Saṁyutta Nikāya

Connected Discourses

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-30 · 15083 segments

පෙන්වන කොටස් 10601-10700 න් 15083

මහණෙනි, සාමිස උපේක්‍ෂාව කවර ද යත්: මහණෙනි, මේ කම්ගුණ පසෙකි. කවර පසෙක් ද යත්: ඉටු කැමති මනවඩන ප්‍රියස්වරූප වු කාමයෙන් යුත් ඇලුම් කටයුතු කයින් දතයුතු රූපය … ඉටු කැමති මනවඩන ප්‍රියස්වරූප වු කාමයෙන් යුත් ඇලුම් කටයුතු කයින් දතයුතු පහස් ය. මහණෙනි, මොහු පස්කම්ගුණයෝ ය. මහණෙනි, මේ පස්කම්ගුණ නිසා යම් උපේක්‍ෂාවක් උපදී නම්, මහණෙනි, මෙය සාමිස උපේක්‍ෂා ය යි කියනු ලැබේ.
මහණෙනි, නිරාමිස උපේක්‍ෂාව කවර යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ සුවයත් පැහීමෙන් දුකත් පැහීමෙන් පළමු මැ සොම්නස් දොම්නසුන්ගේ අභාවයෙන් නොදුක් වූ නොසුව වූ උපේක්‍ෂාවෙන් හා සිහියෙන් හටගත් පිරිසිදු බැව් ඇති සිවුවන දැහැනට එළඹ වෙසෙයි. මහණෙනි, මේ නිරාමිස උපේක්‍ෂාව ය යි කියනු ලැබේ.
මහණෙනි, නිරාසාමිස උපේක්‍ෂාවට වඩා වැඩි වූ නිරාමිසතර උපේක්‍ෂාව කවර යත්: මහණෙනි, රාගයෙන් මිදුණු සිත පස්විකන දෝසයෙන් මිදුණු සිත පස්විකන මෝහයෙන් මිදුණු සිත පස්විකන රහත් මහණහට යම් උපේක්‍ෂාවක් උපදී ද, මහණෙනි, මේ නිරාමිස උපේක්‍ෂාවට වැඩි වූ නිරාමිසතර උපේක්‍ෂාව ය යි කියනු ලැබේ.
මහණෙනි, සාමිස විමෝක්‍ෂය කවරේ ද යත්: රූපයෙන් යුත් විමෝක්‍ෂය සාමිස විමෝක්‍ෂ යි. මහණෙනි, නිරාමිස විමෝක්‍ෂය කවරේ ද යත්: අරූපයෙන් යුත් විමෝක්‍ෂය නිරාමිස විමෝක්‍ෂ යි. මහණෙනි, නිරාමිස විමෝක්‍ෂයට වඩා වැඩි වූ නිරාමිසතර විමෝක්‍ෂය කවරේ ද යත්: මහණෙනි, රාගයෙන් මිදුණු සිත පස්කවින දෝසයෙන් මිදුණු සිත පස්කවින මෝහයෙන් මිදුණු සිත පස්කවින රහත් මහණ හට යම් විමෝක්‍ෂයෙක් උපදී ද, මහණෙනි, මේ නිරාමිස විමෝක්‍ෂයට වඩා වැඩි වූ නිරාමිසතර විමෝක්‍ෂ යි කියනු ලැබේ.
තෙවැනි වූ අට්ඨසතපරියායවර්‍ග යි.
එහි සූත්‍රනාමාවලිය:
සීවක අට්ඨසත භික්ඛු පුබ්බේඤාණ සම්බහුලභික්ඛු යන සූත්‍ර සය ද සමණබ්‍රාහ්මණ සූත්‍ර තුන ද ශුද්ධික නිරාමිස සූත්‍ර දෙක දැ යි එකොළොසෙකි.
වේදනා සංයුත්තය නිමි.
3. මාතුගාම සංයුත්තය
1. මාතුගාම වර්‍ගය
3. 1. 1.
මාතුගාම සූත්‍රය
280. මහණෙනි, අඞ්ගපසෙකින් යුත් මාගම පුරුෂයාට ඒකාන්තයෙන් අමනාපවේ. කවර පසෙකින් ද යත්: නො ද රූමත් වේ, නො ද ධනවත් වේ, නො ද සිල්වත් වෙයි, අලසත් වේ, ඔහුට දාව ප්‍රජාවත් නො ලබයි. මහණෙනි, මේ අඞ්ගපසින් යුත් මාගම පුරුෂයාට ඒකාන්තයෙන් අමනාප වේ.
මහණෙනි, අඞ්ගපසෙකින් යුත් මාගම පුරුෂයාට ඒකාන්තයෙන් මනාප වෙයි. කවර පසෙකින් ද යත්: රූමත් ද වෙයි, ධනවත් ද වෙයි, සිල්වත් ද වෙයි, අනලස් ව දක්‍ෂ ද වේ, ඔහුට දාව ප්‍රජාවත් ලබයි. මහණෙනි, මේ අඞ්ග පසින් යුත් මාගම පුරුෂයාට ඒකාන්තයෙන් මනාප වේ යි.
3. 1. 2.
පුරිස සූත්‍රය
281. මහණෙනි, අඞ්ගපසෙකින් යුත් පුරුෂ තෙමේ මාගමට ඒකාන්තයෙන් අමනාප වේ. කවර පසෙකින් ද යත්: නො ද රූමත් වෙයි, නො ද භෝගවත් වෙයි, නො ද සිල්වත් වෙයි, අලසත් වෙයි, ඔහුට (දාව) ප්‍රජාව නො ද ලැබෙයි. මහණෙනි, මේ අඞ්ග පසින් යුත් පුරුෂ තෙමේ මාගමට ඒකාන්තයෙන් අමනාප වේ.
මහණෙනි, අඞ්ගපසෙකින් යුත් පුරුෂ තෙමේ මාගමට ඒකාන්තයෙන් මනාප වේ. කවර පසෙකින් ද යත්: රූමත් ද වෙයි, භෝගවත් ද වෙයි, සිල්වත් ද වෙයි, අනලස් ව දක්‍ෂ ද වෙයි, ඔහුට (දාව) ප්‍රජාව ද ලැබෙයි. මහණෙනි, මේ පස්අඟින් යුත් පුරුෂ තෙමේ මාගමට ඒකාන්තයෙන් මනාප වේ යි.
ආවේණිකදුක්ඛ සූත්‍රය
282. මහණෙනි, පුරුෂයන් හැර මාගම යම් දුක් අනුභව කෙරේ නම් මාගමට උරුම වූ (එබඳු) මේ දුක් පසෙකි. කවර පසෙක් ද යත්: මහණෙනි, මෙහි මාගම තුරුණු වූවා ම සැමිකුලයට යෙයි. නෑයන්ගෙන් වෙන් වෙයි. මහණෙනි, පුරුෂයන් හැර මාගම යම් දුකක් විඳී නම් මාගමට උරුම වූ මේ පළමුවන දුක යි. මහණෙනි, නැවත අනෙකක් ද කියමි. මාගම ඔසප් ඇත්තී වෙයි. මහණෙනි, පුරුෂයන් හැර මාගම යම් දුකක් විඳී නම් මාගමට උරුම වූ මේ දෙවෙනි දුක යි.
මහණෙනි, නැවත අනෙකක් ද කියමි. මාගම ගැබිනි වෙයි. මහණෙනි, පුරුෂයන් හැර මාගම යම් දුකක් විඳී නම් මාගමට උරුම වූ මේ තෙවන දුක යි. මහණෙනි, නැවත අනෙකක් ද කියමි. මාගම (දරුවන්) වදයි. මහණෙනි, පුරුෂයන් හැර මාගම යම් දුකක් විඳී නම් මාගමට උරුම වූ මේ සිවුවන දුක යි. මහණෙනි, නැවත අනෙකක් ද කියමි. මාගම පුරුෂයාගේ පරිචරියාවට එළඹෙයි. මහණෙනි, පුරුෂයන් හැර මාගම යම් දුකක් විඳී නම් මාගමට උරුම වූ මේ පස්වන දුක යි. මහණෙනි, පුරුෂයන් හැර මාගම යම් දුක් විඳී නම් මාගමට උරුම වූ දුක් පස මොහු යි.
3. 1. 4.
තීහි ධම්මේහි සූත්‍රය
283. මහණෙනි, දහම් තුනකින් යුත් මාගම බෙහෙවින් කාබුන් මරණින් මතු සැපයෙන් පහ වූ නපුරු ගති ඇති විවස ව පතිත වන නිරයට පැමිණෙයි. කවර තුනකින් ද යත්: මහණෙනි, මෙහි මාගම පෙරවරු මසුරුමල නැග සිටි සිතින් යුතු ව ගෙහි වෙසෙයි, මද්දහන තරහ නැගි සිතින් යුතු ව ගෙහි වෙසෙයි, සවස කාම රාගය නැගි සිතින් යුතු ව ගෙහි වෙසෙයි. මහණෙනි, මේ තුන් දහමින් යුත් මාගම බෙහෙවින් කාබුන් මරණින් මතු සැපයෙන් පහ වූ නපුරු ගති ඇති විවසව පතිත වන නිරයට පැමිණේ යි.
3. 1. 5.
අනුරුද්ධ සූත්‍රය
284. එකල්හි ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ ... එකත්පස් ව හුන් ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළහ:
වහන්ස, මෙහි මම කාබුන් මරණින් මතු සැපයෙන් පහ වූ නපුරු ගති ඇති විවස ව පතිත වන නිරයට පැමිණෙන මාගමක මිනිසැස ඉක්මවා පැවති පිරිසිදු දිවැසින් දකිමි. වහන්ස, කෙතෙක් දහමින් යුතු මාගම කාබුන් මරණින් මතු සැපයෙන් පහ වූ නපුරු ගති ඇති විවස ව පතිත වන නිරයට පැමිණේ දැ?යි.
අනුරුද්ධ, දහම් පසෙකින් යුතු මාගම කාබුන් මරණින් මතු සැපයෙන් පහ වූ නපුරු ගති ඇති විවස ව පතිත වන නිරයට පැමිණෙයි. කවර පසෙකින් ද යත්: සැදැහැ රහිත වෙයි, ලජ්ජා රහිත වෙයි, බිය රහිත වෙයි, කිපෙනසුලු වෙයි, නුවණ රහිත වෙයි. අනුරුද්ධ, මේ දහම් පසින් යුතු මාගම කාබුන් මරණින් මතු සැපයෙන් පහ වූ නපුරු ගති ඇති විවස ව පතිත වන නිරයට පැමිණේ යි.
3. 1. 6.
කොධන සූත්‍රය
285. මහණෙනි, දහම්පසෙකින් යුතු මාගම කාබුන් මරණින් මතු සැපයෙන් පහ වූ නපුරු ගති ඇති විවස ව පතිත වන නිරයට පැමිණෙයි. කවර පසෙකින් ද යත්: සැදැහැ රහිත වෙයි, ලජ්ජා රහිත වෙයි, බිය රහිත වෙයි, කිපෙනසුලු වෙයි, නුවණ රහිත වෙයි. මහණෙනි, මේ පස්දහමින් යුතු මාගම කාබුන් මරණින් මතු සැපයෙන් පහ වූ නපුරු ගති ඇති විවස ව පතිත වන නිරයට පැමිණේ යි.
3. 1. 7.
උපනාහී සූත්‍රය
286. මහණෙනි, දහම්පසෙකින් යුතු මාගම කාබුන් මරණින් මතු සැපයෙන් පහ වූ නපුරු ගති ඇති විවස ව පතිත වන නිරයට පැමිණෙයි. කවර පසෙකින් ද යත්: සැදැහැ රහිත වෙයි, ලජ්ජා රහිත වෙයි, බිය රහිත වෙයි, බද්ධවෛර සහිත වෙයි, නුවණ රහිත වෙයි. මහණෙනි, මේ පස්දහමින් යුතු මාගම කාබුන් මරණින් මතු සැපයෙන් පහ වූ නපුරු ගති ඇති විවස ව පතිත වන නිරයට පැමිණේ යි.
3. 1. 8.
ඉස්සුකී සූත්‍රය
287. මහණෙනි, දහම් පසෙකින් යුතු මාගම කාබුන් මරණින් මතු සැපයෙන් පහ වූ නපුරු ගති ඇති විවස ව පතිත වන නිරයට පැමිණෙයි. කවර පසෙකින් ද යත්: සැදැහැ රහිත වෙයි, ලජ්ජා රහිත වෙයි, බිය රහිත වෙයි, ඊෂ්‍යර්‍ා සහිත වෙයි, නුවණ රහිත වෙයි. මහණෙනි, මේ පස්දහමින් යුතු මාගම කාබුන් මරණින් මතු සැපයෙන් පහ වූ නපුරු ගති ඇති විවස ව පතිත වන නිරයට පැමිණේ යි.
මච්ඡරී සූත්‍රය
288. මහණෙනි, දහම් පසෙකින් යුතු මාගම කාබුන් මරණින් මතු සැපයෙන් පහ වූ නපුරු ගති ඇති විවස ව පතිත වන නිරයට පැමිණෙයි. කවර පසෙකින් ද යත්: සැදැහැ රහිත වෙයි, ලජ්ජා රහිත වෙයි, බිය රහිත වෙයි, මසුරු වෙයි, නුවණ රහිත වෙයි. මහණෙනි, මේ පස්දහමින් යුතු මාගම කාබුන් මරණින් මතු සැපයෙන් පහ වූ නපුරුගති ඇති විවස ව පතිත වන නිරයට පැමිණේ යි.
3. 1. 10.
අතිචාරී සූත්‍රය
289. මහණෙනි, දහම්පසෙකින් යුතු මාගම කාබුන් මරණින් මතු සැපයෙන් පහ වූ නපුරු ගති ඇති විවස ව පතිත වන නිරයට පැමිණෙයි. කවර පසෙකින් ද යත්: සැදැහැ රහිත වෙයි, ලජ්ජා රහිත වෙයි, බිය රහිත වෙයි, (සැමියා) ඉක්මවා හැසිරෙනසුලු වෙයි, නුවණ රහිත වෙයි. මහණෙනි, මේ දහම් පසින් යුතු මාගම කාබුන් මරණින් මතු සැපයෙන් පහ වූ නපුරු ගති ඇති විවස ව පතිත වන නිරයට පැමිණේ යි.
3. 1. 11.
දුස්සීල සූත්‍රය
290. මහණෙනි, දහම්පසෙකින් යුතු මාගම කාබුන් මරණින් මතු අපාය දුග්ගති විනිපාත නිරයට පැමිණෙයි. කවර පසෙකින් ද යත්: සැදැහැ රහිත වෙයි, ලජ්ජා රහිත වෙයි, බිය රහිත වෙයි, දුසිල් වෙයි, නුවණ රහිත වෙයි. මහණෙනි, මේ පස්දහමින් යුතු මාගම කාබුන් මරණින් මතු අපාය දුග්ගති විනිපාත නිරයට පැමිණේ යි.
3. 1. 12.
අප්පස්සුත සූත්‍රය
291. මහණෙනි, දහම්පසෙකින් යුතු මාගම කාබුන් මරණින් මතු අපාය දුග්ගති විනිපාත නිරයට පැමිණෙයි. කවර පසෙකින් ද යත්: සැදැහැ රහිත වෙයි, ලජ්ජා රහිත වෙයි, බිය රහිත වෙයි, ඇසූ පිරූ තැන් රහිත වෙයි, නුවණ රහිත වෙයි. මහණෙනි, මේ පස්දහමින් යුතු මාගම කාබුන් මරණින් මතු අපාය දුග්ගති විනිපාත නිරයට පැමිණේ යි.
3. 1. 13.
කුසීත සූත්‍රය
292. මහණෙනි, දහම්පසෙකින් යුතු මාගම කාබුන් මරණින් මතු අපාය දුග්ගති විනිපාත නිරයට පැමිණෙයි. කවර පසෙකින් ද යත්: සැදැහැ රහිත වෙයි, ලජ්ජා රහිත වෙයි, බිය රහිත වෙයි, මැලි වෙයි, නුවණ රහිත වෙයි. මහණෙනි, මේ පස්දහමින් යුතු මාගම කාබුන් මරණින් මතු අපාය දුග්ගති විනිපාත නිරයට පැමිණේ යි.
3. 1. 14.
මුට්ඨස්සති සූත්‍රය
293. මහණෙනි, දහම් පසෙකින් යුතු මාගම කාබුන් මරණින් මතු අපාය දුග්ගති විනිපාතවූ නිරයට පැමිණෙයි. කවර පසෙකින් ද යත්: සැදැහැ රහිත වෙයි. ලජ්ජා රහිත වෙයි. බිය රහිත වෙයි. මුළාසිහි ඇති වෙයි. නුවණ රහිත වෙයි. මහණෙනි, මේ පස්දහමින් යුතු මාගම කාබුන් මරණින් මතු අපාය දුග්ගති විනිපාත නිරයට පැමිණේ යි.
3. 1. 15.
පඤ්චවේර සූත්‍රය
294. මහණෙනි, දහම් පසෙකින් යුතු මාගම කාබුන් මරණින් මතු අපාය දුග්ගති විනිපාතවූ නිරයට පැමිණෙයි. කවර පසෙකින් ද යත්: පණිවායෙන් යුක්ත වෙයි. අයිනාදනින් යුක්ත වෙයි. කාමයෙහි වරදවා හැසිරෙන්නී වෙයි. මුසා බණන්නී වෙයි. රහමෙර පානය කරන්නී වෙයි. මහණෙනි, මේ පස් දහමෙන් යුතු මාගම කාබුන් මරණින් මතු අපාය දුග්ගති විනිපාතවූ නිරයට පැමිණේ යි.
පළමුවැනි මාතුගාමවර්‍ග යි.
එහි සූත්‍ර නාමාවලිය:
මාතුගාම, පුරිස, ආවේණික, තීහිධම්මේහි, කොධන, උපනාහී, ඉස්සුකී, මච්ඡරී, අතිචාරී, අනුරුද්ධ, දුස්සීල, අප්පස්සුත, කුසීත, මුට්ඨස්සති, පඤ්චවේර ය යි සූත්‍ර පසළොසකි.
2. අනුරුද්ධ වර්‍ගය
3. 2. 1.
අනුරුද්ධ සූත්‍රය
295. එකල්හි ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. ... එකත්පස්ව හුන් ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළ හ.
වහන්ස, මෙහි මම කාබුන් මරණින් මතු සෝභන ගති ඇති සග ලොවට පැමිණෙන මාගමක මිනිසැස ඉක්මවා පැවැති පිරිසිදු දිවැසින් දකිමි. වහන්ස කෙතෙක් දහමින් යුතු මාගම කාබුන් මරණින් මතු සෝභන ගති ඇති සගලොවට පැමිණේ දැ යි.
අනුරුද්ධ, දහම් පසෙකින් යුතු මාගම කාබුන් මරණින් මතු යහපත් ගති ඇති සගලොවට පැමිණෙ යි. කවර පසකින් ද යත්: සැදැහැ ඇති වෙයි. ලජ්ජා ඇති වෙයි. බිය ඇති වෙයි. නො කිපෙනසුලු වෙයි. නුවණැති වෙයි. අනුරුද්ධ, මේ පස් දහමින් යුතු මාගම කාබුන් මරණින් මතු යහපත් ගති ඇති සගලොවට පැමිණේ යි.
3. 2. 2.
අක්කෝධන සූත්‍රය
296. මහණෙනි දහම් පසෙකින් යුතු මාගම කාබුන් මරණින් මතු සුගති වූ සගලොවට පැමිණෙයි. කවර පසෙකින් ද යත්: සැදැහැ ඇති වෙයි. ලජ්ජා ඇති වෙයි. බිය ඇති වෙයි. නො කිපෙනසුලු වෙයි. නුවණැති වෙයි. මහණෙනි මේ පස්දහමින් යුතු මාගම කාබුන් මරණින් මතු සුගති වූ සගලොවට පැමිණේ යි.
අනුපනාහී සූත්‍රය
297. මහණෙනි, දහම් පසෙකින් යුතු මාගම කාබුන් මරණින් මතු සුගති වූ සගලොවට පැමිණෙ යි. කවර පසෙකින් ද යත්: සැදැහැ ඇති වෙයි. ලජ්ජා ඇති වෙයි. බිය ඇති වෙයි. බැඳි වෙර නැති වෙයි. නුවණැති වෙයි. මහණෙනි මේ පස්දහමින් යුතු මාගම කාබුන් මරණින් මතු සුගති වූ සගලොවට පැමිණේ යි.
3. 2. 4.
අනිස්සුකී සූත්‍රය
298. මහණෙනි, දහම් පසෙකින් යුතු මාගම කාබුන් මරණින් මතු සුගති වූ සගලොවට පැමිණෙයි. කවර පසෙකින් ද යත්: සැදැහැ ඇති වෙයි. හිරි ඇති වෙයි. ඔතප් ඇති වෙයි. ඊර්‍ෂ්‍යා රහිත වෙයි. පැනවත් වෙයි. මහණෙනි මේ පස්දහමින් යුතු මාගම කාබුන් මරණින් මතු සුගති වූ සගලොවට පැමිණේ යි.
3. 2. 5.
ආමච්ඡරී සූත්‍රය
299. මහණෙනි, දහම් පසෙකින් යුතු මාගම කාබුන් මරණින් මතු සුගති වූ සගලොවට පැමිණෙ යි. කවර පසෙකින් ද යත්: සැදැහැ ඇති වෙයි. හිරි ඇති වෙයි. ඔතප් ඇති වෙයි. නො මසුරු වෙයි. පැනවත් වෙයි. මහණෙනි මේ පස්දහමින් යුතු මාගම කාබුන් මරණින් මතු සුගති වූ සගලොවට පැමිණේ යි.
3. 2. 6.
අනතිචාරී සූත්‍රය
300. මහණෙනි, දහම් පසෙකින් යුතු මාගම කාබුන් මරණින් මතු සුගති වූ සගලොවට පැමිණෙ යි. කවර පසෙකින් ද යත්: සැදැහැ ඇති වෙයි. හිරි ඇති වෙයි. ඔතප් ඇති වෙයි. (සැමියා) ඉක්ම නො හැසිරෙන්නී වෙයි. පැනවත් වෙයි. මහණෙනි, මේ පස්දහමින් යුතු මාගම කාබුන් මරණින් මතු සුගති වූ සගලොවට පැමිණේ යි.
සීලවන්ත සූත්‍රය
301. මහණෙනි, දහම් පසෙකින් යුතු මාගම කාබුන් මරණින් මතු සුගති වූ සගලොවට පැමිණෙයි. කවර පසෙකින් ද යත්: සැදැහැ ඇති වෙයි. හිරි ඇති වෙයි. ඔතප් ඇති වෙයි. සිල්වත් වෙයි. පැනවත් වෙයි. මහණෙනි, මේ පස්දහමින් යුතු මාගම කාබුන් මරණින් මතු සුගති වූ සගලොවට පැමිණේ යි.
3. 2. 8.
බහුස්සුත සූත්‍රය
302. මහණෙනි, දහම් පසෙකින් යුතු මාගම කාබුන් මරණින් මතු සුගති වූ සගලොවට පැමිණෙයි. කවර පසෙකින් ද යත්: සැදැහැ ඇති වෙයි. හිරි ඇති වෙයි. ඔතප් ඇති වෙයි. බොහෝ ඇසු පිරූ තැන් ඇති වෙයි, පැනවත් වෙයි. මහණෙනි මේ පස්දහමින් යුතු මාගම කාබුන් මරණින් මතු සුගති වූ සගලොවට පැමිණේ යි.
3. 2. 9.
ආරද්ධවීරිය සූත්‍රය
303. මහණෙනි, දහම්පසෙකින් යුතු මාගම කාබුන් මරණින් මතු සුගති වූ සගලොවට පැමිණෙයි. කවර පසෙකින් ද යත්: සැදැහැ ඇති වෙයි. හිරි ඇති වෙයි. ඔතප් ඇති වෙයි. ඇරඹු වෙර ඇති වෙයි. පැනවත් වෙයි. මහණෙනි මේ පස්දහමින් යුතු මාගම කාබුන් මරණින් මතු සුගති වූ සගලොවට පැමිණේ යි.
3. 2. 10.
උපට්ඨිතස්සති සූත්‍රය
304. මහණෙනි, දහම් පසෙකින් යුතු මාගම කාබුන් මරණින් මතු සුගති වූ සගලොවට පැමිණෙයි. කවර පසෙකින් ද යත්: සැදැහැ ඇති වෙයි. හිරි ඇති වෙයි. ඔතප් ඇති වෙයි. එළඹ සිටි සිහි ඇති වෙයි. පැනවත් වෙයි. මහණෙනි මේ පස්දහමින් යුතු මාගම කාබුන් මරණින් මතු සුගති වූ සගලොවට පැමිණේ යි.
3. 2. 11.
පඤ්චසීල සූත්‍රය
305. මහණෙනි, මේ දහම් පසෙකින් යුතු මාගම කාබුන් මරණින් මතු සුගති වූ සගලොවට පැමිණෙයි. කවර පසෙකින් ද යත්: පණිවායෙන් වැළකුණේ වෙයි. අයිනාදනින් වැළකුණේ වෙයි. කාමයෙහි වරදවා හැසිරීමෙන් වැළකුණේ වෙයි. මහණෙනි, මේ පස්දහමින් යුත් මාගම කාබුන් මරණින් මතු සුගති වූ සගලොවට පැමිණේ යි.
දෙවැනි අනුරුද්ධ වර්‍ග යි.