තව කරුණෙක් ඇත. මිනිසුන්ට ශ්‍රේෂ්ඨ වූ ඒ ක්‍ෂත්‍රිය තෙමේ රජය ලැබ කිපියේ (තමහට අවමන් කළ) ඔහු කෙරෙහි රාජදණ්ඩයෙන් අත්‍යර්‍ත්‍ථයෙන් උපක්‍රම කෙරේ. එහෙයින් තමදිවි රක්නේ ඔහු නො ගටන්නේ ය.
ඉදින් මිනිස් තෙමේ ගම්හි හෝ අරණෙහි හෝ යම් තැනක සර්‍පයෙකු දක්නේ ද? ඔහු ලදරු ය යි අවමන් නො කරන්නේය. ඔහුට පරිභව ද නො කරනෙනේ ය.
තේජස්වී වූ සර්‍ප තෙමේ නන් වැදෑරුම් වෙසින් හැසිරෙයි. හෙ කිසි විටෙක (තමන්ට අවමන්) අඥ පුරුෂයා හා ස්ත්‍රිය කරා පැමිණ දෂ්ට කරන්නේ ය. එහෙයින් තමදිවි රක්නේ ඔහු නො ගටන්නේ ය.
ප්‍රභුතභක්‍ෂා ඇති (බොහෝ දේ දවන) ගිනිදැල් ඇති කළුමග ඇති ගින්න ලදරු ය යි අවමන් නො කරන්නේය. මිනිස් තෙමේ ඊට පරිභව ද නො කරනෙනේ ය.
ඒ ගින්න පසයන් ලැබ විශාල ව ඇතැම් විටෙක (තමන්ට අවමන් කළ) අඥ පුරුෂයා හා ස්ත්‍රිය කරා පැමිණ ඩැහැ ගන්නේ ය. එහෙයින් තම දිවි රක්නේ එය නො ගටන්නේ ය.
කළුමග ඇති පාවක නම් වූ ගින්න යම් වනයක් ඩැහැගන්නේ ද, දවරැය ඉක්ම ගිය කල්හි එහි ප්‍රරෝහයෝ (මුලින් නගින අකුරු) හට ගණිත්.
සිල්වත් මහණෙක් තෙදින් යමකු දවා ද? ඔහුට පුත්‍රයෝ ද සිවුපාවෝ ද නො වෙත්. දායාදයෝ ධනය නො ලබත්. (මෙසේ) ඔහු දරුවන් නැත්තාහු දායාදයන් නැත්තාහු මුදුන සුන් තල්රුක්බඳු වෙත්.
එහෙයින් නුවණැති පුරුෂ තෙමේ තමාගේ අභිවෘද්ධිය දක්නේ සර්‍පයා ද, ගිනි ද, කීර්තිමත් ක්‍ෂත්‍රියයා ද, සිල්වත් මහණහු ද මැනවින් ම ඇසුරු කරන්නේ ය.
මෙසේ වදාළ කල්හි පසේනදි කොසොල් රජ භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කළේ ය: වහන්ස ඉතා මැනවි. වහන්ස ඉතා මැනවි. වහන්ස, යම්සේ යටිකුරු වූවක් උඩුකුරු කරන්නේ හෝ වේ ද, වැසුනු දෙයක් විවර කරන්නේ හෝ වේ ද, මං මුළා වූවකුට මග කියන්නේ හෝ වේ ද, ඇස් ඇත්තෝ රූප දක්නාහු ය යි අඳුරෙහි තෙල්පහනක් දරන්නේ හෝ වේ ද, එසෙයින් ම භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් අයුරෙන් දහම් පවසන ලදී, වහන්ස, මේ මම භාග්‍යවතුන් වහන්සේත් දහමත් බික්සඟනත් සරණ කොට යෙමි. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ අද පටන් දිවිහිම් කොට තෙරුවන් සරණ ගිය මා උපාසකයෙකු කොට දරණ සේක්වා යි.
3. 1. 2.
පුරිස සූත්‍රය
113. සැවැත්නුවර–
එකල්හි පසේනදී කොසොල් රජ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් පසේනදි කොසොල් රජ භාග්‍යවතුන් වහන්සේට “වහන්ස, කෙතෙක් ධර්‍මයෝ පුරුෂයාගේ සිය සතන්හි රසදනාහු අහිත පිණිස දුක් පිණිස නොපහසු විහරණය පිණිස උපදිත් දැ” යි තෙල සැළ කළේ ය.
මහරජ, දහම්හු තිදෙනෙක් පුරුෂයාගේ සිය සතන්හි උපදනාහු අහිත පිණිස දුක් පිණිස නොපහසු විහරණය පිණිස උපදිත්. කවර තිදෙනෙක යත්: මහරජ, ලෝභය පුරුෂයාගේ සිය සතන්හි උපදනේ අහිත පිණිස දුක් පිණිස නොපහසු විහරණය පිණිස උපදී. මහරජ, ද්වේෂය පුරුෂයාගේ සිය සතන්හි උපදනේ අහිත පිණිස දුක් පිණිස නොපහසු විහරණය පිණිස උපදී. මහරජ, මෝහය පුරුෂයාගේ සිය සතන්හි උපදනේ අහිත පිණිස දුක් පිණිස නොපහසු විහරණය පිණිස උපදී. මහරජ, මේ දහම්හු තුන්දෙන පුරුෂයාගේ සිය සතන්හි උපදනාහු අහිත පිණිස දුක් පිණිස නොපහසු විහරණය පිණිස උපදිත්.
ලෝභය ද ද්වේෂය ද මෝහය ද සිය සතන්හි හටගත්තාහු ළමු අදහස් ඇති පුරුෂයා සිය ඵලය (හුණ බට ආදී) පොතුහර ගසක් පෙළෙන්නාක් මෙන් පෙළත්.
3. 1. 3.
රාජ සූත්‍රය
114. සැවැත්නුවර–
එකත්පසෙක සිටි පසේනදි කොසොල් රජ භාග්‍යවතුන් වහන්සේට “වහන්ස, උපන්නහුට ජරාමරණ හැර අනෙකෙක් ඇද්දැ” යි තෙල සැළ කළේ ය.
මහරජ, උපන්නහුට ජරාමරණ හැර අනෙකෙක් නැත. මහරජ, ආඪ්‍ය වූ මහද්ධන ඇති මහත් භෝග ඇති බොහෝ රන්රිදී ඇති බොහෝ විතී හා උවරණ (චස්තුපකරණ) බොහෝ ධනධාන්‍ය ඇති කැත්මහසල් කෙනෙකුත් වෙද්ද: උපන් ඔවුන ට ද ජරාමරණ හැර අනෙකෙක් නැත. මහරජ, යම් ඒ බමුණුමහසල් කෙනෙකුත් වෙද්ද? … මහරජ, ආඪ්‍ය වු මහද්ධන ඇති මහත් භෝග ඇති බොහෝ රන් රිදී ඇති බොහෝ චස්තුපකරණ ඇති බොහෝ ධනධාන්‍ය ඇති ගැහැවිමහසල් කෙනෙකුත් වෙද්ද? උපන් ඔවුන්ට ද ජරාමරණ හැර අනෙකෙක් නැත. මහරජ, රහත් වූ ක්‍ෂය කළ ආස්‍රවයන් ඇති මගබඹසර වැස නිම වූ කළ සිවුමග කිස ඇති බහා තැබූ කෙලෙස් බර ඇති පිළිවෙළින් පැමිණි රහත් බැව් ඇති ක්‍ෂය කළ භවසංයෝජන ඇති මැනවින් දැන මිදුනු යම් රහත් මහණ කෙනෙකුත් වෙද්ද? ඔවුන්ගේ ද මේ කය බිඳෙන ස්වභාව ඇත්තේ ය. බැහැර ලිය යුතු ස්වභාව ඇත්තේ ය යි.
විසිතුරු වූ රාජ රථයෝ ඒකාන්තයෙන් දිරත්. තවද සිරුර ද දිරීමට පැමිණේ. සත්පුරුෂයන්ගේ ධර්‍මය දිරීමට නො පැමිණේ. සත්පුරුෂයෝ ඒකාන්තයෙන් සත්පුරුෂයන් සමග මෙසේ ප්‍රකාශ කෙරෙත්.
3. 1. 4.
පිය සූත්‍රය
115. සැවැත්නුවර–
එකත්පසෙක හුන් පසේනදි කොසොල් රජ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළේ ය. වහන්ස: මෙහි රහසිගත වූ එකලාව හුන් මාගේ සිත්හි “කිනම් කෙනකුන්ට තෙමේ ප්‍රිය” වේ ද? කිනම් කෙනකුන්ට තෙමේ අප්‍රිය වේ දැ? යි මෙබඳු විතර්‍කයෙක් පහළ විය.
වහන්ස, ඒ මට තෙල අදහස විය: යම් කිසි කෙනෙක් කයින් දුසිරිත් කෙරෙත් ද, වචනයෙන් දුසිරිත් කෙරෙත් ද, සිතින් දුසිරිත් කෙරෙත් ද, ඔවුන්ට තෙමේ අප්‍රිය ය. ඔවුන් “අපට තෙමේ ප්‍රිය ය”යි මෙසේ කියතුදු වැලිත් ඔවුන්ට තෙමේ අප්‍රිය ය. ඒ කවර හෙයින් යත්: අප්‍රිය නැතැත්තේ අප්‍රිරියයාට යමක් කරන්නේ ඔහු එය තුමූ ම තමන්ට කෙරෙති. එහෙයින් ඔවුන්ට තෙමේ අප්‍රිය ය.
යම් කෙනෙක් කයින් සුසිරිත් කෙරෙත් ද, වචනයෙන් සුසිරිත් කෙරෙත් ද, සිතින් සුසිරිත් කෙරෙත් ද, ඔවුන්ට තෙමේ ප්‍රිය ය. ඔහු “අපට තෙමේ අප්‍රිය ය”යි මෙසේ කියන්නාහු නමුදු, වැලිත් ඔවුන්ට තෙමේ ප්‍රිය ය. ඒ කවර හෙයින් යත්: ප්‍රිය නැතැත්තේ ප්‍රියයාට යමක් කරන්නේ නම් ඔහු එය තුමූ ම තමන්ට කෙරෙති. එහෙයින් ඔවුන්ට තෙමේ ප්‍රිය ය.
මහරජ, තෙල එසේ ය. මහරජ, තෙල එසේ ය. මහරජ, යම් කිසි කෙනෙක් කයින් දුසිරිත් කෙරෙත් ද, වචනයෙන් දුසිරිත් කෙරෙත් ද, සිතින් දුසිරිත් කෙරෙත් ද, ඔවුන්ට තෙමේ අප්‍රිය ය. කිසිසෙයෙකින් ඔහු “අපට තෙමේ ප්‍රිය ය”යි මෙසේ කියන්නාහු නමුදු, ඔවුන්ට තෙමේ අප්‍රිය ය. ඒ කවර හෙයින යත්: මහරජ, අප්‍රිය නැතැත්තේ අප්‍රිරියයාට යමක් කරන්නේ නම් ඔහු එය තුමූ ම තමන්ට කෙරෙති. එහෙයින් ඔවුන්ට තෙමේ අප්‍රිය ය.
මහරජ, යම් කිසි කෙනෙක් කයින් සුසිරිත් කෙරෙද්ද, වචනයෙන් සුසිරිත් කෙරෙද්ද, සිතින් සුසිරිත් කෙරෙද්ද, ඔවුන්ට තෙමේ ප්‍රිය ය. කිසිසේ ඔහු “අපට තෙමේ අප්‍රිය ය”යි මෙසේ කියන්නාහු නමුදු, වැලිත් ඔවුන්ට තෙමේ ප්‍රිය ය. ඒ කවර හෙයින යත්: මහරජ, ප්‍රිය නැතැත්තේ ප්‍රියයාට යමක් කෙරේ නම් ඔහු එය තුමූ ම තමන්ට කෙරෙත්. එහෙයින් තෙමේ තමන්ට ප්‍රිය ය.
ඉදින් ‘ආත්මය ප්‍රිය ය’ යි දන්නේ නම් ඒ ආත්මය පව හා නො යොදන්නේ ය. පව් කරන්නහු විසින් ඒ සුවය සුව සේ නො ලද හැකි ය.
මරුවා විසින් වැතිරෙන ලද, මිනිස්භවය හැර දමන ඔහුට කිමෙක් තමන්ගේ වේ ද? කිමෙක් රැගෙණ යේ ද? වෙන් නො වන සෙවනැල්ල මෙන් කිමෙක් ඔහු අනු ව යන්නේ වේ ද?
මිනිස් තෙමේ මෙලෙව්හි යම් පින්පව් දෙකක් කෙරේ ද, එය ඔහුට සිය දෑ වෙයි. එය ම රැගෙණ යෙයි. වෙන් නො වන සෙවනැල්ල මෙන් එය ම ඔහු අනු ව යන්නේ වෙයි. එහෙයින් පරලොවට හිත දෑ රැස් කරන්නේ පින් කරන්නේ ය. පින් පරලෙව්හි දී සත්‍වයන්ට පිහිට වෙයි.
3. 1. 5.
අත්තරක්ඛිත සූත්‍රය
116. සැවැත්නුවර–
එකත්පසෙක හුන් පසේනදි කොසොල් රජ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළේ ය. වහන්ස: මෙහි රහසිගත වූ එකලාව හුන් මගේ සිත්හි “කවුරුන් විසින් ආත්මය රක්නා ලද්දේ ද, කවුරුන් විසින් ආත්මය නො රක්නා ලද්දේ දැ?” යි මෙබඳු විතර්‍කයෙක් පහළ විය.
වහන්ස, ඒ මට මේ අදහස් විය: යම් කිසි කෙනෙක් කයින් දුසිරිත් කෙරෙද් ද, වචනයෙන් දුසිරිත් කෙරෙද් ද, සිතින් දුසිරිත් කෙරෙද්ද, ඔවුන් විසින් තෙමේ නොරක්නා ලද්දේ ය. කිසිසේ ඔවුන් ඇත්මුළු හෝ රක්නේ නම්, අස්කැල හෝ රක්නේ නම්, රියපෙල හෝ රක්නේ නම්, පාබළ සෙනඟ හෝ රක්නේ නම්, වැලිත් ඔවුන් විසින් තෙමේ නො රක්නා ලද්දේ ය. ඒ කවරහෙයින: මේ රැක්ම බැහැර ය. මේ රැක්ම ඇතුළත නො වේ. එහෙයින් ඔවුන් විසින් තෙමේ නො රක්නා ලද්දේ ය. යම් කිසි කෙනෙක් කයින් සුසිරිත් කෙරෙද් ද, වචනයෙන් සුසිරිත් කෙරෙද්ද, සිතින් සුසිරිත් කෙරෙද්ද, ඔවුන් විසින් තෙමේ රක්නා ලද්දේ ය. කිසිසේසෙයකින් ඔවුන් ඇත් මුළ නො ම රක්නේ නම්, අස්කැල නො ම රක්නේ නම්, රියපෙල නො ම රක්නේ නම්, පාබලසෙනඟ නො ම රක්නේ නම්’ වැලිත් ඔවුන් විසින් තෙමේ රක්නා ලද්දේ ය. ඒ කවරහෙයින: මේ රැක්ම ඇතුළත ය, මේ රැක්ම බැහැර නො වේ. එහෙයින් ඔවුන් විසින් තෙමේ රක්නා ලද්දේ ය.
මහරජ, තෙල එසේ ය. මහරජ, තෙල එසේ ය. මහරජ, යම් කිසි කෙනෙක් කයින් දුසිරිත් කෙරෙද් ද,... ඔවුන් විසින් තෙමේ නො රක්නා ලද්දේ ය. කිසිසේත් ඔවුන් ඇත්මුළ හෝ රක්නේ ද, ... පාබලසෙනඟ හෝ රක්නේ නම් වැලිත් ඔවුන් විසින් තෙමේ නො රක්නා ලද්දේ ය. ඒ කවර හෙයින: මහරජ, මේ රැක්ම බැහැර ය. මේ රැක්ම ඇතුළත නො වේ. එහෙයින් ඔවුන් විසින් තෙමේ නො රක්නා ලද්දේ ය. මහරජ, යම් කිසි කෙනෙක් කයින් සුසිරිත් කෙරෙත් ද, ... සිතින් සුසිරිත් කෙරෙද් ද, ඔවුන් විසින් තෙමේ රක්නා ලද්දේ ය. කිසි සේත් ඔවුන් ඇත් සෙනඟ නො ම රක්නේ නම්, … පාබලසෙනඟ නො ම රක්නේ නම් එහෙත් ඔවුන් විසින් තෙමේ රක්නා ලද්දේ ය. ඒ කවරහෙයින: මහරජ, මේ රැක්ම ඇතුළත ය, මේ රැක්ම බැහැර නො වේ. එහෙයින් ඔවුන් විසින් තෙමේ රක්නා ලද්දේ ය.
කයින් සංවරය මැනවි. වචනයෙන් සංවරය මැනවි. සිතින් සංවරය මැනවි. හැම තන්හි සංවරය මැනවි. හැම තන්හි සංවෘත වූ ලජ්ජා ඇත්තේ රැකුනේ ය යි කියනු ලැබේ.
3. 1. 6.
අප්පකා සූත්‍රය
117. සැවැත්නුවර–
එකත්පසෙක හුන් පසේනදි කොසොල් රජ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළේ ය. වහන්ස: මෙහි රහසිගත ව එකලා ව හුන් මගේ සිත්හි මෙබඳු විතර්‍කයෙක් පහළ විය. යම් කෙනෙක් ප්‍රණීත වූත් බොහෝ වූත් මහත් මහත් භෝගයන් ලැබ නො ම මත් වෙත් ද, නො ම පමා වෙත් ද, කාමයන්හි ගිජුබවටත් නො ද පැමිණෙද්ද, සතුන් කෙරෙහිත් වරදවා නො පිළිපදිද්ද, ඒ සත්‍වයෝ ලොව ස්වල්පයහ. වැලිදු යම් කෙනෙක් ප්‍රණීත වූත් බොහෝ වූත් මහත් මහත් භෝගයන් ලැබ මත් වෙත් ද, පමාත් වෙද්ද, කාමයන්හි ගිජුබවටත් පැමිණෙද්ද, සතුන් කෙරෙහිත් වරදවා පිළිපදිද්ද, මේ සත්‍වයෝ ම ලොව ඉතා බොහෝහ.
මහරජ, එසේ ය. මහරජ, එසේ ය. මහරජ, යම් කෙනෙක් ප්‍රණීතවූත් බොහෝ වූත් තෙල මහත් මහත් භෝගයන් ලැබ නො ම මත් වෙද්ද, නො ම පමාත් වෙද්ද, කාමයන්හි ගිජුබවට නො ද මහත් මහත් පැමිණෙද්ද, සතුන් කෙරෙහිත් නො ද වරදවා පිළිපදිද් ද, ඒ සත්‍වයෝ ලොව ඉතා ස්වල්පයහ. වැලිදු යම් කෙනෙක් ප්‍රණීත වූත් බොහෝ වූත් භෝගයන් ලැබ මත් වෙද්ද, පමාත් වෙද්ද, කාමයන්හි ගිජුබවටත් පැමිණෙත් ද, සතුන් කෙරෙහිත් වරදවා පිළිපදිද්ද, ඒ සත්‍වයෝ ම ලොව ඉතා බොහෝහ.
කාමවස්තූන්හි ඇලුනු කාමයන්හි ගිජු වූ මුසපත් වූ සත්‍වයෝ කුසල් සීමාව ඉක්ම යෑම නො දනිත්. දමන ලද පාසය නො දන්නා මුවන් මෙනි. පසු ව ඔවුන්ට දුක වෙයි. එහි විපාකය ඒකාන්තයෙන් ලාමක ය යි.
3. 1. 7.
අත්‍ථකරණ සූත්‍රය
118. සැවැත්නුවර–
එකත්පසෙක හුන් පසේනදි කොසොල් රජ භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කළේ ය. වහන්ස: මෙහි මම විනිශ්චයාසනයෙහි හුන්නෙම් අඪ්‍ය වූ මහද්ධන ඇති මහත් භෝග ඇති බොහෝ රන්රිදී ඇති බොහෝ වූ මනවඩන දෑ ඇති බොහෝ ධනධ්‍යාන ඇති කැත් මහසලුන් ද, බමුණු මහසලුන් ද, ගැහැවි මහසලුන් ද කාමයන් හේතු කොට ගෙණ කාමයන් නිදාන කොට ගෙණ කාමයන් කරුණු කොට ගෙණ දැන දැන මුසා බණන්නවුන් දකිමි. වහන්ස, ඒ මට “දන් මා විසින් නඩු විසඳීමෙන් කම් නැත. දැන් නඩුහලෙහි සොඳුරුමුව ඇත්තෙක් නො පෙණේ ය” යි මේ අදහස විය.
මහරජ අඪ්‍යවූ මහද්ධන ඇති මහත් භෝග ඇති බොහෝ වූ රන්රිදී ඇති බොහෝ වූ මනවඩන වස්තූපකරණ ඇති බොහෝ වූ ධනධ්‍යාන ඇති යම් ඒ කැත්මහසල්ලුත්, බමුණු මහසල්ලුත්, ගැහැවි මහසල්ලුත් කාමයන් හේතු කොට ගෙණ කාමයන් නිදාන කොට ගෙණ කාමයන් කරුණු කොට ගෙණ දැන දැන මුසා බෙණෙද්ද, ඔවුන්ට එය බොහෝ කලක් මුළුල්ලෙහි අහිත පිණිස දුක් පිණිස වන්නේ ය.
කාමවස්තූන්හි ඇලුනු කාමයන්හි ගිජු වූ මුසපත් වූ සත්‍වයෝ කුසල් ඉම ඉක්ම යෑම නො දනිත්. අටවන ලද කෙමිනට තමන් වදනා බව නො දන්නා මසුන් මෙනි. පසු ව ඔවුන්ට දුක වේ. එහි විපාකය ඒකාන්තයෙන් ලාමක ය.
3. 1. 8.
මල්ලිකා සූත්‍රය
119. සැවැත්නුවර–
එකල්හි පසේනදි කොසොල් රජ මල්ලිකාදේවිය සමග උතුම් පහයෙහි මතුමහලට ගියේ වෙයි. ඉක්බිති පසේනදි කොසොල් රජ මල්ලිකා දේවියට “මල්ලිකාවෙනි, තමහට වඩා ඉතා ප්‍රිය වූ අන් කිසිවෙක් තොපට ඇද්දැ” යි තෙල කී ය.
මහරජ, තමහට වඩා ඉතා ප්‍රිය වූ අන් කිසිවෙක් මට නැත. මහරජ, තමහට වඩා ඉතා ප්‍රිය වූ අන් කිසිවෙක් තොපට ඇද්ද? මල්ලිකාවෙනි, තමහට වඩා ඉතා ප්‍රිය වූ අන් කිසිවෙක් මට ද නැත.
ඉක්බිති පසේනදි කොසොල්රජ පහයෙන් බැස භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් පසේනදි කොසොල්රජ භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කළේ ය. වහන්ස, මෙහි මම මල්ලිකාදේවිය සමග උතුම් පහාතලමත අරා සිටියෙම් මල්ලිකාදේවියට “මල්ලිකාවෙනි, තමහට වඩා ඉතා ප්‍රිය වූ අන් කිසිවෙක් තොපට ඇද්දැ”යි තෙල කීමි. වහන්ස, මෙසේ කී කල්හි මල්ලිකා දේවිය මට “මහරජ, තමහට වඩා ඉතා ප්‍රිය වූ අන් කිසිවෙක් මට නැත. මහරජ, තමහට වඩා ඉතා ප්‍රිය වූ අන් කිසිවෙක් තොපට ඇද්දැ” යි තෙල බස් කිවු ය. වහන්ස, මෙසේ කියන ලද මම මල්ලිකාදේවියට “මල්ලිකාවෙනි, තමහට වඩා ඉතා ප්‍රිය වූ අන් කිසිවෙක් මටත් නැතැ”යි තෙල කීයෙමි.
එකල්හි භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ දැන ඒ වේලායෙහි මේ ගාථාව වදාළ සේක:
සියලු දිගුන් සිතින් අනුගමනය කොට තමහට වඩා ඉතා ප්‍රිය වූවකු කිසි තැනෙක නො ම ලදිමි. මෙසේ අන් බොහෝ දෙනාට ද තෙමේ ප්‍රිය ය. එහෙයින් තමහට වැඩ කැමැත්තේ මෙරමා නො පෙළන්නේ ය.
3. 1. 9.
යඤ්ඤ සූත්‍රය
120. සැවැත්නුවර–
එකල්හි පසේනදි කොසොල් රජහට මහායාගයක් එළඹ සිටියේ වෙයි. පන්සියක් ගොන්නු ද, පන්සියක් නහඹුහු ද, පන්සියක් නැහැඹියෝද, පන්සියක් එළුවෝ ද, පන්සියක් තිරෙළුවෝ ද යාගය පිණිස ටැඹ ඇරැ බඳනා ලද්දාහු වෙත්. ඔහුගේ දාසයෝ ය කියා හෝ දූතයෝ ය කියා හෝ කම්කරුවෝය කියා හෝ යම් ඒ කෙනෙක් වෙත්නම් ඔහුත් දඬුවමින් තැති ගත්තාහු බියෙන් තැති ගත්තාහු කඳුළු වැකුනු මුහුණු ඇත්තාහු අඬමින් පිරියම් කෙරෙත්.
ඉක්බිති බොහෝ භික්‍ෂූහු පෙරවරු හැඳ පෙරෙව පාසිවුරු ගෙණ සැවැත්නුවර පිඬු පිණිස පිවිසියහ. සැවැත්නුවර පිඬු පිණිස හැසිර පසුබත පිණ්ඩපාතයෙන් වැළකුනාහු භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කළහ. වහන්ස, මෙහි පසේනදි කොසොල් රජහට මහායාගයක් එළඹ සිටියේ වෙයි. පන්සියක් ගොන්නු ද, පන්සියක් නහඹු වස්සෝ ද, පන්සියක් නහඹු වැස්සෝ ද, පන්සියක් එළුවෝ ද, පන්සියක් ලදරු මැඬහු ද යාගය පිණිස ටැඹ ඇරැ බඳන ලදුවෝ වෙත්. ඔහුගේ දාසයෝ ය කියා හෝ දූතයෝ ය කියා හෝ කම්කරුවෝය කියා හෝ යම් ඒ කෙනෙක් වෙත් නම් ඔහුත් දඬුවමින් තැති ගත්තාහු බියෙන් තැති ගත්තාහු කඳුලු වැකුනු මුහුණු ඇත්තාහු හඬමින් පිරියම් කෙරෙත්.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ දැන ඒ වේලායෙහි මේ ගාථාවන් වදාළ සේක:
අස්සමේධ ය, පුරිසමේධ ය, සම්මාපාස ය, වාජපෙය්‍ය ය, නිරග්ගල ය යන (කෘත්‍ය වශයෙන්) මහත් ආරම්භ ඇති ඒ මහායාගයෝ මහත්ඵල නො වෙත්.
යම් යාගයක් නන්වැදෑරුම් වූ එළුතිරෙළුවෝ ද, ගෙරිහු ද නසන ලැබෙත් නම් ඒ යාගයට සම්‍යක්ප්‍රතිපන්න වූ බුද්ධාදි මහර්ෂීහු නො පැමිණෙත්.
යම් යාග කෙනෙක් අල්පාරම්හ ඇත්තාහු ද, (එබඳු යාගයන්) කුලයක් පාසා හැම කල්හි කෙරෙත්. මෙහි නන්වැදෑරුම් වූ එළුතිරෙළුවෝ ද, ගෙරිහු ද නො නසනු ලැබෙත්.
සම්‍යක්ප්‍රතිපන්න වූ බුද්ධාදි මහර්ෂීහු මේ යාගයට පැමිණෙත්. නුවණැත්තේ තෙල යාගය කරන්නේ ය. තෙල යාගය මහත්ඵල ය.
තෙල යාගය කරන්නහුට වැඩීමෙක් වේ. පිරිහීමෙක් නො වේ. යාගය ද විපුල වේ, දෙවියෝත් පහදිති.
3. 1. 10.
බන්‍ධන සූත්‍රය
121. සැවැත්නුවර–
එකල්හි පසේනදි කොසොල් රජු විසින් ඇතැම්හු රැහැණින් ද, ඇතැම්හු යදමින් ද, ඇතැම්හු හැකිල්ලෙන් දැ යි මෙසේ මහාජන පිරිස් බඳවන ලද්දාහු වෙත්.
එකල්හි බොහෝ භික්‍ෂූහු පෙරවරු හැඳ පොරොවා පාසිවුරු ගෙණ සැවැත්නුවරට පිඬු පිණිස පිවිසියහ. සැවැත්නුවර පිඬු පිණිස හැසිර පසුබත පිණ්ඩපාතයෙන් වැළකුනාහු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට “වහන්ස, මෙහි පසේනදි කොසොල්රජු විසින් ඇතැම්හු රැහැණින් ද, ඇතැම්හු යදමින් ද, ඇතැම්හු හැකිල්ලෙන් දැ යි මෙසේ මහාජන පිරිස් බඳවන ලද්දාහු ය” යි තෙල සැළ කළහ.
එකල්හි භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ දැන ඒ වේලායෙහි මේ ගාථාවන් වදාළ සේක.
යමුවා වූ ද දැවමුවා වූ ද බබුස්තණමුවා වූ ද යම් බන්‍ධනයෙක් වේ ද, ඒ බන්‍ධනය දැඩි ය යි ප්‍රාඥයෝ නො කියත්. මිණිකොඬොල්හි ද දරුවන් කෙරෙහි ද අඹුවන් කෙරෙහි ද දැඩිඇලුමින් ඇලුනු යම් අපේක්‍ෂායෙක් වේ ද,
යට (=සිවු අපායට) ඇද ලන ලිහිල් වූ මිදීමට දුෂ්කර වූ මේ බන්‍ධනය දැඩි ය යි නුවණැත්තෝ කියත්. කාමයන්හි අපේක්‍ෂා නැත්තාහු මේ බන්‍ධනය ද සිඳ කම්සුව හැර දමා ගිහිගෙය හැර යෙත්.
බන්ධනවර්‍ගය පළමුවැනි යි.
එහි උද්දානය:
දහර, පුරිස, රාජ, පිය, අත්තරක්ඛිත, අප්පකා, අත්‍ථකරණ, මල්ලිකා, යඤ්ඤ, බන්‍ධන ය යි සූත්‍ර දශයෙකි.
2. අපුත්තක වර්‍ගය
3. 2. 1.
සත්තජටිල සූත්‍රය
122. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ පුවරම් නම් මුවරමා පහයෙහි වැඩ වසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ සවස් වේලෙහි පලසමවතින් නැගී සිටිසේක් බිහිදොරකොටුවෙහි වැඩහුන් සේක. ඉක්බිති පසේනදි කොසොල් රජ තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්නේ ය.
එකල්හි වැඩුනු කැසනියලොම් ඇති ජටිලයෝ සත් දෙනෙක් ද, නිගණ්ඨයෝ සත් දෙනෙක් ද, අචේලකයෝ සත් දෙනෙක් ද, ඒකසාටකයෝ සත් දෙනෙක් ද, පරිව්‍රාජකයෝ සත් දෙනෙක් ද නන් තවුස්පිරිකර ගෙණ භාග්‍යවතුන් වහන්සේ නුදුරෙහි (එ පෙදෙස) ගෙවා යෙති. ඉක්බිති පසේනදි කොසොල්රජ හුනස්නෙන් නැගිට උතුරුසළුව එකස් කොට දකුණු දණමඬල පොළොවෙහි හැන ජටිලයන් සත්දෙන ද නිගණ්ඨයන් සත්දෙන ද, අචේලකයන් සත්දෙන ද, ඒකසාටකයන් සත්දෙන ද පරිව්‍රාජකයන් සත්දෙන ද වෙත ඇඳිලි බැඳ “වහන්ස, මම පසේනදි කොසොල් රජ වෙමි. … වහන්ස, මම පසේනදි කොසොල් රජ වෙමි”යි තෙවරක් නම ඇස්වී ය.
ඉක්බිති ඒ ජටිලයන් සත්දෙන ද නිගණ්ඨයන් සත්දෙන ද අචේලකයන් සත්දෙන ද ඒකසාටකයන් සත්දෙන ද පරිව්‍රාජකයන් සත්දෙන ද ගිය නොබෝ වෙලෙහි පසේනදි කොසොල්රජ තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත් පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් පසේනදි කොසොල් රජ භාග්‍යවතුන් වහන්සේට “වහන්ස, ලොව යම් ඒ කෙනෙක් රහත්හු හෝ රහත්මගට පිළිපන්නාහු හෝ වෙත් ද, තුලුහු ඔවුනතරැ එක්තරා කෙනෙකැ”යි තෙල සැළ කෙළේ ය.
මහරජ, ගිහි වූ කම්සැප විඳින දරුවන්ගෙන් පළිබෝධ ඇති යහන්හි වෙසෙන සිනිඳු සඳුන් ගල්වන මල්ගඳවිලෙවුන් දරණ රන්රිදී ඉවසන තොප විසින් ‘මොහු රහත්හු ය කියා හෝ මොහු රහත්මගට පිළිපන්නෝ ය යි’ කියා හෝ තෙල නොදත හැකි ය.
මහරජ, එක් ව විසීමෙන් ශීලය දත යුතු ය. එ ද දිගුකලෙකිනි. මඳ කලෙකින් නො වේ. මෙනෙහි කරන්නහු විසිනි. නොමෙනෙහි කරන්නහු විසින් නො වේ. පැණැත්තහු විසිනි. පැණනැතියහු විසින් නො වේ. මහරජ, කථාව්‍යවහාරයෙන් පවිත්‍රබව දත යුතු ය. එ ද දිගුකලෙකිනි. මඳ කලෙකින් නො වේ. මෙනෙහි කරන්නහු විසිනි. නො මෙනෙහි කරන්නහු විසින් නො වේ. නුවණැත්තහු විසිනි. නුවණ නැතියහු විසින් නො වේ. මහරජ, විපතෙහි දී ඥානශක්තිය දත යුතු ය. එ ද දිගුකලෙකිනි. මඳ කලෙකින් නො වේ. මෙනෙහි කරන්නහු විසිනි. නො මෙනෙහි කරන්නහු විසින් නොවේ. නුවණැත්තහු විසිනි. මුඪයා විසින් නො වේ. මහරජ, සාකච්ඡා යෙන් නුවණ දත යුතු ය. එ ද දිගුකලෙකිනි. මඳ කලෙකින් නො වේ. මෙනෙහි කරන්නහු විසිනි. නො මෙනෙහි කරන්නහු විසින් නො වේ. නුවණැත්තහු විසිනි. ඥානහීනයා විසින් නො වේ.
වහන්ස, ආශ්චර්‍ය්‍යයෙකි. වහන්ස, අද්භූතයෙකි. වහන්ස, “,මහරජ ගිහි වූ කම්සැප විඳින තොප විසින් මෙය දුකසේ දතයුතුය … නුවණැත්තහු විසිනි. නුනුවණහු විසින් නො වේ ය” යන මෙය භාග්‍යවතුන් වහන්සේ විසින් ඉතා මැනවින් දේශනා කරණ ලදි.
වහන්ස, මොහු මාගේ පවත් විමසන චරපුරුෂයෝ ය. ජනපදය විමසා එති. ඔවුන් පළමු කොට විමසන ලද පෙදෙසට මම පසු ව බැස ගන්නෙමි. වහන්ස, දැන් ඔහු රජස්දැලි සෝදා හැර මොනවට නෑවාහු මොනවට සුවඳවිලෙවුන් ගැල්වූවාහු අන්දම් තබා සැරසූ කෙස්රවුළු ඇත්තාහු සුදුවත් හැඳ ගැත්තාහු පස්කම්ගුණයෙන් පිණා ගියාහු යුක්ත වූවාහු ඉඳුරන් හසුරු වන්නාහ.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ දැන ඒ වේලාවෙහි මේ ගාථාවන් වදාළ සේක:
මිනිස් තෙමේ රූපසටහන් මැනවින් නො දත හැකි ය. ස්වල්පමාත්‍ර දර්‍ශනයෙන් නො අදහන්නේ ය. ඒ එසේ මැයි. සංයම නැත්තෝ මනාසංයම ඇත්තන්ගේ පරිෂ්කාරභාණ්ඩලක්‍ෂණයෙන් යුක්ත ව මෙලොව හැසිරෙත්.
ඇතුළත අපිරිසිදු වූ පිටත හොබනා වූ ඇතැම් කෙනෙක් ස්වර්‍ණප්‍රතිරූපක වූ මැටිමුවා කොඬොලක් මෙන් ද, රනින් වැසුනු ලොහොමුවා අඩමස්සක් මෙන් ද පිරිවරින් වැසුනාහු හැසිරෙත්.
3. 2. 2.
පඤ්චරාජ සූත්‍රය
123. සැවැත්නුවර–
එකල්හි පස්කම්ගුණයෙන් පිණා ගියා වූ එයින් යුක්ත වූ ඉඳුරන් පිණවන්නා වූ පසේනදි කොසොල් රජුන් ප්‍රමුඛ කොට ඇති පස් රජුන් අතර “කාමවස්තු අතුරෙන් කුමක් අග්‍ර ද?” යන මේ අතුරු කතාව පහළ විය.
එහි ඇතැම් කෙනෙක් කාමවස්තූන් අතුරෙන් රූපයෝ අග්‍රහ යි මෙසේ කී හ. ඇතැම් කෙනෙක් කාමවස්තූන් අතුරෙන් ශබ්දයෝ අග්‍රහ යි මෙසේ කී හ. ඇතැම් කෙනෙක් කාමවස්තූන් අතුරෙන් ගන්‍ධයෝ අග්‍රහ යි මෙසේ කී හ. ඇතැම් කෙනෙක් කාමවස්තූන් අතුරෙන් රසයෝ අග්‍රහ යි මෙසේ කී හ. ඇතැම් කෙනෙක් කාමවස්තූන් අතුරෙන් ස්ප්‍රෂ්ටව්‍යයෝ අග්‍රහ යි මෙසේ කී හ. යම් හෙයකින් ඒ රජවරු ඔවුනොවුන් හඟවන්නට නො හැකි වූහු ද? එකල පසේනදි කොසොල් රජ තෙමේ ඒ රජවරුන්ට “නිදුකානෙනි, යම්හ, භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹෙම්හ. එළඹ භාග්‍යවතුන් වහන්සේගෙන් මේ කරුණ විචාරන්නමෝ යම් පරිද්දෙකින් භාග්‍යවතුන් වහන්සේ අපට විසඳන සේක් ද, එපරිද්දෙන් එය දරන්නෙමු”යි තෙල කී ය.
නිදුකානෙනි, එසේ ය යි ඒ රජවරු පසේනදි කොසොල්රජහට පිළිතුරු දුන්හ. ඉක්බිති පසේනදි කොසොල්රජ ප්‍රමුඛ කොට ඇති ඒ පස් රජහු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් පසේනදි කොසොල් රජ තෙමේ භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කළේ ය. වහන්ස, මෙහි පස්කම්ගුණෙන් පිණාගියා වූ එයින් යුක්ත වූ ඉඳුරන් හසුරුවන්නා වූ අප පස් රජුන් අතර කාමවතූන් අතුරෙන් කිමෙක අග්‍ර ද” යන මේ අතුරු කතාව පහළ විය. ඇතැම් කෙනෙක් කාමවස්තූන් අතුරෙන් රූපයෝ අග්‍රහ යි මෙසේ කීහ. ඇතැම් කෙනෙක් ශබ්දයෝ … කාමවස්තූන් අතුරෙන් ස්ප්‍රෂ්ටව්‍යයෝ අග්‍රහ යි මෙසේ කී හ. වහන්ස, කාමවස්තූන් අතුරෙන් කිමෙක් අග්‍ර ද?