් කෙරේද? යත්: කුණ්ඩලිය, මෙහි මහණ තෙමේ කාය දුශ්චරිතය හැර කාය සුචරිතය වඩයි. වාග් දුශ්චරිතය හැර වාක් සුචරිතය වඩයි. මනෝ දුශ්චරිතය හැර මනඃසුචරිතය වඩයි. කුණ්ඩලිය, තුන් සුසිරිත් මෙසේ වඩන ලද්දේ මෙසේ බහුල කරන ලද්දේ සිවු සීවටන් පිරිපුන් කෙරේ” යි.
“කුණ්ඩලිය, සිවු සීවටන්හු කෙසේ වඩන ලදහු බහුල කරන ලදහු සත් බොජඟ පිරිපුන් කෙරේද? යත්: කුණ්ඩලිය, මෙහි මහණ තෙමේ කයෙහි කය අනුව බලමින් කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම ඇතිව සිහි ඇතිව කාලොව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසේ, විඳුම්හි ... සිත්හි ... දහම්හි දහම් අනුව බලමින් කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇතිව සිහි ඇතිව දහම්ලොවහි දැඩි ලෝභ හා දොම්නස දුරු කොට වෙසේ. කුණ්ඩලිය, සිවු සීවටන්හු මෙසේ වඩන ලදහු මෙසේ බහුල කරන ලදහු සත් බොජඟ පිරිපුන් කෙරෙති” යි.
“කුණ්ඩලිය, සත්ත බොජ්ඣඞ්ගයෝ කෙසේ වඩන ලදහු කෙසේ බහුල කරන ලදහු අර්‍හත්මාර්‍ගවිද්‍යාව හා එල විමුක්තිය පිරිපුන් කෙරෙද්ද යත්: කුණ්ඩලිය, මෙහි මහණ තෙමේ විවේකය ඇසුරු වූවක් විරාගය ඇසුරු වූවක් නිරෝධය ඇසුරු වූවක් නිවනට නැමෙනසුල්ලක් කොට සතිසම්බොජ්ඣඞ්ගය වඩයි ... විවේකය ඇසුරු වූවක් විරාගය ඇසුරු වූවක් නිරෝධය ඇසුරු වූවක් නිවනට නැමෙනසුල්ලක් කොට උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගය වඩයි. කුණ්ඩලිය, සත්ත බොජ්ඣඞ්ගයෝ මෙසේ වඩන ලදහු මෙසේ බහුල කරන ලදහු විජ්ජාවිමුත්ති පිරිපුන් කෙරෙති” යි.මෙසේ වදාළ කල්හි කුණ්ඩලිය පිරිවැජි තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කෙළේය. “භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනවි ... දිවිහිමියෙන් සරණ ගිය (මා උවසු කොට දරන සේක්වා)” යි.
2. 1. 7.
කූටාගාර සූත්‍රය
553. මහණෙනි, යම්සේ කුළුගෙයක යම්කිසි ගොනැස්හු වෙද්ද ඒ සියල්ලෝ මුදුනට නැමුණාහු මුදුනට නැඹුරු වූවාහු මුදුනට බර වූවාහු වෙති. මහණෙනි, එසෙයින්ම මහණ තෙමේ සත් බොජඟ වඩන්නේ සත් බොජඟ බහුල කරන්නේ නිවනට නැමුණේ නිවනට නැඹුරු වූයේ නිවනට බර වූයේ වෙයි. මහණෙනි, කෙසේ නම් මහණ තෙමේ සත් බොජඟ වඩන්නේ සත් බොජඟ බහුල කරන්නේ නිවනට නැමුණේ නිවනට නැඹුරු වූයේ නිවනට බර වූයේ වේද යත්: මහණෙනි, මෙහි මහණ තෙමේ විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමි වූ සති සම්බොජ්ඣඞ්ගය වඩයි ... විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමි වූ උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගය වඩයි. මහණෙනි, මෙසේ මහණ තෙමේ සත් බොජඟ වඩන්නේ සත් බොජඟ බහුල කරන්නේ නිවනට නැමුණේ නිවනට නැඹුරු වූයේ නිවනට බර වූයේ වේ යි.