Saṁyutta Nikāya

Connected Discourses

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-30 · 15083 segments

පෙන්වන කොටස් 1001-1100 න් 15083

[දෙව්පුත්:]
ඔහු යමකුගේ ධර්‍මය දැන භවබන්‍ධනය සින්දාහු ද, (ඒ) භාග්‍යවතුන් වහන්සේ නො හැරයි. මුබවහන්සේගේ සසුන ද නො හැරයි.
යම් තැනක නාමයත් රූපයත් නිරවශේෂයෙන් නිරුද්ධ වෙත් ද, ඔහු මේ සසුනෙහි ඒ නිර්‍වාණ ධර්‍මය දැන භවබන්‍ධනය සින්දාහු ය.
[භගවත්හු:]
ගැඹුරු වූ දැන ගැණීමට දුෂ්කර වූ අතිශයින් දුරවබෝධ වූ වචන කියහි. තෙපි කවරකුගේ ධර්‍මය දැන මෙබඳු වචන කියහු ද?
[දෙව්පුත්:]
පෙර වේහලිඞ්ග ගම්හි ඝටීකාර නම් කුඹලෙකිම් වීමි. කාශ්‍යප බුදුරජානන් වහන්සේගේ උපාසකයෙක් වූයෙම් මවු පියන් පෝෂණය කෙළෙම් වීමි.
මෙවුන්දමින් වෙන් වූයෙම් නිරාමිෂ (=අනාගාමි) බ්‍රහ්මචාර ඇතියෙම් තොප හා එක්ගම විසූයෙම් විමි. පෙර තොපගේ යහළුවෙකිම් වීමි.
ඒ මම රාගදෝසයන් ක්‍ෂය කළ ලොව තෘෂ්ණාව තරණය කළ මිදුනු මේ භික්‍ෂූන් සත් නම දනිමි.
[භගවත්හු:]
භාර්‍ගව, යම්සේ කියහි නම් එකල්හි මෙය එසේ වී ය. පෙර වේහලිඞ්ග ගම්හි ඝටීකාර නම් කුඹලෙක් විය. කාශ්‍යප බුදුරජානන් වහන්සේගේ උපාසකයෙක් වූයේ මවුපියන් පොෂණය කෙළේ විය.
මෙවුන්දමින් වැළකුනු නිරාමිෂ බඹසර ඇත්තෙක් වූයේ ය. මා හා එක් ගම විසූයෙක් වූයේ ය. පෙර මාගේ යහළුවෙක් විය.
[තෙරහු:]
වඩන ලද සිත් ඇති අන්තිම සිරුර දරණ පැරණි යහළුවන් දෙදෙනෙකුන්ගේ මේ එක් වීම මෙසේ විය.
2. 3. 5.
ජන්තු සූත්‍රය
106. මා විසින් මෙසේ අසන ලදී: එක්කලෙක කොසොල් දනව්වෙහි හිමවත් පෙදෙස වනකිළියෙක උඩනු වූ නගා ගත් මාන නළ ඇති චපල වූ රළු වචන ඇති දොඩමලු වූ මුළා වූ සිහි ඇති මනා නුවණ නැති නොඑකඟ සිත් ඇති නොසන්සුන් සිත් ඇති පියවි ඉඳුරන් ඇති බොහෝ භික්‍ෂූහු වෙසෙත්.
එකල්හි ජන්තු දෙව්පුත් තෙමේ පුණුරැසි පොහොය වූ එදින ඒ භික්‍ෂූන් වෙත එළඹියේ ය. එළඹ ඒ භික්‍ෂූන්ට ගාථාවලින් කීය:
පෙර ආශා රහිත ව පිඬු සොයන ආශා රහිත ව සෙනසුන් සොයන ගොයුමු සව් වූ මහණහු සුඛජීවී වූහ. ඔහු ලොව අනිස් බැව් දැන දුක් කෙළවර කළහ.
මම සඞ්ඝයාට ඇඳිලි බැඳ කියමි: මෙහි ඇතැම්හු ගම්හි නින්‍දිත ගම්දෙටුවන් මෙන් තමන් දුක සේ පෝෂණය කළහැක්කවුන් කොට අන්ගෙවල පුනපුනා වළඳමින් මුසපත් ව හොවිත්. සස්නෙන් බැහැර වූ ඔ අසරණයෝ ය. සොහොනෙහි දමන මළසිරුරු බඳු වෙත්.
යම් කෙනෙක් ප්‍රමත්ත ව වෙසෙත් ද, මා විසින් ඔවුන් සඳහා කියන ලදි: යම් කෙනෙක් අප්‍රමත්ත ව වෙසෙද් ද, මම ඔවුන්ට නමස්කාර කරමි.
2. 3. 6.
රෝහිතස්ස සූත්‍රය
107. සැවැත්නුවර–
එකත්පසෙක සිටි රෝහිතස්ස දෙව්පුත් තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය කී ය:
“වහන්ස, යම්තැනෙක නූපදී ද, නො දිරා ද, නො මියේ ද, චුත නො වේ ද, නො හට ගණී ද. වහන්ස, ඒ ලෝකයේ කෙළවර පාගමනින් දැන ගන්නට හෝ දක්නට හෝ පැමිණෙන්නට හෝ හැක්කේ ද?” යි.
ඇවැත්නි, යම් තැනෙක නූපදී ද, නො දිරා ද, නො මියේ ද, චුත නො වේ ද, නො හට ගණී ද ඒ ලෝකයේ කෙළවර පාගමනින් දත හැකි ය, දැක්ක හැකි ය, පැමිණිය හැකිය යි මම නො කියමි.
වහන්ස, ආශ්චර්‍ය්‍යෙකි, වහන්ස අත්භූතයෙකි. වහන්ස, “ඇවැත්නි, යම් තැනෙක නූපදී ද, නො දිරා ද, නො මියේ ද, චුත නො වේ ද, නො හට ගණී ද ඒ ලෝකයේ කෙළවර පාගමනින් දත හැකි ය, දැක්ක හැකි ය, පැමිණිය හැකිය යි මම නො කියමි” යි යන මෙය භාග්‍යවතුන් වහන්සේ විසින් මැනවින් වදාරණ ලද්දේ මය,
පෙරවූවක් කියමි. වහන්ස, මම භෝජ පුත්‍ර වූ ඍද්ධි ඇති අහසින් යන රෝහිතස්ස නම් තවුසෙක් වීමි වහන්ස, ඒ මට දැඩිදුනු ඇති පුහුණු වූ කළ පුරුදු ඇති කළ තරඟ ඇති දැක්වූ ශිල්ප ඇති දුනුවායෙක් සැහැල්ලු ඊතලයෙකින් තල්සෙය සරස නිදුකින් ම යම්සේ ඉක්මවන්නේ ද, එබඳු ජවයෙක් වී ය.
වහන්ස, ඒ මට පෙරදිග මුහුදින් අපරදිග මුහුද යම්සේ දුර ද, එබඳු පා තැබීමෙක් වි ය. වහන්ස, ඒ මට “මම පාගමනින් ලොව කෙළවරට පැමිණෙන්නෙමි”යි මෙබඳු ආශායෙක් උපන.
වහන්ස, ඒ මම මෙබඳු ජවයෙන් යුක්ත වූයෙම් මෙබඳු පදවීතිභාරයෙන් යුක්ත වූයෙම් සියවසක් ආයු ඇත්තෙම් සියවසක් ජීවත්වන සුලු වූයෙම් කන බොන බුදින රස විඳින වෙලාවන් හැර මල මූ පහ කරණ වෙලාවන් හැර නිදන විඩා හරිණ වෙලාවන් හැර සියවසක් ගමන් කොට ලොව කෙළවරට නො පැමිණ ම අතරමගදී ම කලුරිය කෙළෙමි.
වහන්ස, ආශ්චර්‍ය්‍යයෙකි, වහන්ස අත්භූතයෙකි. වහන්ස, “ඇවැත්නි, යම් තැනෙක නූපදී ද, නො දිරා ද, නො මියේ ද, චුත නො වේ ද, නැවත නො හටගණී ද, ලෝකයේ ඒ කෙළවර පාගමනින් දතහැකි ය, දැක්කහැකි ය, පැමිණිය හැකි ය යි මම නො කියමි” යි යන මෙය භාග්‍යවතුන් වහන්සේ විසින් මැනවින් වදාරණ ලද්දේ මය.
ඇවැත්නි, මම ලොව කෙළවරට නො පැමිණ දුක් කෙළවර කිරීමක් නො ම කියමි. ඇවැත්නි, වැලිදු මම සංඥා සහිත සිත් සහිත බඹයක් පමණ වූ මේ සිරුරෙහි ම ලෝකයත්, ලෝකසමුදයයත්, ලෝකනිරෝධයත්, ලෝකනිරෝධගාමිනී පටිපදාවත් පණවමි.
පාගමනින් කිසිකලෙක ලොව කෙළවර නො පැමිණිය හැක්කේ ය. ලොව කෙළවරට නො පැමිණ දුකෙන් මිදීමෙකුත් නැත.
එහෙයින් ලොව දන්නා මහානුවණැති ලොව කෙළවරට ගිය වැස නිමවූ මගබඹසර ඇති පව් සංසිඳ වූ පුද්ගල තෙමේ ලොව කෙළවර දැන මේ ලොව ද පරලොව ද නො පතයි.
2. 3. 7.
නන්‍ද සූත්‍රය
108. සැවැත්නුවර–
එකත්පසෙක සිටි නන්‍ද දෙව්පුත් තෙමේ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කී ය:
පෙරවරු ආදී කාලයෝ ඉක්ම යෙත්. රාත්‍රීහු පුද්ගලයා මරණය කරා පමුණුවති. වයෝරාශීහු අනුක්‍රමයෙන් පුරුෂයා හැර යෙත්. මේ ත්‍රිවිධභය ,මරණයෙහි ලා දන්නේ සැප එළවන පින් කරන්නේ ය.
[භගවත්හු:]
කාලයෝ ඉක්ම යත්. රාත්‍රීහු පුරුෂයා මරණය කරා පමුණුවත්. වයෝ රාශීහු අනුක්‍රමයෙන් පුරුෂයා හැර යත්. මේ බිය මරණයෙහි ලා දක්නේ නිවන් පතනුයේ (භවත්‍රය සඞ්ඛ්‍යාත) ලොකාමිසය දුරු කරන්නේ ය.
2. 3. 8.
නන්‍දිවිසාල සූත්‍රය
109. සැවැත්නුවර–
එකත්පසෙක සිටි නන්‍දිවිසාල දෙව්පුත් තෙමේ භාග්‍යවතුන් වහන්සේට ගාථායෙකින් කී ය.
මහාවීරයන් වහන්ස, (මේ ශරීරයානය) සක් සතරක් ඇත්තේ ය. නවදොරක් ඇත්තේ ය. (අශුචියෙන්) පිරුණේ ය. ලෝභයෙන් යුක්ත ය. මඩෙහි උපන. එහි නික්ම යෑම කෙසේ වන්නේ ද?
[භගවත්හු:]
රැහැන ද වරපට ද ලාමක ඉච්ඡාව ද ලෝභය ද සිඳ තෘෂ්ණාව සහමුලින් උදුරා (ලීමෙන්) මෙසේ නික්ම යෑම වන්නේ ය.
2. 3. 9.
සුසීම සූත්‍රය
110. සැවැත්නුවර–
එකල්හි ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවන්ට භාග්‍යවතුන් වහන්සේ “ආනන්‍දය, තොපට ද ශාරිපුත්‍ර තෙමේ නුරුස්නේ දැ” යි මෙය වදාළ සේක.
වහන්ස, බාල නො වූ දුෂ්ට නො වූ මුළා නො වූ නො පෙරලුනු සිත් ඇති කාහට නම් ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ නුරුස්නා හු ද? වහන්ස, ආයුෂ්මත් ශාරිපුත්‍රස්ථවිරයන් වහන්සේ පණ්ඩිතයහ. වහන්ස, ආයුෂ්මත් ශාරිපුත්‍රස්ථවිරයන් වහන්සේ මහාප්‍රාඥායහ. වහන්ස, ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ පෘථුප්‍රාඥාය හ. වහන්ස, ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ හාසබහුල ප්‍රාඥාවෙන් යුක්තයහ. වහන්ස, ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ ජවනප්‍රාඥාවෙන් යුක්තයහ. වහන්ස, ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ තීක්‍ෂණප්‍රාඥයහ. වහන්ස, ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ නිර්වේදිකප්‍රඥා ඇත්තාහ. වහන්ස, ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ අලේපච්ඡයහ. වහන්ස, ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ සන්තුෂ්ටයහ. වහන්ස, ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ ප්‍රකර්‍ෂවිවේක ඇත්තාහ. වහන්ස, ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ අසංශෘෂ්ටයහ. වහන්ස, ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ පිරිපුන් වීර්‍ය්‍ය ඇත්තාහ. වහන්ස, ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ වක්තෲහ. වහන්ස, ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ චචනක්‍ෂමයහ. වහන්ස, ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ චෝදකයහ. වහන්ස, ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ පාපගර්හීය. වහන්ස, බාල නො වූ දුෂ්ට නො වූ මුළා නො වූ නො පෙරලුනු සිත් ඇති කාට නම් ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ නුරුස්නා හු ද?
ආනන්‍දය, එය එසේ ය. ආනන්‍දය, එය එසේ ය. ආනන්‍දය, බාල නො වූ දුෂ්ට නො වූ මුළා නො වූ නො පෙරලුනු සිත් ඇති කාහට නම් ශාරීපුත්‍ර තෙමේ නුරුස්නේ ද? ආනන්‍ද, ශාරීපුත්‍ර තෙමේ පණ්ඩිත ය. ආනන්‍ද, ශාරීපුත්‍ර තෙමේ මහාප්‍රාඥ ය. ආනන්‍ද, ශාරීපුත්‍ර තෙමේ පෘථුප්‍රාඥා ය. ආනන්‍ද, ශාරීපුත්‍ර තෙමේ හාසබහුල ප්‍රාඥා ඇත්තේ ය. ආනන්‍ද, ශාරීපුත්‍ර තෙමේ ජවනප්‍රාඥා ඇත්තේ ය. ආනන්‍ද, ශාරීපුත්‍ර තෙමේ තීක්‍ෂණප්‍රඥා ඇත්තේ ය. ආනන්‍ද, ශාරීපුත්‍ර තෙමේ නිර්වේදිකප්‍රඥාවෙන් යුක්ත ය. ආනන්‍ද, ශාරීපුත්‍ර තෙමේ අලේපච්ඡ ය. ආනන්‍ද, ශාරීපුත්‍ර තෙමේ සන්තුෂ්ට ය. ආනන්‍ද, ශාරීපුත්‍ර තෙමේ ප්‍රකර්‍ශවිවේකයෙන් යුක්ත ය. ආනන්‍ද, ශාරීපුත්‍ර තෙමේ අසංශෘෂ්ට ය. ආනන්‍ද, ශාරීපුත්‍ර තෙමේ පිරිපුන් වීර්‍ය්‍ය ඇත්තේ ය. ආනන්‍ද, ශාරීපුත්‍ර තෙමේ වක්තෘ ය. ආනන්‍ද, ආයුෂ්මත් ශාරීපුත්‍ර තෙමේ වචනක්‍ෂම ය. ආනන්‍ද, ශාරීපුත්‍ර තෙමේ චෝදක ය. ආනන්‍ද, ශාරීපුත්‍ර තෙමේ පාපගර්හී ය. ආනන්‍ද, බාල නො වූ දුෂ්ට නො වූ මුළා නො වූ නො පෙරලුනු සිත් ඇති කාහට නම් ශාරීපුත්‍ර තෙමේ නුරුස්නේ ද?
ඉක්බිති සුසීම දෙව්පුත් තෙමේ ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේ ගුණ කියනු ලබනු කල්හි මහත් දෙව්පුත්පිරිස විසින් පිරිවරණ ලද්දේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියේ ය. එකත්පසෙක සිටි සුසීමදෙව්පුත් තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළේ ය. භාග්‍යවතුන් වහන්ස, එය එසේ ය. සුගතයන් වහන්ස, එය එසේ ය. වහන්ස, බාල නො වූ දුෂ්ට නො වූ මුළා නො වූ නො පෙරලුනු සිත් ඇති කාහට නම් ආයුෂ්මත් ශාරිපුත්‍රස්ථවිරයන් වහන්සේ නුරුස්නා හු ද? වහන්ස, ආයුෂ්මත් ශාරිපුත්‍රස්ථවිරයන් වහන්සේ පණ්ඩිතයහ. … වහන්ස, ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ පාපගර්හී හ. වහන්ස, බාල නො වූ දුෂ්ට නො වූ මුළා නො වූ නො පෙරලුනු සිත් ඇති කාහට නම් ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ නුරුස්නා හු ද?
වහන්ස, මම ද යම් යම් දෙව්පුත් පිරිසකට එළඹුනෙම් ද, “ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ පණ්ඩිතයහ. … ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ පාපගර්හීහ. බාල නො වූ දුෂ්ට නො වූ මුළා නො වූ නො පෙරලුනු සිත් ඇති කාහට නම් ආයුෂ්මත් ශාරිපුත්‍රස්ථවිරයන් වහන්සේ නුරුස්නා හු ද” යන මේ ශබ්ද ය ම බහුල වශයෙන් අසමි.
ඉක්බිත්ව සුසීමදෙව්පුත්හුගේ දෙව්පුත්පිරිස ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේ ගුණ කියනු ලබන කල්හි සතුටු සිත් ඇත්තාහු ප්‍රමුදිත වූවාහු හටගත් ප්‍රීතිසොම්නස් ඇත්තාහු නන්වැදෑරුම් වර්‍ණයන් පහළ කෙරෙත්.
ශුභ වූ ජාතිමත් වූ අටැස් වෙරළුමිණෙක් මැනවින් පිරියම් කරණ ලද්දේ රත්පලසෙක තබන ලද්දේ යම් සේ බබළා ද, දිලිසේ ද, පැහැ විහිදුවා ද. එපරිද්දෙන් ම සුසීමදෙව්පුත්හුගේ දෙව්පුත්පිරිස ආයුෂ්මත් සාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේ ගුණ කියනු ලබන කල්හි සතුටු සිත් ඇත්තාහු ප්‍රමුදිත වූවාහු ප්‍රීතිසොම්නස් ඇත්තාහු නන්වැදෑරුම් වර්‍ණයන් පහළ කෙරෙත්.
දක්‍ෂරන්කරු පුතකු විසින් කෝවාමුවෙහි මොනවට පිස ශුද්ධ කරණ ලද දඹරන්මුවා නිකෙක් රත්පලසෙක තබන ලද්දේ යම් සේ බබළා ද, දිලිසේ ද, පැහැ විහිදුවා ද, එසෙයින් ම සුසීමදෙව්පුත්හුගේ දෙව්පුත්පිරිස … නන්වැදෑරුම් වර්‍ණයන් පහළ කෙරෙත්.
ශරත් කල රෑ අලුයම පහ වූ වලාකුල් ඇති අහස පිරිසිදු වූ කල්හි පහන්තරුව යම් සේ බබළා ද, දිලිසේ ද, පැහැ විහිදුවා ද, එසෙයින් ම සුසීමදෙව්පුත්හුගේ දෙව්පුත්පිරිස … නන් වැදැරුම් වර්‍ණයන් පහළ කෙරෙත්.
ශරත් කල පහ වූ වලාකුල් ඇති අහස පිරිසිදු වූ කල්හි හිරු අහසට නැගෙන්නේ අහසෙහි වූ සියලු අඳුර නසා යම් සේ බබළා ද, දිලිසේ ද, පැහැ විහිදුවා ද, එසෙයින් ම සුසීම දෙව්පුත්හුගේ දෙව්පුත් පිරිස … නන් වැදැරුම් වර්‍ණයන් පහළ කෙරෙත්.
සුසීම දෙව්පුත් තෙමේ ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ ඇරබ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය:
පණ්ඩිත යයි ප්‍රකට වූ ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ නො කිපෙන සුල්ලහ. අපිස්හ. මොළොක්හ. දමුනහ යි ශාස්තෲන් වහන්සේ විසින් වණනලද ගුණ ඇති ඍෂිවරයෙකි.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ශාරිපුත්‍රයන් ඇරබ සුසීම දෙව්පුත්හට ගාථායෙකින් වදාළ සේක,
පණ්ඩිත යයි ප්‍රසිද්ධ වූ නො කිපෙන සුලු අපිස් මොළොක් දැමුණු ඉතා දැමුණු සැරියුත් තෙමේ කාලය අපේක්‍ෂා කරයි.
2. 3. 10.
නානාතිත්‍ථියසාවක සූත්‍රය
111. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි කලන්‍දකනිවාප නම් වූ වේළුවනාරාමයෙහි වැඩ වෙසෙන සේක.
එකල්හි නොයෙක් නොයෙක් තීර්‍ත්‍ථකයන් ගේ ශ්‍රාවක වූ මනා ඡවිවර්‍ණ ඇති අසමසහලිනිඞ්කආකොටකවෙටම්බරිමානවගාමිය ද යන බොහෝ දෙව්පුත්හු රෑ පෙරයම ඉක්ම ගිය කල්හි මුළු වේළුවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියහ. එකත්පසෙක සිටි අසම දෙව්පුත් තෙමේ පූරණකාශ්‍යප ඇරබ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කී ය:
කසුප් ශාස්තෘ තෙමේ සිඳීමෙහි ද මැරීමෙහි ද පෙළීමෙහි ද ධනහානියෙහි ද තමහට පවක් හෝ පිනක් හෝ නො දකියි. හෙ තෙමේ ඒකාන්තයෙන් විශ්වාසය කී ය. (එහෙයින්) බුහුමනට සුදුසු ය.
ඉක්බිති සහලී දෙව්පුත් තෙමේ මක්කලිගොසල ඇරබ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කී ය:
(කය පෙළන) තපසින් හා පවට පිළිකුල් කිරීමෙන් යුක්ත වූ හෙ තෙමේ ජනයා සමග කලහ වචන හැර මුසාවාදයෙන් තොර වූයේ සැබෑ තෙපුල් කියන සුලු වූයේ එබඳු ගුණ ඇත්තේ ඒකාන්තයෙන් පවක් නොම කෙරෙයි.
ඉක්බිති නිඞ්ක දෙව්පුත් තෙමේ නිගණ්ඨනාථපුත්‍ර ඇරබ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කී ය:
පවට පිළිකුල් කරණ නුවණැති සසර භය දක්නා චාතුයාමසංවරයෙන් යුත් (නිගණ්ඨනාථපුත්‍ර තෙමේ) දක්නා ලද්ද ද, අසන ලද්ද ද කියන්නේ ඒකාන්තයෙන් පව් කරන්නෙක් නො ම වන්නේ ය.
ඉක්බිති ආකොටක දෙව්පුත් තෙමේ නොයෙක් තීර්‍ත්‍ථකයන් ඇරබ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කී ය:
පකුධකාත්‍යායන තෙමේ ද නිගණ්ඨනාතපුත්‍ර තෙමේ ද යම් මේ මක්ඛලිගෝසාල පූරණකාස්සප දෙදෙනා ද යන ගණයාට ශාස්තෘ වූ මහණ කමෙහි කෙළ පැමිණි ඔහු ඒකාන්තයෙන් සත්පුරුෂයන් ගෙන් දුර නොවෙත්.
ඉක්බිති වෙටම්බරී දෙව්පුත් තෙමේ ආකොටක දෙව්පුත්හට ගාථායෙන් පෙරළා කී ය.
කොත්‍ථුක නම් වූ ලාමක කළුසිවල් තෙමේ එක ව හැසිරීමෙන් කිසි කලෙකත් සිංහයෙකු හා සම නො වේ. එහෙයින් නග්න වූ බොරු කියන සුලු වූ සැක කට යුතු හැසුරුම් ඇති ගණශාස්තෘ තෙමේ බුද්ධාදි සත්පුරුෂයන්ට සම නො වේ.
ඉක්බිති පවිටු මාර තෙමේ වෙටම්බරී දෙව්පුත්හට ආවිෂ්ට ව භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කී ය:
තපසෙහි ද පවට පිළිකුල් කිරීමෙහි ද විවේක බව රකින රූපයෙහි පිහිටි යම් කෙනෙක් දෙව්ලොව පතත් ද, ඒ මනුෂ්‍යයෝ ඒකාන්තයෙන් පරලොව පිණිස මැනවින් අනුශාසනා කෙරෙත්.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ පවිටු මාරයා ය යි දැන පවිටු මාරයහට ගාථායෙන් පෙරළා වදාළ සේක:
මෙලොව හෝ පරලොව හෝ අහසෙහි හෝ පැහැපත් වර්‍ණ ඇති යම් කිසි රූපයෝ වෙද්ද, මාරය, ඒ සියල්ලෝ තා විසින් පසස්නා ලදහ. මසුන් නැසීම පිණිස ලූ ඇමක් මෙනි.
ඉක්බිති මානවගාමිය දෙව්පුත් තෙමේ භාග්‍යවතුන් වහන්සේ ඇරබ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාවන් කී ය.
රජගහනුවර පර්‍වතයන්ට වෛපුල්‍යපර්‍වතය ශ්‍රේෂ්ඨ ය යි කියනු ලැබේ. හිමවත් පර්‍වතයන්ට කෛලාසය ශ්‍රේෂ්ඨ ය. අහසෙහි යන්නවුන්ට සූර්‍ය්‍යයා ශ්‍රේෂ්ඨ ය.
ජලාසයනට මුහුද ශ්‍රේෂ්ඨ ය. නැකත්තරුවලට සඳ ශ්‍රේෂ්ඨ ය. දෙවියන් සහිත ලෝකයාහට බුදුරජානන් වහන්සේ ශ්‍රේෂ්ඨයහ යි කියනු ලැබේ.
නානාතිත්‍ථිය වර්‍ගය තුන්වැනි යි.
එහි උද්දානය:
සිව, ඛේම, සේරී, ඝටීකාර, ජන්තු, රෝහිතස්ස, නන්‍ද, නන්‍දිවිසාල, සිසීම, නානාතිත්‍ථියසාවක සූත්‍ර ය යි ඔහු දශයෙකි.
දේවපුත්තසංයුත්තය සමාප්ත ය.
3. කෝසල සංයුත්තය
1. බන්‍ධන වර්‍ගය
3. 1. 1.
දහර සූත්‍රය
112. මා විසින් මෙසේ අසන ලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටටුහුගේ අරම්හි වැඩ වසන සේක. එකල පසේනදි කොසොල් රජ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතු වහන්සේ සමග සතුටු වී ය. සතුටු විය යුතු සිහි කරන්නට නිසි කථාව කොට නිමවා එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් පසේනදි කොසොල් රජ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළේ ය.
“භවත් ගෞතමයන් වහන්සේත් නිරුත්තර වූ සම්‍යක් සම්බෝධිය අවබෝධ කෙළෙම් ය” යි ප්‍රතිඥා කරණ සේක් ද? “මහරජ, මැනවින් කියන්නෙක් නිරුත්තර සම්‍යක් සම්බෝධිය අවබෝධ කළේ ය” යි යමකු සඳහා කියන්නේ නම් මැනවින් කියන්නේ ඒ මා සඳහා කියන්නේ ය. මහරජ, මම වනාහි නිරුත්තර සම්‍යක් සම්බෝධිය අවබෝධ කළෙමි.
භවත් ගෞතමයන් වහන්ස, පැවිදි සමූහයා ඇති පැවිදි ගණයා ඇති ගණාචාර්‍ය වූ ප්‍රසිද්ධ වූ යසගී ඇති ලබ්ධිකර වූ (අඳබල්) බොහෝදෙනා විසින් සාධු සම්මත වූ යම් ඒ මහණබමුණෝ ඇද්ද ඔහු කවරහ: පූර්‍ණකස්සප ය, මක්ඛලිගෝසාල ය, නිගණ්ඨනාතපුත්ත ය, සඤ්ජය බෙලට්ඨපුත්ත ය, පකුධකච්චායාන ය, අජිතකේසකම්බල ය යන මොහු යි. ඔහුත් “නිරුත්තර සම්‍යක් සම්බෝධිය අවබෝධ කළම්හ යි ප්‍රතිඥා කරහු දැයි මා විසින් විචාරණ ලද්දාහු “නිරුත්තර සම්මාසම්බෝධිය අවබෝධ කළම්හ” යි ප්‍රතිඥා නො කෙරෙත්. කීම? භවත් ගෞතමයන් වහන්සේ උපතිනුදු ලදරු වන සේක. පැවිදෙනුත් නවක වන සේක.
මහරජ, මේ සිවු දෙනෙක් ලදරු හ යි අවමන් නො කට යුත්තාහ, ලදරු හ යි පරිභව නො කට යුත්තාහ. කවර සිවු දෙනෙක යත්: මහරජ, ක්‍ෂත්‍රිය තෙමේ ලදරු ය යි අවමන් නො කට යුත්තේ ය, ලදරු ය යි පරිභව නො කට යුත්තේ ය. මහරජ, සර්‍පයා ලදරු ය යි අවමන් නො කට යුත්තේ ය, ලදරු ය යි පරිභව නො කට යුත්තේ ය. මහරජ, ගිනි ලදරු ය යි අවමන් නො කට යුත්තේ ය, ලදරු ය යි පරිභව නො කට යුත්තේ ය. මහරජ, මහණ ලදරු ය යි අවමන් නො කට යුත්තේ ය, ලදරු ය යි පරිභව නො කට යුත්තේ ය. මහරජ, මේ සිවු දෙන ලදරු හ යි අවමන් නො කට යුත්තාහ, ලදරුහ යි පරිභව නො කට යුත්තාහ.
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. තවද සුගත වූ ශාස්තෘන් වහන්සේ මෙය වදාරා ඉක්බිති අන්‍ය තෙල ගය ද වදාළ සේක.
මිනිස් තෙමේ ජාතිසම්පන්න වූ විශිෂ්ට කුලයෙහි උපන් යශස්වී වු කැත් කුමරා ලදරු ය යි අවමන් නො කරන්නේ ය. ඔහුට පරිභව ද නො කරනෙනේ ය.