නිබ්බාන, අරහත්ත, ධම්මවාදි, කිමත්‍ථිය, අස්සාස, පරමස්සාස, වේදනා, ආසව, එසේම අවිජ්ජා, තණ්හා, ඕඝ, උපාදාන, භව, දුක්ඛ, සක්කාය, දුක්කර යයි සූත්‍ර සොළොසෙකි.
5. සාමණ්ඩකානි සංයුත්තය
5. 1. 1.
නිබ්බාන සූත්‍රය
332. එක් කලෙක ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ වැදෑ දනව්වෙහි ගඞ්ගා ගං ඉවුරෙහි උක්කවේලා නුවර සමීපයෙහි වැඩ වසති. එකල්හි සාමණ්ඩකානි පිරිවැජි තෙමේ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් වෙත එළඹියේ ය. එළඹ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් සමඟ සතුටු විය. සතුටු විය යුතු සිහි කටයුතු කථාව කොට නිමවා එකත්පස් ව හුන්නේ ය. එකත්පස් ව හුන් සාමණ්ඩකානි පිරිවැජි තෙමේ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට මෙය කීය: ඇවැත්නි ශාරිපුත්‍රයෙනි, නිවන නිවන යි කියනු ලැබේ. ඇවැත්නි, නිවන කවරේ දැ යි. ඇවැත්නි, යම් රාගය ක්‍ෂය කිරීමෙක් දෝසය ක්‍ෂය කිරීමෙක් මෝහය ක්‍ෂය කිරීමෙක් වේ නම් මෙය නිවනැ යි කියනු ලැබේ.
ඇවැත්නි, මේ නිවන පසක් කිරීමට මගෙක් ඇද්ද, පිළිවෙතෙක් ඇද්දැ යි. ඇවැත්නි, මේ නිවන පසක් කිරීමට මගෙක් ඇත. පිළිවෙතෙක් ඇතැ යි. ඇවැත්නි, මේ නිවන පසක් කිරීමට මග කවරේ ද? පිළිවෙත කවරේ දැ? යි. ඇවැත්නි මේ නිවන පසක් කිරීමට මේ අරි අටඟි මග ම ය. එනම්: සම්මාදිට්ඨිය ... සම්මාසමාධි ය යි. ඇවැත්නි, මේ නිවන පසක් කිරීමට මේ මග යි. මේ පිළිවෙත යි. ඇවැත්නි, මේ නිවන පසක් කිරීමට සොඳුරු මගෙකි. සොඳුරු පිළිවෙතෙකි. ඇවැත්නි ශාරිපුත්‍රයෙනි, නො පමා වීමට සුදුසු යි. ...
(ජම්බුඛාදක වර්‍ගයෙහි මෙන් විස්තර කටයුතු යි)
5. 1. 16.
දුක්කර සූත්‍රය
347. ඇවැත්නි ශාරිපුත්‍රයෙනි, මේ සස්නෙහි කුමක් දුෂ්කර දැ යි. ඇවැත්නි, මේ සස්නෙහි පැවිද්ද දුෂ්කර ය. ඇවැත්නි, පැවිද්දා විසින් කුමක් දුෂ්කර දැ යි. ඇවැත්නි, පැවිද්දා විසින් (පැවිද්දෙහි) ඇල්ම දුෂ්කර ය. ඇවැත්නි, (පැවිද්දෙහි) ඇලුනහු විසින් කුමක් දුෂ්කර දැ යි. ඇවැත්නි, (පැවිද්දෙහි) ඇලුනහු විසින් ධර්‍මානුධර්‍ම ප්‍රතිපත්තිය දුෂ්කර ය. ඇවැත්නි, ධර්‍මානුධර්‍ම ප්‍රතිපන්න මහණ කොපමණ කලකින් රහත් වන්නේ දැ යි. ඇවැත්නි, නොබෝ කලකිනි යි.
සාමණ්ඩකානි සංයුත්තය නිමියේ යි.
සූත්‍ර නාමාවලිය - පළමු වර්‍ගයෙහි මෙනි.
6. මොග්ගල්ලාන සංයුත්තය
6. 1. 1.
සවිතක්ක සූත්‍රය
348. එක්කලෙක ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වෙසෙති. එහි දී ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ “ඇවැත්නි මහණෙනි” යි භික්‍ෂූන් ඇමතූහ. ‘ඇවැත්නි’ යි ඒ භික්‍ෂූහු ආයුෂ්මත් මහමුගලන් තෙරණුවන්ට පිළිවදන් ඇස්වූහ. ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ මෙය වදාළහ: ඇවැත්නි, මෙහි එකලා වූ විවේකයෙන් යුත් මට මෙබඳු චිත්ත විතර්‍කයෙක් පහළ විය: “පළමුවන දැහැන පළමුවන දැහැනැ” යි කියනු ලැබේ. පළමුවන දැහැන කවරේ දැ? යි. ඇවැත්නි, ඒ මට මෙබඳු සිතෙක් විය: මෙහි මහණ තෙමේ කාමයන්ගෙන් වෙන්ව ම අකුශල ධර්‍මයන්ගෙන් වෙන්ව ම විතර්‍ක සහිත විචාර සහිත විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති පළමුවන දැහැනට එළඹ වෙසේ නම් මේ පළමුවන දැහැනැ යි කියනු ලැබේ යි. ඇවැත්නි, ඒ මම කාමයන්ගෙන් වෙන්ව ම අකුශල ධර්‍මයන්ගෙන් වෙන්ව ම විතර්‍ක සහිත විචාර සහිත විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සුවය ඇති පළමුවන දැහැනට එළඹ වෙසෙමි. ඇවැත්නි, මේ විහරණයෙන් වෙසෙන ඒ මට කාමය සහගිය හැඟීම් හා මෙනෙහි කිරීම් පහළ වෙත්.
ඇවැත්නි, එකල්හි භාග්‍යවතුන් වහන්සේ ඍද්ධියෙන් මා වෙත එළඹ මෙය වදාළ සේක: මුගලන, මුගලන, බමුණ, පළමුවන දැහැන නහමක් වරදව. පළමුවන දැහැනෙහි සිත තබව. පළමුවන දැහැනෙහි සිත එකඟ කරව. පළමුවන දැහැනෙහි සිත පිහිටුව යි. මහණෙනි, ඒ මම පසුකාලයෙහි කාමයන්ගෙන් වෙන්ව ම අකුශල ධර්‍මයන්ගෙන් වෙන්ව ම විතර්‍ක සහිත විචාර සහිත විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති පළමුවන දැහැනට එළඹ පසුවෙමි. ඇවැත්නි, ශාස්තෲන් වහන්සේ විසින් අනුග්‍රහ කරන ලද ශ්‍රාවකයෙක් මහාභිඥ බවට පැමිණියේ යයි මැනවින් කියන්නෙක් ඒ යමෙකු සඳහා කියන්නේ නම්, මැනවින් කියන්නෙක් ශාස්තෲන් වහන්සේ විසින් අනුග්‍රහ කරන ලද ශ්‍රාවකයෙක් මහාභිඥ බවට පැමිණියේ ය යි ඒ මා සඳහා කියන්නේ යි.
6. 1. 2.
අවිතක්ක සූත්‍රය
349. දෙවන දැහැනය දෙවන දැහැනය යි කියනු ලැබේ. දෙවන දැහැන කවරේ දැ? යි. ඇවැත්නි, ඒ මට මෙබඳු සිතෙක් විය: මෙහි මහණ තෙමේ විතර්‍කවිචාරයන් සංසිඳීමෙන් ඇතුළත පැහැදීම් ඇති එකඟබැව් ඇති විතර්‍ක රහිත විචාර රහිත සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සුවය ඇති දෙවන දැහැනට එළඹ වෙසේ නම් මෙය දෙවන දැහැනය යි කියනු ලැබේ යි. ඇවැත්නි, ඒ මම විතර්‍ක විචාර සංසිඳීමෙන් ඇතුළත පැහැදීම ඇති සිතේ එකඟ බැව් ඇති විතර්‍ක රහිත විචාර රහිත සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සුවය ඇති දෙවන දැහැනට එළඹ වෙසෙමි. ඇවැත්නි, මේ විහරණයෙන් වෙසෙන ඒ මට විතර්‍කය සහගිය හැඟීම් හා මෙනෙහි කිරීම් පහළ වෙත්.
ඇවැත්නි, එකල්හි භාග්‍යවතුන් වහන්සේ ඍද්ධියෙන් මා වෙත එළඹ මෙය වදාළ සේක: මුගලන, මුගලන, බමුණ, දෙවන දැහැන නහමක් වරදව. දෙවන දැහැනෙහි සිත තබව. දෙවන දැහැනෙහි සිත එකඟ කරව. දෙවන දැහැනෙහි සිත පිහිටුව යි. ඇවැත්නි, ඒ මම පසු කාලයෙහි මම විතර්‍ක විචාර සංසිඳීමෙන් ඇතුළත පැහැදීම ඇති සිතේ එකඟ බැව් ඇති විතර්‍ක රහිත විචාර රහිත සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සුවය ඇති දෙවන දැහැනට එළඹ විසුවෙමි. ඇවැත්නි, මැනවින් කියන්නෙක් “ශාස්තෲන් වහන්සේ විසින් අනුග්‍රහ කරන ලද ශ්‍රාවකයෙක් මහාභිඥ බවට පැමිණියේ ය”යි ඒ යමෙකු සඳහා කියන්නේ නම්, මැනවින් කියන්නෙක් ශාස්තෲන් වහන්සේ විසින් අනුග්‍රහ කරන ලද ශ්‍රාවකයෙක් මහාභිඥ බවට පැමිණියේ ය යි ඒ මා සඳහා කියන්නේ යි.
6. 1. 3.
සුඛ සූත්‍රය
350. තෙවන දැහැන තෙවන දැහැනය යි කියනු ලැබේ. තෙවන දැහැන කවරේ දැ? යි. ඇවැත්නි, ඒ මට මෙබඳු සිතෙක් විය: මෙහි මහණ තෙමේ ප්‍රීතියත් දුරු කිරීමෙන් උපේක්‍ෂා ඇත්තේ වෙසෙයි. සිහි ඇත්තේ මනා දැනුම් ඇත්තේ කයින් සුවත් විඳියි. උපේක්‍ෂා ඇත්තේ ය, සිහි ඇත්තේ ය, සුඛ විහරණ ඇත්තේ ය යි ඒ යමෙකු සඳහා ආර්‍ය්‍යයෝ කියත් නම්, ඒ තෙවන දැහැනට එළඹ වෙසේ ද, මේ තෙවන දැහැනය යි කියනු ලැබේ යි. ඇවැත්නි, ඒ මම ප්‍රීතියත් දුරු කිරීමෙන් උපේක්‍ෂා ඇත්තේ වෙසෙමි. සිහි ඇත්තේ මනා දැනුම් ඇත්තේ කයින් සුවත් විඳිමි. උපේක්‍ෂා ඇත්තේ ය, සිහි ඇත්තේ ය, සුඛ විහරණ ඇත්තේ ය යි ආර්‍ය්‍යයෝ ඒ යමකු සඳහා කියත් නම් ඒ තෙවන දැහැනට එළඹ වෙසෙමි. ඇවැත්නි, මේ විහරණයෙන් වෙසෙන ඒ මට ප්‍රීතිය සහගිය හැඟීම් හා මෙනෙහි කිරීම් පහළ වෙත්.
ඇවැත්නි, එකල්හි භාග්‍යවතුන් වහන්සේ ඍද්ධියෙන් මා වෙත එළඹ මෙය වදාළ සේක: මුගලන, මුගලන, බමුණ, තෙවන දැහැන නහමක් වරදව. තෙවන දැහැනෙහි සිත තබව. තෙවන දැහැනෙහි සිත එකඟ කරව. තෙවන දැහැනෙහි සිත පිහිටුව යි. ඇවැත්නි, ඒ මම පසු කාලයෙහි ප්‍රීතියත් දුරලීමෙන් උපේක්‍ෂා ඇත්තේත් විසුවෙමි. සිහි ඇත්තේ මනා දැනුම් ඇත්තේ කයින් සුවත් වින්දෙමි. උපේක්‍ෂා ඇත්තේ ය, සිහි ඇත්තේ ය, සුඛ විහරණ ඇත්තේ ය යි ආර්‍ය්‍යයෝ ඒ යමකු සඳහා කියත් නම්, ඒ තෙවන දැහැනට එළඹ විසුවෙමි. ඇවැත්නි, මැනවින් කියන්නෙක් “ශාස්තෲන් වහන්සේ විසින් අනුග්‍රහ කරන ලද ශ්‍රාවකයෙක් මහාභිඥ බවට පැමිණියේ ය” යි ඒ යමකු සඳහා කියන්නේ නම්, මැනවින් කියන්නෙක් ශාස්තෲන් වහන්සේ විසින් අනුග්‍රහ කරන ලද ශ්‍රාවකයෙක් මහාභිඥ බවට පැමිණියේ ය යි ඒ මා සඳහා කියන්නේ යි.
6. 1. 4.
උපේඛා සූත්‍රය
351. සිවුවන දැහැනය සිවුවන දැහැනය යි කියනු ලැබේ. සිවුවන දැහැන කවරේ දැ?යි. ඇවැත්නි, ඒ මට මෙබඳු සිතෙක් විය: මෙහි මහණ තෙමේ සුවත් දුරු කිරීමෙන් දුකත් දුරු කිරීමෙන් පළමු මැ සොම්නස් දොම්නසුන්ගේ අභාවයෙන් දුක් නැති සුව නැති උපේක්‍ෂාවෙන් හා සිහියෙන් හටගත් පිරිසිදු බැව් ඇති සිවුවන දැහැනට එළඹ වෙසේ නම් මෙය සිවුවන දැහැන ය යි කියනු ලැබේ යි. ඇවැත්නි, ඒ මම සුවත් දුරු කිරීමෙන් දුකත් දුරු කිරීමෙන් පළමු ම සොම්නස් දොම්නසුන්ගේ අභාවයෙන් දුක් නැති සුව නැති උපේක්‍ෂාවෙන් හා සිහියෙන් හටගත් පිරිසිදු බැව් ඇති සිවුවන දැහැනට එළඹ වෙසෙමි. ඇවැත්නි, මේ විහරණයෙන් වෙසෙන ඒ මට උපේක්‍ෂාව සහගිය හැඟීම් හා මෙනෙහිකිරීම් පහළවෙත්.
ඇවැත්නි, එකල්හි භාග්‍යවතුන් වහන්සේ ඍද්ධියෙන් මා වෙත එළඹ මෙය වදාළ සේක: මුගලන, මුගලන, බමුණ, සිවුවන දැහැන නහමක් වරදව. සිවුවන දැහැනෙහි සිත තබව. සිවුවන දැහැනෙහි සිත එකඟ කරව. සිවුවන දැහැනෙහි සිත පිහිටුව යි. ඇවැත්නි, ඒ මම පසු කාලයෙහි සුවත් දුරුකිරීමෙන් දුකත් දුරුකිරීමෙන් පළමු ම සොම්නස් දොම්නසුන්ගේ අභාවයෙන් දුක් නැති සුව නැති උපේක්‍ෂාවෙන් හා සිහියෙන් හටගත් පිරිසිදු බැව් ඇති සිවුවන දැහැනට එළඹ විසුවෙමි. ඇවැත්නි, මැනවින් කියන්නෙක් “ශාස්තෲන් වහන්සේ විසින් අනුග්‍රහ කරන ලද ශ්‍රාවකයෙක් මහාභිඥ බවට පැමිණියේ ය”යි ඒ යමෙකු සඳහා කියන්නේ නම්, මැනවින් කියන්නෙක් ශාස්තෲන් වහන්සේ විසින් අනුග්‍රහ කරන ලද ශ්‍රාවකයෙක් මහාභිඥ බවට පැමිණියේ ය යි ඒ මා සඳහා කියන්නේ යි.
6. 1. 5.
ආකාසානඤ්චායතන සූත්‍රය
352. ආකාසානඤ්චායතනය ආකාසානඤ්චායතනය යි කියනු ලැබේ. ආකාසානඤ්චායතනය කවරේ දැ?යි. ඇවැත්නි, ඒ මට මෙබඳු සිතෙක් විය: මෙහි මහණ තෙමේ සර්‍වප්‍රකාරයෙන් රූප සංඥාවන් ඉක්මවීමෙන් ප්‍රතිඝසංඥාවන් දුරු කිරීමෙන් නානාත්‍ව සංඥාවන් නො මෙනෙහි කිරීමෙන් ආකාශය අනන්ත ය යි ආකාසානඤ්චායතනට එළඹ වෙසේ නම් මෙය ආකාසානඤ්චායතනය යි කියනු ලැබේ. ඇවැත්නි, ඒ මම සර්‍වප්‍රකාරයෙන් රූප සංඥාවන් ඉක්මවීමෙන් ප්‍රතිඝසංඥාවන් දුරු කිරීමෙන් නානාත්‍ව සංඥාවන් නො මෙනෙහි කිරීමෙන් ආකාශය අනන්ත ය යි ආකාසානඤ්චායතනට පැමිණ වෙසෙමි. ඇවැත්නි, මේ විහරණයෙන් වෙසෙන ඒ මට රූ සහගිය හැඟීම් හා මෙනෙහි කිරීම් පහළ වෙත්.
ඇවැත්නි, එකල්හි භාග්‍යවතුන් වහන්සේ ඍද්ධියෙන් මා වෙත එළඹ මෙය වදාළ සේක: මුගලන, මුගලන, බමුණ, ආකාසානඤ්චායතනය නො වරදව. ආකාසානඤ්චායතනය දැහැනෙහි සිත මැනවින් තබව. ආකාසානඤ්චායතනය දැහැනෙහි සිත එකඟ කරව. ආකාසානඤ්චායතනය දැහැනෙහි සිත පිහිටුව යි. ඇවැත්නි, ඒ මම පසු කාලයෙහි සර්‍වප්‍රකාරයෙන් රූප සංඥාවන් ඉක්මවීමෙන් ප්‍රතිඝසංඥාවන් දුරු කිරීමෙන් නානාත්‍ව සංඥාවන් නො මෙනෙහි කිරීමෙන් ආකාශය අනන්ත ය යි ආකාසානඤ්චායතනට පැමිණ විසුවෙමි. ඇවැත්නි, මැනවින් කියන්නෙක් ඒ යමෙකු සඳහා ... මහාභිඥ බවට පැමිණියේ ය යි කියන්නේ යි.
6. 1. 6.
විඤ්ඤාණඤ්චායතන සූත්‍රය
353. විඤ්ඤාණඤ්චායතනය විඤ්ඤාණඤ්චායතනය යි කියනු ලැබේ. විඤ්ඤාණඤ්චායතනය කවරේ දැ?යි. ඇවැත්නි, ඒ මට මෙබඳු සිතෙක් විය: මෙහි මහණ තෙමේ සර්‍වප්‍රකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්මවා විඤ්ඤාණය අනන්ත ය යි විඤ්ඤාණඤ්චායතනට පැමිණ වෙසේ නම් මෙය විඤ්ඤාණඤ්චායතනය යි කියනු ලැබේ යි. ඇවැත්නි, ඒ මම සර්‍වප්‍රකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්මවා විඤ්ඤාණය අනන්ත ය යි විඤ්ඤාණ්ඤ්චායතනට පැමිණ වෙසෙමි. ඇවැත්නි, මේ විහරණයෙන් වෙසෙන ඒ මට ආකාසානඤ්චායතනය සහගිය හැඟීම් හා මෙනෙහි කිරීම් පහළ වෙත්.
ඇවැත්නි, එකල්හි භාග්‍යවතුන් වහන්සේ ඍද්ධියෙන් මා වෙත එළඹ මෙය වදාළ සේක: මුගලන, මුගලන, බමුණ, විඤ්ඤාණඤ්චායතනය නො වරදව. විඤ්ඤාණඤ්චායතනයෙහි සිත මැනවින් තබව. විඤ්ඤාණඤ්චායතනයෙහි සිත එකඟ කරව. විඤ්ඤාණඤ්චායතනයෙහි සිත පිහිටුව යි. ඇවැත්නි, ඒ මම පසු කාලයෙහි සර්‍වප්‍රකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්මවා විඤ්ඤාණය අනන්ත ය යි විඤ්ඤාණ්ඤ්චායතනට පැමිණ විසුවෙමි. ඇවැත්නි, මැනවින් කියන්නෙක් ඒ යමෙකු සඳහා ... මහාභිඥ බවට පැමිණියේ ය යි කියන්නේ යි.
6. 1. 7.
ආකිඤ්චඤ්ඤායතන සූත්‍රය
354. ආකිඤ්චඤ්ඤායතනය ආකිඤ්චඤ්ඤායතනය යි කියනු ලැබේ. ආකිඤ්චඤ්ඤායතනය කවරේ දැ?යි. ඇවැත්නි, ඒ මට මෙබඳු සිතෙක් විය: මෙහි මහණ තෙමේ සර්‍වප්‍රකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා කිසිවක් නැතැ යි ආකිඤ්චඤ්ඤායතනයට පැමිණ වෙසේ නම් මෙය ආකිඤ්චඤ්ඤායතනය යි කියනු ලැබේ යි. ඇවැත්නි, ඒ මම සර්‍වප්‍රකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා කිසිවක් නැතැ යි ආකිඤ්චඤ්ඤායතනයට පැමිණ වෙසෙමි. ඇවැත්නි, මේ විහරණයෙන් වෙසෙන ඒ මට විඤ්ඤාණඤ්චායතනය සහගිය හැඟීම් හා මෙනෙහි කිරීම් පහළ වෙත්.
ඇවැත්නි, එකල්හි භාග්‍යවතුන් වහන්සේ ඍද්ධියෙන් මා වෙත එළඹ මෙය වදාළ සේක: මුගලන, මුගලන, බමුණ, ආකිඤ්චඤ්ඤායතනය නහමක් වරදව. ආකිඤ්චඤ්ඤායතනයෙහි සිත මැනවින් තබව. ආකිඤ්චඤ්ඤායතනයෙහි සිත එකඟ කරව. ආකිඤ්චඤ්ඤායතනයෙහි සිත පිහිටුව යි. ඇවැත්නි, ඒ මම සර්‍වප්‍රකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා කිසිවක් නැතැ යි ආකිඤ්චඤ්ඤායතනයට පැමිණ විසුවෙමි. ඇවැත්නි, මැනවින් කියන්නෙක් ඒ යමෙකු සඳහා ... මහාභිඥ බවට පැමිණියේ ය යි කියන්නේ යි.
6. 1. 8.
නේවසඤ්ඤානාසඤ්ඤායතන සූත්‍රය
355. නේවසඤ්ඤානාසඤ්ඤායතනය නේවසඤ්ඤානාසඤ්ඤායතනය යි කියනු ලැබේ. නේවසඤ්ඤානාසඤ්ඤායතනය කවරේ දැ?යි. ඇවැත්නි, ඒ මට මෙබඳු සිතෙක් විය: මෙහි මහණ තෙමේ සර්‍වප්‍රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නේවසඤ්ඤානාසඤ්ඤායතනයට පැමිණ වෙසේ නම් මෙය නේවසඤ්ඤානාසඤ්ඤායතනය යි කියනු ලැබේ යි. ඇවැත්නි, ඒ මම සර්‍වප්‍රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නේවසඤ්ඤානාසඤ්ඤායතනයට පැමිණ වෙසෙමි. ඇවැත්නි, මේ විහරණයෙන් වෙසෙන ඒ මට ආකිඤ්චඤ්ඤායතනය සහගිය හැඟීම් හා මෙනෙහි කිරීම් පහළ වෙත්.
ඇවැත්නි, එකල්හි භාග්‍යවතුන් වහන්සේ ඍද්ධියෙන් මා වෙත එළඹ මෙය වදාළ සේක: මුගලන, මුගලන, බමුණ, නේවසඤ්ඤානාසඤ්ඤායතනය නහමක් වරදව. නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි සිත මැනවින් තබව. නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි සිත එකඟ කරව. නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි සිත පිහිටුව යි. ඇවැත්නි, ඒ මම පසුකාලයෙහි සර්‍වප්‍රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නේවසඤ්ඤානාසඤ්ඤායතනයට පැමිණ විසුවෙමි. ඇවැත්නි, මැනවින් කියන්නෙක් ඒ යමෙකු සඳහා ... මහාභිඥ බවට පැමිණියේ ය යි කියන්නේ යි.
6. 1. 9.
අනිමිත්ත සූත්‍රය
356. අනිමිත්ත චේතෝ සමාධිය අනිමිත්ත චේතෝ සමාධිය යි කියනු ලැබේ. අනිමිත්ත චේතෝ සමාධිය කවරේ දැ?යි. ඇවැත්නි, ඒ මට මෙබඳු සිතෙක් විය. මෙහි මහණ තෙමේ සියලු නිමිති නො මෙනෙහි කිරීමෙන් අනිමිත්ත චේතෝ සමාධියට එළඹ වෙසේ නම් මෙය අනිමිත්ත චේතෝ සමාධිය යි කියනු ලැබේ යි. ඇවැත්නි, ඒ මම සියලු නිමිති නො මෙනෙහි කිරීමෙන් අනිමිත්ත චේතෝ සමාධියට එළඹ වෙසෙමි. ඇවැත්නි, මේ විහරණයෙන් වෙසෙන ඒ මාගේ විඤ්ඤාණය නිමිති අනුව හැසිරෙනසුලු වෙයි.
ඇවැත්නි, එකල්හි භාග්‍යවතුන් වහන්සේ ඍද්ධියෙන් මා වෙත එළඹ මෙය වදාළ සේක: මුගලන, මුගලන, බමුණ, අනිමිත්ත චේතෝ සමාධිය නහමක් වරදව. අනිමිත්ත චේතෝ සමාධියෙහි සිත මැනවින් තබව. අනිමිත්ත චේතෝ සමාධියෙහි සිත එකඟ කරව. අනිමිත්ත චේතෝ සමාධියෙහි සිත පිහිටුව යි. ඇවැත්නි, ඒ මම පසු කාලයෙහි සියලු නිමිති නො මෙනෙහි කිරීමෙන් අනිමිත්ත චේතෝ සමාධියට එළඹ විසුවෙමි. ඇවැත්නි, මැනවින් කියන්නෙක් “ශාස්තෲන් වහන්සේ විසින් අනුග්‍රහ කරන ලද ශ්‍රාවකයෙක් මහාභිඥ බවට පැමිණියේ ය” යි ඒ යමෙකු සඳහා කියන්නේ නම් මැනවින් කියන්නෙක් ශාස්තෲන් වහන්සේ විසින් අනුග්‍රහ කරන ලද ශ්‍රාවකයෙක් මහාභිඥ බවට පැමිණියේ ය යි ඒ මා සඳහා කියන්නේ යි.
6. 1. 10.
සක්ක සූත්‍රය
357. එක්කලෙක ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ සැවත සමීපයෙහි ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වෙසෙති. එකල්හි ආයුෂ්මත් මහ මුගලන් තෙරණුවෝ යම්සේ බලවත් පුරුෂයෙක් හැකුළු අත දිගු කරන්නේ හෝ දිගු කළ අත හකුළුවන්නේ හෝ වේ ද එසෙයින් ම දෙව්රම්හි අතුරුදන් වූවාහු තව්තිසා දෙවියන් අතර පහළ වූහ. එක්ලහි සක් දෙව් රජ පන්සියයක් දෙවියන් සමග ආයුෂ්මත් මහ මුගලන් තෙරණුවන් වෙත එළඹියේ ය. එළඹ ආයුෂ්මත් මහ මුගලන් තෙරණුවන් වැඳ එකත්පස් ව සිටියේ ය. එකත්පස්ව සිටි සක් දෙව් රජුට ආයුෂ්මත් මහ මුගලන් තෙරණුවෝ මෙය වදාළහ.
දේවානමින්‍ද, බුදුන් සරණ යෑම මැනවි. දේවානමින්‍ද, මෙසේ බුදුන් සරණ යෑම හේතු කොට මෙහි ඇතැම් සත්ත්‍ව කෙනෙක් කාබුන් මරණින් මතු සෝභන ගති ඇති සුගති සගලොවට පැමිණෙත්. දේවානමින්‍ද, දහම් සරණ යෑම මැනවි. දේවානමින්‍ද, මෙසේ දහම් සරණ යෑම හේතු කොට මෙහි ඇතැම් සත්ත්‍ව කෙනෙක් කාබුන් මරණින් මතු සුගති සගලොවට පැමිණෙත්. දේවානමින්‍ද, සඟුන් සරණ යෑම මැනවි. දේවානමින්‍ද, මෙසේ සඟුන් සරණ යෑම හේතු කොට මෙහි ඇතැම් සත්ත්‍ව කෙනෙක් කාබුන් මරණින් මතු සුගති සගලොවට පැමිණෙති යි.
නිදුකාණෙනි මොග්ගල්ලානයෙනි, බුදුන් සරණ යෑම මැනවි. නිදුකාණෙනි මොග්ගල්ලානයෙනි, මෙසේ බුදුන් සරණ යෑම හේතු කොට මෙහි ඇතැම් සත්ත්‍ව කෙනෙක් කාබුන් මරණින් මතු සෝභන ගති ඇති සුගති සගලොවට පැමිණෙත්. නිදුකාණෙනි මොග්ගල්ලානයෙනි, දහම් සරණ යෑම මැනවි. නිදුකාණෙනි මොග්ගල්ලානයෙනි, මෙසේ දහම් සරණ යෑම හේතු කොට මෙහි ඇතැම් සත්ත්‍ව කෙනෙක් කාබුන් මරණින් මතු සුගති සගලොවට පැමිණෙත්. නිදුකාණෙනි මොග්ගල්ලානයෙනි, සඟුන් සරණ යෑම මැනවි. නිදුකාණෙනි මොග්ගල්ලානයෙනි, මෙසේ සඟුන් සරණ යෑම හේතු කොට මෙහි ඇතැම් සත්ත්‍ව කෙනෙක් කාබුන් මරණින් මතු සුගති සගලොවට පැමිණෙති යි.
6. 1. 11.
දුතිය සක්ක සූත්‍රය
358. ඉක්බිති සක් දෙව් රජ සසියයක් දෙවියන් සමග ... සක් දෙව් රජ සත්සියයක් දෙවියන් සමග ... සක් දෙව් රජ අටසියයක් දෙවියන් සමග ... ඉක්බිති සක් දෙව් රජ අසූදහසක් දෙවියන් සමග ආයුෂ්මත් මහ මුගලන් තෙරණුවන් වෙත එළඹියේ ය. එළඹ ආයුෂ්මත් මහ මුගලන් තෙරණුවන් වැඳ එකත්පස් ව සිටියේ ය. එකත්පස්ව සිටි සක් දෙව් රජුට ආයුෂ්මත් මහ මුගලන් තෙරණුවෝ මෙය වදාළහ: දේවානමින්‍ද, බුදුන් සරණ යෑම මැනවි. දේවානමින්‍ද, මෙසේ බුදුන් සරණ යෑම හේතු කොට මෙහි ඇතැම් සත්ත්‍ව කෙනෙක් කාබුන් මරණින් මතු සෝභන ගති ඇති සුගති සගලොවට පැමිණෙත්. දේවානමින්‍ද, දහම් සරණ යෑම මැනවි ... දේවානමින්‍ද, සඟුන් සරණ යෑම මැනවි. දේවානමින්‍ද, මෙසේ සඟුන් සරණ යෑම හේතු කොට මෙහි ඇතැම් සත්ත්‍ව කෙනෙක් කාබුන් මරණින් මතු සුගති සගලොවට පැමිණෙති යි.
නිදුකාණෙනි මොග්ගල්ලානයෙනි, බුදුන් සරණ යෑම මැනවි. නිදුකාණෙනි මොග්ගල්ලානයෙනි, මෙසේ බුදුන් සරණ යෑම හේතු කොට මෙහි ඇතැම් සත්ත්‍ව කෙනෙක් කාබුන් මරණින් මතු සෝභන ගති ඇති සුගති සගලොවට පැමිණෙත්. නිදුකාණෙනි මොග්ගල්ලානයෙනි, දහම් සරණ යෑම මැනවි ... නිදුකාණෙනි මොග්ගල්ලානයෙනි, සඟුන් සරණ යෑම මැනවි. නිදුකාණෙනි මොග්ගල්ලානයෙනි, මෙසේ සඟුන් සරණ යෑම හේතු කොට මෙහි ඇතැම් සත්ත්‍ව කෙනෙක් කාබුන් මරණින් මතු සුගති සගලොවට පැමිණෙති යි.
6. 1. 12.
තතිය සක්ක සූත්‍රය
359. ඉක්බිති සක්දෙව් රජ පන්සියයක් දෙවියන් සමග ආයුෂ්මත් මහමුගලන් තෙරණුවන් වෙත එළඹියේ ය. එළඹ ආයුෂ්මත් මහමුගලන් තෙරණුවන් වැඳ එකත්පස් ව සිටියේ ය. එකත්පස් ව සිටි සක්දෙව් රජුට ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ මෙය වදාළහ: දේවානමින්‍ද, බුදුන් කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වීම මැනවි. ඒ භගවත්හු මෙකරුණෙනුදු අර්‍හත්හ, සම්මා සම්බුද්ධයහ, විජ්ජාචරණ සම්පන්නයහ, සුගතයහ, ලෝක විදූහ, අනුත්තර පුරිසදම්මසාරථීහ, දෙවිමිනිසුන්ට ශාස්තෲහ, බුද්ධයහ, භගවත්හ යි. දේවානමින්‍ද, මෙසේ බුදුන් කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වීම හේතු කොට මෙහි ඇතැම් සත්ත්‍ව කෙනෙක් කාබුන් මරණින් මතු සුගති සගලොවට පැමිණෙත්.
දේවානමින්‍ද, දහම්හි ගුණ දැන පැහැදීමෙන් යුතු වීම මැනවි. භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්‍මය ස්වාඛාත ය, සාංදෘෂ්ටික ය, අකාලික ය, ඒහිපස්සික ය, ඕපනයික ය, නුවණැත්තන් විසින් තමතමා කෙරෙහි ලා දත යුත්තේ ය යි. දේවානමින්‍ද, මෙසේ දහම්හි ගුණ දැන පැහැදීමෙන් යුතු වීම හේතු කොට මෙහි ඇතැම් සත්ත්‍ව කෙනෙක් කාබුන් මරණින් මතු සුගති සගලොවට පැමිණෙත්.
දේවානමින්‍ද, සඟුන් කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වීම මැනවි. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සඞ්ඝ තෙමේ සුප්‍රතිපන්න ය, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සඞ්ඝ තෙමේ ඍජුප්‍රතිපන්න ය, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සඞ්ඝ තෙමේ ඤායප්‍රතිපන්න ය, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සඞ්ඝ තෙමේ සාමීචිප්‍රතිපන්න ය, යම් මේ පුරුෂ යුගල සතරෙක් වේ නම් (එහි) පුරුෂ පුද්ගලයෝ අට දෙනෙකි, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සඞ්ඝ තෙමේ ආහුනෙය්‍යහ ය, පාහුනෙය්‍යහ ය, දක්‍ෂිණාර්‍හ ය, අඤ්ජලිකරණීයහ ය, ලෝකයාට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර ය යි. දේවානමින්‍ද, මෙසේ සඟුන් කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වීම හේතු කොට මෙහි ඇතැම් සත්ත්‍ව කෙනෙක් කාබුන් මරණින් මතු සුගති සගලොවට පැමිණෙත්.
දේවානමින්‍ද, නො කඩ වූ නො සිදුරු වූ නො කැලැල් වූ නො කබර වූ නිදහස් වූ නුවණැත්තන් විසින් පසස්නා ලද, තෘෂ්ණා දෘෂ්ටීන් නො පහස්නා ලද සමාධිය පිණිස පවත්නා ආර්‍ය්‍යකාන්ත (ආර්‍ය්‍යයන් විසින් කැමති වන ලද) ශීලයෙන් යුතු වීම මැනවි. දේවානමින්‍ද, මෙසේ ආර්‍ය්‍යකාන්ත ශීලයෙන් යුතු වීම හේතු කොට මෙහි ඇතැම් සත්ත්‍ව කෙනෙක් කාබුන් මරණින් මතු සුගති සගලොවට පැමිණෙති යි.
නිදුකාණෙනි මොග්ගල්ලානයෙනි, බුදුන් කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වීම මැනවි. ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙනුදු ... දෙවිමිනිසුන්ට ශාස්තෲහ, බුද්ධයහ, භගවත්හ යි. නිදුකාණෙනි මොග්ගල්ලානයෙනි, මෙසේ බුදුන් කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වීම හේතු කොට මෙහි ඇතැම් සත්ත්‍ව කෙනෙක් කාබුන් මරණින් මතු සුගති සගලොවට පැමිණෙත්. නිදුකාණෙනි මොග්ගල්ලානයෙනි, දහම්හි ගුණ දැන පැහැදීමෙන් යුතු වීම මැනවි. භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්‍මය ස්වාඛාත ය ... නුවණැත්තන් විසින් තමතමා කෙරෙහි ලා දත යුත්තේ ය යි. නිදුකාණෙනි මොග්ගල්ලානයෙනි, මෙසේ දහම්හි ගුණ දැන පැහැදීමෙන් යුතු වීම හේතු කොට මෙහි ඇතැම් සත්ත්‍ව කෙනෙක් කාබුන් මරණින් මතු සුගති සගලොවට පැමිණෙත්. නිදුකාණෙනි මොග්ගල්ලානයෙනි, සඟුන් කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වීම මැනවි. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සඞ්ඝ තෙමේ සුප්‍රතිපන්න ය ... ලෝකයාට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍රය යි. නිදුකාණෙනි මොග්ගල්ලානයෙනි, මෙසේ සඟුන් කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වීම හේතු කොට මෙහි ඇතැම් සත්ත්‍ව කෙනෙක් කාබුන් මරණින් මතු සුගති සගලොවට පැමිණෙත්. නිදුකාණෙනි මොග්ගල්ලානයෙනි, නො කඩ වූ ... සමාධිය පිණිස පවත්නා ආර්‍ය්‍යයන් විසින් කැමති වන ලද ශීලයෙන් යුතු වීම මැනවි. නිදුකාණෙනි මොග්ගල්ලානයෙනි, මෙසේ ආර්‍ය්‍යකාන්ත ශීලයෙන් යුතු වීම හේතු කොට මෙහි ඇතැම් සත්ත්‍ව කෙනෙක් කාබුන් මරණින් මතු සුගති සගලොවට පැමිණෙති යි.
6. 1. 13.
චතුත්‍ථ සක්ක සූත්‍රය
360. ඉක්බිති සක් දෙව් රජ සසියයක් දෙවියන් සමග ... ඉක්බිති සක් දෙව් රජ සත්සියයක් දෙවියන් සමග ... ඉක්බිති සක් දෙව් රජ අටසියයක් දෙවියන් සමග ... ඉක්බිති සක් දෙව් රජ අසූදහසක් දෙවියන් සමග ආයුෂ්මත් මහමුගලන් තෙරණුවන් වෙත එළඹියේ ය. එළඹ ආයුෂ්මත් මහමුගලන් තෙරණුවන් වැඳ එකත්පස් ව සිටියේ ය. එකත්පස් ව සිටි සක්දෙව් රජුට ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ මෙය වදාළහ:
දේවානමින්‍ද, බුදුන් කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වීම මැනවි. ඒ භගවත්හු මෙකරුණෙනුදු ... දෙවිමිනිසුන්ට ශාස්තෲහ, බුද්ධයහ, භගවත්හ යි. දේවානමින්‍ද, මෙසේ බුදුන් කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වීම හේතු කොට මෙහි ඇතැම් සත්ත්‍ව කෙනෙක් කාබුන් මරණින් මතු සුගති සගලොවට පැමිණෙත්. දේවානමින්‍ද, දහම්හි ගුණ දැන පැහැදීමෙන් යුතු වීම මැනවි. භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්‍මය ස්වාඛාත ය ... නුවණැත්තන් විසින් තමතමා කෙරෙහි ලා දත යුත්තේ ය යි. දේවානමින්‍ද, මෙසේ දහම්හි ගුණ දැන පැහැදීමෙන් යුතු වීම හේතු කොට මෙහි ඇතැම් සත්ත්‍ව කෙනෙක් කාබුන් මරණින් මතු සුගති සගලොවට පැමිණෙත්.දේවානමින්‍ද, සඟුන් කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වීම මැනවි. භගවත්හුගේ ශ්‍රාවක සඞ්ඝ තෙමේ සුප්‍රතිපන්න ය ... ලෝකයාට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍රය යි. දේවානමින්‍ද, මෙසේ සඟුන් කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වීම හේතු කොට මෙහි ඇතැම් සත්ත්‍ව කෙනෙක් කාබුන් මරණින් මතු සුගති සගලොවට පැමිණෙත්. දේවානමින්‍ද, නො කඩ වූ ... සමාධිය පිණිස පවත්නා වූ ආර්‍ය්‍යකාන්ත ශීලයෙන් යුතු වීම මැනවි. දේවානමින්‍ද, මෙසේ ආර්‍ය්‍යකාන්ත ශීලයෙන් යුතු වීම හේතු කොට මෙහි ඇතැම් සත්ත්‍ව කෙනෙක් කාබුන් මරණින් මතු සුගති සගලොවට පැමිණෙති යි.
නිදුකාණෙනි මොග්ගල්ලානයෙනි, බුදුන් කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වීම මැනවි. ඒ භගවත්හු මෙකරුණෙනුදු ... දෙවිමිනිසුන්ට ශාස්තෲහ, බුද්ධයහ, භගවත්හ යි. නිදුකාණෙනි මොග්ගල්ලානයෙනි, මෙසේ බුදුන් කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වීම හේතු කොට මෙහි ඇතැම් සත්ත්‍ව කෙනෙක් කාබුන් මරණින් මතු සුගති සගලොවට පැමිණෙත්. නිදුකාණෙනි මොග්ගල්ලානයෙනි, දහම්හි ගුණ දැන පැහැදීමෙන් යුතු වීම මැනවි. භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්‍මය ස්වාඛාත ය ... නුවණැත්තන් විසින් තමතමා කෙරෙහි ලා දත යුත්තේ ය යි. නිදුකාණෙනි මොග්ගල්ලානයෙනි, මෙසේ දහම්හි ගුණ දැන පැහැදීමෙන් යුතු වීම හේතු කොට මෙහි ඇතැම් සත්ත්‍ව කෙනෙක් කාබුන් මරණින් මතු සුගති සගලොවට පැමිණෙත්. නිදුකාණෙනි මොග්ගල්ලානයෙනි, සඟුන් කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වීම මැනවි. භගවත්හුගේ ශ්‍රාවක සඞ්ඝ තෙමේ සුප්‍රතිපන්න ය ... ලෝකයාට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍රය යි. නිදුකාණෙනි මොග්ගල්ලානයෙනි, සඟුන් කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වීම හේතු කොට මෙහි ඇතැම් සත්ත්‍ව කෙනෙක් කාබුන් මරණින් මතු සුගති සගලොවට පැමිණෙත්. නිදුකාණෙනි මොග්ගල්ලානයෙනි, නො කඩ වූ ... සමාධිය පිණිස පවත්නා ආර්‍ය්‍යකාන්ත ශීලයෙන් යුතු වීම මැනවි. නිදුකාණෙනි මොග්ගල්ලානයෙනි, මෙසේ ආර්‍ය්‍යකාන්ත ශීලයෙන් යුතු වීම හේතු කොට මෙහි ඇතැම් සත්ත්‍ව කෙනෙක් කාබුන් මරණින් මතු සුගති සගලොවට පැමිණෙති යි.
6. 1. 14.
පංචම සක්ක සූත්‍රය
361. ඉක්බිති සක් දෙව් රජ පන්සියයක් දෙවියන් සමග ආයුෂ්මත් මහමුගලන් තෙරණුවන් වෙත එළඹියේ ය. ... එකත්පස් ව සිටි සක්දෙව් රජුට ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ මෙය වදාළහ: දේවානමින්‍ද, බුදුන් සරණ යෑම මැනවි. දේවානමින්‍ද, මෙසේ බුදුන් සරණ යෑම හේතු කොට මෙහි ඇතැම් සත්ත්‍ව කෙනෙක් කාබුන් මරණින් මතු සුගති සගලොවට පැමිණෙත්. ඔහු දිව්‍යමය ආයුෂයෙන් ද දිව්‍යමය වර්‍ණයෙන් ද දිව්‍යමය සුවයෙන් ද දිව්‍යමය යසසින් ද දිව්‍යමය අධිපති භාවයෙන් ද දිව්‍යමය රූපයෙන් ද දිව්‍යමය ශබ්දයෙන් ද දිව්‍යමය ගන්‍ධයෙන් ද දිව්‍යමය රසයෙන් ද දිව්‍යමය ස්ප්‍රෂ්ටව්‍යයෙන් ද යන දශ කරුණින් අන් දෙවියන් යටපත් කෙරෙත්.
දේවානමින්‍ද, දහම් සරණ යෑම මැනවි. දේවානමින්‍ද, මෙසේ දහම් සරණ යෑම හේතු කොට මෙහි ඇතැම් සත්ත්‍ව කෙනෙක් කාබුන් මරණින් මතු සුගති සග ලොවට පැමිණෙත්. ඔහු දිව්‍යමය ආයුෂයෙන් ද දිව්‍යමය වර්‍ණයෙන් ද දිව්‍යමය සුවයෙන් ද දිව්‍යමය යසසින් ද දිව්‍යමය අධිපති භාවයෙන් ද දිව්‍යමය රූපයෙන් ද දිව්‍යමය ශබ්දයෙන් ද දිව්‍යමය ගන්‍ධයෙන් ද දිව්‍යමය රසයෙන් ද දිව්‍යමය ස්ප්‍රෂ්ටව්‍යයෙන් ද යන දශ කරුණින් අන් දෙවියන් යටපත් කෙරෙත්.
දේවානමින්‍ද, සඟුන් සරණ යෑම මැනවි. දේවානමින්‍ද, මෙසේ සඟුන් සරණ යෑම හේතු කොට මෙහි ඇතැම් සත්ත්‍ව කෙනෙක් කාබුන් මරණින් මතු සුගති සගලොවට පැමිණෙත්. ඔහු දිව්‍යමය ආයුෂයෙන් ද දිව්‍යමය වර්‍ණයෙන් ද දිව්‍යමය සුවයෙන් ද දිව්‍යමය යසසින් ද දිව්‍යමය අධිපති භාවයෙන් ද දිව්‍යමය රූපයෙන් ද දිව්‍යමය ශබ්දයෙන් ද දිව්‍යමය ගන්‍ධයෙන් ද දිව්‍යමය රසයෙන් ද දිව්‍යමය ස්ප්‍රෂ්ටව්‍යයෙන් ද යන දශ කරුණින් අන් දෙවියන් යටපත් කෙරෙත්.
නිදුකාණෙනි මොග්ගල්ලානයෙනි, බුදුන් සරණ යෑම මැනවි. නිදුකාණෙනි මොග්ගල්ලානයෙනි, මෙසේ බුදුන් සරණ යෑම හේතු කොට මෙහි ඇතැම් සත්ත්‍ව කෙනෙක් කාබුන් මරණින් මතු සුගති සගලොවට පැමිණෙත්. ඔහු දිව්‍යමය ආයුෂයෙන් ... දිව්‍යමය ස්ප්‍රෂ්ටව්‍යයෙන් ද යන දශ කරුණින් සෙසු දෙවියන් යටපත් කෙරෙත්. නිදුකාණෙනි මොග්ගල්ලානයෙනි, දහම් සරණ යෑම මැනවි. ... නිදුකාණෙනි මොග්ගල්ලානයෙනි, සඟුන් සරණ යෑම මැනවි. නිදුකාණෙනි මොග්ගල්ලානයෙනි, මෙසේ සඟුන් සරණ යෑම හේතු කොට මෙහි ඇතැම් සත්ත්‍ව කෙනෙක් කාබුන් මරණින් මතු සුගති සගලොවට පැමිණෙත්. ඔහු දිව්‍යමය ආයුෂයෙන් ද දිව්‍යමය වර්‍ණයෙන් ද දිව්‍යමය සුවයෙන් ද දිව්‍යමය යසසින් ද දිව්‍යමය අධිපති භාවයෙන් ද දිව්‍යමය රූපයෙන් ද දිව්‍යමය ශබ්දයෙන් ද දිව්‍යමය ගන්‍ධයෙන් ද දිව්‍යමය රසයෙන් ද දිව්‍යමය ස්ප්‍රෂ්ටව්‍යයෙන් ද යන දශ කරුණින් අන් දෙවියන් යටපත් කෙරෙතියි.
6. 1. 15.
ඡට්ඨ සක්ක සූත්‍රය
362. ඉක්බිති සක් දෙව් රජ සසියයක් දෙවියන් සමග … ඉක්බිති සක් දෙව් රජ සත්සියයක් දෙවියන් සමග ... ඉක්බිති සක් දෙව් රජ අටසියයක් දෙවියන් සමග … ඉක්බිති සක් දෙව් රජ අසූදහසක් දෙවියන් සමග ආයුෂ්මත් මහමුගලන් තෙරණුවන් වෙත එළඹියේ ය. එළඹ ආයුෂ්මත් මහමුගලන් තෙරණුවන් වැඳ එකත්පස් ව සිටියේ ය. එකත්පස් ව සිටි සක්දෙව් රජුට ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ මෙය වදාළහ:
දේවානමින්‍ද, බුදුන් සරණ යෑම මැනවි. දේවානමින්‍ද, මෙසේ බුදුන් සරණ යෑම හේතු කොට මෙහි ඇතැම් සත්ත්‍ව කෙනෙක් කාබුන් මරණින් මතු සුගති සගලොවට පැමිණෙත්. ඔහු දිව්‍යමය ආයුෂයෙන් ... දිව්‍යමය ස්ප්‍රෂ්ටව්‍යයෙන් ද යන දශ කරුණින් සෙසු දෙවියන් යටපත් කෙරෙත්. දේවානමින්‍ද, දහම් සරණ යෑම මැනවි ... දේවානමින්‍ද, සඟ සරණ යෑම මැනවි. දේවානමින්‍ද, මෙසේ සඟ සරණ යෑම හේතු කොට මෙහි ඇතැම් සත්ත්‍ව කෙනෙක් කාබුන් මරණින් මතු සුගති සග ලොවට පැමිණෙත්. ඔහු දිව්‍යමය ආයුෂයෙන් ද දිව්‍යමය වර්‍ණයෙන් ද දිව්‍යමය සුවයෙන් ද දිව්‍යමය යසසින් ද දිව්‍යමය අධිපති භාවයෙන් ද දිව්‍යමය රූපයෙන් ද දිව්‍යමය ශබ්දයෙන් ද දිව්‍යමය ගන්‍ධයෙන් ද දිව්‍යමය රසයෙන් ද දිව්‍යමය ස්ප්‍රෂ්ටව්‍යයෙන් ද යන දශ කරුණින් අන් දෙවියන් යටපත් කෙරෙති යි.
නිදුකාණෙනි මොග්ගල්ලානයෙනි, බුදුන් සරණ යෑම මැනවි. ... නිදුකාණෙනි මොග්ගල්ලානයෙනි, දහම් සරණ යෑම මැනවි. ... නිදුකාණෙනි මොග්ගල්ලානයෙනි, සඟ සරණ යෑම මැනවි. නිදුකාණෙනි මොග්ගල්ලානයෙනි, මෙසේ සඟ සරණ යෑම හේතු කොට මෙහි ඇතැම් සත්ත්‍ව කෙනෙක් කාබුන් මරණින් මතු සුගති සගලොවට පැමිණෙත්. ඔහු දිව්‍යමය ආයුෂයෙන් ද දිව්‍යමය වර්‍ණයෙන් ද දිව්‍යමය සුවයෙන් ද දිව්‍යමය යසසින් ද දිව්‍යමය ආධිපත්‍යයෙන් ද දිව්‍යමය රූපයෙන් ද දිව්‍යමය ශබ්දයෙන් ද දිව්‍යමය ගන්‍ධයෙන් ද දිව්‍යමය රසයෙන් ද දිව්‍යමය ස්ප්‍රෂ්ටව්‍යයෙන් ද යන දශ කරුණින් සෙසු දෙවියන් යටපත් කෙරෙතියි.
6. 1. 16.
සත්තම සක්ක සූත්‍රය
363. ඉක්බිති සක්දෙව් රජ පන්සියයක් දෙවියන් සමග ආයුෂ්මත් මහමුගලන් තෙරණුවන් වෙත එළඹියේ ය. එළඹ ආයුෂ්මත් මහමුගලන් තෙරණුවන් වැඳ එකත්පස් ව සිටියේ ය. එකත්පස් ව සිටි සක්දෙව් රජුට ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ මෙය වදාළහ:
දේවානමින්‍ද, බුදුන් කෙරෙහි නො සැලෙන පැහැදීමෙන් යුතු වීම මැනවි. ඒ භගවත්හු මෙකරුණෙනුදු ... දෙවිමිනිසුන්ට ශාස්තෲහ, බුද්ධයහ, භගවත්හ යි. දේවානමින්‍ද, මෙසේ බුදුන් කෙරෙහි නො සැලෙන පැහැදීමෙන් යුතු වීම හේතු කොට මෙහි ඇතැම් සත්ත්‍ව කෙනෙක් කාබුන් මරණින් මතු සුගති සගලොවට පැමිණෙත්. ඔහු දිව්‍යමය ආයුෂයෙන් ... දිව්‍යමය ස්ප්‍රෂ්ටව්‍යයෙන් ද යන දශ කරුණින් සෙසු දෙවියන් යටපත් කෙරෙත්. දේවානමින්‍ද, දහම්හි නො සැලෙන පැහැදීමෙන් යුතු වීම මැනවි. … දේවානමින්‍ද, සඟුන් කෙරෙහි නො සැලෙන පැහැදීමෙන් යුතු වීම මැනවි.
දේවානමින්‍ද, නො කඩ වූ ... සමාධිය පිණිස පවත්නා ආර්‍ය්‍යකාන්ත ශීලයෙන් යුතු වීම මැනවි. දේවානමින්‍ද, මෙසේ ආර්‍ය්‍යකාන්ත ශීලයෙන් යුතු වීම හේතු කොට මෙහි ඇතැම් සත්ත්‍ව කෙනෙක් කාබුන් මරණින් මතු සුගති සගලොවට පැමිණෙති යි. ඔහු දිව්‍යමය ආයුෂයෙන් ද දිව්‍යමය වර්‍ණයෙන් ද දිව්‍යමය සුවයෙන් ද දිව්‍යමය යසසින් ද දිව්‍යමය ආධිපත්‍යයෙන් ද දිව්‍යමය රූපයෙන් ද දිව්‍යමය ශබ්දයෙන් ද දිව්‍යමය ගන්‍ධයෙන් ද දිව්‍යමය රසයෙන් ද දිව්‍යමය ස්ප්‍රෂ්ටව්‍යයෙන් ද යන දශ කරුණින් සෙසු දෙවියන් යටපත් කෙරෙති යි.
නිදුකාණෙනි මොග්ගල්ලානයෙනි, බුදුන් කෙරෙහි නො සැලෙන පැහැදීමෙන් යුතු වීම මැනවි. ඒ භගවත්හු මෙකරුණෙනුදු ... දෙවිමිනිසුන්ට ශාස්තෲහ, බුද්ධයහ, භගවත්හ යි. නිදුකාණෙනි මොග්ගල්ලානයෙනි, මෙසේ බුදුන් කෙරෙහි නො සැලෙන පැහැදීමෙන් යුතු වීම හේතු කොට මෙහි ඇතැම් සත්ත්‍ව කෙනෙක් කාබුන් මරණින් මතු සුගති සගලොවට පැමිණෙත්. ඔහු දිව්‍යමය ආයුෂයෙන් ... දිව්‍යමය ස්ප්‍රෂ්ටව්‍යයෙන් ද යන දශ කරුණෙන් සෙසු දෙවියන් යටපත් කෙරෙති.
නිදුකාණෙනි මොග්ගල්ලානයෙනි, දහම්හි නො සැලෙන පැහැදීමෙන් යුතු වීම මැනවි. භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්‍මය ස්වාඛාත ය ... නුවණැත්තන් විසින් තමතමා කෙරෙහි ලා දත යුත්තේ ය යි. නිදුකාණෙනි මොග්ගල්ලානයෙනි, මෙසේ දහම්හි නො සැලෙන පැහැදීමෙන් යුතු වීම හේතු කොට මෙහි ඇතැම් සත්ත්‍ව කෙනෙක් කාබුන් මරණින් මතු සුගති සගලොවට පැමිණෙත්. ඔහු දිව්‍යමය ආයුෂයෙන් ... දිව්‍යමය ස්ප්‍රෂ්ටව්‍යයෙන් ද යන දශ කරුණින් සෙසු දෙවියන් යටපත් කෙරෙත්.
නිදුකාණෙනි මොග්ගල්ලානයෙනි, සඟුන් කෙරෙහි නො සැලෙන පැහැදීමෙන් යුතු වීම මැනවි. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සඞ්ඝ තෙමේ සුප්‍රතිපන්න ය ... ලෝකයාට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍රය යි. නිදුකාණෙනි මොග්ගල්ලානයෙනි, මෙසේ සඟුන් කෙරෙහි නො සැලෙන පැහැදීමෙන් යුතු වීම හේතු කොට මෙහි ඇතැම් සත්ත්‍ව කෙනෙක් කාබුන් මරණින් මතු සුගති සගලොවට පැමිණෙත්. ඔහු දිව්‍යමය ආයුෂයෙන් ද ... දිව්‍යමය ස්ප්‍රෂ්ටව්‍යයෙන් ද යන දශ කරුණෙන් සෙසු දෙවියන් යටපත් කෙරෙත්.
නිදුකාණෙනි මොග්ගල්ලානයෙනි, නො කඩ වූ ... සමාධිය පිණිස පවත්නා වූ ආර්‍ය්‍යකාන්ත ශීලයෙන් යුතු වීම මැනවි. නිදුකාණෙනි මොග්ගල්ලානයෙනි, මෙසේ ආර්‍ය්‍යකාන්ත ශීලයෙන් යුතු වීම හේතු කොට මෙහි ඇතැම් සත්ත්‍ව කෙනෙක් කාබුන් මරණින් මතු සුගති සග ලොවට පැමිණෙත්. ඔහු දිව්‍යමය ආයුෂයෙන් ද දිව්‍යමය වර්‍ණයෙන් ද දිව්‍යමය සුවයෙන් ද දිව්‍යමය යසසින් ද දිව්‍යමය ආධිපත්‍යයෙන් ද දිව්‍යමය රූපයෙන් ද දිව්‍යමය ශබ්දයෙන් ද දිව්‍යමය ගන්‍ධයෙන් ද දිව්‍යමය රසයෙන් ද දිව්‍යමය ස්ප්‍රෂ්ටව්‍යයෙන් ද යන දශ කරුණින් සෙසු දෙවියන් යටපත් කෙරෙති යි.
6. 1. 17.
අට්ඨම සක්ක සූත්‍රය
364. ඉක්බිති සක් දෙව් රජ සසියයක් දෙවියන් සමග ... ඉක්බිති සක් දෙව් රජ සත්සියයක් දෙවියන් සමග ... ඉක්බිති සක් දෙව් රජ අටසියයක් දෙවියන් සමග ... ඉක්බිති සක් දෙව් රජ අසූදහසක් දෙවියන් සමග ආයුෂ්මත් මහමුගලන් තෙරණුවන් වෙත එළඹියේ ය. එළඹ ආයුෂ්මත් මහමුගලන් තෙරණුවන් වැඳ එකත්පස් ව සිටියේ ය. එකත්පස් ව සිටි සක්දෙව් රජුට ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ මෙය වදාළහ:
දේවානමින්‍ද, බුදුන් කෙරෙහි නො සැලෙන පැහැදීමෙන් යුතු වීම මැනවි. ඒ භගවත්හු මෙකරුණෙනුදු අර්‍හත්හ, සම්මා සම්බුද්ධයහ, විජ්ජාචරණ සම්පන්නයහ, සුගතයහ, ලෝක විදූහ, අනුත්තර පුරිසදම්මසාරථීහ, දෙවිමිනිසුන්ට ශාස්තෲහ, බුද්ධයහ, භගවත්හ යි. දේවානමින්‍ද, මෙසේ බුදුන් කෙරෙහි නො සැලෙන පැහැදීමෙන් යුතු වීම හේතු කොට මෙහි ඇතැම් සත්ත්‍ව කෙනෙක් කාබුන් මරණින් මතු සුගති සගලොවට පැමිණෙත්. ඔහු දිව්‍යමය ආයුෂයෙන් ද දිව්‍යමය වර්‍ණයෙන් ද දිව්‍යමය සුවයෙන් ද දිව්‍යමය යසසින් ද දිව්‍යමය ආධිපත්‍යයෙන් ද දිව්‍යමය රූපයෙන් ද දිව්‍යමය ශබ්දයෙන් ද දිව්‍යමය ගන්‍ධයෙන් ද දිව්‍යමය රසයෙන් ද දිව්‍යමය ස්ප්‍රෂ්ටව්‍යයෙන් ද යන දශ කරුණින් සෙසු දෙවියන් යටපත් කෙරෙති.
දේවානමින්‍ද, දහම්හි නො සැලෙන පැහැදීමෙන් යුතු වීම මැනවි. භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්‍මය ස්වාඛාත ය, සාන්දෘෂ්ටික ය, අකාලික ය, ඒහිපස්සික ය, ඕපනයික ය, නුවණැත්තන් විසින් තමතමා කෙරෙහි ලා දත යුත්තේ ය යි. දේවානමින්‍ද, මෙසේ දහම්හි නො සැලෙන පැහැදීමෙන් යුතු වීම හේතු කොට මෙහි ඇතැම් සත්ත්‍ව කෙනෙක් කාබුන් මරණින් මතු සුගති සග ලොවට පැමිණෙත්. ඔහු දිව්‍යමය ආයුෂයෙන් ද ... දිව්‍යමය ස්ප්‍රෂ්ටව්‍යයෙන් ද යන දශ කරුණින් සෙසු දෙවියන් යටපත් කෙරෙති.
දේවානමින්‍ද, සඟුන් කෙරෙහි නො සැලෙන පැහැදීමෙන් යුතු වීම මැනවි. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සඞ්ඝ තෙමේ සුප්‍රතිපන්න ය, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සඞ්ඝ තෙමේ ඍජුප්‍රතිපන්න ය, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සඞ්ඝ තෙමේ ඤායප්‍රතිපන්න ය, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සඞ්ඝ තෙමේ සාමීචිප්‍රතිපන්න ය, යම් මේ පුරුෂ යුග සතරෙක් වේ නම් (එහි) පුරුෂ පුද්ගලයෝ අට දෙනෙකි, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සඞ්ඝ තෙමේ ආහුනෙය්‍යහ ය, පාහුනෙය්‍යහ ය, දක්‍ෂිණාර්‍හ ය, අඤ්ජලිකරණීයහ ය, ලෝකයාට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍රය යි. දේවානමින්‍ද, මෙසේ සඟුන් කෙරෙහි නො සැලෙන පැහැදීමෙන් යුතු වීම හේතු කොට මෙහි ඇතැම් සත්ත්‍ව කෙනෙක් කාබුන් මරණින් මතු සුගති සගලොවට පැමිණෙත්. ඔහු දිව්‍යමය ආයුෂයෙන් ද ... දිව්‍යමය ස්ප්‍රෂ්ටව්‍යයෙන් ද යන දශ කරුණින් සෙසු දෙවියන් යටපත් කෙරෙත්.දේවානමින්‍ද, නො කඩ වූ නො සිදුරු වූ නො කැලැල් වූ නො කබර වූ නිදහස් වූ නුවණැත්තන් විසින් පසස්නා ලද, තෘෂ්ණා දෘෂ්ටීන් නො පහස්නා ලද සමාධිය පිණිස පවත්නා ආර්‍ය්‍යකාන්ත ශීලයෙන් යුතු වීම මැනවි. දේවානමින්‍ද, මෙසේ ආර්‍ය්‍යකාන්ත ශීලයෙන් යුතු වීම හේතු කොට මෙහි ඇතැම් සත්ත්‍ව කෙනෙක් කාබුන් මරණින් මතු සුගති සගලොවට පැමිණෙත්. ඔහු දිව්‍යමය ආයුෂයෙන් ද දිව්‍යමය වර්‍ණයෙන් ද දිව්‍යමය සුවයෙන් ද දිව්‍යමය යසසින් ද දිව්‍යමය ආධිපත්‍යයෙන් ද දිව්‍යමය රූපයෙන් ද දිව්‍යමය ශබ්දයෙන් ද දිව්‍යමය ගන්‍ධයෙන් ද දිව්‍යමය රසයෙන් ද දිව්‍යමය ස්ප්‍රෂ්ටව්‍යයෙන් ද යන දශ කරුණින් සෙසු දෙවියන් යටපත් කෙරෙති යි.
නිදුකාණෙනි මොග්ගල්ලානයෙනි, බුදුන් කෙරෙහි නො සැලෙන පැහැදීමෙන් යුතු වීම මැනවි. ඒ භගවත්හු මෙකරුණෙනුදු ... දෙවිමිනිසුන්ට ශාස්තෲහ, බුද්ධයහ, භගවත්හ යි. නිදුකාණෙනි මොග්ගල්ලානයෙනි, මෙසේ බුදුන් කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වීම හේතු කොට මෙහි ඇතැම් සත්ත්‍ව කෙනෙක් කාබුන් මරණින් මතු සුගති සගලොවට පැමිණෙත්. ඔහු දිව්‍යමය ආයුෂයෙන් ද ... ස්ප්‍රෂ්ටව්‍යයෙන් ද යන දශ කරුණින් සෙසු දෙවියන් යටපත් කෙරෙත්.
නිදුකාණෙනි මොග්ගල්ලානයෙනි, දහම්හි නො සැලෙන පැහැදීමෙන් යුතු වීම මැනවි. භගවත්හු විසින් ධර්‍මය ස්වාඛාත ය ... විඥයන් විසින් තමතමා කෙරෙහි ලා දත යුත්තේ ය යි. නිදුකාණෙනි මොග්ගල්ලානයෙනි, මෙසේ දහම්හි නො සැලෙන පැහැදීමෙන් යුතු වීම හේතු කොට මෙහි ඇතැම් සත්ත්‍ව කෙනෙක් කාබුන් මරණින් මතු සුගති සගලොවට පැමිණෙත්. ඔහු දිව්‍යමය ආයුෂයෙන් ද ... දිව්‍යමය ස්ප්‍රෂ්ටව්‍යයෙන් ද යන දශ කරුණින් සෙසු දෙවියන් යටපත් කෙරෙත්.
නිදුකාණෙනි මොග්ගල්ලානයෙනි, සඟුන් කෙරෙහි නො සැලෙන පැහැදීමෙන් යුතු වීම මැනවි. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සඞ්ඝ තෙමේ සුප්‍රතිපන්න ය, ... ලෝකයාට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍රය යි. නිදුකාණෙනි මොග්ගල්ලානයෙනි, මෙසේ සඟුන් කෙරෙහි නො සැලෙන පැහැදීමෙන් යුතු වීම හේතු කොට මෙහි ඇතැම් සත්ත්‍ව කෙනෙක් කාබුන් මරණින් මතු සුගති සගලොවට පැමිණෙත්. ඔහු දිව්‍යමය ආයුෂයෙන් ද ... දිව්‍යමය ස්ප්‍රෂ්ටව්‍යයෙන් ද යන දශ කරුණින් සෙසු දෙවියන් යටපත් කෙරෙත්.
නිදුකාණෙනි මොග්ගල්ලානයෙනි, නො කඩ වූ ... සමාධිය පිණිස පවත්නා ආර්‍ය්‍යකාන්ත ශීලයෙන් යුතු වීම මැනවි. නිදුකාණෙනි මොග්ගල්ලානයෙනි, මෙසේ ආර්‍ය්‍යකාන්ත ශීලයෙන් යුතු වීම හේතු කොට මෙහි ඇතැම් සත්ත්‍ව කෙනෙක් කාබුන් මරණින් මතු සුගති සගලොවට පැමිණෙත්. ඔහු දිව්‍යමය ආයුෂයෙන් ද දිව්‍යමය වර්‍ණයෙන් ද දිව්‍යමය සුවයෙන් ද දිව්‍යමය යසසින් ද දිව්‍යමය ආධිපත්‍යයෙන් ද දිව්‍යමය රූපයෙන් ද දිව්‍යමය ශබ්දයෙන් ද දිව්‍යමය ගන්‍ධයෙන් ද දිව්‍යමය රසයෙන් ද දිව්‍යමය ස්ප්‍රෂ්ටව්‍යයෙන් ද යන දශ කරුණින් සෙසු දෙවියන් යටපත් කෙරෙති යි.