Saṁyutta Nikāya

Connected Discourses

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-30 · 15083 segments

පෙන්වන කොටස් 10001-10100 න් 15083

මහණෙනි, මහණ තෙමේ අනිත්‍යවූ ම ඇස අනිත්‍ය යැ යි දකී ද, ඒ ඔහුට සම්‍යග්දෘෂ්ටි වෙයි. මොනොවට දක්නේ කලකිරෙයි. නන්‍දිය ක්‍ෂය වීමෙන් රාගය ක්‍ෂය වෙයි. රාගය ක්‍ෂය වීමෙන් නන්‍දිය ක්‍ෂය වෙයි. නන්‍දිරාගය ක්‍ෂය වීමෙන් සිත මැනැවින් මිදුණේ යැ යි කියනු ලැබේ. මහණෙනි, මහණ තෙමේ අනිත්‍ය වූ ම ශ්‍රෝත්‍රය අනිත්‍ය යැ යි දකී ද ඝ්‍රාණය අනිත්‍ය යැ යි දකී ද දිව අනිත්‍ය යැ යි දකී ද කය අනිත්‍ය යැ යි දකී ද මහණෙනි, මහණ තෙමේ අනිත්‍ය වූ ම මනස අනිත්‍යයැ යි දකී ද ඒ ඔහුට සම්‍යග්දෘෂ්ටි වෙයි. මොනොවට දක්නේ කලකිරෙයි. නන්‍දිය ක්‍ෂය වීමෙන් රාගය ක්‍ෂය වෙයි. රාගය ක්‍ෂය වීමෙන් නන්‍දිය ක්‍ෂය වෙයි. නන්‍දිරාගය ක්‍ෂය වීමෙන් සිත මැනැවින් මිදුණේ යැ යි කියනු ලැබේ.
බහිද්ධානන්‍දික්ඛය අනිච්ච සූත්‍රය
157. මහණෙනි, මහණ අනිස වූ ම රූපයන් අනිස යැ යි දකියි. ඒ ඔහුට සම්‍යග්දෘෂ්ටි වෙයි. මැනැවින් දක්නේ කලකිරෙයි. නන්‍දිය ක්‍ෂය වීමෙන් රාගය ක්‍ෂය වෙයි. රාගය ක්‍ෂය වීමෙන් නන්‍දිය ක්‍ෂය වෙයි. නන්‍දිරාග දෙක ක්‍ෂය වීමෙන් සිත මැනැවින් මිදුණේ යැ යි කියනු ලැබේ. මහණෙනි, මහණ අනිස වූ ම සද ... ගඳ ... රස ... පහස් ... දහම් අනිසහ යි දකී නම් එය ඔහුගේ සම්මාදිට්ඨි වෙයි. මැනැවින් දක්නේ කලකිරෙයි. නන්‍දිය ක්‍ෂය වීමෙන් රාගය ක්‍ෂය වෙයි. රාගය ක්‍ෂය වීමෙන් නන්‍දිය ක්‍ෂය වෙයි. නන්‍දිරාග දෙක ක්‍ෂය වීමෙන් සිත මැනැවින් මිදුණේ ය යි කියනු ලැබේ.
අජ්ඣත්ත නන්‍දික්ඛයයෝනිසො සූත්‍රය
158. මහණෙනි, ඇස නුවණින් මෙනෙහි කරවු, ඇස්හි අනිස් බව ද තතු සේ නුවණින් දකිවු. මහණෙනි, මහණ ඇස නුවණින් මෙනෙහි කරන්නේ ඇස්හි අනිස් බව ද තතු සේ නුවණින් දක්නේ ඇසෙහිත් කලකිරෙයි. නන්‍දිය ක්‍ෂය වීමෙන් රාගය ක්‍ෂය වෙයි. රාගය ක්‍ෂය වීමෙන් නන්‍දිය ක්‍ෂය වේ. නන්‍දිරාගය ක්‍ෂය වීමෙන් සිත මැනැවින් මිදුණේ යැ යි කියනු ලැබේ.
මහණෙනි, කන නුවණින් මෙනෙහි කරවු ... මහණෙනි, නැහැය නුවණින් මෙනෙහි කරවු ... මහණෙනි, දිව නුවණින් මෙනෙහි කරවු. දිව්හි අනිස්බව ද තතු සේ නුවණින් දකිවු. මහණෙනි, මහණ දිව නුවණින් මෙනෙහි කරන්නේ දිව්හි අනිස් බවද තතු සේ නුවණින් දක්නේ දිව්හිත් කලකිරෙයි ... සිත මැනැවින් මිදුණේ ය යි කියනු ලැබේ.
මහණෙනි, කය නුවණින් මෙනෙහි කරවු ... මහණෙනි, සිත නුවණින් මෙනෙහි කරවු ... සිත්හි අනිස බව ද තතු සේ නුවණින් දකිවු. මහණෙනි, මහණ සිත නුවණින් මෙනෙහි කරන්නේ සිත්හි අනිස්බව ද තතු සේ නුවණින් දක්නේ සිතෙහිත් කලකිරෙයි. නන්‍දිය ක්‍ෂය වීමෙන් රාගය ක්‍ෂය වෙයි. රාගය ක්‍ෂය වීමෙන් නන්‍දිය ක්‍ෂය වේ. නන්‍දිරාග ක්‍ෂය වීමෙන් සිත මැනැවින් මිදුණේ ය යි කියනු ලැබේ.
බාහිර නන්‍දික්ඛයයෝනිසො සූත්‍රය
159. සැවැත්නුවර–
මහණෙනි, රූපය නුවණින් මෙනෙහි කරවු. රූපයෙහි අනිස්බව ද තතු සේ නුවණින් දකිවු. මහණෙනි, මහණ රූපය නුවණින් මෙනෙහි කරන්නේ රූපයෙහි අනිස්බව ද තතු සේ නුවණින් දක්නේ රූපයෙහි කලකිරෙයි. නන්‍දිය ක්‍ෂය වීමෙන් රාගය ක්‍ෂය වෙයි. රාගය ක්‍ෂය වීමෙන් නන්‍දිය ක්‍ෂය වේ. නන්‍දිරාගය ක්‍ෂය වීමෙන් සිත මැනැවින් මිදුණේ ය යි කියනු ලැබේ.
මහණෙනි, සද ... මහණෙනි, ගඳ ... මහණෙනි, රස ... මහණෙනි, පහස් ... මහණෙනි, දහම් නුවණින් මෙනෙහි කරවු. දහම්හි අනිස්බව ද තතු සේ නුවණින් දකිවු. මහණෙනි, මහණ දහම් නුවණින් මෙනෙහි කරන්නේ දහම්හි අනිස්බව ද තතු සේ නුවණින් දක්නේ දහම්හි කලකිරෙයි. නන්‍දිය ක්‍ෂය වීමෙන් රාගය ක්‍ෂය වෙයි. රාගය ක්‍ෂය වීමෙන් නන්‍දිය ක්‍ෂය වෙයි. නන්‍දිරාග දෙක ක්‍ෂය වීමෙන් සිත මැනැවින් මිදුණේ යැ යි කියනු ලැබේ.
සමාධි සූත්‍රය
160. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර සමීපයෙහි ජීවක අඹවෙනෙහි වැඩවසන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ මහණෙනි යි භික්‍ෂූන් ඇමතූ සේක. වහන්සැ යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක: මහණෙනි, සමාධිය වඩවු. මහණෙනි, සමාහිත මහණහට තතු සේ වැටහෙයි. කිමෙක් තතු සේ වැටහේ ද යත්:
ඇස අනිසැ යි තතු සේ වැටහෙයි. රූ අනිසහ යි තතු සේ වැටහෙයි. චක්‍ෂුර්විඥානය අනිසැ යි තතු සේ වැටහෙයි. ඇස්පහස අනිසැ යි තතු සේ වැටහේ. ඇස්පහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ විඳුමෙක් උපදී ද, හෙ ද අනිසැ යි තතු සේ වැටහේ. කන ... නැහැය ... දිව ... කය ... සිත අනිසැ යි තතු සේ වැටහේ. දහම් අනිසැ යි තතු සේ වැටහේ. මනෝවිඤ්ඤාණය අනිසැ යි තතු සේ වැටහේ . මනපහස අනිසැ යි තතු සේ වැටහේ. මනපහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ විඳුමෙක් උපදී නම් හෙ ද, අනිසැ යි තතු සේ වැටහේ. මහණෙනි, සමාධිය වඩවු. මහණෙනි, සමාහිත මහණහට තතු සේ වැටහේ යි.
පටිසල්ලාන සූත්‍රය
161. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර සමීපයෙහි ජීවක අඹවෙනෙහි වැඩවසන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ මහණෙනි යි භික්‍ෂූන් ඇමතූ සේක ... මහණෙනි, විවේකයෙහි යෙදීමට පැමිණෙවු. මහණෙනි, විවේකයෙන් යුත් මහණහට තතු සේ පෙනෙයි. කිමෙක් තතු සේ පෙනේ ද යත්:
ඇස අනිසැ යි තතු සේ පෙනෙයි. රූප අනිසහ යි තතු සේ පෙනෙයි. චක්‍ෂුර්විඥානය අනිසැ යි තතු සේ පෙනෙයි. ඇස්පහස අනිසැ යි තතු සේ පෙනෙයි. ඇස්පහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ විඳුමෙක් උපදී නම් හෙ ද අනිසැ යි තතු සේ පෙනෙයි.
කන ... නැහැය ... දිව ... කය ... සිත අනිසැ යි තතුසේ පෙනේ. දහම් අනිසහ යි තතුසේ පෙනෙයි. මනෝවිඤ්ඤාණය අනිසැ යි තතුසේ පෙනෙයි. මනපහස අනිසැ යි තතුසේ පෙනෙයි. මනපහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ විඳුමෙක් උපදී ද හෙ ද අනිසැ යි තතුසේ පෙනෙයි. මහණෙනි, විවේකයෙහි යෙදීමට පැමිණෙවු. මහණෙනි විවේකයෙන් යුත් මහණහට තත්වූ පරිද්දෙන් පෙනේ යි.
කොට්ඨිත අනිච්ච සූත්‍රය
162. එකල්හි ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස් ව හුන්හ. එකත්පස් ව හුන් ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළහ: වහන්ස, ආයාචනා කරමි. මම භාග්‍යවතුන් වහන්සේගේ යම් දහමක් අසා එකලා ව ගණයා කෙරෙන් වෙන් වූයෙම් නො පමා ව කෙලෙස් තවන වැර ඇතියෙම් නිවන් පිණිස මෙහෙයූ සිත් ඇතියෙම් වෙසෙම් නම් භාග්‍යවතුන් වහන්සේ එබඳු දහමක් මට සැකෙවින් දේසනා කරන සේක්වා යි.
කොට්ඨිතයෙනි, යමෙක් අනිස වේ නම් එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුත්තේ ය. කොට්ඨිතයෙනි, කිමෙක් අනිස වේ ද යත්: කොට්ඨිතයෙනි, ඇස අනිස ය, එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුත්තේ ය. රූප අනිස ය, එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුත්තේ ය. චක්‍ෂුර්විඥානය අනිස ය, එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුත්තේ ය. ඇස්පහස අනිස ය, එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුත්තේ ය. ඇස්පහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ වේදනායෙක් උපදී නම් හෙ ද අනිස ය, එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුත්තේ ය.
කන ... නැහැය ... දිව අනිස ය, එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුත්තේ ය. රස අනිස ය ... ජිහ්වාවිඥානය ... ජිහ්වාසංස්පර්‍ශය ... දිව්පහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ වේදනායෙක් උපදී නම් හෙ ද අනිස ය, එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුත්තේ ය.
කය ... සිත අනිස ය, එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුත්තේ ය. දහම් අනිස ය ... මනෝවිඤ්ඤාණය අනිස ය ... මනපහස අනිස ය ... මනපහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ වේදනායෙක් උපදී නම් හෙ ද අනිස ය, එහිලා තොපගේ ඡන්‍දය පහකටයුත්තේ ය. කොට්ඨිතයෙනි, යමෙක් අනිස වේ නම් එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුත්තේ ය.
කොට්ඨිතදුක්ඛ සූත්‍රය
163. සැවැත්නුවර–
එකත්පස් ව හුන් ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකළහ: වහන්ස, ආයාචනා කරමි. “මම භාග්‍යවතුන් වහන්සේගේ යම් දහමක් අසා ... වෙසෙන්නෙම් නම් භාග්‍යවතුන් වහන්සේ එබඳු දහමක් මට සැකෙවින් දේශනා කරන සේක්ව” යි. කොට්ඨිතයෙනි, යමෙක් දුක් වේ නම් එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුත්තේ ය. කොට්ඨිත, කිමෙක් දුක් වේ ද යත්: කොට්ඨිතයෙනි, ඇස දුක් ය. එහි ලා තොපගේ ඡන්‍දය පහ කටයුත්තේ ය. රූපයෝ දුක් ය, එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුත්තේ ය. චක්‍ෂුර්විඥානය දුක් ය, එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුත්තේ ය. ඇස්පහස දුක් ය, එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුත්තේ ය. ඇස්පහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ වේදනායෙක් උපදී නම් හෙ ද දුක් ය, එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුත්තේ ය.
කන දුක් ය ... නැහැය දුක් ය ... දිව දුක් ය ... කය දුක් ය ... සිත දුක් ය එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුත්තේ ය. දහම් දුක් ය ... මනෝවිඥානය දුක් ය ... මනපහස දුක් ය ... මනපහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ විඳුමෙක් උපදී නම් හෙ ද දුක් ය. එහි ලා තොපගේ ඡන්‍දය පහකට යුත්තේ ය. කොට්ඨිතයෙනි, යමෙක් දුක් වේ නම් එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුත්තේ ය.
කොට්ඨික අනත්ත සූත්‍රය
164. සැවැත්නුවර–
එකත්පස් ව හුන් ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකළහ: වහන්ස, ආයාචනා කරමි. “මම භාග්‍යවතුන් වහන්සේගේ යම් දහමක් අසා ... වෙසෙම් නම් භාග්‍යවතුන් වහන්සේ එබඳු දහමක් මට සැකෙවින් දේශනා කරන සේක්වා” යි. කොට්ඨිතයෙනි, යමෙක් අනත් වේ නම් එහි ලා තොපගේ ඡන්‍දය පහකට යුත්තේ ය. කොට්ඨිතයෙනි, කිමෙක් අනත් වෙ ද යත්: කොට්ඨිතයෙනි, ඇස අනත් ය. එහි ලා තොපගේ ඡන්‍දය පහකට යුත්තේ ය. රූප අනත් ය, එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුත්තේ ය. චක්‍ෂුර්විඥානය අනත් ය, එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුත්තේ ය. ඇස්පහස අනත් ය, එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුත්තේ ය. ඇස්පහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ වේදනායෙක් උපදී නම් හෙ ද අනත් ය. එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුත්තේ ය.
කන ... නැහැය ... දිව ... කය ... සිත අනත් ය. එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුත්තේ ය. දහම් අනත් ය ... මනෝවිඥානය අනත් ය ... මනපහස අනත් ය ... මනපහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ වේදනායෙක් උපදී නම් හෙ ද අනත් ය. එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුත්තේ ය. කොට්ඨිතයෙනි, යමෙක් අනත් වේ නම් එහි ලා තොපගේ ඡන්‍දය පහකට යුත්තේ යි.
1. 16. 10.
මිච්ඡාදිට්ඨිප්පහාන සූත්‍රය
165. එකල්හි එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ එකත්පස් ව හුන්නේ ය. එකත්පස් ව හුන් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකෙළේ ය: වහන්ස, කෙසේ දන්නහුගේ මිසදිටු ප්‍රහීණ වේ දැ යි.
මනණ, ඇස අනිස විසින් දන්නහුගේ දක්නහුගේ මිසදිටුව ප්‍රහීණ වේ. රූප අනිස විසින් දන්නහුගේ දක්නහුගේ මිසදිටුව ප්‍රහීණ වේ. චක්‍ෂුර්විඥානය අනිස විසින් දන්නහුගේ දක්නහුගේ මිසදිටුව ප්‍රහීණ වේ. ඇස්පහස අනිස විසින් දන්නහුගේ දක්නහුගේ මිසදිටුව ප්‍රහීණ වේ. ඇස්පහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ වේදනායෙක් උපදී නම් හෙ ද අනිස විසින් දන්නහුගේ දක්නහුගේ මිසදිටුව ප්‍රහීණ වේ.
කන අනිස විසින් ... නැහැය ... දිව ... කය ... සිත අනිස විසින් දන්නහුගේ දක්නහුගේ මිසදිටුව ප්‍රහීණ වේ. දහම් අනිස විසින් ... මනෝවිඤ්ඤාණය ... මනපහස ... මනපහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ වේදනායෙක් උපදී නම් හෙ ද අනිස විසින් දන්නහුගේ දක්නහුගේ මිසදිටුව ප්‍රහීණ වේ. මහණ මෙසේ දක්නහුගේ මිසදිටුව ප්‍රහීණ වේ ය යි.
1. 16. 11.
සක්කායදිට්ඨිප්පහාන සූත්‍රය
166. සැවැත්නුවර–
එකත්පස් ව හුන් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකෙළේ ය: වහන්ස, කෙසේ දන්නහුගේ කෙසේ දක්නහුගේ සත්කායදෘෂ්ටිය ප්‍රහීණ වේ දැ? යි.
මහණ, ඇස දුක් විසින් දන්නහුගේ දක්නහුගේ සත්කායදෘෂ්ටිය ප්‍රහීණ වේ. රූ දුක් විසින් දන්නහුගේ දක්නහුගේ සත්කායදෘෂ්ටිය ප්‍රහීණ වේ. චක්‍ෂුර්විඥානය දුක් විසින් දන්නහුගේ දක්නහුගේ සත්කායදෘෂ්ටිය ප්‍රහීණ වේ. ඇස්පහස දුක් විසින් දන්නහුගේ දක්නහුගේ සත්කායදෘෂ්ටිය ප්‍රහීණ වේ. ඇස්පහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ වේදනායෙක් උපදී නම් හෙ ද දුක් විසින් දන්නහුගේ දක්නහුගේ සත්කායදෘෂ්ටිය ප්‍රහීණ වේ.
කන ... නැහැය ... දිව ... කය ... සිත දුක් විසින් දන්නහුගේ දක්නහුගේ සත්කායදෘෂ්ටිය ප්‍රහීණ වේ. දහම් දුක් විසින් දන්නහුගේ දක්නහුගේ සත්කායදෘෂ්ටිය ප්‍රහීණ වේ. මනෝවිඥානය දුක් විසින් දන්නහුගේ දක්නහුගේ සත්කායදෘෂ්ටිය ප්‍රහීණ වේ. මනෝසම්ඵස්සය දුක් විසින් දන්නහුගේ දක්නහුගේ සත්කායදෘෂ්ටිය ප්‍රහීණ වේ. මනෝසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ විඳුමෙක් උපදී නම් හෙ ද දුක් විසින් දන්නහුගේ දක්නහුගේ සත්කායදෘෂ්ටිය ප්‍රහීණ වේ. මහණ, මෙසේ දන්නහුගේ මෙසේ දක්නහුගේ සත්කායදෘෂ්ටිය ප්‍රහීණ වේ යි.
1. 16. 12.
අත්තානුදිට්ඨිප්පහාන සූත්‍රය
167. සැවැත්නුවර–
එකත්පස් ව හුන් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකෙළේ ය: වහන්ස, කෙසේ දන්නහුගේ කෙසේ දක්නහුගේ ආත්මානුදෘෂ්ටිය ප්‍රහීණ වේ දැ? යත්:
මහණ, ඇස අනාත්ම විසින් දන්නහුගේ දක්නහුගේ ආත්මානුදෘෂ්ටිය ප්‍රහීණ වේ. රූපයන් අනාත්ම විසින් දන්නහුගේ දක්නහුගේ ආත්මානුදෘෂ්ටිය ප්‍රහීණ වේ. චක්‍ෂුර්විඥානය අනාත්ම විසින් දන්නහුගේ දක්නහුගේ ආත්මානුදෘෂ්ටිය ප්‍රහීණ වේ. චක්ඛුසම්ඵස්සය අනාත්ම විසින් දන්නහුගේ දක්නහුගේ ආත්මානුදෘෂ්ටිය ප්‍රහීණ වේ. චක්ඛුසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ යම් මේ විඳුමෙක් වේදනායෙක් උපදී නම් එද අනාත්ම විසින් දන්නහුගේ දක්නහුගේ ආත්මානුදෘෂ්ටිය ප්‍රහීණ වේ.
කන ... නැහැය ... දිව ... කය ... සිත අනාත්ම විසින් දන්නහුගේ දක්නහුගේ ආත්මානුදෘෂ්ටිය ප්‍රහීණ වේ. දහම් අනාත්ම විසින් ... මනෝවිඥානය අනාත්ම විසින් ... මනෝසම්ඵස්සය අනත් විසින් ... මනෝසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ වේදනායෙක් උපදී නම් එද අනාත්ම විසින් දන්නහුගේ දක්නහුගේ ආත්මානුදෘෂ්ටිය ප්‍රහීණ වේ. මහණ, මෙසේ දන්නහුගේ මෙසේ දක්නහුගේ ආත්මානුදෘෂ්ටිය ප්‍රහීණ වේ යි.
සොළොස්වැනි නන්‍දික්ඛය වර්‍ග යි.
එහි සූත්‍ර නාමාවලිය:
නන්‍දික්ඛය නමින් සතරෙක් ද, ජීවකම්බවනයෙහි දෙකෙක් ද, කොට්ඨිත නමින් තුනෙක් ද, මිච්ඡාදිට්ඨිප්පහාන, සක්කායදිට්ඨිප්පහාන, අත්තානුදිට්ඨිප්පහාන යි තුනෙක් දැ යි මෙසේ සූත්‍ර දොළොසෙක් වදාරන ලදි.
17. සට්ඨිපෙය්‍යාල වර්‍ගය
අනිච්ච ඡන්‍ද සූත්‍රය
168. සැවැත්නුවර–
මහණෙනි යමක් අනිත්‍ය නම් එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුතු ය. මහණෙනි කිමෙක් අනිත්‍ය ද යත්: මහණෙනි චක්‍ෂුස අනිත්‍ය ය. එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුතු ය. ශ්‍රෝත්‍රය අනිත්‍ය ය ... ඝ්‍රාණය අනිත්‍ය ය ... ජිහ්වා අනිත්‍ය ය ... කය අනිත්‍ය ය ... මනස අනිත්‍ය ය. එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුතු ය. මහණෙනි යමක් අනිත්‍ය නම් එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුතු යි.
අනිච්චරාග සූත්‍රය
169. මහණෙනි යමක් අනිත්‍ය නම් එහි ලා තොපගේ රාගය පහකටයුතු ය. මහණෙනි කිමෙක් අනිත්‍ය ද යත්: මහණෙනි චක්‍ෂුස අනිත්‍ය ය. එහි ලා තොපගේ රාගය පහකටයුතු ය. ශ්‍රෝත්‍රය අනිත්‍ය ය ... ඝ්‍රාණය අනිත්‍ය ය ... ජිහ්වාව අනිත්‍ය ය ... කය අනිත්‍ය ය ... මනස අනිත්‍ය ය. එහි ලා තොපගේ රාගය පහකට යුතු ය. මහණෙනි යමක් අනිත්‍ය නම් එහි ලා තොපගේ රාගය පහකටයුතු යි.
අනිච්ච ඡන්‍දරාග සූත්‍රය
170. මහණෙනි යමක් අනිත්‍ය නම් එහි ලා තොපගේ ඡන්‍දරාගය පහකටයුතු ය. මහණෙනි කිමෙක් අනිත්‍ය ද යත්: මහණෙනි චක්‍ෂුස අනිත්‍ය ය එහි ලා තොපගේ ඡන්‍දරාගය පහකටයුතු ය. ශ්‍රෝත්‍රය අනිත්‍ය ය ... ඝ්‍රාණය අනිත්‍ය ය ... ජිහ්වාව අනිත්‍ය ය ... කය අනිත්‍ය ය ... මනස අනිත්‍ය ය. එහි ලා තොපගේ ඡන්‍දරාගය පහ කටයුතු ය. මහණෙනි යමක් අනිත්‍ය නම් එහි ලා තොපගේ ඡන්‍දරාගය පහකටයුතු යි.
1. 17. 4-6.
දුක්ඛ ඡන්‍ද දුක්ඛරාග දුක්ඛඡන්‍දරාග සූත්‍ර
171-173 මහණෙනි යමක් දුක් නම් එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුතු ය, රාගය පහකටයුතු ය, ඡන්‍දරාගය පහකටයුතු ය. මහණෙනි කිමෙක් දුක් ද යත්: මහණෙනි චක්‍ෂුස දුක් ය, එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුතු ය, රාගය පහකටයුතු ය, ඡන්‍දරාගය පහකටයුතු ය. ශ්‍රෝත්‍රය දුක් ය ... ඝ්‍රාණය දුක් ය ... ජිව්හාව දුක් ය ... කය දුක් ය ... මනස දුක් ය. එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුතු ය, රාගය පහකටයුතු ය, ඡන්‍දරාගය පහකටයුතු ය. මහණෙනි යමක් දුක් නම් එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුතු ය, රාගය පහකට යුතු ය, ඡන්‍දරාගය පහකටයුතු යි.
1. 17. 7-9.
අනත්තඡන්‍ද, අනත්තරාග, අනත්ත ඡන්‍දරාග සූත්‍ර
174-176 මහණෙනි, යමක් අනාත්ම නම් එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුතු ය, රාගය පහකටයුතු ය, ඡන්‍දරාගය පහකටයුතු ය. මහණෙනි, කිමෙක් අනත් ද යත්: මහණෙනි චක්‍ෂුස අනාත්ම ය, එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුතු ය, රාගය පහකටයුතු ය, ඡන්‍දරාගය පහකටයුතු ය. ශ්‍රෝත්‍රය ... ඝ්‍රාණය ... ජිහ්වාව ... කය ... මනස අනාත්ම ය, එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුතු ය, රාගය පහකටයුතු ය, ඡන්‍දරාගය පහකටයුතු ය. මහණෙනි, යමක් අනාත්ම නම් එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුතු ය, රාගය පහකටයුතු ය, ඡන්‍දරාගය පහකටයුතු යි.
1. 17. 10-12.
බාහිර අනිච්චඡන්‍ද, බාහිර අනිච්චරාග, බාහිර අනිච්චඡන්‍දරාග සූත්‍ර
177-179. මහණෙනි, යමක් අනිත්‍ය නම් එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුතු ය, රාගය පහකටයුතු ය, ඡන්‍දරාගය පහකටයුතු ය. මහණෙනි, කිමෙක් අනිත්‍ය ද යත්: මහණෙනි, රූපයෝ අනිත්‍යය හ, එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුතු ය, රාගය පහකටයුතු ය, ඡන්‍දරාගය පහකටයුතු ය. ශබ්දයෝ ... ගන්‍ධයෝ ... රසයෝ ... ස්ප්‍රෂ්ටව්‍යයෝ ... දහම්හු අනිත්‍යයහ, එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුතු ය, රාගය පහකටයුතු ය, ඡන්‍දරාගය පහකටයුතු ය. මහණෙනි, යමක් අනිත්‍ය නම් එහි ලා තොපගේ ඡන්‍දය පහකට යුතු ය, රාගය පහකටයුතු ය, ඡන්‍දරාගය පහකටයුතු යි.
1. 17. 13-15.
බාහිර දුක්ඛඡන්‍ද, බාහිර දුක්ඛරාග, බාහිරදුක්ඛඡන්‍දරාග සූත්‍ර
180-182. මහණෙනි, යමක් දුක් නම් එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුතු ය, රාගය පහකටයුතු ය, ඡන්‍දරාගය පහකටයුතු ය. මහණෙනි, කිමෙක් දුක් ද යත්: මහණෙනි රූපයෝ දුක් හ, එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුතු ය, රාගය පහකටයුතු ය, ඡන්‍දරාගය පහකටයුතු ය. ශබ්දයෝ ... ගන්‍ධයෝ ... රසයෝ ... ස්ප්‍රෂ්ටව්‍යයෝ ... දහම්හු දුක්හ, එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුතු ය, රාගය පහකටයුතු ය, ඡන්‍දරාගය පහකටයුතු ය. මහණෙනි, යමක් දුක් නම් එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුතු ය, රාගය පහකටයුතු ය, ඡන්‍දරාගය පහකටයුතු යි.
1. 17. 16-18.
බාහිරානත්තඡන්‍ද - බාහිරානන්තරාග - බාහිරානන්තඡන්‍දරාග සූත්‍ර
183-185. මහණෙනි යමක් අනාත්ම නම් එහි ලා තොපගේ ඡන්‍දය දුරු කටයුතු ය, රාගය දුරු කටයුතු ය, ඡන්‍දරාගය දුරු කටයුතු ය. මහණෙනි කිමෙක් අනාත්ම ද යත්: මහණෙනි රූපයෝ අනාත්මහ, එහි ලා තොපගේ ඡන්‍දය දුරු කටයුතු ය, රාගය දුරුකට යුතු ය, ඡන්‍දරාගය දුරු කටයුතු ය. ශබ්දයෝ ... ගන්‍ධයෝ ... රසයෝ ... ස්ප්‍රෂ්ටව්‍යයෝ ... දහම්හු අනාත්මහ, එහි ලා තොපගේ ඡන්‍දය දුරු කටයුතු ය, රාගය දුරු කටයුතු ය, ඡන්‍දරාගය දුරු කටයුතු ය. මහණෙනි යමක් අනාත්ම නම් එහි ලා තොපගේ ඡන්‍දය දුරු කට යුතු ය, රාගය දුරු කටයුතු ය, ඡන්‍දරාගය දුරු කටයුතු යි.
1. 17. 19.
අතීතානිච්ච සූත්‍රය
186. මහණෙනි අතීත වූ චක්‍ෂුස අනිත්‍ය ය, අතීත වූ ශ්‍රෝත්‍රය අනිත්‍ය ය, අතීත වූ ඝ්‍රාණය අනිත්‍ය ය, අතීත වූ ජිහ්වාව අනිත්‍ය ය, අතීත වූ කය අනිත්‍ය ය, අතීත වූ මනස අනිත්‍ය ය. මහණෙනි මෙසේ දක්නා ශ්‍රැතවත් අරීසවු (ආර්‍ය්‍යශ්‍රාවක) චක්‍ෂුස කෙරෙහිත් කලකිරෙයි, ශ්‍රෝත්‍රය කෙරෙහිත් කලකිරෙයි, ඝ්‍රාණය කෙරෙහිත් කලකිරෙයි, ජිහ්වාව කෙරෙහිත් කලකිරෙයි, කයෙහිත් කලකිරෙයි, මනස කෙරෙහිත් කලකිරෙයි. කලකිරෙන්නේ නො ඇලෙයි, නො ඇලුම් හෙයින් මිදෙයි, මිදුණු කල්හි මිදුණේ ය යි දැනීම වෙයි. ඉපැද්ම අවසන් විය, බඹසර වැස නිමැවිණ, කටයුතු කරන ලදි, මේ රහත්බව පිණිස කටයුතු අනෙකක් නැතැයි දැනගනී.
1. 17. 20.
අනාගතානිච්ච සූත්‍රය
187. මහණෙනි, අනාගත චක්‍ෂුස අනිත්‍ය ය, අනාගත ශ්‍රෝත්‍රය ... ඝ්‍රාණය ... ජිහ්වාව අනිත්‍ය ය, අනාගත කය ... මනස අනිත්‍ය ය මහණෙනි මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක චක්‍ෂුසෙහි කලකිරෙයි ... මේ රහත්බව පිණිස අනෙකක් නැතැ යි දැනගනී.
පච්චුප්පන්නානිච්ච සූත්‍රය
188. මහණෙනි වර්‍තමාන චක්‍ෂුස අනිත්‍ය ය, වර්‍තමාන ශ්‍රෝත්‍රය ... ඝ්‍රාණය ... ජිහ්වාව අනිත්‍ය ය, වර්‍තමාන කය ... සිත අනිත්‍ය ය. මහණෙනි මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක චක්‍ෂුස කෙරෙහිත් කලකිරෙයි ... මේ රහත්බව පිණිස අනෙකක් නැතැ යි දැනගනී.
1. 17. 22-24.
අතීත දුක්ඛ, අනාගත දුක්ඛ, පච්චුපන්න දුක්ඛ සූත්‍ර
189-191. මහණෙනි, අයු අනා වත්මන් චක්‍ෂුස දුක් ය, ශ්‍රෝත්‍රය ... ඝ්‍රාණය ... අයු අනා වත්මන් ජිහ්වාව අනාත්ම ය. අයු අනා වත්මන් කය ... මනස දුක් ය. මහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් අරීසවු තෙමේ ඇසෙහිත් කලකිරෙයි ... මේ රහත්බව පිණිස අනෙකක් නැතැ යි දැනගනී.
1. 17. 25-27.
අතීතානත්ත, අනාගතානත්ත, පච්චුප්පන්නානත්ත සූත්‍ර
192-194. මහණෙනි, අයු අනා වත්මන් චක්‍ෂුස අනත් ය, ශ්‍රෝත්‍රය ... ඝ්‍රාණය ... අයු අනා වත්මන් ජිහ්වාව අනාත්ම ය. මහණෙනි, අයු අනා වත්මන් කය ... මනස අනාත්ම ය. මහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් අරීසවු තෙමේ ඇසෙහිත් කලකිරෙයි ... මේ රහත්බව පිණිස අනෙකක් නැතැ යී දැනගනී.