Saṁyutta Nikāya

Connected Discourses

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-30 · 15083 segments

පෙන්වන කොටස් 11801-11900 න් 15083

දෙවන බ්‍රහ්මචරිය සූත්‍රය
40. මහණෙනි, තොපට බඹසරත් බඹසරෙහි අර්‍ත්‍ථත් දේශනා කරන්නෙමි. එය අසවු. මහණෙනි බඹසර කවරෙ යත්: මේ අරිඅටඟිමඟ මැ යි. ඒ කෙසේ යැ යත්: සම්මාදිට්ඨි … සම්මාසමාධි යි. මහණෙනි මේ බඹසරැ යි කියනු ලැබේ. මහණෙනි, බඹසරෙහි අර්‍ත්‍ථ කවරෙ යත්: මහණෙනි, යම් රාගක්‍ෂයයෙක් ද්වේෂක්‍ෂයයෙක් මෝහක්‍ෂයයෙක් වේ නම් මේ බඹසරෙහි අර්‍ත්‍ථ යි කියනු ලැබේ යි.
(සියල්ල සැවැත්නුවර ම නිදාන කොට ඇත.)
සිව්වැනි පටිපත්ති වර්‍ග යි.
එහි සූත්‍ර නාමමාලාව:
පටිපත්ති, පටිපන්න, විරද්ධ, පරඞ්ගම යි සූත්‍ර සතරෙකි. සාමඤ්ඤ නමින් දෙකෙක් ද, බ්‍රහ්මඤ්ඤ නමින් දෙකෙක් ද, බ්‍රහ්මචරිය නමින් දෙකෙක්ද කියන ලදහ. මේ සූත්‍ර දශයෙන් වර්‍ග යයි කියනු ලැබේ.
5. අඤ්ඤතිත්‍ථියපෙය්‍යාලය
1. 5. 1.
විරාග සූත්‍රය
41. සැවැත්නුවර:
එකල්හි බොහෝ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ඒ භික්‍ෂූන්ට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක: “මහණෙනි, ඉදින් අන්තොටු පිරිවැජියෝ “ඇවැත්නි, කුමක් පිණිස මහණ ගොයුම්හු කෙරෙහි බඹසර වෙසේ දැ” යි මෙසේ තොප පුළුවුස්නාහු නම් මහණෙනි, එසේ පුළුවුස්නා ලද තෙපි ඒ අන්තොටු පිරිවැජියනට මෙසේ ප්‍රකාශ කරවු. “ඇවැත්නි, රාගය දුරලීම පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි බඹසර වෙසෙ යි.
මහණෙනි, ඉදින් අන්තොටු පිරිවැජියෝ “ඇවැත්නි, රාගය දුරලීම පිණිස මගෙක් ඇද්ද, පිළිවෙතක් ඇද්ද”යි මෙසේ තොප පුළුවුස්නාහු නම් මහණෙනි එසේ පුළුවුස්නා ලද තෙපි ඒ අන්තොටු පිරිවැජියනට මෙසේ ප්‍රකාශ කරවු. “ඇවැත්නි, රාගය දුරලීම පිණිස මගෙක් ඇත”. “පිළිවෙතක් ඇතැ”යි මහණෙනි රාගය දුරලීම පිණිස මඟ කවරෙ යැ පිළිවෙත කවරෙ යැ යත්: මේ අරිඅටඟිමග මැ යි. ඒ කෙසේ ය යත්: සම්මාදිට්ඨි යැ …. සම්මාසමාධි යි. මහණෙනි, රාගය දුරලීම පිණිස මේ මග යැ, මේ පිළිවෙත යි. මහණෙනි, එසේ පුළුවුස්නා ලද තෙපි ඒ අන්තොටු පිරිවැජියනට මෙසේ ප්‍රකාශ කරවු.
1. 5. 2.
සංයෝජන සූත්‍රය
42. මහණෙනි, ඉදින් අන්තොටු පිරිවැජියෝ “ඇවැත්නි, කුමක් පිණිස මහණ ගොයුම්හු කෙරෙහි බඹසර වෙසේ දැ” යි මෙසේ තොප පුළුවුස්නාහු නම් එසේ පුළුවුස්නා ලද තෙපි ඒ අන්තොටු පිරිවැජියනට මෙසේ ප්‍රකාශ කරවු: “ඇවැත්නි, සංයෝජන ප්‍රහාණය පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි බඹසර වෙසේ” යයි.
මහණෙනි, ඉදින් අන්‍යතීර්‍ත්‍ථක පරිව්‍රාජකයෝ “ඇවැත්නි, සංයෝජන ප්‍රහාණය පිණිස මගෙක් ඇද්ද, පිළිවෙතක් ඇද්ද?”යි මෙසේ තොප පුළුවුස්නාහු නම් මහණෙනි, එසේ පුළුවුස්නා ලද තෙපි ඒ අන්‍යතීර්‍ත්‍ථක පරිව්‍රාජකයනට මෙසේ විසඳන්නාහු ය. “ඇවැත්නි, සංයෝජන ප්‍රහාණය පිණිස මගෙක් ඇත, පිළිවෙතක් ඇතැ යි. මහණෙනි, සංයෝජනප්‍රහාණය පිණිස මග කවරෙ යැ පිළිවෙත කවරේ යැ යත්: මේ අරිඅටඟිමග මැ යි. හේ මෙසේ ය: සම්මාදිට්ඨි යැ … සම්මාසමාධි යි. මහණෙනි, සංයෝජනප්‍රහාණය පිණිස මේ මග ය, මේ පිළිවෙත යි. මහණෙනි, එසේ පුළුවුස්නා ලද තෙපි ඒ අන්‍යතීර්‍ත්‍ථක පරිව්‍රාජකයනට මෙසේ විසඳන්නාහුය.
1. 5. 3.
අනුසය සූත්‍රය
43. මහණෙනි, ඉදින් අන්තොටු පිරිවැජියෝ “ඇවැත්නි, කුමක් පිණිස මහණ ගොයුම්හු කෙරෙහි බඹසර වෙසේ දැ” යි මෙසේ තොප පුළුවුස්නාහු නම් “මහණෙනි, එසේ පුළුවුස්නා ලද තෙපි ඒ අන්තොටු පිරිවැජියනට “මෙසේ විසඳන්නාහු ය: “ඇවැත්නි, අනුසය (නිදි ගත් කෙලෙස්) නැසීම පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි බඹසර වෙසේ යි. මහණෙනි,
ඉදින් අන්තොටු පිරිවැජියෝ “ඇවැත්නි, අනුසය නැසීම පිණිස මගෙක් ඇද්ද, පිළිවෙතෙක් ඇද් දැ? යි මෙසේ තොප පුළුවුස්නාහු නම් මහණෙනි, එසේ පුළුවුස්නා ලද තෙපි ඒ අන්තොටු පිරිවැජියනට මෙසේ පවසන්නාහුය: “ඇවැත්නි අනුසය නැසීම පිණිස මගෙක් ඇත පිළිවෙතක් ඇතැ”යි. මහණෙනි, අනුසය නැසීම පිණිස මඟ කවරේ යැ පිළිවෙත කවරේ යැ යත්: මේ අරිඅටඟිමග මැ යි හේ මෙසේය: සම්මාදිට්ඨි ... සම්මාසමාධි යි. මහණෙනි, අනුසය නැසීම පිණිස මේ මග ය, මේ පිළිවෙතයි. මහණෙනි, එසේ පුළුවුස්නා ලද තෙපි ඒ අන්තොටු පිරිවැජියනට මෙසේ පවසන්නාහු යි.
1. 5. 4.
අද්ධාන සූත්‍රය
44. මහණෙනි, ඉදින් අන්තොටු පිරිවැජියෝ: “ඇවැත්නි, කුමක් පිණිස මහණ ගොයුම්හු කෙරෙහි බඹසර වෙසේ දැ” යි මෙසේ තොප පුළුවුස්නාහු නම් මහණෙනි, එසේ පුළුවුස්නා ලද තෙපි මේ අන්තොටු පිරිවැජියනට මෙසේ පවසන්නාහු ය. “ඇවැත්නි, සසර අදන්මග පිරිසිඳ දැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි බඹසර වෙසේ”යි ... මහණෙනි, සසර අදන්මග පිරිසිඳ දැනීම පිණිස මග කවරෙ යැ පිළිවෙත කවරේය යැ යත්: මේ අරිඅටඟිමග මැ යි. එනම්: සම්මාදිට්ඨි ... සම්මාසමාධි යි. මහණෙනි, සසර අදන්මඟ පිරිසිඳ දැනීම පිණිස මේ මග ය, මේ පිළිවෙත යි. මහණෙනි, එසේ පුළුවුස්නා ලද තෙපි ඒ අන්තොටු පිරිවැජියනට මෙසේ පවසන්නහු යි.
1. 5. 5.
ආසවක්ඛය සූත්‍රය
45. මහණෙනි, ඉදින් අන්තොටු පිරිවැජියෝ: “ඇවැත්නි කුමක් පිණිස මහණ ගොයුම්හු කෙරෙහි බඹසර වෙසේ ද?”යි මෙසේ තොප පුළුවුස්නාහු නම් එසේ පුළුවුස්නා ලද තෙපි ඒ අන්තොටු පිරිවැජියනට මෙසේ පවසන්නාහු ය. “ඇවැත්නි, ආස්‍රවක්‍ෂය පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි බඹසර වෙසේ”යි … මහණෙනි, ආස්‍රවක්‍ෂය පිණිස මග කවරේ ද, පිළිවෙත කවරේ ද යත්: මේ අරිඅටඟිමග මැ යි. එනම්: සම්මාදිට්ඨි ... සම්මාසමාධි” යි. මහණෙනි, ආස්‍රවක්‍ෂය පිණිස මේ මගය, මේ පිළිවෙත යි. මහණෙනි, එසේ පුළුවුස්නා ලද තෙපි ඒ අන්තොටු පිරිවැජියනට මෙසේ පවසන්නහු යි.
1. 5. 6.
විජ්ජාවිමුත්ති සූත්‍රය
46. මහණෙනි, ඉදින් අන්තොටු පිරිවැජියෝ: “ඇවැත්නි කුමක් පිණිස මහණ ගොයුම්හු කෙරෙහි බඹසර වෙසේ දැ යි මෙසේ තොප පුළුවුස්නාහු නම් එසේ පුළුවුස්නා ලද තෙපි ඒ අන්තොටු පිරිවැජියනට මෙසේ පවසන්නහු ය: “ඇවැත්නි, අර්‍හන්මාර්‍ගඥානවිද්‍යාව හා අර්‍හත්ඵලවිමුක්තිය පසක් කරනු පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි බඹසර වෙසේ”යි ... මහණෙනි, අර්‍හන්මාර්‍ගඥානවිද්‍යාව හා අරහත්ඵලවිමුක්තිය පසක් කරනු පිණිස මග කවරේ ද, පිළිවෙත කවරේ ද යත්: මේ අරිඅටඟිමග මැ යි. ඒ කෙසේ යැ යත්: සම්මාදිට්ඨි … සම්මාසමාධිය යි. මහණෙනි, අර්‍හන්මාර්‍ගඥානවිද්‍යාව හා අරහත්ඵලවිමුක්තිය පසක් කරනු පිණිස මේ මග ය, මේ පිළිවෙත යි. මහණෙනි, එසේ පුළුවුස්නා ලද තෙපි ඒ අන්තොටු පිරිවැජියනට මෙසේ පවසන්නාහු යි.
1. 5. 7.
ඤාණදස්සන සූත්‍රය
47. මහණෙනි, ඉදින් අන්තොටු පිරිවැජියෝ “ඇවැත්නි, කුමක් පිණිස මහණ ගොයුම්හු කෙරේ බඹසර වෙසේ දැ?” යි මෙසේ තොප පුළුවුස්නාහු නම් මහණෙනි, එසේ පුළුවුස්නා ලද තෙපි ඒ අන්තොටු පිරිවැජියනට මෙසේ පවසන්නාහු ය: “ඇවැත්නි, ඥානදර්‍ශනය පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි බඹසර වෙසේ”යි ... මහණෙනි, ඥානදර්‍ශනය පිණිස මග කවරේද , පිළිවෙත කවරේ ද යත්: මේ අරිඅටඟිමග මැ යි. ඒ මෙසේ යැ “සම්මාදිට්ඨි ... සම්මාසමාධි” යි. මහණෙනි, ඥානදර්‍ශනය පිණිස මේ මග ය, මේ පිළිවෙත යි. මහණෙනි, එසේ පුළුවුස්නා ලද තෙපි ඒ අන්තොටු පිරිවැජියනට මෙසේ පවසන්නහු යි.
1. 5. 8.
අනුපාදා සූත්‍රය
48. මහණෙනි, ඉදින් අන්තොටු පිරිවැජියෝ “ඇවැත්නි, කුමක් පිණිස මහණ ගොයුම්හු කෙරේ බඹසර වෙසේ දැ?”යි මෙසේ තොප පුළුවුස්නාහු නම් මහණෙනි, එසේ පුළුවුස්නා ලද තෙපි ඒ අන්තොටු පිරිවැජියනට මෙසේ පවසන්නාහු ය: “ඇවැත්නි, උපාදාන රහිත වැ පිරිනිවීම පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි බඹසර වෙසේ”යි, මහණෙනි, ඉදින් අන්තොටු පිරිවැජියෝ “ඇවැත්නි, උපාදාන රහිත ව පිරිනිවීම පිණිස මගෙක් ඇද්ද, පිළිවෙතෙක් ඇද්දැ”යි මෙසේ තොප පුළුවුස්නාහු නම් මහණෙනි, එසේ පුළුවුස්නා ලද තෙපි ඒ අන්තොටු පිරිවැජියනට මෙසේ පවසන්නාහු ය: “ඇවැත්නි, උපාදාන රහිත වැ පිරිනිවීමට පිණිස මගෙක් ඇත. පිළිවෙතෙක් ඇතැ යි. මහණෙනි, උපාදාන රහිත වැ පිරිනිවීම පිණිස මඟ කවරේ ද පිළිවෙත කවරේ ද යත්: මේ අරිඅටඟිමග මැ යි. ඒ මෙසේ යැ: “සම්මාදිට්ඨි … සම්මාසමාධි”යි. මහණෙනි, උපාදාන රහිත වැ පිරිනිවීම පිණිස මේ මග ය, මේ පිළිවෙත යි. මහණෙනි, එසේ පුළුවුස්නා ලද තෙපි ඒ අන්තොටු පිරිවැජියනට මෙසේ පවසන්නහු යි.
(සියල්ල සැවත නිදාන කොට ඇත)
අඤ්ඤතිත්‍ථිය පෙය්‍යාල යි.
එහි සූත්‍රනාමාවලිය :
විරාග, සංයෝජන, අනුසය, අද්ධාන, ආසවක්ඛය, විජ්ජාවිමුත්ති, ඤාණදස්සන, අනුපාදා යී මේ සූත්‍රාන්ත අටෙකි යි.
6. සූරියපෙය්‍යාලය
1. 6. 1.
කල්‍යාණමිත්ත සූත්‍රය
සියල්ල සැවැත් නිදාන යැ.
49. මහණෙනි, යම් මේ අරුණෝදයක් වේ ද, උදාවන හිරුට මේ පූර්‍වඞ්ගම වෙයි, මේ පූර්‍ව නිමිත්ත වෙයි. මහණෙනි, එසෙයින් ම යම් කලණමිතුරන් ඇති බවෙක් වේ ද, මහණහට අරිඅටඟිමඟ ඉපදීමට මේ පූර්‍වඞ්ගම වෙයි, මේ පූර්‍ව නිමිත්ත වෙයි. මහණෙනි, අරිඅටඟිමඟ වඩන්නේය අරිඅටඟිමඟ බහුල කරන්නේ ය යන මෙය කලණ මිතුරන් ඇති මහණහු විසින් කැමති වියයුතු යි. මහණෙනි, කලණ මිතුරන් ඇති මහණ කෙසේ නම් අරිඅටඟිමඟ වඩා ද, අරිඅටඟිමඟ බහුල කෙරේ ද යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට නැමෙනසුලු සම්‍යග්දෘෂ්ටිය වඩයි ... සම්‍යග්සඞ්කල්පය වඩයි … සම්‍යග්වචනය වඩයි … සම්‍යක්කර්‍මාන්තය වඩයි … සම්‍යගාජීවය වඩයි … සම්‍යග්ව්‍යායාමය වඩයි … සම්‍යග්ස්මෘතිය වඩයි … විවේකය ඇසුරුකළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට නැමෙනසුලු සම්‍යග්සමාධිය වඩයි. මහණෙනි, කලණ මිතුරන් ඇති මහණ මෙසේ අරීඅටඟිමඟ වඩයි. අරීඅටඟිමඟ බහුල කෙරේ යයි.
1. 6. 2.
සීල සූත්‍රය
50. මහණෙනි, යම් මේ අරුණෝදයක් වේ ද උදා වන හිරුට මේ පූර්‍වඞ්ගම වෙයි. මේ පූර්‍වනිමිත්ත වෙයි. මහණෙනි, එසෙයින් ම යම් සීලසම්පදාව (සිවු පිරිසිදු සීලය) ක් වේ ද, මහණහට අරිඅටඟිමඟ ඉපදීමට මෙය පූර්‍වඞ්ගම වෙයි, මේ පූර්‍ව නිමිත්ත වෙයි. මහණෙනි, අරීඅටඟිමඟ වඩන්නේ ය. අරීඅටඟිමඟ බහුල කරන්නේ ය යන මෙය සීලසම්පන්න මහණහු විසින් කැමති වියයුතු යි. මහණෙනි, සීලසම්පන්න මහණ කෙසේ නම් අරීඅටඟිමඟ වඩා ද, අරීඅටඟිමඟ බහුල කෙරේ ද යත්: මහණෙනි මෙ සස්නෙහි මහණ විවේකනිඃශ්‍රිත වූ විරාගනිඃශ්‍රිත වූ නිරෝධනිංශ්‍රිත වූ වොස්සග්ගපරිණාමි වූ සම්මාදිට්ඨිය වඩයි ... විවේකනිඃශ්‍රිත වූ විරාගනිඃශ්‍රිත වූ නිරෝධනිඃශ්‍රිත වූ වොස්සග්ගපරිණාමි වූ සම්මාසමාධිය වඩයි. මහණෙනි, සීලසම්පන්න මහණ මෙසේ අරීඅටඟිමඟ වඩයි. අරීඅටඟිමඟ බහුල කෙරේ යයි.
1. 6. 3.
ඡන්‍ද සූත්‍රය
51. මහණෙනි, යම් අරුණෝදයෙක් වේ ද, උදා වන හිරුට මේ පූර්‍වඞ්ගම වෙයි. මේ පූර්‍ව නිමිත්ත වෙයි. මහණෙනි, එසෙයින් ම යම් කත්තුකම්‍යතාකුසලච්ඡන්‍දයෙක් වේ ද, මහණහට අරීඅටඟිමඟ ඉපදීමට මෙය මේ පූර්‍වඞ්ගම ය, මේ පූර්‍ව නිමිත්ත යි … බහුල කෙරේ යයි.
1. 6. 4.
අත්ත සූත්‍රය
52. මහණෙනි, යම් අරුණෝදයෙක් වේ ද, උදා වන හිරුට මෙ පූර්‍වඞ්ගම වෙයි, මෙ පූර්‍ව නිමිත්ත ය. මහණෙනි, එසෙයින් ම යම් චිත්තසමෘද්ධත්‍වයෙක් වේ ද, මහණහට අරීඅටඟිමඟ ඉපදීමට මේ පූර්‍වඞ්ගම ය, මේ පූර්‍ව නිමිත්ත යි … බහුල කෙරේ යයි.
1. 6. 5.
දිට්ඨි සූත්‍රය
53. මහණෙනි, යම් අරුණෝදයෙක් වේ ද, උදා වන හිරුට මෙ පූර්‍වඞ්ගම වෙයි, මෙ පූර්‍ව නිමිත්ත ය. මහණෙනි, එසෙයින් ම යම් ඥාණසම්පත්තියෙක් වේ ද, මහණහට අරීඅටඟිමඟ ඉපදීමට මේ පූර්‍වඞ්ගම ය, මේ පූර්‍ව නිමිත්ත යි … බහුල කෙරේ යයි.
1. 6. 6.
අප්පමාද සූත්‍රය
54. මහණෙනි, යම් අරුණෝදයෙක් වේ ද, උදා වන හිරුට මෙ පූර්‍වඞ්ගම වෙයි, මේ පූර්‍ව නිමිත්ත ය. මහණෙනි, එසෙයින් ම යම් අප්‍රමාදසම්පත්තියෙක් වේ ද, මහණහට අරීඅටඟිමඟ ඉපදීමට මේ පූර්‍වඞ්ගම ය, මේ පූර්‍ව නිමිත්ත යි … බහුල කෙරේ යයි.
1. 6. 7.
යෝනිසෝ සූත්‍රය
55. මහණෙනි, යම් අරුණෝදයෙක් වේ ද, උදා වන හිරුට මේ පෙරටු වෙයි, මේ පෙර නිමිත්ත වෙයි. මහණෙනි, එසෙයින් ම යම් යෝනිසෝ මනසිකාරසම්පත්තියෙක් වේ ද, මහණහට අරීඅටඟිමඟ ඉපදීමට මේ පෙරටු වෙයි, මේ පෙර නිමිති වෙයි. මහණෙනි, අරිඅටඟිමඟ වඩන්නේ ය, අරීඅටඟිමඟ බහුල කරන්නේ ය යන මේ නුවණින් මෙනෙහි කිරීමෙන් යුත් මහණහු විසින් කැමති වියයුතු යි. මහණෙනි, නුවණින් මෙනෙහි කිරීමෙන් යුත් මහණ කෙසේ නම් අරීඅටඟිමඟ වඩා ද, අරීඅටඟිමඟ බහුල කෙරේ ද යත්: මහණෙනි මෙසස්නෙහි මහණ විවේකනිස්සිත වූ විරාගනිස්සිත වූ නිරෝධනිස්සිත වූ වොස්සග්ගපරිණාමි වූ සම්මාදිට්ඨිය වඩයි ... විවේකනිස්සිත වූ විරාගනිස්සිත වූ නිරෝධනිස්සිත වූ වොස්සග්ගපරිණාමි වූ සම්මාසමාධිය වඩයි. මහණෙනි, නුවණින් මෙනෙහි කිරීමෙන් යුත් මහණ මෙසේ අරීඅටඟිමඟ වඩයි. අරීඅටඟිමඟ බහුල කෙරේ යි.
1. 6. 8.
දුතිය කල්‍යාණමිත්ත සූත්‍රය
56. මහණෙනි, යම් අරුණෝදයෙක් වේ ද, උදාවන හිරුට මේ පෙරටු වෙයි. මේ පෙර නිමිති වෙයි. මහණෙනි, එසෙයින් ම යම් කල්‍යාණමිත්‍රත්‍වයෙක් වේ ද, මහණහට අරීඅටඟිමඟ ඉපදීමට මේ පෙරටු වෙයි, මේ පෙර නිමිති වෙයි. මහණෙනි, අරීඅටඟිමඟ වඩන්නේ ය, අරීඅටඟිමඟ බහුල කරන්නේ ය යන මෙය කල්‍යාණමිත්‍ර මහණහු විසින් කැමති වියයුතු යි. මහණෙනි, කල්‍යාණමිත්‍ර මහණ කෙසේ නම් අරිඅටඟිමඟ වඩා ද, අරීඅටඟිමඟ බහුල කෙරේ ද යත්, මහණෙනි, මෙහි මහණ රාගවිනයෙහි පර්‍ය්‍යවසාන වූ ද්වේශවිනයෙහි පර්‍ය්‍යවසාන වූ මෝහවිනයෙහි පර්‍ය්‍යවසාන වූ සම්‍යග්දෘෂ්ටිය වඩයි ... රාගවිනයෙහි පර්‍ය්‍යවසාන වූ ද්වේෂවිනයෙහි පර්‍ය්‍යවසාන වූ මෝහවිනයෙහි පර්‍ය්‍යවසාන වූ සම්‍යක්සමාධිය වඩයි. මහණෙනි, කල්‍යාණමිත්‍ර මහණ මෙසේ අරීඅටඟිමඟ වඩයි. අරීඅටඟිමඟ බහුල කෙරේ යයි.
1. 6. 9.
දුතිය සීල සූත්‍රය
57. මහණෙනි, යම් අරුණෝදයක් වේ ද, උදාවන හිරුට මේ පෙරටු වෙයි. මේ පෙර නිමිති වෙයි. මහණෙනි, එසෙයින් ම යම් සිවුපිරිසිදු සීලයෙක් වේ ද, මහණහට අරීඅටඟිමඟ ඉපදීමට මේ පෙරටු වෙයි. මේ පෙර නිමිති වෙයි. මහණෙනි, සීලසම්පන්න මහණහු විසින් මෙය කැමති විය යුතුයි. … බහුල කෙරේ යි. (විතර කට යුතු යි.)
1. 6. 10.
දුතිය ඡන්‍ද සූත්‍රය
58. මහණෙනි, යම් අරුණෝදයක් වේ ද, උදාවන හිරුට මේ පෙරටු වෙයි. මේ පෙර නිමිති වෙයි. මහණෙනි, එසෙයින්ම යම් කතතුකම්‍යතාකුසලච්ඡන්‍දයෙක් වේ ද, මහණහට අරීඅටඟිමඟ ඉපදීමට මේ පෙරටු වෙයි. මේ පෙර නිමිති වෙයි. මහණෙනි, ඡන්‍දසම්පන්න මහණහු විසින් මෙය කැමති විය යුතු යි … බහුල කෙරේ යි.
1. 6. 11.
දුතිය අත්ත සූත්‍රය
59. මහණෙනි, යම් අරුණෝදයෙක් වේ ද, උදාවන හිරුට මේ පෙරටු වෙයි. මේ පෙර නිමිති වෙයි. මහණෙනි, එසෙයින් ම යම් චිත්තසමෘද්ධත්‍වයෙක් වේ ද, මහණහට අරීඅටඟිමඟ ඉපදීමට මෙය පෙරටු වෙයි. මේ පෙර නිමිති වෙයි. මහණෙනි, චිත්තසම්පන්න මහණහු විසින් මෙය කැමති විය යුතු යි … බහුල කෙරේ යි.
1. 6. 12.
දුතිය දිට්ඨි සූත්‍රය
60. මහණෙනි, යම් අරුණෝදයක් වේ ද, උදාවන හිරුට මේ පෙරටු වෙයි. මේ පෙර නිමිති වෙයි. මහණෙනි, එසෙයින්ම යම් ඥාණසම්පත්තියෙක් වේ ද, මහණහට අරීඅටඟිමඟ ඉපදීමට මේ පෙරටු වෙයි. මේ පෙර නිමිති වෙයි. … බහුල කෙරේ යයි.
1. 6. 13.
දුතිය අප්පමාද සූත්‍රය
61. මහණෙනි, යම් අරුණෝදයක් වේ ද, උදාවන හිරුට මේ පෙරටු වෙයි. මේ පෙර නිමිති වෙයි. මහණෙනි, එසෙයින් ම යම් අප්‍රමාදසම්පත්තියෙක් වේ ද, මහණහට අරීඅටඟිමඟ ඉපදීමට මේ පෙරටු වෙයි. මේ පෙර නිමිති වෙයි. මහණෙනි, අප්‍රමාදසම්පන්න මහණහු විසින් මේ කැමති වියයුතු යි. … බහුල කෙරේ යයි.
1. 6. 14.
දුතිය යෝනිසෝ සූත්‍රය
62. මහණෙනි, යම් මේ අරුණෝදයක් වේ ද, උදාවන හිරුට මේ පෙරටු වෙයි. මේ පෙර නිමිති වෙයි. මහණෙනි, එසෙයින් ම යම් යෝනිසෝමනසිකාරසම්පත්තියෙක් වේ ද, මහණහට අරීඅටඟිමඟ ඉපදීමට මේ පෙරටු වෙයි. මේ පූර්‍ව නිමිත්ත වෙයි. මහණෙනි, අරීඅටඟිමඟ වඩන්නේ ය. අරීඅටඟිමඟ බහුල කරන්නේ ය. යන මෙය යොනිසොමනසිකාරසම්පන්න මහණහු විසින් කැමති වියයුතු යි. මහණෙනි, යොනිසොමනසිකාරසම්පන්න මහණ කෙසේ නම් අරීඅටඟිමඟ වඩා ද, අරීඅටඟිමඟ බහුල කෙරේ ද යත්: මහණෙනි, මෙහි මහණ රාගවිනයෙහි පර්‍ය්‍යවසානය වූ ද්වෙෂවිනයෙහි පර්‍ය්‍යවසානය වූ මෝහවිනයෙහි පර්‍ය්‍යවසානය වූ සම්‍යක්දෘෂ්ටිය වඩයි … සම්‍යක්සමාධිය වඩයි. මහණෙනි, යොනිසොමනසිකාරසම්පන්න මහණ මෙසේ අරීඅටඟිමඟ වඩයි. අරීඅටඟිමඟ බහුල කෙරේ යයි.
සූරියපෙය්‍යල යි.
එහි සූත්‍රනාමාවලිය:
කල්‍යාණමිත්ත, සීල, ඡන්‍ද, අත්ත, දිට්ඨි, අප්පමාද යි සූත්‍ර යුගල සයෙකි. යෝනිසෝ සූත්‍ර යුගලය සත් වැනි වේ. (වර්‍ගයෙහි සූත්‍ර මුළුල්ල තුදුසෙකි) යි.
7. ඒකධම්මපෙය්‍යාලය
1. 7. 1.
කල්‍යාණමිත්ත සූත්‍රය
63. සැවැත්නුවර:
මහණෙනි, අරීඅටඟිමඟ ඉපදීම පිණිස එක් දහමෙක් බොහෝ උපකාර ඇත්තේ වේ. කවර එක් දහමෙක යත්: මේ කල්‍යාණමිත්‍රත්‍වය යි. මහණෙනි අරීඅටඟිමඟ වඩන්නේ ය, අරීඅටඟිමඟ බහුල කරන්නේ ය යන මෙය කලණමිතුරන් ඇති මහණහු විසින් කැමති වියයුතු යි. මහණෙනි, කලණමිතුරන් ඇති මහණ කෙසේ නම් අරීඅටඟිමඟ වඩා ද, අරීඅටඟිමඟ බහුල කෙරේ ද යත්: මහණෙනි මෙසස්නෙහි මහණ විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට නතු වූ සම්මා දිට්ඨිය වඩයි … සම්මාසමාධිය වඩයි. මහණෙනි, කල්‍යාණමිතුරන් ඇති මහණ තෙමේ මෙසේ අරීඅටඟිමඟ වඩයි, අරීඅටඟිමඟ බහුලකෙරේ යයි.
1. 7. 2.
සීල සූත්‍රය
64. මහණෙනි, අරීඅටඟිමඟ ඉපදීම පිණිස එක් දහමෙක් බොහෝ උපකාර ඇත්තේ වේ. කවර එක් දහමෙක් ද යත්: මේ සිවුපිරිසිදු සීලය යි. මහණෙනි, සීලසම්පන්න මහණහු විසින් මෙය කැමති වියයුතුයි ... බහුල කෙරේ යයි.
1. 7. 3.
ඡන්‍ද සූත්‍රය
65. මහණෙනි, අරීඅටඟිමඟ ඉපදීමට මේ එක් දහමෙක් බොහෝ උපකාර ඇත්තේ වේ. කවර එක් දහමෙක් ද යත්: මේ කත්තුකම්‍යතා කුසලච්ඡන්‍දය යි. මහණෙනි, ඡන්‍දසම්පන්න මහණහු විසින් මෙය කැමති වියයුතු යි ... බහුල කෙරේ යයි.
1. 7. 4.
අත්ත සූත්‍රය
66. මහණෙනි, අරීඅටඟිමඟ ඉපදීමට මේ එක් දහමෙක් බොහෝ උපකාර ඇත්තේ වේ. කවර එක් දහමෙක් යත්: මේ චිත්තසම්පත්තිය යි. මහණෙනි, චිත්තසම්පන්න මහණහු විසින් මෙය කැමති වියයුතු යි ... බහුල කෙරේ යි.