Saṁyutta Nikāya

Connected Discourses

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-30 · 15083 segments

පෙන්වන කොටස් 12201-12300 න් 15083

නිවනට ඇතුළත් වූ නිවන පිහිට කොට ඇති නිවන කෙළවර කොට ඇති සම්මාසමාධිය වඩයි. මහණෙනි, මෙසේ මහණ ශීලය නිසා ශීලයෙහි පිහිටා අරීඅටඟිමඟ වඩයි, අරිඅටඟිමග බහුල කෙරේ යයි.
1. 14. 4.
චතුත්‍ථබල සූත්‍රය
182. මහණෙනි, යම් සේ යම් කිසි බලකරණීය කර්‍මාන්තයෝ කරනු ලැබෙද්ද, ඒ සියල්ලෝ පොළොව නිසා පොළොවෙහි පිහිටා මෙසේ මේ බලකරණීය කර්‍මාන්තයෝ කරනු ලැබෙත්. මහණෙනි, එසෙයින් ම මහණ ශීලය නිසා ශීලයෙහි පිහිටා අරීඅටඟිමඟ වඩයි. අරීඅටඟිමඟ බහුල කෙරෙයි. මහණෙනි, මහණ කෙසේ නම් ශීලය නිසා ශීලයෙහි පිහිටා අරීඅටඟිමඟ වඩාද අරීඅටඟිමඟ බහුල කෙරේද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ නිවනට නැමුණු, නිවනට නැඹුරු වූ නිවනට බර වූ සම්මාදිට්ඨිය වඩයි ... නිවනට නැමුණු නිවනට නැඹුරු වූ, නිවනට බර වූ සම්මාසමාධිය වඩයි. මහණෙනි, මෙසේ මහණ තෙමේ ශීලය නිසා ශීලයෙහි පිහිටා අරීඅටඟිමඟ වඩයි. අරිඅටඟිමග බහුල කෙරේ යයි.
1. 14. 5-8.
බීජ සූත්‍ර
183-186. මහණෙනි, යම්සේ යම් කිසි ඇටවර්‍ග පැලවර්‍ගයෝ වැඩීමට ස්ථීරත්‍වයට විපුලත්‍වයට පැමිණෙද්ද, ඒ සියල්ලෝ පොළොව නිසා පොළොවෙහි පිහිටා මෙසේ මේ ඇටවර්‍ග පැලවර්‍ගයෝ වැඩීමට ස්ථීරත්‍වයට විපුලත්‍වයට පැමිණෙත්. මහණෙනි, එසෙයින් ම මහණ ශීලය නිසා ශීලයෙහි පිහිටා අරීඅටඟිමඟ වඩන්නේ අරි අටඟි මග බහුල කරන්නේ දහම්හි ලා වැඩීමට ස්ථීරත්‍වයට විපුලත්‍වයට පැමිණේ. මහණෙනි, මහණ තෙමේ කෙසේ නම් ශීලය නිසා ශීලයෙහි පිහිටා අරීඅටඟිමඟ වඩන්නේ අරිඅටඟිමග බහුල කරන්නේ දහම්හි ලා වැඩීමට ස්ථීරත්‍වයට විපුලත්‍වයට පැමිණේද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ නිවනට නැමුණු සම්මාදිට්ඨිය වඩයි ... සම්මාසමාධිය වඩයි. මහණෙනි, මෙසේ මහණ තෙමේ ශීලය නිසා ශීලයෙහි පිහිටා අරීඅටඟිමඟ වඩන්නේ අරිඅටඟිමග බහුල කරන්නේ දහම්හි ලා වැඩීමට ස්ථීරත්‍වයට විපුලත්‍වයට පැමිණේ යයි.
1. 14. 9-12.
නාග සූත්‍ර
187-190. මහණෙනි යම්සේ හිමවත් පර්‍වතරාජයා නිසා නාගයෝ කය වඩද්ද, බල ගනිද්ද, ඔහු එහි කය වඩා බල ගෙන කුඩා හෙබ්වලට බසිත්. කුඩා හෙබ්වලට බැස මහහෙබ්වලට බසිත්. මහහෙබ්වලට බැස කුඩාගඩ්ගාවලට බසිත්. කුඩාගඩ්ගාවලට බැස මහාගඩ්ගාවලට බසිත්. මහාගඩ්ගාවලට බැස මහමුහුදුසයුරට බසිත්. ඔහු එහි කයින් මහත්‍වයට විපුලත්‍වයට පැමිණෙත්. මහණෙනි, එසෙයින් ම මහණ තෙමේ ශීලය නිසා ශීලයෙහි පිහිටා අරීඅටඟිමඟ වඩන්නේ, අරිඅටඟිමග බහුල කරන්නේ දහම්හි ලා මහත්‍වයට විපුලත්‍වයට පැමිණෙයි. මහණෙනි, මහණ කෙසේ නම් ශීලය නිසා ශීලයෙහි පිහිටා අරීඅටඟිමඟ වඩන්නේ අරිඅටඟිමග බහුල කරන්නේ දහම්හි ලා මහත්‍වයට විපුලත්‍වයට පැමිණේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට නැමුණු සම්මාදිට්ඨිය වඩයි … සම්මාසමාධිය වඩයි. මහණෙනි, මෙසේ මහණ ශීලය නිසා ශීලයෙහි පිහිටා අරීඅටඟිමඟ වඩන්නේ අරිඅටඟිමග බහුල කරන්නේ දහම්හි ලා මහත්‍වයට විපුලත්‍වයට පැමිණේ යයි.
1. 14. 13-16.
රුක්ඛ සූත්‍ර
191-194. මහණෙනි, යම්සේ රුකෙක් පැදුන්දිගට නැමුණේ පැදුන්දිගට නැඹුරු වූයේ පැදුන්දිගට බරවූයේ වේද, එය මුල සිඳින ලද්දේ කවර ප්‍රපාතයකට වැටෙන්නේ දැ යි. වහන්ස, යම්දිගකට නැමුණේ යම්දිගකට නැඹුරු වූයේ යම් දිගකට බර වූයේ නම් (එදිගට) ය. මහණෙනි, එසෙයින් ම මහණ තෙමේ අරීඅටඟිමඟ වඩන්නේ අරිඅටඟිමග බහුල කරන්නේ නිවනට නැමුණේ නිවනට නැඹුරු වූයේ නිවනට බරවූයේ වෙයි. මහණෙනි, කෙසේ නම් මහණ තෙමේ අරීඅටඟිමඟ වඩන්නේ අරිඅටඟිමග බහුල කරන්නේ නිවනට නැමුණේ නිවනට නැඹුරු වූයේ නිවනට බර වූයේ වේ ද යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ විවේකනිස්සිත වූ විරාග නිස්සිත වූ නිරෝධනිස්සිතවූ නිවනට නැමුණු සම්මාදිට්ඨිය වඩයි ... සම්මාසමාධිය වඩයි. මහණෙනි, මෙසේ මහණ අරීඅටඟිමඟ වඩන්නේ අරිඅටඟිමග බහුල කරන්නේ නිවනට නැමුණේ නිවනට නැඹුරුවූයේ නිවනට බරවූයේ වේ යයි.
1. 14. 17-20.
කුම්භ සූත්‍ර
195-198. මහණෙනි, යම්සේ කළය යටිහුරු වූයේ දිය වගුරුවන්නේ, මැ වේ, නො ම පෙරළා ගනී ද මහණෙනි, එසෙයින් ම මහණ අරිඅටඟිමග වඩන්නේ අරිඅටඟිමග බහුල කරන්නේ ලාමක අකුසල් දහම් වමාරනුයේ නො ම පෙරළා ගනී. මහණෙනි, කෙසේ නම් මහණ තෙමේ අරීඅටඟිමඟ වඩන්නේ, අරිඅටඟිමග බහුල කරන්නේ ලාමක අකුසල් දහම් වමාරනුයේ නො ම පෙරළා ගනී ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවේකනිස්සිත වූ විරාගනිස්සිත වූ නිරෝධනිස්සිත වූ වොස්සග්ගපරිණාමි වූ සම්මාදිට්ඨිය වඩයි ... සම්මාසමාධිය වඩයි. මහණෙනි, මෙසේ මහණ තෙමේ අරීඅටඟිමඟ වඩන්නේ අරිඅටඟිමග බහුල කරන්නේ ලාමක අකුසල් දහම් වමාරා ම ය නොම පෙරළා ගනී යි.
1. 14. 21-24.
සූඛ සූත්‍ර
199-202. මහණෙනි, යම්සේ හැල්නණ්ඩුවක් හෝ යවනණ්ඩුවක් හෝ මැනැවින් තබන ලද්දේ අතින් හෝ පයින් හෝ ඇක්මුණේ අත හෝ පය හෝ බිඳින්නේ ය, ලේ හෝ උපදවන්නේ ය යන මේ කරුණ ඇද්ද, ඒ කවර හෙයින යත්: මහණෙනි, නණ්ඩුව තමා මැනවින් තබන ලද බැවිනි. මහණෙනි, එසෙයින් ම ඒ මහණ මැනවින් පිහිටුවන ලද දෘෂ්ටියෙන් මැනැවින් පිහිටු වන ලද මාර්‍ගභාවනායෙන් අවිද්‍යාව බිඳින්නේ ය, විද්‍යාව උපදවන්නේ ය, නිවන පසක් කරන්නේ ය යන මෙකරුණ ඇත. ඒ කවර හෙයින යත්: මහණෙනි, දෘෂ්ටිය මැනවින් පිහිටුවන ලද බැවිනි. මහණෙනි, කෙසේ නම් මහණ මැනැවින් පිහිටුවන ලද දෘෂ්ටියෙන් මැනැවින් පිහිටුවන ලද මාර්‍ගභාවනායෙන් අවිද්‍යාව බිඳී ද, විද්‍යාව උපදවා ද, නිවන පසක් කෙරේ ද යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමි සම්මාදිට්ඨිය වඩයි … සම්මාසමාධිය වඩයි. මහණෙනි, මෙසේ මහණ තෙමේ මැනවින් පිහිටුවන ලද දෘෂ්ටියෙන් මැනැවින් පිහිටුවන ලද මාර්‍ග භාවනායෙන් අවිද්‍යාව බිඳියි විද්‍යාව උපදවයි නිවන පසක් කෙරේ යයි.
1. 14. 25-28.
ආකාස සූත්‍ර
203-206. මහණෙනි, යම්සේ අහසෙහි විවිධවාතයෝ හමද්ද පෙරදිගිනුදු වාතය හමයි, පෑළදිගිනුදු වාතය හමයි. උතුරු දිගිනුදු වාතය හමයි, දකුණු දිගිනුදු වාතය හමයි. රජස් සහිත වාතය ද හමයි, රජස් රහිත වාතය ද හමයි, සිහිල් වාතය ද හමයි. උණුසුම් වාතය ද හමයි, මද වූ වාතය ද හමයි, බොහෝ වූ වාතය ද හමයි.
මහණෙනි, එසෙයින් ම අරීඅටඟිමඟ වඩන අරීඅටඟිමඟ බහුල කරන මහණහුගේ සතරසතිපට්ඨානයොත් භාවනායෙන් පිරිපුන් බවට යෙති. සතරසම්මප්පාධානයෝත් භාවනායෙන් පිරිපුන් බවට යෙති. සතර ඍද්ධිපාදයොත් භාවනායෙන් පිරිපුන් බවට යෙති. පඤ්ච ඉන්‍ද්‍රියයොත් භාවනායෙන් පිරිපුන් බවට යෙති. පඤ්ච බලයෝත් භාවනායෙන් පිරිපුන් බවට යෙති. සත්ත බොජ්ඣඞ්ගයොත් භාවනායෙන් පිරිපුන් බවට යෙති. මහණෙනි, කෙසේ නම් අරීඅටඟිමඟ වඩන අරීඅටඟිමඟ බහුල කරන මහණහුගේ සතර සතිපට්ඨානයොත් භාවනායෙන් පිරිපුන් බවට යෙත් ද, සතර සම්මප්පධානයොත් ... සතර ඉද්ධිපාදයෝත් ... පඤ්ච ඉන්‍ද්‍රියයොත් ... පඤ්ච බලයෝත් ... සත්ත බොජ්ඣඞ්ගයොත් භාවනායෙන් පිරීමට යෙත්ද යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට නැමුණු සම්මාදිට්ඨිය වඩයි ... සම්මාසමාධිය වඩයි. මහණෙනි, මෙසේ අරීඅටඟිමඟ වඩන අරිඅටඟිමග බහුල කරන මහණහුගේ සතර සතිපට්ඨානයොත් භාවනායෙන් පිරිපුන් බවට යති. සතර සම්මප්පධානයොත් ... සතර ඉද්ධිපාදයොත් ... පඤ්ච ඉන්‍ද්‍රියයොත්, පඤ්ච බලයෝත් ... සත්ත බොජ්ඣඞ්ගයොත් භාවනායෙන් පිරීමට යෙති යි.
1. 14. 29-32.
මේඝ සූත්‍ර
207-210 මහණෙනි, යම්සේ ග්‍රීෂ්ම ඍතුවෙහි පැසුළුමස (ඇසළමස) උඩට නැගුනු ඒ මේ රජස්දැල්ල මහත් නොකල්වැස්සෙක් සහමුලින් අතුරුදහන් කෙරේ ද, සන්හිඳුවා ද; මහණෙනි, එසෙයින් ම මහණ තෙමේ අරීඅටඟිමඟ වඩන්නේ අරිඅටඟිමග බහුල කරන්නේ උපනුපන් ලාමක අකුසල් සහමුලින් අතුරුදන් කෙරෙයි. සන්හිඳුවයි. මහණෙනි, කෙසේ නම් මහණ අරීඅටඟිමඟ වඩන්නේ අරිඅටඟිමග බහුල කරන්නේ උපනුපන් ලාමක අකුසල් දහම් සහමුලින් අතුරුදන් කෙරේ ද, සන්හිඳුවා ද යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමි සම්මාදිට්ඨිය වඩයි ... සම්මාසමාධිය වඩයි. මහණෙනි, මෙසේ මහණ අරිඅටඟිමග වඩන්නේ අරිඅටඟිමග බහුල කරන්නේ උපනුපන් ලාමක අකුසල් දහම් සහමුලින් අතුරුදන් කෙරේ, සන්හිඳුවා යයි.
1. 14. 33-36.
දුතිය මේඝ සූත්‍ර
211-214 මහණෙනි, යම්සේ උපන් ඒ මේ මහාමේඝය මහා වාතය අතරමග ම අතුරුදන් කෙරේ ද, සන්හිඳුවා ද, මහණෙනි, එසෙයින් ම මහණතෙමේ අරීඅටඟිමග වඩන්නේ අරීඅටඟිමග බහුල කරන්නේ උපනුපන් ලාමක අකුසල් දහම්
අතරමග ම අතුරුදන් කෙරෙයි. සන්හිඳුවයි. මහණෙනි, කෙසේ නම් මහණ තෙමේ අරීඅටඟිමග වඩන්නේ අරීඅටඟිමග බහුල කරන්නේ උපනුපන් ලාමක අකුසල් දහම් අතරමගම අතුරුදන් කෙරේ ද, සන්හිඳුවා ද යත්: මහණෙනි, මෙහි මහණ තෙමේ විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට නැමුණු සම්මාදිට්ඨිය වඩයි ... සම්මාසමාධිය වඩයි. මහණෙනි, මෙසේ මහණ තෙමේ අරීඅටඟිමඟ වඩන්නේ අරීඅටඟිමඟ බහුල කරන්නේ උපනුපන් ලාමක අකුසල්දහම් අතරමග ම අතුරුදන් කෙරේ ද, සන්හිඳුවා යයි.
1. 14. 37-40.
නාවා සූත්‍ර
215-218 මහණෙනි, වේවැල්බැඳුමින් බඳනා ලද සමසක් මුළුල්ලෙහි දියෙහි ඔබිනොබ ගමන් කළ හේමන්තවාතයෙන් ගොඩ නගන ලද මුහුදෙහි වූ නැවක් පිළිබඳ අවුසුළඟින් මඬනා ලද (යම්) බන්‍ධනයෝ වෙත් ද ඔහු වැසිකල්හි වූ වැස්සෙන් හාත්පසින් තෙමුණාහු නිතැතින් ම යම්සේ ලිහෙද්ද, කුණුවූවාහු වෙත් ද, මහණෙනි, එසෙයින් ම අරීඅටඟිමඟ වඩන අරීඅටඟිමඟ බහුල කරන මහණහුගේ සංයෝජනයෝ නිදුකින් ම සන්හිඳෙත්. ක්‍ෂය වෙත්. මහණෙනි, කෙසේ නම් අරීඅටඟිමඟ වඩන, අරීඅටඟිමඟ බහුල කරන මහණහුගේ සංයෝජනයෝ නිදුකින් ම සන්හිඳෙද්ද ක්‍ෂය වූවාහු වෙද්ද යත්: මහණෙනි, මෙහි මහණ තෙමේ විවේකය ඇසුරු වූවක් විරාගය ඇසුරු වූවක් නිරෝධය ඇසුරු වූවක් නිවනට නැමෙනසුල්ලක් කොට සම්‍යක්දෘෂ්ටිය වඩයි ... සම්‍යක් සමාධිය වඩයි. මහණෙනි, මෙසේ අරීඅටඟිමඟ වඩන අරීඅටඟිමඟ බහුල කරන මහණහුගේ සංයෝජනයෝ නිදුකින් ම සන්හිඳෙත් ක්‍ෂය වූවාහු වෙති යී.
1. 14. 41-44.
ආගන්තුක සූත්‍ර
219-222. මහණෙනි, ආගන්තුක ගෘහය යම්සේ ද, එහි පෙරදිගින් ද අවුත් වාස කෙරෙති. පැළදිගින් ද අවුත් වාස කෙරෙති. උතුරු දිගින් ද අවුත් වාස කෙරෙති. දකුණුදිගින්ද අවුත් වාස කෙරෙති. ක්‍ෂත්‍රියෝද අවුත් වාස කෙරෙති. බ්‍රාහ්මණයෝ ද අවුත් වාස කෙරෙති. වෛශ්‍යයෝ ද අවුත් වාස කෙරෙති ශුද්‍රයෝ ද අවුත් වාස කෙරෙත්.
මහණෙනි, එපරිද්දෙන් ම මහණ අරීඅටඟිමඟ වඩන්නේ අරීඅටඟිමඟ බහුල කරන්නේ යම් දහම් කෙනෙක් වෙසෙස් නුවණින් පිරිසිඳ දත යුතු වෙත් නම් ඒ දහම් වෙසෙස්නුවණින් පිරිසිඳ දනී. යම් දහම් කෙනෙක් වෙසෙස් නුවණින් ප්‍රහාණය කටයුතු වෙත් නම් ඒ දහම් වෙසෙස්නුවණින් ප්‍රහාණය කරයි. යම් දහම් කෙනෙක් වෙසෙස් නුවණින් පසක් කළ යුතු වෙත් නම් ඒ දහම් වෙසෙස් නුවණින් පසක්කෙරෙයි. යම් දහම් කෙනෙක් වෙසෙස් නුවණින් වැඩිය යුතු වෙත් නම් ඒ දහම් වෙසෙස් නුවණින් වඩයි.
මහණෙනි, කවර දහම් කෙනෙක් වෙසෙස්නුවණින් පිරිසිඳ දත යුත්තාහු ද: පඤ්චෝපාදානස්කන්‍ධ යයි කිව යුතු වෙයි. කවර පසෙක්ද යත්: රූපෝපාදානස්කන්‍ධය ... විඥානෝපාදානස්කන්‍ධ යි. මහණෙනි, මේ දහම්හු වෙසෙස්නුවණින් පිරිසිඳ දත යුත්තාහු ය. මහණෙනි, කවර දහම් කෙනෙක් වෙසෙස්නුවණින් ප්‍රහාණයකට යුත්තාහු ද: අවිද්‍යාවත් භාවතෘෂ්ණාවත් ය. මහණෙනි, මේ දහම්හු වෙසෙස්නුවණින් ප්‍රහාණය කළ යුත්තාහු ය. මහණෙනි, කවර දහම් කෙනෙක් වෙසෙස්නුවණින් පසක්කළ යුත්තාහු ද: විද්‍යාවත් විමුක්තියත් ය. මහණෙනි, මේ දහම්හු වෙසෙස්නුවණින් පසක්කළ යුත්තාහු ය. මහණෙනි, කවර දහම් කෙනෙක් වෙසෙස්නුවණින් වැඩිය යුත්තාහු ද: සමථයත්, විදර්‍ශනාවත් ය. මහණෙනි, මේ දහම්හු වෙසෙස් නුවණින් වැඩිය යුත්තාහු ය. මහණෙනි, කෙසේ නම් මහණ අරීඅටඟිමඟ වඩන්නේ අරීඅටඟිමඟ බහුල කරන්නේ යම් දහම් කෙනෙක් වෙසෙස්නුවණින් පිරිසිඳ දත යුතු වෙත් නම් ඒ දහම් වෙසෙස්නුවණින් පිරිසිඳ දනී ද … යම් දහම් කෙනෙක් වෙසෙස්නුවණින් වැඩිය යුතු වෙත් නම් ඒ දහම් වෙසෙස්නුවණින් වඩා ද යත්: මහණෙනි, මෙහි මහණ විවේකනිස්සිත විරාගනිස්සිත වොස්සග්ගපරිණාමි කොට සම්මාදිට්ඨිය වඩයි ... සම්මාසමාධිය වඩයි. මහණෙනි, මෙසේ මහණ අරීඅටඟිමඟ වඩන්නේ, අරීඅටඟිමඟ බහුල කරන්නේ යම් දහම් කෙනෙක් වෙසෙස්නුවණින් පිරිසිඳ දත යුතු වෙත් නම් ඒ දහම් වෙසෙස්නුවණින් පිරිසිඳ දනී. යම් දහම් කෙනෙක් වෙසෙස් නුවණින් ප්‍රහාණය කළ යුතු වෙත් නම් ඒ දහම් වෙසෙස්නුවණින් ප්‍රහාණයකරයි. යම් දහම් කෙනෙක් වෙසෙස්නුවණින් පසක්කළ යුතු වෙත් නම් ඒ දහම් වෙසෙස්නුවණින් පසක් කෙරෙයි. යම් දහම් කෙනෙක් වෙසෙස් නුවණින් වැඩිය යුතු වෙත් නම් ඒ දහම් වෙසෙස් නුවණින් වඩා යි.
1. 14. 45-48.
නදී සූත්‍ර
223-226. මහණෙනි, යම්සේ ගඞ්ගා නදිය පෙරදිගට නැමුණි පෙරදිගට නැඹුරු වූවා පෙරදිගට බර වූවා වේ ද, ඉදින් මහා ජනසමූහයෙක් උදලුපැහි රැගෙන අපි මේ ගඞ්ගානදිය පෑළදිගට නැමුණක් පෑළදිගට නැඹුරු වූවක් පෑළදිගට බර වූවක් කරන්නෙමු යි එන්නේ ද, මහණෙනි, ඒ කිමැ යි හඟිවු ද, ඒ මහාජනසමූහයා ඒ ගඞ්ගානදිය පෑළදිගට නැමුණක් පෑළදිගට නැඹුරු වූවක් පෑළදිගට බර වූවක් කරන්නේ ද? වහන්ස, එය නො වේ ම ය. ඒ කවර හෙයින යත්: වහන්ස, ගඞ්ගානදිය පෙරදිගට නැමුණි පෙරදිගට නැඹුරු වූවා පෙරදිගට බර වූවා ය. ඒ ගඟ පෑළදිගට නැමුණක් පෑළදිගට නැඹුරු වූවක් පෑළදිගට බර වූවක් කරන්නට පහසු නො වෙයි. ඒ මහජනසමූහයා හුදෙක් විඩාවට පෙළීමට භාජන වන්නේ යයි.
මහණෙනි, එසෙයින්ම අරීඅටඟිමඟ වඩන අරීඅටඟිමඟ බහුල කරන මහණහු රජවරු හෝ රජමහඇමතියෝ හෝ මිතුරෝ හෝ සහචරයෝ හෝ නෑයෝ හෝ සහලේ නෑයෝ හෝ එම්බල පුරුෂය, “එව මේ කහවත් කුමකට තා විසින් හඳිනු (දරනු) ලැබේද? කීම මුඬු වැ කබලෙකින් යුක්ත ව හැසිරෙහි ද? එව ගිහිබවට පෙරළී භෝගයන් ද අනුභව කරව පින් ද කරව”යි භෝගයෙන් එළවා පවරන්නාහු නම් මහණෙනි, අරීඅටඟිමඟ වඩන අරීඅටඟිමඟ බහුල කරන ඒ මහණ තෙමේ ඒකාන්තයෙන් ශික්‍ෂා ප්‍රතික්‍ෂේප කොට ගිහිබවට පෙරළෙන්නේ ය යන මෙකරුණ නැත්තේ ය. ඊට හේතු කීම? මහණෙනි, යම් හෙයෙකින් ඒ සිත බොහෝ කලක් විවේකයට නැමුණේ විවේකයට නැඹුරු වූයේ විවේකයට බර වූයේ වේ නම් ඒ සිත ඒකාන්තයෙන් ලාමකබවට පෙරළෙන්නේ ය යන මෙකරුණ නැත්තේ ම ය. මහණෙනි, කෙසේ නම් මහණ අරීඅටඟිමඟ වඩාද, අරීඅටඟිමඟ බහුල කෙරේ ද යත්: මහණෙනි, මෙහි මහණ තෙමේ විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමි සම්මාදිට්ඨිය වඩයි ... සම්මාසමාධිය වඩයි. මහණෙනි, මෙසේ මහණ අරීඅටඟිමඟ වඩයි. අරීඅටඟිමඟ බහුල කෙරේ යි.
(බලසූත්‍ර මෙන් සියලු සූත්‍ර විස්තර කටයුතු යි.)
තුදුස්වැනි බලකරණීයවර්‍ගය යි.
එහි සූත්‍ර නාමාවලිය:
බල, බීජ, නාග, රුක්ඛ, කුම්භ, සූඛ, ආකාස යී චතුෂ්ක සතෙකි. මේඝසූත්‍ර චතුෂ්ක දෙකෙකි. නාවා ආගන්තුක නදී යි චතුෂ්ක තුනෙකි. (සූත්‍ර මුළුල්ල අටසාළිසකි).
15. ඒසනා වර්‍ගය
1. 15. 1.
ඒසනා සූත්‍රය
227. මහණෙනි, මේ ඒසනා (-සෙවුම්) තුනෙකි. කවර තුනෙක යත්; කාමේසනා (-කම්සැප සෙවුම්), භවේසනා (-භවසෙවුම්), බ්‍රහ්මචරියේසනා (-මිසදිටු බඹසර සෙවුම්) යි. මහණෙනි, මේ ඒසනා තුනයි. මහණෙනි, මේ ඒසනා තුන වෙසෙසින් දැනීම පිණිස අරීඅටඟිමඟ වැඩිය යුතුයි. කවර අරීඅටඟිමඟෙක් ද යත්: මහණෙනි, මෙහි මහණ තෙමේ විවේකනිශ්‍රිත විරාගනිශ්‍රිත නිරෝධනිශ්‍රිත ව්‍යවසර්‍ගයට නැඹුරු වූ සම්‍යග්දෘෂ්ටිය වඩයි … සම්‍යග්සමාධිය වඩයි. මහණෙනි, මේ ඒසනා තුන පිරිසිඳ දැනීම පිණිස මේ අරීඅටඟිමඟ වැඩිය යුත්තේ යි.
1. 15. 2.
දුතිය ඒසනා සූත්‍රය
228. මහණෙනි, මේ ඒසනා තුනෙකි. කවර තුනෙක යත්: කාමේසනා භවේසනා බ්‍රහ්මචරියේසනා යි. මහණෙනි, මේ ඒසනා තුනයි. මහණෙනි, මේ ඒසනා තුන වෙසෙසින් දැනීම පිණිස අරීඅටඟිමඟ වැඩිය යුතු යි. කවර අරීඅටඟිමඟෙක් ද යත්: මහණෙනි, මෙහි මහණ රාගය දුරලීමේ කෙළවර කොට ද්වේෂය දුරලීමේ, කෙළවර කොට මෝහය දුරලීමේ කෙළවර කොට සම්මාදිට්ඨිය වඩයි ... සම්මාසමාධිය වඩයි. මහණෙනි, මේ ඒසනා තුන වෙසෙසින් දැනීම පිණිස මේ අරීඅටඟිමඟ වැඩිය යුත්තේ යි.
1. 15. 3.
තතිය ඒසනා සූත්‍රය
229. මහණෙනි, මේ ඒසනා තුනෙකි. කවර තුනෙක යත්; කාමේසනා, භවේසනා, බ්‍රහ්මචරියේසනා යි. මහණෙනි, මොහු මේ තුන් ඒසනාවෝ යී. මහණෙනි, මේ තුන් එ්සනාවන් වෙසෙසින් දැනීම පිණිස අරීඅටඟිමඟ වැඩිය යුතු යි. කවර අරීඅටඟිමඟෙක් ද යත්: මහණෙනි, මෙහි මහණ නිවනට ඇතුළත් වූවක් නිවන පිහිට කොට ඇත්තක් නිවන කෙළවර කොට ඇත්තක් කොට සම්මාදිට්ඨිය වඩයි ... සම්මාසමාධිය වඩයි. මහණෙනි, මේ තුන් ඒසනාවන් වෙසෙසින් දැනීම පිණිස මේ අරීඅටඟිමඟ වැඩිය යුත්තේ යි.
1. 15. 4.
චතුත්‍ථ ඒසනා සූත්‍රය
230. මහණෙනි, මේ ඒසනා තුනෙකි. කවර තුනෙක යත්: කාමේසනා, භවේසනා, බ්‍රහ්මචරියේසනා යි. මහණෙනි, මොහු තුන් ඒසනාවෝ යි. මහණෙනි, මේ තුන් ඒසනාවෝ පිරිසිඳ දැනීම පිණිස අරීඅටඟිමඟ වැඩිය යුතු. කවර අරීඅටඟිමඟෙක් ද යත්: මහණෙනි, මෙහි මහණ නිවනට නැමුණු නිවනට නැඹුරු වූ නිවනට බර වූ සම්මාදිට්ඨිය වඩයි ... සම්මාසමාධිය වඩයි. මහණෙනි, මේ තුන් ඒසනාවන් වෙසෙසින් දැනීම පිණිස මේ අරීඅටඟිමඟ වැඩිය යුත්තේ යි.
1. 15. 5-8.
5-8 ඒසනා සූත්‍ර
231-234. මහණෙනි, මේ ඒසනා තුනෙකි. කවර තුනෙක යත්; කාමේසනා භවේසනා බ්‍රහ්මචරියේසනා යි. මහණෙනි, මොහු මේ තුන් ඒසනාවෝ යි. මහණෙනි, මේ තුන් ඒසනාවන් පිරිසිඳ දැනීම පිණිස … මේ අරීඅටඟිමඟ වැඩිය යුත්තේ යි.
(අභිඤ්ඤාවාරය මෙන් විස්තර කටයුතු)
1. 15. 9-12.
9-12 ඒසනා සූත්‍ර
235-238. මහණෙනි, මේ ඒසනා තුනෙකි. කවර තුනෙකයත්; කාමේසනා, භවේසනා, බ්‍රහ්මචරියේසනා යි. මහණෙනි, මොහු මේ තුන් ඒසනාවෝයි. මහණෙනි මේ තුන් ඒසනාවෝ ක්‍ෂය කිරීම පිණිස අරීඅටඟිමඟ වැඩිය යුතුය. කවර අරීඅටඟිමඟෙක් යත්: මහණෙනි, මෙහි මහණ නිවනට නැමුණු නිවනට නැඹුරුවූ නිවනට බරවූ සම්මාදිට්ඨිය වඩයි. සම්මාසමාධිය වඩයි. මහණෙනි මේ තුන් ඒසනාවන් ක්‍ෂය කිරීම පිණිස මේ අරීඅටඟිමඟ වැඩිය යුත්තේය.
(අභික්ඥාවාරය මෙන් විස්තර කටයුතු)
1. 15. 13-16.
13-16 ඒසනා සූත්‍ර
239-242 මහණෙනි, මේ ඒසනා තුනෙකි. කවර තුනෙකයත්: කාමේසනා භවේසනා, බ්‍රහ්මචරියේසනා යි. මහණෙනි, මොහු තුන් ඒසනාවෝ යි. මහණෙනි, මේ තුන් ඒසනාවන් පැහීම පිණිස අරීඅටඟිමඟ වැඩිය යුතු. කවර අරීඅටඟිමඟෙක යත්: මහණෙනි, මෙහි මහණ තෙමේ විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමි වූ සම්මාදිට්ඨිය වඩයි ... සම්මාසමාධිය වඩයි. මහණෙනි මේ තුන් ඒසනාවන් පැහීම පිණිස මේ අරීඅටඟිමඟ වැඩිය යුත්තේ යි.
1. 15. 17-32.
විධා සූත්‍ර
243-258. මහණෙනි, මේ විධා (-මාන) තුනෙකි. කවර තුනෙක යත් “මම ශ්‍රේෂ්ඨයෙමි”යි මානයෙකි. “මම සදෘශයෙමි”යි මානයෙකි. “මම හීනයෙමි”යි මානයෙකි. මහණෙනි, මේ මානතුනයි. මහණෙනි, මේ මාන තුන වෙසෙසින් දැනීම පිණිස ... පිරිසිඳ දැනීම පිණිස ... ක්‍ෂය කිරීම පිණිස ... පැහීම පිණිස අරීඅටඟිමඟ වැඩිය යුතු. කවර අරීඅටඟිමඟෙක යත්: මහණෙනි, මෙහි මහණ තෙමේ විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමි වූ සම්මාදිට්ඨිය වඩයි ... සම්මාසමාධිය වඩයි. මහණෙනි, මේ මාන කොටස් තුන වෙසෙසින් දැනීම පිණිස පැහීම පිණිස මේ අරීඅටඟිමඟ වැඩිය යුත්තේ යි.
(ඒසනා සුතුරු මෙන් විතර කටයුතු)
1. 15. 33-48.
ආසව සූත්‍ර
259-274. මහණෙනි, මේ ආස්‍රව තුනෙකි. කවර තුනෙක යත්: කාමාස්‍රව භවාස්‍රව අවිද්‍යාස්‍රව යි. මහණෙනි, මේ ආස්‍රව තුන යි. මහණෙනි, මේ ආස්‍රව තුන වෙසෙසින් දැනීම පිණිස ... පිරිසිඳ දැනීම පිණිස ... ගෙවීම පිණිස ... පැහීම පිණිස අරීඅටඟිමඟ වැඩිය යුතු. කවර අරීඅටඟිමඟෙක් ද යත්: මහණෙනි, මෙහි මහණ විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමි වූ සම්මාදිට්ඨිය වඩයි ... සම්මාසමාධිය වඩයි. මහණෙනි, මේ ආස්‍රව තුන වෙසෙසින් දැනීම පිණිස ... පිරිසිඳ දැනීම පිණිස ... ගෙවීම පිණිස ... පැහීම පිණිස මේ අරීඅටඟිමඟ වැඩිය යුත්තේ යි.
1. 15. 49-64.
භව සූත්‍ර
275-294. මහණෙනි, මේ භව තුනෙකි. කවර තුනෙක යත්: කාමභව රූපභව අරූපභව යි. මහණෙනි, මේ භව තුන යි. මහණෙනි, මේ භවත්‍රය වෙසෙසින් දැනීම පිණිස ... පිරිසිඳ දැනීම පිණිස ... ගෙවීම පිණිස ... පැහීම පිණිස අරීඅටඟිමඟ වැඩිය යුතු. කවර අරීඅටඟිමඟෙක යත්: මහණෙනි, මෙහි මහණ තෙමේ විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමි වූ සම්මාදිට්ඨිය වඩයි ... සම්මාසමාධිය වඩයි. මහණෙනි, මේ භවත්‍රය වෙසෙසින් දැනීම පිණිස ... පිරිසිඳ දැනීම පිණිස ... ගෙවීම පිණිස ... පැහුම පිණිස මේ අරීඅටඟිමඟ වැඩිය යුත්තේ යි.
1. 15. 65-80.
දුක්ඛතා සූත්‍ර
291-306. මහණෙනි, මේ දුක්ඛතා (දුක්බැව්) තුනෙකි. කවර තුනෙක යත්: දුක්ඛදුක්ඛතා සඞ්ඛාරදුක්ඛතා විපරිණාමදුක්ඛතා යි. මහණෙනි, මේ දුක්ඛතා තුන යි. මහණෙනි, මේ ත්‍රිවිධ දුඃඛතාවන්ගේ වෙසෙස් දැනුම පිණිස … පිරිසිඳ දැනුම පිණිස ... ගෙවීම පිණිස ... පැහීම පිණිස අරීඅටඟිමඟ වැඩිය යුතු යි. කවර අරීඅටඟිමඟෙක යත්: මහණෙනි, මෙහි මහණ තෙමේ විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමි වූ සම්මාදිට්ඨිය වඩයි ... සම්මා සමාධිය වඩයි. මහණෙනි, මේ ත්‍රිවිධ දුඃඛතාවන්ගේ වෙසෙස් දැනුම පිණිස ... පිරිසිඳ දැනීම පිණිස ... ගෙවීම පිණිස ... පැහීම පිණිස මේ අරීඅටඟිමඟ වැඩිය යුත්තේ යි.
1. 15. 81-96.
ඛීල සූත්‍ර
307-322. මහණෙනි, මේ ඛීල (හුල්) තුනෙකි. කවර තුනෙක යත්: රාගඛීල දෝසඛීල මෝහඛීල යි. මහණෙනි, මේ ඛීල තුන යි. මහණෙනි, මේ ත්‍රිවිධ ඛීලයන්ගේ වෙසෙස් දැනුම පිණිස ... පිරිසිඳ දැනුම පිණිස ... ගෙවීම පිණිස ... පැහීම පිණිස අරීඅටඟිමඟ වැඩිය යුතු යි. කවර අරීඅටඟිමඟෙක යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමි වූ සම්මාදිට්ඨිය වඩයි ... සම්මාසමාධිය වඩයි. මහණෙනි, මේ ත්‍රිවිධ ඛීලයන්ගේ වෙසෙස් දැනුම පිණිස ... පිරිසිඳ දැනීම පිණිස ... ගෙවීම පිණිස ... පැහීම පිණිස මේ අරීඅටඟිමඟ වැඩිය යුත්තේ යි.
1. 15. 97-112.
මල සූත්‍ර
323-338. මහණෙනි, මේ මල (කිලිටි) තුනෙකි. කවර තුනෙක යත්: රාගමල යැ දෝසමල යැ මොහමල යැ යි. මහණෙනි, මේ මල තුන යි. මහණෙනි, මේ මල තුන වෙසෙසින් දැනීම පිණිස ... පිරිසිඳ දැනීම පිණිස ... ගෙවීම පිණිස ... පැහීම පිණිස අරීඅටඟිමඟ වැඩිය යුතු යි. කවර අරීඅටඟිමඟෙක යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමි වූ සම්මාදිට්ඨිය වඩයි ... සම්මා සමාධිය වඩයි. මහණෙනි, මේ තුන්මල වෙසෙසින් දැනීම පිණිස ... පිරිසිඳ දැනීම පිණිස ... ගෙවීම පිණිස ... පැහීම පිණිස මේ අරීඅටඟිමඟ වැඩිය යුත්තේ යි.
1. 15. 113-128.
නීඝ සූත්‍ර
339-354. මහණෙනි, මේ නීඝ (දුක්) තුනෙකි. කවර තුනෙක යත්: රාගනීඝ, දෝසනීඝ, මෝහනිඝ යි. මහණෙනි, මේ නීඝ තුන යි. මහණෙනි, මේ නීඝතුන වෙසෙසින් දැනුම පිණිස ... පිරිසිඳ දැනුම පිණිස ... ගෙවීම පිණිස ... පැහීම පිණිස අරීඅටඟිමඟ වැඩිය යුතු. කවර අරීඅටඟිමඟෙක් යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමී වූ සම්මාදිට්ඨිය වඩයි ... සම්මාසමාධිය වඩයි. මහණෙනි, මේ නීඝතුන වෙසෙසින් දැනුම පිණිස ... පිරිසිඳ දැනුම පිණිස ... ගෙවීම පිණිස ... පැහීම පිණිස ... මේ අරීඅටඟිමඟ වැඩිය යුත්තේ යි.
1. 15. 129-144.
වේදනා සූත්‍ර
355-370. මහණෙනි, මේ වේදනා තුනෙකි. කවර තුනෙක යත් සුවවේදනා දුක්වේදනා නොදුක්නොසුවවේදනා යි. මහණෙනි, මොහු තුන් වේදනාවෝ යි. මහණෙනි, මේ තුන් වේදනාවන් වෙසෙසින් දැනුම පිණිස ... පිරිසිඳ දැනුම පිණිස ... ගෙවීම පිණිස ... පැහීම පිණිස අරීඅටඟිමඟ වැඩිය යුතු. කවර අරීඅටඟිමඟෙක යත්: මහණෙනි, මෙහි මහණ තෙමේ විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමී වූ සම්මාදිට්ඨිය වඩයි ... සම්මාසමාධිය වඩයි. මහණෙනි, මේ තුන් වේදනාවන් වෙසෙසින් දැනුම පිණිස ... පිරිසිඳ දැනුම පිණිස ... ගෙවීම පිණිස … පැහීම පිණිස මේ අරීඅටඟිමඟ වැඩිය යුත්තේ යි.
1. 15. 145-160.
තණ්හා සූත්‍ර
371-386. මහණෙනි, මේ තණ්හා තුනෙකි. කවර තුනෙක යත්: කාමතණ්හා භවතණ්හා විභවතණ්හා යි. මහණෙනි, මොහු තුන් තණ්හාවෝ යි. මහණෙනි, මේ තුන් තණ්හාවන් වෙසෙසින් දැනුම පිණිස ... පිරිසිඳ දැනුම පිණිස ... ගෙවීම පිණිස ... පැහීම පිණිස අරීඅටඟිමඟ වැඩිය යුතු. කවර අරීඅටඟිමඟෙක යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවේකය ඇසුරු කළ විරාගය ඇසුරුකළ නිරෝධය ඇසුරු කළ නිවනට නැමුණු සම්මාදිට්ඨිය වඩයි ... සම්මාසමාධිය වඩයි. මහණෙනි, මේ තුන් තණ්හාවන් වෙසෙසින් දැනීම පිණිස ... පිරිසිඳ දැනීම පිණිස ... ගෙවීම පිණිස ... පැහීම පිණිස මේ අරීඅටඟිමඟ වැඩිය යුත්තේ යි.
(ඒසනා සූත්‍ර මෙන් සියල්ල විතර කටයුතු)
පසොළොස්වැනි ඒසනාවර්‍ග යි.